V2025

පුවත්

අර්ජුනට ක්‍රීඩාවේ ලොකු පුටුවක් !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධුරයට පත්කර ඇති බව වාර්තා වෙයි .

අදාළ පත්වීම ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් සිදු කර ඇත.

මෙම කවුන්සිලය සාමාජිකයන් පහළොස් දෙනෙකුගෙන් සමන්විත වන අතර අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුතුව ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත.

විදුලියේ අවනඩුව : මහජන අධිකරණයට ගේන්නම ඕන !

🎯🔴විදුලියේ අවනඩුව : මහජන අධිකරණයට ගේන්නම ඕන !🔴🎯

මූලික අවශ්‍යතා බවට පත්ව ඇති කොයි දෙයෙහි මිල වැඩි වුවත් , ඊට ජනතාව දක්වන ප්‍රතිචාරය "හනේ හපොයි" ය.

වසර දෙකක් තුළ පැණනැගුණු දරුණු ආර්ථික අර්බුදය ඉස්මුරුත්තාවට පත්ව ඇති පසුබිමක ජනතා ප්‍රතිචාරය ඊටත් වඩා වැඩිය. පාලකයන් සමග එන කෝපයත් එහෙමය.

ජනතා හැඟීම එසේ වුවත් , ජනතාවගේ සැබෑ ආර්ථික ජීවිතය එහෙම ඉමෝෂනල් නැත. දෝස කාගේ වුවත් අප තුන් හිතකින් හෝ නොපැතුවත් අපිට අඅනිවාර්යයෙන් මුහුණදීමට සිදුවන යථාර්ථයක් එහි ඇත . වැදගත් වන්නේ ජනතාව අන්න ඒ කියන යථාර්ථය තේරුම් ගැනීමය.

ඉතිං විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ද ඒ කතාව වෙනස් නැත.

ඊයේ (09) මහජන උපයෝගීතා කොමිසම දැනුම්දුන් ආකාරයට මෙරට විදුලි ගාස්තුව 75% කින් ඉහළ දමා ඇත. මිනිසුන්ට තවත් කේන්ති යන්නේ , මිල වැඩිවීම සම්බන්ධ ප්‍රතිශත රුපියල් වලින් එන විටය.

🎯 විදුලි ඒකක සහ මිල වැඩිවීම සිදුව ඇති ආකාරය !

ඒකක 0 -30 : 264% - රු.198.00, ඒකක 31-60 : 211%-රු 599.00, ඒකක 61-90 : 125% - රු 1461.00 , ඒකක 91- 120 : 89% - රු 2900.00

හංගන්න දෙයක් නැත. මේ පාර විදුලි බිල ඉහළ ගියේ ඔහොමය. දැන් තවත් හංගන්න හොඳ නැති දෙයක් ඇත. ඒ විදුලි ඒකකයකට යන පිරිවැය සහ එයින් ජනතාව වෙත ලැබෙන සහනයයි.

🎯 වත්මන් මිල ගැලපුම සමග සංසන්සදනය කළොත් ,

ඒකකයක් සඳහා රුපියල් 32.00ක් වැයවන විට, 🔴 ඒකක 30 අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයින්ට ඒකකයකට රුපියල් 8 ක්, 🔴 ඒකක 31ත් 60 ත් අතර ඒකකයකට රුපියල් 12 ක් 🔴 ඒකක 61-90 පාරිභෝගිකයින්ට ඒකකයකට රුපියල් 16 ක්, 🔴 ඒකක 91-120 අතර භාවිතාකරන පාරිභෝගිකයින්ට ඒකකයකට රුපියල් 30ක්,

වශයෙන් සහන පදනමක් මත අය කිරීම් සිදුවෙයි.

🎯 විදුලි ගාස්තුව වැඩිකළේ සාමාන්‍ය ජනතාවට බඩට ගහන්නද ?

මේ ප්‍රශ්න ඇසීමත් සාධාරණය. ඒ බැලූ බැල්මට එහෙම කියන්න බාධාවක් නැති නිසාය. එහෙත් ඊට වඩා කතාවක් මෙතැන ඇත.

එනම්, 🔴 වත්මන් මිල ගැලපුම් අනුව විදුලි ඒකකයක් හදන්න රුපියල් 32.00ක් වැයවෙන නමුත් , ගෘහස්ථ අංශයේ බහුතර පාරිභෝගික පිරිසක් වෙත ඒ බර පටවා නැත. 🔴 ඒ අනුව විදුලි ඒකක 30 ට අඩු පාරිභෝගිකයන් කාණ්ඩයෙන් තවමත් අය කරන්නේ , පිරිවැයෙන් ( විදුලි ඒකකයක් සඳහා යන මුදල) 25% ක් පමණි. 🔴ඒ අනුව තවමත් විදුලි ඒකකයක් වෙනුවෙන් 75% ක සහනාධාරයක් ඔවුන්ට හිමිවෙයි.

එසේම , 🔴 ඒකක 31 - 60 කාණ්ඩයෙන් අය කරන්නේ සමස්ත පිරිවැයෙන් සියයට 40ක ප්‍රමාණයකි. 🔴 ඒ අනුව තවමත් විදුලි ඒකකයක් වෙනුවෙන් 60% ක සහනාධාරයක් ඔවුන්ට හිමිවෙයි. 🔴 ඒකක 61-90 ට අඩු කාණ්ඩයෙන් අය කරන්නේ 50 %ක් පමණි. 🔴 ඒ අනුව ඔවුන්ටත් 50 %ක සහනාධාරයක් හිමිවෙයි. 🔴 ඒ අනුව විදුලි පාරිභෝගිකයන්ගෙන් 75% ක් වෙනුවෙන් සහනාධාරයක් හිමිවෙයි.

🎯 ජනතාවට දෙන සහනවලට ගෙවන්නෙත් ජනතාවමයි !

මෙහිදී අප අමතක නොකළ යුතු කරුණක් වන්නේ , විදුලිය වේවා වෙනත් රාජ්‍ය ව්‍යවසායක් වේවා , පාඩු ලබමින් ජනතාවට සහන සලසන අතරේදී, එම ආයතනය වෙත සිදුවන පාඩුව පියවා ගන්නේ කෙසේද යන්නයි . වෙනත් ඕනෑම මූලාශ්‍රයක් තාවකාලිකව අදාළ පාඩුව පියවීමට යොදා ගත්තත්, අවසන් විග්‍රහය තුළ රාජ්‍ය ව්‍යවසාය ලබන සියලු පාඩු පියවන්නේ ජනතා බදු මුදලින් ය.

එනිසා එක් පසෙකින් විදුලි බල මණ්ඩලය වේවා , වෙනත් ඕනෑම ආයතනයක් බරපතළ පාඩු ලබමින් , ජනතාවට සහන දෙනවා කියන්නේම ලෝක මරාලයක් බව සිහිතබා ගත යුතුව ඇත. එවන් ආයතන වෙතින් ඉල්ලිය යුතු වන්නේ සහන නොව, "ඔය පාඩුව ඉක්මනින් පියවගන්න, ක්‍රමවේදයක් " ය. විදුලි බල මණ්ඩලය ගැන කතාවත් ඊට දෙවනි නැත.

🎯 වසර 9ක් විදුලි මිල එකතැන !

