V2025

විදෙස්

ගාසා තීරය ඇවිලෙයි : ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර වැස්සක් !

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 7,000ක් පමණ එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු යුදමය තත්ත්වයක් නිවේදනය කර ඇති බවත් එම වාර්තා සඳහන් කර සිටියි.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇත්තේ , මෙය හමුදා මෙහෙයුමක් නොව යුද්ධයක් බවය.

කෙසේ වුවත් හමාස් සටන්කාමීන් පවසා ඇත්තේ , ඊශ්‍රායලය අල් අස්කා දේවස්ථානයට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම මෙහෙයුම දියත් කළ බවය.

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයේ ගුවන්තොටුපොළ සහ හමුදා ස්ථාන ඉලක්ක කර ප්‍රහාර දියත් කර ඇති අතර ඒ සමග මධ්‍යම සහ දකුණු දිග ඊශ්‍රායලයේ ගුවන්තොටුපොළ වසා දමා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට , විනාඩි 20ක කාලයක් තුළ රොකට් ප්‍රහාර 5,000 ක් පමණ අඛණ්ඩව එල්ල කිරීමෙන් පසු තවත් රොකට් ප්‍රහාර 2,000 ක් පමණ ඊශ්‍රායලයට එල්ලවී තිබේ.

තවද හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට ඇතුළුව සිවිල් වැසියන්ට වෙඩිතබන අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම ඊශ්‍රායල් වැසියන් පිරිසක් හමාස් සටන්කාමීන් භාරයට ගෙන ඇති අතර ඔවුන් ඊශ්‍රායල හමුදා කඳවුරකට ද ඇතුළුව තිබෙන බවත් සඳහන් වෙයි.

හමාස් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ද ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ප්‍රහාර දියත් කර ඇත.

ඉන්දියාවේ 77 වැනි නිදහස් දිනය අදයි

ඉන්දියාවේ 77 වැනි නිදහස් දිනය අදට යෙදී තිබේ.

සෑම වසරකම අගෝස්තු මස 15 වන දා ජාතික ධජය එසවීමෙන් සහ ජාතික ගීය ගායනා කිරීමෙන් මෙම දිනය සනිටුහන් කරනු ඇත.

1619 වසරේදී ගුජරාට් ප්‍රාන්තයේ සූරත් හි ආරම්භ කළ වෙළෙඳ සමාගම වන ඊස්ට් ඉන්දියා සමාගම හරහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වසර 150ක් ඉන්දියාව පාලනය කළේ ය.

නැගෙනහිර ඉන්දීය සමාගම ජාතියේ පාලනය සියතට ගත්තේ 1757 දී ප්ලාසි සටනින් ඉන්දියානුවන් ජයග්‍රහණය කිරීමෙන් පසුවයි.

මහත්මා ගාන්ධි, භගත් සිං, සර්දාර් වල්ලභායි පටෙල්, ජවහර්ලාල් නේරු, සුභාස් චන්ද්‍ර බෝස්, චන්ද්‍ර ශේකර් අසාද් වැනි සටන්කාමීන් ඉන්දියාවේ නිදහස වෙනුවෙන් සටන් කළහ.

1947 දී ක්විට් ඉන්දියා ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍යයන් රට හැර ගියේ ය.

අගමැති ජවහර්ලාල් නේරු මහතා 1947 අගෝස්තු 15 වැනි දා දිල්ලියේ රතු බලකොටුවේ සිට ජාතික කොඩිය එසවිය.

එතැන් පටන් සෑම වසරකම රතු කොටුවේ සිට ජාතික කොඩිය ඔසවන අතර ඉන් අනතුරුව ජාතිය ඇමතීම සිදු කරයි.

News 1s

පාකිස්තානයේ පිපිරීමක්

පාකිස්තානයේ සිදු වූ පිපිරීමෙන් මේ වන විට පුද්ගලයන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වේ.

නබි නායකතුමා ගේ උපන්දිනය සැමරීම උදෙසා පැවති ආගමික උත්සවයක් අතරතුර දී මෙම පිපිරීම සිදු ව ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට එරට පොලීසිය සැක පහළ කරයි.

මේ වන විට එරට හදිසි තත්ත්වයක් ද නිවේදනය කර ඇති බව වාර්තා වේ.

මේ වන විට තුවාලකරුවන් එරට රෝහල් දෙකක් වෙත ප්‍රවාහනය කරමින් පවතින බව ද සඳහන්ය.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් භාරගෙන නොමැති බව ද වාර්තා වේ.

ඉක්වදෝරයේ ජනපති අපේක්ෂකයකු ඝාතනය කෙරේ !

