V2025

පුවත්

තමිලන් කර්තෘගේ ආරක්ෂාව වෙනුවෙන් : පොලිස්පතිට ලිපියක් !

තමිලන් (Thamilan) නම් දෙමළ මාධ්‍ය පුවත්පතේ කර්තෘවරයා වන ආර් සිවරාජ් විසින් තමා පදිංචිව සිටින ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික නිවාස සංකීර්ණයට අගෝස්තු 12 අළුයම 2. 30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි හඳුන්වා දුන් සැක කටයුතු පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ ඇති බවට පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ඒ පිළිබඳ පරික්ෂණ කඩිනම් කොට ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පිළියම් යොදන ලෙසට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පොලිස්පති වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

fma

කොවිඩ් මර්දනය සදහා අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කොවිඩ් -19 පැතිරීම වැළක්වීම පිළිබඳ කාර්ය සාධක බළකා රැස්වීමේ දී ගත් තීරණ දැනුම්දෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම පළාත් අතර පොදු ප්‍රවාහන සේවාද අත්හිටුවනු ඇත.

ඒ අනුව සංචාරක, වරාය‍, ඇඟලුම් කර්මාන්ත ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් පළාත් අතර සංචරණය කිරීම සඳහා අවසර හිමිවේ.

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සැප්තැම්බර් මස 15 වනදායින් පසු කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට සඳහන් කාඩ් පත නොමැති පුද්ගලයින් පොදු ස්ථානවලට පැමිණීමේදී පරීක්ෂාවට ලක්කරන බවය.

එමෙන්ම අවන්හල්, සාප්පු සංකීර්ණ, සහ වෙළෙඳසැල් පවත්වාගෙන යෑමේදී ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළයුතු බවද යුද හමුදාපති සඳහන් කළේය.

WhatsApp Image 2021 08 13 at 18.46.59

ඇමති අනුකමිටු කටයුතුවලට කාල රාමුවක් අවශ්‍යයි - ජෝසප්

ටගුරු - විදුහල්පති වෘත්තීය සමිති ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය අනුකමිටුවට කාලරාමුවක් යෝජනා කළයුතු බව ගුරු වෘත්තීය සමිති ක්‍රියාකාරීහු පවසති.

එසේ නොමැතිනම් මෙම ගැටලුවට නිසි විසදුම් ඉතා ඉක්මණින් නොලැබෙනු ඇති බව ඔවුහු පෙන්වා දෙති.

අද (13) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප්  ස්ටාලින් මහතා පැවසුවේ,

"අපි දැක්කා මේ ඇමති අනුකමිටුව ඊයේ ප්‍රකාශ කරනවා සියලු වෘත්තීය සමිති වෙන වෙනම හමුවෙලා සාකච්ඡා කරනවා කියලා. මෙච්චර ව්‍යයාමයක් අවශ්‍ය ඇයි. අපිට තියෙන්නේ එකයි. සුබෝධනී කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීම සහ ගුරු සහ විදුහල්පති සේවාවන් සංවෘත සේවාවක් බවට පත් කිරීම. මේක දිගට දිගට යනවා නම් ඒ ක්‍රියාවලිය වෙන්නෙත් නෑ. අපි කියන්නේ මේ ඇමති අනුකමිටුවේ කටයුතුවලට කාල රාමුවක් අවශ්‍යයි කියලා."

ජනවාරි වනවිට මෙරට කොවිඩ් මරණ 18000 ක් දක්වා ඉහළ යා හැක - WHO

වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වෛරසය පැතිර යන සීග්‍රතාවය අනුව මෙම වසර අවසානය වනවිට මෙරට සමස්ත කොවිඩ් මරණ ප්‍රමාණය 18,000 ඉක්මවා යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සිදුකළ අධ්‍යයනයකින් හෙලිදරව් වී ඇත.

ඒ අනුව ඉදිරි මාස හතර හමාරක කාලය තුළ අවම වශයෙන් පුද්ගලයන් 12,500 ක් වෛරසයට බිලිවීමේ අනතුරක් මතුව තිබේ.

විශේෂඥ වෛද්‍යවරුන්, වෛරස පිළිබඳ මහාචාර්යවරුන් ඇතුලු 30 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් විසින් සකස් කළ වාර්තාවකින් මේ බව හෙළි කර ඇත. 

අදාල වාර්තාව ඊයේ දිනයේදී සෞඛ්‍ය අමාත්‍යංශය වෙත බාරදී ඇතැයි ද වාර්තා වේ.

මෙම මරණ ප්‍රමාණය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළයුතු නිර්දේශ රැසක් අදාළ වාර්තාව හරහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දී ඇති අතර,  සංචරණ සීමා දැඩි කිරීම සම්බන්ධයෙන් වාර්තාවෙන් දැඩිව අවධාරණය කර තිබෙන අතර පළාත් සංචරණ සීමා වෙනුවට දිස්ත්‍රික් සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම වැදගත් බවද පෙන්වා දී තිබේ.

මීට අමතරව කෙටි කාලයකට හෝ රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම, සියලු උත්සව ඇතුළු මහජන ඒකරාශී වීම් සති තුනකට තහනම් කිරීම, සෞඛ්‍ය සේවකයන් ආරක්ෂා කර ගැනීම, ඵලදායී සන්නිවේදන වැඩසටහන් හරහා ජනතාව දැනුවත් කිරීම, ආසාදිතයන් හා මරණ ප්‍රමාණය පිළිබඳව නිවැරදි දත්ත ප්‍රකාශයට පත් කිරීම, වයස අවුරුදු 60 ඉක්මවූ සියලු පුද්ගලයන්ට එන්න්තකරණය කඩිනමින් අවසන් කිරීම යන නිර්දේශ අදාළ වාර්තාවට ඇතුළත් වේ.

