V2025

පුවත්

තවත් ඇන්දිල්ලක් අවසන් : ධම්මික පැණියේ ලයිෂන් කැන්සල් !

කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තෙකු විසින් කොරෝනා මර්දනයට සඳහා හඳුන්වා දී තිබූ පැණිය සදහා වූ තාවකාලික බලපත්‍රය අහෝසි කර තිබේ.

"ධම්මක පැණිය’ නමින් කුප්‍රකට මෙය ‘කොවිඩ්’ මර්දන ආයුර්වේද ඖෂධයක් සහ අතිරේක ආහාරයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් මීට පෙර තාවකාලික බලපත්‍රයක් ලබාදී තිබිණ.

ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන පවසන්නේ එම බලපත්‍රය මෙසේ අහෝසි කර ඇති බවය.

මෙම පැණිය පිළිබඳව කළ සායනික පරීක්‍ෂණවලදී එහි ‘කොවිඩ්’ මර්දනය සම්බන්ධයෙන් සාපල්‍යතාවක් නොමැති බවට හතවුරු වී ඇති බවත් අඛණ්ඩව එවැනි ක්‍රම සහ ඖෂධ ආයුර්වේද දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වන බවත් කොමසාරිස්වරයා මාධ්‍ය හමුවේ පැවසීය.

ඖෂධ සඳහා වන විශේෂ කමිටුව අධ්‍යනයෙන් පසුව ඖෂධ 14 කට නිර්දේශ ලබාදී නීත්‍යනුකූල කර ඇතැයි ද කොමසාරිස්වරයා වැඩි දුරටත් පැවසීය.

ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මෙම අදහස් දක්වනු ලැබුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුවේදී අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

මහා හෙළ ඔසුවක් ලෙස මෙම පැණිය ජනතාව අතර ප්‍රවර්ධනය කිරීම සඳහා ආණ්ඩු හිතවාදී මාධ්‍ය සැලකිය යුතු වෙහෙසක් ගනු ලැබූ අතර ධම්මික නම් පුද්ගලයා පවසා සිටියේ තමන්ට කාලිගෙන් ලැබුණු වරමක් අනුව මෙකී ඖෂධය නිපදවූ බවය.

වඩාත් සිත්ගන්නා සුළු කරුණ වුණේ ධම්මික නම් කපුවාට මේ පැණිය පාර්ලිමේන්තුවේ වෙත ගොස් කතානායක ඇතුළු මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුට ද පිළිගන්වා එහි ජයාරූප පවා මාධ්‍යට නිකුත් කිරීමට පහසුකම් සැළසීමය. එසේම ඔහුට විශේෂ ඇඹරුම් යන්ත්‍රයක් අමාත්‍ය විමල් වීරවංශ සැපයූ අතර ජනතාවද මේ ඇන්දිල්ලට හසුවී පෝලිමේ ගොස් පැණි මිලදී ගත්හ.

ඔසීටත් ලැජ්ජයි අසංග !

මේ කතාව ලියා කබ්බකු ෆෝර්ම් කිරීමක් සිදු විය හැකි වුවත් එම කබ්බා විසින් රටේ වැදගත් සේවයක් කරන මිනිසුන්ට සිදුකරන අතිශය බරපතල පහරදීම හේතුවෙන් සමස්ත රටට සිදුවන හානිය නිසා නොලියා බැරිය. කබ්බා යනුවෙන් සාමන්‍යය වහරේ හඳුන්වනු ලබන්නේ, තමන් සියලු දේ දන්නවා යැයි වහසි බස් දොඩවන හිස් මිනිසේකුටය. අසංග අබේගුණසේකර එවැනි පුද්ගලයෙකි.

ඔහු මෑතකදී විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ භූ දේශපාලනය සහ ආරක්ෂාව පිළිබඳව උපදේශක පත් කරනු ලැබීය. ඒ පසුගිය මාර්තු මාසයේ අවසන් සතියේදීය. ඉතාම දුෂ්කර වෑයමක් යොදා වත්මන් ආණ්ඩුව මුලාවේ හෙලීමට උත්සහ කළ ඔහු ජර්මනියේ ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය සඳහා තමන් පත් කරන ලෙස ආයාචනය කරනු ලැබීය. ඔහුගේ ආයචනය මිස ඔහු කියන පරිදි ඔහුට ලැබුණු මාරුවීමක් නැත. සතාගේ පාට දැනගත් කිහිප දෙනෙකු නිසා ඔහුගේ "ජර්මන් සිහිනය" බිඳ වැටුණි. ඒ නිසා එකම විකල්පය වූයේ සජිත් සමග එකතුවීමය. දැන් ඔහුට ඇත්තේ දේශපාලන ව්‍යාපෘතියකි. එය මුදුන් පමුණුවා ගැනීම සඳහා ඕනෑම නොසන්ඩාල කටයුත්තක් කිරීමට ඔහු පසුබට නොවනු ඇත. මන්ද මෙම පුද්ගලයාගේ කැරැට්ටුව එලෙස බව ඔහු විසින් ඔහුගේ ඉතිහාසය පුරාම ඔප්පුකොට ඇත. වයසට නොගැලපෙන තනතුරු ලැබුණු ඇතැම් නොමේරු ළදරුවන්ට පිස්සු වැටෙන්නේය. නමුත් ඔවුහු කරේ රත්තරං බැන්ද කටුස්සන් මෙන් හැසිරෙන්නේය.

කොහෙන් හෝ අටවාගනු ලැබූ සහතික පත් සහ තම පියාගේ පිහිටෙන් ලැබුණු අනුකම්පාව දඩමීමා කරගෙන රටේ වැදගත් ක්ෂේත්‍ර වල ඇති අති සංවේදී කාරණා අයාලේ හෙලන මෙම පුද්ගලයා සිදුකරන සෙල්ලම ලෙහෙසි පහසු එකක් නොවේ. මොහු කාගේ හෝ න්‍යාය පත්‍රයකට කටයුතු කරනවා විය හැකිය.

