V2025

පුවත්

එජාපය සමග එකතුවෙලා ගමනක් යමු : සජබ ඇතුලේ යෝජනාවක් !

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය නැවතත් එකතු වී නව දේශපාලන ගමනක් යා යුතු යැයි පක්ෂ අභ්‍යන්තරයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි සජබ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර පවසා ඇත .

මේ ගැන තවමත් පක්ෂය තුළ ඇත්තේ සංවාදයක් පමණක් බව පැවසූ ලේකම්වරයා ඉක්මනින් මේ යෝජනාව ගැන තීන්දුවක් ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවද සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා දැනට යෝජනා කර ඇති සර්ව පාක්ෂික ආණ්ඩුවට සහභාගි විය යුතු යැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර තිබේ.

ඒ අතර තවත් මන්ත්‍රීන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට පිටත සිට සහාය දීම වඩාත් යෝග්‍ය බව යැයිද මහලේකම්වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ තම පක්ෂය නිල වශයෙන් සාකච්ඡා කරන බවද මහලේකම්වරයා වැඩිදුරටත් කී බව සඳහන් මේ පුවත දේශය පුවත්පත වාර්තා කර ඇත .

ජනාධිපතිගෙන් හදිසි නීතියේ සංශෝධනයක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ ජුලී මස 18 වැනිදා නිකුත් කෙරුණු හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය කර ඇති බව වාර්තා වෙයි .

අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මේ නීති සංශෝධනය සිදුකර ඇත .

ඒ අනුව සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ 365(අ) සහ 365(ආ) වගන්ති ඉවත් කර එම සංග්‍රහයේ 408 සහ 410සිට 420 දක්වා වගන්ති හදිසි නීතියට අදාළව ඇතුළත් කරනු ලැබ ඇත.

පසුගිය සමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සර්ව පාක්ෂික පාලකයක් වෙනුවෙන් සාකච්ඡා පැවැත්වූ දේශපාලන පක්ෂ සහ අරගලයේ පාර්ශ්ව කරුවන් හදිසි නීතිය යටතේ සිදුකරන අත්අඩංගුවට ගැනීම් වලක්වන ලෙස ඉල්ලා සිටියේ ය.

ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ එකී ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බවක් මේ හරහා පෙන්නුම් කරන බවය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගෙන් ජනපතිට සුභාශිංසන

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස්  ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුභාශිංසන එක් කර තිබේ.

විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා පවසා ඇත්තේ, රට මුහුණ දී සිටින වත්මන් අභියෝග ජය ගැනීමට හිතකර පරිසරයක් හා ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බවයි.

එසේ කිරීමේදී, මහජනතාව සමග අදහස් විමසීම මෙන්ම නීතියේ ආධිපත්‍යය සහ මූලික මානව හිමිකම් මූලධර්මවලට ගරු කිරීම ඇතුළු සියලුම පාර්ශවකරුවන් අතර සංවාදය දිරිමත් කිරීමේ වැදගත්කම ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සාමය ගොඩනැගීම, තිරසර සංවර්ධනය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ඇන්ටෝනියෝ ගුටරේස්  පෙන්වා දුන් බවය.

ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිත දරුවන් 12 දෙනෙක් !

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් රෝගී දරුවන් 12 දෙනකු පමණ වාර්තාවී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය පවසයි.

මෙම කාලය තුළ කොවිඩ් රෝගී දරුවන්ගේ වැඩි වීමක් පෙනෙන්නට ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙයට අමතරව ඩෙංගු වැලඳුණු දරුවන්ගේද වැඩිවීමක් රට පුරා දක්නට ලැබෙන බව පැවසූ  වෛද්‍ය විජේසූරිය,  දරුවන් මේ රෝගයන්ට ගොදුරු වීම වළක්වා ගැනීමට මවුපියන් හැකි උපරිමයෙන් කටයුතු කළ යුතු බවද පෙන්වා දුන්නේය.

ඒ සදහා දරුවන් මදුරු දෂ්ටනයෙන් බේරා ගැනීම ඉතාමත් වැදගත් බවද ඔහු පවසා සිටී.

“අරගලය ඉවර නෑ.. දිනන තුරු හැරෙන්නේ නැහැ..” –මර්දනයට එරෙහිව නුගේගොඩ රැළියක්

පක්ෂ වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකතුව සංවිධානය කළ විරෝධතා පා ගමන් කිහිපයක් අද (06) නුගේගොඩ අවට ප්‍රදේශවලින් ආරම්භ වී තිබේ.

"අරගලය ඉවර නෑ.. දිනන තුරු හැරෙන්නේ නැහැ.." යන තේමාවෙන්, මර්දනයට, හදිසි නීතියට, ත්‍රස්ත පනතට හා පැහැරගැනීම්වලට එරෙහිව එක් විරෝධතා පා ගමනක් ආරම්භ වුණේ දෙල්කඳ ප්‍රදේශයෙනි.

කිරුළපන ප්‍රදේශයෙන් තවත් විරෝධතා පා ගමනක් ආරම්භ වූ අතර එම පිරිස නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමන් රංග පිඨයට එක්විය.

image 53488e6a93

බඩ එපා කියලා අපෙන් රට ගත්තා : අන්තිමට රටයි බඩයි දෙකම නැති වුණා - රවී කරුණානායක

"රනිල් වික්‍රමසිංහ හැකියාවක් ඇති පුද්ගලයෙක් බවත්  පාක්ෂික රජයක් බිහි වීම ඉතා වැදගත් බවත් හිටපු  අමාත්‍ය රවී කරුණානායක පවසයි .
 
2015 වසරේ දී ගොඩනැඟු රට  අරගනු ලැබූ නමුත්  අද ජනතාවට රටත් බඩත් දෙක ම නැති වී ඇති බවත් ඔහු පවසයි .  
 
හිටපු අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ , උතුරු කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 4000 වෙනුවෙන්  සතොස වවුචර්පත් ලබාදීමේ ලබාදීමේ අවස්ථාවකට  එක් වීමෙන් අනතුරුවය.
 
කොළඹ මහ නගර සභාවේ ප්‍රතිපාදන අනුව රුපියල්   3500 ක වටිනාකමින් යුත් මෙම වවුචර්පත් ලබාදීමට පියවර ගෙන තිබිණ .
 
එහිදී ඔහු  වැඩිදුරටත් මෙසේද පැවසීය .
 
"ආර්ථිකය ගොඩනැගීම කටින් කරන්න බැහැ ප්‍රායෝගිකව ඒකට මුහුණ දෙන්න වෙනවා..සර්ව පාක්ෂික රජයක්  බිහි කිරීම කාලෝචිත ක්‍රියාවක්..සමගි ජන බලවේගය හැමදාම කඩ කඩ යන දේවල් තමයි කරන්නේ..වෛරය ව කරපු දේවල් කරලා වැඩක් නැහැ...අපි  patrol වැඩි කළහම අපිට හිනා  වුණා දැන් පන්සිය ගනන්වලට පැට්‍රල් ගණන් යනවා..."
 
ජනාධිපතිවරයා ගේ වැඩපිළිවෙළට සියලු දෙනා එක්ව සහයෝගය ලබා දිය යුතු බවද බව ද එහිදී හිටපු අමාත්‍ය  රවි කරුණානායක පැවසීය .
 
 කඩා වැටුණු රට යළි ගොඩ නැංවිය යුතු බවත් අපි නැති කරපු පෝලින් නැවත නැති කළ යුතු බවත් එහිදී ඔහු පැවසීය .
 
 

ගෝඨාභය තවත් දින 14ක් ඉල්ලයි !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රැඳී සිටීමට තවත් දින 14ක කාලයක් ලබා දෙන්නැයි රජය සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

සිංගප්පූරුවේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ සිය වීසා කාලය අවසන් වීමෙන් පසුව ලබන එකොළොස් වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය.

