Language Switcher

V2025

සමාප්ත කාලයන් සහ 'ඉරණමේ මිනිසුන්' ඉදිරියේ වමේ අභියෝග

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active

කොමියුනිස්ට් ප්‍රකාශනය ආරම්භ වන්නේ ''අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි'' යනුවෙන් පවසමිනි. මාක්ස් සහ එංගල්ස් අදහස් කළ අවතාරය කොමියුනිස්ට්වාදයයි. නමුත් ඉන් වසර 170කට පසුව අද වන විට යුරෝපයේ නවතම අවතාරයක් හොල්මන් කරමින් සිටී. ඒ ජනප්‍රියවාදයයි (populism). මේ අවතාරය පසුගිය දශක කිහිපය පුරා ලතින් අමෙරිකාවේ සැරිසැරීය. එය දැන් ආසියාකරයේද සැරිසරන්නට පටන්ගෙන තිබේ. මේ අප කතා කරමින් සිටින්නේ ලංකාවේද දක්ෂිණාංශික ජනප්‍රියවාදයේ ප්‍රමුඛතම ප්‍රකාශණයක් ලෙස රාජපක්ෂ හෙජමොනිය දෙවන වටයකින්, සහ එනයින් වඩා ප්‍රබලව, රට තුළ තහවුරු වන්නට ආසන්න කාල වකවානුවක් තුළය. ඉදිරියේදී අපට වැඩ කරන්නට සිදුවන රාජපක්ෂ හෙජමොනිය තුළ වමේ දේශපාලනයේ උපායික ප්‍රවේශයන් පිළිබඳව සාකච්ජා කිරීමට අප තවදුරටත් ප්‍රමාද විය යුතු නැත.

මෙහිදී මෑතකදී පැවති සම්මුඛ සාකච්ජාවකදී ෆ්‍රෙඩ්රික් ජෙම්සන්ගෙන් විමසන ලද ප්‍රශ්නයක් ඔබට සිහිපත් කරන්නට මම කැමතිය. එම ප්‍රශ්නය නම් ''1970 දශකයේ මුල් භාගයේ ධනවාදයේ අර්බුදය පැමිණෙන විට එයට ප්‍රතිචාර දක්වන්නට හයෙක්, ෆ්‍රීඩ්මාන් යනාදී දක්ෂිණාංශික බුද්ධිමතුන්ගේ නායකත්වයෙන් නව-ලිබරල් ධර්මය සූදානමින් සිටියද, 2008 මූල්‍ය අර්බුදයට ප්‍රතිචාර දක්වන්නට වම සූදානමින් නොසිටියේ මන්ද'' යන්නයි. ජාතික සංධර්භයක් තුළ දැන් අප ඉදිරියේ ඇති ප්‍රශ්නයද එවැන්නකි. දක්ෂිණාංශික ජනප්‍රියවාදයේ අභියෝගය පිළිබඳව වාම ප්‍රවේශයකින් සංවාදයක් ඇති කිරීම මගේ දේශනයේ දේශපාලනික එල්ලයයි.

බටහිර ලෝකයේ දක්ෂිණාංශික ජනප්‍රියවාදය

හොඳයි. කුමක්ද මේ 'අවතාරය'? අපි ආසන්නම නිදසුනකින් ආරම්භ කරමු. 2017 මැයි මසදී ප්‍රංශ දේශපාලනයේ අනපේක්ෂිත සිදුවීමක් සිදුවිය. ප්‍රංශයේ ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙකම ජනාධිපතිවරණයේ අවසන් වටයට නොතේරිණ. සමාජවාදී අපේක්ෂකයාට ලැබුණේ සියයට 10%ටත් අඩු ජන්ද ප්‍රතිශතයකි. ප්‍රංශයේ වාම-ලිබරල් සිවිල් සමාජය සන්ත්‍රාසයට පත් කළ සිද්ධිය වූයේ අන්ත-දක්ෂිණාංශික ජනප්‍රියවාදී අපේක්ෂිකාව -ෂොන් මරීන් ල පෙන්- අවසන් වටයට පැමිණීමයි. ඇය 2012දී ලබාගත් ජන්ද ප්‍රතිශතයට (17%) වඩා ආසන්න වශයෙන් දෙගුණයක් ලබාගන්නට මෙවර සමත් විය. ඇයගේ 'ජාතික පෙරමුණ' පක්ෂය පදනම් වූයේ සංක්‍රමණ විරෝධය, යුරෝ-කලාපයෙන් ඉවත් වීම, යුරෝපීයකරණ විරෝධය සහ යම් ආකාරයක ගෝලීයකරණ-විරෝධයක් මතය. දේශපාලන විමතිය තීව්‍ර කළ දෙවන සංසිද්ධිය වූයේ ප්‍රධාන ධාරාවේ පක්ෂවලට පිටතින් පැමිණි අපේක්ෂකයෙකු වූ ඉමානුවෙල් මැක්‍රෝන් ජනපතිවරණය ජය ගැනීමයි. ඔහු පැමිණියේ වාම-දක්ෂිණ බෙදුම්කඩණය ප්‍රශ්න කරමිනි. ඔහු යුරෝපීයකරණයට පක්ෂ සහ ගෝලීයකරණයට පක්ෂ අපේක්ෂකයෙකු ලෙස හඳුනා ගැනිණ. නමුත්, ඔහුගේ උදෘතයද ''ක්‍රම විරෝධයයි.'' නිශ්චිතව අර්ථකථනය නොවූ ක්‍රම-විරෝධය පිලිබඳ වියුක්ත සහ නොපැහැදිලි සටන් පාඨය ලොව පුරා ජනප්‍රියවාදයේ පොදු උරුමයකි. (මෑතකදී ලංකාවේ පැවති ටෙලි සම්මාන උළෙලකදීද ටෙලි නාට්‍යයක් තුළ රැඩිකල්වාදියෙකු වීමේ අනුහසින් එක්තරා ජනප්‍රිය නළුවෙකු පැවසුවේ ''සිස්ටම් එක අප්සෙට්'' කියාය!)

මගේ දෙවන නිදසුන ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප් ඉතාලියේ සිල්වියෝ බර්ලුස්කෝනිගේ එක්සත් ජනපද සාම්‍යය ලෙස සැලකිය හැකිය. ඒ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අශ්ශීල අතිරික්තය මූර්තිමත් කිරීම යන අරුතිනි. ද්වි-පක්ෂ ක්‍රමය තදින්ම මුල් බැසගෙන ඇති එක්සත් ජනපදයේ ජනප්‍රියවාදය මතු වූයේ පවත්නා සංස්ථාපිත පක්ෂ ව්‍යුහයන් තුළින්මය. එසේම අපේක්ෂකයා කේන්ද්‍ර කොටගත් එක්සත් ජනපද මැතිවරණ ක්‍රමය තුළ ජනප්‍රියවාදයේ නැගීමකට අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය වීමේ ඉඩ කඩක් තිබේ. ට්‍රම්ප් 2016දී ලැබූ ජයග්‍රහණය විශ්ලේෂණය කරන එක්සත් ජනපද ලිබරල් පර්යේෂණ කණ්ඩායම් පෙන්වා දෙන්නේ ඔහුගේ ජන්දදායක පදනම අසාමාන්‍ය ලෙස විෂමජාතීය බවය. නිදසුනක් ලෙස 'Voter Study Group' පෙන්වාදෙන පරිදි ඒ අතර ඇමෙරිකා සුරක්ෂාවාදීන්, ගතානුගතික කොන්සර්වේටිව්වාදීන්, ප්‍රභූ-විරෝධීන්, නිදහස් වෙළඳපලවාදීන් සහ සුළුතරයක් නිශ්චිතව නිර්වචනය කළ නොහැකි පිරිස් වූහ. ට්‍රම්ප්ද සංකේතාත්මකව පෙනී සිටියේ ක්‍රම-විරෝධය සහ සංස්ථාපිතයට දක්වන විරෝධය මතය. (ජෙහාන් මෙන්ම ට්‍රම්ප්ද කීවේ ''සිස්ටම් එක අප්සෙට්'' කියාය!) මීට ප්‍රතිපක්ෂව, හිලරි ක්ලින්ටන් සේම බැරක් ඔබාමාද හඳුනාගනු ලැබූයේ සංස්ථාපිතයේ (වොෂින්ටන් දේශපාලන ප්‍රභූත්වයේ) නියෝජිතයන් ලෙසය. ට්‍රම්ප් ඇමෙරිකාව යළිත් ශේෂ්ඨත්වයට පත් කළ යුතු ("make America great again") යැයි කියන විට ඔබාමා කීවේ "ඇමෙරිකාව දැනටමත් ශ්‍රේෂ්ඨයි" කියාය. මීට ප්‍රතිචාරයක් ලෙස ශීෂෙක් උපහාසාත්මකව අසන්නේ "ට්‍රම්ප් වැන්නෙකු ජනාධිපතිවරණයක් ජය ගත හැකි රටක් ශ්‍රේෂ්ඨ වන්නේ කෙසේදැ"යි කියාය!

