V2025

පුවත්

අතුරු අයවැයේ තවත් යෝජනාවක් ක්‍රියාත්මකයි !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ 2022 අතුරු අයවැය යෝජනාවකට අනුව රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය හා ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් කමිටුවක් පත් කර ඇත.

මහා භාණ්ඩාගාරයේ, නියාමක ජනරාල් දෙපාර්තමේන්තුවේ නියාමක ජනරාල් රම්‍යා කාන්ති මහත්මියගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මහා භාණ්ඩාගාරයේ, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එස්.යූ. චන්ද්‍රකුමාරන් සහ මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.එස්.එන්. ජයසිංහ යන අය පත් කර තිබේ.

අබලි ද්‍රව්‍ය නියමිත වේලාවට බැහැර නොකිරීම හේතුවෙන් රජයට සැලකිය යුතු ආදායමක් අහිමි වන බව හඳුනා ගෙන ඇත. තවද, එවැනි ද්‍රව්‍ය හේතුවෙන් කාර්යාල පරිශ්‍රයන්හි මෙන්ම රාජ්‍ය ගොඩනැගිලිවල ඉඩකඩ ද අනවශ්‍ය ලෙස අවහිර වී ඇත. එබැවින් එම ද්‍රව්‍ය කඩිනමින් සහ විධිමත්ව බැහැර කළ යුතු බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.

ඒ අනුව, 2022 දෙසැම්බර් 05 වැනි දින හෝ ඊට පෙර පහත සඳහන් දෑ පිළිපදිමින් බැහැර කිරීමේ ක්‍රියා පටිපාටිය සම්පූර්ණ කිරීම කමිටුවට පැවරී ඇත.

• සියලුම ආයතන වෙත චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම.
• ආයතන (අමාත්‍යාශය/දෙපාර්තමේන්තු/ආයතනය) මගින් පවතින අබලි ද්‍රව්‍ය හඳුනා ගැනීම
• ආයතන විසින් බැහැර කළ යුතු ද්‍රව්‍ය ලැයිස්තුවක් සකස් කිරීම
• එක් එක් ආයතනය විසින් අදාළ තක්සේරු මණ්ඩලයක් පත් කිරීම
• එක් එක් ආයතනයෙන් ඉවතලන ද්‍රව්‍යවලට අදාළ තක්සේරු ප්‍රමාණය ලැයිස්තු ලබා ගැනීම.
• බැහැර කිරීමේ ක්‍රියා පටිපාටිය අධීක්ෂණය කිරීම
• විකිණීමෙන් පසු ද්‍රව්‍ය ඉවත් කිරීම සහතික කිරීම
• සියලුම ආයතනවල අබලි ද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධ ඒකාබද්ධ වාර්තාවක් සකස් කිරීම.

චීන පොහොරේ අලාභය මිලියන 1382 යි : වගකිවයුත්තන්ට වැඩ වරදියි !

රසායනාගාර පරීක්ෂණවලදී දෙවතාවක් අසමත්ව තිබූ විනාශකාරී බැක්ටීරියා සහිත නොසැපයූ චීන කාබනික පොහොර නෞකාව සඳහා අත්තිකාරම් ගෙවීමේදී කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීම හේතුවෙන් රජයට සිදුවී ඇති රුපියල් මිලියන 1382 ක පාඩුව, මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා අයකර ගතයුතු බවට ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශ කොට ඇත.

එමෙන්ම අදාළ පොහොර සැපයුම්කාර සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන වන්දියක් ලබාගැනීමටත් මෙරට නීතිරීති ප්‍රකාරව ගිවිසුම්වලට අනුකූලව ක්‍රියානොකළ උක්ත සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කිරීමටත් නිර්දේශ කර ඇත.

මෙකී පොහොර ගනුදෙනුව නිසා ගණනය කර නොමැතිව ඇති පාඩුව අතිවිශාල බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. 2021/2020 මහ කන්නයේදී වගාවට යෙදීම සඳහා සැලසුම් කළ කාබනික පොහොර මෙටි්‍රක්ටොන් 96000 ක් නොයෙදීම නිසා අහිමි වූ අස්වැන්න නිසා ආර්ථිකයට වූ පාඩුව, විනාශකාරී බැක්ටීරියා සහිත පොහොර තොගයක් රටට ඇතුළු කිරීමට උත්සාහ කිරීම වෙනුවෙන් අපේක්ෂිත වන්දිය ගණනය කර නොමැති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. කාබනික පොහොර සැපයීම වෙනුවෙන් ඇතිකරගත් ගිවිසුම මත රජයට අනාගතයේදී යම් වන්දියක්, ගාස්තුවක්, වියදමක් ගෙවීමට සිදුවුවහොත් එම පාඩුව පිළිබඳව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

