Language Switcher

V2025

මේ දේශපාලනයට 2020 මොන ජනාධිපතිවරණද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සිරිසේනගේ සූදානම

මෝඩයාගේ දිනය යැයි සැළකෙන අප්‍රේල් පළමු දින මෙවැන්නක් ලිවීම ඇතැම්විට විහිළුවක් විය හැකිමුත් මේ දිනය නොතකා ඇත්තටම අපේ රටේ මහ ධාරාවේ දේශපාලනය දැන් අන්ත බංකොලොත් යැයි කිව යුතුව ඇත. එහි ප‍්‍රධාන නායකයින් දෙදෙනෙකුටම ආත්ම විශ්වාසයක් සහ ජවයක් ඇති ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයකට බැසිය නොහැක. තෙවැන්නාට 19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් තෙවන වරට තරග කළ නොහැකිය. ජනාධිපති සිරිසේන 2015 ජනවාරියේ පැමිණියේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ පොරොන්දුව පිට ය. එහෙත් ඔහු දැන් දෙවන වරටත් විධායක ජනාධිපති ධූරය සඳහා තරග කරන්නට සූදානම්වන බව පැහැදිලිය. ඔහුට ජනාධිපතිවරණය දිනීමට නම් මහින්ද රාජපක්ෂගේ පූර්ණ සහාය ලැබිය යුතුය. එය මේ කපේ සිදුවන්නක් නොවන හෙයින්, 2020 ජනාධිපතිවරණයට මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරිපත්වීම අතිශය සුන්දර හීනයක් පමණකි.

රනිල්ගේ හෙයියම්මාරුව

ඔහුගේ ‘‘යහපාලන’’ ආණ්ඩුවේ හවුල්කරු වන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ඉන්නේද එවැනිම හෙයියම්මාරුවකය. ඔහු 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂට පරාජය වූ පසු, ජනාධිපතිවරණ 02 දීම පොදු අපේක්ෂකයින් පසුපස සැඟවුණි. පළමු පොදු අපේක්ෂකයා අසාර්ථක වැරදි තේරීමක් වූ අතර, දුර්වල පොදු අපේක්ෂකයෙකු සෙවූ වික‍්‍රමසිංහ එකඟවූ දෙවන පොදු අපේක්ෂකයා ජනාධිපතිවරණය දිනීමෙන් පසු දැන් වික‍්‍රමසිංහට අගමැති වශයෙන් බරපතල ප‍්‍රශ්නයකි. ඒ සියලූ අර්බූද ඇත්තේ ඔහුගේ එ.ජා.ප.ය ජනාධිපතිවරණයක් දිනීමට ඔහු ගැන විශ්වාසයක් නොතිබීමෙහිය. එය ඉදිරියටද වර්ධනය වන්නකි. එබැවින් ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත්විය හැකි මහ ධාරාවේ අපේක්ෂකයින් කිසිවකු නොමැති තරමට අපේ දේශපාලනය බංකොලොත්ව තිබෙන්නකි.

පාලන වාර ගණන් නොකර ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්ථාව ලැබේ නම්, ඉන් උපරිම ප‍්‍රයෝජනය ගනු ඇත්තේ මහින්ද රාජපක්ෂ ය. එනමුත් එවැන්නක් සඳහා අවශ්‍යවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට අගමැති වික‍්‍රමසිංහ පමණක් නොව, ජනාධිපති සිරිසේනද කිසි දිනෙක එකඟ නොවනු ඇත. එවගේම, මේ රටේ දැනුවත් ජනතාවද එවැන්නකට නැවත එකඟ නොවනු ඇත.

