V2025

පුවත්

රනිල්ට කාලයක් දීලා බලමු : රතන හිමි පවසයි !

නව ජනාධිපති ලෙස පත්ව සිටින රනිල් වික්‍රමසිංහට ‘රනිල් ගෝ හෝම්’ කියමින් රට අරාජික නොකර ඔහුට වැඩ කරගෙන යාමට මාස දෙකක වත් කාලයක් ලබා දිය යුතු බව අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසති .

එම කාලයේ දී රටේ අර්බුද විසඳීමට සම්පූර්ණයෙන්ම නොහැකි වූවද අර්බුද විසඳීමේ ක්‍රියාමාර්ගය ජනතාවට දැක ගන්න හැකිවනු ඇතැයිද උන්වහන්සේ පවසා සිටී.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ තවදුරටත් කියා සිටියේ විජය ධරනි ධර්මය ජාතික සභාව ලෙස තමන් ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා කළ බවයි.

මේ අතර අතුරලියේ රතන හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සාකච්ඡා සඳහා සම්බන්ධ වී ඇත.

මේ වන විට එම සාකච්ඡාවල දෙවන වටය ද සිදුකර අවසන් බවත් වාර්තා වෙයි .

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ එකමුතුව ගෝල්ෆේස් අරගලයට සමුදෙයි !

ගෝල්ෆේස් අරගල බිමේ සක්‍රීය පාර්ශ්වයක් වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව' එහි ක්‍රියාන්විතය අවසන් කිරීමට තීරණය කර ඇත .

මේ සම්බන්ධයෙන් ඔවුන් නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .

2022 අප්‍රේල් 09 වැනිදා එක් අරමුණක් වෙනුවෙන් කොළඹ ගාලුමුවදොරට පැමිණි අතිවිශාල ජනතාවකගෙන් ඇරඹි ගෝල්ෆේස් අරගල භූමියේ සිටි කණ්ඩායම් අතර 'සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව' ලෙස අපි ස්ථානගත වීමු.

ගාලුමුවදොර උද්ඝෝෂණ ස්ථානය මූලික කොටගනිමින් බිහිවුණු 'ගෝඨාගෝගම'ට සමගාමීව එහි ස්ථාපිත කෙරුණු මුල්ම කණ්ඩායම් අතරින් එකක් ලෙස අප එකමුතුව එදා සිට මේ මොහොත දක්වාම 'අරගලයේ සමාජ මාධ්‍ය භූමිකාව'ට වඩා ප්‍රශස්ත හා සාධනීය කාර්යභාරයක් ඉටු කළ බව අපි විශ්වාස කරමු.

වි⁣ශේෂයෙන්ම රාජපක්ෂ ආණ්ඩුව සහ එහි හිතෛෂී බලවේග ලක්ෂ ගණනින් මුදල් වඅය කරමින් අරගලයට විරුද්ධව, අරගලය දියාරු කරවන සමාජ මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපෘති දියත් කරන විට, ඒ සියල්ල යටපත් කරවමින් අරගලයේ සැබෑ තතු සහ තත්ත්වයන් සමාජ මාධ්‍ය අවකාශ තුළ තහවුරු කරන්නටත්, අරග⁣ලයේ නිශ්චිත තත්ත්වයන් සමාජ මාධ්‍ය තුළ සටහන් කරන්නටත් අප එකමුතුව දිවා රෑ නොබලා එකා සේ වෙහෙසී කටයුතු කිරීම සතුටට කරුණකි.

එමෙන්ම මැයි 09වැනිදා ආණ්ඩුවේ කුලී මැරයන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරය ඇතුළු ඊට පෙර හා පසු අරගලයේ සුවිශේෂී සන්ධිස්ථාන සමාජ මාධ්‍ය තුළ වාර්තා කිරීමටත්, ඒවා ලෝකය පුරා රැගෙන යන්නටත් අප සාමාජිකයන් සිය සමාජ මාධ්‍ය අවකාශ සහ වේදිකා භාවිත කළ ආකාරය ප්‍රශංසනීය ය.

තවද අප සාමාජිකයන් උක්ත සියලු කාර්යභාරයන් නොපිරිහෙළ ඉටුකළේ කිසිදු මූල්‍යමය හෝ වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන් නොව හුදෙක් රට වෙනුවෙන්, අරගලය වෙනුවෙන් තමන්ට පැවරී ඇති ජාතික වගකීම සිය යුතුකමක් සේ සලකමින් බවද සිහිපත් කළ යුතුය. එහිදී ගෝල්ෆේස් අරගල භූමියේ මෙන්ම ඉන් පිටතද, විශේෂයෙන් විදෙස්ගතව සිටියදී පවා සිය සමාජ මාධ්‍යමය කාර්යභාරය අකුරට ඉටු කළ අප සාමාජිකයෝ බොහෝ පිරිසක් වූහ.

කෙසේ වුවද සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව ලෙස අපි අද (05දා) ගාලුමුවදොර අරගල භූමියේ අපගේ මෙහෙයුම් නතර කිරීමට තීරණය කර ඇත්තෙමු. එහෙත් තවදුරටත් අරගලය පවතින බවත්, ජනතා ඉල්ලීම් දිනනතුරු අරගලය පවත්වාගෙන යා යුතු බවත් අපි තරයේ විශ්වාස කරමු.

එහෙයින් මේ දක්වා සිදු කරගෙන ආ පරිදිම ඉදිරියටත් එකමුතුවක් සහ කණ්ඩායමක් ව⁣ශයෙන් ⁣අප පොදු මහජන අරගලයේ සමාජ මාධ්‍ය මෙහෙවර නොපිරිහෙළා ඉටු කිරීමට මැදිහත් වන බවද මෙයින් දැනුම් දෙමු.

අවසාන වශයෙන් ගෝල්ෆේස් අරගලයේ ආරම්භක මොහොතේ පටන් මේ දක්වා අප පිළිබඳ ඔබ තැබූ අචල විශ්වාසයට අපගේ ගෞරවනීය ආචාරය පිරිනමමු. ඉදිරියටද සමාජ මාධ්‍ය පරිශීලකයන් සහ රටේ පුරවැසියන් ලෙස අප සමග එක්ව මේ පොදු මහජන අරගලය ජනතා ජයග්‍රහණයකින් කෙළවර කිරීම සඳහා එක්ව කටයුතු කරන්නැයිද හෘදයාංගමව ඉල්ලා සිටිමු.

-- සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව

පැරණි ආර්ථික මොඩලයෙන් ගොඩ යන්න බෑ : ජනාධිපති රනිල් !

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (05) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තා එළිදැක්වීමේ සහ විද්වත් කථිකාවේ ආරාධිත දේශනය සිදු කරමින් ය.

“LET’S RESET SRI LANKA” තේමාව යටතේ ඇඩ්වකාටා ආයතනය (Advocata Institute) මගින් මෙම සමුළුව සංවිධානය කර තිබෙන අතර අද සහ හෙට එය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී පැවැත් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යෝජනාව හොද හෝ නරක වුව ද, කවුරුන් කැමති හෝ අකමැති වුවද රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් නැවත නැගිසිටීමට එය ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ සඳහා යම් පාර්ශ්වයක් විරුද්ධ වන්නේ නම් ඊට ඔවුන්ගේ යෝජනා මොනවාදැයි ප්‍රශ්නකිරීමට රජයට අයිතියක් ඇති බව ද කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය .

මුලින්ම අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් ඇති කර ගත යුතුයි. දෙවනුව වඩාත්ම වැදගත් වන්නේ තිරසර ණයක් ලබා ගැනීමයි. මෙම ණය ලබා ගැනීම පිළිබඳ යමෙකුට යෝජනා තිබේ නම් එය පහසු වනු ඇති. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ අප එම යෝජනාවලට ඇහුම්කන් දිය යුතු අතර, පාර්ලිමේන්තුවට මෙම යෝජනා පිළිබඳ තීරණයක් ගත හැකියි.

රජයන්, රාජ්‍ය ප්‍රතිපත්තින් වෙනස්වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමේදී අපට මුහුණපෑමට සිදුවන මූලික ගැටලුවක්. නිසැකවම ඉදිරි මාස 06 තුලදීත් අපට දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවනවා. ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්වන ජනකොටස් කෙරෙහි අවධානය යොමුකළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පිළිගන්නවා.

රට මුලින්ම විදේශ ණය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. එමෙන්ම ආසියනු කලාපයේ භූ දේශපාලනයට හසු නොවී ගමන් කළ යුතු වෙනවා.

අපට විශාල ණය මුදලක් ගෙවීමට තිබෙනවා. අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය, පරමාණු බලශක්තිය භාවිතය වැනි ක්ෂේත්‍ර පිළිබඳ සම්ප්‍රදායික රාමුවෙන් බැහැරව සිතිය යුතුය. රටේ ආර්ථිකය වර්ධනය නොකොට රටේ අනාගතය ප්‍රතිසංවිධානය කළ නොහැකියි.

වර්තමානයේ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් සිදුකළ යුතු කාර්යය වන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමයි. 1997 ආසියානු මුල්‍ය අර්බුද අවස්ථාවේදී සහ 1997 තායි ආර්ථික අර්බුදය අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ආර්ථික අර්බුදකාරී අවස්ථාවන්ගෙන් යලි නැගී සිටීමට ඔවුන්ට මග පෙන්නුවා.

මම පසුගියදා මහා නායක හිමිවරුන් බැහැ දුටු අවස්ථාවේදී ස්වාමින්වහන්සේලාද විහාරස්ථාන කේන්ද්‍රකර ගනිමින් ජනතාවට සහන සැලසීමට එකග වුණා. ඇති- නැති පුද්ගලයන් අතර පරතරය පසුගිය කාලයේදී වර්ධනය වී තිබෙනවා.

කොවිඩ් සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් අධ්‍යාපනය අඩපනවී තිබෙනවා. එය කඩිනමින් යථා තත්ත්වයට පත්කළ යුතුයි. පළමුව ආර්ථික ස්ථායිතාව ඇති කළ යුතු අතර දෙවනුව ඒ තුළින් සමාජ ස්ථායීභාවය ඇති කළ හැකියි.

කෘෂිකර්මාන්තය හා ධීවර ක්ෂේත්‍රය නවීකරණය, නිෂ්පාදනයේදී නව තාක්ෂණය යොදා ගැනීම, දේශගුණික විපර්යාස අවම කිරීම, කාන්තාවන් මුහුණ දෙන ගැටලු, ජනතාවගේ නිවාස අවශ්‍යතා, ග්‍රාමීය ප්‍රදේශවල දරිද්‍රතාව වන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා.

