Language Switcher

V2025

තෙල්දෙණිය : යක්කු හිරේ දමන තුරු : කුක්කු බොනවා බොරු !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ජාතිවාදී - ආගම්වාදී  කෝලාහලය අම්පාරෙන් තෙල්දෙණියට පැමිණ ඇත. එතැනින් කොතනටද යන්න නිශ්චිත නැත. එහෙත් සිදුවීම් වෙත ප්‍රතිචාර දක්වන ආකාරය කියාපාන්නේ ඕනෑම තැනක ඕනෑම වෙලාවක දෙවැනි ඉනිම සුදානමින් ඇති බවය.

තෙල්දෙණියට ප්‍රතිචාර 

මේ වන විටත් ආරංචි ලැබෙමින් තිබෙන්නේ මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධියට ප්‍රතිචාර දක්වමින් අම්පාර,අක්කරේපත්තු ප්‍රදේශවල (06) උදෑසන සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවය.

එසේම ආට්ටාලච්චෙනයේ ගුරු විද්‍යාලයේ  සියලුම සිංහල ගුරුවරුන්  එයින් ඉවත් කිරීමට පොලිස් විශේෂකාර්ය බලකාය විසින් පියවර ගත් බවටද මාධ්‍ය වාර්තා පලව තිබේ. 

ජාතිවාදයේ හා ආගමික අන්තවාදයේ ඵලදාව එබඳුය. ප්‍රශ්නය ඇත්තේ සිදුවීමක් සිදුවීමෙන් පසුව ඊට ආගමික හා ජාතිවාදී පදනමින් පමණක් ප්‍රතිචාර දැක්වෙන බවක් පෙනෙන්නට තිබීම තුළය. 

හලාවත ඉරණවිල ඝාතනය වුයේ දස හැවිරිදි දරුවෙක්ය. ඔහුව ලිංගික අතවරයට පත්කළේ සිංහලයෙක් ය. එනිසා කහ සිවුර කම්පා වුයේ නැත. "අපි යක්කු බොලව් තාරුණ්‍යද පොලු අමෝරා හලාවත ගියේ නැත. 

මේ මෑතකදී හම්බන්තොට ප්‍රදේශයේ තරුණියක සමුහ දුෂණයක් නිසාවෙන් මියගිය පුවතක් වාර්තා විය. ඇයද දන්නා තරමින් සිංහල බෞද්ධය. දුෂකයින්ද සිංහලය. එහෙත් එනිසා කහ සිවුර කම්පා වුයේ නැත. "අපි යක්කු බොලව් තාරුණ්‍යද පොලු අමෝරා හලාවත ගියේ නැත. 

අරුම පුදුම යක්කු

මේ නම් අරුම පුදුම යක්කුය. දුෂකයා සිංහල නම් බෞද්ධ නම් ළමා අතවරය හෝ ලිංගික ඇතුළු කවරාකාරයේ මානව හිමිකම් උල්ලංඝණය වීමක් ගැටළුවක් නොවේය. නමුත් ඒ කොනක හෝ වෙනත් ජාතිකත්වයක් ගෑවී සිටීනම් සිහලබෞද්ධ ප්‍රේමය ඔදවැඩී දෝරේ ගලායයි. දරාගත නොහැකි කම්පනය ඒ ජාතිකත්වයේ සමස්ථ ජනතාව හරහා ප්‍රචණ්ඩ ආකාරයට මුදා හරියි. ඇත්තටම කවර ජාතියේ කවර ආගමේ යකා වුණත් මේ යක්කු නොදන්නේ "අපි හැමෝම බොන්නේ එකම කුක්කු" බවය.

ඝාතනයක් ලිංගික හිංසනයක් පමණක් නොව අතුරුදහන්වීමක් වැනි අවස්ථා  වින්දිතයන් දැඩි කම්පනයකට ලක්කරන අත්දකීමක්ය. පහරදීමක් හෝ සොරකමක් වෙත ලක්වීමට වඩා ප්‍රබල මානසික කම්පනයක් එහිදී ඇති කරයි. එහෙත් ප්‍රශ්නය ඇත්තේ ජාතිය හෝ ආගමික පදනමින් පමණක් සාමුහිඛව කම්පනය මුදාහැරීමක් සිදුවීමය. 

