V2025

පුවත්

පාර්ලිමේන්තු පැමිණි බැසිල්ට : දයාසිරි සෙට් කරපු තෑග්ග !

මුදල් අමාත්‍ය ලෙස බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණි අද (08) පොදුජන පෙරමුණට පරාජයක් අත්කර දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කර ඇත.

ඒ පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කළ මන්ත්‍රීවරයා පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කරන ලද මන්ත්‍රීවරයා ජයග්‍රහණය කරවමිනි.

ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුනිල් ජයවීර කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසු, අසාධ්‍යව මියගොස් ඇති අතර නව සභාපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා අද (08) රහස් ඡන්දයක් පවත්වා ඇත.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් කරනු ලැබූ ඩබ්ලිව්. අරවින්ද මන්ත්‍රීවරයාට හිමි වූයේ ඡන්ද 16ක් වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරතිබූ ධර්මසේන බමුණුසිංහ මන්ත්‍රීවරයා ඡන්ද 20ක් ලබාගෙන ජයග්‍රහණය කර තිබේ.

වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ශ්‍රිලනිප අපේක්ෂකයාට ප්‍රසිද්ධියේ සහාය දක්වා තිබිණි.

පඬුවස්නුවර මැතිවරණ කොට්ඨාසයෙන් ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ දයාසිරි ජයසේකරය.

තවත් විශ්‍රාමික මේජර් ජනරාල්වරයකුට : රාජ්‍ය ආයතන සභාපති ධූරයක් !

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තවත් විශ්‍රාමික හමුදාවේ නිලධාරියකු ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයක සභාපති ධූරයක් සඳහා පත්කර ඇත.

ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නව සභාපතිවරයා ලෙස කාර්යංශයේ සාමාන්‍යධිකාරි විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ පත්කර තිබීමය.

එම කාර්යංශයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ කමල් රත්වත්තේ ගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ තනතුරට විශ්‍රාමික මේජර් ජනරාල් පත්කර ඇත.

විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න අතින් ඔහු සිය පත්වීම් ලිපිය අද (08) ලබාගෙන ඇත.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පුරප්පාඩුව පවතින සාමාන්‍යධිකාරි තනතුරට එහි අතිරේක සාමාන්‍යධිකාරි (ජාත්‍යත්තර කටයුතු ) ඩබ්ලිව් එම් එන් වන්සේකර පත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

ගුරු - ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට : මාධ්‍යටත් බාධා !

අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය සහ ගුරු - අධ්‍යාපන වෘත්තීය සමිති නායකයන් එකතුව කොතලාවල පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුමේ අද (08) පවත්වමින් තිබූ උද්ඝෝෂණයට මැඩලීමට පොලිස් නිර්දය මැදිහත්වීමක් සිදුකළ බව වාර්තා වෙයි.

එහිදී ඉතා වයස්ගත කාන්තාවන් පවා අත්අඩංගුවට ගන්නා අයුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන වීඩියෝ හරහා දක්නට ලැබිණ.

එසේම අදාළ සිදුවීම් වාර්තා කළ මාධ්‍යවේදීන්ටද පොලිස් බාධා කිරීමක් සිදුවනු දක්නට ලැබුණු අතර එම සිදුවීම පහත වීඩියෝවේ දැක්වෙයි.

කොතලාවල පනත හරහා පෞද්ගලීකකරණය සහ මිලිටරිකරණය කරන බවට චෝදනා කරමින් පැවති විරෝධයට සම්බන්ධවීම හේතුවෙන් පිරිසක් අත්අඩංගුවට ගනුලැබූ අතර ඒ පිරිස අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි හා ගුරුසේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් යන අයද සිටියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ උද්ඝෝෂණ තහනම් කර තිබියදී මේ පැවැත්වීම නිසා අත්අඩංගුවට ගැනීම සිදුකළ බවය.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=6768#sigProId94d9ec363e

ජනාධිපතිලා තුනක් !

හතර අතින් ආණ්ඩුවත් රටත් නන්නත්තාර වී සිටින අවස්ථාවක සිය පාර්ලිමේන්තු ගමන බැසිල් රාජපක්ෂ මහතාට දැඩි අභියෝගයකි. 2015 ආණ්ඩු පරාජයේ වගකීම භාරගත් ඔහු පොරොන්දු පරිදිම 2019 දී යළි ලබාගැනීමට සමත් විය. ඒ අතින් කියූ දේ කළ අයෙකි. අනෙක 2024 බලාපොරොත්තුවක් ඇති ඔහු මේ වගකීම ගැනීම දැලි පිහියෙන් කිරි කෑමකි.

බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමනය මෙතරම් ඉහළින් හා වැදගත් කොට සලකන්නේ ආණ්ඩුවේ දරාගත නොහැකි ෆේල්වීමක් ගොඩදමාගත හැකි කෙනා එන බවය. එබැවින් ජනාධිපති ධූරය සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ කවර අර්ථ නිරූපනයක් තිබුණද අද සිට ශ්‍රී ලංකාවට ජනාධිපතිවරු තිදෙනෙක් සිටිති. (මහින්ද, ගෝඨා, බැසිල්)

බැසිල් රාජපක්ෂ මහතාගේ දක්ෂතාවන් පිළිබඳ කවර අභිවාදන පැවතියද ඔහු මේ පර්ෆෝම් කරන්නේ තම සහෝදරයන් දෙදෙනා ජනාධිපති හා අගමැති වීම නිසාය. එය මොළේ නිසාම කරන වැඩක් නොව බලේ නිසාද සිදුවන්නක් බව අප තේරුම්ගත යුතුය.

බැසිල් රාජපක්ෂ මහතාගේ මෙවර පාර්ලිමේන්තු ආගමනයත් සමග ලංකාවෙන් ලෝක වාර්තාවක්ද පිහිටවනු ඇත. සහෝදරවරු 4 දෙනෙක්ම එකම අවස්තාවක පාර්ලිමේන්තවේ අසුන් ගනු ඇත. ඊළඟ පරම්පරාවේ 3 දෙනා සමග 7 කි. "පුංචි පවුල රත්තරන්" නොවේ. "ලොකු පවුල රටක් වටී" වන්නේ ඒ නිසාය.

බැසිල් මොළකරුවෙක් වුවද තමන්ට පළිහක් මෙන් ළදරු මැතිඇමතිවරුන් පිරිසක් හා අන්තේවාසිකයන් පිරිසක් තබා ගෙන සිටිති. බලලුන් ලවා කොස් ඇට බාව ගන්නා සේ ඔහුගේ මතය හෝ ඕනෑකම් එළිදක්වන්නේ ඔවුන් මගිනි. ඔහුගේ පාර්ලිමේන්තු ගමන මෙන්ම මුදල් අමාත්‍යාංශය ලබා ගැනීමද එසේම සිදුවිය. රටේ ජනතාව හෝ අඩුම තරමින් 69 ලක්ෂය හෝ ඒවා පිළිගන්නවා යයි සිතන්නේ ඔහු මොළකරුවෙකු නිසාත් ජනතාව මෝඩ නිසාත්ය.

බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කියවෙන පෙර වැරදි සියල්ල අමතක කළ හැකිය. මුදල් අමාත්‍යවරයා ලෙස ඔහුට බැබලීමට මෙන්ම ඉදිරිමග හදා ගැනීමටද අවස්ථාව ලබා ගෙන ඇති මොහොතේ රට ගොඩදා ගත හැකි වුවහොත් එය ජයග්‍රහණයකි.

ඒ සඳහා නම් ඔහු ඇතුළු ආණ්ඩුව ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා කොමිසම ඇතුළු ආයතන සමග ඉදිරියේදී ළඟින්ම කටයුතු කිරීමට සිදුවනු ඇත. එය සාමාන්‍ය මිනිස්සුන්ගේ ජයග්‍රහණයක් වන්නේ ඔවුන්ගේ ඇතැම් කොන්දේසි සමග එකඟවීමට ආණ්ඩුවට සිදුවන නිසාය. එසේ නොමැතිව නම් මේ මර්දනය කිරීම් නතර කිරීම බොරුය.

මේ බැරෑරුම් අවස්ථාවේ සහෝදර සමාගමක් හෝ රට ගොඩ දමන්නේ නම් අප සතුටු විය යුතුය.

මහින්ද රූබසිංහ ෆේස්බුක් ගිනුමෙනි

ඉංජිනේරු සංස්ථාවේ ප්‍රශ්නය කුමක්ද?

ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් දෙදෙනෙකු එහි වහලය මත නැගී උද්ඝෝෂණයක් ආරම්භ කර පැය 24ක් ගෙවී තිබේ.

ඔවුන්ගේ උද්ඝෝෂණයට හේතුව කුමක්ද? එහි පාලනාධිකාරිය සේවකයන් නව දෙනෙකුගේ සේවය අත්හිටුවීම එහි ආසන්නතම හේතුවයි.

නමුත් ඒ පසුපස ඇති කතාව කුමක්ද?

දැනට වසරකට අධික කාලයක සිට ඉංජිනේරු සංස්ථාව තම සේවකයන්ට අදාල දිනයේදී වැටුප් ගෙවන්නේ නැත. සෑම මසකම 21 වැනිදාට වැටුප් ගෙවිය යුතුමුත් එය ගෙවන්නේ සතියක්, දින 10ක් ප්‍රමාද වීමෙන් පසුවය. මෙය ඉංජිනේරු සංස්ථා සේවකයන් විශාල අපහසුතාවයකට ගොදුරු කළ ප්‍රශ්නයකි. එමෙන්ම ඔවුන්ට වැටුපට අමතරව ලැබුණු දීමනාද වසරක කාලයක් තිස්සේ අත්හිටුවා තිබේ. දීමනා අහිමිව මූලික වැටුප පමණක් ලබමින්, එය පවා ප්‍රමාද වන තත්වයක් තුළ කම්කරුවන් අතර නොසන්සුන්තාව වර්ධනය විය.

