V2025

පුවත්

දැල උස්සලා පියාඹමුද ? වැද්දට හසුවෙමුද : රනිල්ගෙන් පුරවැසියන්ට ප්‍රශ්නයක් !

" රට ගැන සිතා අන් සියළු භේද කෙටි කාලයකට අමතක කර එකට එක්වී කටයුතු කළොත් මේ ව්‍යවසනයෙන් ලංකා මාතාව බේරා ගන්න පුළුවන්. වටු වැද්දාගේ දැලෙන් වටු කුරුල්ලන් ගැලවුණේ හැමදෙනාම එකට එක්වී දැල ඔසවා ගෙන පියාඹපු නිසා. වැද්දාට බැන බැන සිටියානම් මුළු වටු රැළම දැලට හසුවෙනවා. ගොදුරු වෙනවා. ඒ නිසා අපි මේ ආර්ථික අර්බුද දැලෙන් මිදෙමු. අපි එක්වී ඒ අභියෝගය ජය ගනිමු. " යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු මෙසේ පැවසීය .

සැබෑ තත්ත්වය සති දෙකකට වරක් ජනතාව වෙත !

වර්තමානයේ අපේ රට මුහුණ දෙන සැබෑ තත්ත්වය සහ ඊට පිළියම් වශයෙන් අප ගන්නා ක්‍රියාමාර්ග ගැන සති දෙකකට පමණ වතාවක් ඔබට දැනුම් දෙනවා. සමහරු මේක දිහා උපහාසයෙන් බලනවා. එයා අගමැතිකම ගත්තේ රටේ අමාරුකම් අපට කියන්න ද කියලා මාව විවේචනය කරනවා. තවත් සමහරු ඇත්ත තත්ත්වය පෙන්වා දෙනවාට ස්තූතීවන්ත වෙනවා. ඒ දුෂ්කරතා ජය ගැනීමේ පිළියම් අපට යෝජනා කරනවා.

ඔබ ඉන්නේ ඒ කණ්ඩායම් දෙකෙන් මොන පැත්තක වුණත්, රටක් විදියට එකට එක්වේලා, මේ අසීරු තත්ත්වයෙන් රට ගොඩනැංවීමේ ක්‍රියාදාමයට එක්වෙන්න කියා මම ඉල්ලා සිටිනවා. හැමෝම එකතු කරන් අපි මේ ගමන යමු. එතකොට අපට මේ තත්ත්වයෙන් අපේ රට ගොඩගන්න පුළුවන්.

මුලින්ම ඩොලර් අර්බුදය විසඳගන්න ඕන !

අපි මේ මුණ දෙන්නේ ඉන්ධන, ගෑස්, විදුලි බලය සහ ආහාර පිළිබඳ ප්‍රශ්ණයකට එහා ගිය බරපතල තත්ත්වයකට. අපේ ආර්ථිකය කඩා වැටිලා. ඒකයි බරපතලම ප්‍රශ්ණය. සියළු ප්‍රශ්ණ විසඳා ගන්න පුළුවන් වෙන්නේ ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයකට පත් කර ගත්තොත් විතරයි. ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත්කර ගැනීම සඳහා ඩොලර් අර්බුදය මුලින්ම විසඳා ගත යුතුයි.

කඩාවැටුණු ආර්ථිකයක් - ඩොලර් සංචිත බිංදුවටම වැටුණු ආර්ථිකයක් - යළි ගොඩනැංවීම ලේසි පහසු කාර්යයක් නොවේ. කඩා වැටීම ආරම්භයේ දී කෙසේ හෝ තිරිංග දමා කඩා වැටෙන වේගය පාලනය කර ගත්තා නම් මේ තරම් අසීරු තත්ත්වයක් උදා වෙන්නේ නෑ. නමුත් ඒ අවස්ථාව අපේ රට අහිමි කර ගත්තා. දැන් අපි පතුලටම වැටෙන ලකුණු පේනවා. ඒත් අපි කෙසේ හෝ මෙතැනින් ගොඩවිය යුතුයි. මෙතැනින් ගොඩ එන්නේ නැතිව, රටේ වෙනත් කිසිදු ප්‍රශ්ණයතට පිළිතුරු සොයන්න අපට පුළුවන් වෙන්නේ නෑ.

ඉන්දියාව පවා තවදුරටත් මෙහෙම ණය දෙන එකක් නෑ !

(ඊයේ කාංචන විජේසේකර ඇමතිතුමා ඉන්ධන තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු කිව්වා.) තෙල් සංස්ථාව මේ වෙද්දි ඩොලර් මිලියන 700ක් ණයයි. මේ ණය බර නිසා ලෝකයේ කිසිදු ආයතනයක් අපේ තෙල් සංස්ථාවට තෙල් දෙන්න කැමති නෑ. අත්පිට මුදලටවත් තෙල් දෙන්න ඒ අය පස්ස ගහනවා.

ඉන්දීය ණය ආධාර යටතේ අපි දැනට ඩොලර් බිලියන 04ක මුදලක් ණයට අරන් තියෙනවා. අපි ඉන්දියාවෙන් තවත් ණය ආධාර ඉල්ලුම් කර තියෙනවා. හැබැයි, ඉන්දියාවටත් මේ ආකාරයට දිගින් දිගටම අපට ණය දෙන්න බෑ. සීමාවක් තියෙනවා. අනික් අයට, අප ලබා ගන්නා ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් අපට තිබිය යුතුයි. නැතිනම් කවුරුවත් අපට සල්ලි දෙන්නේ නෑ.

ආරක්ෂිත මාර්ගය IMF සමග යාම !

එහෙනම් මේ අසීරු තත්ත්වයෙන් ගොඩ ඒමේ මාර්ගය කුමක් ද ?

දැන් අප ඉදිරියේ ඇති එකම ආරක්ෂිත මාර්ගය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමයි. වෙනත් කිසිම මාර්ගයක් අප ඉදිරියේ නෑ. අපට යන්න තියෙන්නේ ඒ මාර්ගයේ. ඒ මාර්ගයේ ගොස් අතිරේක ණය පහසුකමක් සඳහා ඔවුන් සමඟ ගිවිසුමකට එළැඹීම අපේ අරමුණයි. ඉන් පසු ආර්ථිකය ස්ථාවරභාවයට පත් කරලිමේ පදනම සකස් කොට, අපනයන ආදායම් වැඩිකර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමයි.

මහා බැංකුව, භාණ්ඩාගාරය සහ අදාළ රජයේ නිලධාරීන්, වෘත්තිකයන්, විශේෂඥයන් සමඟ සාකච්ඡා කොට අප මේ වැඩ පිළිවෙල සැලසුම් කර තියෙනවා.

මීට වඩා යහපත් ක්‍රියා මාර්ග තිබේ නම් අපට දන්වන්න. රටට හිතකර ප්‍රායෝගික වෙනත් විසඳුමක් ඔබ ළඟ ඇත්නම් කරුණාකර එය ඉදිරිපත් කරන්න.

ඒ වගේම දේශපාලන පක්ෂවලට අවශ්‍ය නම්, ඔවුන්ගේ විසඳුම් පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාද කරන්නත් අපට පුළුවන්. අප ඒ සඳහා ඉඩකඩ ලබා දීමට සුදානම්.

දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ මෙන්න !