පොහොර නෞකාව සඳහා මුදල් ගෙවීමේදී අදාළ සුරක්ෂණයන් කල් ඉකුත්වීමට පෙර මුදල් කර ගැනීම හෝ සුරක්ෂණයන්ගේ කාලය දිර්ඝ කර ගැනීමට කටයුතුකර නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙකී පොහොර සැපයුම්කාර සමාගම සමඟ ඇතිකරගෙන තිබූ සමථ කොන්දේසි ප්‍රකාරව ණයවර ලිපියේ හා කාර්යසාධන බැඳුම්කරයේ කාලය දිර්ඝකර එය වලංගුව තබාගත යුතුව තිබුණි. එහෙත් 2022 වර්ෂයේ මාර්තු මස 12 වැනි දින ණයවර ලිපිය හා මාර්තු 24 වැනි දින කාර්යසාධන බැඳුම්කරය කල් ඉකුත්වී තිබුණි. එම නිසා ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකිවයුත්තන් සිය වගකිම් පැහැර හැර ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම පොහොරවල ප්‍රමිතිය තීරණය කිරීම ඇතුළු තාක්ෂණික ඇගයිම් කමිටුවේ ක්‍රියාකාරිත්වය නිසිලෙස සිදුවී නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම ආදාළ පොහොර සැපයුම්කරු පොහොර අයදුම්පත්‍රයට දින මුද්‍රා තබා නොතිබුණි. අයදුම්පත් විවෘත කිරීම හා ලේඛනගත කිරීම ප්‍රසම්පාදන විධිවිධාන ප්‍රකාරව විනිවිද භාවයකින් යුක්තව සිදුවී නොමැතිව බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම ජිවානුහරණය නොකරන ලද පොහොර වර්ග ගෙන්වීම සඳහා පවතින බාධාවන් නොතකා හරිමින් පවතින පොහොරවල ප්‍රමිතියට නීතිරීති ගළපා ගැනීම සඳහා සැපයුම්කරු හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ක්‍රියාකර ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස 2021 සැප්තැම්බර් මස 17 දින ණයවර ලිපි විවෘත කරගෙන තිබුණි.

අදාළ පොහොර සැපයුම්කාර සමාගම විසින් චිනයේ කින්ඩාඕ වරායේ සිට කොළඹ වරයාට පොහොර මෙටි්‍රක්ටොන් 20550 ක් එවා තිබුණි. එහෙත් අදාළ සැපයුම්කාර සමාගමට ශාක නිරෝධායන පනතට අනුව ජීවානුහරණය නොකළ කාබනික පොහොර තොගයක් ලංකාවට ගොඩබැමට නොහැකිවීම හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය විය.

ඇතිවූ මතභේදාත්මක තත්ත්වය සැලකිල්ලට ගෙන නෞකාවේ අන්තර්ගත පොහොර තොගයේ පිරිවැයෙන් සියයට 75 ක් සඳහා නොසැපයූ පොහොර තොගයක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.9කට සමාන රුපියල් මිලියන 1382 ක අත්තිකාරම් මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දී තිබුණි. සමථ කොන්දේසි අනුව අපේක්ෂිත සංයුතියෙන් හා ප්‍රමිතියෙන් යුතු පොහොර නැවත සැපයිය යුතු බවට කොන්දෙසියක් අදාළ සමාගමට පනවා තිබුණි. එහෙත් මේ දක්වා ප්‍රමිතියෙන් යුත් පොහොර තොගයක් ලබාගෙන නොතිබුණි. මෙම සමාගම විසින් ප්‍රමිතිගත පොහොර ලබානොදීම තුළ ඒ සඳහා ගෙවූ මුදල අයකරගැනිමට හැකියාවක් නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. මේ නිසා පොහොර සඳහා ගෙවූ මුළු මුදලම රජයට සිදුවූ පාඩුවක් බවට පත්ව ඇති බවද විගණන කාර්යාලය පවසයි.

කෙසේ වුවද අදාළ සැපයුම්කාර සමාගමෙන් ගත් පොහොර සාම්පල් දෙවතාවක් පරික්ෂා කොට තිබුණි. එම අවස්ථා දෙකේදීම පොහොර ජිවානුහරණය කර නොමැති බවත් අර්විනියා සහ බැසිලස් යන අහිතකර බැක්ටීරියා ඇතුළත් බවත් ජාතික ශාක නිරෝධායන සේවය නිර්දේශ කොට තිබුණි. එපමණක් නොව පොහොර ගෙන්වීම සඳහා සැපයුම්කරු හා රජයේ පොහොර සමාගම් අතර ණයවර ලිපි නිකුත්කිරීම අත්හිටුවා තිබුණි. එහෙත් මෙකී ප්‍රශ්නගත පොහොර තොගය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පත්කරනු ලැබූ විශේෂ කමිටුව විසින් සිදුකළ ශාක සත්ත්ව හා මානව සෞඛ්‍යයට අහිතකර බැක්ටීරියා අඩංගු නොවන එහෙත් හිතකර බැක්ටීරියා අඩංගු විය හැකි පොහොර ජීවානුහරණය කළ පොහොර යන නිර්වචනය පදනම් කොටගෙන මෙම පොහොර ගෙන්වීමට නිර්දේශ ලබා දී තිබුණි. මෙම නිර්දේශය මෙම මතභේදාත්මක ගනුදෙනුවට එක් ප්‍රධාන හේතුවක් වී ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

2021/2022 මහ කන්නය සඳහා කාබනික පොහොර මෙටි්‍රක්ටොන් 96000 ක්, මෙටි්‍රක්ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 446 ක මිලකට චීනයේ සිමාසහිත කින්ඩාඕ සිවින් බයෝටෙක් සමූහ සමාගමෙන් ආනයනය කිරිමට සැලසුම් ක්‍රියාත්මක කොට තිබුණි.

