V2025

පුවත්

ජාතික සංවිධාන අරගලයේ පහරයි !

19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව ජාතික සංවිධාන එකමුතුව විරෝධය පලකර ඇති අතර එය පොදුජන අරගලය පාවාදීමක් බව දේශපාලන විචාරකයන් පවසයි .

ජාතික සංවිධාන එකමුතුව 21 සම්මත කිරීම සහ ඒ හරහා 19 ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රතිකේෂ්ප කර නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .

 අතිගරු ජනාධිපතිතුමනි,

සමාජයේ බරපතළ නොසන්සුන්තාවයක් තිබියදී සමාජ සංවාදයකට ඉඩක් ලබා නොදී හදිසි කර්තව්‍යයක් ලෙස රටේ උත්තරීතර නීතිය සංශෝධනය කිරීමේ වරද පිළිබඳව

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය හදිසි කර්තව්‍යයක් ලෙස සලකා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට සූදානමක් පවතින බව අප වෙත දැන් දැනගැනීමට ලැබී ඇත. මේ වන විට 21වැනි සහ 22 වැනි ව්‍යවස්ථා සංශෝධන ලෙස පාර්ශව දෙකක් විසින් ඉදිරිපත් කළ කෙටුම්පත් ගැසට් කර පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදීම මගින් එම කෙටුම්පත් දෙකෙන් ඕනෑම කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමේ හැකියාව ඇත. ඊට අමතරව එම කෙටුම්පත් දෙකම නොවන එහෙත් ඒවා මත පදනම් වූ නව කෙටුම්පතක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. මෙම අපැහැදිලිතාවයන් නිසා අදාල කෙටුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් නොවුවහොත් ජනමත විචාරණයක් නොමැතිව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ හැකියාව ද ඇත. එවැනි තත්ත්වයක් යනු බරපතළ ප්‍රජාතන්ත්‍ර විරෝධී විකෘතියක් බව ඔබතුමා පිළිගන්නවා ඇත.

ඊට අමතරව ඔබතුමා ඉතා හොඳින් දන්නා පරිදි වර්තමාන දේශපාලන අර්බුදය පැන නගින්නේ ආර්ථික අර්බුදයේ මුල්කරගෙනය. ඒ නිසා ආර්ථික අර්බුදයට නිසි විසඳුම් ඉදිරිපත් කිරීමෙන් තොරව දේශපාලන අර්බුදය සමනය කිරීමේ හැකියාවක් නැත. මේ වන තුරු ආර්ථික අර්බුදය විසඳීම සඳහා නිශ්චිත යෝජනාවලියක් ආණ්ඩුව පැත්තෙන් රටට ඉදිරිපත් කර නොමැති තත්වයක් යටතේ දේශපාලන අර්බුදය විසඳීමේ නාමයෙන් ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීමේ උවමනාව කුමක්දැයි පැහැදිලි නැත. ඒ නිසා මහජනයා විසින් එම වුවමනාව පිළිබඳව විවිධ අර්ථකථන සැපයීම තුළ දේශපාලන අර්බුදය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් ද ඇත. අද වන විට රටේ පවතින අඛණ්ඩ මහජන උද්ඝෝෂණ නිසා ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින රටේ බහුතර ජනතාව තවදුරටත් පීඩාවට සහ අසහනයට පත් වෙමින් ඇත. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීම නිසා සමාජය තුළ දේශපාලන සංවාද දිරිමත් නොවන අතර ඊට එරෙහිව මානසික බාධක පැනවේ. එවැනි තත්ත්වයක් තුළ ව්‍යවස්ථා සංශෝධනයට අදාළව සාධාරණ මහජන සංවාදයක් ඇති කිරීමේ හැකියාවක් නොමැති බව ඔබතුමා පිළිගන්නවා ඇත. ඒ අනුව මෙම අවස්ථාවේදී හදිසි ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට පටහැනි ක්‍රියාවක් බව පිළිගැනීමට සිදුවේ.

ඊට අමතරව ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය දියත්වන අපැහැදිලි ආකාරය සහ ඊට දිරිගැන්වීම් ලබා දෙන පුද්ගල චරිත මෙන්ම සංවිධාන පිළිබඳ එල්ලවන චෝදනා නිසා එම තත්ත්වය වඩා බරපතළවේ. විශේෂයෙන්ම මේ ආකාරයට හදිසි ව්‍යවස්ථා සංශෝධන ගෙන එනු ලබන්නේ පවතින ආර්ථික ආපදා තත්ත්වය නිසා සමාජයේ ඇතිවී තිබෙන “ඝෝෂාව” උපයෝගී කරගනිමින් බෙදුම්වාදී බලවේග වලට අවශ්‍ය යම් සංශෝධන ඊට ඇතුල් කිරීම සඳහා බවට චෝදනා එල්ල වේ. පසුගිය කාලයේදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඉන් පසුව පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය සිදු කිරීමේදී පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී විශාල වශයෙන් සංශෝධන ඇතුළු කරනු ලැබීය. එම අවස්ථාවේදී මන්ත්‍රීවරුන් දැනුවත් නොකර ඉතා කලබලකාරී ලෙස සහ කූට ලෙස සංශෝධන ඇතුල් කළ බවට විද්වතුන් විසින් සාක්ෂි සහිතව කරුණු දක්වා ඇත. ඒ නිසා මේ වන විට රටේ පවතින කලබලකාරී සහ ඝෝෂාකාරී තත්ත්වය තුළ මහජනයාගේ පමණක් නොව මන්ත්‍රීවරුන්ගේ පවා අවධානයට ලක් නොවී කෙටුම්පතේ අඩංගු නොවුන බෙදුම්වාදීන්ට අවශ්‍ය වන සංශෝධන කිහිපයක් කාරක සභා අවස්ථාවේ දී කෙටුම්පතට ඇතුළු කිරීමේ ඉඩකඩ බැහැර කළ නොහැක.

එවැනි තත්වයකදී ඔබතුමා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන බැවින් කාරක සභා අවස්ථාවේ දී සිදුවිය හැකි දේ පිළිබඳ ඔබ තුමාට සහතිකයක් ලබා දිය නොහැකි බව පැහැදිලි කරුණකි. එවැනි තත්ත්වයක් තුළ විනාඩි කිහිපයකදී ව්‍යවස්ථා සංශෝධනයක් නාමයෙන් රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය අනතුරට ලක් කරන ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් පාර්ලිමේන්තුව තුළ සිදුවීමේ හැකියාව ඇත. ඒ නිසා වඩා සුදුසු වන්නේ රටේ ඉතිහාසය වෙනස් කළ හැකි එවැනි ක්‍රියාවක් සිදු වීමට පෙර එය වළක්වා ගැනීමය. ඒ සඳහා ජාතික සංවිධාන ලෙස අපි ඔබතුමා වෙත පහත සඳහන් යෝජනා ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.

1) රටේ පවතින ආර්ථික අර්බුදය සමනය කර ශිෂ්ඨ සම්පන්න දේශපාලන සංවාදයකට ඉඩකඩ ලැබෙන තෙක් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පමා කිරීම. (මේ වන විට නව අගමැතිතුමා සතුව ආර්ථික අර්බුදය විසඳීම සඳහා විශ්වකර්ම හැකියාවක් තිබෙන බව කියැවෙන බැවින් ඒ සඳහා වැඩි කාලයක් ගත නොවීමට ඉඩ ඇත.)

