Language Switcher

V2025

ජීවිත බේරන්න අලුත් වැඩක් !

ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය වඩා ශක්තිමත් කිරීම තුළින් ශ්‍රි ලාංකික පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා SLT Mobitel, Hutch, Dialog හා Airtel දුරකථන සේවා සැපයුම් ආයතන එක්ව, ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් එළිදැක්වීම සහ ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

මෙම අවබෝධතා ගිවිසුම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් එස්. රණසිංහ හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, මධුශංක දිසානායක විසින් අත්සන් තබන ලද අතර පාර්ශ්වකරුවන් ලෙස ඩයලොග් ආසියාටා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජානක ආර්. අබේසිංහ, භාරති එයාර්ටෙල් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අශීෂ් චන්ද්‍රා, මොබිටෙල් පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ, හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා පුද්ගලික සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සුමිත්‍ර ගුප්තා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

කාලගුණික හා දේශගුණික විපර්යාස මෙන්ම නොයෙකුත් හේතූන් මත සිදුවන ආපදා සඳහා නිසි පෙර සූදානමකින් යුතුව කටයුතු සිදු කිරීම තුළ ආපදා මඟින් සිදුවන ජීවිත සහ දේපල අනතුරු අවම කර ගත හැකි වේ. ඒ අනුව නව තාක්ෂණය යොදා ගනිමින් දුරකථන සන්නිවේදන ජාල හරහා පූර්ව අනතුරු ඇගවීම සිදු කිරීම වඩාත් ඵලදායී කාර්යක් ලෙස හදුන්වා දිය හැක.

ඒ අනුව විශේෂයෙන් සුනාමි ආපදාවන්ට අදාලව ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය තව දුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ක්‍රමවේදය එළිදක්වා තිබෙන අතර දිවයිනේ දිස්ත්‍රික්ක 14ක් තුල සුනාමි අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගේ මෙන්ම සුනාමි ආපදා කළමනාකරණ යාන්ත්‍රණයට සම්බන්ධවන හඳුනාගත් පුද්ගලයින්ගේ ජංගම සහ ස්ථාවර දුරකථන අංක හැට දහසකට (60,000) ආසන්න ප්‍රමාණයක් වෙත සයිරන් ශබ්දයක් සමග ක්ෂණික පූර්ව අනතුරු ඇඟවීමේ “Ring Tone” නිවේදනයක් යොමු කිරීමට හැකි වන පරිදි මෙය සැලසුම් කර ඇත.

විශේෂයෙන් රාත්‍රී කාලයේදී මහජනතාව වෙත සයිරන් ශබ්දයක් සමඟ තම දුරකථන නාද වීම තුළ වඩාත් ඵලදායී පූර්ව අනතුරු ඇගවීමේ යාන්ත්‍රණයක් මෙමඟින් ස්ථාපිත කර ගත හැකි වනු ඇත.

මෙම ක්‍රමවේදය 2023 දෙසැම්බර් 26 වන දිනට යෙදෙන "ජාතික සුරක්ෂිත දිනයට" සමගාමීව ජනගත කිරීමට නියමිත ය.
එමෙන්ම මෙම ක්‍රමවේදය තවදුරටත් ව්‍යාප්ත කරමින් නාය යාම් සහ ගං වතුර ආපදා තත්වයන් වලදී මහජනතාව වෙත මෙම පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය ව්‍යාප්ත කිරීම මගින් බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් ලෙසද ඉදිරියේදී මෙය දියත් කිරීමට අපේක්ෂා කෙරේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන්ද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරුන් වන බ්‍රිගේඩියර් ටී.සී. හරස්ගම, ප්‍රදීප් කොඩිප්පිලි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



.