V2025

පුවත්

සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව වෙනස් වෙයි

දැනට පවතින සංචරණ සීමාවන් අද(10) සිට ක්‍රියාත්මකවන පරිදි තවදුරටත් ලිහිල් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් දැනට පවතින අන්තර් පළාත් සංචරණ සීමා කිරිම් තවදුරටත් දින 14ක් සඳහා නොවෙනස්ව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන  පවසයි.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබ තිබේ,

ඒ අනුව,

අවමංගල්‍යයකදී දේහය මුදාහැර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු කළ යුතු අතර සහභාගි විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 50කි.

මංගල උත්සව සඳහා අවසර පවතින නමුත්, ශාලාවේ ආසන සංඛ්‍යාවෙන් 25% ක් හෝ සහභාගි විය හැකි උපරිම පිරිස 150කි.

පූජනීය ස්ථාන විවෘත කිරීමට අවසර දී ඇත.

කර්මාන්ත ශාලා එනම්, ඇඟළුම් හා අනෙකුත් කර්මාන්ත විවෘතව පවතී.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ සම්පූර්ණ නව මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ.

sanchara 10

වාණිජ බැංකු ණයවර ලිපි විවෘත කිරීම නවත්වලා - මංගල

වාණිජ බැංකු විසින් ණයවර ලිපි විවෘත කිරීම නතර කර ඇති බවත් ඩොලර් හිඟයට පිළියම මේකද යනුවෙන් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රශ්න කරයි.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ බව ප්‍රශ්න කර සිටින්නේ අද (09) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් වන අතර මේ වන විට ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ දොරකොඩ ඇති බවත් ඔහු එහිදී අවධාරණය කර ඇත.

අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

වාණිජ බැංකු ණයවර ලිපි නිකුත් කිරීම නවත්වලා !

මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු බොහොමයක් විසින් භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි (Letters of Credit) විවෘත කිරීම නතර කර ඇති බව වාර්තා වෙයි. සමහර වාණිජ බැංකු ණයවර ලිපි සඳහා අයදුම් පත් භාර ගන්නා නමුත් ණයවර ලිපි නිකුත් කිරීම දිනෙන් දින කල් දමන බව ද වාර්තා වෙයි.

රාජ්‍ය බැංකු විසින් රජයට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කරන අතර දේශීය කර්මාන්ත සඳහාත්, අපනයන පාදක කර්මාන්ත සඳහාත් අමුද්‍රව්‍ය හෝ අමතර කොටස් ආනයනය කිරීම සඳහා වානිජ බැංකු විසින් ණයවර ලිපි නිකුත් නොකිරීම ශ්‍රී ලංකා ආර්ථිකය ආගාධය කරා ගෙනයාමක් බව සඳහන් කළ යුතුය.

2020 මැද භාගයේ සිට රජය විසින් දිගින් දිගටම ආනයනයන් සීමා කිරීමත් විදේශ විනිමය සීමා කිරීමත් මෙම රජයේ ප්‍රතිපත්තිවල පොදු ලක්ෂණයක් විය.

මෙම ගැටළුව සඳහා ස්ථීර විසඳුමක් ලබා නොදුනහොත් ඉදිරි මාස තුන තුළ රට පුරා විශාල භාණ්ඩ හිඟයක් ඇති වීමත් නිෂ්පාදන කර්මාන්තශාලා අඩපණ වීමෙන් අපනයනය භාණ්ඩ කලට වෙලාවට නැව්ගත කිරීමට නොහැකි වීම විදේශ විනිමය සංචිතය කෙරෙහි තව දුරටත් දැඩි බලපෑමක් ඇති කරනු ඇත.

විදෙස් අධ්‍යාපනය ලබන දරුවෙකුට සල්ලි යවන්නත් බැරි තත්ත්වයක් !

සරලව කිවහොත් කර්මාන්ත ශාලාවකට අවශ්‍ය ඩොලර් 10,000 ක් වටිනා අමතර කොටස් ආනයනය කිරීම සඳහා විදුලි හුවමාරු (Telegraphic Transfer) පණිවිඩයක් යැවීමට පවා සමහර වාණිජ බැංකු ප්‍රතික්ෂේප කිරීම පුදුමය දනවන කරුණකි.

ඒ අතර විදේශයන් හි අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා විදේශ මුදල් ප්‍රේෂණය කිරීමද සමහර බැංකු විසින් ප්‍රතික්ෂේප කිරීම දෙමව්පියන්ගේ කනස්සල්ලට හේතු වී ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය රජය බලයට පත්වී වැඩ ඇරඹීමත් සමගම 2020 ජූලි 16 දින අංක 2184/21 ගැසට් නිවේදනය මඟින් භාණ්ඩ වර්ග 175 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ආනයනය කිරීමේදී දින 90 සහ දින 180 වේ ණය සීමාවන් යටතේ පමණක් ණයවර ලිපි විවෘත කිරීමට මුදල් ඇමතිවරයා විසින් නියෝග කළ අතර භාණ්ඩ වර්ග රාශියක් මෙරටට ආනනය කිරීම තහනම් කරනු ලැබුවේද වර්ථමාන මුදල් ඇමතිවරයා විසින් අත්සන් කරනු ලැබූ ගැසට් නිවේදනයන් මඟිනි.

මහ බැංකුව නිහඬයි !

අප ඉහත කී ණයවර ලිපි විවෘත කිරීම සඳහා කරන ලද නියෝගය අනුව ණය පදනම යටතේ (Usance Letters of Credit) ණයවර ලිපි විවෘත කිරීමේ නියෝගය නැවත කැඳවා බැංකුවලට අවශ්‍ය නම් ක්ෂණික නැතහොත් දුටුවන ණයවර ලිපි (Sight Letters of Credit) විවෘත කිරීමට පසුගිය දා වාණිජ බැංකුවලට බලය දුන්නත් වාණිජ බැංකුවල විදේශ විනිමය සංචිත නොමැති නිසා තම ගණුදෙනු කරුවන්ගේ ණයවර ලිපි විවෘත කිරීම ප්‍රතික්ෂේප කරන අතරම ඉතා හොඳ ගණුදෙනු කරුවන් හට ඉදිරි දින 90 හෝ 120 හෝ 180 දින කීපය තුළ ගෙවන ආකාරයට ණයවර ලිපි සුළු ප්‍රමාණයක් විවෘත කරනු ලබන බව ද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවද මේ සම්බන්ධයෙන් අනුගමණය කරන්නේ නිහඬ පිළිවෙතකි.

කිසිවක් කර කියාගත නොහැකිව මේ සඳහා එක් විසඳුමක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විණිජ බැංකුවලට සහ අනෙකුත් මූල්‍ය ආයතනවලට විදේශ ණය ලබා ගැනීමේ බලය පවරා ඇත.

රජයට හෝ ශ්‍රී ලංකා මහ බැංකුවට විදේශ විනිමය ලබා ගැනීමට නොහැකි අවස්ථාවක වාණිජ බැංකුවලට ඒ කාර්යය කළ හැකිද යන්න පිළිබඳ තීරණය කිරීමට කලක් ගත වනු ඇත.

ගජ මිතුරු සත්කාර !

තවද පසුගිය මාස 18 ක කාලයක් තුළ දී බිත්ති සහ බිමට අතුරණ ටයිල් වර්ග නානකාමර සෞඛ්‍යාරක්ෂිත උපකරණ, ටයර්, මෝටර් වාහන, පොහොර, කෘෂි රසායන ආදී භාණ්ඩ රාශියක් ආනයනය තහනම් කර තම ගජමිතුරු ව්‍යාපාරිකයන්ට කෝටිපතියන් වීමේ අවස්ථාව ලබාදුන් බව රටම දන්නා කරුණකි.

ඉන් නොනැවතී සීනි, පාම් තෙල් මෝටර් වාහන අමතර කොටස් ආනයනය බලපත්‍ර ක්‍රමයට නතුරකර විදේශ විනිමය ඉතිරි කර ගැනීමට උත්සාහ කළත් අද ඒ සියල්ල ව්‍යාර්ථ වී ඇත.

2019 අග භාගයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මේ රට භාර දෙන අවස්ථාවේ එනම් 2019 වර්ෂයේදී රජයේ ආදායම රුපියල් බිලියන 1895 ක් විය. මෙම රජය බලයට පත් වූ විගස හුදු දේශපාලන වාසිය සඳහාත් ඔවුන්ගේ ව්‍යාපාරික සගයන් පිනවීම සඳහාත් රුපියල් බිලියන 600 ක් එනම් සමස්ථ ආදායමෙන් තුනෙන් එකක් පමණ බදු සහන ලබා දීම මෙම අර්බුදයට ශ්‍රී ලංකාව පත්කරන ලද මූලික හා ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දිය යුතුය.

දැනුමක් පළපුරුද්දක් නැති ඇමතිලා සහ නිලධාරීන් !

ක්‍රමානුකූලව හැඩ ගැසෙමින් තිබූ ආර්ථික මර්මස්ථාන පාලනය කිරීම සඳහා පළපුරුද්දක් නොමැති නිලධාරීන් සහ දැනුමක් නොමැති ඇමතිවරුන් පත් කෙරුණි. කළමනාකරණ අකාර්යක්ෂමතාවය සහ ප්‍රතිපත්ති අතර ගැටුම්කාරී තත්වයන් ඇතිවීම නිසා රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සියල්ල මහා පරිමාණයෙන් පාඩු ලබමින් පවතී.

මෙම රජය බලයට පත් වූ දා සිට දිනෙන් දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකා ණය ශ්‍රේණිය පහළ දමන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ණය ලබා ගැනීමේ හැකියාව හැකිලී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය ආයතන අප රට කෙරෙහි තබා තිබුණ විශ්වාසය පදනම් කරගෙන රටටත් බැංකු පද්ධතියටත් ලබා දී තිබූ ඉහළ ශ්‍රේණිගත කිරීම නිසා ජාත්‍යන්තර මූල්‍ය ආයතන අප රට කෙරෙහි තිබූ විශ්වාසය නිසාත් ලෝකයේ ඕනෑම බැංකුවක් අපගේ බැංකු විසින් නිකුත් කරන ණයවර ලිපි පිළිගන්නා ලදී. එහෙත් වර්ථමාන රජය බලයට පත් වී කෙටි කාලයක් තුලදී එම විශ්වාසය කඩවීම තුළ රටේ සහ බැංකු පද්ධතියේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම’ (Sovereign Credit Ratings) දර්ශකයන් CCC කාණ්ඩය දක්වා පහත දැමුණි.

විදේශ ණය ගෙවීමට මෙම රජයට නොහැකිය යන පදනම මත අප රටේ බැංකු මගින් නිකුත් කරන ණයවර ලිපි භාර ගැනීම ජාත්‍යන්තර බැංකු මගින් ප්‍රතික්ෂේප කරන අවස්ථා ඇති බව වාර්තා වීම නිසා තහවුරු කරන ලද (Confirmed Letters of Credit) ණයවර ලිපි පමණක් ජාත්‍යන්තර බැංකු විසින් ඉල්ලා සිටීම නිසා මෙරට ව්‍යාපාරික ප්‍රජාව ඉමහත් අපහසුතාවයන්ට පත්ව ඇති බවද සාකච්ඡාවට භාජනය වෙමින් පවතී.

මාස 18 ප්‍රතිඵලය !

මේ අර්බුද සියල්ල වර්ථමාන රජය විසින් පසුගිය මාස 18 කාලයක් තුළදී තමන් විසින්ම නිර්මාණය කරගන්නා (Man-made crisis) ලද ඒවාය.

අපගේ යහපාලන රජයට මාස හයක පාලන කාලයක් ඉතිරිව තිබියදීත් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නව ආර්ථික දර්ශනයක් මෙරටට හඳුන්වා දීමටය.

ඒ සියල්ල අද සිහිනයක් වී ඇත.

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු නව රජයට මේ රට භාර දෙන විට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 7.6 ක් වූ අතර මාස 18 ක් තුළ එය ඩොලර් බිලියන 4.0 දක්වා අඩුවී ඇති බව විවිධ වාර්තාවල දැක්වේ.

විදේශ විනිමය සංචිතයන් පවත්වාගෙන යනු ලබන්නේ එහි අර්ථයෙන්ම ආනයනය අපනයනය පදනම් වූ රටක ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග, ආහාර ද්‍රව්‍ය, බලශක්තිය සඳහා අවශ්‍ය වන බොර තෙල්, ඛණිජ තෙල් යනාදිය ආනයනය කිරීම සඳහා වූ තැන්පතුවක් වශයෙනි.

එහෙත් එම සංචිත දීර්ඝ කාලයකට පෙර ඔබගේ රජයන් යටතේ ලබා ගත් කෙටි කාලීන විදේශ ණය සහ ඔබගේ පසුගිය ආසන්නතම පාලන කාලය තුළ ලබා ගත් කෙටි කාලීන ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර නිදහස් කර ගැනීමට යොදා ගැනීම නිසා අද වන විට අපේ රට ද යුරෝපයේ ග්‍රීසියක් ලෙසද ලතින් ඇමෙරිකාවේ වෙනිසියුලාවේ තත්වයටද පහත වැටෙන උපනතියක් පෙන්නුම් කරයි.

මෙම මාසයේ රජය විසින් ගෙවීමට ඇති ජාත්‍යන්තර ස්වෛරී ඇපකර නිකුත් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා පාලන බලයේ සිටි 2011 වසරේදීය.

2011 ජූලි 25 දින 5.875% කට අලෙවි කරන ලද ඩොලර් බිලියනයක් 2021 ජූලි 07 වන දින ගෙවිය යුතුය. මෙම ඩොලර් බිලියන අපගේ විදේශ විනිමය සංචිතයෙන් ගෙවීමෙන් අනතුරුව එහි ශේෂය ඩොලර් බිලියන 3 කට අඩු වනු ඇත.මෙයට අමතරව මෙම වර්ෂය තුලදී තවත් බිලියන 2 ක් පමණ තවත් ණය ගෙවීමට ද ඇති බවත් වාර්තා වෙයි.

තවද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තෙල් ආනයනයට ගෙවිය යුතු පිටත හිඟහිටි බිල් වශයෙන් ඩොලර් බිලියන 1.3 ක් ද ඇතැතිව පවතින බව වාර්තා වෙයි.

පසුගිය සිකුරාදා වන විට බොහෝ වාණිජ බැංකු ණයවර ලිපි අයදුම්පත් ඉදිරිපත් කළ ගණුදෙනු කරුවන්ට පවසා ඇත්තේ ඔවුන්ගේ එම ණයවර ලිපි විවෘත කිරීමට නම් අවම වශයෙන් ණයවර ලිපියේ වටිනාකමින් 50% ක ප්‍රමාණයක් සඳහා විදේශ මුදල් බැංකුවේ තැන්පත් කරන ලෙසයි.

අර්බුදය තවම දොරකඩ !

අද වන විට ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ දොරකඩටම පැමිණ ඇත.

වාණිජ බැංකු විසින් දිගින් දිගටම ණයවර ලිපි විවෘත නොකිරීම නිසා ඉදිරි මාස තුනක් පමණ වන විට ආහාර, ඖෂධ, අමතර කොටස් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇති වී රට තුළ අසහනකාරී තත්වයක් නිර්මාණය වනවා ඇත. මෙවැනි තත්වයක් රට තුළ නිර්මාණය වුවහොත් මෙම රජයට එම වගකීමෙන් ගැලවිය නොහැකිය.

රසායනික පොහොර සහ කෘෂි රාසයනික ද්‍රව්‍ය නොමැති කමින් අස්වැන්න අඩු වී ආහාර හිඟයක් රට තුළ ඇති වී වෙළඳපොළට පැමිණෙන සීමිත භාණ්ඩවල මිල අහස උසට ඉහළ යනු ඇත.

අපි තවමත් ප්‍රමාද නොමැත.

රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා කළ යුතු ආර්ථික විද්‍යාත්මක විසඳුම් බොහෝය.

ඒ සඳහා ජාතික සහ ජාත්‍යන්තර උපදෙස් ගෙන මෙරට ආර්ථිකය නිවැරදි මඟට යොමු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින අතර තවදුරටත් අප රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ජනතාවගෙන් වසන් නොකර පුහු සංවර්ධන වැඩසටහන් නවතා දමා පුද්ගලයින් කිහිප දෙනෙකු ගැන විශ්වාසය නොතබා රටක් ලෙස මේ ආර්ථික යුද්ධය ජය ගැනීම සඳහා කටයුතු කරන මෙන් සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිමි.

මංගල සමරවීර

හිටපු මුදල් අමාත්‍ය

2021.07.09

බැසිල්ට දුන්න 3ක් : යළිත් මහින්දට !

අගමැති මහින්ද රාජපක්ෂගේ සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ විෂය කොටස් සංශෝධනය කරමින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර ඇත.

නිකුත් කෙරුණු නව ගැසට් නිවේදනයට අනුව, මුදල් අමාත්‍යාංශ විෂය පථයට අයත්ව තිබූ බෞද්ධ පුනරුද අරමුදල, බුද්ධ ශාසන අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල, ඊයේ (08) ස්ථාපිත ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ කටයුතු කරන අතර ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කටයුතු කරනු ලැබේ.

පොලිස් මර්දනයට එරෙහිව : සජබ අධිකරණය හමුවට !

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ යොදාගනිමින් සාමකාමී උද්ඝෝෂණ මැඩපැවැත්වීමට සහ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට පොලීසිය ගන්නා ක්‍රියාමාර්ගය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ජන බලවේගය පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, හර්ෂණ රාජකරුණා සහ මයන්ත දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වෙන වෙනම එම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිරෝධායන පනත යටතේ කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙන අතර ඒ තුළින් උද්ඝෝෂණ තහනම් කර තිබෙන බවය.

මේ නිරෝධායන මාර්ගෝපදේශ උපයෝගී කරගනිමින් පොලීසිය විසින් සාමකාමී උද්ඝෝෂණ දිගින් දිගටම මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බවට චෝදනා කරන පෙත්සම්කරුවන් ඊට සහභාගි වන පුද්ගලයින් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුකරන බවත් සඳහන් කළේය.

මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස නමැති මූලික අයිතිය උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කාර සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මව්රට

එළියට බහින්න ශ්‍රීලනිපය සූදානම් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතරයක් ආණ්ඩුවෙන් ඉවත්වීමේ යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

ශ්‍රිලනිප අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය ජූලි 08 වනදා පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති මධ්‍යම කාරක සභාවේ දී මේ යෝජනාව ඉදිරිපත්ව ඇත.

පවතින දේශපාලන තත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආණ්ඩුව සමග කටයුතු කළ යුතුද නැද්ද යන්න පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වී ඇත.

