Language Switcher

V2025

විජේදාස ගේ පත්වීමට තිලංගගෙන් බාල්දියක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාණය වී ඇති අර්බුදය හමුවේ, එම පක්ෂයෙන් කැඩී ගිය කොටස් කිහිපයක් සමගි ජන බලවේගය සහ ලංසා කඳවුරේ නව සන්ධානය සමඟ එකතුවෙන සාකච්ජා පටන් අරගෙන.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදයේ තීරණාත්මක සිදුවීම් කිහිපයක් ගිය සතියේ වාර්තා වූනා. හිටපු ජනාධිපති සිරිසේනට පනවා තිබූ පක්ෂ සභාපතිත්වය තහනම දීර්ඝ කිරීමට අධිකරණය කටයුතු කළා.

පක්ෂයේ වැඩ බලන මහලේකම්වරයා මැතිවරණ කොමිසම වෙත දන්වා තිබුණේ සභාපතිවරයාගේ අනුදැනුමින් තොරව රැස්වූ දේශපාලන මණ්ඩලේ පත්වීම් නීත්‍යානුකූල නෑ කියලා . මේ අතර පක්ෂයේ නව පත්වීම් ලද පිරිසත් මැතිවරණ කොමිසම වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබුනා.

මෙම දැන්වීම සම්බන්ධ ප්‍රතිචාර දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියලා තිබුනේ, ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නෑ කියලා. ඉදිරියේදී සාකච්ඡා කොට තීරණයක් ගන්නා බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍යට කියලා තිබුනා.

කොහොම වුනත් ඊයේ පෙරේදා ශ්‍රීලනිප අවුලේ අලුත් පොලා පැනීමක් සිද්ධ වුනා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී කණ්ඩායම, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති විදියට පත්කර ගෙන. ඊට පස්සේ අධිකරණ ඇමති එයාගේ පිරිසක් සමග පක්ෂ මූලස්ථානය ට ඇතුල්වෙන්න හදද්දී , පොලිසියෙන් ඉඩදීලා.

'' පක්ෂ මූලස්ථානය ට ඇතුල්වෙන්න බෑ කියලා අධිකරණ වාරණ නියෝගයක් නෑ .. අපි මේ ගැන පොලිසියට විරුද්ධව FR එකක් ෆයිල් කරනවා '' - විජේදාස එතනදී පොලිසියේ ලොක්කෙකුට කියලා තිබුනා. විජේදසගේ චෝදනාව එල්ලවෙලා තිබුනේ පොලිස් ඇමති ටිරාන්ට..

කොහොම වුනත් ඊයේ වෙච්ච සීන් එකට මෛත්‍රී පාර්ශවයේ උප සභාපති තිලංග ඉන්නෙත් ලොකු අවුලක.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර ගැනීම සඳහා කැඳවූ රැස්වීම අනීතික විධායක සභා රැස්වීමක් කියලා තිලංග සුමතිපාල කියනවා.

'' කවද්ද විජේදාස ශ්‍රී ලංකා එකට බැඳුනේ .. එයාට සමාජිකත්වේ දුන්නේ කව්ද ? '' - තිලංග අහනවා.

ආරංචි හැටියට විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා එකේ සමජිකත්වේ ගත්ත ද කියලා අහලා පොහොට්ටු මහ ලේකම් සාගර කාරියවසම් අද හෙට විජේදසට ලියුමක් යවන්න ලු හදන්නේ. එහෙම ලියුමක් යවලා වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා තියෙන්නේ බැසිල් ලු.

  • ----------

ඒ කතා කොහොම වුනත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක නම් කියන්නේ , පාස්කු ප්‍රහාරයේ වන්දිය ගෙවීම සඳහා මෛත්‍රී කෝටි 8 කට ශ්‍රීලංකා එක විජේදාසට විකුණලා ද කියලා සැකයක් මතුව තියනවා කියලයි.

“විජේදාස රාජපක්ෂ කොහොමද වැඩබලන සභාපති වෙන්නේ? එයා පක්ෂයේ සාමාජිකයෙක් ද?”

මෛත්‍රීපාල සිරිසේන සමග සිටගැනීමට පෙර විජේදාස රාජපක්ෂ වසර ගණනාවකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් කතා කරලාවත් නැති බව දුමින්ද කියනවා.

“නඩු ටිකෙන් බේරෙන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ පක්ෂය වික්කා. අද පාස්කු ප්‍රහාරයට අවු. 5 යි. වින්දිතයො විශාල ප්‍රමාණයක් ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයට මිලියන 100 ක් ගෙවන්න තියෙනවා, මිලියන 15 යි ගෙවලා තියෙන්නෙ. තව මිලියන 85 ක් ගෙවන්න තියෙනවා. හෙට කිව්වොත් කවුරුහරි මිලියන 85 ක් ගෙවන්නම් කියලා.. ඒ මිනිහටත් මේ පක්ෂෙ දෙයි නෙ. එහෙම පක්ෂෙ දන්දෙන්න පුළුවන් ද?” - දුමින්ද අහනවා.

දුමින්දලා- තිලංගලා එහෙම කියද්දී විජේදාස නම් කියන්නේ වෙනම කතාවක්.

'' නිමලු යි - අමරවීර යි , දුමින්ද යි - ලසන්ත යි හදන්නේ ශ්‍රී ලංකා එක UNP එකට අරගෙන යන්න . ඔය තිලංග හදන්නේ ශ්‍රී ලංකා එක සජබෙට ගැටගහන්න . එහෙම ගැටගහලා ජාතික ලැයිස්තු මන්ත්‍රී කමක් ගන්න. ඔය හතර පස්දෙනා හැරෙන්න, ශ්‍රී ලංකා එකේ හැමෝම ක් ඉන්නේ , ඔය කාටවත් ජැක් ගහන්නේ නැතුව ශ්‍රී ලංකා එක ගොඩදාමු කියන ස්ථාවරේ. අනික රනිල් ජනාධිපතිවරනෙට එන්නේ නෑ ..රනිල් තව ටික දවසකින් ඕක කිව්වම තමයි අමරවීර ලට උණ හැදෙන්නේ '' - ඔන්න ඔහොම , විජේදාස ඊයේ මාධ්‍ය සාකච්ජාවෙන් පස්සේ , මාධ්‍යවේදීන් දෙතුන් දෙනෙකුට වෙනම කියලා .

වෙනත් පක්ෂයක මන්ත්‍රී කෙනෙකුට කැබිනට් එකේ ඉන්න බැරිකමක් නෑ කියලත් විජේදාස කියනවා. '' ජනාධිපතිතුමා මේ දැනුත් මට කතාකලා .. එතුමාට නම් මේවා ප්‍රශ්නයක් නෙමෙයි.. '' විජේදාස එහෙමත් කියලා .

  • දේශපාලන වාර්තාකරු