හොඳයි. අප දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල මම සවිස්තරාත්මකව ඔබට කියන්නම්.

මැයි 20 වෙනිදා වන විට කැබිනට් මණ්ඩලයේ බහුතරය පත් කළා. එතැන් සිට අපි අපේ වැඩපිළිවෙල ආරම්භ කළා. මුලින්ම අප 2019 පැවති බදු ක්‍රමයට ආපසු යෑමට තීරණය කළා. 2025 වන විට ජාතික අයවැයේ ප්‍රාථමික අතිරික්තයක් ඇතිකිරීමට එකඟ වුණා. ආදායම් සහ බදු පිළිබඳ සාකච්ඡා කරන IMF නියෝජිත පිරිස ලංකාවට ආවා. ඔවුන් අදාල වාර්තාව ලබා දුන්නා. පසුගිය සදුදා IMF ප්‍රධාන නියෝජීත කණ්ඩායම ලංකාවට පැමිණියා. ඉදිරි දින කිීපය පුරාම ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වෙනවා.

මේ වන විට ආරම්භක සාකච්ඡා පවත්වා අවසන්. රාජ්‍ය මුල්‍ය අංශය, මුල්‍ය අංශය, ණය තිරසරභාවය, බැංකු අංශයේ ස්ථාවරභාවය, සමාජ ආරක්ෂණ ජාලය ආදී අංශ රැසක් පිළිබඳව අදහස් හුවමාරු කරගත්තා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා දෙන ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම් නියෝජීතයන් දැන් ලංකාවට පැමිණ එ් කටයුතු වල නිරත වෙනවා. ණය ආපසු ගෙවීම් ප්‍රතිව්‍යුහගත කර ලීමේ සැළසුම් රාමුව සකසමින් සිටිනවා.

එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් ලබන සඳුදා එනවා !

ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජීත කණ්ඩායම ලබන සඳුදා ලංකාවට එනවා.

මේ කණ්ඩායම් තුනම කඩිනමින් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම අප සකස් කළා. ඔවුන් සමඟ අප දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වනවා. ඒ වගේම දැන් මේ කණ්ඩායම් තුනටම එකට එක්ව ලංකාවේදී සාකච්ඡා පැවැත්වීමේ අවකාශ උදාවෙනවා. අපේ වැඩපිලිවෙල වේගවත් කරලීමට ඒ අවකාශය රුකුලක්.

ජූනි මාසය අවසන් වෙද්දි අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟත්වයකට එළැඹීමට බලාපොරොත්තු වෙනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම වඩාත් වැදගත් !

මෙතනදී වඩාත් වැදගත් වෙන්නේ ණය ගෙවීම් ප්‍රතිව්‍යූහගත කරලීමේ සැලැස්මයි. ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම් සමඟ එක්ව ජූලි මාසය අවසන් වීමට පෙරාතුව මේ සැලැස්මේ රාමුව සකස් කිරීමට අප උත්සාහ කරනවා.

ඉන්පසු මේ සැලසුම් රාමුවත්, නිලධාරී මට්ටමේ එකඟතාවත් සලකා බලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය අවසාන තීරණයට එළැඹීමට නියමිතයි.

මේ වැඩ කටයුතුවලට සමාන්තරව අපි ඉන්දියාව, ජපානය සහ චීනය යන රටවල මූලිකත්වයෙන් ණය ආධාර සමළුවක් සංවිධානය කරන්නට සැලසුම් සකස් කරනවා. මේ රටවල් තමයි අපට ණය දෙන ප්‍රධාන රටවල්. ඔවුන් සමඟ යම් යම් නොහොඳ නෝක්කාඩු ඇති වී තිබුණා. අප ඒවා සමනය කරමින් නැවතත් හොඳ හිත තහවුරු කරලීමට වෙහෙසෙනවා. මේ රටවල් ණය ආධාර ප්‍රදානය කරන ක්‍රමවේදයන්හි වෙනස්කම් තියෙනවා. ආධාර සමුළුව මගින් අප උත්සාහ කරන්නේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් මේ රටවල් තුන සමඟ පොදු එකඟතාවයකට පැමිණීමටයි.

IMF සහතිකයේ වටිනාකම !

IMF සහතිකය අපට ලැබුණොත් අප ගැන ලෝකයට විශ්වාසයක් ඇති වෙනවා. ලෝකයේ අනික් රටවලින් ආධාර සහ අඩු පොලී ණය ලබා ගැනීමේ අවස්ථාවත් අපට ලැබෙනවා.

ඒ සමඟම IMF මුදල් ලැබෙන තුරු අතර මැදි කෙටි කාලීන ණය ආධාර ලබා ගැනීම සඳහා අප ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සමඟත්, ඇමරිකාව ඇතුළු අපට හිතවත් වෙනත් රටවල් හා රාජ්‍ය නායකයන් සමඟත් සාකච්ඡා පවත්වමින් යනවා.

මේ කටයුතු සාර්ථක ලෙස නිම කර ගැනීමෙන් පසු ආර්ථික ස්ථාවරභාවයට පදනම දමා ගන්න අපට පුළුවන්. එතැනින් මේ ගමන අවසන් වුණා කියා සතුටු වෙන්න අපට බැහැ. එතැන තමයි, අපේ ඉදිරි ගමනේ ආරම්භය. ශක්තිමත් ආර්ථිකයක් කරා යන අළුත් ගමනක ආරම්භය.

එතැන් සිට අපි අපේ ආර්ථිකය ශක්තිමත් කරලීමේ, නව ලාංකීය ආර්ථිකයක් බිහිකරලීමේ ගමන ඉදිරියටම යා යුතුයි.

අගෝස්තු මාසයේ අන්තර්කාලීන අයවැයක් !

මේ ඉදිරි ගමනේ පදනම සැකසීම සඳහා අගෝස්තු මාසයේ 2022 ඉතිරි කාලය සඳහා අන්තර්කාලීන අයවැයක් අප ඉදිරිපත් කරනවා. 2023 වසර සඳහා අයවැය ලේඛනය නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරනවා. ඊට අමතරව ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා අවශ්‍ය නව නීතිරීති සහ අණපනත් කීපයක් ද අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමඟ අප සාකච්ඡා ආරම්භ කර තියෙනවා. ඒ සාකච්ඡාවලට සහභාගි වී, රට ගොඩ නැංවීමේ කාර්යයට උර දෙන සියළු පක්ෂවලට සහ විද්වතුන්ට මගේ ස්තුතිය පුද කරනවා.

ඒ සමඟ ම ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමටත්, දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් අපි ක්‍රියා කරනවා.

ලබන කන්නයේදි හිඟයකින් තොරව ගොවීන්ට පොහොර ලබා දීමට සැලසුම් සකස් කර තියෙනවා.

සහල් මිල පාලනය කිරීම උදෙසා, ඉන්දීය ණය ආධාර යටතේ සහල් ගෙන්වා වෙළඳ පොළට නිකුත් කිරීමට අප පියවර ගන්නවා. ඒ මගින් පාර්භෝගිකයන්ට සහනයක් ලබා දෙනවා.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති කරලීම උදෙසා වෙහෙසෙන, කැපවෙන පුද්ගලයන්ටත්, කණ්ඩායම්වලටත්, ස්තුතිය පළ කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ රජයේ සාකච්ඡාවන්ට පක්ෂ භේද පසෙක ලා බොහෝ අය සහභාගී වන බවත්, මම මෙහිදී සිහිපත් කරනවා.