පවතින තත්ත්වය මත ආණ්ඩුවෙන් වහාම ඉවත් විය යුතු යයි මධ්‍යම කාරක සභා සාමාජිකයන් බහුතර පිරිසක් පෙන්වා දී ඇති අතර තවත් පිරිසක් විසින් පෙන්වා දී ඇත්තේ මේ අවස්ථාවේදී ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතු බවයි.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ දේශපාලන වශයෙන් බලවත් වීම, තවදුරටත් ශ්‍රිලනිපයට දක්වන කුඩම්මාගේ සැළකිල්ල, ඇතුළු කරුණු රැසක් ගැනත් මෙහිදී අවධානය යොමුකර ඇත. ඒ අනුව ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත්වෙමින් තිබීම ගැනත් අවධානය යොමුකර තිබේ.

ඒ අනුව තීරණය වී ඇත්තේ, සුදුසු අවස්ථාව එනතෙක් කුමන තත්ත්වයක් යටතේ වුව ද ඉදිරියේදී පක්ෂය ශක්තිමත් කළ යුතු බවයි. ඒ සඳහා පක්ෂයේ සංවිධාන කටයුතු වේගවත් කරමින් ජනතාව අතරට පක්ෂය ගෙන යා යුතු බවටද තීරණයක් ගෙන තිබේ.

voicetube කතුවරිය CID කැඳවයි !

voice tube නාලිකාවේ කතුවරිය වන තුෂාරා සෙව්වන්දි විතානගේව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

ඒ voice tube නාලිකාවේ පලකළ වීඩියෝවක් සම්බන්ධව ප්‍රකාශයක් ගැනීමට බව කියමින්ය.

එම කැඳවීම අනුව අද (09) මීට සුළු මොහොතකට පෙර ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළට ගොස් තිබේ.

අදාළ වීඩියෝව කෝවිඩ් 19- සිනෝවැක් එන්නත මෙරට තුළ අවසන් නිෂ්පාදනයක් ලෙස එලිදැක්වීම චීන සමාගමක් ගත් උත්සාහය සම්බන්ධයෙන් 'සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ' ජාතික සංවිධායක අසේල සම්පත් සිදුකළ ප්‍රකාශයක්ය.

ඔහු එය පවත්වනු ලැබුවේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් ලෙසය. voice tube කතුවරිය කැඳවා ඇත්තේ අදාළ වීඩියෝව තම නාලිකාව ඔස්සේ විකාශනය කිරීම පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා බව කියමින්ය.මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් ඇත්තේ, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන විසිනි.

අමිහිරි දේවල් කරන්න වෙයි : බැසිල් ඇමති මාධ්‍ය අමතයි !

මුදල් අමාත්‍යවරයා ලෙස ඇතැම් විට පියකු මෙන් අමිහිරි දේවල් කිරීමට සිදුවිය හැකි බව බැසිල් රාජපක්ෂ පවසයි.

ඔහු මෙසේ සඳහන් කර ඇත්තේ අද (08) මුදල් අමාත්‍යවරයා ලෙස වගකීම් බාරගෙන මාධ්‍ය ඇමතූ අවස්ථාවේය.

“මේක ලොකු අමාරු කාර්යයක්. අපි අභියෝගය භාරගනිමු. අපි සියලුදෙනාම එකට වැඩකරමු කියන ඉල්ලීම කරමින්, අපේ අමාත්‍යාංශයේත් අපේ රජයේත් ඒ වගේම මගෙත් ප්‍රමුඛතාවය වෙන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවයන්. ඔවුන්ගේ ප්‍රමුඛතාවය අපේ ප්‍රමුඛතාවයයි. ඒ ප්‍රමුඛතාවයන් සියල්ල අපි දන්නවා. අපිට අවබෝධයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒක ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මේ රජයේ සියලුදෙනාට තියෙනවා. නමුත් සමහර වෙලාවට පියෙක් ට වගේ සමහර අමිහිරි දේවල් කරන්න වෙයි. ඒ වුණත් අපි ඒවා අවංකව ජනතාව වෙනුවෙන් කරන දේවල් කියලා අපි හිතනවා. ඒකට සහයෝගය දෙන්න.“ ඔහු පවසා ඇත.

ගෝලයන් කිව්වේ වෙන කතාවක් !

කෙසේ වුවත් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ලෙස පත්ව පාර්ලිමේන්තු පැමිණීමට පෙර ආණ්ඩුවේ බැසිල්වාදි මැති ඇමතිවරුන් සඳහන් කර සිටියේ ඔහු පැමිණ සහන දෙනු ඇති බවය. ඉහළ දැමූ ඉන්ධන මිල පහත දමනු ඇති බවය.

පොලිසියේ බලහත්කාරී නිරෝධායනයට : එජාපයේ විරෝධය !

අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද පුද්ගලයන්ගේ බලහත්කාරයෙන් නිරෝධායනය කරා රැගෙන යාමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කිරීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය විරෝධය දක්වා ඇත.

ඊට අදාළ නිවේදනයක් එක්සත් ජාතික පක්ෂය නිකුත්කර ඇති අතර "අද (8) සවස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද වෘත්තීය සමිති සාමාජිකයින්ගේ බලහත්කාරයෙන් නිරෝධායනය කරා රැගෙන යාම එක්සත් ජාතික පක්ෂය හෙළා දකී." යනුවෙන් එහි සඳහන් කර තිබේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

නිරෝධායන පනත මගින් එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ නොදෙන බැවින් මෙම පුද්ගලයින් රඳවා තබා ගැනීමට දරන උත්සාහය රටේ නීතිවලට පටහැනිය.

එක්සත් ජාතික පක්ෂය මෙම ක්‍රියාව හෙළා දකින අතර රටේ නීතියට අනුකූලව කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

පාර්ලිමේන්තු පැමිණි බැසිල්ට : දයාසිරි සෙට් කරපු තෑග්ග !

මුදල් අමාත්‍ය ලෙස බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණි අද (08) පොදුජන පෙරමුණට පරාජයක් අත්කර දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කර ඇත.

ඒ පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කළ මන්ත්‍රීවරයා පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කරන ලද මන්ත්‍රීවරයා ජයග්‍රහණය කරවමිනි.

ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුනිල් ජයවීර කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසු, අසාධ්‍යව මියගොස් ඇති අතර නව සභාපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා අද (08) රහස් ඡන්දයක් පවත්වා ඇත.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් කරනු ලැබූ ඩබ්ලිව්. අරවින්ද මන්ත්‍රීවරයාට හිමි වූයේ ඡන්ද 16ක් වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරතිබූ ධර්මසේන බමුණුසිංහ මන්ත්‍රීවරයා ඡන්ද 20ක් ලබාගෙන ජයග්‍රහණය කර තිබේ.

වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ශ්‍රිලනිප අපේක්ෂකයාට ප්‍රසිද්ධියේ සහාය දක්වා තිබිණි.

පඬුවස්නුවර මැතිවරණ කොට්ඨාසයෙන් ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ දයාසිරි ජයසේකරය.

තවත් විශ්‍රාමික මේජර් ජනරාල්වරයකුට : රාජ්‍ය ආයතන සභාපති ධූරයක් !

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තවත් විශ්‍රාමික හමුදාවේ නිලධාරියකු ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයක සභාපති ධූරයක් සඳහා පත්කර ඇත.

ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නව සභාපතිවරයා ලෙස කාර්යංශයේ සාමාන්‍යධිකාරි විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ පත්කර තිබීමය.

එම කාර්යංශයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ කමල් රත්වත්තේ ගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ තනතුරට විශ්‍රාමික මේජර් ජනරාල් පත්කර ඇත.

විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න අතින් ඔහු සිය පත්වීම් ලිපිය අද (08) ලබාගෙන ඇත.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පුරප්පාඩුව පවතින සාමාන්‍යධිකාරි තනතුරට එහි අතිරේක සාමාන්‍යධිකාරි (ජාත්‍යත්තර කටයුතු ) ඩබ්ලිව් එම් එන් වන්සේකර පත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

ගුරු - ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට : මාධ්‍යටත් බාධා !

අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය සහ ගුරු - අධ්‍යාපන වෘත්තීය සමිති නායකයන් එකතුව කොතලාවල පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුමේ අද (08) පවත්වමින් තිබූ උද්ඝෝෂණයට මැඩලීමට පොලිස් නිර්දය මැදිහත්වීමක් සිදුකළ බව වාර්තා වෙයි.

එහිදී ඉතා වයස්ගත කාන්තාවන් පවා අත්අඩංගුවට ගන්නා අයුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන වීඩියෝ හරහා දක්නට ලැබිණ.

එසේම අදාළ සිදුවීම් වාර්තා කළ මාධ්‍යවේදීන්ටද පොලිස් බාධා කිරීමක් සිදුවනු දක්නට ලැබුණු අතර එම සිදුවීම පහත වීඩියෝවේ දැක්වෙයි.

කොතලාවල පනත හරහා පෞද්ගලීකකරණය සහ මිලිටරිකරණය කරන බවට චෝදනා කරමින් පැවති විරෝධයට සම්බන්ධවීම හේතුවෙන් පිරිසක් අත්අඩංගුවට ගනුලැබූ අතර ඒ පිරිස අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි හා ගුරුසේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් යන අයද සිටියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ උද්ඝෝෂණ තහනම් කර තිබියදී මේ පැවැත්වීම නිසා අත්අඩංගුවට ගැනීම සිදුකළ බවය.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=6822#sigProId94d9ec363e

ජනාධිපතිලා තුනක් !

හතර අතින් ආණ්ඩුවත් රටත් නන්නත්තාර වී සිටින අවස්ථාවක සිය පාර්ලිමේන්තු ගමන බැසිල් රාජපක්ෂ මහතාට දැඩි අභියෝගයකි. 2015 ආණ්ඩු පරාජයේ වගකීම භාරගත් ඔහු පොරොන්දු පරිදිම 2019 දී යළි ලබාගැනීමට සමත් විය. ඒ අතින් කියූ දේ කළ අයෙකි. අනෙක 2024 බලාපොරොත්තුවක් ඇති ඔහු මේ වගකීම ගැනීම දැලි පිහියෙන් කිරි කෑමකි.

බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමනය මෙතරම් ඉහළින් හා වැදගත් කොට සලකන්නේ ආණ්ඩුවේ දරාගත නොහැකි ෆේල්වීමක් ගොඩදමාගත හැකි කෙනා එන බවය. එබැවින් ජනාධිපති ධූරය සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ කවර අර්ථ නිරූපනයක් තිබුණද අද සිට ශ්‍රී ලංකාවට ජනාධිපතිවරු තිදෙනෙක් සිටිති. (මහින්ද, ගෝඨා, බැසිල්)

බැසිල් රාජපක්ෂ මහතාගේ දක්ෂතාවන් පිළිබඳ කවර අභිවාදන පැවතියද ඔහු මේ පර්ෆෝම් කරන්නේ තම සහෝදරයන් දෙදෙනා ජනාධිපති හා අගමැති වීම නිසාය. එය මොළේ නිසාම කරන වැඩක් නොව බලේ නිසාද සිදුවන්නක් බව අප තේරුම්ගත යුතුය.

බැසිල් රාජපක්ෂ මහතාගේ මෙවර පාර්ලිමේන්තු ආගමනයත් සමග ලංකාවෙන් ලෝක වාර්තාවක්ද පිහිටවනු ඇත. සහෝදරවරු 4 දෙනෙක්ම එකම අවස්තාවක පාර්ලිමේන්තවේ අසුන් ගනු ඇත. ඊළඟ පරම්පරාවේ 3 දෙනා සමග 7 කි. "පුංචි පවුල රත්තරන්" නොවේ. "ලොකු පවුල රටක් වටී" වන්නේ ඒ නිසාය.

බැසිල් මොළකරුවෙක් වුවද තමන්ට පළිහක් මෙන් ළදරු මැතිඇමතිවරුන් පිරිසක් හා අන්තේවාසිකයන් පිරිසක් තබා ගෙන සිටිති. බලලුන් ලවා කොස් ඇට බාව ගන්නා සේ ඔහුගේ මතය හෝ ඕනෑකම් එළිදක්වන්නේ ඔවුන් මගිනි. ඔහුගේ පාර්ලිමේන්තු ගමන මෙන්ම මුදල් අමාත්‍යාංශය ලබා ගැනීමද එසේම සිදුවිය. රටේ ජනතාව හෝ අඩුම තරමින් 69 ලක්ෂය හෝ ඒවා පිළිගන්නවා යයි සිතන්නේ ඔහු මොළකරුවෙකු නිසාත් ජනතාව මෝඩ නිසාත්ය.

බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කියවෙන පෙර වැරදි සියල්ල අමතක කළ හැකිය. මුදල් අමාත්‍යවරයා ලෙස ඔහුට බැබලීමට මෙන්ම ඉදිරිමග හදා ගැනීමටද අවස්ථාව ලබා ගෙන ඇති මොහොතේ රට ගොඩදා ගත හැකි වුවහොත් එය ජයග්‍රහණයකි.