ඉක්වදෝරයේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා පෙනි සිටින අපේක්ෂකයෙකු වූ ෆර්නෑන්ඩු විලෙවිසෙන්සියෝ වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ක්විටෝහි පැවති දේශපාලන රැලියකට සහභාගී වී ඉන් පිටත්ව යාමට මෝටර් රථයකට නැගීමට උත්සාහ කිරීමේ දී හිසට තැබූ වෙඩි ප්‍රහාරයකින් බවත් එම වාර්තා සඳහා කරයි.

වෙඩි ප්‍රහාරය එල්ල කළ සැකකරු ද ආරක්ෂක අංශ විසින් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් වෙයි.

ඉක්වදෝරයේ ජනාධිපතිවරණ ඡන්දයේ පළමු වරට ලබන 20 වන දින ආරම්භ වීමට නියමිතව තිබේ.

ෆර්නෑන්ඩු විලෙවිසෙන්සියෝ එරට මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මෙන්ම දූෂණය සම්බන්ධව දැඩි විරෝධී ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළ අයෙකු බවද සඳහන් වෙයි.

මොරොක්කෝවේ ප්‍රබල භූ කම්පනයක් : පුද්ගලයින් 600ක් මරුට

උතුරු අප්‍රිකානු රාජ්‍යයක් වන මොරොක්කෝ රාජ්‍යයට බලපෑ ප්‍රබල භු කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 632ක් පමණ මියගොස් තිබේ.

එහි ප්‍රබලත්වය සටහන් වුණේ, මැග්නිටියුඩ් ඒකක 6.8 ක් ලෙසයි.

ඉන් වැඩි හානියක් සිදුවී ඇත්තේ එරට සිව්වන විශාලතම නගරය වන මරකේෂ් නගරයටය.

එමෙන්ම යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙසද නම් කර ඇති මරකේෂ් හි පැරණි නගරයට ද ඉන් හානි සිදුවී තිබේ.

භූ කම්පනයේ සුන්බුන්වලින් මාර්ග අවහිරවීම හේතුවෙන් සහන සේවකයින්ට බලපෑමට ලක්වූ ප්‍රදේශවලට ළඟාවීමට අපහසුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙය 2004 වසරෙන් පසු මොරොක්කෝවට බලපෑ ප්‍රබලතම භු කම්පනය බව සඳහන් වෙයි.

එමෙන්ම මෙය වසර 120කින් පසු උතුරු අප්‍රිකානු කලාපයෙන් වාර්තා වූ ප්‍රබලතම භූ කම්පනය වීමද විශේෂත්වයකි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධි චෝදනා

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අවලංගු කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් එරට අධිකරණය අධි චෝදනා ගොනු කර තිබේ.

ට්‍රම්ප් සම්බන්ධයෙන් සිදු කෙරෙන බරපතලම නීතිමය ක්‍රියාමාර්ගය මෙය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

2020 වසරේ ජනාධිපතිවරණය පැවැත්වෙන තුරු අමෙරිකාවේ ජනපති ධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් වන අතර ඉන් ඔහු පරාජයට පත්විය.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පිටු 45 කින් යුත් අධි චෝදනා පත්‍රයක් එරට අධිකරණය නිකුත් කර තිබේ.

නිල ක්‍රියාවලියට බාධා කිරීම හා කුමන්ත්‍රණය කිරීම, සාක්ෂිකරුවෙකුට හානි කිරීම, පුරවැසි අයිතිවාසිකම්වලට එරෙහි කුමන්ත්‍රණය කිරීම යන චෝදනා 04 ක් ඊට ඇතුළත්ය.

2021 ජනවාරි 6 වැනිදා අමෙරිකාවේ කැපිටල්හි කැරලි කෝලහල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද, අධි චෝදනා පත්‍සමයේ ඇතුළත්ය.

77 වැනි වියේ පසු වන ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා, මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

චීන නිලධාරීන්ට ඇපල් වාරණයක් !

චීන රජයේ නිලධාරීන්ට අමෙරිකානු ඇපල් දුරකථන භාවිතය අත්හරින ලෙස නියෝගයක් නිකුත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි .

මෙම නියෝගය සමග ඇපල් සමාගමේ කොටස් මිල 3%කින් පමණ පහත වැටී ඇති බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පසුගිය නොවැම්බරයෙන් පසු ඇපල් සමාගමේ කොටස් මිල විශාලතම පහත වැටීම මෙසේ සිදුව ඇති බවත් එහි සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ආර්ථික විශේලේෂකයන් පෙන්වාදී ඇත්තේ චීනය සමඟ හොඳ සබඳතාවක් පවත්වාගෙන යන ඇපල් සමාගමට ද එවැනි තත්ත්වයකට මුහුණපෑමට සිදුවීම බරපතළ තත්ත්වයක් ලෙස ය.

