Language Switcher

V2025

2019 ජනාධිපතිවරණය - සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ජයක්

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

මුලින් පවත්වන්නේ පළාත් සභා මැතිවරණය විය හැකි වුවත් ලබන නොවැම්බරයට පෙර ජනාධිපතිවරණයක් අනිවාර්යෙන් පැවැත්විය යුතුය. ඒ ජනාධිපතිවරණයෙන් තෝරා පත් කර ගන්නා ජනාධිපතිවරයා වෙනදා තරම් බලසම්පන්න වන්නේ නැත. ඊට හේතුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ධූරයේ සමහර තටු කපා දමා ඇති බැවිනි.

එක්සත් ජාතික පක්ෂය තම ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස කවුරුන් තෝරා පත් කර ගන්නේ දැයි පැහැදිලි නැත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තම ජනාධිපතිවරණ අපේක්ෂකයා යැයි එක එල්ලේ එම පක්ෂය විසින් නිවේදනය කර නොමැත. පසුගිය දේශපාලන අර්බූදයේ දී කියවුනේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කෙරෙහි සිංහල බෞද්ධ ජන්ද පදනමේ ආකර්ශනයක් නැති අතර සජිත් ප්‍රේමදාසට ප්‍රජාතන්ත්‍රවාදී සමාජ කොටස් අතර ආකර්ශනයක් නොමැත. සිංහල ඡන්ද පදනමේ ස්ථාවරයක් ඇති එහෙත් අනෙකුත් ජන කොටස් අතර ආකර්ශනයක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු වුවත් එවැන්නෙක් එම පක්ෂය තුළින් මේ අවස්ථාවේ සොයා ගැනීම දුෂ්කර ය.

නමුත් සිංහල බෞද්ධ සමාජ ස්ථරය තුළ ශක්තිමත් පිළිගැනීමක් ඇති කතානායක කරු ජයසූරිය මෙතෙක් නිහඩ පිළිවෙතක් අනුගමනය කළත් පසුගිය දේශපාලන අර්බූදයේ දී ඔහු ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස ස්ථාවර විය. ඊට හේතුව එල්ල වූ දේශපාලන කුමන්ත්‍රණ හමුවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට ඔහුගේ තිබූ අගය කළ යුතු කැපවීමයි. කුමන්ත්‍රණකාරීන් ඔහුගේ නම සදහන් කරමින්ම බරපතල චෝදනා එල්ල කළත් කතානායක කරු ජයසූරිය නොබියව නිශ්චිතව පාර්ලිමේන්තු ක්‍රමයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේ ය. එනිසා ඔහු නායකයකු ලෙස ද ජනප්‍රසාදයක් ඇති කර ගත්තේ ය.

කෙසේ වුවත් එළඹෙන ජනාධිපතිවරණයේ දී බරපතල අර්බූදයකට මුහුණ දෙන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි. ඔහුට පවුරු පදනම් සකස් කරන්නට ශක්තිමත් දේශපාලන ස්ථාවරයක් නොවීම ඔහු මුහුණ දෙන අභියෝගයයි. මෙවර කිසිවිටෙකත් එක්සත් ජාතික පක්ෂයේ සහාය ඔහුට නොලැබෙන බව ස්ථිරය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ඇති නිසා සම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහජන ප්‍රසාදයෙන් ඈත් වී ඇත. රාජපක්ෂවරුන් විසින් සාදා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෛත්‍රීපාල සිරිසේනට තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යම් යම් ස්ථර විසින් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ මෛත්‍රීපාල සිරිසේනට තම පක්ෂයේ සහාය ජනාධිපතිවරණයක දී ලබාදීමට තමන් එරෙහි බව ය. මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් පක්ෂයෙන් තේරී පත්වූ ශ්‍රීලනිප පළාත් සභා මන්ත්‍රීවරුන් කිසිවිටෙකත් ජනාධිපතිවරණයක දී මෛත්‍රීපාල සිරිසේනට සහාය නොදෙන බව දැනටමත් තීන්දු කර තිබේ. කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ද එවැනි විරෝධයක් කල් ඇතිවම ප්‍රකාශයට පත් කළේ ය. කොහොම වුනත් කිසියම් දේශපාලන පක්ෂයක ජනාධිපතිවරණ අපේක්ෂකයා පවතින දේශපාලන ගතිකයෙන් බැහැරව තෝරා පත් කර ගනීවි යැයි කිව නොහැකිය.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝටාභය රාජපක්ෂ පසුගිය දා රැස්වීමක් අමතමින් එළඹෙන ජනාධිපතිවරණයට "මම සූදානම්, ඔබත් සූදානම්දැයි" විමසීම සාකච්ඡාවට ලක් කළ යුතු කරුණක් වන්නේ මේ පසුබිම තුළ ය. ගෝටාභය රාජපක්ෂට ජනාධිපතිවරණයට තරග කර තේරී පත්වීමට අවශ්‍ය වූයේ අදක ඊයේක නොවේ. පසුගිය වර්ෂයේ මැද භාගය වන තුරුම ඔහු සිටියේ එවැනි සිහිනයක් දකිමිනි. ඔහුට සහාය ලබාදෙන විවිධ මිලිටරි නායකයන් හා සමාජයේ සිටින ප්‍රජාතන්ත්‍රවාදී නොවන කොටස් සමග පිහිටුවාගෙන ඇති සංවිධාන හරහා ඔහු තම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පුම්බා ගනිමින් සිටියේ ය. එහෙත් හිටි හැටියේ ඒ සිහිනය බොදවූයේ මහින්ද රාජපක්ෂ විසින් ගෝටාභය රාජපක්ෂට ඇගිල්ලෙන් ඇන්න නිසා යැයි වටින් ගොඩින් ආරංචි විය.

