V2025

පුවත්

මැයි 09 සියලු චෝදනා ප්‍රතිකේෂ්ප කරයි : හමුදාපති ශවේන්ද්‍ර සියල්ල හෙළිකරයි !

මැයි 09 සිදුවීම සම්බන්ධයෙන් හමුදාව වෙත එඑල්ලවී ඇති සියලු චෝදනා හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රතිකේෂ්ප කරයි .

එසේම එදින රාත්‍රියේ අගමැති මහින්ද මහින්ද රාජපක්ෂ මුදාගත් මෙහෙයුම සම්බන්ධයෙන් ද ඔහු අදහස් දක්වා ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ දෙරණ මාධ්‍ය ජාලයේ අරුණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.

 " දැනට මම හමුදා ජීවිතයක් ගත කරන්නේ. ජීවත්වෙලා ඉන්නකම් රටේ ජනතාව ආරක්ෂා කරන්න ජනතාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න මම සූදානම්. රටේ ජනතාවට ඕනෑම අනිවාර්යය සේවයක් කරනවා ඕනෑම අවස්ථාවකදී." යනුවෙන් ද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසයි .

අදාළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වෙයි .

නොසිතූ මොහොතක ඔබට යුද හමුදාපතිකම අතාරින්න වුණා නේද?

මම වසර දෙකහමාරක් යුද හමුදාපති ධුරය දැරුවා. ඉතිං මං දන්නවා කොයි වෙලාවක හරි යුද හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගන්න වෙනවා කියලා. තනතුරු කාටවත් සදාකාලිකව ලැබෙන්නේ නෑනේ. මම මේ වසරේ විශ්‍රාම ගන්න හිටියේ. යුද හමුදාපති ධුරයට අමතරව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයෙත් මම වැඩ බැලුවා. මම විශ්‍රාම ලබන්න ඉන්නකොට තමයි ජනාධිපතිතුමා කීවේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා හමුදාපති යන තනතුරු දෙකම ප්‍රබල තනතුරු දෙකක්. දෙකේම තියෙන්නේ රාජකාරි දෙකක් නිසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ වැඩ කරගෙන යන්න කියලා. මොකද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි පනත අනුව එම ධුරයට පත් කරන්න ඕනේ සේවයේ යෙදී සිටින හමුදාපති තුන් දෙනාගෙන් එක් අයෙක්.

 2009 ට පෙර එම ධුරයට පත් කෙරුණේ හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගියාට පස්සේ. නමුත් දැන් ත්‍රිවිධ හමුදාවේ සක්‍රිය සේවයේ සිටින හමුදාපති තුන්දෙනාගෙන් එක් අයෙක් තමයි මේ ධුරයට පත් වෙන්නේ. දැන් සිටින හමුදාපති තුන්දෙනාගෙන් ජ්‍යෙෂ්ඨයා මා නිසා එම ධුරයට මා පත් වුණා.

කොවිඩ් උද්ගත වූ මොහොතේ ඔබ ඔය තනතුරු දෙකම හොඳින් කරගෙන ගියා නම් ඇයි එකපාරටම මේ වගේ වෙලාවක තනතුරු දෙක දෙන්නෙකුට දෙන්න ජනපතිවරයා තීරණය කළේ?

ඒක ඉතින් රජය තීරණය කරන්නේ. හදිසියක් කියලම නෙවෙයි. මේ තනතුරු වෙනස් කරන්න ජනාධිපතිතුමාට බලය තියෙනවා. ඒක ජනාධිපතිතුමා ගනු ලබන තීරණයක්. ඉතින් මට මේ පිළිබඳ දැනුම් දුන්නා. ඒ අනුව මම ක්‍රියාත්මක වුණා.

මැයි 9 වැනිදා රටේ උද්ගත වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය නතර කරන්න හමුදාව මැදිහත් වුණේ නෑ කියලා චෝදනාවක් ආවා. ඒ නිසාද ඔබට හමුදාපතිකම නැති වුණේ?

මා හමුදාපති ධුරයෙන් විශ්‍රාම ලැබීමත් ඒ සිද්ධියයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒකට ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වා මේ තනතුරු මාරුව දැනට රටේ පවතින තත්ත්වයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියලා.

එහෙනම් ඇයි ජනාධිපති විශ්‍රාමික ත්‍රිවිධ හමුදාපතිලාගෙන් සමන්විත කමිටුවක් පත් කළේ. මැයි 9 දා සිද්ධියේදී හමුදාව ක්‍රියාත්මක වීමේදී සිදු වූ අඩුපාඩු සොයා බලන්න. ඒ අතර හමුදාපති මාරු කරනවා. එතකොට මෙතන මොකක් හරි තියෙනවා කියලා ඕනෑම අයකුට සැකයක් ඇති වෙනවා නේද?

ඒ කමිටුව පත් කළේ ත්‍රිවිධ හමුදාව පිළිබඳ සොයා බලන්න. මීට පෙර කොවිඩ් ආරම්භයේදීත් ත්‍රිවිධ හමුදාව ඒ සබැඳිව ඇති සූදානම සොයා බලන්න මේ වගේ කමිටුවක් පත් කළා. 09 දා සිද්ධියේදී ත්‍රිවිධ හමුදාවෙන් යම් අඩුවක් වුණාද, ඉදිරි කාලයේදී මේ වගේ දෙයක් වළක්වා ගන්නේ කොහොමද කියලා සොයා බලන්න තමයි මේ කමිටුව පත් කරලා තියෙන්නේ. ඒ ගැන තවම මට අවබෝධයක් නැහැ.

ජනාධිපතිතුමා මටත් ආරක්ෂක ලේකම්වරයාටත් කිව්වා මැය 09 සිද්ධිය හෝ රටේ දැනට පවතින වාතාවරණය කිසිම බලපෑමක් මේ පත්වීම සම්බන්ධ නැහැ කියලා.

එනමුත් මැයි 09 දා රාත්‍රියේ හමුදාව එවන්න ප්‍රමාද කළා කියලා ඔබට චෝදනාවක් එල්ල වෙනවා නේද?

හමුදාවෙන් කිසිම ප්‍රමාදයක් වුණේ නෑ. 09 දා පළමුවැනි නිවස ගිනි තියනකන් ගෙවල් ගිනි තියන්න යනවා කියලා කිසිදු බුද්ධි තොරතුරක් තිබ්බෙත් නැහැ. නමුත් අපිට එක් එක් අවස්ථාවල අතන මෙතන ගිනි තියන්න යනවා කිව්වම ඒවා මැඬ පැවැත්වීමට භට පිරිස් යවලා තියෙනවා. මන්ත්‍රීවරුන් මට කතාකරලා කියපු තැන්වලටත් භටපිරිස් යැව්වා.

මෙවැනි අර්බුදයක් රටපුරා උද්ගත වුණාම කාටද වගකීම තියෙන්නේ?

ඒ ඒ පළාත් භාරව ඉන්න අයට තමයි වගකීම තියෙන්නේ. ඒ පළාත ගැන හොඳටම අත්දැකීම්, දැනුමක් තියෙන්නේ ඔවුන්ට. එහෙම නැතිව මට විතරක් නෙවෙයි. ඒපළාත් භාර නිලධාරින් තොරතුරු අනුව කටයුතු කරලා තියෙනවා.

