Language Switcher

V2025

අලුත් අවුරුද්දට ළමා නිවාසවල දූ දරුවන්ට ජනපතිගෙන් තෑගි !

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දූ දරුවන් වෙනුවෙන් රසකැවිලි සහ තෑගි පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව හෙට (13) සිදු කෙරේ.

නිවසින් හෝ ආදරණීය දෙමාපියන්ගෙන් බැහැරව සිටියත් සෑම දරුවෙකුටම අවුරුදු සතුට ලබාදීම වෙනුවෙන් “ළමා නිවාසවල සිටින දූ දරුවන්ටත් අවුරුදු” මැයෙන් ජනාධිපති කාර්යාලය විසින් "සිලෝන් බිස්කට් සමාගම " ඇතුළු පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.

ඒ අනුව දිවයින පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක ආරක්ෂාව යටතේ සිටින දරු දැරියන් 10,000කට අධික පිරිසක් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය සමග රසකැවිලි සහ තෑගි පාර්සල් බෙදා දීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීමෙන්, යුද හමුදාපති ලුතිනන් ජනරල් විකුම් ලියනගේ ගේ අධික්ෂණය යටතේ යුද හමුදාව තෑගි පාර්සල් බෙදා දීමට එක් වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දීර්ඝ කාලයක් පුරා නුවරඑළිය ප්‍රදේශයේ ළමා නිවාසවල දරුවන්ට අවුරුදු තෑගි බෙදා දීම සිදු කරන අතර, මෙවර එම වැඩපිළිවෙල තවදුරටත් ව්‍යාප්ත කරමින් රට පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන්ට මෙලෙස අවුරුදු තෑගි ලබා දීමට උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-04-12