මෙය පුපුරා ගියේ 2021 අප්‍රේල් මස 21 වැනිදාට ලැබිය යුතු වැටුප 30 වැනිදා වනවිටත් නොලැබුණු අවස්ථාවේය. සේවකයන් පාලනාධිකාරිය වටලා අරගලයක් කළ අතර ඉන් පසුව වැටුප් ගෙවන ලදී. 2021 මැයි සහ ජුනි මාස දෙකේ වැටුප් අදාල දිනයේදීම ගෙවන ලද්දේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙසය. නමුත් මෙලෙස වෙලාවට වැටුප් ගෙව්වේ භාණ්ඩාගාරයෙන් මාස දෙකක වැටුප් සඳහා වන මුදල කලින් ඉල්ලාගත් නිසා බව ආයතන ප්‍රධානීන් ඊයේ කම්කරුවන්ට පවසා තිබිණි. ඉතිරි මාස සදහා වැටුප් ගෙවීමට මුදල් ඉල්ලද්දී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා රජයට මුදල් නැති බව පවසා එය ප්‍රතික්ෂේප කළ බවද ඔවුන් පවසයි. රුපියල් ට්‍රිලියනයකට වැඩි මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළද රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමටවත් මුදල් නැති අර්බුදයක් තිබෙන බව මේ හරහා ප්‍රකාශයට පත්වේ.

ජුලි මාසයේ සිට වැටුප් ගෙවිය නොහැකි බව දන්නා ඉංජිනේරු සංස්ථා පරිපාලනය කම්කරු මර්දනය හරහා ඒ නොහැකියාව වසා ගැනීමට තීරණය කර ඇති බව පෙනේ. වෘත්තිය සමිති නායකයන් ඇතුළු සේවකයන් 9 දෙනෙකුගේ සේවය අත්හිටුවන මර්දනීය තීරණය ගත්තේ ඉන් අනතුරුවය. කම්කරුවන් වහල උඩට නැග විරෝධතා ආරම්භ කළේ එම මර්දනයට එරෙහිවය. මේ මර්දනය පරාජය කළ යුතුය. එමෙන්ම කම්කරු අයිතීන් දිනා ගැනීම සඳහා පුළුල් බලයක් ගොඩ නැගිය යුතුය. පවතින්නේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම පවා අපහසු අර්බුදයකි. අද ඉංජිනේරු සංස්ථා සේවකයන් කරන අරගලය දවසකින් හෝ සතියකින් හෝ මාසයකින් අනෙක් ක්ෂේත්‍ර වල කම්කරුවන්ටද කරන්නට සිදුවන අරගලයකි. ජයග්‍රාහී ආරම්භයක් ගනිමු.

පුබුදු ජයගොඩ ෆේස්බුක් ගිනුමෙනි

FB IMG 1625723572236

FB IMG 1625723578189

FB IMG 1625723586924

මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨයන් රැසක් ඉවතට !

මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ හා පළපුරුදු පරිපාලන දුසිමක් පමණ කොමිසමෙන් ඉවත්ව ගොස් හෝ ඉවත් කර හෝ ඇත. මැතිවරණ දෙපාර්තමේන්තු/කොමිෂන් සභා ඉතිහාසයේ අඩුම කාලයක් තුල වැඩිම මාණ්ඩලික නිලධාරීන් පිරිසක් ස්ථාන මාරුවීම් ලැබූ අවස්ථාව මෙයයි.

තවත් පිරිසක් ඉදිරියේ කොමිෂන් සභාවෙන් ඉවත්වීමට/ඉවත් කිරීමට කටයුතු කරමිත් තිබේ. ඒ අතර මැතිවරණ කේෂ්ත්‍රෙය් දැවැන්තයින් ද රැසකි.

මැතිවරණ දෙපාර්තුමේන්තුවට/ කොමිෂන් සභාවට නිලධාරීන් පත් කිරීම - ඉවත්කිරීම ගැන ආවාට ගියාට සිද්ධ කරන්නේ නැත. ස්වාධීන, අත්දැකීම් ඇති නිලධාරීන් කොමිෂන් සභාවට ආභරණයකි. ගෞරවයකි.

සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ලෙස කාන්තාවන් පත් කිරීම ආපසු හැරවීමට ද සුදානමක් ඇති බව දැනගන්නට ඇත. මට ඇති පුදුමය නම්, මේ ගැන ලංකාවේ ලියාපදිංචි එකම දේශපාලන පක්ෂයක හෝ සිවිල් සංවිධානයක හෝ අවධානය යොමු වී නොතිබීම ය.