2) එසේ සුදුසු අවස්ථාවේදී ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමේ දී දැනට ගැසට් කර ඇති පුද්ගලක මන්ත්‍රී කෙටුම්පත් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීම වෙනුවට රජය විසින් නව කෙටුම්පතක් ගැසට් කර පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළු කිරීමට පෙර මහජන සංවාදය සඳහා සාධාරණ කාලයක් ලබා දීම.

3) ගැසට් කරන ලද කෙටුම්පතේ අඩංගුවන සංශෝධන සහ අධිකරණය හමුවේ එකඟ වූ සංශෝධන හැර වෙනත් කිසිදු සංශෝධනයක් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී කෙටුම්පතට ඇතුල් නොකරන බවට විවෘත සහ පැහැදිලි සහතිකයක් සියලු පාර්ශව විසින් ලබා දීම.

4) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය තුළ කූඨ උපක්‍රම අනුගමනය කිරීම වෙනුවට එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ජනමත විචාරණයකට ඉදිරිපත් කරන බවට අදාල කෙටුම්පත පළමුවර කියවීමේදී පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදුකිරීම. (එවැනි තත්වයකදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අදාල සංශෝධන අභියෝගයට ලක්කිරීම අවශ්‍ය නොවේ)

5) ජනාධිපති සහ අගමැති අතර බලතුලනයේ කුමන හෝ අවුලක් ඇති කිරීම මගින් රාජ්‍යය දුර්වල කිරීමට ඉඩ නොතැබීම. එසේම ජනාධිපති හෝ අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ විධායක බලතල දුර්වල කෙරෙන සංශෝධන ඉදිරිපත් වන තත්වයක් යටතේ අනිවාර්යෙන්ම 13 වැනි සංශෝධනය මගින් පළාත් සභාවට ලබාදී ඇති ව්‍යවස්ථාදායක බලතල අහෝසි කිරීම.

6) ජනාධිපතිවරණයේදී ඔබතුමා වෙත ලැබුණු ජනවරම අනුව රටට ඉදිරිපත් කළ යුත්තේ නව ව්‍යවස්ථාවක් මිස ව්‍යවස්ථා සංශෝධයක් නොවේ. ඒ අනුව වඩා සුදුසු වන්නේ විවිධ බලවේග වල යටි අරමුණු අනුව ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධන අනුමත කිරීම වෙනුවට නව ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමය. (පවතින ආර්ථික අර්බුදය සමනය කිරීමෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණය පැවත්වීමට පෙර නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වඩාත් සුදුසු වේ.)
ඔබතුමාට තෙරුවන් සරණයි,

ආචාර්ය ගුණදාස අමරසේකර,
කැඳවුම්කරු,
ජාතික සංවිධාන එකමුතුව.

වහාම පරාජය කළයුතු මතයක් !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ජාතික සංවිධාන එකමුතුවේ මේ මතය වහාම පුරවැසියන් විසින් පරාජය කළයුතු මතයක් ලෙසය.

මේ හරහා යළිත් වටයකින් විධායක ජනාධිපති සතු අත්තනෝමතික බලය සුජාතභාවය වෙත ඔසවන බවත් එය ජාතිවාදී ආගම්වාදී පසුගාමී බලවේග වෙත මිස පොදුජනතාව වෙනුවෙන් කිසිදු සහනයක් නොවන බවත් ඔවුන් පවසයි .

මේ මොහොතේ පවතින පොදුජන අරගලය සම්බන්ධයෙන් ද මෙකී යෝජනාව නිශේධනාත්මක ලෙස බලපෑම් කරන බවත් දේශපාලන විචාරකයන් පවසයි .

මේ වන විට පොදුජන අරගලය අත්තනෝමතික විධායක ජනාධිපති ධූරය ප්‍රතිකේෂ්ප කර වෙනසක් පතන නමුත් ජාතික සංවිධාන එකමුතුව තවදුරටත් විධායකයේ අත්තනෝමතික බලය තහවුරු කර ජනතා අරගලය මොට කරන්න මැදිහත්වීමක් පෙන්නුම් කරන බවත් දේශපාලන විචාරකයන් පවසයි .

විදේශ කටයුතු ලේකම් අරුණි !

විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස අරුණි විජේවර්ධන පත් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි .

නව ලේකම්වරිය අද(22) ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් සිවිල් සංවිධාන ක්‍රියාකාරික මංජුල ගජනායක සිය ෆේස්බුක් ගිනුමේ තැබූ සටහනක් පහත දැක්වෙයි .

මංජුලගේ සටහන !

විදේශ අමාත්‍යවරයා ලෙස මෙතෙක් පත් වූ බහුතරයක් මන්ත්‍රීවරුන් එක්කෝ විෂය ගැන දන්නෙ නැහැ, නැත්නම් ආව දවසෙ ඉඳන් එතනින් යමක් හම්බ කරගන්න බලනවා. ඊටත් වඩා අමාරුම දේ ජනාධිපති සහ අගමැති කාර්යාලයෙන් එන බලපෑම. මෙරටේ වත්මන් අර්බුදයේ එක් වගඋත්තරකාර පාර්ශවයක් වන්නේ විදේශ අමාත්‍යංශය.

එවැනි පසුබිමක ලේකම්වරයෙක්ට වුණත් වැඩ කරන්න අමාරුයි. එනයින් බැලුවාම අරුණිට ෆීනික්ස් පක්ෂියෙක් වෙන්න බැරිවෙයි. එහෙත් ඇය යමක් කල හැකි අයෙක් ලේකම්වරිය ලෙස. අරුණි යශෝධා විජේවර්ධන දැනටත් අන්තරජාතික පරමාණුක බලශක්ති ආයතනයේ ප්‍රතිපත්ති සම්පාදනය ලේකම්වරිය ලෙස ක්‍රියාකරන ප්‍රමාණික අවබෝධයෙන් යුත් තැනැත්තියක්.

වැඩබැරි රණ විරුවොයි, ඇමතිකමක් නැතිව දිවිගෙවන්න බැරි පීරිස් පන්නයේ කල් ඉකුත්වූ මිනිස්සුයි එකතුකරගෙන වේගයෙන් විනාශය කරා යන ආයතනයක් මේ. මෙලෝ අලබෝලයක් බැරි දේශපාලන සහචරයන්ට රාජ්‍ය තාන්ත්‍රික තනතුරු දෙන මේ අමාත්‍යංශය තරම් මෙරටේ බදු ගෙවන්නන්ට ද්‍රෝහී වූ වෙනත් තැනක් තිබේනම් ඒ ජනාධිපති සහ අගමැති කාර්යාල පමණයි. (විදේශ අමාත්‍යංශයේ සිටින කාර්යක්‍ෂම සහ දීප්තිමත් කාර්යභාරයක් සිදුකරන තරුණ නිළධරයන්ට සහ නිලධාරිනියන්ට මෙය අදාළ නැහැ).

ලංකාවේ බොහෝ විට විවේචන එල්ල වන්නේ පරිපාලන සේවයේ විධායක නිළධරයන්ට. මේ ප්‍රවණතාව නිසා විදේශ සේවය කියල එකක් තියෙන බවක්වත් අපේ අය දන්නෙ නැහැ. නමුත් ප්‍රමාණයෙන් අඩුවුවත් ඒ මිනිස්සු අතරේ ඉන්න සුළු පිරිසකුත් රට බංකලොත් කරන්න ලොකු වෙහෙසක් ගත්ත බව නොකියා බැහැ. ඒ නිසා පැතිරුණු විෂය ක්ෂෙත්‍රයක අත්දැකීම් ඇති අරුණිට වැඩ බැරි ඇමති අභිබවන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරනව. මාලදිවයින, ජපානය වගේ තැන්වල ඉන්න ගොබ්බසේනලා ලංකාවට කැඳවන්න ත් ශක්තියක් තිබේනම් වටිනව.