කෘෂි ගොවිපළ පිහිටුවීම ගැන : සජබට - ජාජබට ස්තූතියි !

විශේෂයෙන්ම සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් කෘෂි ගොවිපළවල් පිහිටුවිමට මූලිකත්වය ගන්නා බව ප්‍රකාශයට පත් කර තියෙනවා. රජයෙන් කිසිඳු සහයක් නොඉල්ලා එවැනි ගොවිපළවල් පිහිටුවීමට කටයුතු කිරීම පිළිබඳව මම ඔවුන්ට විශේෂ ස්තුතිය පුද කරනවා. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා පසුගිය දා ප්‍රකාශ කළ පරිදි වගා කළ යුතු ස්ථාන පවා මේ වනවිට ඔවුන් තෝරා ගෙන අවසන්.

හිස් ඉඩම් කෘෂිකර්මයට !

මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත හිස් ඉඩම් ගණනාවක් කෘෂිකාර්මික කටයුතු සඳහා වෙන් කිරීමට බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා කටයුතු කර ගෙන යනවා. සජිත් ප්‍රේමදාස මහතාටත්, අනුර දිසානායක මහතාටත් වගා කිරීම සඳහා ඉඩම් පිළිබඳ ගැටළුවක් ඇත්නම් බන්දුල ගුණවර්ධන ඇමතිතුමන් සමඟ සාකච්ඡා කරන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ආහාර සුරක්ෂිතතා කමිටුවේ ලේකම්තුමාටත් මේ පක්ෂ දෙකේ නායකයන් සමඟ සාකච්ඡා කරන මෙන් මම දැනුම් දී තිබෙනවා.

පසුගිය සඳුදා අමාත්‍ය මණ්ඩලය 21 වන සංශෝධනයට එකඟත්වය පළ කළා. සමගි ජන බලවේගය ඉදිරිපත් කළ 21 වැනි සංශෝධන යෝජනා පිළිබඳ දැන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය ප්‍රකාශ කර තියෙනවා. රජයේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟ වී තියෙනවා. දැන් අප කඩිනමින් කළ යුත්තේ මේ යෝජනා පිළිබඳ එකඟත්වයකට පැමිණි පාර්ලිමේන්තුවට අවසන් කෙටුම්පත ඉදිරිපත් කිරීමයි. නමුත්, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු වර්ජනය නිසා 21 වන සංශෝධනයේ කාර්යයන් තවදුරටත් ප්‍රමාදවීම කණගාටුවට කරුණක්.

අලුත් පාර්ලිමේන්තු කමිටු ක්‍රමයේ සැලැස්ම සඳුදට කරූ ජයසූරිය දෙනවා !

අප අළුතින් යෝජනා කළ පාර්ලිමේන්තු කමිටු ක්‍රමය පිළිබඳව පූර්ණ සැලසුමක් හා වාර්තාවක් ලබා දෙන ලෙස මම හිටපු කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළා. එතුමාගේ වාර්තාව පසුගිය සඳුදා අපට ලබා දුන්නා.

ඒ නිසා මම මේ පක්ෂ දෙකෙන්ම ඉල්ලා සිටින්නේ, වහාම පාර්ලිමේන්තුවට පැමිණ, 21 වන සංශෝධනය සම්මත කරලීමේ වැඩපිළිවෙලට දායක වන ලෙසයි. පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ස්ථාපිත කිරීමට එක්වන ලෙසයි.

මම මීට කළින් අවස්ථා ගණනාවකදී සිහිපත් කළා වගේ අද අපි මේ මුහුණ දෙන්නේ සාමාන්‍ය තත්ත්වයකට නෙවෙයි. නූතන ඉතිහාසයේ කිසි අවස්ථාවක අපේ රට මේ වගේ අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී නැති බව මා වරින් වර සඳහන් කර තිබෙනවා.

ශක්තිමත් ආර්ථික පදනමක් සකස් කර ගැනීමෙන් පසුව මැතිවරණයකදී ඔබ කැමති පක්ෂයට රට භාර දෙන්න. වඩාත් සුදුසු 225 දෙනෙකු පාර්ලිමේන්තුවට පත් කර යවන්න. ඒ වගකීම සහ බලය තියෙන්නේ පුරවැසි ඔබට. එතැනදී රට මෙවැනි තත්ත්වයකට ඇද වැටීමට මූලික වූවායැයි සිතන අයව ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඔබට හිමිවෙනවා. ඒත් ඒ සියල්ල ඉටු කර ගන්න පුළුවන් වෙන්නේ රට වැටී ඇති තත්ත්වයෙන් යළි යථා තත්වයට පත් කර ගැනීමෙන් පසුවයි.

වැටුණු රට ගොඩනගන්න හැම පුරවැසියම එකතු වෙන්න !

ඒ බවත් සිහිතබා ගෙන, වර්තමානයේ රට වැටි ඇති තත්ත්වයෙන් යළි ඔසවා තැබීමේ වෑයමට දායක වන ලෙස මම මේ රටේ හැම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටිනවා.

ඒ නිසා අපි මුලින්ම මේ තත්ත්වයෙන් ගොඩ එන්නට එක්සිත්ව එක්සත්ව වෙහෙසෙමු. අසීරුතා ඇති වේවි, දුෂ්කරතා මතුවේවි. ඒ දුෂ්කරතා, අසීරුතා මැද්දේ අපිට රට ගොඩ නැංවීම වෙනුවෙන් සුළුවෙන් හරි කරන්න පුළුවන් දේවල් තියෙනවා. මම හැම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ කෙටි කාලයකට මේ දුෂ්කරතා, අසීරුතා විද දරා ගෙන රට ගොඩනැංවීමේ වෑයමට දායක වන ලෙසයි.

අප රජයක් ලෙස දැනට අනුගමනය කරන යන ක්‍රියාමාර්ග අනුව ක්‍රම ක්‍රමයෙන් ඔබේ දුෂ්කරතා, අසීරුතා අඩුවෙමින් යනු ඔබට දැනේවි. විදුලි කප්පාදුව අවම තත්ත්වයකට ගෙන එන්නට හැකි වෙලා තියෙනවා.

ලෝක බැංකුවෙන් ලබා ගන්නා ඩොලර් මිලියන 70ක් සහ අපේ ඩොලර් මිලියන 20ක් යොදවා ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට දැනට පියවර ගෙන තිබෙනවා. මේ ගෑස් තොග ලැබුණු විට ගැස් හඟිය සම්පූර්ණයෙන්ම තුරන් කරන්නට හැකි වෙනවා.

ඉන්ධන සඳහා මාසයකට ඩොලර් මිලියන 550ක් පමණ අවශ්‍යයි. දැනට අප මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න මත මේ මුදල මාසිකව සපයා ගැනීම දුෂ්කර කාර්යයක්. ඒ නිසා අපට ලැබෙන ඩොලර් ආදායම අනුව හැකි උපරිම ඉන්ධන ප්‍රමාණය ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. ඉන්ධන ගැටළුව සම්පූර්ණයෙන්ම විසඳීමට තව කාලයක් ගතවේවි. මේ නිසා ඉතාම අරපරිස්සමෙන් ඉන්ධන භාවිතා කරන ලෙස මම ඔබ සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

අඩියෙන් අඩිය ඉස්සරහට යමු !