මීට අමතරව යුරෝපය තුළ පසුගිය දශක දෙක තුළ තවත් දක්ෂිණාංශික ජනප්‍රියවාදී පක්ෂ හා ව්‍යාපාර රැසක් හිස ඔසොවමින් තිබේ. ඒ අතුරින් කිහිපයක් කෙටියෙන් සඳහන් කරන්නට මට ඉඩ දෙන්න.

ජර්මනියේ 2013දී ආරම්භ වූ 'ජර්මනියට විකල්පයක්' (Alternative for Germany) පක්ෂය 2016දී 25%ක ජන්ද ප්‍රතිශතයක් දිනා ගන්නට සමත් විය.

නෙදර්ලන්තයේ 'නිදහස සඳහා වූ පක්ෂය' (Party for Freedom) පාර්ලිමේන්තු ආසන 15කට හිමිකම් කියයි. එය දැඩි මුස්ලිම් විරෝධී වර්ගෝත්තමවාදී පක්ෂයකි.

ස්වීඩනයේ 'ස්වීඩන් ප්‍රජාතන්ත්‍රවාදීන්' පක්ෂය, එහි නමින් කුමක් කියැවුනද, සුදු වර්ගෝත්තමවාදී පක්ෂයකි. එය මෑතකදී ස්වීඩන් පාර්ලිමේන්තුවේ ආසන 349න් 49ක් දිනා ගන්නට සමත් විය.

පෝලන්තයේ 'නීතිය හා යුක්තිය පක්ෂය' (Party of Law and Justice) වේගයෙන් තම බලය වර්ධනය කර ගනිමින් සිටී.

ඔස්ට්‍රියාවේ 'නිදහස් පක්ෂය' (Freedom Party) 2016 මැතිවරණයේදී 35%ක් ජන්ද දිනා ගත්තේය.

හංගේරියාවේ 'යොබ්බික් පක්ෂය' (Jobbik Party) 2014දී 20%ක් ජන්ද දිනා ගන්නට සමත් විය.

ස්ලෝවැකියාවේ 'අපේ ස්ලෝවැකියාව' නොහොත් ජනතාවගේ පක්ෂය (People's Party) සතු ජන්ද ප්‍රතිශතය 8කි.

යුරෝපීය ලිබරල් පර්යේෂණ කණ්ඩායම්වල දත්ත දෙස බලන විට මෙම ප්‍රවණතාව කොතරම් බිහිසුණුදැයි වටහා ගැනීම අපහසු නොවේ. නිදසුනක් ලෙස 'ගෝලීය වෙනසක් සඳහා වන ටෝනි බ්ලෙයාර් ආයතනය' (Tony Blair Institute for Global Change) පවසන පරිදි වසර 2000 සිට 2017 දක්වා කාලය තුළ යුරෝපීය රටවල් 39ක ජනප්‍රියවාදී පක්ෂ 102ක් හඳුනාගෙන ඇත. ඉන් 74ක්ම දක්ෂිණාංශික ජනප්‍රියවාදයන්ය. සමස්තයක් ලෙස යුරෝපීය ජනප්‍රියවාදී පක්ෂවල ජන්ද ප්‍රමාණය පසුගිය දශක දෙක තුළදී තෙගුණයකින් වර්ධනය වී තිබේ. අන්ත-දක්ෂිණාංශික ජනප්‍රියවාදයන්ගේ නැගීම හමුවේ මාධ්‍යමික ලිබරල් පක්ෂද විශේෂයෙන්ම සංක්‍රමණ ගැටළුවේදී වඩාත් අන්තවාදී ස්ථාවරයන්ට විතැන් වෙමින් තිබේ. අනෙක් කැපී පෙනෙන ප්‍රවණතාව නම් ඩෙන්මාකය, ස්වීඩනය වැනි පැරණි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල දක්ෂිණාංශික ජනප්‍රියවාදී පක්ෂවල වේගවත් වර්ධනයයි

. ලතින් ඇමෙරිකාවේ සහ ආසියාවේ ජනප්‍රියවාදී ප්‍රවණතා

මීළඟට මතුවන ගැටළුව නම් සමකාලීන ජනප්‍රියවාදී රැල්ල යුරෝපයට සහ උතුරු ඇමෙරිකාවට පමණක් සීමා වූවක්ද යන්නයි. ජනප්‍රියවාදයේ අවතාරය සැරිසරන්නේ යුරෝපයේ පමණක්ද? මගේ පිළිතුර 'නැත' යන්නයි.
ලතින් ඇමෙරිකාවේ 'මධ්‍ය-වාමාංශික' යැයි කිව හැකි ජනප්‍රියවාදය ඇරඹුණේ ඊට පෙරය. බොලීවියාවේ ඊවෝ මොරාලෙස්, වෙනිසුවෙලාවේ හියුගෝ චාවේස්, බ්‍රසීලයේ ලූලා ද සිල්වා, ආජන්ටිනාවේ නෙස්ටර් කර්ච්නර් යනාදීන් ගැන ඔබ දනී. ඔවුන් ''සංස්ථාපිතයට එරෙහිව ජනතාව'' යන සටන් පාඨය මත බලයට පත් වූ සහ උතුරු ඇමෙරිකාවේ ආධිපත්‍යයටත් ගෝලීය මූල්‍ය ආයතනවල බලපෑම්වලටත් යම් දුරකට අභියෝග කළ ජනප්‍රියවාදී නායකයින්ය. කෙසේ වුවත්, මේ ජනප්‍රියවාදයට ලතින් ඇමෙරිකානු දේශපාලන ඉතිහාසය සහ මහාද්වීපික නිදහස් අරගල සම්ප්‍රදායන් තුළින් ගලා එන සුවිශේෂී උරුමයක් ඇති බව මෙහිදී අමතක නොකළ යුතුය. සයිමන් බොලිවාර් සහ යොසේ මාටින්ගේ අසහාය නායකත්වයන් යටතේ දියත් කළ ජාතික විමුක්ති අරගලයන්ගේ මතකය යළි අවදි කරන්නට පසුගිය සියවසේ මැද භාගයේදී රැඩිකල් වාමාංශය සමත් වූයේ යම් සේද, සියවසේ අග භාගයේදී මධ්‍ය-වාමාංශික ජනප්‍රියවාදය එසේ කරන්නට සමත් විය. චාවේස් තම ව්‍යාපෘතිය නම් කළේම 'බොලිවේරියානු විප්ලවය' ලෙසයි.

මම දැන් අපට සමීප ආසියාව දෙසට ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි.

ජපානයේ 2012දී බලයට පත් වත්මන් අගමැති ෂින්සො අබේ යම් ආකාරයක ජනප්‍රියවාදී දේශපාලනයක යෙදෙන්නේ යැයි කිව හැකි ආසියාතික නායකයෙකි. ඔහු බලයට ආවේ ආර්ථිකමය අසංතෘප්තියට හා දූෂණයට එරෙහි ජනතා විරෝධය පවුරක් කොට ගනිමිනි. ඔහුගේ ආර්ථික ප්‍රවේශය ඇතැමුන් හඳුන්වන්නේ 'Abenomics' යන යෙදුමින්ය. වොෂින්ටන්-ටෝකියෝ උපාය මාර්ගික අක්ෂය ශක්තිමත් කිරීම පිලිබඳ ට්‍රම්ප්ගේ යෝජනාවට ඔහු සාධනීය ලෙස ප්‍රතිචාර දක්වමින් සිටින්නේ ජපානයේ මිලිටරි බලය ගොඩ නැගීමේ භයානක ප්‍රයත්නයක්ද සමගය.

පිලිපීනයේ 2016දී බලයට පත් ජනාධිපති රොද්‍රිගෝ ඩුටාටේ අනුයන්නේ ට්‍රම්ප් ආදර්ශයට වඩා තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාගේ ජනප්‍රියවාදයේ ආදර්ශය බව කිව හැකිය. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ප්‍රකාශයට පත් කොට තිබෙන යුද්ධය එයට නිදසුනකි. කලක පටන් ස්වාධීනතා අරගල දියත් වූ මින්දනාවෝ දූපත ඔහු යටතේ දැන් පාලනය කෙරෙන්නේ යුද නීතිය මගිනි.

ඉන්දුනීසියාවේ හිටපු ලුතිනන් ජනරාල් ප්‍රබෝවෝ සුබියන්තෝ 2019 දී බලයට පත් වීමේ විභවතාවක් තිබෙන දක්ෂිණාංශික ජනප්‍රියවාදී නායකයෙකි. ඔහු චීන-ඉන්දුනීසියානුවන් අනෙකා කර ගත් ජනවාර්ගික ජාතිකවාදයක් පෝෂණය කරමින් සිටියි.

මියන්මාරයේ තත්ත්වයද මීට සමානය. අවුං සාං සූකීගේ සිවිල් ආණ්ඩුව පෙරළා දමා බලයට පත් වන්නට අර අදින මිලිටරි කොටස් අන්ත ආගමික ජාතිකවාදීන්ගේ සහාය ලබමින් සිටී. මෑතකදී රෝහින්ග්‍යා සුළුතරයට එරෙහිව එල්ල වූ ප්‍රහාරයට බහුතර වර්ගවාදීන්ගේ ආශීර්වාදය හිමිවෙමින් ඇත.

