Language Switcher

V2025

ගෞතම බුදුන්ගේ දේශයේ දෙව්දත් ආණ්ඩු

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

මේ රටේ විසඳුම් අවශ්‍ය බරපතළම ප්‍රශ්නය හා ප්‍රශ්න මොනවාදැයි ඇසූ විට ලැබෙන උත්තරය තීන්දු වන්නේ අසන්නේ කාගෙන්ද හා කොතැනදීද යන්න මතය ජනාධිපති කඳවුරෙන් ඇසූ විට එය 2020 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ දැමීමය. නැත්නම්  “දින 100 මෝඩ වැඩ” නිවැරදි කිරීමය. එසේත් නැත්නම් පෞද්ගලික රූපවාහිනී නාලිකා හීලෑ කිරීමය. අගමැති පාර්ශවයට අතීශය වැදගත් වන්නේ ලෝක සිතියමෙන් ආසියානු රටවල් සොයා යමින් නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමය. නැත්නම් අවුරුදු 40 ක් පුරා අසාර්ථක යැයි ඔප්පු වූ ග්‍රාමීය වැඩසටහන් සමඟින් දූෂිත විවෘත වෙළෙඳපොළ ආර්ථිකය අලුත් ඇසුරුමක බහා අලෙවි කිරීමය. ඒ වෙනුවෙන් ගම්පෙරළි කරන්නටය. උගත් යැයි සම්මත කොළඹ වෘත්තිකයින්ගේ හා ජනතාව නියෝජනය කිරීමේ අයිතිය පවරාගෙන ඇති සිවිල් සමාජ ක්‍රියාකාරීන් යැයි කියා ගන්නා මහෞෂධයන්ට අනුව වහා විසඳුම් අවශ්‍ය වන්නේ ඔවුන් චෝදනා නැගූ රාජපක්ෂ යුගයේ නායකයින් අල්ලා හිරේ දැමීමය. ඊළඟට, අලුත් ව්‍යාවස්ථාවක් හැදීමය. එයින් තවත් කිහිප දෙනෙකුගේ දැවෙනම ප්‍රශ්නය බවට පත්ව ඇත්තේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමගෙමෙන් සල්ලි ලබාගත් දේශපාලඥයින්ගේ නාම ලේඛනය ලබා ගැනීමය. ජ.වි.පෙ. ට අනුව විධායක ජනාධිපති ධූරය අහෝසි කරන 20 වන ව්‍යාවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමය. හතර අත දූෂණය වූ රටක මේ කිසිත් තමන්‍ගේ ප්‍රශ්න නොවේ යැයි ජනතාවගෙන් ඇසුවහොත් ලැබෙන පිළිතුර වනු ඇත. උදයට නගරයට එන කිසිවකුගෙන් ඇසුවහොත් ඔවුන් කතා කරනු ඇත්තේ මගී ප්‍රවාහනයේ ඇති මහා අවුලය. කලට වෙලාවට ගමනක් යා නොහැකි බස් සහ දුම්රිය ගමනා ගමනයේ ඇති විඩාව හා පීඩාවය. තමන්ට යැයි රෝද දෙකේ හෝ සතරේ වාහනයක් ණයවී මිලට ගත් අයෙකුගෙන් ඇසුවහොත් ඔහුගේ හෝ ඇයගේ මැසිවිල්ල වනුයේ කිලෝමීටර් තුන හතරක ගමනක් සඳහා පැයක් හමාරක් මහමග රස්තියාදු වන්නට සිදුව තිබීමය. ගමේ තරුණ තරුණියන්ගෙන් ඇසුවහොත් ඔවුන්ගේ බරපතලම ප්‍රශ්නය සාමාන්‍ය ජීවිතයක් සඳහා අවශ්‍ය මාසික ආදායම ගමේ ආර්ථිකයෙන් උපයාගැනීමට නොහැකිවීමය. ගමේ පාසලේ ගුරුවරුන් හා පහසුකම් නොමැති යැයි තවකෙකු කියන අතර, ප්‍රදේශයේ රෝහල ගැනත් වෛද්‍ය සේවාව ගැනත් තවත් පැමැණිලි ඉදිරිපත් වනු ඇත. සමාජයේ පහළ මට්ටමේ කිසිවකුගෙන් හෝ ඇසුවහොත් ඔවුන්ගේ බරපතලම ප්‍රශ්නය වන්නේ “ දැන් මේ දෙවේල කන්න හම්බකරන එකත් අමාරුයි” යන්නය.