අප අද මුහුණ දෙන අර්බුද හමුවේ පාසල් අධ්‍යාපනය කඩා වැටී ඇති බව අප දන්නවා. දරුවන්ට මාස ගණනාවක් අධ්‍යාපනය අහිමි වුණා. මුලින්ම කොවිඩ් වසංගතය නිසා, ඊළඟට ආර්ථික කඩා වැටීම නිසා. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටිනවා. පාසල් බස් රථ, පාසල් වෑන් සඳහා ඉන්ධන ප්‍රමුඛත්වය ලබා දීමේ වැඩපිළිවෙලක් ගැන අදාළ බලධාරීන් සැලසුම් සකස් කරමින් යනවා. පාසල් දරුවන්ට අඛණ්ඩව අධ්‍යාපනය ලබා දීමට හැකි පරිසරයක් ඉක්මණින්ම සකසා දෙනවා.

අපි පියවරෙන් පියවර, අඩියෙන් අඩිය මේ ගමන ඉදිරියට යමු.

ලෝකය අපට උදව් කරන්නේ මේ වැටුණ තැනින් නැගිටීමට අප තුළ ඕනෑකමක්, කැපවීමක් ඇති බව ඔවුන්ට දැනුනොත් විතරයි. ඉතිං මේ අවස්ථාවේ අපට එක්කෝ රට ගොඩනැංවීමේ අභිලාෂය අප තුළ ඇති බව පෙන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම්, එවැනි අවශ්‍යතාවයක් අපට නැති බව පෙන්වීම සඳහා නොයෙකුත් කඩාකප්පල්කාරී ක්‍රියා කරන්න පුළුවන්. ඔබ මෙතනදී අරගල කළ යුත්තේ රට නැංවීම වෙනුවෙන්. එහෙම නැතිව රට විනාශ කිරීම වෙනුවෙන් නෙවෙයි. ඒ නිසා හැම අවස්ථාවකදීම හොඳින් සිතා බලා, විමසිල්ලෙන් කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිනවා.

සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් දැන් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ පොදු ස්ථාවරයකට පැමිණ තිබෙනවා.

සියලු පක්ෂ සමග සාකච්ඡා කරන්න : IMF වෙතින් ඉල්ලුවා !

IMF සමඟ එක්ව කටයුතු කළ බව සමගි ජන බලවේගය කලින් ප්‍රකාශ කර තිබුණා. දැන් ඔවුන්ගේ ස්ථාවරය වෙනස් වෙලාද ? IMF සාකච්ඡා ගැන ජාතික ජනබලවේගය එකඟ ද නැද්ද ?

සියළු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරන ලෙස මම IMF නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියා. මේ සාකච්ඡා සඳහා සහභාගී වන ලෙසට මම මේ පක්ෂ දෙකෙන්ම ඉල්ලා සිටිනවා. විවේචනයට වඩා මේ අවස්ථාවේ රටට වැදගත් වන්නේ විසඳුම්. ඒ නිසා ඔබ සතුව වඩාත් හොඳ විසඳුම් ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්න.

21 වන සංශෝධනය නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මේ පක්ෂ දෙකට 21 වන සංශෝධනය අවශ්‍ය ද නැද්ද ? ස්වාධීන කොමිෂන් සභා අවශ්‍ය ද නැද්ද ? පාර්මේන්තු කමිටු ක්‍රමය මගින් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියළු මහජන මන්ත්‍රීවරුන් රාජ්‍ය පාලනයට හවුල්වීමට ඔවුන් එකඟ ද විරුද්ධ ද ? ඒ පිළිබඳ ඔබේ මතය ඉදිරිපත් කිරීමේ අවස්ථාව දැන් සමගි ජනබලවේගයට සහ ජාතික ජන බලවේගයට හිමි වී තියෙනවා.

මෙහිදී අප අමතක නොකළ යුතු වැදගත් කරුණක් තියෙනවා. සමස්ත පාර්ලිමේන්තුව පිළිබඳවම ජනතාවගේ පොදු විරෝධතාවක් එල්ල වෙමින් පවතින අවස්ථාවක් මේ. එවැනි අවස්ථාවක රටේ අනාගතයට බලපාන ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවක් පාර්ලිමේන්තුවට යෝජනා වී තිබෙනවා. එවැනි මොහාතක රටට සැබෑ ආදරයක් ඇත්නම් කළ යුත්තේ ඒ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමයි. ඒ ප්‍රතිසංස්කරණයන්හි අඩුපාඩු ඇත්නම් ඒවා පෙන්වා දී නිවැරදි කිරීමයි.

ඒ නිසා හුදු සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදි, රට වෙනුවෙන් අළුතින් සිතන්න කියා මම හැම දෙනෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම අපට අවශ්‍ය දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනම් කර ගැනීම උදෙසා පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වන ලෙස ද ආරාධනා කරනවා.

මේ ප්‍රතිසංස්කරණ කඩිනමින් ඉටු කිරීම ජනතා අපේක්ෂාව බවද මම මෙහෙිදී අවධාරණය කරන්නට කැමතියි.

 

ණය නොගෙවීම සැළසුම් සහගතව කරේ : ඇමරිකානු බැංකුවක් නඩු මගට !

ලංකාව ණය ගෙවීම පැහැර හැරීම, ශ‍්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරීන් විසින් සැලසුම් සහගතව සිදු කරනු ලැබූවක් බවත්, ණය ප‍්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡුාවලින් දේශීය බැංකු තබා ඇති බැඳුම්කර පැහැර හැර ඇති බවත් ඇමෙරිකාවේ ‘හැමිල්ටන් සංචිත බැංකුව’ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මඟට යොමු වෙමින් පවසා තිබේ.

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ශ‍්‍රී ලංකාව, ණය ගෙවීම පැහැර හැරීමට ගත් තීරණය සම්බන්ධයෙන්, ඇමෙරිකානු බැංකුවක් ශ‍්‍රී ලංකාවට එරෙහිව නඩු මගට යොමු වී ඇතැයි පළමුවෙන් වාර්තා කළේ ඇමෙරිකාවේ ‘බ්ලූම්බර්ග්’ පුවත් සේවයයි.

ශ‍්‍රී ලංකාවට එරෙහිව, නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට ද හැමිල්ටන් සංචිත බැංකුව ඒ අනුව කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජූලි මස 25 කල් ඉකුත්වන සියයට 5.875 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 කට වඩා වැඩි මුදලක් හිමි මෙම ‘හැමිල්ටන් රිසර්ව්ස්’ බැංකුවට යැයි පැවැසෙයි.

හැමිල්ටන් සංචිත බැංකුව නඩුව පවරා ඇත්තේ හැමිල්ටන් සංචිත බැංකුව ශ‍්‍රී ලංකාවට ලබා දී ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල වටිනාකම සහ ගෙවීමට ඇති පොලිය ජූලි 25 වැනිදා වන විට සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් යැයි ‘බ්ලූම්බර්ග්’ පුවත් සේවය පැහැදිලි කර තිබේ.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දෙකක් සඳහා පොලී ගෙවීමට දී තිබූ දින 30 සහන කාලය ඉකුත් මැයි මාසයේ අවසන් වීමත් සමඟ ශ‍්‍රී ලංකාව නිල වශයෙන් ණය පැහැර හැරි රටක් බවට පත් විය.