මේ සිද්ධි දාමයේ ආරම්භය කොතනින්ද පටන් ගත්තේ?

දකුණු පළාතෙන් පළමු ගිනි තැබීම පටන් ගත්තේ. ගාල්ලේ රමේෂ් පතිරණ ඇමැතිවරයාගේ නිවස ගිනි තියලා. එතැන් පටන් කියන කියන තැන්වලට භට පිරිස් යවලා අපි ක්‍රියාත්මක වුණා. පළාත් භාර නිලධාරින් ඒ පැතිවලට භට පිරිස් යවද්දී සමහර තැන්වලට ළඟා වෙද්දී ගිනි තියලා තිබුණා. සමහර තැන්වල ගිනිතියන්න නොදී ගල් ගහලා යන තැනට කලහකාරීත්ව සීමා කරලා තිබුණා. සමහර තැන්වල ගලක්වත් ගහන්න නොදී බේරගන්න හමුදා භට පිරිස්වලට හැකියාව ලැබුණා.

නමුත් හමුදාව වගකීම නිසි පරිදි කළේ නෑ කියලා චෝදනා එල්ල වෙනවා?

හමුදාව හමුදාවට රකින්න පුළුවන් උපරිමය මෙතැනදී කළා. කෙසේ වෙතත් හමුදාවෙන් යම් කිසි හෝ අඩුපාඩුවක් වුණාද බලන්න මම යුද හමුදාවේ දෙවැනියා හා තුන්වැනියා යටතේ වෙන වෙනම මණ්ඩල දෙකක් පත් කරලා තියෙනවා. ඒ මණ්ඩල දෙකේ පරීක්ෂණ අවසන් අදියර තියෙන්නේ. බොහෝ විට හෙට අනිද්දා වෙද්දී වාර්තාව ලැබෙනවා.

යුද්ධයක් දිනීමට තරම් දක්ෂ බුද්ධි අංශයක් තිබියදී ඇයි මෙවැනි දෙයක් ගැන බුද්ධි වාර්තාවක් කලින් ආවේ නැත්තේ?

ඕනෑම දේකට සූදානමක් තිබ්බා. බුද්ධි තොරතුරු සාමාන්‍යයෙන් හම්බවුණා. නමුත් මේ තරම් විනාශයක් ගැන වාර්තා වුණේ නැහැ. පෙට්‍රල් බෝම්බ ගහලා ගිනි තියන්න යනවා කියලා කොහේදිවත් වාර්තා වූයේ නැහැ. ඒ නොවුණත් තිබ්බ වාතාවරණයත් එක්ක හැකි ඉක්මනින් ක්‍රියාත්මක වෙලා දේපොළ රැක බලා ගැනීමට අපට හැකියාවක් තිබුණා.

ඔබ විසින් පළාත්වලට පත්කර තිබූ සේනාංකාධිපතිවරුන්ම මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න පෙර සූදානමක් තිබ්බේ නැද්ද?

පළාත්වල ඉන්න නිලධාරින්ට ඕනෑම දෙයක් වළක්වන්න හැකියාව තියෙනවා. සමහර ප්‍රදේශවල තැන් තුන හතරක සිදුවීම් වී තිබුණේ පැයක් වැනි කෙටි කාලයක් තුළ. සමහර ස්ථානවලදී කිසිදු දෙයක් වන්නට නොදී වගබලා ගත්තේ ඒ අයගේ ක්‍රියාත්මක වීම නිසයි.

මැල්සිරිපුර මන්ත්‍රීවරයකුගේ ගෙදරක් වට කරලා කියලා මට කිව්වම ඒ වෙලාවේම හමුදාව යැව්වා. කඳවුරේ ඉඳන් එතනට කිලෝ මීටර් 38 ක් තිබුණා. යද්දී ගේ ගිනිගන්නවලු. මුළු ගමේම අය එතැන ඉඳලා තියෙනවා. කවුරුවත් වතුර බාල්දියක්වත් අරගෙනවත් ගහලා නැහැ. ඒ වගේ වටපිටාවක් එදා තිබුණේ.

කලහකාරීන්ට වෙඩි තියන්න ඉහළින් නියෝග දුන්නත් හමුදාව ඒ සඳහා ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම හමුදාව කලින්ම පාරට බැස්සුවේ නැහැ කියලත් චෝදනා නැගෙනවා නේද?

ඒ චෝදනා මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපි 09 දා රාත්‍රියේ පැය තුනක්, හතරක් ඇතුළත සම්පූර්ණයෙන්ම රටේ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කළා. හමුදාව සෑම දිස්ත්‍රික්කයකටම යෙදවූවා. මැයි 09 දා උදේ තිබුණු තත්ත්වය එක්ක රෑ වෙද්දී වුණු දේ ගැන කවුරුත් කලින් දැනුවත්ව හිටියේ නැහැ. රටේ හැම තැනම එකම වෙලාවක මේ ආකාරයේ සිදුවීම් වෙයි කියලා කිසිම කෙනකුට අවබෝධයක් තිබ්බේ නැහැ. පැය කිහිපයක් ඇතුළත සිදුවීම් වුණත් අප ඒ සියල්ල නතර කළා. ගෙවල්වලට ගිනි තියන සිදුවීම් වාර්තා වෙද්දී හමුදාව ක්‍රියාත්මක වූ නිසයි පැය තුනක් ඇතුළත රටේ අනිත් තැන්වලට පැතිරෙන්න ඉඩ නොදුන්නේ.

හදිසි නීතිය ක්‍රියාත්මක වුණු නිසා පොලිසිය මුල් අවස්ථාවේදීම තමන්ගේ වගකීම්වලින් මිදිලා හමුදාව කරනකම් බලා හිටියා වගේ තත්ත්වයක් නේද තිබුණේ?

මේවා වන විට අපි හිටියේ කොළඹ. කොළඹ වෙච්ච දේ අපි හොඳින් දැක්කා. මේ පිළිබඳ පරීක්ෂණයේදී ඒ ඒ අය ක්‍රියාත්මක වුණු ආකාරය එළියට ඒවි.

ලෝක හමුදා ඉතිහාසයේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ විශාලතම හමුදා මෙහෙයුමට 13 වසරකට ඉහතදී 58 වැනි සේනාංකාධිපති හා කමාන්ඩෝ බළ සේනාධිපති ලෙස නායකත්වය දුන්නේ ඔබයි. නමුත් අරලියගහ මන්දිරයේ මැයි 09 රාත්‍රී සිරවූ අගමැතිවරයා ඇතුළු පිරිස මුදා ගැනීමේ මෙහෙයුමට නායකත්වය දීමේදී ඔබෙන් ප්‍රමාදයක් වුණා නේද?

