V2025

විදෙස්

මැලේසියාවේ ගුවන් අනතුරක්

මැලේසියාවේ නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැලේසියානු නාවික හමුදාව තහවුරු කළේ HOM (M503-3) සහ Fennec (M502-6) මාදිලියේ හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී අනතුරට ලක්ව ඇති බවයි.

මැලේසියානු ගුවන් හමුදාවේ 90 වැනි සංවත්සරයට අදාළ ගුවන් පුහුණු වීම් සිදු කරන අතරතුර මෙම අනතුර සිදු තිබෙයි

මෙම සිද්ධිය සිදුව ඇත්තේ නාවික හමුදා කඳවුරක් පිහිටි මැලේසියාවේ Lumut නගරයේ ය.

හංගේරියා ජනපතිනිය ඉල්ලා අස්වෙයි

හංගේරියාවේ ජනාධිපති කැටලින් නොවැක් එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.

ඒ, ළමා නිවාසයක සිදුවූ ලිංගික අපයෝජන සිද්ධියකට අදාළ නඩුවකදී කරුණු වසන් කිරීමට සහය ලබාදීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට සමාව දීම හමුවේයි.

එම සිද්ධිය හේතුවෙන් හංගේරියානු ජනාධිපතිනියට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස දැඩි බලපෑම් එල්ල වූ බවත්, ඒ හමුවේ ඇය දැඩි පීඩනයකට ලක්ව සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ජනාධිපතිනියට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් හංගේරියාවේ බුඩාපස්ට් අගනුවර පැවැති විරෝධතාවක් සඳහා දහසකට අධික පිරිසක් සහභාගී වී තිබුණ අතර, එල්ල වූ මහජන විරෝධතා මධ්‍යයේ සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ජනාධිපතිවරිය පැවසා ඇත්තේ අදාළ තීරණය හරහා තමන් වරදක් කළ බවයි.

එබැවින් ජනාධිපතිනිය ලෙස රට වැසියන් අමතන අවසන් දිනය බවත් හංගේරියානු ජනාධිපති කැටලින් නොවැක් ඊයේ රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පවසා තිබුණි.

ට්‍රම්ප්ගේ නඩු විභාගය අතරතුර සිරුරට ගිනි තබාගත් පුද්ගලයා මිය යයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නඩු විභාගය පැවැත්වෙන මෑන්හට්න් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයකු සිරුරට ගිනිතබා ගෙන සිය දිවි නසාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

37 හැවිරිදි මැක්ස්වෙල් අසාරිලෝ නමැති මේ පුද්ගලයා ගිනි තබා ගෙන ඇත්තේ ට්‍රම්ප්ගේ නඩු විභාගය සඳහා ජූරි සභාව තෝරා ගැනීම අවසන් වූ අවස්ථාවේදීය.

දැඩි ට්‍රම්ප් හිතවාදියකු බව කියන අදාළ පුද්ගලයා හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සිදු වන නඩු විභාගය කුමන්ත්‍රණයක් බවට ප්‍රකාශ කර ඇති අතර, අධිකරණය ඉදිරිපිට විරෝධතාවක නිරත වීමෙන් පසු නඩු විභාගය පිළිබඳ සටහනක් ඇතුළත් ලිපියක් ගුවනට වීසි කිරීමෙන් පසු සිරුරට ගිනි තබාගත් බව වැඩිදුරටත් වාර්තා වේ.

ඔහු මියගොස් ඇත්තේ රෝහල්ගත කිරිමෙන් පසුව බව පොලිසිය සඳහන් කර තිබේ.

පාකිස්ථානයේ බෝම්බ පිපිරීමක්

පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 20ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ හි මෙම පිපිරීම් සිදුව ඇති අතර එරට මහ මැතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයක් අසළ පළමු පිපිරීම සිදුව තිබේ.