මහින්දගේ සහ ගෝඨාභයගේ වෙනස

කොළඹ මැද පංතික සිංහල බෞද්ධයින් දෙතුන් දෙනෙක් හමුදාවේ හිටපු ඉහළ නිලධාරීන් තුන් හතර දෙනෙකු සමග එකතුවී ගෝඨාභය රාජපක්ෂ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස කර තබාගෙන එන්නට අසාර්ථක උත්සාහයක් දැරුවේ ඒ හිඩැස පිරවීමට සිතා ගෙනය. ගෝඨාභයගේ වාසනවාට ඔහුට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා දෙන ප‍්‍රධාන ධාරාවේ පක්ෂ කිසිත් නැත. ඔහුගේ වාසනාවේ තරම, සිංහල බෞද්ධ ඡන්ද ගොනු වන්නේ ‘‘රාජපක්ෂ’’ නාමයට නොව, මහින්ද රාජපක්ෂ නම් ඉතා ජනපි‍්‍රය සිංහල බෞද්ධ චරිතය වටා ය. එබැවින් ගෝඨාභයට පවුලේ කැමැත්තවත් නැත. ඔහුගේ ප‍්‍රතිරූපය ගොඩ නැගීමට ‘‘වියත් මග’’ සහ ‘‘එළිය’’ නමින් ආරම්භ කළ ව්‍යාපෘති දෙකම ලත් තැනම ලොප් විය. අත්අඩංගුවට පත්වීමේ මරණීය බියකින් පෙළෙන ගෝඨාභය, බැසිල් හා නාමල් මෙන් නොව, අත්අඩංගුවට ගැනීම් වළකා ගැනීමට දිගින් දිගටම අධිකරණ පිහිට පතන්නේය. එබැවින් මහින්ද රාජපක්ෂ ඔහු සමග දේශපාලනයේ යෙදෙන්නට සූදානම් නැත. කෙතරම් චෝදනා තිබුණත් තවමත් මහින්ද තම ජනපි‍්‍රය දේශපාලනයේ සංවිධායක ලෙස තබා ගන්නේ බැසිල් රාජපක්ෂව ය. මහින්දගේ මැනීම නිවැරදි බැව් ඔප්පු කරමින් බැසිල්ු සිව් මසක් ඇතුළත පොහොට්ටුව පළාත් පාලන මැතිවරණයේදී පළමු ස්ථානයට ගෙනාවේ ගෝඨාභය රටේවත් නොසිටියදී ය. ගෝඨාභයගේ ඒ සියලූ නොහැකියාවන් හා දුර්වලකම් වලට අමතරව, ඔහු කර ගසා ඇති කටු මල්ල සමගින් ඔහුව සාමාන්‍ය ජනයා දකින්නේ බලය ඇතිවිට, විශ්වාස කළ නොහැකි භයානක සත්වයෙකු ලෙසය.

මහින්දාලය

ඉතා කෙටියෙන් කියන්නේ නම්, රාජපක්ෂවාදයක් නැති රාජපක්ෂ පෙනුමක්ද නැති මැතිවරණ භූමියේ ඇත්තේ ‘‘මහින්ද’’ ආලයකි. එය වෙනත් ‘‘රාජපක්ෂ’’ කෙනෙකුට ආරූඨ කළ නොහැක. එබැවින් කොළඹ මැද පංතිකයින් අතලොස්සකගේ සිල්ලර කතා කවරක් වූවත් සිංහල බෞද්ධ බහුතරයට බලය ගැනීමට ඇත්තේ මහින්ද රාජපක්ෂ පමණි. ඒ වෙනුවෙන් මහින්ද රාජපක්ෂට 2020 ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය වන්නේය. ඔහුට තේරීම් දෙකක් ඇත. එකක් වනුයේ පාර්ලිමේන්තුවේ තුනේ දෙකේ බහුතර ඡුන්දයකින් පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා යෝජනාවක් සම්මත කිරීමය. එය දැනට, අබ්බාගාත වූ සිහිනයකි. ඒකාබද්ධ විපක්ෂය තවමත් අගමැතිට විරුද්ධව අප්‍රේල් 04 වන දින ඉදිරිපත් කෙරෙන විශ්වාස භංග යෝජනාව සඳහා අවශ්‍ය වැඩි ඡන්දයවත් සහතික කර ගෙන නැත. එය තවමත් ගණන් හැදීමක් පමණි. හැමවිටම ඉතා පහසු කෙටි මාර්ග වාගේම සැකයකින් තොරව තම ඉලක්කයට යා හැකි මාවතක් තෝරා ගැනීමට කල් මැරීම පුරුද්දක් කරගෙන ඉන්නා මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කිරීම වෙනුවෙන් තුනෙන් දෙකක මන්තී‍්‍ර සංඛ්‍යාවක් හැදීමට මහන්සි නොගන්නා බැව් විශ්වාස භංග යෝජනාවට උර දෙන ආකාරයෙන් පැහැදිලි වන්නකි.