ජාති-ආගම් අන්තවාදයේ නරුම අඩංගුව 

ඒ අනුව පෙනී යන්නේ මේ සාමුහිඛ කම්පනය "ආත්මීය" කාරණයකට වඩා සංස්කෘතික අඩංගුවක් සහිතව ක්‍රියාකරන බවය. ඒ අනුව මෙහි පැහැදිළි නරුමත්වයක් ද අඩංගු බව නිරීක්ෂණය කල හැකිය. වඩාත් සරලව කියනවා නම් ඒ මෙසේය.

ජාතිකත්ව පදනමින් කිසියම් සිදුවීමකට ප්‍රතිචාර දක්වන අය යන්නේ අගතියට පත් පාර්ශවයට සාධාරණයක් හෝ යුක්තියක් ලබාදීමට නොවේය. එහි අපේක්ෂාව නිතර පිහිටන්නේ අදාළ සිදුවීමට පරිභාහිර වෙනත් තැනකය. ඒ තැන මොකක් වුවත් ඒ හරහා ලබන දෙය පෙනුමෙන් මෙන්ම හරයෙන්ද විනාශය පමණය. එය වපුරන්නේ මිලේච්ඡත්වය පමණය. එනිසා එයින් ලබන අස්වැන්නද විනාශය සහ මිලෙච්ඡත්වය පමණය.

වැඩි වැඩියෙන් ජාතිවාදී වූ කිසිඳු ජාතිකත්වයක් වාර්ගික ශුද්ධත්වයක් හෝ පුනර්ජීවයක් ලබා නොමැත. වැඩි වැඩියෙන් ආගමිකව අන්තවාදී වූ ආගමක් එහි මුලික හරයෙන් ලබ්ධිකයා පෝෂණය කර නොමැත. ඒ වෙනුවට ඔවුන් ඒ ඒ ජාතිකත්වයට ලබ්ධිකයාට උරුම කර ඇත්තේ අමානුෂිකත්වය සහ විනාශය පමණය. මේ හැසිරීමට අදාළ ලෝක ඉතිහාසයේ වත්මන් විනිශ්චය එසේය. එහෙත් ලොව පුරා මෙය සිදුවෙමින් ඇත. විශේෂයෙන් බහුවාර්ගික අනන්‍යතාවක් සහිත රාජ්‍යන් තුළ අඩු වැඩි වශයෙන් භාවිතයේ යෙදෙයි.

ලංකාවේ අත්දැකීම 

සිංහල, දමිල, මුස්ලීම් යනු සංස්කෘතික පරිකල්පනයක් මිස ඊට වැඩි දෙයක් නොවේය. එහෙත් ඒ ඒ ජාතිකත්ව තුළ ගොඩනැගී ඇති හවුල් විඥානය තුළ පොදු අනන්‍යතාවයක් පොදු සහයෝගීතා බැඳීමක් පවතී.

නිදර්ශනයක් ලෙස "අපි සිංහල බෞද්ධ" යනුවෙන් පරිකල්පනය සකස් වන්නේ එකම භාෂාවක් කතා කරන, එකම ආගමක් අදහන, එකම වීරයන් සිටින, එකම හතුරන්, සාමුහික තර්ජනයකට ලක්වූ  පිරිසක් හැටියටය. ඒ තුළ ඔවුන් එකිනෙකා දන්නා කියන හඳුනන අය වීම අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ "ඒ කෙනා සිංහලද? දෙමළද? මුස්ලීම්ද?" යන්න දැනගැනීම පමණය.

