කැළෑ නීතිය ඇතුලේ වෙන්නේ ශක්තිවන්තයා ජය ගන්න එක. ශිෂ්ට සමාජයක වෙන්නේ සාධාරණ බව ජයගන්නා එක. කොරෝනා වෛරසය ගැන ස්ලාවෝ ජිජැක් ඉතාම මෑතක ලියපු 'කැළෑ නීතිය ද ගෝලීය කොමියුනිස්ට් සමාජයක් ද' (Global communism or the jungle law, coronavirus forces us to decide) කියන ලිපිය නැවත සිහිවුණේ අපේ ඇති හැකි අය සුපර් මාකට් සුද්ද කරන තාලේ දැකල. සතොස ට යන අය අඩු වුණත් අනිත් සුපර් මාකට් වල ගොඩක් රාක්ක සුද්ද වෙලා තිබ්බේ ඊයේ දවසේ.
 
මොකද ටික කාලෙකට හරි අර අපේ එදිනෙදා ජීවිතය කෙසේ සකස් විය යුතුද කියල ටී. වී. එකෙන් උපදෙස් දෙන විශේෂඥයන් ගෙන් දැන් මිදෙන්න පුළුවන්. ලොකුම ලොකු විනාශයක් අබියස අපි ඔක්කොටම නියත ලෙස කෙළවෙන නිසා කවුරුත් කිසිම කෙනෙක් කියන දෙයක් ගණන් ගන්නේ නැහැ. එහෙම නිසා මම මේ ලියන එකෙනුත් වැඩක් නැහැ. නමුත් ඇත්ත මනෝ විශ්ලේෂණ ප්‍රශ්නේ තමයි අපි හැමෝම දන්නවා කොරෝනා නිසා ටිකක් මැරිලා ටිකක් ඉතුරු වෙනවා කියල. දැන් අපි දඟලන්නේ අර ඉතුරු වෙන ගොඩට වැටෙන්න. සුපර් මාකට් හිස් කරන්නේ ඒකයි. ඒ අනුව මට මේ කොරෝනා තත්වය රැඩිකල් මදි. ඇත්තටම වෙන්න ඕනි අර වොන් ට්‍රියර් ගේ මෙලන්කොලියා පිස්සු ග්‍රහයා වගේ ෂුවර් ඇන්ඩ ෂොට් බඩුවක් පැමිණෙන එක.  
 
සමහර විට යම් ගෝලීය එකමුතු බවක් ගැන හිතන්න මේ නව පැනික් තත්වය විසින් අපට බලකරලා තියනවා. කොරෝනා විසින් ගොදුරු කරගත් හැම රටකම පොදු තත්වය තමයි ඒ රටවල රජයන් විසින් ජනතාවට දෙන පණිවිඩයේ තියන පරස්පර බව. මේක ලංකාවේ විතරක් නෙවෙයි සියලු රටවලට පොදුයි. ඒ තමයි මුලින් කියනවා මේ කොරෝනා තත්වය නිසා කලබල විය යුතු නැහැ කියල. නමුත් ඒ එක්කම එන හැම පණිවිඩයකම තියනවා කලබල විය යුතු සියළු අන්තර්ගතයන්. 
 
ජිජැක් ඉහත ළිපියේ මෙහෙම කියනවා. 'කොහොමද මේ පැරනොයික තත්වය ඇතිවෙන්නේ? කඩවල් වල බඩු හිඟ වෙයි කියල ඔන්න කතාවක් යනවා. ආණ්ඩුව කියනවා ඇතිතරම් තොග තියනවා කියල. ඒත් මම මෙහෙම හිතනවා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් හැමෝම බඩු ගන්න පටන් ගත්තොත් එතකොට බඩු හිඟයක් එන්න පුළුවන්. ඒ නිසා මමත් වැඩියෙන් බඩු ගන්න ඕනි. මෙයින් අදහස් කරන්නේ මෙවන් දෙයක්. මම ඔය බඩු හිඟ වෙනවා කියන කටකතා විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මම විශ්වාස නොකළාට අනික් අය විශ්වාස කරනවා කියල මම හිතනවා. ඒ නිසා මේ පැනික් කොරෝනා සමස්තතා උගුලේ මම මටත් නොදැනීම වැටෙනවා'. ඒ කියන්නේ මම මටත් නොදැනීම ගිහිල්ලා බඩු ගන්න පෝලිමට එකතු වෙනවා. 
 
ජිජැක් මෙහෙමත් කියනවා. කොමියුනිස්ට් කියන්නේ දැන් තියන චීන මොඩලයට යන එක නෙවෙයි. එයාල දැන් කරන්නේ දත්ත විකෘති කරන එක. නිෂ්පාදනය නැවත පටන් ගත්තා කීවට ඇත්ත තත්වය ඒක නෙවෙයි. චීන රජය සමහර ආයතන වලට බල කරනවා නිෂ්පාදනය පටන් ගන්න කියල. ඒත් ඒ ෆැක්ටරි වල මිනිස් පුළුටක් නැහැ. හරියටම කිව්වොත් චීන ජූලියන් අසාන්ජ් කෙනෙක් දැන් ඕනි ඇත්තම ඇත්ත දැනගන්න. 
 