චීනයේ කොමියුනිස්ට් පක්ෂ පාලනය තුළින්ම ඒකාධිපති ලක්ෂණ සහිත ජාතිකවාදී ජනප්‍රියවාදයක් ගොඩ නගන්නට අගමැති ෂී ජින්පින් කටයුතු කරමින් සිටින බව පෙනේ. ඔහු තම ධූර කාලය සම්බන්ධයෙන් පැවති ව්‍යවස්ථාමය සීමාවන් මෑතකදී ඉවත් කර ගත්තේය.

අපට වඩාත් ආසන්න නිදසුන ඉන්දියාවයි. අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ජනප්‍රියවාදය අතීත භාරතීය උරුමය වෙත කරන රොමාන්තික ආයාචනයක සහ ආර්ථිකමය නවීකරණය පිලිබඳ අදහසක සංකලනයකි. සංස්කෘතිකමය ගතානුගතිකත්වය සමග අතිනත ගත් ආර්ථික ජීවිතයේ නවීකරණය පිලිබඳ අදහස නේරුවියානු සම්ප්‍රදාය තුළින් ගලා එන්නකි. ලංකාවේ රාජපක්ෂ-ජනප්‍රියවාදය ඇතැම් ලක්ෂණවලින් මෝඩි ආදර්ශය අනුයන බවක් නිරීක්ෂණය කළ හැකිය. (අපි එතැනට පසුව එමු).

වාමාංශික ජනප්‍රියවාදය

අප මෙතෙක් සාකච්ජා කළේ බොහෝ දුරට දක්ෂිණාංශික ජනප්‍රියවාදය ගැනයි. ලොව පුරා දක්ෂිණාංශික ජනප්‍රියවාදී ප්‍රවණතා විසින් දේශපාලන අවකාශය අත්පත් කර ගනිමින් සිටින තත්ත්වයක් තුළ වාමාංශයට කළ හැක්කේ කුමක්ද? අප දේශපාලන ක්ෂේත්‍රය මුළුමනින්ම ආධිපත්‍යයට ගන්නට ඔවුනට ඉඩ දී බලා සිටිය යුතුද? පොදු ජනයා සංවිධානය කර ගැනීමට අසමත් ඉපැරණි සූත්‍ර ඒකාකාරී ලෙස මතුරමින් අප මේ නව දේශපාලන මොහොත අත් හැර දැමිය යුතුද?

සැබවින්ම වාම-ජනප්‍රියවාදයක් පිලිබඳ න්‍යායික සාකච්ජාව ආරම්භ වූයේ වත්මන් දක්ෂිණාංශික ජනප්‍රියවාදී රැල්ල ගොඩ නැගීමට වසර ගණනාවකට පෙරයි. අර්නෙස්ටෝ ලැක්ලාවූ එය කතා කළේ ඔහුගේ ප්‍රථම කෘතිය වූ 'මාක්ස්වාදී න්‍යායේ දේශපාලනය සහ දෘෂ්ටිවාදය' (Politics and Ideology in Marxist Theory -1977) කෘතිය තුළදීය. ඔහුට ඔහුගේ මව් රට වූ ආජන්ටිනාවේ පෙරොන්වාදය පිලිබඳ අත්දැකීමද ඒ සඳහා බලපෑ බවට සැකයක් නොමැත. ලැක්ලාවූ තම ජීවිතයේ අවසන් වසරවලදී ජනප්‍රියවාදය පිලිබඳ තේමාවට නැවත පැමිණියේය. 2005 දී ඔහු ලියූ 'ජනප්‍රියවාදයේ තර්කණය ගැන' (On Populist Reason) කෘතියේදී වාමාංශික ජනප්‍රියවාදයක න්‍යාය හා උපාය මාර්ග සූත්‍රගත කරන්නට ලැක්ලාවූ ප්‍රයත්න දැරීය. 'ජනතාව' නමැති 'හිස් හැඟවුම්කාරකය' නොහොත් මධ්‍ය-ලක්ෂ්‍යය වටා බහු විධ ඉල්ලීම් ඒකරාශී කොට සමාජය පුනර්-දේශපාලනීකරණයට ලක් කිරීමක් ඔහු යෝජනා කළේය. ලැක්ලාවූගේ සහ ෂන්තාල් මූෆ්ගේ න්‍යායික ආභාෂය වත්මන් යුරෝපීය වාමාංශික ජනප්‍රියවාදයට මෙන්ම ඇතැම් ලතින් ඇමෙරිකානු ජනප්‍රියවාදී ව්‍යාපාරවලට නිසැකවම ලැබී තිබේ. ග්‍රීසියේ දැන් බලයේ සිටින වාමාංශික ජනප්‍රියවාදී සිරිසා පක්ෂය මේ සඳහා ප්‍රධාන නිදසුනකි. සිරිසා ආණ්ඩුවට පසුකාලීනව යුරෝපීය මධ්‍යම බැංකුව සහ යුරෝපීය සංගමය ඉදිරියේ තම ස්ථාවරයන් සම්මුතිගත කරන්නට සිදු වූ බව සැබෑය. නමුත්, සිරිසා ආණ්ඩුවේ හිටපු මුදල් අමාත්‍ය යානීස් වරෆකිස් එයින් ඉවත් වී දැන් පොදු යුරෝපීය වාමාංශික ව්‍යාපාරයක් ගොඩ නැගීමේ ව්‍යාපෘතියක් අරඹා තිබේ. ඒ 'විකල්ප යුරෝපයක්' පිලිබඳ තේමාව යටතේය. වරෆකිස් පැහැදිලිවම ලැක්ලාවියානු න්‍යායේ ආභාෂය ලබා ඇත.

අනෙක් නිදසුන ස්පාඤ්ඤය තුළ ආණ්ඩු බලය අත්පත් කර ගැනීමට යම් විභවයක් තිබෙන පොඩෙමොස් පක්ෂයයි. එහි නායක පැබ්ලෝ ඉග්ලෙයසිස් ලැක්ලාවියානු ජනප්‍රියවාදී උපාය මාර්ගික චින්තාව අනුයන්නෙකි. පොඩෙමොස් ''(පාලක) කුලයට එරෙහිව ජනතාව'' යන පසමිතුරුතා අක්ෂය ගොඩ නගමින් සිටී. ඔවුනට අනුව 'පාලක කුලය' සමන්විත වන්නේ ජන්දයෙන් පත් නොවූ නිලධාරී තන්ත්‍රය, ජර්මානු ආණ්ඩුව සහ යුරෝපීය මධ්‍යම බැංකුව යන 'ට්‍රොයිකා'වෙනි. එම ට්‍රොයිකාව ජනතා සහ ජාතික ස්වාධිපත්‍යය කොල්ල කා තිබේ. ඉග්ලෙයසිස් තමන්ව හඳුන්වා ගන්නේ දේශප්‍රේමියෙකු ලෙසයි.

ඉතාලියේ 'Five Stars' ව්‍යාපාරය ඇතැම් ප්‍රශ්න අරභයා යම් වාම නැඹුරුවක් ඇති ජනප්‍රියවාදී ව්‍යාපාරයකි. නමුත් එහි ඇතැම් ප්‍රතිපත්තිමය ප්‍රවේශයන්හි දක්ෂිණාංශික අඩංගුවක් තිබෙන බව පිළිගන්නට සිදුවේ.

ප්‍රංශයේ ෂෝන් මෙලෙෂොo තරුණ පරපුර අතර විශාල ජනප්‍රියත්වයක් සහිත වාමාංශික ජනප්‍රියවාදී නායකයෙකි. ඔහුද ෂන්තාල් මූෆ්ගේ දේශපාලන දර්ශනයේ ආභාෂය ලබා ඇත.

තරුණ පරපුර වාමාංශික ජනප්‍රියවාදය වෙතට ආකර්ෂණය වීම ප්‍රංශයට, ග්‍රීසියට සහ ස්පාඤ්ඤයට සීමා වූ තත්ත්වයක් නොවේ. එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය තුළ තරුණ තරුණියන් ආකර්ෂණය වෙමින් සිටින්නේ අධිපති දේශපාලන කතිකාව තුළ ගතානුගතික යැයි සැලකෙන පැරණි පරපුරේ වාමාංශික නායකයන් වෙතය. සැබවින්ම ජනප්‍රියවාදී දේශපාලන තලය තුළ ට්‍රම්ප්ගේ සැබෑ ප්‍රතිපාක්ෂිකයා වූයේ බර්නි සැන්ඩර්ස්ය. ඔහු ලැබූ තරුණ ජන්ද ක්ලින්ටන් සහ ට්‍රම්ප් ලැබූ තරුණ ජන්දවල එකතුවටත් වඩා වැඩිය. ජෙරමි කෝබින් කම්කරු පක්ෂයේ නායකත්වයට ගෙන ඒමේ බලවේගය වූයේ පක්ෂයට අළුතින් බැඳුනු තරුණ ජනතාවයි. මේ අනුව වත්මනෙහි උතුරු අමෙරිකාව තුළත් යුරෝපය තුළත් තරුණ පරපුර මාක්ස්වාදී වාමාංශික නායකත්වයන් වෙත ආකර්ෂණය වීම පොදු ප්‍රවණතාවක් බවට පත්වී තිබේ. නමුත්, එම වාමාංශික දේශපාලනයේ නව නැග්ම ජනප්‍රියවාදී ආකෘතියක් තුළය, සිදුවෙමින් පවත්නේ.

සංකල්පීය ගැටළු සමහරක්

ඉහත මා ඉදිරිපත් කළ නිදසුන් අතර ඉමහත් වෙනස්කම් සහ සුවිශේෂතා තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ ඒ රටේ සහ ජන සමාජයේ ඓතිහාසිකත්වය අනුව, දේශපාලන සම්ප්‍රදායන් හා සංස්කෘතීන් අනුව, ධනවාදී සංවර්ධනයේ අදියරයන් අනුව, සහ නොයෙක් භූගෝලීය සහ සමාජමය තත්ත්වයන් අනුව ජනප්‍රියවාදී යැයි මා හැඳින්වූ දේශපාලන ප්‍රවණතාව වෙනස් ගති ලක්ෂණ වලින් යුතුව හැඩ ගැසීම පුදුමයට කරුණක් නොවේ. නමුත් මෙම සුවිශේෂතා හඳුනා ගන්නා අතරම එම දේශපාලන ප්‍රවණතා එක් ප්‍රවර්ගයකට ඇතුළත් කරනු ලබන්නේ ඒවායෙහි පවතින පොදු ආකෘතික ලක්ෂණ කිහිපයක් මත පදනම් වෙමිනි. මෙහිදී මට දීර්ඝව පැහැදිලි කරන්නට ඉඩක් නොමැති වුවත් එම ලක්ෂණ කිහිපයක් සංක්ෂිප්තව ඉදිරිපත් කරමි.

1. 'ජනතාව' යන මධ්‍ය ලක්ෂ්‍යය (නොහොත් න්‍යායික අරුතින් 'හිස් හැඟවුම්කාරකය') වටා විවිධ ඉල්ලීම් සුසම්බන්ධ කිරීමෙන් ජනප්‍රියවාදී කතිකාවක් ගොඩ නැගීම.

2. ජනතාව නම් කතිකාමය සමස්තයේ 'අනෙකුන්' (others) ලෙස යම් යම් අනන්‍යතා හඳුනා ගැනීම සහ ඒවා බහීෂ්කරණය කිරීම (එම අනෙකුන් සංක්‍රමණිකයන්, සුළු ජනවාර්ගික ප්‍රජාවන්, ප්‍රභූන් නොහොත් සංස්ථාපිතය හෝ අන් යමක් විය හැකිය).

3. මෙම කේන්ද්‍රීය පසමිතුරුතා අක්ෂය මගින් දේශපාලන ක්ෂේත්‍රය දෙකට පැලීම.

4. 'ජාතික-ජනතා සාමූහික අධිෂ්ඨානයක්' ගොඩ නැගීම මගින් එතෙක් නිර්-දේශපාලනීකරණයට ලක්ව සිටි බහුජන ප්‍රජාවන් පුනර්-දේශපාලනීකරණය කිරීම.

5. වම-දකුණ යන සම්ප්‍රදායික දෘෂ්ටිවාදී බෙදුම්කඩනය ඉක්මවා යන්නට ඇරයුම් කිරීම.

6. ඇතැම්විට, අතීතකාමී රොමාන්තික ආමන්ත්‍රණයන් ඔස්සේ දේශපාලන හැඟීම් සහ ආවේග සංවිධානය කිරීම.

7. පවත්නා සංකේත යථාර්තය තුළ 'විය නොහැක්කක්' ලෙස පෙනෙන ඓතිහාසික නිෂ්ටාවන් (නොහොත් මනෝ විශ්ලේශණීය අරුතින් 'වඩා දෙය') හඹා යාමට ඇරයුම් කිරීම.

මීළඟට මතුවිය හැකි ප්‍රශ්නයක් නම් ජනප්‍රියවාදය දක්ෂිණාංශික සහ වාමාංශික යනුවෙන් වර්ග කළ හැක්කේ කුමන පදනමක් මතද යන්නයි. න්‍යායික ස්වභාවයක් ගන්නා මෙම ප්‍රශ්නයට දීර්ඝ පිළිතුරක් ගොනු කළ යුතු වුවත් ඒ සඳහා අප සතු කාල වේලාව කොහෙත්ම ප්‍රමාණවත් වන්නේ නැත. නමුත්, කෙටියෙන් සහ සරලව කිවහොත් දක්ෂිණාංශික ජනප්‍රියවාදය සංක්‍රමණිකයන්, සුළු-ජනවර්ග හෝ වෙනත් පීඩිත ප්‍රජාවක් අනෙකා කර ගනිමින් ධනවාදී වෙළඳපලවාදය ආරක්ෂා කරන අතර වාමාංශික ජනප්‍රියවාදය ධනපති ප්‍රභූ තන්ත්‍රය සහ ගෝලීය මූල්‍ය අධිකාරීන් අනෙකා කොට ගනී; එනයින් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාරණය යළි දේශපාලන කතිකාවේ මධ්‍යයට ගන්නට අරගල කරයි.

අප ඉහත සාකච්ජා කළ ජනප්‍රියවාදී ව්‍යාපාර පැන නැගීමෙහිලා බලපෑ යම් පොදු මූල හේතුවක් තිබේද යන ප්‍රශ්නය විමසා බැලීමට මම දැන් කැමැත්තෙමි. ඒවා හුදෙක් අහඹු සමපාතවීම් නොව යම් පොදු දේශපාලන ආර්ථික තත්ත්වයක් කෙරෙහි දැක්වූ වෙනස් ප්‍රතිචාරය යන්න මගේ තර්කයයි. එසේනම් එම පොදු තත්ත්වය නොහොත් මූල හේතුව කුමක්ද?

සම්මුතිවාදය තුළින් ජනප්‍රියවාදයට..,

මෙයට පිළිතුර සොයා ගැනීමේ යතුර ඇත්තේ ජනප්‍රියවාදයේ මෙම ප්‍රචණ්ඩ පැන නැගීමට පසුබිම් වූයේ කවරාකාර දේශපාලන සමතුලිතතාවක්ද යන කාරණය තුළය. අපි යුරෝපීය සමකාලීන ජනප්‍රියවාදය වෙත යළිත් හැරෙමු. එය පැන නැගෙන්නට පෙර එහි පැවතියේ කවර නම් සංධර්භයක්ද? තනි වචනයකින් කිව හොත් ඒ සම්මුතිවාදී දේශපාලන සංධර්භයයි. එකී සම්මුතිවාදයේ පදනම වූයේ කුප්‍රසිද්ධ 'ඉතිහාසයේ අවසානය'යි. ඉන් අදහස් වූයේ 1989 බර්ලින් තාප්පය බිඳ වැටීමෙන් පසුව නව-ලිබරල් ධනවාදය සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තු දේශපාලනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ සහ රහසිගත සම්මුතියක් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ අතර ඇති වීමයි. ශිෂෙක් ගේ පැහැදිලි කිරීම වන්නේ බර්ලින් තාප්පය බිඳ වැටීමට පෙර මිනිස් වර්ගයාගේ අනාගත ආර්ථික ජීවිතය සංවිධානය විය යුත්තේ කෙසේද සහ අනාගත දේශපාලන ක්‍රමය විය යුත්තේ කුමක්ද යන මූලධාර්මික ප්‍රශ්න අරභයා විවාදයක් පැවතුනු බවයි. එම විවාදය අවසාන වී තිබේය යන අරුතින් දැන් අප ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ 'ඉතිහාසය අවසානයි' යන ප්‍රවාදය ව්‍යවහාරිකව එනම් අපගේ ජනාවබෝධය (common sense) තුළ භාරගෙන තිබේ. එනම් මිනිස් වර්ගයාට නිපදවා ගත හැකි උසස්ම සහ ප්‍රශස්තතම ආර්ථික ක්‍රමය නිදහස් වෙළඳපළවාදය බවත් දේශපාලන ක්‍රමය පාර්ලිමේන්තු නියෝජන ක්‍රමය බවත් සියලුම ප්‍රධාන ධාරාවේ දේශපාලන නියෝජනයන් විසින් පිළිගෙන තිබේ. මේ සම්මුතියේ දේශපාලන ආර්ථික පදනම අන් කිසිවක් නොව නව-ලිබරල් හැරවුමයි.

