V2025

යමෙකු මානව අයිතිවාසිකම්  විශ්වීය දර්ශනයට එරෙහි වන්නේද ඔහු නියත ලෙසම මනුෂ්‍ය සංහතියේ ද්‍රෝහියකුය 

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගෙවීගිය සතිය තුළ සමාජ කථිකාවතට ලක් වූ වැදගත් මාතෘකාවක් වූයේ මානව අයිතිවාසිකම්ය. ඒ කෙරෙහි බලපෑ හේතුව වූයේ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් දෙල්ගොඩ කඳුබොඩ ශ්‍රී සරණංකර දහම් පාසලේ දී සහ ඒකළ ශාන්ත මතෙව් රෝමානු කතෝලික දේවස්ථානයේ පැවැති දේව මෙහෙයේ දී මානව හිමිකම් පිළිබඳව කරන ලද ආන්දෝළනාත්මක ප්‍රකාශනයයි. දෙල්ගොඩ කඳුබොඩ ශ්‍රී සරණංකර දහම් පාසලේ උත්සවයේ දී අගරදගුරුතුමන් ප්‍රකාශ කළ අදහස වූයේ "අද ශ්‍රී ලංකාව තුළ ආගමික ජීවිතයට තර්ජනයක් එල්ල වන පරිසරයක් නිර්මාණය වී තිබෙනවා.

මේ රටේ කොඳු නාරටිය බෞද්ධ දර්ශනයයි. අතීතයේ සිටම මේ රටේ ඇදහූ දහම බුදු දහමයි. බෞද්ධ දර්ශනය ආරක්‍ෂා වීම තුළ රටේ සියලු ජාතීන්ගේ අයිතීන් ආරක්‍ෂා වෙනවා. මේ යුගයේ ආගම් විරෝධී ආකල්ප සමාජයට ඇතුළු වෙමින් පවතිනවා. ඒ සියලු ආකල්ප පසෙක තබා අපි අපේ ආගමික පරිසරය ආරක්‍ෂා කළ යුතුයි. මානව හිමිකම් ප්‍රඥප්තිය ඇතිකර ගත්තේ විසිවැනි ශතවර්ෂයේ. ඒත් ඊට අවුරුදු දහස් ගණනකට පෙර සිට අපට ප්‍රෞඩ සංස්කෘතියක් උරුමව තිබුණා. ඒ නිසා මානව හිමිකම් ගැන අපට අමුතුවෙන් හිතන්න අවශ්‍ය නැහැ”.

ඒකළ ශාන්ත මතෙව් දෙව් මැදුරේ පැවැත්වුණ දේව මෙහෙයේ දී අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ ‘‘ අද බටහිර ලෝකයේ ආගම වෙලා තියෙන්නේ මානව හිමිකම් කියන ආගමයි. මානව හිමිකම් ආවේ ඊයේ පෙරේදා. ඉස්සර මානව හිමිකම් කියල එකක් තිබුණේ නැහැ. ඒත් මිනිස්සු බොහොම ආදර ගෞරවයෙන් ලස්සනට ජීවත් වුණා. දැන් මේ මානව හිමිකම් කියන එක අලූතෙන් හොයා ගත්ත එකක් වගේ හැමතිස්සෙම ඔළුව උඩ තියාගෙන අපට කියවනවා. අද යුරෝපාකරයේ බොහෝ රටවල්වල මේක අදහන්නේ හරියට කෝට් එකක් අඳිනවා වගේ. තමන්ට වාසියි කියල හිතෙන වෙලාවට ආගම අදහනවා.

තමන්ට පරිත්‍යාගයක් කරන්න වෙයි කියන වෙලාවට ඒක ගලවලා තියෙනවා. අපේ රටේත් මේ දේ දැන් පැතිරී ගෙන යනවා. සමහරු කතා කරනවා අනාගාමික සමාජයක් ගැන. කෑමබීම ඇඳුම් පැලඳුම් සැප සම්පත් තිබුණොත් ඇති. වෙන මොනවත් ඕනැ නැහැ. අපේ සිංහල සමාජයේත් ඕක තිබුණා. ඉස්සර කිව්වා කාපල්ලා, බීපල්ලා ජොලි කරපල්ලා, හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා. අපි ආගම අදහනව නම්, මානව හිමිකම් ගැන කතා කරන්න ඕනැ නැහැ. අපි අදහන ආගම්වල මානව හිමිකම් තමයි තියෙන්නෙ. වෙන මොනවද? ඒ නිසා ආදරණීය සහෝදර සහෝදරියන් මේ මායාවට අපි අහුවෙන්න හොඳ නැහැ.