එජාපයේ උපසම්පදා ප්‍රශ්නය

මහින්ද රාජපක්ෂගේ දේශපාලනය මට කියැවෙන අයුරු ඇත්තේ දෙවන තේරීම සමගය. එය අගමැති වික‍්‍රමසිංහ ඔහුගේ ආරක්ෂාවට ගැසූ ව්‍යවස්ථාමය ගැටයක් ඔහුම ලිහන තෙක් කල් මැරීමේ තේරීමය. යහපාලන ඒකාබද්ධ ආණ්ඩුව ගැට ගසා තැබීමට සම්මත කරගත් 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුල පාර්ලිමේන්තුව අවුරුදු 04 කුත් මාස 06 ක් යන තෙක් විසුරුවා හැරීමට නොහැකිවන සේ වාක්‍යයක් ලියා ගෙන ඇත. ඒ අනුව ඊළග මහ මැතිවරණය පැවත්වෙන්නේ 2020 ජනවාරියේ පැවැත්විය යුතු ජනාධිපතිවරණයෙන් දෙමසකට පසුවය. එය අගමැති වික‍්‍රමසිංහට කලින් නොසිතූ බරපතල ගැටළුවක් මතුකර ඇත.

එ.ජා.පට නැවත වරක් පොදු අපේක්ෂකයෙකු සමග ජනාධිපතිවරණයට යා නොහැක. එනමුත් පක්ෂයක් ලෙස එ.ජා.පය වික‍්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා ලෙස තබාගෙන තරගයට යන්නට සූදානම්ද නැත. ඔහු සමග ජනාධිපතිවරණයක් දිනීමේ කිසිදු විශ්වාසයක් පක්ෂයට නැත. ජනාධිපති තරගයකට හයියක් ඇති එකම එ.ජා.ප අපේක්ෂකයා විය හැක්කේ මංගල සමරවීරය. එහෙත් එ.ජා.ප නායකත්වය විසින් ඔහුව එ.ජා.ප නායකයෙකු ලෙස පිළිගැනීම සඳහා උපසම්පදා කර නැත. එනිසා වික‍්‍රමසිංහට මෙන්ම එ.ජා.පට වඩා වාසිදායක මැතිවරණයක් වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකි. ඒ වෙනුවෙන් වික‍්‍රමසිංහ අගමැතිට ඔහු ගැසූ ව්‍යවස්ථාමය ගැටය දැන් ලිහන්නට සිදුවන්නේය. එය ලිහා දැමිය හැක්කේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ සංශෝධනයක් මගින්ය. එමගින් ඉන්දියානු පන්නයේ ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුවෙන් පත්කර ගැනීමට සංශෝධනය ලියා ගැනීමෙන් මහින්ද රාජපක්ෂගේ සහාය මත පමණක් වික‍්‍රමසිංහට එය තුනෙන් දෙකේ ඡන්දයකින් සම්මත කරගත හැකිය.