ඉන් පසුව, යුරෝපයේ දක්ෂිණාංශික පක්ෂ මධ්‍ය-දක්ෂිණාංශික පක්ෂ බවටත්, වාමාංශික පක්ෂ මධ්‍ය-වාමාංශික පක්ෂ බවටත් පරිවර්තනය විය. පක්ෂ අතර දෘෂ්ටිවාදීමය වෙනස වඩ වඩාත් මැකී ගියේය. මාධ්‍යමික සහමිතිය -consensus at the centre- නව දේශපාලන සදාචාරය බවට පත් විය. ටෝනි බ්ලෙයාර් යටතේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයටත් ක්ලින්ටන් යටතේ එක්සත් ජනපද ප්‍රජාතාන්ත්‍රික පක්ෂයටත් සිදු වූයේ එයයි. ප්‍රංශයේ සමාජවාදී පක්ෂයද නව-ලිබරල් සහමිතියට අනුගත විය. 1981දී ෆ්‍රන්සුවා මිතරෝන් බලයට පත්වූ විට පැරිස් නගරයේ ඇතැම් ධනපතියන් තම මූල්‍ය ධනය රැගෙන අග නගරයෙන් පළා ගිය බැව් කියැවේ. නමුත්, දැන් එසේ වීමට හේතුවක් නොමැත. දැන් වම-දකුණ අතර වෙනස කොතරම් මැකී ගොස් තිබේද කිව හොත් මධ්‍ය-වාමාංශික පක්ෂ නව-ලිබරල් ප්‍රතිසංස්කරණවල නියාමකයන් බවට පත්ව සිටී. ස්පාඤ්ඤයේ බලවත්ව සිටි සමාජවාදී කම්කරු පක්ෂයද මාධ්‍යමික සම්මුතිවාදයට අවනත විය. නෝර්වේ, ඩෙන්මාකය සහ ස්වීඩනය යන ස්කැන්ඩිනේ වියානු රටවල දශක ගණනාවක් බලයේ සිටි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවලටද මෙම රැල්ලෙන් මිදී සිටිය නොහැකි විය. ඉතිහාසයේ අවසානයේ දේශපාලනික ගම්‍යය වූයේ මෙයයි.

1990 දශකයේදී ප්‍රචලිත වූ පශ්චාත් නූතනවාදී සංවාදය තුළ තවත් අවසානවාදයන් රැසක් ප්‍රකාශයට පත් වූ බව ඔබ දනී. ''දේශපාලනයේ අවසානය'', ''දෘෂ්ටිවාදයේ අවසානය'' සහ ''මහා ආඛ්‍යානයන්හි අවසානය'' යනාදී වශයෙනි. මාක්ස් ''ශුද්ධ වූ පවුලේ රහස ලෞකික පවුල තුළින් සොයා ගත යුතු'' යැයි පැවසූ සේම මෙම පශ්චාත්-නූතන අවසානවාදයන්ගේ රහස සොයා ගත හැක්කේ නව-ලිබරල්වාදය පසුබිම් කොටගෙන පැන නැගුනු මධ්‍ය-දක්ෂිණාංශික සහ මධ්‍ය-වාමාංශික සම්මුතිකවාදය තුළය. එනම් පසමිතුරුතා අරගලයේත් දෘෂ්ටිවාදී බෙදීම්වලත් අවසානය දේශපාලන ව්‍යවහාරය මගින් පිළිගැනීම තුළය. කෙසේ වුවත් මෙම සම්මුතික දේශපාලනය තුළ ක්ෂය වී යන්නේ වාමාංශික පක්ෂයි.

රූපාන්තරණවාදය සහ අක්‍රිය විප්ලවය

මෙය අපට ග්‍රාම්ස්චිගේ රූපාන්තරණවාදය (transformism) සහ අක්‍රිය විප්ලවය (passive revolution) යන සංකල්ප මගින් පැහැදිලි කළ හැකිය. ග්‍රාම්ස්චි මේ සංකල්ප ඉදිරිපත් කළේ 1861දී ඉතාලිය එක්සත් කිරීමෙන් පසුව, එනම් නූතන ඉතාලි ජනරජය ගොඩ නැගීමෙන් පසුව, 1920 ගණන් වලදී ෆැසිස්ට්වාදය බලයට පත් වනතෙක් කාල වකවානුවේ දේශපාලන ක්‍රියාවලිය තේරුම් කිරීම සඳහාය. එකල ඉතාලියේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ දෙකක් විය; රාජාණ්ඩුවාදී මධ්‍යස්ත පක්ෂය (Moderate Party) සහ ධනපති ජනරජවාදී ක්‍රියාකාරී පක්ෂය (Action Party) ලෙසයි. ඉතාලිය පාලනය කෙරුණේ මෙම පක්ෂ දෙක අතර ඇති වූ සභාග ආණ්ඩු මගින්ය. සභාග තුළ ඇතිවන අභ්‍යන්තර ගැටුම් සහ නොඑකඟතා විසඳා ගැනීමේ උපක්‍රමය වූයේ අතරමැද එකඟතාවලට එළඹීමයි. නමුත් එම එකඟතාවල ලක්ෂණය වූයේ නිතරම පාහේ ක්‍රියාකාරී පක්ෂයට තම ප්‍රතිපත්ති සම්මුතිගත කරන්නට සිදුවීමයි. ක්‍රම ක්‍රමයෙන් එම පක්ෂයේ ක්‍රියාකාරීන් අවශෝෂණය කොටගෙන එය දියාරු බවට පත් කරන්නට මධ්‍යස්ත පක්ෂය සමත් විය. 1914 පළමු ලෝක යුද සමය වනවිට පක්ෂ දෙක අතර වෙනස කොතරම් මැකී ගොස් තිබිණිදැයි කිවහොත් ක්‍රියාකාරී පක්ෂය ඉතාලියේ යුද ව්‍යාපෘතියේත්, අධිරාජ්‍යවාදී උවමනාකම්වලත්, එකල දක්ෂිණාංශික යැයි සැලකුණු ප්‍රතිපත්තිවලත් ප්‍රමුඛ ප්‍රකාශකයෙකු බවට පත්ව සිටියේය. එය ඉතාලියේ ධනපති සමාජ ප්‍රතිසංස්කාරක පක්ෂයක භූමිකාව ඉටු කරන්නට අසමත් විය. ඉතාලියේ ගොවීන් ඇතුළු බහුජනයා සක්‍රීයව දේශපාලන ක්‍රියාවලියට සහභාගී කර ගැනීමටත් එනයින් ප්‍රජාතාන්ත්‍රික ජනරජ සම්ප්‍රදායක් ගොඩ නැගීමටත් යම් අවකාශයක් පැවතිණි නම් එය වැසී ගියේය. ග්‍රාම්ස්චි මෙය අක්‍රීය විප්ලවය නොහොත් 'විප්ලවයකින් තොර විප්ලවයක්' යන රොබෙස්පියර්ගේ යෙදුමින් හඳුන්වයි.

1990 දශකයේදී එනම් 'ඉතිහාසයේ අවසානයෙන්' පසුව යුරෝපයේත් උතුරු ඇමෙරිකාවේත් ලෝකය පුරාමත් සිදුවෙමින් පැවතියේ මෙවැන්නකි. ග්‍රාම්ස්චි කතා කළේ ජාතික මට්ටමේ අක්‍රීය විප්ලවයක් නම් අප පසු කරමින් සිටියේ ගෝලීය අක්‍රීය විප්ලවයකි. ඒ තුළ දේශපාලනය කළමනාකරණ තාක්ෂණයක් බවට හැරිණ; බහුජන ශ්‍රේණීන් නිර්-දේශපාලනීකරණය කෙරිණ; පවත්නා සංකේත යථාර්තය රැඩිකල් ලෙස විපරිවර්තනය කිරීමේ ආශයන් දේශපාලනයෙන් පළවා හරිනු ලැබිණ. පශ්චාත්-මාක්ස්වාදී පාරිභාෂිකය අනුව, දේශපාලනයෙන් එහි රැඩිකල් මානය නොහොත් දේශපාලනිකය (the political) පලවා හැරිණ. ඒ ලිබරල් ගෝලීයකරණයේ සහ 'ඉතිහාසයේ අවසානයේ' දශකයයි. පශ්චාත්-නූතනවාදයේ දශකයයි. සියලු ආකාරයේ අවසානවාදයන්ගේ දශකයයි.