නෑ… කිසිදු ප්‍රමාදයක් වුණේ නෑ. අපි මුලින්ම එතැන තිබුණු තත්ත්වය අවබෝධ කරගන්න ඕනේ. අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට හමුදා පොලිසිවලින් යොදවපු කණ්ඩයක් යොදවා තිබුණා. පොලිසියට මෙතැන ආරක්ෂාව කරගෙන යන්න බැරි තත්ත්වයක් එදා ඇති වුණා. තත්ත්වය පාලනය කරගන්න අපහසු බව දැනගත් වහාම යුද හමුදාවේ බළ සේනාවක් යෙදෙව්වා නාවික හා ගුවන් හමුදාවේ භට කණ්ඩයන් පවා යෙදෙව්වා. නාවික හමුදාවට එක් ප්‍රවේශ මාර්ගයකුත්, ගුවන් හමුදාව එක් ප්‍රවේශයකුත්, අනෙක් ප්‍රවේශ තුනට යුද හමුදාවත් යෙදෙව්වා. ගාලු පාර දිගේ සහ ප්‍රධාන දොරටු දෙකක්ම කඩාගෙන එන තත්ත්වයක් ඒ වන විට තිබුණා. පොලිසිය පාලනයේ තිබූ ඒ ගේට්ටු දෙකට හමුදාව දාලා අරගලකරුවන් ඇතුළට එන්න දෙන්නේ නැතිව අල්ලා ගත්තා. ඒ වන විටත් පෙට්‍රල් බෝම්බ විසි කරලා ට්‍රක් එකක් ගිනි ගත්තා. අරලියගහ මන්දිරය ඇතුළේ ලෑන්ඩ් රෝවර් ජීප් රථයක් ගිනි ගත්තා. භූමියේ තත්ත්වය බ්‍රිගේඩියර්වරයකු යටතේ පාලනය කරන ගමන් අපි මෙහෙයුම් මැදිරියේ ඉඳන් සියල්ල නිරීක්ෂණය කරමින් අවශ්‍ය උපදෙස් දෙමින් අගමැතිතුමා මුදා ගත්තා.

අපි වෘත්තීය හමුදාවක්. අපි බොහෝ කාලයක් යුද්ධ කරලා අත්දැකීම් ලබලා තිබෙනවා. එබැවින් කලබල වෙලා අපි තීරණ ගන්නේ නෑ. අගමැතිතුමා ආරක්ෂිතව මුදා ගත්තේ සැලසුමට අනුවයි. ඒකට නියමිත වේලාවක් තිබුණා. හමුදාව ගැන අවබෝධයක් නැති අයකුට එවැනි මෙහෙයුමක් එකවර තේරුම් ගන්න අමාරයි. සියල්ල වුණේ සැලසුමට මිසක් ප්‍රමාද වීම නිසා නොවේ. අපි අරලියගහ මන්දිරය ඩ්‍රෝනා යානාවලින් නිරීක්ෂණය කළා. ඒ මොහොතේ අපි දැක්කා ගාලු පාරෙන් එක දිගටම ප්‍රහාර එල්ල කරමින් ගේට්ටුව කඩන්න උත්සාහ කරනවා. අපි වහාම මේජර් ජෙනරාල්වරයකු යටතේ එතැනටත් අතිරේක කණ්ඩායමක් යැව්වා. එතැන් සිට එතැන සිටි කලහකාරී පිරිස් අරගල භූමිය දක්වා පලවා හරින්න හැකි වුණා. පාන්දර වෙද්දී තත්ත්වය පාලනය කළා.

එතැනින් පස්සේ අගමැතිවරයා මුදාගත් මෙහෙයුම වුණේ කොහොමද?

ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමටත් වඩා භයානක තත්ත්වයක් ඒ මොහොතේ තිබුණේ. අග්‍රාමාත්‍යවරයාත්, අරලියගහ මන්දිරයේ රැඳී සිටියේ. අගමැතිතුමා බේරාගත්තත් එතැන් සිට ආරක්ෂිත තැනකට රැගෙන යාමත් අභියෝගයක් වුණා. හැම තැනම මහ මග කලහකාරී පිරිස් රංචු ගැහෙමින් හිටියේ. හමුදාවේ ක්‍රමවේදයන් භාවිත කරලා අපි අගමැතිතුමාව මුදාගෙන ආරක්ෂිත තැනකට රැගෙන ගියා.

අගමැතිතුමා අරලියගහ මන්දිරයෙන් පිටතට ගැනීමට ඉතා සූක්ෂ්ම මෙහෙයුමක් ක්‍රියාත්මක වුණේ. කිසිදු ජීවිත හානියකින් තොරව නිරුපද්‍රිතව ආරක්ෂිත ස්ථානයකට අගමැතිතුමා ඇතුළු පවුලේ අය රැගෙන යාමට වූ අභියෝගය හමුදාව සාර්ථකව කළා. යුද හමුදාපති වශයෙන් මම රහසිගතව සැලසුමක් ක්‍රියාත්මක කරලා නිරුපද්‍රිතව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළා. සම්පූර්ණයෙන්ම ඒ සැලසුම මම රහස්‍යභාවය රැකගෙන ක්‍රියාත්මක කළා. අග්‍රාමාත්‍යවරයා වැනි ප්‍රභූවරයෙක්ව හදිසි අවස්ථාවකදී මුදා ගැනීමේ ක්‍රමවේදයන් තිබුණත් අරලියගහ මන්දිරයේ තිබුණේ ඊටත් වඩා දරුණු තත්ත්වයක්. පාරවල් අවහිර කරලත් තිබුණේ. අපේ වසර ගණනක පල පුරුද්ද මත සැලසුම් කරලා මෙය ජයගත්තා. ඒක නිදිවර්ජිත මෙහෙයුමක් වුණා.

ඇතැමුන් ඔබට චෝදනා කරනවා ඇත්තටම මේ මෙහෙයුමෙන් පස්සේ ජනපති, අගමැති ඔබට මොකද කීවේ?

ජනාධිපතිතුමා හා අගමැතිතුමා මට ස්තූති කළා. ස්තුතිය ලැබුණා හෝ නොලැබුණා ඒක අපේ රාජකාරියක්.

දැන් එළියේ ලොකු කතාබහක් යනවා. යුද හමුදාපති පුටුවෙන් විශ්‍රාම ලැබුවාට පස්සේ ඔබ දේශපාලනයට එනවා කියලා ?

දැනට හමුදාපතිකමින් නික්ම යද්දී මා ආරක්ෂක මාණ්ඩලික තනතුරට පත් කරලා තියෙනවා. හමුදා තුනේම රටේ සිටින නිල ඇඳුම් අඳින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා මමයි. මගේ ගැන තියෙන විශ්වාසවන්තභාවය නිසයි මාව මෙතැනට පත් කරන්නේ. මට කළ හැකි උපරිමය රටට කරනවා. මම හමුදාවට බැඳුණෙත් රටේ උපරිම යුද්ධයක් තිබ්බ කාලයකයි. අපේ කාලයේදී යුද්ධය අවසන් කරන්න හැකි වුණා. යුද්ධය අවසන් දින යුද භූමියේ ඉඳලා අවසන් කරපු සේනාංකාධිපතිවරයා මම. මගේ යුතුකම ඉපදුණු රටට හමුදාවට බැඳිලා ගත්ත දැනුම භාවිත කරලා යුද්ධය අවසන් කළා. ඒ වගේම කොවිඩ් වසංගතයේදී ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානියා ලෙස මාව ජනපති පත් කළා. එතැනදී නොහැක්කක් නොමැත කියලා අපි පටන් ගත්තා. කොවිඩ්වලට අපි මුහුණ දෙනවා කියලා, එදා කොවිඩ් ගැන නොදන්න කාලයේදී වගකීම ගත්තා. රටේන් කොවිඩ් අවදානම තුරන් කරන්නට ලංකාව පත් කරන්න අපට හැකියාව ලැබුණා. මෙතෙක් දුන්න සෑම අභියෝගයක්ම ජයග්‍රහණය කරලා තියෙනවා. දැනට මම හමුදා ජීවිතයක් ගත කරන්නේ. ජීවත්වෙලා ඉන්නකම් රටේ ජනතාව ආරක්ෂා කරන්න ජනතාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න මම සූදානම්. රටේ ජනතාවට ඕනෑම අනිවාර්යය සේවයක් කරනවා ඕනෑම අවස්ථාවකදී.