මෙම වාර්තාව සකස් කිරීම සඳහා පාලිත අබේකෝන්, නිහාල් අබේසිංහ, රජිව් ද සිල්වා, ලක්කුමාරි ප්‍රනාන්දු, පද්මා ගුණරත්න, ආනන්ද විජේවික්‍රම යන විශේෂඥ වෛද්‍යවරුන් සහ අසිත ද සිල්වා, සරෝජ් ජයසිංහ, ඉන්දික කරුණාතිලක, නීලිකා මලවිගේ, කාමිනි මෙන්ඩිස්, මලීක් පීරිස්, මංජු වීරසිංහ යන මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් සිය දායකත්වය ලබා දී ඇත.

කොවිඩ් නිසා නගර 03ක සියලු වෙළෙඳසැල් වැසේ

කොවිඩ් අවදානම් තත්ත්වයන් මතුවීම හේතුවෙන් නගර 3ක සියලු වෙළඳසැල් වසාදැමීමට පියවර ගෙන ඇත.

මාතලේ නගරයේ වෙළෙඳසැල්වල සේවකයින් 67 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ අනාවරණය වීමෙන් පසු එම නගරයේ වෙළෙඳසැල් සතියක කාලයක් සඳහා වසා දැමුණි.

එමෙන්ම කන්තලේ සේරුනුවර නගරයේ අවමංගල්‍ය උත්සවයක් ආශ්‍රිතව ඇතිවූ කොවිඩ් පොකුරක් හේතුවෙන් දින 14 ක් සඳහා සේරුනුවර නගරයේ වෙළෙඳසැල් ද වසාදැමීමට එම වෙළෙඳ සංගමය පියවර ගෙන ඇත.

මීට අමතරව ඌව පරණගම ලූනුවත්ත නගරයේ වෙළෙඳසැල් ද අද (13) සිට දින 3ක කාලයක් සඳහා වසා දැමීමට ලූනුවත්ත එක්සත් වෙළෙඳ සංගමය පියවර ගෙන තිබේ.

දෙරණ

කොරෝනා දත්ත වාර්තා පරස්පරයි : ඇත්ත කියන්නේ කවුද ?

" අද වනවිට ආසාදනය වී නැත්තේ කාටද කියලා අහන්න සිදුවෙන මට්ටමකට වසංගතය පැතිරිලා. මෙවැනි මොහොතක රටේ ජනතාව ඇත්ත දත්ත දැනගැනීම ඉතාම වැදගත්. අවදානම සම්බන්ධයෙන් වගේම තීන්දු-තීරණ ගැනීමේදී මේ සත්‍ය තොරතුරු ලබාගැනීම අතිශය වැදගත්. නමුත් ඊයේ වනවිට මේ ඉදිරිපත් කරන දත්තවල බරපතළ පරස්පරතාවයන් තිබෙන බව තහවුරු වුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ වසංගත රෝග විද්‍යා අංශයත් දිස්ත්‍රික් ලේකම්වරයාගේ සම්බන්ධීකරණ කමිටුවේදී හෙළිවුණු කරුණුත් බරපතළ පරස්පරයි" යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති චෝදනා කරයි.

අද (12) ජවිපෙ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.

අද වනවිට ඩෙල්ටා ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වීමත් සමග ආණ්ඩුව දක්වන ප්‍රතිචාරවල පරස්පතරතා නිසා රටේ ඇතිවී තිබෙන අවිනිශ්චිතභාවය සම්බන්ධයෙන් අපේ ස්ථාවරය රටට හෙළි කළ යුතුව තිබෙනවා. ඊයේ(11) වනවිට වැඩිම මරණ සංඛ්‍යාව වූ 124ක් මියගොස් ඇති අතර මේ වනවිට 5424ක් වසංගතයෙන් මියගොස් තිබෙනවා. තුන් ලක්‍ෂ ගණනක් ආසාදිතයන් වී සිටිනවා. සමාජයක් හැටියට, රටක් හැටියට අතිශය වේදනාකාරී අත්දැකීම්වලට මුහුණ දෙන්න වී තිබෙනවා. අද වනවිට ආසාදනය වී නැත්තේ කාටද කියලා අහන්න සිදුවෙන මට්ටමකට වසංගතය පැතිරිලා. මෙවැනි මොහොතක රටේ ජනතාව ඇත්ත දත්ත දැනගැනීම ඉතාම වැදගත්. අවදානම සම්බන්ධයෙන් වගේම තීන්දු-තීරණ ගැනීමේදී මේ සත්‍ය තොරතුරු ලබාගැනීම අතිශය වැදගත්.