-Lanka lead

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර සැමරුම හෙට (06) !

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර සැමරුම පක්ෂ නායක , ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (06) පස්වරු 3.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

රට ගොඩනැගීමට සියලු දෙනා එක්කර ගැනීමේ අරමුණින් "එක්ව ගොඩනගමු" තේමාව යටතේ මෙවර සංවත්සරය අභිමානවත් අයුරින් සැමරීම සඳහා කටයුතු සංවිධානය කර ඇත.

එහි විශේෂත්වයක් වන්නේ වසර 28 කට පසුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු යටතේ මෙවර සංවත්සරය පැවැත්වීමයි.

පක්ෂ සාමාජිකයන් ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන නොකරන සියලු පක්ෂ සහ සිවිල් සංවිධාන වලට සැමරුම් උත්සවය සඳහා ආරාධනා කර ඇත.

විදුලි කප්පාදුව පැයට අඩු කරයි !

සැප්තැම්බර් 06 (හෙට ) සිට එළඹෙන සැප්තැම්බර් 9 වන දා දක්වා දෛනික විදුලි කප්පාදුව පැයක් පමණක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, හෙට සිට සැප්තැම්බර් 09 වන දා දක්වා ප.ව. 6.00 සිට ප.ව. 9.00 දක්වා පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇත.

එහි සභාපති ජනක රත්නායක සඳහන් කර සිටියේ , A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,S,T,U,V සහ W යන කලාපවලට අයත් ප්‍රදේශවලට මෙලෙස විදුලිය විසන්ධි කෙරෙනු ඇති බව ය.

ඉල්ලා අස්වෙන්න කියලා ඉල්ලීමක් නෑ : සීතා අරඹේපොළ කියයි !

මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන ලෙස තමාට කිසිදු පාර්ශවයක් ඉල්ලීම් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ පවසයි .

එමෙන්ම මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට තමන්ට පෞද්ගලිකව අවශ්‍යතාවක් නොමැති බවද ඇය සඳහන් කළාය.

කෙසේ වුවත් මීට පෙර මාධ්‍ය වාර්තා පළවූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට පාර්ලිමේන්තු පැමිණීමට ඉඩලබාදීම සඳහා සීතා අරඹේපොළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, තමාගේ පෞද්ගලික අවශ්‍යතාවක් මත මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුන ද හිස් වු මන්ත්‍රී ධුරය සඳහා පත්කරනු ලබන පුද්ගලයා සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය බවය.

ඒ සඳහා තමාට බලපෑම් කිරීමට ද කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද සීතා අරඹේපොළ මන්.

සහනාධාර සැපයීම විධිමත් කිරීමට පියවර !

ජනතාවට සුභසාධන සහනාධාර ප්‍රතිලාභ ගෙවීම සදහා දීප ව්‍යාප්ත මට්ටමින් තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (05) කොළඹ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මේ වන විට සමෘද්ධි , වැඩිහිටි, වකුගඩු රෝගී සහ ආබාධිත ප්‍රතිලාභ ලබන්නන් මෙන්ම එම ආධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින්නන් ද නියමිත දත්ත පත්‍රිකා සම්පූර්ණ කර ග්‍රාමනිලධාරි මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට භාර දිය යුතු බව ද සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා පවසා සිටියේ ය.

නියමිත අයදුම්පත් සම්පූර්ණ කර ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, සමාජ සේවා නිලධාරී හෝ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරියාගේ සහතික කිරීමක් සහිතව එම අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට භාර දිය යුතු බවද ඔහු පැවසීය .

එම තොරතුරු අදාළ නිලධාරින් විසින් පරිගණකගත කර සියලු ඉල්ලුම්පත් සඳහා QR කේතයක් වෙන්කර එම වැඩපිළිවෙළ මේ මස 15 වැනිදා ආරම්භ කරන බවද ඔහු කීය.

තෝරාගන්නා ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය ප්‍රදර්ශනය කරන අතර ජනතාවට අභියාචනා කිරීමටත් විරෝධතා දැක්වීමටත් අවස්ථාව ලබා දෙන බවද සභාපතිවරයා පැවසීය.

විනිවිද භාවයකින් කටයුතු කර නියම සුදුස්සන්ට ප්‍රතිලාභ ලබා දීම සදහා වන මෙම වැඩසටහන යටතේ ලබන ජනවාරි මාසයේදී ජනතාවට සහනාධාර පිරිනමන බවද ඔහු පැවසීය .

ග්ලයිෆොසේට් ආනයනය ට අවසර !

ග්ලයිෆොසේට් ආනයනයට අවසර ලබාදෙන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහිත ගැසට් පත්‍රය හෙට (6) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ග්ලයිෆොසේට් ආනයනයට අවසර ලබාදෙන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහිත ගැසට් පත්‍රයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය ලැබී ඇත.

වැවිලි ක්ෂේත්‍රය සදහා වල්නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට අවසර ලබා දීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද රෙගුලාසි රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී පසුගියදා සලකා බැලුණු අතර දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාව ඊට අනුමැතිය ලබා දුන්නේය.

