Language Switcher

V2025

ගෝඨාගේ විප්ලවය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

රටේ හොඳට හෝ නරකට ගොඨාභය රාජපක්ෂ මේ කාලයේදී මහජනතාව අතර කතාබහට හේතුවී තිබෙන ප්‍රධානම දේශපාලන චරිතය බවට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය. රට තිබෙන්නේ ලොකු අර්බුදයකය. සියලු දේශපාලන නායකයන් සිටින්නේ සිය ප්‍රතිරූප කෙලෙසාගත් පූර්ණ බංකොලොත් තත්වයකය. එවැනි නන්නත්තාර  වටපිටාවක මහජනයා ගැලවුම්කාරයෙකු සොයා යෑම සේම ගෝඨාභය වැන්නකු හමුවූ විට ඔහු තමන් ගලවා ගැනීම සඳහා පහළ වූ දියසේන කුමාරයෙකු ලෙස තේරුම් ගැනීම අස්භාවික නැත.

ගෝඨා වීරයෙකු වීම

ගෝඨාභය මහජන උනන්දුවට හේතුවන ජනප්‍රිය චරිතයක් බවට පත්වීම කෙරෙන්නේ එවකට රටේ ජනප්‍රියම නායකයාව සිටි ජනාධිපති මහින්දගේ සහෝදරයෙකු වීම, එම ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ධූරයට පත්වීම, මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගෙන් එල්ල වූ ප්‍රහාරයකින් ආශ්චර්යමත් ලෙස ආරක්ෂා වීමට සමත් වීම, ඒ දක්වා ජයග්‍රාහීවීමට අසමත් වූ යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කිරීමට ඔහු විසින් දෙන ලද සුවිශේෂ දායකත්වය වැනි හේතු නිසාය. ඔහු එම යුද්ධය විසින් බිහිකරන ලද ප්‍රධාන සිංහල වීරයන්ගෙන් කෙනෙකි. ඉන්පසු කොළඹ නගරය අලංකාර කොට නවීන කිරීම සඳහා ඔහු ලබාදෙන ලද දායකත්වය ඔහු යුද්ධ විෂයෙහි පමණක් නොව, පාලන විෂයෙහිද ලොකු දක්ෂතා ඇති චරිතයක් වේය කියන හැඟීම මහජනතාව තුළ ඇති කිරීමට හේතුවිය. ඔහු එම අර්බුදයේදී දෙමළ වර්ගයා කෙරෙහි පමණක් නොව, මුස්ලිම් වර්ගයා කෙරෙහිද දැඩි සිංහලවාදී ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීමට දැඩි සිංහලවාදී සිංහලයන් අතර ඔහුගේ ජනප්‍රියභාවය වර්ධනය කිරීමට බලපෑ තවත් හේතුවක් ලෙස සැලකිය හැකිය.

මගේ මතය අනුව දැන් සිටින සාම්ප්‍රදායික දේශපාලන නායකයන් සමග සසඳන විට බරපතල සීමාසහිත කම් තිබියදීත් ගෝඨාභය ඒ සියලු දෙනා අතර සිටින දක්ෂතා ඇති වඩාත් කැපී පෙනෙන පුද්ගලයා ලෙස සැලකිය හැකිය. එහෙත් ඔහුගෙ ගති ලක්ෂණ අනුව ඔහු වඩා හොඳින්  ගැළපෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට නොව ඒකාධිපති ක්‍රමයකටය. එහෙත් ලංකාව මුහුණ දී තිබෙන විස්තීරණ අරුබුදයට ඔහු හොඳ විසඳුමක්  වේ යැයි මා විශ්වාස කරන්නේ නැති බවද කිව යුතුය. ඒ හැකියාව සාම්ප්‍රදායික දේශාපාලන ධාරාවේ සිටින අන් නායකයන්ට නැත. ලංකාවේ අර්බුදය ජයගැනීමට අවශ්‍ය කරන තියුණු පරිචයක් පෙන්නුම් කිරීමට ඒ කිසිවෙකුත් සමත් වී නැත. එම හැකියා ඇත්තේ ජාලගතවූ සංවිධානාත්මක මහජනයාට පමණය. රාජ්‍ය හා එහි සමස්ත ආයතන ක්‍රමය තිබෙන්නේ උපරිම මට්ටමක කුණුවූ තත්වයකය. ව්‍යූහමය විපර්යාසයකින් තොරව බලයට පත් වන කිසියම් නායකයෙකුට රට කාලකණ්ණිභාවය කරා යන ගමනේ කිසිදු ගැඹුරු විපර්යාසයක් ඇති කළ නොහැකිය. සමස්ත ක්‍රමය තිබෙන්නේ පූර්ණ වශයෙන්ම කුණුවූ තත්වයකය. එම කුණුවී තිබෙන තත්වය තුළ ජනාධිපති ක්‍රමය වෙනස්කොට අලුතෙන් තේරී පත්වන ජනාධිපතිවරයාට හෝ ජනාධිපති ක්‍රමය වෙනස්කොට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ඇතිකොට අලුතෙන් තේරී පත්වෙන අගමැතිවරයෙකුට හෝ එම කුණුවූ තත්වය වෙනස් කළ නොහැකි විය. විය හැක්කේ අලුතෙන් තේරී පත්වන රාජ්‍ය නායකයා එම කුණුවූ ක්‍රමයේ රුදුරු ගොදුරක් බවට පත්වීමය.

ව්‍යූහමය අර්ථයෙන් ඇතිකරගන්නා විපර්යාසයකින් තොරව බලයට පත්වන නායකයාට වැඩ කරන්නට සිදුවනු ඇත්තේ කුණුවූ ව්‍යාවස්ථාදයකයක්, විධායකයක්, අධිකරණයක් හා ජනමාධ්‍ය ජාලයක් සමගය. බලයට පත්වෙන රාජ්‍ය නායකයාට හෝ රාජ්‍ය නායිකාවට තමන් බලයට පත්කිරීමට බරපැන දරන ලද දූෂිත ධනවතුන්ට ඒ සඳහා ලබාගත් මිල වෙනුවෙන් පොදු  අරමුදල්වලින් ආපසු ගෙවන දූෂිත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත. එහි අවසාන ප්‍රතිඵලය වනු අත්තේ මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කොට බලයට පත්වූ යහපාලන ආණ්ඩුවේ නායකයන්ට සිදුවූ ආකාරයටම යහපාලන ආණ්ඩුවේ නායකයන් පරාජය කොට බලයට පත්වන රාජ්‍ය නායකයාට හෝ නායකයන්ටද කුණුවූ තත්වයට පත්වන්නට සිදුවීමය.

ගොඨභය තේරුම් ගැනීම

බහුත්වවාදී නොවීම හා ප්‍රජාතන්ත්‍රවාදී දැක්මක් වෙනුවට ඒකාධිපති දැක්මක් තිබීම ගෝඨාභය රාජපක්ෂට ආවේණික බරපතළ සීමාසහිතකමක් වේ යැයි කිය හැකිය. ගෝඨාභය රාජපක්ෂ සිංහල බෞද්ධයන් අතර පිළිගැනීමට හේතු වී සිටින නායකයෙකු ලෙස සැලකිය හැකි වුවත් බෞද්ධ නොවන සිංහලයන් අතර හා සිංහල බෞද්ධ නොවන ජනවර්ග අතර පිළිගැනීමට හා විශ්වාසයට හේතුවූ නායකයෙකු බවට පත්වීමට තවමත් සමත්වී නැත. එම සාධකයද ගෝඨාභය රාජපක්ෂ වැනි අපේක්ෂකයෙකුට ජයග්‍රාහී වීමට තිබෙන හැකියාව සීමා කරයි. ඒ සීමාසහිත කම තිබියදීත් ජයග්‍රාහකයා වීමට සමත් වෙතොත්, රටේ පවතින බෙදීම් උග්‍රවීමට ඔහුගේ ජයග්‍රහණය හේතුවනු ඇත.

බහුතර සිංහල බෞද්ධයාගේ අනුමැතිය නැතුව සුළුවර්ගයාට බර තබා ජයග්‍රහණයක් ලබාගන්නා පාලකයෙකුට සාර්ථක පාලකයෙකු වීමට නොහැකිවා සේම  සුළු ජනවර්ගවල අනුමැතිය නැතිව සිංහල බෞද්ධයන්ට බර තබා ජයග්‍රහණයක් ලාබාගන්නා පාලකයෙකුට සාර්ථක පාලකයෙකු විය නොහැකිය. ඒ ක්‍රම දෙකෙන්ම ලබන ජයග්‍රහණයක් රටේ තිබෙන බෙදීම් උග්‍රකිරීමට හේතුවේ. බෙදී සිටින ශ්‍රී ලාංකේය සමාජය ඒකාග්‍ර කිරීමට ශක්තිය ඇති සියලු ජනවර්ගවල විශ්වාසය හෝ ගෞරවයට හේතුවන නායකයන් අපට නැති අතර ගෝඨාභය රාජපක්ෂ සැලකිය හැක්කේ ද ඒ සුදුසුකම හිමිකර ගැනීමට සමත් වී නැති නායකයෙකු ලෙසය.

