V2025

පුවත්

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

අද (22) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙකේ ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් හුදකලා කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බලප්‍රදේශයේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දරාම පාර අද උදෑසන සිට හුදකලා කර ඇත.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පොලිස් බලප්‍රදේශයේ කොටවල ග්‍රාම නිලධාරී වසමද අද උදෑසන සිට හුදකලා කර තිබේ.

මේ අතර, මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයේ පුද්ගලයෙක් කොවිඩ් "ඩෙල්ටා ප්‍රභේදය" ආසාදිතයෙක් යැයි සැකයක් මතුවීම හේතුවෙන්= එම ප්‍රදේශයේ සංචරණ කටයුතු සීමාකිරීම සඳහා පියවර ගෙන තිබේ.

ඒ අනුව අදාළ ප්‍රදේශයෙන් කිසිදු පුද්ගලයෙකුට පිටවීම හෝ ඇතුළුවීම තහනම් කර ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව සමගි කරන සමගියේ යෝජනාව කතානායකට බාරදෙයි !

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා  සමගි ජන බලවේගය පක්ෂය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත අද (22) භාරදී තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල  විසින් විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාරදුන් අතර ඊට සජබ මන්ත්‍රීවරුන් 43ක් අත්සන් තබා ඇත.

මෙම විශ්වාසභංග යෝජනාව කරුණු 10 කින් යුතුය. 

වඩාත් සිත්ගන්නා සුළු කරුණ වන්නේ පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඉල්ලා අස්වෙන්න කියමින් ගම්මන්පිල අමාත්‍යවරයා ට නැගූ චෝදනාවම මේ විශ්වාසභංග යෝජනාවේ ප්‍රධාන කරුණ කරගෙන තිබීමය.

දේශපාලන විචාරකයන් මේ විශ්වාසභංග යෝජනාව විවේචනය කරන්නේ එකිනෙකා කුලල්කා ගන්නා ආණ්ඩුවේ සමගිය ඇතිකිරීමට සමගි ජනබලවේගය ලබාදුන් අවස්ථාවක් බව පවසමින් ය.

IMG 20210622 WA0003

IMG 20210622 WA0005

IMG 20210622 WA0004

IMG 20210622 WA0002

ස්වයංපෝෂිත කතා පැත්තක : සහල් ආනයනයට කැබිනට් අනුමැතිය !

පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් විදේශයන්ගෙන් මෙරටට ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ  වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනය.ආනයන සීමා කිරීමට කියමින් ආණ්ඩුව කහ පවා ආනයනය නැවැත්වූ  අතර එහිදී සඳහන් කර සිටියේ රට ස්වයංපෝෂිත කරන බවයි. 

මේ වන විට කෘෂිකර්මය කාබනික පොහොර වෙත යොමුකරන බව පවසමින් රසායනික පොහොර ආනයනය ද  නවතා ඇත. ඊට හේතු ලෙස කියනු ලැබුවේ වකුගඩු රෝග ඇතුළු රසායනික ද්‍රව්‍ය හේතුවෙන් සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවීම වලක්වන්නට කියාය.

දැන් ප්‍රශ්නය මේ ආනයනය කිරීමට යන සහල් කාබනික පොහොර භාවිතය හරහා සිදුකළ ගොවිතැන් මඟින් ලබාගත් ඒවාද යන්නය.

අනෙක් අතට මතුව ඇති පොහොර අර්බුදය නිසා මෙවර අනිවාර්යයෙන් අස්වනු අඩු වනු ඇති අතර එවිටත් සහල් ආනයනය කිරීමට සිදුවෙයි. ඒ ආනයනය කරන සහල් ද සකසා ඇත්තේ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ද  නැද්ද යන ගැටළුව මතුවෙයි.

ඒ අනුව මේ ආණ්ඩුවේ සිස්ටම් හැදීම  කොහොමද කියනවා නම්, ආහාර ස්වයංපෝෂිත බවත් , කාබනික ගොවිතැන ආශ්‍රිත ආහාර යන්න වෙනුවට එහි ප්‍රතිවිරෝධය ජනතාව වෙත පැමිණෙමින් තිබේ.

අගමැති - මැණික්,ස්වර්ණාභර්ණ අපනයනකරුවන් හමුවේ

මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු විසදීමට රජය අවධානය යොමු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ  අද (21) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් එම අපනයන කරුවන් පිරිසක් සමග අරලියගහ මන්දිරයේදී අද (21)පැවති සාකච්ඡාවකදීය.

අපනයන විනිමය වර්ධනය කිරීම සඳහා සංචාරක ක්ෂේත්‍රය මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අංශයද සැලකිය යුතු දායකත්වයක් ලබා දිය යුතු බව අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් සඳහා සියලු පහසුකම් දැනටමත් ලබා දී ඇති බවත් අපනයනකරුවන්ගේ අලවිය මත පදනම්වූ ආදායම් බදු මෙරටදී විදේශ මුදල් භාවිතා කෙරෙන අවස්ථාවලදී නිදහස් කිරීම කෙරෙහිද අවධානය යොමු කර ඇති බවත් මහින්ද රාජපක්ෂ  පැවසීය.

මෙරට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ලෝ පුරා වඩාත් ප්‍රචලිත කිරීම කෙරෙහි ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී අගමැතිවරයාගේ අවධානය යොමු විය.

මහින්ද රාජපක්ෂ = ජනාධිපතිවරයා වශයෙන් සිටියදී 2015 වර්ෂයේ දී තමන්ට ලබා දුන් සහන පසුගිය රජය අහෝසි කළ බවත් අපනයනය කෙරෙහි සෘජුව බලපාන එම සහන යළි ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවෝ පිරිසක් මෙහිදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ .

අයවැය මගින් අපනයනකරුවන් සඳහා දැනටමත් සහන ලබාදී දී ඇති බවට මෙහිදී පෙන්වා දුන් අගමැතිවරයා එම හන ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේදැයි අවධානය යොමු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය .

විවෘත විශ්වවිද්‍යාලයට උපකුලපති පත්කර ගැනීමත් අවුල් කරගෙන !

ලංකා විවෘත විශ්වවිද්‍යාලය සඳහා නව උපකුලපතිවරයකු පත්කිරීම අර්බුදයට පත්ව ඇති බව වාර්තා වෙයි.