මහින්දගේ උප්පරවැට්ටිය

එවැන්නක් මහින්ද රාජපක්ෂටද කදිමට ගැලපෙන්නකි. තෙවන වරට ජනාධිපතිවරයෙකු වන්නට නොහැකි ඔහුට වැඩි මහන්සියක් නැතිව පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා ගැනීම අතිශය වාසිදායක වූවකි. එබැවින් ඔහු අගමැතිට එරෙහි විශ්වාස භංගයට තම රූපය මිස අත්සන එකතු කර නැත. ඒ ජනාධිපති සිරිසේන වඩ වඩා අසීරුවට පත් කිරීම වෙනුවෙන් මිස අගමැති පැරදවීමට නොවේ. මහින්ද රාජපක්ෂ විශ්වාස භංගය සියතට නොගන්නේද එබැවින්ය. රාජපක්ෂගේ මේ උප්පරවැට්ටිය විසින් ජනාධිපති සිරිසේන වඩ වඩාත් අගමැති විරෝධියකු ලෙස ආණ්ඩුවෙහි දැන් හැසිරෙන්නේ ඔහුගේ එ.ජා.ප විරෝධී ශී‍්‍ර.ල.නි.ප බලය ඉස්මතුකර ගැනීමටය. ඔහු හදිස්සියේම අගමැති යටතේ තිබූ මහ බැංකුව ඇතුලූ විෂයන් ඉවත්කර මුදල් ඇමතිට බාර දෙන්නේද ශී‍්‍ර.ල.නි.ප නිල් පාට තවරා ගැනීමටය. එය එනමුත් වැඩ කරන්නේ මහින්දගේ වාසියට ය. ඉන් අවසානයේ සිදුවන්නේ මහින්දගේ මන්තී‍්‍ර 53 ගේ ඒකාබද්ධයේ සංඛ්‍යාව වැඩිවීම පමණි.

රනිල් - මහින්ද එකම පිටුවක

අගමැති වික‍්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ එබැවින් ඉන්නේ එකම පිටුවක ය. දෙදෙනාම ගණන් හදන්නේ පාර්ලිමේන්තු බලය දිනා ගැනීමටය. ආර්ථිකයේ විජ්ජා පෙන්වමින් සුළුතර ජනතාවගේද සහාය මත සිරිසේන-මහින්ද බෙදීම සමගින් තමන්ට ආණ්ඩුවක් හදන්නට හැකි යැයි අගමැති වික‍්‍රමසිංහ කල්පනා කරන්නේය. බහුතර සිංහල බෞද්ධ බලය දැන් ශී‍්‍ර.ල.නි.පයෙන් ගලවා තමන්ගේ අලූත් පක්ෂයට ගාල් කරගෙන ඇතැයි මහින්ද රාජපක්ෂද ආණ්ඩු බලයකට සුදානම් වන්නෙකි. මේ සූත‍්‍රය සඳහා එනමුත් ජනමත විචාරණයක්ද ඇත. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ජනමත විචාරණයකින් සහතික විය යුතු හෙයින්ය. එය මේ රටේ ජනතාවගෙන් අලූතින් ඉල්ලා සිටිය යුතු වරමක් නොවන හෙයින් වික‍්‍රමසිංහද මහින්ද රාජපක්ෂද ඒ මාවතට වඩා කැමති වීමත් ස්වභාවිකය.

ඊළඟ සටනට නියමිත දෙන්නා මෙන්න

මෙහි විශේෂත්වය වන්නේ ජනතාව කාලාන්තරයක් තිස්සේ ඉල්ලමින් තිබූ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඔස්සේ නැවත වික‍්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ දෙදෙන ආණ්ඩු බලයට තරග වැදීමේ ඉඩකඩ මෝදු වීමය. දෙවන වරටත් ජනාධිපතිවීමේ සිරිසේන ජනාධිපතිගේ හීනය 2015 ඔහු විසින්ම දුන් ජනාධිපතිවරණ පොරොන්දුව අනෙකුන් ඉටු කිරීම හේතුවෙන් ඔහුට අහිමි වීමේ අවාසනාවය. මේ අලූත් දේශපාලන වටපිටාව සකසා ගැනීමට මේ දෙදෙනට තවත් වසරක පමණ කාලයක් ඉදිරියට තිබීමත් වෙනත් සූත‍්‍ර වෙනුවෙන්ද කාලය ලබා දෙන්නක් විය හැක. එබැවින් මේ වසර ගෙවී යනු ඇත්තේ ජනාධිපතිවරණයකට අපේක්ෂකයින් හැදීමට වඩා මහ මැතිවරණයකට බිම තලා ගැනීම වෙනුවෙනි.

කුසල් පෙරේරා

ඉරිදා ලක්බිම
2018 අපේ‍්‍රල් 01 වන දින