නමුත් ඊයේ වනවිට මේ ඉදිරිපත් කරන දත්තවල බරපතළ පරස්පරතාවයන් තිබෙන බව තහවුරු වුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ වසංගත රෝග විද්‍යා අංශයත් දිස්ත්‍රික් ලේකම්වරයාගේ සම්බන්ධීකරණ කමිටුවේදී හෙළිවුණු කරුණුත් බරපතළ පරස්පරයි. අගෝස්තු මාසයේ මුල් දින 08ක ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 12,555ක් බව දිස්ත්‍රික් ලේකම්වරයාගේ සම්බන්ධීකරණ කමිටුවෙන් හෙළි වෙනවා. ඒ දින 08 සම්බන්ධයෙන් කොවිඞ් මර්දන බලකායෙන් වාර්තා කර තිබෙන්නේ 3729ක්. මේ අනුව 8826කගේ දත්තවලට සිදුවූ දෙයක් නැහැ. මේ නිසාම ඊයේ(11) දිනයේ මගහැරුණු සංඛ්‍යා හැටියට 3223ක් එකතු කර තිබෙනවා.

නැගෙනහිර පළාතේ මඩකලපුවේ 45ක් සිටින බව කොවිඞ් මර්දන බලකායෙන් කියනකොට දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය 342ක් බව කියනවා. ත්‍රිකුණාමලයේ 71ක් බව බලකායෙන් කියනකොට සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා 163ක් ඉන්න බව කියා තිබෙනවා. අම්පාරෙත් තත්වය මේ වගෙයි. ඇත්ත කියන්නේ කවුද කියන්නේ කියන ගැටලුව තියෙනවා. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය මේ තොරතුරු ලබාගන්නවා. එක්කො සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. එහෙම නැත්නම් හමුදාපතිවරයා ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානියා වශයෙන් වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා.

නිවැරදි තොරතුරු ඉදිරිපත් කළේ නැත්නම් ජනතාවට බරපතළ සැකයක් ඇති වෙනවා. මේ තත්වය දිගටම තිබුණා. වසංගත රෝග මර්දන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහත්තයා ඒ තනතුරෙන් ඉවත් කළේ තොරතුරු සම්බන්ධ ප්‍රශ්නයකට. ඊයේ(11) මාධ්‍ය වාර්තා කළ කරුණු අනුව තොරතුරු ලොකු කරන්නේ හෝ පුංචි කරන්නේ කවුද කියලා හෙළි කළ යුතුයි. මෙය බරපතළ ප්‍රශ්නයක්. ආණ්ඩුවක් මේ සෙල්ලම් කරන්නේ ජනතාවගේ ජීවිතත් සමගයි. මේ වසංගතයේ ගොදුරු බවට පත් කළේ වරදක් කළ අය නෙවෙයි. ආණ්ඩුවේ අමනෝඥ තක්කඩි තීන්දුවල ප්‍රතිඵලයක් හැටියට වසංගතයේ ගොදුරු බවට ජනතාව පත්කරනවා. මිය යන අය සම්බන්ධයෙන් තත්වයත් මේකද කියන සැකය බරපතළ ලෙස ඇතිවී තිබෙනවා. රෝහල්වල වාර්තා අනුව සමාජයේ හැම කෙනෙකුටම දරාගන්න බැරි ඛේදනීය තත්වයක් ඇතිවී තිබෙනවා. ජනතාවගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තීන්දු ගැනීමේදී සහ තොරතුරු ඉදිරිපත් කිරීමේදී ඇත්ත දැන ගැනීමේ අයිතිය ජනතාවට තියෙනවා. ආණ්ඩුව මේ තොරතුරු විකෘති කිරීම ගැන වගකීමෙන් ප්‍රකාශ කරන්න කියලා අපි බල කරනවා.

ආසන්න දින 3ක් ඇතුළත මිය ගිය 354න් වැඩි ප්‍රමාණයක් මිය ගියේ වයස අවුරුදු 60ට වැඩි අය. ඔවුන් නිසි පරිදි එන්නත් ලබා නොගත් නිසා මියගිය බව ආණ්ඩුව කියනවා. අපි ආණ්ඩුවෙන් අහන්නේ 60ය වැඩි එන්නත් ප්‍රතික්‍ෂේප කළ අය ඉන්නවාද කියලා. එන්නත් පටන් ගන්නත් කලින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ ඉදිරිපත් කළා. 2020 නොවැම්බර් 13වැනිදා ඉදිරිපත් කළ වාර්තාව අනුව ප්‍රමුඛතාවය සෞඛ්‍ය කාර්යාංශවලට දෙන්න ඕනෑ බව කීවා. ජනගහනයෙන් 10%කට එන්නත් ලැබෙන පළමු අදියරේදී සෞඛ්‍ය කාර්යාංශවලට මූලිකත්වය දීමෙන් පසු ඊළඟට වයස අවුරුදු 60ට වඩා වැඩි අයට ප්‍රමුඛත්වය දීම ඔවුන්ගේ නිර්දේශයයි. සෞඛ්‍ය අංශ ආරක්‍ෂා කිරීම මුලින්ම සිදුකර ඊළගට වැඩිහිටියන් ආරක්‍ෂා කිරීමයි. දෙවැනි අදියරේදී ජනගහනයෙන් 20%කට ලැබෙන එන්නත්වලින් ප්‍රමුඛම තැන වැඩිහිටියන්ට දිය යුතු බව නිර්දේශ කළා.

