V2025

පුවත්

හිටපු අගමැති රනිල්ගෙන් පොලීස්පතිට දැනුම් දිමක් !

ගාලු මුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඇති කළ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගත යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පොලිස්පතිවරයාට දැනුම් දි තිබෙන බව වාර්තා වෙයි .

ඒ හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා අමතා අද (10) කල සාකච්ඡාවකදී ය.

අදාළ පරීක්ෂණ අධීක්‍ෂණය කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහය ලබාදෙන ලෙස පොලිස්පතිවරයා එහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙතින් ඉල්ලීමක් සිදුකර ඇති බවත් වාර්තා වෙයි .

අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ට කතා කළ අතර එහිදී, ඔවුන් දන්වා ඇත්තේ පළමු අත්අඩංගුවට ගැනීම්වලින් පසු පරීක්ෂණ කටයුතු සඳහා සහය වීමට ඔවුන් සූදානම් බවයි.

ඇඳිරි නීතිය ඇදෙයි !

දැනට රට පුරා පනවා ඇති ඇඳිරිනීතිය මැයි 12 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 7.00 දක්වා දීර්ඝ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (10) ඒ බව නිවේදනය කර ඇත .

මේ අතර දේශපාලන පක්ෂ , සංවිධාන , දිගින් දිගටම ප්‍රචණ්ඩත්වයෙන් බැහැර වන ලෙස ජනතාව වෙතින් ඉල්ලා තිබේ.

ඊයේ (09) හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඔහුගේ හෙංචයියන් ගේ උසිගැන්වීම හමුවේ පොහොට්ටු මැරයින් ගේ ප්‍රහාරයට ලක්වූ ගෝඨාගෝගම ගෝල්ෆේස් පිටිය නියෝජනය කරන විරෝධතාකරුවන් ද දිගින් දිගටම මේ බව අවධාරණය කරමින් සිටියි.

සන්සුන් වෙන්න : ජනාධිපති ඉල්ලයි !

දේශපාලන බැඳීම් නොසලකා පුරවැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ පළිගැනීමේ ක්‍රියා නවත්වා සන්සුන්ව සිටින ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලීමක් කර ඇත.

ඔහු මේ ඉල්ලීම සිදුකරන්නේ සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් ය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ව්‍යවස්ථාපිත ජනවරම තුළ සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා සම්මුතිය තුළින් දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සියලු උත්සාහයන් ගනු ලබන බවය.

දේශබන්දුට පහරදීම සැකයි - දුමින්ද නාගමුව

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට අද (10) සිදුවූ පහරදීම සැලසුම් සහගතව සිදුකරනු ලැබුවක් බවට සැකසහිත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කර සිටි අතර හමුදා පාලනයක් ගෙන ඒමට වටපිටාව සකසා ගන්න කටයුතු කරනවාද යන්න සැක බවත් ඔහු පවසයි .

එබැවින් මේ මොහොතේ ප්‍රචණ්ඩත්වයෙන් වැළකී බුද්ධිමත්වව කටයුතු කරන ලෙසත් ඔහු ජනතාව වෙතින් ඉල්ලීය.

හමුදාවට වෙඩි තැබීමේ නියෝග !

පොදු දේපළ විනාශ කරන හෝ පුද්ගලයන්ට හානි සිදුකිරීමට සම්බන්ධ වන ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තබන ලෙස ත්‍රිවිධ හමුදාවට අද (10) පස්වරුවේ නියෝග කර තිබේ.

ආරක්ෂක අමාත්‍යංශය විසින් අදාළ නියෝගය නිකුත්කර ඇත .

දින 30 කට අධික කාලයක් නිර්පාක්ෂික සාමකාමී අයුරින් පැවති ගෝල්ෆේස්, අරලිය ගහ මන්දිරය අසල සහ දීප ව්‍යාප්ත විරෝධතා එක් මොහොතකින් ප්‍රචණ්ඩත්වයට ඇද දැමීමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිසක් සංවිධානාත්මක ලෙස කටයුතු කළ බව දේශපාලන විචාරකයන් මෙන්ම නීතිඥ සංගම් ද චෝදනා කරයි.