මෑතකදී එක්තරා සමාජ මාධ්‍යය නාලිකාවක ජනමාධ්‍යවේදියෙකු සමග කතා කරමින්, අසංග නොයෙකුත් ව්‍යාජ අදහස් රාශියක් සමාජගත කිරීමට කටයුතු කරනු ලැබීය. එහිදී ඔහු රාජ්‍යය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන, මහාචාර්යය රොහාන් ගුණරතන, ඇතුළු කිහිප දෙනෙකුට ප්‍රහාර එල්ල කළේය. රොහාන් ගුණරත්නගේ ගෝලයෙකු ලෙස කාලයක් පෙනී සිටි අසංග  හදිසියේ ඔහුට පහරදීමනම් එක්කෝ වෙනම සෙල්ලමක ජවනිකාවක් විය හැකිය. ඔහුගේ කතා විලාසය සහ ඉදිරිපත් කරනු ලැබූ අදහස් අනුව පැහැදිලිවන මූලික කාරණය වන්නේ ඔහු කෙතරම් නොමේරූ, පුද්ගලයෙකුද යන්නය. එසේම පසුගිය කාලය තුළදී එමෙරට ජාතික ආරක්ෂාව කෙතරම් දුරකට මෙවැනි නොමේරු අඳබාල විවේචකයින් නිසා අනතුරට පත්වී තිබුණේද යන්න පැහැදිලිවේ. හඳුනාගත යුතු සහ යළිත් කිසිම දිනක සිදුනොවීමට වගබලා ගතයුතු කාරණය වන්නේ මෙයයි.

අදාළ වැඩසටහන මෛත්‍රිපාල සිරිසේනගේ කාර්ය මණ්ඩල සාමාජිකයකු විසින් සංවිධානය කළ බව නොනිල වාර්තා සඳහන් කරන්නේය. එය සත්‍යයක් විය හැකි බව අනුමාන කළ හැක්කේ, මෙම පුද්ගලයා මෛත්‍රිපාල සම්බන්ධයෙන් කියන්නේ ඔහු විසින් " ජනාධිපතිගේ ඇස්වලට" පමණක් යැයි කියමින් යැව්වේ යැයි කියන වර්තාව ගැන ඉදිරිපත් කරන අදහස සැලකීමේදීය. ඔහු කියන හැටියට මෙරට ඉස්ලාමීය මූලධර්මවාදීන් සහ ඔවුහුගේ ත්‍රස්ත කටයුතු ගැන ඔස්තාර් ඔහුය. මේ බොරුකාරයා ගැන ඇත්ත හෙළිදරව් කළ යුත්තේ මේ නිසාය.

මෙවැනි පුද්ගලයින් කොහේ හෝ යන දේශපාලඥයෙකු පිටුපස ගොස් තනතුරක් හදා ගන්නේය. එම තනතුර අවභාවිතා කරමින් ලෝකයේ අනෙකුත් රටවල්ප සිටින පුද්ගලයින් සහ ආයතන මුලාවේ හෙළන්නේය. ඉන් පසු තම පෞද්ගලික සිතැඟියාවන් මුදුන් පමුණුවා ගැනීමට අවශ්‍යය සියලුම කටයුතු සිදුකරන්නේය. ඔහු ආරක්ෂක අමාත්‍යංශයට අනුබද්ධව පිහිටුවනු ලැබූ ආරක්ෂක කටයුතු ගැන අධ්‍යන ආයතනයක "ආරම්භක අධ්‍යක්ෂ ජෙනරාල්" ලෙස කටයුතු කර ඇත. එම කාලය තුළදී ඔහු විසින් සිදු කළ සියලුම කටයුතු වගවීමකට නතු කළ යුතුව ඇත්තේ මේ නිසාය. එවිට ඔහු විසින් කොළඹ පිහිටි විදේශ නතාපති කාර්යාල ඇතුළු ආයතන වලට යවනු ලැබූ ලිපිවල ඇති සැබෑ අරමුණු තේරුම් ගත හැකිය. ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයෙන් එලවා දැමු පසු ආගිය අතක් නොමැතිව සිටි අසංග, ආරක්ෂක අමාත්‍යංශයට එකතු වූයේ තමන්ගේ පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට මිස රටට යහපතක් කිරීමට නොවේ. එය ඔහු ක්‍රියාවෙන්ම ඔප්පු කළේය.

ඔහු ජාතික ආරක්ෂාව ගැන ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කළ බව කියන්නේය. එසේම පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු ලබාදුන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සේවය කරන පුද්ගලයා පෞද්ගලිකව දන්නා බව කියන්නේය. එම පුද්ගලයාගේ නම විමර්ශන කොමිසමට කීම සඳහා අවසර ඉල්ලු නමුත් එය නොලැබුණු බව කියන්නේය. සහරාන්ගේ ප්‍රහාර ගැන මාස කිහිපයකට පෙර වාර්තා ලබා දුන් බව කියන්නේය. ඉන් පසු, ඥානසාර හිමි හමුවීම සඳහා නිලන්ත ජයවර්ධන අවසර නොදුන් බව කියන්නේය. මේ අමනයා කියන ආකාරයට, ඥානසාරහිමිගේ නායක හාමුදුරුවෝ නිලන්ත ජයවර්ධනය. රටේ ඕනෑම පුද්ගලයෙකුට බෞද්ධ භික්ෂුවක් හමුවීමේ නිදහස් තිබේ. ඊට කිසිවකුගෙන්, විශේෂයෙන් බුද්ධි අංශ ප්‍රධානියාගෙන් අවසර ගත යුතු නැත.

අසංග කියන එක බොරුවක් වැසීම සඳහා තව බොරු ගණනාවක් ඒමත තබන්නේය. එවිට ඒ බොරුව ඇත්තක් ලෙස සමාජය විසින් පිළිගනු ඇතැයි ඔහු සිතනවා විය හැකිය. නමුත්, සිදුවන්නේ දුර්ගන්දය වැඩිවීම පමණි. 9/11 ත්‍රස්ත ප්‍රහාරයේ සිට කොවිඩ් 19 රෝගය දකවා වූ සිදුවීම් පිටසක්වලින් සිදුකළ කුමන්ත්‍රණ යැයි කියනු ලැබූ පුද්ගලයින් සිටින ලෝකයක අසංග වැනි කුමන්ත්‍රණ න්‍යායාචාර්යවරුන්ගේ අඩුවක් නැත. මොවුන්ට, චීන හෝටලෙන් උදේට විකන ආහාරයත් චීන ජාතිකයෙකුගේ කුමන්ත්‍රණයකි. එක්කෝ ඇමෙරිකානු කුමන්ත්‍රණයකි. ලංකාව තමන් දන්නා බව අඟවමින් ජීවත්වීමට පහසු රටකි.

රටේ ජාතික ආරක්ෂාව ගැන ජාතික ප්‍රතිපත්තියක් හැදුවේ යැයි පුරසාරම් දොඩන ඔහු ජාතික ආරක්ෂාවේ කොඳු නාරටිය වන, තොරතුරු ලබාදෙන අයවලුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ඔවුහුගේ අනන්‍යතාවය හෙළි නොකිරීම තොරතුරු ලබා ගන්නා පුද්ගලයාගේ වගකීම බව දන්නා බවක් නොපෙනේ. මේ හාදයාට වත්මන් භූ දේශපාලන ප්‍රවණතා හෝ රටක ජාතික ආරක්ෂාවේ මූලධර්ම ගැන අබමල් රේණුවක අවබෝධයක් තිබේ නම් පාස්කු ප්‍රහාරය වැනි අතිශය සංවේදී සහ බොහෝ දෙනෙකු විසින් වැරදි ලෙස අර්ථකථනය කළ සිදුවීම් ගැන මේ ආකාරයෙන් ආඩපාලි කියවන්නේ නැත.