මේ හවුල් විඥානය වැඩ කරන්නේ "තමන්ට තමන්ගේ එකාගේ තර්ජනයට වඩා අනෙකාගේ තර්ජනය හානිකරය" යන අදහස ඇතිවය. එනිසා හලාවත දරුවාගේ ඝාතනය එතරම් වැදගත් නැති අතර අතිශය වැදගත් කාරණය වන්නේ තෙල්දෙණියේ පුද්ගලයාගේ ඝාතනයයි. හවුල් විඥානය තුළ එය තීන්දු වන්නේ ජාතියට ආගමට එරෙහි සතුරු අනෙකාගේ තර්ජනයක් ලෙසින්ය. දැන් හලාවත නොයන උදවිය තෙල්දෙණියේ යන්නේ ඇයිද යන්න පැහැදිළිය.

පරිකල්පිත ප්‍රජාවක්

එහෙත් ඒ පරිකල්පනය ශිෂ්ට සමාජයට ගැලපෙන්නේ නැත. මිනිසුන් නම් කවුරුත් මිනිසුන්ය. ඔවුන් සැමගේ බඩගින්න, පිපාසය, වේදනාව, එක සමානය. මෙය අමුතුවෙන් කිවයුතු හෝ දැනුවත් කලයුතු කාරණයක් නොවේය. එය සැවොම දන්නා සරල කාරණයක්ය. එහෙත් ගැටළුව වන්නේ හවුල් විඥානය තුළ එන හැඟීම පරිකල්පනයක් මිස ඇත්තක් නොවන බවට තේරුම් ගැනීමට තරම් අප සමාජය දියුණු නොවීමය. එවැනි දියුණු පරිකල්පනයක් දක්වා විතැන් වීමට තරම් මානවාදී  නැතහොත් එය හොඳින් දන්නා අය පවා ඉතා නරුම ආකාරයට එය නඩත්තු කරමින් සිටීමය.

"ජාතිකවාදය දේශපාලන වශයෙන් කොතරම් බලවත් වූවත් එය දාර්ශනික වශයෙන් දරිද්‍රය. "අනෙක් වාද" මෙන් ජාතිකවාදය තමන්ගේම මහා චින්තකයන් හෝ න්‍යායවේදීන් බිහිකර නැත. ජාතිකවාදයට හොබ්ස් කෙනෙකු නැත. තොක්විල් කෙනෙකුද  නැත. මාක්ස් කෙනෙකු තියා වෙබර් කෙනෙකුවත් නැත."

(මහාචාර්ය බෙනඩික්ට් ඇන්ඩර්සන්,1983)

සියළු අන්තවාදයන් අවජාතකය!

ඒ අර්ථයෙන් ජාතිවාදයට ආගම්වාදයට අප්පොච්චිලා නැත. එහි කොඩිය අතට ගත් පාර්ශවයට හොඳට හෝ නරකට කාලයක් එහි හිමිකාරීත්වය දරන්නට පුළුවන. නැතිනම්  සිදුවන්නේ "ජාතිවාදය" "ආගම්වාදය" හයර් කිරීමය. ලංකා ඉතිහාසයේ පළමු මාරාන්තික සාර්ථක ගමන මේ හරහා ගියේ SWRD බණ්ඩාරනායකය. එසේම ඔහුගේ අවසන් ගමනද ඒ තුළම සිදුවිය. මේ හයර් එකෙහි  තාර්කික හැසිරීම වන්නේද සාර්ථක වූ තරමට සාපේක්ෂව මාරාන්තික බව වර්ධනය වීමය.

අනෙක් නිදර්ශනය මහින්ද රාජපක්ෂ ය. 2005 දී මහින්ද බලය ගත්තේ ජාතිවාදී කොඩිය අතට අරගෙනය. පසුව සිවිල් යුද්ධය අවසන් කිරීමේ මුක්තිය ගෙන හයර් කරන්නට උත්සාහ කළත් එය සාර්ථක වුයේ නැත. අවසානයේ ඔහුගේ 2015 පරාජයටද එක් ප්‍රධාන හේතුවක් බවට එම කොඩිය පත්විය. රාජපක්ෂවරුන් නැවත බලය  ඇල්ලීම සඳහාද මේ හයර් එක යාමට සුදානම් වන බවක් පෙනීයයි. 