මෙතෙක් අනුදත් අසාමාන්‍ය දේශපාලන ගැතිබව සහ විෂයෙන් පරිබාහිරව සිදුවූ දහසක් නොපනත්කම් හමුවේ විදේශ අමාත්‍යංශය යනු තවදුරටත් පුනරුත්ථාපනය කල හැකිතැනක් දැයි යන්න පවා සැකසහිතයි. ඒ අතරෙ අරුණි වැන්නෙක්ලේකම්වරිය ලෙස පත්වීම හොඳයි. අඩුතරමින් අමාත්‍යංශයට තමන්ගේ නම්බුවවත් රැකගන්න පුළුවන් වෙයි.

 සුභපැතුම් ඔබට !!

දේශබන්දු මාරු වෙයි !

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයෙන් ඉවත් කරනු ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි .

එසේම ඔහු එම රාජකාරියෙන් ඉවත් කර වෙනත් රාජකාරියක් සඳහා අනුයුක්ත කරන විසින්ද නීතිපතිවරයා දැනුම් දී ඇති බවත් දැනගන්නට ඇත .

පසුගිය මැයි 09 දා ගාලුමුවදොර පිටියේ සහ අරලියගහ මන්දිරය ඉදිරියේ සිදු වූ කලබලකාරී සිදුවීම් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට බලපෑමක් එල්ල නොවීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා ලෙසද දැනුම් දී ඇත.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සිය ෆේස්බුක් ගිනුමේ ආන්දෝලනාත්මක සටහනක් තබා ඇති අතර එය පහත දැක්වෙයි .

pubudu j

 

විදෙස් ගමන් තහනම සමග කබ්රාල් ලෝක අමාරුවක !

මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට අදාළව මේ වසරේ ජනවාරි මස 18 වෙනිදා ගෙවීම් කරන ලද පාර්ශ්වයන්ගෙන් නම් ලැයිස්තුවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පැමිණ ඒ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද (23) අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත .

ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ ස්වෛරී බැඳුම්කර සහ ගෙවීම් කරන ලද පාර්ශ්වයන්ගෙන් නම් ලැයිස්තුවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කරනු ලැබිණ.

එසේම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් සම්බන්ධයෙන් පනවා තිබූ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කර ඇත .

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (23) නියෝග කළේ, හිටපු මහ බැංකු අධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම ලබන ජූලි 25 වැනිදා තෙක් යළි දීර්ඝ කරන ලෙසය.

එදිනට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නැවත සිතාසි ද නිකුත් කෙරිණ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එහි මුදල් අවභාවිත කළේ යැයි, ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලකට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සැකකරුවෙකු වශයෙන් නම් කර තිබේ.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල්ට අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අධිකරණය මගින් සිතාසි නිකුත් කර තිබුණ ද ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද අධිකරණයට දන්වා සිටියේ මීළඟ දින ඔහු අධිකරණය හමුවේ පෙනී සිටින බවයි.

අනතුරුව ඔහුට එරෙහි පැමිණිල්ල ලබන ජූලි මස 25 වැනිදා කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින තෙක් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ද දීර්ඝ කළේ ය.

හිටපු මහ බැංකු අධිපති මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටීමට දන්වා සිතාසි නිකුත් කරනු ලැබුවේ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවය.

මහ බැංකු අධිපතිවරයාව සිටිමින් රජයේ මුදල් අවභාවිත කළ බවට වූ චෝදනා 6ක් මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ඉන්දියාවෙන් බිලියන 2ක අත්‍යවශ්‍ය භාණ්ඩ ආධාරයක් !

රුපියල් බිලියන දෙකකට අධික වටිනාකමකින් යුතුවූ අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ විසින් කොළඹ වරායේදී මෙරටට ලබාදීමට ක්‍රියාකර ඇත.

ඒ තමිල්නාඩු රජය විසින් මෙරටට ලබා දීමට පොරොන්දු වී ඇති සහල් මෙට්‍රික් ටොන් 40,000 , කිරිපිටි හා අත්‍යවශ්‍ය ඖෂධ මෙට්‍රික් ටොන් 500 කින් යුත් භාණ්ඩ ගිවිසුමේ පළමු අදියර බවත් වාර්තා වෙයි .

විදේශ අමාත්‍ය මහචාර්ය ජී.එල්. පීරීස්, වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේ කමිටුවේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් ඇතුළු පිරිසක් එම අවස්ථාව සඳහා එක්ව ඇත.

වාර්තා වන ආකාරයට මෙම ආධාර තොගයේ මුළු වටිනාකම රුපියල් බිලියන 5 දශම 5කි.

අද දින ලැබුණු ආධාර තොගයට සහල් මෙට්‍රික් ටොන් 9000 ක් , කිරිපිටි මෙට්‍රික් ටොන් 50 ක් සහ ඖෂධ හා වෛද්‍ය උපකරණ ටොන් 25 ක් ඇතුළත් බවත් දැනගන්නට ඇත .

එම ආධාර අග්‍රාමාත්‍ය කාර්යාලයේ අධීක්ෂණය යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවිමෙන් ග්‍රාම නිලධාරිවරුන් මගින් දිවයින පුරා මෙම බෙදාහැරීමට නියමිතය.

පළමු අදියර යටතේ මහනුවර, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිතව බෙදා හැරීමට සැලසුම් කර තිබේ.

ඉන් අනතුරුව උතුර – නැගෙනහිර පළාත්වලත්, කළුතර, ගාල්ල , මාතර ඇතුළුව දිවයින පුරා බෙදා හැරිමට සැලසුම් කර ඇතැයි සඳහන් ය.

මේ අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේ කමිටුවේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කළේ, ඉන්දීය රජයෙන් තවත් බිලියන 4 ක ආධාර තොගයක් බලාපරොත්තුවෙන් ශ්‍රී ලංකා රජය සාකච්ජා ආරම්භ කර ඇති බවය.

එම සාකච්ජා සඳහා මෙරට නියොජිතයෙකු ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

අධිකරණයට බොරු කියා බැසිල් අමාරුවේ : මල්වානේ ගේ බැසිල්ගේ පොලිසිය කියලා !

කුප්‍රකට මල්වානේ ඉඩම සහ නිවස තමන්ගේ නොවන බව බැසිල් රාජපක්ෂ ගම්පහ මහ අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර තිබුණද එය බැසිල්ගේම බව දොම්පෙ පොලිස්ථානාධිපතිවරයා පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ලිඛිතව දැනුම්දී ඇති බව වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් අනාවරණයක් ජාතික ජන බලවේගයේ නීතීඥයෝ අද (22) පැවත්වූ මාධ්‍ය හමුවකදී නීතීඥ අකලංක උක්වත්ත විසින් හෙළිකරණු ලැබීය.

ඊට අනුව පසුගිය 10 වෙනිදා දහවල් කාලයේ මල්වානේ නිවසට ගිනිතබා ඇති අතර ඒ පිළිබඳ පොදු දේපල පනත යටතේ කරුණු දක්වා ඇති බවත් එසේම දොම්පෙ පොලිස්ථානාධිපති විසින් මෙම ඉඩම බැසිල් රාජපක්ෂට අයත් එකක් බවත් අධිකරණට වාර්තා කර ඇත.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලීසියේ මෙම පරස්පරවිරෝධී කරුණු දැක්වීම් සහ පොදු දේපල පනත යටතේ කරුණු දැක්වීම් සම්බන්ධයෙන් අප්‍රසාදය පල කර ඇතැයි එම මාධ්‍ය හමුවේදී හෙළිකරණු ලැබීය.

