V2025

දකුණු ආසියාවේ දරිද්‍රතාව ඉවරයක් කිරීමේ කාරිය ඉවරයක් කර ගැනීම 

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘‘අවුරුදු හතරක පුතෙක් මට ගමේ ඉන්නවා. අනාගතේ එයාට හොඳ ජීවිතයක් සලසලා දෙන එක තමයි මගේ පරමාර්ථය’’ ඩැකා නුවර සීග‍්‍රයෙන් වර්ධනය වෙමින් පවතින එක් ඇඟළුම් කම්හලක සේවය කරන 19 වැනි හැවිරිදි ෂාර්මින් හාක්තීර් කීවාය. බංග්ලාදේශයේ තව දහස් ගණනක් වන දිළිඳු පවුලක කාන්තාවන්ගෙන් කෙනෙකු වන ඈ අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන තම ගම හැරපියා රටේ අග නගරයට පැමිණ සිටින්නේ වඩා හොඳ ආදායම් මාර්ගයක් ඔස්සේ තමාගේ පවුලේ අනාගතය සමෘද්ධිමත් කර ගැනීම සඳහා ය. 

දිළිඳු කම දුරලීමේ වාර්ෂික දිනය ඊයේට යෙදී තිබුණි. එවැනි දවසක, ෂාර්මින්ගේ දුක්බර කතාව, බංග්ලා දේශයේ තවත් එවැනි දහසකුත් එකක් ගැහැනුන්ගේ පමණක් නොව, දකුණු ආසියාවේ තවත් දස දහස් ගණන් පවුල්වල අන්ත දරිද්‍රතාව පසුගිය වසර 25 ක කාලය තුළ අත්කර ගත් ආර්ථික වර්ධනය තුළින් යම් මට්ටමකින් ජය ගැනීමට හැකි වී තිබීමේ කතාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් කර ගැනීම වැදගත් ය. 

ඒ සම්බන්ධයෙන් අප සතුව ඇති දත්ත විශේෂිත වැදගත්කමකින් යුක්ත වෙයි. දකුණු ආසියාවේ අන්ත දරිද්‍රතාවෙන් පෙළෙන, දිනකට ඩොලර් 1.90 කට අඩු ආදායමක් ලබන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2013 දී මිලියන 275 ක් විය. එම සංඛ්‍යාව 2015 දී මිලියන 216 දක්වා පහළ ගියේය. 1990 දී එම ප‍්‍රමාණය වුණේ මිලියන 536 කි.

ඊටත් වඩා වැදගත් කාරණයක් තිබේ. දකුණු ආසියාවේ ජනගහනයෙන් දරිද්‍රතාවයේ පහළම සියයට 40 ක ජනතාවකගේ ආදායම් මට්ටම 2010-2015 කාලය තුළ සියයට 2.6 කින් ඉහළ ගොස් තිබේ. සමස්ත ලෝක ජනගහනයේ පහළම සියයට 40 ට අයත් තීරුවේ සාමාන්‍ය ආදායම් වර්ධනය මේ කාලය තුළ වැඩි වී ඇත්තේ සියයට 1.9 කිනි. ඒ අනුව බලන කල, දකුණු ආසියාව ඒ අංශයෙන් වැඩි වර්ධනයක් ලබා තිබේ. එසේම, ලෝක පරිමාණව ගත් විට, දරිද්‍ර ජනතා සංකේන්ද්‍රණය වැඩියෙන්ම පැවති කලාපය වුණේ දකුණු ආසියාවයි.

2012 වන විට උප-සහරා අප‍්‍රිකා මහද්වීපයට මාරු විය. අනිත් අතට, තනි රටක් වශයෙන් ගත් විට අන්ත දරිද්‍රතාවෙන් පෙළෙන වැඩිම ජනතාවක් සිටි ඉන්දියාව ඉදිරි කාලයේදී ඒ අංශයෙන් දෙවැනි තැනට පත්ව නයිජීරියාව පළමු තැනට පත්වීමට නියමිත ය.