ඉහළ වේතන ලබන, ඉහළ නිෂ්පාදන ධාරිතාවක් ඇති තරඟකාරී ආර්ථිකයක් අප නිර්මාණය කළ යුතුයි. වර්ධනය වන විශාල වෙළෙඳපොළක් සහිත ආසියානු රටවල් සමග වෙළෙඳ සබඳතා ගොඩනගාගත යුතු වෙනවා. වත්මන් ලෝක ආර්ථික තත්ත්වය කිසිදු රටකට හිතකර වන්නේ නැහැ.

තායිලන්තයේ හිටපු බැංකු ප්‍රධානී ආචාර්ය Veerathai Santiprubhop මහතා ද මෙහිදී අදහස් දැක්වමින් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මාධ්‍ය තුළ පෙන්වන තරම් ශ්‍රී ලංකාව තුළ මූල්‍ය අර්බුදයක් දක්නට නොමැති බවයි.

තායිලන්ත ආර්ථික අර්බුදයෙන් යළි නැගි සිටීමට රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය, වඩාත් දුෂ්කරතාවන්ට ලක්වන පුද්ගලයන් ආරක්ෂා කිරීම, ආයතනික ප්‍රතිසංස්කරණ, බැංකු ක්ෂේත්‍රයේ විශ්වාසනීයත්වය ඇති කිරීම, කැබිනට් මණ්ඩලයට ආර්ථික විශේෂඥයන් ඇතුලත් කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීම, අවශ්‍ය නීති සංශෝධනය, විදේශ විශේෂඥයින්ගේ සහාය ලබාගැනීම ආදී පියවර ගත් බව ද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, මයන්ත දිසානායක සහ ඇඩ්වකාටා ආයතනයේ සභාපති Murtaza Jafferjee ඇතුළු නියෝජිතයන් මීට එක්ව සිටියහ.

IMG 20220805 WA0015

තානාපතිවරුන් ආවට අක්තපත්‍ර බාරදී නෑ : ආරක්ෂාවේ ප්‍රශ්නයක් !

විදේශීය රාජතාන්ත්‍රිකයන් රැසක් මෙරට තානාපති සේවයට වාර්තා කර මාස කිහිපයක් ගතවී ඇති නමුත් , ඔවුන්ගේ අනිවාර්ය සම්ප්‍රදායක් වන අක්ත පත්‍ර භාරදීමක් මෙතෙක් සිදුව නොමැති බව වාර්තා වෙයි .

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙසේ මාස කිහිපයක් තිස්සේ අක්ත පත්‍ර භාරදීමට කටයුතු කර නොමැති රාජතාන්ත්‍රිකයන් ප්‍රමාණය 60 කට ආසන්න වෙයි.

සාමාන්‍යයෙන් විදෙස් රාජතාන්ත්‍රිකයන් තානාපති සේවය සඳහා පැමිණි විට අක්ත පත්‍ර භාරදීම සිදුකරනු ලබන්නේ රාජ්‍ය නායකයා වෙතය. ලංකාවේ නම් ජනාධිපති හටය.

අක්තපත්‍ර බාරදීම බොහෝ විට සිදුවන්නේ ජනාධිපති මන්දිරයේ හෝ ජනාධිපති ලේකම් කාර්‍යාලයේය.

කෙසේ වුවත් මාර්තු මාසයේ අග භාගයේ සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල රාජ්‍ය නායක ජනාධිපතිට එරෙහි විරෝධතා උද්ඝෝෂණ දියත්කර තිබිණ . පසුව එකී උද්ඝෝෂණ ජනාධිපති කාර්‍යාලය , "ගේට් සීරෝ" හරස් කර දින 100 කට අධික කාලයක් දියත් විය.

පසුව මතුවූ තත්ත්වයන් මත සාමකාමී අරගලය , කැරලිකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වූ අතර , මෙරට ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල වූ ජනාධිපති ලේකම් කාර්‍යාලය ඔවුන් අත්පත් කරගනු ලැබිණ . එයින් නොනැවතුනු ඔවුන් ජනාධිපති මන්දිරය , අග්‍රාමාත්‍ය කාර්‍යාලය , අරලිය ගහ මන්දිරය ඇතුළු රටේ රාජ්‍ය නායකයා වූ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා සතු නිල නිවාස කාර්‍යාල අත්පත් කරගත්තා පමණක් නොව එම ස්ථානවලට බරපතළ හානි සිදුකරනු ලැබිණ .

වාර්තා වන ආකාරයට රාජතාන්ත්‍රිකයන් අක්ත පත්‍ර භාරදීම සිදුව නොමැත්තේ, ඔවුන්ගේ මෙරට සිටින ආරක්ෂක උපදේශකයන් අදාළ නිල හමුවීම් සිදුවන ජනාධිපති කාර්‍යාලය , ජනාධිපති මන්දිරය ආශ්‍රිත ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තහවුරුවක් ලබාදී නොමැති නිසාය.

විශේෂයෙන් ජනාධිපති කාර්‍යාලය සහ ඒ අවට පරිශ්‍රය ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පැමිණ වටලන ආකාරයත්, පසුව පිරිසක් ඊට බලහත්කාරයෙන් ඇතුල්වී අලාභහානි සිදුකරමින් කිසියම් ප්‍රචණ්ඩ හැසිරීමක් පිළිඹිබු කරනු විදෙස් මාධ්‍ය වාර්තා වල පවා වීඩියෝ සහිතව විකාශය විය.

එවැනි පසුබිමක සිය ඉහළ පෙළේ තානාපතිවරුන් අවධානමක් සහිත කළාප වෙත යොමුවීම වලක්වාලීමට එම තානාපති කාර්‍යාල ආරක්ෂක උපදේශකයන් කටයුතු කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදෙස් සේවයේ ප්‍රවීණයන්, මෙන්ම දේශපාලන විචාරකයන් පවසන්නේ , ජනාධිපති කාර්‍යාලය , අග්‍රාමාත්‍ය කාර්‍යාලය වැනි ප්‍රධාන පරිපාලන ගොඩනැගිලි සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ වල, විරෝධතා පැවැත්වීම පුරවැසි අයිතියක් නමුත් , දිග්ගැස්සෙන විරෝධතා හෝ කඳවුරුලෑම් සඳහා ඉඩදීම පෙරලා රාජ්‍යයේ ස්ථවරත්වයට කැළැලක් බවයි.

එයින් යන පණිවිඩය වන්නේ අදාළ රාජ්‍ය තුළ පාලනය කරගත නොහැකි තත්ත්වයක් පවතින බව යැයිද ඔවුන් පවසයි .

එසේම අක්තපත්‍ර බාරදීම වැන්නක් නිල වශයෙන් ජනාධිපති කාර්‍යාලය, මන්දිරය වැන්නක සිදුකරනු ලබන්නේද එකී රාජ්‍යයේ නිදහස් , සාමකාමී සහ ස්වෛරී බව විදහා දැක්වීමට බවත් , ඒ හේතුවෙන් මෙකී ස්ථාන ආශ්‍රිතව කිසියම් ප්‍රශ්නගත තත්ත්වයන් ඇති විට , පාලකයන් අපහසුතාවට පත්නොකර අක්තපත්‍ර බාරදීම ප්‍රමාද කිරීමක් විය හැකි බවත් ඔවුන් පවසයි .

කෙසේ වුවත් රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් පමණක් නොව ආණ්ඩුකරණය සම්බන්ධයෙන් නිල් දැනුමක් සහිත හිටපු ජනාධිපති ගෝඨාභය දුරදිග නොබලා , තීරණාත්මක පරිශ්‍රයක විරෝධතා උද්ඝෝෂණ සඳහා වෙනම ස්ථානයක් වෙන්කළ නමුත් , එම ස්ථානය එතැනින් වෙනත් තැනකට යොමුකිරීමට ගෙන ඇති තීන්දුව වැදගත් බවත් පවසයි .

දේශපාලන විචාරකයන් වැඩිදුරටත් පවසන්නේ , මේ ආකාරයට ස්ථානය වෙනස්වීම අරගලයට හානියක් ලෙස නොසැලකිය යුතු බවයි . අරගලයක් පැන නැගීමට අදාළ කොන්දේසි පාලකයන් වෙනස් කරන තුරු අරගලය අවලංගු නොවන බවත්, එය කිසියම් ස්ථානයක්, බිමක් වෙත ලඝු නොකිරීමට අරගලකරුවන් ද තේරුම් ගෙන කටයුතු කළ යුතු බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කර සිටියි.

 

අරගලය ඕන රනිල්ට !

69 ලක්ෂයේ ජනවරම වෙනුවට මිලියන 21ක් වූ ජනතාවගේ සාතිශය බහුතරයක විරෝධය හමුවේ මහා බලගතු ගෝඨාභය රටින් පළා ගියේය. දැන් ව්‍යවස්ථානුකුලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය.
 
කවුරු කැමති වුණත් , කවුරු අකමැති වුණත් ඉස්සරහට යන්න සිදුවෙන්නේ ඒ බව පිළිගෙනය.
 
 69 ලක්ෂයක ජනවරම සමග විපක්ෂය වචන වලින් මිස වැඩ වලින් හැපෙන්න ගියේ නැත. වැඩක් හැටියට gota go home ලෙස වැඩක් හැටියට හැපුණේ, අරගලකරුවන් ය. ඔබට මතක නම් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සිය පුද්ගලික ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් කියා සිටියේ,  වගකීමක් නැති , අසංවිධානාත්මක අරගල වලට  තමන් නෑ කියාය.
 
🎯 මධ්‍යම පංතියේ නැගිටීම !
 
එහෙත් අරගලය වටා ජනතාව රොද බඳින විට ජවිපෙ පමණක් නොව , අරගලය අවිශ්වාස කළ බොහෝ දෙනෙකු ඒ වෙත පැමිණියා පමණක් නොව , තම තමන්ගේ න්‍යායපත්‍ර මත අරගලය යළි යළිත් සංවිධානය කරනවාද දකින්නට ලැබිණ .
 
සැබවින්ම ලංකා ඉතිහාසයේ අතිශය ප්‍රථම වරට දියත් වූ මේ අරගලය වෛවර්ණ ය. ඊට විචිත්‍ර බව එක්කළේ සිය පරිභෝජන අවස්ථා අහිමිව ජීවිතය පවා තර්ජනයට ලක්වූ මධ්‍යම පංතිය යි.
 
මේ ගැන කෙනෙකුට වාද කළ හැකිය. එහෙත්  gota go home සටන් පාඨය යථාර්ථයක් වීමෙන්  පසුව , අරගල භූමියට වෙච්ච දේ තේරුම් ගන්නට හැකි ඕන අයෙකුට වෙච්ච සන්තෑසිය තේරුම් ගන්න දුෂ්කර නැත.
 