ඊලඟට පැවැත්වෙන කුමන හෝ මැතිවරණයක් මෙහෙයවීමට වසර 5 කට වැඩි මැතිවරණ අත්දැකීම් ඇති නිලධාරීන් කී දෙනෙකු මැතිවරණ කොමිසමේ ඉතිරිවේ ද?

දැනට ස්ථාන මාරුවීම් ලැබ ඇති නිලධාරීන්

  1. ටී. හෙන්ස්මන්
  2. සුරංග රණසිංහ
  3. නාලක රත්නායක
  4. ධරණී වීරසේකර
  5. රාජේන්ද්‍රන් සසීලන්
  6. තිලින වික්‍රමරත්න
  7. දිලිප් ගම්ලත්
  8. නාමල් තලංගම
  9. ගයාන් පතිරණ
  10. පරිපාලන නිලධාරි ජේ.යු. ප්‍රියනාත්
  11. ගණකාධිකාරි තිලක් කුමාර

තවත් නියෝජ්‍ය කොමසාරිස්වරු දෙදෙනෙකු ඉවත්වීමට නියමිතය.

බැසිල් පාර්ලිමේන්තු ආවේ ව්‍යවස්ථාව කඩාගෙන ?

බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නීති තර්කයක් පැමිණ ඇත.

නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන් පිරිසක් සඳහන් කරන ආකාරයට වර්ථමාන පාර්ලිමේන්තුවේ මංත්‍රීවරයෙකු වීමට තවත් බරපතල නුසුදුසුකමක් බැසිල් රාජපක්ෂට ඇත.

එනම් මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත්කල දිනය වනවිට , ඔහු , අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සදහා මුලික සුදුසුකම් නොලබා තිබිමයි.

එදිනට පැවති නීතිය අනුව , ද්විත්ව පුරවැසියෙකුවු බැසිල්ට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත්වීම තහනම්කර තිබිණි . ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේදී ජන්දය ප්‍රකාශකරනවිට , මුලික සුදුසුකම්වත් ලබා නොතිබුණු බැසිල්ට දැන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිනීම නීතිය අනුව කළ නොහැකිය .

එලෙසම ජනතා පරමාධිපත්‍යය අතික්‍රමණය කිරීමකි.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මංත්‍රිවරයෙකු නම් කිරීමට , පොදුජන පෙරමුණේ ලේකම්ට බලයක් නැත. එසේ නම්කරත් , එම නම පිළිගෙන පාර්ලිමේන්තු මංත්‍රිවරයෙකු ලෙස ගැසට්කිරීමට මැතිවරණ කොමිසමට බලයක් නැත.

ඔවුන් එසේ සඳහන් කළත් බැසිල් රාජපක්ෂ ගේ පාර්ලිමේන්තු ආගමනයට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

IMG 20210708 WA0001

IMG 20210708 WA0000

Online ඉගැන්වීම් අධීක්ෂණ කැබිනට් පත්‍රිකාවට විරෝධය

පාසල් වසා දමා වසරකුත් මාස 03 කට වැඩි කාලයක් ගතව ඇති අතර, කඩාවැටුණු පාසල් අධ්‍යාපන පවත්වාගෙන යාමට ගුරුවරු විසින් තම මුදල් වියදම් කරමින් ස්වේච්ඡාවෙන් සිදු කරන මාර්ගගත ඉගැන්වීම් අධීක්ෂණයට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 2021.07.05 දින රැස් වූ කැබිනට් මට්ලයේ දී කැබිනට් පති‍්‍රකාවක් අනුමත කරවාගෙන ඇතැයි ද එසේ අනුමත කරගත් කැබිනට් පත්‍රිකාවට දැඩිව විරෝධය දක්වන බවත් ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ පිළිබද වැඩිදුරටත් නිවේදනයේ මෙසේද සදහන් වේ.

‘ගෘහස්ත කි‍්‍රයාකාරකම් මගින් ළමුන්ගේ ඉගෙනීම පවත්වාගෙන යාම’ නමින් අධීක්ෂණ කි‍්‍රයාවලියක් 2021 අගෝස්තු 1 දින සිට කි‍්‍රයාත්මක කිරීමට මේ මගින් කටයුතු කර ඇත. ඒ අනුව ගුරුවරුන් විසින් කි‍්‍රයාකාරකම් නියාමනය කිරීම හා අධීක්ෂණය කිරීම, ගුරුවරුන් විසින් සතිපතා සිසුන්ගේ කාර්යසාධනය තක්සේරු කර ශිෂ්‍ය කාර්යසාධන වාර්තා පවත්වාගෙන යාම, පාසලේ විදුහල්පති සහ ගුරුවරු විසින් දෙමාපියන් සහ සිසුන් සම්බන්ධ කරමින් ගෘහස්ත ඉගෙනුම් කටයුතු කි‍්‍රයාත්මක කිරීම, ගුරු උපදේශකයින් විසින් ගුරු කාර්ය සාධනය අධීක්ෂණය හා නියාමනය කිරීම කළ යුතු බව දක්වා ඇත.

