V2025

පුවත්

බැසිල් එන්නේ - හය නොවේ අට !

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු එන දිනය ජූලි 06 නොව ජූලි 08 බව ආණ්ඩු හිතවාදි සමාජ මාධ්‍ය වාර්තා කර ඇත.

නිරෝධායන නීති අනුව 6 වෙනිදා පාර්ලිමේන්තු පැමිණීමට ඉඩක් නැති බැවින් 8 වෙනිදා ඒ සඳහා යොදාගෙන ඇති බවත් එම මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමෙන් පසුව "ආර්ථික සංවර්ධන" අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කෙසේ වුවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ වඩා වැදගත් වන්නේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු එන දිනය නොව ඔහු පැමිණි පසු කරන බවට ගෝලයන් කියන දේවල් කරන්න සමත් වෙයිද යන්නය.

නැත්නම් සිදුවන්නේ තවදුරටත් ජනතා අප්‍රසාදය වර්ධනය වීම බවත් ඔවුන් පවසයි.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධව පසුගිය සමයේ වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට මැදිහත් වූ භික්ෂුන් වහන්සේලා විරෝධය දක්වමින් ද සිටියි.

කාබනික පොහොර වෙනුවෙන් තැබූ පය පස්සට ගන්නේ නෑ කියා ජනාධිපති කියලා !

නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එමෙන්ම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිතුමා සඳහන් කළ බවත් එහි දැක්වෙයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

රසායනික පොහොර භාවිතය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකින් පීඩා විඳින අතර එමගින් පරිසරයට සිදුවන හානිය අති විශාලය. එමෙන්ම රසායනික පොහොර ආනයනය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 400කට අධික මුදලක් රජය වැය කරයි. විදේශීය ආයතන වෙත ඇඳී යන එම මුදල රටේ ගොවි ජනතාව වෙත ලබාදීමට කාබනික පොහොර භාවිතය මගින් හැකි වන බව ද ජනාධිපතිතුමා මහා සංඝරත්නයට පෙන්වා දුන්නේය.

අද (27) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව පැවසීය.

2015 ට පෙර රජයේ නිලධාරීන් තීරණ ගැනීමේදී පසුබට නොවීම නිසා කෙටි කාලයක් තුළ රට තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීමට හැකි වූ බව ජනාධිපතිතුමා සඳහන් කළේය. එහෙත් එම නිලධාරීන් අසත්‍ය චෝදනා මත සිරගත වීම ඇතුළු විවිධ පීඩනයන්ට පසුගිය රජය සමයේ දී මුහුණ පෑමට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රජයේ වර්තමාන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් අනාගතයේ දී දඬුවම් විඳීමට සිදු වෙතැයි යන බියෙන් තීරණ ගැනීමට සහ ක්‍රියාත්මක වීමට මැලි වී ඇති බව සඳහන් කළේය. එම නිසා රට තුළ බොහෝ වැඩ කටයුතු අඩපණ වීම කණගාටුදායක තත්ත්වයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබිණ.

කොවිඩ් වසංගත මර්දනයට සාර්ථකව මුහුණ දෙමින් රටේ උන්නතිය උදෙසා ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියෝ ප්‍රසාදය පළ කර සිටියහ.

කොවිඩ් මර්දනය සඳහා සිදුකෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිතුමා මහා නායක හිමියන් දැනුවත් කළේය. මහා නායක හිමියෝ සෙත් පිරිත් සඡ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ. මුතියංගණ රජමහා විහාරයේ භාරකාර ආචාර්ය පූජ්‍ය මුරුත්දෙණියේ ධම්මරතන හිමියෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් බැහැදැක සුවදුක් විචාළේය. උන්වහන්සේ ද ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කරමින් ආශිර්වාද පළ කළහ. අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ සංඝසභික ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල හිමියෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපතිතුමා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිජූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන්‍ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව ජනාධිපතිතුමා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදැක උන්වහන්සේ සමග ද සුහද කතා බහක නිරත විය.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් බැහැදුටු ජනාධිපතිතුමා රජයේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳව උන්වහන්සේ ද දැනුම්වත් කළේය.

ගැටඹේ රාජෝපවනාරාමයට ගිය රාජපක්ෂ මැතිතුමාට විහාරාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළහ.

දියවඩන නිලමේ නිලංග දෑල, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරු ද මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

රසායනික පොහොර තහනම පිටුපස කුමණ්ත්‍රණයක් : දයාසිරිගෙන් අනාවරණයක් !

රසායනික පොහොර තහනම් කිරීමේ ක්‍රියාවලිය තුළ මෙරට දේශීය සහල් ව්‍යාපාරිකයන් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කරන බව ආණ්ඩුව හිතවාදි මාධ්‍ය වාර්තා කරමින් ඇත.

එම පුවතේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ කෙනෙකුගේ දෙන්නෙකුගේ ඉල්ලීම අනුව රසායනික පොහොර තහනම් කිරීම මගින් රට තුළ තිබූ සහලින් ස්වයංපෝෂිත තත්ත්වය නැති වී යනු ඇත බවය.

එසේම මේ හරහා සිදුවන්නේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් විනාශ කිරීමේ වැඩපිළිවෙලක් බව පෙනී යන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදුන් බවත් එහි සඳහන් ය.

එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

ඉදිරියේ දී තවදුරටත් සහල් හිගය උග්‍ර වනු ඇති බවත් මේ හරහා විදේශයෙන් සහල් ආනයනය කිරීමට සිදු වනු ඇති බවත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මෙමඟින් මෙරට සහල් ස්වයංපෝෂිත තත්ත්වය බිඳ වැටෙන බවද කියා සිටියේය.