නිදහසින් පසු මේ රටට අභාග්‍යය උදාවූයේ මෙවැනි ව්‍යාජ "විශේෂඥයින්ගේ" කෙරුවාව නිසාය. මොවුන් මහජනතාවගේ මුදල් නාස්ති කරමින් රට සවාරි ගසමින් මම පොරක් යැයි ලෝකයට පෙන්වීමේ නාට්‍ය රඟපෑම හැරෙන්නට රටේ යහපත වෙනුවෙන් කළ දෙයක් නැත. නමුත් මෙවැනි කඳපණුවන්ගෙන් සිදුවිය හැකි හානිය ඉතාම බරපතළය. ඇතත් වශයෙන්ම සිදුවූයේ ආරක්‍ෂක අමාත්‍යාංශය භාරව සිටි ඇතැම් පුද්ගලයින්, අසංග වැනි නයි රෙද්ද අස්සේ දා ගැනීම නිසා වන්දි ගෙවීමට සිදුවීමය. මෙවැනි අපරිණත මිනිසුන් නිසා රටේ ජාතික ආරක්ෂාව බරපතල ලෙස අමාරුවේ වැටුණි. එය යලිත් කිසිම දිනක සිදුවීමට වගබලා ගැනීම සියලු දෙනාගේ වගකීමය. සජිත් ප්‍රේමදාස මහතාගෙන්ද ඉල්ලීමට ඇත්තේ එයයි.

රංගන ජයසුරිය

අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිව්දෙනා තවදුරටත් රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සිව්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පසුගිය 03 වනදා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැත්වු විරෝධතාවයේ දි මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට තුවාල සිදුකිරිම සහ පොදු දේපලවලට අලාභහානි සිදුකිරිමේ චෝදනාව මත ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව, අත්අඩංගුවටගත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත, ජයවර්ධනපුර විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප සහ කෝසලා හංසමාලි යන සිව්දෙනා ලබන 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

MCC ත්‍යාගය කොල්ලකෑවා : ඇමරිකානු තානාපතිනියගෙන් චෝදනාවක් !

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්-MCC වැඩසටහන ත්‍යාගයක් බවත් එම යහපත් සංවර්ධන වැඩසටහනින් ප්‍රයෝජන ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට තිබූ අවස්ථාව කොල්ලකෑමට ලක්වූ බවත් කොළඹ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් සඳහන් කළාය.

ඇය මේ බව සඳහන් කරන ලද්දේ මෙරට පෞද්ගලික නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.

“එය තෑග්ගක් විය. එය ණයක් නොව ප්‍රදානයක් විය. තවද එය පැමිණෙන්නේ ඇමරිකානු ජනතාවගෙනි. එය අපේ අනෙකුත් සංවර්ධන ප්‍රදානයන් වැනි දෙයක්. එබැවින් යහපත් සංවර්ධන වැඩසටහනකින් ප්‍රයෝජන ලබා ගැනීමට තිබූ මෙම අවස්ථාව යම් ආකාරයකින් ලාංකික ජනතාවගෙන් කොල්ලකෑමට ලක්වීම කනගාටුවට කරුණකි.

මෙය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ සිට රජයේ (ශ්‍රී ලංකා) විවිධ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ලබාදුන් වැඩසටහනක්. එය ආර්ථික වර්ධනයට ඇති තීරණාත්මක බාධක මගහරවා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද අතර එම නිසා ප්‍රවාහන, යටිතල පහසුකම්වලට උදව් කිරීම සහ ඉඩම් මිලදී ගැනීම් සහ හිමිකාරීත්වයන් ඩිජිටල්කරණය කිරීමට උපකාර කිරීමක්.”

දේශපාලනයට එනවාද : විමුක්තිගෙන් සහතිකයක් !

තම පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පුත් වෛද්‍ය විමුක්ති කුමාරතුංග ෆේස්බුක් හරහා නිවේදනයක් නිකුත්කර ඇත.

ඊට පාදකවී ඇත්තේ, විමුක්ති දේශපාලනයට පැමිණීමේ සූදානමක් ගැන මෙරට මාධ්‍ය වාර්තා කළ ඕපාදුප පන්නයේ ප්‍රවෘත්තිය.

පහත දැක්වෙන්නේ එම නිවේදනය වන අතර එය පළකර තිබුණේ විමුක්තිගේ නමට හිටපු ජනාධිපතිනියගේ ෆේස්බුක් ගිනුමේය.

මාධ්‍ය නිවේදනයයි.

ප්‍රබල දේශපාලන පවුලක පුතෙකු ශ්‍රී ලංකා දේශපාලන කරලියට පිවිසීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් පවතින බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ වාර්තාවලට මාගේ කිසිම සම්බන්ධයක් නොමැති බව තරයේ ප්‍රකාශ කරමි.

ඉකුත් වසර 21 පුරාවටත්, තවදුරටත් පශු වෛද්‍යවරයෙකු ලෙස මාගේ වෘත්තියටත් සහ පශු අක්ෂි වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විශේෂඥ පුහුණුව සඳහාත් සම්පූර්ණයෙන් කැපවී එක්සත් රාජධානියේ සේවය කරමින් සිටිමි.

මාගේ මාතෘ භූමියට මම ආදරය කරමි. මාගේ පෞද්ගලික හැකියාවන් තුළින් මා වැදගත් වෙතැයි සිතන සමාජ සේවා කටයුතු පිළිබඳව අන් අය දැනුවත් කිරීම සහ ඒවා වෙනුවෙන් කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.

එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත වීමට මාගේ කිසිම අදහසක් නොමැති බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටිමි. එම නිසා අනාගතයේ මා ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවට පළ වන වාර්ථා සම්පූර්ණයෙන් බැහැර කරන මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

ගෞරවණිය, සරල සහ අප්‍රකට ජීවිතයක් ගත කිරීමට මා දැඩි උත්සාහයක් දරා ඇත. මාගේ පෞද්ගලිකත්වයට ගරු කරන මෙන් මම ශ්‍රී ලාංකේය මාධ්‍යවලින් සහ මහජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙයට හිතවත්

වෛද්‍ය. විමුක්ති කුමාරතුංග

මහින්ද අමතක නොකළ අලි දිනය !

