‘‘දේශපාලනයේදී නායකයාගේ බලය අනිසිලෙස භාවිතා කොට කොල්ලකෑම් වලට පුරුදු වූ අය ඕනෑ තරම් සොයාගත හැකිය. නමුත්, තමන්ගේ බර කරට ගෙන නායකයා වෙනුවෙන් බාරදිය අදින පිරිස් ඉතාම අඩුය. මංගල වැනි දේශපාලනඥයින් අයත්වන්නේ එම සුළු පිරිසටය. ‘‘
 
කතුවැකිය
 
සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකකම ලැබුණි. ගෝඨාබය රාජපක්ෂ මහතාට මෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක යන ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාටම අපේ උණුසුම් සුභපැතුම් හිමිවේ. තරගය පැහැදිළිය. එසේම තරගකරුවන් පැහැදිළිය. දැන් උදා වී ඇත්තේ ජයග්‍රහණය වෙනුවෙන් වඩාත් වැදගත් සහ විනීත මැතිවරණ මෙහෙයුමක් දියත් කොට රටේ ජනතාවට අවශ්‍යය තීන්දුව ගැනීමට ඉඩදීමය. 
 
මෙම සටහන සජිත් ගැනය.
 
සජිත්ට අපේක්ෂකත්වය දීමට ගත් තීන්දුව මෙරට දේශපාලන ඉතිහාසයේ සිදු වූ ඉතා වැදගත් සිදුවීමකි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය විසින් ගත යුතුව තිබුණු දෙවැනි හොඳම තීරණය ලෙස මෙය හැඳින්විය හැකිය. පළමුවැන්න විය යුතුව තිබුණේ සියලු පාර්ශවයන් එකතු වී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායකට සහය වීම සහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සඳහා අවශ්‍යය පියවර ගැනීමය. නමුත්, දේශපාලන පක්ෂයක් ලෙස ජ.වි.පෙ. තවමත් වර්ධනය වෙමින් පවතින පක්ෂයක් බැවින්  එවැනි බලවත් තීන්දුවක් ගැනීම සඳහා මහ-පක්ෂ ඒකරාශී කිරීමේ ශඛ්‍යතාවය ජවිපෙට අවම වූවා විය හැකිය.
 
saji mangala malik 1000px
දේශපාලනයේ මීළඟ පියවර වෙනුවෙන්: සජිත්, මංගල, සහ මලික් 
කෙසේ හෝ වේවා, මේ මොහොතේ වැදගත් වන්නේ පවතින දේශපාලන සන්දර්භය මනාව තේරුම් ගැනීමට උත්සහ කිරීම සහ පැවැත්වීමට යෝජිත ප්‍රාදේශීය සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය කිසිඳු හිංසාවකින් සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකින් තොරව සිදු කිරීමට අවශ්‍යය පියවර ගැනීමය. මැතිවරණයකදී වැදගත් වන්නේ, ඡන්දදායකයාගේ කැමත්ත සර්ව සාදාරණ ලෙස මැන බැලීමට අවශ්‍යය නිදහස් අවස්ථාව ලබා දීමය.එය සියලු දෙනාගේ මූලික වගකීම වේ.  
 
මේ රටේ දේශපාලන ඉතිහාසය ගෙන බැලූ විට, ප්‍රචණ්ඩත්වයෙන් සහ අනිසි බලපෑම් වලින් තොරව මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍යය වටපිටාව නිර්මාණය වූයේ ඉතාම සෙමිනි. ඡන්දදායකයා කුමන හෝ ආකාරයෙන් රැවටීම සහ ඔහුගේ/ඇයගේ ස්වාධීන අයිතිය කොල්ල කෑම බොහෝ දේශපාලනඥයින් විසින් ඉතාම අප්‍රසන්න ලෙස සිදු කරනු ලැබූ මහා පරිමාණ ව්‍යාපෘතියකි. මැතිවරණය ආසන්න වන විට, සිල්රෙදි පවා බෙදන තත්වයට පත්වීමට ඇතැම් දේශපාලන පක්ෂවලට සිදුවිය. ගෑස් සිලින්ඩරය මිලදී ගැනීමට මුදල් නැති අයවලුන් අතර ගෑස් ලිප් විශාල ප්‍රමාණයෙන් බෙදා හරිනු ලැබීය. පැවැත්වීමට නියමිත මැතිවරණ වලදී එවැනි හාස්‍යයජනක සහ අප්‍රසන්න කටයුතු සිදු නොවන්නේ නම් මනාය. 
 