ඒ කියන්නේ ඔබට භාරදෙන ඕනෑම අභියෝගයක් ඉදිරියේදීත් භාර ගන්නවා ?

මම යුද්ධය කරලා ජයගෙන තියෙනවා. කොවිඩ් අභියෝගය ජයගෙන තියෙනවා. එතැනින් එහාට දුන්නු අභියෝගත් ජයගෙන තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට මාව තානාපතිවරයෙක් කරලා යැව්වේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් රටට එන බලපෑම වළක්වන්න. මගේ ධුර කාලයේදී රටට කිසිදු සම්බාධකයක් ගේන්න බලපෑමක් එල්ල කරන්න නිව්යෝර්ක් නුවර මම ඉද්දී ඉඩක් තිබ්බේ නැහැ. එම ධුර කාලයේදී එක්සත් ජාතින්ගේ හමුදාවලට අපි රෝහලක් දැම්මා. එයින් විශාල විදේශ විනිමයක් අපට එනවා. ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් එක්සත් ජාතීන්ගේ හමුදා මෙහෙයුම්වලට එකතු කළෙත් මම ඇමෙරිකාවේ සිටියදීයි. මම රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් එදත් සේවය කළා. ඉදිරියටත් මගේ උපරිමයෙන් සේවයක් කරනවා. කවදා වුණත් මේ රටේ ජනතාව වෙනුවෙන් ඕනෑම වෙලාවක උපරිමයෙන්ම සේවයක් කරනවා. රටේ මිනිසුන්ට වැඩ කරන්න තනතුරු අවශ්‍ය නැහැ.

එවකට යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා 2009 දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත් කළේ තටු කපලා කියලා කියැවුණා. ඔබගේත් තටු කපලා මේ තනතුරට පත් කළා කියන්නේ ඇත්තක්ද? මේකේ බලතල නැද්ද? ඇතැමුන් මේ තනතුර සුදු අලියෙක් ලෙසත් පෙන්වා දෙනවා?

දැනට මාව ඒ තනතුරට පත් කරලා තියෙනවා. ඉදිරියේදී ජනාධිපතිතුමා තීරණය කරයි මේ තනතුර ගැන. මේක සුදු අලියෙක් තත්ත්වයක්ද, නැතිනම් ඒ සඳහා බලතල දීලා තියෙන තත්ත්වයක් වෙයිද කියලා දැනට කියන්න අමාරුයි. මේ තනතුර විතරක් හොබවද්දී මොන ආකාරයේ රාජකාරියක්ද මගෙන් ඉටුවිය යුත්තේ කියලා ජනාධිපතිතුමා තීරණය කරයි. හැකියාව, දක්ෂතාව තුළ කළ හැකි සේවාවක් රාජකාරිය තුළ ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

හැමදේටම හමුදාවට ඉස්සරහට එන්න වෙලා තියෙන වෙලාවක රටේ අරගලකරුවන්ට, සමාජය දෙන්න පණිවුඩයක් තිබේද?

අද හුඟක් අය හැමදේටම හමුදාවෙන් පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ. බයිනෙත්තුවෙන් හමුදා වෙන්වත් බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවලුත් තිබුණා. මේක 89, 71 වාතාවරණයක් නෙවෙයි. 71, 89 දී තිබ්බ වාතාවරණය යම්කිසි පක්ෂයක් හෝ යම්කිසි කණ්ඩායමක් කරපු ක්‍රියාවලියක්. මේක පොදුවේ රටේ හැම මිනිහගේම අපහසුතාවන් ඉස්මතුවෙලා ආපු තත්ත්වයක්. එවැනි තත්ත්වයක් පාලනය කිරීම ඒ කාලේ සංවිධාන මැඬ පැවැත්තුවා වගේ පහසු දෙයක් නෙවෙයි.

අප මතක තබාගන්න ඕනේ ගඟක් කවදාවත් ආපස්සට ගලන්නේ නෑ කියලා. ගඟක් වගේ ජීවත්වීමට අප උත්සාහ කළ යුතුයි. අතීතය පැත්තකින් තියලා ඉදිරිය ගැන සැමවිටම ධනාත්මකව කටයුතු කරන්න. එතකොට මේ සියල්ලට පිළිතුරු ලැබේවි.

– Aruna

21 ට එරෙහිව බැසිල්ලා මෙහෙයුමක : රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (29) පස්වරු 6.45 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්‍යාල ආරංචි මාර්ග පවසයි .

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු කාරක සභා ශක්තිමත් කිරීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙම ප්‍රකාශයෙන් අවධානය යොමු කෙරෙනු ඇතැයිද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

බැසිල්ගේ මෙහෙයුමක් !

කෙසේ වුවත් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ශ්වය මේ වන විට 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම වැලැක්වීමට සහ යම් ආකාරයකට එය පාර්ලිමේන්තුව වෙත ගෙන එනු ලැබුවහොත් පරාජය කිරීමට උත්සාහයක් ගනිමින් සිටින බව දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් පවතී.

ඒ සම්බන්ධයෙන් මේ වන විට උග්‍ර බැසිල්වාදියකු ලෙස සැලකෙන පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ද ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර ඇත .

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ රාජකාරිය රටට ඩොලර් ගෙන ඒම මිස දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීම නොවන බවයි.

මේ අතර පසුගියදා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ ද 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැලැක්වීමට සහ අග්‍රාමාත්‍ය ධූරය යළිත් අත්පත් කරගන්නට සාකච්ඡාවක් සිදුකර ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි .

ඊට මන්ත්‍රී කණ්ඩායමේ 22ක් සහභාගි ව ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි .

තෝරාගත් විදුලි ගාස්තුවල වැඩිවීමක් !

ඉදිරියේදී විදුලි ගාස්තු වැඩිවීමක් සිදුවන අතර එහිදී කර්මාන්ත ශාලාවල හෝටලවල විදුලි ගාස්තු වැඩි කල යුතු බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි .

ඒ අනුව විදුලි බිල තුන්හතර ගුණයකින් ඉහල යාමට ඉඩ ඇති බවත් ඔහු පවසයි .

කෙසේ වුවත් එහිදී අඩු ආදායම්ලාභීන් අඩුවෙන් විදුලිය භාවිතා කරන්න හා රජයේ රෝහල වැනි ස්ථාන ඇතුලත් නොවන පරිදි ගාස්තු සංශෝධනය සිදු වනු ඇතැයිද ඔහු පැවසීය.