ලෝක අලි දිනය නිමිත්තෙන් අගමැති මහින්ද රාජපක්ෂ විශේෂ නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

2011 වර්ෂයේ අගෝස්තු මස 12 වන දින කැනේඩියානු ජාතික චිත්‍රපට නිෂ්පාදිකාවක් වන ප්‍රිටිසියා සිටි මයිකල් ක්ලාක් සහ අලි නැවක හඳුන්වාදීමේ පදනමේ ලේකම් වන සිවපෝන් ධර්දරානන්ද යන මහත්ම මහත්මීන් මූලිකත්වයෙන් “අලි නැවත සිහි කිරීමේ පදනම” මඟින් සෑම වසරකම අගොස්තු මස 12 වන දින ලෝක අලි දිනය (World Elephant Day) ලෙස නම් කරන ලදී.

ලෝක අලි සුරක්ෂිතතා දිනයේ තේමාව වනුයේ “අරුම පුදුම සතුන්ගේ ආරක්ෂාව හා සංරක්ෂණය සොයා දැනගන්න හොඳම කාලයය” යන්නයි. වන අලින්ගේ රැකවරණය සහ කළමනාකරණය වෙනුවෙන් වූ සුභදායි විසඳුම් ලෙස දැනුවත් කිරීම සඳහා නිර්මාණශීලී දැනුම බෙදා හැරීම ලෝක අලි දිනයේ ප්‍රධාන ඉලක්කය මෙන්ම මෙහෙවරයි.

ලොව පුරා සිටින මිනිසුන් හා සංස්කෘතීන් විසින් මහත් ආදරයට හා ගෞරවය පාත්‍ර වූ ගොඩබිම වෙසෙන විශාලම සත්ත්වයා වන, අලි ඇතුන්ගේ ආරක්ෂාව හා සංරක්ෂණය වෙනුවෙන් අප රජයක් ලෙස සැමදා පෙනී සිටියෙමු. ඔවුන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් සුවිශාල කාර්යය භාරයක් අප ඉටු කර ඇත්තෙමු.

එසේම අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකේය සංස්කෘතිය මෙන්ම පෞඩත්වය ලොවට කියා පාන්නා වූ සංස්කෘතිකාංග වන පෙරහැර හා බැඳුණු මෙම ගෞරවනීය සත්ත්වයා ශ්‍රී ලාංකේය සංචාරක ව්‍යාපාරයට ද සිදු කරන්නා වූ මෙහෙය අතිමහත්ය.

දඩයම් කිරීම, වාසස්ථාන අහිමි වීම, මිනිස්-අලි ගැටුම සහ වහල්භාවයේ අයුතු ලෙස සැලකීම අප්‍රිකානු සහ ආසියානු අලි ඇතුන්ට ඇති තර්ජන කිහිපයකි. වන අලි සඳහා වඩා හොඳ ආරක්ෂාවක් ලබා දීම, ඇත්දළ නීතිවිරෝධී ලෙස දඩයම් කිරීම හා වෙළඳාම් කිරීම වැළැක්වීම සඳහා නීති බලාත්මක කිරීමේ ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීම, අලි වාසස්ථාන සංරක්ෂණය කිරීම, අල්ලා ගත් අලි ඇතුන්ට වඩා හොඳ ප්‍රතිකාර කිරීම සහ ආරක්ෂිත අභයභූමිවලට නැවත ලබාදීම අලි සංරක්ෂණය කිරීමේ අරමුණු වේ. අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ සංවිධාන විසින් ද ලොව පුරා මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරයි.

ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් කතා බහට ලක්වන මෙන්ම, ජනතාව දුෂ්කරතාවයට පත්ව ඇති අලිමිනිස් ගැටුම සමතයකට පත් කිරීම සඳහා ද වත්මන් රජය මේ වන විට විවිධ ක්‍රියා මාර්ග රැසක් ගෙන ඇති අතර, අලි වදවීමේ තර්ජනයට ලක්ව ඇති මෙවැනි කාල වකවානුවකදී, අලි ඇතුන් සුරක්ෂිත කිරීම ද රජයක් ලෙස අප සැමගේ වගකීමකි.

එමෙන්ම, ඒ සඳහා ජාතියක් ලෙස පෙළගැසීමට කාලය එළඹ ඇති බව ද ලෝක අලි සුරක්ෂිතතා දිනය යෙදී ඇති අද දිනයේ අප තරයේ සිහිතබා ගත යුතු සේම ඒ සඳහා අප කටයුතු කළ යුතුය.

ඉඩම් අමාත්‍යංශයේ ලේකම්ගෙන් නීති විරෝධී චක්‍රලේකයක් !

ඉඩම් අමාත්‍යංශයේ ලේකම්, ආර්. ඒ. ඒ. කේ. රණවක මහතා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් හා සියලූ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත “රජයේ ඉඩම් මැන වෙන් කිරීම” සඳහා වන චක්‍රලේකයක් 2021 අගෝස්තු මස 6 වන දින අංක 02/2021 යටතේ නිකුත් කර තිබේ.

මෙම චක්‍රලේකය මගින් අවධානය යොමු කර ඇත්තේ ඉඩම් සංවර්ධන ආඥාපනතේ 8 වන වගන්තියට අනුව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ සාමාන්‍ය හා විශේෂ විධිවිධානවලට යටත් ව ප්‍රාදේශීය ලේකම්වරුන්ට රජයේ ඉඩම් විවිධ කාර්යන් සඳහා මැන වෙන් කරනු ලැබිය හැකි බැවින් විවිධ සංවර්ධන කටයුතු, ගම් පුළුල් කිරීම හා අනාගත සංවර්ධන කටයුතු සඳහා ආරක්ෂා කිරීමට ඉඩම් මැනීම් කර හඳුනා ගැනීමට කටයුතු කරන ලෙස ය.

එම චක්‍රලේඛයේ විශේෂයෙන් සඳහන් කර ඇත්තේ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ, ලේකම් විසින් නිකුත් කළ 2020 නොවැම්බර් මස 04 වන දින අංක MWFC/01/2020 දරන චක්‍රලේඛයේ සඳහන් පරිදි මීට ප්‍රථම ප්‍රකාශිත 1998.07.01 දින අංක 05/98 දරන, 2001.08.10 වන දින අංක 5/2001 දරන හා 2006.05.17 වන දින අංක 02/2006 දරන චක්‍රලේඛ ත්‍රිත්වය අවලංගු කර ඇති බැවින් වන සංරක්ෂණ ජනරාල්වරයා විසින් හා වනජීවී සංරක්ෂණ ජනරාල් විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති වනජීවී ප්‍රදේශ හැර අනෙක් රජයේ ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් භාරයේ තබා ගන්නා ලෙස ය.

සාවද්‍ය චක්‍රලේඛයක් !