ඊලඟට පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් නම් වැඩි බලයක් හිමිකර ගැනීමට හැකියාව ඇති අපේක්ෂකයාට මුහුණ දෙන්නට සිදුවන සංකීර්ණ ගැටළු දෙකක් ඇත්තේය. පාවිච්චි කළ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට පනහකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීම දුෂ්කර විය හැකිය. ලංකාවේ දෙවැන්නෙකුට ඡන්දය පාවිච්චි කිරීමක් සිදුවන්නේම නැති තරම්ය. පළමු වටයේදී සියයට පනහකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට අසමත් වෙතොත් දෙවැනි මනාපයෙන් ඒ අඩුව සපුරාගැනීමේ හැකියාවක් ඇත. ඉදිරි ජනාධිපතිවරණයේදී මුහුණ දෙන්නට සිදුවිය හැකි තවත් ගැටළුවක් විය හැක්කේ ඡන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතියකට සියයට 50 කට වැඩි නොවුවහොත් විය හැක්කේ කුමක්ද යන ප්‍රශ්නයයි. ජනමතවිචාරණයක් වලංගුවීමට සියයට 50 කට වැඩි පිරිසක් ඡන්දය පාවිච්චි කිරීම අත්‍යවශ්‍ය වේ නම් ඒ ධර්මතාව ජනාධිපතිවරණයකටද බලපාන්නේය. ඊළඟ ජනාධිපතිවරණයකදී ඡන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතිකය සියයට 50 කට වඩා අඩුවුවහොත් රටේ ලොකු ව්‍යවස්ථා අර්බුදයක් ඇති වීම නොවැළැක්විය හැකිය.

වීරත්වය හා කැරැල්ල

දැන් අපට ගෝඨාභය රාජපක්ෂ ගැන කරන ඇගැයීමකදී අවශ්‍යයෙන්ම සැලකිල්ලට ගත යුතුව තිබෙන වෙනත් කාරණා සලකා බලන තැනකට යා හැකිය. ගෝඨාභයට ලැබී තිබෙන ජනප්‍රියභාවය හා පිළිගැනීම කෙරෙහි බලපා තිබෙන ලොකුම සාධකය ලෙස සැලකිය හැකිකේ එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමට හේතුවූ යුද්ධයට ඔහු විසින් ලබාදෙන ලද  දායකත්වයයි.

නිදහසින් පසු ලංකාවේ තරුණ කැරලි 3 ක් සිදුවිය. ඉන් දෙකක් මෙහෙයවන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසින්ය. අනෙක මෙහෙයවන ලද්දේ එල්ටීටීඊය විසින්ය. 1971 පළමු කැරැල්ලේ පරිමාව විශාල නොවන නිසා මා සැසඳීමට යන්නේ ජවිපෙ දෙවෙනි කැරැල්ල හා එල්ටීටීඊ කැරැල්ල පමණය.