නමුත්, වැඩිකල් යාමට මත්තෙන් එම අවසානවාදයන් අවසාන කරමින් 2008 මූල්‍ය අර්බුදය පැමිණියේය. 1990 දශකයේදී දේශපාලනයෙන් පිටමං කර දමන ලද දේශපාලනිකය තම පලිය ගැනීමට ආවේය! ඒ ජනප්‍රියවාදයේ වේශයෙනි. දිගු කතාවක් සංක්ෂිප්ත කොට කිවහොත් යුරෝපීය ජනප්‍රියවාදයේ මෑතකාලීන පැනනැගීම සිදු වූයේ එසේය. එය යුරෝපයට සීමා නොවූ ගෝලීය ප්‍රවණතාවක් වන්නේ 1970 දශකයේදී ඇරඹි නව-ලිබරල් හැරවුම හෙජමොනික (එනම් කැමැත්තෙහි පාලනය) තත්ත්වයක් හිමි කර ගැනීම 1990 දශකයේදී සටහන් වන බැවින්ය. 1980 දශකයේ අග භාගයේදී නැගෙනහිර යුරෝපීය 'පැවති සමාජවාදී' රාජ්‍ය පද්ධතිය බිඳ වැටීම එම පරිවර්තනයෙහි දේශපාලන පසුබිමයි. මෙය ගෝලීය සංසිද්ධියකි. නව-ලිබරල් හැරවුමට සමගාමීව ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ අතර ගොඩ නැගුණු සම්මුතිවාදයද තනි ජාතික රාජ්‍යයකට හෝ කලාපයකට සීමා වූ ප්‍රවණතාවක් නොවේ. අප 1950 දශකයේ සිට '70 ගණන් දක්වා පැවති සුභසාධක රාජ්‍යවාදය තේරුම් කරන්නේ එකල ලෝක ධනවාදය සංවිධානය වී තිබූ කේන්සියානු ආර්ථික මොඩලය තුළ වියහැක්කක් ලෙස නම්, සමකාලීන ප්‍රධාන ධාරාවේ පක්ෂ අතර ගොඩ නැගෙන සම්මුතිවාදයද වියහැක්කක් වන්නේ (ගෝලීයව) නව-ලිබරල්වාදයේ හෙජමොනික මොහොත තුළ බව පිළිගන්නට සිදුවේ. ගෝලීය ධනවාදයට යම් යම් රාජ්‍යයන් සම්බන්ධ වී තිබෙන ආකාරය සහ ඒවා අතර පවත්නා කේන්ද්‍ර-පරිවාර සම්බන්ධකම් අනුව (සහ තවත් බොහොමයක් සාධක අනුව) මෙම සම්මුතිවාදයේ ගති ලක්ෂණයන් හා ගම්‍යයන් වෙනස් වන බව සැබවි. නමුත්, එම සුවිශේෂතා පැවතියදීම ජනප්‍රියවාදයේ සමකාලීන ප්‍රවණතා අතර පවත්නා පොදුභාවය අප නොතකා හළ යුතු නැත. ජාතික තලයේ දේශපාලන ක්‍රියාවලීන් ගෝලීය සංධර්භයක තබා වටහා ගැනීම මාක්ස්වාදී බුද්ධිමය සම්ප්‍රදායේ විශිෂ්ට උරුමයකි.

ලිබරල් විග්‍රහයේ දරිද්‍රතාව

මීට වෙනස්ව, ඇතැම් ලිබරල්වාදීන් යුරෝපීය ජනප්‍රියවාදයේ මූල හේතුව ලෙස 'ගෝලීයකරණයේ පරාජිතයන්' යන සංකල්පය නිපදවා ඇත. නිදසුනක් ලෙස ඔවුනට අනුව ග්‍රීසිය සහ ස්පාඤ්ඤය වමට හැරීම ගෝලීයකරණයේ සහ යුරෝපීය සංගම් ව්‍යාපෘතියේ අසමතුන් ලෙස එම රටවල සුවිශේෂ තත්ත්වය නිසා සිදුවන්නකි. නමුත්, සෙසු ලිබරල්වාදී න්‍යායන් සේම මෙයද සමකාලීන ගෝලීය දේශපාලන ක්‍රියාවලීන් තේරුම් කරන්නට බරපතල ලෙසම අසමත්ය. ගෝලීයකරණයේ ඊනියා ජයග්‍රාහකයන් ලෙස සැලකෙන එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය තුළ තරුණ ජනයා වාමාංශික ජනප්‍රියවාදයට දෙසට හැරෙන්නේ මක් නිසාද යන්න ඉහත ප්‍රවාදයෙන් තේරුම් කළ නොහැකිය. වාමාංශික මෙන්ම දක්ෂිණාංශික ජනප්‍රියවාදයද තම ශක්තිය උකහා ගන්නේ නව-ලිබරල්වාදයේ ප්‍රහාරය හමුවේ පැතිර යන විරැකියාව, සමාජ අසමානතාවය සහ අසංතෘප්තිය දේශපාලනිකව සංවිධානය කිරීම මගින්ය. නව-ලිබරල් ගෝලීයකරණයේ අසමතුන් නොහොත් පරාජිතයන් වනාහි ලෝක ජනගහණයෙන් සියයට 99%ක් වන අතිමහත් බහුතර ජනතාවයි. වෝල් වීදිය අල්ලාගැනීම, ලන්ඩන් මහජන නැගී සිටීම සහ සමස්ත 99% විරෝධතා ව්‍යාපාරය දෙස බලන්න. වාමාංශික ජනප්‍රියවාදයේ එකම ප්‍රකාශණය මැතිවරණ ප්‍රතිඵල පමණක් නොවන බව ඔබට පෙනෙනු ඇත.

රාජ-පක්ෂය සහ ලාංකීය දක්ෂිණාංශික ජනප්‍රියවාදය

දැන් අපි මේ විශ්ලේෂණය සමකාලීන ලංකාවට අදාල කළ හැක්කේ කෙසේදැයි විමසා බලමු. 1990 දශකයේ ලංකාව ගැන සිහිපත් කරන්න. ලංකාවේ '90 දශකය ආරම්භ වූයේ 1994දීය. එය 2004 වන තෙක් පැවතිණ. 1994-2004 දශකය වනාහි රනිල්-චන්ද්‍රිකා දශකයයි (නැතහොත්, චන්ද්‍රිකා-රනිල් දශකයයි). එම දශකය තුළ ප්‍රධාන පක්ෂ දෙක සන්ධාන ආණ්ඩුවලට ප්‍රවේශ නොවුණද, ප්‍රධාන ආර්ථිකමය සහ දේශපාලනික ගැටළු අරභයා ප්‍රතිපත්තිමය එකඟතාවලට එළැඹිණ. එය ඇරඹුණේ චන්ද්‍රිකාගේ ''විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක්'' යන සටන් පාඨය සමගය. ඉන් සංකේතවත් වූයේ වෙළඳපල සහ රාජ්‍යය අතර සම්බන්ධතාව අරභයා ප්‍රධාන පක්ෂ දෙක අතර එතෙක් පැවති දෘෂ්ටිවාදීමය වෙනස අවසන් වූ බවයි. මෙම පාලක පංති සම්මුතිවාදය නව-ලිබරල් ගෝලීයකරණය සමග සම්බන්ධ බවට අප තර්ක කරන්නේ එබැවිනි. චන්ද්‍රිකා කුමාරතුංග ලංකාවේ නව-ලිබරල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ අධිෂ්ඨාන සහගත නියාමකවරියකි.

දෙවනුව, ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ කේන්ද්‍රීය ගැටළුව වන ජනවාර්ගික ගැටළුව විසඳීම අරභයාද ප්‍රධාන පක්ෂ දෙක සමාන ස්ථාවරයකට පැමිණෙනු දක්නා ලදී. ඒ නෝර්වේ රාජ්‍යයත් ගෝලීය මූල්‍ය ආයතනත් අනුග්‍රහය දැක්වූ ලිබරල්-සාම ව්‍යාපෘතිය එළි දැක්වුණු කාලයයි. ලිබරල්-සාමය යන්නෙන් අදහස් වූයේ සාමය ගොඩ නැගීමත් වෙළඳපල ප්‍රසාරණය සහ ධනවාදී සංවර්ධනයත් සමාන්තරව ගමන් කළ යුතු බවයි. එය නව-ලිබරල් පැරඩයිමය තුළින් නිර්මාණය වූ ගැටුම් නිරාකරණ ප්‍රවේශයකි.

මෙම සම්මුතිකවාදී ප්‍රවේශය හමුවේ එතෙක් කලක් ප්‍රධාන පක්ෂ දෙකේ නායකත්වය සාම්ප්‍රදායිකව පිළිගත් යම් යම් සමාජ ශ්‍රේණීන් එම පක්ෂ වලින් ක්‍රම ක්‍රමයෙන් ගිලිහී යාමට අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය විය. නමුත්, මෙය ග්‍රාම්ස්චියානු අරුතින් සමස්ත ඓන්ද්‍රීය අර්බුදයක් යැයි මම නොකියමි. එය පාර්ශවීය අර්බුදයක් යැයි කීම සාධාරණය.