මෙම චක්‍රලේඛය අධ්‍යයනය කර බැලීමේ දී පෙනී යන්නේ එහි සාවද්‍ය කරුණු ගණනාවක් අන්තර්ගත වන බව ය. වන සංරක්ෂණ හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ පාලනය වන රක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම සිදු කරනු ලබන්නේ 2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥාපනතට අනුව හා 2009 අංක 22 දරන පනතින් අවසන්වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව ය. එම රක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කරනු ලබන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් ය. මෙම චක්‍රලේඛයේ සඳහන් පරිදි වන සංරක්ෂණ ජනරාල් හෝ වනජීවී සංරක්ෂණ ජනරාල් (අධ්‍යක්ෂ ජනරාල්) විසින් ප්‍රකාශිත කිසිදු රක්ෂිත ප්‍රදේශයක් නොමැත. ඒ අනුව මෙය ඉතා ම දෝෂ සහිත චක්‍රලේඛයක් බව පෙනී යයි.

02 2021 Land Ministry

වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කිරීම !

මෙම චක්‍රලේඛයේ ප්‍රධාන නීති විරෝධී තත්ත්වය වන්නේ වන රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළ ප්‍රදේශ හැර ඉතිරි ඉඩම් සංවර්ධන කටයුතු සඳහා, ගම් පුළුල් කිරීම සඳහා සහ අනාගත සංවර්ධන කටයුතු සඳහා මැනීම් කර ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් භාරයේ තබා ගැනීමට නියෝග නිකුත් කිරීම ය. මෙය වන සංරක්ෂණ ආඥාපනත සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කිරීමකි. වන සංරක්ෂණ ආඥාපනතේ 20 වන වගන්තියට අනුව සංරක්ෂණ වනාන්තර, වන රක්ෂිත හා ගම්බද වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කළ වනාන්තර හැර රජයට අයත් සියලූ ම වනාන්තර මෙම වගන්තිය යටතේ පාලනය වේ. එම වනාන්තර ගැසට් මගින් ප්‍රකාශයට පත් කර නොමැති අතර රජයේ ඉඩම්වල පිහිටි සියලූ ම වනාන්තර මෙම වගන්තියට යටත් වේ.

පනතේ 20(1) වගන්තියට අනුව රජයට අයත් වනාන්තරයක ගස් කැපීම, කැනීම් කටයුතු සිදු කිරීම, ගිනි තැබීම, වනාන්තර එළි කර වගා කිරීම, ස්ථිර හෝ තාවකාලික ඉදිකිරීම් සිදු කිරීම, පාරවල් සකස් කිරීම, මායිම් සලකුණු වෙනස් කිරීම යන සියලු ක්‍රියා නීති විරෝධී වේ. මෙවන් නීති විරෝධී ක්‍රියාවකට මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු වන පුද්ගලයකු රුපියල් 5000 ත් 50,000 ත් අතර දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාරගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරන ලද හානියට වන්දියක් ලෙස අධිකරණය විසින් නියම කරන දඩයකට ද යටත් විය යුතු ය. 20(2)(1) වගන්තියට අනුව රජයට අයත් වනාන්තරයක යම් වරදක් සිදු කිරීම සඳහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරදකරුවකු වන අතර එම දඩුවමට ම යටත් කළ හැකි ය.

05/98 හා 05/2001 අංක දරන චක්‍රලේක, අංක MWFC/01/2020 දරන චක්‍රලේඛය මගින් අහෝසි කරනු ලැබූව ද 2009 අංක 65 දරන පනතින් වන සංරක්ෂණ ආඥාපනත අවසන් වශයෙන් සංශෝධනය කිරීමේ දී මෙම චක්‍රලේඛ මගින් නෛතික ආවරණය ලබා දුන් සියලූ ම වනාන්තරවල ආරක්ෂාව පාර්ලිමේන්තුවෙන් සම්මත වූ මෙම පනතේ 20 වන වගන්තියට යටත් කර තිබිය දී චක්‍රලේඛයක් මගින් එම වනාන්තර වෙනත් ආයතනයකට පැවරීමේ කිසිදු නෛතික හැකියාවක් නොමැත. එමගින් සිදු කරන්නේ වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කිරීම පමණක් නොව රජයට අයත් වනාන්තර විනාශ කිරීමට ආධාර හා අනුබල ලබා දීමකි. මේ නිසා මෙම චක්‍රලේඛය නීති විරෝධී වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම !

නීති විරෝධී ලෙස මෙම චක්‍රලේඛය ප්‍රකාශයට පත් කිරීමෙන් ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා සිදු කර ඇත්තේ නීතිය අතික්‍රමණය කිරීමකි. එපමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කිරීමකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදයේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14) ව්‍යවස්ථාවේ දැක්වෙන ලෙස ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු ය. ඒ වෙනුවට ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය මගින් සිදු කර ඇත්තේ වනාන්තර විනාශ කොට ජනතාවගේ යහපැවැත්ම සම්පූර්ණයෙන් ම බිඳ දැමීමට කටයුතු කිරීම ය.

රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර නොමැති රජයට අයත් බොහෝ වනාන්තර ප්‍රදේශ වැව් හා ජලාශවල ජල පෝෂක ප්‍රදේශ වේ. එපමණක් නොව මෙම වනාන්තර රක්ෂිත ප්‍රදේශ අතර සම්බන්ධතාවය ඇති කරන අලි - ඇතුන්ගේ ප්‍රධාන වාසස්ථාන වේ. මීට අමතර ව තෙත් කලාපයේ පිහිටි බොහෝ රජයට අයත් වනාන්තර ප්‍රදේශ තුළ මෙරටට ආවේණික හා වඳවීමේ තර්ජනයට දරුණු ලෙස මුහුණපා ඇති විශේෂ ජීවත් වේ. මෙම වනාන්තර සංවර්ධන කාර්යන් සඳහා භාවිතා කිරීමෙන් සිදු වන්නේ පානීය ජල අර්බුධ හා කෘෂිකාර්මික වාරි ජල අර්බුධ ඇති වීමෙන් ග්‍රාමීය ජනතාවගේ ජීවන පැවැත්ම බිඳ වැටීමයි. එපමණක් නොව අලි - මිනිස් ගැටුම වර්ධනය වීම හා තෙත් කලාපයේ ස්ථානීය ආවේණික ජීවී විශේෂ බොහොමයක් වඳ වී යාම ද මෙමගින් සිදු වනු ඇත. රජයට අයත් වනාන්තර ඉඩම් ලෙස රක්ෂිත වනාන්තර වලින් පරිභාහිරව ප්‍රතිශතයක් ලෙස වැඩි ම භූමි ප්‍රමාණයක පැතිර ඇත්තේ කඩොලාන වනාන්තර යි. මෙම වනාන්තර තුළ නොගැඹුරු මුහුදේ මත්ස්‍ය විශේෂ, ඉස්සසන් හා කකුළුවන් විශේෂ බෝවීම සිදු වේ. මීට අමතර ව කලපු ආශ්‍රිත සත්ත්ව විශේෂ සියල්ලේ ම බෝවීම සිදු වන්නේ කඩොලාන වනාන්තර තුළ ය. මේ නිසා මෙම චක්‍රලේඛයෙන් වැඩි ම හානිය කඩොලාන වනාන්තරවලට සිදු වීමට නියමිත අතර ඒ හේතුවෙන් කලපු හා සාගර ජීවීන්ගේ පැවැත්මට හා දීවර කර්මාන්තයේ පැවැත්මට දරුණු බලපෑම් එල්ල වනු ඇත.