විදුලි බල මණ්ඩලය විදුලිය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 750 ක් වියදම් වුවත් වසරකට ආදායම ලෙස ලැබෙන්නේ රුපියල් බිලියන 250ක් බවත් ඔහු පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

21 බකල් කර - GL අගමැති කර : යළි බලය අල්ලන්න බැසිල්ගේ ගේමක් !

අමාත්‍ය ජී.එල්. පීරිස් අගමැති ලෙස පත්කර යළිත් ආණ්ඩුව පොදුජන පෙරමුණ යටතට ගැනීමට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දේශපාලන මෙහෙයුමක් දියත්කර ඇති බව වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඊයේ (27) බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡාවක් පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පවත්වා ඇත .

ඊට පක්ෂයේ ප්‍රබලයන් 22 ක් කැඳවා තිබූ බව වාර්තා වන අතර , නාමල් රාජපක්ෂ , ගාමිණී ලොකුගේ , ප්‍රසන්න රණවීර , ඉන්දික අනුරාධ, දිලුම් අමුණුගම, සංජීව එදිරිමාන්න , සාගර කාරියවසම් ඇතුළු පිරිසක් සහභාගීවී සිටි බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

එහිදී පක්ෂයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බැසිල් රාජපක්ෂ විසින් දැඩිව විවේචනය කර ඇති බවත් , මේ මොහොතේ වඩාත් වැදගත් වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට එරෙහිව ජනමතයක් සැකසීම මිස ඔහුගේ ගුණ වැයීම නොවන බවත් පවසා ඇතැයිද සඳහන් ය.

ඒ සඳහා සුදුසුම ක්‍රියාවලිය වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ සමගි ජනබලවේගය දියත්කර ඇති රනිල් විරෝධය සඳහා සහය දීම බව පවසා ඇති බවත් වාර්තා වෙයි .

ඒ අනුව පක්ෂයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අලුත් අදහස් නැත්නම් සජිත්ගේ සජබ දියත්කර ඇති රනිල් විරෝධය ඉදිරියට ගෙනයාමට කටයුතු කළ යුතු බවට උපදෙස් ලබාදුන් බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර යි.

පක්ෂ නායකයන්ගේ එකඟතාව !

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය 21 වන සංශෝධනය ආකාරයෙන් නැවත බලාත්මක කිරීම පළමු පියවර ලෙස ත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම දෙවන පියවර ලෙස ත් සිදු කිරීමට පක්‍ෂ නායකයෝ එකඟවූ බව වාර්තා වෙයි .

ජනාධිපතිවරයාට ආරක්‍ෂක අමාත්‍ය ධූරය තබාගත හැකි ද නැද්ද යන්න පිළිබඳ පක්‍ෂ නායකයන් තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

පක්ෂ නායකයන් මේ පොදු එකඟතාවයට පැමිණ ඇත්තේ , 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති හමුවේදී ය.

මාලු අහසින් යයි : සාගත බලකායට උඩ බලාගෙන ඉන්න වෙයි !

වෙළදපොලේ මාලු මිල ගණන් ඉතා ඉහළ මට්ටමකට ගොස් ඇති බව වාර්තා වෙයි .

වෙළඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට කෙළවල්ලා සහ තලපත් වැනි මාලු වර්ග කිලෝවක මිල රුපියල් දෙදහසේ සීමාවද ඉක්මවා ගොස් තිබේ .

එසේම අනෙක් මාලු වර්ගවල මිලද කිලෝවක් රුපියල් දහසේ සීමාවට පැමිණ ඇති බවත් වාර්තා වෙයි .

වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන්ධන ලබාගන්නට ඇති දුෂ්කරතා හේතුවෙන් බහුදින යාත්‍රාවලින් සියයට 80 ක් අද වනවිට ධීවර කර්මාන්තයෙන් ඉවත්වී තිබීම මාලු මිල ඉහළ ගොස් ඇති බවය.

විශේෂයෙන් ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් මේ වනවිට එක් බහුදින ධීවර යාත්‍රාවකට එක් මුහුදු ගමනක් නිමා කිරීමට රුපියල් ලක්‍ෂ 25කට ආසන්න මුදලක් වැය වන තත්ත්වයක් මතුව ඇති බව ධීවර සංගම් පවසයි .

ඔවුන් පවසන්නේ ධීවරයන්ට ඉන්ධන මිල සහනයක් ලබාදීමට රජය කටයුතු කළහොත් ඉදිරියට ඇතිවිය හැකි සාගත තත්ත්වය හමුවේ මාළු ආහාර හරහා ජනතාව පෝෂණ ඌනතාවයක් වෙත යාම වලක්වා ගැනීමට සහය විය හැකි බවය.

නැත්නම් සුළු පන්න ධීවරයින්ගෙන් සියයට 70 ක් පමණ ධීවර කර්මාන්තයෙන් ඉවත් වී ඇති බවත් මේ හේතුවෙන් ඉදිරියේදී මාලු මිල ගණන් තවත් ඉහළ යා හැකි බවත් ධීවර සංගම් පවසයි .

 

සපුගස්කන්ද යළි වැඩ අරඹයි : රට සතු ඉන්ධන තොග මෙන්න !

මේ වන විට රට තුළ ඇති ඉන්ධන තොග සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර ඇත.

ඒ අනුව ඩීසල් මෙට්ට්‍රික් ටොන් 17, 077 ක්, සුපර් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 1,072ක් , ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 37,392ක් , ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 6,014ක් තොග ලෙස මෙරට සතුව පවතියි.

එසේම හෙට (29) දිනයේ දී ඩීසල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙන බවත් අමාත්‍යවරයා පවසයි .

මේ අතර මෙරටට රැගෙන ආ බොර තෙල් මෙට්ට්‍රික් ටොන් 79,000ක තොගය ප්‍රමාණවත් වන්නේ සති දෙකක කාලයක් සඳහා පමණක් බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සම සභාපති ජගත් විජේගුණරත්න නෙත් නිව්ස් වෙත පවසා ඇත . සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමට ඉඩ නොතබා මෙරටට අඛණ්ඩව බොරතෙල් ගෙන්වන ලෙසට එහිදී ඔහු රජයෙන් ඉල්ලීමක් ද සිදුකර තිබේ.

කෙසේ වුවත් මාස දෙකකට පසුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි .

බොරතෙල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ඉකුත් මාර්තු 21 වනදා සම්පුර්ණයෙන්ම නතර කෙරිණ .

වත්මන් අර්බුදය විසඳීමට සුදුසුම නායකයා රනිල් - රවී කරුණානායක

පවතින ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමට වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට හැකියාව ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි .

කොළඹදී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පල කර ඇත .

ඇති වී තිබෙන හිඩැස තුල හොඳම උත්තරයක් ලබා ගත හැක්කේ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හරහා බවත් ඔහු පවසයි.

වත්මන් අර්බුදය විසඳීමට අවශ්‍ය හැකියාව සහ පරිණතභාවය ඇති දේශපාලනඥයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් සදහන් කර තිබේ .

 

අජිත් රෝහණ ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් ලොක්කන් තිදෙනෙකුට ස්ථාන මාරු

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

අපරාධ හා රථ වාහන දිසාව භාරව සේවය කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ , දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, එම්.ඩී.ආර්.එස්. දමින්ද , නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ.

