V2025

පුවත්

සිරස මාධ්‍ය මර්දනයක්: සජිත් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

සිරස මාධ්‍ය ජාලයට එල්ල වී ඇති තර්ජනයක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

විපක්ෂ නායකවරයා සිය විශේෂ ප්‍රකාශයේදී අවධාරණය කර සිටියේ, රජයේ ඉහළ පෙළ කණ්ඩායමක් නීතිඥවරුන් ද ඒකරාශී කර ගනිමින් සිරස මාධ්‍ය ජාලයේ විකාශන බලපත්‍රය කුමන හෝ නීතිමය තත්ත්වයක් තුළ අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට විශ්වසනීයව දැන ගන්නට ලැබී ඇති බවයි.

විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේ, සිරස මාධ්‍ය මර්දනය කිරීමට කටයුතු නොකරන බවට ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතු බවයි.

ආණ්ඩුව අද මාධ්‍යවලට එරෙහිව දැවැන්ත මර්දන ක්‍රියාවලියක් අරඹා ඇතැයි ද විපක්ෂ නායකවරයා මෙහිදී චෝදනා කළේය.

මාධ්‍ය මර්දනයෙන් ජනතා ප්‍රශ්න වහන්න බෑ - රුවන් විජයවර්ධන

මාධ්‍ය මර්දනය කිරීමෙන් ජනතා ප්‍රශ්න යට ගැසිය හැකි යයි යම් පාලන තන්ත්‍රයක් සිතනවා නම් එය විහිළුවක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන  නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි.

සිරස ආයතනය සම්බන්ධයෙන් උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වහාම ප්‍රකාශයක් කළ යුතු බව කියන රුවන් විජයවර්ධන මාධ්‍ය නිදහස තහවුරු කිරීමට කැපවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සහ අගමැති මහින්ද රාජපක්ෂගෙන් පක්ෂයක් ලෙස ඉල්ලා සිටින බවද සඳහන් කරයි.

"එක්සත් ජාතික පක්ෂය ඉතිහාසය පුරාම ජනමාධ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි පක්ෂයකි.

ජනමාධ්‍යයෙන් වැඩිම විවේචනයට ලක්වූවේ ද එක්සත් ජාතික පක්ෂය වුව ද අප කිසි විටෙකත් මාධ්‍ය මර්දනයට උත්සාහ ගත්තේ නැත. යහපාලන රජය සමයේ මාධ්‍ය හමුවේ වැඩිම විවේචනයට ලක් වූ පුද්ගලයා අප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ය. බෞද්ධ දර්ශනයට අනුගත වූ ඔහු විවේචනයන් ඉදිරියේ කම්පා වූවේ නැත. එය උසස් ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයකි. මාධ්‍ය විවේචන පිළිගැනීම රටේ අනාගතය‍ යහපත් වීම කෙරෙහි බෙහෙවින් උපකාරී වන බව අපේ විශ්වාසය යි. "යනුවෙන්ද රුවන් විජයවර්ධන සඳහන් කරයි.

මහින්ද ජයසිංහට ඇප ලැබෙයි

අධිකරණ නියෝග උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් අද (07) දහවල් අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ ඇතුළු දෙදෙනාව ඇපමත නිදහස් කර තිබේ.

ඒ ඔවුන් දෙදෙනාව අද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඒ ජන ජීවිත අනතුරේ හෙළමින් මුතුරාජවෙල තෙත් බිම් වැනසීමට එරෙහිව අද (07) පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගීවීම හේතුවෙනි.

එම විරෝධතාවය අද මධ්‍යාන 12.00ට බෝපිටිය මංසන්ධියේදී පැවැත්වීමට සූදානම් කර තිබී ඇත. එම විරෝධතාවය ආරම්භ කර තිබියදී පොලිසිය විසින් එම උද්ඝෝෂණය තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත. ඒ අනුව පිරිස විරෝධතාව නතර කර විසිර යමින් සිටියදී මෙලෙස මහින්ද ජයසිංහ මහතා පොලිසිය විසින් පමුනුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

දුමින්ද නාගමුව අත්අඩංගුවට

කොළඹ – 2 රාජ්‍ය ඉංජිනේරු සංස්ථා පරිශ්‍රය අසලදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ  පැවසුවේ, උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමේ චෝදනා මත ඔහු ඇතුළු තවත් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

උද්ඝෝෂණ, පෙළපාලි සහ රැස්වීම් කොවිඩ් රෝග ව්‍යාප්තියට හේතු වන බවට ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිරෝධායන නියෝගයට පටහැනිව කටයුතු කිරීම මත මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

බැසිල්ට මුදල් : ගැසට් එක සූදානම් !

පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමේ ගැසට් නිවේදනය අද ජුලි 06 රාත්‍රී නිකුත්වීමට නියමිතව තිබෙනවා.

බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනය, නිකුත්කිරීමට නියමිතව ඇත්තේ හෙට දහවල් කාලයේ.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන ආකාරයට බැසිල් රාජපක්ෂ ජුලි 08 දා පාර්ලිමේන්තුවේ දිව්රුම් දීමට පෙර, ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ මුදල් අමාත්‍යවරයා ලෙස දිව්රුම් දීමට නියමිතයි.

මීට පෙර වාර්තා වූයේ බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට සූදානමින් සිටි බවයි.

එහෙත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ යෝජනා කර තිබුණේ සෑම අමාත්‍යාංශයක් සඳහාම මැදිහත් වියහැකි ආකාරයට මුදල් , ආර්ථික සංවර්ධන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය බවයි.

නමුත් පසුව මුදල් අමාත්‍ය ධූරය සඳහා පමණක් එකඟතාවට පත්කර ගෙන තිබෙනවා.

මේ අතර බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය වෙනුවෙන් පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද ජුලි 06 උදැසන පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදෙනු ලැබුණත්, ඊට අදාළ සාකච්ඡා දින ගණනාවක් ඇදී ගිය බවත් වාර්තා වනවා.

ඒ බැසිල් රාජපක්ෂට මැතිසබයට පැමිණීමට හැකිවන ලෙස ඉවත් වීමට, ජාතික ලැයිස්තුවට පත්කළ කිහිපදෙනෙකුම යහපත් ප්‍රතිචාරයක් දක්වා නොතිබූ නිසයි.