කෙසේ නමුත් කාබනික පොහොර ව්‍යාපෘතියට විරුද්ධත්වයක් පල නොකරන නමුත් එය එක්වරම නොව ක්‍රමානුකූලව කළ යුතුව තිබූ දෙයක් බවද අමාත්‍යවරයාගේ අදහසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 සැමරුමට : ලංකා මහ බැංකුවෙන් සමරු කාසියක් !

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවෙනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමරු කාසියක් නිකුත් කිරීමට සූදානම් වන බව වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ ජාතික වැදගත්කමක් සහිත අවස්ථා සැමරීම සඳහා කාසි නිකුත් කිරීම මහ බැංකුව සම්ප්‍රදායිකව සිදුකරනු ලබන නමුත් වෙනත් රටක දේශපාලන පක්ෂයක සැමරුමක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කාසියක් නිකුත් කරන්නට යන්නේ ඉතිහාසයේ පළමු වතාවටය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවන සැමරුම වෙනුවෙන් චීන මහ බැංකුව විසින් සමරු කාසි නිකුත් කිරීම පසුගිය සදුදා ආරම්භ කර ඇත.

ඒ අනුව රන් කාසි තුනක්, රිදී කාසි පහක් හා තඹ කාසියක් චීන බැංකුව විසින් නිකුත් කර ඇත.

අසමත්වීම වහගන්න ජනතාවට දොස් කිව්වා : ජ.ජා ඇමතීමට එජාප ප්‍රතිචාර !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සිකුරාදා (25) ජාතිය ඇමතූ නමුත් මහජනතාව මුහුණ දෙන ගැටලු විසඳුවේ නැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ශ්‍රී ලංකාවේ ජනතාවට දොස් පවරමින් තමා සහ ඔහුගේ රජය අසමත් වීමට හේතුව නිදහසට කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ලෙස ඔහු මෙම දේශනය භාවිතා කළ බවත් එම පක්ෂයේ අදහස වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ජාතිය ඇමතීම සම්බන්ධව නිවේදනයක් නිකුත්කරමින් එක්සත් ජාතික පක්ෂය මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

COVID-19 හි වර්ධනය වන තර්ජනය, කඩා වැටෙන ආර්ථිකය, පොහොර හිඟය, පාසල් අධ්‍යාපනයට ඇති බාධා සහ ජීවන වියදම ඉහළ යාම ඇතුළු රට තුළ ගැටලු රාශියක් තිබේ.

ජනාධිපතිවරයා මේ කිසිදු කරුණක් ගැන කතා කළේ නැත. ඔහු ඒ වෙනුවට නිදහසට කරුණු ඉදිරිපත් කළේ තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති පොරොන්දු කිසිවක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම වළක්වා ගැනීමෙන් මෙම ගැටලු විසඳීමට ඔහුට නොහැකි වූයේ මන්ද යන්නයි.

මෙම දුෂ්කර කාලවලදී නායකත්වය සහ බලාපොරොත්තුව ලබා දීම සඳහා ජනතාව ජනාධිපතිවරයා වෙත යොමුවී ඇති අතර, ඔහු තම අඩුපාඩුකම් නිසා ඔවුන්ට දොස් පවරමින් අවාසනාවන්ත ලෙස අසමත් වී තිබේ.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර අගුලු දැමීමක් ක්‍රියාත්මක කරන ලෙස වෛද්‍ය වෘත්තිකයන් ඔහුට උපදෙස් දුන් විට ඔහු ඒවා නොසලකා හැරියේය.

නව වසර භුක්ති විඳීමෙන් වෛරසයේ තුන්වන රැල්ලට හේතු වූ බවට ජනාධිපතිවරයා දැන් මහජනතාවට චෝදනා කරයි.

COVID-19 වෛරසය පැතිරීම පාලනය කිරීමට රජය අපොහොසත් වීම සහ එන්නත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම නිසා රටට වරින් වර අගුලු දැමීමට සිදුවිය.

අගුලු දැමීම මහජනයාට බරපතල මූල්‍ය බරක් ඇති කරයි.

වෛද්‍ය වෘත්තිකයන්ගේ උපදෙස් පිළිපැද්දා නම් මේවා වළක්වා ගත හැකිව තිබුණි.

පසුගිය වසරේ නොවැම්බරයේදී සෞඛ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තුවට පැවසුවේ COVID-19 එන්නත සඳහා අවශ්‍ය මාත්‍රාවන් මිලදී ගන්නා බවයි. කෙසේ වෙතත්, මෙම මිලදී ගැනීම් සිදු කරනු ලැබුවේ මෙම වසරේ මාර්තු මාසයේදී පමණි.

මෙම එන්නත් මාත්‍රාවන් මිල දී ගැනීම ප්‍රමාද වීමෙන් 600,000 කට අධික පිරිසකට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත දෙවන මාත්‍රාව ලබා ගැනීමට නොහැකි විය.

2015-2019 කාලය තුළ ආර්ථිකයේ තත්වය පිළිබඳව ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වැරදිය.

2019 දී එක්සත් ජාතික පක්ෂය රජය භාර දෙන විට රට තුළ ඇමරිකානු ඩොලර් බිලියන 7.6 ක විදේශ සංචිත තිබුණි. අද වන විට විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 4 ට වඩා පහත වැටී ඇත.