සෞභාග්‍යයේ දැක්ම උල්ලංඝනය කිරීම !

මෙවර ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අට වන පරිච්ඡේදයේ දැක්වෙන තිරසර පරිසර ප්‍රතිපත්තියක් කොටසෙහි සඳහන් කර ඇත්තේ ජාතික වන වැස්ම 30% ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවත්, ස්වාභාවික පරිසර පද්ධති සංරක්ෂණය කරන අතර හානියට ලක් වූ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කරන බවත්, මිනිසා මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කරන බවත් ය. නමුත් මෙම චක්‍රලේඛයෙන් ඒ සියල්ල ම බිඳ දමා ඇත.

ඉතිරි වී ඇති වනාන්තරවලින් 12% ක් විනාශ කිරීම !

වර්ෂ 2010 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළ අවසන් වනාන්තර සංගණනයට අනුව මෙරට සමස්ත වනාන්තර ආවරණය හෙක්ටයාර 19,51,473 කි. එය මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් 29.7% කි. මෙම වනාන්තර ආවරණයට තෙත්, අතරමැදි, වියළි හා ශුෂ්ක කලාපවල පිහිටි ඝන වනාන්තර, විවෘත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැළෑ, කඩොලාන වනාන්තර හා තෘණ භූමි අයත් වේ. මේ අතුරෙන් පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ සියයට 1.9 ක ප්‍රතිශතයකි. එනම් හෙක්ටයාර 1,23,302 කකි. ඉහළ කඳුකර වනාන්තර ප්‍රතිශතය සියයට 0.7 කි. එහි ප්‍රමාණය හෙක්ටයාර 44,758 කි. උප කඳුකර වනාන්තර ප්‍රතිශතය සියයට 0.4 කි. එහි ප්‍රමාණය හෙක්ටයාර 28,513 කි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර හෙක්ටයාර 11,21,392 ක් නැතහොත් සියයට 17.1 කක ප්‍රතිශතයක් පවතී. කඩොලාන වනාන්තර 0.2% ක් නැතහොත් හෙක්ටයාර 15,670 ක් පමණ වෙයි.

වර්ෂ 2014 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළ යුතු යෝජිත රක්ෂිත හා රජයට අයත් වෙනත් කැලෑ ලෙස හඳුන්වන වන සංරක්ෂණ ආඥාපනතේ 20 වන වගන්තිය යටතේ පාලනය වන වනාන්තර 103 ක් ඇති අතර ඒවායෙහි භූමි ප්‍රමාණය හෙක්ටයාර 2,24,564 ක් නැතහොත් අක්කර 5,79,608 ක් පමණ වේ. එම සියලු වනාන්තර මෙම චක්‍රලේඛය මගින් අහිමි කිරීමට නියමිත අතර එය වර්තමානයේ ලංකාවේ ඉතිරි වී ඇති වනාන්තර ප්‍රමාණයෙන් 12% ක් තරම් ඉහළ ප්‍රතිශතයකි.

1

3

අලි - මිනිස් ගැටුම වර්ධනය කිරීම !

අලි - ඇතුන් ඇතුළු ව බොහෝ වන සතුන්ගේ වාසස්ථාන මහා පරිමාණ සංවර්ධනයේ නාමයෙන් අහිමි කිරීම හේතුවෙන් අලි - මිනිස් ගැටුම හා වන සතුන් හා මිනිසුන් අතර ගැටුම් වර්ධනය වී ඇත. මේ නිසා සුළු පරිමාණ ගොවීන් වගා බිම් වලින් ඉවත් වී එම වගා බිම් මහා පරිමාණ වාණිජ වගාවන් සඳහා විවිධ සමාගම් වලට ලබා දෙමින් තිබේ. 1990 වසරේ සිට 2000 වසර දක්වා කාලය තුළ දී වසරකට අලි - මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂික ව අලින් 150 ක් හා මිනිසුන් 40 ක් පමණ මරණයට පත් ව තිබේ. 2010 සිට 2018 දක්වා කාලය තුළ අලි - මිනිස් ගැටුම නිසා වසරකට මිය යන මිනිසුන්ගේ ප්‍රමාණය 80 දක්වා ත් අලි ඇතුන්ගේ ප්‍රමාණය 275 දක්වා මෙතෙක් ඉතිහාසයේ වර්ධනීය ම තත්ත්වයට පත් විය. ඒ තත්ත්වය ඉතා උග්‍ර මට්ටමකට පත් කරමින් පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි - මිනිස් ගැටුමේ වර්ධනීය ම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් විය. එම වසරේ දී හානි කර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි මරණ 406 ක් හා අලින්ගේ පහරදීම නිසා මිනිසුන් 122 ක් පමණ මියගොස් ඇති බවට වාර්තා වී තිබේ. 2020 වසරේ දී අලි මරණ 317 ක් හා අලින්ගේ පහරදීම් නිසා සිදු වූ මිනිස් මරණ 112 ක් වාර්තා වී විය. මේ තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතූන් වී ඇත්තේ අලි - ඇතුන්ගේ වාසස්ථාන වන වනාන්තර හා තෘණ භූමි ශීඝ්‍රයෙන් විනාශ කිරීම, එම වාසස්ථාන කොටස් වලට බෙදී වෙන් වන පරිදි හානි කර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම යි. මෙම චක්‍රලේඛයත් සමඟ ම රක්ෂිත වනාන්තර වලින් පරිබාහිර වියළි කලාපීය වනාන්තර සංවර්ධන ව්‍යාපෘති සඳහා මහ පරිමාණයෙන් භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ පවතින අලි - මිනිස් ගැටුම තවත් උග්‍ර මට්ටමකට පරිවර්ථනය වනු ඇත.