මෙහි දී අපි බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි’’. (මෙම වාර්තාව උපුටා ගත්තේ 25 සැප්තැම්බර් 2018 ලංකාදීප පුවත්පතේ 10 වන පිටුවෙනි). මානව හිමිකම් පිළිබඳව කාදිනල්තුමා විසින් කර තිබෙන මෙම ප්‍රකාශය මානව අයිතිවාසිකම් පිළිබඳ ක්ෂේත්‍රය හා සම්බන්ධව කටයුතු කරන සහ ඒ ගැන උනන්දුව දක්වන සෑම කෙනෙකුගේම ඉතාම දැඩි තිගැස්සීමට සහ කම්පනයට බලපෑ බව අමුතුවෙන් කිවයුතු නැත. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මංගල සමරවීර මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මානව හිමිකම් සම්බන්ධයෙන් කාදිනල්තුමා කරන ලද අදහස් දැක්වීම පිළිගත නොහැකි බවය. අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, මානව හිමිකම් සුරැකීම අවශ්‍ය වූයේ කතෝලික ආගම නොපිළිගන්නා සහ ඒ පිළිබඳව ප්‍රශ්න කළ පුද්ගලයින් එදා වදහිංසාවලට භාජනය වීම සහ කුරුස යුද්ධ වල දී සමූලඝාතනයට ලක්වීම නිසා බවය.

මෙම අදහස මගින් අමාත්‍යවරයා අවධාරණය කරන්නේ මානව හිමිකම් පිළිබඳ මාතෘකාව දේශපාලන, නීතිමය හා සමාජීය ක්ෂේත්‍රයන්හි පැනනැගීම සහ ඉදිරියට පැමිණීම සම්බන්ධයෙන් කතෝලික ආගමද එක් වැදගත් හේතුකාරකයක් වූ බවය. කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශය ගැන සඳහන් කරමින් බර්ටි රණවීරගේ නමැති අය මුහුණු පොතේ සටහනක් තබමින් සඳහන් කරන්නේ බොහෝ ආගම් ලොව පුරා ව්‍යාප්ත කරන ලද්දේ කඩුවෙන්, තුවක්කුවෙන් සහ අල්ලස් දීම මගින් බවත් එම හේතුවෙන් ආගම්වාදීන් මානව අයිතීන්ට ගරහන බවත්ය.

කාදිනල්තුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉතාම වැදගත් තර්කානුකූල කරුණු දැක්වීමක් කර තිබුණේ විශ්වමිත්‍ර දේශබන්දු නමැත්තා විසින් ලියන ලද ‘ඉවසා සිටියා හොඳටම ඇති, අගරදගුරුතුමනි, ඔබ මෙලොවට පැමිණියේ සත්‍යයට සාක්‍ෂි දැරීම සඳහාද? කාටහරි කඩේ යාම සඳහාද?’ ලිපිය මගිනි. එම ලිපියේ ඉදිරිපත් කර ඇති අදහස් මගින් කාදිනල්තුමා මානව හිමිකම් පිළිබඳව ප්‍රකාශ කර තිබෙන අදහස් වලට අභියෝග කරන්නේ මෙයාකාරයටය. ‘කතෝලික සමාජ ධර්මය යනු කතෝලික දේව ධර්මයට ඇතුලත් එක් ප්‍රධාන ඉගැන්වීමකි. එය විශේෂයෙන් අපවැනි රටවල ගිහි කතෝලිකයන්ගෙන් සඟවනු ලබන ඉගැන්වීමකි. එය සඟවා තබා ගන්නා තරමට, ඒකාධිපති ආණ්ඩුවලට සිය බලය හා ව්‍යාපාර පවත්වා ගෙනයාම පහසුය. කතෝලික සමාජ ධර්මය සඟවා තබා ගන්නේ ඒ නිසාය. කතෝලික සමාජ ධර්මයට පදනම් වන්නේ බයිබලීය ඉගැන්වීම්ය.

දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යා මවනු ලැබීම, මනුෂ්‍යා යන උතුම්ම මැවිල්ල සමඟ දෙවියන් වහන්සේගේ අසමසම සම්බන්ධතාව, දෙවියන් වහන්සේ නිරන්තරයෙන් ජනතාව අතර සිටින දුර්වලයා, පීඩිතයා, අසරණයා, දුප්පතා යන අත්හැර දමන ලද කොටසේ පැත්ත ගැනීම සහ ඔවුන් මුදාගැනීම (ඔවුන්ගේ විමුක්තිය) සඳහා සටන් කිරීම, අවසානයේ දී දේව පුත්‍රයාණන් එම මනුෂ්‍යත්වයම ගෙන මිහිමතට වැඩම කර මනුෂ්‍යත්වයේ ගරුත්වය යළි තහවුරු කිරීම යන බයිබලීය සාධක මත සමාජ ධර්මය ගොඩ නැ‍ඟී තිබේ’’.