මෙම ප්‍රවණතාව නිරීක්ෂණය කළ හැකි එක් නිර්ණායකයක් නම් 1994 සහ 2004 අතර කාල පරිච්ජේදය තුළ තුන්වන ධාරාවේ දේශපාලන පක්ෂ (මා කතා කරන්නේ දකුණ ගැනයි) ක්‍රම ක්‍රමයෙන් තම ජන්ද පදනම වර්ධනය කර ගන්නට සමත් වීමයි. ජනතා විමුක්ති පෙරමුණ 1994 පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබා ගත්තේ ජන්ද 90,000ක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස සියයට එකකි. 2000 වන විට එය 518,000 (එනම් 6%) ඉක්මවීය. 2001දී ජවිපෙ මෙතෙක් තනි පක්ෂයක් ලෙස ලැබූ වැඩිම ජන්ද ප්‍රතිශතය එනම් 9.10%ක් ලැබීය; ලැබූ ජන්ද ප්‍රමාණය 815,000කට වඩා වැඩිය; ආසන 16කි. 2004දී ජවිපෙ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් ලෙස තරඟ කොට ආසන 39ක් දිනා ගන්නට සමත් විය. පාර්ලිමේන්තු නියෝජනය තුළ ජවිපෙ කොතරම් ධනවත් වූවාද කිවහොත් තම එක් ආසනයක් පරිත්‍යාග කිරීමට තරම් ත්‍යාගශීලි විය! නමුත්, ජවිපෙ දක්ෂිණාංශික ප්‍රධාන ධාරාවේ දේශපාලනය සමග සන්ධානගත වූ 2004දීම තවත් වැදගත් සංසිද්ධියක් සිදු විය. එනම්, ක්ෂණිකව දේශපාලන පිටියට පිවිසුණු ජාතික හෙළ උරුමය ජන්ද 554,000කට වඩා එනම් 5.97%ක් ලබා ගන්නට සමත් වීමයි. එය ලැබූ ආසන සංඛ්‍යාව 9කි. ජවිපෙ මැතිවරණ සම්මුතිකවාදයට පිවිසුණේම අන්ත-දක්ෂිණාංශික ජනප්‍රියවාදී පක්ෂයකට දේශපාලන අවකාශය විවර කර දෙමිනි.

මීළඟට මෙම ලාංකීය ජනප්‍රියවාදයේ පංතිමය නැතහොත් සමාජමය මූලයන් මොනවාද යන්න කෙටියෙන් විමසා බැලීමට මම ඔබට ඇරයුම් කරමි. වත්මන් දේශපාලන විශ්ලේෂණ තුළ දක්නට ලැබෙන ප්‍රධාන ගැටළුවක් නම් යම් යම් දේශපාලන ප්‍රවණතා ඒවායෙහි දෘෂ්ටිවාදී ප්‍රකාශණයන්ට ඌනණය කොට තේරුම් කරන්නට ප්‍රයත්න දැරීමයි. ඒ අනුව, රාජපක්ෂ ව්‍යාපෘතිය අතිසරල ලෙස සිංහල-බෞද්ධ ජාතිකවාදය ලෙස නාමකරණය කොට වටහා ගනු ලැබේ. මා මිත්‍ර නිර්මාල් රංජිත් දේවසිරි මේ ක්‍රමවේදීමය වරද නිතරම පාහේ කරයි. නමුත් අප දේශපාලන විශ්ලේෂණයේදී දේශපාලන ව්‍යාපාර වටහාගත යුත්තේ ඒවායින් නියෝජනය වන සමාජ ශ්‍රේණීන් සහ ඔවුනගේ දේශපාලන අභිලාෂයන් පිළිබඳව අවධානය යොමු කරලමින් වන අතර ඒවායෙහි දෘෂ්ටිවාදී ප්‍රකාශණ විචාරය කළ යුත්තේ එම සංයුක්ත දේශපාලන විග්‍රහය තුළ ස්ථානගත කරමින් යැයි මම යෝජනා කරන්නට කැමැත්තෙමි.

ලාංකීය මෑතකාලීන දේශපාලන ජනප්‍රියවාදයේ සමාජමය මූලයන් තේරුම් ගැනීම සඳහා ප්‍රයෝජනවත් විය හැකි එක් නිරීක්ෂණයක් නම් 1994 සහ 2004 අතර කාල පරිච්ජේදය තුළ ජවිපෙ සහ හෙළ උරුමය වෙත ආකර්ෂණය වූ නව ජන්දවල සමාජමය පසුබිම කුමක්ද යන්නයි. ජවිපෙට යම් සාම්ප්‍රදායික පසුබිමක් තිබෙන තිස්සමහාරාමය, තංගල්ල වැනි දකුණේ ඇතැම් ප්‍රදේශ හැරුණු කොට ඔවුනට නව ජන්ද ලැබුණු ප්‍රදේශ වූයේ නාගරික හා අර්ධ-නාගරික මධ්‍යම පංතික නොහොත් අතරමැද සමාජ ශ්‍රේණීන්ය. 2004 මහා මැතිවරණයේදී හෙළ උරුමය පදනම් වූයේ මුළුමනින්ම මෙම සමාජ ස්ථරය මතය. මහරගම, පිළියන්දල, කැස්බෑව, පානදුර, හෝමාගම වැනි මධ්‍යම පංතික සමාජ ස්ථරය වේගයෙන් ප්‍රසාරණය වන ප්‍රදේශවල හෙළ උරුමය අනපේක්ෂිත ජයග්‍රහණයක් අත්පත් කර ගත්තේය. මෙම නව ස්ථරය සිංහල බෞද්ධ ජාතිකවාදයේ 1950 දශකයේ ප්‍රකාශකයන්ගෙන් ඉතාම වෙනස්ය. 1950 ගණන්වලදී ප්‍රධාන ධාරාවේ ජාතිකවාදය රාජ්‍ය-කේන්ද්‍රීය සුභසාධනවාදය පිළිගත් නාගරික හා ග්‍රාමීය බුද්ධිමය ශ්‍රේණියක් තුළින් පැන නැගුණි නම්, 2000 ගණන්වලදී එහි නියාමක බලවේගය වී ඇත්තේ බොහෝ විට පුද්ගලික ව්‍යවසායන් සමගද සම්බන්ධ, වේගයෙන් ධනවාදීකරණය වෙමින් සිටින නාගරික සහ අර්ධ-නාගරික අතරමැද සමාජ පංති ස්ථරයන්ය. ඔවුන් ආර්ථික විවෘතකරණයේ පල නෙලා ගත් 1977 දරුවන්ය. 1950 ගණන්වලදී සිංහල-බෞද්ධ ජාතිකවාදය ධනවාදය කෙරෙහි 'පැරණි සමාජයේ' දෘෂ්ටියෙන් විරෝධයක් දැක්වී නම්, දැන් එය පෙනී සිටින්නේ වඩ වඩාත් ධනවාදීකරණය වෙනුවෙනි. නමුත්, ගෝලීය ප්‍රාග්ධනය සමග තරඟ කිරීමට හෝ ඒ සමග අනුගත වන්නට තමන් අසමත් වන තත්ත්වයන්හිදී ඔවුන් ආර්ථික ජාතිකවාදය දෙසටත්, ඇතැම්විට ගෝලීයකරණ-විරෝධය දෙසටත් හැරෙන්නට හැකිය. අභ්‍යන්තරික වෙළඳපල තුළ මුස්ලිම් ව්‍යාපාර සමග තරඟ කිරීමට සිදුවන තත්ත්වයන් තුළදී මුස්ලිම්-විරෝධය දෙසට හැරෙන්නාක් සේමය.

සමකාලීන ලංකාවේ නැග එන දක්ෂිණාංශික ජනප්‍රියවාදී පක්ෂය (එනම් රාජ-පක්ෂය) වටහා ගැනීම සඳහා ප්‍රයෝජනවත් විය හැකි ඇතැම් කරුණු මම මෙතෙක් ගෙන හැර දැක්වූයෙමි. 'රාජපක්ෂ ජනප්‍රියවාදය' බලයට පත් කිරීමේත් එය පෝෂණය කිරීමේත් පළමු නියාමකයන් වූයේ ජවිපෙ සහ හෙළ උරුමයයි. 2004-2005 කාල වකවානුවේදී ඔවුන් දේශපාලනීකරණය වෙමින් සිටි ලාංකීය නාගරික සහ අර්ධ-නාගරික අතරමැද සමාජ ශ්‍රේණීන්ගේ දේශපාලන නායකයා බවට මහින්ද රාජපක්ෂව ඔසවා තැබීය. ඉන්පසුව එම පක්ෂ දෙකටම සිදු වූයේ ඉතාලියේ පුනර්ජීවනය (රිසෝජිමෙන්තෝව) තුළ ක්‍රියාකාරී පක්ෂයට වූ දේමය. ජවිපෙ සහ හෙළ උරුමය සතු සටන් පාඨ සහ වැඩ පිළිවෙලවල් පමණක් නොව ඒවායෙහි මුල් පෙළේ සාමාජිකයන්වද තම හෙජමොනික ව්‍යාපෘතියට අවශෝෂණය කර ගන්නට රාජ-පක්ෂය සමත් විය. එය ජවිපෙන් විමල්වද හෙළ උරුමයෙන් උදය ගම්මන්පිලවද ඩැහැගත්තේය. ඉන්පසුව ජවිපෙට සිදු වූයේ කුමක්ද? 2004න් පසුව එයට කිසිදු සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගත නොහැකි විය. 2010දී 5%ක් ද, 2015දී තමන්ම වක්‍රව සහය දුන් 'යහපාලනය' යටතේ 4.8%ක් ද ලැබූ ජවිපෙ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ලබා ගත්තේ ආසන්න වශයෙන් 2000දී ලබා ගත් ජන්ද ප්‍රතිශතයට සමාන ජන්ද සංඛ්‍යාවකි. ජවිපෙ දැන් පැමිණ සිටින්නේ මැතිවරණ දේශපාලනය තුළ තමන් වසර 18කට පෙර සිටි මට්ටමටය. එද තමන්ම පෝෂණය කළ දක්ෂිණාංශික ජනප්‍රියවාදයක අභියෝගයට මුහුණ දෙමිනි.