ජාතික ජනබලවේගය නිකුත්කර ඇති නිවේදනයක දැක්වෙන්නේ පුරප්පාඩු වන උපකුලපති ධුරය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයින්ගේ ලැයිස්තුව අත්තනෝමතික ලෙස ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණු නිසා මේ අර්බුදය මතුව ඇති බවයි.

ඒ සම්බන්ධව ජාතික ජනබලවේගය පක්ෂය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

නව උපකුලපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මතුවී ඇති අර්බුදය පිළිබඳව ජාතික ජන බලවේගය දැඩි අවධානයෙන් සිටී.  මෙම තත්වය පැන නැගී ඇත්තේ ජුනි 23 වැනි දින පුරප්පාඩු වන උපකුලපති ධුරය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයින්ගේ ලැයිස්තුව අත්තනෝමතික ලෙස ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බැවිනි.  2020 මැයි 04 වැනි දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ චක්‍රලේඛ අංක 02/2020 හි නියම කර ඇති පරිදි පියවර දෙකක තේරීමේ ක්‍රියාවලියකින් පසුව මෙම කෙටි ලැයිස්තුව සකස් කරනු ලැබ තිබුණි. උත්ප‍්‍රාසාත්මක ලෙස, ජනාධිපතිවරයාගේ අත්තනෝමතික කි‍්‍රයාවෙන් ඇඟවෙන්නේ ඔහුගේ ආණ්ඩුව විසින් හඳුන්වා දුන් ක්‍රමයක් කෙරෙහි ඔහුටම විශ්වාසයක් නොමැති බවයි.  ඊට අමතරව, ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් විශ්වවිද්‍යාල කවුන්සිලයේ ස්වාධිපත්‍යය සහ අධිකාරයද ප්‍රශ්න කෙරේ. ආයතනය පාලනය කිරීමේ වගකීම පැවරී ඇති ඉහළම ආයතනය ලෙස අවසාන කෙටි ලැයිස්තුව තෝරාගෙන එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමු කරනු ලබන්නේ  විශ්වවිද්‍යාල කවුන්සිලය විසිනි.

මෙම අත්තනෝමතික ක්‍රියාව මගින් 1978 විශ්වවිද්‍යාල පනතේ හරය උල්ලංඝනය වන අතර එහි පැහැදිලිවම සඳහන් වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් තමා වෙත ඉදිරිපත් කරන ලද නම් තුනෙන් එකක් තෝරා ගැනීම ජනාධිපතිවරයාගේ යුතුකම බවයි. නැවත තේරීමේ ක්‍රියාවලිය නැවැත්වීමට විශ්වවිද්‍යාල ප්‍රජාව විසින් කරන ලද ඉල්ලීම්වලට ජාතික ජන බලවේගය වශයෙන් අපි සහාය දෙන අතර, අත්‍යවශ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් තවදුරටත් අර්බුදයකට ඇද වැටීමට මඟ නොසලසමින්, ස්ථාපිත පාලන මූලධර්මවලට ගරු කරන ලෙසත්, දැනටමත් පවතින කෙටි ලැයිස්තුවෙන් වහාම ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයෙකු පත් කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු.  මෙම අත්තනෝමතික ක්‍රියාමාර්ගය මගින් අද පැන නැගී ඇති රටේ වැදගත් තනතුරු සඳහා පත්වීම් සම්පුර්ණයෙන්ම දේශපාලනීකරණය කිරීම පිළිබිඹු කරන බව ජාතික ජන බලවේගය තවදුරටත් සඳහන් කරයි. මෙය, විධායකය විසින් වැදගත් රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වයට සහ ස්වාධිපත්‍යයට මැදිහත් වෙමින් ඒවා අඩපණ කරන ආකාරය පිළිබඳ තවත් උදාහරණයක් බව අපි විශ්වාස කරමු. 

රට විවිධ අභියෝගයන්ට මුහුණ දෙන මෙවැනි කාලයකදී, අපගේ රාජ්‍ය ආයතන මෙහෙයවිය යුත්තේ දක්ෂ, ඉහළ සුදුසුකම් ඇති සහ දේශපාලනික වශයෙන් පක්ෂග්‍රාහී නොවන පුද්ගලයින් විසිනි.  

කෙසේ වෙතත්, මෙම අත්තනෝමතික ප්‍රතික්ෂේප කිරීම මගින් උද්ගත වන පණිවිඩය දැඩි බලපෑමක් ඇති කරනු ඇත. එය සුදුසුකම් ලත් සහ දේශපාලනික වශයෙන් මධ්‍යස්ථ අපේක්ෂකයින් වැදගත් රාජ්‍ය තනතුරු සඳහා ඉල්ලුම් කිරීම අධෛර්යමත් කරනු ඇත. මෙබඳු ක්‍රියාවන් රට තුළ දැනට පවතින විවිධ අර්බුද විසඳීමට කිසිසේත්ම හිතකර නොවන අතර, රට තුළ අස්ථාවරත්වය සහ අවුල් සහගත හැඟීම උග්‍ර කරවයි. රජයේ ආයතන කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටෙන හා දුර්වල කරන ක්‍රියාවලින් වැළකී සිටින ලෙස අපි ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ අනෙකුත් වගකිවයුතු සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිමු.

ජාතික ජන බලවේගය

2021. ජුනි 21 දින

ගිලුණු නැව වටා විෂ රසායන තට්ටුවක් !

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ හානියට පත් බහාලුම් නෞකාව වන එම්වී එක්ස්ප්‍රස් පර්ල් හි බහාලුම වටා විෂ රසායනික තට්ටු දිස්වන බවත් ඒවා තෙල් තට්ටුදැයි පැහැදිලිනොවන නමුත් කිසියම් රසායනිකයක් බවත් පාරිසරික හා සමුද්‍ර ජීව විද්‍යාඥ රනිල් නානායක්කාර අදහස් දක්වා තිබේ.