රජයේ මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (02) වෙනිදා රැස්විය.

මෙම ගැසට් පත්‍රය අනුව පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ නිර්දේශයට යටත්ව ග්ලයිෆෝසේට් සදහා ආනයන බලපත්‍ර නිකුත් කිරීම සිදුවේ.

ලිට්‍රෝ ගෑස් මිල පහළට !

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 113 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් අද (5) පැවසීය.

මෙම මිල පහත දැමීමත් සමග කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 45 කින්ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 21කින් ද, අඩු කළ බවත් නව මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් සභාපතිවරයා පැවසීය .

මෙම නව මිල සංශෝධනය සමග රුපියල් 4664 ක් පැවති කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4551 ක් දක්වා පහත වැටුණි.

රුපියල් 1872 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1827 ක් දක්වාද, රුපියල් 869 ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 848 ක් දක්වා ද, මිල පහත දමා තිබේ.

නව ලංකා නිදහස් පක්ෂය චන්ද්‍රිකා සමග වැඩ අරඹයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ගේ සභාපතිත්වයෙන් යුත් 'නව ලංකා නිදහස් පක්ෂයේ' (New Lanka Fredoom Party) පක්ෂ මූලස්ථානය බත්තරමුල්ලේ දී අද (05) පෙරවරුවේ විවෘත විය.

 ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ කටයුතු සිදු වූයේ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රධානත්වයෙනි.

මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ප්‍රකාශිත 'නව ලංකා නිදහස් පක්ෂයේ' නියෝජ්‍ය සභාපති ලෙස හිටපු අමාත්‍ය ජීවන් කුමාරණතුංග කටයුතු කරන අතර මහ ලේකම්වරයා වන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන තිලක් වරාගොඩ යි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන හා ලේකම් දයාසිරි ජයසේකර සමග මතගැටුම් ඇතිකරගෙන තිබෙන එම පක්ෂයේ මන්ත්‍රීවරුන් රාශියක් ඉදිරියේදී 'නව ලංකා නිදහස් පක්ෂය'ට එක්වීමට මේවනවිටත් සාකච්ජා ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

අන්ත දක්ෂිනාංශික හෝ අන්ත වාමංශික දේශපාලන පිළිවෙතට එරෙහිව රැඩිකල් මැද ප්‍රතිපත්තියක් මත පිහිටා අනාගත දේශපාලන ක්‍රියාමාර්ග සැලසුම් කිරීමට 'නව ලංකා නිදහස් පක්ෂය' කටයුතු කරනු ඇති බවත්, එම ස්ථාවරයේ සිට පිළිගත් දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් සමග මෙන්ම අරගලයට දායකවූ තරුණ ක්‍රියාකාරීන් සමග පසුගිය සති කිහිපයෙහි දීර්ඝ වශයෙන් සාකච්ජා කළ බවත් එම පක්ෂයේ ප්‍රධානියකු පැවසිය.

අන්තර්ජාල, ස්ථාවර හා ජංගම දුරකතන ගාස්තු ඉහළට......

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව අන්තර්ජාල, ස්ථාවර හා ජංගම දුරකතන ගාස්තු අද (05) සිට 20% කින් ඉහළ නංවා ඇතැයි දුරකතන සමාගම් පවසයි.

ඩොලරයේ අගය වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙහෙයුම් පිරිවැය ඉහළ යාම මීට හේතුවූ බව අදාල සමාගම් නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

මීට අමතරව පේ ටෙලිවිෂන් හෙවත් මුදල් ගෙවා නරඹන රුපවාහිනි සේවා ගාස්තුවද 25% කින් ඉහළ නැංවෙනු ඇති.

සියලු විදුලි සංදේශ සේවාවන් හා පේ ටීවි සේවාවන් සඳහා වන වැට් බදු ප්‍රතිශතය අද(05) සිට ක්‍රියාත්මක වන පරිදි 12% සිට 15% දක්වා ඉහළ නංවා ඇති බවද එම නිවේදනයේ සඳහන් ය.

මේ අතර , අද සිට දුරකතන පැකේජයන් සඳහා වන ගාස්තුව ද ඉහළ යන බව සමස්ත ලංකා කමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා පැවසුවේ ය.

 

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩිනම් ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍යයි – ජනපති

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩිනම් ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවධාරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයාබැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත බාර දීම ද ජනාධිපති කාර්යාලයේ දි සිදු වූ අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ වෛද්‍යවරුන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව පත්ව ඇති අසීරුතාව සමනය කිරීමට කඩිනම් ක්‍රමවේදයක් අවශ්‍ය බව එහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඖෂධ ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවත්නා අනෙකුත් අවශ්‍යතා පිළිබඳ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතන සමග සාකච්ඡා කරන බව ද පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආදී ආයතන අතර සම්බන්ධීකරණයේ දී පවතින අඩු පාඩු අදාළ කමිටු වාර්තාව මගින් හඳුනාගෙන තිබේ. එබැවින් සෞඛ්‍යය අමාත්‍යාංශය මගින් සම්බන්ධීකරණ කමිටුවක් පත් කර, මාසික ප්‍රගති සමාලෝචනයක් ලබා ගැනීමට ද එම වාර්තාවෙන් යෝජනා කර ඇත.

