V2025

දෙව්ලොවේ දුෂ්ට පැත්ත- නරකාදියේ ධර්මිෂ්ට පැත්ත (1)

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දෙව්ලොව සහ නරකාදිය පිළිබඳ සංකල්පය වටහා ගැනීමට මට කිසි දවසක හැකි වී නැත. මගේ පැතුම් සපුරන සුරපුරක් වේ නම්, මගේ පැතුම්වලට ඉඳුරා පටහැනි ඉෂ්ටාර්ථ ඇති කෙනෙකු සඳහා වෙනම සුරපුරක් වේ ද? බොරු කීමෙන් අපායේ යයි නම්, මගේ රුව ලස්සණ යැයි කියන මගේ මිතුරෙකු අපායේ වැටෙයි ද? මොන හේතුවකින් හෝ මා දෙව්ලොව ගියොත්, එහිදී මට හමු වන මගේ මිතුරන් මා අවලස්සණ යැයි කියනු ඇත් ද? හැම පැයක් ගානේම දහස් ගණනක් මිනිස් ජීවීන්ව දෙව්ලොවට ඇතුළත් කර ගැනීම සඳහා පරීක්ෂාවට ලක්කරන දොරටුපාලයෝ කවරහු ද? අපේ යහපත් ක‍්‍රියා සහ අයහපත් ක‍්‍රියා ගණනය කරන සහ මිල කරන කෙනා කවුද? සුරපුරේ ඒ කාර්ය පරිපාටිය ඒ සා කාර්යක්ෂම වුණේ කෙසේදැ යි දැන ගැනීමට කිසි දවසක අපට හැකි වේද?

දෙව්ලොව යනු, සම්පත් බහුල සාමකාමී තැනක් හෝ විශ්වයට එපිට වෙසෙන වඩාත් දියුණු ශිෂ්ටාචාරයක ජීවීන්ගේ අවකාශයක් වශයෙන් සලකන නූතනයේ ආගම් අදහන පිරිස්, උපමා රූපක භාෂාව හඳුනා ගැනීමට මා අසමත්ව ඇතැයි මට චෝදනා කරනු ඇත. එහෙත් එවැනි ලෝකයක් මේ මිහිපිට නිර්මාණය කර ගන්නවා වෙනුවට, බොහෝ ආගම්කාරයන් කරන්නේ, එම ලෝකය මරණයෙන් පසුව අත්පත් කර ගැනීමට බැලීම පමණක් නොව, අනිත් අයවත් මරණය දක්වාම ඒ පස්සේ පැන්නීමට තල්ලූ කිරීමයි.

අප අදහන (හෝ නොඅදහන) ආගම කුමක් වෙතත්, අපේ ගැලවීම අප අපේක්ෂා කරන්නේ අපේම ‘විපරීත’ ක‍්‍රමයකටයි. හොරෙකු, ඔහු හෝ ඔහුගේ පවුලේ එදා වේල පිරිමසා ගැනීමේ යහපත් චේතනාවෙන් හොරකම් කරනවා විය හැකිය. බේබද්දෙකු හෝ කුඩුකාරයෙකු, තමන් මුහුණදෙන කුරිරු යථාර්ථයෙන් පලා යාමේ චේතනාවෙන් මැඩෙනවා විය හැකිය. මිනීමරුවෙකු තමාගේ විශ්වාසයක් වෙනුවෙන් හෝ බියපත් ළමා කාලයක වහලෙකු වශයෙන් හෝ තව කෙනෙකු ඝාතනය කරනවා විය හැකිය. ජාතියක ශ්‍රේෂ්ඨත්වයක් ගැන දේශනා කරන භික්ෂුවකට ඇත්තේ ජනතාවකගේ මමංකාරය නැංවීමෙන් ඔවුන් සමාජයට වැඩදායක මිනිසුන් බවට පත්කිරීමේ සද්චේතනාව විය හැකිය.

ඒ අනුව ගත් විට, අප කාටත් ඇත්තේ යහපත් චේතනාවන් විය හැකිය. මේ ලිපිය ලිවීමේ මගේ යහපත් චේතනාව වන්නේ, අනිත් අය ගැන විනිශ්චයකරුවෙකු හෝ ජුරියක් වීමට හෝ නොව, යහපත් චේතනා (දෙව්ලොවක් සෙවීම) එතරම් යහපත් නැති ප‍්‍රතිඵලවලට තුඩුදිය හැකි බව පෙන්වා දීමයි.

ග‍්‍රීක දේවකතා සාහිත්‍යයේ හයිඩ‍්‍රා නමින් හැඳින්වෙන සර්පයෙකු ගැන සඳහන් වෙයි. එක් විලක ජීවත් වු මේ සර්පයාට පෙන ගණනාවක් තිබුණේලූ. සාමාන්‍ය කඩුවකින් ගසා ඒවා නැසිය නොහැක. මේ කතාවේ නූතන අර්ථකථනයට අනුව, උගේ එක පෙනයක් ගසා දැමුණු විට තව පෙන දෙකක් ලියලයි. ඒ නිසා, ඌ නැසීමට සාමාන්‍ය කඩුවක් පාවිච්චි කරනු වෙනුවට හර්කියුලිස් අවසානයේදී කෙළේ, ගිනි දැල් කඩුවක් භාවිත කොට ඌ වනසා දැමීමයි.