1982 දී දූෂිත ජනමතවිචාරණයක් මගින් එජාප ආණ්ඩුවට හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය දීරඝ කර නොගත්තේ නම් හා 1983 කළු ජූලියක් ඇති නොවූයේ නම් සිංහල හා දෙමළ වශයෙන් වර්ග කළ හැකිවේ. තරුණ කැරලි දෙකම ඇති නොවන්නට ඉඩ තිබුණි. ජනමතවිචාරණයක් නොපවත්වා පාර්ලිමේන්තු මැතිවරණයකට ගියේ නම් එජාප ආණ්ඩුවට තිබුණු හයෙන් පහේ බලය නැති වී ජේ.ආර්. ජයවර්ධන ගණන් බලා තිබෙන ආකාරයටම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය 120 දක්වා පහත වැටී ශ්‍රීලනිප නියෝජනය 68 දක්වා ඉහළ යන්නට ඉඩ තිබුණි. ජවිපෙටද කිසියම් පාර්ලිමේන්තු නියෝජනයක් හිමි වන්නට ඉඩ තිබුණා සේම උතුරෙන් තේරී පත්වෙන දෙමළ නියෝජනයේද ලොකු වෙනස්කම් ඇති වන්නට ඉඩ තිබුණි. ජවිපෙ තහනම් කරන ලද්දේ 83 කළු ජූලිය හේතුවක් කරගනිමිනි. ඔවුන්ට එරෙහිව පනවන ලද එම තහනම ඔවුන් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයෙන් ඉවත්කොට වනාන්තරයට තල්ලු කිරීමට හේතු විය. 83 කළු ජූලිය සිදුවන විටත් දෙමළ ඊලමක් වෙනුවෙන් පෙනී සිටින ප්‍රභාකරන්ද ඇතුළුව කුඩා දේශපාලන කණ්ඩායම් කිහිපයක් උතුරේ සිටියද ප්‍රභාකරන්ට බලවත් ලෙස නැගී සිටීමට අවශ්‍ය ශක්තිමත් සමාජ වටපිටාවක් දෙමළ සමාජයේ ඇති කර දෙන ලද්දේ 83 කළු ජූලියයි. 83 කළු ජූලිය දෙමළ ජනතාව වෙත මුදා හරින ලද කෘරත්වයේ පරිමාව සේම ඒ මිගින් ඔවුන්ට ඇති කළ විනාශයේ තරමද අතිවිශාලය. එය රටේ ගමන් මගේ ලොකු වෙනසක් ඇති කිරීමට බලපෑ දැවැන්ත සිද්ධියක් දෙස සැලකිය හැකිය. ඒ අර්ථයෙන් බලන විට ප්‍රභාකරන් සිංහල වර්ගවාදයේ අවලස්සන නිර්මාණයක් ලෙස සැලකිය හැකිය.
ජවිපෙ දෙවෙනි කැරැල්ල උපරිම මට්ටමේ ප්‍රචන්ඩත්වයත් සමග කෘරත්වයත් මුදාහළ බිහිසුණු කැරැල්ලක් ලෙස සැලකිය හැකිය. එම කැරැල්ල වසර දෙකහමාරක් තරම් දීරඝ කාලයක් අල්ලාගෙන සිටීමට සමත් වූ අතර කැරැල්ල පරාජය කරන ලද්දේ බලය අල්ලා ගැනීමට ආසන්න තත්වයකට පැමිණෙමින් තිබුණු අවස්ථාවකදීය. එල්ටීටීඊ කැරැල්ල ගැන සලකා බැලීමේදී  1987 මැයිවලදී යාපනය එල්ටීටීඊ ආධිපත්‍යයෙන් නිදහස් කර ගැනීම සඳහා දියත් කරන්නට සැලසුම් කර තිබුණු මෙහෙයුමෙන් එල්ටීටීඊට යුදමය වශයෙන් පරාජය කරීමේ ඇත්ත හැකියාවක් ආරක්ෂක හමුදාවන්ට තිබුණද එසේ කළ නොහැකි වූයේ ඉන්දියාවෙන් එල්ලවූ බලවත් විරෝධය නිසා බව අමතක නොකළ යුතුයි. ඒ අර්ථයෙන් ඉන්දු ලංකා ගිවිසුම සිංහල දකුණේත් දෙමළ උතුරේත් මහා පරිමාණයේ ප්‍රචන්ඩත්වයකට තල්ලු කිරීමට බලපෑ තවත් වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය.

ඉතා වැදගත් දේ දකුණේ සිංහල තරුණ කැරැල්ල පරාජය කළ රාජ්‍ය නායකයා ලෙස සැලකිය හැකි ජනාධිපති රණසිංහ ප්‍රෙමදාස හෝ කැරැල්ල මර්දනය කිරීමේ වැඩසටහනට නායකත්වය දුන් රංජන් විජේරත්න හෝ එම කැරැල්ල යුදමය වශයෙන් පරාජය කළ හමුදා නායකයන් වීරයන් ලෙස සමාජය නොසැලකීමය. එය හමුදා මෙහෙයුම්වලට සම්බන්ධ ආරක්ෂක හමුදාවන් පවා රණවිරුවන් ලෙස සැලකුණේ නැත. කැරැල්ල පරාජය කරනවා දකින්නට මහජනයා තුළ කැමැත්තක් තිබුණද සිංහල තරුණ කැරැල්ල පරාජය කෙරුන සාහසික ආකාරය ගැන සිංහල මහජනයා අතර ඊට දේශපාලන නායකත්වය දුන් ජනාධිපති රණසිංහ ප්‍රෙමදාස හා රංජන් විජේරත්න කෙරෙහි සේම ආරක්ෂක හමුදා කෙරෙහිද ඇතිකරගත් බලවත් විරෝධයක් තිබුණි.