හැබැයි අපේ රටේ ඇස්ට්‍රසෙනිකා පළවැනි තොගය ලැබුණු වෙලාවේ ආණ්ඩුව දේශපාලනඥයින්ට, ඔවුන්ගේ පවුල්වල අයට, වගේම ශ්‍රම බලකායට ලබාදෙන්න කටයුතු කළා. ආණ්ඩුවේ ඇතැම් අය එන්නත් මංකොල්ලයක් පටන් ගත්තා. අනෙක් පැත්තෙන් තක්කඩි තීන්දුවක් අරගෙන අවුරුදු 30-60 අතර ශ්‍රම බලකායට එන්නත් ලබාදී මුදල් ඉපයීම පැත්තෙන් විතරක් බැලුවා. අද ප්‍රචාරය කරන්නේ අවුරුදු 60ට වැඩි අය එන්නත් ලබානොගෙන සියදිවි නසා ගත්තා වගේ කතාවක්. ඒක ඇත්ත නෙවෙයි. කිසි කෙනෙක් එන්නත් ප්‍රතික්‍ෂේප කළේ නැහැ. මේ නිසා අවුරුදු 60ට වඩා වැඩි අය 95%ක් පමණ මියයාමේ තත්වයක් තිබෙනවා. අපි විශ්වාස කරන්නේ මේවා කොරෝනාවලින් මිය යාමට වඩා ඝාතනය කිරීම් ලෙසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ප්‍රතික්‍ෂේප කිරීමේ අවසන් වන්දිය ගෙවන්න සිදුවී තිබෙන්නේ අපේ රටේ අහිංසක ජනතාවටයි.

මෙතරම් ව්‍යසනකාරී තත්වයකට රට පත්ව තිබියදීත් වසංගත රෝග විශේෂඥයින්ගේ අදහස් ආණ්ඩුව පැත්තකට දාලා. සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සහ විශේෂඥයින් අනතුරු අඟවන්නේ ඉදිරි දින 20 ඇතුළත 1200ක පමණ පිරිසක් මිය යා හැකි බවට. සුරේෂ් අංගම්පොඩි රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමා මේ වගේ ප්‍රක්‍ෂේපණයක් ඉදිරිපත් කර තිබෙනවා. දින 05ක් ප්‍රමාද නොවී සංචරණ සීමා දැඩි කිරීම හෝ ඊට වඩා වැඩි තීරණ ගත යුතු බව විශේෂඥයන් ප්‍රකාශ කරන අතර සමහර ඇමතිවරුන් ජනතාව දෙවියන්ට භාර දෙන්න හදනවා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය ප්‍රකාශ කර තියෙන්නේ තීන්දු-තීරණ ගන්න අය තමන්ගේ මතය ප්‍රයෝජන නොගන්නා බවයි. රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන හමුවට සෞඛ්‍ය ඇමතිවරිය කැඳවන්නේ නැහැ. විශේෂඥයින්ගේ මතය කුණු කූඩයට දාලා. ආණ්ඩුවේ බොහෝ දෙනා තීරණ ගනිමින් ඉන්නේ මොළේ උඩ වාඩි වෙලා. විශේෂයෙන් ජනාධිපතිවරයා තීරණ ගන්නේ සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුවද නැත්නම් හමුදාපතිවරයා හෝ බුද්ධි අංශවල තොරතුරු අනුවද කියලා ගැටලුවක් තිබෙනවා. ආණ්ඩුවේ උද්දච්ඡ හිතුවක්කාර තීන්දු-තීරණ විසින් වසංගතයේ බරපතළකම බිහිසුණු වී තිබෙනවා. රටේ ජනතාව මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව අපි හිතනවා. ආණ්ඩුව සොයමින් ඉන්නේ වසංගතයට මුහුණ දීම ගැන නෙවෙයි, මිය යන අයට ආදාහනය කිරීම ගැනයි. ඒ නිසා ජනතාව මේ පිළිබඳව වඩා සැලකිලිමත් විය යුතුයි.

ඊට අමතරව අද බඩු මිල වැඩිවන විට ආදායම වැඩි නොවන මිනිස්සුන්ට ජීවත් වීම සඳහා පාරට බහින්න සිදුවෙලා තිබෙනවා. පොලිම්වල ලගින්න සිදුවී තිබෙනවා. ආණ්ඩුව මිනිස් ජීවිත ගැන වගකීමක් නොකියන නිසා ජනතාවට වගකීම ගන්න සිද්ධවෙලා තියෙනවා. ජනතාව හැටියට ජීවත් වෙන්න අරගල කරන අතරෙම මේ රෝගයෙන් ගැලවීමේ ක්‍රමෝපායන් අනුව කටයුතු කරන්න කියලත් ඉල්ලා සිටිනවා. දරුවන්ගේ ජීවිතත් බේරා ගැනීමේ වගකීම අපිම දරාගත යුතු වෙනවා. මියයන ජීවිතවල වගකීම ඒ මිනිස්සු පිටම පටවන තත්වයක් ආණ්ඩුවේ තියෙන්නේ. ආණ්ඩුව කැබිනට් මණ්ඩලය රැස් කරන්නේ ජනතාව වෙනුවෙන් තීන්දු-තීරණ ගන්න නෙවෙයි.

කොරෝනා මරණ 156ක් : දැනට දිනක වැඩිම මරණ !

දිනකදී මෙරටින් වාර්තා වූ ඉහළම මරණ ගණන 156ක් ලෙස ඊයේ (11) දිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර අද (12) ප්‍රකාශයට පත්කර ඇත.

මෙම මරණ 156ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,620ක් දක්වා ඉහළගොස් ඇත.

මේ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 87 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර අනෙක් 69 දෙනා කාන්තාවන් ය.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 35 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 121 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

8543de21 ප් රවෘත්ති නිවේදනය 810 page 001

රුහුණු සරසවි බිමට ඩෙල්ටා ප්‍රහාරයක්..!