එහෙත්, රජය කර ඇති මෙම ඉල්ලීම අනුව, හිටපු ජනාධිපතිවරයා මේ මස අවසන් සතිය පමණ වන තෙක් සිංගප්පූරුවේ රැඳී සිටිනු ඇතැයි දැනගන්නට ඇත.

අරගලකරුවන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් මස 14 වැනිදා මාලදිවයින හරහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර, ඔහුට සති දෙකක කාලයක් එහි රැඳී සිටීමට අවසර දී තිබිණි. පසුව එම කාලයද තව සති දෙකකින් දීර්ඝ කරනු ලැබීය.

(lankadeepa.lk)

 

සර්ව පාක්ෂික: "ආණ්ඩුව" අවුල් වගේ නම් "පාලනයක්" කියලා දාගන්න !

ඉදිරියේ දී පිහිටුවීමට යෝජිත ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස නම් කිරීමට එකඟ නොවන්නේ නම් එය සර්ව පාක්ෂික පාලනයක් ලෙස නම් කරන මෙන් තමන් යෝජනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත .

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන සන්ධානය සමග අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත .

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.

“සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන ලෙස අපි සියලු පක්ෂවලට ආරාධනා කළා. ඒ වෙනුවෙන් දේශපාලන පක්ෂ සමග අපි සාකච්ඡා කරමින් සිටිනවා. රටේ ආර්ථිකය දැන් අසීරු තත්වයකයි තිබෙන්නේ. මේ තත්ත්වයෙන් ගොඩඑන්න සියලුදෙනා එක්වෙලා ආණ්ඩුවේ ඇමති ධූර භාර අරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා මේ රට ගොඩනගන්න කටයුතු කරන්න ඕනෑ. මම සමගි ජන සන්ධානයට ආරාධනා කරනවා සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වෙලා අපිත් එක්ක කටයුතු කරන්න. මේ සියලු දෙනා මමත් සමග වැඩකරපු අය. ගැටලුවක් නැහැ. අපිට එකට වැඩ කරන්න පුලුවන්.

1941 වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය විපක්ෂ නායක ධූරය දරණ ගමන්ම අමාත්‍ය ධූර භාර ගත්තා. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කළා. එම සම්ප්‍රදායම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්.

1977 ආණ්ඩු පෙරළියේ දී 5/6 බලයක් අරගෙන ආණ්ඩුවක් හදලා රට ගොඩනැගුවා. හැබැයි දැන් 5/6ක බලයකින්වත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නැතිව රට ගොඩනගන්න බැහැ. එකම විකල්පය සර්ව පාක්ෂික පාලනයක් පමණයි.

පසුගියදා සිදුවූ ප්‍රචණ්ඩකාරී වැටලීම් හේතුවෙන් අපිට හිදිසි නීතිය පැනවීමට සිදු වුණා. එහෙත් හදිසි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒ වුණාට ඉදිරි ආර්ථික වැඩපිළිවෙළේදී යම් යම් නීති පැනවීමට සිදු වෙනවා. එහිදී හදිසි නිතිය අවශ්‍යයි.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස :

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය එලෙසින්ම ඉදිරියට ගෙන යන ලෙස අපි යෝජනා කරන්න කැමැතියි. එදා ඔබතුමා රටේ අගමැතිවරයා ලෙස 19 වන සංශෝධනය ගෙන ඒමට නායකත්වය ලබා දුන්නා. එය ඉතා යහපත් පියවරක්. එම නිසා එය තවදුරටත් ඉදිරියට ගෙන යන ලෙස අප ඉල්ලා සිටිනවා.

එමෙන්ම 19 වන සංශෝධනය යටතේ ව්‍යවස්ථාපිත කවුන්සිලයක් පත් කරන සංඛ්‍යාව 20 වන සංශෝධනයෙන් වැඩිකර තිබෙනවා. එය 19 වන සංශෝධනයේ තිබුණු පරිදිම තබා ගැනීම ඉතා වැදගත් බව සිහිපත් කරන්න කැමතියි.

අද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය බවට පත්ව තිබෙන්නේ ජනතාව මත දැඩි ආර්ථික බරක් පැටවී තිබීමයි. මේ ප්‍රශ්ණයට විසඳුම් සෙවිම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

ඒ වගේම දැනට ක්‍රියාත්මක හිදිසි නිතිය වහා ඉවත් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා ස්ථාපිත කිරීමෙන් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඊට අමතරව තවත් කමිටු පිහිටුවීම කෙරෙහි ද අවධානය යොමු කරන ලෙස අපි යෝජනා කර සිටිනවා.

සමගි ජන සන්ධාන අද මෙම සාකච්ඡාවට පැමිණියේ ධනාත්මක සිතුවිලිවලින් යුක්තවයි. මේ අවස්ථාවේ රටක් ලෙස අපි මේ සාකච්ඡාවට එක්විය යුතුයි.

වර්තමානයේ රටේ පවතින්නේ අසාමාන්‍ය දේශපාලන තත්ත්වයක් බව කිවයුතුයි. ඒ බව මනාව අවබෝධ කර ගනිමින් මේ සාකච්ඡා ඉදිරියට ගෙනයාමට සූදානම් බව මා ප්‍රකාශ කර සිටිනවා.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා

ප්‍රචණ්ඩත්වය මුදාහැරි පිරිස් වෙත දඬුවම් ලබා දුන්න ද, සාමකාමී අරගලයේ නිර වූ පිරිස්වලට නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලා සිටිනවා. පසුගියදා ඔබතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ අපි සතුටුයි. අපේ කණ්ඩායමේ වැඩපිළිවෙළත් ඊට සමාන බව කියන්න කැමතියි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු සරත් ෆොන්සේකා මහතා

දුෂණය තුරන් කිරීම අරගලයේ නිරත වූ සියලු පිරිස්වල ප්‍රධාන ඉල්ලීමක් වුණා. ඒ පිළිබඳව අපි විශේෂ අවධානය යොමු කරන්න ඕනෑ. දූෂණයෙන් තොර රටක් ගොඩනැගීමේ වගකීම් අපි සියලුදෙනාට පැවරී තිබෙනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම ප්‍රයෝජනවත් දෙයක් නොවේ. පවතින ගැටලුවට එය විසඳුමක් ලෙස මම දකින්නේ නැහැ. අවශ්‍ය වන්නේ වර්තමානයේ රට සහ ජනතාව මුහුණ දී ඇති ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් සෙවීමයි.

මෙහිදී සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු අදහස් දැක්වූ අතර අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න ,ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20220805 WA0022

 

එකම මගක පියවර මැන යන්න : අරගලයේ නියමුවන් සහ ජනාධිපති අතර සම්මුතියක් ! (වීඩියෝ )

අරගලකරුවන් සහ තරුණ පරපුර සමග විනිවිදභාවයෙන් කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
 
දැන් තිබෙන අභියෝගය ආර්ථික අරගලය ජය ගැනීම බව කී ජනාධිපතිවරයා, අරගල භූමියේ සිටින සියලු තරුණ තරුණියන් එම ආර්ථික අරගලයේ ජයග්‍රහණය සඳහා සෑම අයුරකින්ම දායකකර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද කියා සිටියේය.
 
ගාලු මුවදොර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් අද (05) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
 
ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලනයට සහ ප්‍රචණ්ඩත්වයට තමන් විරුද්ධ බවත්, මර්දනය වෙනුවෙන්ම කටයුතු කරන පිරිස් විශ්වවිද්‍යාල ක්‍රියාවලිය තුළින්ම නවකවදය නවතා යහපත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවති මෙම සාකච්ජාවට  Black Cap Movement, ලිබරල් සහෝදරත්වය, සර්වපාක්ෂික අරගලකරුවෝ, වන් ප්ලස් සංවිධානය සහ ගෝල්ෆේස් අරගලභූමියේ අරගලකරුවන් පිරිසක් ද සහභාගී වී සිටියේය.
 