මහජන උපයෝගීතා කොමිසම පවස්න ආකාරයට මෙරට අවසන් වරට විදුලි සංශෝධනයක් සිදුකර ඇත්තේ , 2013 දීය. එහිදී සිදුකර ඇත්තේ ද විදුලි ගාස්තු අඩු කිරීමකි.

🎯 වසර 9ක් ස්ථාවරව තිබූ විදුලි ගාස්තු සංශෝධනය කිරීම අසාධාරණද ?

මහජන උපයෝගීතා කොමිසම පවසන ආකාරයට විදුලි ජනනය සදහා ආනයනය කරන ෆොසිල ඉන්ධන වර්ග තුනම සියයට 250කට වැඩි ප්‍රතිශතයකින් ඉහල ගොස් ඇත. පසුගිය කාලය තුළ ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 143 සිට ඩොලර් 321 දක්වාත් ඉහල ගොස් තිබේ.

"රුපියල් වටිනාකමට අනුව ගණනය කළ විට එය සියයට 550ක ඉහල යාමකි. ඩීසල් ලීටරයක මිල රුපියල් 121 සිට 430 දක්වා වැඩිවී ඇත . එය සියයට 255ක වැඩිවීමකි. 2013 දී රුපියල් 90ට පැවති දැවිතෙල් ලීටරයක මිල මේ වන විට රුපියල් 419කි.. ඒ අනුව සියයට 365ක මිල ඉහල යාමක් පෙන්නුම් කරයි. මෙම කාලය තුල ඩොලරයේ අගය රුපියල් 127 සිට 368 දක්වා සියයට 190කින් ඉහල ගොස් තිබේ. මේ හේතුවෙන් විදුලි ඒකකයක් ජනනය කර බෙදාහැරීමේ වියදම රුපියල් 16 සිට රුපියල් 32 දක්වා ඉහළ ගොස් ඇත ,"

මේ අනුව වත්මන් විදුලි මිල සංශෝධනය වැඩිවූ උද්දමනයේ අගයට වඩා අඩු අගයකින් සිදුකර ඇති බවත් පැහැදිලිය.

🎯 මණ්ඩලේ යෝජනා !

මේ ආකාරයට විදුලි ගාස්තු ඉහළ දැමීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යෝජනා 2ක් පසුගිය සමයේ ඉදිරිපත් කර ඇත .

ඒ, විදුලි ජනනයට අදාළ පිරිවැය වැඩීවීමත් සමඟ ගාස්තු ඉහළ දැමීම 183%ක හා සියයට 229%ක් වශයෙන් ය.

විදුලි බල මණ්ඩලයේ යෝජනා එසේ වුවත් , මිල ඉහළ දැමීමට අනුමැතිය ලබාදී ඇත්තේ , 75% කින් පමණය.

🎯 සේවා සහ කර්මාන්ත අංශයට මොකද වෙන්නේ ?

කර්මාන්ත, හෝටල් සහ පොදු කාර්ය අංශවල අඩු විදුලි පරිභෝජනයක් ඇති කාණ්ඩ සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කර ඇත්තේ , සියයට 116ක ගාස්තු වැඩීවීමකි.

එහෙත් ඒ වෙනුවට පොදුකාර්ය අංශය සදහා සියයට 39ක වැඩිවීමක් හා කර්මාන්ත අංශය සදහා සියයට 75ක වැඩිවීමක් පමණක් සඳහා මේ මොහොතේ අවසර නිකුත්කර ඇත .

එසේම සංචාරක ක්ෂේත්‍රය සදහා අනුමත කල ගාස්තු වැඩීවීමෙන් සියයට 50ක් පමණක් අගෝස්තු 10 වැනිදා සිට බලාත්මක වෙයි. සංචාරක කර්මාන්තය යම් යහපත් තත්ත්වයකට පත්වන තුරු දිරි දීමක් හා සහනයක් වශයෙන් ඉතිරි සියයට 50ක ගාස්තු වැඩීවීම ක්‍රියාවට නැගෙන්නේ තවත් මාස තුනකට පසුවය.

ඊට අමතරව සංචාරක මෙන්ම අපනයන කර්මාන්ත වලට සහනයක් වශයෙන් විදුලි බිල්පත් ඩොලර් මඟින් ගෙවන විට සියයට 1.5ක වට්ටමක් ලබාදීමටද යෝජනා කර ඇත.

මේ අනුව අදාළ විදුලි ගාස්තු සංශෝධනය ආවට ගියාට සිදුකරනු ලැබුවක් නොව, පවතින අර්බුදය හමුවේ , සමස්ථ විදුලි බල සැපයුම් පද්ධතිය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් බව පැහැදිලිය.

🎯 මණ්ඩලේටත් සීමාවක් !

 අදාළ විදුලි මිල සංශෝධනය සමග විදුලි බල මණ්ඩලය වෙතත් සීමා පණවා තිබීමත් විශේෂ කරුණකි.

ඒ බිලියන ගණනින් පාඩු ලබන විදුලි බල මණ්ඩලය මූල්‍යමය වශයෙන් සාර්ථක තත්ත්වයකට පත්වන තුරු එහි සේවකයින් හට ගෙවන ප්‍රසාද දීමනා ආදිය නැවැත්වීමටය.

සාමාන්‍යයෙන් ඕනෑම සමාගමක් සේවකයන් හට ප්‍රසාද දීමනා ආදිය ලබාදෙන්නේ එකී සමාගම හෝ ආයතනය මූල්‍යමය වශයෙන් ස්ථාවර සහ ලාභ ලබන තත්ත්වයක් ඇතිකර ගතහොත් පමණය. නමුත් ඒ වෙනුවට මෙරට විදුලි බල මණ්ඩලය පමණක් නොව ඛනිජ තෙල් සංස්ථාවේ සිට බිලියන ගණන් පාඩු ලබන ආයතන ප්‍රසාද දීමනා ගෙවන්නේ , ආයතනය මූල්‍යමය වශයෙන් හොම්බෙන් යන පසුබිමකය .

ඉතිං ඒ ආයතන වල සේවක කොටස් ප්‍රසාද දීමනා ලබා, එහෙත් ආයතනය බරපතළ ලෙස පාඩු ලබන විට ඒ පාඩුව ගෙවන්නේ ද මෙරට සාමාන්‍ය ජනතාවය.

🎯 අමාරුම වෙලාවේ බලශක්තියත් පරිස්සම් කරගන්න ඕන නේද ?

පසුගිය සමයේ ජනතාව පීඩාවට පත්වූයේ පැයෙන් පැය දීර්ඝ වූ විදුලි කප්පාදුව නිසාය. අවසානයේදී සාකච්ඡා පැවතියේ දවසකට පැය 12 කට වඩා විදුලි කප්පාදුවක් සම්බන්ධයෙන් ය.

එහෙත් මාස 2-3ක් ගතවී දැන් තත්ත්වය වෙනස් වෙමින් ඇත. දැන් උදාවී ඇත්තේ පැයෙන් පැය විදුලි කප්පාදුව අඩුකරන කාලයක් ය.

මහජන උපයෝගීතා කොමිසම පවසන ආකාරයට මේ වන විට පැවති විදුලි ඉල්ලුමේද 25% ක අඩුවක් සිදුව ඇත. ඒ පැවති විදුලි කප්පාදුව හමුවේ 7% ක් සහ උෂ්ණත්වය පහළයාම හමුවේ 15%ක් ලෙසිනි .