මාතර මාපලාන කෘෂි විද්‍යාපීඨයේ පීඨාධිපති කාර්‍යාලයත් මේවන විට කොරෝනා අවදානම නිසාවෙන් හුදෙකලා කිරීමට ලක්ව ඇත.

පීඨාධිපති කාර්‍යාලයට අනුයුක්තව සේව්‍ය කරන නිලධාරිනියක් වෛරසය ආසාදනය වීමත් සමගම අදාල පිරිස් ස්වයං නිරෝධායනට ලක්කොට ඇත.

විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පුෂ්පකුමාර විසින් විෂභීජ හරණ ක්‍රියාවලිය ඉතා කඩිනමින් සිදුකොට ඇති අතර ආශ්‍රිතයින් මේවනවිට හඳුනාගෙන ස්වයං නිරෝධායනට ලක්කොට ඇත.

සුමුදු මද්දුමආරච්චි,

මිලානෝ,

ඉතාලිය.

ලොක්ඩවුන් නෙවෙයි ලොකප් කරන්න - මහාචාර්ය අර්ජුන ද සිල්වා

මෙරට ජනගහනයට සාපේක්ෂව කොරෝනා ආශ්‍රිත මියයන ප්‍රමාණය ඉහළ අගයක් ගනිමින් ඇති පසුබිමේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් සියලු දෙනා පාහේ දැඩි සංචරණ සීමා ඉල්ලමින් වගකිවයුතු පාර්ශවයන්ට අනතුරු අඟවන්න ගෙන ඇත.

ඒ අනුව මෙම සතිදෙක වඩාත් තීරණාත්මක බැවින් පුද්ගල සංචරණය පාලනය කිරීම සඳහා බලධාරීන් සුදුසු පියවරක් ගතයුතු බව මහාචාර්ය අර්ජුන ද සිල්වා ද සඳහන් කර ඇත.

විද්‍යුත් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමින් ඔහු මේ අදහස් දැක්වූ අතර වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් රැසක් ඉල්ලන ලොක්ඩවුන් නොව ලොකප් කළ යුතුව ඇති බවත් පැවසීය.

"මේ සති දෙක තීරණාත්මකයි. අනිවාර්යයෙන් විවාහ මංගල උත්සව, අවමංගල උත්සව, කාය වර්ධන මධ්‍යස්ථාන වගේ ඒවට ඉඩ දෙන්න බෑ. ඒවා වහන්න ඕනේ. මොකද වැඩිපුරම මේ වෛරසය බෝ වෙන්න පුළුවන් ස්ථාන සහ ක්‍රියාකාරකම් ඔක්කොම නවත්වන්න ඕනේ. මේ සති දෙක පාරට බහින්නේ නැතුව රජය සහ අදාළ පාර්ශ්වයන් එකතු වෙලා අඩුම ගානේ මේ සති දෙක මේක ගොඩ දාන්න අවස්ථාවක් කරගන්න ඕනේ. ලොක්ඩවුන් නෙමෙයි ලොකප් කරන්න කියලා කියන්නේ. ලොක්ඩවුන් කියන්නේ ඔක්කොම වහන එකනේ. ඒක මොනාහරි හේතුවකට කරන්න බැරි නම් මේක කරන්න. දැන් තියෙන තත්ත්වය අනුව දිස්ත්‍රික්ක හැර අනෙක් හැමෝම සංචරණය කරලා තියෙන්නේ. දිස්ත්‍රික්ක ගිහින් නෑ..මිනිස්සු ගිහින්."

ලාෆ්ස් 363 මිල වැඩි කිරීම මදි කියයි : ලිට්රෝ ගෑස් මිලත් ඉහළට ?

ලාෆ්ස් කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අවසර දී ඇති නමුත් ඒ මිල වැඩිකිරීම කිසිඳු ලෙසකින් ප්‍රමාණවත් නොවන එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දක්වමින් 'ද ලීඩර්' වෙබ් අඩවිය වාර්තා කර ඇත.

රජය විසින් අද (12) සිදුකල මිල ඉහළ දැමීමත් සමඟ රුපියල් 1493 ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,856 ක් දක්වා ඉහළ ගිය අතර රුපියල් 600 ක්ව පැවැති ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 5 කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 743 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් ලාෆ්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා උපුටා දක්වමින් වෙබ් අඩවිය පවසන්නේ මිල සංශෝධනයක් සම්බන්ධයෙන් රජය විසින් මෙතෙක් කිසිඳු නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවය.

එසේම, කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ දමා ඇත්තේ ලෝක වෙළඳ පොලේ මැයි මාසයේ පැවති ගෑස් මිලට සමානුපාතිකව බව සඳහන් කළ එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ, දැනට ලෝක වෙළඳ පොලේ පවතින ගෑස් මිල ගණන් අනුව අවම වශයෙන් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 650කින් ඉහලදැමිය යුතු බව සඳහන් කළ බවත් එහි වාර්තා කර ඇත.

ලිට්රෝ සමාගමත් මිල ඉහළ දාන්න ඉල්ලලා !

මේ අතර lanka truth වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගම ද ගෑස් මිල ඉහල දැමීමට අවසර ඉල්ලා ඇති බවය.

ඒ බව සඳහන් ලිඛිත ඉල්ලීමද අදාළ වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර ඇති අතර එය පහත දැක්වෙයි.