🎯 මධ්‍යම පංතියේ හැසිරීම !
 
සැබවින්ම අරගලය හුදෙකලා වීම ඇතමුන් රාජ්‍ය මර්දනයට , පාවාදීම්, වලට සහ පියවරක් පස්සට ආදී ලෙස හඳුන්වමින් හිත හදාගන්න , උත්සාහ කළත් , සිදුවූයේ රනිල් වික්‍රමසිංහ ආගමනය  සහ අර්බුදය විසඳීමට ඔහු ඉදිරිපත් කළ අදහස් මෙරට මධ්‍යම පංතිය පිළිගැනීමය.
 
එසේ වුවත් ඒ පිළිගැනීම ආගමික භක්තිමත් බවක් හෝ, මාරම විශ්වාසයක් තුළ සිදුවුවක් යැයි සිතා අපි කවුරුත් වරද්දා ගතයුතු නැත. ඔවුන් කළේ, " ඉවසීමෙන් ඉඩදීමක්" ය. රනිල් කියන දේ කරන්න කාලය දෙන්න ඕන යන්න, ඔවුන් ප්‍රසිද්ධියේ  නොකීවාට, සම්මුතිය ඒකය.
 
🎯 System Change ?
 
 ඒ ගෝල්ෆේස් අරගල බිමේ සිට රටේ බොහෝ දිස්ත්‍රික්ක, මංසන්ධි, වල පැවති විරෝධතා වල ප්‍රමුඛ සටන් පාඨයක් ලෙස  , system change ඉල්ලූ මිනිස්සුය.
 
හැබැයි එතන  system change කිව්වට , ඊට  පොදු නිර්වචනයක් තිබුණේ නැත. කෙසේ වුවත් සමහර වාමාංශිකයන් සහ අරගලයට බට  ළදරු වල්ලිපුකාරයන්  system change ඉල්ලුවේ , "රට උස්සා පොළවේ ගසන්න"ය. මන්දිර අස්සට පැන මෝල් කෙළින්න තරුණයන් පෙළඹවූයේ ඒ ළදරු වල්ලිපුකාරයන් ය. අරගල වලදී මන්දිර අල්ලන්නේ ආය දෙන්න නොවන බව මේ ළදරු වල්ලිපුකාරයන් දැන සිටියේ නැත. ඒ රාජ්‍ය යනු කුමක්ද නොදැනීම මිස වෙන මොකක්ද ? දැන් සමහරු නඩු කන්නේ අරගල කරන්න  ළදරු වල්ලිපුකාරයන්ගෙන් ඉගෙනීම නිසාය .
 
එහෙත් සාතිශය බහුතරයක් ජනතාව ඉල්ලුවේ ඒ අටමගලක් නොවේය. කොටින්ම අරගල බිමෙන් නිකුත්කළ පොදු ලියවිලි කිසිවක, "අර්බුදය අස්සේ පරිපීඩිත ජනතාව සමග රට උස්සා පොළොවේ ගසන" යෝජනා නැත. එයින් ඉල්ලන්නේ සමාජ - ආර්ථික - දේශපාලන ක්ශේත්‍ර වල රැඩිකල් ප්‍රතිසංස්කරණ ය.
 
🎯 කොච්චර ගැහුවත් රනිල් කියපු දේ ?
 
වැඩේ කියන්නේ , රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ තනි මන්ත්‍රීවරයා ලෙස ඉන්න අතර පමණක් නොව , පසුගිය ආණ්ඩුකරණ අවස්ථා වලත් කිව්වේ, සමාජ ආර්ථික දේශපාලන දේහය කාළීනව නව්‍යකරණය නොකළොත් රටින් ගන්න දෙයක් නැති වෙන බවය.
 
කෙසේ වුවත් රනිල්ට වැඩිම විවේචන එල්ල කළ, රනිල්ට වැඩියෙන් චෝදනා කළ, රනිල්ව දේශපාලන පෙතෙන් ඉවත් කරන්න යෝජනා කළ සියලු දෙනාට අද රනිල් දිහා බලාගෙන ඉන්නට සිදුව ඇත.
 
🎯   ranil go home කියලා  : සාකච්ඡා මේසයට ඇවිල්ලා !
 
පසුගිය සමයේ ranil go home කියූ විපක්ෂයේ දේශපාලනඥයින් පවා , ප්‍රාතිහාර්‍ය දැකීමට සූදානමක් පෙන්නුම් කරයි. විශේෂයෙන් පොදුජන පෙරමුණේ සැලකිය යුතු පිරිසක් , ශ්‍රීලනිප යේ සාතිශය බහුතරයක් , සමගි ජනබලවේගයේ පිරිසක් , TNA , කම්කරු කොන්ග්‍රසය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ දැන් රනිල් වික්‍රමසිංහ දිගටම යෝජනා කළ සර්ව පාක්ෂික ආණ්ඩුව සාකච්ඡා මේසය පිළිගෙන ඇත.
 
🎯 හොර නිදි වානා !
 
සැබවින්ම හොරට නිදාසිටි වුන් පවා, නැගිටින්න බල කෙරුණු , සියලු  දෙනා දෑස් විවර කළ මොහොත , ඊයේ (03) ජනාධිපති රනිල්ගේ රාජාසන කතාවය.
 
සුපුරුදු පරිදි ජවිපෙ විරුද්ධ වුණත් , කොයි දේත් දොස් දකින රාජිතට මෙන්ම , රනිල් දැක්කත් පළු දාන විපක්ෂ නායක සජිත්‍ට පවා ඒ කතාව ඉස්සරහ දන නමන්නට සිදුවිය. ඒ අන් කිසිවක් නිසා නොව, මිලියන 21ක් ජනතාව සක්‍රීයව හෝ අක්‍රීයව අනුමැතිය ලැබ, උස් හඬින් අරගලයේ අරගලකරුවන් ඉල්ලූ system change එකේ මූලික පදනම් සියල්ල රනිල් සිය රාජාසන කතාව තුළ ගොනුකර ගෙන තිබූ නිසාය.
 
නැත්නම් මැතිවරණයක් ඉල්ලූ පම්පෝරිජනක දේශපාලනඥයින් පවා ගැස්සුනු, අපේක්ෂාවේ කතාවක්, කාටවත් පැනයා නොහැකි සැලසුම්ගත රාමුවක් ඒ තුළ අඩංගුවූ නිසාය. කොටින්ම කියනවා නම් දැන් අරගලකරුවන්ට පවා ඒ සැලැස්මෙන් ගැලවීමක් නැත.
 
🎯 ගෝල්ෆේස් ප්‍රමුඛ අරගලකරුවන්ගෙ ඉල්ලීම !
 
ගෝල්ෆේස් ප්‍රමුඛ අරගලකරුවන් ඉල්ලා සිටියේ මොනවද ? 
 
රාජපක්ෂ රෙජීමය ඉවත් කිරීමේ සිට, සීමිත කාලයක් සඳහා අන්තර්වාර පාලනයක්, අත්‍යවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සහ සංශෝධනය කිරීම , අර්බුදය කඩිනමින් කළමනාකරණය කිරීම , වත්කම් විමර්ශනය ඇතුළු දූෂණය වලක්වාලීම, නීතියේ සාධාරණත්වය , නිදහස් හා සාධාරණ මැතිවරණ, ජාතිවාදී ආගම්වාදී ප්‍රවණතා පිටුදැකීම, ඇතුළු කරුණු ය. 
 
🎯 සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීම !
 
අරගලයට ජීවය දුන් සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීම් වූයේ , ඉන්ධන , ගෑස්, ආහාර , ඖෂධ සහ විදුලි කප්පාදුව නැවැත්වීම , උද්ධමනය පාලනය කර ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමය.
 
🎯 අර්බුදයේ මුල !
 
රනිල්ගේ රාජාසන කතාවේ තිබුණේ මොනවද ? එහි එන ආර්ථිකය නවීකරණය කිරීමට අදාළ මේ උපුටා ගැනීම බලන්න .
 

"අපේ ආර්ථික ක්‍රමවේදයන් කෙසේ විය යුතු දැයි යන්න ගැන අපි දැන් දශක දෙක තුනක් තිස්සේ වාද විවාද කර ගන්නවා.  1977 දි අප රටට නව ආර්ථික ක්‍රමයක් හඳුන්වා දුන්නා.  නමුත් කාලයට ගැළපෙන ලෙස එය නවිකරණය කර ගන්නට අප අසමත් වුණා.  ආර්ථිකය නවීකරණය කිරීම සඳහා අවධානය යොමු නොකර තරඟකාරී, අදූරදර්ශී සහ විනාශකාරී පටු දේශපාලනයක නිතර වුණා.  යුක්රේන යුද්ධය, කොවිඩ් වසංගතය සහ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් කඩා වැටීම වැනි ජාත්‍යන්තරයේ සිදුවු අවාසිදායක ආර්ථික සාධක අපේ අර්බුදය තවත් සංකීර්ණ තත්ත්වයකට ඇද දැම්මා. මේ ප්‍රධාන හේතු සාධක නිසා අපේ රට පහළටම ඇද වැටුණා.  ජනතාව අති මහත් දුෂ්කරතාවයන්ට ලක්වුණා."

🎯 ලෙඩේ දැනගෙන බෙහෙත් දෙන්න !

 ප්‍රතිකාර‍ය නිවැරදි වෙන්න නම් මුලින්ම රෝග නිධානය හරියට තක්සේරු කළ යුතුය. ඒ අර්ථයෙන් ගෝලීය ආර්ථිකය තුළ දූපත් මනසින් පිස්සු කෙළියා මිස ආර්ථිකය නවීකරණය කිරීමට හිතුවේවත් නැත. එනිසා දැන් රෝග නිධානය හරියට හඳුනා ගත්තා නම් අවශ්‍යව ඇත්තේ ප්‍රතිකාර කිරීමය.

🎯 හදිසි ප්‍රතිකාර කිහිපයක් !
දැනටත් හදිසි ප්‍රතිකාර ලෙස විදුලි කප්පාදුව අවම කර ඇත. වගා කටයුතු සඳහා පොහොර ආනයනය අරඹා ඇත. ආහාර හිඟයක් ඇති නොවීමට ආරක්ෂක පියවර ගෙන ඇත . එසේම ගෑස් පෝලිම් අවසන් වෙමින් පවතී. රෝහල් වෙත අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වීමට පියවර ගෙන ඇත. පාසල් , කාර්‍යාල සුපුරුදු කාර්‍ය කටයුතු අරඹා ඇත. කර්මාන්ත සහ අපනයන අංශයන්ට එල්ල වී ඇති බාධාවන් ඉවත් කිරීමට පියවර ගනිමින් ඇත.
 