එවැනි සාකච්ඡාවලදී ෆලීල් මර්ජාන්, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබෙනවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහට ඉල්ලා අස්වැන්නයි ඉල්ලීමක් කර තිබුනේ, ඔහුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා ද යෝජනා කරමින්.

නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත්තේ ,

''එහෙනම් මම ගෙදර යන්නම්.. මට ඔය රටරට වල යන්න දැන් වයසක් නැහැ..'' යයි කියමින් .

එසේම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන් ඉල්ලා අස්වීමට අකමැත්තක් නැතිබවක් පවසා තිබුනත් අගමැතිවරයා ඊට අනුකුලතාවයක් දක්වා නොතිබුණු බවත් වාර්තා වනවා.

මෙම මොහොමඩ් ෆලීල් මර්ජාන් මෙන්ම ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ ද ජාතික ලැයිස්තුවට නම්කර තිබුනේ අගමැතිවරයාගේ නිර්දේශය මතයි.

අවසානයේ ජයන්ත කැටගොඩ මෙන්ම මහාචාර්ය රන්ජිත් බණ්ඩාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ඉල්ලා අස්වීමට එකඟතාවය පළකර තිබෙනවා.

කෙසේ හෝ තමන් වෙනුවෙන් මන්ත්‍රී ධුරය පරිත්‍යාග කළ ජයන්ත කැටගොඩ වෙත, ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යලි ගම් මට්ටමින් ප්‍රතිසංවිධානය කිරීමේ වගකීම පැවරීමට බැසිල් රාජපක්ෂ තීරණය කර ඇතැයි ද , එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරනවා.

එසේම ඉදිරියේදී තමන් විසින් යෝජනා කරන ආර්ථික සැලසුම් වලදී ආණ්ඩුව නියෝජනය කරන විමල් පාර්ශවයේ ජාතිකවාදීන් වෙතින් බලපෑම් එල්ලවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීමට තීන්දුකර ඇති පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, අවශ්‍ය ඕනෑම මොහොතක දී ඕනෑම චන්දයකට මුහුණදීමට හැකිවන ආකාරයෙන් පක්ෂ යාන්ත්‍රනය සුදානම් කිරීමේ වගකීම ජයන්ත කැටගොඩ ට හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහට පවරා ඇතැයි ද වාර්තා වනවා.

දේශපාලන වාර්තාකරු

අනාෆ් ජසීම් කවියාගේ නිදහස : නීතිපතිට සති දෙකක් !

අත්අඩංගුවට ගෙන මාස 10 ක් තිස්සේ කිසිදු අධිකරණයකට ඉදිරිපත් නොකර පොලිස් රැදවුම්බාරයේ රදවා තබා සිටින මුස්ලිම් ජාතික කවියකු වන අනාෆ් ජසීම් වහාම මුදාහරින ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා සති දෙකක් ඇතුළත ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නීතිපතිවරයාට නියෝග කළේය.

සාහිත්‍යය නිර්මාණ හරහා මුස්ලිම් අන්තවාදයට ආධාර අනුබල දුන් බව ට සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා, ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අතර එහිදි අධිකරණය මෙම නියෝගය කරන ලදී.

මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ කියා සිටියේ මෙම පෙත්සම පිළිබද නීතිපති සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතීඥ කේ.කනග් ඊස්වරන් කියා සිටියේ පෙත්සමේ යතුරු ලියන දෝෂ කිහිපයක් ඇති බැවින් ඒවා නිවැරදි කිරීමට අවසර ලබා දෙන ලෙසය.

අධිකරණයෙන් ඊට අවසර ලැබිණි.

මෙම පෙත්සම ලබන අගොස්තු 04 වැනි දින කැදවන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා සති දෙකක් තුන ගොනු කරන්නැයිද නීතිපති ට නියම කළේය.

මුස්ලිම් ජාතික කවියකු වන අනාෆ් ජසීම් වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ , පොලිස්පති , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.

පෙත්සම්කරු කවියෙකි .කෙටිකතාකරුවෙකි.ලේඛකයෙකි.පෙත්සම්කරු ළමා කාලයේ සිටට ලේඛන නිර්මාණකරණයේ නිරතව සිටි අයෙකි.ඒසේම ඔහු සිය නිර්මාණ වෙනුවෙන් සම්මාන අගැයුම්ද ලබා ඇත්තෙකි.ඔහු කිසිවිටෙක සිය නිර්මාණ තුළින් අන්තවාදය හෝ ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කර නොමැත.

පෙත්සම්කරුව සියි නිවිසේ සිටියදී 2020 වසරේ මැයි 06 වැනිදා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණි අත්අඩංගුවට ගෙන ඇත.

පෙත්සම්කරු ගේ නිර්මාණ තුළින් මුස්ලිම් අන්තවාදයට සහ ළමා හිංසනයට සහයෝගය ලබා දීම යන්න ඔහුට එරෙහිව චෝදනා වශයෙන් ඉදිරිපත් කර තිබිණි.පෙත්සම්කරුව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට රැගෙන ගොස් රැදවුම් නියෝග යටතේ රදවා තබා ගෙන ඇත.

දැනට මාස 10කට ආසන්න කාලයක් ගෙවී ඇතත් පෙත්සම්කරුව කිසිදු මහේසත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කර නොමැත.මෙම තත්ත්වය තුළ පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසද තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද , තමන් රැදවුම් බාරයෙන් වහාම මුදා හැරීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටී.

උද්ඝෝෂණ රැස්වීම් තහනම් කරයි !

මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන උද්ඝෝෂණ හා රැස්වීම් පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙන බව පොලිසිය පවසයි.

පොලිස් මුලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම ක්‍රියාකාරකම් හේතුවෙන් කොරෝනා වෛරසය පැතිරයාමේ වැඩි අවදානමක් ඇති බවයි.

ඒ හේතුවෙන් එම උද්ඝෝෂණ හා රැස්වීම් නැවත දැනුම් දෙන තුරු සිදු නොකළ යුතු බව පොලිසිය විසින් මහජනතාවට දැනුම් දෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත කර ඇති නියෝගය අනුව ඒ සම්බන්ධයෙන් නිරෝධායන රෙගුලාසි යටතේ කටයුතු කරන බවද පොලිසිය පවසයි.

මේ වන විට සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගෙන ඇති අතර දිවයින පුරා පොහොර ඉල්ලා සිදුකරන ගොවි උද්ඝෝෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතියි.

