V2025

විජයකලා හා විජයෝන්මාදය

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේසතිය විජයකලා මහේස්වරන්ගේ ය.

බැඳුම්කර වංචාවන් ද, හිට්ලර් කෙනෙක් ඉල්ලා කළ ආයාචනාව ද, හම්බන්තොට වරාය කොල්ලය ද විසින් පසමිතුරු කඳවුරුවලට බලමුළු ගන්වා තිබූ දකුණේ බොහෝදෙනා හදිසියේ සොයාගත් ‘ජාතික සමගියේ වරපටින්’ ගැටගසන්නට ඇයට ගතවූයේ තත්පර 15කට නොඅඩු කාලයකි. යාපනය නගරයේ පැවති රැස්වීමක් අමතමින් කතා කළ ඇය කොටි සංවිධානය පැවති සමයේ ස්ත්‍රීන් හා දැරියන් ලිංගික හිංසනයට පාත්‍ර නොවිණැයි කියා මෙසේ ද කීවාය:

2009 මැයි 18 දිනට කලින් අපේ ජනතාව ජීවත්වුණේ කොහොමද කියලා ඔබලා දන්නවා. මේ අවස්ථාවේ තත්ත්වය බලන විට නැවත එල්ටීටීඊ ය ගෙන ආ යුතු තත්ත්වයක් තමයි තිබෙන්නේ. අපේ ළමයි, අපේ ගැහැණු අය පාසල් ගොස් නැවත නිවෙස් කරා එන තත්ත්වයක් ඇති කිරීමට නම් නැවත එල්ටීටීඊ පාලනයක් පැමිණිය යුතුයි.”

රැස්වීම් ශාලාවේ සිටි කිසිවෙක් නැගී සිට විරෝධය පානු හෝ රැස්වීමෙන් පිටව යනු දක්නට නොලැබිණ. අඩුම වශයෙන් රැස්වීමෙන් ඉකිබිතිව එළඹි දිනවල හෝ විජයකලා විරෝධී පෙළපාලි හා උද්ඝෝෂණ උතුරේ හෝ නැගෙනහිර වීදි සරතැයි වාර්තා පළ නොවුණි.

ඒ වෙනුවට, ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක් වූ උතුරු පළාතේ මහ ඇමතිවරයා මෙසේ කියා තිබිණ: “යුද්ධ කාලයේදී ගෑනු ළමයෙක් පෙනෙන්නට රත්තරන් ඇඳගෙන රෑටත් තනියෙන් බය නැතිව පාරේ යන්න පුළුවන් තත්වයක් තිබුණා. කවුරුත් ඇයට හිරිහැරයක් කරන්නේ නෑ. ආරක්ෂා සහිතව ඇයට ගෙදරට යන්න පුළුවන් තත්වයක් තිබුණු බව ලෝකයම දන්නා ඇත්තක්. අද එහෙමද? කඩු, ස්ත්‍රී දුෂණ, ප්‍රචන්ඩ ක්‍රියා, මත්ද්‍රව්‍ය පාවිච්චිය ඉතා ඉහළයි”.

පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම් විසින් කරන ලද ප්‍රකාශයක දැක්වෙන්නේ “එල්ටීටීඊ පාලනයක් පැවති යුගයේ උතුරේ කල්ලි දූෂණ තිබුනේ නෑ, සංස්කෘතිය රැකුණා, මිනිස්සු ආරක්ෂාව  ඇතිව ජීවත් වුනා. ඒ කාලේ මේවා කරලා බේරිලා යන්න බෑ. අද ලේසියෙන් බේරිලා යන” බව ය.

‘යුද පීඩාව හැරුනු විට ප්‍රභාකරන්ගේ කාලයේ දෙමළ ජනයා ආරක්‍ෂිතව ජීවත් වූ බව කීමෙන් අපි ත්‍රස්තවාදීන් වන්නේදැයි’යි  මහ ඇමති විග්නේස්වරන් විමසා ඇත්තේ ඒ අනුව ය.

නමුත් දකුණ ඇවිළිණ.

