V2025

අගමැතිවරයා ඉවත් කිරීමට සහ තව අගමැතිවරයෙකු පත්කිරීමට පක්ෂව මතු කෙරෙන කුතර්ක: 

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

ජනාධිපතිවරයා මේ කාරණා දෙකම සිදු කොට ඇත්තේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ආත්මගත පුරුද්ද යටතේ ය. ලංකාවේ වර්තමාන ව්‍යවස්ථාව තුළ එම 18 වැනි සංශෝධනය අහෝසි කොට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ඊට ඇතුළත් කොට තිබේ. අගමැතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මිස අගමැතිවරයෙකු ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඇති කිසි බලයක් ගැන වර්තමාන ව්‍යවස්ථාවේ කිසි තැනක සඳහන් නොවේ. එහි අදහස වන්නේ, අගමැතිවරයා ඉවත් කිරීමේ එකම බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බව ය. අගමැතිවරයාව ඉවත් කිරීම සහ අගමැතිවරයාගේ ධුරය අහිමි වීමට අදාළව ව්‍යවස්ථාවේ සඳහන් වෙනත් සියලූ ප‍්‍රතිපාදන මගින් ද තහවුරු කරන්නේ එයමයි. 

අගමැතිවරයාව ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලයක් ගැන ව්‍යවස්ථාවේ කිසි තැනක සඳහන් නොවුණත්, අගමැතිවරයෙකු පත් කිරීම ගැන ඔහුගේ මැදිහත් වීම ව්‍යවස්ථාවේ සඳහන් කොට තිබේ. ඒ, ව්‍යවස්ථාවේ 42 (4* වැනි වගන්තිය මගිනි. ඊට අනුව ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාව පත්කළ යුතු ආකාරය දැක්වෙන්නේ මෙසේ ය: ‘‘ජනාධිපතිවරයාගේ මතය අනුව, පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේය’’ 

දැන් ප‍්‍රශ්නය වන්නේ මෙයයි: පාර්ලිමේන්තුවක් නැති තත්වයක් තුළ, එනම් ජනාධිපතිවරයා විසින්  ඕනෑ කමින්ම පාර්ලිමේන්තුව වසා තබා ඇති තත්වයක් තුළ, ‘පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාව’ තෝරා ගත හැක්කේ කෙසේද යන්නයි. (මෙසේ කෙරෙන්නේ, ‘මිල සූත‍්‍රයක්’ ක‍්‍රියාවට නැංවීමට බව ලංකාවේ පෘථග්ජන දේශපාලනයේ සිටින කවුරුත් දනිති. ඒ කාරණය මෙහිදී අපි සාකච්ඡුාවට නොගනිමු*.

ඇත්ත, මෙහි තවත් දෙයක් සඳහන් වෙයි. එනම්, ‘ජනාධිපතිවරයාගේ මතය අනුව’ යනුවෙනි. මේ මතය යනු කුමක් ද? එය හිතළු මතයක් විය නොහැක. ඇත්තෙන්ම පාර්ලිමේන්තුවේ උපරිම මන්ත‍්‍රී සංඛ්‍යාවක් ඇතැයි ජනාධිපතිවරයා විශ්වාස කරන කෙනා යන්න ඉන් ගම්‍ය වෙයි. මෙහි දී, 225 ක් සිටින පාර්ලිමේන්තුවක 10 දෙනෙකු පමණක් සිටින පක්ෂයක පුද්ගලයෙකු අගමැති වශයෙන් පත්කිරීමේ අවසරයක් ජනාධිපතිවරයාට නැති බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් කෙනෙකුට මෙසේ තර්ක කළ හැකිය. 225 ක් සිටින පාර්ලිමේන්තුවේ කරට කර සිටින පක්ෂ දෙකකට අයත් පුද්ගලයන් අතර වන තේරීමකදී ජනාධිපතිවරයාට ‘තමාගේ මතය අනුව’ කටයුතු කිරීමේ සාධාරණ ඉඩක් ඇති බව ය. උදාහරණයක් වශයෙන්, එක පක්ෂයකට මන්ත‍්‍රීවරුන් 112 ක් ද අනිත් පක්ෂයට මන්ත‍්‍රීවරුන් 113 ක් ද ඇති අවස්ථාවක, සමහර විට, 112 සහිත පක්ෂයේ පුද්ගලයෙකුට ජනාධිපතිවරයා විසින් අගමැති ධුරය පිරිනැමීමේ අවස්ථාවක් උද්ගත විය හැකිය. අපි තවත් පොඞ්ඩක් ඈතට යමු. යම් හෙයකින්, මන්ත‍්‍රීවරුන් 6 දෙනෙකු සිටින ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක, ‘ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පුද්ගලයා’ වීමටත් බැරි නැත. සමහර විට, ඔහු අගමැති තනතුරේ පිහිටුවීම ගැන එක්සත් ජාතික පක්ෂයේ යම් පිරිසකුත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් පිරිසකුත්, දෙමළ ජාතික සන්ධානයේ සහ මුස්ලිම් කොන්ග‍්‍රසයේ යම් පිරිසකුත් එකඟ වීමට ඉඩ තිබේ. අවශ්‍ය වන්නේ, නිශ්චිත අවස්ථාවලදී, එනම්, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සහ අයවැය වැනි වැදගත් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක් අනුර කුමාර දිසානායකට ලබා ගත හැකි තත්වයක් ඇති බවට වගබලා ගැනීමයි. එනම්, පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය සහ අවශ්‍යතා තුළ, ඔහුගේ අගමැති භාවය වහා පරීක්ෂාවට ලක්වන බව ය. මෙයින් පෙනී යන්නේ, ‘ජනාධිපතිවරයාගේ මතය අනුව’ යනුවෙන් අදහස් වන්නේ, ප‍්‍රායෝගික කාර්ය පරිපාටියක් කරගෙන යාම සඳහා යොදා ගත හැකි බහුතරයක් සහිත නායකයෙකු මිස, ජනාධිපතිවරයාගේ රුචි අරුචිකම් උඩ හෝ ඔහුගේ කුමන්ත‍්‍රණකාරී සැලසුම්වලට සරිලන අගමැතිවරයෙකු පත් කිරීමට ඔහුට ඇති බලයක් නොවේ.