හයර් යාමේ පහසුව 

ජාතිවාදයේ සහ ආගම්වාදයේ ඇති මුලික ගැටලුව වන්නේ ඊට අදාළ පාර්ශවයන්ට සංවාදයක් නොමැති වීමය.  එක් ජාතිවාදයක් හෝ ආගම්වාදයක් සිය අනෙකා සමඟ නිතර විවාදයක් හෝ සංග්‍රාමයක් ඇතිකර ගන්නේ ඒ නිසාය. ඒ තුළ ව්‍යාපාරික හිවලුන්ට මෙන්ම තක්කඩි දේශපාලකයින්ට හයර් යාම පහසු කර ඇත. ඔවුන් වෙතින් නඩත්තු වන ආගමික සංස්ථාව බෝකර්කම් කරමින් ඊට සහය සපයමින් ඇත.

එයින් යැපෙන්නන්ට  මිස හලාවත නොගොස් තෙල්දෙණියට දුවන තරුණ යක්කුන්ට ලැබෙන දෙයක් නැත. එහෙත් එවැනි තරුණයෙක් අමතා මෙය පැහැදිළි කිරීම පහසු නැත. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදියකු වීම ආඩම්බරයට කරුණක් ලෙස සළකන මුග්ධයාට මේ බව පැහැදිළි කිරීමට යාම නිකරුණේ කාලය කා දැමීමට වඩා වැඩි දෙයක් නොවේය.

කෙටි කාළීන විසඳුම 

මානව සමාජයට ජාතිකත්ව හෝ ආගමික පදනමින් මිලේච්ඡත්වය කැඳවීම අවසන් කර ඇත්තේම ඊට එරෙහිව රාජ්‍ය මර්දනයන් දියත් කිරීම හරහාය. නැතහොත් රාජ්‍ය මැදිහත්ව වාර්ගික හෝ ජාතිකත්ව- ආගමික හිංසනයට එරෙහිව කටයුතු කිරීම හරහාය. සමාජයන් වඩාත් ශික්ෂණය කිරීමට ඒ හැර වෙනත් විකල්පයක් නැත. සියල්ලටම වඩා පොදු මිනිස්කම, මනුෂ්‍යත්වයේ ඇති අතිවිශාල ඒකීය ලක්ෂණ, සමාන උරුමය, සමාන හිමිකම සහ සමාන ඉරණම ප්‍රතික්ෂේප කරන ඒ වෙනුවට සුළු විවිධත්වය කැඳවා සමාජය අවධානමේ හෙලන පිරිස් වෙත ඔවුන්ගේ භාෂාවෙන් මිස වෙනත් භාෂාවක් ගැලපෙන්නේ නැත. යක්කු මෙන්ම සත්තු සමඟ ඔවුන්ගේ භාෂාවෙන් කතා කල යුතුව ඇත. එනිසා මේ තත්ත්වය සමනය කරගන්න වන පළමු පියවර වන්නේ යක්කු අධිකරණය හමුවට පමුණවා හිරේ දැමීම මිස අන් යමක් නොවේය.

දිගු  කාලීන විසඳුම 

මෙවැනි ආගමික සහ ජාතිකත්ව පදනමින් ආන්තීකරණය වූ සමාජයන් යළි සංවිධානය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැත. එනම් එක් පසෙකින් ජාතිවාදී ආගම්වාදී සියළු ආකාරයේ අන්තවාදී හැසිරීමට එරෙහිව රාජ්‍ය කටයුතු කරන අතර අනෙක් පසින් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය සහ විධත්වය පිළිගත් මානව සමාජයක් අරඹයා සමාජය නැවත සංවිධානය කල යුතුව ඇත. නැතිනම් තිස් වසරක පළමු ඉනිම අතික්‍රමණය කළ දෙවැනි ඉනිමේ අවාසනාවන්තයින් බවට පත්වීමට කවුරුත් හිත හදාගත යුතුව ඇත.

සංජය ලියනගේ 