V2025

පුවත්

හැමෝම අගමැති ධූරය මඟහැරියේ ඇයි : රනිල් ඇත්ත හෙළිකරයි !

"මම ජනතාවට කරුණු සඟවා බොරු කීමට කිසිසේත්ම කැමති නෑ. භයානක වූවත් අප්‍රසන්න වූවත් මේකයි ඇත්ත තත්ත්වය. කෙටි කාලීනව අප මුහුණ දෙන්න යන්නේ ගෙවූ කාලයටත් වඩා දුෂ්කරම කාලයකට. මේ වෙලාවේ අපට තිබෙන්නේ දුක් කම්කටොලු විතරයි." යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ රටේ වත්මන් අර්බුදයේ සැබෑ ස්වරූපය අද (16) විශේෂ ප්‍රකාශයක් කරමින් රට හමුවේ තබමිනි.

2019 ආණ්ඩුව බාරදෙන අවස්ථාවේ ඩොලර් බිලියන 7.5 ක් තිබුණත් මේ වන විට ඩොලර් මිලියනයක් හෝ සොයා ගැනීමට මහා භාණ්ඩාගාරයට හැකියාවක් නැති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය .

එසේම මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14 ක හිඟයක් පවතී. ජලභීතිකාව සඳහා විකල්ප ඖෂධයක් හෝ නොමැති බවත් ඔහු පවසයි .

කෙසේ වුවත් මේ වන විට මිත්‍ර රටවල් අර්බුදය සමනය කරගන්නට උදව් කිරීමට පොරොන්දු වී ඇති බවත් ඒ අනුව "මේ තත්ත්වය කෙටි කාලීනයි. " යනුවෙන්ද අග්‍රාමාත්‍යවරයා පැවසීය .

මෙහිදී ආර්ථිකයට මහත් බරක්ව ඇති ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පෞද්ගලීකකරණය කිරීමට ද අග්‍රාමාත්‍යවරයා ප්‍රසිද්ධියේ යෝජනා කිරීමත් සිදුවිය.

එසේම බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ අයවැය වෙනුවට සහන අයවැයක් ද අග්‍රාමාත්‍යවරයා යෝජනා කර සිටියේ ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වෙයි .

මට ලැබුණු ආරාධනය පිළිගත්තේ !

පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා විසින් මෙම ධූරය භාරගැනීමට ම‌ට ආරාධනා කළා. මම දේශපාලන නායකයෙකු වශයෙන් පමණක් නොව නිදහස් අධ්‍යාපනය බුක්ති විඳලා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඉහළට ගිය ජාතික නායකයෙකු වශයෙනුයි මෙම වගකීම භාර ගත්තේ.

 මේ මොහොතේ ලංකාවේ ආර්ථිකය ඉතාමත් දරුණු තැනකයි තියෙන්නේ. 2022 ආරම්භයේ දී පසුගිය රජයේ අයවැයෙන් රුපියල් ට්‍රිලියන 2.3ක ආදායමක් ඇති බවට පෙන්නුම් කළත් මේ වසර සඳහා සැබෑ ආදායම් අනාවැකිය වන්නේ රුපියල් ට්‍රිලියන 1.6 ක්.

 2022 වසර සඳහා රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.3 ක්. කෙසේ වෙතත් පසුගිය රජයේ පොළි අනුපාත වැඩිවීම් සහ අතිරේක වියදම් හේතුවෙන් 2022 වසර සඳහා රජයේ සමස්ථ වියදම රුපියල් ට්‍රිලියන 04 කි. වර්ෂය සඳහා අයවැය හිඟය රුපියල් ට්‍රිලියන 2.4 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 13 කි.

 ඒ වගේම අනුමත ණය සීමාව රුපියල් බිලියන 3200 ක්. අපි මැයි මාසයේ දෙවන සතිය වන විට රුපියල් බිලියන 1950ක් වියදම් කරලා. ඒ අනුව දළ ඉතිරිය රුපියල් බිලියන 1250ක්. අපි ඊයේ කැබිනට් මණ්ඩලයේ දී තීරණයක් ගත්තා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව බිලියන 3000 සිට 4000 දක්වා වැඩි කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්න.

 2019 නොවැම්බර් මාසයේ දී අපේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් තිබුනා. නමුත් අද භාණ්ඩාගාරයට ඩොලර් මිලියනයක්වත් සොයාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා. ගෑස් නැව්ගත කිරීම සඳහා ගෙවීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 05ක් වත් මේ වෙලාවේ මුදල් අමාත්‍යාංශයට සොයා දීමට හැකියාවක් නෑ.

 මේ සියලු අර්බුද අතර අපි මුහුණ දෙන බැරෑරුම් ම ගැටලු කිහිපයක් තියනවා. ඉදිරි දින කිහිපයේ දී පෝළිම් පාලනය කිරීම සඳහා ඉතාමත් කඩිනමින් ඇමරිකානු ඩොලර් මිලියන 75ක් පමණ සොයාගත යුතුව තිබෙනවා.

මේ වන විට අප සතුව පෙට්‍රල් තිබෙන්නේ එක් දිනකට පමණයි.

 ඊයේ පැමිණි ඩීසල් නෞකාව නිසා ඔබගේ ඩීසල් ප්‍රශ්නයට අද සිට යම් සහනයක් ලැබේවි. ඉන්දියානු ණය ආධාර වැඩපිළිවෙල යටතේ මැයි 19 සහ ජුනි 01 දින තවත් ඩීසල් නෞකා දෙකක් සහ මැයි 18 සහ මැයි 29 පෙට්‍රල් නෞකා දෙකක් පැමිණීමට නියමිතව තිබෙනවා. අදට දින 40කට වැඩි කාලයක සිට ලංකාවේ මුහුදු සීමාවේ පෙට්‍රල්, බොර තෙල් සහ දැවි තෙල් නෞකා 03ක් නවතා තිබෙනවා. ඒ සඳහා මුදල් ගෙවීමට විවෘත වෙළඳපොලෙන් ඩොලර් ලබාගන්න කටයුතු කරනවා .

විදුලි අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් උත්පාදනය සඳහා යොදාගන්නෙත් ඉන්ධන.

මේ නිසා දෛනික විදුලි කප්පාදුව තව ටික දවසකින් පැය 15ක් වීමටත් ඉඩ තිබෙනවා. නමුත් අපි මේ සඳහා දැනටමත් අවශ්‍ය මුදල් සොයාගෙන ති‌යෙන්නෙ. එමෙන්ම යම් පමණකින් හෝ පාරිභෝගිකයන්ට ගෑස් ලබාදීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ඉතාමත් ඉක්මනින් සොයගත යුතුයි. භූමිතෙල් සහ දැවි තෙල් සම්බන්ධයෙන් පවතින තත්ත්වය මෙයටත් වඩා භයානකයි.

මේ මොහොත වන විට ශ්‍රී ලංකා මහ බැංකුව, දේශීය රාජ්‍ය හා පෞද්ගලික බැංකු, ලංකාවේ තිබෙන විදේශ බැංකු සියල්ලම ඩොලර් නොමැති වීමේ ගැටලුවට මුහුණ දීලයි ඉන්නේ.

අප සතුව තිබෙන ඩොලර් ප්‍රමාණය ඉතාමත් කුඩා අගයක් ගන්නා බව මේ වන විටත් ඔබ දන්නවා. නමුත් මෙම සියලු දුෂ්කරතා හමුවේ අප ඊයේ ලංකාවට ඩිසල් රැගත් නෞකාවක් ගෙන්වා ගත්තා. ඒ‌ නිසා අද සිට ඔබට එම ඩීසල් ලබාගැනීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා අපට ඉන්දියාවේ සහයෝගය ලැබුණා. ඒ වගේම අඟහරුවාදා වන විට පැමිණ තිබෙන ගෑස් නෞකාවට මුදල් ගෙවීමට අපි කටයුතු කරනවා. ඒ තුළින් ඔබගේ ගෑස් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබේවි.

මේ අතර, තවත් උදාහරණයක් වන්නේ ඖෂධ හිඟයයි. හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක දැඩි හිඟයක් දැන් පවතිනවා. ඖෂධ, ශල්‍ය උපකරණ සහ රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස 04කින් ගෙවීම් කර නැහැ. ඔවුන්ට ගෙවන්න තියන හිඟ මුදල රුපියල් බිලියන 34ක්. ඒ වගේම රාජ්‍ය ඖෂධ සංස්ථාව ආනයනය කළ ඖෂධවලට මාස 04කින් ගෙවීම් කරල නෑ. ඒ නිසා ඔවුන්ව අසාදු ලේඛනගත කිරීමට විදේශ ඖෂධ සමාගම් කටයුතු කරමින් සිටිනවා.