🎯 ඉන්ධන සම්බන්ධ තීන්දුව වැදගත් !
 
මේ සියල්ල කීමට හැකියාව ඇත්තේ සැබවින්ම මේවා ඉටුකර ඇති නිසාය . එසේම ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ද ජනතාව වෙත ඇත්ත පැවසීම වැදගත් බවත් මෙහිලා සටහන් කළ යුතුව ඇත.
ජනාධිපති රනිල් සිය රාජාසන කතාව තුළ සඳහන් කර සිටියේ , "ඉන්ධන ගෙන්වා ගැනීම සඳහා වෙනත් රටවලින් ණය ආධාර ලැබෙන තුරු බලා සිටීමේ ක්‍රමය  අවසන් කළයුතු බවය. දැනට  රටේ අපනයන ආදායම සහ විදේශ ප්‍රේෂණයන්ට සරිලන පරිදි ඉන්ධන ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක්  ආරම්භ කරන බවය. 
මෙහිදි ඉන්ධන සඳහා ගෙවීම් සමබර කර ගැනීම සඳහා තෝරාගත් ආනයන සීමා කිරීමට සිදුවන බවත්  අනික් අතින් ඉන්ධන සැපයීම සීමා කරන්න සිදුවන බවත් ඒ, මේ වසර අවසන් වන තුරු පමණක් බවය.
 
🎯 මිනිසුන්ට ඇත්ත කියන්න !
 
අර්බුදය විසඳීමට පමණක් නොව අවස්ථාව අනුව එය ඔඩුදිවීම පාලනය කිරීමට මේ යෝජනාව වැදගත් ය. මෙහෙම ඇත්ත කියන්න නායකයන් බිය විය යුතුද නැත. මෙවැනි කාලයක කොහොමටත් මිනිස්සු බොරු අහන්න සූදානම් නැති අතර , ඇත්ත ඇති සැටියෙන් කියූ විට තර්ක බුද්ධියෙන් විමසා වැඩ කරන්න මිනිසුන් සූදානම් ය.
එන එන නායකයන්ට ගෝ ගෝ කියූ වෘත්තීය අරගලකරුවන් ජනතාව විසින් හුදෙකලා කර දමමින් ඉන්නේද ඒ අනුවය. 
ඒ කියන්නේ මෙතෙක් රනිල්ට එරෙහිව අමෝරාගත් ඊනියා අවි වාෂ්ප කර සිහින ශ්‍රී ලංකාව ගොඩ නැගීමේ අවස්ථාව රනිල්ට උදාවී ඇති බවය. 
 
🎯 ආර්ථිකය ස්ථාවර කරන්න !

 එසේම IMF සමග සිව් වසරක වැඩසටහනක් වෙනුවෙන් යොමුවීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කිරීම, අපනයන ආර්ථිකය වර්ධනය කිරීමට පියවර ගැනීම, හැකිලෙමින් ඇති මධ්‍යම පංතිය පුළුල් කිරීම සහ ශක්තිමත් කිරීම , ඉඩම් නිවාස බලපත්‍ර ,පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම, වසර 25 ක ජාතික ආර්ථික සැලැස්ම , සමාජ සාධාරණත්වය වෙනුවෙන් වූ කොමිසමක්,ඇතුළු මේ කිසිවක් නරක නැත. 

🎯 දේශපාලන ප්‍රතිසංස්කරණ කවුද එපා කියන්නේ ?
එසේම විධායකය සතු අත්තනෝමතික බලය ඉවත් කිරීම , ස්වාධීන කොමිෂන් සභා යළිත් බලාත්මක කිරීම , 22 ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ ද කිසිවෙකු නරකයි කියන්නේ නැත. ඔය ටික තිබුනා නම් 69 ලක්ෂයක ජනවරමක් ගත් ගෝඨාභයට රටින් පැන යන්න වෙන්නේ ද නැත. ප්‍රශ්නය ඇත්තේ , ඔය ටික කරන්න 17, 18, 19, 20 යන සියලු ව්‍යවස්ථා සංශෝධන වලට උස්සපු අත් කොහොම මොනවා කරයිද යන්නය. 
දැනටමත් ඇතමුන් හදිසියේ රාජපක්ෂ විරෝධයක් මවා විපක්ෂයට පැන , ප්‍රභූ දේශපාලනය රස කතා සාප්පු පටන් ගෙන ඇත. 
 එසේම කිවයුතු තවත් දෙයක් ඇත. ඒ මේ රට 2048 දී 100 වන නිදහස් සැමරුම අවස්ථාව වන විට සංවර්ධිත රටක් කිරීමේ අපේක්ෂාව ගැනය. මේ රට එහෙම තැනකට ගන්න නම් 2000 මුල මග වැටුණු "රිගේනිං ශ්‍රී ලංකා " පන්නයේ වැඩක්, අදට ගැලපෙන ලෙස ගේන්න ඕනය.
🎯 සිස්ටම් චේන්ජ් කරන්න : අරගල කාර්‍යංශයක් !
එහිදී ඊනියා ජනමතය වෙනුවට හරි දේ කරන්න මේ තියෙන ධෛර්යය දිගටම අවශ්‍ය වනු ඇත. 
 ඒ කියන්නේ , ඊනියා ජනමතය කියමින් පිස්සු නටන නාඩගම්කාරයන්ට එරෙහිවත් අරගල කිරීමට කාලයක් ඉස්සරහට එන්න පුළුවන් බවය. සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමට, ජනාධිපති රනිල් හඳුන්වා දෙන අරගලකරුවන්ගෙ ආරක්ෂාව සහතික කෙරෙන  කාර්‍යංශය ඒ වෙනුවෙද අප දන්නේ නැත. 
 
එහෙත් සිස්ටම් චේන්ජ් එක අරගලකරුවන්ටත් වඩා රනිල්ට අවශ්‍ය බවත්, හැදෑරීම , සාමකාමී බව, ඉවසීම,  සහ අවශ්‍ය මොහොතේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීම එහි අරගල මාදිලිය බවත්, ඔහු මෙතෙක් පැමිණි දේශපාලන මග විසින් තහවුරු කර ඇත. ඒ හැර පක්ෂ , සන්ධාන හරහා ගමනේදී රනිල් පැරදුණේද ඔහුගේ දැක්ම , වැඩපිළිවෙළ වෙනුවෙන් අරගල කිරීමට ප්‍රමාණවත් පිරිසක් නොසිටි නිසාය . 
සටහන : M.L. සහීර් 

චම්පිකගෙන් රනිල්ට උපදෙස් !

රාජ්‍ය පාලනයේදී ජනාධිපතිවරයා දිනාගත යුත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය නොව ජනතා විශ්වාසය බවත්, සියලු පක්‍ෂ එක්කරගත් සර්ව පාක්‍ෂික වැඩපිළිවෙලකට යොමුවන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාට සහය ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ දී අද (31) පැවති කොස් පැල සිටුවීමේ වැඩසටහනකට සම්බන්ධවීමෙන් පසුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

රජයේ වත්මන් වැඩපිළිවෙල යටතේ සහ රට බංකොලොත් කළ දේශපාලකයන් සහ නිලධාරීන් පැත්තක සිටියදී තරුණ සමාජ ක්‍රියාකාරිකයන් හඹා ගොස් හදිසි නීතිය යටතේ ප්‍රශ්න කරන්නට, පැහැර ගන්නට යාමෙන් ආණ්ඩුව ගැන රටේ විශ්වාසයක් ගොඩනොනැගෙන බව ද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

මේ වන විට ආණ්ඩුව යන ආකාරයට රටේ ප්‍රතිරූපය තවත් ඇද වැටෙන බව කී මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා පොහොට්ටුවේ විශ්වාසය දිනාගත්තාට අමතරව ජනතා විශ්වාසය දිනාගත යුතු බවත්, පොහොට්ටුව ගැන ජනතා විශ්වාසයක් නොමැති බවත් කීවේය.

 

ඩලස්ගෙන් නව දේශපාලන ව්‍යාපාරයක් !

දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් සමග එක්ව නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම ගේ කණ්ඩායම, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු හවුල් පක්ෂ කණ්ඩායම සමඟත්, අනුර ප්‍රියදර්ශන යාපා ගේ නායකත්වයෙන් යුත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සමගත් , චම්පික රණවක මන්ත්‍රීවරයා සමගත් සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පවුල්වාදය ,විප්ලවවාදය යන අන්ත දෙකෙන් මිදී ,ප්‍රතිසංස්කරණවාදී දේශපාලන ව්‍යාපාරයක් බිහි කිරීම සඳහා මෙම පිරිස සැලසුම් කරමින් සිටින බව ඩලස් අලහප්පෙරුමගේ කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ පක්ෂ සමග එකගතාවක් ඇති කර ගැනීම,දිස්ත්‍රික්ක හා ආසන මට්ටමින් මැතිවරණ ජාලයක් ගොඩනැගීම, ජාත්‍යන්තර හා දේශීය දේශපාලන සංවිධාන සමඟ සම්බන්ධතාවක් ගොඩනැගීම, ප්‍රතිසංස්කරණයක් මත පදනම් වූ දේශපාලන වැඩපිළිවෙළක නිරත වීම යන අරමුණු මුල්කරගෙන මෙම නව දේශපාලන සන්ධානයගොඩ නැගීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

රනිල් ආර්ථිකය හදයි : මහින්ද විශ්‍රාම යන්න ඕන - අමරවීර

රට ආර්ථික වශයෙන් කඩා වැටුණු සෑම අවස්ථාවකදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශිෂ්ඨ ආර්ථික දැක්ම උපයෝගි කරගෙන යළි ආර්ථිකය ගොඩනඟා රටේ අනාගතය සුරක්ෂිත කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ ඊයේ(30)අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති ශ්‍රි.ල.නි.ප හමිබන්තොට දිස්ත්‍රික් කොට්ඨාස සංවිධායකවරුන් ගේ හමුවක් අමතමින්ය.

2001 වසරේ මෙරට ආර්ථිකය රින වර්ධනයක් පෙන්නුම් කරමින් දැවැන්ත ආර්ථික පසුබැසිමකට ලක් වු අවස්තාවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්ව ඒ තත්ත්වය වෙනස් කරමින් රටේ ආර්ථිකය ගොඩනැගු බවත් එහිදී ඇමතිවරයා පැවසිය.