එහෙත් උතුරේ දෙමළ කැරැල්ල පරාජය කිරීම සම්බන්ධයෙන් සිංහල ජනයා දක්වන ලද ප්‍රතිචාරය ඊට මුළුමනින් වෙනස් විය. මහජනයා ඊට නායකත්වය දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ, යුද හමුදාවේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු හමුදා ප්‍රධානීන් සලකන ලද්දේ ලංකාවේ පහල වූ ලොකුම වීරයන් ලෙසය. ආරක්ෂක හමුදා සලකන ලද්දේද රට බේරාගත් රණවිරුවන් ලෙසය.

කැරලි දෙක සම්බන්ධයෙන් සිංහල මහජනයා දරණ ආකල්පයේ ලොකු වෙනසක් තිබුණු බව හොඳින් පෙනීයයි. ඒ වෙනසට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ වර්ගවාදී ආකල්පයන්ය. ඒ නිසා ගෝඨාභයට ලැබී තිබෙන වීරත්වය වර්ගවාදී අර්ථයෙන් ලැබී තිබෙන වීරත්වයක් ලෙස සැලකිය හැකිය. එවැනි වීරත්වයක් සිංහල ජනයාගේ ආකර්ෂණයට හේතුවනු ඇතත්, සිංහල නොවන ජනයාගේ ආකර්ෂණයට හේතු වන්නේ නැත.

සැලකිල්ලට ගත යුතු වෙනත් කාරණා

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වේ නම් ඔහු විසින් පැහැදිලි කළ යුතුව තිබෙන මූලික ප්‍රශ්න ගණනාවක් තිබෙන අතර ඔහු විසින් ඒ ප්‍රශ්න ගැන මහජනයාට පැහැදිළි කිරීමක් කිරීම අවශ්‍ය වේ යැයි කිව හැකිය. ඔහු එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කෙරුණු යුද්ධයේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. යුද්ධයේ අවසන් අධියරයේදී සිදුවුණා යැයි කියන සාහසික ක්‍රියා ගැන මම කිසිවක් කතා නොකරමි. එහෙත් යුද්ධයට කිසිදු අන්තර් සම්බන්ධයක් නොතිබුණු බිහිසුණු සාහසික ක්‍රියා ගණනාවක් ඒ කාලයේදී රටේ සිදුවූ අතර, ඒවා ගැන සිදුකරන ලද පරීක්ෂණවලින් චෝදනා එල්ලවී තිබෙනුයේ ආරක්ෂක ලේකම් වශයෙන් ගොඨාභය රාජපක්ෂ මහතාට සමීප සම්බන්ධයක් තිබුණු ආරක්ෂක හමුදා හා පොලිස් නිලධාරීන්ටය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය, රවී රාජ් ඝාතනය හා තාජුඩීන් ඝාතනය, කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය, කප්පම් පිණිස දෙහිවලින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයන් 05 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය ඒවා අතර ප්‍රධානය. ආරක්ෂක හමුදාව හා පොලිසිය භාරව ක්‍රියාකළ ප්‍රධාන නිලධාරියා වශයෙන් ඔහු ඒ ගැන කියන්නේ කුමක්ද? ඒවා ඔහුගේ දැනීමෙන් තොරව සිදුවූ දේවල්ද?