කොහොමත් දැන් පේනවා එක රටකට මේ 'යුද්ධය' කරන්න බැහැ කියල. දැන් බලන්න අර ඉතාලියේ ඉදල එන්න ආපු අය. එක රටක ඉඳල තව රටකට මඟ එනකොට එක රටක දොරවල් වහනවා. එතකොට ඒ මිනිස්සු අතර මඟ.  රටවල් අතර ඇත්ත සම්බන්දයක් අවශ්‍යයි අර දැන් තියන ගෝලීයකරණ ශ්‍රම වෙළඳ පළ වෙනුවට. 
 
සාර්ස් වෛරස් එක, එබෝලා වෛරස් එක එනකොට අපි හැමෝම දැනගෙන හිටියා ඒ දෙකටම වඩා ලොකු ප්‍රශ්නයක් එයි කියල. ඒත් අපි සියල්ල සුළු කොට සැලකුවා (trivialized). දැන් අපි ඒ හොඳින් දැනගෙන හිටපු, පරිකල්පනය කරපු දේ ඇවිල්ලා ඉවරයි. දැන් තියන්නේ එහි සමස්තතා නියෝගයට හසු නොවී ඉන්න එක. ඒ කියන්නේ මේ කලබල තත්වයට නිර්භීත විදියට මුහුණ දෙන එක. මට මතක් වෙන්නේ ජිජැක් මිට ටික කලකට කලින් වොන් ට්‍රියර් ගේ මෙලන්කොලියා චිත්‍රපටය (2011) වෙනුවෙන් කළ විග්‍රහය. එයා ඒ දිහා බලන්නේ සර්ව ශුභවාදී විදියට. මම ගොඩක් ආසයි එයාගේ ඒ විග්‍රහයට. 
 
ජිජැක් මෙහෙම කියනවා. මම සම්පූර්ණයෙන් ද්‍රව්‍යවාදියෙක්. ඒත් මම හිතන්නේ වොන් ට්‍රියර් මෙලන්කොලියා තුල යෝජනා කරන ලෝක විනාශය ඇතුලේ ගැඹුරු කාව්‍යමය බවක් තියනවා. ජස්ටින් ඉතාම ගැඹුරු අර්ථයෙන් තමා දෙසට එන ලෝක විනාශය රැගත් ග්‍රහ වස්තුව පිළිගන්නවා. ඇය ප්‍රකට කරන නිශ්ශබ්ද පිළිගැනීම හරිම ශුභවාදී එකක්. ඇය එතැනදී අධ්‍යාත්මිකයි. මේ සමස්තතා උගුලෙන් ගැලවෙන්න ඇත්තටම කෙනෙක් ට උවමනා නම් එවන් කෙනෙක් ඇත්තටම අධ්‍යාත්මික වෙන්න ඕනි පැවැත්මේ ගැඹුරු අර්ථයෙන්. හැම දෙයක් ම යම් නිශ්චිත නිමේෂයක විනාශ වෙලා යන්න පුළුවන් කියන ගැඹුරු හැඟීම අපිට ඇත්තටම අධ්‍යාත්මික ලෙස දැනෙන්න ඕනි.  
  
මෙන්න මේ ගැඹුරු අත්දැකීම විසින් අපිව අපේ එදිනෙදා විනෝදයෙන් ඔබ්බට අපිව ගෙනියනවා. ඉන් ඔබ්බට හිතන්න අපිට බලකරනවා. කොරෝනා වෛරසය නිසා මැරෙනවට වඩා පිරිසක් ගෝලීය පරිසර අර්බුදය නිසා මිය යනවා. නමුත් කොරෝනා කලබල තත්වය විතරයි මාධ්‍ය කතා කරන්නේ. පරිසරය ගැන කවුරුත් කලබල නැහැ. මොකද අපි මේ කිසි දෙයක් ගැන අධ්‍යාත්මික ලෙස සංවේදී නැහැ. සූදානම් නැහැ. කියන්නන් වාලෙ කියනවා. කරන්නන් වාලෙ කරනවා. අපි ගොඩක් දෙනෙක් අධ්‍යාත්මික ලෙස ගත්තම හිස්. ඒ අධ්‍යාත්මික හිස් බව ඇතුලේ බඩු මුට්ටු ලොකු ලොකු ගොඩවල් ගහ ගන්නවා. 
 
ඒ නිසා අපේ මේ විනෝදයෙන් අපිව උගුල්ලලා, උස්සලා පොළොවේ ගහලා, අපේ පැවැත්මේ ඇත්ත අර්බුදය ගැන සවිඥාණික කරන්න තරම් අධ්‍යාත්මික ඇස් ඇරවන්න මේ කොරෝනා වෛරසය රැඩිකල් නැහැ කියන එක තමයි මගේ මතය.  
 
කොයි දේටත් කළින් අපි කවුරුත් මැරෙන මිනිස්සු කියල ඇත්තටම පිළිගනිමු. ඊට පස්සේ විප්ලවය කරමු.
මහේෂ් හපුගොඩ