එහෙත් මේ දත්ත පහසුවෙන් වෙනස් වෙන සුළුය. ඒ කියන්නේ අඛණ්ඩව විදුලි බලය සපයා ගැනීම වෙනුවෙන් මේ මොහොතේ තිබෙන ප්‍රමාණය අරපිරිමැස්මෙන් භුක්ති විඳීමට සිදුව ඇත.

🎯 විදුලි බල ක්ශේත්‍රයේ ව්‍යුහාත්මක වෙනසක් එපාද ?

එහෙත් ඒ අරපිරිමැස්ම යනු හැමදාම කළ හැකි දෙයක් නොවේය. නැත්නම් විදුලි බල මණ්ඩලේ මූල්‍ය තත්ත්වය අවුල් නිසා බලශක්ති සැපයුමට බාලගිරි දෝෂය ලබන්නට දෙන්නත් නොහැකිය.

එසේ නම් කළ යුතුව ඇත්තේ , විදුලි බල ක්ශේත්‍රයේ ආයෝජන තවත් පුළුල් කිරීම නොවේද ? මණ්ඩලේ පාඩු නම් එය ලාභ ලබන ව්‍යවසායක් බවට පත්කර ගැනීම නොවේද ? එසේ නැතිනම්, විදුලි බල මණ්ඩලය නම් රාජ්‍ය ආයතනයක් තිබෙනවා කියමින්, ඉහළ මිලක් ගෙවා කරුවලේ ඉන්න හිත හදාගන්නවාද ?, අපි කරුවලේ සිට මණ්ඩලේ කිහිපදෙනෙකුට ප්‍රසාද දීමනා වෙලාවට ගෙවන්න බදු මුදල් පවා දිගටම අපතේ යන්න ඉඩදෙනවාද ? මේවා ගැන තීන්දුව ගතයුත්තේ ජනතාවය.

🎯 වෘත්තීය සමිති කියන කතා !

විදුලිබල මණ්ඩලය පාඩු බව කියා විදුලි බිල සියයට 75%කින් ඉහළ දැමීම අතිශය අසාධාරණ බව විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයකු වන රන්ජන් ජයලාල් පවසා ඇත .

ඔහු කියන්නේ දූෂණ නිසා මණ්ඩලය පාඩු ලැබූ බවය. එසේම ඔහු මව්බිම පුවත්පතට ප්‍රකාශයක් කරමින් අපූරු තර්කයක් ඉදිරිපත් කර ඇත .

ඒ " විදුලිබල මණ්ඩලය පාඩු ලබනවා කියා මෙසේ බිල වැඩි කරනවා නම් 225ක් නඩත්තු කරන පාර්ලිමේන්තුව ලාභ ලබනවා ද යන්න ය? එසේ නම්, පාර්ලිමේන්තුවත් පාඩු ලබන තැනක් කියා වසා දැමිය යුතු බව"ය.

පාර්ලිමේන්තුවේ සහ විදුලි බල මණ්ඩලය අතර වෙනස මේ වෘත්තීය සමිති නායකයා දන්නේ නැද්ද ? මේ ඔහුගේ නොදැනුම නොව, ජනතාව ඇන්දවීමේ කලාවය. ඔහු මේ මණ්ඩලේ කචල් වසා මේ ගේම ගහන්නේ , අර්බුදය හමුවේ 225 ම එපා කියන අසරණ ජනතාවගේ හැඟීම් වලට ය.

එහෙවු වෘත්තීය සමිති නායකයාට දෙන්න පණිවිඩයක් අපට ඇත.

" පාර්ලිමේන්තුවට ලාභ උපයන්න බෑ තමයි . හැබැයි පාර්ලිමේන්තුවට පුළුවන් , විදුලි බල මණ්ඩලය පාඩු ලබන එක නවත්වන්න. අන්න ඒ වෙනුවෙන් විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න ප්‍රතිපත්තිය හදන්න ඕන. ඒ වගේම ඔහොම සුදු අලි ආයතන රැසක් තියෙනවා . අන්න ඒ ආයතන ගැනත් තීන්දුවක් ගන්න ඕන . ඊට පස්සේ පෙනෙයි , පාර්ලිමේන්තුව හරහා කොහොමද ලාභ ලබන්නේ කියලා . ජනතාවත් අහන්න ඕන , මේ රාජ්‍ය රාජ්‍ය ගාණ මහා පරිමාණ පාඩු ලබන ආයතන ඇයි අපේ බදු මුදලින් නඩත්තු කරන්නේ කියලා ?"

 

ප්‍රජාතන්ත්‍රවාදය රැකගත්ත හමුදාවට : ජනාධිපති ප්‍රණාම සහතික !

විධායකය නතු කර ගනිමින් ව්‍යවස්ථාදායකයට බාධා කළ ප්‍රචණ්ඩකාරීන් මැඩපවත්වා ප්‍රජාතන්ත්‍රවාදය රැකගත් හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ , පැලවත්ත, අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ අද (09) පෙරවරුවේ විශේෂ නිල චාරිකාවකට එක්වූ අවස්ථාවේ හමුදා සාමාජිකයන් අමතමින් ය.

එදා ප්‍රචණ්ඩකාරී පිරිස් පාර්ලිමේන්තුවට ඇතුළු වී ව්‍යවස්ථාදායකය අක්‍රීය කළා නම් රටේ ආණ්ඩුවක් නැති වන බවත්, එසේ වූයේ නම් අද රට තුළ ඇති තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් බවත් ජනාධිපතිවරයා පැවසීය.

එම මෙහෙයුම කිසිදු පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල නොකොට සාමකාමිව සිදු කිරීමට පියවර ගත් ආරක්ෂක අංශ සාමාජිකයන්ට තම ස්තූතිය පළ කර සිටින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීය.

යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් පිළිගනු ලැබූ අතර අනතුරුව ජනාධිපතිතුමා වෙත විශේෂ යුද හමුදා උත්තමාචාර ද පිළිගැන්විණි.

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ උත්තරීතරම ස්ථානය වන පාර්ලිමේන්තු සංකිර්ණයට ප්‍රචණ්ඩකාරීන් බලහත්කාරයෙන් ඇතුළුවීම විශිෂ්ට ලෙස මැඩපැවැත්වූ ආරක්ෂක අංශ සාමාජිකයන්ට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් ප්‍රණාම සහතික ප්‍රදානය ද සිදු කළ අතර ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ප්‍රධානීන් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසු ජනාධිපතිතුමා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

“අද මෙම විශේෂ උත්සවය සංවිධානය කළේ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම ගැන අපේ ස්තූතිය ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරන්න. මෙහි වැදගත්කම බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන් බලාපොරොත්තු වුණේ මේ පිළිබඳ කරුණු කිහිපයක් සඳහන් කරන්න. ඔබේ ප්‍රධාන යුතුකම තමයි මේ රට ආරක්ෂා කරන්නත් මේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නත් කටයුතු කරන එක.

ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න ප්‍රධාන ආයතන 03ක් තිබෙනවා. පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය. මේ ආයතන 03 ක්‍රියාත්මක නොකෙරුවොත් මේ රටේ පාලනයක් නැති වෙනවා. ව්‍යවස්ථාව කඩා වැටෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා. එවැනි අවස්ථාවක තමයි ඔබ පාර්ලිමේන්තුව ආරක්ෂා කළේ.