තවත් මරණ 45ක් !

කොවිඩ් මරණ 45ක් ඊයේ (05) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (07) තහවුරු කර තිබේ.

කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 30 දෙනෙකු ඊයේ තහවුරු කරන ලද මරණ අතරට අයත්ය.

එම මරණ 45ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,313ක් දක්වා ඉහළගොස් ඇත.

බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වූ කැටගොඩට : සුබ අනාගතයක් !

පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ට පාර්ලිමේන්තු පැමිණීම සඳහා ඉල්ලා අස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩට රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක් ලැබීමට නියමිත බව වාර්තා වෙයි.

එසේම පොදුජන පෙරමුණේ බිම්මට්ටමේ සංවිධාන කටයුතු මෙහෙයවීමට වැඩි බලතල ප්‍රමාණයක් ලබාදෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට බැසිල්වාදි පාර්ශව කැටගොඩගේ ඉල්ලා අස්වීම විශාල පරිත්‍යාගයක් ලෙස හුවාදක්වමින් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයක් ගෙනයනු ද නිරීක්ෂණය වෙයි.

වාර්තා වන ආකාරයට පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව තුළින් බැසිල් රාජපක්ෂ ගේ පැමිණීම වෙනුවෙන් කිහිපදෙනකු යෝජනා වුවත් අපේක්ෂිත ආකාරයට ඔවුන් කිසිවෙකු ඉල්ලා අස්වූයේ නැත.

ඒ ෆලීල් මර්ජාන්, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, මහාචාර්ය චරිත හේරත්, වෙති. පසුව ඉල්ලා අස්වීම සඳහා එකඟතාව පළකර ඇත්තේ රන්ජිත් බණ්ඩාර සහ ජයන්ත කැටගොඩ යන මන්ත්‍රීවරුන් දෙදෙනා ය.

කොළඹට ෆයිසර් එන්නත හෙට සිට

වයස අවුරුදු 55ට වැඩි, කොළඹ 01 සිට 15 දක්වා වූ ප්‍රදේශවල සිටින ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබාදීමට තීරණය කර ඇති බව, යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනූව එම පිරිස් සඳහා ඊයේ ශ්‍රී ලංකාවට ලැබුණු ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 හෙට (07) සිට එන්නත්කරණ අරඹන බව යුද හමුදාපතිවරයා පැවසීය.

කොළඹ නගරසභා බල ප්‍රදේශය තුල ස්ථාන තුනක දී එන්නත්කරනය සිදුකිරීමට නියමිත අතර අදාළ පුද්ගලයින්ට එන්නත්කරණය සිදුකරන දිනය, වේලාව සහ ස්ථානය කෙටි පණිවුඩයකින් දැනුම්දීමට නියමිතය.

අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටත් පවිත්‍රාට බාධා !

අමාත්‍ය මණඩල පත්‍රිකා ඉදිරිපත් කිරීම වළක්වමින් සෞඛ්‍ය අමත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි ට බලපෑම් සිදුවන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද බලමණ්ඩලය පවසයි.

එබැවින් මතුව ඇති තත්ත්වය තුළ පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද බලමණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවැත්වූ සාකච්ජාව අසාර්ථක වී ඇති බවත් වාර්තා වෙයි.

ඒ අනුව වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමට එම වෘත්තීය සමිති තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද බලමණඩලය සමග අද (05) උදෑසන සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැත්වූ සාකච්ඡාවේදී ඉල්ලීම් පිළිබඳව කිසිදු නිශ්චිත තීන්දුවක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරිය අපොහොසත් වීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගය ඇඛණ්ඩව ඉදිරියට ගෙනයාමට පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති ඒකමතිකව තීරණය කරන ලද බව 'පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය' සභාපති, රවී කුමුදේශ් පැවසිය.

ප්‍රධාන ගැටළු කිහිපය සදහා අවම තරමින් සෞඛ්‍ය අමාත්‍යවරියගේ ධනාත්මක අභිලාෂය හැගවීම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබියදී, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේද, නැත්ද යන්න තීරණය කිරීමට අමාත්‍යවරිය විසින් සතියක කාලයක් ඉල්ලා සිටීම මගින්, තීරණ ගැනීමට ඇයට බලපෑමක් පවතින බව ඉතා පැහැදිළි බවද ඔහු සඳහන් කළේය.

එබැවින් මෙම ගැටළුව විසඳීම සදහා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය බැවින්, ඊට මැදිහත් වෙන ලෙස වෘත්තීය සමිති නායකයින් ඔවුන් දෙදෙනා ගෙන් ඉල්ලා සිටියි.

ඒ අනූව වර්ජන ක්‍රියාමාර්ගය හෙට දවසේදීත් අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට සිදුවන බව වෘත්තීය සමිති නායකයින් අවදාරණය කර සිටියි.

ආණ්ඩුවේ තවත් තීන්දුවක් රිවර්ස් : මෙවර ඇලෝසියස්ට දුන්න මෙන්ඩිස් බලපත්‍රය !

මුදල් අමාත්‍යාංශයට අයත් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත්කළ අවසරයක් නැවත වෙනස් කර ඇත.

ඒ අර්ජුන් ඇලෝසියස් ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු නැවතත් ආරම්භ කිරීමට ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට තීන්දු කිරීමය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි කැබිනට් මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇති බව පැවසෙයි.

සුරාබදු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශය යටතේ පවතින අතර විෂය අයත් වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙතය.

අර්ජුන් ඇලෝසියස් ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු නැවතත් ආරම්භ කිරීමට ලබාදී තිබූ බලපත්‍රය නිකුත් කිරීමට තීන්දු කිරීමත් සමග සමාජ මාධ්‍ය ඇතුළු විකල්ප ධාරවේ මාධ්‍ය එම තීන්දුව හාස්‍යයට ලක්කළ අතර ඒ විපක්ෂයේ සිටියදී වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව කළ කී දේ සිහිපත් කරමිනි.

චීනය බාල්දි පෙරළාවි : ඒත් සැමරුම් මැදින් බැසිල් එනවා සත්තයි !