නෞකාව විනාශ වී මුහුදේ ගිළී කොටසක් මතුපිටට පෙනෙමින් තිබෙන අතර සිදුවීමෙන් අනතුරව ඉන් සාගරයට එකතු වූ විෂ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් නැගෙනහිර වෙරළ තීරයේ යාපනය දක්වා වෙරළට මිය ගිය මුහුදු ජීවින්ගේ සිරුරු මේ වනවිට ගොඩගසමින් තිබේ. මේ දක්වා කැස්බෑවුන් 50කට අධික ප්‍රමාණක්ද, ඩොල්පින්, තල්මසුන් ඇතුළු තවත් මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක්ද වෙරළට ගොඩගසමින් තිබේ.

“ශ්‍රී ලංකාවේ දරුණුතම සාගර පාරිසරික ව්‍යසනය” මෙය බවත් පවසන සමුද්‍ර ජීව විද්‍යාඥ රනිල් නානායක්කාර මහතා වැඩිදුරටත් මෙලෙස පවසයි.

“තොරතුරු හා දර්ශන වලට අනුව, රසායන කාන්දු වීමක් ඇති බව මට පෙනෙනවා. මා විශ්ලේෂණය කරන විට ජලය කොළ පැහැති කහ පැහැයට සමාන බැවින් රසායනික දූෂණයක් සේ පෙනේ. සාමාන්‍යයෙන් එවැනි පැහැයක් දිස්වන්නේ රසායනික දූෂණයක් ඇති විට පමණි මීට පෙර අපට අනාවරණය වූයේ එය ‘නයිට්‍රික් අම්ලය’ බවත්, ‘නයිට්‍රික් අම්ලය’ කාන්දු වීම නිසා ජලයේ එවැනි පැහැයක් ඇතිවීමට ඉඩ ඇති බවත් ය. තවත් හැකියාවක් තිබෙනවා විවිධ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වූ විට ඇල්ගී ඇල්ගී පිහාටු වල අසමතුලිතතාවයක් පැවතිය හැකියි. තෙල් කාන්දුවක් ඇති බවට අපට 100% ක් සහතික විය නොහැකියි. මේ දක්වා ලැබී ඇති දර්ශනවල තෙල් කාන්දුවක් නොපෙන්වයි.” යනුවෙනි.

(lanka truth) 

(ජායාරූපය පුවත සඳහා අන්තර්ජාලයෙන් ලබාගත්තකි.  )

ලැජ්ජයි : මහ බැංකු වාර්තාවෙන් සංචිත හලයි !

රජය පසුගිය සතියේ සිට රටේ තුළ පවතින සංචිත ප්‍රමාණය ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙන් ඉවත් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කරන ලද්දේ දිනෙන් දින ශීඝ්‍රයෙන් පහත වැටෙන මෙරට සංචිත පිළිබඳ තොරතුරු මෙලෙස සැඟවීමෙන් රටේ ආර්ථික අර්බුදය වසන් කළ නොහැකි බවයි.

‘ආණ්ඩුව ගිය සතියේ ඉඳලා සංචිත තිබෙන ප්‍රමාණය මහ බැංකු වාර්තාවේ දැන්වීමෙන් ඉවත් කරලා. ආණ්ඩුව ලැජ්ජාවිය යුතුයි. මේ විදිහට කොච්චර කල් රවට්ටන්න පුළුවන් කියලද හිතන්නේ. මැයි මාසයේ සංචිත තිබුණේ ඩොලර් මිලියන හාරදාස් දහඅටයි. එයින් රත්තරන් අයින් කළාහම ඩොලර් මිලියන තුන්දාස් පන්සීය තිහයි.

මහබැංකු වාර්තාවට අනුව ඉදිරි මාස දොළහට සංචිතවල අවශ්‍යතාවය ඩොලර් මිලියන අටදාහකට ආසන්න වෙනවා. එය රජය විසින් ගෙවිය යුතු ණය, හුවමාරු ණය සහ පෞද්ගලික අංශයෙන් ගෙවිය යුතු ණය වශයෙන්.

රජයට මේ මාසයේ ඩොලර් මිලියන දහඅටක් ගෙවන්න තියෙනවා. ජූලි ඩොලර් මිලියන එක්දාස් දෙසිය විසිඅටක්
ගෙවන්න තියෙනවා. අගෝස්තුවේදී මිලියන එකසිය පනස් අටක්. සම්පූර්ණ ඩොලර් මිලියන දෙදාස් තිස්හතරක්
තියෙනවා. ඒ ආණ්ඩුවට විතරක් ඉදිරි මාස හය සඳහා ගෙවීමට ඇති ණය පමණයි. ඉන්පසු සාමාන්‍ය ව්‍යාපෘති
ණය තිබෙනවා. ඒවායේ එකතුව ඩොලර් මිලියන දෙදාස් හයසිය තිහක් විතර වෙනවා. නමුත් අතේ තිබෙන්නේ
තුන්දාස් පන්සීය ගණනක්.’

(මව්රට )

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ගැන විශේෂ නිවේදනයක් !

ඉන්දියාවේ වේගයෙන් ව්‍යාප්ත වූ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිරීගෙන යාමේ දැඩි අවදානමක් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ඒ හේතුවෙන් එය ආසාදනයෙන් වැලකීමට ගත යුතු අත්‍යවශ්‍ය පියවර කිහිපයක් ඔවුන් නිවේදනය කරයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

පසුගිය දිනකදී ශ්‍රී ලංකාව තුළ, ඉන්දියාව පුරා වේගයෙන් පැතිර ගිය, කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගැනීම බොහෝ දුරට කතාබහට ලක්වුණා. මෙතෙක් ලංකාවේ පැවති ප්‍රභේද වලට වඩා සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි විභවතාවයක් පවතින මෙම ඩෙල්ටා ප්‍රභේදය සොයා ගැනීමත් සමග covid පැතිරීම තීව්‍ර දීමේ අවධානමක් ඇතිවෙනවා. එසේ සිදු නොවීමට නම් අප අත්‍යාවශ්‍යයෙන්ම ගත යුතු පියවර කිහිපයක් තිබෙනවා.

අනික් සෑම ප්‍රභේදයක් ම වගේම ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරයාම අවම කිරීමටත් ඉතාමත්ම තීරණාත්මක සාධකය වන්නේ අප විසින් හැකිතාක් අවදානම් අවස්ථා මග හැරීමයි.