චක්‍රලේඛය අහෝසි කර ජාතික ඉඩම් කොමිෂන් සභාව පිහිටුවීම !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කරමින් රටට දැවැන්ත විනාශයක් ඇති කිරීමට හේතු වන 02/2021 චක්‍රලේඛය අවලංගු කර ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයාට හෝ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට හෝ අවශ්‍ය පරිදි ඉඩම් පිළිබඳ ව තීන්දු තීරණ ගැනීම වෙනුවට 1987 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින් නීති ගත කරන ලද 9 වන උපලේඛනයේ පළාත් සභා ලැයිස්තුවේ දෙවන පරිශිෂ්ටයේ සඳහන් පරිදි “ජාතික ඉඩම් කොමිෂන් සභාවක්” පිහිටු විය යුතු ය. මෙම ජාතික ඉඩම් කොමිෂන් සභාවේ මූලික වගකීමක් ලෙස දක්වා ඇත්තේ රජයේ ඉඩම් පරිහරණය හා සම්බන්ධ “ජාතික ඉඩම් ප්‍රතිපත්තියක්” සකස් කිරීමයි. ඒ මත පදනම් ව ඉඩම් භාවිතා ව පිළිබඳ ව තීන්දු තීරණ ගත යුතු ය.

දෙවන පරිශිෂ්ටයේ 3 වන වගන්තියේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ජාතික ඉඩම් කොමිෂන් සභාවක් පිහිටු වීම, එම කොම්ෂන් සභාව රජයේ ඉඩම් භාවිතා ව හා සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳ ව වගකීම, මෙම කොමිෂන් සභාවට දිවයිනේ සියලූ ම පළාත් සභා වල නියෝජිතයන් ඇතුළත් වීම, ජාතික ඉඩම් කොමිෂන් සභාවට ස්වාභාවික සම්පත් කළමනාකරණයට අදාළ සමාජ ආර්ථික සාධක මෙන්ම, භෞතික සාධක ඇඟයීම සඳහා අවශ්‍ය අදාළ සියලු විෂයයන් නියෝජනය වන තාක්ෂණික ලේකම් කාර්යාලයක් ඇතුළත් වීම, ඉඩම් භාවිතය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය දේශපාලනික වශයෙන් හෝ ජනවාර්ගික වශයෛන් නොව තාක්ෂණික සාධක මත පදනම් වීම, ඉඩම් කොමිෂන් සභාව විසින් පස, දේශගුණය, වර්ෂාපතනය, පස සේදීයාම, වන ආවරණය, පාරිසරික සාධක, ආර්ථික යෝග්‍යතාව ආදී කරුණු කෙරෙහි සැලැකිලිමත් ව ඉඩම් භාවිතා ව හා සම්බන්ධ පොදු න්‍යාය නියම කිරීම, පළාත් සභා වෙත පැවරෙන බලතල ක්‍රියාත්මක කිරීමේ දී පළාත් සභා විසින් ජාතික ඉඩම් ප්‍රතිපත්තිය කෙරෙහි නිසි පරිදි සැලැකිලිමත් ව තම බලබල ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතු බව ය. නමුත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව අද වන විට වසර 34 ක් ගත වී ඇතත් මෙතෙක් බලයට පත් වූ සියළු රජයන් ජාතික ඉඩම් කොමිෂන් සභාව පිහිටු වීම හා ඒ මත පදනම් ව ඉඩම් භාවිතා ව තීරණය කිරීම හිතාමතා ම මඟ හැර ඇත. මේ නිසා මෙම චක්‍රලේඛ අහෝසි කර වහා ම ජාතික ඉඩම් කොමිෂන් සභාව පිහිටු වීමට කටයුතු කරන ලෙස අවධාරණය කර සිටිමු.

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

Forest Cover of Sri Lanka 2010

Protected Area

රටම කොරෝනා මර බියේ : සජිත් සෆාරි සවාරියේ !

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය මහත් ව්‍යසන ගෙනදෙමින් පැතිරයමින් ඇති පසුබිමේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යාල වනෝද්‍යානයේ සෆාරියක නිරතව ඇති බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.

වැඩේ කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි, විපක්ෂ නායකතුමාගේ සමගි ජනබලවේගය පක්ෂය අභ්‍යන්තරයෙන්ම මේ චෝදනාව ඉදිරිපත්වීම.

කතාවේ ඇත්ත නැත්ත අපි දන්නේ නෑ, නමුත් චෝදනාවේ හැටියට නම් විපක්ෂ නායක සජිත් ඔහුගේ බිරිද සමඟ අලි සහ කොටි නරඹන්න යාලේ ගිහින්ලු.

කොහොමටත් අලි සහ කොටි නැරඹීමට යාම විපක්ෂ නායක සජිත්ගේ ප්‍රියතම විනෝදාංශයක් බව ප්‍රසිද්ධ කරුණක්. විශේෂයෙන් කොටි බලන්න යාලට යන විපක්ෂ නායකවරයා ඒ සඳහා ඇතැම් අවස්ථාවල දිවා රෑ නොතකා කැපවෙන බවත් ප්‍රසිද්ධ කාරණයක්.

නමුත් දේශපාලන ආරංචිමාර්ග කියන විදියට මේ වෙලාවේ ඔය විනෝදාංශය අමතක කරලා ජනතාව වෙනුවෙන් නොසිටීම අවුලක් කියලයි පක්ෂයේ උදවිය කියන්නේ. ඔෆිස් එකේ ඉන්න හාදයෙකුට කියලා නිවේදනයක් මාධ්‍යට යවනවට වඩා දෙයක් මේ වෙලාවේ විපක්ෂ නායක විදියට සජිත්ගෙන් වෙන්න ඕන කියලයි සජබ උදවියත් කියන්නේ.

මේ වෙලාවේ වෛද්‍ය විශේෂඥ මතය අනුව රට ලොක්ඩවුන් නොකිරීම ගැන ආණ්ඩුවට බරපතළ විවේචන එල්ලවෙමින් තිබෙන්නේ. දවසකට කොරෝනා නිසා මියයන ප්‍රමාණය 100 ඉක්මවලා. දවසකට වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 3000ට ආසන්න වෙලා. නමුත් සජිත් අලි කොටි ගැන හොයමින් ඉන්නවා හැර විකල්පය තමන් බවට ජනතාවට ඒත්තු ගන්වන්න අසමත් බවටත් සජබ යේම පිරිස් චෝදනා කරන්න අරගෙන.

ඔවුන් කියන්නේ, විපක්ෂ නායක නිසා ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත්වෙලා ඉබේම තමන් රාජ්‍ය නායකයා වෙයි කියන එක සජිත්ගේ සහ ඔහු වටේ ඉන්න කිහිපදෙනාගේ අදහස වෙලා තියෙන්නේ කියලා. ඒ වෙනුවට ඔවුන් කියන්නේ, විපක්ෂ නායක ලෙස වත්මන් පාලනය අසමත් බව තහවුරු කරන අතර විකල්පය තමන් බවත් පෙන්වීමට, මිනිසුන් තුල විශ්වාසයක් ඇති කිරීමට කටයුතු කරන්න ඕන කියලයි.