පසුගිය අවුරුදු කිහිපයේ දී විගණකාධිපති වාර්තා නිර්දේශ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග අවම වීම හේතුවෙන් උද්ගත වී ඇති ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා පසුගිය අවුරුදු පහ ඇතුළත ඉදිරිපත් කරන ලද විගණකාධිපති නිර්දේශ පිළිබඳ අධ්‍යයනයට තාක්ෂණික කමිටුවක් පත් කිරීමට ද කමිටු වාර්තාව මගින් යෝජනා කර තිබේ.

ඖෂධ සඳහා රජය දරනු ලබන මුදලින් 40%කට ආසන්න ප්‍රමාණයක් වෙන් කෙරෙන්නේ පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ සපයා ගැනීමටයි. පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධවල මෙන්ම ඉන්සියුලින් හිඟයක් ද පවතින අතර එම ගැටලුව කඩිනමන් නිරාකරණය කර ගැනීමට පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයෝ පෙන්වා දී ඇත.

පිළිකා ඖෂධ හිඟයක් : කොමිස් වෙනුවෙන් ඇතිකළ හිඟයක් දැයි සැකයක් !

Folinic acidවල සිට පියයුරු පිළිකා රෝගීන්ට ලබාදෙන ටැබ්සුමාබ් (tabsumab) එන්නතද ඇතුළත්ව පිළිකා රෝගීන් සදහා භාවිතා කරන ඖෂධ වර්ග 20 කට ආසන්න සංඛ්‍යාවක් නොමැති බවට දැනුම්දීම හේතුවෙන් රෝගීන් ඉමහත් පීඩාවට පත්ව ඇති බව වාර්තා වෙයි .

අදාළ ඖෂධ සිය ගබඩා ආශ්‍රිතව හිඟ හේතුවෙන් අඛණ්ඩව ප්‍රතිකාර කිරීමට නොහැකි බවත් , ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ පෞද්ගලික ෆාමසි හරහා ලබාගන්නට නිර්දේශ කරන බවත් පීඩාවටපත් රෝගීන් පවසයි .

වාර්තා වන ආකාරයට , කොළඹ සහ මහනුවර ජාතික රෝහල්, කරාපිටිය සහ යාපනය මහ රෝහල් සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් රැසක මෙකී ඖෂධ හිඟය සම්බන්ධයෙන් රෝගීන් දැනුවත් කර ඇත .

එසේම මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඖෂධ හිඟ බව රෝහල් ආශ්‍රිත ඖෂධ ගබඩා ආරංචිමාර්ගද තහවුරු කර ඇති බවත් දැනගන්නට ඇත .

පිළිකා රෝගීන්ට අඛණ්ඩව ප්‍රතිකාර කළයුතු වුවත් මෙම ඖෂධ හිගයෙන් රෝගී සත්කාර සේවා සම්පූර්ණයෙන්ම බිද වැටී ඇති බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර සොයාබැලීමේදී දැනගන්නට ලැබුණේ , අදාළ ඖෂධ පරිත්‍යාග ලෙස ලැබුණොත් මිස, රෝගීන් වෙත රෝහල් හරහා ලබාදීමට නොහැකිව ඇති බවයි.

පිළිකා රෝගීන් 3000 ක් පමණ වර්ෂයකට ප්‍රතිකාර සදහා එක්වන බවත් මහරගම අපේක්ෂා රෝහලෙන් රෝගීන් 1000 ක් පමණ දෛනිකව නේවාසිකව සහ බාහිරව ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේ වුවත් වැඩිදුරටත් වාර්තා වන්නේ , අදාළ ඖෂධ හිඟය සම්බන්ධයෙන් නියමිත වේලාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශ දැනුවත් කර නොමැති බවය.

මේ ආකාරයට නියමිත වෙලාවට ඖෂධ හිඟය සම්බන්ධයෙන් දැනුවත් නොකිරීම හේතුවෙන් , කල්වේලා ඇතුව ඖෂධ සපයා ගැනීමට නොහැකි වන බවත් , එහිදී සිදුකිරීමට වන්නේ , නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව , අත්‍යවශ්‍ය ඖෂධ හදිසි මිලදී ගැනීම් වෙත යාමට බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

හදිසි මිලදී ගැනීම් වලදී සැපයුම්කරුවන් සඳහන් කරන මිල ගණන් වලට යාමට සිදුවන අතර , එහිදී අනවශ්‍ය මිල ඉහළ දැමීම් සහ කොමිස් මත මිල නියමවීමේ අවධානමක් ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඒ අනුව සෞඛ්‍ය ක්ශේත්‍රයේ විශවිශේෂඥයන් පවසන්නේ නියමිත වේලාවට මතුවිය හැකි ඖෂධ හිඟතා සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීම වැදගත් බවය.

එසේ නොවුණුහොත් ඖෂධ හිඟයක් පමණක් නොව , වැඩි මිලට ඖෂධ ගැනීමට සිදුවීම , හදිසි ඖෂධ මිලදී ගැනීම් වලදී අතයට ගනුදෙනු ඇතුළු විවිධ අක්‍රමිකතා ඇතිවිය හැකි බවත් ඔවුන් පවසයි .