ඇපල් මව් සමාගමේ කොටස් පමණක් නොව චීනය හා සම්බන්ධ ඇපල් සමාගමේ සැපයුම් ජාලයේ සමාගම්වල කොටස් ද මෙලෙස පහත වැටී ඇත.

එවැනි සමාගමක් වන කුවල්කොම් (QUALCOMM) කොටස් මිල 7.2%කින් පහත වැටී තිබේ.

ඇපල් ජංගම දුරකථවලට චීනය තීරණාත්මක වෙළෙඳපොළක් වන අතර, ඇපල් නිෂ්පාදන කේන්ද්‍රය ද වන චීනය, එහි දුරකථන අලෙවි ආදායමෙන් පහෙන් එකකට දායක වේ.

ඇපල් දුරකථවලට පැනවුණු තහංචි නිසා අනෙකුත් සමාගම් සිය ස්මාට් ජංගම දුරකථන චීන වෙළෙඳපොළට වැඩි වශයෙන් ඉදිරිපත් කිරීමට පෙළඹී ඇති බව සඳහන්ය.

කෙසේ නමුත් ඉදිරි සතියේ සිය 'අයිෆෝන් 15' (I PHONE 15) සහ නව ස්මාට් වොච් පෙළ එළිදැක්වීමත් සමඟ දුරකථනවල අලෙවි වර්ධනයක් ඇපල් සමාගම අපේක්ෂා කරන බව වාර්තා වේ.

අවුන්සාන් සුකීට සමාවක්......

මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීට එරෙහිව එරට හමුදාව විසින් එල්ල කර ඇති චෝදනා 19න් පහකට සමාව ලැබී තිබේ.

ඒ අනුව ඇගේ දඬුවම් කාලය වසර 33ක සිර දඬුවම වසර හයකින් අඩු කෙරෙයි.

පසුගිය සතියේ සිට අවුන්සාන් සුකී  සිරගෙදර සිට Nay Pyi Taw අගනුවර නිවාස අඩස්සියේ තැබීමට තීරණය කෙරිණි.

78 හැවිරිදි නොබෙල් ත්‍යාගලාභී අවුන්සාන් සුකී, කුමන්ත්‍රණයක් හරහා සිය ධුරයෙන් නෙරපා දැමුණු පසු 2021 පෙබරවාරි මාසයේ සිට හමුදාව විසින් රඳවා තබාගෙන ඇත.

එම කුමන්ත්‍රණය රට තුළ සිවිල් යුද්ධයක් ඇති කළ අතර, දහස් ගණනකගේ මරණයට ද හේතු විය.

මිලිටරි ජුන්ටාව තම පාලනයට විරුද්ධවූවන්ට එරෙහිව විශාල ප්‍රචණ්ඩත්වය මුදාහරින බවට විවිධ පාර්ශ්වයගෙන් චෝදනා එල්ල වී ඇත.

අවුන්සාන් සුකීට එරෙහිව ඇති චෝදනා, එරට හමුදා විසින් මෙහෙයවන ලද නඩුවලදී විභාග වූ ඒවා වන අතර, ඇතැම් මානව හිමිකම් කණ්ඩායම් මෙම නඩු විභාගයන් හෙළාදැක ඇති බව ද වාර්තා වෙයි.

මේ අතර, මිලිටරි ජුන්ටාව විසින් මේ වසරේ අගෝස්තු මාසය වන විට පැවැත්වීමට නියමිත වූ මැතිවරණය ද සඳුදා කල් දැමීය.

බ්‍රසීලයේ ගංවතුරෙන් මියගිය ගණන 31 දක්වා ඉහළට

දකුණු බ්‍රසීලය හරහා හමා ගිය දරුණු කුණාටුවකින් නගර ගණනාවකට ගංවතුර තත්ත්වයක් උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ හදිසි දේශගුණික විපර්යාසය හේතුවෙන් ඇති වූ ගංවතුරට හසු වී පුද්ගලයන් 31 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

දකුණු බ්‍රසීලයේ බොහෝ නිවාස ගංවතුරෙන් යට වී ඇති අතර, ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් අවතැන් වූ පුද්ගලයන් සොයා මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබේ.

එරට සමාජ සංවර්ධන අමාත්‍යාංශය (MDS) සඳහන් කරන්නේ දකුණු ප්‍රාන්ත දෙකේ අවම වශයෙන් මහ නගර සභා 50 කටවත් බලපෑම් එල්ල වී ඇති අතර Rio Grande do Sul හි Muçum නගරයෙන් 80% ක් පමණ ජලයෙන් යට වී ඇති බවයි.