කෙසේ වෙතත්, වර්තමානයේ එවැනි සර්පයන් නැති බවත්, ගිනි-අසිපත් අපට සැපයීමට දෙවි කෙනෙකු නැති බවත් අපි දනිමු. එහෙත්, නූතනයේ වෙසෙන හයිඩ‍්‍රා සර්පයන්ට (මත්ද්‍රව්‍ය උවදුර, විෂාදිය, සියදිවි නසා ගැනීම, හොර දඩයම, අන්තවාදය සහ ත‍්‍රස්තවාදයට) එරෙහි අරගලයේදී ඊට සමාන තත්වයකට මුහුණදීමට අපට සිදුවන අතර, දැනට අප සතුව නැති ආකාරයේ අවි ඒ සඳහා සපයා ගැනීමට අපට සිදු වනු ඇත.

උදාහරණයක් වශයෙන් හොර දඩයම සලකා බලමු. අප‍්‍රිකාවේ රයිනෝසිරස් හෙවත් කඟවේණුන් දඩයම් කිරීම අනාදිමත් කාලයක් තිස්සේ කෙරීගෙන යයි. ඒ, උංගේ අෙඟ් වටිනාකම නිසා ය. එබැවින් මේ සතුන් වඳ වී යාම වලක්වා ගැනීම අරමුණු කොටගෙන, උන් දඩයම් කිරීම බොහෝ රටවල නීතියෙන් තහනම් කොට ඇති අතර, උන් ඝාතනය කිරීම පමණක් නොව, උංගේ අං වෙළඳාම් කිරීමත් දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්කොට තිබේ. මේ නීති විරෝධී දඩයක්කාරයන්ව දඩයම් කිරීම, ඒ රටවල වනජීවී නිලධාරීන්ගේ සහ සත්ව අයිතීන් පිළිබඳ ක‍්‍රියාධරයන්ගේ ප‍්‍රධාන අභියෝගයක් වී තිබේ. ඒ අරභයා අලූත් ක‍්‍රියාමාර්ග ගණනාවක් දැන් අනුගමනය කෙරේ. කැලෑවේ කැමරා ඇටවීම සහ ඩ්‍රෝන් යාත‍්‍රා හරහා සෝදිසි මෙහෙයම් දියත් කිරීම පමණක් නොව, සමහර රටවල් රයිනෝසිරස් අං පාවිච්චි කරන පිරිස් රෝගාබාධවලට ලක්වන සේ යම් විෂබීජ එම සතුන්ට එන්නත් කිරීමත් කරනු ලැබේ.

ඒ සා ප‍්‍රයත්නයන් ගනිමින් තිබියදීත්, නීති විරෝධී සත්ව දඩයක්කාරයෝ සිය ජාවාරම දිගටම කරගෙන යමින්, අති විශාල ලාභ උපයති. මෑතකදී එක්තරා සමාගමක් මේ අං කෘත‍්‍රීමව නිෂ්පාදනය කොට අලෙවි කිරීම ඇරැුඹුවේය. එයින් පසු, වියට්නාමයේ සිදු කළ වෙළඳපොළ සමීක්ෂණයකට අනුව, රයිනෝසිරස් අං මිළ දී ගන්නා පිරිසෙන් සියයට 50 ක් දෙනා, ලේ තැවරී නැති මේ කෘත‍්‍රීම අං මිල දි ගැනීමට වැඩි කැමැත්තක් දක්වන බව සොයා ගැනුණි. ඒ අනුව, වෙළඳපොලේ රයිනෝසිරස් අං වල මිල ගණන් පහත වැටීම නිසා, ජීවිතයක් පරදුවට තැබීමට තරම් වන ලාභයක් ගෙන නොදෙන ව්‍යාපාරයක් බවට එම වෙළඳාම දැන් පත්ව තිබේ. ඉතිං, අපේ කාලේ හයිඩ‍්‍රා සර්පයන් මැඩලීම සඳහා අවශ්‍ය කරන ගිනි-අසිපත්, සාමාන්‍ය අසිපතකටත් වඩා සරළ සහ ආර්ථික වශයෙන් වඩාත් යෝග්‍ය යම් ක‍්‍රමවේදයක් විය හැකිය.