කෙසේ වුවත් මේ වන විට සිවිල් සංවිධාන , සමාජ ක්‍රියාකාරීන් , දේශපාලන පක්ෂ පොදුජනතාව වෙතින් ඉල්ලන්නේ ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට සහ සාමකාමී අරගලය ඉදිරියට ගැනීමය.

මහින්ද ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්න : පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් !

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇතුළු පිරිසක් අපරාධ නිතියට අනුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලමින් නිතීඥවරුන් පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇත.

අදාළ පැමිණිල්ල අද (10) සිදුකර ඇති අතර එහිදී චෝදනා කර ඇත්තේ ,ගාලුමුවදොර උද්ඝෝෂකයින්ට මෙන්ම අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමාකාමී විරෝධතා ව්‍යාපාරවලට බීමතින් කඩා වැදී අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් එහි සිටි පිරිසට පහරදී අලාභ හානි සිදුකර සාපරාධී බියගැන්වීමකට කුමන්ත්‍රණය කර ආධාර අනුබල දීමය.

ප්‍රජාතන්ත්‍රවාදී නිතීඥ එකමුතුවේ නිතීඥ කමල් විජේසිරි, නිතීඥ තුසිත ගුණසේකර, නිතීඥ රජිත ලක්මාල් සහ නිතීඥ නිශාන්ති වෙත්තසිංහ ඇතුළු නිතීඥ පිරිසක් විසින් මෙම පැමිණීල්ල පොලිස් මූලස්ථානයට සිදුකර ඇත .

අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක් සදහා පිට පළාත්වල 3000ක පමණ ජනතාවක් බස් රථවලින් කොළඹට ගෙන්වා අග්‍රාමාත්‍යවරයාගේ දේශනයෙන් පසු, මසකට වැඩි කාලයක් ‘මයිනා ගෝ ගම” සහ “ගෝඨා ගෝ ගම” යන ස්ථානවල විරෝධාවේ යෙදුණු සාමකාමී විරෝධතාකරුවන්ට පහරදී සාපරාධී බියගැන්වීමට කුමන්ත්‍රණය කර අධාර අනුලබල දීමේ චෝදනාව යටතේ මෙම අයවලුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට එම පැමිණීල්ලේ සදහන් වේ.

මෙම අපරාධය කුමන්ත්‍රණය කිරීමට චේතාන්විතව අනුබල දීමේ චෝදනාව යටතේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු සිද්ධියට අදාළ සියලුම පාර්ශ්වයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ද එම පැමිණීල්ලේ දක්වා තිබේ.

මෙම අපරාධය වන තුරු බලාසිට එය වැළැක්වීමට නිත්‍යානුකූලව කටයුතු නොකරමින් සිටි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් , මෙම සිද්ධියට අදාළව රැදවියන් කලහකාරී සහ අපරාධමය වැරදිවලට යොමුකිරීමට අදාළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය යන අයට එරෙහිව ලංකා දණ්ඩ නිති සංග්‍රහය යටතේ පරික්ෂණයක් සිදුකර ඔවුන් සියලු දෙනාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නිතීඥවරුන් සිය පැමිණීල්ලෙන් ඉදිරිපත් කර ඇත.

අප්පච්චි රටින් පනින්නේ නෑ : නාමල්ගෙන් සහතිකයක් !

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ රට අත්හැර කිසිම විටෙක පළානොයන බව ඔහුගේ වැඩිමහල් පුතා වන හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ප්‍රංශය පුවත් සේවය වෙත ප්‍රකාශයක් කරමිනි.

“අපි යනවා කියලා කටකතා ගොඩක් පැතිරෙනවා. අපි රටෙන් යන්නේ නෑ.

මගේ තාත්තා ආරක්ෂිතව ඉන්නවා. ඔහු ආරක්ෂිත තැනක ඉන්නවා. ඔහු පවුලේ අයත් එක්ක කතාබහ කරනවා.

අපි සෑම විටම අපේ ජනතාව සමඟ ඉන්නවා” යැයි ද ඔහු ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත.

හමුදා පාලනයකට ඉඩ තියන්න එපා - චන්ද්‍රිකා

හමුදා පාලනයකට මග පෑදීම සඳහා කඩාකප්පල්කාරීන් විසින් ප්‍රචණ්ඩත්වය උසිගැන්විය හැකි බව වහාම දැනුවත් වන ලෙස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි .

සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කර ඇත .

හිටපු ජනාධිපතිනිය තැබූ ට්වීටර් සටහන පහත දැක්වෙයි .

ckb s

ප්‍රහාරය අපරාධ වරදක් : විමර්ශන CID යවලා !

ජනතාවගේ  ව්‍යවස්ථානුකූල අයිතීන් උල්ලංඝනය කරමින් සාමකාමී විරෝධතාවට කඩා වැදීමේ සිද්ධියට නායකත්වය දුන් හා සම්බන්ධවූ සියලු දෙනාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සඳහා වහාම පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපති සංජේ රාජරත්නම් විසින් පොලිස්පති දැනුවත් කර ඇත .

එහිදී නීතිපතිවරයා පෙන්වාදී තිබෙන්නේ කොළඹ නගර සීමාව තුළ ඇති වූ මේ ප්‍රචණ්ඩ සිද්ධිය මුල් කරගෙන රට පුරා බරපතළ තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති සාමකාමිව රැස්වීම, අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය යොදා ගනිමින් ජනතාව සති කිහිපයක සිට විරෝධතාව පවත්වා ගෙන ගිය බව නීතිපතිවරයා පෙන්වා දෙයි.

තවද නීතිපතිවරයා මෙම ලිපියේ අවධාරණය කර ඇත්තේ, ජනතාවට ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම රජයේ සියලුම පාර්ශ්වයන්ට පැවරෙන බවයි.

සාමකාමීව රැස්වී සිදුකළ මෙම විරෝධතාවයට ඊයේ දිනයේ විශාල පිරිසක් කඩා වැදී සිදුකළ ක්‍රියාව රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් හා අපරාධමය ක්‍රියාවක් බවද නීතිපතිවරයා පෙන්වා දි තිබේ.

නීතිපතිවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, මීට අදාළ පරීක්ෂණ ප්‍රමුඛතාවය ලබා දී වහාම සිදුකරන ලෙසයි.

එසේම මේ වන විට පොලිස්පති විසින් අදාළ ප්‍රහාරයේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවත් වාර්තා වෙයි .

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගෝඨාගෝගම නිර්පාක්ෂික, සාමකාමී විරෝධතා කලාපය අද 32 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

ඔවුන් තවදුරටත් අරගලයේ නිරත වෙමින් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාද සිය ධූරයෙන් ඉවත් විය යුතු බවයි.

 

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට ප්‍රහාරයක් !

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත අද (10) ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට එහිදී තුවාල ලැබූ නියෝජ්‍ය පොලිස්පතිවරයා රෝහල් ගතකර ඇත.
 
ඊයේ සාමකාමී විරෝධතාකරුවන් ට ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි මැර පිරිස සමග නියෝජ්‍ය පොලිස්පතිවරයා  සිටි ජායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
 
වාර්තා වන ආකාරයට අද ප්‍රහාරය දියත්ව ඇත්තේද මැර ප්‍රහාරය සම්බන්ධයෙන් විමසමිනි. ඒ " අපිට ගහන්න ඕඩර් දුන්නේ කවුද ?" අසමිනි.
 
FB IMG 1652178544481

ගෝල්ෆේස් ප්‍රහාරයට බන්ධනාගාර සිරකරුවන් ගෙනාවද ? මෙන්න උත්තර !

වටරැක බන්ධනාගාර කදවුරේ සිට කොළඹ වැඩබිම් කරා ගිය සිරකරුවන් පිරිසක් අරගලයට පහර දුන් අය බවට සැක සිතා තලාහේන ප්‍රදේශයේදී පහර දීහක් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

මෙහිදී සිරකරුවන් 58 දෙනකු පළා ගොස් ඇති බවත් ඔවුන් හමුවුවොත් දැනුම්දෙන ලෙසත් ඔහු පැවසීය .

බන්ධනාගාර ප්‍රකාශක මෙසේ අදහස් දක්වා සිටියේ , ඊයේ ප්‍රහාරයට බන්ධනාගාර සිරකරුවන් යොදාගෙන තිබේද යනුවෙන් සමාජ මාධ්‍ය සහ මාධ්‍ය කිහිපයක පළවූ පුවත් වලට ප්‍රතිචාර දක්වමින් ය.

නමුත් එහිදී අත්‍යාවශ්‍ය කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නොමැති බව අප වෙබ් සංස්කාරකවරයා සමාජ මාධ්‍ය ඔස්සේ පෙරළා ප්‍රශ්න කර තිබිණ.

1) මේ සිරකරුවන් ප්‍රවාහනය කරන්නේ , බන්ධනාගාර නිලධාරීන් ගේ ආරක්ෂාව යටතේ නෙවෙයිද ? සිරකරුවන් බස් වලින් බස්වන විට ඒ නිලධාරීන් මොකද කළේ ?

2) මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ පොලිසිය වෙත පැමිණිල්ලක් කරාද ? ඒ බව මෙහි නොකියන්නේ ඇයි ?

3) නොසන්සුන් තාවක් මතුව ඇති විට ඊට සරිලන ලෙස සිරකරුවන් ආරක්ෂා නොකළ නිලධාරීන් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද ?

4) අනේ මන්දා , ප්‍රශ්න ගොඩයි. මොනවා වුණත් කරුණු කාරණා සහිතව ජනතාව දැනුවත් කරන්න .

යනුවෙනි .

පහත දැක්වෙන්නේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශයකගේ ප්‍රකාශය යි.

හදිසි තත්ත්වයක් : පාර්ලිමේන්තුව වහා කැඳවයි !

පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ඉල්ලීමක් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

කථානායකවරයා සදහන් කරන්නේ , රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් සංවාදයට ලක් කළ යුතු බවය.

එසේම වර්තමානයේ රට තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සහගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව හෙට (11) රැස්වන පක්ෂ නායක රැස්වීමේදී තීරණයකට එළැඹෙන බවත් කතානායක පවසයි .

 ඒ අනුව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (11) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතය.

එමෙන්ම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නව අග්‍රාමාත්‍යවරයෙකු ද තෝරා පත් කර ගැනීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරී ඇති බව කථානායකවරයා අවධාරණය කර ඇත .

 

 

මහින්ද ගුවනින් ත්‍රිකුණාමලයට ? ජනතාව ත්‍රිකුණාමලය වට කරයි !

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් ‍ත‍්‍රිකුණාමලය හමුදා කදවුරක් වෙත ගුවන් මගින් ගොස් ඇති බවට සමාජ මාධ්‍යවල වාර්තා පළවෙයි.

අද (10) පෙරවරුවේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවක් මගින් මොවුන් ඒ වෙත ගොස් ඇතැයි ද ඒවායේ සඳහන් අතර කොළඹ ක්ශේත්‍ර බලකා මූලස්ථානයේ සිට මෙම පිරිස හෙලිකොප්ටරයක් මාර්ගයෙන් පිටවන අයුරු දැක්වෙන ජායාරූප සහ වීඩියෝ කොටස්ද හුවමාරුවෙමින් පවතී.

කෙසේ වෙතත් රජයේ වගකිවයුතු පාර්ශවයක් මේ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් තහවුරු කර නැත.

ජනතාව ත්‍රිකුණාමලය නාවික කඳවුර වටේ !

එසේම මේ වන විට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ පිරිසක් ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හමුදා කදවුර වෙත පැමිණ ඇති බවටත් ප්‍රචාරයක් සමාජ මාධ්‍ය ඔස්සේ යයි.

ඒ සමග මේ වන විට ඒ කඳවුර ඉදිරිපිටත් විරෝධතාවක් සංවිධානය කර ඇත .

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස එහි රැඳී සිටින්නේ යැයි විරෝධතාකරුවන් කියා සිටියි.

මෙම පිරිස වහා ඉන් එලියට දමන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවන් විරෝධයේ යෙදෙන අතර එම කදවුර ආසන්නයේ මේ වන විට ආරක්‍ෂවද තර කර ඇත.

මේ බල පෙරේතයන් අත්අඩංගුවට ගන්න - විමල්

හොරා කාපු සල්ලි යොදා ගෙන, බැසිල් රාජපක්ෂගේ මග පෙන්වීම යටතේ සාමකාමී විරෝධයට පහර දුන් බවත් 'අයින්වෙන්න ඕන තැනදී අයිවෙන්න බැරි වුන් නායකයන් නොව බළ පෙරේතයන් '' යයි ජාතික නිදහස් පෙරමුණේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කරයි.

 ස්ථිර නොවූ සේවකයන් ස්ථිර නොකරන බවට තර්ජනය කර අරලියගහ මන්දිරය වෙත කැඳවා ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ, ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මෙසේද සඳහන් කළේය.

“මේ සිද්ධි ඔක්කොම වුණාට පස්සේ ඉල්ලා අස්වෙන එක නෙමෙයි. මේවා මෙතෙන්නට එන්නට කලින් ඉල්ලා අස්වෙන්න නොදුන්නේ කවුද ? ඔය අරලියගහ මන්දිරයට කැඳවපු මිනිස්සුන්ට උද්වේගකර ආවේගශීලි කතා පවත්වලා ප්‍රචන්ඩත්වයට පෙළඹෙව්වේ කවුද ? ජොන්ස්ටන් ඇතුළු කල්ලියක් තමයි එක කලේ. බැසිල් රාජපක්ෂගේ උපදෙස් හා මඟපෙන්නවීම මත හොරාකාපු සල්ලි වියදම්කරගෙන තමයි මේ විනාසේ කෙරුවේ..''

 ඒ තමන්ගේ පාක්ෂිකයා උසිගන්වලා, කුළු ගන්නවලා අර අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබෙන ඒ විරෝධතාකරුවන් එළවලා දාන්නත්, පහරදෙන්නත්, ඒ වගේම ගාලුමුවදොරට ගිහිල්ලා පහර දෙන්නත්…

සමන් ලාල් ලා සෙනග ඇද්දේ බලෙන් !

මොරටුව නගරාධිපති සමන්ලාල් බස් 4කින් සෙනඟ ගෙනිල්ලා තියෙනවා. ඒ බස් 4ම ඉඳලා තියෙන්නේ මොරටුව නගර සභාවේ දවසේ දීමනාවට වැඩකරන ස්ථිර නොවූ සේවකයින්. ඒ මිනිස්සු යන්න කැමතිවෙලාත් නැහැ. උඔලාව මම ස්ථිරකන්නේ නැහැ ආවේ නැත්නම් කියලා තමයි බස්වල පටවාගෙන ගිහින් තියෙන්නේ.

දැන් ජොන්ස්ටන් ඇවිල්ලා ඒ අය බේරගන්නවාද ? දැන් මහින්ද රාජපක්ෂ ඇවිල්ලා ඒ මිනිස්සු බේරගන්නවාද ?

 ''ජොන්ස්ටන්ලා අත්අඩංගුවට ගන්න'

තමන්ගේ පාක්ෂිකයෝ ඇවිත් ගුටිකන තත්ත්වයට එනකන් මොකද හිටියේ ඉල්ලා අස්වීමේ ලියුම දෙන්න. ඒකද නායකයා කියන්නේ. අයින්වෙන්න ඕන තැනදී අයිවෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ හැකියාව නැතිනම් ඔවුන් නායතයෝ නෙමෙයි. බළ පෙරේතයෝ.

අපි මේ අවස්ථාවේදී දණ නමස්කාර කරලා. වැඳලා ඉල්ලන්නේ. සෑම පාර්ශවයකින්ම සාමකාමී වෙන්න. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ, එතනට ඒ අයව ක්‍රියාත්මක කරපු ජොන්ස්ටන් ප්‍රානාන්දුලා අත්අඩංගුවට අරගන්න ඕනේ.”

ප්‍රහාරය සඳහා සිරකරුවන් යොදාගෙන ?

ඊයේ (09) අරලිය ගහ මන්දිරය අසල මයිනාගෝගම සහ ගෝඨාගෝගම විරෝධතා දැක්වූ සාමකාමී නිරායුද විරෝධතාකරුවන් ට එල්ල කළ මිලේච්ජ ප්‍රහාරය සඳහා බන්ධනාගාර ගත සිරකරුවන් යොදාගෙන ඇති බවට වාර්තා පළවෙයි.

ඊට අදාළ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

එවැනි එක් වීඩියෝවක් සමාජ මාධ්‍ය වලින් උපුටා අප පළකර ඇත.

එක සමාන කළිසම් ඇඳ ඇති ඔවුන් ඉතා පැහැදිලිව කියන ප්‍රකාශවලට දෙස් විදෙස් අවධානය යොමුවිය යුතුව ඇත.

එසේම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වහාම මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය යුතුව තිබේ.

මේ සම්බන්ධයෙන් අප වෙබ් අඩවියේ සංස්කාරක තැබූ සටහනක් පහත දැක්වෙයි .

 සිරකරුවන් ප්‍රහාරයට ආවේ කොහොමද ?

මේ සාමකාමී විරෝධතාකරුවන්ට පහරදී යන අතර පොදුජනතාව භාරයට පත්වූ මේ මිනිස්සු කියන්නේ , උන් බන්ධනාගාර ගතව සිට එහි ගෙනා බවයි.

මීට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වහාම පිළිතුරු දිය යුතුව ඇත.

සිරකරුවන් රංචු පිටින් යොදවා සාමකාමී නිරායුද විරෝධතාකරුවන් ට ප්‍රහාරය එල්ල කිරීමට නියෝග දුන්නේ කවුද ?

මීට පෙරත් එසේ යොදාගෙන තිබෙනවාද ?

මේ ප්‍රථම වතාව නම් , මීට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීම ප්‍රමාද ඇයි ?

ඒ වගේම මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුවිය යුතුව ඇත.

වැඩ සිදුකර ඇත්තේ මෙහෙම නම් , වැඩේ සංවිධායකයන් සැබෑ ත්‍රස්තවාදීන් නොවේද ? 

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

අද රාත්‍රී 7.00 සිට මුළු දිවයින්ටම පැන වූ ඇඳිරි නීතිය මැයි 11 ( බදාදා) උදෑසන 7 දක්වා දීර්ඝ කෙරේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

එම නිවේදනය පහත දැක්වේ.

edirineethiya

නඩු තිබුණ ස්මාරකයත් කුඩු !

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ආශ්‍රිත ස්මාරකය අද (09) කෝපයටපත් ජනතාව විනාශ කර ඇති බව වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් ජායාරූප සහ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වෙමින් පවතී.

සැබවින්ම සාමකාමී විරෝධතා උද්ඝෝෂණ පැවති රට මෙලෙස එක් සැනකින් ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත්තේ අරලිය ගහ මන්දිරයේ අද රැස්වූ පිරිසක් මයිනාගෝගම සහ ගෝඨාගෝගම නිරායුද සාමකාමී විරෝධතාකරුවන් ට එල්ල කළ මිලේච්ජ ප්‍රහාරය නිසාය.

මෙම ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව නඩුකරයක් ද පැවති අතර නමුත් ඔහු ජනාධිපති මුක්තිය හරහා එයින් නිදහස් විය.

FB IMG 1652109107037

FB IMG 1652109104360

 

 

අද ප්‍රහාරය රජ ගෙදර කුමන්ත්‍රණයක් : ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් චෝදනාවක් !

සාමකාමී ජන අරගල භූමියට කඩා පැන විරෝධතාකරුවන්ට පහරදී මුළු රටම අර්බුදයකට යැවීම හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ හා බැසිල් රාජපක්ෂ ගේ දේශපාලන කුමන්ත්‍රණයක් බව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයකු පවසා ඇත .

 මෙම කුමන්ත්‍රණකරුවන්ගේ ඉලක්කය වුයේ අන්තර්කාලින ආණ්ඩුව කඩාකප්පල් කිරීම බව ඔහු සඳහන් කර තිබේ .

අන්තර්කාලින ආණ්ඩුවට ජනාධිපතිවරයා එකඟවූ දිනට පසුදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදෙමින් ජනාධිපතිවරයා හා ස්වාධින මන්ත්‍රී කණ්ඩායම අතර ගැටුමක් ඇති කිරීමට බැසිල් රාජපක්ෂ කටයුතු කල බවද ස්වාධින මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත .

මේ බව ද ලීඩර් වෙඩ් අඩවිය වාර්තා කර ඇති අතර බැසිල් රාජපක්ෂ විසින් අද දිනයේ අරලියගහ මන්දිරයට කැඳවා තිබු පොහොට්ටුවේ ආධාරකරුවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැඩි ලෙස විවේචනය කර තිබීම ද විශේෂ කාරණයක් බවත් එහි සඳහන් කර තිබේ.

Page 255 of 386