IMF කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ට්විටර්ගෙන් : ලංකාව ගැන සටහනක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ අරමුදල් පහසුකමක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම පිළිබඳව එහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ට්විටර් සටහනක් තබා ඇත.

එම ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම පිළිබඳව තමන් ඉමහත් ප්‍රසාදයට පත් වන බව ය.

මෙය ශ්‍රී ලංකාවට ඉදිරියට ගමන් කිරීම සඳහා වැදගත් පියවරක් බව ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අගෝස්තු 31 වන දා නිල වශයෙන් නිවේදනය කළේ ය.

ඒ අනුව ශ්‍රී ලංකාවට මාස 48ක වැඩපිළිවෙළක් යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේදී ලබා දීමට නියමිත ය.

අදාළ ට්වීටර් සටහන පහත දැක්වෙයි .

kistalina 660

විදුලි බලය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව : කැබිනට් මණ්ඩලයට !

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මේ මස අවසන් වන විට පෙර කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා සහ වැඩපිළිවලක් ලබාදීමට පත්කළ කමිටුවේ සාමාජිකයන් සමග අද (04) පැවති සාකච්ඡාවේදී එම කමිටුව මේ වන විට විවිධ සංවර්ධන ආයතන නියෝජිතයන්, දේශීය සහ විදේශීය විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ පාර්ශවකරුවන් සමග සාකච්ඡා කර ඇති බවත් වාර්තා වෙයි .

එසේම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මහජන උපයෝගීතා කොමිසම සමග එළඹෙන සතියේ සාකච්ඡා කිරීමට නියමිත බවත් අමාත්‍යවරයාට දැනුම්දී ඇත.

ජනාධිපති රනිල්ගෙන් පුටින්ට පණිවිඩයක් !

සෝවියට් සංගමයේ හිටපු නායක මිහයිල් ගොර්බචොව්ගේ අභාවය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය බලවත් සංවේගය පළ කර ඇත.

රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් වෙත විශේෂ ශෝක පණිවුඩයක් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත්තේ මිහයිල් ගොර්බචොව්ගේ අභාවය සැලවීමෙන් තමන් බලවත් කණගාටුවට පත් වූ බවයි.

ලෝක සබඳතාවන්හි නව යුගයක් සඳහා මං විවර කිරීමට මෙන්ම ලෝක ඉතිහාසය වෙනස් කිරීමට අනෙකුත් ජාතීන් සමග ක්‍රමයෙන් ඉදිරියට රැගෙන එනු ලැබූ හවුල්කාරීත්වය වෙනුවෙන් කැප වූ අග්‍රගණ්‍යය ලෝක නායකයෙකු ලෙස, මිහයිල් ගොර්බචොව් සිහිපත් කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත.

ශෝකයට පත් ගොර්බචොව් පවුල සහ රුසියානු ජනතාව සමග ශ්‍රී ලංකා රජය සහ ජනතාව ද මෙම අවස්ථාවේ අත්වැල් බැඳගෙන සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝක පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තු අල්ලන්න ආපු අයට තේ අරගෙන දෙන්නද කියන්නේ ?

පාර්ලිමේන්තුව අල්ලාගන්නට පැමිණි අය මර්දනය කළා යැයි ඇතැමුන් චෝදනා කරන නමුත් කළ යුතුව තිබුනේ එලෙස පැමිණි අයට පාර්ලිමේන්තු කැන්ටිමෙන් තේ කෝප්ප අරං දීම දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ 156 වන පොලිස් දිනය නිමිත්තෙන් ඊයේ (03) පස්වරුවේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථනයේ පැවති උත්සවය අමතමිනි.

ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවසීය .

පාර්ලිමේන්තුව නැතිව පිටින් අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය ඉවත් කරන්නට කවුරුන් හෝ බලනවා නම් ඒ අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.

එය වීර ක්‍රියාවක් කියා කියන්නට බැහැ.අපට මුහුණ දෙන්නට සිදු වුණේ එවැනි අවස්ථාවකටයි.

ඉකුත් මාර්තු මාසයේදී තරුණයන් එක් වී ආණ්ඩුවකට විරුද්ධව අරගලය කියා ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ අය ක්‍රියා කළේ සාමකාමීව යි. ඒ අයගේ නොයෙක් අංශවල දක්ෂකම් පෙන්නුවා. ඒ පිළිබඳව කාටවත් ප්‍රශ්න කරන්නට බැහැ. ඔවුන් ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව ඒ උද්ඝෝෂණය ගෙන ගියා. අවාසනාවකට ඉකුත් ජුනි මාසයේදී සාමකාමී කණ්ඩායම ඉවත් කොට ප්‍රචණ්ඩකාරීන් විසින් ඒ ව්‍යාපාරය අල්ලා ගත්තා. ඔවුන් රජයේ ගොඩනැගිලි අල්ලා ගත්තා. පාර්ලිමේන්තුවත් අල්ලා ගන්න උත්සාහ කළා.

පාර්ලිමේන්තුව අල්ලා ගත්තා නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් අවසන් වෙනවා.

මෙය නීතියේ ආධිපත්‍ය මෙන්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. එමෙන්ම ජනතාවගේ සර්වජන ඡන්ද බලය නැති කිරීමක්. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුව ආරක්ෂා වුණේ හමුදාව සහ පොලිසිය එය ආරක්ෂා කිරීමට ක්‍රියා කළ නිසයි.

