Language Switcher

V2025

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම: රජ තුන් කට්ටුවම දැන් එකඟ ලූ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ නිරීක්ෂණය අප කාටත් සුපුරුදු ය: මෝටර් සයිකලයක් සමහර අවස්ථාවක මොන තරම් පැඩලය ගස්සා පෑගුවත් ඇන්ජිම පණ ගැන්වෙන ගතියක් නොපෙන්වයි. මුල් වර පෙඩලය ගස්සා පෑගීමේදී හුළඟක් වැනි බොල් සද්දක් මිස, බලාපොරොත්තු දනවන වෙන කිසි හඬක් පිට නොවේ. තව හත් අට වතාවක් එසේ කරන විට, කක්කල් කැස්සක් වැනි යාන්ත‍්‍රික හඬක් තුනීයට නික්මෙන්ට පටන් ගනී. දාඩිය පෙරාගෙන, හිත සරි කරගෙන, අත නෑර තව ටික වෙලාවක් මේ වෑයම ගෙන ගියොත්, ඇතැම් අවස්ථාවක, හිටිහැටියේම ඇන්ජිම පණ ගැන්වෙන අවස්ථා අප දැක තිබේ.

මේ ක‍්‍රියාවලිය ඉතා වෙහෙසකර ය. නීරස ය. බොහෝ දෙනා ඒ ආයාසය අතරමැද අතහැර දමති.

ලංකාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර ගැනීමේ උත්සාහය, ගත වූ දශක හතරක පමණ කාලයක් තිස්සේ පැවතියේ බොහෝ සෙයින් ඊට සමාන තත්වයක ය. 2015 ජනවාරියේ ඒ කාර්යය සඳහාම ආණ්ඩු වෙනසක් ඇති කර ගැනීමෙන් පසුව පවා, විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධව එතෙක් බොහෝ කාලයක් තිස්සේ පෙනී සිටි පැරැුන්නන් පවා සටන අතහැර දැමුවෝය. ඔවුහූ පවතින තත්වයට හිත හදා ගත්තෝය.

ඊට හේතු ගණනාවකි. කටුක සරළ සත්‍යයක් වටහා ගැනීමට නොහැකි හෝ වටහා ගැනීම ප‍්‍රතික්ෂේප කරන ජාතියකට, ෆීනික්ස් පක්ෂියා මෙන් විනාශයට පත්වීමෙන්ම නැවත උපදින්ට (පාඩමක් ඉගෙන ගන්න නම් මුන්ට කෙලවිලාම යන්න ඕනේ) ඉඩ හැරිය යුතු බවට සමහරු හිත හදා ගත්තෝය. ඔවුන් අව්‍යාජ මිනිසුන් ය. එහෙත්, අභියෝගයක් ඉදිරියේ නොසැලී සිටින්ට තරම් ජවසම්පන්න අය නොවෙති. ඉතිරි පිරිස ඒ සටන අතහැරියේ හුදෙක් නග්න අවස්ථාවාදය පෙරදැරිව ය.

වර්තමාන රජ තුන් කට්ටුව වැටෙන්නේ ඒ දෙවැනුව කී ගණයටයි. මහින්ද රාජපක්ෂ, මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ යන තිදෙනාම බලයට පත්වීම සඳහා මේ පොරොන්දුව දී තිබේ. ඒ තිදෙනාම බලයට පත්වීමෙන් පසු ඉහත නම් සඳහන් අනුපිළිවෙලට එය පාවා දී තිබේ.