මෙහිදී Black Cap Movement හී සම කැඳවුම්කරුවන් වන විමුක්ති දුෂාන්ත හා හේමප්‍රිය කවිරත්න සහ, මාධ්‍ය ප්‍රකාශක බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න කරුණු තුනක් මුල් කරගනිමින් මෙම හමුවේදී අදහස් ප්‍රකාශ කරන ලදී.
 
එනම්,
 
1. මර්දනකාරී හදිසි නීතිය වහාම ඉවත් කිරීම.
 
2. 2022 ජන අරගලය පැන නැඟීමට හේතු වූ කරුණු සහ එම තත්ත්වයට තිරසාර විසඳුම් සෙවීම සඳහා පූර්ණ බලැති කොමිෂන් සභාවක් පිහිටුවීම.
 
3. පවතින අර්බුදය පිළිබඳව අරගලකරුවන් සහ රජය අතර සංහිඳියා ක්‍රියාවලියක් ඇතිකර ගැනීම.
 
එමෙන් ම, ගාලු මුවදොරින් ඔබ්බට යෝජනාවලියේ සඳහන් කරුණු යථාවක් කරගැනීම සඳහා රජයේ මැදිහත්වීමේ වැදගත්කම ද Black Cap Movement සංවිධානයේ සමාජ මාධ්‍ය අංශ ප්‍රධානී ගුණරත්න අධිකාරි මහතා විසින් අවධාරණය කරන ලදී.
 
එසේම, රටේ පොදුජන මතය පාර්ලිමේන්තුව සහ පොදුජනතාව යන දෙපාර්ශවයට විතැන් ව ඇති බැවින්, දෙපාර්ශවයේ කඹ ඇදීමේ ක්‍රියා පිලිවෙත වෙනුවට, ජනතා අභිලාෂයන්ට ගරු කරමින් රටේ අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීමට ක්‍රියා කළ යුතු බව සංවිධානයේ සම ජාතික සංවිධායක යෂේන්ද්‍ර විජේවර්ධන මෙහිදී අවධාරණය කළේ ය.
 
 මෙහිදී අරගලකරුවන් ආමන්ත්‍රණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ හදිසි නීති තත්ත්වය නුදුරේදීම ඉවත් කරගැනීමට තවමත් සූදානමක් නොමැති බවත්, එසේ ම, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විරෝධය දැක්වූ අරගලකරුවන්ට යම් අසාධාරණයක් සිදු වී නම් ඒ ගැන සොයා බලා මැදිහත්වීමට පෞද්ගලික ව කටයුතු කරන බවත් ය.
 
එමෙන් ම 'ජන සභා ක්‍රමය' හා පර්ලිමේන්තුවේ අධීක්ෂණ කරක සභා වලට තරුණ නියෝජනය තහවුරුකරණ බවත්, අරගල භූමියේ සමස්ථය නියොජනය කරන කණ්ඩායමක් සමග සාකච්ඡාවක් කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පැවසීය.
 
මෙම හමුව සඳහා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ රුවන් විජේවර්ධන ද සහභාගී වූහ.
aragala 2

රනිල්ට කාලයක් දීලා බලමු : රතන හිමි පවසයි !

නව ජනාධිපති ලෙස පත්ව සිටින රනිල් වික්‍රමසිංහට ‘රනිල් ගෝ හෝම්’ කියමින් රට අරාජික නොකර ඔහුට වැඩ කරගෙන යාමට මාස දෙකක වත් කාලයක් ලබා දිය යුතු බව අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසති .

එම කාලයේ දී රටේ අර්බුද විසඳීමට සම්පූර්ණයෙන්ම නොහැකි වූවද අර්බුද විසඳීමේ ක්‍රියාමාර්ගය ජනතාවට දැක ගන්න හැකිවනු ඇතැයිද උන්වහන්සේ පවසා සිටී.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ තවදුරටත් කියා සිටියේ විජය ධරනි ධර්මය ජාතික සභාව ලෙස තමන් ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා කළ බවයි.

මේ අතර අතුරලියේ රතන හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සාකච්ඡා සඳහා සම්බන්ධ වී ඇත.

මේ වන විට එම සාකච්ඡාවල දෙවන වටය ද සිදුකර අවසන් බවත් වාර්තා වෙයි .

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ එකමුතුව ගෝල්ෆේස් අරගලයට සමුදෙයි !

ගෝල්ෆේස් අරගල බිමේ සක්‍රීය පාර්ශ්වයක් වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව' එහි ක්‍රියාන්විතය අවසන් කිරීමට තීරණය කර ඇත .

මේ සම්බන්ධයෙන් ඔවුන් නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .

2022 අප්‍රේල් 09 වැනිදා එක් අරමුණක් වෙනුවෙන් කොළඹ ගාලුමුවදොරට පැමිණි අතිවිශාල ජනතාවකගෙන් ඇරඹි ගෝල්ෆේස් අරගල භූමියේ සිටි කණ්ඩායම් අතර 'සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව' ලෙස අපි ස්ථානගත වීමු.

ගාලුමුවදොර උද්ඝෝෂණ ස්ථානය මූලික කොටගනිමින් බිහිවුණු 'ගෝඨාගෝගම'ට සමගාමීව එහි ස්ථාපිත කෙරුණු මුල්ම කණ්ඩායම් අතරින් එකක් ලෙස අප එකමුතුව එදා සිට මේ මොහොත දක්වාම 'අරගලයේ සමාජ මාධ්‍ය භූමිකාව'ට වඩා ප්‍රශස්ත හා සාධනීය කාර්යභාරයක් ඉටු කළ බව අපි විශ්වාස කරමු.

වි⁣ශේෂයෙන්ම රාජපක්ෂ ආණ්ඩුව සහ එහි හිතෛෂී බලවේග ලක්ෂ ගණනින් මුදල් වඅය කරමින් අරගලයට විරුද්ධව, අරගලය දියාරු කරවන සමාජ මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපෘති දියත් කරන විට, ඒ සියල්ල යටපත් කරවමින් අරගලයේ සැබෑ තතු සහ තත්ත්වයන් සමාජ මාධ්‍ය අවකාශ තුළ තහවුරු කරන්නටත්, අරග⁣ලයේ නිශ්චිත තත්ත්වයන් සමාජ මාධ්‍ය තුළ සටහන් කරන්නටත් අප එකමුතුව දිවා රෑ නොබලා එකා සේ වෙහෙසී කටයුතු කිරීම සතුටට කරුණකි.

එමෙන්ම මැයි 09වැනිදා ආණ්ඩුවේ කුලී මැරයන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරය ඇතුළු ඊට පෙර හා පසු අරගලයේ සුවිශේෂී සන්ධිස්ථාන සමාජ මාධ්‍ය තුළ වාර්තා කිරීමටත්, ඒවා ලෝකය පුරා රැගෙන යන්නටත් අප සාමාජිකයන් සිය සමාජ මාධ්‍ය අවකාශ සහ වේදිකා භාවිත කළ ආකාරය ප්‍රශංසනීය ය.

තවද අප සාමාජිකයන් උක්ත සියලු කාර්යභාරයන් නොපිරිහෙළ ඉටුකළේ කිසිදු මූල්‍යමය හෝ වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන් නොව හුදෙක් රට වෙනුවෙන්, අරගලය වෙනුවෙන් තමන්ට පැවරී ඇති ජාතික වගකීම සිය යුතුකමක් සේ සලකමින් බවද සිහිපත් කළ යුතුය. එහිදී ගෝල්ෆේස් අරගල භූමියේ මෙන්ම ඉන් පිටතද, විශේෂයෙන් විදෙස්ගතව සිටියදී පවා සිය සමාජ මාධ්‍යමය කාර්යභාරය අකුරට ඉටු කළ අප සාමාජිකයෝ බොහෝ පිරිසක් වූහ.