මෙසේ සිසුන්ගේ ගෘහස්ත කි‍්‍රයාකාරකම් අධීක්ෂණය හා නියාමනය මාර්ගගත ක‍්‍රමවේද මගින් සිදු කිරීමේ දී ඊට අවශ්‍ය උපාංග, දුරකතන ඇමතුම් ගාස්තු සහ ඬේටා සඳහා යන වියදම් ගුරුවරු සහ විදුහල්පතිවරුන්ට ලබාදිය යුතුය. එසේ නොමැතිව මේ වන විට ගුරුවරු විසින් තම වියදමින් ස්වේච්ඡුාවෙන් සිදු කරනු ලබන මාර්ගගත ඉගෙනුම් අධීක්ෂණය මේ මගින් සිදු කරන්නේ නම් ඒ සඳහා අප දැඩි විරෝධය පළ කර සිටිමු.

කෝවිඞ් 19 වසංගත තත්වය තුළ ලක්ෂ 43 ක් පමණ වන සියලූ පාසල් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලැබීමට ක‍්‍රමවේදයක් ආණ්ඩුව හෝ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කි‍්‍රයාත්මක නොකිරීම මත 60% කට වැඩි දරුවන් පිරිසකට අධ්‍යාපනය අහිමි වී ඇති තත්වයක තවදුරටත් ආණ්ඩුව විසින් මාර්ගගත අධ්‍යාපනය පවත්වාගෙන යාමට කටයුතු කිරීම බරපතල කනගාටුදායක තත්වයකි. අධ්‍යාපන අමාත්‍යවරයා 2021.06.19 දින රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී සඳහන් කරන ලද්දේ අධ්‍යාපනය අහිමි වී ඇත්තේ 12% ක පමණ ශිෂ්‍ය පිරිසකට බවයි. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා 2021.07.06 දින පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කරන ලද්දේ අධ්‍යාපනය අහිමිව ඇත්තේ ලක්ෂ 43 ක් පමණ වන සමස්ථ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ලක්ෂ 35 කට බවයි. එසේම ජාතිය අමතමින් ජනාධිපතිවරයා පැවසූයේ පාසල් දස දහසකට ෆයිබර් ඔප්ටික් පහසුකම් ලබා දී ඇති බවයි. කෝවිඞ් 19 වසංගතය තුළ කඩා වැටුණු පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමෙන් තොරව අධ්‍යාපනය සම්බන්ධයෙන් වගකීම් දරන්නන් මෙන්ම ජනාධිපතිවරයා ද මේ ආකාරයෙන් පරස්පර අසත්‍ය ප‍්‍රකාශ කරමින් සිටීම බරපතල කනගාටුදායක තත්වයකි.

මාර්ගගත අධ්‍යාපනයට යොමු විය නොහැකි දරුවන්ට ප‍්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන සකස් කළේ යැයි දැවැන්ත ප‍්‍රචාරක ව්‍යාපෘතියක නිරත වූ අධ්‍යාපනය අමාත්‍යාංශය එම මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට නිසි වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක නොකිරීම නිසාම එය අසාර්ථක වී ඇත. එම මධ්‍යස්ථානවලට කැඳවන ගුරු-විදුහල්පතිවරු එන්නත් නොකිරීම, එම මධ්‍යස්ථාන සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා නොගැනීම, උතුරුමැද පළාතේ සෞඛ්‍ය අංශ විසින් අනුමැතිය ලබා නොදීම, දරුවන් 10 කට පහසුකම් ඇතිව සැකසූ මධ්‍යස්ථාන වෙත අපේක්ෂිත ලෙස දරුවන් නොපැමිණීම වැනි තත්වයන් මත එම කටයුත්ත මේ වන විට අසාර්ථ වී ඇත.

මේ තත්වය තුළ හුදු ප‍්‍රචාරක ව්‍යාපෘති පසෙක දමා කෝවිඞ් 19 වසංගත තත්වය තුළ අධ්‍යාපනය පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළ යුතුය.

මෙයට,

ජෝසප් ස්ටාලින් ප‍්‍රධාන ලේකම්

සිරස මාධ්‍ය මර්දනයක්: සජිත් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

සිරස මාධ්‍ය ජාලයට එල්ල වී ඇති තර්ජනයක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

විපක්ෂ නායකවරයා සිය විශේෂ ප්‍රකාශයේදී අවධාරණය කර සිටියේ, රජයේ ඉහළ පෙළ කණ්ඩායමක් නීතිඥවරුන් ද ඒකරාශී කර ගනිමින් සිරස මාධ්‍ය ජාලයේ විකාශන බලපත්‍රය කුමන හෝ නීතිමය තත්ත්වයක් තුළ අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට විශ්වසනීයව දැන ගන්නට ලැබී ඇති බවයි.

විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේ, සිරස මාධ්‍ය මර්දනය කිරීමට කටයුතු නොකරන බවට ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතු බවයි.