කණගාටුම කාරණය තමයි අත්‍යවශ්‍ය ඖෂධ 14ක් හිඟ වී තිබීමත්, ඉන් දෙකක්වත් සැපයීමට අපගේ වෛද්‍ය සැපයුම් අංශයට මේ මොහොතේ හැකියාවක් නොමැති වීම. එම ඖෂධ දෙක වන්නේ හෘද රෝගවලට භාවිත කරන ඖෂධයක් සහ ප්‍රතිජලභීතිකා ඖෂධයක්. හැබැයි ප්‍රතිජලභීතිකා ඖෂධය සඳහා විකල්ප ඖෂධයක්වත් නෑ.

 මේ අතර 2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට අලුත් අයවැයක් ඉදිරිපත් කරන්න සැලසුම් කරල තිබෙනවා. එය සහන අයවැයක් ලෙස ඉදිරිපත් කරන්නයි මගේ සැලසුම.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෞද්ගලීකකරණය කරමු !

ඒ වගේම මේ වන විට දැඩි ලෙස අලාබ ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකකරණය කිරීමට මම යෝජනා කරනවා. 2020 - 2021වර්ෂයේ පමණක් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 45ක්. 2021මාර්තු 31 වන විට මෙහි සමස්ත පාඩුව බිලියන 372ක්. අප මෙය පුද්ගලීකකරණය කළත් මේ පාඩුව අපට දරන්න ම වෙනවා. මේ පාඩුව ජීවිතයටවත් ගුවන් යානයකට පය ගසා නැති මේ රටේ දුගී දුප්පත් අහිංසක මිනිස්සුන්ට විඳින්න වී ඇති බව ඔබ දැනගත යුතුයි.

කෙටි කාලීනව අපි මුහුණ දෙන්න යන්නේ මීටත් වඩා දුෂ්කර කාලයකටයි. උද්ධමනය වැඩිවෙන්න ඉඩ තියෙනවා.

රජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38, 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55, සුපර් ඩීසල් ලිටරයකින් රුපියල් 136.31 සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50 පාඩු ලබනවා. තෙල් සංස්ථාවට මෙම පාඩු තවදුරටත් දරාගැනීමට හැකියාවක් නෑ. ඒ වගේම විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් සඳහා ඔබෙන් රුපියල් 17ක් අය කළත් ඒ සඳහා රුපියල් 48ක පමණ මුදලක් වැය කරනවා. ඒ අනුව පාඩුව එක ඒකකයකින් රුපියල් 30ක් පමණ වෙනවා. එයත් බරපතල ගැටලුවක්.

 මට දැඩි අකමැත්තෙන් වුවත් මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීමට අවසර දෙන්න සිදුවෙනවා. ඒ රාජ්‍ය සේවකයන්ගේ මේ මාසයේ වැටුප් ගෙවීම සහ ඔබට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැය කිරීම සඳහායි. කොහොම වුනත් මුදල් මුද්‍රණය කිරීම නිසා රුපියල අවප්‍රමාණය වන බව අප සිහි තබාගත යුතුයි. මේ වන විට පවතින තත්ත්වය හමුවේ තෙල් සංස්ථාවට සහ විදුලි බල මණ්ඩලයට රුපියල් සොයාගැනීමට ද හැකියාවක් නෑ.

කෙසේ වුවත් ඉදිරි මාස කිහිපය ඔබට මට ජීවිතයේ දුෂ්කරම කාලපරිච්ඡේදය ගත කරන්න සිදු වේවි. එයට අපි සියල්ලෝම කැපවීමෙන් මුහුණ දිය යුතුයි.

මම ජනතාවට කරුණු සඟවා බොරු කීමට කිසිසේත්ම කැමති නෑ. භයානක වූවත් අප්‍රසන්න වූවත් මේකයි ඇත්ත තත්ත්වය. කෙටි කාලීනව අප මුහුණ දෙන්න යන්නේ ගෙවූ කාලයටත් වඩා දුෂ්කරම කාලයකට. මේ වෙලාවේ අපට තිබෙන්නේ දුක් කම්කටොලු විතරයි. ඒත් මේ තත්ත්වය කෙටි කාලීනයි. ඉදිරි මාස කිහිපයේ දි අපේ මිත්‍ර රටවල උපකාරය සහ සහයෝගය අපට ලැබේවි. ඔවුන් මේ වන විටත් අපට උදව් කරන්න පොරොන්දු වෙලා තියෙන්නේ. ඒ සඳහා ගතවන මාස කිහිපය අපට ඉවසීමෙන් දරාගෙන ඉන්නම වෙනව. නමුත් අපිට මේකෙන් ගොඩයන්න පුළුවන්. ඒ සඳහා අපිට අලුත් මාර්ගයකට යන්න වෙනවා.

මේ අවස්ථාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මම විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ නායකයින්ට යොමු කළ ලිපිවලට පිළිතුරු ලබා දීම සම්බන්ධයෙන් මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.

දැනට පවතින මෙම ගැටලුවලට පිළිතුරු සොයාගැනීම සඳහා ජාතික සභාවක් හෝ දේශපාලන මණ්ඩලයක් සියලු පක්ෂවල සහභාගීත්වයෙන් වහාම පිහිටුවීමට කටයුතු කළ යුතුව තිබෙනවා.

එවිට සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කොට තීරණය කර ගන්නා නිශ්චිත කාල රාමුවක් තුළ පොදු කෙටි කාලීන - මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන අවම වැඩසටහන් ක්‍රියාවට නංවා රට නැවතත් ඉහළට ඔසවා තබන්නට අපට හැකිවෙනවා. භූමිතෙල්, ගෑස්, ඉන්ධන පෝළිම් නැති රටක්, විදුලි බලය කැපෙන්නේ නැති රටක්, කෘෂිකර්මාන්තය නිදහසේ කරගෙන යන්න පුළුවන් පහසුකම් ඇති රටක්, තරුණ තරුණියන්ගේ හෙට දවස ආරක්ෂිත රටක්. මිනිස් ශ්‍රමය අරගල භූමිවල සහ පෝළිම් වල නාස්ති කරන්න ඕන වෙන්නේ නැති රටක්. හැමෝටම නිදහසේ ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන් රටක්, තුන් වේල කන්න පුළුවන් රටක් අපි ගොඩනගනවා.

මම භාරගත්තේ අනතුරුදායක අභියෝගයක්. හුණුවටයේ ගෲෂා අනුන්ගේ දරුවෙක් වඩාගෙන වැල් පාලම තරණය කළා. මේක ඊටත් වඩා භයානක අභියෝගයක්. හෙළ ගැඹුරුයි. පතුළ පේන්නෙ නෑ. පාලම හදල තියෙන්නේ තුනී වීදුරුවලින්. අත්වැලකුත් නෑ. මගේ කකුල් දෙකට ගලවන්න බැරි සපත්තු දෙකක් දාල තියෙනවා. ඒකේ අඩියේ තියෙන්නේ තියුණු යකඩ ඇණ. දරුවාව ආරක්ෂිතව එහා පැත්තට අරන් යන්නයි මට තියෙන්නෙ.

මේ අභියෝගය මම භාර ගත්තෙ රට වෙනුවෙන්. මගේ අරමුණ සහ කැපවීම පුද්ගලයෙක්, පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනිම නෙවෙයි. මුළු රටේම ජනතාව බේරා ගැනීම, මුළු රටම බේරාගැනීම, තරුණ පරපුරේ අනාගතය බේරාගැනීම. ජීවිතය පරදුවට තබා මම මේ අභියෝගයට මූණ දෙනවා. ඒ අභියෝගය ජය ගන්නවා. ඊට ඔබ හැම දෙනාගෙම සහයෝගය මට ලබා දෙන්න.

මම මගේ වගකීම රට වෙනුවෙන් ඉටු කරනවා.

ඒ මා ඔබට දෙන පොරොන්දුවයි.

තනතුරු එපා සහය දෙන්නම් කියා : සජබත් රනිල්ට නැවෙයි !

වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරනු ලබන, රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් එහි තනතුරු ලබා නොගෙන, පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් සමගි ජනබලවේගයේ පූර්ණ සහය ලබා දීමට එහි මන්ත්‍රී කණ්ඩායම අද(16)ඒකමතිකව තීන්දු කර තිබේ.