ලේඛකයා තවදුරටත් දක්වන ආකාරයට, ඉහත කී බයිබලීය හා දේවධාර්මික පදනම මත කතෝලික සමාජ ධර්මය සිද්ධාන්ත කිහිපයක් උගන්වයි. මානව ගරුත්වය, පොදු යහපත සහ ඒ අරමුණින් පවුල සහ සමාජය සහභාගිත්වයට කැඳවීම මානව අයිතිවාසිකම් සහ වගකීම් දුප්පතුන් සහ සමාජයේ දුර්වල කොටස් වෙනුවෙන් ජීවිතය කැපකිරීම, වැඩපලවල (රැකියාවේ) ගරුත්වය සහ කම්කරු අයිතිවාසිකම්ල මානව සහෝදරත්වය, ලමැවිල්ල (සොබා දහම/පරිසරය) රැුකබලා ගෙන සුරක්‍ෂිත කිරීම එම සිද්ධාන්ත අතර වේ.

මානව අයිතිවාසිකම් වූ කළ මානව ගරුත්වය ප්‍රමුඛ මෙම එකින් එක සිද්ධාන්තවලින් නිරන්තරයෙන් කියැවෙන කතෝලික ධාර්මික ඉගැන්වීමකි’. ලේඛකයා මෙම අදහස් මගින් අවධාරණය කරන්නේ, මානව හිමිකම් යනු බයිබලයේ සඳහන් වන ඉගැන්වීම්වල අන්තර්ගත ඉතාම වැදගත් කොටසක් වූවද ආඥාදායක පාලකයින්ට තම පාලනය පවත්වාගෙන යාමට උදව් කිරීම පිණිස පල්ලිය විසින් එම ඉගැන්වීම් සිතාමතාම යටපත් කර තිබෙන බවය. කාදිනල්තුමා මානව හිමිකම් සම්බන්ධයෙන් දක්වා තිබෙන මතයට එරෙහිව ප්‍රකාශ වී ඇති ඉහත දැක්වූ අදහස් විවිධ අය විසින් විවිධාකාරයට තේරුම් ගතහැක.

එමෙන්ම එම අදහස් විවිධාකාරයට විවේචනය කළහැක. නිදසුන් ලෙස මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළ අදහස සමහරු දකින්නේ කතෝලික පල්ලියට සහ කාදිනල්තුමාට කරන ලද අපහාසයක් ලෙසය. සමහරු එම අදහසට දේශපාලන මුහුණුවරක් දෙමින් යහපාලන ආණ්ඩුව කතෝලික පල්ලිය කෙරෙහි දක්වන පොදු ආකල්පය එයයැයි ප්‍රකාශ කරමින් කතෝලික ඡන්ද තමන්ගේ පැත්තට හරවා ගැනීමේ උත්සාහයක සමහරුන් යෙදී සිටින ආකාරය දැකිය හැක. මෙම විකාර වචන හරඹයේ ප්‍රතිඵලය වී ඇත්තේ මානව හිමිකම් පිළිබඳ සැබෑ යථාර්ථය යටපත් වී යාමය.

ආගම හෝ දේශපාලනය දඩමීමා කරගෙන මානව හිමිකම් දෙවන තත්ත්වයට දමා සැළකීම කිසිසේත්ම අනුමත කළ නොහැක. මානව හිමිකම් මගින් පෙන්වන්නේ මනුෂ්‍යත්වයේ ඇති වටිනාකමය. මෙම වටිනාකම මනුෂ්‍යයන් අයත් කර ගත්තේ අමානුෂික බලවේග තුනකට එරෙහිව කරන ලද දිගු සටනක ප්‍රතිඵලය ලෙසය. කෲර ආඥාදායක පාලන ක්‍රම, මධ්‍යතන යුගය තුළ දී කතෝලික පල්ලිය (කතෝලික ආගම වේ) මිනිසුන් කෙරෙහි පවත්වා ගෙනගිය දැඩි ආගමික පාලනය සහ නවයුගය තුළ බිහිවෙන ධනවාදය විසින් මනුෂ්‍ය සංහතියේ බහුතරය වන දුප්පත් පීඩිතයින් මත පවත්වා ගෙනගිය සූරාකෑමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන බරපතළ සමාජ විසමතාවන් එම අමානුෂික බලවේග විය.

මෙයින් පෙනී යන්නේ මානව හිමිකම් රාජ්‍ය පාලකයින් විසින් යටත් වැසියන් කෙරෙහි ඇති අනුකම්පාව මත ලබා දුන් දෙයක් හෝ පල්ලිය හා පූජකයින් විසින් ආගම අදහන්නවුන් කෙරෙහි ඇති මානව දයාව හා කරුණාව හේතුවෙන් හෝ ලබා දුන් දෙයක් නොවන බවය. එමෙන්ම නිර්ධන බහුතරය ගත කරන දුංඛිත සහ වේදනාකාරී ජීවිතය දැක ඇතිවූ හෘදයාංගම වේදනාව හේතුවෙන් ධනපති පංතිය විසින් ප්‍රදානය කළ පරිත්‍යාගයක් ද නොවන බවය.