1. සෙනග වැඩියෙන් ගැවසෙන ස්ථාන
2. ජනෙල් දොරවල් වසා ඇති හොඳ වාතාශ්‍රයක් නොලැබෙන අවකාශ
3. මිනිසුන් එකිනෙකා ආසන්නයේ ගැවසීමට සිදුවන ස්ථාන
එවැනි අවදානම් ස්ථාන අතරින් ප්‍රධාන වනවා.

ඩෙල්ටා ප්‍රභේදය නිසා ඇතිවිය හැකි අධි වසංගත තත්ත්වයකට රට ගමන් නොකිරීමට නම් වඩාත්ම වැදගත් වන්නේ මෙවැනි ස්ථාන මගහැර සිටීමයි.

යම්කිසි නොවැලැක්විය හැකි හේතුවක් නිසා මෙවැනි ස්ථානයකට යෑමට සිදු වුවහොත්, සියලු ආරක්ෂක පිළිවෙත් අකුරටම ක්‍රියාත්මක කිරීම මත කෙනකුගේ ආරක්ෂාව තීරණය වෙනවා.

1. නිවැරදි පරිදි මුඛ ආවරණ පැළඳීම
2. දෑත් පිරිසිදුව තබා ගැනීම
3. එකිනෙකා අතරේ අවම වශයෙන් මීටර් දෙකක වත් දුර පවත්වා ගැනීම
මේ අතරින් ඉතා වැදගත් වනවා

ඔබට යම් හෙයකින් උණ සෙම්ප්‍රතිශ්‍යා කැස්ස වැනි රෝග ලක්ෂණ කිසිවක් පවතී නම් ප්‍රතිකාර ලබා ගැනීමට මිස වෙන කිසිම දෙයකට නිවසෙන් පිට නොවීමත් වැදගත්. මෙය ඔබගේ සමාජ වගකීමක්.

ඔබ මේ වන විට එන්නත්කරණය සම්පූර්ණ කර ඇති අයකු වුවද, ඔබටත් කොව්ඩි රෝගය වැළඳීමේ යම් අවදානමක් තියෙනවා. එන්නත්කරණයෙන් ලැබුණු ආරක්ෂාව නිසා, ඔබට දැඩි සත්කාර අවශ්‍ය හෝ මාරාන්තික අවස්ථාවකට පත් වීමට ඇති ඉඩකඩ අඩු වුවද, ඔබ විසින් ඔබේ පවුලේ ආදරණීයයන්ට රෝගය සම්ප්‍රේෂණය කිරීමක් සිදුවිය හැකියි.

සංචරණ සීමා වල යම්තාක් දුරකට ලිහිල් කිරීමක් සිදු වන අවස්ථාවකදී, ඉහත උපදෙස් අකුරටම පිළිපැදීම තුලින් ඔබටත් ඔබගේ පවුලේ ආදරණීයයන්ටත් අන් කොවිඩ් ප්‍රභේද වලින් වගේම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙනුත් ආරක්ෂාව සපයා ගත හැකියි.

– HPB

එහෙනම් චමල්ගේ වාරිමාර්ගත් කෘෂිකර්මයට දෙන්න : වාසු ගේමට !

කෘෂිකර්මයට පොහොර අවශ්‍ය නිසා පොස්පේට් සමාගම තිබිය යුත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ නම් ඒ අර්ථයෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද තිබිය යුත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ බවත් එනිසා දැනට චමල් රාජපක්ෂ මහතා යටතේ තිබෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා පැවරිය යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

අමාත්‍යවරයා සිය අමාත්‍යංශයේ මාධ්‍ය හමුවක අදහස් දක්වමින් මේ බව සඳහන් කළ අතර එහිදී වත්මන් ආණ්ඩු බලය හොබවන සන්ධානය  නියෝජනය කරන්න සුළු පක්ෂ සිටින්නේ පීඩනයෙන් බවත් පැවසීය. 

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමතිවරුන්ට ඇතිකර තිබෙන තත්ත්වයන් යුක්තිසහගත නැති බවද පෙන්වාදුන් වාසුදේව අමාත්‍යවරයා විමල් වීරවංශ මහතාගේ යටතේ තිබූ පොස්පේට් සමාගම අලාභ ලබන තත්ත්වය සිට ලාභ ලබන තත්ත්වයට ගෙනැවිත් තිබියදී එය ඉවත් කිරීම කුඩා පක්ෂ මත ඇති කරන ලද පීඩනයක් හා සිත් රිදවීමක් යයිද පැවසීය.

දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක් හෙට (21) සිට LOCKDOWN…

හෙට (21) අලුයම 4 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී කොට්ඨාස 24ක්  හුදකලා කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  පවසයි.

එලෙස හුදකලා කරනු ලබන ප්‍රදේශ ලැයිස්තුව පහතින්

1

2

සංචරණ සීමා ඉවත් නොකරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලයි

හෙට (21) දිනයේ සංචරණ සීමා ඉවත් නොකර තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දී ඇත්තේ දින කිහිපයකට හෝ සංචරණ සීමා ඉවත් කිරීමෙන් අප්‍රේල් මාසයේ පැවති දරුණු තත්ත්වයට රට යළි ගමන් කිරීමේ අවදානමක් නිර්මාණය වනු ඇති බවය.

පවතින තත්ත්වය හමුවේ සංචරණ සීමා ලබන 28 වෙනි දින දක්වා හෝ දීර්ඝ කරන ලෙස සිය සංගමය මීට පෙර ඉල්ලීමක් කර තිබූ අතර ලබන 21 වනදා සිට 23 වනදා දක්වා දින කිහිපයක් සංචරණ සීමා ඉවත් කර යළි පැනවීමේ පදනම කුමක් ද යන්න පැහැදිලි නොවන බවද ඔවුන් පවසයි.

සංචරණ සීමා ක්‍රියාත්මක වර්තමානයේ ද දෛනිකව නව ආසාදිතයින් 2,000 ඉක්මවූ සංඛ්‍යාවක් සහ මරණ 50 ඉක්මවා වාර්තා වන බවත් ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ද මෙරට සමාජයෙන් හමුවීමෙන් පවතින අවදානම තවදුරටත් ඉහළ යන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් මෙම තීරණාත්මක මොහොතේ සංචරණ සීමා ඉවත් කිරීමකින් තොරව තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

එසේ නොවුනහොත් සති තුනක කාලයක් සංචරණ සීමා ක්‍රියාත්මක කරමින්, වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකළ කැපකිරීම ප්‍රතිඵල රහිත වනු ඇති බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.