මේ අනුව, දකුණු ආසියාව මෙතෙක් පැමිණ ඇති දුර විශාල ය. එසේම, අන්ත දරිද්‍රතාව මුළුමණින් දුරලීම සඳහා එම කලාපයට තව යාමට ඇති ඉදිරි දුරත් අපේ සැලකිල්ලට යොමු විය යුතුය. දිළිඳු කම සමහර අංශවලින් මුල් බැසගෙන ඇති තරම දෙස බලන විට එය අවසානයකට පත්කර ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වන බව කිව යුතුය. විශේෂයෙන් ග‍්‍රාමීය අංශය එහිදි කැපී පෙනෙයි. එසේම, ප‍්‍රචණ්ඩකාරී ගැටුම් සහිත රටවල් සේම ඉතා දුර්වල ආයතන පද්ධති සහිත රටවල්වල දරිද්‍රතාව දුරලීමත් ලේසිපාසු නැත. 

2015 සංඛ්‍යා ලේඛනවලට අනුව ඉන්දියාවේ දිළිඳු ජනගහනය මිලියන 176 කි. මෙය රටක් වශයෙන් ගත් විට ලෝකයේ වැඩිම දිළිඳු ජනගහනයක් ඇති රටයි. තවත් විදිහකින් කිවහොත්, මුළු ලෝකයේම දිළිඳු ජනගහනයෙන් කාලකට ආසන්න ප‍්‍රමාණයක් වෙසෙන්නේ ඉන්දියාවේ ය. අන්ත දරිද්‍රතාව සම්බන්ධයෙන් ගතහොත්, උප-සහරා අප‍්‍රිකා මහද්වීපයේ පවතින දරිද්‍රතාව තරම්, සාමාන්‍ය වශයෙන් ගත් විට ඉන්දියාව නරක නැති බව ඇත්ත. එහෙත් එරට ජනගහනයේ අති විශාලත්වය නිසා සමස්ත දිළින්දන්ගේ සංඛ්‍යාව ඉන්දියාවේ අධික ය. 

මේ අතර, දකුණු ආසියාවේ දිනකට ඩොලර් 1.90 කට අඩු ආදාමක් ලබන මිනිසුන්ගේ සංඛ්‍යාව සහ පරිමාණය කැපී පෙනෙන ආකාරයෙන් පහළ ගොස් ඇතත්, දිනකට ඩොලර් 3.20 ට අඩු ආදායමක් ලබන මිනිසුන්ගේ ප‍්‍රමාණය 1990-2015 කාලය තුළ එම කලාපයේ අඩු වී ඇත්තේ සියයට 8 කින් පමණි. ඊට හේතුව, අධික ජනගහන වර්ධන වේගයක් ද මේ කලාපයේ තිබීමයි. ඒ අනුව, 2015 දී දකුණු ආසියාවේ සියයට 49 ක් ජීවත් වුණේ දිනකට ඩොලර් 3.20 කට අඩු ආදායමකිනි. සියයට 80 ක් ජීවත් වුණේ දිනකට ඩොලර් 5.50 කට අඩු ආදායමකිනි. 