ඉන් ආසන්න වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එසේම දෙවන පිපිරීම Qillah Saif Ullah දිස්ත්‍රික්කයේ සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇත.

මෙම පිපිරීම් වලින් තුවාල ලැබූ පිරිස මේ වන විට රෝහල් ගත කර ඇත.

මේ වනතෙක් පිපිරීම් වගකීම කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය අතරතුර පුද්ගලයෙක් ගිනි තබාගනී

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගයක් පැවැත්වෙන මෑන්හැටන් උසාවිය ඉදිරිපිටදී පුද්ගලයෙකු සිය සිරුරට ගිනි තබාගෙන තිබේ.

මෙම පුද්ගලයා උසාවියෙන් පිටත උද්‍යානයකදී එලෙස ගිනි තබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනි තබාගෙන ඇත්තේ 37 හැවිරිදි පුද්ගලයෙක් වන අතර,  ඔහු එලෙස ගිනිතබා ගෙන ඇත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව තවමත් අනාවරණය වී නොමැත.

ඔහු මේ වන විට රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

ඔහු ගිනි තබා ගැනීමට මොහොතකට පෙර පත්‍රිකා කිහිපයක් ඔසවාගෙන සිටින අයුරු දැක්වෙන දර්ශන කිහිපයක්ද විදෙස් මාධ්‍ය ප්‍රසිද්ධ කර ඇත.

ඔහු හැසිරී ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට සහය දැක්වීමක් ලෙසද නැතහොත් හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට චෝදනා 34ක් එල්ල වී ඇති අතර ඔහු වරද පිළිගෙන ඇති පසුබිමක් තුළ අදාල පුද්ගලයා එලෙස සිය සිරුරට ගිනි තබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුටත් පිළිකාවක්

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු පිළිකා රෝගයකින් පෙළෙන බවට හඳුනාගෙන තිබේ.

ඔහු මේ වනවිට 75 වැනි වියේ පසු වනු ඇත.

 මේ වනවිට රජුට ප්‍රතිකාර ආරම්භ කර ඇති බව බකිංහැම් මාලිගය ආරංචි මාර්ග වාර්තා කරයි.

පිළිකාව හඳුනාගෙන ඇත්තේ මෑතකදී රජු වෙනත් රෝගී තත්ත්වයක් සඳහා රෝහල් ප්‍රතිකාර ලබා ගැනීමකදී බවත් බකිංහැම් මාලිගය ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් රජුට කුමන ආකාරයක පිළිකාවක් වැළඳී ඇත්දැයි යන්න බකිංහැම් මාලිගය ප්‍රකාශ කර නැත.

කෙසේ වෙතත් රාජ්‍ය රාජකාරි සඳහා රජු සහභාගී වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

රජු සතිපතා අගමැති රිෂි සුනක් හමුවනු ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් වේ.

ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක්

ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරය එල්ලකර ඇති බවට සැකකෙරෙන බවයි.

ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මධ්‍යම පළාතේ ඉස්ෆහාන් හි පිපිරීම් පිළිබඳ තහවුරු නොකළ වාර්තා සදහන් කරන බවයි. මේ හේතුවෙන් නගර කිහිපයක ගුවන් ගමන් අත්හිටුවා ඇති බව රාජ්‍ය මාධ්‍ය පවසයි.

ප්‍රහාරය එල්ලවී ඇති ප්‍රාන්තයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති බවත් සදහන් වේ.

ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ ඊශ්‍රායලයට එල්ල කරන ලද ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානාවලට ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායලය ප්‍රකාශ කිරීමෙන් පසු ඉරානය ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය.