එමෙන්ම ප්‍රාදේශීය සිවිල් ආරක්ෂක සේවය විසින් ජැකුයි ගඟ සහ ජැකුයි ඩෙල්ටා අවට ගංවතුර අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය අගමැති මෝදිට එරෙහිව විශ්වාසභංගයක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහිව එරට විපක්ෂය විසින් පාර්ලිමේන්තුව වෙත විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මනිපූර් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් විපක්ෂය සමග ඇතිවී තිබෙන ගැටුම මධ්‍යයේ එරට කොන්ග්‍රස් පක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව සභාගත කර ඇති බව ය.

මෝදි රජයට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් හිමි බැවින් ඔවුන් ඉන් පරාජයට පත් නොවනු ඇතැයි එම වාර්තා සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, විපක්ෂ නායකයන් සඳහන් කර ඇත්තේ, මෙම පියවර මනිපූර් සිදුවීම පිළිබඳව ආමන්ත්‍රණය කිරීමට අගමැති මෝදිට බල කෙරෙනු ඇති බව ය.

බහුතර මෙයිති ප්‍රජාව සහ ගෝත්‍රික කුකී සුළුතරය අතර මැයි මාසයේදී ප්‍රාන්තය තුළ ඇති වූ වාර්ගික ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරන ලෙසට ඔවුන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ ය.

ඉම්රාන් ඛාන්ට පැනවූ සිර දඬුවම අත්හිටුවයි

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව පනවා තිබූ වසර තුනක සිර දඬුවම අත්හිටුවීමට එරට අධිකරණයක් තීන්දු කර තිබේ.

ඉස්ලාමාබාද් මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළේ ය.

අද පැවති නඩු විභාගයේදී විනිසුරුවරුන් නියෝග කළේ, ඉම්රාන් ඛාන් ඇප මත මුදා හරින ලෙස ය.

රජයට ලැබුණු ත්‍යාග අනිසි ලෙස භාවිත කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි.

රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්රේන සම්මානනීය ලේඛිකාවක මිය යයි !

නැගෙනහිර ක්‍රැමටෝර්ස්ක් නගරයේ පීසා අවන්හලකට අඟහරුවාදා එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් තුවාල ලැබූ සම්මානනීය යුක්රේන ලේඛිකාවක වන වික්ටෝරියා ඇමලිනා (victoria amelina) ජීවිතක්ෂයට පත් වී තිබේ.

යුද්ධ අපරාධ පිළිබඳව පර්යේෂිකාවක ද වූ ඇය ප්‍රහාරයෙන් මියගිය 13 වන පුද්ගලයා ය.

යුක්රේනයේ 'පෙන්' ලේඛකයන්ගේ සංගමය පැවසුවේ, වෛද්‍යවරුන් "ඇගේ ජීවිතය බේරා ගැනීමට හැකි සෑම දෙයක් ම කළ නමුත් අවාසනාවන්ත ලෙස ඇය බරපතළ මාරාන්තික තුවාල ලබා තිබුණු" බව ය.

මෙම ප්‍රහාරය යුද්ධ අපරාධයක් ලෙස මානව හිමිකම් ක්‍රියාකාරීන් නම් කර ඇත.

ක්‍රැමටෝර්ස්ක් නගරය යුක්රේන පාලනය යටතේ පවතින නමුත්, එය යුක්රේනයේ රුසියානු හමුදා විසින් අත්පත් කරගනු ලැබ ඇති ප්‍රදේශවලට සමීප වේ.

මිසයිල ප්‍රහාරයට ලක්වන විට 37 හැවිරිදි ඇමලිනා සිටියේ, නගරයේ ජනප්‍රිය අවන්හලක් වන රියා ලෝන්ජ්හි කොලොම්බියානු මාධ්‍යවේදීන් සහ ලේඛකයින් පිරිසක් සමග ආහාර ගනිමින් ය.

ඇයව නීප්‍රෝහි රෝහල වෙත කඩිනමින් ගෙන යන ලද නමුත් තුවාල හේතුවෙන් ඇය සිකුරාදා මිය ගිය බව යුක්රේනයේ පෙන් සංගමය පවසයි.

"වික්ටෝරියා ඇමලිනා නම් ලේඛිකාව ජූලි 1 වන දා අප අතරින් සමුගත් බව අප ඔබට දන්වන්නේ දැඩි වේදනාවකින්," යැයි එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

"වික්ටෝරියාගේ ජීවිතයේ අවසන් දින කිහිපයේදී, ඇගේ පවුලේ සාමාජිකයන්ට සහ මිතුරන්ට ඇය අසල සිටීමට හැකි වුණා."

පසුගිය වසරේ රුසියාවේ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසු යුද්ධ අපරාධ පිළිබඳව සටහන් කිරීම ආරම්භ කළ ඇමලිනා, යුක්රේනයේ වඩා ත් කීර්තිමත් තරුණ ලේඛිකාවන් අතරින් කෙනෙකි. යුද්ධයේ ඉදිරි පෙළ සිටි දරුවන් සමග කටයුතු කිරීම ද ඇය ආරම්භ කළා ය.