Litro 01

Litro 02

Litro 03 1

මේ අතර මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ලාෆ්ස් ගෑස් මිල වැඩි කළ ද ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෘහස්ථ ගෑස් මිල කිසිඳු ලෙසකින් ඉහළ නොදමන බවය.

ජවිපෙ නායකයා : අමරපුර මහනායක හිමි හමුවෙයි !

ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද(12) උදැසන ශ්‍රී ලංකා අමරපුර මහසංඝ සභාවේ උත්තරීතර මහනායක තනතුරට පත්වූ ගෞතම තපෝවන විහාර සමූහයේ අධිපති, අග්ගමහා පන්ඩිත දොඩම්පහල ශ්‍රී චන්ද්‍රසිරි නාහිමිපාණන් බැහැ දැකීමට ගිය බව එම පක්ෂය නිවේදනය කරයි.

එහිදී ජවිපෙ නායකයා රටේ වත්මන් තත්වය පිළිබඳව සාකච්ඡාවක නිරතවූ බවත් එහි සඳහන් වෙයි.

මෙම අවස්ථාවට තපෝවන මහපිරිවෙන පරිවේනාධිපති කුඩාවැල්ලේ දමිත හිමියන් සහ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති රත්මලානේ රාහුල හිමියන්ද සහභාගීවූ බවත් සඳහන්ය.

පැයකට වරක් මිනිස් ජීවිත 05ක් බිලි : කඩිනම් පියවර ගන්න !

සෑම පැයකට වරක් මිනිස් ජීවිත 5ක් කොරෝනා වෛරසය බිළිගනිමින් සිටින බවත් ඉතාමත් දැඩි තීරණ ගෙන මෙම තත්වය පාලනය නොකළහොත් ඉදිරියේ තත්වය අතිශය භයානක බව අවධාරණය කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අදාළ නිවේදනය රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා විසින් නිකුත් කර ඇති අතර එය පහත දැක්වෙයි.

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංසදය ලෙස ඩෙල්ටා ප්‍රභේදයේ සීග්‍ර ව්‍යාපතින් හේතුවෙන් දිනෙන් දින අතිශය භයානක තත්වයක් කරා ගමන් කරන අප රට වහා වසා දැමීම කළ යුතු බව දිගින් දිගටම ප්‍රකාශ කර ඇත. අද වන විට සෑම පැයකටම වරක් මිනිස් ජීවිත පහක් මෙම කොරෝනා ව්‍යසනය විසින් බිලිගන්නා තත්වය තුල ඉතාමත් දැඩි තීරණ ගෙන මෙම තත්වය පාලනය නොකළහොත් ඉදිරියේ තත්වය අතිශය භයානක වේ.

ආර්ථිකයේ නාමයෙන් රට වසා දැමීමේ තීරණය ගැනීම ප්‍රමාද කරන සෑම දිනකම ඩෙල්ටා ප්‍රභේදය සිග්‍ර ලෙස ‘රට පුරා ව්‍යාප්ත වෙමින් රටේ රෝහල් පද්ධතිය තව තවත් දරුණු ලෙස බිඳ දමනු ඇත. එසේම ඩෙල්ටා ප්‍රභේය විශාල ලෙස පැතිරීම හේතුවෙන් එහි තව තවත් විකෘති ඇතිවීමේ පුවතතාවය ද වැඩිවන බව විශේෂඥයන් මත පල කර ඇත. එබැවින් තව තවත් නව විකෘති ප්‍රභේද බිහිවීමට අවශ්‍ය පරිසරය රට තුල ඇති කර කොවිඩ් වසංගතය අර්බුධයෙන් අර්බුධයට ගමන් කිරීමට ඉඩ සැලසීමේ වගකීම තීරණ ගැනීම ප්‍රමාද කරන සියල්ලන් භාර ගත යුතුය.

අද වනවිට රෝහල්වල ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය සීග්‍ර ලෙස වැඩිවීම තුල අප රටේ නිශ්පාදනය කරන ඔක්සිජන් වල උපරිම ධාරිතාවයට ලඟාවී ඇති බව වාර්තාවේ. එම නිසා ඔක්සිජන් ආනයනය කිරීමේ අවශ්‍යතාවය මතුවීම ආර්ථිකයට අමතර බරක් වනු ඇත.

අද අප මුහුණ දී ඇති මෙම ගෝලිය වසංගත තත්වයට මුහුණ දීමේ දී ලෝකයේ අනෙක් රටවල් භාවිතා කරන උපාය මාර්ග පිලිබඳව විවෘත මනසකින් බැලීම අත්‍යවශ්‍ය වේ. වසංගත වේදී හා ප්‍රජා වෛද්‍ය අංශයන්ගේ විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවට විද්‍යාත්මක නොවන කරුණු කාරනා මතු කිරීම මඟින් මෙම තත්වය තවත් ව්‍යාකූල වනු ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය ලෙස දැඩිව ප්‍රකාශ කරමු.

වෛද්‍ය කමල් ඒ. පෙරේරා

ලේකම් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය

මට අයත් ගෑස් සමාගමක් නෑ - යෝෂිත රාජපක්ෂ

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ පැතිරයන කරුණක් සම්බන්ධව ඔහුගේ ප්‍රතිචාරයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර එය පහත පළකර ඇත.

සති කිහිපයක් තිස්සේ රට පුරා පවතින ගෑස් හිඟය නිර්මාණය වීමට හේතුව ගෑස් වෙළඳපොළ තමන් විසින් ආක්‍රමණය කිරීමට කළ සැළසුමක් ලෙසට ව්‍යාජ ලෙස කෙරෙන ප්‍රචාරය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ අවධාරණය කරයි.