හොලිවුඩ් නළු කාල් වෙදර්ස් ජීවිතක්ෂයට

ප්‍රවීණ හොලිවුඩ් නළුවෙකු වන කාල් වෙදර්ස් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1970 දශකයේ මැද භාගයේ රංගන ජීවිතය ආරම්භ කළ කාල් වෙදර්ස් මිය යන විට 76 වැනි වියේ පසු විය

1987 දී ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් සමඟින් ‘ප්‍රෙඩේටර්’ චිත්‍රපටයේ ද රඟපෑ වෙදර්ස්, මෑතක දී කුඩා තිරයේ ‘ස්ටාර් වෝර්ස්’ කතා මාලාවට ද රංඟනයෙන් දායක වී ඇති බව සඳහන් ය.

චිත්‍රපට, රූපවාහිනිය, කලාව සහ ක්‍රීඩා සඳහා ඔහුගේ දායකත්වය තුළින් ඔහු නොමැකෙන සලකුණක් තබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මියන්මාරයෙන් බේරාගත් ලාංකිකයින් 08ක් තායි තානාපති කාර්යාලයට

මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිට මුදා ගනු ලැබූ ශ්‍රී ලංකිකයින් 08 දෙනා තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාරදී තිබේ.

ඔවුන් ඉතා ඉක්මණින් ශ්‍රී ලංකාවට එවීමට පියවර ගන්නා බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර පැවසීය.

මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ ඇති ප්‍රදේශයක ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනෙකු රඳවාගෙන විවිධ පරිගණක අපරාධ සඳහා යොදා ගනිමින් සිටින බව මීට පෙරද වාර්තා විය.

මේ පිරිස මියන්මාරයට රැගෙන ගොස් තිබුණේ පරිගණක ආශ්‍රිත රැකියා ලබා දෙන බව පවසමිනි.

මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින් 48 දෙනා ද කඩිනමින් මුදා ගන්නා බව තානාපතිවරයා පැවසීය.

නේපාලයේ බස් අනතුරක්

නේපාලයේ ඩාන්ග් දිස්ත්‍රික්කයේ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් 22 දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මගී බස්රථයක් පාලමකින් ඉවතට පැන ගඟකට පෙරළී යාමෙන් එම අනතුර සිදුවී ඇත.

අනතුරින් මියගිය පුද්ගලයින් අතරින් දෙදෙනෙකු ඉන්දීය ජාතිකයන් වන බව වාර්තා වෙයි.

රුසියා ප්‍රහාරයේ වගකීම ISIS භාරගනියි

රුසියාවේ මොස්කව් නගරයට නුදුරින් පැවති ප්‍රසංගයක් අතරතුර එල්ල වූ වෙඩි ප්‍රහාර මාලාවේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන තිබේ.

මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුන් සිව්දෙනා ඇතුළුව සැකකරුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි

ප්‍රහාරය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 93 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වන අතර තුවාලකරුවන් ගණන 100 ඉක්මවා තිබේ.

මේ අතර, රුසියානු රජය පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මියගිය අයෙකුගේ ඥාතීන්ට එරට මුදලින් රුබල් මිලියන 3ක් සහ තුවාල ලැබූ පිරිස සඳහා එක් අයෙක් වෙනුවෙන් රුබල් මිලියනයක් ලබාදීමට කටයුතු කරන බවය.

විදෙස් වාර්තා සඳහන් කළේ හමුදා සාමාජිකයින් ට සමාන ඇඳුමින් සැරසුණු ප්‍රහාරකයින් සිව්දෙනෙකු ප්‍රසංගයක් පැවති අදාළ ගොඩනැගිල්ලට කඩා වැදී වෙඩි තබා, අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.

වෙඩි තැබීම සිදුකර තිබුණේ රොක් සංගීත කණ්ඩායමක් පවත්වන සංගීත සංදර්ශනයක් ආරම්භ වීමට මොහොතක් තිබියදීය.

සංගීත කණ්ඩායම වේදිකාවට පැමිණීමට මිනිත්තු කිහිපයකට පෙර ප්‍රහාරය සිදුවූ අතර සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ට ඉන් හානියක් සිදුවී නොමැති බවද වාර්තා වෙයි.

05 දෙනෙකුගෙන් සමන්විත ත්‍රස්ත කල්ලියක් විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ බව සඳහන්වේ.

නේපාලයේ බුද්ධා බෝයි අත්අඩංගුවට !

"බුද්ධා බෝයි" ලෙස ප්‍රකට 33 හැවිරිදි නේපාල ජාතිකයා, ස්ත්‍රී දූෂණ චෝදනාවට අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි .

ඔහුට එල්ලවී ඇති චෝදනාවේ සඳහන් වන්නේ සිය ආශ්‍රම තුළදීම කාන්තාවන් දූෂණය කර ඔවුන් අතුරුදන් කර ඇති බවය.

Ram Bahadur Bomjon නම් මෙම පුද්ගලයා වසර කිහිපයක් තිස්සේ තමන් බුදුන්ගේ පුනරුප්පත්තිය බවට පවසමින් ධ්‍යාන වඩමින් සිටි බවත් එසේම අනුගාමිකයින් ද දහස් ගණනක් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙයි .

එමෙන්ම ඔහු ආහාර, ජලය හෝ නින්දක් නොමැතිව මාස ගණනාවක් පුරා භාවනායෝගීව සිටිය හැකි අයෙකු ලෙසට ද ප්‍රකට බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

ගෙවුණු වසර කිහිපය තුළ වරින් වර ඔහුට මෙවැනි දූෂණ චෝදනා එල්ලවී තිබුණද, ඔහුව අඅත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වූ බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත .

රුසියාවේ නර්තන ශාලාවකට දරුණු ත්‍රස්ත ප්‍රහාරයක්

රුසියාවේ මොස්කව් අගනගරයේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ Crocus City නාට්‍ය ශාලාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 60ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැලෑ සටන් ඇඳුම් ඇඳගත් සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබමින් එම ශාලාවට ඇතුළ්වන අයුරු දැක්වෙන වීඩියෝ මේ වනවිට සමාජ මාධ්‍ය සංසරණය වේ.

ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

ප්‍රදේශය කළු දුමාරයෙන් වැසී ගොස් ඇති අතර ගිලන් රථ 50ක් පමණ යොදවා ඇති බව වාර්තා වේ.

ත්‍රස්ත පිරිස් ප්‍රහාරය සඳහා, දැවැන්ත ගින්නක් ඇති කරමින් පුපුරණ ද්‍රව්‍ය විශාල වශයෙන් භාවිත කර ඇති බව රුසියානු ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි.

ත්‍රස්ත මර්දන විශේෂඥයින් පවසන්නේ රුසියාව සිය ප්‍රචාරණයේදී ජනාධිපති පුටින්ව නිතර විවේචනය කරන ISIS-K සංවිධානය මෙම ප්‍රහාරය පිටුපස සිටිය හැකි බවයි.

කෙසේ නමුත් රුසියාව මෙම ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අදහස් දක්වා නැත.

මේ අතර අමෙරිකාවේ ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ රුසියාවේ තත්වය පිළිබඳව වැඩිදුර සොයා බැලීමට කටයුතු කරන බවත් යුක්‍රේනය මෙම ත්‍රස්ත ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ය.

ප්‍රංශයට තරුණ අග්‍රාමාත්‍යවරයෙක් : වයස 34 යි !

එම්මානුවෙල් මැක්‍රොන් නව රජයක් සමඟින් සිය ජනාධිපති ධුරය යළි පණ ගැන්වීමේ අරමුණින් ප්‍රංශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ගේබ්‍රියෙල් අතාල් නම් කර තිබේ.

34 හැවිරිදි ඔහු නූතන ප්‍රංශ ඉතිහාසයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ය.

1984 දී ප්‍රංශුවා මිටිරන් විසින් සමාජවාදී ලෝහා ෆැබියුස් පත් කරන විට ඔහු 37 හැවිරිදි වියේ පසුවූ අතර ඒ අනුව ඔහුවද අභිබවා යමින් අතාල් එරට ඉතිහාසයේ ලාබලතම අග්‍රාමාත්‍යවරයා බවට පත්විය.

ධූරයෙන් ඉල්ලා අස් වූ එලිසබෙත් බෝර්න් වෙනුවට අතාල් පත් කර තිබේ.

ඇය විසින් මාස 20ක පමණ කාලයක් අගමැති ධුරය දරනු ලැබුවාය.

ඒම කාලය පුරාවටම ඇය පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති වීම හේතුවෙන් අරගලයක නිරත වූවාය.

දැනට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ගේබ්‍රියෙල් අතාල් නිසැකව ම ආකර්ෂණීය පත් කිරීමක් වනු ඇත.

ජූනි මාසයේ පැවැත්වෙන වැදගත් යුරෝපීය පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රංශ රජය මෙහෙයවීමේ කාර්යය ඔහුට දැන් පැවරෙනු ඇත.

BBC සිංහල

ඊශ්‍රායල් ජනතාව වීදි බසිති !

හමාස් සංවිධානයේ සටන්කරුවන් භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කරන ලෙසට බලකරමින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඊශ්‍රායල සහ හමාස් යුද ගැටුම් ආරම්භවී මේ වනවිට මාස පහක කාලයක් ගත ව ඇති පසුබිමේ මේ විරෝධතාවය පවත්වා ඇත .

කෙසේ වුව ද ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසුව හමාස් සංවිධානය ප්‍රාණඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයින්ගෙන් සියයකට අධික පිරිසක් තවමත් සිටින්නේ හමාස් සංවිධානය භාරයේය.

විරෝධතාකරුවන් ප්‍රාණඇපකරුවන්ගේ සේයා රූ අතැතිව විරෝධතාවයට එක්ව තිබුණි.

ඔවුන් පවසන්නේ දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවත්වා ප්‍රාණඇපකරුවන් මුදා ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි.

විරෝධතාකරුවන්ගේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු ප්‍රමුඛ රජයට ද එල්ල වී ඇත්තේ දැඩි විරෝධයකි.

යුක්‍රේනයට දැවැන්ත ගුවන් ප්‍රහාර

යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් 11 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්න්ස්ක් ප්‍රදේශයට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

මිය ගිය පුද්ගලයින් අතර ළමයින් පස් දෙනෙකු ද සිටින බව එරට වාර්තා සඳහන් කරයි.

මෙවැනි ප්‍රහාරවලට ඉදිරියේ දී ප්‍රතිවිපාක විදීමට රුසියාවට සිදුවනු ඇති බවට යුක්රේනය ජනාධිපතිවරයා පවසා ඇත.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව තවමත් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.

බංග්ලාදේශයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් හයක ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් තිබේ.

අදාළ ගොඩනැගිල්ලේ පිහිටි අවන්හලක මුලින්ම මෙම ගින්න ඊයේ(29) රාත්‍රියේ දී හටගෙන ඇත.

පුද්ගලයන් 75දෙනෙකු පමණ දුම් ආග්‍රහනය වීමෙන් සහ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මහල් හතකින් යුතු මෙම ගොඩනැගිල්ලේ ගින්න පැය දෙකක පමණ කාලයකින් පසු පාලනය කිරීමට හැකිවූ බව ගිනි නිවන නිලධාරීන් පැවසීය.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 13 ක් යෙදවීමට සිදුවූ බව එරට බලධාරීන් සදහන් කළේ ය.

හමාස් නායකයාගේ මරණය ලෙහෙසියෙන් අත්හරින්නේ නෑ - හිස්බුල්ලා නායක

හමාස් සංවිධානයේ ප්‍රබල නියෝජ්‍ය නායකයා ඝාතනය කිරීම "ලෙහෙසියෙන් අත් නොහරින බව" හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා පවසයි.

අඟහරුවාදා බේරූට්හි දී එල්ලවූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් සාලෙහ් අල්-අරූරි ජීවිතක්ෂයට පත් විය. ඒ සඳහා එය වගකිව යුතු බවට ඊශ්‍රායලය තහවුරු කර නැත.

නසරල්ලා අරූරිගේ මරණය විස්තර කළේ, "අපට නිහඬව සිටිය නොහැකි විශාල, භයානක අපරාධයක්" ලෙසිනි.

ඊශ්‍රායලය ලෙබනනයට එරෙහිව යුද්ධයක් දියත් කළහොත් හිස්බුල්ලා දක්වන ප්‍රතිචාරයට “කිසිදු සීමාවක් නැති වේවි” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

අරූරි හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය වන ඉසදීන් අල්-කසම් බලකායේ ප්‍රධාන චරිතයක් වූ අතර හමාස් නායක ඉස්මයිල් හනියේගේ සමීප සගයෙකු විය. ඔහු ඔහුගේ කණ්ඩායම සහ හිස්බුල්ලා සංවිධානය සම්බන්ධීකරණය කරමින් ලෙබනනයේ සිටියේ ය.

ඔහු ඊශ්‍රායලයේ ඉලක්කගත පුද්ගල ලැයිස්තුවේ සිටි බව දන්නා කරුණක් වූ අතර, එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් නායකයින් කොතැනක සිටියත් ඔවුන් තුරන් කරන බවට මීට පෙර ප්‍රතිඥා දී තිබිණි.

හිස වෙනුවෙන් 2018 වසරේ සිට ඩොලර් මිලියන පහක ත්‍යාග මුදලක් නියම වී සිටි අරූරි එක්සත් ජනපද අසාදු ලේඛනයක ද ඇතුළත් විය.

ඊශ්‍රායල ආරක්ෂක බළකායේ (IDF) විශ්‍රාමික කර්නල්වරියක වන මිරී ඒසින් බීබීසීයට පැවසුවේ, හමාස්හි නියෝජ්‍ය නායකයා "ජීවත් වුණේ දහියා ප්‍රදේශය මධ්‍යයේ, බේරූට්හි හිස්බුල්ලා සංවිධානයේ හදවත බඳු වූ ප්‍රදේශයේ," එහේ ඉඳන් තමයි ඔහු "හමාස් සංවිධානය සහ හිස්බුල්ලා සංවිධානය අතර ඍජු සම්බන්ධතා පැවැත්වූවේ."

ඊශ්‍රායලය සමග පූර්ණ ගැටුමක් ඇතිවීමේ අවදානම සම්බන්ධයෙන් තමන් ලෙබනන් ජනතාව ගැන කණගාටු වන අතර, “ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්” සමග කටයුතු කිරීම වැදගත් බව ද ඇය වැඩිදුරටත් පැවසුවා ය.

අරූරිගේ මරණයෙන් පසු ගාසා තීරයේ ගැටුම අනෙක් කලාපවලට ද පැතිරීමට ඇති අවදානම ගැන අතිශයින් කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජනපදය පැවසීය. පළිගැනීම් නොකරන ලෙස ලෙබනන් රජය හිස්බුල්ලා සංවිධානයෙන් ආයාචනා කළ බව කී එරට විදේශ අමාත්‍යවරයා ද ඒ ආකාරයෙන් ම බිය පළ කළේ ය.

“අපි අතිශයින් කනස්සල්ලට පත් වෙලා ඉන්නේ. ලෙබනන් ජාතිකයන් වගේ ම, හිස්බුල්ලා සංවිධානයට පවා කලාපීය යුද්ධයකට යාමට අවශ්‍ය නැහැ,” අබ්දුල්ලා බූ හබීබ් බීබීසීයට පැවසීය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර් බදාදා (ජන 4) කියා සිටියේ, අරූරී මරා දැමූ බේරූට්හි ප්‍රහාරය ගැන වොෂින්ටනය වෙත පූර්ව දැනුම් දීමක් නොකළ බව ය.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව පවසන්නේ, ප්‍රචණ්ඩත්වය උත්සන්න වීමට ඇති හැකියාව ගැන එය ද දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ය.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ ප්‍රකාශකයෙකු සියලු පාර්ශ්වයන්ගෙන් සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේ, පුළුල් ගැටුමක් ඊශ්‍රායලය සහ ලෙබනනය යන පාර්ශව ද්විත්වයට ම විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දෙන බව පවසමිනි.

