V2025

පුවත්

දෛනික මරණ ඉහළට : විවාහ උත්සව තහනම් !

පනවා ඇති සංචරණ සීමා නැවත වතාවක් සංශෝධනය කිරීමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනතාව ඒකරාශි වන කිසිඳු අවස්ථාවකට අවසර නොලැබෙන බව නිවේදනය කර ඇත.

අගෝස්තු 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු නිවාස වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍යය සඳහා අවසර නොලැබෙන බවත් එහි සඳහන් අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වෙයි.

11

මරණ 160 යි !

මේ වන විට දිනපතා මෙරට සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබේ. පසුගිය 13 වනදාට අදාළව ඊයේ (14) තහවුරු කල කොවිඩ් මරණ 160කි.

මෙය දිනක් තුල වාර්තා වු වැඩිම කොවිඩ් මරණ ගණන වේ.

එම මරණ 160ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,935ක් දක්වා ඉහළගොස් ඇත.

ඊයේ (14) තහවුරු කළ එම මරණ අතර කාන්තාවන් 73 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 87 දෙනෙකුද සිටි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 124 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙකු ද සිටින බවද වාර්තා වේ.

වෛද්‍ය නිර්දේශයක් ලැබුණොත් රට වහන්න සූදානම්

රට ලොක්ඩවුන් කිරීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ නම් එය සිදුකිරීමට රජය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

රජය විසින් සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව බවත්, රට ලොක්ඩවුන් කිරීමට වෛද්‍ය විශේෂඥයන් මෙතෙක් නිලවශයෙන් නිර්දේශකර නැතැයිද ඔහු සඳහන් කළේය.

තවද වෛද්‍ය විශේෂඥයන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය හැමවිටම බැඳී සිටින බවත් ඔහු පැවසුවේය.

අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මෙම අදහස් පළ කළේය.

"වසංගත රෝග විද්‍යා ඒකකය තියෙනවා. කොවිඩ් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධන බළකායක් තියෙනවා. ඒ වගේම ඊට පරිබාහිරව කටයුතු කරන විවිධ අධ්‍යයන ආයතන, වෘත්තීය සමිති ගණනාවක් තියෙනවා. එතකොට අපිට නිල වශයෙන් දෙන උපදෙස් නිර්දේශ ක්‍රියාත්මක කරන්න අපි බැඳී සිටිනවා. හැබැයි දේශපාලන බලවේගවල බළල් අත් හැටියට වැඩකරන ඇතැම් පුද්ගලයෝ ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ආණ්ඩුව පෙරළන්න. රට වහන්න සෞඛ්‍ය අංශවලින් නිල වශයෙන් අපිට උපදෙස්, නිර්දේශ ලැබෙනවා නම් එය ක්‍රියාවට නංවන්න අපි පැකිලෙන්නේ නෑ. ඒ වගේම එදිනෙදා ආදායමක් හොයාගෙන ජීවන්වෙන මිනිස්සුන්ටත් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ."

රටේ පවතින තත්වය හමුවේ ස්වයං සංචරණ සීමා පනවා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

කේක් කකා AC කාමරවල සිට තීරණ ගන්නෙ නැතුව එළියට විත් මිනිස්සු දුක් විඳින හැටි බලන්න : සඳුදා සිට ස්වයං සංචරණ සීමා පාලනයක යෙදෙමු - උපුල් රෝහණ

‘කොවිඩ්’ වසංගතයෙන් ජීවිත ආරක්‍ෂා කරගැනීමට සඳුදා සිට ස්වයං සංචරණ සීමා පාලනයක් ඇතිකරගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ  ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම සති අන්තයේ වගකීමෙන් හැසිරී නිවෙස්වල අවශ්‍ය බඩු බාහිරාදිය රැස් කරගෙන ලබන සඳුදා (16 වැනිදා) සිට සියලු දෙනා ස්වයං සංචරණ සීමා පාලනයකට යොමු වී රටේ ඇති වී ඇති තත්වය හමුවේ ජීවිත ආරක්‍ෂා කරගමු යැයි ද වැටී සිටින දුකෙන් ගොඩඑන්න ස්වෙච්ඡාවෙන් කටයුතු කරමු යැයි ද උපුල් රෝහණ පැවසීය.

ආණ්ඩුවේ සහ බලධාරීන්ගේ තීරණ සම්බන්ධයෙන් කණගාටු වන අතර ආණ්ඩුවේ සහ සියලු බලධාරීන් කේක් කලා වායුසමීකරණය කළ කාමරවල තීරණ ගැනීමෙන් තොරව මේ විසාලා මහනුවර පය තියෙලා ඇවිද මිනිසුස් විදින දුක ලබන්න යැයි ආරාධනා කරන බව ද උපුල් රෝහණ  කීය.

මහ කන්නයට පෙර ගොවියාට දිලීර නාශක දෙන්න - රෝහිණී කවිරත්න

"පොහොර නැති වුනාම වගේ නෙවෙයි, දිලීර නාශක නැතිවුණාම වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. දිලීර නාශක නැතිකමින් උඩරට එළවළු - පළතුරු - මල් වගාවට දැනටමත් දැවැන්ත විනාශයක් සිදුව තිබෙනවා. මහ කන්නයට පෙර ගොවියාට හිඟයකින් තොරව දිලීර නාශක ලබා වැඩපිළිවෙලක් රජය විසින් ආරම්භ කළ යුතු" යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කරන අතර වැඩිදුරටත් මෙසේද පවසයි.

පොහොර හා කෘෂි රසායනික තහනම ලංකාවේ කෘෂිකර්මයට දැවැන්ත විනාශයක් අත්කර දී තිබෙනවා. ආණ්ඩුව කෘෂිකර්ම විශේඥයින්ගේ දැනුමට නිගරු කරමින් දිලීර නාශකවලටත් තහනමක් පනවලා තියෙනවා. පොහොර නැතිවුණාම අස්වැන්න අඩුවෙනවා විතරයි, නමුත් දිලීර නාශක නැති වුණාම ඕනෑම වගාවක් දින දෙක තුනකින් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. පසුගිය වැසි සමයේ තේ වගාවේ දිලීර හානිය නිසා කුඩා තේ වතු හිමියෝ අන්ත අසරණ වෙලා තියෙනවා.

වැවිලි සමාගම්වලට තමන්ගේ වගාවට දිලීර නාශක තොග තියෙනවා. දෛනිකව කඩෙන් බෙහෙත් පැකට් එකක්, බෙහෙත් බෝතලයක් අරගන්න ගොවියෝ තමයි ආණ්ඩුවේ අඳ බාල වැඩ වලින් වැඩිම පීඩාවට පත් වෙලා තියෙන්නේ. උඩරට විතරක් නෙවෙයි රටේ පුරාම යල කන්නයට දිලීර නාශක ලැබෙන වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි.

රජයේ විකාර ආනයන තහනම නිසා දැන් මාතලේ විතරක් නෙවෙයි රටේ හැම තැනම දිලීර නාශක හිඟයි. ගොවිතැන් කරන ගොවි පවුලක කෙනෙක් විදිහට මම දන්නවා පැලෑටි සමයේ ඉදන් අස්වැන්න නෙළන කාලය දක්වාම විවිධ අවස්ථාවන් හි ශාකවලට දිලීර බලපෑම එල්ලවෙන බව. දිලීර ආක්‍රමණයක් සිදුවූ පසුව වහා පිළියම් යෙදිය යුතුයි. දිලීර නාශක නිසි ප්‍රමිතියකින් භාවිත කිරීම මිනිසාට හානියක් නෙවෙයි.

ආණ්ඩුව ආර්ථික බංකොලොත් භාවය වහගන්න අඳබාල තර්ක ගේනවා. කිසිම විද්‍යාත්මක පදනමක් නැති තහනම් කිරීම් නිසා රටේ ආහාර හිඟයක් ඇති වෙනවා. විදේශ වෙළෙඳපොල ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරන එළවළු, පළතුරු, මල් හා සලාද වර්ග වලට නිසි ප්‍රමිතියක් තියෙනවා. ලස්සනක් නැති බඩුවලට විදෙස් වෙළෙඳපොලක් නෑ. ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති රටේ සාගතයක් ඇති කරනවා. රටට විදේශ විනිමය නැති කරනවා.

එපිසිලෝන් ආවොත් - පැයකට 30 ක් මැරෙයි : වෛද්‍ය සංගම් අනතුරු අඟවයි !

කොරෝනා වෛරසයේ එපිසිලෝන් යනුවෙන් හැඳින්වෙන ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් සෑම විනාඩි දෙකකටම එක් අයෙකු මිය යනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කරන්නේ නව වෛරසයට ජනතාව තුළ පවත්නා ප්‍රතිශක්තියකරණය හා එන්නත් මගින් ලබාදෙන ප්‍රතිශක්තිකරණය ප්‍රමාණවත් නොවන බවට තොරතුරු සොයාගෙන ඇති බවයි.

දැනට මෙම ප්‍රභේදය මෙරටින් වාර්තා වී නැතත් ඉදිරි කාලයේ දී රට තුළ ව්‍යාප්ත වනු ඇතැයි මතයේ පිහිටා දැන් සිටම අවශ්‍ය තීන්දු තීරණ ගත යුතුව ඇතැයි ද ඔහු පැවසීය.

ඩෙල්ටා ප්‍රබේදයෙන් විනාශ වූ ජීවිත ප්‍රමාණයට වඩා එපිසිලෝන් ප්‍රභේදයෙන් දහස් ගණනකගේ ජීවිත අහිමි වනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

කොවිඩ් 19 'එප්සිලොන්' වයිරස විකෘතිය, 'ඩෙල්ටා' විකෘතියට වඩා බිහිසුණු බවත්, එය එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන බවත් පාකිස්තාන වෛද්‍ය පර්යේෂකයෝ අනතුරු අඟවති. 'එප්සිලෝන්' විකෘතිය පළමුවෙන් හඳුනා ගැනුණේ 2020 වසරේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙනි.

'එප්සිලෝන්' වයිරස නිල වශයෙන් හැඳින්වෙන්නේ B.1.429 සහ CAL.20C යනුවෙනි. 'එප්සිලෝන්' වයිරස විකෘතිය නිර්මාණය වී ඇතැයි පැවැසෙන්නේ කොරෝනා වයිරස විකෘති පහක් එක්වීමෙනි. පාකිස්තාන වෛද්‍ය පර්යේෂකයන්, 'එප්සිලෝන්' විකෘතිය ගැන අනතුරු අඟවා ඇත්තේ, මේ වනවිට පාකිස්තානයේ ලාහෝර් නුවරින් හමුවන 'කොවිඩ් 19' ආසාදිතයන් බොහෝ දෙනකුට ආසාදනය වී ඇත්තේ මෙම විකෘතිය බැවිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය, 'එප්සිලෝන්' විකෘතිය සැලකිල්ලක් දැක්විය යුතු වයිරස විකෘතියක් යැයි මීට පෙර අනතුරු අඟවා තිබුණු නමුත් දැන් ඔවුන් අනතුරු අගවමින් පවසා ඇත්තේ 'ඩෙල්ටා' සහ 'ලැම්බ්ඩා' සේම, 'එප්සිලෝන්' විකෘතිය සම්බන්ධයෙන් ද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු යුතු බවය.

ගුරු -විදුහල්පති සටනට මඩ ගහපු : ITN කෝපිකඩේ ගැලවෙයි !

ලංකා ටෙලිනාට්‍ය ඉතිහාසයේ දීර්ඝතම ටෙලිනාට්‍ය ලෙස අදටත් විකාශය වන "කෝපි කඩේ" පසුගිය කතාංගය (Episode 1842 ) ඇතුළත් වීඩියෝව youtube සාමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත්කර ඇත.

මේ සම්බන්ධව සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ලංකා ගුරු සේවා සංගමයේ නායකයකු මෙන්ම ගුරු විදුහල්පති වැටුප් විෂමතා පදනම් කරගෙන දියත්කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයේ නායකයකු ලෙස කටයුතු කරන මහින්ද ජයසිංහ මෙසේ පවසා ඇත.

#"කෝපි කඩේ " අමතක නොවන පාඩමක් ඉගෙන ගනී... U tube එකෙන් වීඩියෝව ඉවත් කරයි .? .

111

මේ සම්බන්ධව ගුරු වෘත්තීය සමිති නායක මහින්ද ජයසිංහ මීට පෙර සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක්ද මුදාහැර තිබු අතර වෘත්තීය සටනක් රාජ්‍ය මාධ්‍යයක යන ටෙලිනාට්‍යක් යොදවා ඊට පහරදීම සම්බන්ධව ඔහු එහිදී විවේචනයක් එල්ල කළේය.

එහිදී ඔහු අඟවා සිටියේ අදාළ නාට්‍යාංගය හරහා ගුරු - විදුහල්පති වෘත්තීය සටනට මඩක් ගසා ඇති බවය.

222

මේ අතර අදාළ නාට්‍යාංගය නැරඹු බොහෝ දෙනෙකු සඳහන් කර සිටියේද එය ගුරු - විදුහල්පති සටන ඉලක්ක කර ග්‍රාම්‍ය මඩක් මිස වැඩි දෙයක් නොවන බවයි.

රාජ්‍ය මාධ්‍යක් පවතින ආණ්ඩුවේ මතය වෙනුවෙන් කටයුතු කිරීම ගැටළුවක් නැත. නමුත් ඒ තුළත් අවම මාධ්‍ය සදාචාරයක් තබාගත යුතුය. විශේෂයෙන් ගුරු - විදුහල්පති වැටුප් ප්‍රශ්නය වසර 24 කට වඩා ඇදී ඇති ප්‍රශ්නයකි. ඒ සම්බන්ධව විරුද්ධ අදහසක් සමාජ ගත කල යුතු නම් අවම නිර්මාණ භාවිතයක සිට ඒ කළා නම් ගැටළුවක් නැත. එහෙත් මේ මුළුමනින්ම ග්‍රාම්‍ය මඩක් වන අතර එවැනි තුට්ටු දෙකේ කඩේ යාම් නිසා අපකීර්තිය අදාළ ආයතනයටය.

lankaenews ආරක්ෂක හා දේශපාලන විශ්ලේෂක : මාධ්‍යවේදියා අත්අඩංගුවට !

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය හා සම්බන්ධ, මාධවේදී කීර්ති රත්නායක මහතා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද (14) අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් නිලධාරියා අත් අඩංගුවට ගැනීමට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ, ඔහු විසින් දැනුම්දී ඇති කරුණක් සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාවය සෙවීම පිණිස අත් අඩංගුවට ගන්නා බවයි.

ඒ හෙට (15) ඉන්දීය නිදහස් දිනය දා කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි පුරෝකථනයක් කරමින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයට දැනුම් දුන් අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙනි.

ඊට පෙර ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය යැයි කියා අද(14) උදෑසන 10 ට කොල්ලුපිටිය පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂක මිද්දෙණිය නමැති නිලධාරියෙකු හමුවන්නැයි ජ්‍යෙ. නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දුරකථනය මගින් කීර්ති රත්නායකට දැනුම් දී තිබු බව 'ලංකා ඊ නිව්ස් ' වාර්තා කර තිබේ.

ඔහු ඊට එකඟතාවය ප්‍රකාශ කර තිබියදී ඊයේ සවස සහ රාත්‍රිය පුරා ඔහුගේ අඹු දරුවන්ගේ දෙමාපියන්ගේ නිවෙස් වෙත සහ හිතවතුන්ගේ නිවෙස් වෙත පොලිසිය හඹා යමින් ඔහු පිළිබඳ තොරතුරු විමසමින් ඇති බවත් එහි සඳහන් කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ලංකා ඊ නිව්ස් ලන්ඩන් කාර්යාලය සමග අවසන් වරට අද උදෑසන 9 ට පමණ අදහස් දැක්වූ අවස්ථාවේ දී මාධ්‍යවේදී කීර්ති රත්නායක පවසා ඇත්තේ, ඔහු දැන් කොල්ලුපිටිය පොලිසිය බලා ගමන් කිරීමට සූදානම් වන බවත් ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරිනියක් ද පොලිසිය වෙත පැමිණෙන බව තමන්ට දැනුම් දුන් බවත් ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනදේ !

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කරන්නේ, කොළඹ පිහිටි ජාත්‍යන්තර සබඳතාවලට අදාළ විදේශ ආයතනයකට ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු යම් තොරතුරක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළව කළ විමර්ශනයකදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අදාළ ආයතනයේ නිලධාරියෙකු ඊයේ (13) දහවල් කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

පැමිණිල්ලට අදාළව කොල්ලුපිටිය පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පසුව එම විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසය භාර ගෙන ඇති බවත් ඔහු පවසයි.

පසුව එම විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු මත මහනුවර ප්‍රදේශයේ ස්ථීර පදිංචිය සහිත පනාගොඩ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසිය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, ඔහු ගුවන් හමුදාවේ නිලධාරියෙකුව සිට පසුව ගුවන් හමුදා සේවයෙන් නෙරපා ඇති පුද්ගලයෙකු බවය.

අලුත් බද්දක් නෙවෙයි : මුදල් අමාත්‍යාංශය කියයි !

කරවල, හාල්මැස්සන් ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු සම්බන්ධයෙන් නිකුත් කෙරුනු ගැසට් නිවේදනය ගැන මුදල් අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

එහි සඳහන් වන්නේ මෙය අලුතින් පැන වූ බද්දක් නොවන බවත් ආනයනික හාල් මැස්සන් සහ කරවල කිලෝ ග්‍රෑමයකට රුපියල් 100 බැගින් වු බද්ද පනවනු ලැබුවේ 2021 පෙබරවාරි මස 11 වැනිදා සිට මාස 6 ක කාලයකටයි.

එම කාලය අවසන් වන බැවින් කිසිදු බදු සංශෝධනයකින් තොරව එය දීර්ඝ කිරීම නව ගැසට් නිවේදනයෙන් සිදුකර තිබේ.

මීට අමතරව දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා වන පරිදි බටර්, උළුහාල්, කුරක්කන්, පිටි, අබ සහ ලුණු ආනයනය සඳහා 2020 සැප්තැම්බර් 30 වැනිදා නිකුත් කළ වසරකට බලපැවැත්වෙන ගැසට් නිවේදනයේ කාලය ද අවසන් වන බැවින් එය දිර්ඝ කිරීම ද ඊයේ නිකුත් කළ නිවේදනයෙන් සිදුකර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

news 1st

සබැඳි පුවත

කොරෝනා අස්සේ හාල්මැස්සන්, කරවල කලා හමාරයි : විශේෂ වෙළඳ භාණ්ඩ කිහිපයකට බදු

සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක් නීතියක් කිරීමේ තීන්දුවක් !

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ඇතැම් මාර්ගෝපදේශ නීතියක් බවට පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ලබන සඳුදා (16) දින නිකුත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

අද (14) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මෙම කරුණු අනාවරණය කර ඇත.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ, පළාත් අතර පනවා ඇති සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් පරීක්ෂා කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අද (14) දිනයේ සිට ක්‍රියාත්මක වන බවත් ඔහු සඳහන් කරයි.

පවතින සංචරණ සීමාවලට පටහැනිව යම් පුද්ගලයෙකු පළාත් මායිම් අතර ගමන් කිරීමට පැමිණියහොත් ඔවුන් අත්අඩංගුවට ගන්නා බවද පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය පියවර ගනු ලැබීය.

ඒ අනුව පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ද අත්හිටුවනු ලැබූ අතර සංචාරක, සෞඛ්‍ය, ගුවන්තොටුපොළ, වරාය, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මාන්ත ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් පළාත් අතර සංචරණය කිරීම සඳහා අවසර ලබාදී තිබේ.

අහිමි වන සෑම මිනිස් ජීවිතයකටම ආණ්ඩුව වගකිව යුතුයි - ආචාර්ය හරිනි

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය හමුවේ ආණ්ඩුවේ හැසිරීම වගකීමෙන් තොර බවත් එබැවින් අහිමි වන සෑම මිනිස් ජීවිතයකටම ආණ්ඩුව වගකිය යුතු බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඊයේ (13) අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළ අතර එහිදී පළකළ අදහස් පහත පළ වේ.

“ජාතික ජන බලවේගය හැටියට කොවිඞ් රෝගයෙන් මියගිය අපේ සහෝදර සහෝදරියන්, අපේ නෑදෑයන් සහ මේ රටේ පුරවැසියන් හට අපගේ සාතිශය ශෝකය පළ කරනවා. මේ බොහෝ මරණ වළක්වාගත හැකි එහෙත් වළක්වා නොගත් මරණ. මේ බොහෝ දෙනෙක් මැරුණේ ආණ්ඩුවේ නොසැලකිලිමත් බව පමාවීම්, වැරදි තීරණ නිසයි. මේ මරණවල වගකීම ආණ්ඩුව බාරගත යුතුයි. නමුත් අපි කිසිසේත්ම ඔවුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම සංවේදී බවක් මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ නැති වෙන්නේ රටට වටිනා ජීවිත බව ජාතික ජන බලවේගයේ අපි පිළිගන්නවා. ඒ ජීවිත බේරා ගන්න බැරිවීම ගැන අපි දුක් වෙනවා.

රටේ ජනතාව මේ වෙලාවේ ඉන්නේ විශාල බයකින්. කොයි මොහොතක තමන් ආදරය කරන මිනිස්සුන් වෙන් වෙයිද නොදන්නා කම්පනයක ඉන්නේ. ඒ වගේම රෝගයේ ස්වභාවය නිසා පුරුදු විදිහට අපිට එකිනෙකාව රැකබලා ගන්න බැහැ. සාමාන්‍යයෙන් අපේ සමාජයේ කෙනෙක් ලෙඩ වුණාම අනෙක් අය එකතු වී රැකබලා ගන්නවා. මේ වෙලාවේ අඩුම ගානේ මරණයකදී සිදුකරන සංස්කෘතික චාරිත්‍ර-වාරිත්‍ර බොහොමයකින් කිසිම දෙයක් කරන්න බැරි තත්වයක් තියෙන්නේ. අපේ දුක නිවාගන්න ඒ කටයුතු ටිකවත් මේ අවස්ථාවේ කරන්න බැරිවෙලා. මේ හිත් අමාරුවෙන්, බයෙන්, දුකෙන් සහ සැකෙන් අපේ රටේ බොහෝ දෙනක් ඉන්නේ. එවැනි මොහොතක අපේ රටේ ආණ්ඩුව කොයිද කියලා අහන්න වෙනවා. ජනතාව ආණ්ඩුවක් පත්කර ගන්නේ මෙවැනි ව්‍යසනයකදී නායකත්වය ගන්න. යම් කිසි ආකාරයකට අපේ ප්‍රශ්නය විසඳයි කියන බලාපොරොත්තුවෙන්. නමුත් මේ වෙලාවේ ආණ්ඩුවේ නිහඬතාවයක්, වගකීම්වලින් බැහැරවීමක් අපි දකින්නේ. රටේ ජනතාවගේ ජීවිත ආණ්ඩුවේ ඇමතිවරුන් දෙවියන්ට බාර දුන්නේ. ආණ්ඩුව මේ වගකීමෙන් බැහැර වෙලා. රටේ මිනිස්සු දෙවියන්ට බාර දෙනවා නම් ආණ්ඩුවක් මොකටද? නායකයන් මොකටද? අපේ නායකයෝ ජනතාව අත්විඳින දේ ගැන දැනෙන්නේ මොනවාද? ජනතාව ගැන ඔවුන් සිතන්නේ මොනවාද? ඒ ගොල්ලෝ අපිට කියන්න ඕනෑ.

විද්‍යාත්මක තොරතුරු තිබියදීත් තීරණ නොගන්නේ නම් වෙනත් තොරතුරු ඔවුන් ළඟ තිබෙනවාද? අපි නොදන්නා දෙයක් ඔවුන් දන්නවාද? වගකිව යුතු ආණ්ඩුවක් නම් ඔවුන් තීරණ ගන්නේ මොන පදනමකින්ද කියලා ඔවුන්ව පත්කළ ජනතාවට කියන්න ඕනෑ. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විද්‍යාඥයින්ගේ නිර්දේශ නොතකා තීරණ ගැනීම ගැන ආණ්ඩුවෙන් උත්තර අවශ්‍යයි. ආණ්ඩුව මේ මොහොතේ ගන්න තීරණ නිසා මිනිස්සු මැරෙනවා. මිනිස් ජීවිත කියන්නේ ඉලක්කම් නෙවෙයි. හැම ජීවිතයකටම බැඳීම් තියෙනවා. ආණ්ඩුව ගන්න තීරණවලින් බලපෑමක් වෙන්නේ ඒ බැඳීම්වලට. මිනිස් ජීවිත ආරක්‍ෂා කිරීමේ වගකීමෙන් බැහැර වෙලා දෙවියන්ට බාර දෙනවා නම් ඒ ආණ්ඩුව අපිට එපා. අඩුම තරමින් ඔවුන් ගන්න තීරණ සම්බන්ධයෙන් වගකීම බාරගන්න ඕනෑ. ආරක්‍ෂක කාමරවල හැංගිලා කරගෙන යන හැසිරීම වගකීම් විරහිතයි.

මේ සියලු වැරදි තීරණ මධ්‍යයේ ඒ බර දරාගෙන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සියලුම දෙනා විශාල කාර්යභාරයක් සිදුකරනවා. දැනට අවුරුදු එක හමාරක් පුරා ඔවුන් අසීමිතව වෙහෙස වෙනවා. මේ මොහොතේ අවදානමේ මුලින්ම සිටින්නේ ඔවුන්. වෛද්‍ය ක්‍ෂේත්‍රය සහ මුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේම බොහෝ දෙනෙක් ආසාදනයට පත්වෙලා. ඔවුන්ගේ නිරෝගී බව අපි ප්‍රාර්ථනා කරනවා. මේ බාධක මධ්‍යයේ ඔවුන් කරගෙන යන කාර්යභාරය ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ජනතාව ගැන හිතලා ඔවුන් කරන කැපවීම අපි විශේෂයෙන් අගය කරනවා. ආණ්ඩුවට බල කරන්නේ ජනතාව අත්හැරලා, සෞඛ්‍ය සේවය අත්හැරලා කටයුතු කරන්න එපා කියලයි. ආණ්ඩුව මිනිස් ජීවිත සහ ආර්ථිකය අතර තේරීමක් කර මිනිස් ජීවිතවලට වඩා ආර්ථිකය කෙරෙහි සලකනවා නම් අපිට අහන්න තියෙන්නේ මිනිස් ජීවිත නොකතන ආර්ථිකය කාටද කියලයි. අපිට මේ රටේ මිනිස්සු වැදගත්.

ජනාධිපතිතුමාගේ නොදැනුවත්කම නිසා මෙහෙම වෙන බව කියන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවක් කියන්නෙ එක පුද්ගලයෙක් නෙවෙයි. පොදු වගකීමක් තියෙන පිරිසක්. එක් එක් කෙනා මත වගකීම් පටවලා නිදහස් වෙන්න බැහැ. සියලු දෙනා වගකීම දරන්න ඕනෑ. ඔවුන් ගන්නා තීරණ පිටිපස්සේ තිබෙන තර්කය මොකක්ද කියලා හෙළිකරන්න ඕනෑ. අහිමි වෙන හැම මිනිස් ජීවිතයකම වගකීම ආණ්ඩුව දරන්න ඕනෑ කියලා අවධාරණය කරනවා.”

ජනතාවට සහන සලසමින් පූර්ණ අගුලු ලෑමක් අවශ්‍යයි – සේනාධීර ගුණතිලක

ආණ්ඩුව විසින් විශේෂඥ නිර්දේශ පිළිගෙන රට පූර්ණ අගුලු ලෑමකට යා යුතු බවත් එහිදී පීඩා විඳින ජනතාව වෙනුවෙන් මැදිහත්වීමේ වැඩපිළිවෙළක්ද අත්‍යවශ්‍ය බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

පෙ.ස.ප. සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක විසින් මේ බව අවධාරනය කෙරුණේ ඊයේ (13) නුගේගොඩදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එම අවස්ථාවේ සේනාධීර ගුණතිලක පැවසුවේ වහාම හා හදිසියේ රට අගුලු ලෑමක් කළ යුතු බව මෙරට සෞඛ්‍ය අංශවල ප්‍රමුඛ පෙළේ විශේෂඥයන් පවසන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේද ඉල්ලීම වූයේ එය බවයි. නමුත් අගුලු ලෑමක් සමග මතුවන අනෙක් ගැටලුව නම්, එහිදී දෛනික ආදායම් උපයන ජනතාවගේ ජීවන තත්වය පවත්වා ගෙන යාමයි. ඒ වෙනුවෙන් ආණ්ඩුව විශේෂ මැදිහත්වීමක් කළ යුතු බව පැවසූ පෙ.ස.ප. සංවිධායක ලේකම්වරයා පළමු කෝවිඩ් රැල්ල අවස්ථාවේ මෙන් රු. 5000ක් වීසි කර ආණ්ඩුවට අතපිහ දා ගත නොහැකි බව පෙන්වා දුන්නේය.

ඔහු ඒ මාධ්‍ය හමුවේදී මෙසේද ප්‍රකාශ කළේය. “මේ වනවිට, අපේ ළඟම ඥාතින්, අසල්වැසියන් කොරෝනා රෝගයට ගොදුරුවන බව දැනගන්න ලැබෙනවා. උදේ වැඩට ගිය ආයතනයේ රෝගීන් හඳුනාගැනීම නිසා සවස්වන විට වසා දැමූ බව නිවේදනය කරනවා. අල්ලපු ගමේ නැත්නම් අල්ලපු ඇඳේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් මිය යන බව අසමින් අපි කම්පාවට පත් වෙනවා. රෝහල් ඇඳන් අඩු නසා කොරිඩෝරවල රෝගීන් පිරී ඇති බව යනාදී වශයෙන් වසංගතයේ ඇත්ත තත්වය අපිට පියවි ඇසින් දකින් ලැබෙනවා. ආණ්ඩුව කියන විදියටත් දෛනික වශයෙන් රෝගීන් වාර්තා වීම 3000 දක්වා වැඩි වී තිබීමත් මරණ සංඛ්‍යාව ඉලක්කම් 3ක් දක්වා ගොස් තිබීමත් නිසා කොරෝනා වසංගතයේ වර්ධනය වන තත්වය සම්බන්ධයෙන් දළ අදහසක් ගන්න හැකියාව ලැබෙනවා. ඇත්ත සංඛ්‍යාලේඛණ වෙනුවට බොරු කියන බවට චෝදනා තිබියදී පවා ආණ්ඩුව නිකුත් කරන සංඛ්‍යාලේඛන අනුවත් මේක ඉතාම බරපතළ තත්වයක්.

ඒ නිසා අපි කියනවා, වසංගතයේ ව්‍යාප්තිය හමුවේ මුලින්ම හමුවන ආසාදිතයාගේ දින 14ක් සහ දෙවනුව ආශ්‍රිතයන්ගේ දින 14 වශයෙන් සළකා බැලුවත් අවම සති 4ක අගුලු ලෑමක් අවශ්‍ය වෙනවා. නමුත් එය පූර්ණ වශයෙන් අගුලු ලෑමක් ලෙස පවත්වා ගෙන ගොස් පසුව සංචාරණ සීමා ලෙස ක්‍රියාත්මක කිරීමට පුලුවන්. නමුත් මේ වන විට වසර දෙකක් තිස්සේ වසංගතය නිසා ජීවනෝපාය අර්බුදයට ගොස් සීන දෛනික රැකියා කරන ජනතාවට, මෙම අගුලු ලෑමෙන් විශාල දුෂ්කරතා රාශියකට මුහුන දෙන්න සිදුවන නිසා ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඔවුන් වෙනුවෙන් විශේෂ මැදිහත්වීමක් කළ යුතුයි. ඒක රුපියල් 5000ක් විතරක් දීලා අත පිහදාගන්න එකක් නොවිය යුතුයි.

