‘ප්‍රගති වාර්තාව‘ පාසල් දරුවන්ගේ පමණක් නොව දෙමාපියන්ගේ ද ඇස් අන්ධ කරන්නට හේතුවකි. 2019 අ.පො.ස. (සා.පෙ.) ප්‍රතිඑල විසින් දකුණේ දේශපාලනඥයින් ද, නිලධාරීන් ද, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දරුවන් සහ දකුණේ ජනතාව ඇස් අන්ධ කර ගත යුතු නැත. මෙවර සා.පෙ. ප්‍රතිඑලය දකුණේ අධ්‍යාපනයට පැහැදිලි රතු එළියක් දල්වා ඇත.
 
1. දකුණේ අධ්‍යාපන කලාප 11 ම වසර ගණනාවක් සා.පෙ. ප්‍රතිඑල අනුව ජාතික සාමාන්‍ය අගයට වඩා ඉහළින් සිටියේය. මෙවර පළමුවරට, ගාල්ලේ ඇල්පිටිය කලාපය (70.75%), ජාතික සාමාන්‍ය (73.84%) මට්ටමට වඩා පහතට වැටී ඇත. එය දශම ගණනකින් නොව 3% කිනි. 2018 දී ලංකාවේ අධ්‍යාපන කලාප 98 න් 25 ස්ථානයේ සිටි ඇල්පිටිය මෙවර 58 දක්වා ස්ථාන 33 ක් පහත වැටී ඇත. එවන් පසුබැසීමක් ලංකාවේ කිසිදු අධ්‍යාපන කලාපයක නැත.
 
2. දකුණේ අධ්‍යාපන කලාප 11 අතුරින් අම්බලන්ගොඩ 10 වන ස්ථානයට වැටී ඇත. 2018 ලංකාවේ 18 වූ අම්බලන්ගොඩ මෙවර ස්ථාන 16 කින් පහතට වැටී 34 වී ඇත. ඇල්පිටිය, අම්බලන්ගොඩ කලාපවල පසුබෑම නිසාත්, ගාල්ල කලාපයේ ගුරුවරුන් 330 ක් කාලසටහනක් නැතිව වැටුප් ලබමින් සිටින නිසාත්, ගාල්ල දිස්ත්‍රික්කයට 2018 මෙන්ම මෙවර ද දිස්ත්‍රික්ක ලැයිස්තුවේ අංක 5 ට වැටී ඇත.
 
3. කලකට පෙර ගාල්ල ලංකාවේ අධ්‍යාපනයේ අංක 1 වූවේය. අධ්‍යාපන පරිපාලනයේ දැඩි වෙනසක් සිදු නොවන්නේ නම්, අම්බලන්ගොඩ පමණක් නොව ලබන වසරේ උඩගම කලාපය ද ජාතික සාමාන්‍යෙයන් පහතට වැටීම බලාපොරොත්තු විය යුත්තකි. කරන්දෙනිය, ඇල්පිටිය පමණක් නොව නියාගම, හික්කඩුව, බද්දේගම කොට්ඨාශ ද නගා සිටුවීමට විශේෂ වැඩපිළිවෙලක් අවශ්‍ය ය. ගාල්ල දිස්ත්‍රික්කයටත් පොදු වේ ත්, ඇල්පිටිය, අම්බලන්ගොඩ හා ගාල්ල කලාප වන අර්බුදය පැහැදිලිය. ‘‘දැක්මක් නැති ප්‍රධානීන්ට, බුද්ධියක් ඇති ගුරුවරුන් බහුතරයක් යහපත උදෙසා මෙහෙයවිය නොහැකිය‘‘.
 
4. මාතර දිස්ත්‍රික්කය, 2018 දී ලංකාවේ අංක 1 යි. මෙවර එය අංක 2 වී ඇත. මොරවක කලාප ලැයිස්තුවේ අංක 12 සිට 33 දක්වා ස්ථාන 21 ක් පහතට වැටී ඇත. මාතර (ස්ථාන 4) හා මුලටියන (ස්ථාන 6) කින් පහත වැටී ඇත. මාතර, අකුරැස්ස පමණක් ස්ථාන 6 කින් සිය තත්වය ඉහළ නංවාගෙන ඇත. පුදුමයට කරුණ නම්, වැලිගම හා දික්වැල්ල කොට්ඨාශ දෙකම මෙවර ජාතික සාමාන්‍යෙයන් පහතට වැටීම ය. අකුරැස්ස කලාපය මෙවර 19 සිට 12 දක්වා කලාප 6 ක් ඉදිරියට පැමිණ සුවිශේෂ ප්‍රගතියක් ලබා ඇත.
 
5. හම්බන්තොට, බොහෝ දෙනා කථා කරන්නේ වලස්මුල්ල කලාපය ලංකාවේ අංක 1 වීම ගැනය. නමුත්, තංගල්ල කලාපය පසුගිය වසරේ සිටි අංක 16 සිට ලංකාවේ අංක 3 දක්වා පියවර 13 ක් ඉදිරියට පැමිණ ඇත. හම්බන්තොට කලාපය ලංකාවේ අංක 27 තවමත් සිටින්නේ දකුණේ සාමාන්‍යයට ද පහළිනි. දිස්ත්‍රික්කය අංක 1 බවට පත් වන්නේ මේ නිසාය.
 
දකුණේ අධ්‍යාපනය ගැන මා ලියූ පළමු සටහන ලක්ෂ 26 කට වැඩි පිරිසක් කියවා ඇත. එම සටහන දහස් ගණනක් නැවත පෝස්ට් කර ඇත. දකුණේ වැසියෝ අමන්දානන්දයට පත්ව ඇත. නමුත්, දකුණේ අධ්‍යාපනය පිළිබද සත්‍යය සම්පූර්ණ චිත්‍රය එය නොවන බව වටහා ගැනීම අවශ්‍ය ය.
 
ලංකාවේ අනෙකුත් පලාත්වල මෙන් නොව දකුණේ ගුරු හිගයක් නැත. වසර 8 කට පසුව දෙමළ භාෂා ගුරු හිගය 2019 දී අවසන් විය. දකුණේ අධ්‍යාපනයේ සුවිශේෂත්ව පළාත් පාසල් ජාතික පාසල් අභිබවා සිටීම ය. ජාතික පාසල් පමණක් සැලකීමේ දී දකුණුට හිමිවන්නේ 6 වන ස්ථානය යි. පළාත් පාසල් අතර පමණක් දකුණ අඛණ්ඩව ලංකාවේ අංක 1 හි සිටී.
 
දකුණු පලාත දිගු කලක් බස්නාහිර හා වයඹ පලාත්වලට වඩා පරතරයක් පවත්වාගෙන ගොස් තිබුණි. දැන්, එම පරතරය අඩු වෙමින් ඇත. දකුණේ අධ්‍යාපනයට හිමි අංක 1 ස්ථානය තව වසර දෙකක් තුල දෙක, තුන තත්වයට පත්වීම වලක්වා ගැනීමට නම් විශාල වැඩ කොටසක් සිදු කළ යුතුව ඇත.
 
අධ්‍යාපනයෙන් දකුණ #1 බව සත්‍යයකි. ‘‘දැක්මක් ඇති මිනිසුන්ට, බුද්ධියක් ඇති මිනිසුන් එක් වී බොහෝ දේ කර ඇති බව‘ ද, සත්‍යයකි. එය රැග ගැනීමට නම් තවත් බොහෝ දේ අවශ්‍ය බව එයටත් වඩා සත්‍යයකි.
 
රජිත් කීර්ති තෙන්නකෝන්
දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර