සුගතපාල සිල්වා මහත්මයා කියනවා වගේ ගොඩක් අය කියන එකක් තමයි පාලනයකට සොඳුරු ආඥාදායකයන් අපට අවශ්‍යයි කියලා. ඒ කියන්නේ මහජනයාව හරියට පොඩි ළමයි වගේ. නිකන් අර කොටු අරන් පාලනය කරනව වගේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ගෝලීය ධනවාදයේ ඇතුලේ මේ තියෙන විශේෂ අර්බුද ගොඩක් හමුවේ යම්කිසි ආකාරයක සර්වාධිකාරයන් ඒ කියන්නේ යම් ආකාරයක අනුන් ගැන අහන්නේ නැතුව අනම් මනම් ප්‍රශ්න අහන්නේ නැතුව ලොව පාලනය කරන ප්‍රවණතාවයක් පැතිරෙමින් යනවා.

උදාහරණයකට ගත්තොත් ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්තත් තුර්කියේ අර්ඩර්ගාන් ගත්තත් ඊලඟට අපි ගත්තොත් පූටින් සහ උතුරු කොරියාව ගත්තත් මේ වගේ රටවල් විශාල ප්‍රමාණයක Authoritarian කියන තත්තවයක් බිහිවෙලා තියෙනවා. ප්‍රශ්නෙ තියෙන්නේ ඇයි මෙහෙම බිහිවෙන්නේ, ඇයි මිනිස්සුන්ට තමන්ව පෙළන පාලකයො අවශ්‍ය වෙන්නේ, ඒ කියන්නේ පීඩාවට පත්කරන පාලකයන් අවශ්‍ය වෙන්නේ.

කෙටියෙන් කිවුවොත් මෙන්න මේ වගේ දෙයක් තියෙන්නේ අපි දැන් ජීවත්වන සමාජයේ හැම වෙලාවෙම හැමදේකටම ඉඩ දෙනවා නේද කැමැති විදිහට ජීවත්වෙන්න. ඒ කියන්නේ කිසිම පාලනයක් නැහැනේ. ස්වයං පාලනයක් නෙ තියෙන්නේ. දැන් අපි දන්නවා අපි ෆේස් බුක් එකට ගියහම අපි කියනවා self govern ඒ කියන්නේ මාව බාහිර කෙනෙක් පාලනය කරන්නේ නැහැ. මට කැමති විදිහට යන්න පුලුවන්. දැන් ෆේස් බුක් එකට වුනෙත් එකමයිනේ.

ඒ කියන්නේ ආණ්ඩුවෙන් වත් ඒක පාලනය කරීමට මැදිහත් වුනේ නැහැ. ඒගොල්ලොමයි පාලනය කරගෙන ගියේ. හැබැයි පාලනයේ අවසාන වුනු තැන තමයි අපි පහුගිය දවස්වල දැක්කේ. ඉතින් ඒ වගේ අපි මේ ජීවත්වන මේ ගෝලීය ධනවාදය තුල ප්‍රධාන ලක්ෂණයක් තමයි අපිව ස්වයං පාලනයකට අතහරිනවා. අපේ සිතුම් පැතුම්, අපේ ක්‍රියාකාරීත්වය, අපිටම පාලනය කරගන්න දෙනවා. පාලනය කරගන්න දුන්නම මීට ඉස්සර තත්තවයට වඩා වෙනස තමයි, බාහිරින් කෙනෙක් අපිට පාලනය කරනකොට අපි ඊට විරුද්ධව යනවනේ, ඒ කියන්නේ අපි කැමැති දේ නෙවෙයි මේ වෙන්නේ කියලා.

