Language Switcher

V2025

රනිල් යළි ජනපති කරවීමට කොළඹ පෙරමුණ ගන්නවා : රවී

එළැඹෙන ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නිර්පාක්ෂික අපේක්ෂක ලෙස ඉදිරිපත් කර ජයග්‍රහණය කරවීමට කොළඹ දිස්ත්‍රික් ජනතාව මූලිකත්වය ගන්නා බව හිටපු මුදල් අමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක පවසයි.

මීට වසර දෙකකට පෙර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ ගෙන්වා ගැනීමට නොහැකිව තිබූ රට මාස 23ක් වැනි කාලයක් තුළ ගොඩනැගීමට ජනාධිපතිවරයා සමත්වු බව පෙන්වාදුන් ඒ මහතා තවදුරටත් වචනවලින් තොරන් ගහන දේශපාලනය වලංගු නොවන බවද පැවසීය.

හිටපු මුදල් අමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ 2010 වසරේ දී කජීමාවත්තේ ගිනිබත් වූ නිවාස වෙනුවෙන් මෙම රන්දිය උයන නිවාස සංකීර්ණයේ නිවාස 294ක් ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාව අමතමිනි.

පෞද්ගලික අපේක්ෂා ඇතුළු විවිධ හේතු මත එක්සත් ජාතික පක්ෂය හැරගිය පාර්ශ්ව සත්‍යය අවබෝධ කරගෙන නැවත එක්වීමේ අපේක්ෂාවෙන් සිටින බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍ය ,එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මෙසේද පැවසීය.

2015 දී තමයි මේ කජීමා වත්ත ජනතාව වෙත නිවාස බෙදාදීම සිදුකිරීමට සැලසුම් කර තිබුණේ. නමුත් එවකට සිටි ජනාධිපති ඊට හරස් වුණා. නමුත් 2024දී එම කටයුත්ත සාර්ථක කරගන්නට හැකිවුණා. එදා මේ ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීමට අගමැති ලෙස මැදිහත් වූ රනිල් වික්‍රමසිංහ මහතා අද ජනාධිපති ලෙස මේ අවස්ථාවට පැමිණීම ගැන ස්තූති කළ යුතුයි.

මීට වසර දෙකකට පෙර රට තිබූ තැන අපි හැමෝම දන්නවා. එයින් වැඩියෙන් පීඩාවට පත්වූ කොළඹ ජනතාව ඒ ගැන හොඳටම දන්නවා. අර්බුදය පැමිණීමට පෙර ගොඩක් කයිවාරුකාරයන් හිටියා . නමුත් අභියෝගය පැමිණි අවස්ථාවේ ඊට මුහුණදීමට කවුරුත් හිටියේ නෑ . ඒ අභියෝගය බාරගන්න ඉදිරිපත් වුණේ එදා පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයකු ලෙස හිටපු රනිල් වික්‍රමසිංහ යි. තනි අලියා අභියෝගය බාරගත්තා වගේම මාස 23ක් ගතවෙන විට ප්‍රතිඵල පෙන්වා තිබෙනවා .

එදා අපි රටක් ලෙස ජාත්‍යන්තරය තුළ හුදෙකලා කර කොන් වී හිටියේ. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩවත් ගෙන්වාදීමට නොහැකිව තිබුණේ. එදා ස්විච් එක දැමීමට විදුලිය තිබුණේ නෑ . දරුවන් කිරි ඉල්ලා අඬමින් හිටියේ. ඉන්ධන නැති නිසා බස් වැඩ කරේ නෑ . අද වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා.

අද ඉන්ධන තියෙනවා . ගෑස් තියෙනවා . ආහාර තියෙනවා . බස් ධාවනය වෙනවා. පෝලිම් යුගය අවසන් කර තියෙනවා . සංචාරකයන් ගේ පැමිණීම වැඩි වෙලා. ඒ වගේම මේ වගේ නිවාස ලබාදීමටත් හැකිවී තියෙනවා. වසර දෙකකට පෙර මෙවැනි නිවාස ව්‍යාපෘතියක් ජනතාවට දෙන්න හිතන්නවත් බැරි තත්ත්වයක් තිබුණේ . ඒක තමයි යථාර්ථය.

ජනාධිපතිතුමනි, ඔබ දැක්කා කජීමා වත්ත ජනතාව ජීව්ත් වන ආකාරය. උතුරු කොළඹ ආසනයේ ජනතාව දුප්පත් වෙන්න පුළුවන් . නමුත් හදවතින් පොහොසත් ආසනයක්. ඒ නිසා තමයි කජීමා වත්ත ජනතාවට නිවාස 294ක් දීමේ මේ අවස්ථාවට මෙතරම් පිරිසක් පැමිණ සිටින්නේ. ඔවුන් තම සහෝදරත්වය පෙන්වා තිබෙනවා .

අවුරුදු 14ක් කජීමා වත්ත ජනතාව දුක් වින්දා. හත් වතාවක් මේ ප්‍රදේශය ගිනි ගත්තා . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් මිලියන 12855ක මුදලක් වෙන් කරලා, ඒ ජනතාවට නිවාස අයිතිය ලබාදී තිබෙනවා. එහිදී දේශපාලන භේදයක් නෑ .

මෙහිදී වැදගත් කරුණක් කියන්න ඕන . ඒ තමයි මේ ලබාදෙන නිවාස නඩත්තු කර හොඳින් පවත්වා ගෙන යාම. මම දකිනවා නිවාස නඩත්තු කර පවත්වාගෙන යාමේ අඩුවක්. ඒ නිසා මෙහි තිබෙන ෆ්ලැට් 28 නඩත්තු කර හොඳින් තබාගැනීමේ වැඩපිළිවෙළක් මගේ සභාපතිත්වයෙන් යුතුව දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගින් අපි අනෙක් සියලු දිස්ත්‍රික්ක වෙත ආදර්ශයක් දෙනවා.

ඔබට දැන් ඔබේම කියා නිවසක් තිබෙනවා . එය ඔබට ආඩම්බරයෙන් ජීවත්වෙන්න පුළුවන් තැනක් බවට පත්කර ගන්න. අද දෙන මේ නිවාස අවුරුද්දක් දෙකක් යනකොට කඩාවැටෙන තත්ත්වයට පත්වුණොත්, එය අපි හැමෝගෙම වරදක් වෙනවා. තවදුරටත් ඔබ ජීවත් වන්නේ කුලි නිවාසයක නෙවෙයි. ඔබ සියලු දෙනා ට, නිවසක සින්නක්කර අයිතිය ලැබී තිබෙනවා . දැන් නිවාස කුලිය ලෙස ගෙවීමට තිබූ 4500 ඉතුරු නිසා ඒ මුදල් දරුවන් ගේ සෞඛ්‍ය , අධ්‍යාපන කටයුතු සඳහා වෙන්කළ හැකියි.

බිලියන ගාණක වත්කමක් ජනතාව ට ලැබෙනවා. දුප්පත්කම අඩු වෙනවා. ජන ජීවිතය දුෂ්කර බව අපි දන්නවා . නමුත් රට බංකොලොත් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නෙවෙයි . නමුත් රට යළි ගොඩනගන්න සිදුව තිබෙන්නේ එතුමාටයි. මීට පෙර හරින් සහ සාගල කිව්වා වගේ හරියට හිතන්න. හරියට හිතලා ක්‍රියාත්මක වෙන්න. තව මාස 7කින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ජන්ද කාලෙට එක එක පාර්ශ්ව අරක අඩු කරනවා. මේක අඩුකරනවා කියයි.නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපත්තිය හරි දේ කිරීමයි. හරි දේ කරලා, රට හරි මාර්ගයේ ගෙනයාමයි. අපි එහෙමයි රට ගොඩනගන්නේ.
මේ රටේ ඉන්න මිලියන 22 ක ජනතාව ගේ සිහිනයක් තමයි කොළඹ නිවසක් හිමිකර ගැනීම. ඉදිරියේදී නිවාස 53800ක් ජනතාව ට ලබාදීමට නියමිතව තිබෙනවා . ඒ සියල්ල දෙන්නේ සත පහක් නොගෙන . ඒ වගේම ජනතාව ගේ ඉඩම් අයිතිය ලබාදෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපත්තිය ඉඩම් රජය යටතේ තබාගැනීම නෙවෙයි . ඒවා ජනතාව වෙත ලබාදීමයි. ඒ අනුව ලක්ෂ 20 කට සින්නක්කර ඉඩම් අයිතිය හිමිවෙනවා.