නැගෙනහිර පළාත භාරව සිටි වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, එල්.කේ.ඩබ්ලිව්. කේ. සිල්වාට අපරාධ හා රථ වාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු ලබා දී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් එම ස්ථාන මාරුවීම් කර ඇති බවය.

සියලු රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් එළියට !

රජයේ සියළු විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන දැනුම් දී ඇති බව වාර්තා වෙයි .

ඒ අනුව මේ වන විට ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ලෙස කටයුතු කල නිරෝෂන් ප්‍රේමරත්න එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවත් වාර්තා වෙයි .

ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට බාර දී ඇතැයිද දැනගන්නට ඇත .

එසේම අනෙක් රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් ද ඉල්ලා අස්වීමට නියමිත බවත් වාර්තා වෙයි .

අරගලයට දින 50 යි : සාධාරණ සමාජයෙන් නිවේදනයක් !

කොළඹ ගෝල්ෆේස් පිටිය පදනම් කරගනිමින් මේ රටේ තරුණ ප්‍රජාව ප්‍රමුඛ සිවිල් ජනතාව ආරම්භ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන අරගලය මැයි මස 28 වන දා දින 50ක් සම්පූර්ණ කරන බවත් ඊට රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පාර්ශ්වයන් තම ගෞරවය හා ආචාරය ඔවුන් වෙත පුද දිය යුතු බව හිටපු කතානායක කරූ ජයසූරිය පවසයි .

හිටපු කතානායක කරූ ජයසූරිය මේ බව සඳහන් කරන්නේ ගෝඨාගෝගම අරගලයට දින 50ක් පිරීම නිමිත්තෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් නිවේදනයක් නිකුත්කරමින් ය.

අදාළ නිවේදනය පහත දැක්වෙයි .

 දින 50ක් සපුරන අරගලයේ පණිවුඩයට රජය නොපමාවම කන්දිය යුතුය !

කොළඹ ගෝල්ෆේස් පිටිය පදනම් කරගනිමින් මේ රටේ තරුණ ප්‍රජාව ප්‍රමුඛ සිවිල් ජනතාව ආරම්භ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන අරගලය මැයි මස 28 වන දා දින 50ක් සම්පූර්ණ කරයි.

එය සැලකිය හැක්කේ මේ රටේ ජනතාව තම අයිතීන් උදෙසා සිදු කරමින් සිටින සුවිශේෂී අරගලයක් ලෙසටය.

මෑත යුගයේ මේ රටේ කිසිදු දේශපාලන හෝ සිවිල් ව්‍යාපාරයකට දිනා ගත නොහැකි වූ කරුණු රැසක් අද වන විට ඔවුන් විසින් මේ සමාජයට දිනා දී තිබේ.

එමෙන්ම මේ රට තුළ සිදු විය යුතු දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් උදෙසා අදට ද ඔවුන් සාර්ථක ලෙස පෙනී සිටිමින් සිටී. ඔවුන් ගත් එම පියවර කෙරෙහි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පාර්ශ්වයන් තම ගෞරවය හා ආචාරය ඔවුන් වෙත පුද දිය යුතුය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයද ඔවුන් හා අත්වැල් බැඳගනිමින් අපගේ ගෞරවය මේ අවස්ථාවේදී සනිටුහන් කරනු කැමැත්තෙමු.

නිවහල්, නිදහස් හා සාමකාමි රටක් උදෙසා මේ රටේ යුක්ති ගරුක ජනතාව තුළ ඇති අපේක්ෂාවන් මෙකී අරගලයට සම්බන්ධ තරුණ ප්‍රජාව ප්‍රමුඛ සිවිල් ජනතාව විසින් තව තවත් උද්දීපනය කරමින් සිටීම අතිශයින්ම අගය කළ යුතුය. එමෙන්ම ඔවුන්ගේ නිර්ව්‍යාජ හඬට රජය නොපමාවම කන්දිය යුතුය.

ඔවුන් අපේක්ෂා කරන දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් තහවුරු නොකර ගනිමින් මේ රටට යහපත් අනාගතයක් උදාකර ගත නොහැකි බව මුළුමහත් සමාජයම මැනවින් අවබෝධ කරගත යුතුව තිබේ. දින 50ක් පුරා අඛණ්ඩව සාමකාමී අරගලයක යෙදෙන එකී සෑම පාර්ශ්වයකටම අපගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන අතර ඒ මගින් ඔවුන් අපේක්ෂා කරන සියලු ජයග්‍රහණ දිනා ගැනීම උදෙසා නොපමාවම හැකියාව ලැබේවායැයි අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

දේශබන්ධු කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

මැයි 09 නොගත් අධිකරණ තීන්දුව : පොලිසිය අද අරගෙන !

ගාලුමුවදොර ‘ගෝඨාගෝ ගමට’ දින 50ක් පිරීම නිමිත්තෙන් හෙට (28) පැවැත්වීමට නියමිත විරෝධතාවේ උද්ඝෝෂකයන්ට කොළඹ කොටුව ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ තහනම් ආඥාවක් අද (27) නිකුත් කර ඇත .

අදාළ උද්ඝෝෂණය හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවිය හැකි බවට තොරතුරු හෙළිවී ඇති බැවින් මෙම ආඥාව නිකුත් කරන ලෙසට කොළඹ කොටුව පොලීසිය අද කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාතවරයා නියෝගය නිකුත්කර ඇත .

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 වන වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලද මෙම නියෝගයට අනුව, කොළඹ එන් ඒ එස් වටරවුමේ සිට චෛත්‍ය පාර දක්වා කොටස, එන් ඒ එස් වටරවුමේ සිට ජනාධිපති මාවත දක්වා කොටස, සෙරමික් හන්දියේ සිට යෝක් විදීය, යෝක් වීදියේ සිට ලේඩි බැස්ටියන් මාවත දක්වා කොටස, මුදලිගේ මාවත, රෝයල් වීදිය, බැංකු මාවත, බාරොන් ජයතිලක මාවත සහ චැතැම් වීදිය යන ස්ථානවලට ඇතුළු වීම, ගමන් කිරීම, විරෝධතා පැවැත්වීම, ගැවසීම පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යනාදිය තහනම් වෙයි.

මැයි 09 නොගත් අධිකරණ තීන්දුව !

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ පසුගිය මැයි 09 වනදා පොලිසිය මෙවැනි අධිකරණ නියෝගයක් ගෙන තිබුනා නම් අරලිය ගහ මන්දිරයේ සිට ගෝල්ෆේස් නිරායුද සාමකාමී විරෝධතාකරුවන් වෙත ප්‍රහාරයක් එල්ල නොවනවා සේම, දිවයින පුරා විහිදී ගිය ප්‍රතිප්‍රහාරය ද දියත් නොවීමට ඉඩතිබූ බවයි.

ඒ අනුව මැයි 09 ප්‍රහාරය හමුවේ පොලිසිය දැක්වූ ඇල්මැරුණු හැසිරීම පෙන්නුම් කරන්නේ අදාළ ප්‍රහාරය ආණ්ඩුවේ අනුදැනුම ඇතිවූ සංවිධානාත්මක ප්‍රහාරයක් බවට පැහැදිලි සැකසංකා මතුවීම ප්‍රතිකේෂ්ප කළ නොහැකි බව බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.