මෙහිදී නීතීඥ අකලංක උක්වත්ත වැඩිදුරටත් මෙසේද පැවසීය .

"ආණ්ඩුව සහ රාජ්‍ය මාධ්‍ය සියල්ල එකතු වෙලා ගෙනයන අසත්‍ය ප්‍රචාර රැසක් තිබෙනවා. මෙම අසත්‍ය ප්‍රචාර තුළම ඇති පරස්පරයන් අපිට පැහැදිලි වෙමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එක් උදාහරණයක් සුප්‍රසිද්ධ මල්වාන නිවාසය සම්බන්ධව ඉදිරිපත් කරන්නම්. ගම්පහ මහාධිකරණයේ විභාග වෙමින් පවතින 26/2017 නඩුවට අදාළ දේපොළ මේ වන විට නඩු භාණ්ඩයක්. 10 වැනිදා දහවල් 1.00 සහ සවස 5.00 අතර තුර මේ දේපළ ගිනිතබා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් බී 58890/2022 යටතේ පූගොඩ අධිකරණයට දොම්පේ පොලිස් ස්ථානාධිපති විසින් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. 12-2 අතර මුල් සිදුවීමත් ඊට පසුව සවස 5.00ට පමණ තුන් සියයක් විතර පිරිස ඇවිත් ඇති බවත් සඳහන් වෙනවා. දොම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත නමැති නිලධාරියා ගරු අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය මම දක්වන්නම්.

“2022.05.10 දින පොලිස් ස්ථානයට 119 මධ්‍යස්ථානය මගින් පැය 12.20ට ලද තොරතුරක් මත මල්වාන ප්‍රදේශයේ ඇති බැසිල් රාජපක්ෂ මහතාගේ නිවසට පිරිසක් පැමිණ දේපළ අලාභහානි කරන ලද බවට” කියලා සඳහන් වෙනවා. මෙච්චර කල් අපි දැනගෙන හිටියේ ඔය ඉඩම බැසිල් රාජපක්ෂ මහත්තයාගේ නොවෙයි කියලා. මොළ හතේ මහත්තයා කීවෙත් එහෙමයි. යුදහමුදා මූලස්ථානයේ සැලසුම අඳින්න දීලා තිබුණ ජයකොඩි කියන මහත්තයාට අයිති ඉඩමක් කියලයි මේ දක්වා කියලා තිබුණේ. දොම්පේ පොලිස් ස්ථානාධිපතිට ඒ බව අමතක වෙනවා. ඇත්ත මතක් වෙනවා. ගරු අධිකරණයට කරුණු වාර්තා කරන්නේ බැසිල් රාජපක්ෂගේ ගෙදරට ගිනි තබලා ඇති බවයි. මෙපමණ කල් කීව කතාව සම්බන්ධයෙන් දොම්පේ පොලිස් ස්ථානාධිපති ගෙනල්ලා ප්‍රශ්න කරන්න බැසිල් රාජපක්ෂට පුළුවන්. මේ නඩු වාර්තාවේ මහේස්ත්‍රාත්තුමා ලබාදී තිබෙන නියෝග මා උපුටා දක්වන්නම්.

“මෙම අපරාධයට අදාළව ගම්පහ මහාධිකරණ නඩු අංක 26/2017 දරන නඩුවට අදාළ නඩු භාණ්ඩයක් වන අදාළ දේපළ ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් දොම්පේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ‘බී’ වාර්තාව සැලකිල්ලට ගැනීමේදී මෙම අපරාධය 2022.05.10 වන දින සිදුවී ඇති බවත්, පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන් පවා මෙම අපරාධය පරීක්ෂා කිරීමට පැමිණ ඇත්තේ ඊට දින දෙකකට පසුව, 2022.05.12 වන දින බව පැහැදිලිව පෙනී යයි. තවද මේ වන තෙක් රජයේ රස පරීක්ෂකවරයා මෙම ස්ථානයට කැඳවීමට නොහැකි වී ඇති බව පෙනේ. පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මේ පිරිස් මෙල්ල කිරීමට වෙඩි උණ්ඩ තුනක් එල්ල කළ බවට ‘බී’ වාර්තාවේ සඳහන් කර ඇති නමුත් ඒ සඳහා උපයෝගී කර ගන්නා ලද ගිනි අවිය නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කිරීම මෙතෙක් සිදුකර නොමැත. තවද මෙම වරද 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහි ලා ගැනෙන පනතේ දෙවැනි වගන්තිය යටතට ගැනෙන වරදක් බවට පැමිණිලිකරු දක්වා ඇත. කෙසේ වුවද මෙම දේපළ මෙතෙක් රාජසන්තක කරන ලද දේපළක් නොවන බවත් ගම්පහ මහාධිකරණ අංක 26/2017 දරන නඩුවේ නඩු භාණ්යක් වන බවත්, ඉදිරිපත් වූ කරුණු අනුව පැහැදිලිව පෙනී යයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා පොදු දේපළ පනතේ ලා සැලකෙන 8වැනි වගන්ති ප්‍රකාරව වාර්තාවක් ඉදිරිපත් කර ඇත. මෙයින් පෙනී යන්නේ සහකාර පොලිස් අධිකාරීවරයාද නිසි විමර්ශනයක් සිදුකොට එම වාර්තාව ඉදිරිපත් කර නොමැති බවයි. මෙම අපරාධය දිවා කාලයේ සිදුකර ඇති අතර, මහාධිකරණයේ නඩු භාණ්ඩයක් වන දේපළක් ආරක්ෂා කර ගැනීමට දොම්පේ ස්ථානාධිපතිවරයාට නොහැකි වීම කනගාටුවට කරුණකි. ඒ අනුව පැහැදිලිව පෙනී යන්නේ මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් දොම්පේ පොලිස් ස්ථානාධිපති විසින් සිදුකිරීම මගින් වැඩි ගැටලුකාරී තත්වයක් මතුවී ඇති බවයි.”

ආහාර අර්බුදයක් ආවොත් - UN FAO සහය සූදානම් : රනිල්ට සහතිකයක් !

අග්‍රාමාත්‍ය ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ පත්වීම සමග මෙරට අර්බුදය විසඳීමට ජාත්‍යන්තර සහයේ කැපීපෙනෙන තත්ත්වයක් පෙන්නුම් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයක් ඇතිවුවහොත් එයින් ගොඩ ඒම සඳහා උදව් කරන බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය (UN FAO) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහතික වී ඇති බව වාර්තා වෙයි .

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම සංවිධානය සමඟ කළ සාකච්ඡාවකින් පසු එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය දැනුම් දී ඇත්තේ ඉදිරියේදී ඇති වන ආහාර අර්බුදයට මුහුණ දීමට ජාත්‍යන්තර සහය ලබා ගැනීම සඳහා උපකාර කිරීමට කටයුතු කරන බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසූයේ රටේ ජනතාවට තුන්වේල කන්නට හැකි පරිසරයක් ඇති කිරීම සඳහා තමා ප්‍රමුඛත්වය ලබා දෙන බවයි.

වෛරය මෙතනින් අවසන් කර අර්බුදය විසඳීමට කැපවෙමු - නිමල් ලන්සා

ප්‍රචණ්ඩත්වයෙන් හා වෛරයෙන් මිදී වැටී ඇති රට ගොඩගැනීමට මිලියන 22 ක ජනතාව එකාමෙන් එකතු විය යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසයි.