කොළඹ වරාය නගරය ඇමරිකානු පුරවැසියකු යටතේ පාලනය නොවිය යුතු බවට චීනය විසින් ශ්‍රී ලංකා රජය වෙත දන්වා ඇති බව මෙරට ජනප්‍රිය වෙබ් අඩවියක් වන 'ලංකා සී නිව්ස්' ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් විසින්ම වාර්තාකර තිබෙනවා.

වෙබ් පුවත් වාර්තා වල දැක්වෙන්නේ , චීනය සහ ඇමරිකාව අතර ඇති සබඳතාවයේ ස්වභාවය හා, කොළඹ වරාය නගරයේ චීන ආයෝජනයන් වැඩි වශයෙන් ඇති පසුබිම මත, එය ඇමරිකානුවෙකු විසින් පාලනය නොකල යුතුය යන පදනමින්, මෙම දැනුම් දීම කර ඇති බවයි.

මේ පුවත්වාර්තා වල ඇත්ත නැත්ත කෙසේවෙතත්, ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ගේ අමාත්‍යාංශයට, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පැවරෙනු ඇතැයි 'ලංකාදීප' පළකර ඇති පුවත හා ඉහත පුවත් අතර සම්බන්ධතාවයක් තිබෙන බවක් පෙන්නුම් කරනවා.

අදාල ලංකාදීප පුවත් වාර්තාව සම්පාදනය කර ඇත්තේ, ප්‍රකට දේශපාලන වාර්තාකරුවකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අජන්ත කුමාර අගලකඩ විසින්.

ගෝඨාබය ආණ්ඩුව පත්වූ මුලදී මුදල් අමාත්‍යංශය යටතේ අගමැති මහින්ද රාජපක්ෂ වෙත පවරා තිබු කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය , ඉන් අනතුරුව ජනාධිපතිවරයා යටතට පත්කරගනු ලැබුණා.

දැන් එය ක්‍රියාත්මක වන්නේ අචාර්ය PB ජයසුන්දරගේ අධීක්ෂණය යටතේයි.

පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියට සැරසෙන බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා - ඇමරිකානු ද්විත්ව පුරවැසියෙකි.

එසේම ඔහුට ඉන්දියාව සමග සමීප ඥාති සම්බන්ධතාවයක් ඇති අතරම එරට දේශපාලනඥන් සමග තිබෙන්නේ සමීප ඇසුරක්.

බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් ලබන බ්‍රහස්පතින්දා (08) දිවුරුම් දීමට නියමිත බවත්, ඔහු එදින හෝ ඊට පසු දින ආර්ථික සංවර්ධන හා මුදල් රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම්දීමට නියමිතව ඇති බවත් ලංකාදීප වාර්තා කර තිබෙනවා.

බැසිල් රාජපක්ෂ 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ ද ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළා.

මේ අතර අද 'ලංකාදීප' වාර්තාකර ඇත්තේ, බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තු පැමිණෙන දිනය මෙතෙක් නිශ්චිතව තීරණය වී නොමැති බවයි.

බැසිල්ට ජූලි 8 වැනිදා පාර්ලිමේන්තු පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායකයන් සුබ නැකතක් පවා සකස් කර ඇතත් බැසිල් රාජපක්‍ෂ එදිනට පාර්ලිමේන්තු පැමිණීම අවිනිශ්චිත බව දැනගන්නට ඇතැයි ද ලංකාදීප වාර්තාවේ සඳහන් වනවා.

බැසිල් රාජපක්‍ෂ ට මුදල් අමාත්‍යධූරය ලබාදීම සම්බන්ධයෙන් තමාගේ අකමැත්තක් නොමැති බව, දැනට මුදල් අමාත්‍යධූරය ද දරණ අගමැති මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කර තිබෙන බවක් ද , එම පුවත් වාර්තාවේ සඳහන්.

ලංකාදීප වාර්තාවට අනුව, ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ, මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ගේ නිවසේදී ඉකුත් සෙනසුරාදා පැවති විශේෂ සාකච්ඡාවේදී.

එම සාකච්ඡාවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ, අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරුන්ද, බැසිල් රාජපක්‍ෂ ඇතුළු රාජපක්‍ෂ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ද සහභාගී වී තිබෙනවා.

රටේ පාලන බලය පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට, ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවසේ පැවති සාකච්ජාවේදී පැහැදිලි තීන්දුවක් නොගත් බව, මිට ඉහතදී වාර්තා කළේ වගකීමකින් යුතුවයි.

එහෙත් ලංකාදීප පවසන්නේ, සුහද පවුල් හමුවක් වූ මෙම කතාබහේ දී බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට පැමිණීම ස්ථිර කර ඇතත් පැමිණෙන දිනය නිශ්චිතව සඳහන් කර නැති බවයි.

කෙසේවුවද අමාත්‍ය නාමල් රාජපක්‍ෂ 'නෙත් නිවුස්' ඊයේ කළ විමසීමකදී සඳහන් කර සිටියේ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ යළි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම පිළිබද මෙතෙක් ආණ්ඩුව සමග සාකච්ඡා කර නොමැති බවයි.

මේ අතර අද 'ලංකාදීප' වැඩිදුරටත් වාර්තාකර ඇත්තේ, බැසිල් වෙනුවෙන් ඉවත්වන මන්ත්‍රීට ලොකු ලංසුවක් ලැබීමට නියමිත බවයි.

බැසිල් රාජපක්ෂට මැතිසබයට පැමිණීමට හැකිවන ලෙස ඉවත්විය යුත්තේ කවුද යන්න ගැන ජනාධිපතිගේ නිවසේ සිදුකළ සාකච්ඡාවේදී ෆලීල් මර්ජාන්, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන, ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් සම්බන්ධයෙන් , අදහස් හුවමාරු වී ඇති බවද එම පුවත්පත් වාර්තාවේ සඳහන්.

එම පුවත් වාර්තාවට අනුව, බැසිල් රාජපක්‍ෂ වෙනුවෙන් සුදුසු මන්ත්‍රීවරයකු ඉවත් කරගැනීමේ වගකීම මෙම හමුවේදී පවරා ඇත්තේ නාමල් රාජපක්‍ෂ ඇමතිවරයාටයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ එලෙස ඉවත්වන මන්ත්‍රීවරයාට දැනට පුරප්පාඩුව පවතින ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් පදවිය පිරිනැමීමට ද තීන්දු වි ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ, පසුගිය මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජාතික ලැයිස්තුව පත්කළ බැසිල් රාජපක්ෂට තමා වෙනුවෙන් කෙනෙකු ඉවත්කර ගැනීම නාමල් ඇමතිවරයාට පැවරීමට සිදුවීම හාස්‍යයට කරුණක් බවයි..