සංචිත වැඩි කරන්නේ කෙසේද සහ අපේක්ෂිත ණය ආපසු ගෙවීම් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම රජයට කිසිදු සැලසුමක් නොමැත. එක්සත් ජාතික පක්ෂ රජය යටතේ 2017 සහ 2018 යන කාලය වසර 60 කට පසු පලමු වතාවට රට ප්‍රාථමික අතිරික්තයක් භුක්ති වින්දා.

රජය වියදම් කරනවාට වඩා වැඩි ආදායමක් උපයමින් සිටින බැවින්, සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකි විය.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාලය තුළ ආර්ථිකය හොඳින් කළමනාකරණය වී ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙය නිවැරදි නම්, 20 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් බලතල ඉවත් කර පී.බී. ජයසුන්දර යටතේ ආර්ථිකය පවත්වාගෙන යාමට කටයුතු කර ඇත්තෙ ජනාධිපතිවරයාට තමාගේම අගමැති සහ අමාත්‍ය මණ්ඩලය කෙරෙහි විශ්වාසයක් නැද්ද?

ඒ අනූව මිනිත්තු 69 ක කතාවකින් ජනාධිපතිවරයා සම්පූර්ණ අවධාරණය පෙන්නුම් කළේ දිශානතීය රහිත ප්‍රකාශයකටය.

ෆයිබර් ඔප්ටික් ලැබූ පාසල් 10000 ක් ? : ජනාධිපති ප්‍රකාශයෙන් ගුරු සංගම් මවිත වෙයි !

පාසල් දස දහසකට ෆයිබර් ඔප්ටික් පහසුකම් ලබා දී ඇති බව පසුගියදා ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා සිටියත් එම ප්‍රකාශය පුදුම සහගත බව මෙරට ප්‍රධාන පෙළේ ගුරු වෘත්තීය සමිතිය වන ලංකා ගුරු සංයමය පවසයි.
 
නිවේදනයක් නිකුත්කරමින් ලංකා ගුරු සංයමය පවසන්නේ "ලංකාවේ පවතින පාසල් 10165 න් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ පරිදි පාසල් දස දහසකට ෆයිබර් ඔප්ටික් පහසුකම් ලබාදුන්නේ නම් එම පාසල් පවතින්නේ කොහේද යන්න ගැටළුවක්" බවත්  මන්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුවම අන්තර්ජාල ආවරණ නොමැති ප‍්‍රදේශවල පාසල් 2000 කට වැඩි සංඛ්‍යාවක් පවතින බවත්ය.
 
ලංකා ගුරු සංයමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති මේ නිවේදනයේ ජනාධිපති ජාතිය ඇමතීමේදී පාසල් අධ්‍යාපනය සම්බන්ධව දැක්වූ කරුණු බොහොමයක් දෝෂ සහිත බව පෙන්වා දී ඇති අතර සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.
 
කෝවිඞ් 19 වසංගත තත්වය මත අවුරුද්දකුත් මාස 3 කට වැඩි කාලයක් පාසල් වසා දමා තිබෙන අතර, පාසල් අධ්‍යාපනය මුළුමනින්ම කඩා වැටී ඇත. 
 
ගුරුවරු විසින් තම මුදල් වියදම් කරමින් ස්වේච්ඡාවෙන් සිදු කරන මාර්ගගත ඉගැන්වීම් හැරෙන්නට ලක්ෂ 43 ක් පමණ වන සියලූ පාසල් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලැබීමට ක‍්‍රමවේදයක් ආණ්ඩුව හෝ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කි‍්‍රයාත්මක කර නැත. 
 
ඒ තත්වය තුළ මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය ද 60% කට වැඩි දරුවන් පිරිසකට අහිමි වී ඇති අතර ඔවුන් කිසිදු අධ්‍යාපනයක් නැත. මෙවැනි වාතාවරණයක් තිබියදී 2021.06.25 දින ජාතිය ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර සිටියේ පාසල් වසා තිබුණ ද දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමවේද මගින් විශාල ප‍්‍රගතියක් අත්කර ගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයෙන් ජනතාව බලාපොරොත්තු වූයේ කෝවිඞ් වසංගතය තුළ දැඩි බලපෑමට ලක්වූ අධ්‍යාපන පද්ධතියට රජය ලබාදෙන විසඳුමයි. ජනාධිපතිවරයා අධ්‍යාපන පද්ධතිය ප‍්‍රගතියක් අත්කරගෙන ඇති බව ප‍්‍රකාශ කිරීම කනගාටුදායක තත්වයකි.
 
එසේම ඔහු තවදුරටත් ප‍්‍රකාශ කළේ පාසල් දස දහසකට ෆයිබර් ඔප්ටික් පහසුකම් ලබා දී ඇති බවයි. එය නම් පුදුමයකි. ලංකාවේ පවතින පාසල් 10165 න් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ පරිදි පාසල් දස දහසකට ෆයිබර් ඔප්ටික් පහසුකම් ලබාදුන්නේ නම් එම පාසල් පවතින්නේ කොහේද යන්න ගැටළුවකි. මන්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුවම අන්තර්ජාල ආවරණ නොමැති ප‍්‍රදේශවල පාසල් 2000 කට වැඩි සංඛ්‍යාවක් පවතී.
 
ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරන පරිදි මෙතරම් තාක්ෂණික පහසුකම් ලබාදී තිබේනම් පාසල් දරුවන් දිනපතා ගස්ගල් උඩ නගිමින්, කැලෑ පීරමින් තම ජීවිත අනතුරේ හෙලා ගනිමින් අන්තර්ජාල සබඳතා සඳහා සිග්නල් සොයන්නේ විනෝදයට නොවන බව මෙරට ජනතාව ඉතා හොඳින් දන්නේය. පාසල් අධ්‍යපනය කෝවිඞ් 19 වසංගතය තුළ මෙතරම් කඩා වැටී තිබියදී රටේ ජනාධිපතිවරයා මෙවැනි ප‍්‍රකාශ සිදු කරන්නේ අධ්‍යාපන බලධාරීන් ඔහුට නිවැරදි නොවන තොරතුරු ලබා දී තිබිය යුතුය.
 
 දිනපතා ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වන රටේ අධ්‍යාපන තොරතුරු ඔහු නොදන්නවා විය යුතුය. කෙසේ වෙතත් මේ සියලූ තත්වයන්ගෙන් තවදුරටත් පැහැදිලි වන්නේ පාසල් දරුවන්ගේ කඩා වැටී ඇති අධ්‍යාපනය යථා තත්වයට පත් කිරීමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නැති බවයි. අධ්‍යාපන ලේකම්වරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන් කඩාවැටී ඇති අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු සාධනීය කටයුත්තක් නොකළ අතර, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ද ප‍්‍රකාශ කර සිටියේ අධ්‍යාපනය අහිමි වී ඇත්තේ 12% ක පිරිසකට බවයි. අධ්‍යපන බලධාරීන්ගේ අසාර්ථක භාවය එම ප‍්‍රකාශ තුළින් තවත් තහවුරු විය.  
 
එසේම උක්ත කතාවේ දී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර සිටියේ පාසල් නිල ඇඳුම්, පෙළපොත් සහ පෝෂ්‍යදායී ආහාර වේලක් සඳහා රුපියල් බිලියන 25 ක් වෙන්කර ඇති බවයි. එහෙත් 2021 වසරට අදාළ නිල ඇඳුම් බෙදාදීම අවසන් නොකළ අතර, පළමු කොරෝනා අවදානමේදීම පාසල් දරුවන්ට දිවා ආහාර ලබාදීම නතර කරන ලදී. පසුව ඒ වෙනුවට වියළි ආහාර මල්ලක් පාසල් දරුවන්ට ලබා දුන්න ද මෙවර පාසල් වසාදැමීමෙන් පසු එම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක නොකරන ලද අතර, එම මුදල්වලට කුමක් සිදුවූයේ ද යන්න ද ගැටලූවකි. කෝවිඞ් 19 තත්වය තුළ සංචරණ සීමා හේතුවෙන් දෙමාපියන්ට එදිනෙදා ජීවිකාවන් අහිමි වීම නිසා කුසගින්නේ සිටින දරුවන් පිළිබඳ විවිධ සිදුවීම් අඛණ්ඩව වාර්තා වෙද්දී මේ පෝෂණ මල්ල එවැනි දරුවන්ගේ නිවෙස්වලට ලබා දෙන්නටවත් ක‍්‍රමවේදයක් ආණ්ඩුවට නොමැති වීම බරපතල කනගාටුදායක තත්වයි.
 
මෙම තත්වය තුළ පැහැදිලි වන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ ප‍්‍රකාශන හුදෙක් ප‍්‍රකාශනවලට ම සීමා වී පවතින බවත්, බරපතල ජාතික ව්‍යවසනයක් බවට පත්වෙමින් පවතින කඩාවැටුණු පාසල් අධ්‍යාපනය නඟා සිටුවීම සම්බන්ධයෙන් ආණ්ඩුව හෝ අධ්‍යාපන බලධාරීන් කිසිදු අවධානයක් යොමු නොකරන බවත්ය.

ගුවන් විදුලියේ මුල් පුටුවට හඩ්සන් : හීන්කෙන්දගෙන් හදිසි පත්වීම් දන්සැලක් ?

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස හඩ්සන් සමරසිංහ ජුනි 28 (හෙට ) වැඩ බාරගැනීමට නියමිත බව වාර්තා වෙයි.

හඩ්සන් සමරසිංහ ගේ සමීපතම පාර්ශව සඳහන් කරන ආකාරයට ජනාධිපති සහ අගමැති අදාළ තනතුර ඔහුට යෝජනා කර ඇත.

පසුගිය සමයේ පෞද්ගලික ගුවන් විදුලි සේවයක හඩ්සන් සමරසිංහ කටයුතු කළ අතර එහිදී වත්මන් ආණ්ඩුවේ කටයුතු දැඩිව විවේචනය කළේය.

කෙසේ වුවත් දැන් නැවත පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ මෙන් " ආණ්ඩුව "සුදු" කරන - විපක්ෂ කුඩු කරන " ගුවන් විදුලි මෙහෙය සිදුකිරීම ඇරඹෙනු ඇති බව ක්ශේත්‍රයේ ප්‍රවීණයන් පවසයි.

ඒ අනුව මේ වන විට SLBC සභාපති ධූරය දරන ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට තනතුරෙන් ඉවත් වීමට සිදුව ඇත.

කෙසේ වුවත් අද (26) දිනයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව පත්වීම් ලබාදීමේ සූදානමක් ගැනත් එහි සේවක සේවිකාවන් වාර්තා කරයි.

ඔවුන් පවසන ලෙස ගුවන් විදුලියේ වත්මන් සභාපති හීන්කෙන්ද තනතුරෙන් යාමට පෙර පත්වීම් ලිපි ප්‍රමාණයක් බෙදීමේ උත්සාහයක් පවතින අතර එය නියමිත කාර්‍ය පටිපාටියට අනුව සිදුවන්නක් නොවෙයි.