ආක්‍රමණයෙන් ඉක්බිතිව ඉසුම් නගරයේදී රුසියානු හමුදා විසින් පැහැරගෙන ගොස් මරා දමන ලද ළමා ලේඛක වොලොදිමීර් වකුලෙන්කෝගේ දිනපොත සොයා ගැනීමට ඇය පසුගිය වසරේ සමත්වූවා ය.

ඇයගේ පළමු ප්‍රබන්ධ නොවන ඉංග්‍රීසි ග්‍රන්ථය වන, War and Justice Diary: Looking at Women Looking at War, ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

ප්‍රහාරයෙන් ඇමලිනා තුවාල ලබා ඇති බව තහවුරු කරමින් මීට පෙර නිකුත් කළ ප්‍රකාශයක, යුක්රේනයේ පෙන් සංගමය සහ යුද්ධ අපරාධ නිරීක්ෂක ආයතනයක් වන ටෘත් හවුන්ඩ්ස් සඳහන් කර තිබුණේ, තම කණ්ඩායම් ද්විත්වයේ ම සාමාජිකයින් ඇමලිනා සමග ඉදිරි පෙළට ගමන් කළ බව ය.

"දැන් වික්ටෝරියා යුද්ධ අපරාධයක ගොදුරක් බවට පත්වෙලා," ඔවුහු පැවසූහ.

සිය ට්විටර් ගිණුමේ ඉහළින් අමුණා ඇති සටහනක ඇමලිනා යුක්රේනයේ බෝම්බ හෙලන ලද ගොඩනැගිල්ලක ඡායාරූපයක් ගන්නා අයුරු දැක්වෙයි.

"මම තමයි මේ පින්තූරයේ ඉන්නේ" යනුවෙන් එහි සටහන් කර තිබේ.

"මම යුක්රේන ලේඛිකාවක්. මගේ බෑගයේ යුක්රේනයේ මහා කවියන්ගේ පින්තූර තියෙනවා. මාව පේන්නේ හරියට පොත්වල, කලා කෘතිවල, සහ මගේ පුංචි පුතාගේ පින්තූර ගන්න ඕනේ කෙනෙක් විධියට. හැබැයි මම කරන්නේ, රුසියාවේ යුද්ධ අපරාධ ගැන ලියන එක. ඒ වගේ ම, මම සවන් දෙන්නේ කවිවලට නෙවෙයි, ෂෙල් වෙඩි හඬට. ඇයි?"

bbc

වාග්නර් කුලී හේවා බළකායේ ප්‍රධානියා ගුවන් අනතුරකින් මරුට

පුද්ගලයින් 10 දෙනෙකු මරණයට පත් කරමින් රුසියාවේදී කඩා වැටුණු ජෙට් යානයේ සිටි ගුවන් මගීන්ගේ ලැයිස්තුවේ වාග්නර් කුලී හේවා බළකායේ ප්‍රධානී යෙව්ජීනි ප්‍රිගෝෂින්ගේ නම ද වන බව රුසියාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

ඊට පෙර, වාග්නර් බළකායට සම්බන්ධ ටෙලිග්‍රෑම් නාළිකාවක් වන ග්‍රේ සෝන් වාර්තා කළේ, 62 හැවිරිදි ප්‍රිගෝෂින්ට අයත් පෞද්ගලික ගුවන් යානයක් ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් වෙඩි තබා බිම හෙළූ බව ය.

ග්‍රේ සෝන් බදාදා සවස් කාලයේ පළ කර තිබුණේ, "රුසියාවේ ද්‍රෝහීන්ගේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස" ප්‍රිගෝෂින් ජීවිතක්ෂයට පත්වූ බව ය.

ප්‍රිගොෂින් රුසියානු සන්නද්ධ හමුදාවන්ට එරෙහිව ජූනි මාසයේදී අසාර්ථක කැරැල්ලක් මෙහෙයවීය.

මෙම ගුවන් යානා අනතුර සිදුවූයේ, රුසියාවේ ජ්‍යෙෂ්ඨ ජෙනරල්වරයෙකු වන සර්ගායි සුරොවිකින්, ගුවන් හමුදා ප්‍රධානී ධූරයෙන් ඉවත් කළ බවට වාර්තා වූ දිනයේදී ම ය.

ජෙනරල් සුරොවිකින් ප්‍රිගෝෂින් සමග දැඩි සබඳතාවක් පැවැත්වූ බවට සැලකෙන අතර කැරැල්ලෙන් පසු ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත.