මේ අතර සංචාරණ සීමා ඉවත් කිරිමෙන් පසුවද ජනතාව නිසි මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ  ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර නිවසින් බැහැරව නොයන ලෙසය.

(දෙරණ)

ආණ්ඩුව අභ්‍යන්තරයේ කුමණ්ත්‍රණයක් : ශ්‍රිලනිප මහ ලේකම් අනාවරණයක් !

ආණ්ඩුව අභ්‍යන්තරයේ ක්‍රියාත්මක කුමණ්ත්‍රණයක් සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය  දයාසිරි ජයසේකර අවධාරණය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධව සිටින සෙසු පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් කිරීම එම කුමන්ත්‍රණ යැයි ද ඇමැතිවරයා පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර ආණ්ඩුව බිහි කිරීමට ශක්තිය දුන් පක්ෂ නායකයන් කැබිනෙට්ටුවෙන් ඉවත් කිරීමට එම පක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත් කිරීමට සැලසුමක් සැලසුමක් ඇතැයි ද පැවසූ ඔහු මෙයාකාරයට ගියොත් අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙම තත්ත්වය අත් බවද පෙන්වාදෙයි.

ඉන්ධන මිල වැඩි කරන ලද්දේ උදය ගම්මන්පිල අමාත්‍යවරයාගේ තනි කැමැත්තෙන් නොවන බවත්, තෙල් මිල ඉහළ දැමීම අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ  ආණ්ඩුවේ තීරණයක් බවද කී අමාත්‍යවරයා ගම්මන්පිල ට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය මෙම ආණ්ඩුවේ දෙපාර්ශවයක් අතර ඇති මතයෙන් භේදය වාසි ලබාගැනීම සඳහා විපක්ෂයේ සැලසුමක් යයිද පැවසීය.

තෙල් මිළ වැඩි කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 785 ක් ගන්නද?

නොබෝදා මුදල් අමාත්‍යංශයත් ජනාධිපති කාර්යාලයත් බලශක්ති අමාත්‍යංශයත් ඒකාබද්ධව මෑත ඉතිහාසයේ කරන ලද වැඩිම තෙල් මිළ ඉහල දැමීම කරන ලදී.
 
එය බලශක්ති ඇමතිගේ ක්‍රියාවක් ලෙස හුවා දක්වන්නට බලයේ සිටින පොදු ජන පෙරමුණ උත්සාහ කලත් පැය 24 ක් නිහඬව සිට ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ රජයේ ජීවන වියදම් අනු කමිටුව විසින් ගන්නා ලද තීරණයක් මත තෙල් මිළ වැඩි කිරීමට කටයුතු කරන ලද බවයි. 
 
මේ සම්බන්ධව තීරණය ගත් කමිටු රැස්වීමට ජනාධිපතිතුමා අගමැතිතුමා නාමල් රාජපක්ෂ ඇමතිතුමා සහ තවත් අමාත්‍යායවරු කිහිප දෙනෙකු සහ උසස් නිලධාරීන්ද සහභාගි වූ අතර  තෙල් මිළ වැඩි කිරීමේ නාටකයේ පොතේ ගුරාගේ කාර්යය පමනක් බලශක්ති ඇමති ගම්මන්පිල  විසින් කරනු ලැබූ අතර ඉන් පසුව එය නාට්‍යානුසාරයෙන් ජනතාව වෙත ගෙන එන ලදී.
 
 රජයට ඩොලර් නොමැති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මහා පරිමාණයෙන් පාඩු ලබන බව ඒ නිසාම රාජ්‍ය බැංකු දෙක මූල්‍ය අවදානමට   ලක්ව ඇති බව ආදි කී නොකී කතා  රාශියක් ජනගත කරන ලදී.
 
එහෙත් මේ නිදහසට කියන කාරනා සියල්ලම අර්ධ සත්‍යක් පමණි.
 
මෙම තීරනයත් සමග ආන්ඩුවේ මධුසමය  අවසන් වී ඇති බවත් සෞභාග්‍යයේ රජයේ පශ්චාත් කොරෝනා ආර්ථික  ගමන් මඟ ආරම්භ වී ඇති බව ජනතාව තේරුම් ගත යුතුය.
 
රජයේ නව දැක්ම කුමක්ද?
 
මීට මාස කිහිපයකට  පෙර අග්‍රාමාත්‍ය / මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ  ප්‍රකාශ කළේ මොන තරම් බාධක පැමිණියත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුපස තම රජය නොයන බවයි. 
 
ඔවුන්ගේ කොන්දේසිවලට යට වී ජනතාව අපහසුතාවයට පත් කරන තීන්දු තීරණ නොගන්නා බවයි.
 
එහෙත් ලෝකය වටේම ඩොලර් මිලියන 100, 200 හෝ ණය පහසුකම් සොයා ගියත් ,හැකි තරම් දුරට ආනයනයන් සඳහා සීමාවන් දැමුවත් ඉදිරියට යාමට නොහැකි බව දන්නා රජය  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලංකාවට ලබා ගත  හැකි නය සීමාව පිලිබද සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඩොලර් මිලියන 785 ක ණය මුදලක් ලබා  ගැනීමට කටයුතු කරමින් සිටින බව නොරහසකි.
 
යහපාලන රජය බලයට පත් වූ විගසම ඒ අවස්ථාවේ තිබූ විදේශ සංචිත ශක්තිමත් කර ගැනීමටත් විදේශ ණය ගෙවීම ආදිය සඳහාත් ඩොලර් මිලියන 1300 ක ණයක් ගත් බව අප දන්නා කාරුණකි.
 
ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට යහපාලන රජයට සිදුවිය.
 