ශ‍්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ගෙවීම පැහැර හැරි ප‍්‍රථම අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

ශාන්ත කිට්ස් සහ නෙවිස් හි පිහිටි හැමිල්ටන් සංචිත බැංකුව ගොනු කළ නඩුවේ පැමිණිල්ලේ ශ‍්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීම රාජපක්ෂ පවුල ඇතුළුව ශ‍්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සැලසුම් සහගතව සංවිධානයක් කර ඇති බව සඳහන් වෙයි.

ණය ප‍්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡුා වලින් දේශීය බැංකු සහ උනන්දුවක් දක්වන පාර්ශව තබා ඇති බැඳුම්කර බැහැර කර ඇති බවට හැමිල්ටන් සංචිත බැංකුව චෝදනා කරයි.

- lankadeepa

උද්ධමනය 45.3% යි !

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට මැයි මාසයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 45.3 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි .

එහි වාර්තාවට අනූව සියයට 45.3 ක් වූ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනයට ආහාරමය කාණ්ඩයෙන් සියයට 27.3 ක දායකත්වයක් සපයා ඇති අතර ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 18.1ක දායකත්වයක් ලබා දී ඇත.

මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ආහාර කාණ්ඩය සඳහා වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 58 ක් වන අතර ආහාර නොවන කාණ්ඩය සඳහා වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 34.2 ක් වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාව පවසයි.

ඉදිරි ආධාර ගැන බලන්න : ඉන්දීය ඉහළම දූත පිරිසක් ලංකාවට !

ශ‍්‍රී ලංකාවට තව දුරටත් ආර්ථික ආධාර ලබා දීමට පෙර ශ‍්‍රී ලංකාවේ තත්ත්වය නිරීක්‍ෂණය සඳහා ප්‍රමුඛ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විශේෂ ගුවන් යානයකින් හෙට (23) මෙරටට පැමිනීමට නියමිත බව වාර්තා වෙයි .

දූත පිරිස පැය තුනක කාලයක් පමණක් මෙරට රැඳී සිටින අතර එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට මේ පිරිස පැමිණෙන්නේ , ලංකාවේ වත්මන් අර්බුදය හා ඉදිරි ණය වැඩසටහන් පිලිබද සාකච්ඡා කර එකගතාවයකට පැමිණීම සදහා ය.

මේ වන විට ලංකාව කිලෝමීටර් ගණන් දිග ඉන්ධන පෝලිම් සමග ඉතිහාසයේ දරුණුතම ඉන්ධන අර්බුදයට මුහුණදී සිටියි.

ලංකාවේ සහයට ඕස්ට්‍රේලියාවත් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔනීල් සමඟ ඊයේ (20) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වීය.

ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහයට ඔස්ට්‍රේලියාව අඛණ්ඩව සහාය ලබා දෙන ඔස්ට්‍රේලියානු අමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කළේය.

විදේශයන්හි ආයෝජන සඳහා විවෘත වන අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් සංවර්ධනය කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැහැදිලි කළේය.

ඔස්ට්‍රේලියානු සංචාරක ව්‍යාපාරය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ගෙනයාමට හා ශ්‍රී ලංකාව තුළ ඔස්ට්‍රේලියානු ආයෝජන ප්‍රවර්ධනය කිරීමට උනන්දු වන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රකාශ කළේය.

තම රජය ක්‍රියාත්මක කිරීම ට නියමිත නැව් මාර්ග සංවර්ධනය කිරීම පිලිබද පැහැදිළි කළ අමාත්‍යවරිය . සමුද්‍ර ආරක්ෂාව සහ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් තම පරිපාලනයේ ප්‍රතිපත්තිය පැහැදිලි කළාය.

මිනිස් ජාවාරම් නැවැත්වීමට ශ්‍රී ලංකා රජය සහ එහි ආරක්ෂක අංශ කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

රේගු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සහ තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට සුදානම් බව ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රකාශ කලේය .

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 50 ක සංවර්ධන ආධාර පැකේජයක් ලබා දීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඕස්ට්‍රේලියානු රජයට සිය ස්තූතිය පුද කළේය.

IMG 20220620 WA00011

 

පාර්ලිමේන්තුව වර්ජනය කිරීම : සජබ කිව්වෙත් නෑ : අපේ තීන්දුවකුත් නෑ - දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීන්දුවක් ගෙන නොමැති බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර ‘මව්රට’ වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත .

පාර්ලිමේන්තුව වර්ජනය කිරීම පිළිබදව සමගි ජන බලවේගය තම පක්ෂයට කිසිදු දැනුම්දීමක් කර නොතිබූ බවත්, එසේ කර තිබුණේ නම් ඊට සම්බන්ධ විය හැකිව තිබූ බවත්, තමන් ඒ බව විපක්ෂනායකවරයාගෙන් විමසා සිටි බවත් එහිදී ශ්‍රීලනිප මහ ලේකම් ,පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කර ඇත .

පසුව ඒ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගෙන් විමසද්දී තමන්ට එය අතපසු වූ බව ඔහු කියා සිටි බවත් ශ්‍රීලනිප මහ ලේකම් පවසා ඇත .

මහලේකම්වරයාගේ එම අතපසුවීම හේතුවෙන් විපක්ෂනායකවරයා තමන්ට කනගාටුව ප්‍රකාශ කළ බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත .

කෙ‌සේවෙතත් අද දිනයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැදවා මේ පිළිබදව සාකච්ජා කරන බවද ශ්‍රීලනිප මහ ලේකම් මව්රට වෙත පවසා තිබේ.

අනුරත් සජිත්ගේ පාරට බහියි : සතියක පාර්ලිමේන්තු වර්ජනක් !

ජනතා ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවෙන් කිසිම විසඳුමක් නොලැබෙන බැවින් මේ සතියේ විපක්ෂයේ සියලු පක්ෂ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි .

පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසීය .

රට ගොඩනගන හැටි ගැන වහාම පාර්ලිමේන්තුවට සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව තිබෙන බවද අනුර දිසානායක මන්ත්‍රීවරයා එහිදී පැවසීය .

මේ වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද තමන්ට බලය දෙන්න කියමින් , සතියක පාර්ලිමේන්තු වර්ජනයක් සහ විරෝධතාවක් ප්‍රකාශයට පත්කර ඇත.

පෙට්‍රල් නැව 24 එනවා : බොරතෙල් නැව 28 එනවා !

පෙට්‍රල් රැගත් නෞකාවක් ජුනි 24 මෙරටට පැමිණීමට නියමිත බව විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි .

වාර්තා වන ආකාරයට අදාළ නෞකාවෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් මෙසේ පැමිණෙයි.

මේ අතර, ලබන 28 වැනිදා තවත් බොරතෙල් නෞකාවක් දිවයිනට ළඟා වන බවත් වාර්තා වෙයි .

බලය තමන්ට දෙන්න කියා සජිත් : පාර්ලිමේන්තු වර්ජන සතියක් කැඳවයි !