අවසාන වශයෙන්, මේ කොයි දේ පරීක්ෂාවට ලක් කිරීමටත් පාර්ලිමේන්තුව විවෘතව තිබිය යුතුය. කොටින්ම මෙහිදී සිදුව ඇත්තේ, අගමැතිවරයෙකු ‘පත්කිරීම’ සම්බන්ධයෙන් වන ප‍්‍රතිපාදනයක් (‘ජනාධිපතිවරයාගේ මතය අනුව, පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුතු’ වීම*, දැන් අග‍්‍රාමාත්‍යවරයාව ‘ඉවත් කිරීම’ සඳහා ජනාධිපතිවරයා විසින් යොදාගෙන තිබීමයි. එය ද, ඇත්තෙන්ම ඒ සඳහා වන බහුතරයක් ඔහු අතේ නොතිබියදී ය. 

18 වැනි සංශෝධනය සහිත පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ 19 වැනි සංශෝධනය සහිත වර්තමාන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අතර, මේ කාරණය සම්බන්ධයෙන්, එනම් අගමැතිවරයාව ඉවත් කිරීම සහ පත් කිරීම සම්බන්ධයෙන් පැහැදිළි වෙනසක් ඇති කොට තිබෙන බව අප හඳුනා ගත යුතුය. පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ අගමැතිවරයාව ඉවත් කිරීමේ පැහැදිළි බලයක් ජනාධිපතිවරයාට දී තිබුණි. එම ව්‍යවස්ථාවේ 8 වැනි පරිච්ෙඡ්දයේ 47 වැනි වගන්තිය යටත්, ‘‘ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් මගින් අගමැතිවරයාව ඉවත් කළ හැකිය’’. මෙහි අදහස වුණේ, ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළ  ඕනෑම වාර ගණනක් අගමැතිවරුන්ව ඉවත් කිරීමට සහ පත් කිරීමට ජනාධිපතිවරයාට අවකාශ තිබූ බවයි. ඊට අවශ්‍ය කෙළේ, ලිපියකින් ඒ බව අගමැතිවරයාට දැන්වීම පමණි. (දැන් අගමැති රනිල් වික‍්‍රමසිංහව ඉවත් කොට තිබෙන්නේ එවැනි ලිපියකිනි. එය 18 වැනි සංශෝධනයේ ‘පෙර ආත්මයේ’ පුරුද්දට කරන ලද්දක් විය හැකිය*. 

ජනාධිපතිවරයාට පැවරී තිබූ එම බලය 19 වැනි සංශෝධනය සහිත අලූත් ව්‍යවස්ථාව තුළ මුළුමණින්ම ඉවත් කෙරුණි. එම අලූත් ව්‍යවස්ථාව තුළ අගමැතිවරයාව ඉවත් කළ හැක්කේ, 46 (1* වගන්තිය යටතේ ය. ඒ මෙසේ ය: ‘‘අග‍්‍රාමාත්‍යවරයා ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු නොවුවහොත්’’ පමණි. අගමැතිවරයාට පරිබාහිර හේතුවක් නිසා අගමැති ධුරය ඔහුට අහිමි විය හැකි තවත් අවස්ථාවන් ද දක්වා තිබේ. ඒ, ව්‍යවස්ථාවේ 48 (2* වැනි වගන්තිය ප‍්‍රකාරව ය: ‘‘පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත ප‍්‍රතික්ෂේප කළහොත් හෝ ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කළහොත්’’ ය. මෙහිදී අගමැතිවරයා පමණක් නොව, මුළු ඇමති මණ්ඩලයම විසුරුවා හැරියා සේ සැලකේ.

එහෙත් මේ කියන කිසිවක් මෙතෙක් සිදුව නැත.          

මේ තත්වය තුළ පොහොට්ටුකාරයෝ වෙනත් තර්කයක් මතු කරති. එනම්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් පසු, එතෙක් පැවති ‘ජාතික ආණ්ඩුව’ ඉවත් කෙරුණු හෝ විසිරුවා හරිනු හෝ ලැබු බවයි.  ඕනෑම සභාගයකදී එක් පාර්ශ්වයක් ඉවත් වීමෙන් පසු එම සභාග රජය තවදුරටත් පවතී ද නැද්ද යන්න තීරණය වන්නේ, ඉතිරි පාර්ශ්වවලට ආණ්ඩුව ගෙන යාමට තරම් ශක්තියක් තිබේ ද නැද්ද යන්න මත මිස හුදෙක් එක් පාර්ශ්වයක් ඉවත් වීම යන කාරණය මත නොවේ. 

‘ජාතික ආණ්ඩුවක්’ යන්න ව්‍යවස්ථාවේ විස්තර කොට තිබේ. ඒ මෙසේ ය: 46 (4* වගන්තිය- ‘‘පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේය.’’ 

මේ කියන ‘අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ’ (එක්සත් ජනතා නිදහස් සන්ධානය* ආණ්ඩුවෙන් ඉවත් වීම නිසා ඇති විය යුතුව තිබූ එකම වෙනස වන්නේ, අමාත්‍ය මණ්ඩලය 30 දක්වා අඩු කිරීම පමණි. එසේ නොමැතිව, ඒ හේතුව නිසා, අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ නැත. අමාත්‍ය මණ්ඩලය විසිරුවා හැරීමක් සිදුවිය හැකි එකම අවස්ථාවන් වන්නේ, ඉහතින් සඳහන් කළ අගමැතිවරයා ඉවත් වීමට හෝ ඉවත් කිරීමට බලපාන කොන්දේසි පමණි.

මේ දෙස තවත් පැත්තකින් අපට බැලිය හැකිය. ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාව ව්‍යවස්ථාවේ 42.4 වගන්තිය යටතේ පත්කරනු ලැබුවේ, ‘ජාතික ආණ්ඩුවක්’ නොතිබියදී ය. හෙවත්, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට, එක්සත් ජනතා නිදහස් සන්ධානය එකතු වීමට කලින්, 2015 අගෝස්තු 21 වැනි දා ය. එවිට ‘ජාතික ආණ්ඩුවක්’ හෝ මේ කියන එක්සත් ජනතා නිදහස් සන්ධානයක් ආණ්ඩුව තුළ තිබුණේ නැත. ඊට පසු, මංගල සමරවීර, තිලක් මාරපන සහ විජේදාස රාජපක්ෂ ඇමතිවරුන් වශයෙන් පත් කෙරුණි. ඒ සියල්ලෝම එක්සත් ජාතික පාක්ෂිකයෝ ය. එවිටත්, ‘ජාතික’ ආණ්ඩුවක් තිබුණේවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයක් ආණ්ඩුව තුළ තිබුණේවත් නැත. එක්සත් ජනතා නිදහස් සන්ධානය එම ආණ්ඩුවට එක් වන්නේ 2015 සැප්තැම්බර් මාසයේ ය. දැන්, පොහොට්ටුකාරයන් කියන පරිදි, එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීම නිසා ‘ජාතික ආණ්ඩුව’ අහෝසි වී ඇත්නම්, ඉන් පසුව සිදුවිය යුත්තේ, ඊට කලින් තිබුණු තත්වයට, එනම් 2015 අගෝස්තුවේ අගමැතිවරයාව පත්කරනු ලැබූ අවස්ථාවේ තිබූ තත්වයට ආපසු යාමයි. එසේ නොමැතිව, අගමැතිවරයාගේ ධුරය අහිමි වීම හෝ අමාත්‍ය මණ්ඩලය අහෝසි වීම හෝ කෙසේ නම් සිදුවන්න ද? අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ අගමැතිවරයා සම්බන්ධයෙන් ඉහතින් සඳහන් කොට ඇති තත්වයන් යටතේ පමණි.      අගමැතිවරයාව ඉවත් කිරීම ව්‍යවස්ථාමය වශයෙන් තහවුරු කර ගැනීමට යොදා ගෙන ඇති තවත් තර්කයක් වන්නේ, ඇමති මණ්ඩලය විසුරුවා හැරීමට අදාළව ව්‍යවස්ථාවේ පවතින 48 (1* වගන්තියේ සිංහල පරිවර්තනයේ එක් වාක්‍යාංශයකි. එහි ඉංග‍්‍රීසි පිටපත මෙසේ ය: ‘‘මරණයෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග‍්‍රාමාත්‍යවරයා ධුරය දැරීම නතර වූ විට..... අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය’’ යනුවෙනි. එහෙත් එය සිංහලට පරිවර්තනය කොට ඇත්තේ මෙසේ ය: ‘‘ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග‍්‍රාමාත්‍යවරයා ධුරය දැරීම නතර වූ විට... අමාත්‍යා මණ්ඩලය විසිරෙන්නේය’’ යනුවෙනි.     දැන් බලන්න: ‘‘මරණයෙන්’’ යන්න ඉවත්ව, ‘‘ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන්’’ යන්න සිංහල පිටපතට ඇතුළත්ව තිබේ. මෙය පරිවර්තන දෝෂයක් බව පැහැදිළිව හඳුනා ගත හැකිය. මන්ද යත්, මේ ලිපියේ මුලින් සඳහන් කළ, අගමැති ධුරය අහිමි වීමට අදාළ, 46 (1* සහ 48 (2* වගන්තිවල හෝ ව්‍යවස්ථාවේ වෙනත් තැනක, ‘ජනාධිපතිවරයා විසින්’ අගමැතිවරයාව ඉවත් කිරීමක් ගැන කිසි සඳහනක් නැති බැවිනි. එහෙත් මේ වගන්තියේ සඳහන් තවත් වචනයක් මත ඊළඟට ඔවුහූ එල්ලෙති. එනම්, ‘‘අන්‍යාකාරයකින්’’ යන්නයි. අන්‍යාකාරයකින් යනු, ව්‍යවස්ථාවේ සඳහන් වන අන්‍යාකාරයකින් මිස ගෙදරදොරේ හෝ පාරතොටේ කටයුතු කරන අන්‍යාකාරයකින් නොවේ.

අගමැති ධුරය අහිමි විය හැකි සහ අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරිය හැකි ව්‍යවස්ථාවේ සඳහන් එවැනි ‘අන්‍යාකාරයන්’ මොනවා ද? ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් ප‍්‍රතික්ෂේප කළහොත් හෝ විශ්වාසභංගයක් සම්මත කළහොත් ය

ජනාධිපතිවරයා පසුගිය දා තවත් අගමැතිවරයෙකු සහ ඇමතිවරුන් පත් කෙළේ මේ කියන කිසිවක් සිදු වී නැති තත්වයක් තුළ ය.

මෙහිදී අපේ අවධානයට ලක්විය යුතු වැදගත් කාරණයක් තිබේ. එනම්, ජේ. ආර්. ජයවර්ධනගේ සහ මහින්ද රාජපක්ෂගේ විධායක ජනාධිපති දේශපාලනික සංස්කෘතියේ සිට යහපාලනයේ 19 වැනි ව්‍යවස්ථාව නමින් හැඳින්වුණු දේශපාලනික සංස්කෘතියට අප මාරු වූ මුඛ්‍යතම අභිලාෂය වුණේ, විධායක ජනාධිපතිවරයා වෙනුවට පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමයි. එනම්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට, අගමැතිවරයා ඉවත් කිරීමට සහ අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතුව එතෙක් තිබූ අත්තනෝමතික සහ පරම බලය, පාර්ලිමේන්තුව වෙත පවරා දීමයි. එයින් පසුව, 19 වැනි සංශෝධනය යටතේ, අගමැතිවරයා ඉවත් කිරීම සහ අමාත්‍ය මණ්ඩලය අහෝසි වීම යන කාරණා දෙක එකිනෙකට ගැටගසා තිබේ. එනම්, අමාත්‍ය මණ්ඩලය අහෝසි වුවහොත් අගමැති ධුරයත් අහිමි වන්නේය. අගමැතිවරයා ඉවත් වුවහොත් අමාත්‍ය මණ්ඩලයත් විසිරෙන්නේය. එපමණි. ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් කිසි බලයක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ලබා දී නැත.

මේ නිසා, පසුගිය 26 වැනි දා ජනාධිපති සිරිසේන කෙළේ, ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයකි. එය හමුදා කුමන්ත‍්‍රණයක් තරම්ම බරපතල ය. 

ගාමිණී වියන්ගොඩ

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found