උතුරු නැගෙනහිර පැත්තට විශේෂයෙන් වන්නිකරයට ගියහොත් ඔවුන් අවුරුදු 09 ට පසුවත් තවමත් යුද අනාථයින්ය. ඔවුන්ගේ ඉල්ලීම් අතීශය මානුෂීය ඉල්ලීම්ය. ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ගේම ඉඩම්ය. සාමකාමී ජීවත් වියහැකි පරිසරයක් හා ජීවනෝපායන්ය. අතුරුදන් වූ ඔවුන්ගේ පවුලේ සමාජිකයින් ගැන නිවැරදි තොරතුරුය. චෝදනා නැතිව වසර ගණන් රඳවාගෙන ඉන්න ඔවුන්ගේ තරුණයන්ය.

ඇත්ත නම්, රාජ්‍ය පරිපාලනය ජනතාවට වග නොකියන පිරිහුණු, අකාර්යක්ෂම හා දූෂිත පරිපාලන සේවාවක් බවට පත්ව ඇත. ඒ කතාව එලෙසින්ම පොලීසිය, අධිකරණය වැනි ආයතන ගැනද කිව හැක. මේවා වෙත අවධානය යොමු කෙරෙන වැදගත් කරුණු සංවාද ඇති කෙරෙන මාධ්‍ය ඇත්තේද නැත. ඒ සඳහා උත්තර සොයන කතිකා හා සංවාද මෙන්ම විද්වතුන් හා වෘත්තිකයින් ඇත්තේද නැත. එහෙත් වල් වැදුණු දූෂිත දේශපාලන පක්ෂ මගින් උත්තර සොයා ගත හැකි යැයි සමාජ මතයක් විශ්වාසයක් මාධ්‍ය හා කොළඹ මහෞෂධලා නඩත්තු කරති. පක්ෂ නායකයෝද සියල්ලට උත්තර ඇත්තේ තමන් ළඟ යැයි බෙරිහන් දෙති. නිදහසින් පසු පළමු අවුරුදු 30 ක කාලයේ අවශ්‍ය සංවර්ධනය නොවුණු අසාර්ථක කාලයක් වුවත් එකල පක්ෂ නායකයෝ ඔවුන් විශ්වාස කළ සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නැඟීමට උස්සාහ කළෝය. ඉන්පසු අවුරුදු 40 ක් අප විවෘත ආර්ථිකය සමග ගතකර ඇත්තේ හැම අතින්ම දූෂීත, පිරිහුණු ආයතන, සේවා, පාලන ව්‍යූහ හා දේශපාලන පක්ෂද හදා ගැනීමටය. ඒවාට ගැළපෙන අයුරු නීති රීති හැදීමට හෝ නීති නැවීමටය.

මේ ආකාරයේ නීති හැදීම හා නීති නැවීම ඇඟට නොදැනී කෙරෙන අවස්ථාවක් සඳහා හොඳම උදාහරණය අති ජනප්‍රිය නාමධාරී පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුලත් කර ගැනීමය. 1962 සිට පළමු වසර සඳහා ළමුන් ඇතුලත් කරනු ලබන්නේ පාසලේ සිට දුර ප්‍රමාණය අනුවය. පසුගිය දශක දෙක තුනක සිට ඒ දුර ප්‍රමාණය ගණන් හැදෙන්නේ මීටර් දෙසීය තුන්සීය ලෙසින්ය. එහෙත් එවැනි කොළඹ නගරයේ පාසල්වලට අලුත්ගම, ගම්පහ, ඇහැළියගොඩ, හොරණ ආදී ප්‍රදේශවල සිට පාසල් සේවා වෑන් පැමිණෙන්නේ මන්දැයි කිසිවෙකු ප්‍රශ්න කරන්නේ නැත. එපමණක් නොවේ. හැම ආණ්ඩුවක්ම එවැනි පාසල් වෑන් රථ නියාමනය කිරීමටද ඉදිරිපත් වන්නේය.

මේ සිදුවන මහා බොරුව, වංචාව උදේ සවස ජනතාව ගසා කෑම ජනතාවට තේරුම් නොයන්නේත් ඒවා එතරම්ම එදිනෙදා දිවියේ සාමාන්‍ය දේවල් බවට පත්ව ඇති නිසාය. මේ හැමකින් මඳක් ඈත්ව විපරම් ඇසින් බැලුවහොත් පසුගිය සති කිහිපයේ වැදගත් නොවන්නේ යැයි කොළඹ වෘත්තිකයින් හා සමාජ ක්‍රියාකාරීන් ඉවත දමා ඇති පුවත් අතරින් අහුලාගත හැකි පුවත් කිහිපයක් මේ රටේ සම්ස්ත පිරිහීම කෙතරම් දැයි කියනු ඇත.