පුද්ගල භාවය සහ හුදෙකලා සිදුවීම්, විටෙක ඉතිහාසය වෙනස් කිරීමේ තීරණාත්මක සාධක වී ඇති බව පෙනේ. ක්ලියෝපැට‍්‍රාගේ නාසයේ හැඩය නිසා ඉතිහාසයේ ගමන් මග වෙනස් වූ ආකාරය ඊ. එච්. කා(ර්) නැමැති ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයා පෙන්වා දී තිබේ. නරක වෙලාවක දඩයමේ ගිය ලියොන් ට්‍රොට්ස්කි නිසා, සෝවියට් සමාජවාදයේ ගමන් මග වෙනස් වූ බව තවත් විශිෂ්ඨ දේශපාලන විශ්ලේෂකයෙකු වූ අයිසැක් ඩොයිෂ්චර් පෙන්වා දී තිබේ. ඔවුන් කියන්නේ, හුදෙක් එකී තනි සිද්ධීන් විසින් ලෝකය වෙනස් කරන ලද බව නොව, එකී තනි සිද්ධීන් අසමානුපාතික පරිමාණයකින් ලෝක වෙනස්කම් කෙරෙහි බලපෑ බව ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පැත්තකින් තබා, එය තවත් මුවහත් කර ගැනීම සඳහා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී, වෙනත් ජාතිකවාදී සහ අධිකාරීවාදී හේතුවලට අමතරව, පුද්ගල හේතු තදින් බලපෑ බව පැහැදිළිව පෙනෙන්ට තිබුණි. බොහෝ විට ඒ සියල්ල එකිනෙකට සහසම්බන්ධී විය. යුද්ධය තුළ සහ යුද්ධයෙන් පසුව ලංකාවේ දේශපාලනය තුළ ඉන් පෙර නොවූ විරූ ආකාරයේ දැවැන්ත ආකර්ශනීය තනි සංසිද්ධිය බවට ජාතිකවාදය පත්විය. ඒ මගින්ම, අධිකාරීවාදී (හිට්ලර්වාදී) ප‍්‍රවණතාව ඊට නිරායාසයෙන් ඈඳිණ. ගෝඨාභය රාජපක්ෂ නැමැති පරිපාලනික චරිතය, ජාතික චරිතයක් බවට පත්වන්නේ ඒ සහසම්බන්ධය ඔස්සේ ය. ඊළඟට, රාජපක්ෂ පරම්පරාව විසින් බණ්ඩාරනායක පරම්පරාව, මේ යුදමය ජයග‍්‍රහණය විසින් ඇති කොට දුන් ‘ලොතරැයිය’ හරහා සීග‍්‍රයෙන් විස්ථාපනය කෙරෙනු ලැබෙමින් තිබූ තත්වයක් තුළ, නාමල් රාජපක්ෂගේ පරවේණි අයිතිය පිළිබඳ චින්තාව ඉස්මත්තට ආවේය. අනුර බණ්ඩාරනායකට සිදු වූ දේ ඔහුට සිදු වීමට ඉඩ තැබිය යුතු නොවේ. ඒ සියල්ල එක මිටට ගත් විට, මහින්ද රාජපක්ෂට විධායක ජනාධිපති ක‍්‍රමය දිගටම පවත්වාගෙන යාම අතිශය තීරණාත්මක කාරණයක් බවට පත්විය.

මෛත‍්‍රීපාල සිරිසේන යනු, ඉහත කී අධිකාරීවාදයේ සීමාන්තිකත්වයෙන් තෙහෙට්ටුව පත් සමාජ සාමුහිකයක අතරමැද සොඳුරු අපේක්ෂාව විය. ඔහුගේ පරම්පරාවේ සොලමන් ඩයස්ලා හෝ ඞී. ඒ. හෝ ඞී. එම්. රාජපක්ෂලා හෝ සිටියේ නැත. හෙවත්, ඔහුගේ හඳහනේ රාජත්වයක් ලියැවී තිබුණේ නැත. එයම, එක විට ඔහුට තේරීම් දෙකක් ඉදිරිපත් කොට තිබුණි. එනම්, එක්කෝ මැන්ඬේලා කෙනෙකු වීමට ය. නැත්නම්, ගමරාළලාගේ සිරිසේන වීමට ය. ඔහු දෙවැන්න තෝරා ගත්තේය. එසේ වීමට, රාජපක්ෂලාගේ සහ වික‍්‍රමසිංහලාගේ හඳහන්වල මාරක ග‍්‍රහයන් බලපෑ බවට සැකයක් නැත.