අපි පසුගිය මැයි මාසයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස කොරොන් වසංගතය හමුවේ ක්‍රියාත්මක කළ යුතු බවට අප විසින් යෝජනා කළ කෙටිකාලීන වැඩපිළිවෙළක් ආණ්ඩුවේ අවධානයට යොමු කළා. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවය ධාරිතාව ඉක්මවා යාම සහ සෞඛ්‍ය සේවකයන් වසරකට වැඩි කාලයක් දැඩි වෙහෙසකර සේවයක යෙදීම නිසා ඇති විය හැකි බිඳවැටීම් වැළැක්වීමට අපි ස්වෙච්ඡා බලකායක් පිහිටුවීමට යෝජනා කළා. සාමාන්‍යයෙන් සෞඛ්‍ය සේවයට ස්වෙච්ඡාවෙන් සහාය විය හැකි පිරිසක් සමාජයෙන් සම්බන්ධ කරගැනීමට පුළුවන්. පසුගිය වසරක කාලය තුළ පවා යම් යම් ප්‍රමාණයෙන් අපි පක්ෂයක් ලෙස ස්වේච්ඡාවෙක් ඉටු කළ කාර්යයක් තිබෙනවා. අපි දන්නවා විවිධ සමාජ කණ්ඩායම් එවැනි මැද්හත්වීම් සිදු කරනවා. නමුත් අපි යෝජනා කරන්නේ විධිමත් ලෙස සෞඛ්‍ය යාන්ත්‍රනයට සම්බන්ධ කළ ස්වේච්ඡා බලකායක් ස්ථාපනය කරමින් වගකීම් සහගත ලෙස වසංගතය වැළැක්වීම හා ව්‍යාප්තිය නතර කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවයි.

ඊළඟට, වසංගතය හමුවේ වෙන් කළ සෞඛ්‍ය වැයශීර්ෂ කොහොමටත් ප්‍රමාණවත් නොවූ නිසාත් ආණ්ඩුවට ණය අර්බුදයක් තිබීම නිසාත් කෝවිඩ් අරමුදලක් පිහිටුවා ඊට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට අපි යෝජනා කළා. මේ වන විට මේ වසංගතය හමුවේත් බිලියන ගණනින් ලාභ උපදවන සමාගම් ගැන වාර්තා වෙනවා. අපි කියන්නෙ ඒ දැවැන්ත ලාභ තුළ ගැබ් වෙන්නෙ මේ රටේ ශ්‍රමිකයන්ගෙ දුක් වේදනාවන්. ඒ නිසා සමාජයක් ලෙස මුහුණ දෙන මේ අභියෝගයට මුහුනදීම සඳහා ඒ සමාගම්වල ලාභයෙන් කොටසක් අත්පත් කරගත යුතු බවයි. අපි යෝජනා කළ ආකාරයට ලාභවලින් 1%ක් වැනි කොටසක් අරගත්තත් විශාල අරමුදලක් පිහිටුවන්න හැකියාව ලැබෙනවා. මේක සමාජවාදී යෝජනාවක් නෙවෙයි, මේවන විට ලෝකයේ නවලිබරල් ආර්ථිකයන් තුළ ක්‍රියාත්මක කළ දෙයක්.

ආර්ජන්ටිනාව මේ සඳහා පියවර තබා තිබෙනවා. වෙනත් රටවල් විසින් මෙවැනි ක්‍රම සඳහා සැලසුම් සකස් කරනවා. පසුගිය වසර තුළ බිලියන 57ක් තරම් ලාභයක් උපයාගත් LOLC සමාගම වැනි සමාගම්වලින් ඒ ලාභයෙන් කොටසක් ලබා ගැනීමෙන් මේ වසංත සමයේ ජනතාවගේ සුබසාධනයට වගේම කොරෝනා වසංගතය වෙනුවෙන් අවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා පිරිවැය සපුරාගන්න හැකි බව අපි විශ්වාස කරනවා.”

lanka views

දිනකට මරණ 250 යි : ආසාදිතයන් 5000යි - GMOA නවීන් කියයි !

රෝහල්වලින් නිල නොවන මට්ටමින් ලැබෙන වාර්තා වාර්තාවලට අනුව දිනකට කොරෝනා ආසාදන වන රෝගීන් සංඛ්‍යාව 5000 ඉක්මවමින් ඇති බවත් මියයන සංඛ්‍යාව 250 ඉක්මවා ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා උපුටා දක්වමින් ආණ්ඩු හිතවාදී වෙබ් අඩවියක් වන ලංකා ලීඩ් නිව්ස් වාර්තා කරයි.

එම පුවතේ වෛද්‍යයවරයා දෙන්නේ වෛරස ඉතාම වේගවත්ව පැතිරෙන නිසා ඉදිරි දින කිහිපය තුළ මෙම සංඛ්‍යා දෙගුණ තෙගුණ විය හැකි බවයි.

එහිදී ඔහු චෝදනා කරන්නේ මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා එන්නත් ලබා දිය යුතු ප්‍රමුඛතා ලැයිස්තුවක් තම සංගමය ඉදිරිපත් කර ඇතත් බාහිර පිරිසකගේ බලපෑමෙන් එය හරියාකාරව සිදු නොවන බවටයි.

එන්නත් කරණයන් නිවැරදි ක්‍රම වේදයකට සිදුකලේ නම් සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය ජනගහනයෙන් 45%කට ළඟා කර ගැනීමට හැකියාව තිබෙන බවත් මියයන සංඛ්‍යාව ද අඩුවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසා ඇත.

gmoa

ලංකාවට ඉන්දියාවෙන් ඔක්සිජන් !

මෙරට කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල අවශ්‍යතා සඳහා ඔක්සිජන් මෙට්‍රික්ටොන් 100ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන සතියේදී එම මිලදී ගැනීම සිදුකිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

කොරෝනා ආසාදිතව මෙරට රෝහල්වල දැඩි සත්කාර ඒකකවල සිටින ආසාදිතයන් ඉහළ යාම සමඟ මෙසේ ඔක්සිජන් ආනයනය කිරීමට සිදුවන තත්ත්වය මතුව ඇත.

විශේෂයෙන් කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සමඟ ඔක්සිජන් මත යැපෙන ආසාදිත සංඛ්‍යාව ඉහල යාම නිසා රෝහල්වලින් ඔක්සිජන් සඳහා ඉහළ ඉල්ලූමක් ඇතිව තිබෙන බව සෞඛ්‍ය කාර්ය මණ්ඩල පවසයි.

එනිසාම මෙරට නිෂ්පාදනය කරන ඔක්සිජන් ප්‍රමාණය සම්පූර්ණ වශයෙන්ම රෝහල සඳහා නිකුත් කරන තත්ත්වයක් දැනටත් පවතී.