මේ මොහොතේ රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව වගකීම් සහගත දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය විශ්වාස කරන බැවින් මෙම තීන්දුව ගත් බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට සහ සමගි ජන බලවේගයේ මූලික ප්‍රතිපත්තියෙන් බැහැරව ආණ්ඩු පාර්ශ්වයට මන්ත්‍රීවරු සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන්නේ නම් අදාල සහයෝගය කොන්දේසි විරහිතව අත්හිටුවන බවටද එහිදී මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ , සමගි ජනබලවේගය පක්ෂය බෙදී වෙන්වීම වලක්වා ගැනීම සඳහා මේ තීන්දුව ගෙන ඇති බවයි.

ජනාධිපති විසින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වූ අවස්ථාවේ අගමැති ධූරය ලබාගන්නට සහ ආණ්ඩුවක් පිහිටුවීමට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක වෙත ආරාධනා කළත් එය භාරනොගෙන සිටි බැවින් පක්ෂ අභ්‍යන්තරයේ නායක සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් විරෝධයක් ඇති බවත් වාර්තා වෙයි .

පාඨලීගෙන් අගමැතිට ප්‍රශ්න පත්‍රයක් !

"2022 මැයි මස 09 වන දින රටපුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුලපුරමින් "ගෝඨාගෝගම" සාමකාමී උද්ඝෝෂණ භූමියට පහර දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මැර දේශපාලන බලවතුන් නීතිය හමුවට පැමිණවීම සදහා ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක්ද ?" යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙතින් විමසා ඇත.

ඒ අද (16) අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකළ ලිපියක් හරහා ය.

"ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තම ධුරයෙන් ඉවත් වන දින වකවානු පිළිබඳව ඔබ සමග සාකච්ඡා කර තිබේද? ඒ සම්බන්ධයෙන් ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවද? " යනුවෙන් ද එහිදී විමසා ඇත.

මේ ආකාරයට කාළීන සහ තීරණාත්මක දේශපාලන ආර්ථික ප්‍රශ්න රැසක් ඇතුළත් කර චම්පික රණවක මන්ත්‍රීවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි .

 2022.05.16
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා
ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍ය
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය
ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත,
කොළඹ 07.

ගරු අගමැතිතුමනි,

නැවත වතාවක් රටේ අගමැති ධුරයට පත් ඔබතුමන්ට අපේ සුබ පැතුම් පිරි නමමු. රටේ ආර්ථික හා දේශපාලන අර්බුදයක් උත්සන්න වූ මොහාතක රටේ වගකීම දැරීම අතට ගත යුතු බොහෝ දෙනා විවිධ හේතු දක්වමින් මගහරිද්දී ඒ වෙනුවෙන් ඔබගේ ඉදිරිපත්වීමද අපි අගය කර සිටිමු. එහෙයින් මේ අවස්ථාවේදී ඔබවෙත වැඩිදෙනා එල්ල කරන සුලබ විවේචන වලින් මිදී මේ අවස්ථාවේදී ඔබ විසින් පැහැදිලි කළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සහ මේ අවස්ථාවේ වැදගත් යැයි අප සිතන යෝජනා කිහිපයක් සම්බන්දයෙන් ඔබගේ අවධානය යොමු කරනු පිණිස පාර්ලිමේන්තුවේ සාමූහිකව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමක් වෙනුවෙන් මේ ලිපිය ඉදිරිපත් කිරීමට මම අදහස් කළෙමි.

රට ආර්ථික වශයෙන් බංකොලොත් කිරීමට හේතු වූ රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා උද්ගත වූ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් වූයේ තරුණයින්ගේ අරගලයත් සමගමය. මේ අරගලය තුල ඉස්මතු වූයේ ආර්ථික සටන් පාඨ වලටත් වඩා දේශපාලන සටන් පාඨ බව බැහැර කළ නොහැකි යථාර්ථයයකි. රාජපක්ෂවරුන් බලය අත්හැරීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම, දූෂණයට මංකොල්ලයට වැට බැඳීම, අචාරධාර්මිකව හැසිරෙන දේශපාලන ප්‍රජාවක් ගොඩ නැගීම, ජාති ආගම් භේද වලින් තොර මානව ගරුත්වය සුරැකෙන පුරවැසි ජන රජයක් ගොඩ නැගීම ආදිය මේ සටන් පාඨවල සාරාර්ථය ලෙස දැක්විය හැකිය.

ඔබ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ එම දේශපාලන අරගලය තීව්‍ර වීමේ ක්‍රියාදාමයක ප්‍රතිපලයක් වශයෙනි. එහෙයින් "ගෝඨාගෝගම" අරගල බිමෙන් මතු වූ දේශපාලන ඉල්ලීම් සම්බන්ධයෙන් ඔබ දක්වන ප්‍රතිචාරය පැහැදිලි, සංගත හා විනිවිද පෙනෙන්නක් ලෙස රට හමුවේ වහාම ඉදිරිපත් විය යුතුය යන්න අපගේ අදහසය. " ගෝඨාගෝගමට ආරක්ෂාව සපයන්නේය" යන සරල ප්‍රකාශයක් ඒ සම්බන්ධයෙන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

අතැම් නායකයන් මේ අවස්ථාවේ ප්‍රායෝගිකව කළ නොහැකි මැතිවරණ සහ ජනවරම් ඉල්ලා සිටිද්දී, මේ අර්බුදය විසඳාගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව වගකීම අතට ගත් තාවකාලින අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිට විය යුතු බව අප දිගින් දිගටම දැරූ මතයයි.

එහෙයින් එවැනි ආණ්ඩුවක් බිහිවන්නේ නම් එවැන්නකට සහයෝගය ලබා දීම අපගේ යුතුකමය. ඔබ තුමන් විසින් නායකත්වය දෙන්නට සැරසෙන ආණ්ඩුව එවැනි ආණ්ඩුවක් බවට පත්වීමට නම් තරුණයින්ගේ අරගල බිමෙන් මතු වූ ඉහත දක්වන ලද දේශපාලන ඉල්ලීම් ඉටු කිරීම වෙනුවෙන් ඔබ අදහස් කරන ක්‍රියාමාර්ග හා එහි මාර්ග සිතියම රට හමුවේ තැබීම අත්‍යවශ්‍යය. මෙහිදී පහත දැක්වෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඔබගෙන් අපි විවෘත පිළිතුරක් බලාපොරොත්තු වෙමු.

01. 2022 මැයි මස 09 වන දින රටපුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුලපුරමින් "ගෝඨාගෝගම" සාමකාමී උද්ඝෝෂණ භූමියට පහර දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මැර දේශපාලන බලවතුන් නීතිය හමුවට පැමිණවීම සදහා ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක්ද ? එමෙන්ම ඉන් පසු ඇමති මැති ආදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලන නායකයින්ගේ ජිවිත හා දේපල විනාශ කිරීම් පිලිබදව ඔබතුමා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද ?

02. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තම ධුරයෙන් ඉවත් වන දින වකවානු පිළිබඳව ඔබ සමග සාකච්ඡා කර තිබේද? ඒ සම්බන්ධයෙන් ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවද?

03. පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීම සදහා දැනට සිදු කර තිබෙන විමර්ශන වල අඩුපාඩුකම් ඇති බව පිළිගනිමින් නව ස්වාධින විමර්ශන ක්‍රියාවලියක් අරඹා වින්දිතයන්ට යුක්තිය ඉටු කරදීමට ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක්ද ?

04. ජනාධිපති බලතල සීමා කරමින් හා ස්වධීන අධිකරණ, පොලිස්, රාජ්‍ය සේවා, මැතිවරණ, විගණන කොමිෂන් සභා ආදිය බල ගැන්වෙන 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩනමින් ගෙන ඒමට ඔබ එකඟ වන කාල රාමුව කුමක්ද ?

05. දේශපාලන පක්ෂ වල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය , මූල්‍ය විනිවිදභාවය, සමාජය කෙරෙහි වගවීම සහ මැතිවරණ වලදී විද්‍යුත් ජනමාධ්‍ය වල දේශපාලන පක්ෂපාතිත්වය වැලැක්වීම තහවුරු කෙරෙන මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයක් කඩිනමින් හඳුන්වාදීමට ඔබ කටයුතු කරන්නේද ?
එසේම පහත සදහන් යෝජනා ඔබගේ අවධානය පිණිස යොමු කරමි.

01. රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවා පවත්වාගැනීම පිණිස හදිසි විදේශ විනිමය ලබා ගැනීම පිණිස ඔබතුමා යෝජනා කරන වැඩපිළිවෙල රට හමුවේ ප්‍රසිද්ධ කල යුතුය.