එම ජාතික ලැයිස්තුව පත්කිරීමේදී ජනධිපතිවරයා විසින් නම් කල වියත්මග සාමාජිකයින් දෙතුන් දෙනා සහ අගමැතිවරයා විසින් නම්කරනු ලැබූ ෆලීල් මර්ජාන්, ජයන්ත වීරසිංහ වැනි දෙතුන් දෙනෙකු හැර , පොහොට්ටු පක්ෂයේ අන් සියලු දෙනාම පත්කරනු ලැබුවේ , බැසිල් රාජපක්ෂ විසින්.

වඩාත් සිත්ගන්නා සුළු කරුණ වන්නේ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ අනුමැතියකින් තොරව සුරේන් රාඝවන් ජාතික ලැයිස්තුවට පත්කළේ ද බැසිල් රාජපක්ෂ විසින් බවට එම පක්ෂයේ නායකයින් දිගින් දිගටම නගන චෝදනාවයි.

අනෙක් අතට ජාතික ලැයිස්තුවට නාමල්ගේ ගජ මිතුරන් හෝ , තාරුණ්‍යයට හෙටක් වැනි සංවිධානවල සිටි අයකු පත්කර ඇති බවක් වාර්තා වන්නේද නෑ ..

බැසිල් වෙනුවෙන් කෙනෙකු ඉවත්කර ගැනීම ඔහුට පවරා ඇත්තේ එවැනි වටපිටාවක් තුලයි.

මේ කරුණුවලින් තවදුරටත් පැහැදිලි වන්නේ, බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන්, පවුලේ සාමාජිකයින් මෙතෙක් අවසන් එකඟතාවකට එළඹ නොමැති බවයි.

කෙසේවුවද මෙරට බහුතර ජනතාවක් බලා සිටින්නේ බැසිල් පාර්ලිමේන්තු අද හෙටම ඇවිත් ජනාධිපති හා අගමැතිගේ ජිවන වියදම් කමිටුව ඉහල දැමූ ඉන්ධන මිල ඇතුළු බඩුමිල අඩුකරන තුරුයි.

කොහොම හරි පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය නායකයන් දැනුවත් කරලා කියන්නේ බැසිල් රාජපක්ෂ 8 පාර්ලිමේන්තු එනවා , ඒ නිසා සැමරුම් සූදානම් කරන්න කියලා. හැබැයි ඔන්ලි බැසිල් නෙවෙයි ,අගමැති සහ ජනාධිපති එහෙමත් ඉස්සෙන විදියට.

දේශපාලන වාර්තාකරු

ඩෙල්ටාවේ ප්‍රතිඵල මාසෙන් එයි : වෛද්‍ය සංගමය අනතුරු අඟවයි !

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වන කතා ශ්‍රී ලංකාව පුරා ඉතා වේගයෙන් පැතිරෙමින් ඇතැයි සිතිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි.

මේ දිනවල පැතිරෙමින් පවතින එම ප්‍රභේදයේ ප්‍රතිඵල තවත් මාසයකින් පමණ දැක ගත හැකි වනු ඇති බවත් ඇය පවසයි.

විශේෂඥ වෛද්‍යවරිය කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළ අතර දැනට කොරෝනා මරණ අඩුවීමක් පෙන්නුම් කරන්නේ පසුගිය දිනවල ක්‍රියාත්මක වූ සංචරන සිමා නිසා බවද සඳහන් කරයි.

මේ අවස්ථාවේ දී රට තුළ එන්නත්කරණය ඉතා වේගවත් කළ යුතු බවද ඇය අවධාරණය කරයි.

ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ ප්‍රතිඵල තවත් මාසයකින් පමණ දක්නට ලැබෙනු ඇතැයි පැවසූ ඇය එවිට රෝගය පාලනය කර ගැනීමට හැකියාවක් නැති වනු ඇති බවටද අනතුරු අඟවයි.

තෝර්ට නිව්මෝනියාව උත්සන්නයි

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ කොරෝනා ආසාදනය වූ “තෝර්” නමැති සිංහයාගේ නිව්මෝනියා තත්ත්වය උත්සන්නවීම නිසා විශේෂ ප්‍රතිකාර යළි අරඹා තිබෙන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

මේ අතර සිංහයාගේ සමෙහි තුවාල හටගෙන තිබෙන බවත් සිංහයාගේ සෞඛ්‍ය පිළිබඳ යම් ප්‍රශ්නයක් තිබෙන බවත් සත්වෝද්‍යාන ප්‍රධානීන් ඒ ගැන අවධානයෙන් පසුවන බවත් ඔහු සඳහන් කරයි.

එසේම එම සිංහයාට ආසාදනය වූයේ ඇල්ෆා කොරෝනා ප්‍රභේදය බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනය සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයේදී හෙළිව තිබුණි.

රිෂාඩ්ගේ පෙත්සම් සලකා බැලිමේ තවත් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු අමාත්‍යවරයකු වන රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් තමා ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන අද(05) අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

නීතිවිරෝධී ලෙස රැදවුම් බාරයේ තබා ගෙන සිටින තමන්ව වහාම මුදාහරින්නැයි ඉල්ලා රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් වෙන වෙනම ගොනු කල ⁣මෙම පෙත්සම් මුර්දු ප්‍රනාන්දු අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන දැනුම් දුන්නේ පුද්ගලික හේතුවක් මත තමා එම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බවය.

ඒ හේතුවෙන් මෙම පෙත්සම් වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සදහා ලබන 08 වැනිදාට කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කෙරිණි.

ඒ අනුව මෙම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූ සිව්වැනි විනිසුරු වන්නේ ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධනය.මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී .නවාස් යන මහත්වරුන් ද පෞද්ගලික හේතූන්මෙ මත ම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූහ.

කිසිදු නීතිවිරෝධී කටයුතුවලට සම්බන්ධ නොමැති තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිස් රැදවුම් බාරයේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ඔවුන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර සිටිති.

තවත් කොරෝනා මරණ 45 ක් : අලුත් මාර්ගෝපදේශ මාලාවත් ප්‍රසිද්ධ කරයි !

තවත් කොරෝනා මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කරයි.