ආරක්ෂක ලේකම්වරයා වශයෙන් රටේ ඇතිවූ එම සාහසික සිද්ධීන් ගැන කරුණු සොයා බලන තැනකට නොගියේ ඇයි?
එම සාහසික සිද්ධීන් පිළිබඳව දැන් කෙරෙන පරීක්ෂණවලින් චෝදනා එල්ලවී තිබෙන්නේ ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ ඔත්තු සේවාවල සේවය කළ ප්‍රධාන පෙළේ නිලධාරීන්ට එරෙහිවය. ඒ සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරික්ෂණ නිලධාරීන් නිර්මාණය කළ බොරු කතා ලෙස සැලකිය හැකිද? ආරක්ෂක අමාත්‍යාංශය භාරව ක්‍රියා කළ ප්‍රධාන නිලධාරියා වශයෙන් එම සාහසික ක්‍රියාවලට ඔහු වගකිව යුතු නැද්ද? ඒ දේවල් සියල්ලට හෝ ඉන් කිසියම් ප්‍රමාණයකට ඔහු වගකිවයුතු නම් රටේ රාජ්‍ය නායකත්වයට තරඟ කිරීමේ සදාචාරාත්මක අයිතියක් ඔහුට තිබිය හැක්කේ කෙසේද? ඔහු එම ප්‍රශ්නවලට තර්කානුකූල හා විස්තරාත්මක පැහැදිළි කිරීමක් මහජනයාට කිරීම අවශ්‍ය නොවේද?
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට තරග කරන්නේ රට ගලවා ගැනීමේ අරමුණෙනි. එහෙත් ඔහු මීට පෙර සිය සහෝදරයාගේ ආණ්ඩුවේ ප්‍රබල භූමිකාවක් රඟපෑ පුද්ගලයෙකි. එම ආණ්ඩුව රටේ මහජනතාව විසින් දූෂණ චෝදනා මත පරාජය කරන ලද ආණ්ඩුවක් ලෙස සැලකිය හැකිය. එම ආණ්ඩුවේ දූෂණය ඔහුට නොපෙනුණේද? පෙනුණේ නම් එම තත්වයෙන් ආණ්ඩුව මුදාගැනීමට නම් ඔහු කුමක් කළේද? එම ආණ්ඩුවේ පරාජය කල්තියා දකින්නට ඔහු සමත්වීද? සමත්වීනම් එම ආණ්ඩුව ගලවාගැනීම සඳහා ඵලදායී කාර්යභාරයක් කිරීමට අසමත් වූයේ ඇයි? තමන්ගේම සහෝදරයාගේ ආණ්ඩුව ගලවාගත නොහැකි වූ පුද්ගලයෙකුට රට ගැලවාගැනීමට සමත්විය හැක්කේ කෙසේද? එම ප්‍රශ්න ගැනද ඔහු රටට පැහැදිළි කිරීමක් කළ යුතුය.
ඒ සමග රාජ්‍ය නායකත්වයට තරග කරන්නෙකු වශයෙන් ඔහු විසින් විස්තරාත්මකව පිළිතුරු දිය යුතු අතිරේක ප්‍රශ්න ගණනාවක්ද තිබෙන්නේය.
1.      දැන් ලංකාවට ඇත්තේ රජ කාලයේ පැවති වැඩවසම් රාජ්‍යයක් නොව නූතන ජාතික රාජ්‍යයකි. ජාතික රාජ්‍යයට නූතන ජාතිය නැතුව පවතිය නොහැකිය. නූතන අර්ථයෙන් සිංහලයන්, දමිළයන් හෝ මුස්ලිම්වරුන් වර්ග ලෙස මිස ජාතීන් ලෙස සැලකිය නොහැකිය. නූතන ජාතිය ලෙස සැලකෙන්නේ රටක ජීවත්වන සියලු වර්ගවලට, කුලවලට හා ආගම්වට අයත් ජනයාය. ඔවුන් අතර ප්‍රචන්ඩ ගැටුම් ඇති කිරීමට හේතුවන භේද නැති කොට ඔවුන් සියලු දෙනාට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙන පදනමක් මත සමාජය ඒකාග්‍ර කිරීමක්, ජාතිය ගොඩනැගීමක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ ලොකු ලේ වැගිරීම් ඇති වූයේ නිදහසත් සමග නූතන ජාතිය ගොඩනගා ගැනීමට ලංකාව අසමත් වූ නිසාය. සිංගප්පූරුව, දකුණු කොරියාව, මැලේෂියාව, ඉන්දියාව වැනි රටවල් වේගයෙන් දියුණුව කරා පියනගන රටවල් බවට පත්වීමේ හැකියාව ලබාගෙන ඇත්තේ එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට නූතන ජාතිය ගොඩනගා ගැනීමට තමත්ව තිබෙන නිසාය. ගෝඨාභය රාජපක්ෂ ඒ ප්‍රශ්නය දකින්නේ කවර ආකාරයකටද? නූතන ජාතිය ගොඩ නැගීමේ අවශ්‍යතාව ඔහු පිළිගන්නෙහිද? පිළිගන්නේ නම් ඒ දේ කරන්න යන්නේ කෙසේද?