ජනතා ප්‍රශ්නවලට විසඳුම් නැති නිසා සමගි ජන බලවේගය අද(21) සිට පාර්ලිමේන්තුව වර්ජනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශයක් කළේය.

එසේම තවදුරටත් රටත් ජනතාවත් අපහසුතාවයට පත් නොකර රටේ පාලන වගකීම තමන්ට බාර දෙන්නැයි ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටී.

‘රට බේරාගැනීමේ සතිය’ ලෙස නම් කර ඇති විරෝධතා සතියක් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය.

ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් තමන් සතුව ඇති බවද පැවසූ ඔහු සමගි ජන බලවේගය ප්‍රමුඛ තාවකාලික සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට සූදානම් බවද පැවසීය.

එහිදී ජනතාවගේ මූලික අවශ්‍යතා ලබා දීමෙන් අනතුරුව කෙටි කාලයක් තුළ නව ජනවරමක් කට ගොස් අඛණ්ඩව වසර 5ක රාජ්‍ය පාලනයක් ස්ථාපිත කරන බව ඔහු කියා සිටියේය.

ඉන්ධන පෝලිමේ කඩු ගෑමක් : 05 ක් රෝහලේ : 02ක් අත්අඩංගුවේ !

වව්නියාවේ ආඬියාපුලියන්කුලම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක ඇතිවූ ගැටුමකින් පස් දෙනකු තුවාල ලබා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි .

පොලිස් ආරංචි මාර්ග අනුව එම ඉන්ධන පිරවුම් හලේ ඇති වූ ගැටුමකින් පසුව එක් අයෙකු කඩුවක් ගෙන පෝලිමේ සිටි පිරිසක් කපා දැමීම නිසා මෙම පිරිස තුවාල ලබා ඇත.

තුවාලකරුවන් පස් දෙනාගෙන් එක් අයකු බරපතළ තුවාල ලබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් වෙයි.

ඉන්ධන පෝලිමේ සිටියදී ඇති වූ බහින් බස් වීමක් මත මෙම ගැටුම ඇති වී ඇතැයි පොලිසිය වැඩිදුරටත් පවසයි .

අපේ විරෝධය ජනාධිපතිට මිස IMF හෝ මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට නොවේ : අරගල බිමෙන් නිවේදනයක් !

අරගලකරුවන් ඊයේ (20) ජනාධිපති කාර්‍යාලය අවට දැක්වූ විරෝධය ජනාධිපතිවරයාගේ ජන්ම දින සැමරුමට සංකේතීය විරෝධය පළ කිරීමට බව ගෝල්ෆේස් හී සර්ව පාක්ෂික අරගලකරුවන් පවසයි .

ඒ මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන්ට හෝ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට බාධා කිරීමට නොවන බවත් සර්වපාක්ෂික අරගලකරුවන් සඳහන් කරන අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත .

ජනතා හිතවාදී කොන්දේසි මත ශ්‍රී ලංකාවට අවංකව සහාය වන්නේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජය සමග සිදු කරන කිසිදු සාකච්ඡාවකට බාධා කිරීමට අරගලකරුවන් හෝ පුරවැසියන් වශයෙන් කිසිවෙකුටත් කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද ඔවුන් නිවේදනය හරහා පවසයි.
=
තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි වෙනත් කිසිදු ජාත්‍යන්තර ආයතනයක හෝ රටක නියෝජිත කණ්ඩායමකට කිසිදු අවහිරයක් හෝ බාධාවක් සිදු කිරීමට ක්‍රියා නොකරන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත .

සර්ව පාක්ෂික අරගලකරුවන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.=

WhatsApp Image 2022 06 20 at 11.10.54 PM

 

ක්ෂේත්‍ර 03 සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරයි

ක්ෂේත්‍ර තුනක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත්ගේ අත්සනිනි.

ඒ අනුව, විදුලි බල සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල් ප්‍රතිකාර සේවා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එම සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බවට සැලකිල්ලට ගනිමින් මෙම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.

අත්අඩංගුවටගත් ගෝල්ෆේස් අරගලකරුවන් 21 ට ඇප !

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිවිසුම් මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන් 21 දෙනෙකු පොලිසිය විසින් අද (20) අත්අඩංගුවට ගෙන තිබිණ .

මේ පිරිස අතර භික්ෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් හතරදෙනකුද වූ බවත් වාර්තා වෙයි .

අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇත.

හසිත සමන්ත : නිදොස්කොට නිදහස් !

කලවානේදී සිදුවූ ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හසිත සමන්ත මුහන්දිරම් නොහොත් සර්පයා නිදොස් කොට නිදහස් කර තිබේ .

දීර්ඝ කාලයක් විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ අද (20)දිනයේදීය.

අදාළ නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් ලබාදී ඇත .

සබරගමුව පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක්ව සිටි රංජිත් නන්දසේන සහ ඔහුගේ ආරක්ෂකයාට 1999 වසරේදී වෙඩිතබා ඝාතනය කර වාහනයද සමඟ ගිනි තැබීමක් සම්බන්ධයෙන් ඔහුට අධිචෝදනා ගොනුකර තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුව විසිනි.

 

සනත් නිශාන්ත ඇප ලබද්දී : සහෝදරයා ඇතුළට !

ආරච්චිකට්ටුවේ පිහිටි ඉන්ධන පිරවුම් හලකදී පුද්ගලයෙකුට පහරදී පොලිස් නිලධාරියෙකුගේ නිල ඇදුම්න් අල්ලා කළහාකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයා ඇතුළු තිදෙනෙක් ලබන 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ඔවුන් පොලීසියට අද(20) උදෑසන භාරවීමෙන් අනතුරුව හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගේ සහෝදරයා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මෙන්ම වත්මන් මන්ත්‍රීවරයෙක් වන ජගත් සමන්ත , සමීර මධුෂංක සහ ඒ.ඒ.ධම්මික නැමැති සැකකරුවන් මෙසේ බන්ධනාගාර ගත කර ඇත .

ජගත් සමන්ත මෑතකදී ද පහරදීමක් සම්බන්ධයෙන් පොලීස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටි ඔහු ඇප මත නිදහස ලබා මේ වන විට මාසයක කාලයක් නොමැති බව පොලීසිය කියයි.

එසේම ගෝල්ෆේස් අරගල බිමට එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ද බන්ධනාගාර ගතව සිට ඇප ලැබුවේ මීට දින කිහිපයකට පෙරය.

සිරිපාල ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත් කිරීම වැළකූ වාරණය දීර්ඝ කෙරේ

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන තනතුරුවලින් නෙරපා හැරීම වළක්වාලමින් නිකුත් කර තිබූ නියෝගය අනිද්දා දක්වා දීර්ඝ කර ඇත.
අමාත්‍යවරයා ගොනුකළ පෙත්සම අද යළිත් සලකා බලමින් කොළඹ දිසා අධිකරණය මෙම වාරණ නියෝගය නිකුත් කළේය.

පක්ෂයේ තීරණයට පටහැනිව යමින් ආණ්ඩුවේ ඇමති ධුර ලබා ගැනීමට කටයුතු කළ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පක්ෂයේ තනතුරුවලින් නෙරපා හැරීමට තීරණය කළ බව ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර එම තීරණයට එරෙහිව නිමල් සිරිපාල ද සිල්වා කොළඹ දිසා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබිණි.