යල්පැන ඇති සමාජවාදි ආර්ථික ප්‍රතිපත්ති මගින් බංකොලොත් වු රටක් ගොඩනැගිය නොහැකි බවත් නව ලිබරල්වාදි ආර්ථික ප්‍රතිපත්ති මගින් පමනක් බංකොලොත් වු රටක් ගොඩනැගිය හැකි බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසිය.

මෙරට තෙල් අර්බුදයට කඩිනම් විසදුම් සේවිමට නම් රුසියානු ණය යෝජනා ක්‍රමය යටතේ තෙල් ලබාගැනිමට ගිවිසුම් ගත විය යුතු බවද රාජපක්ෂ පවුල විශාල ජනතා අප්‍රසාදයකට ලක් වි ඇති නිසා සහ අයහපත් සෞඛ්‍ය තත්ත්වයද සැලකිල්ලට ගෙන මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගැනිම කාලෝචිත බවද ඇමතිවරයා පැවසිය.

 

IMF සාකච්ඡා ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරට අතර පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත්කර ඇත .

ඊට අනුව ශ්‍රී ලංකා බලධාරීන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපදේශකවරුන් සමග එක්ව ණයහිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ එකඟතාවකට පැමිණීමට කටයුතු කරමින් සිටියි.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ජාවල ප්‍රගතිය ඇතුළත් කරමින්, අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ණයහිමියන් සමග විධිමත්ව කටයුතු ආරම්භ කිරීමට පෙර ණය මෙහෙයුම සඳහාවූ විශ්ලේෂණාත්මක රාමුව සමග ණය උපදේශකයන් සැළකිය යුතු ප්‍රගතියක් ලබාගෙන ඇති බවයි.

සියලු පාර්ශවකරුවන් වෙත සාධාරණ හා තිරසාර ප්‍රතිඵල ළඟාකරගත හැකි පුළුල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ඇති කරගැනීමට රජය සිය ණයහිමියන් සමග සද්භාවයෙන් කටයුතු කිරීමට බැඳී සිටින බව ද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරය : රොනල්ඩ් පෙරේරා ට !

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත .

ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා යහපාලන ආණ්ඩුව සමයේ ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.

ගෝල්ෆේස් අරගලකරුවන්ට අවසන් නිවේදනයක් : උද්ඝෝෂණය කරන්න අලුත් තැන් තුනක් ! 

"ගෝල්ෆේස් එකෙන් අරගලකරුවන් එලවන්න රජය තීන්දුවක් අරගෙන ..

ආරංචි විදිහට මේ තීන්දුව ගත්තයි කියන්නේ පහුගිය ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ලු..

ගාළුමුවදොර අසළ භූමිය මින් ඉදිරියට විරෝධතා සඳහා ලබානොදෙන්න තීරණේ කරලා. ඒකට හේතුව ශැංග්‍රිලා, ගලධාරි ඇතුළු ප්‍රධාන පෙළේ හෝටල් රැසක් මේ ප්‍රදේශයේ පිහිටීමලු. ඒ නිසා සංචාරක මර්මස්ථානයක පැවැත්මට හානි වෙන්න දෙන්න විදියක් නැති බවත් රජය තීන්දු කරලා. සංචාරක කර්මාන්තය අවුලට යන කිසිම දෙයක් නොවෙන්න මේ ප්‍රදේශය අධිආරක්ෂක කළාපයක් කරන්න යනවා කියලයි කියන්නේ .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ගෝල්ෆේස් අරගලකරුවන්ට පැය 24 ක දැනුම්දීමක් කරලා අගෝස්තු මාසේ මුල් සතියේ දී විරෝධතාවලට ගෝල්ෆේස් එක තහනම් කරන්න ලු යන්නේ..

තහනම් කරන්න දෙයක් නැහැ දැනටම ඔතන මාස තුනක් හිටපු සංවිධාන සේරම වගේ බඩු පැක් කරගෙන ගිහින්.. දැන් ඉන්නේ බොහොම සුළු පිරිසක් .

ජනාධිපති කාර්යාලේ ළඟ ඔය උද්ඝෝෂණ ස්ථානය කියල තැනක් වෙන් කෙරුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. වැඩේ කියන්නේ ගෝඨා විරෝධතා තියන්න දුන්න තැන ගෝඨා ගේ දේශපාලන ගමනේ අවසානය තීන්දු කරන තැන වුනා.

ඔන්න රනිල් ආවා විතරයි දැන් එතන තහනම් කලාපයක් කරන්නයි යන්නේ..

විරෝධතා තියන්න අලුතින් තැන් 3ක් නම් කරන්නයි යන්නේ..

විහාරමහදේවී එළිමහන් රංග පීඨය, නව නගර ශාලාව සහ හයිඩ් පාර්ක් පිටිය කිසිදු ගාස්තුවකින් තොරව මහ ජනතාව ලබාදෙන්න රජය තීරණේ කරලලු..

ඒ වුනාට ඒ තැන්වල අනවසරයෙන් පදිංචි වීමට අවසර ලබා දෙන්නේ නෑ කියලා මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණේ කරලා කියලත් ආරන්චියි.. ඒ කියන්නේ ටෙන්ට් වානා.

දැන් ගෝල්ෆේස් අරගල බිමේ ඉන්න කට්ටියට එතනින් යනවද ? ගේමක් ඉල්ලනවාද කියන එක ගැන තීන්දුවක් ගන්න වෙලාවක් දීලා.

එහෙම තමයි රාජ්‍යය හැසිරෙන්නේ. කොහොම හරි ඔය විදියට මර්ධනේ ඉස්සරහ අරගලේට සහයදීපු සමහරු මගහැරලා යද්දී දකුණේ අරගලකරුවන් වෙනුවෙන් උතුරු නැගෙනහිර මිනිස්සු පාරට බැහැල.

රාජපක්ෂවරුන්ගේ දුෂිත පාලනය ප්‍රජාතන්ත්‍රවාදිව වෙනස් කිරීමට දායක වෙච්ච , ජනතා අරගලය නිසා බලයට ඇවිත් , අරගලකරුවන්ට එරෙහිව වීම, අවස්ථාවාදය කියලා උතුරු නැගෙනහිර සම්බන්ධිකරණ කමිටුව ආණ්ඩුවට චෝදනා කරනවා..

උතුරු නැගෙනහිර සම්බන්ධීකරණ කමිටුව මගින් පෙරේදා [29] මන්නාරමේ, මඩකලපුවේ හා යාපනයේ දී උද්ඝෝෂණය කෙරුවේ ගෝල්ෆේස් අරගලකරුවන්ට පහර දීම හා ඔවුන් අත් අඩංගුවට ගෙන සිරගත කිරීමට එරෙහිව..

සමාජ ක්‍රියාකාරීන්ට හා මාධ්‍යවේදීන්ට ආණ්ඩුව විසින් පහර දීම තරයේ හෙළා දකින ඒ කමිටුව කියන්නේ, දෙමළ ජන සංහාරයට හා යුද අපරාධ වලට වගකිව යුතු රාජපක්ෂවරුන් අරගලකරුවන් විසින් දණගැස්සුවා කියල..

උතුරු -නැගෙනහිර සම්බන්ධිකරණ කමිටුව ඒ ගැන අරගලකරුවන්ට උත්තමාචාරය පුද කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාවට ලබා දී ඇති හිමිකම් උල්ලංඝණය නවත්වා,නීතිය හා සාමය මෙන්ම ප්‍රජාතන්තරවාදය රැක ගනිමින්, දැනට සිරගත කර සිටින අරගලකරුවන් සියළු දෙනාම නිදහස් කරන ලෙසද එම කමිටුව බලකර සිටිනවා.

කොහොමද , දකුණේ අරගලය කොච්චර දුරට උතුරේ ප්‍රශ්න ගැන සංවේදී වුණාද කියලා වෙනම හිතන්න ඕන . හැබැයි උතුර දකුණේ අරගලකරුවන් වෙනුවෙන් අසීරුම අවස්ථාවේ සීරුවෙන් පෙළගැසීම අමතක කරන්න නරකයි . එහෙම මිනිස්සුන්ට බර අවි වලින් ගහලා තමයි මෙහෙ කිරිබත් කෑවෙත්.

දේශපාලන වාර්තාකරු

 

දේශගුණික විපර්යාස : ඒ තරම්ම වැදගත් ද?

දේශගුණික විපර්යාස පිළිබඳව කටයුතු කිරීමට ලංකා ඉතිහාසයේ  ප්‍රථම වතාවට ජනාධිපති උපදේශක කෙනෙකු පත්කර ඇති බව පසුගිය දා ජනමාධ්‍ය විසින් වාර්ථා කර තිබුණි. ලෝකය පුරාම දේශගුණික විපර්‍යාස පිළිබඳව කතා බහ විවිධ මට්ටම්වලින් විවිධ තල ඔස්සේ ඉදිරියට එන බවක් පෙනෙන්නට ඇත. සත්‍යවශයෙන්ම මෙසේ වන්නේ ඇයි ද යන්න සොයා බැලීම මේ මොහොතේ ලෝක දේශපාලනය පිළිබඳව කියවා ගැනීමට ද අතිශය වැදගත් ය.
 
දේශගුණය සහ දේශගුණ විපර්‍යාස !
 
දේශගුණය යනු යම්කිසි භූගෝලීය ප්‍රදේශයක් තුළ නිශ්චිත කාලයකදී දක්නට ලැබෙන කාලගුණික තත්ත්වයකි. දේශගුණික විපර්යාස යනු එකී සාමාන්‍ය ස්වාභාවික දේශගුණික තත්වයන් අසාමන්‍ය ලෙස වෙනස්වීම මගින් ස්වභාවික ආපදා ඇතිවීමත් ලෝක මානව පැවැත්ම තර්ජනයට ලක්වීමත් ය. වේගවත් කාර්මිකකරණය තුළින් කාබන් විමෝචනය අධික වීම  නිසාත් ජනගහනය අධික ලෙස ඉහලයාම තුළින් පරිභෝජනය වැඩිවී පරිසර හායනය වැඩිවීම නිසාත් මැතකාලීනව  මානව ඉතිහාසයේ අන්කවරදාකවත් අත් නොදුටු ආකරයේ දේශගුණික විපර්යාස අත්දකින්නට මානවයාට සිදුව තිබේ. එය ලෝක බලතුලනයට ද අතිශය බලපෑම් සහගත වී තිබේ. 
 