සිද්ධි ගැන කතා කරනවා නම් ජූලි 09 වනදා එවකට ජනාධිපතිතුමා හිටපු මන්දිරය ප්‍රචණ්ඩකාරීන් අත්පත් කරගත්තා; පස්සේ ජනාධිපතිතුමාගේ විධායක බලය යොදවන කාර්යාලය, ජනාධිපති කාර්යාලය අත්පත් කර ගත්තා. ජනාධිපතිතුමාට ක්‍රියාත්මක කරන්න කිසිම ආයතනයක් තිබුනේ නැහැ. සවස් වෙන කොට අගමැතිතුමාගේ නිල නිවස වන “අරලියගහ මන්දිරයත්” අත්පත් කරගත්තා. එම කාර්යාලයේ කටයුතුත් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. එවකට හිටපු ජනාධිපතිතුමා එම අවස්ථාවේ කොළඹ නගරය තුළ හිටපු නැති නිසා, එතුමා ඉන්න තැන දන්නේ නැති නිසා, මම ඉල්ලා අස්වෙයි කියන බලාපොරොත්තුවෙන් මගේ නිවසට ගිනි තැබුවා. නමුත් ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ අගමැති කාර්යාලයක් පමණක් ඉතිරි වෙලා තිබුණා.

13 වනදා යළිත් පැමිණිලා අගමැති කාර්යාලයත් අත්පත් කර ගත්තා. එතකොට විධායකයට ක්‍රියාත්මක කරන්න කිසිම කාර්යාලයක් නැහැ. එවකට ජනාධිපතිතුමා හිටපු ජනාධිපති මන්දිරයත් නැති වෙලා. විධායකය හැටියට ක්‍රියාත්මක කරන්න කිසිම ස්ථානයක් තිබුණේ නැහැ. සවස් වන විට තත්ත්වය තවත් වෙනස් වුණා. පාර්ලිමේන්තුව වට කරන්න උත්සාහ කළා. පාර්ලිමේන්තුව අල්ල ගත්තනම් ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක කරන්න බැහැ. ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක කරන්න බැරිනම් රටේ ආණ්ඩුවක් නැහැ.

අධිකරණය වට කරලා අධිකරණය නවත්වන එක පහසු කාර්යයක්. අනිත් ආයතන දෙක වගේ නෙවේ. පාර්ලිමේන්තුව නැති වුණා නම් විශාල ප්‍රශ්නයක් වෙනවා. එදා පක්ෂ නායකයින්ගේ රැස්වීමක් පැවැත්වුණා. කථානායකතුමා දන්නවා, මේ කණ්ඩායම එනවා කියලා දැනගත්තහම පක්ෂ නායකයින්ගේ රැස්වීමත් අවසන් කළා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න කවුරුත් හිටියේ නැහැ. පාර්ලිමේන්තුව වැටුණා නම් ආණ්ඩුක්‍රමය නැති වෙනවා. ඒ නිසා ඒ අවස්ථාවේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානීන්ට විශේෂයෙන් ශවේන්ද්‍ර සිල්වාටත්, හමුදාපති ලුතිතන් ජෙනරල් ලියනගේ මහතාටත් මම කිව්වා පාර්ලිමේන්තුව ආරක්ෂා කරලා දෙන්න කියලා. පාර්ලිමේන්තුව නැති වුණා නම් පාලනයක් නැති වෙනවා.

පාර්ලිමේන්තුව නැති නිසා ආරක්ෂක අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ නිසා තමයි ඔබ සියලුදෙනාට භාර දුන්නේ ඒ කටයුත්ත කරන්න.

ඒ අනුව පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට පැමිණි පිරිස්වලට වෙඩි තියන්න වුවමනාවක් වුණේ නැහැ. ඒ ගැන මම ඔබ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා, ප්‍රශංසා කරනවා. ඔබේ කිහිප දෙනෙක් තුවාල ලැබුවා. ආරක්ෂාව තිබෙන නිසා රටේ තත්ත්වය ඊළග දවසේ වෙනස් වුණා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරගත්තේ නැතිනම් මේ තත්ත්වය අද රටේ නැහැ.

මේක, උතුරේ දැක්ක විශාල සටන් වගේ නෙවේ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඔබ ගත්ත පියවරක්. එදා ත්‍රස්තවාදය නැති කළා වගේ ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. මේ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ආරක්ෂා කරලා පාර්ලිමේන්තුව රැස් වෙන්න ඉඩ ලබා දී ව්‍යවස්ථානුකූල යුතුකම ඉෂ්ට කර තිබෙනවා. එමගින් රටත් ආරක්ෂා කරලා තිබෙනවා. දැන් තිබෙන්නේ පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන යෑමයි. පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන ගොස්, ජනතා විශ්වාසය දිනා ගන්න එක මන්ත්‍රීවරු කරන්න ඕන. ඔබේ පියවර දැන් අවසන්. පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකට එකතුවෙලා ප්‍රශ්නය විසඳන්න ක්‍රියාකළ යුතුයි.

අලුත් ව්‍යවස්ථා සංශෝධන ගේන්න අපි උත්සාහ කරමින් සිටිනවා. අලුත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ යෝජනා ගෙනවිත් සර්ව පාක්ෂික පාලනයක් ඇති කරන්න අපි පියවර ගනිමින් සිටිනවා. ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා, දැන් ඔබේ යුතුකම ඉෂ්ට කරන්න. දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්න ඕන. මම අගමැතිතුමාටත්, කතානායකතුමාටත් කියනවා කරුණාකරලා ඒක පාර්ලිමේන්තුවට සිහිපත් කරන්න කියලා. මේ කැපවීමෙන් ප්‍රයෝජන ගන්න නම් ඔක්කොම එකතුවෙලා පාර්ලිමේන්තුව යළි රට වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න ඕනෑ.

ඔබ සියලු දෙනාටම ස්තුති කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා. රට වෙනුවෙන්, පාර්ලිමේන්තුව වෙනුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් ස්තූති කරනවා. මොකද මේ පියවර ගත්ත නිසා දැන් රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න අපට පුළුවන්. ජීවන වියදම වැඩි වෙලා, ගමන් බිමන් සීමා වෙලා මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අපි පියවර ගනිමින් සිටිනවා.

ලබන අවුරුද්ද වෙනකොට රටේ ස්ථාවරභාවයක් ඇති කරන්න නම් ඒක කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඔබ එය ආරක්ෂා කරන්න වැඩකටයුතු කරලා තිබෙනවා. පාර්ලිමේන්තුවට වැඩ කරන්න ඉඩ දීලා තිබෙනවා.
විශේෂයෙන්ම ඔබ සියලුදෙනාම ගුවන් සංක්‍රමණික බල සේනාවට අයිති අය. ඒ ගැනත් මම වචන ස්වල්පයක් කතා කරන්න ඕන. මොකද එය අපේ රටේ තිබෙන ප්‍රධාන ඒකකයක් හැටියට තමයි සලකන්නේ.