එසේම මේ වන විට පටු දේශපාලන අරමුණු වෙනුවෙන් තම වෘත්තීය යුතුකම් අයාලේ යැවීමට වෛද්‍යවරුන්ගේ සිට ගුරුවරුන් දක්වා වූ රාජ්‍යය සේවකයින් නියෝජනය කරන වෘත්තීය සමිති කටයුතු කරමින් සිටීම ඉතාම අවසනාවන්තය. ඇතැම් වෘත්තීය සමිති වලට යම් දේශපාලන බලඇණි වලින් විශාල වශයෙන් මුදල් වියදම් කරමින් සිටින බව මේ දින වල අගනුවර බොහෝ දෙනෙකු අතර හුවමාරු වෙමින් තිබෙන කථාවකි. මේ එකඳු වෘත්තීය සංගම් කාරයෙකුට හෝ ඒවායේ ලැගගෙන තම "අයිතිවාසිකම්" දිනාගැනීම වෙනුවෙන් පොරකන නඩයට ඔවුහු විසින් රටට කළයුතු සේවාව ගැන අබමල් රේණුවක හෝ හැඟීමක් ඇතැයි කිව හැකිද? 
 
බලයට පත්වන කුමන හෝ ආණ්ඩුවක් මෙම වෘත්තීය සංගම් සියල්ලම නිසි නියාමනයකට යටත් කිරීම අනිවාර්යය වේ. එසේම ආරක්ෂාව මෙන්ම, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය සහ ආහාර අතවශ්‍යය සේවා ලෙස නීතිගත කොට ඒවා සමග සෙල්ලම් කිරීමට ඇති ඉඩ අවම කළ යුතුය. මෙම අතවශ්‍යය සේවා සඳහා රටේ මහජනතාව මෙන්ම ආරක්ෂක අංශ පුහුණු කළ යුතුය. රට මෙතරම් හිඟමනට ඇදදැමීමට එරෙහිව මොන දේශපාලනඥයාට බැන වැදුනද, සැබෑ සත්‍යය නම් මෙම වෘත්තීය සංගම්ද ඊට ඍජුවම වගකිව යුතුය. මොවුන්ගේ මේ කෙරුවාවල් නිසා රාජ්‍යය ආයතන ගරා වැටීමට ලක් වී තිබේ. කුසලාත්වයෙන් පිරිපුන් මිනිසුන්ට පැමිණීමට ඇති ඉඩ වැළකී තිබේ. එසේම, රාජ්‍යය ආයතන වලට කිසිම සේවයක් නොකොට වැටුප් ගැනීමට හැකි වටපිටවාක් මෙම වෘත්තීය සමිති මෙහෙයවන ඔස්තාර්ලා සහ ඔවුහුගේ ආවතේවකාරයින් නිර්මාණය කරගෙන සිටිති. ඔවුහුගේ පරම සහ එකම කටයුත්ත ගතුකීම සහ පෙත්සන් ගැසීමය. 
 
මෙම වෘත්තීය සංගම්වලින් මෙරටේ රාජ්‍යය සේවයේ ඵලදායිතාව වර්ධනය කිරීම සඳහා  කළ  කටයුතු ගැන ස්වාධීන ඇගයීමක් කිරීම අත්‍යවශ්‍යය වේ. මන්ද, මෙම සමිති බොහෝමයක් මේවන විට අයාලයේ යන දඩ සුනඛයින් විසින් මෙහෙවන බැවිණි. ඔවුහු ආයතන වල විනය කඩති. නමුත් ඉහල නිලධාරීන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට උත්සහ කරන විට ඊට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනිති. ඔවුහු කිසිඳු ලැජ්ජාවක් නොමැතිව මාසය අවසානයේ තම වැටුප ලබා ගනිති. නමුත් ඉන් බොහෝ දෙනෙකු තමන්ගෙන් තම සේවා ස්ථානයට සිදු වූ සේවය ගැන කිසිඳු තැකීමක් නොකරති. මෙම හාදයින් මේ රට සමග කරන මේ සෙල්ලම වහාම නියාමනය කිරීම සඳහා ස්ථීර රාජ්‍යය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යය වේ. 
 