හෙළාදැකීම් ද, කෝපාන්විත කතුවැකි ද, උද්වේගී පාර්ලිමේන්තු කතා ද, වීදි පෙළපාලි ද, ප්‍රවෘත්ති සාකච්ඡා හා පුවත්පත් නිවේදන ද, වියරු සමාජ මාධ්‍ය ප්‍රහාරයන් ද සහිත දේශානුරාගී සතියකට ඇරයුම් කරන ලද්දේ මේ තත්පර 15කට අඩු කාලයක් ඇතුළත විජයකලා මහේස්වරන් විසින් කියා හමාර කළ වැකි කිහිපය විසිනි. ඇය පාර්ලිමේන්තුවෙන් පළවා හැරිය යුතුයැයි ද, ඇයගේ ප්‍රජා අයිතිය අත්හිටුවා රටින් පටුවහල් කළ යුතු යැයි ද, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයට භාජනය කර අත් අඩංගුවට ගත යුතු යැයි ද ඒකාබද්ධ විපක්ෂයේ හා ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් ඉල්ලා ඇති අතර පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට ඇය කැඳවිය යුතු බවටත්, තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගත යුතු බවටත් ජනතා විමුක්ති පෙරමුණ කියා තිබේ.

‘ඕනෑ නම් දෙවැනි නන්දිකඩල් කළපුව හැදීමට තමන් සූදානම් බවත්, එය පළමුවැන්නට වඩා විශාල විය හැකි බව විජයකලා නමැති ‘කොටිදෙනට’ මතක් කර දෙන්නට කැමති බවත්’ කියා තිබුණේ හෙළ උරුමයේ පරම පිවිතුරු කණ්ඩායම විසිනි.

වංචනිකයන්, දූෂිතයන්, මං පහරන්නන් හා මිනිස් ඝාතකයන් යනාදී චෞර සිව්රඟ සේනාවන් ‘මහා ජනසම්මතවාදීන්’ හා සමගි සම්පන්න කොට දකුණේ නගරයෙන් නගරයට දැන් ඇවිළ යන දේශ වාත්සල්‍යයේ වහසි බස් සංග්‍රාමය විජයකලා මහේස්වරන්ගේ ඉරණම කෙසේ විසඳනු ඇතිදැයි අපි නොදනිමු. නමුත් ඇය මුහුණදීමට නියමිත ඒ ඉරණම විසින් වෙනස් නොවන එක ඇත්තක් තිබේ. තිත්ත වුව ද ලිවිය යුත්තේ ඒ ඇත්ත ගැන ය.

විජයකලාගේ ප්‍රකාශය සාමාන්‍ය දෙමළ ජන ආකල්පය නියෝජනය නොකරතැයි බොහෝදෙනා කියති. ඇයගේ ප්‍රකාශය කොටින්ගෙන් බැට කෑ දෙමළ ජනයාගේ ඉරණමට පිටුපෑමකැයි ද, පශ්චාත් යුද කාලීන නිදහස ගැන පසන් හැඟීමෙන් පසුවන උතුරු හා නැගෙනහිර දෙමළ ජනයාගේ යථාර්ථය විකෘති කිරීමකැයි ද එකී පිරිස් අදහති. පරහකට ඇත්තේ එසේ සිතන - පතන සියලුදෙනා සිංහලයන් වීම ය. විජයකලා කතා කළේ දෙමළෙන් වුව ද, මේ සියළු අදහස් පළවන්නේ ද, ලියැවෙන්නේ ද සිංහලෙනි. විජයකලා හා සාමාන්‍ය දෙමළ ජනයා අතර සිංහලෙන් පරිකල්පනය කරගත් ප්‍රතිපක්ෂය වනාහී යට කී සිංහලයන්ගේ නිර්මාණයකි. විජයකලා විසින් කරන ලද ප්‍රකාශය, ඇයගේ අවශේෂ දේශපාලන පිළිවෙත් නොපිළිගන්නා සී.වී.විග්නේස්වරන් හෝ සී.වී.කේ.සිවඥානම් වැන්නන් පවා අනුමත කරන්නේ මන්දැයි විමසා බලන්නෝ විරළ වෙති. ඒ සම්බන්ධයෙන් විජයකලාට හෝ විග්නේස්වරන්ට හෝ සිවඥානම්ට එරෙහි විරෝධයක් දෙමළ ජනයා එල්ල නොකරන්නේ මන්දැයි කල්පනා කිරීම අනවශ්‍ය සේ සැළකෙන්නේ ඒ නිසා ය.