ඉරානය අරූරිගේ ඝාතනය හෙළා දැක ඇති අතර, එරට විදේශ අමාත්‍යවරයා ඊශ්‍රායලයේ "බියගුලු ත්‍රස්තවාදී මෙහෙයුම්" සම්බන්ධයෙන් විවේචනය කරමින් X, (මීට පෙර ට්විටර්හි) සටහනක් තබා ඇත.

අරූරිගේ ඝාතනයට ප්‍රතිචාර වශයෙන් තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා අත්හිටුවන බව හමාස් සංවිධානය ඊජිප්තු සහ කටාර් මැදිහත්කරුවන්ට පවසා ඇතැ යි වාර්තා වේ.

ඊජිප්තු අගනුවර වෙත ඊශ්‍රායල දූත පිරිසක් සිදු කිරීමට තිබුණු සංචාරයක් කල් දමා ඇතැ යි ද අරාබි මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර, ගාසා තීරයේ සටන් තවදුරටත් ක්‍රියාත්මක ය. ඉවත් වන ලෙස ඊශ්‍රායලය ජනතාවට දැනුම් දී තිබියදීත් අඟහරුවාදා දකුණු ප්‍රදේශයේ පිහිටි නගරයක් වන ඛාන් යූනිස්හි පලස්තීන රතු අඩසඳ ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් පස් දෙනෙකු මියගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ ය.

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ (OCHA) ප්‍රකාශිකාවකට අනුව, මියගිය අය අතර දින පහක් වයසැති බිළිඳෙකු ද සිටින බව සඳහන් වේ.

"මේ කුඩා දරුවන් ජීවත් වූ තැනක්. ළමයි ජීවත් වුණු තැනක් මේක," ජෙමා කොනල් පැවසීය.

"බිම ලේ වගිරිලා තියෙන හැටි ඔබට බලා ගන්න පුළුවන්. ලෝකය සම්පූර්ණයෙන් ම භීතියට පත් වෙන්න ඕන. ලෝකය සම්පූර්ණයෙන් ම අප්‍රසාදය පළ කරන්න ඕන."

අයිඩීඑෆ් විසින් "සටන් කලාපයක්" ලෙස නම් කරන ලද නිශ්චිත ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ප්‍රදේශවාසීන්ට අනතුරු අඟවමින් ඛාන් යූනිස් වෙත ගුවනින් අත් පත්‍රිකා හෙළා ඇත.

පණිවිඩයේ සඳහන් වූයේ, ඒ අවට වූ ප්‍රදේශ කිහිපයක ම ඇති ගොඩනැගිලිවලි ඉවත් වීම සඳහා කරනු ලබන “හදිසි අනතුරු ඇඟවීමක්” ලෙස ය.

ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දා සිට එම ප්‍රදේශය තුළ පුද්ගලයන් 22,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ය.

ඔක්තෝබර් 7 වන දා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් 1200 දෙනෙකු පමණ මියගිය අතර තවත් 240 දෙනෙකු පමණ ප්‍රාණ ඇපයට ගනු ලැබිණි.

නොවැම්බර් අවසානයේ එළඹි දින හයක සටන් විරාමයක් අතරතුර ප්‍රාණ ඇපකරුවන් 105 දෙනෙකු පමණ අවසානයේ නිදහස් කෙරිණි.

බීබීසී සිංහල

Page 1 of 10