ඒ සඳහා නම් ඔහු ඇතුළු ආණ්ඩුව ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා කොමිසම ඇතුළු ආයතන සමග ඉදිරියේදී ළඟින්ම කටයුතු කිරීමට සිදුවනු ඇත. එය සාමාන්‍ය මිනිස්සුන්ගේ ජයග්‍රහණයක් වන්නේ ඔවුන්ගේ ඇතැම් කොන්දේසි සමග එකඟවීමට ආණ්ඩුවට සිදුවන නිසාය. එසේ නොමැතිව නම් මේ මර්දනය කිරීම් නතර කිරීම බොරුය.

මේ බැරෑරුම් අවස්ථාවේ සහෝදර සමාගමක් හෝ රට ගොඩ දමන්නේ නම් අප සතුටු විය යුතුය.

මහින්ද රූබසිංහ ෆේස්බුක් ගිනුමෙනි

ඉංජිනේරු සංස්ථාවේ ප්‍රශ්නය කුමක්ද?

ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් දෙදෙනෙකු එහි වහලය මත නැගී උද්ඝෝෂණයක් ආරම්භ කර පැය 24ක් ගෙවී තිබේ.

ඔවුන්ගේ උද්ඝෝෂණයට හේතුව කුමක්ද? එහි පාලනාධිකාරිය සේවකයන් නව දෙනෙකුගේ සේවය අත්හිටුවීම එහි ආසන්නතම හේතුවයි.

නමුත් ඒ පසුපස ඇති කතාව කුමක්ද?

දැනට වසරකට අධික කාලයක සිට ඉංජිනේරු සංස්ථාව තම සේවකයන්ට අදාල දිනයේදී වැටුප් ගෙවන්නේ නැත. සෑම මසකම 21 වැනිදාට වැටුප් ගෙවිය යුතුමුත් එය ගෙවන්නේ සතියක්, දින 10ක් ප්‍රමාද වීමෙන් පසුවය. මෙය ඉංජිනේරු සංස්ථා සේවකයන් විශාල අපහසුතාවයකට ගොදුරු කළ ප්‍රශ්නයකි. එමෙන්ම ඔවුන්ට වැටුපට අමතරව ලැබුණු දීමනාද වසරක කාලයක් තිස්සේ අත්හිටුවා තිබේ. දීමනා අහිමිව මූලික වැටුප පමණක් ලබමින්, එය පවා ප්‍රමාද වන තත්වයක් තුළ කම්කරුවන් අතර නොසන්සුන්තාව වර්ධනය විය.

මෙය පුපුරා ගියේ 2021 අප්‍රේල් මස 21 වැනිදාට ලැබිය යුතු වැටුප 30 වැනිදා වනවිටත් නොලැබුණු අවස්ථාවේය. සේවකයන් පාලනාධිකාරිය වටලා අරගලයක් කළ අතර ඉන් පසුව වැටුප් ගෙවන ලදී. 2021 මැයි සහ ජුනි මාස දෙකේ වැටුප් අදාල දිනයේදීම ගෙවන ලද්දේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙසය. නමුත් මෙලෙස වෙලාවට වැටුප් ගෙව්වේ භාණ්ඩාගාරයෙන් මාස දෙකක වැටුප් සඳහා වන මුදල කලින් ඉල්ලාගත් නිසා බව ආයතන ප්‍රධානීන් ඊයේ කම්කරුවන්ට පවසා තිබිණි. ඉතිරි මාස සදහා වැටුප් ගෙවීමට මුදල් ඉල්ලද්දී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා රජයට මුදල් නැති බව පවසා එය ප්‍රතික්ෂේප කළ බවද ඔවුන් පවසයි. රුපියල් ට්‍රිලියනයකට වැඩි මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළද රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමටවත් මුදල් නැති අර්බුදයක් තිබෙන බව මේ හරහා ප්‍රකාශයට පත්වේ.

ජුලි මාසයේ සිට වැටුප් ගෙවිය නොහැකි බව දන්නා ඉංජිනේරු සංස්ථා පරිපාලනය කම්කරු මර්දනය හරහා ඒ නොහැකියාව වසා ගැනීමට තීරණය කර ඇති බව පෙනේ. වෘත්තිය සමිති නායකයන් ඇතුළු සේවකයන් 9 දෙනෙකුගේ සේවය අත්හිටුවන මර්දනීය තීරණය ගත්තේ ඉන් අනතුරුවය. කම්කරුවන් වහල උඩට නැග විරෝධතා ආරම්භ කළේ එම මර්දනයට එරෙහිවය. මේ මර්දනය පරාජය කළ යුතුය. එමෙන්ම කම්කරු අයිතීන් දිනා ගැනීම සඳහා පුළුල් බලයක් ගොඩ නැගිය යුතුය. පවතින්නේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම පවා අපහසු අර්බුදයකි. අද ඉංජිනේරු සංස්ථා සේවකයන් කරන අරගලය දවසකින් හෝ සතියකින් හෝ මාසයකින් අනෙක් ක්ෂේත්‍ර වල කම්කරුවන්ටද කරන්නට සිදුවන අරගලයකි. ජයග්‍රාහී ආරම්භයක් ගනිමු.

පුබුදු ජයගොඩ ෆේස්බුක් ගිනුමෙනි

FB IMG 1625723572236

FB IMG 1625723578189

FB IMG 1625723586924

මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨයන් රැසක් ඉවතට !

මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ හා පළපුරුදු පරිපාලන දුසිමක් පමණ කොමිසමෙන් ඉවත්ව ගොස් හෝ ඉවත් කර හෝ ඇත. මැතිවරණ දෙපාර්තමේන්තු/කොමිෂන් සභා ඉතිහාසයේ අඩුම කාලයක් තුල වැඩිම මාණ්ඩලික නිලධාරීන් පිරිසක් ස්ථාන මාරුවීම් ලැබූ අවස්ථාව මෙයයි.

තවත් පිරිසක් ඉදිරියේ කොමිෂන් සභාවෙන් ඉවත්වීමට/ඉවත් කිරීමට කටයුතු කරමිත් තිබේ. ඒ අතර මැතිවරණ කේෂ්ත්‍රෙය් දැවැන්තයින් ද රැසකි.