නිමල් ලාන්සා මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර සිටියේ ගිනි තබා විනාශ කර දමා තිබු මීගමුව පිහිටි සිය නිවසට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මන්ත්‍රීවරයා මෙසේද පැවසීය ,

"යම් කිසි පිරිසක් සංවිධානාත්මකව තරුණ මනස ප්‍රචණ්ඩත්වයට යොමු කරලා සිද්ධ වුන දෙයක්. මෙවැනි විනාශයක් වෙන්න නම් පෙට්‍රල් බෝම්බ ගහන්න ඕනේ. පෙට්‍රල් බෝම්බ ගහන්න බැහැ සාමන්‍ය අයට. එවැනි දෙයක් කරන්න කලින් සැලසුම් කරලා තියෙන්න ඕනේ.

නිවසක් ගිනි තියෙනවා කියන්නේ බිත්ති හතරකට ගිනි තියනවා විතරක් නෙමේ. පැල්පතක් වේවා, ඕෑනෑම නිවසක් ඉදිකරන්නේ පවුලේ අය එකතුවෙලා ඉතාමත් ආදරයෙන් හදන කැදැල්ලක්. ඒ නිවස තුළ ආදරය, බැදීම, සිහිවටන, ජීවිත කාලයම උපයපු දේවල් මේ හැම දෙයක්ම එක රැයින් විනාශ කරලා තියෙන්නෙ.

මීගමුව විතරක් නෙමේ ලංකාව පුරා හැම වෙලාවෙම කරන්න පුළුවන් හැම උදව්වක්ම කරපු කෙනෙක් හැටියට, ජනතාව එක්ක හිටපු කෙනෙක් විදියට මේ විනාශය දැක්කම හිතට විශාල දුකක් ඇතිවුනා. නමුත් ඒ දුක වේදනාව අවම කරගන්න ඕනේ. මොකද අපි ඉපදෙනකොට මුකුත් අරන් එන්නෙත් නැහැ, මැරෙනකොට මුකුත් අරන් යන්නෙත් නැහැ. ඒ සත්‍ය අපි දන්නවා. සියලුම දේවල් විනාශ වෙලා ඉවරයි. මේ සිද්ධිය වුන දවසේ ඉදන් විශාල පිරිසක් ලංකාවේ වගේම, ලංකාවෙන් බැහැර පිරිස කතා කරලා ශක්තිය, ධෛර්යය ලබාදීම පිළිබඳව ඒ සියලු දෙනාට ස්තූති කරනවා.

වෛරය මෙතනින් අවසන් කරමු !

කාට හරි වෛරයක් තිබුණ නම් අපේ දේවල් විනාශ කරන්න මේ සිද්ධියෙන් පසු ඒ වෛරය අවසන් කර ගත්තොත් හොදයි. මොකද මේ වෛරය තවත් කෙනෙක්ගේ ජීවිත හානි කරන්න, දේපල විනාශ කරන්න, මංකොල්ලකන්න මේක යොදා ගන්න එපා. මේ වෛරය මෙතනින් අවසන් කරන්න. වෛරයෙන් සිදුවන්නේ රටක් විනාශ වෙන එක. ජනතාවගේ ජීවිත, දේපල විනාශ වෙන එක.

අපි සියලු දෙනා එකතුවෙලා මේ රට ගොඩනගන්න ඕනේ. රටේ ආර්ථිකය වැටිලා තියෙන්නේ. ආර්ථිකය ගොඩගන්න නම් සියලු දෙනා එකතු වෙන්න ඕනේ. අපේ රටේ ආර්ථිකය වැටිලා කියලා ලෝකය පිළිඅරන් තියෙනවා. ඒ නිසා ලෝකයේ රටවල්, විවිධ සංවිධාන අපට උදව් කරනවා. හැබැයි ලංකාවේ සමහර අය මේක තේරුම් අරන් නැහැ. ඉන්දියාවේ ජනතාව ඒ අයගේ ආධාර අපේ රටට එවනවා. ඒ රටවල මිනිස්සු ඒක තෙරුම් අරන් තියෙනවා. හැබැයි අපේ රටේ මිනිස්සු ඒක තේරුම් අරන් නැති නිසා තමා අරගල කරන්නේ. උද්ඝෝෂණ කරන්නේ, පාරවල් වහලා ජනතාවට ප්‍රශ්න ඇති වන විදියට කටයුතු කරන්නේ.

රට සාමාන්‍ය වාතාවරණයට ගේමු !

අපිට තනියම මේක ගොඩගන්න බැහැ. අපි සියලු දෙනා එකතුවෙලා ගොඩගන්න ඕනේ. මොකද අපිට තියෙන්නෙ විදේශ විනිමය පිළිබද ගැටලුවක්. විදේශ විනිමය ලැබෙන්න නම් ආයෝජකයෝ එන්න ඕනේ. සංචාරකයෝ එන්න ඕනේ. ඒ සඳහා රටේ සාමාන්‍ය වාතාවරණයක් තියෙන්න ඕනේ. මගේ දේවල් විනාශ වුනත් ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙ අපි සියලු දෙනා එකතුවලා එකා මෙන් දුක් විදින ජනතාවගේ ගැටලු විසදන්න කටයුතු කරන්න කියලා.

මේ සිද්ධියෙදි දැකපු බරපතලම සිදුවීම තමා පෙට්‍රල් බෝම්බ ගහලා තියෙනවා. මේක සැලසුම් සහගතව එක රැයින් සිදුකරලා තියෙන්නෙ. ලෝකයේ ඕනෑම තැනක මංකොල්ලකෑම් සිදුවන්නේ කෙටි කාලයක් තුළ. හැබැයි පැය 24 පුරා සියලුම ඇණ මුරුච්චි පවා ගලවාගෙන ගිහින් තියෙනවා. සියලු දෑ අරන් ගිහින් තයෙනවා. මේක මංකොල්ලයක්. ත්‍රස්තවාදී සංවිධානයක් ක්‍රියාත්මක වන ආකාරයට ක්‍රියාත්මක වූ යම් පිරිසක් තමයි මේ කටයුත්ත කරලා තියෙන්නෙ. ඒක අපට පේනවා. දැකපු අය මේක අපට කීවා. cctv කැමරාවල පටිගත නොවෙන විදියට, විදුලි සැපයුම විසන්ධි කරලා, වටිනා දේවල් මංකොල්ල කාලා තියෙනවා. ඒවා සැලසුම් සහගතව සිද්ධ වෙච්ච දේවල්.

තාරුණ්‍යය ප්‍රචණ්ඩත්වයට යොමු වෙන්න ඉඩ දෙන්න එපා !

අවුරුදු 18 - 23 තරුණ ළමයි ලංකාව පුරා මේ දේවල් වලට පෙළඹිලා තියෙන්නෙ. මේ අයගේ මනස විකෘති කරලා තියෙනවා යම් කිසි සංවිධානයක්. යම් කණ්ඩායමක්. අතිගරු ජනාධිපති, ගරු අග්‍රාමාත්‍යතුමාගන්, ආගමික නායකයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ තරුණ මනස ප්‍රචණ්ඩත්වයට යොමු වෙන්න දෙන්න එපා. තරුණ අයට ඒක තේරෙන්නේ නැහැ. ඒනිසා තරුණ ප්‍රජාව ගලවා ගැනීම සඳහා යම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න වෙයි. තරුණ සිත් කවුරු හරි නොමග යවලා තියෙනවා. තරුණ සිත්වලට වෛරය වපුරලා තියෙනවා. තරුණ සිත්වලට ඊර්ෂ්‍යාව වපුරලා තියෙනවා. ඒ නිසා අපි උත්සහ කරන්න ඕනේ තරුණයින් එයින් මුදාගන්න. ඒ සඳහා අපි සියලු දෙනාට ලොකු වගකීමක් තියෙනවා.