තමන්ට අයත් ගෑස් සමාගමක් නොමැති බව පෙන්වා දෙන යෝෂිත රාජපක්ෂ අදාළ පුවත් මවන්නන්ගේ අරමුණ වී ඇත්තේ මහජනතාව සහ ආණ්ඩුව අතර ඇති විශ්වාසය පළුදු කිරීම බව පෙන්වා දෙයි.

“යෝෂිතගෙන් ගෑස් සමාගමක් - ගෑස් අර්බුධයේ ඇඟ හිරිවැටෙන කතාව මෙන්න” වැනි ආකර්ශනීය සිරස්තල යොදමින් ජනතාව නැවත වරක් රත්තරන් අශ්වයන් සිටිනවා යැයි කියමින් රැවටූ ආකාරයටම නැවත රැවටීමේ උත්සාහයක කිසියම් පිරිසක් නිරත වන බව යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

කොවිඩ් වසංගතය හමුවේ රට මුහුණ පා තිබෙන ඇතැම් අර්බුධයන් ජය ගැනීම සඳහා සාමුහිකව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව යෝෂිත රාජපක්ෂ පෙන්වා දෙයි.

සුදර්ශනී අමත්‍යවරියගෙන් කදිම ආදර්ශයක් !

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය මහත් ව්‍යසන ඇතිකරමින් මෙරට පැතිරයන පසුබිමේ කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍යවරිය වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සිදුකළ ආදර්ශමත් ක්‍රියාවක් සම්බන්ධව මාධ්‍ය වාර්තා පලවෙයි.

ඒ අද (12) කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ පැවැත්වීමට සූදානම් කර තිබූ සිය එකම පුත්‍රයා ගේ විවාහ මංගල උත්සවය අවලංගු කර තිබීමය.

කොරෝනා ව්‍යාප්තියද සමග රජය විසින් ප්‍රකාශ කර ඇති නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙම පියවර ගෙන ඇත.

කෙසේ නමුත් එම විවාහය පවුලේ ඥාතීන් කිහිප දෙනෙකු පමණක් එක් කරගෙන දේවස්ථානයක දී සිදු කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

කන්න නැතුව මැරෙන්නේ නෑ.. හැබැයි ඔක්සිජන් නැතුව මැරෙයි - වෛද්‍ය, ආචාර්ය චන්දිම

ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදයේ බලපෑම ඉදිරි දෙසතිය තුළ ඉතා ප්‍රබලවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය, ආචාර්ය චන්දිම ජීවන්දර  අවධාරණය කරයි.

"දැනට කොළඹ නගරයේ 98%ක් මේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන්නෙ රෝග ඇතිකිරීමට. අනිත් තැන්වල ඩෙල්ටා නෑ. අපි තාම ඩෙල්ටාවල මූලික අවධියේ ඉන්නෙ. පටන් ගත්තා විතරයි. ඕනෑම ප්‍රභේදයක් රටක් තුළ වාර්තාවෙලා සමාජයක් තුළ වාර්තාවෙලා රෝගීන් වැඩිවීම පටන් ගන්නෙ සති හයකින් විතර. ඒ සති හයේ සීමාවෙ තමා දැන් අපි ඉන්නෙ. මං කිව්වෙ ජුනි මාසෙ මුල පටන් ගත්තා, දැන් ජුලි අන්තිම වෙනකොට සති හය සති අට පැනලා තියෙන්නෙ. ඒ කියන්නෙ ඩෙල්ටාවලින් ඇතිවන බලපෑම පටන් ගත්තා විතරයි. මේකෙ දරුණු බව ඉදිරියට තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ. විශේෂයෙන්ම ඉදිරි සති දෙකතුන ඉතාමත්ම තීරණාත්මකයි. ඉතා විශාල ලෙස රෝගීන් වාර්තා වෙයි.

මේ රෝගය පැතිරීම ඉතාමත්ම වේගවත්. එක් පුද්ගලයෙක් ආසාදිතයෙක් හිටියොත් ඒ සියලුම දෙනාටම පාහේ රෝගය ඇතිවීමේ හැකියාව තියෙනවා. මේ ඩෙල්ටා ප්‍රභේදය කියන එක ඉතාමත්ම කරදරකාරී ප්‍රභේදයක්. පොඩි අවස්ථාවක් ඇති, තත්පර පහකට හරි අපි මේ මාස්ක් එක ගැලෙව්වොත් ඒක ඇති අපට රෝගියෙක් බවට, රෝගී ආසාදන තත්වයක් බවට පත්කරන්න. ඒක තමයි මේකෙ තියෙන දරුණු බව.

මේ ඩෙල්ටා ප්‍රභේදයෙන් ආපු හැම රටක්ම ඉතාම දරුණු ලෙස බැටකෑවා. ඉතිං අපිත් ඒ මූලික අවධියේ සිටින්නෙ. මං හිතන්නෙ මේ අවස්ථාවේදී අපි ඉතා දැඩි ක්‍රියාමාර්ග ගතයුතුයි මේක තවදුරටත් පැතිරීම වළක්වන්න. ඩෙල්ටා ප්‍රභේදයේ දරුණු බව ගැන මම තවදුරටත් සාකච්ඡා කළොත් තාම ලංකාවේ අනාරක්ෂිත ප්‍රමාණය 75%කට වැඩියි. ඒ කියන්නෙ අපි දළ වශයෙන් ගත්තොත් මිලියන පහකට මේ රෝගය හැදුණා කිව්වොත් 1%ක් මැරුණොත් මං හිතන්නෙ 50,000ක් විතර ප්‍රමාණයක් මැරෙනවා.