ඔවුන් චෝදනා කරන්නේ සභාපතිවරුන් මෙලෙස සිදුකරන පත්වීම් හේතුවෙන් සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණදී ඇති බවයි.

මසක පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයටවත් රට තුළ සහල් නෑ - ඇමති බන්දුල

රට තුළ වී සහ සහල් යන වර්ග දෙකම ඇත්තේ මාසයක කාලයක පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් අඩුවෙන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

"මේ වනවිට සහල් මෝල් 84ක් තමන් සතුව පවතින සහල් තොගය ලෙස දක්වලා තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5034යි. සහල් මෝල් 96ක් වී මෙට්‍රික් ටොන් 230,000ක් තියෙන බව දන්වලා තියෙනවා.

එතකොට මේ වී, සහල් සියල්ලම ගත්තොත් මේ ඔවුන් එළිදරව් කරලා තියෙන තොරතුරු සත්‍යය නම් තව මසකට පමණයි සහල් සහ වී ප්‍රමාණවත්. මසකටත් නෑ. මක්නිසාදයත් එක් මසකට සහල් මෙට්‍රික් ටොන් 185,000ක් පමණ ලංකාවේ පරිභෝජනය කරනවා සාමාන්‍ය ජනතාව.

ඉතිං මේ තියෙනවා කියනවා ඕනෙ තරම්, හැබැයි ඒවා පාරිභෝගික කටයුතු අධිකාරියේ විධිවිධාන වලට අනුව ලියාපදිංචි කරන්නෙ නෑ. එහෙම නම් මේ තොග එළියට එන්නෙත් නැත්නම්, සහතික මිලට පාරිභෝගිකයාට උපරිම සිල්ලර මිලට භාණ්ඩ ලබාගන්නත් බැරි නම් රජය තීරණය කළා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන්න. කිසිදු සැකයකින් තොරව මේ මිල ගණන්වලට වඩා අඩුමිලට ආනයනය කරලා එය මේ උපරිම සිල්ලර මිල යටතේ අලෙවි කරන්න පුළුවන්කම හොඳටම තිබෙනවා.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා අද දින ප්‍රසිද්ධ තරගකාරී ටෙන්ඩර් කැඳවීම කරලා තියෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

LNW

අත්අඩංගුවට ගත් අසේල සම්පත් ඇප මත මුදා හරී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සිවිල් ක්‍රියාකාරී අසේල සම්පත් ඇප මත මුදා හැර තිබේ.

සැකකරු අද (26) පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා  හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිණ.

අසේල සම්පත් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබුණේ, ඇස්ට්‍රසෙනෙකා එන්නත සම්බන්ධයෙන් සාමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවට ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අදාළවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ  අද (26) උදෑසන පැවුසවේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරටට ගෙන්වා යම් බාල කිරීමක් කර ජනතාවට එන්නත්කරණය සිදු කරන බවට එමගින් ඔහු පවසා ඇතැයි, අදාළ පැමිණිල්ලේ සඳහන්ව ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුව පිළියන්දල, පැලැන්වත්තේදී අසේල සම්පත් අත්අඩංගුවට ගෙන තිබූ බවයි.

බැසිල්ට ආර්ථික සංවර්ධන නමින් අලුත් අමාත්‍යාංශයක් ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීම වෙනුවෙන් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර තීරණය කර ඇති බවට ආණ්ඩු හිතවාදි මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා කරයි.

ඊට අනූව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මහ බැංකු අධිපති ධූරයට පත් කිරීමට නියමිතය.

බැසිල් රාජපක්ෂ ජූලි 06 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවත් එම පුවත් වල සඳහන් වෙයි.

බැසිල් රාජපක්ෂට ආර්ථික සංවර්ධන අමාත්‍යධූරය ලබාදෙනු ඇති බවට ද වාර්තා පළ වන අතර ඒ අනුව බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ලෙස නව අමාත්‍යංශයක්ද පිහිටු වීමට නියමිත බවත් එම මාධ්‍ය වාර්තා වල සඳහන් වෙයි.

අදාළ අමාත්‍යංශයට නාගරික සංවර්ධන අධිකාරිය හා ආයෝජන මණ්ඩලය ද එක්කරනු ඇති බවටත් සඳහන් ය.

සඳුදා සිට 60 වැඩි අයට ළඟම ප්‍රධාන රෝහලෙන් කොරෝනා එන්නත් - GMOA

එලඹෙන සඳුදා දිනයේ සිට අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ අනුව තම ලඟම ප්‍රධාන රොහලෙන් එන්නත් ලබාගත හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, “සෑම ප්‍රධාන රෝහලකම අපි එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා ලබන සඳුදා දිනයේ සිට. සියලුම 60ට වැඩි පුරවැසියන්ට. මේක දිනපතාම කෙරෙන වැඩපිළිවෙලක්. මේ සඳහා අවශ්‍ය වන්නේ තමාගේ හැඳුනුම්පත පමණයි. අපි ලබාදීලා තියෙනවා ඉල්ලුම් පත්‍රයක්. ඒක නිවසේදී පුරවාගෙන ආවොත් එන්නත ඉතාමත් ඉක්මණින් ලබාගන්න පුළුවන්.”

Lanka truth

යුරෝපා සංගමයේ රටවල් වෙත යැවෙන තැපැල් සේවාව ගැන නිවේදනයක්

යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධව යුරෝපා සංගමය ක්‍රියාත්මක කරනු ලබන බදු ප්‍රතිපත්ති ජුලි 01 වනදා සිට සංශෝධනය කර තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පෙන්වා දෙයි.

ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල් 26 සඳහා මෙම බදු ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවේ.