පාර්ලිමේන්තුවේ කථානායක හැර මන්ත්‍රීවරුන් 224 ක් අතුරින් අගමැති ඇතුළුව 41 ක් ඇමතිවරුන්ය. තවත් 24 ක් රාජ්‍ය ඇමතිවරුන්ය. 21ක් නියෝජ්‍ය ඇමතිවරුන්ය. සාමාන්‍ය මන්ත්‍රීවරුන් ලෙස ඒ අනුව ඉතිරිව ඇත්තේ 138 කි. ඔවුන්ගෙන් ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් 40 ට “කංකානම්” මන්ත්‍රීවරුන් යැයි සාමාන්‍ය වහරේ සඳහන් අමාත්‍යංශ “නියාමන” මන්ත්‍රී වගකීම් පවරා තිබිණ. ඒ වෙනුවෙන් ඔවුනට රුපියල් 50,000 ක අමතර මාසික දීමනාවක් ගෙවූ බවට වාර්තා විය. මන්ත්‍රීවරයෙකුට රුපියල් 54,000 ක මාසික චේතනයට අමතරව ලබා දෙන වෙනත් දීමනා සහ පහසුකම් වෙනුවෙන් රුපියල් 1,50,000 ක් පමණ මහජන මුදල්වලින් වැය කෙරෙන්නේය. ඔවුන් පාර්ලිමේන්තුවට නිල වශයෙන් පැමිණිය යුත්තේ මාසයකට දින 09 කි.

ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් හා නියෝජ්‍ය ඇමතිකම් නොලැබුණු ඉතිරි මන්ත්‍රීවරුන් සියලු දෙනාම කංකානම් මන්ත්‍රීවරුන් කිරීමේ යෝජනාවක් මේ අතර අගමැති ඉදිරිපත් කර ඇත. මෙවර ඒ වෙනුවෙන් මාසිකව රුපියල් 75,000 ක දීමනාවක් ඇතුළත් කර රුපියල් ලක්ෂ 07 ක පමණ වරදාන මල්ලක් ඔවුන්ට ලබාදෙනු ඇතැයි වාර්තා විය. අගමැති මාධ්‍ය ඒකකය තවමත් ඒ වාර්තා ප්‍රතික්ෂේප කර නැත. ජ.වි.පෙ.ද ඒ ගැන කිසිවක් මෙතෙක් කියා නැත. එය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබුණහොත් අයවැය යෝජනා හා ඇස්තමේන්තු කිසිවක් නැතිව මහජන මුදල් මාසිකව රුපියල් ලක්ෂ 966 බැගින් ඉදිරි වසර සඳහා ලක්ෂ 11.592 ක් මේ කංකානම් මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැය කළ යුතු වන්නේය.

මහජන මුදලින් නිල වශයෙන් මංකොල්ලකෑම මන්ත්‍රීවරුන්ගෙන් නතර නොවන්නකි. අධිකරණ ක්‍රියාවලියද අතීශය දූෂිත, අකාර්යක්ෂම හා පක්ෂග්‍රාහී ක්‍රියාවලියක් බැව් එමට චෝදනා ඇත. එක නඩුවක් සඳහා අවුරුදු ගණන් උසාවිවල රස්තියාදු වන්නට සිදුවන, කල් තබන හැම නඩුවාරයක් සඳහාම නීතිඥයින් කබා සාක්කුවේ මුදල් බහා ගන්නා අධිකරණ ක්‍රියාවලියක, අවුරුදු ගණන් ඇප නොලැබ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්නට සිදුවන, අවුරුදු 16 දී දූෂණයට ලක්වූ දැරිවියකට අවුරුදු 31 ක තරුණියක් ලෙස නඩු තීන්දුව බාර ගැනීමට සිදුවූ අධිකරණ ක්‍රියාවලියක තිබිය හැකි සාධාරණත්වයක් නැත. එය අඩු වැඩි වශයෙන් පහළම උසාවියේ සිට ඉහළම උපරිමාධිකරණය දක්වා දැකිය හැකි පිරිහීමකි. එසේ නොවේ නම් අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට අධිකරණ ආවරණයක් ඉල්ලා 2015 මැයි මාසයේදී උසාවි ගිය ගෝඨාභය රාජපක්ෂට ලබා දුන් තාවකාලික ආවරණය තවමත් වලංගුයැයි සහකාර පොලිසිටර් ජනරාල්වරයා 2018 මැයි 31 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයට නොකියනු ඇත. එසේ නොවේ නම්, එම පෙත්සම් විභාගයෙන් විටින් විට විසිසුරුවරුන් ඉවත් නොවනු ඇත. එසේ තිබියදී එය නැවත නොවැම්බරයට කල් නොතබනු ඇත. එවැනි අධිකරණ ක්‍රියාවලියකට අපහාස කළ හැක්කේ කෙසේදැයි නොදනිමි. එසේ වුවත් මේ අධිකරණ ක්‍රියාවලියේ මහේස්ත්‍රාත්වරුන්ට හා විනිසුරුවරුන්ට 2017 වසර අවසන් වන විට ලැබූ වැටුප් හා දීමනා සියල්ලේ එකතුව දෙගුණයක් වන සේ ඉහළ දමන්නට මේ ආණ්ඩුවේ ඇමති මඩුල්ල තීරණය කළහ.