රනිල් වික‍්‍රමසිංහ මේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ කාරණය සම්බන්ධයෙන් පසුගිය කාලයේ විටින්විට විවිධ ආස්ථාන ගෙන තිබේ. එහෙත් ඒ ප‍්‍රසිද්ධියේ නොවේ. රට ඉදිරියේ ඔහු පෙනුණේ, එක දිගමට ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකු වශයෙනි. ඔහු කර ඇති ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ දෙස බැලූවොත් ඒ කාරණය පැහැදිළි වෙයි. එහෙත්, මහජන වේදිකාවේ අපට පෙනෙන රනිල් වික‍්‍රමසිංහ සහ තිරයෙන් පසුපස විටින් විට හැසිරෙන රනිල් වික‍්‍රමසිංහ අතර වෙනසක් ඇත. උදාහරණයක් වශයෙන්, පසුගිය පළාත් පාලන මැතිවරණයට කලින් ඔහු සිටියේ, එම මැතිවරණය ජයග‍්‍රහණය කිරීමේ දැඩි විශ්වාසයකින් නිසා ඒ දිනවල ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ කාරණය ඔහුට නොවැදගත් විය. හේතුව, පළාත් පාලන මැතිවරණය ඔස්සේ ජයග‍්‍රහණයේ මාවතක් විවර වේ නම්, ජනාධිපති පුටුවට යාමේ සිහිනය හිත තුළ තොඳොල් වීමයි. පෙබරවාරි 10 වැනි දා ඔහු මහ පොළොවට කඩා වැටුණි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ආවේශය එවිට යළි ආවේය. එහෙත් ගත වුණේ ටික කාලයකි. ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධය ඔහුට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාවේය. එය හිතුවාට වඩා ඉහළින් පරාජය කිරීමට රනිල් වික‍්‍රමසිංහට හැකි විය. එය ඔහුට ඉමහත් ප‍්‍රහර්ෂයක් ගෙන දුනි. දැන් නැවතත් අර ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ කාරණය ඔහු පැත්තකින් තිබ්බේය. ඊළඟට, ජනාධිපතිවරයා රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පටන්ගෙන ගිය ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවලියට එරෙහිව මුළු රටම එක හඬින් නැගී සිටියේය. කතානායකවරයාගේ සෘජු නායකත්වය සහිතව පාර්ලිමේන්තුව විධායකයේ අත්තනෝමතිකත්වය අභියෝගයට ලක්කෙළේය. ඒ සියල්ලටමත් වඩා අධිකරණය කෙලින් සිටියේය. එයින් ලැබූ ජයග‍්‍රහණය තමාගේ ජයග‍්‍රහණයක් වශයෙන් ගත් රනිල් වික‍්‍රමසිංහ, නැවතත් ජනාධිපති සිහිනයට අවතීර්ණ විය. රනිල් වික‍්‍රමසිංහගේ සෘතු භේදය තුළ මේ ජනාධිපති ක‍්‍රමය තියා ගැනීම හෝ අහෝසි කිරීම පිළිබඳ කාරණය පසුගිය කාලයේ දෝලනය වුණේ එයාකාරයෙනි.

දැන් අප තවත් වටයක් කැරකී, කලින් සිටි තැනට ආපසු ඇවිත් සිටී. ඊයේ (27) පුවත්පත් වාර්තා කළ පරිදි මේ රජ තුන් කට්ටුව දැන් විධායක ජනාධිපති ක‍්‍රමය ඉවරයක් කර දැමීමට එකඟ ලූ. මීට සති තුනකට පෙර, වර්තමාන පාර්ලිමේන්තුවේ අනවශ්‍ය කාලයක් තිස්සේ රස්තියාදු කරවා ඇති ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය පිළිබඳ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට එකඟ බව බොහෝ කලකට පසු ප‍්‍රථම වරට ලිඛිතව රටට කියා සිටියේය. ජනාධිපති සිරිසේනත් පසුගිය දා පාර්ලිමේන්තුව අමතා කළ කතාව අවසන් කෙළේ, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පාර්ලිමේන්තුවේ කර්තව්‍යයක් බව පෙන්වා දෙන සඳහනක් කරමිනි.

ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම යථාර්ථයක් වීමේ අවසාන පරිසරය ගොඩනැගෙන්නේ, ඉදිරියේ පැවැත්වීමට නියමිත යම් ජනාධිපතිවරණයක් තුළ මතු කෙරෙන සුවිශේෂී පුද්ගල කාරණා ගණනාවක ප‍්‍රතිඵලයක් වශයෙන් වීම, ඇත්තෙන්ම දේශපාලනික සරදමකි. ඉදිරි ජනාධිපතිවරණය, රජ තුන් කට්ටුවට නොසිතූ විරූ මරාලයක් වී තිබේ. ඒ සියලූ අර්බුද, අවසාන විග‍්‍රහයේදී, පෞද්ගලික ය. නාමල් කුමාරයා ලොකු මහත් වන තෙක් ගෝඨාභයට එම ධුරය භාර කිරීම මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් ගත් විට භයානක සූදුවකි. එක්සත් ජාතික පක්ෂයෙන්වත්, පොහොට්ටුවෙන්වත් අපේක්ෂකත්වය නොලැබීම සිරිසේන ඉදිරියේ ඇති ලොකුම හෙනහුරු අපලයයි. එය ඔහුට ලබා ගත හැකි වෙතත්, ? වැටුණු වළක මේ රටේ ජනතාව ඊට පහුව දා දවල්ම වැටෙන්ට හේතුවක් නැත. ප‍්‍රගතිශීලී සහ ලිබරල් බලවේගවල පොදු අපේක්ෂකයා වීම සඳහා රනිල් වික‍්‍රමසිංහට තිබුණු සුදුසුකම්, පසුගිය සිව් වසක කාලය තුළ ඔහු ගෙන ගිය ‘ඞීල් දේශපාලනය’ විසින් දිය කොට හැර තිබේ. දැන්, ජනාධිපති ක‍්‍රමය අවසන් කොට පාර්ලිමේන්තු ක‍්‍රමයකට යාම, පොදුවේ රටට වැඩදායක සිද්ධියක් වීමට අමතරව, ඔවුන්ටත් වැඩදායක දෙයක් බවට පත්ව ඇත.

මේ ලිපියේ ඉහතින් කී පරිදි, ඉතිහාසය වෙනස් වී තිබෙන්නේ, එයාකාරයෙනි. එනම්, පොදු සාධක සහ පුද්ගල බද්ධ සාධක සම්මිශ‍්‍රණයෙනි. අප සැලකිල්ලට ගත යුතු කාරණය වන්නේ, කෙනෙකුගේ පෞද්ගලික අවශ්‍යතාවක් වුව රටක පොදු සුභසිද්ධියට සහ රටක අනාගත අභිවෘද්ධියට වැඩදායක වන්නේද යන්නයි. විධායක ජනාධිපති ක‍්‍රමය ඉවරයක් කර ගැනීම මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හෙට දවස සමග කෙලින්ම ගැට ගැසී ඇති බව එහිදී අප තේරුම්ගත යුතුය. හිට්ලර්ලා බලයට පත්වීමේ ව්‍යවස්ථාමය සහ දේශපාලනමය ව්‍යුහයන් දැන් තියාම වෙනස් කර ගත යුතුව තිබේ. එබැවින්, සිරිසේන, වික‍්‍රමසිංහ සහ රාජපක්ෂ දැන්වත් මේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා පොදු එකඟත්වයකට පැමිණෙන්නේ නම් අප ඉත සිතින් එය අගය කළ යුතුව තිබේ.

ගාමිණී වියන්ගොඩ

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found