කෙසේ වුවද සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව ලෙස අපි අද (05දා) ගාලුමුවදොර අරගල භූමියේ අපගේ මෙහෙයුම් නතර කිරීමට තීරණය කර ඇත්තෙමු. එහෙත් තවදුරටත් අරගලය පවතින බවත්, ජනතා ඉල්ලීම් දිනනතුරු අරගලය පවත්වාගෙන යා යුතු බවත් අපි තරයේ විශ්වාස කරමු.

එහෙයින් මේ දක්වා සිදු කරගෙන ආ පරිදිම ඉදිරියටත් එකමුතුවක් සහ කණ්ඩායමක් ව⁣ශයෙන් ⁣අප පොදු මහජන අරගලයේ සමාජ මාධ්‍ය මෙහෙවර නොපිරිහෙළා ඉටු කිරීමට මැදිහත් වන බවද මෙයින් දැනුම් දෙමු.

අවසාන වශයෙන් ගෝල්ෆේස් අරගලයේ ආරම්භක මොහොතේ පටන් මේ දක්වා අප පිළිබඳ ඔබ තැබූ අචල විශ්වාසයට අපගේ ගෞරවනීය ආචාරය පිරිනමමු. ඉදිරියටද සමාජ මාධ්‍ය පරිශීලකයන් සහ රටේ පුරවැසියන් ලෙස අප සමග එක්ව මේ පොදු මහජන අරගලය ජනතා ජයග්‍රහණයකින් කෙළවර කිරීම සඳහා එක්ව කටයුතු කරන්නැයිද හෘදයාංගමව ඉල්ලා සිටිමු.

-- සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව

පැරණි ආර්ථික මොඩලයෙන් ගොඩ යන්න බෑ : ජනාධිපති රනිල් !

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (05) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තා එළිදැක්වීමේ සහ විද්වත් කථිකාවේ ආරාධිත දේශනය සිදු කරමින් ය.

“LET’S RESET SRI LANKA” තේමාව යටතේ ඇඩ්වකාටා ආයතනය (Advocata Institute) මගින් මෙම සමුළුව සංවිධානය කර තිබෙන අතර අද සහ හෙට එය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී පැවැත් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යෝජනාව හොද හෝ නරක වුව ද, කවුරුන් කැමති හෝ අකමැති වුවද රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් නැවත නැගිසිටීමට එය ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ සඳහා යම් පාර්ශ්වයක් විරුද්ධ වන්නේ නම් ඊට ඔවුන්ගේ යෝජනා මොනවාදැයි ප්‍රශ්නකිරීමට රජයට අයිතියක් ඇති බව ද කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය .

මුලින්ම අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් ඇති කර ගත යුතුයි. දෙවනුව වඩාත්ම වැදගත් වන්නේ තිරසර ණයක් ලබා ගැනීමයි. මෙම ණය ලබා ගැනීම පිළිබඳ යමෙකුට යෝජනා තිබේ නම් එය පහසු වනු ඇති. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ අප එම යෝජනාවලට ඇහුම්කන් දිය යුතු අතර, පාර්ලිමේන්තුවට මෙම යෝජනා පිළිබඳ තීරණයක් ගත හැකියි.

රජයන්, රාජ්‍ය ප්‍රතිපත්තින් වෙනස්වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමේදී අපට මුහුණපෑමට සිදුවන මූලික ගැටලුවක්. නිසැකවම ඉදිරි මාස 06 තුලදීත් අපට දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවනවා. ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්වන ජනකොටස් කෙරෙහි අවධානය යොමුකළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පිළිගන්නවා.

රට මුලින්ම විදේශ ණය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. එමෙන්ම ආසියනු කලාපයේ භූ දේශපාලනයට හසු නොවී ගමන් කළ යුතු වෙනවා.

අපට විශාල ණය මුදලක් ගෙවීමට තිබෙනවා. අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය, පරමාණු බලශක්තිය භාවිතය වැනි ක්ෂේත්‍ර පිළිබඳ සම්ප්‍රදායික රාමුවෙන් බැහැරව සිතිය යුතුය. රටේ ආර්ථිකය වර්ධනය නොකොට රටේ අනාගතය ප්‍රතිසංවිධානය කළ නොහැකියි.

වර්තමානයේ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් සිදුකළ යුතු කාර්යය වන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමයි. 1997 ආසියානු මුල්‍ය අර්බුද අවස්ථාවේදී සහ 1997 තායි ආර්ථික අර්බුදය අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ආර්ථික අර්බුදකාරී අවස්ථාවන්ගෙන් යලි නැගී සිටීමට ඔවුන්ට මග පෙන්නුවා.

මම පසුගියදා මහා නායක හිමිවරුන් බැහැ දුටු අවස්ථාවේදී ස්වාමින්වහන්සේලාද විහාරස්ථාන කේන්ද්‍රකර ගනිමින් ජනතාවට සහන සැලසීමට එකග වුණා. ඇති- නැති පුද්ගලයන් අතර පරතරය පසුගිය කාලයේදී වර්ධනය වී තිබෙනවා.

කොවිඩ් සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් අධ්‍යාපනය අඩපනවී තිබෙනවා. එය කඩිනමින් යථා තත්ත්වයට පත්කළ යුතුයි. පළමුව ආර්ථික ස්ථායිතාව ඇති කළ යුතු අතර දෙවනුව ඒ තුළින් සමාජ ස්ථායීභාවය ඇති කළ හැකියි.

කෘෂිකර්මාන්තය හා ධීවර ක්ෂේත්‍රය නවීකරණය, නිෂ්පාදනයේදී නව තාක්ෂණය යොදා ගැනීම, දේශගුණික විපර්යාස අවම කිරීම, කාන්තාවන් මුහුණ දෙන ගැටලු, ජනතාවගේ නිවාස අවශ්‍යතා, ග්‍රාමීය ප්‍රදේශවල දරිද්‍රතාව වන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා.

ඉහළ වේතන ලබන, ඉහළ නිෂ්පාදන ධාරිතාවක් ඇති තරඟකාරී ආර්ථිකයක් අප නිර්මාණය කළ යුතුයි. වර්ධනය වන විශාල වෙළෙඳපොළක් සහිත ආසියානු රටවල් සමග වෙළෙඳ සබඳතා ගොඩනගාගත යුතු වෙනවා. වත්මන් ලෝක ආර්ථික තත්ත්වය කිසිදු රටකට හිතකර වන්නේ නැහැ.

තායිලන්තයේ හිටපු බැංකු ප්‍රධානී ආචාර්ය Veerathai Santiprubhop මහතා ද මෙහිදී අදහස් දැක්වමින් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මාධ්‍ය තුළ පෙන්වන තරම් ශ්‍රී ලංකාව තුළ මූල්‍ය අර්බුදයක් දක්නට නොමැති බවයි.

තායිලන්ත ආර්ථික අර්බුදයෙන් යළි නැගි සිටීමට රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය, වඩාත් දුෂ්කරතාවන්ට ලක්වන පුද්ගලයන් ආරක්ෂා කිරීම, ආයතනික ප්‍රතිසංස්කරණ, බැංකු ක්ෂේත්‍රයේ විශ්වාසනීයත්වය ඇති කිරීම, කැබිනට් මණ්ඩලයට ආර්ථික විශේෂඥයන් ඇතුලත් කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීම, අවශ්‍ය නීති සංශෝධනය, විදේශ විශේෂඥයින්ගේ සහාය ලබාගැනීම ආදී පියවර ගත් බව ද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, මයන්ත දිසානායක සහ ඇඩ්වකාටා ආයතනයේ සභාපති Murtaza Jafferjee ඇතුළු නියෝජිතයන් මීට එක්ව සිටියහ.

IMG 20220805 WA0015

තානාපතිවරුන් ආවට අක්තපත්‍ර බාරදී නෑ : ආරක්ෂාවේ ප්‍රශ්නයක් !

විදේශීය රාජතාන්ත්‍රිකයන් රැසක් මෙරට තානාපති සේවයට වාර්තා කර මාස කිහිපයක් ගතවී ඇති නමුත් , ඔවුන්ගේ අනිවාර්ය සම්ප්‍රදායක් වන අක්ත පත්‍ර භාරදීමක් මෙතෙක් සිදුව නොමැති බව වාර්තා වෙයි .