ආණ්ඩුව අද මාධ්‍යවලට එරෙහිව දැවැන්ත මර්දන ක්‍රියාවලියක් අරඹා ඇතැයි ද විපක්ෂ නායකවරයා මෙහිදී චෝදනා කළේය.

මාධ්‍ය මර්දනයෙන් ජනතා ප්‍රශ්න වහන්න බෑ - රුවන් විජයවර්ධන

මාධ්‍ය මර්දනය කිරීමෙන් ජනතා ප්‍රශ්න යට ගැසිය හැකි යයි යම් පාලන තන්ත්‍රයක් සිතනවා නම් එය විහිළුවක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන  නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි.

සිරස ආයතනය සම්බන්ධයෙන් උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වහාම ප්‍රකාශයක් කළ යුතු බව කියන රුවන් විජයවර්ධන මාධ්‍ය නිදහස තහවුරු කිරීමට කැපවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සහ අගමැති මහින්ද රාජපක්ෂගෙන් පක්ෂයක් ලෙස ඉල්ලා සිටින බවද සඳහන් කරයි.

"එක්සත් ජාතික පක්ෂය ඉතිහාසය පුරාම ජනමාධ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි පක්ෂයකි.

ජනමාධ්‍යයෙන් වැඩිම විවේචනයට ලක්වූවේ ද එක්සත් ජාතික පක්ෂය වුව ද අප කිසි විටෙකත් මාධ්‍ය මර්දනයට උත්සාහ ගත්තේ නැත. යහපාලන රජය සමයේ මාධ්‍ය හමුවේ වැඩිම විවේචනයට ලක් වූ පුද්ගලයා අප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ය. බෞද්ධ දර්ශනයට අනුගත වූ ඔහු විවේචනයන් ඉදිරියේ කම්පා වූවේ නැත. එය උසස් ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයකි. මාධ්‍ය විවේචන පිළිගැනීම රටේ අනාගතය‍ යහපත් වීම කෙරෙහි බෙහෙවින් උපකාරී වන බව අපේ විශ්වාසය යි. "යනුවෙන්ද රුවන් විජයවර්ධන සඳහන් කරයි.

මහින්ද ජයසිංහට ඇප ලැබෙයි

අධිකරණ නියෝග උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් අද (07) දහවල් අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ ඇතුළු දෙදෙනාව ඇපමත නිදහස් කර තිබේ.

ඒ ඔවුන් දෙදෙනාව අද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඒ ජන ජීවිත අනතුරේ හෙළමින් මුතුරාජවෙල තෙත් බිම් වැනසීමට එරෙහිව අද (07) පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගීවීම හේතුවෙනි.

එම විරෝධතාවය අද මධ්‍යාන 12.00ට බෝපිටිය මංසන්ධියේදී පැවැත්වීමට සූදානම් කර තිබී ඇත. එම විරෝධතාවය ආරම්භ කර තිබියදී පොලිසිය විසින් එම උද්ඝෝෂණය තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත. ඒ අනුව පිරිස විරෝධතාව නතර කර විසිර යමින් සිටියදී මෙලෙස මහින්ද ජයසිංහ මහතා පොලිසිය විසින් පමුනුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

දුමින්ද නාගමුව අත්අඩංගුවට

කොළඹ – 2 රාජ්‍ය ඉංජිනේරු සංස්ථා පරිශ්‍රය අසලදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ  පැවසුවේ, උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමේ චෝදනා මත ඔහු ඇතුළු තවත් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

උද්ඝෝෂණ, පෙළපාලි සහ රැස්වීම් කොවිඩ් රෝග ව්‍යාප්තියට හේතු වන බවට ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිරෝධායන නියෝගයට පටහැනිව කටයුතු කිරීම මත මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

බැසිල්ට මුදල් : ගැසට් එක සූදානම් !

පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමේ ගැසට් නිවේදනය අද ජුලි 06 රාත්‍රී නිකුත්වීමට නියමිතව තිබෙනවා.

බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනය, නිකුත්කිරීමට නියමිතව ඇත්තේ හෙට දහවල් කාලයේ.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන ආකාරයට බැසිල් රාජපක්ෂ ජුලි 08 දා පාර්ලිමේන්තුවේ දිව්රුම් දීමට පෙර, ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ මුදල් අමාත්‍යවරයා ලෙස දිව්රුම් දීමට නියමිතයි.

මීට පෙර වාර්තා වූයේ බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට සූදානමින් සිටි බවයි.

එහෙත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ යෝජනා කර තිබුණේ සෑම අමාත්‍යාංශයක් සඳහාම මැදිහත් වියහැකි ආකාරයට මුදල් , ආර්ථික සංවර්ධන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය බවයි.

නමුත් පසුව මුදල් අමාත්‍ය ධූරය සඳහා පමණක් එකඟතාවට පත්කර ගෙන තිබෙනවා.