මෑත දශක තුනක කාලය තුළ දේශගුණික විපර්‍යාස නිසා මානවයා මුහුණ දෙන ඛේදවාචකයන් නිසාම දේශපාලනික ක්ෂේත්‍රයේ දේශගුණික විපර්‍යාස අතිශය වැදගත් මාතෘකාවක් බවට පත්ව ඇත. මෙහි බරපතල බව කෙතෙක් ද යත් නුදුරේදීම ගෝලීය හදිසි තත්ත්වයකට පවා යාමේ අවධානමක් ඇති බවට විශේෂඥ මත පළවී තිබේ. මේ තත්ත්වයට පිළියමක් ලෙස පොසිල ඉන්ධන භාවිතය ක්‍රමයෙන් අඩු කිරීම, පුනර්ජනනීය බලශක්තිය කරා රාජ්‍යයන් අනුගත කරවීම සහ පාරිසරික විනාශයන් අවම කරගැනීම සඳහා ජාතික ප්‍රතිපත්ති රාමු නිර්මාණය සඳහා රාජ්‍යයන් දිරි ගැන්වීම සඳහා විවිධ වැඩසටහන් ද ක්‍රියාත්මක වනු දක්නට ඇත. 
 
රාජතාන්ත්‍රික වැදගත්කම !
 
අනාගත ලෝක දේශපාලනය තුළ රාජ්‍යයන් අතර රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු පවත්වාගෙන යාමේදී ද එම රාජ්‍යයන් තුළ බලතුලනය පවත්වාගෙන යාමේදී ද දේශගුණික විපර්‍යාස වැලැක්වීම සඳහා එම රාජ්‍යයන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සැලකීම අතිශය වැදගත් වනු ඇත. මෙයට පෙර එම තත්ත්වය හිමිව තිබුණේ රාජ්‍යයන් මානව හිමිකම් ආරක්ෂා කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කෙරෙහිය. එමනිසා දේශගුණික විපර්යාස පිළිබඳව ලෝක දේශපාලන අවධානය පිළිබඳව සලකා බැලීමට ප්‍රථම මානව හිමිකම් පිළිබඳව ලෝක දේශපාලනය විසින් මෑතකාලීනව බරතබන ලද ආකාරය සලකා බැලීම වැදගත් වනු ඇත. 
 
විශ්ව ප්‍රකාශනයට පසු තත්ත්වය !
 
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1948 පෙබරවාරි 10 වන දා මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනය සම්මත කරගැනීමෙන් පසුව ලෝක දේශපාලනය තුළ මානව හිමිකම් සඳහා විශාල වැදගත්කමක් හිමිවිය. එක්සත් ජාතීන්ට අනුබද්ධ රාජ්‍යයන් හි මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන් විසින් විශේෂයෙන් අවධානය යොමුකරන ලද අතර තුන්වන ලෝකයේ රටවලට සංවර්ධිත රටවල් විසින් ලබාදෙන ණය සහ ආධාර සඳහා මූලික කොන්දේසියක් ලෙස ද ඒ ඒ රාජ්‍යයන්හි මානව හිමිකම් තත්ත්වයන් ප්‍රශස්ථ මට්ටමක තිබීම සලකන ලදී. 
 
එමෙන්ම ලොව බලගතු රාජ්‍යයන් රාජ්‍ය තාන්ත්‍රිකව සිය බලය පවත්වා ගැනීම සඳහා ද මානව හිමිකම් පිළිබඳව තත්ත්වය මෙවලමක් (tool) ලෙස යොදාගනු දැකගත හැකිවිය.  සාමාන්‍යයෙන් අන්තර්ජාතිකව රාජ්‍යයන් අනෙක් රාජ්‍යයන් මත බලය පැතිරවීම දෙයාකාරයකට සිදුවේ. 
1. දෘඩ බලය 
2. මෘදු බලය 
දෘඩ බලය යනු යුධමය වශයෙන් හමුදාමය මැදිහත්වීම මත කරන බලහත්කාරී එකකි. මෘදු බලය යනු රටක ජාතික රාජ්‍ය පවත්වාගෙන යාම සඳහා යම් යම් සහයෝගීතාවයන් ලබාදෙමින් එම සහයෝගීතාවයන් ගොඩනැගීම සඳහා පූර්ව කොන්දේසි භාවිතා කරමින් රාජ්‍ය තාන්ත්‍රිකව බලය හැසිරවීමයි.
 
  ඒ අනුව ලොව බලගතු රාජ්‍යයන් විසින් අනෙකුත් රාජ්‍යයන් කෙරෙහි සිය මෘදු බලය යෙදවීමේ දී ප්‍රධානම අවියක් බවට මානව හිමිකම් පත්කරගැනීම 1948 න් පසුව දිගින් දිගටම නිරීක්ෂණය විය. මේ නිසාම යම් යම් රාජ්‍යයන්හි අත්තනෝමතික පාලනයන්ට සිය ජාතික රාජ්‍යය පවත්වාගෙන යාම සඳහා අන්තර්ජාතික උදව් අවශ්‍ය වීම නිසා වැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු කිරීමට පියවර ගැනීමට සිදුවනු අපට දැකගත හැකිවිය. අනෙක් අතට ලොව බොහෝ මානුෂ්‍යත්වයට එරෙහි අපරාධ අනාවරණය කරගැනීමටත් වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමටත් මානව හිමිකම් පිළිබඳව මෙම අන්තර්ජාතිකව මතුවූ උනන්දුව නිසා හැකිවිය. එහෙත් අනෙක් අතට බලගතු රාජ්‍යයන් විසින් සිදුකරන්  ලද මානව හිමිකම් කඩවීම් සම්බන්ධව අන්තර් ජාතික ආයතන විසින් ගනුලැබූ ක්‍රියාමාර්ග එකී බලගතු රාජ්‍යයන් අනෙකුත් රාජ්‍යයන් මත මෘදු බලය යෙදවීමේ දී භාවිතා කරන ලද ක්‍රියාමාර්ග හා සසඳන කල ඉතා නොගිනිය හැකි තරම් බලපෑමක් සහිත බවට විවේචනයන් ද පවතී.
 
ජෝ බයිඩ්න් ගේ තේරීම ජෝන් කෙරී !
 
කෙසේ වෙතත් මානව හිමිකම් පිළිබඳව අන්තර්ජාතික අවධානය පරයා දේශගුණික විපර්යාස පිළිබඳව අන්තර්ජාතික අවධානය වර්ධනය වන බවක් මෑතකාලීනව නිරීක්ෂණය වේ. ඒ අනුව අනාගතයේදී බලගතු රාජ්‍යයන් විසින් සිය බලතුළනය පවත්වාගැනීමේ දී දේශගුණික විපර්යාස පිළිබඳව අනෙකුත් රාජ්‍යයන් දක්වන ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරනු ඇත. මේ පිළිබඳව වැදගත්ම ලෝක දේශපාලන ඉඟිය ලැබුණේ පසුගිය ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් පසුවය. 
 
ලොව බලවත්ම ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා විසින් දේශගුණික විපර්යාස පිළිබඳව කටයුතු කරන්  ප්‍රධාන රාජ්‍ය බලධාරියා බවට ප්‍රබල ඩිමොක්‍රටික් පක්ෂ ක්‍රියාකාරිකයකු සහ රාජ්‍ය ලේකම්වරයකු ද වන ජෝන් කෙරී ව පත්කරන ලදී.
 
 ලෝකයේ බලවත් රාජ්‍යයන් විසින් සිදුකරන කාබන් විමෝචනය අඩුකරන අතරම ලොව අනෙකුත් නැගී එන රාජ්‍ය කාබන් විමෝචනය අවම මට්ටමක පවත්වාගනිමින් ප්‍රශස්ත ලෙසත් තිරසාර ලෙසත් සංවර්ධනය ළඟා කරගත යුතු බවත් එය මානව පැවැත්මට අත්‍යවශ්‍ය බවත් වර්තාමනය වන විට ජනප්‍රිය දහරාවේ ලෝක මතයක් බවට පත්වෙමින් ඇත.
 
 ඒ අනුව  ජෝන් කෙරීගේ අනාගත අන්තර්ජාතික මැදිහත්වීම් දේශගුණික විපර්‍යාස සඳහා රාජ්‍යයන් දක්වන දායකත්වය මත පදනම් වනුඇත. මෙතෙක් මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා ලොව සංවර්ධිත රාජ්‍යයන් විසින් සංඅවර්ධ්නය වන රටවල සිදුකරන ලද ව්‍යාපෘති දේශගුණික විපර්‍යාස වලක්වා ගැනීමත් තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමත් සඳහා වෙන් වනු ඇත.
 
 දැනට UNDP, USAID වැනි ආයතන විසින් ශ්‍රීලංකාව තුළ සිදුකරන ව්‍යාපෘති ද විවිධ රටවල තානාපතිකාර්‍යාල සහ ඊට අනුබද්ධ ආයතන විසින් සිවිල් සමාජ සංවිධාන සඳහා මානව හිමිකම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධ්නය සඳහා  ලබා දෙන ආධාර ද ඉදිරියේ දී දේශගුණික විපර්යාස වලක්වාගැනීම සඳහා ලබාදෙනු ලබන ආධාර වෙත විතැන් වනු ඇත. 
 
එකී ලෝක දේශපාලන සන්දර්භය තුළ ජාතික රාජ්‍යයක පැවැත්ම උදෙසා දේශගුණික විපර්යාස පිළිබඳව කටයුතු කිරීමට විධායකය වෙත සුවිශේෂී වගකීමක් පැවරෙනු ඇත. අන්තර්ජාතික ආධාර දිනාගැනීම සඳහා ද ලෝක දේශපාලන අවධානය පවත්වා ගනිමින් තිරසර සංවර්ධන ඉලක්ක කරා ලංකාව මෙහෙයවීමට ද දේශගුණික විපර්‍යාස වැලැක්වීම සඳහා ස්ථිර ජාතික ප්‍රතිපත්තියක් මත කටයුතු කිරීම අතිශය වැදගත් වේ. එමනිසා ප්‍රමාද වී හෝ ශ්‍රීලංකාව ඒ පිළිබඳව අවධානය යොමුකර තිබීම පැසසිය යුතු සතුටට කරුණකි. 
 
- මහාචාර්ය එච් ඩබ්ලිව් සිරිල් 

19 බලාත්මක කරන්න ජනාධිපති සූදානම් : කරූ රටටම කියයි !

19 වැනි සංශෝධනය බලාත්මක කිරීමට රජය තීරණයක් ගත් බවත්, එය ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, ජනාධිපතිතුමා, අගමැතිතුමා හා අධිකරණ ඇමතිතුමා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය වෙත දන්වා තිබෙන බව හිටපු කතානායක කරූ ජයසූරිය පවසයි .

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වන එකමුතුව විසින් සංවිධානය කරන ලද යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් - ගාල්ල දිස්ත්‍රික් සමුළුවේදී ඔහු මේ බව පැවසීය .