මැතිවරණ දෙපාර්තුමේන්තුවට/ කොමිෂන් සභාවට නිලධාරීන් පත් කිරීම - ඉවත්කිරීම ගැන ආවාට ගියාට සිද්ධ කරන්නේ නැත. ස්වාධීන, අත්දැකීම් ඇති නිලධාරීන් කොමිෂන් සභාවට ආභරණයකි. ගෞරවයකි.

සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ලෙස කාන්තාවන් පත් කිරීම ආපසු හැරවීමට ද සුදානමක් ඇති බව දැනගන්නට ඇත. මට ඇති පුදුමය නම්, මේ ගැන ලංකාවේ ලියාපදිංචි එකම දේශපාලන පක්ෂයක හෝ සිවිල් සංවිධානයක හෝ අවධානය යොමු වී නොතිබීම ය.

ඊලඟට පැවැත්වෙන කුමන හෝ මැතිවරණයක් මෙහෙයවීමට වසර 5 කට වැඩි මැතිවරණ අත්දැකීම් ඇති නිලධාරීන් කී දෙනෙකු මැතිවරණ කොමිසමේ ඉතිරිවේ ද?

දැනට ස්ථාන මාරුවීම් ලැබ ඇති නිලධාරීන්

  1. ටී. හෙන්ස්මන්
  2. සුරංග රණසිංහ
  3. නාලක රත්නායක
  4. ධරණී වීරසේකර
  5. රාජේන්ද්‍රන් සසීලන්
  6. තිලින වික්‍රමරත්න
  7. දිලිප් ගම්ලත්
  8. නාමල් තලංගම
  9. ගයාන් පතිරණ
  10. පරිපාලන නිලධාරි ජේ.යු. ප්‍රියනාත්
  11. ගණකාධිකාරි තිලක් කුමාර

තවත් නියෝජ්‍ය කොමසාරිස්වරු දෙදෙනෙකු ඉවත්වීමට නියමිතය.

බැසිල් පාර්ලිමේන්තු ආවේ ව්‍යවස්ථාව කඩාගෙන ?

බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නීති තර්කයක් පැමිණ ඇත.

නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන් පිරිසක් සඳහන් කරන ආකාරයට වර්ථමාන පාර්ලිමේන්තුවේ මංත්‍රීවරයෙකු වීමට තවත් බරපතල නුසුදුසුකමක් බැසිල් රාජපක්ෂට ඇත.

එනම් මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත්කල දිනය වනවිට , ඔහු , අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සදහා මුලික සුදුසුකම් නොලබා තිබිමයි.

එදිනට පැවති නීතිය අනුව , ද්විත්ව පුරවැසියෙකුවු බැසිල්ට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත්වීම තහනම්කර තිබිණි . ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේදී ජන්දය ප්‍රකාශකරනවිට , මුලික සුදුසුකම්වත් ලබා නොතිබුණු බැසිල්ට දැන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිනීම නීතිය අනුව කළ නොහැකිය .

එලෙසම ජනතා පරමාධිපත්‍යය අතික්‍රමණය කිරීමකි.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මංත්‍රිවරයෙකු නම් කිරීමට , පොදුජන පෙරමුණේ ලේකම්ට බලයක් නැත. එසේ නම්කරත් , එම නම පිළිගෙන පාර්ලිමේන්තු මංත්‍රිවරයෙකු ලෙස ගැසට්කිරීමට මැතිවරණ කොමිසමට බලයක් නැත.

ඔවුන් එසේ සඳහන් කළත් බැසිල් රාජපක්ෂ ගේ පාර්ලිමේන්තු ආගමනයට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

IMG 20210708 WA0001

IMG 20210708 WA0000

Online ඉගැන්වීම් අධීක්ෂණ කැබිනට් පත්‍රිකාවට විරෝධය

පාසල් වසා දමා වසරකුත් මාස 03 කට වැඩි කාලයක් ගතව ඇති අතර, කඩාවැටුණු පාසල් අධ්‍යාපන පවත්වාගෙන යාමට ගුරුවරු විසින් තම මුදල් වියදම් කරමින් ස්වේච්ඡාවෙන් සිදු කරන මාර්ගගත ඉගැන්වීම් අධීක්ෂණයට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 2021.07.05 දින රැස් වූ කැබිනට් මට්ලයේ දී කැබිනට් පති‍්‍රකාවක් අනුමත කරවාගෙන ඇතැයි ද එසේ අනුමත කරගත් කැබිනට් පත්‍රිකාවට දැඩිව විරෝධය දක්වන බවත් ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ පිළිබද වැඩිදුරටත් නිවේදනයේ මෙසේද සදහන් වේ.

‘ගෘහස්ත කි‍්‍රයාකාරකම් මගින් ළමුන්ගේ ඉගෙනීම පවත්වාගෙන යාම’ නමින් අධීක්ෂණ කි‍්‍රයාවලියක් 2021 අගෝස්තු 1 දින සිට කි‍්‍රයාත්මක කිරීමට මේ මගින් කටයුතු කර ඇත. ඒ අනුව ගුරුවරුන් විසින් කි‍්‍රයාකාරකම් නියාමනය කිරීම හා අධීක්ෂණය කිරීම, ගුරුවරුන් විසින් සතිපතා සිසුන්ගේ කාර්යසාධනය තක්සේරු කර ශිෂ්‍ය කාර්යසාධන වාර්තා පවත්වාගෙන යාම, පාසලේ විදුහල්පති සහ ගුරුවරු විසින් දෙමාපියන් සහ සිසුන් සම්බන්ධ කරමින් ගෘහස්ත ඉගෙනුම් කටයුතු කි‍්‍රයාත්මක කිරීම, ගුරු උපදේශකයින් විසින් ගුරු කාර්ය සාධනය අධීක්ෂණය හා නියාමනය කිරීම කළ යුතු බව දක්වා ඇත.

මෙසේ සිසුන්ගේ ගෘහස්ත කි‍්‍රයාකාරකම් අධීක්ෂණය හා නියාමනය මාර්ගගත ක‍්‍රමවේද මගින් සිදු කිරීමේ දී ඊට අවශ්‍ය උපාංග, දුරකතන ඇමතුම් ගාස්තු සහ ඬේටා සඳහා යන වියදම් ගුරුවරු සහ විදුහල්පතිවරුන්ට ලබාදිය යුතුය. එසේ නොමැතිව මේ වන විට ගුරුවරු විසින් තම වියදමින් ස්වේච්ඡුාවෙන් සිදු කරනු ලබන මාර්ගගත ඉගෙනුම් අධීක්ෂණය මේ මගින් සිදු කරන්නේ නම් ඒ සඳහා අප දැඩි විරෝධය පළ කර සිටිමු.