එදා 1992, 93 වර්ෂයේ මෙම බල සේනාව ඇති කරන්න ඕන කියලා අපි සාකච්ඡා කළා. එම වකවානුවේම මම ඔක්තෝබර් මාසයේ ලන්ඩන් නුවරට ගියා. ලන්ඩන් නුවරදී ජෙනරල් මයිකල් රෝස් මට හමු වුණා. එතුමාව මට හඳුන්වලා දුන්නේ ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව. ඒ සමග ජෙනරල් රණතුංග, ජෙනරල් ආටිගල හිටියා. එතුමා එතනදි කිව්වා මෙහෙම ඒකකයක් ආරම්භ කරන්න කියලා. එවකට යුද හමුදාපති වෛද්‍යරත්න මැතිතුමාට ඒ වැඩකටයුතු පවරලා ඊට පස්සේ ජෙනරාල් ජෙරී සිල්වා බලකාය ආරම්භ කරලා මේ වැඩකටයුතු හොදට ඉදිරියට ගෙන ගියා. එදා ආරම්භ කරපු දේ ඉදිරියට ගෙන යාම ගැන අපි විශේෂයෙන්ම සතුටු වෙනවා. "

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

තහනම් බඩු මල්ලේ ගෙනාවොත් බඩු !

ආනයනය තහනම්කර සහ ආනයනය සීමාකර ඇති භාණ්ඩ ගමන් මළුවල රැගෙන ඒමෙන් වැළකින ලෙස ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටින බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි .

උපදෙස් නොතකා එවැනි භාණ්ඩ රැගෙන එන මගීන්ට එරෙහිව රේගු ආඥාා පනතේ සහ ආනයන අපනයන පාලන පනතේ විධිවිධානවලට අනුව කටයුතු කරන බවත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියි.

මේ සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .

00

පරිස්සමෙන් ! තවත් කොරෝනා මරණ 06 ක් : ආසාදිතයින් 214 ක් !

කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් හයදෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (9) පස්වරුවේ තහවුරු කළ අතර ඒ ඊයේ (08) දිනට අදාළවය.

මෙම මියගිය පුද්ගලයන් පස්දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය බවත් එක පුද්ගලයෙක් වයස 30 ත් 59 ත් අතර පසුවන්නෙක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත .

එම පුද්ගලයන් අතර පිරිමින් හතරක් කාන්තාවන් දෙදෙනකු වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පවසයි .

මේ අතර කොවිඩ්’ ආසාදිත රෝගීන් 214 දෙනකු අද අලුතින් හඳුනාගත් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කර ඇත .

ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු ‘කොවිඩ්’ රෝගීන් සංඛ්‍යාව 667,158 ක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

ප්‍රයිවට් බස්වලට : ටැංකි පිරෙන්න තෙල් ලැබෙයි !

මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය කරන මුළු ඩීසල් ප්‍රමාණයම සැපයීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි .

ගෙන ඇති තීන්දුව අනුව ලංගම ඩිපෝ මෙකී ඉන්ධන නිකුත් කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

කෙසේ වුවත් පසුගිය දිනවල මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ හිමියන් චෝදනා කර සිටියේ අඛණ්ඩව ප්‍රවාහන සේවා සැලසීමට ප්‍රමාණවත් ඉන්ධන කෝටාවක් තමන්ට නොලැබෙන බවය.

 

සත්‍යවේල් පියතුමා,ස්ටාලින්,දමිතා,රැට්ටා ඇතුළු 08කට ඇප

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගය අසල පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසකගේ රාජකාරියට ඉකුත් මැයි 25 වෙනිදා බාධා කිරීමක් සම්බන්ධයෙන් අධිකරණයෙන් නිකුත් කළ නොතීසියකට අනුව අධිකරණයට අද ඉදිරිපත් වූ අරගලයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයින් 08 දෙනෙකු ශරීර ඇප මත මුදා හැර තිබේ.

සත්‍යවේල් පියතුමා, දමිතා අබේරත්න, ජෝසප් ස්ටාලින්, රතිඳු සේනාරත්න (රැට්ටා), ජගත් මනුවරණ ඇතුළු අරගලයේ ක්‍රියාකාරිකයන් 08 දෙනෙක් මෙසේ ඇපමත මුදා හැරිනු ලැබීය.

කොම්පඤ්ඤවීදිය පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කරනු ලැබුවේ පොලිස් මාර්ග බාධකයේ රැදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් සහ බන්ධනාගාර බස් රථයකට බාධා කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ප්‍රකාශ කර සිටියේ, අදාළ නඩුව පොලිසිය විසින් වංචා සහගත ආකාරයෙන් ගොනු කරන ලද්දක් බව ය.

ඒ අනුව, කරුණු සලකා බලා ඇති මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ශරීර ඇප මත හැර ඇති අතර නඩුව නැවත නොවැම්බර් මස 28 වන දා කැඳවන ලෙස නියම කළේය.

තව ද අදාළ සැකකරුවන්ට හෙට (අගෝ. 10) කොම්පඤ්ඤවීදිය පොලිසියට ගොස් ප්‍රකාශ ලබා දෙන ලෙස ද නියෝග මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විදුලි බිල ඉහළට !

හෙට (10) සිට ක්‍රියාත්මක ආකාරයට විදුලි බිල්පත් ගාස්තු සීයයට 75ක සාමාන්‍ය අගයකින් වැඩි කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි .

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ ලක්ෂ 48ක් පමණ අඩු විදුලි ඒකකයන් පරිභෝජනය කරනු ලබන නිවාස සඳහා උපරිම සහනයක් ලබාදීමට කටයුතු කරනු ලැබූ බවය.

ඒ අනුව විදුලි ඒකක 30ක් දක්වා භාවිතා කරන ගෘහස්ත බිලක් සඳහා විදුලිබිල වැඩි කිරීම 264%කින් වැඩි කිරීමට නියමිත අතර ඒ අනුව එහි අමතර මිල ඉහළ යාම රුපියල් 198.00 කින් පමණ සිදුවෙයි.

ඒකක 60 දක්වා පරිභෝජනය කරන නිවසක විදුලි බිල සීයයට 200කින් ඉහළ යන අතර ,ඊට අනුව එහි අමතර මිල ඉහළ යාම රුපියල් 500ක් පමණ වෙයි.

ඒකක 60- 90 ත් අතර භාවිතා කරන නිවසක විදුලි ගාස්තුව සීයයට 125කින් මිල වැඩි කිරීමට අවසර ලබාදී ඇති අතර අමතර මිල වැඩිවීම 1461.00 ක් පමණ වෙයි.

90-120ත් අතර විදුලි ගාස්තුව සියයට 89කින් ඉහළ ගොස් ඇති අතර එහිදී රුපියල් 2,900ක් පමණ ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ යනු ඇත.

මේ අතර 120-180 අතර විදුලි ගාස්තුව සියයට 79 කින් ඉහළ ගොස් ඇත .

මේ මිල වැඩිකිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ, 2014 වසරේදී අවසන් වරට විදුලිබිල සියයට 25 කින් අඩු කරනු ලැබූ බවත් ඉන් පසුව විදුලි බිල සංශෝධනය නොකිරීම සහ විදුලිය නිෂ්පාදනය කිරීමේදී යොදා ගනු ලබන ගල් අඟුරු, ඩීසල් සහ දැවී තෙල් මිල ගණන් ඉහළ යාම සහ පවතින උද්ධමනය හේතුවෙන් විදුලි බිල ඉහළ දැමීමට සිදුවූ බවයි

සංචාරක කේෂ්ත්‍රයට සම්බන්ධ ව්‍යාපාර සඳහා මාස 03ක කාලයක් යන තෙක් විදුලි බිල සියයට 50කින් පමණක් වැඩි කරන අතර සෙසු මිල වැඩි වීම මාස 03කින් පසු සිදුකරන බවත් මහජන උපයෝගිතා කොමිසම පවසයි .