මේ අතර බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය වෙනුවෙන් පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද ජුලි 06 උදැසන පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදෙනු ලැබුණත්, ඊට අදාළ සාකච්ඡා දින ගණනාවක් ඇදී ගිය බවත් වාර්තා වනවා.

ඒ බැසිල් රාජපක්ෂට මැතිසබයට පැමිණීමට හැකිවන ලෙස ඉවත් වීමට, ජාතික ලැයිස්තුවට පත්කළ කිහිපදෙනෙකුම යහපත් ප්‍රතිචාරයක් දක්වා නොතිබූ නිසයි.

එවැනි සාකච්ඡාවලදී ෆලීල් මර්ජාන්, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබෙනවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහට ඉල්ලා අස්වැන්නයි ඉල්ලීමක් කර තිබුනේ, ඔහුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා ද යෝජනා කරමින්.

නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත්තේ ,

''එහෙනම් මම ගෙදර යන්නම්.. මට ඔය රටරට වල යන්න දැන් වයසක් නැහැ..'' යයි කියමින් .

එසේම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන් ඉල්ලා අස්වීමට අකමැත්තක් නැතිබවක් පවසා තිබුනත් අගමැතිවරයා ඊට අනුකුලතාවයක් දක්වා නොතිබුණු බවත් වාර්තා වනවා.

මෙම මොහොමඩ් ෆලීල් මර්ජාන් මෙන්ම ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ ද ජාතික ලැයිස්තුවට නම්කර තිබුනේ අගමැතිවරයාගේ නිර්දේශය මතයි.

අවසානයේ ජයන්ත කැටගොඩ මෙන්ම මහාචාර්ය රන්ජිත් බණ්ඩාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ඉල්ලා අස්වීමට එකඟතාවය පළකර තිබෙනවා.

කෙසේ හෝ තමන් වෙනුවෙන් මන්ත්‍රී ධුරය පරිත්‍යාග කළ ජයන්ත කැටගොඩ වෙත, ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යලි ගම් මට්ටමින් ප්‍රතිසංවිධානය කිරීමේ වගකීම පැවරීමට බැසිල් රාජපක්ෂ තීරණය කර ඇතැයි ද , එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරනවා.

එසේම ඉදිරියේදී තමන් විසින් යෝජනා කරන ආර්ථික සැලසුම් වලදී ආණ්ඩුව නියෝජනය කරන විමල් පාර්ශවයේ ජාතිකවාදීන් වෙතින් බලපෑම් එල්ලවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීමට තීන්දුකර ඇති පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, අවශ්‍ය ඕනෑම මොහොතක දී ඕනෑම චන්දයකට මුහුණදීමට හැකිවන ආකාරයෙන් පක්ෂ යාන්ත්‍රනය සුදානම් කිරීමේ වගකීම ජයන්ත කැටගොඩ ට හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහට පවරා ඇතැයි ද වාර්තා වනවා.

දේශපාලන වාර්තාකරු

අනාෆ් ජසීම් කවියාගේ නිදහස : නීතිපතිට සති දෙකක් !

අත්අඩංගුවට ගෙන මාස 10 ක් තිස්සේ කිසිදු අධිකරණයකට ඉදිරිපත් නොකර පොලිස් රැදවුම්බාරයේ රදවා තබා සිටින මුස්ලිම් ජාතික කවියකු වන අනාෆ් ජසීම් වහාම මුදාහරින ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා සති දෙකක් ඇතුළත ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නීතිපතිවරයාට නියෝග කළේය.

සාහිත්‍යය නිර්මාණ හරහා මුස්ලිම් අන්තවාදයට ආධාර අනුබල දුන් බව ට සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා, ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අතර එහිදි අධිකරණය මෙම නියෝගය කරන ලදී.

මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ කියා සිටියේ මෙම පෙත්සම පිළිබද නීතිපති සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතීඥ කේ.කනග් ඊස්වරන් කියා සිටියේ පෙත්සමේ යතුරු ලියන දෝෂ කිහිපයක් ඇති බැවින් ඒවා නිවැරදි කිරීමට අවසර ලබා දෙන ලෙසය.

අධිකරණයෙන් ඊට අවසර ලැබිණි.

මෙම පෙත්සම ලබන අගොස්තු 04 වැනි දින කැදවන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා සති දෙකක් තුන ගොනු කරන්නැයිද නීතිපති ට නියම කළේය.

මුස්ලිම් ජාතික කවියකු වන අනාෆ් ජසීම් වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ , පොලිස්පති , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.

පෙත්සම්කරු කවියෙකි .කෙටිකතාකරුවෙකි.ලේඛකයෙකි.පෙත්සම්කරු ළමා කාලයේ සිටට ලේඛන නිර්මාණකරණයේ නිරතව සිටි අයෙකි.ඒසේම ඔහු සිය නිර්මාණ වෙනුවෙන් සම්මාන අගැයුම්ද ලබා ඇත්තෙකි.ඔහු කිසිවිටෙක සිය නිර්මාණ තුළින් අන්තවාදය හෝ ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කර නොමැත.