අදාළ ගුවන් යානය මගීන් 7 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු සමග මොස්කව් සිට ශාන්ත පීටර්ස්බර්ග් වෙත පියාසර කරමින් තිබිණි.

එය මොස්කව් සහ ශාන්ත පීටර්ස්බර්ග් අතරමැද පිහිටි කුසෙන්කිනෝ නමැති ගම්මානයකට කඩා වැටුණු බව පැවසේ.

ග්‍රේ සෝන් නාළිකාව පැවසුවේ, ගුවන් යානය අනතුරට ලක්වීමට පෙර පිපිරීම් ශබ්ද දෙකක් ගම් වැසියන්ට ඇසී ඇති අතර, දුම් සලකුණු දෙකක් ද දැක ඇති බව ය.

Tass ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ, ප්‍රිගෝෂින්ට අයත් Embraer Legacy යානය බිම ඇද වැටුණු අවස්ථාවේ ගිනිගෙන ඇති බව ය.

ගුවන් යානය පැය භාගයකට අඩු කාලයක් ගුවනේ රැඳී තිබුණු බව එම පුවත් ඒජන්සිය වැඩිදුරටත් පවසා තිබිණි.

ගුවන් බලධාරීන් පැවසුවේ,වාග්නර් බළකායේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරී දිමිත්‍රි උට්කින් ද මගී ලැයිස්තුවේ සිටි බව ය.

ගුවන් අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, හදිසි සේවා කණ්ඩායම් අනතුර සිදුවූ ස්ථානයේ සෝදිසි මෙහෙයුම්වල නිරත වේ.

තවත් පුවත් ඒජන්සියක් වන Ria පැවසුවේ, මළ සිරුරු අටක් සොයාගෙන ඇති බව ය.

ප්‍රිගෝෂින්ට අයත්ව තිබූ දෙවන ව්‍යාපාරික ජෙට් යානයක් මොස්කව්හි ආරක්ෂිතව ගොඩ බැස්සවූ බව ග්‍රේ සෝන් වාර්තා කළේ ය.

කුලී හේවායන්ගේ ප්‍රධානියා 2014 වසරේදී වාග්නර් බළකාය ආරම්භ කළ අතර, මේ වන විට එහි හේවායන් 25,000ක් පමණ සිටිති.

මෙම සමූහය යුක්‍රේනය, සිරියාව සහ බටහිර අප්‍රිකාව යන රටවල ක්‍රියාත්මක ය. එමෙන් ම කෲරත්වයට නම් දරා සිටී.

ප්‍රිගෝෂින් ජූනි 23 සහ 24 දිනවල කැරැල්ලකට නායකත්වය දුන් අතර, යුක්‍රේනයෙන් තම හමුදා ගෙන යමින්, දකුණු දිග රුසියානු නගරයක් වන රොස්ටොව් ප්‍රදේශයේ බලය අත්පත් කර ගනිමින්, මොස්කව් වෙත ගමන් කරන බවට තර්ජනය කළේ ය.

යුක්රේන ගැටුම සම්බන්ධයෙන් රුසියානු හමුදාපතිවරුන් සමග මාස ගණනාවක් තිස්සේ පැවති මත ගැටුම්වලින් පසුව මෙම පියවර ගෙන තිබිණි.

බෙලරුස් වෙත යාමට හෝ රුසියානු හමුදාවට බැඳීමට වාග්නර් භටයින්ට ඉඩ සැලසීමට එකඟත්වය පළ කෙරුණු ගනුදෙනුවකින් පසු එම ගැටුම සමථයකට පත් විය.

ප්‍රිගෝෂින් බෙලරුස්හි පදිංචියට යාමට එකඟ වුව ද, පැහැදිලිව ම ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් සහ අප්‍රිකාවේදී ගනු ලැබූ බව කියන ඔහුගේ වීඩියෝවක් නිකුත් කරමින් නිදහසේ ගමන් කිරීමට ඔහුට හැකි බව පෙන්වා තිබිණි.

කෙසේ වෙතත්, රුසියාව පිළිබඳ අවධානයෙන් සිටින්නන් කිහිප දෙනෙකු ඔහු සම්බන්ධයෙන් අදහස් පළ කළේ, කැරැල්ලෙන් පසු "ඇවිදින මළ මිනියක්" යනුවෙනි.

රුසියාවේ ආරක්ෂක සංස්ථාපිතයට ඔහු කළ අභියෝගයට ජනාධිපති පුටින්ගේ ආරම්භක ප්‍රතිචාරය ජූනි 24 වන දින වීඩියෝ පණිවිඩයක් මගින් ඉදිරිපත් කෙරුණු අතර, ඔහු එය හැඳින්වූයේ, පාවාදීමක් සහ පිටුපසට පිහියකින් ඇනීමක් ලෙස ය.