යුරෝපා සංගමය විසින් දැනුම් දී ඇති පරිදි තැපැල් පාරිභෝගිකයන්, අන්තර්ජාලය මගින් අලෙවි කටයුතුවල නිරතවන්නන් සහ අන්තර්ජාල අලෙවිසැල් විසින් යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යොමු කරන තැපැල් භාණ්ඩ සඳහා මෙම බදු ප්‍රතිපත්තීන් අදාළ වේ.

ඒ අනුව යූරෝ 150 ට අඩු වටිනාකමකින් යුත් සියලුම තැපැල් භාණ්ඩ සඳහා යවන්නා විසින් යුරෝපා සංගමයට අයත් අදාළ රට වෙත සෘජුවම මෙම වැට් බදු ගෙවිය යුතු බව තැපැල්පතිවරයා අදාළ නිවේදනය මගින් පෙන්වාදී ඇත.

එමෙන්ම යූරෝ 150 ට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ සඳහා අදාළ රටේ බදු ප්‍රතිපත්තියට අමතරව අදාළ රජය විසින් තීරණය කරනු ලබන අනෙකුත් තීරු බදු ප්‍රතිපත්තීන්ට ද යටත් වන බැවින් තැපැල් භාණ්ඩ සඳහා වූ සියලුම බදු ගමනාන්තයේදී එම රටවල රේගුව විසින් භාණ්ඩය ලබාගන්නාගෙන් අය කර ගැනීමට කටයුතු කරන බවද තැපැල්පතිවරයා සඳහන් කරයි.

කෙසේවෙතත් වැට් බදු මුදල් සහ මෙහෙයුම් ගාස්තු ගෙවා භාණ්ඩය භාර ගැනීමට ක්‍රියා නොකළහොත් අදාළ රටේ තැපැල් පරිපාලනය හෝ රේගුව මෙම භාණ්ඩ සම්බන්ධව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳ පාරිභෝගිකයින්ට වගකීමක් දැරීමට සිදුවන අතර ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මෙම බදු හෝ අනෙකුත් බදු ගෙවීම් පිළිබඳ කිසිදු අයුරකින් වගකීමක් නොදරන බවද තැපැල්පතිවරයා මෙරට ජනතාවට දැනුම් දෙයි.

මේ පිළිබද වැඩිදුරටත් විස්තර දැනගැනීම සදහා නිවේදනය පහත සදහන් වේ.

01

02

ජනාධිපතිගේ කතාවේ රාජතාන්ත්‍රික අවුලක් !

ජනාධිපතිවරයාගේ කතාවේ වාක්‍යක රාජ්‍යතාන්ත්‍රික භාවයේ ප්‍රශ්නයක් ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

ඒ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේදී වසංගතයේ ආරම්භය චීනය බවත් එය ලොව පුරා පැතිරුණේ චීනයෙන් බවත් හැඟීයන ආකාරයට ප්‍රකාශ කර සිටිමය.

ජනාධිපති සිදුකළ කතාවේ මෙසේ සඳහන් වෙයි.

"මා ජනාධිපතිවරයා වශයෙන් පත් වී මාසයක් ගතවන්නටත් පෙර කොවිඩ් 19 වසංගතය චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන්නට පටන් ගත්තා."

මේ බව පෙන්වා දෙමින් විචාරකයන් පවසන්නේ කොරෝනා වෛරසය , වසංගතයක් ලෙස පැතිර යාමෙන් පසු චීනය විසින් ඔවුන් එය පාලනය කිරීමට කටයුතු කරන අතරම රාජ්‍යතාන්ත්‍රිකව එය ආරම්භ වූයේ චීනයෙන් නොවන බවට ලෝකය දැනුවත් කිරීමට විශාල පරිශ්‍රමයක් දැරූ බවය.

මෙම නිශ්චිත මොහොතේ පවා චීනයේ නිල ස්ථාවරය වන්නේ වෛරසය පැතිරීම ආරම්භ වූයේ චීනයෙන් නොවන බව යයිද දේශපාලන විචාරක මතය වී තිබේ.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන ආකාරයට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙය චීන වෛරසය ලෙස නවීකරණය කළ ද එය චීනයෙන් ආරම්භ වූවා යන කතාව නොකිරීමට පරිස්සම් වූ බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඇමරිකාවේ නව පරිපාලනය විසිනුත් විධිමත් පරීක්ෂණ කීපයක්ම පැවැත්වීමට කටයුතු කළත් තාමත් චීනය මෙහි ආරම්භය ලෙස නිල වශයෙන් පිළිගෙන නැත.

මෙම තත්ත්වය ලෝක දේශපාලනයේ තිබියදී ජනාධිපති විසින් මෙසේ පැවසීම සම්බන්ධව චීන ප්‍රතිචාරය කෙසේ වේදැයි ප්‍රශ්නයක් තිබෙන බව විචාරක අදහසයි.

මේ මත දැක්වීම චීනය කෙතරම් ඉවසයි ද යන්න අපට දැනගැනීමට හැකිවන්නේ ඉදිරියේදී ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරන ආකාරය අනුව බවත් දේශපාලන විචාරකයන් පවසයි.

රටේ රාජ්‍ය නායකයාගේ කතාවක් සැකසීම සහ ඊට සහභාගී වන උපදේශකයන් කතාවේ වචන, පෙළගැස්ම සහ අන්තර්ගතය ගැන කොතරම් සැලකිලිමත් වූවාද යන ප්‍රශ්නය මෙහිදී ඇතිවන බවත් ඔවුන් මතුකර දක්වයි.