කෝවිඞ් 19 වසංගත තත්වය තුළ ලක්ෂ 43 ක් පමණ වන සියලූ පාසල් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලැබීමට ක‍්‍රමවේදයක් ආණ්ඩුව හෝ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කි‍්‍රයාත්මක නොකිරීම මත 60% කට වැඩි දරුවන් පිරිසකට අධ්‍යාපනය අහිමි වී ඇති තත්වයක තවදුරටත් ආණ්ඩුව විසින් මාර්ගගත අධ්‍යාපනය පවත්වාගෙන යාමට කටයුතු කිරීම බරපතල කනගාටුදායක තත්වයකි. අධ්‍යාපන අමාත්‍යවරයා 2021.06.19 දින රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී සඳහන් කරන ලද්දේ අධ්‍යාපනය අහිමි වී ඇත්තේ 12% ක පමණ ශිෂ්‍ය පිරිසකට බවයි. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා 2021.07.06 දින පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කරන ලද්දේ අධ්‍යාපනය අහිමිව ඇත්තේ ලක්ෂ 43 ක් පමණ වන සමස්ථ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ලක්ෂ 35 කට බවයි. එසේම ජාතිය අමතමින් ජනාධිපතිවරයා පැවසූයේ පාසල් දස දහසකට ෆයිබර් ඔප්ටික් පහසුකම් ලබා දී ඇති බවයි. කෝවිඞ් 19 වසංගතය තුළ කඩා වැටුණු පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමෙන් තොරව අධ්‍යාපනය සම්බන්ධයෙන් වගකීම් දරන්නන් මෙන්ම ජනාධිපතිවරයා ද මේ ආකාරයෙන් පරස්පර අසත්‍ය ප‍්‍රකාශ කරමින් සිටීම බරපතල කනගාටුදායක තත්වයකි.

මාර්ගගත අධ්‍යාපනයට යොමු විය නොහැකි දරුවන්ට ප‍්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන සකස් කළේ යැයි දැවැන්ත ප‍්‍රචාරක ව්‍යාපෘතියක නිරත වූ අධ්‍යාපනය අමාත්‍යාංශය එම මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට නිසි වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක නොකිරීම නිසාම එය අසාර්ථක වී ඇත. එම මධ්‍යස්ථානවලට කැඳවන ගුරු-විදුහල්පතිවරු එන්නත් නොකිරීම, එම මධ්‍යස්ථාන සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා නොගැනීම, උතුරුමැද පළාතේ සෞඛ්‍ය අංශ විසින් අනුමැතිය ලබා නොදීම, දරුවන් 10 කට පහසුකම් ඇතිව සැකසූ මධ්‍යස්ථාන වෙත අපේක්ෂිත ලෙස දරුවන් නොපැමිණීම වැනි තත්වයන් මත එම කටයුත්ත මේ වන විට අසාර්ථ වී ඇත.

මේ තත්වය තුළ හුදු ප‍්‍රචාරක ව්‍යාපෘති පසෙක දමා කෝවිඞ් 19 වසංගත තත්වය තුළ අධ්‍යාපනය පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළ යුතුය.

මෙයට,

ජෝසප් ස්ටාලින් ප‍්‍රධාන ලේකම්

සිරස මාධ්‍ය මර්දනයක්: සජිත් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

සිරස මාධ්‍ය ජාලයට එල්ල වී ඇති තර්ජනයක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

විපක්ෂ නායකවරයා සිය විශේෂ ප්‍රකාශයේදී අවධාරණය කර සිටියේ, රජයේ ඉහළ පෙළ කණ්ඩායමක් නීතිඥවරුන් ද ඒකරාශී කර ගනිමින් සිරස මාධ්‍ය ජාලයේ විකාශන බලපත්‍රය කුමන හෝ නීතිමය තත්ත්වයක් තුළ අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට විශ්වසනීයව දැන ගන්නට ලැබී ඇති බවයි.

විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේ, සිරස මාධ්‍ය මර්දනය කිරීමට කටයුතු නොකරන බවට ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතු බවයි.

ආණ්ඩුව අද මාධ්‍යවලට එරෙහිව දැවැන්ත මර්දන ක්‍රියාවලියක් අරඹා ඇතැයි ද විපක්ෂ නායකවරයා මෙහිදී චෝදනා කළේය.

මාධ්‍ය මර්දනයෙන් ජනතා ප්‍රශ්න වහන්න බෑ - රුවන් විජයවර්ධන

මාධ්‍ය මර්දනය කිරීමෙන් ජනතා ප්‍රශ්න යට ගැසිය හැකි යයි යම් පාලන තන්ත්‍රයක් සිතනවා නම් එය විහිළුවක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන  නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි.

සිරස ආයතනය සම්බන්ධයෙන් උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වහාම ප්‍රකාශයක් කළ යුතු බව කියන රුවන් විජයවර්ධන මාධ්‍ය නිදහස තහවුරු කිරීමට කැපවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සහ අගමැති මහින්ද රාජපක්ෂගෙන් පක්ෂයක් ලෙස ඉල්ලා සිටින බවද සඳහන් කරයි.

"එක්සත් ජාතික පක්ෂය ඉතිහාසය පුරාම ජනමාධ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි පක්ෂයකි.

ජනමාධ්‍යයෙන් වැඩිම විවේචනයට ලක්වූවේ ද එක්සත් ජාතික පක්ෂය වුව ද අප කිසි විටෙකත් මාධ්‍ය මර්දනයට උත්සාහ ගත්තේ නැත. යහපාලන රජය සමයේ මාධ්‍ය හමුවේ වැඩිම විවේචනයට ලක් වූ පුද්ගලයා අප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ය. බෞද්ධ දර්ශනයට අනුගත වූ ඔහු විවේචනයන් ඉදිරියේ කම්පා වූවේ නැත. එය උසස් ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයකි. මාධ්‍ය විවේචන පිළිගැනීම රටේ අනාගතය‍ යහපත් වීම කෙරෙහි බෙහෙවින් උපකාරී වන බව අපේ විශ්වාසය යි. "යනුවෙන්ද රුවන් විජයවර්ධන සඳහන් කරයි.

Page 380 of 389