21 ක හැකි ඉක්මනින් සම්මත කරන්න පොදු එකඟතාවක් !

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවැත්වූ බවත් එහිදී 21 ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කළ යුතු බවට පොදු එකඟතාවකට පැමිණි බවත් වාර්තා වෙයි .

මෙම රැස්වීමේ අරමුණ ලෙස සඳහන් වූයේ සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ට සිය නිරීක්ෂණ හා යොජනා ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීමය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයක සඳහන් වන්නේ දෙමළ ජාතික සන්ධානයට අද රැස්වීමට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් ඔහුනගේ සහාභගිත්වය සමග ලබන සිකුරාදා (3) අවසන් රැස්වීමක් පවත්වා කෙටුම්පත අවසන් කිරීමට එම සාකච්ඡාවේදි තීරණයවූ බවය.

මෙම සතිය තුළ කිසියම් පාර්ශ්වයකට වැඩිදුර පැහැදිලි කිරීම් ලබා ගැනීමට අවශ්‍ය නම් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳව කරුණු විමසීමට හැකි බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසූ බවත් සඳහන් වෙයි.

නව අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ගැන ඇමරිකානු ස්ථාවරය : කතානායකට දන්වයි !

දේශපාලන ස්ථාවරත්වය ඇති කර ආර්ථික අර්බුදය ජය ගැනීමට නව අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් පැවසුවාය.

එසේම ජනතාව අපේක්ෂා කරන දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවද තානාපතිවරිය අවධාරණය කළාය.

ඇය මෙසේ අවධාරණය කළේ කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (27) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.

ජුලී චන්ග් ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනිය ලෙස පත්වීමෙන් පසුව කතානායකවරයා හමුවූ පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකා - ඇමරිකානු එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය හරහා දෙරට අතර පවතින සබදතා වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බවද ජුලී චන්ග් තානාපතිනිය පැවසුවාය.

පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය සිදුකරන කාර්යභාරය ඇගයීමට ලක්කළ තානාපතිවරිය පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිකිරීමේ අවශ්‍යතාවද අවධාරණය කළාය.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ඇමරිකානු එක්සත් ජනපදය නිරතුරුව ලබා දෙන ශක්තිය පිළිබදව කතානායකවරයා සිය කෘතවේදීත්වය පළ කළේය.

මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායකද සහභාගීවිය.

මූලාශ්‍රය - lankadeepa

ශෂීගෙන් අභියාචනයක් !

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳවන ශෂී වීරවංශ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් අයුරින් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකාරිය කරමින් කොළඹ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද (27) වසර 02 ක සිර දඬුවමක් නියම කළේය.

සිර දඬුවමට අමතරව ඇයට රුපියල් ලක්ෂයක දඩයක්ඩ්ද නියම කෙරුණු අතර දඩය නොගෙවන්නේ නම් ඇයට තවත් මාස 6 ක සිර දඬුවමක් ද කොළඹ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල නියම කරනු ලැබීය.

විත්තිකාරියට එරෙහි නඟා ඇති චෝදනාව සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බව මහේස්ත්‍රාත්වරයා තීන්දුව ප්‍රකාශකරමින් සඳහන් කළේය.

රාජ්‍ය නිලධාරීන්ටත් වැඩ වරදියි !

එසේම මෙම කටයුතු වලට ආධාර අනුබල දුන් රාජ්‍ය නිලධාරීන් පිළිබඳ අවශ්‍ය පියවර ගැනීම සඳහා නඩු තීන්දුවේ පිටපතක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යැවීමට ද මහේස්ත්‍රාත්වරයා විසින් නියොග කරනු ලැබීය.

ඇමති බිරිඳක් ලෙස නිල බලය පාවිච්චි කරමින් මෙම ගමන් බලපත්‍රය ලබාගැනීමට විත්තිකාරියකටයුතු කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙහිදී කියා සිටියේය.

එක් දින සේවාව යටතේ මෙම විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කර තිබුණද විත්තිකාරිය එම කවුළුව හෝ නොගොස් වක්‍ර මාර්ගයෙන් ගමන් බලපත්‍රය ලබා ගෙන ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට මෙම සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව ලබාදීම මැයි 13 වැනිදාට යෙදී තිබුනත් එය තුන්වන දිනටත් කල් තැබුණේ එම නඩුවේ තීන්දුව ලබාදීම මැයි 27 වැනිදා දක්වා කල්දමමිනි.

ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධව ආගමන හා විගාමන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැ යි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව පවරා තිබුණේ 2015 ජනවාරි 23 වැනිදා යි.

ශෂීගෙන් අභියාචනයක් !

කෙසේ වුවත් වරදකාරිය වී සිරදඬුවම් නියම වූ ශෂී වීරවංශ මහේස්ත්‍රාත් අධිකරණයෙන් දඬුවම් නියම කිරීමෙන් පැය කිහිපයකට පසු, එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළාය.

අභියාචනය කොළඹ මහාධිකරණයට යොමු කිරීම සඳහා ඇගේ නීතිඥවරුන් මගින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර දී තිබේ.

ශෂී වීරවංශ අභියාචනයෙන් ඉල්ලා ඇත්තේ අදාළ චෝදනාවෙන් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙසටයි.

දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් ඇය ඇප මත මුදා හරින ලෙස නීතිඥවරුන් කළ ඉල්ලීම ලබන 30 වැනිදා සලකා බැලීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (මැයි 27) තීරණය කරනු ලැබීය.

එම නිසා ඇයව එතෙක් බන්ධනාගාර කෙරෙණු ඇත.

 

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට : අගමැති තීරණයක් ගෙන නෑ !

මාධ්‍ය වාර්තාවලට අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නැති බව වාර්තා වෙයි .

ඒ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය තහවුරු කර ඇත .

ඉදිරි අතරු සහන අයවැය මගින් සිදුකිරීමට නියමිත වන්නේ සෞඛ්‍ය හා අධ්‍යාපනය යන අමාත්‍යාං හැර අනෙක් සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩු කර ඒවා සහන ලෙස ජනතාවට ලබාදීම බවත් එහි සඳහන් ය.

 

 

ලංකාව ගොඩදාන්න : ඉන්දිය ජපන් ආධාර තවදුරටත් !

අර්බුදකාරී ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සහ ජපානය එකඟ වී ඇති බව ජපාන රජය ප්‍රකාශ කළ බව හින්දු පුවත්පත පවසයි .

ඒ අගමැති නරේන්ද්‍ර මෝදි සහ ෆුමියෝ කිෂිඩා අතර පසුගියදා ටෝකියෝ නුවර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මෝදි සහ කිෂිඩා අග්‍රාමාත්‍යවරුන් මැයි 24 දින Quad සමුළුවට සමගාමීව හමු වූ අතර ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගීතාවයට අමතරව 'නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික්' සාක්ෂාත් කර ගැනීමේ උත්සාහයන් ප්‍රවර්ධනය කිරීම සඳහා “සමීප සහයෝගීතාව” පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත .

පිරිසිදු බලශක්ති, සහ ආයෝජන පිළිබඳ රැස්වීමෙන් පසුව නායකයින් දෙදනා “ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර වත්මන් ආර්ථික අර්බුදය සහ රටේ මානුෂීය තත්ත්වය පිරිහීම සම්බන්ධයෙන් ඔවුන් එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව තහවුරු කළ බවට ජපාන විදේශ අමාත්‍යාංශය පවසයි .

තවද, ඔවුන් "ඉන්දු පැසිෆික් ආර්ථික රාමුව කලාපයට සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන දෙන ඇතුළත් රාමුවක් ඇති කිරීම සහ සංවර්ධනය සඳහා එකට වැඩ කිරීම යන කරුණු පිළිබඳ ද සාකච්ඡා කර තිබෙන බවත් වාර්තා වෙයි .

මෑත ගෝලීය සහ කලාපීය වර්ධනයන් පිළිබඳව නායකයින් දෙදෙනා අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා .

ඔවුන් ඉන්දු-පැසිෆික් කලාපයට අදාළ ප්‍රවේශයන් තුළ ඇති අභිසාරී බව සටහන් කළ අතර නිදහස්, විවෘත සහ ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා වූ ඔවුන්ගේ කැපවීම යළිත් තහවුරු කර ඇත .

අඩ සියවසකට වැඩි කාලයක් ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිත්‍යාගශීලි සහ සංවර්ධන හවුල්කරුවන්ගෙන් ප්‍රමුඛතමයෙකි.

නමුත් එහි ප්‍රදාන සහ ආයෝජන චීනයෙන් හෝ ඉන්දියාවෙන් ලැබෙන ඒවාට සාපේක්ෂව අඩු අවධානයක් ලබා ඇත.

ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවට ජපානය නිවේදනය වැදගත්කමක් උපකල්පනය කරයි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ යෝජනාවෙන් කලකට පසු, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන ක්වාඩ් සාමාජිකයින් විදේශ ආධාර සමුහයක් පිහිටුවීමේ මූලිකත්වය ගනු ඇත.

ශ්‍රී ලංකාව නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයට හසුව ඇත. මෙම වසරේ ජනවාරි මාසයේ සිට ඉන්දියාව ඩොලර් බිලියන 3.5 ක පමණ ආධාර ලබා දී ඇති අතර එ අත්‍යවශ්‍ය ආනයන සඳහා ණය කල් දැමීම් සහ ණය මාර්ග මගින්. ජපානයේ මැදිහත්වීම සමඟ කොළඹ ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති දෙකක් ඉවත් කර තිබියදීත් ජපානයේ යලි අධාර කිරිම ට මුලපිරීම පැමිණේම විශෙශ්ත්වයකි.

2020 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඩොලර් බිලියන 1.5 ක ජපන් අරමුදල් සහිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් අවසන් කිරීමට නියෝග කළේ එය " ඵලදායි විසඳුමක්" නොවන බව පවසමින් ය.

2021 මුල් භාගයේදී, සැලකිය යුතු රාජ්‍ය තාන්ත්‍රික ආතතීන් ඇති කරමින්, උපාය මාර්ගිකව පිහිටා ඇති කොළඹ වරායේ බහාලුම් පර්යන්තයක් ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ ත්‍රෛපාර්ශ්වික ව්‍යාපෘතියකින් ශ්‍රී ලංකාව ජපානය සහ ඉන්දියාව ඉවත් කළේය. පසුව එම වරායේම තවත් පර්යන්තයක් සංවර්ධනය කිරීමට ඉන්දියාවේ අදානි සමූහය සම්බන්ධ විය.

සිරිකොත ගෙවතු වගාවකට !

රට පුරා වගා කළ හැකි හිස් ඉඩම් හඳුනා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරීන් දැනුවත් කර ඇති බව වාර්තා වෙයි .

ඒ ඔවුන් සමග රට තුළ ඇතිවෙමින් තිබෙන ආහාර හිඟය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී ය.

එ.ජා.ප.යට අයත් ඉඩම් ගේ වතු වගා සඳහා පරිහරණයට තමන් විසින් ලබාදෙන බවද එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව එජාප පක්ෂ මූලස්ථානය වන සිරිකොත වගා කටයුතු ලබා දෙනු ඇත.

ඉදිරියේදී ඇති විය හැකි අර්බුදයේ බලපෑම අවම කර ගැනීමට හැකි වන පරිදි රටේ සියලුම හිස් ඉඩම් ආහාර වගා කිරීමට යොදා ගත හැකි බවට මෙය උදාහරණයක් ලෙස ගත හැකි බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පැහැදිලි කර ඇත .

සජබ නියෝජ්‍ය නායක චම්පික !

සමගි ජන බලවේගය පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාථලිි චම්පික රණවක පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ,මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් අද (27) පැවත් වෙමින් තිබෙන බවත් වාර්තා වෙයි .

මෙම සාකච්ඡා සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබංඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මූලිකත්වය ගෙන ඇති බවත් සඳහන් ය.

සමගි ජනබලවේගය පක්ෂයේ ආරම්භක අවස්ථාවේ එහි නියෝජ්‍ය නායක ධූරය චම්පික රණවක වෙත ලැබෙණු ඇති බවට රාවයක් පැවතිණ.

එහිදී චම්පික රණවක මන්ත්‍රීවරයා හෙළ උරුමය පක්ෂයේ නායකත්වයෙන් ඉවත්ව සමගි ජනබලවේගය පක්ෂයේ සාමාජිකත්වය පවා ලබාගෙන තිබිණ .

නමුත් සජබ ව්‍යවස්ථාව එළිදක්වන අවස්ථාවේ හෝ පළමු සමුළුව අවස්ථාවේ එවැන්නක් සිදුවුයේ නැත. ඒ හේතුවෙන් චම්පික රණවක සහ සජිත් ප්‍රේමදාස අතර එකිනෙකාගේ මුහුණවත් නොබලන තත්ත්වයක් ඇතිවූ බවත් ප්‍රසිද්ධ රහසකි.ල්

කෙසේ වුවත් මෙවර නියෝජ්‍ය නායක ධූරය අලුතින් ඇතිකර, ඊට චම්පික රණවක මන්ත්‍රීවරයා ඊට පත් කිරීම සජබ තීරණය කර තිබේ.

වාර්තා වන ආකාරයට මේ තීරණය ගෙන තිබෙන්නේ , සජබ මන්ත්‍රීවරුන් වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහය දක්වා ආණ්ඩුවේ අමාත්‍ය ධූර භාර ගැනීම නිසා ඇතිවූ රික්තය පිරවීම සඳහා යි.

එමෙන්ම හරින් හා මනුෂ මන්ත්‍රීවරුන් අනුගමනය කරමින් ආණ්ඩුව එක් විමට නියමිත සජබේ අනිකුත් මන්ත්‍රීවරුන් ට මානසික ප්‍රහාරයක් එල්ල කිරීම ද මෙහි අරමුණවී තිබෙන බවත් වාර්තා වෙයි .

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් චම්පික රණවක පාර්ශ්වයෙන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔවුන් සඳහන් කර සිටියේ , නියෝජ්‍ය නායක ධූරය වෙනුවෙන් ආරාධනයක් ලැබෙනු ඇති බවට හාහොවක් යන නමුත් මෙතෙක් නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

Page 247 of 386