පාර්ලිමේන්තුවේ හිටපු අහිංසකම මන්ත්‍රීවරයා අමරකීර්ති අතුකෝරාල මහතා. එතුමාව ඝාතනය කරලා ඇදගෙනයන ජායාරූප, වීඩියෝ දැක්කම රටේ මිනිස්සුද මේක කරන්නේ කියලා හිතුනා. ඒවා නොවෙන්න ජතාවගේ මනස හදන්න ඕනේ. අපේ රට සාමකාමී රටක්. අපි සියලු දෙනා එකතුවෙලා රට ගොඩගන්න කටයුතු කරන්න ඕනේ.

මේ සිද්ධිවලට මේ අවස්ථාවේ කිසිදු කෙනෙකුට ඇගිල්ල දික් කරන්න යන්නෙ නැහැ. පොලිසීය, නීතී අංශ, ආරක්ෂක අංශ සොයාගෙන යනවා සිද්ධිය පිටිපස්සේ ඉන්නෙ කවුද කියලා. හැබැයි යම් කිසි සංවිධායක් සිටිය යුතුමයි. මොකද මේක සැලසුම් සහගතව සිදුවුනු දෙයක් කියලා තමා දැකපු අය පවා කියන්නේ. සාමාන්‍ය අය පෙට්‍රල් බෝම්බ ගෙනල්ලා ගහන්නේ නැහැ කාමරෙන් කාමරේට. මංකොල්ල කන්නේ නැහැ මේ විදියට. සාමාන්‍ය මිනිස්සුන්ට මේ දේවල් කරන්න බැහැ. යම් කිසි සංවිධානයක් ඉන්නවා. ඒ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් හා සමානව තරුණ අයගේ මනස විකෘති කරලා තියෙනවා. ඒනිසා අපිට වගකීමක් තියෙනවා මේ තරුණ ප්‍රජාව බේරගන්න.

පාස්කු ප්‍රහාරයේදීත් මනස විකෘති කරලා ඒ අය මරාගෙන මැරුණේ. කතෝලික මිනිස්සු මැරෙන්න කටයුතු කළේ ඒ අය. මනස විකෘති කරලා තියෙන තරුණ ප්‍රජාව බේරගෙන යම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අපි සියලු දෙනාට වගකීමක් තියෙනවා.මේ විනාශයන්ට, මේ මංකොල්ලකෑමට සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලා සිටිනවා. කමිටුවක් දාන්න කියලා. සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා හැර වෙනත් කිසිම දෙයක් අපි ඉල්ලලා නැහැ.

පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්න වෙන්නේ ව්‍යවස්ථානූකූලව. පාරේ කරන අරගලය පාර්ලිමේන්තුව තුළ කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ වැඩකරන ක්‍රමවේදයක් තියෙනවා.

පාර වහලා අර්බුදය විසඳීමට බෑ !

ඔය විනාශයන් කරපු අයගෙන් මම ඉල්ලා සිටිනවා නැවත සිතා බලන්න. ඔබලාගේ ගේ විනාශ කළොත්, මංකොල්ල කෑවොත් එයාලට දැනෙන හැගීම මොකක්ද?. ඒ නිසා මේ ප්‍රශ්න ව්‍යවස්ථානූකූලව විසදන්න ජනතාව අවස්ථාවක් දෙන්න ඕනේ. පාර වහලා, දුම්රිය මාර්ග වහලා මේක විසදන්න බැහැ. එහෙම ගියොත් රට තවත් අන්ත අසරණ වෙනවා. මේ රට ගොඩගන්න සාමාකාමී වෙන්න ඕනේ. 225 ට බැනලා වැඩක් නැහැ. සියලු දෙනා එකතු වෙන්න ඕනේ. වැටිලා තියෙන රට ගොඩගන්න අපි උත්සහ කරමු.

රට ගොඩනගන්න පුළුවන්. රට ගොඩනගන්න නම් මිලියන 22 ක් ජනතාව එකතු වෙන්න ඕනේ. මට විතරක් රට ගොඩනගන්න බැහැ. එකතු වෙන්නෙ නැතිව කකුලෙන් අදිනවනම්, වට්ටන්න හදනවනම්, උදේ ඉදන් ලියන්නේ නරක අදහස්නම් රට ගොඩගන්න බැහැ. රට ගොඩගන්න අලුත් අගැතිතුමාට, කැබිනට් මණ්ඩලයට කොන්දේසි විරහිතව උදව් කරන්න. ඉන්දියාවේ දුප්පත් මිනිස්සු, අපිට වඩා දුප්පත් මිනිස්සු එකතු කරපු ආධාර අද අපිට එවනවා. අපේ රටේ මිනිස්සු මේකට දායකත්වය දක්වන්න ඕනේ. මගේ අදහස රටේ ජනතාවගෙ ගැටලු විසදන්න අපි සියලු දෙනා කැපකරන්න ඕනේ. රට ගොඩනගන්න කොන්දේසි විරහිතව සහය දෙනවා. ඒ වගේම සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටිනවා කොන්දේසි විරහිතව අඩුම අවුරුද්දක් සහය දක්වන්න කියලා. වැටිලා තියෙන රට ගොඩගන්න. කාට කාටත් ඇගිල්ල දික් කරන්න පුළුවන්. දොස් කියන්න පුළුවන්. බනින්න පුළුවන්. හැබැයි තමන්ගෙ වගකීම ඉටු කරන්න.

අරගලය වුනත් ව්‍යවස්ථානූකූලව, ප්‍රජාතන්වාදීව කරන්න කියලා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් ව්‍යාපාරික ස්ථාන ගිනි තිබ්මම, මංකොල්ල කෑමෙන් මොකද වුනේ. ඒ අයගේ රැකියා නැතිවෙලා. මීගමුව විතරක් රැකියා 1500 ක් විතර නැතිවෙලා. ඒ අයට, ඒ අයගෙන් යැපෙන අයට කන්න දෙන්නෙ කවුද?

සිසේරියන් සැත්කමක් කර මහන්න නූලුත් හිඟයි - වෛද්‍ය ජයරුවන්

අද වන විට මෙරට රෝහල්වල වෛද්‍ය උපකරණ සහ ඖෂධවල දැඩි හිගයක් පවතින බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි .

එහි ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ප්‍රකාශ කරන්නේ ඇතැම් රෝහල්වල සිසේරියන් සැත්කම් කිරීමේ දී අවශ්‍ය වන මැහුම් ද්‍රව්‍ය පවා හිග තාවයක් ඇතිවී තිබෙන බවයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

එහිදී වෛද්‍යවරයා පවසා සිටියේ රෝගීන් ට අවශ්‍ය බොහෝ ද්‍රව්‍ය වෙළඳපළින් සොයාගෙන එන්නැයි රෝහල් විසින් දැනුම් දෙන බවය.

අද වන විට රටේ බොහෝ රෝහල් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යන්නේ රෝගීන්ගේ හා පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත බවද ඔහු සඳහන් කළේය.

ගෑස් සඳහා මිල සූත්‍රයක් : කෝප් කමිටුවේ නිර්දේශයක් !

පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා ගෑස් මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) විසින් ලිට්‍රෝ සමාගමේ නිලධාරීන්ට නිර්දේශ කර ඇත .