මෙවැනි වටපිටාවක සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ලැබීම යහපත් දේශපාලන ප්‍රවණතාවයකි. මෙය එක්සත් ජාතික පක්ෂය දශක ගණනාවක් තිස්සේ ආයාසයෙන් බලාගෙන සිටි වෙනසකි. මේ වෙනුවෙන් ඇතැම් පාක්ෂිකයින්  පක්ෂ මූලස්ථානයට පැමිණ සියදිවි නසා ගත්තේය. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය තුළ සිදු වූ මෙම වෙනස, කොළඹින් බැහැර  ප්‍රදේශ වල ජනතාවට ලැබුණු සුවිශාල අවස්ථාවක් ලෙස බොහෝ දෙනෙකු දකින බව අපේ හැඟීමයි. සජිත්ගේ පැමිණීම ඉතාම තීරණාත්මක වන්නේ එහෙයිනි. මෙම තත්වය, ජනාධිපතිවරණය දැනටමත් දිනාගෙන ඇතැයි අධිතක්සේරුවෙන් පසුවෙන ගෝඨාබය රාජපක්ෂ මහතාට මුහුණ දීමට සිදුවන බරපතළ අභියෝගයකි. මෙම කාරණා ඉදිරි දිනයන්හීදී වඩාත් පුළුල් ලෙස විමසීම වැදගත් වේ. 
 
කෙසේ හෝ වේවා සජිත්ට අපේක්ෂකත්වය ලැබීම හමුවේ වඩාත් ප්‍රවේශමෙන් කියවිය යුතු චරිත දෙකක් තිබේ. මන්ද මෙහි නියම ජයග්‍රාහකයෝ ඔවුහු වන බැවිනි. ඒ මංගල සමරවීර මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියය. අප දන්නා පමණින්, මහින්ද රාජපක්ෂ මහතා 2015 මැතිවරණ පරාජයෙන් පසු, චන්ද්‍රිකා සමග යළිත් සුහද වීමට නොගත් උත්සහයක් නැත. ඔහු චන්ද්‍රිකාට පණිවිඩ පිට පණිවිඩ යැවූ නමුත්, එය සාර්ථක නොවුයේ රාජපක්ෂ පරිපාලනය තුළදී ඇයට මුහුණ දීමට සිදූ වූ අනේක විද හිරිහැර හේතුවෙනි. 
 
නායකයෙකුට ලබා දියයුතු නිසි රැකවරණය සහ ගරුත්වය ලබා නොදී, රාජපක්ෂ මහතා ඇයව හිංසාවට ලක් කළේ යළිත් චන්ද්‍රිකාට දේශපාලන බලයක් නොලැබෙනු ඇතැයි යන අධිතක්සේරුවෙනි. එය 2015 දී කණපිට පෙරලුනි. ජනාධිපති සිරිසේන මහතා මොන දේ කිව්වද, චන්ද්‍රිකා නොසිටියේ නම් ඔහු ජනාධිපති වන්නේ නැත.

චන්ද්‍රිකා, සජිත්ට සහයව වන්නේද යන්න තවමත් ප්‍රකාශ වී නැත. නමුත්, ඇය ගෝඨාට විරුද්ධය. මෑතකදී මාලදිවයිනේ සිදු වූ ආණ්ඩු පෙරළියේ මොළකාරිය  වූ චන්ද්‍රිකා මෙවර මැතිවරණයෙදී සිට ගන්නා පැත්ත අවතක්සේරු කළ නොහැකිය. වීරවංශ මහතා වැනි අයවලුන්ට වේදිකා වලට නැග හූ කීම සඳහා ඇයගේ දේශපාලනය ප්‍රහසනයක් වුවද, ඇගේ බලය ගැන රාජපක්ෂ මහතා ඉතාම හොඳින් දන්නේය. ඔහු බය, ඇයටය. 
 
මේ හා සමානව මංගල සමරවීර අනෙක් පසින් සිටින්නේය. රාජපක්ෂ මහතා, මංගල ගැන ඉතාම හොඳින් දන්නේය. 2005 දී මැතිවරණය ගොඩ දැමීම සඳහා දායක වූ මූලික කේන්ද්‍රීය බලය නිර්මාණය කළේ මංගලය. මංගල තම ආණ්ඩුවෙන් එලවා දැමීමෙන් පසු, රාජපක්ෂ මහතාගේ දේශපාලනය ක්‍රමයෙන් අඝාදයට ගියේය. එහි ප්‍රතිඵලය 2015 දී අත්විඳීමට ඔහුට සිදුවිය. 
 
දේශපාලනයේදී නායකයාගේ බලය අනිසිලෙස භාවිතා කොට කොල්ලකෑම් වලට පුරුදු වූ අය ඕනෑ තරම් සොයාගත හැකිය. නමුත්, තමන්ගේ බර කරට ගෙන නායකයා වෙනුවෙන් බාරදිය අදින පිරිස් ඉතාම අඩුය. මංගල වැනි දේශපාලනඥයින් අයත්වන්නේ එම සුළු පිරිසටය. 
 