අපායේ දොරටු විවෘත කිරීම

17 වැනි සියවසේ ඇමරිකාවේ සලෙම් නැමැති කුඩා නගරයක විසූ ගැහැනු දෙන්නෙක් මීමැස්මොර රෝගයට ගොදුර වූහ. ඒ අමුතු තත්වය ගැන සොයා බැලීමට, කොටන් මැතර් නම් වූ, උගත් කමක් ඇති, වැදගත් නමක් ඇති, විශේෂ පරීක්ෂකයෙක් සලෙම් වෙත ආවේය. ඔහුගේ නිගමනය වුණේ, මේ ගැහැනු දෙන්නා, මහ පොළොව නිරයක් කිරීමට පැමිණි, මායාකාරියන් දෙන්නෙකු වන බවයි. පළාත්වාසීන්ගේත් සහයෝගය ඇතිව මොහු ඒ ගැහැනු දෙන්නාගෙන් කෙනෙකුව දවස් දහයක් තිස්සේ දරුණු වධ බන්ධනයට ලක්කෙළේය. අවසානයේ එම වධය දරා ගත නොහැකි වූ විට ඒ ගැහැනිය තමා මායාකාරියක් බව පාපොච්චාරණය කළාය. එපමණක් නොව, තමා මෙන්ම තවත් මායාකාරියන් ගණනාවක් එම නගරයේ සිටින බවත් තවදුරටත් ඈ කියා සිටියාය. දැන් තමාගේ නිගමනය සනාථ කිරීම සඳහා ජීවමාන සාක්ෂියක් ලැබී ඇති බැවින් සහ තවත් ගැහැනු ගණනාවක්ම එම රෝගයටම ගොදුරු වී සිටි බැවින්, අපේ ලෝකය නරකාදියක් කිරීමට පැමිණ සිටි ඒ ‘මායාකාරියන්ව’ ගිනි මැලයේ ලා පුළුස්සා මැරීමට අර පරීක්ෂකවරයා තීරණය කෙළේය. අවුරුද්දක් ඇතුළත ඔහු විසින් එසේ ගිනි මැළයට නියම කරන ලද ගැහැනු සංඛ්‍යාව 20 ක් විය. (මේ රෝගී තත්වයේ හේතුව එක්තරා දිලීරයක් බව පසුව සොයා ගැනුණි)

මෑත කාලයේ පිලිපීනයේ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඒඞ්ස් රෝගය සීග‍්‍රයෙන් ව්‍යාප්ත වන තත්වයක් ඇති විය. ඉතිං, එය මැඩලීම සඳහා පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගෝ දුතර්තේ මත්ද්‍රව්‍ය-විරෝධී රුදුරු සංහාරයක් දියත් කෙළේය. ඒ අනුව, මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම පිළිබඳ සැකයට ලක්වූ 12,000 ක් දෙනා ඝාතනය කෙරුණි. ඝාතනය විසඳුමක් වශයෙන් දකින බොහෝ දෙනා ජනාධිපතිවරයාගේ එම ක‍්‍රියාකලාපයත්, මේ වසංගතය වැනසීමට ඔහුගේ නිර්භීත ඉදිරිපත් වීමත්, ඉමහත් ප‍්‍රශංසාවට ලක්කළහ.

මේ ප‍්‍රචණ්ඩත්වය උත්සන්න වෙද්දී, මාධ්‍යවේදීන්ව, මානව හිමිකම් ක‍්‍රියාධරයන්ව, දේශපාලනික හතුරන්ව සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහැ වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ව, ‘මත්ද්‍රව්‍ය මැඩලීමේ ආධ්‍යාශයෙන් යුතුව’ ඝාතනය කරන ලදි.  ඕනෑම යුද්ධයක අතුරු සහ අනිසි ඵල විපාක ඇති වීම වැලැක්විය නොහැකි බව සමහරු කියන්ට පුළුවන. මේ කියන අතුරු ඵල විපාකවලට ගොදුරු වන්නේ තමන් නොවන තාක් කල් කෙනෙකුට ඒ මතයේ සිටීමේ අපහසුවක් නැත. එහෙත් මේ විසඳුම් ක‍්‍රමවේදයේ ඇති බරපතලම දෝෂය වන්නේ, එම ක‍්‍රියාමාර්ගයෙන් තමන් අපේක්ෂා කළ ප‍්‍රතිඵල ලැබී ඇත්දැයි කිරා බැලීමේ හැකියාවක් කෙනෙකුට නැති වීමයි. කෙසේ වෙතත්, මේ මගින් මත්ද්‍රව්‍ය භාවිතය නතර වී ඇති බවට සාක්ෂි නැත. එසේම ඒඞ්ස් රෝගය ඒ මගින් මර්දනය වී ඇත්තේ ද නැත. ඇත්ත වශයෙන්ම, ඒඞ්ස් රෝගය පැතිරෙන්නේ, බොහෝ විට මෙකී දුප්පත් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පාවිච්චි කරන රෝගකාරක එන්නත් කටු නිසා ය. ඉතිං, මේ වන විට, හුදෙක් ‘යහපත් චේතනාවක්’ වෙනුවෙන්, එක්තරා ආකාරයක මායාමය ජීවිත 20,000 ක් බිළිගෙන තිබිය හැකිය. ඉහතින් කී 17 වැනි සියවසේ ඇමරිකාවේ සලෙම් ප‍්‍රදේශය මායාකාරියන් දඩයම් කිරීම සහ 21 වැනි සියවසේ පිලිපීනයේ මේ දඩයම අතර වෙනසක් තිබේ ද?

කසුන් කමලදාස  
(ඉතිරිය ඊළඟට)

2018 ජුලි 27 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ  Wrong Side of Heaven- Righteous Side of Hell  නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found