ලෝක වෙළෙදපොළේ ගෑස් මිලට සාපේක්ෂව මෙරට ගෑස් මිල ඉහළ දැමුවද එම වෙළෙදපොළේ මිල අඩුවීමේදී එහි වාසිය පාරිභෝගියාට නොලැබෙන බවත් කෝප් කමිටුව එහිදී පෙන්වාදී තිබේ.

පාරිභෝගිකයන්ට මෙන්ම ගෑස් සමාගමේ පැවැත්මටද අතිශය වැදගත් බැවින් මිලසූත්‍රයක් කඩිනමින් හඳුන්වාදීම වැදගත් බව ලිට්‍රෝ සමාගමේ ප්‍රධානීන් ද එහිදී පිළිගෙන ඇත.

එසේම වත්මන් අර්බුදය පැවති ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා සිදුවූවක් බව ලිට්‍රෝ සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් පැවසීමත් විශේෂය.

අනවසර ඉන්ධන ගබඩාවලට වැඩ වරදියි !

අනවසරයෙන් ඉන්ධන ගබඩා කරන ස්ථාන සහ පුද්ගලයන් සොයා සිදු කරන වැටලීම් හෙට (22) සිට දැඩි කරන බව පොලිසිය පවසයි.

ඇතැම් පිරිස් නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස් කර පසුව ඒවා ඉහල මිල ගණන්වලට අලෙවි කරන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි .

මේ අතර ඉන්ධන සපයන බවුසර් රථ සඳහා බාධා කිරීම හෝ කඩාකප්පල් ක්‍රියා සිදුකළොත්, ඊට අදාළ ඉන්ධන පිරවුම් හල් සඳහා ඉන්ධන නිකුත් නොකරන බව විෂය භාර අමාත්‍යවරයා පවසයි .

21 ගෙනාවොත් බැසිල් එළියට විසිවෙයි : බැසිල් රැකුණොත් ආණ්ඩුව ඉවරයි !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය හේතුවෙන් හිටපු මුදල් අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ගේ ධූරය අහිමිවීමේ පැහැදිලි අවධානමක් ඇති බව දේශපාලන විචාරකයන් පවසයි .

ඔවුන් මෙසේ සඳහන් කරන්නේ , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය කෙටුම්පත් කර අවසන් බවත්, සඳුදා එය අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සිදුකර ඇති ප්‍රකාශය පදනම් කරගෙන ය.

අමාත්‍ය මණ්ඩලය අනුමත කළ වහාම එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමේ කටයුත්ත සිදුකරන බවත් ඇමතිවරයා සඳහන් කර ඇත .

ඇමතිවරයා මේ බව පැවසුවේ අමාත්‍ය ධුරය භාර ගැනීමෙන් පසු ඊයේ (20) පස්වරුවේ මාධ්‍ය අමතමිනි.

ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් එළියට !

ද්විත්ව පුරවැසියන්ව පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම මෙම සංශෝධනය ගෙනඒමේ එක් පරමාර්ථයක් බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේය.

ඇමතිවරයා එහිදී මෙසේද පැවසුවේය.

'' මෙහිදී අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ වෙනස්කම් සිද්ධ කළේ ජනමත විචාරණයකට නොගිහින් කරන්න පුලුවන් සංශෝධන පමණයි. අපි මේ හදිසි අවශ්‍යතාවය නිසා ඒ ප්‍රමාණයට අවශ්‍ය සංශෝධන කරනවා. ''

'' නමුත් අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා දැනට පසුගිය පාර්ලිමේන්තු කාලයේ පාර්ලිමේන්තු සභාවක් විදිහට එකතු වෙලා හදපු ව්‍යවස්ථා ප්‍රතිපාදන පිළිබඳ යෝජනා තියනවා. ''

''වර්තමාන ජනාධිපතිතුමා බලයට පත් වුනාට පස්සේ එතුමා පත් කරපු විශේෂඥ කමිටුවක කෙටුම්පතක් තියනවා.''

''මේ රටේ උතුරු නැගෙනහිර ජනතාව කරන ලොකු චෝදනාවක් තියනවා මේ බලතල බෙදීම සම්බන්ධව. ඒ සෑම පාර්ශවයක් එක්කම සාකච්ඡා කරලා සම්මුතිකවාදී විදිහට ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා.''

බැසිල්ට සහනයක් දුන්නොත් ආණ්ඩුවේ ඉදිරිය අවධානමේ !

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ , යම් ආකාරයකට ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂ ට යෝජිත ව්‍යවස්ථා සංශෝධනය හරහා සහනයක් ලැබුණොත් එය ආණ්ඩුවේ දේශපාලන අනාගතයට ඉතාම නරක ආකාරයට බලපෑමක් එල්ල කරනු ඇති බවයි.

විශේෂයෙන් අග්‍රාමාත්‍ය ලෙස රනිල් වික්‍රමසිංහ පත්වූයේ රාජපක්ෂවරුන් ගේ ආරක්ෂාව වෙනුවෙන් බවට දැඩි විවේචනයක් විපක්ෂය විසින් ගොඩනගමින් සිටින බවත් , යම් ආකාරයකට 21 වන සංශෝධනය හරහා බැසිල් රාජපක්ෂ වෙත සහනයක් ලැබුණහොත් එකී විවේචනය ශක්තිමත් වන බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

සජිතුත් වගකියන්න ඕන !

කෙසේ වුවත් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ ප්‍රබල නියෝජනයක් කැබිනට් මණ්ඩලය වෙත ලබාදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කළා නම් මෙවැනි අභියෝගයක් ආණ්ඩුව වෙත නොපැමිණෙන බවද දේශපාලන විචාරකයන් පවසයි .

කෙසේ වුවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ "රනිල් වෛරය " රටේ අර්බුදයට වඩා වැදගත් වී ඇති බැවින් , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ කැබිනට් මණ්ඩලයට පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන් වැඩි පිරිසක් පත්වීමට අවස්ථාව නිර්මාණය වී ඇති බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

එබැවින් නිවැරදි ප්‍රතිපත්තිය විය යුතුව තිබුණේ , සමගි ජනබලවේගය පක්ෂය මුළුමනින්ම ආණ්ඩුවට එකතු නොවූවත් එහි මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකිරීම බවත් ඔවුන් පවසයි .

කෙසේ වුවත් මතුව ඇති අලුත් දේශපාලන සන්ධර්භය නිවැරදි ලෙස ග්‍රහණය කරගන්නට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අසමත්වීම හමුවේ ,

පොලිස්පති ඇතුළු ප්‍රධානීන්ගෙන් : CID ය ප්‍රශ්න කරලා !

අරලියගහ මන්දිරය අසල මයිනාගෝගම ට සහ ගාලුමෝදර දී ගෝඨාගෝගම ට පසුගිය (9) දා එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වෙයි .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර තිබූ දැනුම්දීමකට අනුව පොලිස්පති වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පස්වරු 2.30 ට පමණ පැමිණ ඇති බවත් වාර්තා වෙයි .

පොලිස්පතිවරයාට අමතරව විශේෂ බළකායේ අණදෙන නිලධාරිවරයා සහ, පොලිස් විශේෂ කාර්ය අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අතර ඔවුන්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇති බවත් දැනගන්නට ඇත .

ගාලුමුවදොර අරගලකරුවන්ට ඉකුත් 09 වෙනිදා පහරදුන් පිරිසට නිදහසේ එහි පැමිණිමට ඉඩ ලැබීම, පිරිස විසුරුවා හැරීමට ගත් උත්සාහයක් වැලැක්වීම, සම්බන්ධයෙන් මේ ප්‍රකාශ ගෙන ඇති බවත් වාර්තා වෙයි .

මේ අතර මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ අරලිය ගහ මන්දිරයේ රැස්වූ පොදුජන පෙරමුණේ මැරයන් ගාළුපාර ඔස්සේ අරගල බිමට යාමට නිදහස දුන්නේ පොලිස්පති සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගේ උපදෙස් මත බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශයක් ලබාදී ඇති බව ය.

මහ බැංකුව වෙනුවට මුදල් මණ්ඩලයක් ?

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණ මංචකයට වැටී ඇති බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව මහාචාර්ය ස්ටීව් හෑන්ක් පවසයි.

සිය ට්ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත .

ශ්‍රී ලංකාව ප්‍රථම වරට ණය ගෙවීම් පැහැර හැර ඇති බවත් මේ වසර තුල පමණක් ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 50%කින් අවප්‍රමාණය වී ඇති බවත් ඔහු පවසයි.

ශ්‍රී ලංකා ආර්ථිකය මරණයෙන් බේරා ගැනීමට නම් මහ බැංකුව අහෝසි කර මුදල් මණ්ඩලයක් ස්ථාපනය කළ යුතු බවද හෙතෙම කියයි.

steven h

 

හදිසි නීතිය අහෝසි වෙයි..

රට පුරා ක්‍රියාත්මක හදිසි නීතිය ඊයේ (20) රාත්‍රියෙන් අහෝසි වී තිබේ.

ආණ්ඩුව හදිසි නීතිය පැනවූවේ 2022 මැයි 06 වන දිනයි. එදින හදිසි නීතිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරුණි.

නීති විශාරදයකු වන මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා adaderana.lk වෙත පවසා ඇත්තේ, පාර්ලිමේන්තුවෙන් සම්මත කර නොගැනීම හේතුවෙන් එය දින 14කදී අහෝසි වන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 (4) (i) (ii) වගන්තිය අනුව, හදිසි නිතිය පනවා දින 10 ක් තුල, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. එසේ නොවන විට, දින 14 ක් තුල හදිසි නීතිය ඉබේම අහෝසි වී යයි.

ගෝඨාභය ජනාධිපතිවරයා මෙයට පෙර 2022 අප්‍රේල් 1 දා, හදිසි නීතිය පැනවීය. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඩී බිදී යාම වලක්වා ගැනීමටය. අප්‍රේල් 5 දින එය ඉවත් කරනු ලැබූවේ පාර්ලිමේන්තුව තුල එය සම්මත කර ගත නොහැකි බව ස්ථිර වූ පසුය.

මෙවර හදිසි නීතිය පැනවුයේ, දුෂිත හා මැර දේශපාලනඥයින්ගේ දේපල ආරක්ෂාකර ගැනීමට සහ රාජපක්ෂ පවුල ආරක්ෂා කර ගැනීමට බව හිටපු ආණ්ඩුකාරවරයකු වන 'ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය' විධායක අධ්‍යක්ෂ, රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

හරීන්ට සහ මනූෂට සජබ දොර වසයි !

අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු ගේ සහ මනූෂ නානායක්කාර ගේ සමගි ජනබලවේගය පක්ෂයේ සාමාජිකත්වය අත්හිටුවා ඇති බව වාර්තා වෙයි .

ඔවුන් අද (20) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුවේ අමාත්‍ය ධූර ලබාගත් නිසා මේ තීන්දුව ගෙන ඇත.

තම පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාද අද පාර්ලිමේන්තුවේදී පැවසීය .

කෙසේ වුවත් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා සිටියේ සමගි ජනබලවේගය පක්ෂය තමන්ට විනය පියවර ගත්තත් අමනාපයක් නැති බවත් තමන් සහ මනූෂ ආණ්ඩුවට එක්වුණේ, වත්මන් දරුණු අර්බුදය සමනය කරගන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගනු ලබන ප්‍රයත්නයට සහය දීමට බවයි.

ලංකාට ණය සහන දෙන්න G7 සමුළුවේ සහය : ජපානයෙන් ඩො.මි.1.5 ක ප්‍රදානයක් !

ශ්‍රී ලංකාවට ණය සහන ලබා දීමේ ප්‍රයත්නයන්ට සහාය වන බව 'ජී7' සමුළුවේදී සාමාජික රටවල මුදල් අමාත්‍යවරුන් ප්‍රකාශ කර ඇත .

ඒ ඊයේ (19) ජර්මනියේ ඊයේ (19) පැවති 'ජී7' සමුළු රැස්වීමේදී ප්‍රකාශයක් නිකුත්කරමින් ය.

"ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට දීර්ඝ කාලීන විසඳුමක් සෙවීමට 'ජී7' රටවල් කැපවී සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගැනීම සඳහා ඵලදායි ලෙස සාකච්ඡා කරන ලෙසත්" 'ජී7' සාමාජික රටවල් අදාළ ප්‍රකාශය නිකුත් කරමින් වැඩිදුරටත් දන්වා ඇත .

මේ අතර සහන කාලය අවසන් වූ බැඳුම්කර දෙකක් සඳහා පොලී ගෙවීමට අපොහොසත් වීමත් සමග නිල වශයෙන් විදේශ ණය ගෙවීම පැහැර හරින ලද රටක් බවට ලංකාව පත්ව තිබේ.

ජපානයෙන් ඩොලර් මිලියන 1.5 ක ප්‍රදානයක් !

මේ අතර ආර්ථික අර්බුදයට සහන සැලසීම සඳහා ජපාන රජය ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 1.5ක අත්‍යාවශ්‍ය ආහාර තොගයක් ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජපාන තනාපති කාර්යාලය සඳහන් කරන ආකාරයට සහල්,පරිප්පු සහ තෙල් එම ආධාර තොගයට අයත්ව ඇත .

පාසල් ළමයින්ගේ දිවා ආහාර වාඩසටහනකට අවශ්‍ය සහල් මිලදී ගැනීම සඳහා ලෝක ආහාර වැඩපිළිවෙළ යටතේ මෙම ආධාර හිමිවන බව ද එම තානාපති කාර්යාලය සඳහන් කරයි.

තවද අවධානමට ලක්ව සිටින පවුල් සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් ලබාදීමට ද මෙම ආධාර යටතේ කටයුතු කරන බව ද ජපාන නානපති කාර්යාලය සඳහන් කරයි.

පසුගිය පොදුජන පෙරමුණ ආණ්ඩුව සමයේ රාජතාන්ත්‍රික දුර්වලතා හේතුවෙන් ජපන් ආධාර කිසිවක් නොලැබුණු නමින් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්වීම සමග මේ ආධාර ලැබීම විශේෂත්වයක් බව දේශපාලන විචාරකයන් පවසයි .

ඇමති ධූර ගත්තේ පක්ෂ තීන්දුවට පටහැනිව : ඒත් සහය දෙනවා - මෛත්‍රී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් නව රජයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නේ පක්ෂ තීන්දුවට පටහැනි ලෙස යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි .

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කර සිටියේ අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඇමතිකම් ලබා ගැනීම පිළිබඳ තීන්දුවක් ගත්තේ නැතැයි ද අමාත්‍යධූර තනතුරු ගැනීම අවශ්‍ය නැති අතර රජයට අවශ්‍ය සහාය දෙන බව මධ්‍යම කාරක සභාවේ දී තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වුවත් ජනතාව දැන් බඩගින්නේ දුක් දුක්විඳිමින් සිටින අතර රට ගොඩ ගොඩනැගීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ කාර්යක්ශම කිරීම අවශ්‍ය වී ඇති හෙයින් රට වෙනුවෙන් අවශ්‍ය සහාය දෙන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

Page 249 of 386