2.      රටේ යහපත් ඉදිරි ගමනක් සඳහා නීතිය මත පාලනයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වේ. නීතිය මත පාලනයක් සඳහා පක්ෂ භජනයෙන් තොරව නීතියට අනුකූලව ක්‍රියාකරණ ස්වාධීන අධිකරණයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වේ. ලංකාවේ අධිකරණ ක්‍රමය දැන් තිබෙන්නේ හොඳටම කුණුවූ තත්වයකය. ඒ තත්වය වෙනස් කරන්නේ කෙසේද?

3.      නූතන අර්ථයෙන් පාලකයාට හෝ පාලක පක්ෂයට තිබිය හැක්කේ තාවකාලික භාරකාරත්වයක් පමණය. භාරකාරයා තමන් භාරයේ තිබෙන වස්තුව අයුතු ලෙස ප්‍රයෝජනයට නොගත යුතු අතර පොදු වස්තුව ආරක්ෂා කරමින් එය වැඩි දියුණු කළ යුතුය. එහෙත් ලංකාවේ රාජ්‍ය පාලනය රට පාලනය කරනවාට අතිරේකව පොදු වස්තුව කොල්ලකන ක්‍රමයක් බවට ස්ථාපිත වී තිබෙන අතර රාජ්‍ය පාලකයා හා පාලක පක්ෂය වස්තුව කොල්ලකෑම ලංකාවේ රජ්‍යය පාලනයේ නිත්‍ය අංගයක් බවට පත්ව ඇත. රාජ්‍යයේ චෞර ස්වරූපය ලංකාවේ කාලකණ්ණිභාවය කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් වී තිබේ. එම අවලස්සන තත්වය නැති කරන්නේද? නැති කරන්නේ නම් ඒ කෙසේද?

4.      රටේ සමස්ත ආයතන ක්‍රමය තිබෙන්නේ අකාර්යක්ෂමව, දූෂිත හා පරපීඩාකාමී තත්වයකය. ඒ තත්වයේ වෙනසක් ඇති කරන්නට අපේක්ෂා කරනවා නම් ඇති කරන්නට යන ප්‍රතිසංස්කරණ මොනවාද?

5.      රටේ අනාගතය කෙරෙහි බලපාන ලොකුම සාධකය ලෙස සැලකිය හැකි සමස්ථ අධ්‍යාපන ක්‍රමය තිබෙන්නේ ඉතාමත් අවුල් සහගත සහ පසුගාමී තත්වයකය. අධ්‍යපනය සඳහා වන ඔබගේ ඉලක්ක මොනවාද? ඒ සඳහා ඇති කරන්නට යන ප්‍රතිසංස්කරණ මොනවාද?

6.      අභ්‍යන්තර යුද්ධය අවසන් කොට දශකයකට ආසන්න කාලයක් ගෙවී ඇතත් ආරක්ෂිත හමුදාවන්ගේ ප්‍රමාණය අඩුවීමක් සිදුකර නැත. ආරක්ෂක හමුදාවන්ගේ විශාලත්වය අනුව ලංකාව සිටින්නේ ලෝකයේ 20 වන ස්ථානයේය. පුද්ගලයන් 1000 කට වැටෙන ආරක්ෂක හමුදා සාමාජික සංඛ්‍යාව අනුව ලංකාව සිටින්නේ ලෝකයේ 07 වන ස්ථානයේය. පුද්ගලයන් 1000 කට වැටෙන සෙබළ සංඛ්‍යාව 11.62කි. ආරක්ෂාව සඳහා කරන වියදමද යුද්ධ කලයේදී කරන වියදමටත් වඩා දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. ත්‍රිවිධ හමුදාව සඳහා 2008 වසරේදී කරන ලද වියදම රුපියල් බිලියන 137 ක් වන විට 2015 දී දරා තිබෙන වියදම රු. බි. 270 කි. එම තත්වය ගැන ඔබ දරන අදහස් මොනවාද? 
මෙම ලිපිය නගා තිබෙන ප්‍රශ්නවලට ගෝඨාභය රාජපක්ෂ මහතා දෙන ඕනෑම පිළිතුරක් පාඨකයන්ගේ දැනගැනීම සඳහා පළ කරන්නට රාවය සූදානම්ය.
 
වික්ටර් අයිවන්