ඒ සමග මෙරට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3246 දක්වා ඉහල යයි.

එසේම දැනට රටපුරා පළාත් මට්ටමින් පනවා ඇති සංචරණ සීමා තවත් සති 2 ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දන්වා ඇත.

නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

001 768x999

002 708x1024

003 707x1024

004 768x665

ශ්‍රී ලංකාවේ නින්දිත සියවස : මංගලගෙන් විශේෂ නිවේදනයක් !

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් "ශ්‍රී ලංකාවේ නින්දිත සියවස"මැයෙන් විශේෂ නිවේදනයක් නිකුත්කර ඇත.

අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ නින්දිත සියවස !

“දැන් සිදු වන සෑම දෙයක්ම මීට පෙරද සිදුවී ඇති බවත්, ඒවා නැවත සිදුවනු ඇති බවත් නිරන්තරයෙන් මෙනෙහි කරන්න. අතීත ඉතිහාසයෙන් රඟ දක්වන සමස්ත නාට්‍ය හා එක සමාන දර්ශන සියල්ල සමාන වන අතර වෙනස් වන්නේ එහි නළුවන් පමණකි.” - මාකස් ඕරෙලියස්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය වෙනුවෙන් සමරු කාසියක් නිකුත් කිරීමේ පෙර නොවූ විරූ පියවරක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති බව ජුනි 27 සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් වාර්තා කරන ලදී. මෙම සිද්ධිය සිදු වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අපගේ ස්වෛරීභාවය උල්ලංඝනය කළ හැකි වගන්ති කිහිපයක් ඉවත් කිරීමට ප්‍රථම ආණ්ඩුව විසින් හදිසියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නට උත්සහ කල ඉදිරි වසරවලදී අපේ රටවල ස්වාධීනත්වයට බරපතල තර්ජනයක් එල්ල කල හැකි කොළඹ පෝට් සිටි කෙටුම්පතෙහි උණුසුම යන්නටත් මත්තෙනි.

එපමණක් නොව නොබෝ දිනක ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ විකාශන ආයතනයක් වන හා ඇතැම් විට සත්‍ය ලෙස රටේ ස්වාධීන එකම නාලිකාව වන සිරස නාලිකාව (මා ද පසුගිය දශක තුන තුළ කැබිනට් අමාත්‍යවරයකු ලෙස සේවය කළ විවිධ කාල පරිච්ඡේදයන් තුළ එහි විවේචන වලට ලක් විය) විසින් කල හෙළිදරව්වක් මගින් පාලක පවුලේ ජේෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකුගේ අනුග්‍රහය යටතේ චීන හමුදා නිල ඇඳුමින් සැරසුණු චීන පුද්ගලයින් දකුණේ පළාතේ (තරුණ විරැකියාව ඉහළම මට්ටමක පවතින) ඓතිහාසික වටිනාකමක් ඇති වැවක් හෑරීමේ කටයුතු වල යෙදෙන ආකාරය අපි දුටුවෙමු.

මෙම සිද්ධි දකින පුද්ගයකුට සිතට නැගෙන කාරනා දෙකකි. එනම් අද රාජ්‍යතන්ත්‍රය තුල ඉතා ලිහිල් ලෙස භාවිතා වන ව්‍යාතිරේක ප්‍රදේශගතකරණය මිත්‍ර රටක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමක් ලෙස සැලකිල්ලට ගම්ද නැතහොත් මෙය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය යුතුද යන්නයි.

අනාගත ඉතිහාසඥයින් මෙම කරුණ ශ්‍රී ලංකාවේ නින්දිත සියවස’ හි ආරම්භය ලෙස හඳුන්වනු ඇත්ද?

චීනය ලෝකයේ ශ්‍රේෂ්ඨතම හා වඩාත්ම පුරාණ රටවලින් එකකි. එය රටකට වඩා ශිෂ්ටාචාරයකි. සහස්‍ර ගණනාවක් පුරා පාලනය කළ “ආකාශ රාජවංශිකයින්” අති මහත් රාජ්‍යයක් පාලනය කිරීම සඳහා මෙලොවට එවන ලද ස්වර්ගීය නියෝජිතයන් බව අවංකවම විශ්වාස කළහ. හොන්ගුඕ රාජධානිය විසින් ම්ලේච්ඡ වූ ලෝකයක් ශිෂ්ටසම්පන්න කළහ. අධිරාජ්‍යයා මනුෂ්‍ය වර්ගයාගේ උත්තරීතර පරමාධිපතියා ලෙස සලකන ලදී. ඔහු බොහෝ විට “මනුෂ්‍යත්වයේ අධිරාජ්‍යයා” ලෙස හඳුන්වනු ලැබූ අතර ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රිකයින් “ආකාශ උසාවියේ ස්වර්ගික දූතයන්” ලෙස එකල හැඳින්විණි. ඔවුන් හොන්ගුඕ විශ්වයේ කේන්ද්‍රය ලෙස සැලකූ අතර, එම නිසා බාහිර ලෝකයේ ‘ම්ලේච්ඡයන්’ සමඟ සියලු අන්තර්ක්‍රියා සීමිත විය.

ම්ලේච්ඡයන් ලෙස සලකන ලද අයවලුන්ගේ භාෂා විශේෂ අවසරයකින් තොරව ඉගෙනීම / පරිවර්තනය කිරීම තහනම් කරන ලද අතර, රාජධානිය තුළට ඇතුළුවීම සහ සංචාරය කිරීම ද තහනම් කරන ලදී. ගුවැන්ෂු වරාය (කැන්ටන්) පමණක් විදේශිකයින්ට ඔවුන්ගේ වෙළඳාම සඳහා විවෘතව තිබුණි. වික්ටෝරියා රැජිනගේ තානාපතිවරයාට පවා අධිරාජ්‍යයා හමු වීමට ඉඩක් ලැබෙන තුරු සති ගණනාවක් වරාය අවට රැඳී සිටීමට සිදු විය. පසුව රාජකීය මණ්ඩපයේ දී ඉංග්‍රීසි රාජ්‍ය තාන්ත්‍රිකයා අධිරාජ්‍යයා ඉදිරියේ ‘කව්ටෝ’ (ඔහු ඉදිරියේ වැඳ වැටීම සහ නළල තුන් වරක් බිම ස්පර්ශ කිරීම) කිරීමට එකඟ වීමේ පදනම මත බීජිං අධිරාජ්‍යයා බැහැදැකීමට අවස්තාව ලබා දීමට තීරණය විය.