මෙම පෙත්සම අද කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම හමුවේ කැඳවා තිබිණි. විනිසුරුවරිය නියෝග කළේ ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පක්ෂ මධ්‍යම කාරක සභාව වෙත නිකුත් කළ නියෝගය අනිද්දා දක්වා දීර්ඝ කිරීමටයි.

මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ නඩුව සමථයකට පත්කර ගැනීම සඳහා පෙත්සම්කාර පාර්ශ්වය සමග සාකච්ඡා කරන බවයි. එසේ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමට පෙත්සම්කාර පාර්ශ්වය එකඟ නොවන්නේ නම්, වාරණ නියෝගය දීර්ඝ කිරීමට විරෝධය පළ කරන බවද නීතිඥවරුන් පවසා ඇත.

නාගයන් නිකංම නිකං 'නයි ' කළ : ලිට්‍රෝ ටෙන්ඩරය !

ටෙන්ඩර් වංචාවක් ගැන පවසමින් නාගානන්ද කොඩිතුවක්කු පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ලිට්‍රෝ සමාගම සම්බන්ධයෙන් දැක්වූ අදහස් සත්‍යයෙන් තොර බව ලිට්‍රෝ සමාගම් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි .

එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ නාගානන්ද කොඩිතුවක්කු මෙන්ම මෙකී චෝදනාව එල්ල කරන්නන් කරුණු විකෘති කොට දක්වමින් පටු දේශපාලන වාසි තකා මේ චෝදනා එල්ල කරන බවයි .

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , මේ ලිට්‍රෝ ගෑස් සමාගමේ ටෙන්ඩර් වංචාවක් ගැන කියමින් අග්‍රාමාත්‍යවරයා සහ හිටපු අමාත්‍ය සාගල රත්නායක ඊට ඈඳා ඇත්තේද දේශපාලන තක්කඩිකමක් තුළය.

එබැවින් නාගානන්ද වැනි එක් පුද්ගලයකු අරඹයා ප්‍රතිචාර දක්වා තේරුමක් නැති බවත් , ප්‍රතිචාර දැක්විය යුතුව ඇත්තේ , සිදුවීම විකෘති කර ජනතාව වෙත යවන දේශපාලන තක්කඩි සියල්ලන් අනාවරණය වන ආකාරයට බවත් අදාළ ආරංචි මාර්ග පවසයි .

මේ බව සරලව පැවසුවහොත් siam සමාගම අඩු ලංසුවක් ඉදිරිපත් කර ඇති නමුත් ගෑස් සැපයීම වෙනුවෙන් ඔවුන් දමා ඇති කොන්දේසි පූර්ණය කිරීම මෙරටට මේ මොහොතේ කොහෙත්ම කළ නොහැකිව ඇත . එසේම දෙපාර්ශවයම දක්වන අවශ්‍යතා අනූව සිදුවීමට නියමිතව ඇත්තේ, මෙරටට ගෑස් සපයා ගැනීම දින නියමයක් නොමැතිව කල් යෑමය.

මේ සම්බන්ධයෙන් පැහැදිලි අදහස් දැක්වීමක් ලිට්‍රෝ සමාගම විසින් නිවේදනය කර ඇත . එය පහත දැක්වෙයි .

ලිට්‍රෝ ගෑස් සමාගමේ නිවේදනය !

ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ 2022- 2023 වසර සඳහා 280,000MT ජාත්‍යන්තරයෙන් ගෑස් මිල දී ගැනීමේ නෞකා ගාස්තු ටෙන්ඩරය සම්බන්ධව විද්‍යුත් සහ සමාජ මාධ්‍ය වල පලවන අසත්‍ය තොරතුරු සම්බන්ධව සමාගමේ පැහැදිලි කිරීම.

අදාළ වර්ෂය සඳහා LP Gas ප්‍රවාහන නෞකා ගාස්තු ටෙන්ඩරය, ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් යටතේ (ICB) 2022 /01/09 කැඳවන ලද අතර 2022/ 03 /16 මිල ගණන් කැඳවීම අවසන් කළ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම දන්වා සිටි.

එම මිල ගණන් කැඳවීම සඳහා පහත සඳහන් සැපයුම්කරුවන් අදාල මිල ගණන් ඉදිරිපත් කළ බව ලිට්රෝ සමාගම දන්වා සිටි.
1. Siam trading ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව
ඇමරිකානු ඩොලර් 96 වශයෙන් ද ( $ 96 per Mt )
2. O Q trading ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව
ඇමරිකානු ඩොලර් 129 වශයෙන් ද ( $ 129 per Mt )
3. BB Energy ( Asia ) ltd ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව
ඇමරිකානු ඩොලර් 148 වශයෙන් ද ( $ 148 per Mt )

කැබිනෙට්ටුව විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් ( SCAPC) Siam trading අදාළ වර්ෂය සඳහා සැපයුම්කරු ලෙස නම් කරන ලදී.

නමුත් ගිවිසුම් ප්‍රකාරව Siam Gas ආයතනය සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගම ලබාදිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 30ක ණයවර ලිපිය ( $ 30M -SBLC) ලබාදීමට ශ්‍රී ලාංකික රජයට නොහැකි තත්වයක් පැවතුනි.

එම තත්වය විසඳා ගැනීම සඳහා කල් ගැනීමට අවශ්‍ය නිසාත් ඒ වන විට ශ්‍රී ලංකාව තුල ගෑස් තොග දින කිහිපයකට අඩු වී තිබූ නිසාත් කෙටි කාලීන විසඳුමක් වශයෙන් Spot Cargo මිලදී ගැනීමට මිල ගනන් ,මෙම Siam Gas සමාගමෙන් හා පෙර සැපයුමකරු හා දෙවන මිල දැක්වූ Tender කරු වන OQ සමාගමෙන් ද මිල කැඳවන ලදී.

2020/ 05/30 දින ලිපියක් මගින් Siam Gas ආයතනය වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ ඔවුනට සැපයිය හැක්කේ ගෑස් මෙට්‍රික් ටොන් 6600 ප්‍රමාණයක් බවත් එය සැපයිය හැක්කේ නෞකා ගාස්තු $112 කට බවත් සඳහන් කර ඇති අතර එම ප්‍රමාණය දින 5 දෛනික අවශ්‍යතා සඳහා සෑහෙන නමුත් ,වර්තමාන අධික ඉල්ලුමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම දන්වා සිටී.

ඉහත මිල කැඳවීමේදී දෙවෙනි අඩු මිල ගණන් සැපයූ OQ Trading සමාගමට මාස හතරක ශ්‍රී ලාංකීය ගෑස් අවශ්‍යතාවය වන මෙට්‍රික් 100,000 ප්‍රමාණයක් නෞකා ගාස්තු $129 කට සපුරාලිය හැකි බව දැනුම් දී ඇත.

ඉහත කරුණු සලකා බලා, වර්තමාන ගෑස් හිඟය සහ පෝලිං නවතා සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයකට පත් කිරීමට 2022 /06/ 08 අමාත්‍ය මණ්ඩලයේ මගින් තාවකාලික සැපයුම සඳහා OQ Trading සමාගම සමග ගිවිසුම් ගත වෙන ලෙසටත්, ශ්‍රී ලංකා රජයට වර්තමානයේදී ඇති මුල්‍ය අර්බුදය සැලකිල්ලට ගෙන ක්‍රියා කර හැකි ගිවිසුමකට එළඹීම සඳහා, Siam Gas කොන්ත්‍රාත්තුව අවසන් කොට නව ටෙන්ඩරයක් ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන් බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රකාශ කර සිටී.