02. රාජ්‍ය මුල්‍ය ස්ථායිකරණය හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබද ඔබතුමාගේ අදහස විවෘතව රට හමුවේ තැබිය යුතුය.

03. තරුණ අරගලකරුවන්ගේ දේශපාලන ඉල්ලීම් මහජන ප්‍රතිපත්ති බවට පත් කරගැනීමට ඉඩ සලසා දෙනු වස් ඔවුන්ගේ නියෝජිතයින්ට පාර්ලිමේන්තු ක්‍රියාදාමය අධීක්ෂණය කළහැකි ව්‍යුහයක් නිර්මාණය කර දෙන ලෙස යෝජනා කර සිටිමි.

04. ඊලග මැතිවරණයට පෙර දුෂණය වැලැක්වීම පිළිබද සිංගප්පුරු හා හොංකොන් රාජ්‍යයන්හි පවත්නා ආකාරයේ දුෂණය මැඩලීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කලයුතු බව යෝජනා කරමි.

05. ශ්‍රී ලංකා මහා බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කොට එය මුළුමනින්ම දේශපාලනීකරණයෙන් බැහැර කොට පාර්ලිමේන්තුවට වග කියන ආයතනයක් බවට පත්කලයුතු යැයි යෝජනා කරමි.

06. රාජ්‍ය බුදධි අංශ හා ආරක්ෂක අංශ දේශපාලන අතකොලු බවට පත් නොවී ඒවා ස්වාධින ලෙස පවත්වාගන යාම තහවුරු කළ යුතු යැයි යෝජනා කරමි.

2015 බල පෙරලියේදී ආර්ථික හා දේශපාලන ක්‍රියාමාර්ග අඩංගු දින 100 වැඩසටහන ඉදිරිපත් කරමින් ඔබ දැක් වූ විවෘතභාවය මේ අවස්ථාවේදීද දැක්විය යුතු බව අපගේ අදහසය. එබැවින් ඔබ විසින් පිහිටුවන අන්තර්කාලීන ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික මාර්ග සිතියම කඩිනමින් අප වෙත පැහැදිලි කරනා ලෙස ඉල්ලා සිටිමු. එය දෙස බලා ඔබගේ රජයට කවර මට්ටමින් අපගේ සහයෝගය ලබා දෙන්නේද යන්න අපි තීරණය කරනා බව ගෞරවයෙන් ප්‍රකාශ කර සිටිමු.

පා.ම. පාඨලී චම්පික රණවක.
නායක,
43 සේනාංකය.

ඇඳිරි නීතියේ වෙනසක් : සියළුම පාසල් හෙට විවෘතයි

අද දින ඇඳිරි නීතිය පැනවෙන වේලාවේ වෙනසක් සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව අද(16) රාත්‍රි 11.00 සිට හෙට(17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවන බව එම නිවේදනයේ දැක්වේ.

මීට පෙර ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද(16) රාත්‍රි 8.00 සිට හෙට(17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවන බවය.

සියළුහ පාසල් විවෘතයි

ඒ අනුව දිවයිනේ සියලුම පාසල් හෙට (17) දිනයේ විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

විමල් ගම්මන්පිල ඉන්න : පක්ෂ 10 යේ සහයත් රනිල්ට !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවට කොන්දේසි සහිත සහයක් ලබාදීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්‍ෂ දහය ඇතුළු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස තීරණය කර ඇති බව වාර්තා වෙයි .

අග්‍රාමාත්‍යවරයා සමග අද (16) පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් මේ බව කියා සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ අමාත්‍යධුර කිසිවක් බාර නොගෙන රටේ රට ගොඩනැගීම සඳහා වන යෝජනාවන්ට තම කණ්ඩායමේ සහාය ලබාදෙන බවයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ පිහිටුවන කමිටු සඳහා ද තමන් දායකත්වය දක්වන බවද ඔහු පැවසීය .

මේ මොහොතේ රට තුල ඇති ගැටළුවලට පිලිතුරු සෙවීම සදහා තම සහාය හිමිවන බවත් කී ඔහු රට අස්ථවර, අරාජික කරන කටයුතු සදහා එක් නොවන බවද කියා සිටියේය.

කෙසේ වුවත් අසංක නවරත්න මන්ත්‍රීවරයා පවසා සිටියේ තමන්ගේ අදහස් ඊට ටිකක් වෙනස් බවත් , ඒ අනුව ආණ්ඩුව තුළට ගොස් ඊට සහය දැක්විය යුතු බවය.

යළිත් ඇඳිරි නීතිය !

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය අද (16) රාත්‍රී 8 සිට හෙට (17) අලුයම 5 දක්වා නැවත පනවා ඇත.

මේ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනය කර තිබේ.

කෙසේ වුවත් ඇඳිරි නීතිය ඊයේ (15) වෙසක් දින ක්‍රියාත්මක නොවීය.

රට පීල්ලට ගන්න : වික්ටර්ලාගෙන් වැඩක් !

ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ මූලිකත්වයෙන් යුතුව විද්වතුන්, වෘත්තීයවේදීන් හා සිවිල් ක්‍රියාකාරියන්ගේ එකතුවකින් සැදුම්ලත් 'ප්‍රතිසංස්කරණ සඳහා ජනතා ව්‍යාපාරය' 2022- 05-16 වන සඳුදා එනම් අද දිනයේ 'ආර්ථික අභියෝග හා දේශපාලන ප්‍රතිසංස්කරණ' යන මැයෙන් එක් දින වැඩමුළුවක් සහ එදින සවස මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

මෙම වැඩමුළුව ආරාධිත විද්වතුන් සඳහා පමණක් සීමා වන අතර එය උදෑසන 9 සිට පස්වරු 4 දක්වා පැවැත්වෙන අතර ඉන් අනතුරුව සවස 4.30ට මාධ්‍ය සාකච්ඡාව සඳහා මාධ්‍යට ආරාධනා කෙරෙන බවද සංවිධායකයින් පවසා සිටී.

රට තුළ උද්ගතව ඇති ආර්තික, දේශපාලන, සමාජීය අර්බූදය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව වැඩි අවධානය යොමුවනු ඇත.

'ප්‍රතිසංස්කරණ සදහා ජනතා ව්‍යාපාරය' වන වික්ටර් අයිවන්ගේ ප්‍රධානත්වයෙන් විද්වතුන්, වෘත්තීයවේදීන් හා සිවිල් ක්‍රිරාජකාරියන්ගේ ව්‍යාපාරයකි.

ප්‍රතිසංස්කරණ සඳහා ජනතා ව්‍යාපාරය මාධ්‍ය සාකච්ඡාව
අද (16-05-2022)

පැවැත්වෙන ස්ථානය :

ලයිට් ඔෆ් ආසියා සෙන්ටර්
නොම්බර 634, සාම මාවත,
පැලවත්ත
10120

වැඩි විස්තර සඳහා අමතන්න:
0776600231 නදී වාසලමුදලිආරච්චි
077 780 9195 ජූඩ් ප්‍රනාන්දු

ගූගල් මැප් ලින්ක් සඳහා :
https://goo.gl/maps/WfJkbMUCVe5aB4CU8

මැදමුලන බලු කුක්කා හමුවෙලා : ගෝල්ෆේස් ප්‍රහාරයේ මැරයන් නිදැල්ලේ !

මැයි 09 වනදා ඇතුළු රට පුරා ඇති වූ කලබලකාරී තත්ත්වය මැද මැදමුලනේ පිහිටි රාජපක්ෂ මහ ගෙදරට පහර දුන් දිනයේ ගේ එහි සිට අතුරුදහන් වූ බලු පැටවකු සොයාගැනීමට පොලිසිය සමත්ව ඇත.

මෙසේ අතුරුදන් වූ එක් බලු පැටවකු වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය මන්ත්‍රීවරයෙකුගේ දියණිය ළඟ සිටියදී පොලීසිය සොයාගෙන ඇති බවත් වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ එම දියණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

09 වනදා රාත්‍රියේ විරෝධතාකරුවන් විසින් මෙම නිවසට පහර දී අලාබ හානි සිදු කල අවස්ථාවේදී නිවස පිටුපස කූඩුවක රඳවා සිටි බලු පැටවුන් කිහිප දෙනෙකු අතුරුදහන් වී තිබිණි.

ඒ පිළිබඳව වීරකැටිය පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනවලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

රාජපක්ෂ මැරයින් නිදැල්ලේ !

කෙසේ වුවත් මේ ආකාරයට මැදමුලන බලු පැටවා සොයාගෙන ඇති නමුත් , මැයි 09 වෙනිදා ගෝල්ෆේස් නිරායුද විරෝධතාකරුවන් වෙත මැර කල්ලි මෙහෙයවූවන් හෝ පොදුජන පෙරමුණේ කුලී මැරයන් අත්අඩංගුවට ගැනීම අභව්‍ය ආකාරයට කල් යමින් තිබේ.

මේ වන විට මොරටුව මහ නගර සභාවේ සේවකයකු පමණක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කර තිබිණ .

කෙසේ වුවත් මැයි 09 ප්‍රහාරකයන් අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා ගෝඨා ගෝ ගම විරෝධතාවක් ද පැවැත්විණ .

කෙසේ වුවත් ඊට එතරම් ජන සහභාගීත්වයක් තිබුණේ නැති බව අප වාර්තාකරුවන් පැවසීය .

ශ්‍රීලනිපත් රනිල්ට : නිමල්, අමරේ, දුමී, ලසා, චාමර, ජගත් : කොහොමත් යන්න හිටියේ !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ මූලිකත්වයෙන් පිහිටුවීමට යන නව ආණ්ඩුව සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යවනු ලැබූ බවත් දැනගන්නට ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් හෙට (16) පෙරවරුවේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ තනතුරු ලබා ගන්නේද යන්න සම්බන්ධයෙන් ඒ සාකච්ඡාවේදී තීරණය කරනු ඇතැයිද වාර්තා වෙයි .

මෛත්‍රී රිවර්ස් කරයි !

කෙසේ වුවත් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසා සිටියේ අගමැති රනිල්ගේ ආණ්ඩුවට ශ්‍රීලනිප සහය නොලැබෙන බවය.

මාධ්‍ය හමුවේ මේ ආකාරයට පැවසුවත් ඊට පෙර පැවති පක්ෂ මධ්‍යම කාරක සභාව අවස්ථාවේ ආණ්ඩුවට එක්ව තනතුරු ගන්නවාද යන්න සම්බන්ධයෙන් තිබී ඇත්තේ බෙදුණු තීන්දුවකි.

06ක් අනිවාර්යයෙන් යනවා !

එහිදී කාටත් ප්‍රථමයෙන් තමන්ගේ දේශපාලන තීන්දුව ප්‍රකාශ කර ඇත්තේ , බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ය. ඔහු පවසා ඇත්තේ වත්මන් අර්බුදය විසඳීමට සහය දීමට තමන් රනිල් වික්‍රමසිංහ අගමැති ට සහය දක්වන බවය.

මෙහිදී ඇතිවූ බහින්බස් වීමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ චාමර සම්පත් අතර උනුසුම් තත්ත්වයක් ඇතිවූ බවත් වාර්තා වෙයි .

කෙසේ වුවත් මෙම මධ්‍යම කාරක සභා හමුවට පෙර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුව ඇති බවත් වාර්තා වෙයි .

එහිදී ජනාධිපති විසින් අලුත් ආණ්ඩුව සඳහා සහය ඉල්ලා ඇති අතර , නිමල් සිරිපාල ද සිල්වා එහිදී ශ්‍රීලනිප සහය ආණ්ඩුවට ලැබෙන බව පවසා තිබේ.

කෙසේ වුවත් මධ්‍යම කාරක සභාව වෙනත් තීරණයක් ගැනීම හමුවේ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ පැහැදිලි බෙදීමක් සිදුව ඇති බවත් වාර්තා වෙයි .

ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා , මහින්ද අමරවීර , දුමින්ද දිසානායක , ලසන්ත අලගියවන්න , ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දිසානායක යන මන්ත්‍රීවරුන් කොහොමටත් රනිල්ගේ අලුත් ආණ්ඩුවට එක්වීමට අනිවාර්‍ය එකඟතාවක සිට ඇති බවත් වාර්තා වෙයි .

මේ හමුවේ පක්ෂයේ බෙදීමක් ඇතිවේ යන සැකය සහ අද (15) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රීලනිප සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත නව ආණ්ඩුව පිහිටුවීමට සහය ඉල්ලා නිල ලිපියක් යොමුකිරීමත් සලකා බලා, ශ්‍රීලනිප නායකත්වය රනිල්ගේ අලුත් ආණ්ඩුවට සහය දෙන්න තීන්දු කරනු ලැබූ බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .

අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රීලනිප සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යැවූ ලිපිය පහත දැක්වෙයි .

my letter 535px

බුදුන් සහ දහසක් නිම්න..!

බුදුදහම තුල සඳහන් ආත්මය යන්නෙහි ප්‍රතිවාදය 'ආත්මයේ නොපැවැත්ම' (no self) යන්න නොවන බව ඩී. ටී. සුසුකි පෙන්වා දෙනවා. ආත්මය සොයා ගත හැක්කේ කරන ක්‍රියාව තුළන් බවත් ගවේෂණය (සොයා යාම) සැක කිරීම සහ නිශේධනය යන ප්‍රපංච තුළ බුදුදහමේ ගවේෂනාත්මක ආත්මය (spirit of inquiry) සැඟව ඇති බව සුසුකිගේ මතයයි. යමෙක් ගවේෂණය ආරම්භ කරන්නේ ද ඒ තැනැත්තා සත්‍යය සහ ආලෝකය වෙත ක්‍රමානුකූලව ලංවෙන බව සෙන් බුද්ධාගම සඳහන් කරනවා.

ගවේෂණය කරන ආත්මය (මම) යන්න මුලික වශයෙන් පවතින බව මේ අනුව අප පිළිගත යුතු වෙනවා. හැබැයි සත්‍යයෙහි ස්වභාවය නම් අවසාන වශයෙන් මේ 'ගවේෂක මම' පවා සත්‍යාබෝධය ඇතුලේ දියවී යන යමක් බව අවබෝධ වීමයි.

සිදුහත් අභිනිෂ්ක්‍රමණය කළාට පස්සේ ගවේෂණය කළ සත්‍යය සහ සත්‍යාවබෝධය බුදුන් ලෙස රූපාන්තරණය වෙමින් මුලින් ම දේශනා කරන්න තෝරාගත්තේ පස්වග මහණුන් නම් බුදුන් වහන්සේ 'දන්නා කලාපයක්' (familiar entity) වෙත ආපසු හැරුණ කියල මට හිතෙනවා. ඒ කියන්නේ තමන් අවබෝධ කර ගත්ත ගැඹුරු ම සත්‍යයක් වෙනත් කෙනෙකුට තේරුම් කරලා දෙන්නත් යම් දාර්ශනික පසුබිමක් තිබ්බ අයවලුන් පිරිසක් අවශ්‍යයි කියල බුදුන් මුලින් උපකල්පනය කරනවා. ඒ අනුව තමයි එතුමා ඒ වනවිටත් දැන සිටපු පස්වග මහණුන් තෝරා ගන්නේ. ඒක තේරුම් ගත හැකි දෙයක්.

නමුත් ඒ ආපසු හැරීම ඇතුලේ තවත් විශාල ගමනක් ආරම්භ කරන එක එතුමන් වහන්සේට මඟ හැරුණාද කියල මට වෙලාවකට හිතෙනවා. මොකද අපි හිතමු පස්වග මහණුන් නෙවෙයි වෙනත් මේ සත්‍යය ගැන කිසිම් දෙයක් දන්නේ නැති කෙනෙක්ට මේ සත්‍යාවබෝධය ගැන දේශනා කරන්න පටන් ගත්තා නම් ඒක ලොකු අහියෝගයක් වෙන්න තිබුණා. සමහර වෙලාවට ධර්මය පවා අපි දන්නා ආකෘතියෙන් වෙනස් වෙන්න තිබුණා.

අසිරිමත් ඉන්දියාවේ බෂාම් කියනවා බුදුන් තමන් උපන් දේශයෙන් කිලෝමීටර් තිහකට වඩා ඔබ්බට ගමන් කළා කියල කියන්න ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධක නැහැ කියල.

ඒක මදකට ඇත්ත කියල හිතුවොත් අපිට උපකල්පනය කරන්න වෙනවා බුදුන් වහන්සේ ගොඩක් වෙලාවට තමන් දන්නා කලාපයක් ඇතුලේ විතරක් කාලය ගත කරලා තියනවා කියන එක සහ එතුමන් වහන්සේ කුමන හේතුවකට හරි දහසක් සානු, දහසක් නිම්න මුණ ගැසෙන නොදන්නා චාරිකාවක් (unknown journey) සඳහා ආශා නොකළ බව (නැවතුන බව). බුදුන් වහන්සේ නොකළ මෙම දැවැන්ත දේශාටනය පස්සේ කාලෙක කරන්නේ ධර්ම පචාරණය සඳහා පසුව ලෝකයේ හැම දිශාවකටම විසිරිලා ගිය භික්ෂුන් වහන්සේලා.

ඔවුන්ට තමයි මුණ ගැසෙන්නේ වෙනත් භාෂාවන් කතා කරන, වෙනත් දේශගුණික කළාපවල ඉන්න, වෙනත් සංස්කෘතීන් තිබ්බ මිනිස්සු. එතැනදී තමයි බුදුදහම විශ්වීය වෙන්න පටන් ගන්නේ. මුල් සංකල්ප වලට වෙනස් අර්ථකථන දෙන්න සිද්ද වෙන්නේ (පරම ශුන්‍යතාව වගේ). වෙනත් බෞද්ධ සම්ප්‍රදායන් ඇති වෙන්න ගන්නේ. මුල් දෙයින් ඛණ්ඩනය වෙන්නේ.

ආපසු නොඑන ගමනක් ගැන නොසිතපු බුදුන්ට තමන්ගේ කළාපය ඇතුලේ හිටපු එකම භාෂාවක්, එකම සංස්කෘතික වටිනාකම් තිබ්බ හුරුපුරුදු පිරිසක් (familiar crowd) හමුඋණා වෙන්න පුළුවන්.

යශෝදරා නැවත හමුවුණා. රාහුල නැවත හමුවුණා. සුද්ධෝදන රජ්ජුරුවෝ නැවත හමුවුණා. ඒ අයට ධර්ම දේශනා කළා. ඒ අය සත්‍යාවබෝධය ලැබුවා. ඒක ඇත්ත. හැබැයි භෞතිකව නැවත ආපසු නොඑන, එකම දෙයක් නැවත හමුනොවන, වෙනස් වෙනස් මිනිස්සු හමුවෙන සහ වෙන්වන, නොඅවසන් ගමනක් එතුමන් වහන්සේ ආරම්භ කළා නම් දේවල් කොපමණ වෙනස් වෙයිද කියල මට ගොඩක් වෙලාවට හිතනවා.

මේ නැවත නැවත හමුවීම නම් තේරීම (choice for returning) නිසා යශෝදරාට වගේම සුද්දෝධන රජ්ජුරුවන්ට උනත් නිදහසක් නැති උනාද කියලත් මට වෙලාවකට හිතනවා.

ආපසු ආවේ මුල් කෙනාම නොවන බව ඇත්තයි. හැබැයි කුමන විදියේ හෝ ආපසු ඒමක් තියනවා. මොකද බුදුන් වහන්සේ වෙනස් වෙලා තිබ්බට අනික් අය සාමාන්‍ය මිනිස්සු.

නැවත ආපසු නොඑන ගමනක් ගැන මට තියෙන්නේ ෆැන්ටසි එකක්. ඒකෙ කවුරුත් පැටලෙන්න එපා.

අද වෙසක්.

කෑගල්ලේ ගෝටාගෝ ගම ආරම්භයේ ගත්ත මේ ෆොටෝ එක සුජීවගේ. අරගලයේ දැක්ක අමුතුම ඉමේජ් එකක්. 'මම දෙස කිසිවෙකු බලා නොසිටි' වර්ගයේ නිදහසක් මේ ඝනීභවනය වූ ෆොටෝ එකේ තියෙනවා.

gotagogama sangaImage@ Sujeewa Ranathunga

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

මැයි 09 මැරයන් : අත්අඩංගුවට නොගන්නේ ඇයි ? රුවන් පොලිස්පතිගෙන් අහයි !

නිරායුධ අරගලකරුවන්ට පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම පිළිබඳ ප්‍රශ්න කර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන විසින් අද (15) පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත ලිපියක් යොමුකර ඇත .

ප්‍රහාරයට දින ගණනක් ගතවුවත්, මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් අයෙකු පමණක් බවත් අදාළ ලිපියේ පොලිස්පතිවරයාට පෙන්වා දී තිබේ.

එසේම එදින ඇති වූ ප්‍රචණ්ඩත්වයට වගකිවයුතු සැකකරුවන් ගණනාවක් නම් කරමින් කොටුව අධිකරණය හමුවේ පෞද්ගලික පැමිණිල්ලක් ද ගොනු කර ඇති බවත් , එවැනි වකවානුවක ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට නොගෙන, ප්‍රහාරයෙන් පසු ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයන් පමණක් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සාධාරණත්වයක් නොමැති බවත් එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන විසින් යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත .

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ගෝඨාගෝගමට පහසුකම් හා අවශ්‍යතා ලබාදීම වෙනුවෙන් පත්කළ කමිටුවේ ප්‍රධානියාද වන්නේ හිටපු අමාත්‍ය රුවන් විජයවර්ධන ය. ඔහු විසින්, පොලිස්පති ට යවන ලද ලිපිය පහත දැක්වෙයි .

policepathi letter 555px

මේ අතර පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ගෝල්ෆේස් අරගල බිමට ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් 70 කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බවත් , ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්ය.=

ඉන්ධන අර්බුදය විසඳීමට : සාගල - කාංචන රැස්වෙයි !

අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා කඩිනමින් සැපයීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත්කළ කමිටුවේ , ඛනිජ තෙල් සම්බන්ධයෙන් වගකීම් දරන හිටපු අමාත්‍ය සාගල රත්නායක සහ විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඇතුළු පිරිසක් අද (15) ඉන්ධන සහ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත .

මේ අවස්ථාව සඳහා මහ බැංකුව , මුදල් අමාත්‍යංශය, ඛනිජ තෙල් සංස්ථාව, ලිට්‍රෝ සමාගම , ලංකා බැංකුව , ඇතුළු මේ හා සම්බන්ධ ප්‍රධාන ආයතන සහ වගකිවයුතු නිලධාරීන් සහභාගීවී ඇත .

මේ වන විට ඩීසල් නැවක් ඉන්ධන තොග ගොඩබාමින් ඇති අතර , තවත් ඩීසල් නැවක් මැයි 19 පැමිණෙන බවත් එහිදී අනාවරණය විය. එසේම එළැඹෙන අඟහරුවාදා (17) මෙරටට ගෑස් නැවක් ද පැමිණීමට නියමිතව ඇත.

මෙම අවස්ථාවේදී වැඩිදුරටත් තොරතුරු වාර්තා වී ඇත්තේ , ඉන්ධන තොග මිලදී ගැනීමට මෙරට සතුව ඩොලර් සංචිත හිඟබවය.

කෙසේ වුවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෝලීය මූල්‍ය ආයතන, තානාපතිවරුන් සහ ආධාර සපයන ගෝලීය ආයතන සමග සෘජු සාකච්ඡා පවත්වමින් කෙසේ හෝ පළමු වටයේදී පෝලිම් ප්‍රශ්නය සහ වෙළෙඳ පොළ හිඟය පියවීමට උත්සාහ කරමින් සිටියි.

එසේම ඛනිජ තෙල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කමිටුව නියෝජනය කරන හිටපු අමාත්‍ය සාගල රත්නායක අග්‍රාමාත්‍යවරයා ගේ සෘජු උපදෙස් අනුව අර්බුදය විසඳීමට කඩිනම් විසඳුම් සැපයීමට ක්‍රියාත්මකව සිටියි.

WB සහ ADB සහ අගමැති සාකච්ඡා : අර්බුදයේ ඇත්ත හෙට රටටම !

 
රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාකච්ඡා පවත්වමින් සිටියි .
 
ඖෂධ, ආහාර සහ පොහොර සැපයීමේ ගැටළු සඳහා සහය දැක්වීම පිළිබඳව එම සංවිධාන සමඟ පැවති සාකච්ඡාවලදී අවධානය යොමුව ඇත.
 
 නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේ ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන දෙක හමුවීමට සමගාමීව ජාත්‍යන්තර සම්මේලනයක් පිහිටුවීම සම්බන්ධයෙන් විදේශ නියෝජිතයන් සමඟ ද සාකච්ඡා කර ඇති බවයි.
 
 සාකච්ඡා ධනාත්මක වී ඇති බව පැහැදිළි කළ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරි සතිය සඳහා ඉන්ධන අවශ්‍යතා සඳහා ගෙවීමට අවශ්‍ය මුදල් ලබාගැනීමේ ක්ෂනික අභියෝගය රජයට පවතින බවයි.
 
බැංකුවල ඩොලර් හිඟය හේතුවෙන් රජය දැන් අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට වෙනත් විකල්ප සොයා බලමින් සිටී.
 
මේ අතර  21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිලිබද හෙට දිනයේදී සාකච්ඡාවට ගන්නා බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. පසුව එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරේ. 
 
පසුගිය දින දෙක තුළ තමාගේ රැස්වීම්වලින් අනතුරුව හෙට (16) දිනයේදී රටේ පවතින මූල්‍ය අර්බුදය පිළිබඳ සම්පූර්ණ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය .

රටම කතා කරන ; කවුද මේ රෝහිණී කවිරත්න?

නියෝජ්‍ය කතානායක පුටුව කාන්තාවකට ලබා දිය යුතු යැයි පොදු මතයක් මතුව තිබේ. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කාන්තාවක්, කතානායක/නියෝජ්‍ය කතානායක ධූරයට පත්වී නොමැති බැවිනි.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කුමාරි විජේරත්න, නැතිනම් රටම දන්න රෝහිණී කවිරත්න ගේ නම නියෝජ්‍ය කතානායක ධූරයට යෝජනා වී තිබේ. පසුගිය අවස්ථාවේ දී මෙන් අවසන් තප්පරයේ දී අවස්ථාවාදී දේශපාලන විනාශයක් සිදු නොවන්නේ නම්, රෝහිණී කවිරත්න නිතරඟයෙන් එම තනතුරට පත්වනු ඇත.

මේ අද දේශපාලන ලෝකයම කතා කරන රෝහිණී කවිරත්න ගැනයි.

රෝහිණී ලංකා පාර්ලිමේන්තුවේ දීර්ඝතම දේශපාලන පවුලේ සාමාජිකාවකි. එය ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ ද වාර්තාවකි.

රෝහිණී ගේ අත්තා (සීයා), තාත්තා, ස්වාමිපුරුෂයා, මාමා ද මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ය. පරම්පරා පහක් අඛණ්ඩව නියෝජනයක් ලංකා පාර්ලිමේන්තුවේ හේ ලෝකයේ වෙනත් තැනක නැත.

රෝහිණී, පාර්ලිමේන්තුවේ ආර්ථිකය, අධ්‍යාපනය, කාන්තා හා ළමා අයිතිවාසිකම් පිළිඳව වැඩියෙන්ම කතා කරන ලැයිස්තුවේ කෙනෙකි. පසුගිය වසර දෙක තුල වැඩිම අවස්ථා ගණනාවක් පාර්ලිමේන්තුවේ මුලසුන දැරූ මන්ත්‍රීවරිය ද ඇයයි.

ගණිත ගුරුවරියක වූ ඇය, මධ්‍යම පළාතේ දරුවන් අතර සිටි ජයප්‍රියම වෘත්තිකයෙකි.

2015 මහා මැතිවරණයෙන් මුල්වරට පාර්ලිමේන්තුව පැමිණි ඇය, 2020 මැතිවරණයෙන් මාතලේ අළුවිහාරේ පවුල පරාජය කරමින් නැවත ජයගත්තාය. මැතිවරණ ව්‍යාපාරයේ දී තමාට එල්ල වූ අශිලාචාර, අශික්කිත අවලාද ජයගත්තාය.

පසුගිය වසර දෙක තුල ඇය පාර්ලිමේන්තුවේ කැපී පෙනුණාය. කෘෂිකර්මාන්තය, ආර්ථිකය, අධ්‍යාපනය ගැන ඇය යේ හඬ පාදඩ දේශපාලනඥයින්ගේ කෝපයට හේතුවිය. පොහොර තහනම, චීන අශුචි නැව, නැනෝ වංචාව ගැන ඇය කළ හෙළිදරව්වට පාදඩ දේශපාලනඥයින් ප්‍රතිචාර දැක්වූවේ ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය ගඳ ගැස්සවූ ‘වම්බටු - පලා‘ කතාවෙනි. දෛවයේ සරදමක් ලෙස දෝ, එ් කතාව සිදු කරන විට පාර්ලිමේන්තුවේ මුලසුන දැරූවේ නියෝජ්‍ය කතානායක ධූරයට නම් යෝජනා වී සිටින අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා ය.

විජේරත්න - කවිරත්න පවුල

ලග්ගල ආසනය නිර්මාණය වීමෙන් පසුව එහි පළමු මන්ත්‍රීවරයා බවට 1965 පත්වන්නේ එම්.ඒ.මුතුබණ්ඩා ය. ‘ලග්ගල වෙස්සන්තර‘ නමින් ප්‍රකට වු මුතුබණ්ඩාගේ දුව විවාහ වන්නේ විජේරත්න බණ්ඩා සමඟ ය. 1977 ලග්ගල අසුන දිනා, කෘෂිකර්ම සංවර්ධ අමාත්‍යවරයා බවට ඔහු පත්වන්නේය.

1977 රත්තොට අසුන ජයගත්තේ එජාපයේ පී.බී.කවිරත්න ය. රෝහිණී විවාහ වූවේ කවියෙකු වූ පී.බී. ගේ පුතා සංජීව කවිරත්න සමඟ ය.

ලංකාවේ තබා ලෝකයේ කිසිම තැනක එකම පවුලේ පරම්පරා පහක් එකම ඡන්ද කොට්ඨාශයක් ජයගෙන නැත. එය ලෝක වාර්තාවකි.

රෝහිණී, පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ, ඉගෙන ගෙන ඒ ඉස්කොලේ ගණිත ගුරුවරියක් ලෙස කටයුතු කළේය. කයිකාවල මධ්‍ය මහා විද්‍යාලය, වේරගම පරාක්‍රම, ඇතුළු පාසල් කිහිපයක ජයප්‍රියම විද්‍යා ගණිත ගුරුවරිය වුණු ජීවත් වුනේ ලග්ගල - රත්තොට ය. බෙහෙත් ගත්තේ ගමේ රෝහලෙනි. සති අන්තයේ නම්, රත්තොට කඩ මණ්ඩියේ, මාතලේ නගරයේ, විල්ගමුවේ ඈත ගමක ය.

මාතලේ මැර දේශපාලනයේ උච්චතම අවස්ථාවේ දී, ගැබිනියක්ව සිටින විට මැර ප්‍රහාරයකට ලක් වන ඇය ශල්‍යකර්ම තුනකට භාජනය වී දිවි බේරාගත්තාය. ඇයගේ නිවාස, හෝටල්, මැතිවරණ ප්‍රචණ්ඩත්වයෙන් සිව් වරක් විනාශ වූවේය.

පරම්පරාවෙන් දේශපාලනය පිවිස හැකියාවෙන්, දක්ෂතාවයෙන් ලංකා දේශපාලනයේ ස්ථාවර වූ රෝහිණී කවිරත්න, යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් පැත්තක තියලා මොරගහකන්ද ව්‍යාපාරයෙන් පිඩාවට පත් වූ මිනිසුන් වෙනුවෙන් කැපවෙනවා.

වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක ධූරය පිළිබඳ ඇත්තේ යහපත් ප්‍රතිරූපයක් නොවේ. මන්ත්‍රීවරුන්ගේ පමණක් නොව සභාවේ ගෞරවය රකින්නටත් එයට හැකිවී නෑ. අවම වශයෙන් රෝහිණී කවිරත්න ඉලක්ක කර කියූ අශිශ්ඨ ‘වම්බටු -පලා කතාව‘ වරප්‍රසාදය කඩවීමක් ලෙස හෝ පාර්ලිමේන්තුව සලකා නෑ. ඒ වචන හැන්සාඩ් වාර්තාවෙන් වත් ඉවත් කර නෑ.

ෆීනික්ස් කුරුල්ලන් ගින්නේ අලු මතින් නැගිටිනවා වගේ, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවක් කර ඇති යුගයක, නියෝජ්‍ය කතානායක තනතුර විකාර රූපී පත් කිරීම්, ඉල්ලා අස්වීම් මාලාවක නාටකයක් වී ඇති පසුබිමක රෝහිණී කවිරත්න නම මතුවී තිබෙනවා.

ලංකා පාර්ලිමේන්තුව කොතරම් ශිෂ්ඨ තැනැක්දැයි ලබන අඟහරුවාදා නැවත පරීක්ෂාවට ලක් වනු ඇත.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

ස්වාධින මන්ත්‍රී පිරිසක් ආණ්ඩුවට : අනුරට සුසිල්ට කැබිනට් අමාත්‍ය ධූර !

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස පෙනීසිටි නිමල් ලන්සා ඇතුළු මන්ත්‍රීවරුන් 11 දෙනා ආණ්ඩුවට සහයදීමට තීන්දුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් හෙට (16) මාධ්‍ය හමුවක් කැඳවා ජනතාවට කරුණු පැහැදිලි කිරීමට නියමිතය.

එම කණ්ඩායම නියෝජනය කරන අනුර ප්‍රියදර්ශනයාපා හා සුසිල් ප්‍රේමජයන්ත අලුත් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය වගකීම් බාර ගැනීමට නියමිත බවද වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවසුයේ, තම කණ්ඩායම නියෝජනය කරන පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් නමදෙනා (09) හා මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙදෙනා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට බාධා නොකිරීමට මුලික එකඟතාවයකට පැමිණි බවයි.

'' මේ වෙලාවේ අපි ආණ්ඩුවට බාධාකරන්න යන්නේ නැ. ජනතාව මුනදෙන ආර්ථික අර්බුදය ගැන අපට හොඳ අවබෝධයක් තියනවා. මේ මාසේ රජයේ සේවකයින්ගේ පඩි ගෙවගන්නවත් සල්ලි නැ. තෙල් ටික ගෙන්න, ගෑස් ගෙන්න, බෙහෙත් ගෙන්න ඩොලර් නැ. තව සතියකින් රටම ගිනි ගන්නවා. මේ අර්බුදේ යන්තන් හරි ගොඩදාන්න දැනට ඉන්නේ රනිල් කියන එක අපිත් පිලිගන්නවා. ව්‍යාපාරික ප්‍රජාවේ බහුතරයක් එක පිළිඅරගෙන තියනවා. ඒ නිසා අපි එතුමාට අවස්ථාවක් දීල බලන්න ඕන. ඒ නිසා අපි අපේ කණ්ඩායමේ කට්ටියට කිව්වා තම තමන්ගේ හෘද සාක්ෂියට අනුව තීන්දුවක් ගන්න කියල.'' එම ප්‍රකාශකයා සඳහන් කළේය.

 තම කණ්ඩායමේ කිහිප දෙනෙකුම මේවනවිට අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී, අගමැතිවරයා රටේ ආර්ථික අර්බුදය ජයගැනීමට සිදුකරන සැලසුම් සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති බවත්, ඒ අනුව කිහිප දෙනෙකුම අමාත්‍යධුර වල වගකීම් බාර ගැනීමට එකඟත්වය පළකර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර පොහොට්ටු පක්ෂයෙන් ඉවත්ව ස්වාධිනවූ මන්ත්‍රීවරුන් 10 දෙනාද ජනාධිපතිවරයා විසින් ඊයේ කැඳවා තිබු පොහොට්ටු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගිවී සිටියේය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කළ අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධූර පිළිගෙන ඉදිරියට කටයුතු කිරීමට නියමිත ය.

 සබ්රි මුදල් ඇමතිකම එපා කියයි !

 මේ අතර මෙතෙක් රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර දැරූ කිහිප දෙනෙකුම අමාත්‍ය ධුර බාර නොගැනීමට තීන්දුකර තිබේ.

නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය භාර ගත නොහැකි බව හිටපු මුදල් ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කර ඇත. තමන්ගේ පවුලේ අයගෙන් එල්ලවන දැඩි විරෝධය මධ්‍යයේ තමන්ට නැවතත් මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කළ නොහැකි බව ඔහු සඳහන් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ (14)පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද අලි සබ්රි මන්ත්‍රීවරයා මේ බව දැනුම් දී ඇත.

කෙසේවෙතත්, තමා ආණ්ඩුවට සහාය දෙන බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

 

ගෝඨා ගෝ ගමට සහය දෙන්න : අගමැතිගෙන් කමිටුවක් !

ගෝඨාභය රාජපක්ෂ ට ජනාධිපතිට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ගෝල්ෆේස් පිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පිහිටුවා තිබෙන ‘ගෝඨා ගෝ ගම’ විරෝධතා ගම්මානයට සහාය දීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත් කර තිබේ.

ගම ආරක්ෂා කරමින් එහි කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පත් කර ඇත.

එමෙන්ම ඒ වෙනුවෙන් නගර සභාවේ උදව් උපකාර ලබා ගැනීම සඳහා කොළඹ නගරාධිපතිනියත්, මෙම භූමියට අවශ්‍ය කටයුතු ලබා සිදු කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය නියෝජිතයකු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයකු, හමුදාව සහ පොලිසිය නියෝජිතයෙකු බැගින් එම කමිටුවට පත් කර ඇත.

විරෝධතාව සඳහා සහයෝගය ලබාදෙන බව ද කී අග්‍රාමාත්‍යවරයා ගෝටාගෝගම ගම පාලනය කළ යුත්තේ එහි සිටින කණ්ඩායම මිස ආණ්ඩුව නොවන බවද සඳහන් කළේය.

නියෝජ්‍ය කතානායක : රනිල්ගේ සහය සජබ රෝහිණීට !

දැනට පුරප්පාඩුව පවතින නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්නගේ නම යෝජනා කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව වාර්තා වෙයි .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ළමා හා කාන්තා ක්‍රියාකාරිනියක වන ඇය එම තනතුරට යෝජනා කරන බවය.

මේ අතර මන්ත්‍රී අජිත් රාජපක්ෂගේ නම නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යෝජනා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම මැයි 17 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

 ''කාන්තාවක් පත් කිරීම පත් කිරීම : කැෆේ අගයයි !

 මේ අතර 'කැෆේ' සංවිධානය පවසන්නේ, නියෝජ්‍ය කථානායක ධුරයට කාන්තාවක් පත් කිරීම පත් කිරීම කාලෝචිත ක්‍රියාවක් බවයි.

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා කාන්තාවක් පත්කර ගැනීම සුදුසු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කර ඇති යෝජනාව කාලෝචිත එකක් බව කැෆේ සංවිධානය පවසයි.

එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වඩා බලවත් කිරීමට එය හේතුවක් වනු ඇති බවයි.

හත්වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතියට සමගාමීව මන්ත්‍රීවරියන් සිටින්නේ 6% කට වඩා අඩු ප්‍රමාණයක් බව ආරියවංශ පෙන්වා දෙයි.

 මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දී සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරිනැමීමේදී බොහෝ පක්ෂවල නායකයින් කාන්තා නියෝජනය පිළිබඳව සැලකිල්ලක් නොදැක්වීම නිසා මෙවර පාර්ලිමේන්තුවේ නියෝජිතවරියන් සංඛ්‍යාව දහතුන් දෙනෙකුට සීමා වී ඇත.

 පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා සැකසීමේදී කාන්තාවන් ඇතුළත් විය යුතු බවට නීතියක් පැවති හෙයින් මේ වන විට පළාත් පාලන ආයතනවල 23% පමණ කාන්තා නියෝජනයක් දක්නට ලැබෙන බව සුරංගි ආරියවංශගේ අදහසයි. නමුත් මෙම තත්ත්වය පළාත් සභා සහ පාර්ලිමේන්තුව පිළිබඳව සලකා බැලීමේදී ඉතා කනගාටුදායක බව සුරංගි ආරියවංශ අවධාරණය කරයි.

මේ නිසා මෙරට නීති සම්පාදනය කිරීමේ කාර්යයසඳහා සැලකිය යුතු දායකත්වයක් දැක්වීමට කාන්තාවකට අවස්ථාව ලබාදීමට සෙසු පක්ෂ කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ සඳහා මෑත කාලීනව ගත හැකි සාධනීයම පියවර වන්නේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා සුදුසු මන්ත්‍රීවරියක් පත්කිරීම බව සුරංගි ආරියවංශ වැඩිදුරටත් කියා සිටියි.

රනිල් රට සාමකාමී කරයි : ඇඳිරි නීතිය හැකිලෙයි !

අග්‍රාමාත්‍ය ලෙස රනිල් වික්‍රමසිංහ මේ වන විට පත්ව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන පසුබිමේ රටේ පැවති ප්‍රචණ්ඩත්වය ඉවත්ව ගොස් සාමාන්‍ය අතට හැරී තිබේ.

ඊට අදාළව දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය ද හකුළමින් පවතී.

ඒ අනුව අද (14)පස්වරු 06.00 සිට ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට (15) පෙරවරු 05.00ට ඉවත් කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කරයි.

අදාල නිවේදනයේ හෙට පස්වරුවේ ඇදිරි නීතිය පැනවීමක් ගැන සදහන්ව නැත.

Page 252 of 386