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙසේ මාස කිහිපයක් තිස්සේ අක්ත පත්‍ර භාරදීමට කටයුතු කර නොමැති රාජතාන්ත්‍රිකයන් ප්‍රමාණය 60 කට ආසන්න වෙයි.

සාමාන්‍යයෙන් විදෙස් රාජතාන්ත්‍රිකයන් තානාපති සේවය සඳහා පැමිණි විට අක්ත පත්‍ර භාරදීම සිදුකරනු ලබන්නේ රාජ්‍ය නායකයා වෙතය. ලංකාවේ නම් ජනාධිපති හටය.

අක්තපත්‍ර බාරදීම බොහෝ විට සිදුවන්නේ ජනාධිපති මන්දිරයේ හෝ ජනාධිපති ලේකම් කාර්‍යාලයේය.

කෙසේ වුවත් මාර්තු මාසයේ අග භාගයේ සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල රාජ්‍ය නායක ජනාධිපතිට එරෙහි විරෝධතා උද්ඝෝෂණ දියත්කර තිබිණ . පසුව එකී උද්ඝෝෂණ ජනාධිපති කාර්‍යාලය , "ගේට් සීරෝ" හරස් කර දින 100 කට අධික කාලයක් දියත් විය.

පසුව මතුවූ තත්ත්වයන් මත සාමකාමී අරගලය , කැරලිකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වූ අතර , මෙරට ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල වූ ජනාධිපති ලේකම් කාර්‍යාලය ඔවුන් අත්පත් කරගනු ලැබිණ . එයින් නොනැවතුනු ඔවුන් ජනාධිපති මන්දිරය , අග්‍රාමාත්‍ය කාර්‍යාලය , අරලිය ගහ මන්දිරය ඇතුළු රටේ රාජ්‍ය නායකයා වූ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා සතු නිල නිවාස කාර්‍යාල අත්පත් කරගත්තා පමණක් නොව එම ස්ථානවලට බරපතළ හානි සිදුකරනු ලැබිණ .

වාර්තා වන ආකාරයට රාජතාන්ත්‍රිකයන් අක්ත පත්‍ර භාරදීම සිදුව නොමැත්තේ, ඔවුන්ගේ මෙරට සිටින ආරක්ෂක උපදේශකයන් අදාළ නිල හමුවීම් සිදුවන ජනාධිපති කාර්‍යාලය , ජනාධිපති මන්දිරය ආශ්‍රිත ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තහවුරුවක් ලබාදී නොමැති නිසාය.

විශේෂයෙන් ජනාධිපති කාර්‍යාලය සහ ඒ අවට පරිශ්‍රය ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පැමිණ වටලන ආකාරයත්, පසුව පිරිසක් ඊට බලහත්කාරයෙන් ඇතුල්වී අලාභහානි සිදුකරමින් කිසියම් ප්‍රචණ්ඩ හැසිරීමක් පිළිඹිබු කරනු විදෙස් මාධ්‍ය වාර්තා වල පවා වීඩියෝ සහිතව විකාශය විය.

එවැනි පසුබිමක සිය ඉහළ පෙළේ තානාපතිවරුන් අවධානමක් සහිත කළාප වෙත යොමුවීම වලක්වාලීමට එම තානාපති කාර්‍යාල ආරක්ෂක උපදේශකයන් කටයුතු කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදෙස් සේවයේ ප්‍රවීණයන්, මෙන්ම දේශපාලන විචාරකයන් පවසන්නේ , ජනාධිපති කාර්‍යාලය , අග්‍රාමාත්‍ය කාර්‍යාලය වැනි ප්‍රධාන පරිපාලන ගොඩනැගිලි සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ වල, විරෝධතා පැවැත්වීම පුරවැසි අයිතියක් නමුත් , දිග්ගැස්සෙන විරෝධතා හෝ කඳවුරුලෑම් සඳහා ඉඩදීම පෙරලා රාජ්‍යයේ ස්ථවරත්වයට කැළැලක් බවයි.

එයින් යන පණිවිඩය වන්නේ අදාළ රාජ්‍ය තුළ පාලනය කරගත නොහැකි තත්ත්වයක් පවතින බව යැයිද ඔවුන් පවසයි .

එසේම අක්තපත්‍ර බාරදීම වැන්නක් නිල වශයෙන් ජනාධිපති කාර්‍යාලය, මන්දිරය වැන්නක සිදුකරනු ලබන්නේද එකී රාජ්‍යයේ නිදහස් , සාමකාමී සහ ස්වෛරී බව විදහා දැක්වීමට බවත් , ඒ හේතුවෙන් මෙකී ස්ථාන ආශ්‍රිතව කිසියම් ප්‍රශ්නගත තත්ත්වයන් ඇති විට , පාලකයන් අපහසුතාවට පත්නොකර අක්තපත්‍ර බාරදීම ප්‍රමාද කිරීමක් විය හැකි බවත් ඔවුන් පවසයි .

කෙසේ වුවත් රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් පමණක් නොව ආණ්ඩුකරණය සම්බන්ධයෙන් නිල් දැනුමක් සහිත හිටපු ජනාධිපති ගෝඨාභය දුරදිග නොබලා , තීරණාත්මක පරිශ්‍රයක විරෝධතා උද්ඝෝෂණ සඳහා වෙනම ස්ථානයක් වෙන්කළ නමුත් , එම ස්ථානය එතැනින් වෙනත් තැනකට යොමුකිරීමට ගෙන ඇති තීන්දුව වැදගත් බවත් පවසයි .

දේශපාලන විචාරකයන් වැඩිදුරටත් පවසන්නේ , මේ ආකාරයට ස්ථානය වෙනස්වීම අරගලයට හානියක් ලෙස නොසැලකිය යුතු බවයි . අරගලයක් පැන නැගීමට අදාළ කොන්දේසි පාලකයන් වෙනස් කරන තුරු අරගලය අවලංගු නොවන බවත්, එය කිසියම් ස්ථානයක්, බිමක් වෙත ලඝු නොකිරීමට අරගලකරුවන් ද තේරුම් ගෙන කටයුතු කළ යුතු බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කර සිටියි.

 

අරගලය ඕන රනිල්ට !

69 ලක්ෂයේ ජනවරම වෙනුවට මිලියන 21ක් වූ ජනතාවගේ සාතිශය බහුතරයක විරෝධය හමුවේ මහා බලගතු ගෝඨාභය රටින් පළා ගියේය. දැන් ව්‍යවස්ථානුකුලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය.
 
කවුරු කැමති වුණත් , කවුරු අකමැති වුණත් ඉස්සරහට යන්න සිදුවෙන්නේ ඒ බව පිළිගෙනය.
 
 69 ලක්ෂයක ජනවරම සමග විපක්ෂය වචන වලින් මිස වැඩ වලින් හැපෙන්න ගියේ නැත. වැඩක් හැටියට gota go home ලෙස වැඩක් හැටියට හැපුණේ, අරගලකරුවන් ය. ඔබට මතක නම් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සිය පුද්ගලික ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් කියා සිටියේ,  වගකීමක් නැති , අසංවිධානාත්මක අරගල වලට  තමන් නෑ කියාය.
 
🎯 මධ්‍යම පංතියේ නැගිටීම !
 
එහෙත් අරගලය වටා ජනතාව රොද බඳින විට ජවිපෙ පමණක් නොව , අරගලය අවිශ්වාස කළ බොහෝ දෙනෙකු ඒ වෙත පැමිණියා පමණක් නොව , තම තමන්ගේ න්‍යායපත්‍ර මත අරගලය යළි යළිත් සංවිධානය කරනවාද දකින්නට ලැබිණ .
 