පෙත්සම්කරුව සියි නිවිසේ සිටියදී 2020 වසරේ මැයි 06 වැනිදා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණි අත්අඩංගුවට ගෙන ඇත.

පෙත්සම්කරු ගේ නිර්මාණ තුළින් මුස්ලිම් අන්තවාදයට සහ ළමා හිංසනයට සහයෝගය ලබා දීම යන්න ඔහුට එරෙහිව චෝදනා වශයෙන් ඉදිරිපත් කර තිබිණි.පෙත්සම්කරුව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට රැගෙන ගොස් රැදවුම් නියෝග යටතේ රදවා තබා ගෙන ඇත.

දැනට මාස 10කට ආසන්න කාලයක් ගෙවී ඇතත් පෙත්සම්කරුව කිසිදු මහේසත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කර නොමැත.මෙම තත්ත්වය තුළ පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසද තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද , තමන් රැදවුම් බාරයෙන් වහාම මුදා හැරීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටී.

උද්ඝෝෂණ රැස්වීම් තහනම් කරයි !

මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන උද්ඝෝෂණ හා රැස්වීම් පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙන බව පොලිසිය පවසයි.

පොලිස් මුලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම ක්‍රියාකාරකම් හේතුවෙන් කොරෝනා වෛරසය පැතිරයාමේ වැඩි අවදානමක් ඇති බවයි.

ඒ හේතුවෙන් එම උද්ඝෝෂණ හා රැස්වීම් නැවත දැනුම් දෙන තුරු සිදු නොකළ යුතු බව පොලිසිය විසින් මහජනතාවට දැනුම් දෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත කර ඇති නියෝගය අනුව ඒ සම්බන්ධයෙන් නිරෝධායන රෙගුලාසි යටතේ කටයුතු කරන බවද පොලිසිය පවසයි.

මේ වන විට සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගෙන ඇති අතර දිවයින පුරා පොහොර ඉල්ලා සිදුකරන ගොවි උද්ඝෝෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතියි.

තවත් මරණ 45ක් !

කොවිඩ් මරණ 45ක් ඊයේ (05) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (07) තහවුරු කර තිබේ.

කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 30 දෙනෙකු ඊයේ තහවුරු කරන ලද මරණ අතරට අයත්ය.

එම මරණ 45ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,313ක් දක්වා ඉහළගොස් ඇත.

බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වූ කැටගොඩට : සුබ අනාගතයක් !

පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ට පාර්ලිමේන්තු පැමිණීම සඳහා ඉල්ලා අස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩට රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක් ලැබීමට නියමිත බව වාර්තා වෙයි.

එසේම පොදුජන පෙරමුණේ බිම්මට්ටමේ සංවිධාන කටයුතු මෙහෙයවීමට වැඩි බලතල ප්‍රමාණයක් ලබාදෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට බැසිල්වාදි පාර්ශව කැටගොඩගේ ඉල්ලා අස්වීම විශාල පරිත්‍යාගයක් ලෙස හුවාදක්වමින් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයක් ගෙනයනු ද නිරීක්ෂණය වෙයි.

වාර්තා වන ආකාරයට පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව තුළින් බැසිල් රාජපක්ෂ ගේ පැමිණීම වෙනුවෙන් කිහිපදෙනකු යෝජනා වුවත් අපේක්ෂිත ආකාරයට ඔවුන් කිසිවෙකු ඉල්ලා අස්වූයේ නැත.

ඒ ෆලීල් මර්ජාන්, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, මහාචාර්ය චරිත හේරත්, වෙති. පසුව ඉල්ලා අස්වීම සඳහා එකඟතාව පළකර ඇත්තේ රන්ජිත් බණ්ඩාර සහ ජයන්ත කැටගොඩ යන මන්ත්‍රීවරුන් දෙදෙනා ය.

කොළඹට ෆයිසර් එන්නත හෙට සිට

වයස අවුරුදු 55ට වැඩි, කොළඹ 01 සිට 15 දක්වා වූ ප්‍රදේශවල සිටින ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබාදීමට තීරණය කර ඇති බව, යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනූව එම පිරිස් සඳහා ඊයේ ශ්‍රී ලංකාවට ලැබුණු ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 හෙට (07) සිට එන්නත්කරණ අරඹන බව යුද හමුදාපතිවරයා පැවසීය.

කොළඹ නගරසභා බල ප්‍රදේශය තුල ස්ථාන තුනක දී එන්නත්කරනය සිදුකිරීමට නියමිත අතර අදාළ පුද්ගලයින්ට එන්නත්කරණය සිදුකරන දිනය, වේලාව සහ ස්ථානය කෙටි පණිවුඩයකින් දැනුම්දීමට නියමිතය.

Page 377 of 386