මහ බැංකු අධිපති නන්දලාල් : නඩුවකට අත වනලා !

අපේ රටේ අර්බුද ඉවරවෙන්නේ නැ .. එකක් හරියගෙන එන කොට, තවත් මරාලයක් කඩා පත්වෙනවා.

සජිත්ලා බලාගෙන ඉන්නේ, ඒවගේ චාන්ස් එක්ක ආපු ගමන් මහ ඡන්දයක් ඉල්ලලා කැම්පේන් කරන්න..

ඔය කතාව කිව්වේ, අලුත් මරාලේ ගැන කියන්න. IMF එක පාස්වෙලා, ජාත්‍යන්තර සහයෝගේ පලවේගෙන එනවත් එක්කම, කඩා පත්වෙච්ච මරාලේ ගැන කියන්න.

මහ බැංකු අධිපති විදියට ආචාරය නන්දලාල් ව පත් කෙරුවේ හිටපු ජනාධිපති ගෝඨා .

ඒත් එතුමාගේ සේවා කාලය ඉවරවෙන්න තියෙද්දී තවත් වසර 06ක සේවා දිගුවක් දෙන්න නිර්දේශ කලේ මුදල් ඇමති විදියට රනිල්..ඒ ගෝඨා ගේ අගමැතිවෙලා ඉන්දෙද්දී..

හැබැයි නන්දලාල්ට අවුරුදු 6කට දෙනවට,, රනිල් එච්චර කැමැත්තකින් හිටියේ නෑ කියන එක, රහසක් නෙමයි.

නන්දලාල් දේශපාලන චරිතයක් විදියට ඉස් ඉස්සෙල්ලම හිට් වුනේ පහුගිය මැයි 09 වෙනිදා රටම ගිනි ගත්තට පස්සේ .

ඉදිරි සතිය දෙක ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවොත්, ධුරයෙන් ඉවත් වන බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මාධ්‍යවේදීන් මහ බැංකුවට ම ගෙන්නලා කිව්වා. ඒ මාධ්‍ය හමුව තිබුනේ මැයි 12 වෙනිදා..

ඒ මාධ්‍ය හමුවෙදි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මෙහෙම කියනවා.

“දේශපාලනඥයන්ට එකතුවෙලා ස්ථාවරත්වයක් ගෙන එන්න බැරි නම් කාටවත් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. දේශපාලන ස්ථාවරත්වය නැතිනම් මම තනතුරේ ඉන්නේ නෑ. සතියක් දෙකක් ඇතුළත් දේශපාලන ස්ථාවරත්වය ගේන්න බැරි නම් කවුරු අධිපති ධුරයේ හිටියත් රටේ ආර්ථිකය ගොඩගන්න බැහැ. ඒ නිසා සතියක් දෙකක් ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති වුණේ නැතිනම් මහ බැංකු අධිපති ධුරයේ දැරී සිටීමට මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒ බව මා ජනාධිපතිවරයා ඇතුළු සියලු දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබෙනවා.”

මහ බැංකු අධිපතිතුමා එහෙම කියල ජනාධිපති ගෝඨා වයි, ජනතාවයි බය කරනකොට රටේ අග්‍රාමාත්‍යවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් නැතුව පැය 48කට වැඩි කාලයක් ගිහින්..

''අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්ව මේ වන විට පැය 48ක් ගතව ඇතත්, මේ දක්වා නව අග්‍රමාත්‍යවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට දේශපාලන බලධාරීන් මෙතෙක් අසමත්ව තිබේ.'' මහ බැංකු අධිපතිතුමා සද්දේ දාලා කිව්වා.

ඔය කතාවලට බයවෙලා තමයි ගෝඨා කව්රුහරි අගමැති කෙනෙක් පත්කර ගන්න ට්‍රයි එක දුන්නේ..

අන්තිමේදී සජිත්, ෆොනී, ඩලස් බැ කියද්දේ රනිල් හා කිව්වා. රනිල් අගමැති වුනා. මහ බැංකු අධිපතිගේ බිය ගැන්වීම නිසා නිකම්ම නිකන් තනි මන්ත්‍රී කෙනෙක් විදියට හිටපු රනිල්ට, අගමැති වෙන්න චාන්ස් එක ආවා.

එහෙම අගමැතිවෙච්ච රනිල් දැන් ජනාධිපති..

ඔන්න දැන් මහ බැංකු අධිපතිට විරුද්ධව ආණ්ඩුව ඇතුලෙන් විරෝධයක්.. පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැතුව මහ බැංකු අධිපති රට බංකොලොත් (ඩීෆෝල්ට්) කිව්වයි කියලා. මේ සේරම ප්‍රශ්න මතුවුනේ ඔය කතාවට පස්සේ ලු..