ඔවුන් අතර ඇති කර ගත් ගිවිසුම මගින් ඔහු ආරක්ෂිත බවක් අර්ථ ගැන්වුණේ නැත.

ඇමෙරිකානු බුද්ධි ඒජන්සියේ අධ්‍යක්ෂ විලියම් බර්න්ස් අදහස් දක්වමින් පෙන්වා දුන්නේ, "පළිගැනීම යනු පුටින් සීතලට පිරිනැමීමට කැමති කෑමක් වන අතර එය එම බලපෑම ප්‍රකාශ කරන වචන ලෙස අර්ථ දැක්විය හැකි," බව ය.

මේ කිසිවක්, ඇත්ත වශයෙන් ම, ප්‍රිගෝෂින් සහ ඔහුගේ සමීපතමයින් හිතාමතා ම ඉලක්ක කරගත් බවට සාක්ෂි නොවේ.

එහෙත්, පැවති වාතාවරණය අනුව ඔහුගේ වියෝව හදිසි අනතුරකින් සිදු වූවක් බවට කරන ඕනෑ ම ප්‍රකාශයකින් බොහෝ දෙනකුගේ ඇහිබැම ඉහළ යනු ඇත.
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ, ප්‍රිගොෂින්ගේ අනුමාන කෙරෙන මරණය පිළිබඳ පුවත ගැන තමා "පුදුමයට පත් නොවන" බව ය.

(ෆ්‍රෑන්ක් ගාර්ඩ්නර්, ආරක්ෂක වාර්තාකරු සහ රොබර්ට් ග්‍රීන්හෝල්)

BBC සිංහල සේවය

රුසියාවේ මොස්කව් ඇතුළු ප්‍රදේශ කිහිපයක ත්‍රස්ත විරෝධී හදිසි තත්ත්වයක් !

රුසියාවේ මොස්කව් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක ත්‍රස්ත විරෝධී හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ, රුසියානු හමුදා නායකත්වය නෙරපා දැමීමට සියලු පියවර ගන්නා බවට වැග්නර් කුලී හමුදා ප්‍රධානියා ප්‍රතිඥා දීමත් සමගයි.

හමුදා සාමාජිකයින් විසි පන්දසක් සමග රුසියාවේ දකුණු දිග ප්‍රදේශයේ නගරයක් වන රොස්තොව්හි හමුදා කඳවුරක් සියතට ගත් බව වැග්නර් කුලී හමුදා ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් ඊයේ (24) උදෑසන නිවේදනය කළේ ය.

ඔහු පැවසුවේ, සිය හමුදා ඉලක්ක කර රුසියානු හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.

සිය රට විශාල පාවාදීමකට ගොදුරු වී ඇතැයි වැග්නර් කුලී හමුදා ප්‍රධානියාගේ ප්‍රකාශයෙන් අනතුරුව රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, කුලී හමුදා මෙහෙයුම රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවක් බැවින් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

රොස්තොව්හි තත්ත්වය භයානක බව පිළිගත් රුසියානු ජනාධිපතිවරයා මාතෘ භූමිය වෙනුවෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවන බව ද අවධාරණය කළේ ය.

යුක්‍රේනය අල්ලා ගැනීමේ සටන ආරම්භයේදී රුසියානු ජනාධිපතිවරයා සිය හමුදා සමග වැග්නර් කුලී හමුදා, සටන් බිමට යොමු කරනු ලැබීය.

මීට මාස කිහිපයකට පෙර කුලී හමුදා ප්‍රධානියා සහ රුසියානු ආරක්ෂක බලධාරීන් අතර යම් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වුණේ, රුසියානු හමුදා ප්‍රහාරවලින් කුලී හමුදා සාමාජිකයින් මියයෑමත් සමගයි.

කෙසේ වෙතත් මේ වනවිට කුලී හමුදා ඉලක්ක කර රුසියානු හමුදා ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කුලී හමුදා යටතේ පවතින ප්‍රදේශවලින් පිපිරීම් සහ වෙඩි හඬ ඇසෙන බවයි.

රුසියාවේ දුර්වලකම මෙම සිද්ධියෙන් නිරූපණය වන බව යුක්‍රේන ජනාධිපති වොලඩිමීර් සෙලන්ස්කි පවසයි.

ඔහු සඳහන් කළේ, රුසියානු කුලී හමුදා සිය භූමියේ සිටිනතුරු රුසියාවේ දුර්වලබව නිරූපණය කරන බවයි.

ඉන්දියාවේ පාලමක් කඩා වැටී 26ක් මරුට

ඊසානදිග ඉන්දියාවේ ඉදිවෙමින් පවතින පාලමක් කඩා වැටීමෙන් කම්කරුවන් 26කට වඩා මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ ඊසානදිග මිසෝරාම් ප්‍රාන්තයේ Sairang නගරයේ මෙම පාලම කඩා වැටීමෙන් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත. සිද්ධිය වන විට කම්කරුවන් 35-40ක් පමණ එම ස්ථානයේ සිට ඇති බව සදහන් ය.