රාජ්‍ය ආයතනවලට බඳවා ගැනීම් සම්පූර්ණයෙන් නතර කිරීමට සිදු වූ අතර අප්‍රිකාවේ ගානා රාජ්‍ය වෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වා දෙන ලද ආදායම් බදු පණත ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවට හඳුන්වා දීමත් සිදු විය. උපයන විට ගෙවීමේ සිට ලක්ෂ 100,000 කට වඩා ආදායම් ලබන සෑම අයෙකුටම ස්වයංක්‍රීයව බදු ලිපි ගොණුවක් විවෘත විය. රුපියල් බිලියන 1000 මට්ටමක  තිබූ රාජ්‍ය ආදායම 2018 වන විට රුපියල් බිලියන 1800 දක්වා ඉහළ ගියේය.
 
ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  කොන්දේසි ක්‍රියාත්මක කිරීම නිසාය.
 
ණය හෝ අත්තිකාරම් ලබා දී කොන්දේසි පණවන පුරුද්දක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නැත. මේ පූර්ව කොන්දේසිය නිසා ණය මුදල ලබා දීමට  පෙර ආර්ථිකය  පාලනයට නතු කිරීම, අනවශ්‍ය වියදම් කපා හැරීම ,බදු අනුපාත ඉහළ දැමීම, සහනාධාර කපා හැරීම යන සියල්ල කිරීමට රජයට සිදුවනු ඇත. එසේ කිරීමට රජය අපොහොසත් නම් ඩොලර් මිලියන 785 ක ණය මුදල නොලැබෙනු ඇත.
 
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේනි ගත කිරීම මේ වන විට. CCC මට්ටමට පහල දමා ඇත. රටක් ඉදිරියට යාමට ආයෝජන ආකර්ශනය කර ගැනීමට නම් මේ දර්ශක නැවත සකසා ගත යුතුය.
 
අවම වශයෙන් දැනට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින ඩොලර් සංචිතය ඩොලර් මිලියන 4.3 සිට අඩුම වශයෙන් මිලියන 8.6 ක ප්‍රමාණයකට ඉහළ නංවා ගත යුතුය.රජයේ වියදම් අඩුකරගෙන පෞද්ගලික අංශය ශක්තිමත් කිරීමට සිදුවනු ඇත.
 
සිදුවිය හැක්කේ කුමක් ද?
 
රජයටත් බදු ආදායමක් ලැබෙන පරිදි ලෝක වෙළඳපළේ මිළට සමාන්තරව තෙල් මිළ වැඩි කළාක් මෙන් ඉදිරියේදී ගෑස් මිළ ඉන්පසු ජලය විදුලිය, දුරකථන සේවා යන ගාස්තු වැඩි රාජ්‍ය අංශය  කර සංවිධානයට ලක් කිරිමට සිදුවනු ඇත.
 
මේ හා සමානව පෞද්ගලික අංශය විසින්ද  ප්‍රවාහන ගාස්තු, මගී ප්‍රවාහන ගාස්තු ආහාර ද්‍රව්‍ය මිළ, ගුවන් ගමන් ගාස්තු හෝටල් ගාස්තු ආදී සියලුම සේවා මිළ ඉහළ දමනු ඇත.
 
එබැවින් ආන්ඩුවේ මේ ජිමික්ස් දෙස බලා සිටිනවා වෙනුවට ‍රටේ ජනතාව මේ සැබෑ ආර්ථික අර්බූදයට මුහුණදීමට පෙළ ගැසිය යුතුව ඇති බව පමනක් අවධාරණය කරමු.
 
විශේෂ ලියුම්කරුවකු විසිනි 

පොල් මිල ගැසට් පත්‍රය ඉවතට !

පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 

එම අධිකාරිය විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (18) ප්‍රකාශයට පත් කර ඇත. 

2020 සැප්තැම්බර් 25 වන දින අංක 2194/73 දරණ ගැසට් පත්‍රය මඟින් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා තිබුණි.

එම ගැසට් නිවේදනයට අනුව වට ප්‍රමාණය අඟල් 13 වැඩි පොල් සඳහා රුපියල් 70ක උපරිම සිල්ලර මිලක් ද, වට ප්‍රමාණය අඟල් 12 – 13 අතර පොල් සඳහා රුපියල් 65ක් සහ වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් සඳහා රුපියල් 60 උපරිම සිල්ලර මිලක් ද නියම කළේය.

කෙසේ වෙතත් ගැසට් පත්‍රයේ  මිලට වඩා ඉතා අධික මිලකට වෙළදපොලේ පොල් අලෙවි විය.

පාසල් සිසුන්ට යහපාලනය නොමිලේ දෙන්න ගිය ටැබ් ! මේ ආණ්ඩුවෙන් ගෙවීමේ ක්‍රමයට !

යහපාලන ආණ්ඩුව විසින් පාසල් සිසුවියන් වෙනුවෙන් නොමිලේ ටැබ් පරිගණක ලබාදීමට එවකට විපක්ෂයේ සිටි ගම්මන්පිල වැනි මන්ත්‍රීවරුන් විරුද්ධ විය.

ඒ ටැබ් භාවිතය නිසා ඇතිවන දරුණු ලෙඩ රෝග ගැන පවා බිල්ලන් මවමින්ය.

නමුත් අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසන්නේ පාසල් සිසු සිසුවියන්ට සහනදායක ක්‍රමයකට ‘ටැබ්’ පරිගණක යන්ත්‍ර ලබාදීමේ වැඩසටහනක් ළඟදීම ආරම්භ කරන බවයි.

අධ්‍යපන අමාත්‍යාංශයේ ‘ඊ තක්සලාව’ වැඩසටහන් සමඟ එක්ව මෙම ටැබ් පරිගණක පාසැල් දරු දැරියන්ට ලබා දෙන බවද ඔහු පැවසීය.

එමෙන්ම දත්ත නොමිලේ පහසුකම් ලබා දෙමින් අධ්‍යාපන කටයුතු වඩාත් පහසුවෙන් කරගෙන යාමේ හැකියාව මෙමගින් හිමිවන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

එදාා ආණ්ඩුවේ ප්‍රතිපත්තියට විරුද්ධ වූ ගම්මන්පිල අමාත්‍යවරයා අද නිහඬය.

ඒකාබද්ධ විපක්ෂය ලෙස එදාා සිට් සියල්ලන් නිහඬය.මේ ආණ්ඩුවේ සේරම වැඩ රිවර්ස් නිසා කියන දේවල් කෙරෙයිද නැද්ද දන්නේ නැත.

නමුත් මේවා කෙරෙන්න ඕන වැඩය.