OQ Trading හා Siam Gas අතර නැව් ගාස්තුවල පරතරය ඩොලර් 17ක් වන අතර එහි බලපෑම 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා රු .77.50 වේ. අඛණ්ඩ ගෑස් සැපයුම ලබාදීම මෙම අවස්ථාවේදී ඉතා වැදගත් බව ලිට්රෝ සමාගම පවසයි.

නාගයන් නයි වෙන හැටි මෙන්න !

එසේ නම් ,

2022-2023 සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගමට ගෑස් මෙට්‍රික් ටොන් 280000ක් මිලදී ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙන්ඩරයක් ක්‍රියාත්මක වූ බව රහසක් නොවේ.

2022/03/16 අවසන් වූ එහි අඩුම ලන්සුව siam ගෑස් සමාගමට ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නැව් ගාස්තු ඇමරිකානු ඩොලර් 96ක් වශයෙන් දැක්වීම ත් රහසක් නොවේ.

ප්‍රශ්නය වන්නේ මේ ප්‍රසිද්ධ කරුණු මෙන්ම , 2022 මැයි මස 03 ලිට්‍රෝ ගෑස් සමාගම කැබිනට් අනුමැතියෙන් Siam සමාගමට එම සමාගම තෝරා ගත්තා යැයි යොමුකළ ලිපියෙහි දිනය පමණක් දැන සිටීමය. අනිත් කිසිවක් නොදැන සිටීමය.

අවම වශයෙන් ගිවිසුම් ප්‍රකාරව සැපයුම්කරුගේ (Siam) ආරක්ෂාව සම්බන්ධව siam සමාගම ණයවර ලිපි ඉල්ලා ඇතිබ චෝදනා නගන්නන් කියන්නේ නැත.

එකී ලියවිලි සාමාන්‍ය තත්ත්වයක මෙන් නිකුත් කළහැකි තැනක ආර්ථික ය නැත. ඒ බවත් චෝදනාකරුවන් දන්නේ නැද්ද ?

Saim ඉල්ලා සිටි ලියවිලි සූදානම් කිරීමට (SBLC) යම් කාලයක් ගතවෙන බැවින් ටෙන්ඩර ලන්සු ගත මුදල වන ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා ඩොලර් 96 කට හදිසි තත්ත්වයක් සේ සලකා ජූනි මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 15000ක් ලබා දෙන ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම siam සමාගමෙන් ඉල්ලීමක් කළ බව චෝදකයන් දන්නේ නැද්ද ?

එම ඉල්ලීම siam සමාගම ප්‍රතිකේෂ්ප කළ බව චෝදකයන් දන්නේ නැද්ද ?

2022 මැයි මස 09 ලිට්රෝ ගෑස් ලංකා සමාගමෙන් ඩොලර් මිලියන 30 ක ණයවර ලියවිල්ලක් ( SBLC) ජාත්‍යන්තර බැංකුවක් හරහා නිකුත් කරන ලෙසත් එය නිකුත් කරනා තෙක් ගෑස් ලබා දිය නොහැකි බව siam සඳහන් කර ඇති බව චෝදකයන් දන්නේ නැද්ද ?

එසේම ණයවර ලිපිය නිකුත් කළත් ගෑස් මෙට්‍රික් ටොන් 15000 ලබා දිය නොහැකි බවත් ලබාදීමට හැකියාව ඇත්තේ ගෑස් මෙට්‍රික් ටොන් 6600 ක් පමණක් බවත් දන්වා ඇති බව චෝදකයන් දන්නේ නැද්ද ?

එම ප්‍රමාණය දෙන්නේද මෙට්‍රික් ටොන් එක ඩොලර් 96 බැගින් නොව ඩොලර් 112 බැගින් බව චෝදකයන් දන්නේ නැද්ද ?

හදිසි මිලදී ගැනීම සඳහා දෙවෙනි අඩුම ලන්සුව හිමි ඕමාන් ට්‍රේඩින් ආයතනයෙන් ( OQ Trading) ගෑස් මෙට්‍රික් ටොන් 15000ක් හදිසි මිලදී ගැනීමට විමසූ විට අවම වශයෙන් ගෑස් මෙට්‍රික් ටොන් 100,000 ක්වත් මිලදී ගත යුතු බව දැන්වූ බව චෝදකයන් දන්නේ නැද්ද ?

එහිදී එම සමාගම දැන්වූ මිල පළමු ටෙන්ඩරය සඳහා සහය නිකුත්කළ මිලට සමාන බවත් චෝදකයන් දන්නේ නැද්ද ?

2020 මැයි මස 31 දින හෝ ඊට ආසන්න දිනක එවකට ලිට්‍රෝ සභාපති විජිත හේරත් විසින් හදිසි අවස්ථාවේදී ඕමාන් ට්‍රේඩින් ආයතනයෙන් ගෑස් ලබාගැනීමට මූල්‍යමය පහසුකම් සම්පාදනය කර දෙන ලෙස මුදල් අමාත්‍යාංශයට ලිපියක් යොමුකළ බව චෝදකයන් දන්නේ නැද්ද ?

2022 /06/08 කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ගනුලැබූ තීන්දු තීරණ ගැන චෝදකයන් දන්නේ නැද්ද ?

ඒ බව සොයා බැලීමක් කළා නම් මේ හදිසි අවශ්‍යතා මිලදී ගැනීමක් මිස මූලික ටෙන්ඩරය ලබා දීමක් නොවන බව දැනගන්නට තිබිණ .

එසේම , Siam ගෑස් සමාගම ඉවත් වූයේ කොමිස් හුටපටයක් නිසා නොවන බවත් ඊට හේතුව මෙරට රජයට එම සමාගම වෙනුවෙන් ණයවර ලිපි නිකුත් කිරීමේ හැකියාවක් නොතිබුණු නිසා බවත් දැනගන්නට තිබිණ .

වැඩේ කියන්නේ මේ කිසිවක් නොසොය, අහස කඩා වැටුණෝ දේශපාලනය ඉදිරියට පැමිණ තිබීමය . එවැනි උදවිය සහ රාජපක්ෂවරුන් අතර වෙනසක් නැත. දෙගොල්ලොම කරන්නේ අවස්ථාව බලා ජනතාව රවටා ගැනීමය.

 

ලංකාවේ තත්ත්වය ගැන : ඉන්දීය පාර්ලිමේන්තුවේ අවධානය !

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ ඉන්දීය පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව වාර්තා වෙයි .

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සහ ඒ හමුවේ ඉන්දියාව සතු කාර්යභාරය පිළිබඳව ධනාත්මක වාතාවරණයක් තුළ සාර්ථක සාකච්ඡාවක් පැවැති බවයි.

මෙම දුෂ්කර අවස්ථාවේදී අසල්වැසි ශ්‍රී ලංකාව සමඟ නැගී සිටීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව ඒකමතිකව එකග වූ බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙයි.

Page 243 of 391