සැබවින්ම ලංකා ඉතිහාසයේ අතිශය ප්‍රථම වරට දියත් වූ මේ අරගලය වෛවර්ණ ය. ඊට විචිත්‍ර බව එක්කළේ සිය පරිභෝජන අවස්ථා අහිමිව ජීවිතය පවා තර්ජනයට ලක්වූ මධ්‍යම පංතිය යි.
 
මේ ගැන කෙනෙකුට වාද කළ හැකිය. එහෙත්  gota go home සටන් පාඨය යථාර්ථයක් වීමෙන්  පසුව , අරගල භූමියට වෙච්ච දේ තේරුම් ගන්නට හැකි ඕන අයෙකුට වෙච්ච සන්තෑසිය තේරුම් ගන්න දුෂ්කර නැත.
 
🎯 මධ්‍යම පංතියේ හැසිරීම !
 
සැබවින්ම අරගලය හුදෙකලා වීම ඇතමුන් රාජ්‍ය මර්දනයට , පාවාදීම්, වලට සහ පියවරක් පස්සට ආදී ලෙස හඳුන්වමින් හිත හදාගන්න , උත්සාහ කළත් , සිදුවූයේ රනිල් වික්‍රමසිංහ ආගමනය  සහ අර්බුදය විසඳීමට ඔහු ඉදිරිපත් කළ අදහස් මෙරට මධ්‍යම පංතිය පිළිගැනීමය.
 
එසේ වුවත් ඒ පිළිගැනීම ආගමික භක්තිමත් බවක් හෝ, මාරම විශ්වාසයක් තුළ සිදුවුවක් යැයි සිතා අපි කවුරුත් වරද්දා ගතයුතු නැත. ඔවුන් කළේ, " ඉවසීමෙන් ඉඩදීමක්" ය. රනිල් කියන දේ කරන්න කාලය දෙන්න ඕන යන්න, ඔවුන් ප්‍රසිද්ධියේ  නොකීවාට, සම්මුතිය ඒකය.
 
🎯 System Change ?
 
 ඒ ගෝල්ෆේස් අරගල බිමේ සිට රටේ බොහෝ දිස්ත්‍රික්ක, මංසන්ධි, වල පැවති විරෝධතා වල ප්‍රමුඛ සටන් පාඨයක් ලෙස  , system change ඉල්ලූ මිනිස්සුය.
 
හැබැයි එතන  system change කිව්වට , ඊට  පොදු නිර්වචනයක් තිබුණේ නැත. කෙසේ වුවත් සමහර වාමාංශිකයන් සහ අරගලයට බට  ළදරු වල්ලිපුකාරයන්  system change ඉල්ලුවේ , "රට උස්සා පොළවේ ගසන්න"ය. මන්දිර අස්සට පැන මෝල් කෙළින්න තරුණයන් පෙළඹවූයේ ඒ ළදරු වල්ලිපුකාරයන් ය. අරගල වලදී මන්දිර අල්ලන්නේ ආය දෙන්න නොවන බව මේ ළදරු වල්ලිපුකාරයන් දැන සිටියේ නැත. ඒ රාජ්‍ය යනු කුමක්ද නොදැනීම මිස වෙන මොකක්ද ? දැන් සමහරු නඩු කන්නේ අරගල කරන්න  ළදරු වල්ලිපුකාරයන්ගෙන් ඉගෙනීම නිසාය .
 
එහෙත් සාතිශය බහුතරයක් ජනතාව ඉල්ලුවේ ඒ අටමගලක් නොවේය. කොටින්ම අරගල බිමෙන් නිකුත්කළ පොදු ලියවිලි කිසිවක, "අර්බුදය අස්සේ පරිපීඩිත ජනතාව සමග රට උස්සා පොළොවේ ගසන" යෝජනා නැත. එයින් ඉල්ලන්නේ සමාජ - ආර්ථික - දේශපාලන ක්ශේත්‍ර වල රැඩිකල් ප්‍රතිසංස්කරණ ය.
 
🎯 කොච්චර ගැහුවත් රනිල් කියපු දේ ?
 
වැඩේ කියන්නේ , රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ තනි මන්ත්‍රීවරයා ලෙස ඉන්න අතර පමණක් නොව , පසුගිය ආණ්ඩුකරණ අවස්ථා වලත් කිව්වේ, සමාජ ආර්ථික දේශපාලන දේහය කාළීනව නව්‍යකරණය නොකළොත් රටින් ගන්න දෙයක් නැති වෙන බවය.
 
කෙසේ වුවත් රනිල්ට වැඩිම විවේචන එල්ල කළ, රනිල්ට වැඩියෙන් චෝදනා කළ, රනිල්ව දේශපාලන පෙතෙන් ඉවත් කරන්න යෝජනා කළ සියලු දෙනාට අද රනිල් දිහා බලාගෙන ඉන්නට සිදුව ඇත.
 
🎯   ranil go home කියලා  : සාකච්ඡා මේසයට ඇවිල්ලා !
 
පසුගිය සමයේ ranil go home කියූ විපක්ෂයේ දේශපාලනඥයින් පවා , ප්‍රාතිහාර්‍ය දැකීමට සූදානමක් පෙන්නුම් කරයි. විශේෂයෙන් පොදුජන පෙරමුණේ සැලකිය යුතු පිරිසක් , ශ්‍රීලනිප යේ සාතිශය බහුතරයක් , සමගි ජනබලවේගයේ පිරිසක් , TNA , කම්කරු කොන්ග්‍රසය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ දැන් රනිල් වික්‍රමසිංහ දිගටම යෝජනා කළ සර්ව පාක්ෂික ආණ්ඩුව සාකච්ඡා මේසය පිළිගෙන ඇත.
 
🎯 හොර නිදි වානා !
 
සැබවින්ම හොරට නිදාසිටි වුන් පවා, නැගිටින්න බල කෙරුණු , සියලු  දෙනා දෑස් විවර කළ මොහොත , ඊයේ (03) ජනාධිපති රනිල්ගේ රාජාසන කතාවය.
 
සුපුරුදු පරිදි ජවිපෙ විරුද්ධ වුණත් , කොයි දේත් දොස් දකින රාජිතට මෙන්ම , රනිල් දැක්කත් පළු දාන විපක්ෂ නායක සජිත්‍ට පවා ඒ කතාව ඉස්සරහ දන නමන්නට සිදුවිය. ඒ අන් කිසිවක් නිසා නොව, මිලියන 21ක් ජනතාව සක්‍රීයව හෝ අක්‍රීයව අනුමැතිය ලැබ, උස් හඬින් අරගලයේ අරගලකරුවන් ඉල්ලූ system change එකේ මූලික පදනම් සියල්ල රනිල් සිය රාජාසන කතාව තුළ ගොනුකර ගෙන තිබූ නිසාය.
 
නැත්නම් මැතිවරණයක් ඉල්ලූ පම්පෝරිජනක දේශපාලනඥයින් පවා ගැස්සුනු, අපේක්ෂාවේ කතාවක්, කාටවත් පැනයා නොහැකි සැලසුම්ගත රාමුවක් ඒ තුළ අඩංගුවූ නිසාය. කොටින්ම කියනවා නම් දැන් අරගලකරුවන්ට පවා ඒ සැලැස්මෙන් ගැලවීමක් නැත.
 
🎯 ගෝල්ෆේස් ප්‍රමුඛ අරගලකරුවන්ගෙ ඉල්ලීම !
 
ගෝල්ෆේස් ප්‍රමුඛ අරගලකරුවන් ඉල්ලා සිටියේ මොනවද ? 
 
රාජපක්ෂ රෙජීමය ඉවත් කිරීමේ සිට, සීමිත කාලයක් සඳහා අන්තර්වාර පාලනයක්, අත්‍යවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සහ සංශෝධනය කිරීම , අර්බුදය කඩිනමින් කළමනාකරණය කිරීම , වත්කම් විමර්ශනය ඇතුළු දූෂණය වලක්වාලීම, නීතියේ සාධාරණත්වය , නිදහස් හා සාධාරණ මැතිවරණ, ජාතිවාදී ආගම්වාදී ප්‍රවණතා පිටුදැකීම, ඇතුළු කරුණු ය. 
 
