Language Switcher

V2025

දමිතා සහ සැමියා 17 දක්වා රිමාන්ඩ්

කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් රවටා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පීනී දමිතා අබේරත්න හා ඇගේ සැමියා මෙම 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (අප්‍රේල් 5) නියෝග කළේ ය.

එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී දින කීපයක් අධිකරණය මගහැර සිටි සැකකාර යුවළ නීතිඥවරයෙකු මගින් අධිකරණය වෙත භාර වීම සඳහා ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාර එම යුවළ අත්අඩංගුවට ගන්නා ලදී.

එසේ අත්අඩංගුවට ගත් සැකකාර යුවළගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, අද පස්වරුවේ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරිණි.

පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව එම දෙපාර්තමේන්තුව මගින් සැකකාර යුවළට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනුකර තිබිණි.