එමෙන්ම මෙරට පිහිටි සමාගමක සීයයට 60කට වැඩි ප්‍රමාණයක් විදෙස් සමාගමකට හිමිනම් එම විදුලි බිල අමෙරිකානු ඩොලර් යටතේ ගෙවීමට නියම කරනු ලැබූ බවත් එහිදී ඔවුන්ට වට්ටමක් ලබාදීමට නියමිත බවත් එම කොමිසම සඳහන් කර සිටියි.

සජබ බෙදීම දරුණු වෙයි : ලක්ෂ්මන් රනිල්ගේ ගුණ වයයි !

ජනාධිපතිවරයා දැන් කරන්න යන්නේ තම පක්ෂය වසර තුනක් සටන් කරපු දේ බවත් "අප එතුමා ගැන ආඩම්බර වෙන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ , ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමේ ප්‍රකාශය සම්බන්ධයෙන් පැවති විවාදය අවස්ථාවේ අදහස් දක්වමින් ය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කර ඇති සර්ව පාක්ෂික පාලනය පදනම් කරගෙන සමගි ජනබලවේගය පක්ෂය අභ්‍යන්තරයේ බෙදීමක් හටගෙන ඇති බවත් වාර්තා වෙයි .

ඒ රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය විසඳීමට ආණ්ඩුවේ වගකීම් අරගෙන ඊට එක්විය යුතු බවට ප්‍රබල මතයක් පක්ෂ අභ්‍යන්තරයේ නිර්මාණයවී ඇති නිසා ය.

මේ වන විට පක්ෂයේ ප්‍රබලයන් කිහිපදෙනෙකුම ප්‍රසිද්ධියේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිටින බවත් වාර්තා වෙයි .

කෙසේ වුවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ඉතා කිහිපදෙනෙකු සර්ව පාක්ෂික පාලනයක් යෝජනාවට විරෝධය පලකර ඇති බවත් වාර්තා වෙයි .

ඒ හේතුවෙන් ඉතාම තීරණාත්මක මොහොතකදී සමගි ජනබලවේගය පක්ෂයේ බෙදී වෙන්වීමේ පැහැදිලි ලකුණු පෙන්නුම් කරන බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කවුරුත් කොළඹ ඇවිත් නෑ : SF මැතිද අද තනියම අරගලයේ !

අද (09) අවසන් සටන සඳහා කොළඹ වැටලීමට ජන සුනාමියක් පැමිණෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු අරගලයේ බව කියන පාර්ශ්ව කිහිපයක් විසින් අවස්ථා කිහිපයකදීම සිහිකැඳවීම් සිදුකළත් එය අසාර්ථකව ඇති බව වාර්තාකරුවන් පවසයි .

අවසන් සටන සිදුකරන දිනය ලෙස අද දිනය නම් කළත් මේ වන තුරු කොළඹ හෝ තදාසන්න ප්‍රදේශවල සැලකිය යුතු ජන පිරිසක් ඒකරාශි වී නොමැති බවත් වාර්තා වෙයි .

මේ අතර ගෝල්ෆේස් පිටිය කේන්ද්‍ර කරගත් අරගල පාර්ශ්ව කිහිපයක් ඊයේ (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ අද අරගලය සඳහා ජනතාව කොළඹ නාවොත් තමන්ද අරගලය අත්හැර දමන බවය.

එසේම මේ වන විට ගෝල්ෆේස් අරගල බිමෙන් පිටත්ව ගිය පාර්ශ්ව අරගලය පාවාදුන් පිරිසක් බවටත් ඔවුන් චෝදනා නැගීය.

කෙසේ වුවත් සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ආසන්නයේ විරෝධතාවක නිරත වූ නමුත් එයත් ඉතාම ඇල්මැරුණු ස්වභාවයක් ගෙන තිබූ බවත් වාර්තාකරුවන් පවසයි .

මේ අතර ජවිපෙ ප්‍රමුඛ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ අද ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරන බවයි.

ඒ අනුව කොළඹ ප්‍රදේශයේ වෘත්තීය සමිති නියෝජිතයන් ගේ උද්ඝෝෂණයක් පමණක් පැවැත්වෙයි.

ජනතාව අරගලයට ආවේ : දේශපාලන පක්ෂවලට කඩේ යන්න නෙවෙයි !

ජනාධිපති මන්දිරය මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය හෝ පාර්ලිමේන්තුව යන අරගලකරුවන් ඉලක්ක වූ ස්ථාන ආශ්‍රිතව පොලිස් මාර්ග බාධක සහ පොලිස් කණ්ඩායම් ස්ථාන ගතකර තිබෙනු දකින්නට ලැබිණ .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ , නිර්පාක්ෂික සාමකාමී අරගලය එක් එක් දේශපාලන පක්ෂ වල බල දේශපාලන අරමුණු වෙනුවෙන් කළමනාකරණය කිරීමට යාම හමුවේ , දියාරුව ගොස් ඇති බවය.

ජනතාව පාරට බැස්සේ ඔවුන්ගේ අවම ජීවන තත්ත්වයත් අහෝසිවී යාමට එරෙහිව රාජපක්ෂ විරෝධයක් ලෙස මිස, කොහේවත් යන පක්ෂ වල බල අවශ්‍යතා වෙනුවෙන් නොවන බවත් ඔවුන් පවසයි .

 

 

ජනපති සමග සාකච්ඡාවට නොඑන බව ‍ජවිපෙ කියයි

ජනාධිපතිවරයා සමග හෙට (09) දිනයේ පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාවට සහභාගී නොවනබව ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනාධිපති කාර්යාලය වෙත අද (08) පස්වරුවේ දැනුම් දී ඇත.

එහෙත් සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය හෙට දිනයේ ලිඛිතව ලබාදීමට කටයුතු කරනබව ද ජවිපෙ විසින් දැනුම් දී තිබේ.

ජවිපෙ මිට කලින් තීන්දු කොට තිබුණේ හෙට පැවැත්වෙන සාකච්ජාවට සහභාගි වීමටය.

සිදුකර ඇති ආරාධනයට අනුව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට සිය පක්ෂය තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ඊයේ (07) දිනයේ මාධ්‍ය වෙත ප්‍රකාශකර සිටියේය.

කෙසේවුවද සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීම සඳහා සිය පක්ෂය කිසිඳු ලෙසකින් සහාය ලබානොදෙන බව විජිත හේරත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහයෝගය ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා විවෘත ආරාධනයක් කරනු ලැබීය.

ඒ අනුව මේ වන විටත් සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, පාර්ලිමේන්තුවේ ස්වාධීන වු පක්ෂ 10 කණ්ඩායම ඇතුළු කණ්ඩායම් කිහිපයක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වා තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග පැවැති සාකච්ඡාවලදී ඉදිරිපත් වු යෝජනා එම සාකච්ඡාවලට සහභාගී වු සියලු පක්ෂවලට හෙට (09) දිනයේ ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබුණි.

අගෝස්තු 09 රටම අරගල බිමක් ලෙස නිවේදනයක් !

හෙට (09) දිනය අරගලකරුවන් ගේ ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර ඇති බව ‘අරගලයේ පරපුර’ සංවිධානය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ලෙස පෙනීසිටින නීතිඥ මනෝජ් නානායක්කාර කියා සිටියේ හෙට දිනයේ මුළු රටම අරගල භූමියක් වනු ඇති බවය.