දුමින්දගේ නිදහසට ප්‍රශ්න පිට ප්‍රශ්න : මෙවර සමගි නීතිඥ එකමුතුව !

මරණ දඬුවම නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට විශේෂ ජනාධිපති සමාව ලබා දීමට අදාල වාර්තා සහ නිර්දේශ වහාම ප්‍රසිද්ධ කරන ලෙස සමගි තරුණ බලවේගයේ සමගි නීතිඥ එකමුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි.

සමගි තරුණ බලවේගයේ සමගි නීතිඥ එකමුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධ ක්‍රමවේදය මහජනතාවට වගකියන අන්දමින් සංශෝධනය කරන ලෙසත් යෝජනා කර ඇත.

එම නීතිඥ එකමුතුව නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනය පහත දැක්වෙයි.

"මරණ දණ්ඩණයට නියමවී සිටි හිටපු පා.ම දුමින්ද සිල්වාට ඊයේ (24) දින ජනාධිපතිවරයාට නීතියෙන් හිමිව ඇති බලය දැඩි ලෙස අවභාවිතා කරමින්, රටේ නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය හා යුක්ති මුලධර්මයන් පිලිබඳ කිසිඳු තැකීමක් සිදුනොකොට විශේෂ ජනාධිපති සමාවක් ලබා දීම තරුණ ප්‍රජාව ලෙස අප දැඩි ලෙස හෙලා දකිනෙමු.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වන වගන්තිය යටතේ පුර්ණ හෝ කොන්දේසිවලට යටත්ව සමාවක් ප්‍රධානය කිරීමට ජනාධිපතිවරයා හට බලයක් හා අභිමතයක් තිබුණද එය අවභාවිතා කිරීමට කිසිඳු ජනාධිපතිවරයෙකුට සදාචාරාත්මක අයිතියක් නොමැත.

ජනාධිපති සමාව ලබාදීම සඳහා දහස් ගණන් මරණ දණ්ඩණයට නියමවුවන් අතරින් දුමින්ද සිල්වා තෝරාගත් පදනම අතිශය ප්‍රශ්ණ සහගතය. එය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේ ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස දුමින්ද සිල්වා සමඟ කටයුතු කිරීමේදි පැවැති සුවිශේෂි සම්බන්ධතාවයද යන්න මතුවන පැනයකි.

ජනාධිපතිවරයෙක් ජනාධිපති සමාවක් ලබාදීමේදි ව්‍යවස්ථාවේ 34(1) ප්‍රතිපාදනයන්ට යටත්ව අනුගමනය කල ක්‍රමවේදයක් පැහැදිලිව දැක්වේ. එම ක්‍රමවේදයට අනුව මරණ දඬුවම නියම කළ විනිසුරුවරුන්ගෙන් ලබා ගන්නා ලද වාර්තාව, නීතිපති උපදෙස් වෙත යොමු කොට නීතිපති නිර්දේශය සහිතව අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කළ යුතුය. අමාත්‍යවරයා විසින් තම නිර්දේශය ජනාධිපතිවරයා වෙත ලබා දිය යුත්තේ ඉන් අනතුරුවය.

මෙහිදී මෙම ක්‍රමවේදයට අනුගතව කටයුතු කර නොමැති බව පෙනෙන්නට ඇති අතර ඒ පිළිබදව නිවැරදිව දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ක්‍රමවේදයට පිටින් යම් හිටපු ජනාධිපතිවරු සේම සහ වත්මන් ජනාධිපතිවරයාද තමාට පැවරී ඇති බලය අවභාවිතා කරමින් ජනාධිපති සමාව ලබාදී ඇත්තේ තමන්ගේ තීරණයට එරෙහිව අභියෝග කරන්නට කිසිවෙකුටත් හැකියාවක් නොමැති යන ඒකාධිපති පාලකයකුගේ අධි මානසිකත්වය නිසාවෙන්මය.

රටක ජනතාව සේම පාලකයන්ද එකසේ රටේ පවතින නීති රාමුවට යටත් විය යුතු අතර , සැමට එක සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ දිය යුතුය. එය රටේ යහපැවැත්මට අත්‍යවශ්‍ය අංගයකි.

එක රටක්- එක් නීතියක් යන්න තම ප්‍රතිපත්තිය බව සෞභාග්‍යයේ දැක්ම තුලින් ප්‍රකාශ කරමින් බලය ලබා ගන්නා ලද වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව අද අත්තනෝමතිකව තම සගයින් 'නිදොස් කොට නිදහස් කිරීම' සිය ප්‍රමුඛ තේමා පාඨය කරගැනීම පිලිබඳ සමස්ථ ප්‍රජාව තුල ඇත්තේ දැඩි පිලිකුළකි.

නීතියේ ආධිපත්‍යය හෑල්ලු කරමින් ජනාධිපති සමාව දීම සාධාරණීකරණය කරන ආණ්ඩුවෙන් අපට ඇසීමට ඇත්තේ නීතිය යනු ජනපති නම් - කුමට ‍මෙරට අධිකරණය - නීතිය හා විනිසුරන් යනුවෙනි.

දුමින්ද සිල්වා වැනි වැරදිකරුවන් වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වන මෙම සුවිශේෂි වරප්‍රසාදය ලබා ගැනීමට හැකිවන්නේ දේශපාලනික , ආර්ථික හා ‍බලයක් සහිත පාර්ශවයන්ට පමණක් බව දැන් සක්සුදක් සේ පැහැදිලිය.

තවදුරටත් රටේ පුරවැසියන් ලෙස අපට මෙ⁣ම තත්වය අනුමත කල නොහැකිය.