බ්‍රික්ස් ආර්ථික සමුළුව සඳහා දකුණු අප්‍රිකාවට ගොස් සිටින අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මෙම සිදුවීමෙන් මියගිය අය වෙනුවෙන් සිය ශෝකය පළ කර තිබේ.

මේ අතර මියගිය අයගේ සමීපතම ඥාතීන්ට ඩොලර් 2,500 කට ආසන්න මුදලක් සහ තුවාල ලැබූ කම්කරුවන්ට ඩොලර් 600 ක මුදලක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙවැනි පාලම් අනතුරු ඉන්දියාවට නුහුරු සිද්ධියක් නොවන බවයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී බටහිර ගුජරාට් ප්‍රාන්තයේ මෝර්බි හි යටත් විජිත යුගයේ ඉදිකළ එල්ලෙන පාලමක් කඩා වැටී 135 දෙනෙකු මිය ගියේය. ජුනි මාසයේදී රටේ දුප්පත්ම ප්‍රාන්තය වන බිහාර් හි ඉදිකරමින් සිටි එල්ලෙන පාලමක් කඩා වැටී එක් පුද්ගලයෙකු මිය ගියේය.

ඉතාලියේ හිටපු අගමැති බර්ලුස්කෝනි අවසන් ගමන් ගිහින් !

ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි අභාවප්‍රාප්තව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මියයන විට ඔහු 86 හැවිරිදි වියේ පසුවිය.

විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට මිලාන් නුවර පිහිටි සැන් රෆායෙල් රෝහලේදී හිටපු අග්‍රාමාත්‍යවරයා අවසන් හුස්ම හෙලා ඇත.

ඔහු පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පස්වූයේ 1994 දී වන අතර 2011 දක්වා විටින් විට සිව්වරක් එරට අග්‍රාමාත්‍ය ධුරය දරා තිබේ.

තායිලන්තයට නව අගමැතිවරයෙක්

තායිලන්තයේ නව අගමැතිවරයා වශයෙන් ශ්‍රේත්තා තවිසින් පත්කර තිබේ.

ඔහුව එම ධුරය සඳහා පත්කෙරුණේ අද(22) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුවය.

ඒ අනුව නිශ්චල දේපල ව්‍යාපාරිකයෙකුවන ශ්‍රේත්තා තවිසින් තායිලන්තයේ 30වැනි අග්‍රාමාත්‍යවරයා වේ.

2008 වසරේදී තායිලන්තයෙන් පළා ගිය හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් සිනවත් නැවතත් සිය රටට අද පැමිණ තිබුණි. ඔහු එරටින් පළාගියේ කුමන්ත්‍රණයකින් එරට හමුදා නායකයින් බලය අල්ලා ගැනීමෙන් පසුවය.

ඔහු නොමැතිව ඔහුට එරෙහිව නඩු විභාගයක් පැවති අතර එහි තීන්දුව අනුව ඔහුට වසර 15ක සිර දඬුවමක් නියම කෙරිණි. ඒ බලය අයුතු ලෙස භාවිත කිරීම, දූෂණ සහ වංචා මෙන්ම රජුට එරෙහි වූ බවට චෝදනා කරමිනි.

අද සිංගප්පුරුව හරහා ඩුබායි සිට පැමිණි පුද්ගලික ජෙට් යානයකින් තක්සින් සිය රට පැමිණීයේය. අනතුරුව ඔහුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන ගිය අතර එහිදී ඔහුට වසර 8ක සිර දඬුවමක් නියම කෙරිණි. පසුව ඔහුව දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ බැංකොක් බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.

අගමැති ධුරය අහිමිවූ බොරිස්ට මන්ත්‍රී ධුරයත් අහිමි වෙයි !

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමත්‍ය බොරිස් ජොන්සන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඊට අනුව අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටියදී කොවිඩ් ව්‍යාප්ත වන කාලසීමාව තුළ සාදයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාව මීට හේතුවී ඇත.

මෙම චෝදනාව හේතුවෙන් බොරිස් ජොන්සන් හට අග්‍රාමාත්‍ය ධුරයද අහිමි විය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව මගින් බොරිස් ජොන්සන්ට මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමක් සම්බන්ධයෙන් ද අනතුරු ඇඟවීමක් සිදුකර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මන්ත්‍රී ධුරය අහිමි කිරීමට පෙර බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමත්‍ය බොරිස් ජොන්සන් මෙලෙස සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

Page 3 of 10