ඒ සමග පරිපාලන සේවාව විරෝධය පෑවේය. රාජ්‍ය සේවාවේ පැවැති වැටුප් අනුපාත සියල්ල ඉන් උල්ලංඝනය කෙරුණු අතර වැටුප් විෂමතා ගණනාවක් ඇති විනැයි ඔවුහු පැමිණිලි කළහ. ආණ්ඩුව එයටද එකඟ වී ඇත. ඒ අනුව වාර්තාවන අයුරු නුදුරු අනාගතයේදී අමාත්‍යංශ ලේකම්වරුන්ට හා ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ. සමාන්තර ශ්‍රේණි රාජ්‍ය නිලධාරීන්ට රුපියල් 50,000 ද මාසික දීමනාවක් අනුමත කිරීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරෙනු ඇත. එම දීමනාව ඔවුන්ගේ විශ්‍රාම වැටුප ගණන් හැදීමටද එකතු කෙරෙන්නේ යැයි සඳහන් වන්නේය. මෙය පැහැදිළිවම එතැනින් නතර නොවන්නකි. බිඳ වැටී දූෂිතව ඇති රාජ්‍ය ආයතනවල සැවොම ඒවාගේ කාර්යක්ෂමතාව හා ස්වාධීනත්වය ගැන කතා නොමැතිව තමන්ගේ වැටුප් හා දීමනා වැඩිකර ගැනීමට ඉදිරිපත් වනු ඇත. තව දුරටත් ජන ජීවිතයට කිසිදු වැදගත්කමක් නොමැති රාජ්‍ය සේවා වෙනුවෙන් වැඩි වැඩියෙන් බර කරගසන්නට ජනතාවට සිදුවන්නේ ඔවුන් දන්නේද නැතිවය.
මේ අතර අප නොදැන සිටි තවත් බරපතල වංචාවක් ඇත. “ උපයන විට ගෙවීම” නම් බදු කාණ්ඩයට අයත්වන සැවොම එම බදු ගෙවිය යුත්තේ තම වැටුපෙනි. එහෙත් පසුගිය කාලය පුරා බොහෝ රාජ්‍ය හා සංස්ථාපිත ආයතනවල එකී බදු කාණ්ඩයට අයත් ඉහල නිලධාරීන්ගේ  “උපයන විට ගෙවීමේ”  බදු මුදල ගෙවනු ලැබ ඇත්තේ රජය විසින්මය. එය පැහැදිළිවම ජනතාවට හිමිවිය යුතුව තිබූ බදු ආදායම පිල්ලි ගැසීමකි. මේ හොරකම දේශපාලඥයින්ගේ අනුදැනුම ඇතිව කොළඹ කේන්ද්‍රීය වෘත්තිකයින් විසින් ඉතා දැනුවත්ව ඔවුන්ගේ වාසිය සඳහා ගෙන ගිය අති දූෂිත ක්‍රියාවලියකි. මේ විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙහි දූෂණ හා වංචා කෙතරම් දුරට ආයතනගතව ඇති දැයි ඒ සියල්ලෙන් කියවෙන්නේය.

ගෞතම බුදුන්ගේ දේශය යැයි කියන රටේ මේ මහා බොරුව, විනාශය වසාගෙන නැවත කවුරුන් හෝ සිංහල බෞද්ධ ජනාධිපති අපේක්ෂකයකු තෝරාගන්නේ මහා ආඩම්බරයෙනි. එවැනි සිංහල බෞද්ධ රාජ්‍ය නායකයින් යටතේ මේ රටේ මෙවැනි දේවදත්ත ආණ්ඩු පාලන පත් කෙරෙන්නේද සිංහල බෞද්ධයින්ගේ ඡන්දවලින්ය. 2020 සඳහා ඇත්තේද එවැනිම සූදානමකි. රටේ ජනතාවගේ මූලික හා ප්‍රධාන ගැටලු සම්බන්ධ කිසිදු කතාවක් ජනාධිපති අපේක්ෂකයින් තේරීමේදී නොමැත්තේද එබැවින්ය. සරලව කියන්නේ නම් මේ ගෞතම බුදුන්ගේ දේශයෙහි සිදුවන්නේ වරින්වර රට බාර දීමට දේවදත්තයෙකු සෙවීමය.
 
කුසල් පෙරේරා