මරණ වැඩියි : සජිත් ලොක්ඩවුන්-ෂට්ඩවුන් එකක් ඉල්ලයි

මේ මොහොතේ ප්‍රමුඛතාවය දිය යුත්තේ ජනතාවට ඔක්සිජන්වලට ද ආර්ථිකයටද යන්න රට පාලනය කරන ආණ්ඩුව තීරණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

තම යෝජනාව වන්නේ ටික කලකට ‘ලොක්ඩවුන්-ෂට්ඩවුන්’ එකකට ගොස් මරණ සංඛ්‍යාව, ආසාදිත සංඛ්‍යාව පාලනය කරගත හැකි තත්ත්වයට රට ගෙන ආ යුතු බව වන බවත් ඔහු පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ තිස්සමහාරාම දෙබරවැව ගැමුණුපුර ශ‍්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ පූජ්‍ය සාලියපුර සුධර්ශන නාහිමියන් සමග අදහස් පල කරමිනි.

මේ මොහොතේ රට වසා දමනවා හැර ජනතාව ජීවත් කිරීමට කිසිදු විකල්පයක් නැති බවද ඔහු සඳහන් කළේය.

මේ මොහොතේ ජනතාවගේ ජීවිතය බේරා ගැනීම කාටත් පැවරී ඇති වගකීම බවත් ආර්ථිකය ගැන ඉන් පසුව සිතිය හැකි බවත් විපක්ෂ නායකවරයා පවසයි.

මෙරට ක්‍රියාත්මක එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳව අදහස්වි දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ “එන්නත් තුන්වෙනි මාත්‍රාව”කඩිනමින්ම ඇනවුම් කළයුතු බවය.මේ වනවිටත් එන්නත් නොලද සියලු දෙනාම එන්නත්කරණය කිරීමේ වැදගත්ම ද ඔහු අවධාරණය කල අතර කොරෝනා දත්ත වෙනස් කිරීමේ අර්බුදය ගැනත් පැවසීය.

පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් : ඉල්ලා අස්වෙයි !

පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් සුදර්ශන දිසානායක එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මෙන්ම රජය විසින් පත්කරන ලද නිත්‍ය නියෝජිතයින් තිදෙනා එක්ව ගනු ලබන ඇතැම් තීරණ පාරිභෝගික සේවා අධිකාරි පනතට යටත් නොවන බවට ඇතිවූ මත ගැටීම් මෙම ඉල්ලා සීමට හේතුවී ඇත.

පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් සුදර්ශන දිසානායක ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර පහළොවක15 ක පමණ පළපුරුද්ද ඇතිව කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන තරුණ නිලධාරියකු වන අතර ඔහු ඉතිහාසය පුරාවටම අනීතික උපදෙස් වලට හා විධාන වලට ක්‍රියාත්මක නොවූවකි.

පසුගිය රජය සමයේ එවකට මුදල් අමාත්‍යවරයා විසින් නාවික හමුදාවේ කීර්තිමත් නිලධාරියෙකු රේගු අධ්‍යක්ෂකවරයා ලෙස පත් කිරීමටත්, ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී තනතුරට මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙක් පත් කිරීමට යාමේදී වෘත්තීය සංගම් විසින් විශාල විරෝධයක් රටපුරා ගොඩනගන ලද අතරම, දේශපාලන වුවමනාවන් මත හැසිරුණු එවකට රාජ්‍ය පරිපාලන සේවා සංගමය ද වර්තමාන ආණ්ඩුවේ පාර්තමේන්තුව ප්‍රධානීන් ලෙස මෙන්ම අමාත්‍යංශ ලේකම්වරු ලෙස ද හමුදා නිලධාරින් පත් කිරීම සම්බන්ධයෙන් නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම පුදුම සහගත බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

කොරෝනා අස්සේ හාල්මැස්සන්, කරවල කලා හමාරයි : විශේෂ වෙළඳ භාණ්ඩ කිහිපයකට බදු

හාල්මැස්සන්, කරවල, උළුහාල්, කුරක්කන් පිටි සහ අබ ඇට , ලුණු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවමින් මුදල් අමාත්‍යවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව හාල්මැස්සන් සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 100 ක් ද , කරවල සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 100 ක් ද , වෙඬරු සහ කිරිවලින් නිපදවූ තැවරුම් සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 880 ක් ද වශයෙන් බදු පැනවෙනු ඇති.

මීට අමතරව උළුහාල් ඇට සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 50 ක් ද කුරක්කන් පිටි සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 150 ක් ද , අබ ඇට සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 62ක් ද වශයෙන් බදු පනවා තිබේ.

මෙම බදු පැනවීම් අගෝස්තු 12 වනදින සිට වසරක කාලයක් සඳහා වලංගු වන බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.

ගැසට් නිවේදනය පහතින්…

80d6cea5 2240 20 s page 001

4142ead5 2240 20 s page 002

කොරෝනා දත්ත වෙනස් කරන අය : විමල්ගේ මුසා හෙළිකරයි !

ශ්‍රී ලංකාව තුළ සාර්ථකව ක්‍රියාත්මක වන කොරෝනා මර්දන වැඩපිළිවෙළ පිළිබඳව වන දත්ත වෙනස් කරමින් සම්පූර්ණයෙන් එය අකර්මණ්‍ය කිරීමට කටයුතු කරන ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළ නිලධාරියෙකු සහ වසංගත රෝග විද්‍යා අංශයේ ඉහළම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු පිළිබඳව සුවිශේෂී අනාවරණයක් සිදුකළ ජානිපෙ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා එසේ වසංගතය වසන් කරමින් ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන එම නිලධාරී තුන්කට්ටුවට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියි.

අද (13) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම සුවිශේෂී අනාවරණය සිදු කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

“පසුගිය 10 වැනිදා ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේ දී හෙළිදරව් වුණා අගෝස්තු මාසයේ ගෙවී ගිය දින 09 තුළ කෝවිඩ් ආසාදිතයන් 12,555 වාර්තා වූ බව. මෙයින් රෝහල්ගත වූ ගණන 4000ක් පමණ වෙනවා. නමුත් මේ දින කිහිපය තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ආසාදිත පිරිස පිළිබඳ සංඛ්‍යාලේඛන මගින් පෙන්වන්නේ 3000ක පමණ ගණනක්. සෞඛ්‍ය බලධාරීන් 4000ක් පමණ රෝහල් ගත කළ බව කියන විට ප්‍රකාශිත දත්ත මගින් පෙන්වා දෙන්නේ 3000ක පමණ ගණනක්. කාවද මේ නොමඟ යවන්නේ? කාටද මේ බොරු කරන්න හදන්නේ? මේ අනුව ඉතා පැහැදිලියි, කොවිඩ් දත්ත වෙනස් කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් දියත් වන බවට.