🎯 සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීම !
 
අරගලයට ජීවය දුන් සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීම් වූයේ , ඉන්ධන , ගෑස්, ආහාර , ඖෂධ සහ විදුලි කප්පාදුව නැවැත්වීම , උද්ධමනය පාලනය කර ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමය.
 
🎯 අර්බුදයේ මුල !
 
රනිල්ගේ රාජාසන කතාවේ තිබුණේ මොනවද ? එහි එන ආර්ථිකය නවීකරණය කිරීමට අදාළ මේ උපුටා ගැනීම බලන්න .
 

"අපේ ආර්ථික ක්‍රමවේදයන් කෙසේ විය යුතු දැයි යන්න ගැන අපි දැන් දශක දෙක තුනක් තිස්සේ වාද විවාද කර ගන්නවා.  1977 දි අප රටට නව ආර්ථික ක්‍රමයක් හඳුන්වා දුන්නා.  නමුත් කාලයට ගැළපෙන ලෙස එය නවිකරණය කර ගන්නට අප අසමත් වුණා.  ආර්ථිකය නවීකරණය කිරීම සඳහා අවධානය යොමු නොකර තරඟකාරී, අදූරදර්ශී සහ විනාශකාරී පටු දේශපාලනයක නිතර වුණා.  යුක්රේන යුද්ධය, කොවිඩ් වසංගතය සහ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් කඩා වැටීම වැනි ජාත්‍යන්තරයේ සිදුවු අවාසිදායක ආර්ථික සාධක අපේ අර්බුදය තවත් සංකීර්ණ තත්ත්වයකට ඇද දැම්මා. මේ ප්‍රධාන හේතු සාධක නිසා අපේ රට පහළටම ඇද වැටුණා.  ජනතාව අති මහත් දුෂ්කරතාවයන්ට ලක්වුණා."

🎯 ලෙඩේ දැනගෙන බෙහෙත් දෙන්න !

 ප්‍රතිකාර‍ය නිවැරදි වෙන්න නම් මුලින්ම රෝග නිධානය හරියට තක්සේරු කළ යුතුය. ඒ අර්ථයෙන් ගෝලීය ආර්ථිකය තුළ දූපත් මනසින් පිස්සු කෙළියා මිස ආර්ථිකය නවීකරණය කිරීමට හිතුවේවත් නැත. එනිසා දැන් රෝග නිධානය හරියට හඳුනා ගත්තා නම් අවශ්‍යව ඇත්තේ ප්‍රතිකාර කිරීමය.

🎯 හදිසි ප්‍රතිකාර කිහිපයක් !
දැනටත් හදිසි ප්‍රතිකාර ලෙස විදුලි කප්පාදුව අවම කර ඇත. වගා කටයුතු සඳහා පොහොර ආනයනය අරඹා ඇත. ආහාර හිඟයක් ඇති නොවීමට ආරක්ෂක පියවර ගෙන ඇත . එසේම ගෑස් පෝලිම් අවසන් වෙමින් පවතී. රෝහල් වෙත අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වීමට පියවර ගෙන ඇත. පාසල් , කාර්‍යාල සුපුරුදු කාර්‍ය කටයුතු අරඹා ඇත. කර්මාන්ත සහ අපනයන අංශයන්ට එල්ල වී ඇති බාධාවන් ඉවත් කිරීමට පියවර ගනිමින් ඇත.
 
🎯 ඉන්ධන සම්බන්ධ තීන්දුව වැදගත් !
 
මේ සියල්ල කීමට හැකියාව ඇත්තේ සැබවින්ම මේවා ඉටුකර ඇති නිසාය . එසේම ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ද ජනතාව වෙත ඇත්ත පැවසීම වැදගත් බවත් මෙහිලා සටහන් කළ යුතුව ඇත.
ජනාධිපති රනිල් සිය රාජාසන කතාව තුළ සඳහන් කර සිටියේ , "ඉන්ධන ගෙන්වා ගැනීම සඳහා වෙනත් රටවලින් ණය ආධාර ලැබෙන තුරු බලා සිටීමේ ක්‍රමය  අවසන් කළයුතු බවය. දැනට  රටේ අපනයන ආදායම සහ විදේශ ප්‍රේෂණයන්ට සරිලන පරිදි ඉන්ධන ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක්  ආරම්භ කරන බවය. 
මෙහිදි ඉන්ධන සඳහා ගෙවීම් සමබර කර ගැනීම සඳහා තෝරාගත් ආනයන සීමා කිරීමට සිදුවන බවත්  අනික් අතින් ඉන්ධන සැපයීම සීමා කරන්න සිදුවන බවත් ඒ, මේ වසර අවසන් වන තුරු පමණක් බවය.
 
🎯 මිනිසුන්ට ඇත්ත කියන්න !
 
අර්බුදය විසඳීමට පමණක් නොව අවස්ථාව අනුව එය ඔඩුදිවීම පාලනය කිරීමට මේ යෝජනාව වැදගත් ය. මෙහෙම ඇත්ත කියන්න නායකයන් බිය විය යුතුද නැත. මෙවැනි කාලයක කොහොමටත් මිනිස්සු බොරු අහන්න සූදානම් නැති අතර , ඇත්ත ඇති සැටියෙන් කියූ විට තර්ක බුද්ධියෙන් විමසා වැඩ කරන්න මිනිසුන් සූදානම් ය.
එන එන නායකයන්ට ගෝ ගෝ කියූ වෘත්තීය අරගලකරුවන් ජනතාව විසින් හුදෙකලා කර දමමින් ඉන්නේද ඒ අනුවය. 
ඒ කියන්නේ මෙතෙක් රනිල්ට එරෙහිව අමෝරාගත් ඊනියා අවි වාෂ්ප කර සිහින ශ්‍රී ලංකාව ගොඩ නැගීමේ අවස්ථාව රනිල්ට උදාවී ඇති බවය. 
 
🎯 ආර්ථිකය ස්ථාවර කරන්න !

 එසේම IMF සමග සිව් වසරක වැඩසටහනක් වෙනුවෙන් යොමුවීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කිරීම, අපනයන ආර්ථිකය වර්ධනය කිරීමට පියවර ගැනීම, හැකිලෙමින් ඇති මධ්‍යම පංතිය පුළුල් කිරීම සහ ශක්තිමත් කිරීම , ඉඩම් නිවාස බලපත්‍ර ,පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම, වසර 25 ක ජාතික ආර්ථික සැලැස්ම , සමාජ සාධාරණත්වය වෙනුවෙන් වූ කොමිසමක්,ඇතුළු මේ කිසිවක් නරක නැත. 

🎯 දේශපාලන ප්‍රතිසංස්කරණ කවුද එපා කියන්නේ ?
එසේම විධායකය සතු අත්තනෝමතික බලය ඉවත් කිරීම , ස්වාධීන කොමිෂන් සභා යළිත් බලාත්මක කිරීම , 22 ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ ද කිසිවෙකු නරකයි කියන්නේ නැත. ඔය ටික තිබුනා නම් 69 ලක්ෂයක ජනවරමක් ගත් ගෝඨාභයට රටින් පැන යන්න වෙන්නේ ද නැත. ප්‍රශ්නය ඇත්තේ , ඔය ටික කරන්න 17, 18, 19, 20 යන සියලු ව්‍යවස්ථා සංශෝධන වලට උස්සපු අත් කොහොම මොනවා කරයිද යන්නය. 
දැනටමත් ඇතමුන් හදිසියේ රාජපක්ෂ විරෝධයක් මවා විපක්ෂයට පැන , ප්‍රභූ දේශපාලනය රස කතා සාප්පු පටන් ගෙන ඇත. 
 එසේම කිවයුතු තවත් දෙයක් ඇත. ඒ මේ රට 2048 දී 100 වන නිදහස් සැමරුම අවස්ථාව වන විට සංවර්ධිත රටක් කිරීමේ අපේක්ෂාව ගැනය. මේ රට එහෙම තැනකට ගන්න නම් 2000 මුල මග වැටුණු "රිගේනිං ශ්‍රී ලංකා " පන්නයේ වැඩක්, අදට ගැලපෙන ලෙස ගේන්න ඕනය.
🎯 සිස්ටම් චේන්ජ් කරන්න : අරගල කාර්‍යංශයක් !
එහිදී ඊනියා ජනමතය වෙනුවට හරි දේ කරන්න මේ තියෙන ධෛර්යය දිගටම අවශ්‍ය වනු ඇත. 
 ඒ කියන්නේ , ඊනියා ජනමතය කියමින් පිස්සු නටන නාඩගම්කාරයන්ට එරෙහිවත් අරගල කිරීමට කාලයක් ඉස්සරහට එන්න පුළුවන් බවය. සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමට, ජනාධිපති රනිල් හඳුන්වා දෙන අරගලකරුවන්ගෙ ආරක්ෂාව සහතික කෙරෙන  කාර්‍යංශය ඒ වෙනුවෙද අප දන්නේ නැත. 
 