දැන් යළිත් රළ නඟන විජයෝන්මාදයේ ඝෝෂා විසින් මැඩලන තිත්ත ඇත්ත මෙයයි: ජාතික ප්‍රතිසන්ධානයට සහ සමගි සම්පන්නභාවයට කැපවුණු දකුණේ දේවාල අරක්ගත් වෘත්තීය සංහිඳියා සුරුවම් අවට රස්තියාදුවන්නන්ට හමුනොවන දෙමළ වැසියකු උතුරේ හා නැගෙනහිර ගම් නියම්ගම්වල සැරිසරයි. සිය ගම්බිම් අල්ලා වාඩි ලා ගත් හමුදා ඉවත් කරන්නැයි ඉල්ලා සිටින ගම්වැසියන් අතර ද, තිස් වසකට පෙර කොල්ල කා, භුක්ති විඳ විනාශ කිරීමෙන් පසු ‘අවුරුදු තෑග්ගක්’ සේ පවරාදුන් සුන්බුන් ගේ දොර ඉඩකඩම්වල හිස් හැඟීමෙන් බලා සිටින වයෝවෘද්ධ මිනිසුන් අතර ද,   සිය මළවුන් සමරනු වස් මැයි 18 වැනිදා මුල්ලිවයික්කාල් වැල්ලේත්, නොවැම්බර් 27 වැනිදා කිලිනොච්චියේ සෙල්වනගර් සුසාන භූමියේත් රැස්කන ජනයා අතර ද, පැහැරගත් සිය දරුවන් ඉල්ලා දින 500ක් තිස්සේ අඛණ්ඩව සත්‍යග්‍රහයේ නියැලෙන මව්වරුන් අතර ද, දකුණේ බන්ධනාගාර අවට කලින් කල රොක් වී සිය දරුවන් හා සැමියන් නිදහස් කරන්නැයි වැළපෙන ගැහැණුන් අතර ද ඒ ‘දෙමළා’ ගැවසේ. ජාතික අසමානත්වයේත්, සමාජ අයුක්තියේත්, නිර්දය සාමූහික අවමානයේත් නොවියැකුණු වණ කැළැල් නම වසකට වැඩි කලක් දරාගත් ඒ නාඳුනන දෙමළා, යුක්තිය හා ගරුත්වය පිළිබඳ සිය සිහින මුසාවෙන් වැසූ චාටු වාගාලාපවලට හිලව් කොට අත් නොහරියි. රාජ්‍ය ප්‍රචණ්ඩත්වයෙන් හා වෙනස් ලෙස සැළකීමෙන් බැට කෑ තිස් පස් වසරකට පෙර දෙමළ ගම්බිම්වල සැරිසැරූ අපේක්ෂා භංගත්වයේ සෙවණැල්ල ඒ මිනිසා පසුපසින් දැන් යළිත් සැරිසරයි.

රාජ්‍ය ඇමතිධූරයකින් පිදුම් ලැබ, බල දේශපාලනයේ වරප්‍රසාද භුක්ති විඳින විජයකලා මහේස්වරන් දෙමළ ජනයාගේ අව්‍යාජ හා සයුක්තික අභිලාෂයන් නියෝජනය නොකරනවා වන්නට පුළුවන. නමුත් යාපනයේ වීරසිංහම් ශාලාව තුළ අත්පොළසන් ලද තත්පර 15ක් තුළ ගැබ් වූ සහේතුක කෝපය හා කළකිරීම පිළිබඳ යථාර්​ථය එමගින් පහව නොයයි.☐

(මෙම ලිපිය 2018 ජූලි 08 වැනිදා 'අනිද්දා' පත්‍රයේ මුල්වරට පළවිය.)

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found