මංගල සහ සජිත් එකතු වීම ඉතාම වැදගත් වන්නේ මේ නිසාය. සජිත් ප්‍රේමදාස ජනාධිපතිධූරයට සුදුසු බව නිර්දේශ කිරීමේ පළමු වෙඩිමුරය පත්තු කරනු ලැබුවේ, මංගලය. ඔහු 1994 දී චන්ද්‍රිකා වෙනුවෙන් එය කළේය. ඉන් පසු 2005 දී මහින්ද වෙනුවෙන් කළේය. අද ඔහු සිටගෙන ඇත්තේ සජිත් වෙනුවෙනි. ක්‍රමෝපායික දේශපාලනඥයෙකුගේ දුරදක්නා ස්වභාවය ඔහු, දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට වසර පහකට පෙර පවා පෙන්වා තිබේ.  ඔහු තවත් වසර පහකින් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බව දැනුම් දී ඇති අතර මීළඟ මහමැතිවරණය ඔහුගේ අවසන් මැතිවරණය බව ප්‍රකාශ කොට ඇත. මෙවැනි මොහොතක මංගලගේ දේශපලානය ඉතාම ප්‍රවේශමෙන් කියවීම බොහෝ දෙනෙකුට වැදගත්වේ. 
 
සියලු කඳු-දුර්ග ඇති ගම්මට්ටම සහ බිම්මට්ටම තරණය කිරීමෙන් පසු මංගල තමන්ගේ දේශපාලන මූලයට ඇතුළත් කර ගැනීමට සජිත් තීරණය කිරීම ඉතාම දැකුම්කලු තීන්දුවකි. මන්ද සජිත්ට "බැලන්ස්" කළ නොහැකි තැන් මංගලට "බැලන්ස්" කිරීමට හැකි බැවිනි. විශේෂයෙන් අනෙකුත් මැතිවරණ මෙන්ම, මෙවරද ඉන්දියානු සාධකය බැහැර කළ නොහැකිය. එසේම, එක්සත් ජනපදයද මෙහිදී බැහැර කළ හැකි සාධකයක් නොවේ. මේ නිසා එම කඳවුරු, වඩාත් සාධනීය ලෙස මෙහෙයවමින් චීනය, පකිස්තානය, සහ රුසියාව යන කඳවුරු දිනා ගැනීමට හැකි මානව සම්පත් සුරක්ෂිත කර ගැනීම සජිත්ට අනිවාර්යය වේ. 
 
මෙහිදී සිහිපත් කළ යුතු අතීත පාඩමක් තිබේ. එනම්, ආර්. ප්‍රේමදාස මහතාට එරෙහිව, ලලත් සහ ගාමිණී  කැරලි ගැසීමය. එකල ප්‍රේමදාසගේ සහයට හරි හරියට හිට ගත්තේ වෙන කවුරුත් නොව, වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහය. ඒ නිසාමදෝ මොන බලපෑම් එල්ල වුවද ඒ සියල්ල රනිල් හමුවේ යටපත් කර දැමීමට සජිත් සෑමවිටම කටයුතු කළේය. අවසානයේ රනිල්ගේ මුවින් ඔහුට අපේක්ෂකකම ලබාදෙන තෙක් සජිත් කළේ වෙන කිසිවක් නොව මෛත්‍රීභාවනාව ප්‍රගුණකොට ඉවසීම දියුණු කර ගැනීමය. මේ වන විට පළමු අදියර දිනාගෙන ඇත. නමුත් අවසන් අදියර දිනිය හැක්කේ, පක්ෂය ඒකරාශී කිරීමෙන් සහ පක්ෂය තුළ කිසිඳු ආකාරයක අභ්‍යන්තර ආරවුලක් නිර්මාණය වීමට ඉඩ නොදීමෙනි. එසේම තම නායකත්වයේ පෞර්ෂය සහ නිවැරදිබව පක්ෂය තුළ පමණක් නොව ඉන් පිටතද තම ක්‍රියාවෙන් ඔප්පු කළ  යුතුව ඇත. එදා ලලිත් - ගාමිණී දෙපළ ප්‍රේමදාසට එරෙහිව සිට ගත්තා සේ මෙදා රවී-නවීන් දෙපළ සජිත්ට එරෙහිව සිට ගැනීමට ඇති අවස්ථාව නැති කිරීම සඳහා කටයුතු කළ යුතුවන්නේ මේනිසාය. එවිට ඔහුගේ ජය මෙන්ම ජයග්‍රහණය සැබෑවක් වී ඉන් පසු උදාවන සජිත් පරිපාලනය යහපත් එකක් වනු ඇත. 
 
මෙම දේශපාලන ප්‍රවණතාවය හමුවේ සජිත්ට වඩා ජයග්‍රහණය හිමි වී ඇත්තේ මංගලට සහ චන්ද්‍රිකාට බව කීම අධිතක්සේරුවක් හෝ මවා පෑමක් නොවේ.