දේශපාලන ආධාරකරුවන් රැකගැනීමේ අවියක් ලෙස භාවිතා කරන ජනාධිපති සමාව අවම ලෙසවත් යුක්තිසහගත ලෙස ක්‍රියාවට නොනඟන තත්වය තුල මෙ⁣ම ක්‍රමවේදය වහාම වෙනසකට ලක් කල යුතුව ඇත. මෙම ක්‍රමවේදය මහජනතාවට වගකියන ක්‍රමවේදයකට අනුව සංශෝධනය කරන ලෙස අප රජයට බල කර සිටිමු.

සමස්ථ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය කෙරෙහිම පවතින විශ්වාසය පළුදු කර ඇති මෙම ⁣තත්වයට අදාල වාර්ථා හා නිර්දේශ වහාම ප්‍රසිද්ධ කරන ලෙස අප රජයට බල කර සිටිමු. මෙවැනි අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව සිදුකරන අපගේ අරගලය ජයග්‍රහණය කරවීමට පෙරට එන ලෙස සමස්ථ තරුණ ප්‍රජාවගෙන් හා රට වැසියන්ගෙන් අප ඉල්ලා සිටිමු. "

තරුණ නීතිඥ එකමුතුව සමගි තරුණ බලවේගය

රනිල්ගේ සූදානම වෙනස් කරන්න බැරි වෙන්න : 19 යළිත් ගේන්න !

මින් ඉදිරියට කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි පරිදි 19 වන ව්‍යවස්ථා සංශෝධනය යළි ගෙන ඒම තම අනාගත දේශපාලන සැලැස්ම බව, හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසයි .

ඒ නෙත් නිව්ස් සමග සිදුකර ඇති සාකච්ඡාවකදීය.

පවතින කොරෝනා තත්ත්වය හමුවේ බලය අත්පත් කර ගැනීම පෙසක තබා තමන් තනිවම සිය අරමුණ වෙනුවෙන් කටයුතු කරන බවත් ඔහු එහිදී සඳහන් කරයි.

අදාළ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වෙයි.

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

අද (26) අලුයම 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධරී වසම් 4 ක් හුදකලා කර තිබේ. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ, මාවනැල්ල, දෙහිඕවිට සහ කෑගල්ල යන පොලිස් බල ප්‍රදේශවල ග්‍රාම නිලධරී වසම් 4 ක් අද (26) උදෑසන 6.00 සිට එලෙස හුදකලා කළ බවයි.

මේ අතර කිරිබත්ගොඩ, නාහේන ග්‍රාම නිලධාරී වසමේ හුදෙකලා බව ඉවත් කර තිබේ.

cf20aefd isolation 2021 06 26 page 001

 

සිවිල් සමාජ ක්‍රියාකාරී අසේල සම්පත්ව නාඳුනන පිරිසක් පැහැරගෙන !

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සහ මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති වන අසේල සම්පත්ව පැහැරගෙන ගොස් ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයන් චෝදනා කර සිටියි.

වෑන් රථයකින් පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ යැයි හඳුන්වාගත් පුද්ගලයින් 20ක් පමණ මෙසේ ඔහුව රැගෙන ගිය නමුත් ඔවුන් නිල ඇඳුම් නොපැළඳ සිටි බවත් ඔවුන් අසේල සම්පත්ව එසේ රැගෙන යාමට කිසිඳු හේතුවන් නොදැන්වූ බවත් ඔහුගේ දියණිය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී ලෙස පෙනී සිටිමින් ප්‍රකාශ කළාය.

ඇය ඇතුළු පවුලේ සාමාජිකයින් පිරිසක් මේවනවිට පිළියන්දල පොලිසිය වෙත ගොස් මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

විමල්ගේ තුනක් බැසිල් ගලවලා ?

ආණ්ඩුව තුළ නිර්මාණය කරගෙන තිබෙනකුඩා පක්ෂ එකමුතුවෙන් පක්ෂ කිහිපයක්ම ඉදිරි සති දෙක තුළ එයින් ඉවත්වීමට සූදානම් වන අතර විමල් වීරවංසගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුද ඒ සමගම පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වේ. 

රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන වීරවංසගේ මන්ත්‍රීවරයා, මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා සහ තවත් මන්ත්‍රීවරයෙකු එම පක්ෂයෙන් ඉවත්වීමට සූදානම් බවද අනාවරණය වේ.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම්දීමට සමගාමීව ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙම දේශපාලන වෙනස්වීම සිදුකෙරෙමින් පවතී.

වාසුදේව නානායක්කාර සහ මුස්ලිම් මන්ත්‍රීවරයෙකු කුඩා පක්ෂ සංවිධානයෙන් ඉවත්වීමට මේ වනවිටද කැමැත්ත පල කර ඇත. එසේම අතුරලියේ රතන හිමි වෙත මන්ත්‍රී ධුරය තහවුරු කර ගැනීම සඳහා කටයුතු කරමින් පවතින බවද හෙළි වේ. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය මේ වනවිට නව තත්වය පිළිබඳව කිසිදු ස්ථාවරයකට පැමිණ නැත.

මේ අනුව ඉදිරි සති කිහිපය තුළ බැසිල් රාජපක්ෂ තමන්ට විරෝධීව සිටින කුඩා පක්ෂවල මන්ත්‍රීවරුන් තමන්වෙත දිනාගැනීමේ මෙහෙයුම සාර්ථක කරගනු ඇති බවට අනාවැකි පල වී තිබේ.

(Lanka truth )

Page 387 of 392