අධ්‍යයනයට වඩා පොලිසියට වැඩි බරක් !

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අලුතින් පොලිස් ස්ථාන 197ක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

මහජනතාවට පොලිස් පැමිණිලි කිරීමේදී ඇතිවන අපහසුතා මඟහරවා ගනිමින් පහසුවෙන් පැමිණිලි කිරීම සඳහා නව පොලිස් ස්ථාන ආරම්භ කිරීමට නියමිත බවයි. එම වැඩපිළිවෙල යටතේ පොලිස් ස්ථාන 57ක් දැනටමත් ස්ථාපිත කර ඇති බවත්, ඉතිරි පොලිස් ස්ථානද හැකි ඉක්මනින් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ඇමතිවරයා පවසයි.

නව පොලිස් ස්ථාන හරහා මහජනතාව සමඟ පොලිසිය වැඩි වැඩියෙන් සම්බන්ධ වන විට අපරාධ කිරීමට සමාජයේ පවතින ඉඩ ඇහිරෙන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ඊයේ (18) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

සමාජයක අපරාධ අඩු කිරීමටත් නීතිගරුක, විනයගරුක, ශික්ෂණයක් සහිත පුරවැසියන් බිහි කිරීමටත් අපේ රටේ අධ්‍යාපන පද්ධතිය මඟින් විශාල කාර්යභාරයක් ඉටුකරනු ලබයි. කොවිඩ් වසංගතය රට පුරා පැතිරීම හමුවේ මෙරට පාසල් අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනයද කඩා වැටී ඇති අතර ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් අහිමි වීමෙන් සිසුන් මෙන්ම දෙමාපියන්ද අතිශය පීඩාවට පත්ව සිටී. එවන් පසුබිමක අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කරනවා වෙනුවට ආණ්ඩුව අලුතින් පොලිසි කොපමණ ප්‍රමාණයක් ඉදිකරනු ලැබුවත් මහජන ආරක්ෂාව, නීතිගරුක සමාජයක් ගොඩනැගිය නොහැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

(Lanka truth )

පොස්පේට් නැතිවුණ විමල් බුකියේ තැබූ සටහන මෙන්න !

විමල් වීරවංශ ගේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබූ ලංකා පොස්පේට් සමාගම එම අමාත්‍යාංශයෙන් ඉවත් කර මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වන  කෘෂිකර්ම අමාත්‍යංශය යටතට පත්කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ගැසට් නිවේදනයක් හරහා මේ සිදුව ඇති අතර ඊට  පසු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ  ඒ සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිනුමේ  සටහනක් තබා තිබේ.

එම සම්පූර්ණ සටහන මෙසේය.

1974 දී ආරම්භ කල ලංකා පොස්පෙට් ආයතනය එකල පැවතියේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය යටතේයි. ජාතියට අගන දායාදයක් වූ එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව ලංකා පොස්පේට් සමාගම 1991 වසරේදී සමාගමක් බවට පත්කොට ජාතික ආර්ථිකය ශක්තිමත් කල හැකි පරිදි යොදාගැනීමට සැළසුම් කොට තිබූ වටිනා සම්පතක්. 2000 වසරේදී පෞද්ගලික සමාගමකට කුණු කොල්ලයට විකිණීමට යෝජිතව තිබු ලංකා පොස්පේට් සමාගම රජරට ජනතාවගේ සහ සමස්ථ ශ්‍රී ලාංකීය දේශමාමක ජනතාවයේ කැපවීමෙන් ඓතිහාසික නඩු තීන්දුවක් මගින් නැවත රාජ්‍ය ව්‍යවසායක් බවට පත්විය. එදා පටන් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ලංකා පොස්පේට් සමාගම 2015 යහපාලන ආණ්ඩු සමයේ දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍යවරයා යටතේ කෘෂිකර්ම අමාත්‍යංශයට ගැසට් කොට තිබුණි. ඊට හේතු වුවේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ දිස්ත්‍රික්කයේ මෙන්ම ඔහු නියෝජනය කල ආසනයේම ලංකා පොස්පේට් සමගම පිහිටා තිබීමයි.

2015 සිට 2020 වසර දක්වා ක්‍රමයෙන් පාඩු ලබන තත්වයට පත්වෙමින් තිබූ ලංකා පොස්පෙට් සමාගම 2020 අවසන් කාර්තුවේ සිට කර්මාන්ත අමාත්‍යංශය යටතේ අමාත්‍යවරයා ලෙසත්, ලංකා පොස්පේට් සමාගමේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ කැපවීම නිසාත් නැවත ලාබ ලබන තත්වයට ගෙන ඒමට හැකියාව ලැබුනා. එප්පාවල පොස්පේට් සමාගමේ නව සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් වීමෙන් පසු අමාත්‍යාංශ ලේකම්තුමන් ද සහභාගී කරවාගෙන සාකච්ඡා ගණනාවක් පවත්වා එප්පාවල පොස්පේට් නිධියෙන් රටටත්, ගොවි ජනතාවටත් උපරිම ඵලයක් ලබා දීම පිණිස කටයුතු කළා. ඒ අනුව එප්පාවල පොස්පේට් පොහොරවලට වටිනාකමක් එකතු කිරීමත්, කාබනික පොහොරවල ඇති පොස්පරස් ඌනතාව වැළැක්විය හැකි ‘එප්පාවල රොක් පොස්පේට් (ඊ.ආර්.පී) ඇසුරුමක්’ හඳුන්වාදීමටත් තීරණ කළා. එප්පාවල රොක් පොස්පේට් වෙනත් පොහොර නිෂ්පාදකයන්ට තොග වශයෙන් ලබා දීම නතර කර ඊට අගයක් එකතු කර ‘සුපර් පොස්පේට්’ පොහොර නිෂ්පාදනය කර ලංකා පොස්පේට් සමාගම මගින්ම අලෙවි කිරීම ආරම්භ කිරීම ද එම කාලවකවානුව්දී සිදු උනා.