පාඩු ලබන ශ්‍රී ලන්කන් එක වානිජකරණය කරන විට, හිල්ටන් හෝටලය පෞද්ගලීකකරණය කරන විට සමහරු චෝදනා කරනවා අපි ඒවා විකුණනවා කියලා . නමුත් ඒ විකුණලා කරන්නේ මේ නිවාස නැති ජනතාව ගේ නිවාස ප්‍රශ්නය විසඳීම වැනි ව්‍යාපෘති යි. එයින් බිලියන ගාණක වත්කමක් ජනතාව ට ලැබෙනවා. දුප්පත්කම අඩු වෙනවා. එහෙම නම් පෞද්ගලීකකරණයට විරුද්ධ වෙන්න පුළුවන් කුහකයන්ට විතරයි .

ඇතමුන් පරාජය හමුවේ ප්‍රතිපත්ති පාවා දුන්නා. ඇතමුන් පක්ෂය පාවා දුන්නා . පෞද්ගලික සහ විවිධ හේතු මත පක්ෂය හැරදමා ගිය අය ඉන්නවා . ඔවුන්ට අද යථාර්ථය තේරුම් ගිහින්. වැරදි පාරේ ගිය අය නැවත පක්ෂයට එකතු වෙන්න සූදානමින් ඉන්නවා.

දේශපාලන පොර පිටියේ පක්ෂ දෙකක් තියෙනවා . එකක් නිවන්සුව පතන පක්ෂය . අනික Unp ඩුප්ලිකේට් පක්ෂය. ඒ පක්ෂය නම් පසුගිය දින වල ජනාධිපතිවරයා ම හොඳට ඇමතුවා දැන් බලන්න ඔය හොර බොරු නෑ කියලා , නිවන් සුව පතන පක්ෂයේ ප්‍රතිපත්තිය දෙස. ඔවුන්ගේ නායකයන් ගේ වම් සපත්තුව ගන්නේ සුනිල් ගෙන්. දකුණු සපත්තුව ලාල් ගෙන්. කමිසය ගන්නේ උඩ මහලේ ඉන්න ලාල් ගෙන්. කලිසම යට තට්ටුවේ කුමාර ගෙන්. දැන් එයාලා තමයි ඇවිත් කියන්නේ ණය නොගෙන රට හදනවා කියලා . ජීවිතයම ණයට ගන්න උදවිය ණය නොගෙන රට හදන විහිලු කතා කියනවා. ඔවුන් එහෙම මේ විදිහේ නිවාස ව්‍යාපෘතියක් දෙන්න ගියොත් කියාවි ඇස්බැස්ටෝස් කියුබාවෙන් ගේනකල් ඉන්න කියයි. සිමෙන්ති තවත් රටකින් ගේනකල් ඉන්න කියයි.

නායකයන් කියන්නේ කටින් බතල හිටවන අය නෙවෙයි . වචන වලින් තොරන් බඳින දේශපාලනය ඉවරයි . ජේ ආර් ජයවර්ධන ගාමිණී දිසානායක යොදවා මහවැලි ව්‍යාපාරය හැදුවා. අදටත් විදුලි නිෂ්පාදනයෙන් 33%ක් ජල විදුලිය ලෙස ලැබෙන්නේ එදා දියත් කළ එම වැඩකටයුතු නිසයි. ලලිත් ඇතුලත්මුදලි මහපොළ ගෙනාවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරිගණක භාවිතය රටට හඳුන්වා දුන්නා. ක්‍රිකට් , ආයෝජන කළාප බියගම සහ කටුනායක ඇතිකළා. ප්‍රතිඅපනයන ය හඳුන්වා දුන්නා . මේ සියල්ල සිදුකළේ එජාපය යි.

කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ , කවුරුත් සමගියෙන් ඉන්න දිස්ත්‍රික්කයක් අපි අන්තවාදය ප්‍රතිකේෂ්ප කරනවා. කාටවත් මේ සමගිය නැති කරන්න දෙන්න බෑ. කොළඹ කවදත් කොළ පාටයි. ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය කරන්න ඕන . ඒ ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ අනුමත කරනවා වගේම එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව නිර්පාක්ෂික අපේක්ෂක ලෙස ගෙන විත් ජයග්‍රහණය කරවීමට මේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව පෙරමුණ ගන්නවා .