මානව අයිතිවාසිකම්වල පදනම වන්නේ මනුෂ්‍යත්වය සහ ඒ කෙරෙහි ඇති බැඳීමය. මොරිස් ක්‍රැන්ටන් නමැති විචාරකයා ප්‍රකාශ කළ පරිදි ‘මානව අයිතිවාසිකම් යනු විශ්වීය සදාචාරාත්මක අයිතියක් වේ. එය සෑම ස්ත්‍රියකට හා පුරුෂයකුට සියලූ කල්හි සෑම ස්ථානයකදීම හිමිවිය යුතු, සාධාරණත්වය බරපතළ ලෙස කඩකිරීමෙන් මිස කිසිවකුට අහිමි කළ නොහැකි, සෑම මනුෂ්‍යයකුටම ඔහු මනුෂ්‍යයකු වීම නිසාම අදාළ වන දෙයකි’. මේ අනුව පළමුවෙන්ම මානව අයිතිවාසිකම් වූ කලී විශ්වීය සදාචාරයක් මත ගොඩනගා තිබෙන මිනිසාගේ භෞතික හා සදාචාර පැවැත්ම සඳහා අත්‍යවශ්‍යම සමාජ කොන්දේසි පද්ධතියක් වේ.

දෙවනුව මානව හිමිකම් සෑම මනුෂ්‍යයකුටම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හිමි වේ. තුන්වනුව මානව හිමිකම් ගොඩනගා තිබෙන්නේ මනුෂ්‍යා මතය. සිව්වනුව මානව හිමිකම් විශ්වීය වන අතර සියලූ දෙනාට සමානාත්මතාවයෙන් හිමි වේ. පස්වනුව මානව හිමිකම් කඩකළ නොහැකිය. මානව හිමිකම් කඩකළහොත් එතැන බරපතළ අසාධාරණයක් සිදුවේ. 1948 දෙසැම්බර් 10 දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කළේ මෙම විශ්වාස පද්ධතිය පදනම් කර ගෙනය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් සම්බන්ධයෙන් මෙයාකාරයට දැඩි ලෙස අවධාරණය කිරීම කෙරෙහි බලපෑ අනෙක් කරුණ වූයේත් විශ්වය තුළ නිදහස, සාධාරණත්වය සහ සාමය සඳහා අවශ්‍ය මූලික පදනම ගොඩනැ‍ඟී තිබෙන්නේ විශ්ව මිනිස් පවුලේ සියලූම සාමාජිකයින්ට උපතින්ම හිමිවන්නාවූ ආත්ම ගරුත්වයක් මෙන්ම සමාන හා නොසිඳිය හැකි අයිතිවාසිකම් මාලාවක් හිමිවනවාය’ යන විශ්වාසයයි. මෙයින් පැහැදිලි වන කරුණ වන්නේ මානව හිමිකම් යනු මිනිසාගේ මනුෂ්‍යත්වය වර්ධනය කර ගනිමින් පිරිපුන් සමාජ ජීවිතයක් ගතකිරීම සඳහා අත්‍යවශයෙන්ම තිබිය යුතු සමාජ කොන්දේසි වන බවය.

මෙම අවශ්‍යතාවය ආගම් අදහන අයට පමණක් නොව ආගම් නොඅදහන මනුෂ්‍යයන්ටද එකසේ අදාළ වේ. විවිධ දේශපාලන, ආර්ථික, සමාජ හා ආගමික විශ්වාසයන් අනුව මිනිසුන් ප්‍රතිවිරුද්ධ පිල්වලට බෙ දී ඇණකොටා ගන්නා තත්ත්වයක් තුළ එම විවිධත්වය යටපත් කරමින් ඒකීයත්වය වෙත ලෝක මිනිස් ප්‍රජාව ගෙන ඒම සඳහා ඇති එකම මානුෂීය දර්ශනය වන්නේ මානව හිමිකම් පිළිබඳ දර්ශනයයි. මානව හිමිකම්වලට එරෙහි වන අය කරන්නේ, මෙම විශ්වීය දර්ශනයට එරෙහි වීමය. යමෙක් මෙම විශ්වීය දර්ශනයට එරෙහි වන්නේද ඔහු නියත ලෙසම මනුෂ්‍ය සංහතියේ ද්‍රෝහියකු ලෙස සැළකීමට සිදු වන බව අවසාන වශයෙන් කිව යුතුය.
එම්.ඕ.ඒ ද සොයිසා

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found