දැන් ස්වයංපාලනය ආවම මොකද වෙන්නේ අපේ ආශාව මැරෙනවා. ඒ කියන්නේ මිනිහෙක්ගෙ ආශාවක් ඇතිවෙන්නේ තහනම් දේකට. අපි හිතමු කවුරුහරි කෙනෙක් කියනවා අහවල් කෙනාගේ පුටුවේ වාඩිවෙන්න එපා. එතකොට අපි හිතමු මෙතන කාමරයක් තියෙනවා. මේකෙ ඉන්නවා ඉහල නිලධාරියෙක් එයාගෙ පුටුවත් තියෙනවා. කවුරුහරි කිවුවොත් ඒ පුටුවේ වාඩිවෙන්න එපා කියලා අපිට ඇතිවෙනවා නේද නිකන් හරි ඒ කෙනා නැති වෙලාවට හරි හොරෙන් හරි ගිහින් ඒ පුටුවේ වාඩිවෙන්න ආසාවක්, ඔන්න ඔය ආසාවල් දැන් නැහැ. දැන් මේ කාලේ වාඩිවෙන්න කිවුවොත් ඕන කෙනෙක් ඕන තැනක වාඩිවෙනවා. එතකොට වෙන්නේ අපිට මේ සවයංපාලනය ලැබිල තියෙන නිසා අපේ ආශාව මැරෙනවා. මැරුණම වෙන්නේ අපිට පෙරලා ඒක කවුරුහරි හදල දෙන්න ඕන.

ඒ කියන්නේ අපි දැන් ෆුල් ජොලියෙන් ඉන්නේ, ජොලියෙන් සතුටෙන් ඉන්නකොට මේ ජොලිය අපිට එපා වෙලා තියෙන්නේ දැන්. ඒ ජොලිය එපා වුණාම තමයි පූටින්ල වගේ අය එන්නේ. පූටින්ල ඇවිල්ල මොකද කරන්නේ? කියනවා ඔහොම ඉන්න එපා මෙන්න මෙහෙම ඉන්නවා කියල කියනවා.

මේ ලඟදි දවසක පූටින් බස් එකක නැගල මිනිස්සුත් එක්ක වාඩිවෙලා යනකොට පිටිපස්සේ දෙන්නෙක් ටිකක් හයියෙන් කතාකර කර යනවා. එතකොට පූටින් අත දික් කරලා තරවටු කරල වගේ කියනවා. ඔහොම කෑගහන්න එපා බස් එකක යනකොට හෙමින් කතාකරන්න කියනවා. මෙයා ජනාධිපතිකෙනෙක්. ඇත්තටම මේක පිස්සු තත්ත්වයක් මම කියන්නේ. අර මිනිස්සු එකපාරටම පුදුමයෙන් වගේ බලනවා, ජනාධිපතිතුමා විදුහල්පතිවරයෙක් වගේනේ. මේ පාලකයො අපිව පොඩි ළමයි කරනවා. ඉතින් අපේ රටෙත් මේ ප්‍රශ්නෙම තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ තියෙන්නේ සංකීර්ණ ප්‍රශ්න. ආර්ථිකය නන්නත්තාරවෙලා, ලක්ෂ 14 ක විශාල රජයේ සේවකයො ඉන්නවා. ඒ අයට පඩි ගෙවාගන්න බැහැ. මේ වගේ ප්‍රශ්න තියෙන අස්සේ ජනාධිපති නගිනවා බස් එකට, නැගලා ඉවරවෙලා හයියෙන් කෑගහන්න එපා කියලා කියනවා. එතකොට අපි හිතනවා අම්ම! ජනාධිපතිතුමා නේ හරි ෂෝක් ආ බස්එකට නැගල අපිට තරවටු කරා අපිට බස් වල හයියෙන් කතාකරන්න එපා කියලා! හරි හොඳයි ආ!.අන්න ඔය වගේ පිස්සුවක් ලෝකෙ පුරාම යනවා. ඉතින් ඔන්න ඕක තමයි එවැනි පාලකයො අපි ඉල්ලන මානසික හේතු.

දීප්ති කුමාර ගුණරත්න
(සටහන- සුජීවා බණ්ඩාර )

 මුලාශ්‍රය - voicetube.lk වෙබ් අඩවියෙනි