කොවිඩ් වසංගතයත් සමඟ සෞභාග්‍යයේ දැක්ම අනුව ගෙවතු වගා සංග්‍රාමයක් අරුඹූ මොහොතේ කාබනික පොහොර සඳහා ඉතා විශාල ඉල්ලුමක් ඇතිවූ අවස්ථාවේ අපට අපේ දෙවන තීරණය කඩිනමින්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබුණා. ‘අපිට පොහොර අපිම හදමු’ තේමාව යටතේ කාබනික පොහොර කිලෝ 20කට එකතු කළ හැකි එප්පාවල රොක් පොස්පේට් (ඊ.ආර්.පී) කිලෝ 01 ක පැකට්ටුවක් ‘එප්පාවල පොහොර’ නමින් හඳුන්වා දීම සිදුකිරීමටත් අපට හැකියාව ලැබුනා. සාමාන්‍ය වෙළදපොළේ මිල රුපියල් 30ක්ව පැවති එම පොහොර අපි ලබාදුන්නේ රුපියල් 10 කට. ඒ අනුව අපට රසායනික පොහොර වෙනුවට ‘සවිබල ගැන්වූ කාබනික පොහොර’ ගොවි ජනතාවට හා ගෙවතු වගාවෙහි නිරත පිරිස්වලට ලබා දීමට හැකිව ලැබුනා. කාබනික පොහොරවල නයිට්‍රජන් හා පොටෑසියම් සංඝටක ප්‍රමාණවත් ලෙස තිබෙන නමුත් පොස්පරස් සංඝටකය අවම වීම අප හඳුන්වා දුන් එප්පාවල පොහොර මිශ්‍රණයෙන් මඟ හරවා ගැනීමේ හැකියාව ලැබුනා. එමගින් ආනයනික පොහොර සදහා වසරකට වැයවන රුපියල් බිලියන 33ක මුදල රට තුළම ඉතිරි කර ගැනීමේ ඉඩකඩ නිර්මාණය වීමට මෙම තීන්දුව මූලික පසුබිම සැකසුවා.

එතැනින් නොනැවතුණු ලංකා පොස්පේට් සමාගම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් එක් කරගනිමින් ”ජෛව හරිත පොස්පේට්” නිෂ්පාදනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය ඇරඹීමට තීරණය කොට ඒ වෙනුවෙන් අවශ්‍ය පර්යේෂණ කටයුතු ඇතුළු නිෂ්පාදනයට අවශ්‍ය සියලු පසුබිම සකසා අවසන් කොට ජනගත කිරීමට සුදානමින් සිටියත් කොවිඩ් අර්බුධය සමග අවස්ථා කිහිපයකදී එය ප්‍රමාද උනා. නමුත් මේ මස 23 වනදා අමාත්‍යාංශයේදී ”ජෛව හරිත පොස්පේට්” පොහොර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සහ පවත්වාගෙන යෑම පිළිබදව එකගතා ගිවිසුම අත්සන් තැබීම සිදු කිරීමට නියමිතව තිබුනා.

කර්මාන්ත ඇමතිවරයා වශයෙන් වසර එකහාමකට ආසන්න කාලයක් ලංකා පොස්පේට් සමාගමට ඔවුන්ගේ කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය සහයෝගය හැකි හැම ආකාරයෙන්ම ලබාදුන් අතර එම ආයතනයේ පරිපාලනයට හෝ ක්‍රියාවලියට කිසිදු ආකාරයේ බලපෑමක් සිදු නොකර සාර්ථකව ආයතනය ගෙන යාමට සහයෝගය ලබා දුන්නා. අඩුම තරමේ එම කාලය තුළ කිසිදු නව සේවකයෙක් හෝ එම ආයතනයට පත් නොකළ අතර ආයතනය තුල පවතින ක්‍රියාදාමයට කිසිදු බලපෑමක් නොකිරීමට පියවර ගනු ලැබුවා. ඊට අමතරව ලංකා පොස්පේට් සමාගම සමග එක්ව ඉදිරි වසර කිහිපය තුළ නව ව්‍යාපෘති කිහිපයක්ම ඇරඹීමට සැළසුම් කරමින් තිබුනා.

කුමන අමාත්‍යාංශයක් යටතේ වුවද ජාතියට දායාදයක් වූ, අනාගතයට ආයෝජනයක් වූ එප්පාවල පොස්පේට් නිධිය සහ ලංකා පොස්පේට් සමාගම වඩා වඩාත් දියුණු වෙමින් සාර්ථකත්වයට පත්වෙනු දැකීම මාගේ අභිප්‍රායයි. අප විසින් 2020/2021 වසරේ ලාභ ලබන තත්වයට ගෙන ආ ලංකා පොස්පේට් සමාගම ඉදිරියටත් ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායක් ලෙස පවත්වාගෙන යනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු..!

– විමල් වීරවංශ (කර්මාන්ත අමාත්‍ය)

වීරවංසගේ කෑල්ලක් මහින්දානන්ද යටතට..

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබූ ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යංශය යටතට පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් ඊයේ (18) දිනයේදී සිදු කර තිබෙන්නේ අංක 2232/39 අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් මෙම පැවරීම සිදු කර තිබේ.

මෙතෙක් එම ආයතනය අයත්ව තිබුණේ වීරවංස ඇමතිවරයා යටතේ ඇති කර්මාන්ත අමාත්‍යාංශයට වේ.

නව පැවරීමත් සමඟ එම ආයතනය මහින්දානන්ද ඇමතිවරයා යටතේ ඇති කෘෂිකර්ම අමාත්‍යංයට අයත් වේ. මෙම පැවරීම ජුනි මස 17 වන දින සිට ක්‍රියාත්මක බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

එසේම ඊයේ දිනයේ කර්මාන්ත අමාත්‍යංයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබූ අනූෂ පැල්පිට මහතා එම තනතුරින් ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩු වූ තනතුර සඳහා වරයා අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබූ හිටපු හමුදාපතිවරයකු වන දයා රත්නායක පත් කර ඇති බවයි.

දයා රත්නායක  ජනාධිපතිවරයාගේ සමීපතමයකු ලෙසද වාර්තා වේ.

ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය පහත දැක්වේ.

0111

මේ පිළිබද ඇමති වීරවංශ ඔහුගේ මුහුණු පොතේ පල කර ඇති පෝස්ටුව පහත පළවේ.

Screenshot 20210619 141925 Facebook

Screenshot 20210619 142130 Facebook

Page 383 of 386