ගාළු මුවදොර අරගල කරුවන් ගේ සම්බන්ධීකරණයෙන් දිස්ත්‍රික්ක වශයෙන් විරෝධතා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කර ඇත .

මෙම විරෝධතා වල යෙදෙන ජනතාවට නීතිමය බාධාවක් මතු වූවොත් ඒ වෙනුවෙන් නීතිඥ ප්‍රජාව පෙනී සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත .

ශිෂ්‍ය ක්‍රියාකාරී මංගල මද්දුමගේ අත්අඩංගුවට

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ  මෙහෙයුම් මණ්ඩල විධායක කමිටු සාමාජිකයෙකු වන මංගල මද්දුමගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැයි මස 19 වනදා පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනාවකට අදාළව ඔහු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 කෙසේ වෙතත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මංගල මද්දුමගේ පැහැරගෙන ගිය බවට චෝදනා කළේය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් ත්‍රිරෝද රථයකින් පැමිණ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිටදී මෙම පැහැරගැනීම සිදුකළ බවයි.

එසේම මංගල මද්දුමගේ මහනුවර ගෝඨා ගෝ ගම ආරම්භයේදීත් ගෝල් ෆේස් ජන අරගලයේදීත් ප්‍රමුඛපෙළ ක්‍රියාකාරිකයෙකු ලෙසට කටයුතු කළ බව පුබුදු ජයගොඩ පැවසිය.

මේ අතර පොලිසිය පවසන්නේ, ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වන මංගල මද්දුමගේ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බවයි.

අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

ජෝසප් ස්ටාලින්ට ඇප

අධිකරණ නියෝග කඩකළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්  රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ  අද (08)නියෝග කළේය.

ලංකා බැංකු මාවතේ දී ඉකුත් මැයි 28 වැනි දා පැවති විරෝධතා ව්‍යාපාරයට සහභාගිවී මංමාවත් පනත උල්ලංඝනය කරමින් මහජන පීඩා ඇති කිරීමේ සිද්ධියට අදාළව අධිකරණයෙන් නිකුත් කළ නියෝගය කඩ කළැයි කොටුව පොලිසිය සැකකාර ජෝසප් ස්ටාලින්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූනි.

ඒ අනුව අධිකරණය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළේ ඉකුත් (03) දාය.

අදාල උද්ඝෝෂණය සම්බන්ධයෙන් අධිකරණයෙන් නිකුත් කළ නියෝගය කඩ කරමින් මෙම සැකකරු කටයුතු කර ඇතැයි කොටුව පොලිසිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්  අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඉන්ධන කෝටාව : ත්‍රීරෝද රථ හිමියන්ට සුබ ආරංචිය

ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව QR කේතය ඔස්සේ නිකුත් කරන ඉන්ධන කෝටාව අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ස්වයංක්‍රීයව යාවත්කාලීන වන බව විදුලි හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කරයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් පවසන්නේ පූර්ණ කාලීනව ත්‍රී රෝද රථ කුළී සේවාවේ නිරතව සිටින පුද්ගලයින්ට ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට පියවර ගැනීමට සූදානමක් ඇති බවයි.

එහෙත් ඒ කුමන ප්‍රමාාණයකින්දැයි මෙතෙක් නිෂ්චිත ලෙස තීරණය වී නැති බවත් වාර්තා වෙයි .

රනිල්ගේ සර්ව පාක්ෂික පාලනයෙන් විපක්ෂයට සුනාමියක් !

කාටවත් මතකද රනිල් වික්‍රමසිංහ පහුගිය කාලේ අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තේ මොකටද කියලා . ඊළඟට ව්‍යවස්ථාවට අනුකූල ලෙස ජනාධිපති වුණ එක ඇත්ත . හැබැයි රනිල් ආවේ, මේ දරුණු ආර්ථික අර්බුදය සමනය කරන්න පුළුවන් කියලා .

හැබැයි මේ ටිකේ මීඩියා දිහා බැලුවාම පේන්න තියෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩු කතා විතරයි වගේ . ආර්ථිකය හදන්න වැඩ පිළිවෙලක් යනවා තමයි හැබැයි ඒකට පබ්ලිසිටි නැති තරම්. කොටින්ම රාජ්‍ය මාධ්‍ය පවා උණ විකාරෙන් වගේ සර්ව පාක්ෂික පාලනය අස්සේ හිරවෙලා.

දේශපාලන ආරංචි මාර්ග කියන විදියට මේ දවස් වල ජනාධිපති රනිල් එක්ක සාකච්ඡාවට යන අයට වෙන්නේ , අර යකාගේ විලෙන් වතුර බොන්න ගිය අයට වුණා වගේ වැඩක්.

විල පැත්තට ගිය අඩිපාරවල් ගොඩක් තිබුණත්, ආයෙත් ආපු අඩි පාරවල් පේන්න නෑ . ඒ වගේ තමයි මේකත්, ජනාධිපති කාර්‍යාලය පැත්තට ගොඩක් අය සාකච්ඡාවට යනවා , හැබැයි ආයේ එන්නේ ටික දෙනයි. බහුතරයක් නවතින්න හිත හදාගෙන තමයි එන්නේ.

ලස්සනම වැඩේ වුණේ, සමගි ජනබලවේගය පක්ෂයට. කොච්චර ආරාධනා කළත් සජිත් රනිල් එක්ක සාකච්ඡාව ප්‍රතික්ෂේප කරමින් හිටියේ . සමහර විට වික්‍රමසිංහ ස්ටයිල් එක දන්න නිසා වෙන්න පුළුවන් .

හැබැයි අන්තිමට පක්ෂයේ පිරිසක් කඩාගෙන යන්න සූදානමක් ඇති බව තහවුරු වුණ ගමන් සජිත් පක්ෂය බේරගන්න වගේ සාකච්ඡාවට ගියා.

මාර වැඩක් වුණේ, මෙන්න රනිල් තෙල බෙදන්න ගත්තා . ඒ 1941 වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය විපක්ෂ නායක ධූරය දරණ ගමන්ම අමාත්‍ය ධූර භාර ගත්ත කතාවක් කියමින්. එහිදී මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කළ බවත් එම සම්ප්‍රදායම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් බවත් රනිල් කිව්වා.

ඇත්තටම සජබ සෙට් එකක් හිටියා ආණ්ඩුවට යන්නත් ඕන, හැබැයි ශක්තිමත් තර්කයක් නැතුව . ඒ කියන්නේ ආසයි බයයි සෙට් එකක් . දැන් ඉතිං හරිනේ, ජනාධිපති රනිල් කට්ටියගේ ඔලුව අතගාලා එවලා තියෙන්නේ " සර්ව පාක්ෂික ආණ්ඩුව " කියලා කියන එක අවුලක් වගේ නම් " සර්ව පාක්ෂික පාලනයක් " කියලා කියමු කියලා.

ඒ වගේම "මේ සියලු දෙනා මමත් එක්ක වැඩකරපු අය. ගැටලුවක් නැහැ. අපිට එකට වැඩ කරන්න පුලුවන්.'' කියලත් කියලා. කාලා එන්නකෝ, ඔන්න දැන් සජිත් සේරම දමලා ගහලා ගෙදර ගියත් සජබ නඩයක් එංගලන්තයේ 41 සිස්ටම් එකට හරි ආණ්ඩුවට සෙට් වෙන්නලු යන්නේ .