අනාගත වියහැකියාවන්

කෙසේ වුවත්, අපි දැන් රාජපක්ෂ හෙජමොනිය දෙවන වටයකින් තහවුරු වීමට විශාල විභවතාවක් ඇති තත්ත්වයකට අවතීර්ණ වී සිටිමු. එය හුදෙක් සිංහල බෞද්ධ ජාතිකවාදයේ ප්‍රකාශණයක් පමණක් ලෙස හඳුනා ගැනීම දේවල් බරපතල ලෙස අතිසරල කිරීමකි. අධිපති ජාතිකවාදයක පුනරාගමනයක් සහ ඒකාධිපතිවාදයට ඇද වැටීමක් පිළිබඳව කොළඹ-කේන්ද්‍රීය ලිබරල් 'සිවිල් සමාජ' කණ්ඩායම් පතුරුවමින් සිටින දෘෂ්ටිවාදීමය භීතිය මගින් අපට සමකාලීන දේශපාලනයේ කිසිදු පැතිමානයක් වටහාගත නොහැකිය. අනාගත රාජපක්ෂ ව්‍යාපෘතියක් ඇතැම්විට 'සංවර්ධනවාදී රාජ්‍යය' පිලිබඳ ආදර්ශකය සැලකිල්ලට ගන්නට ඉඩ තිබේ. වැදගත්ම කාරණය රාජ-පක්ෂය තම ඉදිරි ප්‍රයානය ආරම්භ කරනු ඇත්තේ දකුණේ බහුජන ප්‍රජාවන් තුළින් ගලා එන සක්‍රීය කැමැත්තක් මත වීමයි. (ග්‍රාම්ස්චි නිතර අවධාරණය කළ පරිදි කැමැත්ත නිතරම මර්දනයේ නොහොත් බලහත්කාරීත්වයේ සන්නාහයෙන් ආරක්ෂා කරනු ලැබ පවතී). තවද රාජ-පක්ෂය විසින් දේශපාලනීකරණය කරනු ලබන්නේ ග්‍රාමීය ගොවිජන ප්‍රජාව නොව එය මත අනුග්‍රාහක සබඳතා පවත්වා ගන්නා ව්‍යවසායක ස්ථරයක් බවද දැනට නිරීක්ෂණය කළ හැකිය. එනයින් එය ලාංකීය දේශපාලනයේ සංස්ථාපිත අනුග්‍රාහක-සේවාදායක සබඳතා ජාලය පුනර්-ජනනය කරනු විනා එයට බාධාකාරී වන්නේ නැත. රාජ-පක්ෂය දෙවන වටයකින් මතු වීමට 2015දී පිහිටුවන ලද සන්ධාන ආණ්ඩුවේ සම්මුතිවාදී ප්‍රවේශය විශාල වශයෙන් දායක වී තිබෙන බව දැනට සටහන් කර තබමි. (මෙය ඉදිරියේදී සවිස්තරාත්මකව විමසා බැලීමට බලාපොරොත්තු වෙමි).

වමේ උපාය මාර්ග

අවසන් වශයෙන් මේ පසුබිම තුළ වමට (නැතහොත් ඇතැමුන් අපව හඳුන්වා දීමට කැමති අයුරින් 'රැඩිකල් වමට') කළ හැක්කේ කුමක්ද? ග්‍රාම්ස්චි බටහිර යුරෝපයේ වාමාංශයට 1930 ගණන්වලදී පෙන්වූ උපායික ප්‍රවේශය මගින් මේ ගැටළුවට එක් පිළිතුරක් ගොනු කරගත හැකිය. එනම් සිවිල් සමාජය තුළ ධනපති හෙජමොනිය ශක්තිමත් ලෙස ස්ථාපිතව ඇති තැන්වලදී වම දිගුකාලීන ස්ථානික යුද උපායකට (war-of-position) මාරු විය යුතු බවයි. එහි අදහස සමාජය මත විකල්ප බුද්ධිමය සහ සදාචාරමය නායකත්වයක් ස්ථාපිත කර ගනිමින් සිවිල් සමාජය තුළ එනම් දෘෂ්ටිවාදීමය ක්ෂේත්‍රයේ කරන පුළුල් අරගලයකට සූදානම් වීමයි.

ඉහත ප්‍රශ්නයට ගොනු කළ හැකි දෙවන පිළිතුරක්ද තිබේ. එනම් ලැක්ලාවූගේ 'ජනප්‍රියවාදී තර්කනය ගැන' කෘතිය මගින් ඉදිරිපත් කෙරෙන වාමාංශික ජනප්‍රියවාදී උපායයි. යුරෝපයේ සහ වෙනත් තැන්වල දැනට ගොඩ නැගෙමින් තිබෙන වාමාංශික ජනප්‍රියවාදී ආදර්ශයන් තුළින් අපට ඉගෙනගත හැක්කේ කුමක්දැයි විමසා බැලීම වැදගත්ය. එහිදී ධනවාදී ලෝක ක්‍රමයේ අප සිටින ප්‍රදේශය තුළ එම ආදර්ශයන් කොතෙක් දුරට අදාල කළ හැකිදැයි සොයා බැලිය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේ වුවත්, ජනප්‍රියවාදයේ ප්‍රධාන ලක්ෂණයක් වන එතෙක් නිර්-දේශපාලනීකරණයට ලක්ව සිටි ප්‍රජා සාමූහිකයන් පුනර්-දේශපාලනීකරණය කිරීමේ ක්‍රමවේද සෙවීම ලංකාවේ වමටද කළ හැකි දෙයකි. මේ සඳහා ඇතැම්විට ගතානුගතික වාමාංශික න්‍යායික ප්‍රවේශයන්ගෙන් ඔබ්බට යාමටද සිදුවනු ඇත. (ඉදිරියේදී ඉහත කී ග්‍රාම්ස්චියානු උපායික ප්‍රවේශය ගැනත්, ලැක්ලාවියානු ප්‍රවේශය ගැනත් සවිස්තරාත්මකව ලියන්නට මම බලාපොරොත්තු වෙමි).

අධිෂ්ඨානමය ලෙස සර්ව-සුභවාදී නමුත් කරුණුමය ලෙස සර්ව-අසුබවාදී තත්ත්වයක් ගැන සිහිපත් කරමින් මගේ දේශණය සමාප්ත කරන්නට ඉඩ දෙන්න. ස්ලෙවෝයි ශිෂෙක් තම 'සමාප්ත කාලයන් තුළ ජීවත්වීම' (Living in the End Times - 2010) කෘතියේ මතු කරන වැදගත් ප්‍රශ්නයක් මෙසේය. ''අප ජීවත්වන යුගයේ ධනවාදයෙන් පසුව සමාජවාදය පැමිණීමට නියමිතයි යන විශ්වාසය බරපතල ලෙස බිඳ වැටී ගොස් තිබේ. නමුත් ධනවාදයෙන් පසුව සමාජවාදය නොවේ නම් පැමිණීමට නියමිත කුමක්ද?'' ශිෂෙක් දෙන පිළිතුර ඒ අන් කිසිවක් නොව ලෝක විනාශය බවයි. ධනවාදය දැන් අපව රැගෙන යමින් තිබෙන්නේ ඒ දිශාවටය. පරිසර විනාශය, ජාන තාක්ෂණය, පෙර නොවූ විරූ සමාජ අසමානත්වය යනාදිය මේ ලෝක විනාශයේ මූල හේතූන්ය. අපි සිසිෆස් සේ ඉමහත් ප්‍රීතියෙන් අපගේත් සමස්ත ජෛව ගෝලයේත් විනාශය කරා පිය නගමින් සිටිමු. ඒ ධනවාදී සංවර්ධනයේ නාමයෙනි. එබැවින් "ධනවාදයේ විනාශයද, නැතහොත් සමස්ත ජෛව ගෝලයේ විනාශයද'' යන සාංදෘෂ්ටිකවාදී ප්‍රශ්නය දැන් අප හමුවේ ඇත. මේ තත්ත්වය තුළ ධනවාදයේ අවසානය තවදුරටත් කොමියුනිස්ට්වාදීන්ගේ සහ කම්කරු පංතියේ අපේක්ෂාවක් පමණක් විය යුතු නැත. එය සමස්ත මිනිස්, සත්ත්ව සහ සොබාවික පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයකි. මේ පණිවිඩය පොදු ජන ප්‍රජාවන් වෙත රැගෙන යාමේ නව බුද්ධිමය සහ සදාචාර නායකත්වයක් දැන් අපට උවමනාය. ඒ සඳහා යම් දායකත්වයක් සපයන්නට 'අවතාරය' සඟරාවට හැකි වේවා යැයි මම ඉමහත් ආදරයෙන් ප්‍රාර්ථනා කරමි. ස්තුතියි!

සුමිත් චාමින්ද
('අවතාරය' සඟරාව එළිදැක්වීමේ සම්මන්ත්‍රණයේදී කළ කතාව)