‘ආසාදිතයන් 5000 ඉක්මවලා’

මේ දින 09 තුළ ගම්පහින් හමුවූ ආසාදිතයන් 12,555 නවයෙන් බෙදූවිට ආසන්න වශයෙන් දිනකට ආසාදිතයන් 1395ක් වාර්තා විය යුතුයි. නමුත් අපි කිසිම තැනක දුටුවේ නැහැ, ගම්පහින් දිනකට ආසාදිතයන් 1395ක් වාර්තා වන බව. ගම්පහ පමණක් නොවේ රට තුළ ආසාදිතයන් වාර්තා වූ අන්දම බැලුවොත් අගෝස්තු 05 වැනිදා හමුවූ ආසාදිතයින් ගණන 4900කට අධික වුවත් දෛනික වාර්තාවේ සඳහන් වන්නේ 2669 ලෙසයි. අගෝස්තු 06 වැනිදා හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 5000ට වැඩියි. එතැන් සිට අගෝස්තු 11 වැනිදා දක්වා රට තුළ දෛනිකව හමුවූ ආසාදිතයන් ගණන 5000 වැඩියි. නමුත් දෛනික දත්ත වාර්තා මගින් පෙන්වා දුන්නේ ආසාදිතයන් තුන්දාහකට ආසන්න අගයක් බවයි.

‘විශේෂ දත්ත සටහනක්’

මම මේ මාධ්‍ය හමුවට වාඩිවෙන අවස්ථාවේ මට විශේෂ දත්ත සටහනක් ලැබුණා. මෙහි තිබෙන්නේ අගෝස්තු එකොළොස් වැනිදා රට තුළ සිදු කළ සමස්ත පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පිළිබඳ දත්ත. මේ පීසීආර් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා 4175ක් ආසාදිත බව. ඒ වගේම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා 1239ක් ආසාදිත බව. ඒ අනුව 11 වැනිදා හමු වූ සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 5414ක් වෙනවා. මෙමඟින් තවදුරටත් තහවුරු වෙනවා කොවිඩ් දත්ත වෙනස් කිරීමේ වැඩපිළිවෙළක් යම් පිරිසක් විසින් සිදුකරන බවට. තත්ව වාර්තා සහ පරීක්ෂණාගාර වාර්තා ලැබෙන්නේ ඉතා සීමිත පිරිසකටයි. ඒවා පරික්ෂා කළොත් අප මේ කළ අනාවරණය තහවුරු කරගත හැකියි. මම දැන් ඉදිරිපත් කළෙත් එවැනි පරීක්ෂණාගාර වාර්තාවක්.

මේ දත්ත වෙනස් කිරීමේ කටයුත්තට වසංගත රෝග විද්‍යා අංශයේ ඉහළ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් සම්බන්ධ බව අපි අනාවරණය කිරීමට කැමතියි. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළම නිලධාරියෙකුත් එකතු වෙලයි මේ දත්ත වෙනස් කිරීම සිදුකරන්නේ. මේ ඉහළ නිලධාරියා කවුද කියා බලන්න යුද හමුදාපතිතුමන්ට කැමතිනම් පුළුවන්. කොවිඩ් දත්ත වෙනස් කිරීමට මුල් වී ඇති මේ තුන්කට්ටුවේ මූලික අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීමයි. ජනාධිපතිතුමන්ට දත්ත වැරදි විදිහට ඉදිරිපත් කළාම තීරණ ගන්න වෙන්නෙත් ඊට සාපේක්ෂව. ඒ අනුව මේ අයගේ තවත් අරමුණක් තමයි ජනාධිපතිතුමන් නොමඟ යැවීම. ආණ්ඩුව අපහසුතාවට පත් කරලා ජනතාව බිල්ලට දීලා අවසානයේ විපක්ෂයේ උවමනාව ඉටු කර දීමත් මේ අයගේ අරමුණු අතර වෙනවා. විපක්ෂයේ වුවමනා වී ඇත්තේත් රජය විසින් සිදුකරන කොරෝනා මර්දන වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීමයි.

මේ විදිහට දෛනික ආසාදිතයන් ගණන අඩුවෙන් වාර්තා කළාම දෛනික මරණ අනුපාතය ඉහළ යනවා. දැන් විපක්ෂය මාධ්‍ය සාකච්ඡා තබමින් කියන්නේ ‘අපි දැන් ලෝකයේ ඉහළම කොරෝනා මරණ අනුපාතිකය සහිත රටක්’ කියලයි. දෛනික මරණ සංඛ්‍යාව, දෛනික ආසාදිතයන් ගණනින් බෙදූ විට ලැබෙන ප්‍රතිශතය ඊයේ (12) දිනයට අදාළව ගත්තාම, (156/3039) 5%ක් පමණ වෙනවා. කොවිඩ් මර්දන වැඩපිළිවෙළ ඉතා අසාර්ථක රටවල පවා මේ දෛනික මරණ අනුපාතය 3%ක පමණ අගයක්. ඉතා සාර්ථක කොවිඩ් මර්දන වැඩපිළිවෙළක් සහිත අපේ රටේ මෙවැනි 5%කටත් වැඩි මරණ අනුපාතයක් පෙන්වීමට අවශ්‍යව ඇත්තේ කාටද? ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ජනතාවගෙන් වසංගතය වසන් කරලා, ඔවුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන මේ නිලධාරී තුන්කට්ටුවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,

මාධ්‍ය ලේකම්,

ජාතික නිදහස් පෙරමුණ

ප්‍රසන්නටත් කොරෝනා : පාර්ලිමේන්තු පොකුර වර්ධනය වෙයි !

වේවැල්, පිත්තල,මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරටද කොරෝනා ආසාදනයව ඇති බව වාර්තා වෙයි.

එසේම අමාත්‍යවරයාගේ බිරිඳට සහ ලේකම්වරුන් දෙදෙනෙකුටද කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී ඇත.

වාර්තා වන ආකාරයට කොරෝනා ආසාදනයවූ ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමතිවරයා සහ ඔහුගේ බිරිඳ අයි. ඩී .එච් රෝහලට ඇතුළත් කර ඇත.

ඒ අනුව කොරෝනා පාර්ලිමේන්තු පොකුර වර්ධනය වෙමින් ඇති තත්ත්වයක් පෙන්නුම් කරන අතර දැනගන්නට ඇති ආකාරයට මේ වන විට මැති ඇමතිවරුන් 20 කට ආසන්න ප්‍රමාණයකට කොරෝනා ආසාදනයවී තිබේ.

Page 369 of 393