"20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් මේ රටේ පැවති ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම විනාශ වුණා.

අපි එදා සිට 19 වන සංශෝධනය බලාත්මක කරන ලෙස විශාල හඬක් නැගුවා. 2015 එම සංශෝධනය ගෙන ඒමෙන් ශිලාචාර රටක් ලෙස ලෝක ප්‍රජාව ගේ ගෞරවයට ශ්‍රී ලංකාව පාත්‍ර වුණා. රටේ පිරිහීම, ආර්ථිකයේ පිරිහීම, දූෂණය ඉහ වහා යෑම හා නීතියේ බිඳවැටීම මෙන්ම එක රටක නීති දෙකක් ඇති වූයේත් 20 වැනි සංශෝධනය හරහා ලබාදුන් අසීමිත බලතල තුළයි.

රට විනාශ වී ඇති මෙම අවාසනාවන්ත අවස්ථාවේ අප අතර ඇති විවිධ භේද අතහැර අත්වැල් බැඳගන්න පුලුවන්නම් රට බේරාගැනීමට හැකි බව අපගේ බලවත් විශ්වාසයයි. පාර්ලිමේන්තුව තුළ ඒ සමගිය අපි තවමත් දකින්නේ නැහැ. අපි මෙම අවස්ථාවේ දී රාජ්‍ය නායකයන් ඇතුළු සියලුම දෙනාට ආයාචනය කර සිටින්නේ සමගිව සාමකාමීව අනාගත පරපුර ගැන සිතා පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සොයා ගන්නා ලෙසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගනිමින් සීමිත කාලයකට අදාළව නිශ්චිත හා පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව අප මේ අර්බුදයට විසඳුමක් ලෙස යෝජනා කළා. එමෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම සඳහා මූලික පදනම එම පාලනය මගින් ස්ථාපිත කළ යුතුව තිබෙනවා. එකී නිශ්චිත කාලය තුළ සිදුකරන එම වගකීම් සම්පූර්ණ කිරීමෙන් පසු මහ මැතිවරණයක් පවත්වා ජනතාවට කැමති පාලනයක් ඇති කර ගැනීමට අවස්ථාව සලසා දිය යුතුයි. මේ සෑම දේශපාලන ප්‍රතිසංස්කරණ මගින් අප වඩාත්ම විශ්වාස කරන්නේ පොදු සම්මුතියකින් කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන පාර්ලිමේන්තු ක්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහියි.
දැන් අපි සන්සුන් විය යුතු කාලය පැමිණ තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ ඒ සමගිය ඇති විය යුතුයි.

රට ඉදිරියට ගෙනයෑමට නම්, අපට අන්තර්ජාතික ප්‍රජාවගේ සහාය අවශ්‍ය වනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයට හදිසි නීතිය යටතේ ඇතුළු වීම ද අපට අනුමත කළ නොහැකියි. මේ සිදුවීම් නිසා අන්තර්ජාතිකව රජයේ කීර්තිනාමයට විශාල වශයෙන් හානිවන බව නිලධාරීන් වටහාගත යුතුයි.

සමගිව සාමකාමීව අනාගත පරපුර ගැන සිතා පවතින අර්බුදයට පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සොයා ගන්නා ලෙස රාජ්‍ය නායකයන් ඇතුළු සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරන බවත් එහිදී හිටපු කතානායක වැඩිදුරටත් පැවසීය .

රට විනාශ වී ඇති මෙම අවාසනාවන්ත අවස්ථාවේ විවිධ භේද අතහැර අත්වැල් බැඳගැනීමෙන් රට ගොඩනැඟිය හැකි බවත් පාර්ලිමේන්තුව තුළ එම සමගිය දක්නට නොමැති බවත් ඔහු සඳහන් කළේය .

අලියා අළු ගසා නැගිටියි : පක්ෂ කිහිපයක ප්‍රබලයන් සමග තරුණ නායකයන් පිරිසක් !

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමත් සමග එක්සත් ජාතික පක්ෂය යළිත් අළුගසා නැගිටීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට සමගි ජනබලවේගය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසක් පළමුව සර්ව පාක්ෂික ආණ්ඩුවේ වගකීම් ගෙන පසුව ඉදිරි මැතිවරණයක් අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා මැතිවරණය සඳහා තරග කිරීමට නියමිතව ඇත.

මෙම පිරිස අතරට අදාළ පක්ෂවල ජ්‍ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු ඇතුළත් බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .
එසේම මේ වන විට තරුණ නායකයන් රැසක්ද එක්සත් ජාතික පක්ෂය විසින් නැගීඑන නායකයන් ලෙස දේශපාලන වශයෙන් ඉදිරියට ගැනෙනු ඇති බවත් වාර්තා වෙයි .

මේ තරුණ පිරිස පසුගිය කාලයක් තිස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ගැඹුරු දේශපාලන සාකච්ඡාවක පසුව ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි .

 

මැති ඇමති 20ක් : අගෝස්තුවේ පාර්ලිමේන්තුවේ පිල් මාරුවකට සූදානම් !

අගෝස්තු මස මුල් සතියේ නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමත් සමඟ මන්ත්‍රීවරුන් 20 දෙනකුට වැඩි පිරිසක් පක්ෂ මාරු කරනු ඇතැයි "දේශය" වාර්තා කරයි.

අදාළ පුවත වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

පිරිසක් විපක්ෂයෙන් ආණ්ඩුවට පැමිණීමට නියමිතය. තවත් පිරිසක් ආණ්ඩුවෙන් විපක්ෂයට එක්වීමට නියමිත බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

දැනට විපක්ෂයේ සිටින විවිධ සුළු පක්ෂ නියෝජනය කරන ඒ.එල්.එම්. අතාවුල්ලා, ජෝන් සෙනෙවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජීවන් තොණ්ඩමන්, එස්. රාමේෂ්වරන්, අසංක නවරත්න, චාමර සම්පත් දසනායක, ජයරත්න හේරත් යන මහත්ම මහත්මීන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීම සඳහා රජයට සහාය පළ කරනු ඇතැයි වාර්තා වෙයි.

එසේම සමගි ජන බලවේගයේ කුමාර් වෙල්ගම, කබීර් හෂීම්, මයන්ත දිසානායක, ජේ.සී. අලවතුවල, , අජිත් මාන්නප්පෙරුම සහ කිංස් නෙල්සන් යන මන්ත්‍රීවරුන් සර්ව පාක්ෂික රජයකට සහාය දීමට ඉඩ ඇති බවද ඉහළ පෙළේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, ඩිලාන් පෙරේරා, තිලක් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, සරත් කුමාරසිරි සහ ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන් නව සභා වාරය ආරම්භ වීමත් සමඟ විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් පසුවන බව දැනගන්නට තිබේ.

ඒ අතර ශ්‍රීලනිපය නිල වශයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක් නොවන්නේ නම් ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් තිදෙනකු හැර අන් සියලු දෙනාම සර්ව පාක්ෂික රජයකට සහාය පළ කරනු ඇතැයි ද වාර්තා වෙයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදනවා : ජනාධිපති මහනාහිමිවරුන්ට පවසයි !

සියලු දේශපාලන පක්ෂ එක්කර ගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට මුහුණපා ඇති සමාජ, ආර්ථික හා දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා නව මාවතක ගමන් කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

රට ගොඩනැගීම සඳහා දියත් කරන එම වැඩපිළිවෙලේදී මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා නොමදව අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළ අතර ඒ අද (30) පස්වරුවේ මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දකිමිනි.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සාම්ප්‍රදායනුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (30) මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්, අනුනායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභික මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

මල්වතු මහා විහාරයීය උපෝසථාගාරය වෙත රැස්ව සිටී මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමි ප්‍රමුඛ අනුනායක හිමිවරුන් සහ කාරක සංඝ සභික භික්ෂුන් වහන්සේ සාම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් සිදු කරමින් ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළහ.

එහිදී කෙටි අනුශාසනාවක් කරමින් මල්වතු මහා විහාරයීය කාරක සංඝ සභික රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය මහවෙල රතනපාල හිමිපාණන් වහන්සේ සඳහන් කළේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කර රට සංවර්ධනය කරා ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ශක්තිය ඇති බවයි.

ජාතික තලයේ සහ ජාත්‍යන්තරයේ කීර්තියක් අත්කරගත් පරිනත, දක්ෂ දේශපාලනඥයෙකු වන එතුමා මහජනතාව මුහුණ දී ඇති දෛනික ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදී රටට අවශ්‍ය සමාජ, ආර්ථික, දේශපාලන වෙනස්කම් සිදු කරනු ඇතැයි මහා සංඝරත්නය විශ්වාස කරන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

අනතුරුව මල්වතු මහා විහාරයේ දී මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසීය.

අස්ගිරි මහා විහාරය වෙත ද පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහට අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසථාගාරය වෙත රැස්ව සිටී අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමිපාණන්, අනුනායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභික භික්ෂුන් වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළහ.

අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

ඉක්මන් මහ මැතිවරණයක් : පාර්ලිමේන්තුවේ පක්ෂ අතර එකඟතාවක් නෑ !

මහ මැතිවරණයක් පවත්වා ජනවරමක් සහිත ආණ්ඩුවක් බලයට පත්කර ගැනීම ගැන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර බෙදුණු මතයක් නිර්මාණය වී ඇත.

එහිදී සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මහජනතාවගේ මූලික අවශ්‍යතාවලට විසඳුමක් ලබා දී කඩිනමින් මැතිවරණයක් පැවැත්විය යුතු බව පවසයි.

එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ යන පක්ෂ කඩිනම් මැතිවරණයකට සුදුසු තත්ත්වයක් රටේ නැතැයි සඳහන් කරයි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනම් මැතිවරණයක් සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් ඉදිරිපත් නොකළද හැකිතාක් ඉක්මනින් ජනතාවගේ ප්‍රශ්න විසඳා ජනමතය විමසීම සුදුසුය යන ස්ථාවරයේ පසුවේ.

සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර

“අපි කියන්නේ මහ මැතිවරණයක අවශ්‍යතාව තියනවා. මේ පත්වුණ ජනාධිපතිවරයා ඡන්දයකින් පත්වූ ජනාධිපතිවරයෙක් නෙවෙයි. 2020 පාර්ලිමේන්තු මැතිවරණය තියද්දී තිබ්බ ජනමතය නෙමෙයි මේ තියෙන්නේ. අපි කියනවා ජනතාවගේ මේ හදිසි අවශ්‍යතාවන් ටික වහාම ඉෂ්ට කරල මැතිවරණයකට යන්න කියලා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්

“මේ වෙලාවේ මැතිවරණයක් තියෙන එක පක්ෂයක් විදිහට අපට වාසි යි. නමුත් අපට පෞද්ගලික දේශපාලන වුවමනා මේ වෙලාවේ සපුරා ගන්න අවශ්‍ය නෑ. මේක රටේ අර්බුදයක් පවතින වෙලාවක්. ඒ නිසා අපිට මේ වෙලාවේ මැතිවරණයකට යෑමේ අවශ්‍යතාවක් නෑ. ඉස්සෙල්ලා රටේ ප්‍රශ්න ටික විසඳගන්න ඕනෙ. ඊට පස්සේ අපට මැතිවරණයකට යන්න පුළුවන්. මේ වන විට කොවිඩ් අවදානමත් ආයෙ ඇවිත්. ඒ නිසා රටේ මිනිසුන්ගේ ජීවිත අවදානමේ දාන්න බෑ අපට. එම නිසා මේ මැතිවරණයකට සුදුසු වෙලාවක් නෙවේ.”

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

“නියත වශයෙන්ම මේ මොහොත ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් තිබෙන අවස්ථාවක්. නීතිය හා සාමයට තර්ජනයක් තිබෙන අවස්ථාවක්. කිසිසේත්ම මැතිවරණයකට නොයා යුතු අවස්ථාවක්. එවැනි අවස්ථාවල කළ යුතු ප්‍රධාන ම දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම. නීතිය හා සාමය තහවුරු කිරීම. ඒවා තහවුරු වූ පසු බලන්න පුළුවන් ඊළඟ කාරණා ගැන. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයට ආපු නවක මන්ත්‍රීවරුන් 77ක් ඉන්නවා. ඒ අය වැටුණොත් අනාගතයේ ඊටත් වඩා සුදුසු දක්ෂ පුද්ගලයන් ප්‍රජාතන්ත්‍රවාදයට යොමු වීම වැළැක්වෙනවා. පක්ෂ අමතක කරලා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න නම් මුලින් ඒ ආපු නියෝජිතයන් ආරක්ෂා කළ යුතුයි "

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස

“රටේ අර්බුද ගණනාවක් තියෙන වෙලාවක් මේක. මැතිවරණයක් පැවැත්වුණොත් කොහොම ද රාජ්‍ය නිලධාරීන් ඒ මැතිවරණයට දායක වෙන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඡන්ද පත්‍රිකාවලට අවශ්‍ය කඩදාසිවත් ගන්න බැරි තත්ත්වෙක තියෙන්නේ. ඡන්දයයක් ගණන් කරන්නේ කොහොම ද? විදුලිය විසන්ධි වෙන වෙලාවක් මේක. රටේ ඉන්ධන ප්‍රශ්නයක් තියෙනව. කොහොම ද මිනිස්සු ඡන්ද දාන්න යන්නේ. මැතිවරණ තියන්න කියන්නේ රටේ බංකොළොත් ම දේශපාලන පක්ෂ. එයාල හදන්නේ එයාලගෙ ගොඩ වැඩිකර ගන්න මිසක් රට හදන්න නෙමේ. අපි පක්ෂයක් ලෙස මේ වෙලාවේ මැතිවරණ අවශ්‍ය නෑ කියන ස්ථාවරයේ ඉන්නේ.”

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ

“ප්‍රජාතන්ත්‍රවාදී රටක අනිවාර්ය අංගයක් මැතිවරණ පැවැත්වීම. නමුත් මේ වෙලාවේ මැතිවරණයකට යෑම සුදුසු නෑ. ඉක්මනින් අපි රටේ අර්බුද විසඳාගත යුතුයි. ඉන් පසුවයි මැතිවරණයක් පැවැත්විය යුත්තේ. රටේ ආහාර, ඉන්ධන, පොහොර, බලශක්ති, ගෑස්, කෘෂිකර්මාන්තයට අවශ්‍ය යෙදවුම්, කාර්මික ක්‍ෂේත්‍රයේ, අපනයන ක්‍ෂේත්‍රයේ අර්බුද විසඳා ගැනීමෙන් පසු අනිවාර්යයෙන් මැතිවරණයක් රටේ පැවැත්විය යුතුයි. සැබෑ ජනමතය විකෘති කරන්න කාටවත් බෑ. සැබෑ ජනමතය පිළිබිඹු විය යුතුමයි. කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වටපිටාව ඉක්මනින් සකසා ගත යුතුයි. නමුත් සතියකින් දෙකකින් මැතිවරණයක් පවත්වන්නට බෑ.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක

ජනතාව පීඩාවට පත් කරන ප්‍රශ්නවලට තාවකාලිකව විසඳුම් ලබා දීමෙන් අනතුරුව ජනමතයකට ගොස් ජනතාවගේ කැමැත්ත පරිදි ආණ්ඩුවක් පත් කර ගත යුතුයි.

සර්වපාක්ෂික ආණ්ඩුවක් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලනිපය ඉදිරිපත් කළ යෝජනා මාලාව තුළ ද මේ බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා "

දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු විපක්ෂයේ බහුතරයක් දේශපාලන පක්ෂ වත්මන් පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර වහා ම මහ මැතිවරණයකට යා යුතු යැයි අවධාරණය කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර…

“රට තුළ මේ වනවිට උද්ගත වෙලා තියෙන තත්ත්වය අනුව මැතිවරණයක් තියන්න හැකියාවක් නැහැ. ඡන්දයක් තිබ්බත් සියයට පනහක්වත් ඡන්ද වැටෙන්නේ නැහැ. ඡන්දයක් තියන්න නම් මිනිස්සුන්ගෙ හිත නිදහස්ව තියෙන්නත් ඕනෑ. මිනිසුන්ගේ හිත නිදහස් නැතිව ඡන්දයක් තියලා ඇති තේරුමක් නැහැ. අනෙක් කාරණය ඉන්ධන නොමැතිව අදාළ නිලධාරීන්ට ඒ ඡන්ද කටයුතු සඳහා යන්න හැකියාවකුත් නැහැ.

කොහොම වුණත් රට සාමාන්‍ය අතට හැරුණට පස්සේ මහජන නියෝජිතයන් තෝරා ගන්න ඡන්දයක් තියන්න ඕනෑ. ඒක තමයි රටක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය.”

මූලාශ්‍රය - මව්බිම

රනිල්ට මංගල සිහිවෙයි……!

අභහවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරයන් විසින් වරාය හා සිවිල් ගුවන්සේවා,ජනමාධ්‍ය,නාගරික සංවර්ධන අමාත්‍ය ධූර වලින් පසුව විදෙස් හා මුදල් අමාත්‍ය ධූරයන්ගේ රාජකාරි ආරම්භ කිරීමත් සමගම ඔහු විසින් ගෝලීයකරණය සමග ඉදිරියට ඇදෙන ලෝකයට ලංකාවද සම්බන්ධ කිරීම පිණිස ඉතා වැදගත් රැඩිකල් ඉදිරිගාමී ආන්දෝලනාත්මක තීන්දු තීරණ රාශියක් ගැනින…..

එහි ප්‍රතිඵලයක් ලෙස මුදල් ඇමති ලෙස වහාම මිනිසුන් සතුටින් සිටීම හා ආශ්වාදය විනෝදය වෙනුවෙන් බීර හා වයින් වැනි මෘදු මධ්‍යසාර වල මිළ පහත හෙලින. මක්නිසාදයත් මත්පැන් මිළ අධික වීමත් සමග මහජනයා ප්‍රමිතියෙන් තොර අධික විෂ රසායන සහිත මත්පැන් වලට යොමු වීම වැලැක්වීමත් සංචාක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සංචාරක ව්‍යාපාරිකයන් හට රුකුලක් වීමටත් ය.

පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත්වූ මංගලගේ " සැබෑ දේශප්‍රේමීන් හා රැඩිකල් මැද" යෝජනා කරළියට….!

පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත්ව සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකික සමාජයක් නිර්මාණය කරමින් තාරුණ්‍යයට එහි වගකීම් පවරමින් ත්‍රාඩ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ රැඩිකල් තීරණ වලින් සමන්විත වූ විද්වත් ප්‍රායෝගික සමාජ වැඩපිළිවෙළක් හා යෝජනාවයක් සහිතව ගෝලීයකරණය වෙමින් පවතින ලොව ජයගන්නට සියල්ල සූදානම් කළ මංගල සමරවීරයන් හදිසියේම ශ්‍රී ලාංකික සමාජයට ගුඩ් බායි කියූවේ රටම පමණක් නොව ලොවක් හඬවමිනි..

කෙසේ නමුත් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ විසින් මංගල සමරවීරයන් ගේ ඉදිරිගාමී යෝජනාවක් අද යතාර්ථයක් බවට පත්කිරීමට සමත්ව ඇත..සැබවින්ම එය අගය කළ යුතු වටිනා තීරණයක් වනු ඇත… මක්නිසාදයත් සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් උපයාගැනීමට බලාසිටින රටක් ලෙස සංචාරකයන් වෙනුවෙන් ලභාදිය යුතු එහෙත් මේ වනතුරු ඉටුනොවූ මූලික අවශ්‍යතාවක්වන මෘදු මධ්‍යසාර විකිණීමේ නීති රීති ලිහිල් කිරීමය.

තවදුරටත් මෙය දිවයින පුරා සාර්ථකව හා ප්‍රායෝගිකව විශේෂයෙන්ම සංචාරකයින් බහුලව සැරිසරන ප්‍රදේශයන් වෙත ව්‍යාප්ත කිරීමට නම් එකී බලපත්‍ර නිසි අධීක්ෂණක් යටතේ සරළව කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට ලබා දීම කාලෝචිත වනු ඇත.

ඊට අදාල නිල නිවේදනය පහතින් දැක්වේ…….

surabadu 1000px

සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස හණමිටි අදහස් දුරලා ගෝලීයකරණය වෙමින් හැල්මේ දුවන ලෝකයේ අපට නිසි තැන වෙන් කරගැනීමට කාලෝචිත පරිකල්පනාත්මක රැඩිකල් තීන්දු තීරණ ගනිමින් ඊට අවශ්‍ය පුරවැසි වගකීම ඉටු කරමින් ශිෂ්ඨ සම්පන්න විනය ගරුක නීතිගරුක තෘප්තිමත් සමාජයක් ගොඩනගන්න එක්වෙමු….

සුමුදු මද්දුමආරච්චි,
මිලානෝ,
ඉතාලිය.

Page 218 of 386