මේ සියල්ලෙන් දැක්වෙන්නේ දිළිඳු කම පිළිබඳ සංඛ්‍යාත්මක විස්තරයකි. එහෙත් ජනතාවකගේ දිළිඳු කම තක්සේරු කළ යුතු නිර්ණායකය ආදායම පමණක්ම නොවේ. මිනිසුන්ගේ ජීවන සුභසිද්ධිය සඳහා තවත් බොහෝ අංශ බලපායි. අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව සහ මූලික අවශ්‍යතා සපයා ගැනීම සඳහා රටක ඇති පහසුකම් වැනි දේවල් ඊට අඩංගු වෙයි. උදාහරණයක් වශයෙන්, යමෙකු දිනකට ඩොලර් 1.90 කට හෝ 3.20 කට වැඩි ආදායමක් ලැබුවත්, එම පුද්ගලයාට ජල පහසුකම්, සෞඛ්‍ය පහසුකම් හෝ අධ්‍යාපනය සහ විදුලිය වැනි පහසුකම් නැත්නම් ඔහු හෝ ඇය දිළින්දෙකි. ඇත්ත වශයෙන්ම ගතහොත්, පිළිගත් මට්ටමක පානීය ජලය නැති, සනීපාරක්ෂක පහසුකම් නැති, විදුලිය නැති දකුණු ආසියාතික පවුල් සංඛ්‍යාව, ඉහතින් කී ආදායමට අනුකූල දිළින්දන්ගේ සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩි ය. දකුණු ආසියාවේ ගෙවල් පහකින් එකකට විදුලිය නැත. මේ සියල්ල එකට ගෙන සලකා බැලූ විට, දකුණු ආසියාවේ රටවල් පහක දරිද්‍රතාවයේ සාමාන්‍ය මට්ටම, ඇස් මට්ටමට වඩා දෙගුණයකටත් වැඩියෙන් ඉහළ යයි. එහි අදහස වන්නේ, දකුණු ආසියාවේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නංවා ගැනීමේ අභියෝගය හිතනවාට වඩා බරපතල බව ය. 

2030 වන විට දකුණු ආසියාවේ දරිද්‍රතා මට්ටම සියයට 3 දක්වා අඩු කර ගැනීමට අපේක්ෂා කෙරේ. එම ඉලක්කයට ළඟා වුණත්, සමස්ත කලාපයක් වශයෙන් දකුණු ආසියාව ඉහත කී අනිත් අංශවලින් වර්ධනයක් අත්කර නොගත්තොත්, බොහෝ ජනතාවකගේ ජීවන තත්වයන් පවතිනු ඇත්තේ අසතුටුදායක තත්වයක ය. ඒ නිසා, දරිද්‍රතාව ජය ගැනීමේ බොහෝ දුරක් මේ වන විට අප පැමිණ ඇතත්, ඒ ගමනේ අවසාන භාගය ජය ගැනීම බරපතල අභියෝගයක් වශයෙන් අප ඉදිරියේ පවතී. ඒ පිම්මත් පැනීමට නම්, වඩ වඩාත් ආයෝජන අවශ්‍ය කරන්නේය. විශේෂයෙන් මිනිස් ප‍්‍රාග්ධනය ගොඩනගා ගැනීමට නම්, සියලූ ජනතා කොටස් ඇතුළත් කර ගැනෙන වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම අත්‍යාවශ්‍ය වනු ඇත. කාන්තාවන් සඳහා පවතින අවස්ථා වැඩි දියුණු කිරීමත්, සියල්ලන් සඳහා වන අධ්‍යාපන අවසථා සහ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කර ගැනීමත් එහිදී වැදගත් වෙයි. මෙය, එක රැුයකින් අත්කර ගත හැකි ජයග‍්‍රහණයක් නොවේ. ඒ කෙරෙහි නිරන්තරයෙන් අප තත්පර විය යුතුය. ෂාර්මින් අක්තාර් සහ ඇගේ පවුලටත්, සමස්ත දකුණු ආසියාතික ජනතාවටත් දීප්තිමත් සහ වඩාත් ඵලදායී අනාගතයක් ගොඩනැගීම සඳහා වන අපේ ප‍්‍රයත්නයන් එක දිගට අත් නොහැර පවත්වාගෙන යා යුත්තේය.

හාර්ට්විග් ෂාෆර් 

2018 ඔක්තෝබර් 18 වැනි දා ‘ඬේලි එෆ්.ටී’ පුවත්පතේ පළවූ Finishing the Job of Ending Poverty in South Asia නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found