17 වන ශතවර්ෂයේ අධිරාජ්‍යවාදයේ දියුණුවත් සමඟ බටහිර බලවතුන් වෙළඳාම / වාණිජමය අරමුණු සඳහා මෙම අතිවිශාල රාජධානියට පිවිසීමට නැවත නැවතත් උත්සාහ කළ නමුත් චීනය එම හිරු නොබසින අධිරාජ්‍යයේ කොටසක් බවට පත් කිරීමට බ්‍රිතාන්‍යයන්ට යටත් විජිතකරණය කළ නොහැකි වූ ආසියානු රටවල් කිහිපයෙන් එකක් විය.

නැගෙනහිර ඉන්දියානු සමාගම 1600 දී ආරම්භ කරන ලද්දේ ඉන්දියානු සාගරයේ සහ චීනයේ වෙළඳ හා වාණිජ කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙනි. 1800 වන විට එකී සමාගම ලෝක වෙළඳාමෙන් අඩකට වඩා ඔවුන්ගේ දායකත්වයෙන් සිදු වූ අතර ඔවුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට සහ ඉන්දියානු යටත්විජිත රාජ්‍ය සඳහා අඩිතාලම එලන ලදී. 1757 දී නැගෙනහිර ඉන්දියානු සමාගම් පාලනය විසින් ඉන්දියාවේ විශාල ප්‍රදේශවල මිලිටරි බලය ක්‍රියාත්මක කරමින් සහ බ්‍රිතාන්‍ය ඔටුන්න ඉන්දියාවේ සෘජු පාලනය භාර ගන්නා තෙක් 1858 දක්වා ප්‍රාදේශීය පරිපාලන කටයුතු ද ඔවුන් විසින් සිදු කරන ලදී. ඔවුන් විසින් බ්‍රිතාන්‍ය ඔටුන්නේ අග්‍රමානික්‍ය වූ ඉන්දියාවේ අබිං වගා කර අධිරාජ්‍යයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඒවා ‘ස්වදේශිකයන්ට’ විකුණනු ලැබීය. 1839 දී අබිං යුද්ධය චීනයට එරෙහිව ආරම්භ වූයේ කින්ග් රාජවංශය විසින් සිය විශාල වෙළඳපොල බ්‍රිතාන්‍ය අබිං වෙළෙඳුන්ට විවෘත කිරීම සඳහා දැඩි ප්‍රතිරෝධයක් දැක්වීම හමුවේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍යයන් චීනයේ ප්‍රධාන වරාය අවහිර කිරීමට නියෝග කළ අතර සාමය සඳහා චීන ජාතිකයන් යෝජනා කිරීමට පෙර පුරාණ අගනුවර වන නැන්ජින් නගරයට පහර දීමට සූදානම් විය.

1842 දී නැන්ජින් ගිවිසුම මගින් චීනයට හොංකොං බ්‍රිතාන්‍යය වෙත පැවරීම, වන්දි වශයෙන් ඩොලර් මිලියන 6ක් ගෙවීම සහ වෙළඳාමට ඉඩ සැලසෙන ලෙස වරායන් පහක් විවෘත කිරීම සහ බටහිරයන්ට පදිංචියට අවසර දීම සිදු කරන ලදී. චීනය විධිමත් ලෙස යටත් විජිතකරණයට ලක් නොවූවත්, නැන්ජින් ගිවිසුම මගින් යතාර්ථයෙන් එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත් කළ අතර කින්ග් රාජ්‍ය සභාවට ඔවුන්ගේ වාණිජ හා විදේශ ප්‍රතිපත්ති වල ස්වාධීනත්වයේ වැඩි කොටසක් අහිමි විය.

මෙම ගිවිසුමේ දක්වා ඇති ව්‍යාතිරේක ප්‍රදේශගතකරණ මූලධර්මය මගින් වූයේ චීන ස්වෛරීභාවය දැඩි ලෙස උල්ලංඝනය වීමකි. එමෙන්ම ගිවිසුම් වරායන්හි වෙසෙන අබිං වෙළෙඳුන් යටත් වුයේ ඔවුන්ගේ රටවල නීතිවලට මිස චීන නීති වලට නොවේ.

අද චීනයේ “නින්දාවේ සියවස” ලෙස හැඳින්වෙන සමාජ සිද්ධිදාමය එතනින් ආරම්භ විය.

අවුරුදු දෙසීයකට ආසන්න කාලයකට පසු, 21 වන සියවසේ මුල් කාර්තුව අවසන් වෙමින් පවතින අතර, චීනය දැන් මිලිටරි සුපිරි බලවතෙකු වීමේ අභිලාෂය සහිතව ලෝකයේ ප්‍රමුඛතම ආර්ථිකයක් බවට පත්වීමට සූදානම්ව සිටී. පෙර ශතවර්ෂ වල නැගෙනහිර ඉන්දියා සමාගම මෙන්, චීනයේ ආයෝජන, වෙළඳ හා වාණිජ අංශය දැන් එක් තීරයක් හා එක් මාවතක් මුල පිරීම වෙයි. එක් තීරයක් හා එක් මාවතක් වැඩපිළිවෙල 2013 දී ආරම්භ කර 2017 දී චීනයේ ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත. එක් තීරයක් හා එක් මාවතකට අනුව, මෙම පියවර “කලාපීය සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සහ දීප්තිමත් අනාගතයක් වැලඳ ගැනීමේ උත්සාහයකි.” ඇත්ත වශයෙන්ම නැගෙනහිර ඉන්දියා සමාගම ද ලෝකයේ වැඩි කොටසක් යටත් විජිතයක් බවට පත් කළේ ‘ම්ලේච්ඡයන්’ ශිෂ්ටාචාරගත කිරීමේ සමාන ‘උතුම් පරමාර්ථයකින්’ සහ ස්වදේශිකයින්ට ‘දීප්තිමත් අනාගතයක්’ පොරොන්දු වෙමිනි.

එක් තීරයක් හා එක් මාවතක් යනු අලුත් තෑගි කඩදාසිවලින් ඔතා ඇති පැරණි සංකල්පය නොවේද?

මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වූ කොළඹ වරාය නගර පනත, ඉදිරි වසරවලදී ශ්‍රී ලාංකිකයන් සඳහා මෑත කාලින ට්‍රෝජන් අශ්වයෙකු හෝ නැන්ජින් ගිවිසුමක් බවට පත්විය හැකිය. කිසිදු පරීක්ෂාවක් නොමැති, පාර්ලිමේන්තු අධීක්ෂණය නොමැති වරාය නගරය ඔවුන්ටම විශේෂිත වූ නීතියක් ඇති නගරයක් නිර්මාණය වනු ඇත; එය දේශීය හා ජාත්‍යන්තර මාෆියාව සඳහා ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණය සඳහා මධ්‍යස්ථානයක් වනු ඇත. තවද ඉන්දියානු සාගරයේ සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම / යටත් කර ගැනීම සඳහා සුපිරි බලවතුන් සඳහා ජාත්‍යන්තර ඔත්තු බැලීමේ මධ්‍යස්ථානයක් බවට මෙම ව්‍යාතිරේක ප්‍රදේශගතකරණය වූ දේපළ කොටස පත්වීමේ සම්භාවිතාව හුදු මන:කල්පිතයක් ලෙස බැහැර නොකළ යුතුය.

ශ්‍රී ලංකාවට ඍජු විදේශීය ආයෝජන අත්‍යවශ්‍ය වේ. එබැවින් මේ ගොඩ කරන ලද ඉඩම තුල ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් තිබීම ඉතා හොඳ අදහසකි. නමුත් එය ජාත්‍යන්තර නීතිය සහ සහභාගීත්වය මත පදනම් වූවක් මිස හුදෙක් තනි රටක හෝ දෙකක අවශ්‍යතාවයන්ට සේවය කිරීම සදහා නොවිය යුතුය. ඇත්ත වශයෙන්ම එවැනි ව්‍යාපාරයක් සඳහා පළමු යෝජනාව පැමිණියේ 2000 දී අපේම ශ්‍රී ලාංකික සමාගමකිනි. කෙසේ වෙතත් එවැනි යෝජනා අපගේ ස්වෛරීභාවයට බලපෑමක් එල්ල කරමින් පැමිණිය යුතු නොවේ; එය අපගේ වෙළඳාමෙන් 60% ක් සපයන අපගේ මිතුරන් නැති කර ගැනීමෙන් සිදු විය නොහැක. කිලෝමීටර් 20 ක් පමණක් දුරින් පිහිටි අපගේ අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාව සමඟ ඇති මිත්‍රත්වය හීන කිරීමෙන් එය කළ නොහැකිය. ශ්‍රී ලංකාවට තෙල්, දියමන්ති, රන් හෝ තඹ ආකර නොමැත. නමුත් ලෝකයේ ඉතා කාර්යබහුලම නැව් මාර්ගවලින් එකක් ඇති සුන්දර දූපතක් සහ ඊට අනුකූල භූගෝලීය පිහිටීමක් අපට ලැබී ඇත.

එබැවින් අපගේ ඉදිරි පරම්පරාවන් වෙනුවෙන් ධනය හා සමෘද්ධිය ඇති කිරීම සඳහා අපගේ රටේ පිහිටීම උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් ඉන්දියානු සාගරය සාමයේ සහ ස්ථාවරත්වයේ කලාපයක් ලෙස පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා සියලු රටවල් සමඟ මිත්‍රශීලීව කටයුතු කිරීම අපට වඩාත් සුභවාදී වේ. සුපිරි බලවතුන් අතර සිදුවන මහා බල අරගලයක දී එක් කණ්ඩායමක හෝ වෙනත් කණ්ඩායමක ඉත්තෙකු වීමට ශ්‍රී ලංකාවට නොහැකිය. උදාහරණයක් ලෙස 1960 දශකයේ මුල් භාගයේ කියුබාව දෘෂ්ටිවාදාත්මක නොවන මූල්‍යමය කාරණා නිසා කියුබානු රජයට ඇමරිකා එක්සත් ජනපදයෙන් කිලෝමීටර් 65 ක් දුරින් න්‍යෂ්ටික මිසයිල සවි කිරීමට සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවට අවසර දීමට සිදු විය. මෙය න්‍යෂ්ටික යුද්ධයක් දක්වා යාමට ඉඩ තිබිණි.

ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ගැටුම්කාරී හා හුදෙකලා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාවට නොහැක. විශේෂයෙන්ම මෙවැනි වසංගත තත්ත්වයන් හා ජාත්‍යන්තර වෙළඳාම ඇත යුගයක බහුපාර්ශ්වීයත්වය ඉදිරි මාවතයි. ස්වෛරීභාවය පිළිබඳ වෙස්ට්ෆේලියානු සංකල්පය තවදුරටත් වලංගු නොවන අතර අපගේම ජනතාවගේ අභිවෘද්ධිය සඳහා වන අපගේ ජාත්‍යන්තර බැඳීම් හා වගකීම්වලට අප අවනත විය යුතුය.

නිදහසින් පසු සෑම රජයක්ම පාහේ අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාව ආපසු යා යුතුය. ජාත්‍යන්තර අනුපිළිවෙලෙහි අපගේ සාපේක්ෂ “වැදගත්කම” සුළු වුවත් , ශ්‍රී ලංකාව ලෝක ප්‍රජාව අතර බොහෝ ආදරණීය හා ගෞරවනීය සාමාජිකයෙකි. වොෂිංටන් සිට බෙයිජිං දක්වා, නවදිල්ලියේ සිට ක්‍රෙම්ලිනය දක්වා, ඩව්නිං වීදියේ සිට ටෝකියෝ දක්වා, බ්‍රසල්ස් සිට ගානා රාජ්‍ය දක්වා අපගේ නායකයින් ඉතා විවෘතව හා ආදරයෙන් පිළිගනු ලැබීය.

නමුත් අද එය එසේ නැත.

අද, නිද්‍රාචාරින් ප්‍රපාතයට ඇවිදගෙන යන ලෙස, එක් එක් නින්දා වලට මුහුණ දෙමින් අප අපේ පුතුන් හා දියණියන් නොසිතූ විරූ බියකරු අනාගතයක් කරා තල්ලු කරමින් සිටිමු.

නවතින්න, සිතන්න, සලකා බලන්න.

ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය, විවිධත්වය තුලින් එකමුතුවීම, බහුපාර්ශ්වීයත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාව අපට ඉදිරියේදී ඇති එකම මාවතයි.

මංගල සමරවීර

Page 381 of 389