ඉතිං මෙතනදි ප්‍රශ්නයක් තියෙනවා දැන් රට වහනවාද ආර්ථිකය ප්‍රශ්නයක් නිසා මිනිස්සුන්ට කන්න නැතිවෙනවාද කියන එක. හැබැයි දැන් අපි යම්කිසි තැනකට ඇවිල්ලා තියෙනවා රෝහල් ධාරිතාව උපරිමම තත්වයට ගිහිල්ලා. දැන් අපට හෙට දිනයේ තියෙන ප්‍රශ්නය තමයි කන්න නැතුව මැරෙනවාද ඔක්සිජන් නැතුව මැරෙනවාද කියන එක. මේකට උත්තරයක් තමයි අපි දැන් හොයන්න ඕනෙ. කන්න නැතුව මැරෙන්නෙ නෑ, මොකද කන්න තියෙන මිනිහෙක් අපට ගෙනත් දේවි. හැබැයි ඔක්සිජන් නැතිවුණොත් අපට ජීවත් වෙන්න බෑ. ඒ ප්‍රශ්නය ඉදිරියේ තමයි අපි දැන් ඉන්නෙ. ඔක්සිජන් ප්‍රමාණය උපරිම ධාරිතාවට ඇවිත් තියෙනවා, එතනින් එහාට ඔක්සිජන් නිෂ්පාදනය කරන්න බෑ. මේ රෝගීන් මේ විදියට වැඩිවේවි ඉදිරියට ඉදිරියට ගියොත්. ඉතිං මං හිතන්නෙ ඒ සම්බන්ධයෙන් තමයි අපි හැකි ඉක්මනින් එදිනෙදාට ගැළපෙන විදියට තීරණ ගන්න ඕනෙ. මාස දෙකකට කලින් ගත්ත චක්‍රලේඛවලට දැන් වැඩ කරලා වැඩක් නෑ. අලුතින්ම නිවැරදි තීරණ අරගෙන ඉදිරියට යෑම තමයි වැදගත් වෙන්නෙ අනාගතයේ වෙන්න පුළුවන් දරුණු ඛේදවාචකය නවත්වාගන්න" යනුවෙන් ඔහු සදහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (11) දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

ගුරු - විදුහල්පති නිදහස් චතුරශ්‍රයේ සත්‍යග්‍රහයක

ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඉක්මනින් විසඳන ලෙස බලකරමින් ගුරු - වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අද කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටදී ආරම්භ කෙරිණි.

මෙම සත්‍යග්‍රහය රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එක් කරගනිමින් එක්දින සත්‍යග්‍රහයක් ලෙස සිදු කරනු ලබයි.

මෙම සත්‍යග්‍රහය සෞඛ්‍ය උපදෙස්වලට අනුව වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගිත්වයෙන් පමණක් සිදුකරන අතර ගැටලු විසදීම ප්‍රමාද කළහොත් සියලු වෘත්තීය සමති එක් කරගනිමින් කර ගනිමින් දැඩි වෘත්තය සමිති ක්‍රියාමාර් දියත් කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින්  පවසයි.

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ කැබිනට් අනු කමිටුව අද රැස්වන බව බවත්,  වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කර එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව  එම කමිටුවේ සාමාජික මහින්ද අමරවීර සඳහන් කරයිි.

ලාෆ් ගෑස් මිල ඉහළට

කිලෝග්‍රැම් 12.5ක ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අනුමැතිය ලබා දී තිබේ.

මේ බව අනාවරණය වුයේ, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන අයගේ  සහභාගීත්වයෙන් දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව, පාරිභෝගික අධිකාරිය ලබා දුන් මිල වැඩි කිරීමේ අනුමැතිය සමග කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,856ක් වේ.

රුපියල් 600 ක්ව පැවැති ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5 කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 743 ක් දක්වා ඉහළ දමා තිබේ.

ක්ෂණිකව රට වහන්න : මරණ 1200ක් වළක්වා ගන්න පුළුවන් - මහාචාර්ය සුනෙත් අගම්පොඩි

ක්ෂණිකව රට වසා දැමීමක් කළහොත්, කොරෝනා ආසාදිතවීම හේතුවෙන් ඉදිරි දින 20 තුළ සිදුවන පුද්ගල මරණ 1,200ක් පමණ වළක්වා ගත හැකි බව රජරට විශ්ව විද්‍යාලයේ ප‍්‍රජා වෛද්‍ය විද්‍යා මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසයි.

මේ සම්බන්ධව මහාචාර්යවරයා සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබා ඇත.

001

අදාළ තීරණය ගැනීම ප‍්‍රමාද කරන සෑම දින පහකටම පුද්ගල මරණ 700 ක් සිදුවන බවත්, එම මරණ,අකැමැත්තෙන් සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැලකිය හැකි බවත් මහාචාර්යවරයා පවසයි.

මරණ සංඛාව ප්‍රස්තාරගත කළ ජායාරූපයක් ද ඔහු ඊට එක්කර ඇති අතර එය පහත දැක්වෙයි.

0002

Page 370 of 392