කොහොමටත් ඊළග ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරු විය යුතුදැයි රාජපක්ෂ පවුල තුළ එකගතා තීන්දුවක් මේ වනතුරුත් ගෙන ඇති බවක් පැහැදිලි නොවේ. මහින්ද රාජපක්ෂට ව්‍යවස්ථාමය සංශෝධනයකින් මෙහා ජනාධිපතිවරණයකට තරග කළ නොහැක. ගෝටාභය, බැසිල් හා චමල් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් ප්‍රති විරෝධතා පවතී. අනාගත නායකත්වය සදහා මහින්ද රාජපක්ෂගේ සිතැගියාව විය යුත්තේ නාමල් රාජපක්ෂ බවට තර්කයක් නොමැත. එහෙත් ඒ සදහා තරග කරන්නට ඔහුට තවමත් නීතිමය වශයෙන් නොහැක. එතෙක් විකල්පයක් සොයා ගැනීමට රාජපක්ෂවරුන්ට බල කෙරී ඇත.

උගත් පාඩම් තුළින් ඒ සදහා විශාල දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් සිදු කර ගනිමින් තරගයට එන්නට සාර්ථක සූදානමක නිරත්වෙමින් සිටින්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ය. සිංහලබෞද්ධ ඡන්ද පදනම මත පමණක් ශක්තිමත්ව විශ්වාසය කිරීම රාජපක්ෂ දේශපාලනයේ දුර්වලතාව වූ අතර බැසිල් රාජපක්ෂ එය තේරුම් ගනිමින් අවශ්‍ය වෙනස්කම් කිරීමට සූදානම් වෙමින් සිටී. එහෙත් ගෝටාභය රාජපක්ෂ එවැනි කිසිම දේශපාලන ප්‍රතිසංස්කරණයකින් හා තේරුම් ගැනීමකින් පුළුල් මහජන පදනමක් සකසා ගන්නට සූදානමක ඇති බවක් පෙනෙන්නට නොමැත.
දස වසරකට ආසන්න රාජපක්ෂ ආණ්ඩුවේ අදේශපාලනිකම බලධාරියා වූයේ ගෝටාභය රාජපක්ෂයි. ඔහුට දේශපාලනික සියුම් ඥාණයක් හා උපක්‍රමයක් නොතිබූ අතර තම චරිතයට ආවේනික මිලිටරිමය භාවිතයන් තුළින් දේශපාලනය සාර්ථක කර ගන්නට මහන්සි විය. ඔහුගේ නම කියවෙනවාත් සමග සියොළග සියුම් වෙව්ලීමක් මෙරට මැද පාන්තික සංවේදී සමාජ කොටස තුළ ඇතිවූයේ ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස සිදුකළ අත්තනෝමතික හා ෆැසිට්වාදී පාලනය නිසා ය. රටේ සිදුවූ බොහොමයක් ඝාතනයන් සම්බන්ධයෙන් චෝදනාව එල්ල වූයේ ඔහුට ය.