ඒ අස්සේ පසුගියදා සජිත් එක්ක රනිල්ගේ සාකච්ඡාවට ගිය මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා , ආයෙත් එයාගේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය , කියන දේශපාලන පක්ෂය හැටියට ආයෙත් ජනාධිපති රනිල් හම්බෙන්න දින දාගෙන . අගෝස්තු 10 ලු දිනය හම්බෙලා තියෙන්නේ .

ඒ වගේම තමයි ජනාධිපති රනිල් පහුගිය දවස් වල ඔය ආගමික නායකයන් හම්බෙන අවස්ථාවල ප්‍රසිද්ධියේ කිව්වා, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සාකච්ඡා සඳහා එනවා , ඒත් ජවිපෙ එන්නේ නෑ කියනවා කියලා . ඔය විදියට ජවිපෙ තාප්පෙටම හේත්තු කරන්න යනකොට ඔන්න ජවිපෙත් ජනාධිපති රනිල් හමුවෙලා සාකච්ඡා කරන්න දිනයක් දාගෙනලු. කවුරුත් ප්‍රසිද්ධ නොකළට, දේශපාලන ආරංචි මාර්ග නම් කියන්නේ අගෝස්තු 09 , අඟහරුවාදා තමයි ජවිපෙ ජනාධිපති රනිල් හම්බෙන දවස කියලා .

ඒ වගේම තමයි , වී.විග්නේෂ්වරනුත්, එයාගේ පක්ෂය එක්ක වෙනම ගිහින් ජනාධිපති රනිල් හම්බෙන්නලු ඉන්නේ . ඒකත් ගොඩක් වෙලාවට බදාදා වෙයි කියලයි කියන්නේ .

ඒ වගේම පහුගියදා චම්පික රණවක ප්‍රමුඛ 43 සේනාංකයත් ජනාධිපති රනිල්ව හම්බුණා . එහිදී ඉදිරිපත් කළ යෝජනාවලටත් ජනාධිපති සුබවාදී ප්‍රතිචාරයක්ලු දැක්වූවේ.

දේශපාලන වාර්තාකරු

අර්තාපල්, තේ සහ බඩඉරිඟු වගා කරන ගොවීන්ට: රසායනික පොහොර සූදානම් !

ඉදිරි සතියේ සිට අර්තාපල්, තේ සහ බඩඉරිඟු වගා කරන ගොවීන්ට රසායනික පොහොර නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර සඳහන් කළේ, ඉදිරි මහ කන්නය සඳහා පොහොර ආනයනය කිරීමට මේ වනවිට ටෙන්ඩර් කැඳවා ඇති බවයි.

මේ අතර ඉතාම වැරදි සහගත තීන්දුවක් වූ 100%කාබනික වගාව සහ රසායනික පොහොර තහනම හේතුවෙන් උද්ගතව ඇති අස්වනු අඩුවීම සහ ආහාර අහේනිය වලක්වා ගැනීමට මහ කන්නය සාර්ථක කරගැනීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවත් වාර්තා වෙයි .

ඒ වෙනුවෙන් රසායනික පොහොර ආනයනය සහ සැපයුම විධිමත් ලෙස සිදුකිරීමට බලධාරීන් දැනුවත් කිරීමට ආණ්ඩුව ක්‍රියාකර ඇති බවත් වාර්තා වෙයි .

අසීරුම අවස්ථාවේ ජනාධිපති නිවැරදි මාවතක - ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි

ඉතා අසීරු අවස්ථාවක රට භාර ගනිමින් නිවැරදි මාවතට මෙහෙයවීමට ජනපති සමත් වී තිබෙන බව ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි පවසති.

ඉතා අසීරු අවස්ථාවක රට භාර ගනිමින් නිවැරදි මාවතට රට මෙහෙයවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමත් වී ඇති අතර ඉදිරි සියලු අභියෝග ජය ගැනීමට එතුමාට ආශිර්වාද කරන බවත් ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමි පවසති .

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (06) පස්වරුවේ කොට්ටාව, රුක්මලේ ධර්ම විජයාලෝක විහාරස්ථානය වෙත ගොස් ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ විශේෂ අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවසුහ.

විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන සහ හිටපු අමාත්‍ය දයා ගමගේ හා අනෝමා ගමගේ විසින් පිළිගනු ලැබීය.

ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළහ.

අත්දැකීම් බහුල දේශපාලන නායකයෙකු වූ රනිල් වික්‍රමසිංහ ඉතා අභියෝගකාරී අවස්ථාවක, බොහෝ දෙනෙක් අපේක්ෂා නොකළ පරිදි ජනාධිපති ධූරයේ භාරධූර වගකීම භාරගත් බව සඳහන් කළ මහා නායක හිමියෝ රට මුහුණ දී සිටින ආර්ථික ව්‍යසනයෙන් රටත් ජනතාවත් නිදහස් කර ගැනීමට එතුමාට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරන බව පැවසූහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පුද්ගලිකව කොතරම් පාඩු වුවද රට සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමට තමාට සිදුවූ බවයි. රටක් ඉදිරියට ගෙනයාමට නීතිය ක්‍රියාත්මක විය යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ අනුශාසනාවක් කරමින් සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් සාමකාමී විරෝධතාවලට ඉඩදීම මෙන්ම නීති විරෝධි ක්‍රියා මැඩලීම රජයේ වගකීම බවයි.

මෙහිදී අදහස් දැක්වූ අනුනායක හිමිපාණන් වහන්සේ,
ඔබතුමා එදා සිටම මහා සංඝරත්නය සමග ඉතා සමීපව කටයුතු කළ නායකයෙක්. ඔබතුමා මේ රටේ ජනාධිපති ධූරයට පත්වීම පිළිබඳ මහා සංඝරත්නය ලෙස අප මහත් සතුටට පත් වෙනවා. දේශපාලනය පිළිබඳ හොඳ අවබෝධයක් සහ අත්දැකීම් සම්භාරයක් ඔබතුමාට තිබෙනවා. පසුගියදා ඔබතුමාගේ නිවස සහ පණ මෙන් රැකගත් පොත් පත් විනාශ කිරීම පිළිබඳ අප ඉතාමත් කණගාටුවට පත් වෙනවා.

පසුගිය කාලයේ ඇතැම් භික්ෂුන් වහන්සේ සහ ඇතැම් ආගමික නායකයින් ප්‍රමාණය ඉක්මවා දේශපාලනයේ නිරතවීම පිළිබඳ අපි කණගාටු වෙනවා. මහා සංඝරත්නය ලෙස අපට කළ හැක්කේ ඔබතුමන්ලාට උපදෙස් දීම පමණයි.

රජයත් ජනතාවත් අතර විශ්වාසය ගොඩනගා ගැනීමට නායකයන් කටයුතු කළ යුතුයි. එහෙත් පසුගිය කාලයේ එසේ සිදු නොවිම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදු වුණා.
අපේ රටේ තිබූ තත්ත්වය නිසා කිසිදු ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. නීතිය ක්‍රියාත්මක කිරීමට පාලකයා ලෙස ඔබතුමා බැඳී සිටිනවා. එය වරදක් නෙවේ. ඔබතුමා මේ රටේ සියලු ජනතාවට සාමකාමීව ජීවත්වීමට ඉඩ සලසුනු ඇතැයි අපි විශ්වාස කරනවා.

Page 219 of 388