එහෙත් සිස්ටම් චේන්ජ් එක අරගලකරුවන්ටත් වඩා රනිල්ට අවශ්‍ය බවත්, හැදෑරීම , සාමකාමී බව, ඉවසීම,  සහ අවශ්‍ය මොහොතේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීම එහි අරගල මාදිලිය බවත්, ඔහු මෙතෙක් පැමිණි දේශපාලන මග විසින් තහවුරු කර ඇත. ඒ හැර පක්ෂ , සන්ධාන හරහා ගමනේදී රනිල් පැරදුණේද ඔහුගේ දැක්ම , වැඩපිළිවෙළ වෙනුවෙන් අරගල කිරීමට ප්‍රමාණවත් පිරිසක් නොසිටි නිසාය . 
සටහන : M.L. සහීර් 

චම්පිකගෙන් රනිල්ට උපදෙස් !

රාජ්‍ය පාලනයේදී ජනාධිපතිවරයා දිනාගත යුත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය නොව ජනතා විශ්වාසය බවත්, සියලු පක්‍ෂ එක්කරගත් සර්ව පාක්‍ෂික වැඩපිළිවෙලකට යොමුවන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාට සහය ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ දී අද (31) පැවති කොස් පැල සිටුවීමේ වැඩසටහනකට සම්බන්ධවීමෙන් පසුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

රජයේ වත්මන් වැඩපිළිවෙල යටතේ සහ රට බංකොලොත් කළ දේශපාලකයන් සහ නිලධාරීන් පැත්තක සිටියදී තරුණ සමාජ ක්‍රියාකාරිකයන් හඹා ගොස් හදිසි නීතිය යටතේ ප්‍රශ්න කරන්නට, පැහැර ගන්නට යාමෙන් ආණ්ඩුව ගැන රටේ විශ්වාසයක් ගොඩනොනැගෙන බව ද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

මේ වන විට ආණ්ඩුව යන ආකාරයට රටේ ප්‍රතිරූපය තවත් ඇද වැටෙන බව කී මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා පොහොට්ටුවේ විශ්වාසය දිනාගත්තාට අමතරව ජනතා විශ්වාසය දිනාගත යුතු බවත්, පොහොට්ටුව ගැන ජනතා විශ්වාසයක් නොමැති බවත් කීවේය.

 

ඩලස්ගෙන් නව දේශපාලන ව්‍යාපාරයක් !

දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් සමග එක්ව නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම ගේ කණ්ඩායම, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු හවුල් පක්ෂ කණ්ඩායම සමඟත්, අනුර ප්‍රියදර්ශන යාපා ගේ නායකත්වයෙන් යුත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සමගත් , චම්පික රණවක මන්ත්‍රීවරයා සමගත් සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පවුල්වාදය ,විප්ලවවාදය යන අන්ත දෙකෙන් මිදී ,ප්‍රතිසංස්කරණවාදී දේශපාලන ව්‍යාපාරයක් බිහි කිරීම සඳහා මෙම පිරිස සැලසුම් කරමින් සිටින බව ඩලස් අලහප්පෙරුමගේ කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ පක්ෂ සමග එකගතාවක් ඇති කර ගැනීම,දිස්ත්‍රික්ක හා ආසන මට්ටමින් මැතිවරණ ජාලයක් ගොඩනැගීම, ජාත්‍යන්තර හා දේශීය දේශපාලන සංවිධාන සමඟ සම්බන්ධතාවක් ගොඩනැගීම, ප්‍රතිසංස්කරණයක් මත පදනම් වූ දේශපාලන වැඩපිළිවෙළක නිරත වීම යන අරමුණු මුල්කරගෙන මෙම නව දේශපාලන සන්ධානයගොඩ නැගීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

රනිල් ආර්ථිකය හදයි : මහින්ද විශ්‍රාම යන්න ඕන - අමරවීර

රට ආර්ථික වශයෙන් කඩා වැටුණු සෑම අවස්ථාවකදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශිෂ්ඨ ආර්ථික දැක්ම උපයෝගි කරගෙන යළි ආර්ථිකය ගොඩනඟා රටේ අනාගතය සුරක්ෂිත කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ ඊයේ(30)අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති ශ්‍රි.ල.නි.ප හමිබන්තොට දිස්ත්‍රික් කොට්ඨාස සංවිධායකවරුන් ගේ හමුවක් අමතමින්ය.

2001 වසරේ මෙරට ආර්ථිකය රින වර්ධනයක් පෙන්නුම් කරමින් දැවැන්ත ආර්ථික පසුබැසිමකට ලක් වු අවස්තාවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්ව ඒ තත්ත්වය වෙනස් කරමින් රටේ ආර්ථිකය ගොඩනැගු බවත් එහිදී ඇමතිවරයා පැවසිය.

යල්පැන ඇති සමාජවාදි ආර්ථික ප්‍රතිපත්ති මගින් බංකොලොත් වු රටක් ගොඩනැගිය නොහැකි බවත් නව ලිබරල්වාදි ආර්ථික ප්‍රතිපත්ති මගින් පමනක් බංකොලොත් වු රටක් ගොඩනැගිය හැකි බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසිය.

මෙරට තෙල් අර්බුදයට කඩිනම් විසදුම් සේවිමට නම් රුසියානු ණය යෝජනා ක්‍රමය යටතේ තෙල් ලබාගැනිමට ගිවිසුම් ගත විය යුතු බවද රාජපක්ෂ පවුල විශාල ජනතා අප්‍රසාදයකට ලක් වි ඇති නිසා සහ අයහපත් සෞඛ්‍ය තත්ත්වයද සැලකිල්ලට ගෙන මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගැනිම කාලෝචිත බවද ඇමතිවරයා පැවසිය.

 

IMF සාකච්ඡා ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරට අතර පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත්කර ඇත .

ඊට අනුව ශ්‍රී ලංකා බලධාරීන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපදේශකවරුන් සමග එක්ව ණයහිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ එකඟතාවකට පැමිණීමට කටයුතු කරමින් සිටියි.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ජාවල ප්‍රගතිය ඇතුළත් කරමින්, අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ණයහිමියන් සමග විධිමත්ව කටයුතු ආරම්භ කිරීමට පෙර ණය මෙහෙයුම සඳහාවූ විශ්ලේෂණාත්මක රාමුව සමග ණය උපදේශකයන් සැළකිය යුතු ප්‍රගතියක් ලබාගෙන ඇති බවයි.

සියලු පාර්ශවකරුවන් වෙත සාධාරණ හා තිරසාර ප්‍රතිඵල ළඟාකරගත හැකි පුළුල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ඇති කරගැනීමට රජය සිය ණයහිමියන් සමග සද්භාවයෙන් කටයුතු කිරීමට බැඳී සිටින බව ද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Page 220 of 388