තරුණ කෙල්ලෙක් උස්සල විසි කරනවා පොලිසියේ ටාටා කැබ් එක අස්සට. යකට ගරාදියට උඩින් ගුවන්ගත වන ඒ තරුණිය පාත් වෙන්නේ කැබ් එකේ යකඩ තට්ටුව උඩට. ඔළුව පහළට. කොල්ලුපිටියේ විරෝධය වෙලාවේ ඊයේ සිරස කැමරාවේ සටහන් වෙච්ච බලන්නත් බැරි තරම් අතිශය දුක්ඛිත ඒ දසුන සියළු ස්ත්‍රීන් මේ වෙද්දී බලන්න ඇති. ඇයි ස්ත්‍රීන් විතරක්...පිරිමිත් බලන්න ඇති. මේ තමයි අපි හැමෝට ම මේ රටේ අයිති දෛවය...
 
ඔහේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන සද්ද නැතුව ඉන්නකම් ඉන්න පුළුවන්. එත් මේ දේ වැරදි නේද කියල යන්තම් හරි ඇහුවොත් යකඩ ගරාදියට උඩින් යන්නත් පුළුවන්. ඔව් ඉගිල්ලෙන්න පියාපත් ලැබෙනවා...පාලම් වලට උඩින්...තාප්ප වලට උඩින් මීට කලින් පරම්පරාව ඉගිලිලා තියනවා. ආයේ ඇවිල්ලා නැහැ. මේ අපිට මතක් කරලා දෙන්නේ ඒක. ඔව්. වැඩිය දැඟලුවොත් අපි ඔබට එහා ලෝකෙට යන්න පියාපත් ලබා දෙනවා...සත්තයි.   
 
ජෝර්ජ් ෆ්ලොයිඩ් තේමාව අද වෙද්දී ලෝක තේමාවක් වෙමින් පවතිනවා. සියලු ම අය දන්නවා ඒ නිසා ලෝකයේ ආකල්ප වෙනස් වෙන්න පටන් ගනිමින් තියනවා කියල. වර්ණ භේදය ගැන, ජාතිවාදය ගැන, සුළු ජන කොටස් වල පැවැත්ම ගැන, අධිපති බව ගැන, මේ සියලු දේ ගැන ලෝකය දැන් බලන්නේ වෙනස් විදියට. ඇමෙරිකාවේ ම සී. එන්. එන්. සේවය ලෝක පරිමාණයෙන් සිදුවෙන ඒ ආකල්පමය වෙනස (global attitudinal change) මුළු ලෝකයට වාර්තා කරනවා.  
 
මේක පෙරටුගාමී සමාජවාදීන් ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ඇමෙරිකන් එම්බසි එක ගැන ප්‍රශ්නයකුත් නෙවෙයි. පක්ෂ දේශපාලනය ගැන ප්‍රශ්නයකුත් නෙවෙයි. මේක පුළුල් ම පුළුල් අර්ථයෙන් ලෝකයේ සිදුවෙන මිනිස් කම ගැන නැවත සිතා බැලීමක් ගැන ප්‍රශ්නයක්. ෆ්ලොයිඩ් කියන්නේ සුදු අධිපති බව නිසා මියගිය එකම කල්ලා නෙවෙයි. අවසානයාත් නෙවෙයි. ඊයේ ඒ ගුටිකාපු මිනිස්සු වෙනුවෙන් මම පෙනී සිටින්නේ එයාලගේ පක්ෂය ගැන හිතල නෙවෙයි. සමස්ත මානවවාදයේ පරමාදර්ශ (universal ideals) ගැන හිතල. බටහිර කරපු වැරදි එමටයි. බටහිර නොවන අපි කරපු වැරදිත් එමටයි. මේ ඇවිල්ලා තියෙන්නේ අපි හැමෝටම අපි ගැනම - අපේ පැවැත්මේ අඳුර ගැනම - අපි අපි එක්කම කරන්න ඕනි ඇතුළාන්තයේ අරගලය ගැන (inner struggle) නැවත හිතන්න වෙලාවක්. මට අනුව ඒක තියෙන්නේ නිරෝධායන නීති රීති වලට ඔබ්බෙන්. 
 
ෆ්ලොයිඩ් නිසාවෙන් හරි කමක් නැහැ මේ ආපසු හැරිලා අපිට අපේම මනුස්සකම ගැන නැවත හිතන්න ලැබිලා තියන අවස්ථාව මහඟු එකක්. ඒකයි ඇමෙරිකන් පොලිසිය පුළුවන් තරම් අවිහිංසාවාදී විදියට මේ ප්‍රශ්නේ දිහා බලන්නේ. මම හිතන්නේ අපේ පොලිසිය ට මඟ හැරුණේ අන්න ඒ නිමේෂය. 
 
මට මතක් වෙන්නේ අර කොරෝනා ආපු කාලේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ හෙදියක් මිය ගිය වෙලාවේ එයාගේ ස්වාමි පුරුෂයා සියළු සෞඛ්‍ය උපදෙස් පැත්තකට දාල එයා මිය යන්න කළින් අන්තිම කිස් එක දෙනවා. ඒක දීලා කියනවා කොරෝනා වලට කලින් අපි මිනිස්සු වෙලා හිටියා මතක නැද්ද කියල...
 
ඉතින් පොලිසියේ අය කොරෝනා නිසා නම්, නිරෝධායනය නිසා නම් අර ගැහැණු ළමයා පිටකොටුවේ අල ළුණු ගෝනියක් ගානට ආකාශ ගත කළේ...මම කියන්නේ කොරෝනා එන්න කලින් වත් අපි මිනිස්සු වෙලා හිටියා මට නම් මතක නැහැ කියල. මම හිතන්නේ 'අපි යක්කු බොලව්' කියන එක තමයි හරිම හරි තේමාව...ගොඩක් දුකයි.
 
අකුරුවලට ලෝකය වෙනස් කරන්න බැහැ...මට හිතුනේ එච්චරයි.  
 
[email protected]>
 
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි