V2025

පුවත්

රුපියලට සාපේක්ෂව සජිත්ගේ වෛරයත් ඉහළට !

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (19) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 10 කින් පහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.53ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.56 ලෙස සටහන් විය.

සජිත්ගේ වෛරය අගමැතිට !

මේ ආකාරයට රුපියල ඉතාම අසීරු කොන්දේසි යටතේ ඉහළ යන පසුබිමේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉලක්ක කර සමගි ජනබලවේගය වෛරී සහගත හැසිරීමක් නිරීක්ෂණය වන බව දේශපාලන විචාරකයන් පවසයි .

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ දැලි පිහියෙන් කිරි කන අයෙකු බවට පත්ව ඇත්තේ මෙරට ගිලගනිමින් ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට බවත් , ලැබුණු අවස්ථාව ප්‍රතික්ෂේප කළ විපක්ෂනායකවරයා අග්‍රාමාත්‍යවරයා ඉලක්ක කර ගෙනයන විරෝධතා පදනම් විරහිත බවත් විචාරකයන් පවසයි .

සජිත් පාර්ශ්වය කොතරම් වෛරී සහගත තත්ත්වයක් පෙන්නුම් කරනවාද කියතහොත් රාජපක්ෂවරුන් ගේ සියලු පව් රනිල් වික්‍රමසිංහ ගේ ගිනුමට බැර කරමින් සිටින බවත් මෙහි වාසිය ඇත්තේ , යළිත් බලය උදුරා ගැනීමට මාන බලන බැසිල් - මහින්ද පාර්ශ්ව වෙත බවත් දේශපාලන විචාරකයන් පවසයි .

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු මෙසේද පැවසීය .

" ගොනා පිදුරු කන්නෙත් නෑ , කන ගොනාට දෙන්නෙත් නෑ , තියරිය තමයි මෙතන තියෙන්නේ . විපක්ෂ නායක සජිත් ගේ මේ වෛරය අන් කිසිවක් නෙවෙයි , රනිල් අගමැති වීම නිසයි. සජිත් බයේ මඟහැර ගිය අභියෝගය රනිල් බාරගත්තා. දැන් නාහෙන් අඬන්න අරගෙන . රට තියෙන්නේ බරපතළ අර්බුදයක. මුලින්ම වෙන්න ඕන ඒක විසඳීම. නමුත් වෙමින් පවතින්නේ රාජපක්ෂවරුන් රකිනවා කියලා රනිල්ට මඩ ගැසීම .

ඇත්තටම සජිත් දේශපාලන වශයෙන් බොලඳයි. නැත්නම් මේ විදියට හැසිරෙන්නේ නෑ . රාජපක්ෂවරුන් බංකර් ගත කරන තරමට ජනතාව පෙරට ආවා. සජිත් සූක්ෂම දේශපාලන නායකයෙක් නම් ඔහුට බලය අත්කර ගන්න මීට වඩා අවස්ථාවක් නෑ . එහෙත් ඔහු අසමත් වුණා . බය වුණා . පියානෝ නිසා ප්‍රේමදාස නම , තිබූ තනතුර නිසා සජිත් ඉස්සරහට ආවා, සජබ කියලා පක්ෂයක් සිය ගණනක් එකතුව හදලා දුන්න නිසා ඔහු පක්ෂ නායකයෙක් වෙලා , විපක්ෂ නායක වුනා. ඒ හැර ජාතික නායකයෙක් වෙන්න හැකියාවක් ඔහුට නෑ .

දැන් ඔහු බලන්නේ රනිල්ට ගහලා ප්ලැට් කරන්න . ඒත් සජිත් දන්නේ නෑ , සජිත්ව නායකයෙක් කරපු කවුරුවත් දැන් ඔහු සමග නැති බව ."

අඩු මිලට ඉන්ධන දීලා නෑ : සජබ සහ සිරස ගේමක් !

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සඳහා ඉන්ධන ලීටරයක් රුපියල් 121.19 කට නිකුත්කර නොමැති බව ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි .

අදාළ ඉන්ධන නිකුත්කර තිබෙන්නේ වෙළඳ පොළ මිල අඅනුව බවත් අමාත්‍යවරයා පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

ඊයේ (18) සිරස රූපවාහිනීයේ ප්‍රවෘත්ති විකාශය අවස්ථාවේ නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට අයත් ඉන්ධන පිරවුම් පොළෙන් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සඳහා අඩු මිලට ඉන්ධන සපයා ඇති බව විකාශය කළ අතර , ඊට අදාළ වීඩියෝවක් ද දක්වනු ලැබිණ .

ඒ සමග ඊට දැඩි විරෝධයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්විය.

කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාංචන විජේසේකර අමාත්‍යවරයා පවසා සිටියේ නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට අයත් ඉන්ධන පිරවුම් පොළෙහි මිනුම් යන්ත්‍රය යාවත්කාලීන කර නොමැති විම නිසා මේ අර්බුදය හටගත් බවය.

එසේම ඛනිජ තෙල් සංස්ථාව ජනාධිපති , අගමැති , කතානායක , විපක්ෂ නායක මෙන්ම අමාත්‍යවරුන් හෝ මන්ත්‍රීවරුන් කිසිවෙකුට කිසිම අවස්ථාවක පවතින මිලට අඩුවෙන් ඉන්ධන නිකුත්කර නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය .

නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට අයත් ඉන්ධන පිරවුම් පොළෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අත්පිට මුදලට ඉන්ධන නිකුත්කරන ලෙස ඉල්ලා ඇත්තේ කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ය.

මැයි 17 වනදා කතානායක විසින් පොලිස්පති වෙත ලිපියක් යොමුකර මෙම ඉල්ලීම සිදුකර ඇත .

අදාළ ලිපිය පහත දැක්වෙයි .

IMG 20220519 WA0001

SA/ E/ 06 දරන එම ලිපිය , " නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා පොලිස් රථවාහන කොට්ඨාසයට අයත් ඉන්ධන පිරවුම් හලෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා අත්පිට මුදලට ඉන්ධන ලබාගැනීම සඳහා පහසුකම් සැලසීම " යනුවෙන් සඳහන් කර ඇත .

ඊයේ (18) සිට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ට අදාළ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කර ඇත්තේ එකී ඉල්ලීම අනුවය.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට , පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සඳහා මෙවැනි පහසුකමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉල්ලා ඇත්තේ , පාර්ලිමේන්තුවේ පොදු ඉල්ලීමක් වශයෙනි .

පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිම පක්ෂයක් මේ පහසුකම ප්‍රතික්ෂේප කර නැත.

මේ අතර විෂය භාර අමාත්‍යවරයා වන කාංචන විජේසේකර පොලිස්පති වෙත පොරොන්දු වී ඇත්තේ පොලිස් ප්‍රවාහන කොට්ඨාසය විසින් නිකුත්කරන ඉන්ධන තොග සඳහා අවශ්‍ය ඉන්ධන ඛනිජ තෙල් සංස්ථාව විසින් නැවත සපයන බවය.

එසේම මුදල් අයකරන නිලධාරියෙකු ද ඛනිජ තෙල් සංස්ථාව හරහා ලබාදෙන බවත් අමාත්‍යවරයා පොරොන්දු වි ඇත.

කෙසේ වුවත් අඩු මිල්ට ඉන්ධන නිකුත්කරන බව සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරයකු සිරස ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක් වෙත පටිගත කළ දර්ශන යොමුකර ඇති බවත් දැනගන්නට ඇත .

කෙසේ වුවත් මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සිදුවීම සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කරන ලෙස දැනුම්දී ඇති බවත් වාර්තා වෙයි .

ඒ අනුව මේ වන විට ඉන්ධන සැපයීම අත්හිහිටුවා ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවෙන බවත් වාර්තා වෙයි .

ඇමති සැප කප්පාදුවක් : රාජ්‍ය සේවකයින් හෙට ගෙදර ඉන්න - අගමැති

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ගේ සියලු වැටුප් ගෙවීම අත්හිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ ද ඇතැම් වරප්‍රසාද කපා හරින බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය .

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (19) පාර්ලිමේන්තුව අමතමිනි.

හෙට දිනයේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සේවකයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවද පැවසූ අග්‍රාමාත්‍යවරයා ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.

දැනටමත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම සියයට 50 ක් දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බවත් එහිදී ඔහු පැවසීය .

දෛනික අත්‍යවශ්‍ය ආහාර සඳහා ද මුදල් මේ වන විට භාණ්ඩාගාරය සතුව නැතැයි ද පැවසූ අගමැතිවරයා ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් වහා සොයා ගත යුතු බවද සඳහන් කළේය.

පවතින අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බවද මෙය ලෝක ආහාර අර්බුදයක් බවට පත්වන ලකුණු පෙනෙමින් ඇතැයිද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

 

පොහොට්ටු ප්‍රහාරය මැද : අනුර ගේම ඉල්ලයි !

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගිය දිනවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඔහුගේ කතාවට දිගින් දිගටම බාධා එල්ල කිරීම හේතුවෙන් අද (18) පාර්ලිමේන්තුවේ දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇති විය.

එහිදී පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් " මිනී මරුවා මිනීමරුවා. ඔයා තමයි ඔක්කොම කළේ" යනුවෙන් විරෝධය දැක්වීය .

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ යනු මෙවැනි ආකාරයේ තර්ජනවලට බියවන පක්ෂයක් නොවන බව පැවසීය .

පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් සම්බන්ධ නම් ඒ සම්බන්ධයෙන් පවත්වන ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට සූදානම් බවද ඔහු පැවසූවේය.

මෙහිදී අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පැවසුවේ පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හාරසිය පනස් දෙනා ගෙන් එකසිය පනස් දෙනකුම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බව පොලිස්පතිවරයා දන්වා ඇති බවය.

මෙහිදී ඊට ප්‍රතිචාර දැක්වූ අනුර දිසානායක මන්ත්‍රීවරයා එසේනම් ඒ අයට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වය ලබාදී ඇත්තේ පොලිස්පතිවරයා විය හැකි බව පැවසීය .

තමාගේ නිවෙසද 1988දී ගිනිගෙන විනාශවූ බව ඔහු සඳහන් කළේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මෙහිදී පැවසුවේ තමාගේ නිවෙසට ගිනි තැබීමට පැමිණි පිරිසේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයකුද සිටි බවය.

මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට විවිධ චෝදනා කරමින් බාධා කරනු දකින්නට ලැබිණ.

එහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ සියලු ප්‍රශ්න ඇතිවුණේ තමන්ගෙ පාඩුවෙ අරගල කරපු පිරිසට මැරයන් යොදා පහරදීම නිසා බවය.

ගෝල්ෆේස් ප්‍රහාරය : සනත් සහ මිලාන් 25 දක්වා හිරේ !

මැයි 9 වනදා අරගිලයගහ මන්දිරයේ සිට පැමිණි මැරයන් පිරිසක්, කොල්ලුපිටිය මයිනා ගෝ ගමදී සහ ගාලු මුවදොර ගෝටා ගෝ ගමදී සාමකාමී අරගලයේ නිරත තරුණ තරුණියන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ලබන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (18) නියෝග කළේය.

එසේම ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාර වලට සහභාගි කරවීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස් වරයාට නියෝග කළ බවත් වාර්තා වෙයි .

දේශබන්දුගෙන් පැය 8 1/2 ක් ප්‍රශ්න කරලා !

මේ අතර අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (17) පැය 8 1/2 ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය පවසයි .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඊයේ පස්වරු 4.00 ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අතර මධ්‍යම රාත්‍රී 12.30 දක්වා මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර ඇති බවත් වාර්තා වෙයි .

මේ වන විට ප්‍රහාරයට අදාළව 22 කගේ නම් නීතිපති විසින් පොලිස්පති වෙත යොමුකර ඇති අතර එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ නමත් සඳහන් ය.

එසේම මීට පෙර ඔහු මානව හිමිකම් කොමිසම වෙතද ප්‍රකාශයක් ලබාදී තිබිණ .

කෙසේ වුවත් මේ වන විට සමාජ මාධ්‍ය තුළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරෙමින් පවතී.

සජිත්‍ට වැරදුනේ : ආර්ථික කෙරුමෙක්ගේ වදන් නිසා !

අග්‍රාමාත්‍ය ධූරය බාරගෙන අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සිදුකළ ආරාධනය ඔහු ප්‍රතිකේෂ්ප කර ඇත්තේ , සමගි ජනබලවේගය පක්ෂයේ ආර්ථික ඔස්තාර්වරයෙකු ලෙස පෙනී සිටින මන්ත්‍රීවරයකු ගේ වැරදි උපදෙස් නිසා බව වාර්තා වෙයි .

සමගි ජනබලවේගය පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ බව විපක්ෂ නායක විසින් සිය අතිශය සමීප ව්‍යාපාරික සගයන් කිහිපදෙනෙකු වෙත පවසා ඇත .

එහිදී විපක්ෂ නායකයා පවසා ඇත්තේ , වත්මන් අර්බුදය කිසිසේත් විසඳීමට නොහැකි බව පවසමින් තමන්ට උපදෙස් ලබාදුන් බවත් ඒ හේතුවෙන් අගමැති ධූරය ලබා ගැනීම සම්බන්ධයෙන් තමන්ට දැඩි මානසික පීඩනයක් ඇතිවූ බවයි.

එහිදී විපක්ෂනායකවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ , පක්ෂයේ බුද්ධි මණ්ඩපය නියෝජනය කරන ආර්ථික විෂය සම්බන්ධ මහාචාර්යවරුන් කිහිපදෙනෙකු අර්බුදය විසඳීමට හැකි බවට පෙන්වා දුන් නමුත් , තමන් අදාළ මන්ත්‍රීවරයා කෙරෙහි විශ්වාසය තැබූ බවය.

අදාළ ආරංචි මාර්ග තවදුරටත් පවසන්නේ , තමන් අග්‍රාමාත්‍ය ධූරය ලබාගන්නට දැක්වූ ප්‍රමාදය සම්බන්ධයෙන් මේ වන විට විපක්ෂනායකවරයා පසුතැවිල්ලෙන් සිටින බවය.

 

මාධ්‍යවේදීන්ට චණ්ඩිකම් දැමූ මන්ත්‍රීවරුන්ට නීතිය ක්‍රියාත්මක කරනු - අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ !

පාර්ලිමේන්තු වාර්තාකරුවන් දෙදෙනෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද තර්ජනයන්, ශාරීරික හිංසනයන් හා ඔවුන්ගේ මාධ්‍යවේදී වෘත්තිය කරගෙන යාමට භාවිතා කරන ජංගම දුරකතනයන් පැහැර ගැනීමේ නිර්ලජ්ජිත ක්‍රියාව හෙළාදැක "අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ " සංවිධානය නිවේදනයක් නිකුත්කර ඇත .

පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට රංචු ගැසී උත්සහ කිරීම නිර්ලජ්ජිත ක්‍රියාවක් ලෙස සඳහන් කරන එම නිවේදනය අදාළ මන්ත්‍රීවරුන් වෙත තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා ඇත.

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි !

ඊයේ (මැයි 17) පාර්ලිමේන්තුවේදී සිරස මාධ්‍ය ආයතනයේ පාර්ලිමේන්තු වාර්තාකරු කසුන් සමරවීර සහ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයේ පාර්ලිමේන්තු වාර්තාකරු සහ පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රගීත් පෙරේරා යන මාධ්‍යවේදීන් දෙපළට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද තර්ජනයන්, ශාරීරික හිංසනයන් හා ඔවුන්ගේ මාධ්‍යවේදී වෘත්තිය කරගෙන යාමට භාවිතා කරන ජංගම දුරකතනයන් පැහැර ගැනීමේ නිර්ලජ්ජිත ක්‍රියාව ගැන අපගේ දැඩි අවධානය යොමු වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී. සිරිසේන, ඉන්දික අනුරුද්ධ හා චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන් මේ සාපරාධී ක්‍රියාවේදී ඉදිරියෙන් සිටි බවත් ඉන් පසු තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25ක් පමණ මාධ්‍යවේදීන් දෙදෙනාව වට කරගනිමින් බරපතළ තර්ජනයක් සිදු කල බවත් වින්දිත මාධ්‍යවේදීන් චෝදනා කරති.

මෙම තර්ජනය සහ ජංගම දුරකතන පැහැර ගැනීම සිදු වී තිබෙන්නේ රූගත කරමින් සිටින අවස්ථාවකදී වන අතර, මාධ්‍යවේදියකු සිය වෘත්තිය කරගෙන යද්දී එයට බාධා කර එය වැළැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පමණක් නොව කිසිදු තරාතිරමක කෙනෙකුට කළ නොහැක. ඒ මගින් උල්ලංඝනය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට සහතික වී ඇති තොරතුරු දැන ගැනීමේ අයිතිය බව අපි වගකිවයුත්තන්ට අවධාරණය කරමු.

පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට රංචු ගැසී උත්සහ කිරීම නිර්ලජ්ජිත ක්‍රියාවක් ලෙස අපි පෙන්වා දෙමු.

ඊයේ සවස 6 පමණ දක්වා රදවා ගෙන සිටි මෙම මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකතන කතානායකතුමාගේ මැදිහත්වීමෙන් නැවත ඔවුන්ට ලබා දී ඇති නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙම ක්‍රියාවන් සම්බන්ධයෙන් කතානායකතුමා ගන්නා ක්‍රියාමාර්ග පිළිබද අපි අවධානයෙන් සිටිමු. එමෙන්ම මේ වන විට මෙම සිදුවීම සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එකී පැමිණිල්ලට නීතිය නිසිආකාරයෙන් තරාතිරම නොබලා ක්‍රියා කරන ලෙස අපි පොලිස්පතිවරයාට බල කර සිටිමු.

පසුගිය මැයි මස 09 වනදා ඇති වූ ගෝල්ෆේස් අරගලකරුවන්ට එරෙහි ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින මන්ත්‍රීන්ද තවමත් පාර්ලිමේන්තුවේ සිටින බවට පෙන්වා දෙන අප දිගින් දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රීන් නීතිය අතට ගෙන ක්‍රියා කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. මීට පෙර මිරිහානේ ඇතිවූ සිදුවීමේදීද මාධ්‍යවේදීන් පොලිස් පහරදීම් වලට ලක් වූ බවත් එහිදී සිය රාජකාරිය සිදු කිරීමට පොලීසිය විසින් බාධා කල බවත් ඒ සදහාද වන පරීක්ෂණ මන්දගාමී බවත් අප මේ මොහොතේදී සිහිපත් කරමු.

මාධ්‍යවේදීන්ට සිය රාජකාරිය බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙමින් ජනතාවගේ තොරතුරු අයිතිය සුරැකීමට කටයුතු කිරීම වගකිවයුතු ශිෂ්ඨසම්පන්න රජයක වගකීමක් බවත් අපි අවධාරණය කරමු. පාර්ලිමේන්තුවේ උත්තරීතර බවද සහ ඒ සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසයද රැකෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ශිෂ්ඨසම්පන්න හැසිරීමෙන් සහ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට වන ඔවුන්ගේ කැපවීමෙන් බවද අප පෙන්වා දෙමු.

කේ. සංජීව ( සභාපති )
දුලාන් දසනායක (ලේකම් )

පාඨලීගේ මාර්ග සිතියමට අගමැති එකඟයි : චම්පික ආණ්ඩුවට !

43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කරන ලද මාර්ග සිතියමේ යෝජනා අඩංගු කරුණු 6 සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පූර්ණ එකඟතාව පළකර ඇත.

මෙකී මාර්ග සිතියම ලිපියක් හරහා චම්පික රණවක මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යොමුකළ අතර ඊට එකඟතාව දක්වමින් අග්‍රාමාත්‍යවරයා ද මන්ත්‍රීවරයා වෙත පිළිතුරු ලිපියක් හරහා මෙම ප්‍රතිචාරය දක්වා ඇත .

මේ වන විට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ එකඟතාව මත චම්පික රණවක මන්ත්‍රීවරයා ද ආණ්ඩුවට එක්වනු ඇත බවයි.

එහිදී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ට මුදල් අමාත්‍ය ධූරය හෝ වෙනත් ප්‍රබල අමාත්‍ය ධූරයක් හිමිවනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් චම්පික රණවක මන්ත්‍රීවරයා වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි !

champika l

දකුණේ අරගලකරුවන්ට මිදිය නොහැකි වගකීමක් : රැඩිකල් මැද සාමූහිකය පෙන්වයි !

උතුරේ දියත් කළ යුද්ධය නිමා වී දහතුන් වසරකට පසුවත් සිරකොට තබාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙසත්, යුද සමයේත් ඉන් පසුවත් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කර සිටින අය පිළිබදව තොරතුරු නොපමාව හෙළි කරන ලෙසත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙසත් 'රැඩිකල් මැද සාමූහිකය' (Radical Centre) ගෝඨාභය-රනිල් පාලනයෙන් ඉල්ලා සිටියි.

අද (මැයි 18) වැනි දිනක රජයේ හමුදාවට බාරදුන් තම දුවා දරුවන්‍ සොයා දෙන ලෙස ඉල්ලමින් උතුරේ මව්වරුන් ගෙනයන අරගලය පිළිගෙන , ඊට රනිල් ආන්ඩුවට බල කිරීමේ වගකීමෙන් දකුණේ අරගල කරන කිසිවකුට මිදිය නොහැකි බවත් 'රැඩිකල් මැද සාමූහිකය' (Radical Centre) අවධාරණය කර ඇත .

හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් ආරම්භකල 'රැඩිකල් මැද සාමූහිකය' එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ය.

"දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු ! බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන් සොයා දෙනු ! ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරනු !" යන ශීර්ෂයෙන් යුතුව නිකුත්කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

"දෙමළ වර්ග සංහාරය සිහි කරන යුද පීඩිත උතුරු නැගෙනහිර දෙමළ ජනයා යුද්ධයට ගොදුරු වු දස දහස් සංඛ්‍යාත සිය ඥාතීන් මුල්ලිවයික්කාල් භුමියේදී අනුස්මරණය කිරීමට සුදානම් වන අද දවසේ අප අවධාරණය කරන්නේ, මේ වන විට රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පමණක් නොව දෙමළ ජනයාට එරෙහිව සිදුවු සියලු ආකාරයේ අපරාධ වලට මාරුවෙන් මාරුවට මෙරට පාලනය කළ ආණ්ඩුව වග කිව යුතු බවයි.

" 1948 ලද නිදහසින් පසු ගෙවුණු දශක 7කට වැඩි කාලයක් පුරාවට මෙරට පාලනයට සම්බන්ධ වූ සියලු දේශපලඥයන්ගේ අඩු වැඩි දේශපාලන ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයන් ලෙස මෙරට සමස්ත පුරවැසියාම අතිශය පීඩාකාරී, වේදනාකාරී ජීවිතවල උරුමකරුවෝ වෙති. ඒ අතරින් දෙමළ ජනතාව විඳි පීඩාව මහමෙරටත් වඩා බරය.

අවුරුදු 13කට වැඩි කලක් තිස්සේ එම අම්මලා උත්තර නැතිව හොයන්නේ අද ජනපති ගෝඨාභය රාජපක්ෂ එදා ආරක්ෂක ලේකම් සමයේ හමුදාවට බාරදීමෙන් පසු අතුරුදහන් කරන ලද දරුවන්‍ ය. අද අගමැති රනිල් වික්‍රමසිංහ එදාත් අගමැති ලෙසින් සිටියදී සොයා නොදුන් දරුවන්‍ ය. ඒ දරුවන්‍ සොයා ගැනීමට ආන්ඩුවට බල කිරීමේ වගකීමෙන් දකුණේ අරගල කරන අපට මිදිය නොහැකිය.

යුද්ධයේ අවසාන දින වලදී රජයේ ආරක්ෂක අංශ අත්අඩංගුවේ ඩංගුවේදීත් යුද්ධයේ අවසන් අදියරේදීත් අතුරුදහන් කරන ලද තමන්ගේ ලේ ඥාතීන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බලපෑම් කරමින් උතුරු නැගෙනහිර මව්වරු දින දෙදහකට ආසන්න කාලයක් තිස්සේ අඛණ්ඩ අරගලයක යෙදී සිටිති.

ආණ්ඩුව විසින් පිහිටුවන ලද අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) විසින් ප්‍රකාශයට පත් කර ඇති තොරතුරු සහ මේ පිළිබඳ වූ තවත් වාර්තා අනුව යුද්ධය අවසානයේ රජයේ ආරක්ෂක අංශ වලට පුද්ගලයන් 1,642 දෙනෙකු භාරදී ඇති බවත්, ඔවුන්ද ඇතුළුව අදටත් ආගිය අතක් නැති පුද්ගලයන් සංඛ්‍යාව 21,171 බව සඳහන් වේ.

බලහත්කාරයෙන් අතුරුදහන් කළ තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ ආරම්භයේ වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.

විශේෂයෙන්ම යුද පීඩිත ජනතාවගේ තොරතුරු ජනමාධ්‍යයට වාර්තා කරන උතුරු නැගෙනහිර දෙමළ මාධ්‍යවේදීන් වාර්තා කර ඇති පරිදි බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ජාත්‍යන්තර වශයෙන් යුක්තිය අපේක්ෂාවෙන් උතුරේ දියත් කර ඇති අඛණ්ඩ අරගලයට එක්ව සිටි දෙමාපියන් 115 දෙනකුට ආසන්න ප්‍රමාණයක් සිය දරුවන්ට අත්වු ඉරණම නොදැනම මේ වන විට දිවි ගමනට සමු දී තිබේ.

දකුණේ කිසිදු සහයෝගයක් නොමැතිව රජයේ ආරක්ෂක අංශ වල විවිධ බාධා කිරීම් මධ්‍යයේ කුසට නිසි අහරක් පවා නැතිව අනේක විද දුක් විදිමින් ලංකා ඉතිහාසයේ දීර්ඝතම අරගලයේ යෙදී සිටින දෙමළ මව්වරුන්ගේ සටනට සහාය පළ කරන 'රැඩිකල් මැද සාමූහිකය' දකුණේ අරගලකරුවන්ට මතක් කරන්නේ , අරගලයේ අරමුණ ජයගන්නා තෙක් පසු නොබැස සටන් වදින ආකාරය පිළිබදව අපි උතුරේ මව්වරුන්‌ගෙන් පාඩම් උගත යුතු බවයි.

 "සිය සමීපතමයන් සොයාගැනීම වෙනුවෙන් අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට මේ දක්වා එකම සමීපතමයකු හෝ සොයා දීමට අසමත් වු අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) සම්බන්ධයෙන්ද අපට ඇත්තේ අපැහැදීමක් පමණි.

බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට වන්දි මුදල් ලබා දීමට රජය ගෙන ඇති තිරණය පිළිබදව කිසිසේත්ම සෑහීමකට පත් නොවන 'රැඩිකල් මැද සාමූහිකය' එම ක්‍රියාව දකින්නේ අපරාධ යට ගැසීමට ගන්නා උත්සාහයක් ලෙසයි.

සිය ජනතාවගේ සුජාත අයිතිය වෙනුවෙන් සටන් වැදීම නිසා වසර ගණනාවක් තිස්සේ අමානුෂික ලෙස සිර කොට තබාගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බලකරන 'රැඩිකල් මැද සාමූහිකයේ' අප ඉල්ලා සිටින්නේ කොන්දේසි විරහිතව සියලු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කර මනුෂ්‍යත්වයේ දෑත් උතුරට දිගු කරන ලෙසයි.

බලයේ සිටින දේශපාලනඥයන් සිය විරුද්ධවාදීන්ගෙන් පළි ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගන්නා ආකාරය 'රැඩිකල් මැද සාමූහිකය' විසින් අවස්ථා ගණනාවකදීම නිරීක්ෂණය කර තිබේ.

"රටේ කීර්ති නාමය ජාත්‍යන්තරය හමුවේ පවා පළුදු කිරීමට හේතු වී තිබෙන අපකීර්තිමත් ත්‍රස්තවාදය වැළැක්විමේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කරන ලෙස යළි යළිත් රජයට බලකරන අප තවදුරටත් අවධාරණය කරන්නේ රටේ සියලු පුරවැසියන්ට ගෞරවාන්විතව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරන ලෙසයි."

රැඩිකල් මැද සාමූහිකය මේ නිවේදනය නිකුත්කර ඇත්තේ , පාර්ලිමේන්තුව තුළ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා කාන්තාවක් පත්කර ගැනීමට දැරූ ප්‍රයත්නය පවා, පටු දේශපාලන කඹ ඇදීමක් තුළ අහිමිව ගිය පසුබිමක වීමත් විශේෂත්වයක් .

මේ වන විට නිර්පාක්ෂික සාමකාමී අරගලය සෑම ආකාරයකම ජාතිවාදී ආගම්වාදී සහ සියලු සමාජ ප්‍රතිගාමීත්වයන් ප්‍රතිකේෂ්ප කර ඉදිරියට යමින් තිබෙනවා .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන්ද පවසන්නේ , අරගලය ඉල්ලා සිටින ක්‍රම වෙනස ඉටුකර ගැනීමට නම් දකුණේ පමණක් නොව , උතුරේ ද හදවත් දිනා ගත යුතු බවයි.

ඒ වෙනුවෙන් රැඩිකල් මැද සාමූහිකය' සිදුකර ඇති මේ මැදිහත් වීම තීරණාත්මක බවත් , එය අරගලයේ ඉදිරි දිශානතිය නිවැරදිව දක්වන්නක් බවත් විචාරක මතය වී තිබෙනවා .

........the end .......

බලාපොරොත්තු රහිත බවේ දේශපාලනය..!

අද පාර්ලිමේන්තුව පට්ටම අප්සෙට් කියල හැමෝම බුකියේ ලියල තියනවා දැක්ක. ඔව්, මුං ටික පට්ටම අප්සෙට් තමයි. ඇතුළේ තනිකර කෙළින්නේ පිස්සු. ලොකු පරතරයක් තියනවා ජනතා අභිලාශ සහ එයාලගේ හැසිරීම කියන ප්‍රපංච දෙක අතරේ. අවම වශයෙන් ආසන්න ජනතා ප්‍රශ්න ගැනවත් සංවේදී නැහැ මේ අය.

ඒත් මුං පාර්ලිමේන්තු යැව්වෙත් අපිම නේද? අපේ කැමැත්තෙන් ගිය සෙට් එකක් නෙවෙයිද මුං?

මේ යුගය දේශපාලනයේ ඉච්චාභංග යුගයක් (politics of disappointment) කියල ඇතැම් විචාරකයින් හඳුන්වනවා. පොදු යහපත වෙනුවට උන්ගේ යහපත ගැන තදින් හිතන දුර්දාන්ත යුගයක් මේක.

මිට පෙර ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් අධ්‍යාපනය එක්ක ලෝකය පුරා විසිර ගිය දේශපාලන නායකයෝ මිනිස්සු ගැන යම් පමණකට හිතුවා. ඔවුන්ගේ වේදනාව දැක්ක. සහනාධාර ගැන හිතුවා. ප්‍රතිසංස්කරණ ගැන හිතුවා. දේශපාලනයට ඔවුන් උපදෙස් දුන්නත් ඒ දුන්නේ මිනිස්සුන්ගේ පැත්තේ ඉඳල. ඔවුන්ට උසස් දේශපාලන අර්ථ සහ පරමාදර්ශ තිබුණ.

අනික් පැත්තට දේශපාලනය නැත්නම් රාජ්‍යකරණය ගැන මිනිස්සුන්ගේ තියෙන්නෙත් අසම්පුර්ණ අදහසක්. චන්දේ දෙන්නෙත් දේශපාලන අදහසක් මුදුන් පමුණුවා ගන්නවට වඩා පුද්ගලික දේවල් ටිකක් බලාන.

ඇමෙරිකානු දාර්ශනික ජෝන් රෝව්ල්ස් (John Rawls) කියනවා මිනිස්සු යම් සදාචාර විනිශ්චයන් ප්‍රමාණයක් එක්ක නෙවෙයි තමන්ගේ නියෝජිතයෝ තෝරාගන්නේ කියල.

දේශපාලකයෝ දෙන බලාපොරොත්තු සහ ඒවා ඉෂ්ට වීම අතර ලොකු පරතරයක් තියනවා (disjunction between perceptions and expectations). මේ නිසා මිනිස්සු නිරායාසයෙන් බලාපොරොත්තු රහිත වෙනවා. නිකම් හිතන්න 'සෞභාග්‍යයේ දේශය' ගැන.

පොළොවේ පැලකරන්න බැරි වියුක්ත අදහස් (abstract ideas) සමුදායක් මිනිස්සු ඉදිරිපිට දිගහැරියත් ඒවායින් එකක් වත් උන්ට ඉෂ්ට කරන්න බැහැ. නිකම් හිතන්න ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්ව 'මහා ප්‍රසාදය' (great wall) ගැන. කෝ ගඩොලක් වත් තිබ්බද? රෝව්ල්ස් මේ නිසා කියනවා කරන්න පුළුවන් ප්‍රයෝගික දේවල් විතරක් (pragmatism) දේශපාලකයෝ කියන්න ඕනි කියල. අනික අසන්නා සිහිබුද්ධියෙන් අහන්නත් ඕනි.

ඇතැම් කොටස් සහභාගී කරගන්න බැරි කම තවත් එක ප්‍රශ්නයක් (lack of representation). ලංකාවේ නම් තරුණ කොටස් නියෝජිත දේශපාලනයෙන් ඉන්නේ ගොඩක් ඈත. ඔවුන්ගේ නූතන අභිලාශ කොහෙත්ම නියෝජනය වෙන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවේ.

අනික අනුකම්පා නැති එක (lack of empathy). නිකම් බලන්න කපුටු තට්ටේ කතාව. යම් ප්‍රශ්න ප්‍රමාණයක් නිසා එළියට බැස්ස මිනිස්සුන්ට තමයි එහෙම කිව්වේ. ඉතින් මිනිස්සු ප්‍රචණ්ඩ වෙන එක අහන්නත් දෙයක් ද?

අනික් වැදගත් ම දෙය තමයි ලිංගභේදය නොසලකා හැරීම (gender discriminations). විශේෂයෙන් අද නියෝජ්‍ය කතානායක කමට ස්ත්‍රියක් ඉල්ලුම් කළා. ඒකට කිසිම සැළකිල්ලක්වත් ගෞරවයක්වත් දුන්නේ නැහැ. ඒ අසංවේදී බව ජනගහනයෙන් හරි අඩකටත් වැඩි පිරිසකට කොහොම දැනෙන්න ඇත්ද?

වාර්ගික අසංවේදී බව වගේ දෙයක් ගත්තොත් නිකමට හිතන්න කොච්චර සංකීර්ණද කියල දේශපාලන ඉච්චාභංග බව.

සූරාකෑම, අධික ලාභය, දුෂණ වංචා අහස උසට.

දැනුත් දේශපාලන කරන්නේ බය පදනම් කරගෙන. ඔන්න කන්න බොන්න නැතුව පාරේ මැරිලා යයි කියල රට බේරගන්න කට්ටිය විරයෝ වෙන්න හදනවා. හැමදාම දේශපාලනය කළේ 'මනුෂ්‍ය බිය' එක්ක.

තමන්ගේ නියෝජිතයෝ හැටියට පත්කරගන්න කළින් මිනිස්සු හිතන්න ඕනි මේ කියන දේවල් කරන්න පුළුවන් සෙට් එකක් ද මේ කියල. මේ පොරොන්දු යථාර්තවාදී ද කියල. අනික කියපු දේවල් කරාද කරනවද කියල මණින්න උපමානත් තියෙන්න ඕනි (measurement indicators).

Image@ World Economic Forum

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

වැඩ වැරදුණු විපක්ෂයෙන් : අග්‍රාමාත්‍ය රනිල්ට මඩක්: මෙන්න ඇත්ත !

අද (17) දිනයේ ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයට ගත යුතු බවට වූ විපක්ෂයේ ‌යෝජනාව පරාජයට පත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු කළ බවට පලවන ප්‍රචාරය අසත්‍ය බව අනාවරණය වෙයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසන්නේ අදාළ කරුණ ජනාධිපතිවරයාට එරෙහි අප්‍රසාදය පළකිරීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් නොවන බවය.

මේ සම්බන්ධයෙන් මඩ සහ අග්‍රාමාත්‍යවරයා ගේ මැදිහත්වීම සාවද්‍ය ලෙස උපුටා දක්වමින් ගෙන යන ප්‍රචාරය පිළිබඳ ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වා ඇති අතර එය පහත දැක්වෙයි .

රනිල්ගේ කතාව !

මෙය පාර්ලිමේන්තුවේ සියලු කටයුතු වහාම අත්හිටුවා ජනාධිපතිවරයාට අප්‍රසාදය පිළිබඳ යෝජනාව විවාදයට ගැනීමේ ඡන්දයකි.

මම පසුගිය 16 වන දින එම්. පී. සුමන්තිරන් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 74 දෙනෙකුගේ නිවාස හා කාර්යාලවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳව පළමුව විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වූ බැවින් මෙම ඡන්දය ඉදිරිපත් නොකරන ලෙසයි.

එසේ කිරීමට ඉඩ නොදුන්නේ නම් එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට අප්‍රසාදය පිළිබඳ යෝජනාව වහා විවාදයට ගැනීමට පක්ෂව ඡන්දය නොදෙනු ඇත.

අද දින සිදුවිය හැකිව තිබූ ප්‍රහාර පිළිබඳ විවාදය අද පැවැත්වීමට ඉඩ හැරියා නම් එය වඩා හොඳ වනු ඇති අතර තව දින කිහිපයකින් මෙම මන්ත්‍රීවරුන් 74 දෙනා සංකේතාත්මක අප්‍රසාදය යෝජනාවට පක්ෂව ඡන්දය දීමට බල කෙරෙනු ඇත.

දැන් ජනාධිපතිවරයාගේ මන්ත්‍රීවරුන් මෙම ඡන්දය පරාජය කිරීම අවස්ථාවක් කර ගන්නේ පසු දිනක අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවට බාධා කිරීමටයි.

විපක්ෂය ඉදිරියේදී මීට වඩා තීක්ෂණ උපාය මාර්ගික ක්‍රමවේදයක් භාවිතා කරන්නේ නම් ඉතා වැදගත්.

එසේ වුවද, පසුගිය සතිය මුලදී අප සන්නිවේදනය කළ පරිදි, යෝජනාවට පක්ෂව ඡන්දය දීමට අපගේ කැපවීම නැවත තහවුරු කිරීමට මම කැමැත්තෙමි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ.

කපුටු කාක් කීවාට : සංජීවගේ අයියා කිපිලා !

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්නගේ සහෝදරයා විසින් පාසල් ළමුන් දස දෙනෙකුට පමණ නිවස අසලින් ගමන් ගන්නා විට පහර දී තිබෙන බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ඔහු ළමුන්ට වෙවලකින් පහරදී ඇති අතර මේ වන විට අඟුරුවාතොට පොලිසියේ මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවත් වාර්තා වෙයි .

ඊට අනුව අංක CIR 12694 යටතේ පැමිණිල්ලක් විභාග වෙමින් පවතී .

ළමුන්ට පහරදී ඇති මේ පුද්ගලයා එදිරිමාන්න මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරන බවත් දැනගන්නට ඇත .

වාර්තා වන ආකාරයට ඊයෙ (16) පාසල් ළමුන් කණ්ඩායමක් දන්සල් වන්දනාවේ ගිය අවස්ථාවේ ‘කපුටු කාක්’ හඬින් නලා නාද කිරීම නිසා මේ පහරදීම කර ඇත.

මන්ත්‍රීවරයාගේ සහෝදරයාගේ නම සඳහන් වන්නේ නීල් එදිරිමාන්න යනුවෙන් වන අතර ඔහු සිටි අඟුරුවාතොට, වේරවත්ත නිවස අසලින් යද්දී පහරදීම සිදුවූ බවත් දැනගන්නට ඇත .

හරීන්ගෙන් රනිල්ට ලිපියක් : අමාත්‍යංශ පොකුරක් සමග ආණ්ඩුවට !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත අද (17) ලිපියක් යොමු කර ඇත .

එමගින් ප්‍රශ්න 7ක් යොමුකර ඇති අතර ඒ සඳහා පිළිතුරු අපේක්ෂා කරන බවත් අවධාරණය කර ඇත.

මෙම භාරදූර අභියෝගය ජය ගැනීමට නම් අග්‍රාමාත්‍යවරයා සහ දැනට පත් වූ කැබිනට් අමාත්‍යවරු මෙන්ම ඉදිරියේම වගකීම් ලබා දීමට බලාපොරොත්තු වන අයටද විශ්වාසය දින ගැනීම සඳහා එම කරුණු සඳහා පිළිතුරු අපේක්ෂා කරන බවත් ලිපියේ සඳහන් ය.

මේ ලිපිය සඳහා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙන්ම මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ද අත්සන් තබා ඇති අතර අදාළ ලිපිය පහත දැක්වෙයි .

harin lහරීන්ට සහ මනූෂට අමාත්‍ය ධූර පොකුරක් !

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත සහය දෙමින් ආණ්ඩුවට එක්වීමට නියමිතව ඇති බවයි.

මේ වන විට අදාළ ලිපිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට කරුණු පැහැදිලි කර ඇති බවත් වාර්තා වෙයි .

ඒ අනුව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ට තරුණ කටයුතු , ක්‍රීඩා , ඩිජිටල් යටිතල පහසුකම් ඇතුළු ප්‍රබල අමාත්‍ය ධූරයක් හිමිවනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

එසේම මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා වෙත ජනමාධ්‍ය හෝ විදෙස් සේවා අමාත්‍ය ධූරය හිමිවනු ඇති බවත් වාර්තා වෙයි .

 

පොහොට්ටු මන්ත්‍රීවරුන් පැහැරගත් දුරකථන : යළි මාධ්‍යවේදීන් අතට !

සිරස පාර්ලිමේන්තු මාධ්‍යවේදී කසුන් සමරවීරට සහ ස්වර්ණවාහිනී පාර්ලිමේන්තු මාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරාට, ආණ්ඩු පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ ඩී.වීරසිංහ විසින්, අද (17) පාර්ලිමේන්තුවේදී තර්ජනය කර ඔවුන් සතු ජංගම දුරකථන පැහැරගෙන ඇති බව වාර්තා වෙයි .

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ සහ ඉන්දික අනුරුද්ධ සිය ජංගම දුරකථන පැහැරගත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ද මෙම සිද්ධියට මැදිහත්වූ බව එම මාධ්‍යවේදීන් පවසයි .

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදීන් දෙදෙනා වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති බවත් වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පාර්ලිමේන්තුව අවස්ථාවේ කතානායකවරයා දැනුවත් කළහ.

කෙසේ වුවත් අද පස්වරුවේ කථානායකවරයාගේ මැදිහත්වීමෙන් එම ජංගම දුරකථන දෙක අදාළ මාධ්‍යවේදීන් දෙදෙනාට භාරදී ඇති බවත් වාර්තා වෙයි .

281675411 10227343865131255 2868045302104490366 n

ගෑස් බෙදීමට සූදානම් : ඉදිරි දින 2-3 තුළ ඉන්ධන තොග බෙදීමටත් සූදානම් !

ගෑස් නෞකා 02 ක් සඳහා මුදල් ගෙවීම සිදුකර ඇති බව වාර්තා වෙයි .

මේ බව ලිට්‍රෝ සමාගම තහවුරු කර ඇති අතර ගෑස් මෙට්ට්‍රික් ටොන් 2800 ක් රැගෙන මෙරටට පැමිණ ඇති නෞකාවක ගැස් ගොඩබෑම අද (17) රාත්‍රියේ සිට ආරම්භ කරන බවත් සමාගම පවසයි .

ඒ අනුව හෙට (18) සිට දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80,000 ක් බෙදාහරින බව ද ලිට්‍රෝ සමාගම සඳහන් කර සිටියි.

මේ අතර පවතින පෙට්‍රල් හිගය ඉදිරි දින 02 හෝ 03 ඇතුළත අවසන් වනු ඇති බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි .

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අලෙවි ක්‍රිෂාන්ත වික්‍රමසිංහ මාධ්‍ය වෙත පවසා ඇත්තේ මේවනවිට පෙට්‍රල් නිකුත් කිරීම දැඩි ලෙස සීමා කිරීමට සිදුව ඇති බවයි.

මේ අතර අද කොළඹ ප්‍රමුඛ දිවයින පුරා ඉන්ධන හල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබිණ .

ගෝඨාගෝගම ප්‍රහාරය : මැරයන් තුනක් බන්ධනාගාරයට !

කොළඹ ගෝල්ෆේස් පිටියේ සාමකාමී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු තිදෙනා හෙට (18) දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (17) නියෝග කර ඇත .

මේ තිදෙනා අතර මොරටුව නගර සභාවේ සේවකයෙක්ද වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබූවේ ඊයේ (16) රාත්‍රියේදීය.

ආණ්ඩුවට සහ විපක්ෂයට හදිසි නීතිය අමතක වෙලා !

අද (17) පාර්ලිමේන්තුව රැස්වූවත් ආණ්ඩුවට සහ විපක්ෂයට හදිසි නීතිය අමතකවූ බව හිටපු ආණ්ඩුකාරවරයකු සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් පවසයි.

එය පහත දැක්වෙයි .

ආණ්ඩුව හදිසි නීතිය පැනවූවේ 2022 මැයි 06 වන දිනයි. අදට දින 11 කි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 (4) (i) (ii) වගන්තිය අනුව, හදිසි නිතිය පනවා දින 10 ක් තුල, (එනම් ඊයේ) එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. එසේ නොවන විට, දින 14 ක් තුල හදිසි නීතිය ඉබේම අහෝසි වී යයි.

මේ ලියන මොහොත දක්වාම හදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත.

ගෝඨාභය ජනාධිපතිවරයා මෙයට පෙර 2022 අප්‍රේල් 1 දා, හදිසි නීතිය පැනවීය. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඩී බිදී යාම වලක්වා ගැනීමටය. අප්‍රේල් 5 දින එය ඉවත් කරනු ලැබූවේ පාර්ලිමේන්තුව තුල එය සම්මත කර ගත නොහැකි බව ස්ථිර වූ පසුය.

මෙවර ද හදිසි නීතිය පනවනු ලැබූවේ රාජපක්ෂ පාලනය රැකගැනීමට මිස මහජන ආරක්ෂාව සඳහා නොවේ.

හදිසි නීතිය දැම්මේ, හමුදාව කැඳවීමට නොවේ. ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ 12 (1) වගන්තිය යටතේ මහජන ආරක්ෂාවට හමුදාව කැඳවිය හැකි බව පහතින් පැහැදිලිව දැක්වේ.

Where circumstance endangering the public security in any area have arisen or are imminent and the President is of the opinion that the police are inadequate to deal with such situation in that area, he may, by Order published in the Gazette, call out all or any of the members of all or any of the armed forces for the maintenance of public order in that area.

අද හදිසි නීතිය පනවා ඇත්තේ දුෂිත හා මැර දේශපාලනඥයින්ගේ දේපල ආරක්ෂාකර ගැනීමට සහ රාජපක්ෂ පවුල ආරක්ෂා කර ගැනීමට ය.

පුදුමය තියෙන්නේ, ආණ්ඩුවට තබා විපක්ෂයටවත්, හදිසි නීතිය ගැන වගේ වගක් නැතිවීමය. තම බල දේශපාලනය උදෙසා එකිනොකාට ආදර හසුන් ලියමින් පාර්ලිමේන්තුවේ පක්ෂ මහජනතාව අමතක කර දමා තිබේ.

හදිසි නීතිය මේ රටේ ගෑස් පෝලිමට, ඉන්ධන පොලිමට, සාගතයට එරෙහිව යොදවමින් ඇත.

ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද දැන් පාර්ලිමේන්තුවේ තම වගකීම ඉටු කළ යුතුව ඇත.

හදිසි නීතිය පාර්ලිමේන්තුව තුල පරාජය කිරීම විපක්ෂයේ කාර්ය භාරය යි. ඒ සඳහා සියළු සිවිල් සංවිධාන හා පුරවැසියන් ආණ්ඩුවටත් - සිය වගකීම් අමතක වී සිටින විපක්ෂයටත් එක ලෙස බලපෑම් කළ යුතුව ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

සනත් සහ මිලාන් අත්අඩංගුවට !

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මිලාන් ජයතිලක පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය මැයි 09 වැනිදා අරලියගහ මන්දිරය අසල මයිනාගෝගම සහ ගෝල්ෆේස් පිටියේ ගෝඨාගෝගම ට එල්ල කෙරුණු මිලේච්ජ මැර ප්‍රහාරයට අදාළව මේ අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

මෙම මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තු පැමිණි අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට බලකරමින් සමාජ මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ වනු දකින්නට ලැබිණ .

 නීතිපතිවරයා විසින් ද පොලිස්පතිවරයාට දන්වා තිබුණේ මොවුන් ඇතුළු සැකකරුවන් 22ක් අත්අඩංගුවට ගන්නා ලෙසය.

Page 256 of 391