'' රට බංකොලොත් කියල ලෝකෙට කියන්න මහා බැංකු අධිපතිට බලයක් නැහැ .. මුදල් ඇමතිට වත්, කැබිනට් එකටවත් එහෙම බලයක් නෑ . එහෙම තීන්දුවක් ගන්න ව්‍යවස්ථානුකුල බලය තියන්නේ පාර්ලිමේන්තුවට විතරමයි.. මහ බැංකු අධිපති විතරක් නෙමෙයි ඊට අනුබල දෙමින් ජනාධිපති නීතිඥ අලි සබ්රිත් ව්‍යවස්ථාව උල්ලංගනය කරලා. මහ බැංකු අධිපතිට ඔයවගේ තීන්දු තීරණ ගන්න නන් අලුත් පනතක් ගෙනත් පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න ඕන..'' ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් පහුගිය දවසක ප්‍රසිද්ධියේම කියල තිබුනේ එහෙම..

ඔය කතාවලට හිටපු මුදල් ඇමතිට මල පැනලා .. පහුගිය සතියේ පාර්ලිමේන්තුවේදී සද්දයක් දැම්ම. මහ බැංකු අධිපති වැරදි නම් මම යන්නම් කියල එයා කිව්වා.

ඔය කතාවට සජිතුත් පැටලුනා. රනිල්ට විරුද්ධ කව්ද ? ඒ කව්රු වුනත් සජිත්ට වීරයෙක්.. දැන් නන්දලාල් , සජිත්ගේ ලොකුම වීරයා වෙලා කියලයි, ශෝෂල් මිඩියා එකේ සමහරු කියන්නේ..

හැබැයි මේ සිද්ධියේදී බැසිල්ගේ කට්ටිය ඉන්නේ , ගෝඨා පත් කරපු මහ බැංකු අධිපතිට විරුද්ධ තැනක.

මේ බලන්න පුවත්පත් මණ්ඩල සභාපති කථිකාචාර්ය මහින්ද පතිරණ එයාගේ FB එකේ කියලා තියන කතාව..

mahinda p fb

ලංකාව ඩිෆෝල්ට් කරපු එක පහුගිය ඉතිහාසයේ ගත්ත අදූරදර්ශී ම තීරණය. ඒක ගත්තෙ ණය ගෙවන්න සියළු සැලසුම් ක්‍රියාත්මක කරල තියෙද්දි.

2022 ⁣ගෙවන්න තිබුණ ණයවලින් 50%කට ආසන්න ව ගෙවන්න තිබුනෙ පළවෙනි කාර්තුවෙ. ඒව ගෙවල තිබුණෙ.

දෙවැනි කාර්තුවෙ තිබුන චීනයට ගෙවන ඩොලර් මිලියන හයසීයක්. ඒ වෙනකොටත් චීනය හා ලංකාව අවසන් අදිය⁣රේ හිටියේ ඩොලර් බිලියන 2.5ක් ගන්න.

චීනය මුල ඉඳලම කියපු දෙයක් තමා ඩිෆෝල්ට් කරන්න එපා. එහෙම කළොත් අපට ඒකට එකඟ වෙන්න බැහැ කියන එක.

මේ සටහනේදී මහින්ද පතිරණ කියනවා , ඩිෆෝල්ට් නොකරන්න කරපුවැඩ වගයකුත්. ඒ එක්කම මෙහෙමත් කියනවා.

ඩිෆෝල්ට් කළාට ලංකාවට නොගෙවා ඉන්න පුළුවන් ණය තියෙන්නෙ ඉතාම ටිකයි. ලෝක බැංකුව ණය, IMF ණය, ADB ණය නොගෙව ඉන්න බැහැ.

මහබැංකුව අදත් ඒව ⁣ගෙවනවා. ජූලිවල ගෙවන්න තිබුණ ISB ණය මිලියන 1000 නොගෙව ඉන්න පුළුවන් වුනා. ඒකයි තව ඉතාම සුළු ණය ටිකකුයි විතරයි.

මහින්ද පතිරණ මෙහිදී කියනවා, මුදල් බලතල තිබෙන පාර්ලිමේන්තුවටවත් නොකියා මේ තරම් බරපතල තීරණයක් ගැනීම නීතියට පටහැනියි, කියලා .

ඔන්න ඔහොමයි බැසිල්වාදී මහින්ද පතිරණ කියන්නේ..

ආරංචියේ හැටියට මහ බැංකු අධිපතිට විරුද්ධව නඩුවකුත් පටලවන්නයි යන්නේ.

ප්‍රදේශ රැසකට මහ වැසි..

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය සහ කාලුතර දිස්ත්‍රික්කවලඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර දිස්ත්‍රික්ක 04ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයාම් පිළිබඳ විමසිලිමත්වීමේ නිවේදන නිකුත් කෙරිණි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, යක්කලමුල්ල හා බද්දේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ජනතාව නායයාම් පිළිබද විමසිලිමත් විය යුතු බවය.

කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට , බුලත්සිංහල පාලින්ද නුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ සඳහා ද නායයාම් පිළිබඳව විමසිලිමත්වීමේ නිවේදන නිකුත් කෙරිණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, දැරණියගල , බුලත්කොහුපිටිය සහ දෙහිඕවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ජනතාවද නායයාම් පිළිබඳ විමසිලිමත් විය යුතුයි.

රත්නපුර දිස්ත්‍රකික්යේ නායයාම් පිළිබද අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරුණේ කලවාන , අයගම , කහවත්ත , කුරුවිට , ඇහැලියගොඩ , ඇලපාත සහ රත්නපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහායි.

Page 212 of 392