රටේ වාසනාවට ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නට පෙරුම් පුරන්නේ ද ආ මග ගැන නැවත සිතා බැලීමකින් තොරව පරණ පුරුදු ෆැසිට්වාදී ස්වරූපය එලෙසම පවත්වා ගනිමිනි. කොළඹ කේන්ද්‍රීය නාගරික මැද පන්තිය ගෝටාභය රාජපක්ෂට ආකර්ශනය වී තිබුණේ යුද්දයට නායකත්වය ලබාදුන් පෞර්ෂ ලක්ෂණ සැලකිල්ලට ගනිමිනි. එහෙත් සිවිල් හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට සූදානම් වන්නට තරම් ගෝටාභය රාජපක්ෂට සියුම් හා තීක්ෂණ නුවණක් නොමැත. ඔහු අද ද සූදානම් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන අන්දමින් කටයුතු කරන පාලනයක් ඇති කරන්නට ය.

ගෝටාභය රාජපක්ෂට වඩා සියුම් නුවණක් බැසිල් රාජපක්ෂට තිබීම නිසා සිංහලබෞද්ධ ජන කොටස මත පදනම් වී ජනාධිපතිවරණ ජයක් ලබන්නට අපහසු බව ඔහු තේරුම් ගෙන තිබේ. එනිසා සිංහල නොවන ජන කොටස් වල අභිලාශයන් දෙස සංවේදීව බලන්නට බැසිල් රාජපක්ෂ යොමුවෙමින් තිබේ. ඔහු දේශපාලකයකුවීම ඊට හේතුව වන්නට පුළුවන. එහෙත් තවමත් ගෝටාභයගේ අවිඥාණය මිලිටරිමය නිසා ඒ ආකල්පමය වෙනස ඇති කර ගන්නට ඔහු අසමත් ය.

2015 ජනාධිපතිවරණයේ දී පවා මුළුමනින්ම සිංහලබෞද්ධ ජන කොටස මත රදා පැවතීම සාර්ථක දේශපලන උපක්‍රමයක් නොවීය. යුද්දය අවසන් වී දස වසරක් ගෙවී යන 2019 දී සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී අදහස් මත පමණක් සමාජය පදනම් වේ යැයි විශ්වාස කළ නොහැක. සියළු ජන කොටස් වල සහායෙන් ආර්ථික අරමුණු ජය ගැනීම දැන් කළ යුතු දේශපාලනික ඉලක්කයයි. ඒ සදහා සිංහල සමාජය සූදානම් වෙමින් පවතින මොහොතක වඩා සාර්ථක වන්නේ ගෝටාභයගේ දේශපාලන ප්‍රවේශය නොව බැසිල්ගේ දේශපාලන ප්‍රවේශයයි. බැසිල් ශ්‍රී ලාංකික ඡන්ද ප්‍රජාවට අමතන විට ගෝටාභය අමතන්නේ සිංහලබෞද්ධ ඡන්ද ප්‍රජාවටයි. ගෝටාභයගේ පරාජය එතැනම ලියවී තිබේ.

පසුගිය ඔක්තෝබර් 26 වැනි දා ලාංකික පාලක පන්තියේ නොමේරුම්කම ලොවටම පෙන්නුම් කළ අතිශය පිළිකුල්සහගත දිනය බව නොඅනුමානය. දේශපාලනික ප්‍රතිසංස්කරණ හා වෙනස්කම් කරන්නට ලාංකික සමාජයට එක්තර සංස්කෘතික ගති ස්වභාවයක් ඇතත් එදා ඒ වෙනස්කම් කළේ අශ්ලීල සහගත ලෙස ය. එදා සමහර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පවා ලැජ්ජාවට පත්විය. ඒ තවමත් ශිෂ්ඨත්වය අල්පමාත්‍රයකින් හෝ ඔවුන් තුළ තිබූ නිසා ය. ඒ පිළිකුල් සහගත දින 51 වෙනුවෙන් සමාජයට ගෙවන්නට වූ බරපැන අති විශාල ය. එහෙත් අවසානයේ ඒ වරද ආපිට නිවැරැදි කරන්නට සිදුවීමෙන්ම පෙන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ ශක්තිමත්භාවයයි.

එනිසා පැහැදිලිවන වැදගත්ම කාරණාව වන්නේ ලාංකික සමාජයට මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වැඩපිළිවෙලක් බවයි. දීර්ඝ කාලයක් ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිකයක කටයුතු කළ ජන ප්‍රජාව ඉන් බැහැර සංස්කෘතියකට ඇල්මක් දක්වාවි යැයි කිව නොහැක. එනිසා මිලිටරිමය දේශපාලනයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටිනාකම් අගයන ශක්තිමත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන නායකයකුට 2019 ජනාධිපතිවරණය සුභ ලකුණු පෙන්වන මැතිවරණයක් බව නොකියාම බැරිය.

 

කේ.ජී.පිලිප් ශාන්ත
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found