ඒ වෙනුවට වෙලා තියෙන්නේ ආණ්ඩුව මිනිස්සුන්ට තමන්ව එපා කරගන්න කොට ඊට නොදෙවෙනි ලෙස සජිතුත් මිනිස්සුන්ට එපා වෙන දේවල්ම කරමින් ඉන්නවා කියලයි සජබ අභාන්තරයේ චෝදනාව නැගෙමින් තියෙන්නේ.

විශේෂයෙන් ආණ්ඩුවට විරුද්ධ වෙන සහ ආණ්ඩුවෙන් ගැලවෙන පාක්ෂිකයන්ට එක්වෙන්න කඳවුරක් අවශ්‍ය නමුත් එය ගොඩනැගීමට සජිත් අසමත් බවත් ඔවුන් කියනවා. ඉතිහාසයේ කවදාවත් නොවූ ලෙස ඉතාම ඉක්මනින් අපකීර්තියට පත්වූ ආණ්ඩුවක් ඉස්සරහා විපක්ෂයට නිල නොලත් ආණ්ඩුවක් ලෙස පවා කටයුතු කිරීමට හැකියාවක් පවතින නමුත් සජිත්ගේ මේ දෝෂය නිසාම එය සිදුනොවන බවත් මේ සජබ කණ්ඩායම පවසනවා.

බලය ගැනීම කෙසේ වෙතත් කොරෝනා නිසා රටම තැති ගෙන මර බයෙන් ඉන්න මේ වෙලාවේ සජිත් ඔහොම ගමනක් ගියා නම් ඒක සජිත්ගේ දේශපාලනික අපරිණතබව තහවුරු කරන සාක්ෂියක් වේවි. ඒ නිසාම 2024 විලක්පය වීමත් සජිත්ගෙන් ඈත්වෙන්න මේ වගේ වැඩ හේතුවෙන්න පුළුවන්.

දේශපාලන වාර්තාකරු

PCR රු. 6500යි, Antigen රු. 2000යි

PCR පරීක්ෂණයක් සඳහා රුපියල් 6,500 ක් හා ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා රුපියල් 2,000 ක මිලක් නියම කරමින් මිල නියාමන ගැසට්ටුව නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම මිල ගණන් නියාමනය කිරීමට අදාළ ගැසට් පත්‍රය හෙට (12) නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා ය.

කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් කොවිඩ් වෛරසය ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ රෝහල්වලින් සිදු කරනු ලබන PCR සහ ඇන්ටිජන් පරික්ෂණ සඳහා අය කරනු ලබන මිල ගණන් නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන තිබේ.

ඉස්සරහට වෙන්න යනදේ ආණ්ඩුවේ මන්ත්‍රී කියයි !

මොළය බාගෙට මිය ගිය නිලධාරීන් විසින් රට පාලනය කළොත් ඉදිරියේදී විශාල අභියෝගයට රටට ජනතාවට මුහුණ දෙන සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි  සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කොරෝනා ආසාදිතයන් එක්කෙනෙක් දෙන්නෙක් සිටියදී සම්පූර්ණයෙන්ම රට වසා දැමුවද අද විශාල වශයෙන් රෝගීන් හමුවද්දී රට සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බවද ඔහු පැවසීය.

පවතින වසංගත තත්වය හමුවේ විශේෂඥ වෛද්‍ය මතයට කන් දෙන ලෙසද මන්ත‍්‍රීවරයා ඉල්ලා සිටියේය.

මහලූ පුද්ගලයකු වන ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් මගින් සියළුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවූ බවත් එය සිදු කළේ කුමන පදනමක් මතදැයි මන්ත්‍රීවරයා එහිදී  ප්‍රශ්න කළේය.

 

විවාහ උත්සව වලට 50 යි : අලුත්ම තීන්දු තීරණ මෙන්න !

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව සඳහා සහභාහි විය හැකි සංඛ්‍යාව සංශෝධනය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඔහු පවසන ආකාරයට මංගල උත්සවයකට සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50කි.

මේ අතර පළාත් අතර සංචරණ සීමා දැඩි කෙරෙන බවත් යුද හමුදාපතිවරයා පවසා සිටියි.

ඒ අනුව පළාත් අතර සංචරණය කළ හැක්කේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා අනුයුක්ත පුද්ගලයන්ට පමණය.

හිටපු අමාත්‍ය රිෂාඩ් ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (10) නියෝග කළේ ය.

එසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනුයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ප්‍රශ්න කරමින් සිටියදී අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පැමිණිල්ල විසින් සැකකරුට එරෙහිව ඉදිරිපත් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන චෝදනා වන බැවින් නඩු විභාගය අවසන් වනතුරු සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ බලය තම අධිකරණයට ඇති බව පෙන්වා දෙමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය.

රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී කර්මාන්ත දෙපාර්තමේන්තුවට අයත් අබලි ද්‍රව්‍ය සහ තඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බකරු වන ඊබ්‍රාහිම් අහමඩ් නැමැත්තාට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික සමාගමට ප්‍රමුඛතාවයක් හිමිකර ලබා දීමෙන් අයුතු ලෙස උපයාගත් මුදල් ත්‍රස්ත ක්‍රියා සඳහා යෙදවීම ඇතුළු චෝදනා යටතේ ඔහුව අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළ විමර්ශනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 24 වැනිදා ය .

තීරණ ගැනීමට පසුබට වන සෑම අවස්ථාවකම තවත් ජීවිත කිහිපයක් අහිමි විය හැක - උපුල් රෝහණ

කොවිඩ් ආසාදිතයන් ඉහළ යාම හරහා මේ වනවිට රෝහල් පද්ධතිය අර්බුදයට ගොස් ඇති බවත්, මෙම තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් අවාසනාවන්ත තත්වයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නේ ආසාදිතයන් වාර්තා වීම සහ මරණ සිදුවීම පාලනය කිරීමට නම් සංචරණ සීමා දැඩි කිරීම කඩිනමින් සිදුකළ යුතු බවත්, සෞඛ්‍ය අංශයට දරාගත නොහැකි අන්දමින් රෝගීන් වැඩිවීම කඩිනමින් පාලනය කළ යුතු බවත්ය.

තීරණ ගැනීමට පසුබට වන සෑම අවස්ථාවකම තවත් ජීවිත කිහිපයක් අහිමි විය හැකි බව පෙන්වා දෙන උපුල් රෝහණ  පවසන්නේ සියල්ලටම වඩා ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වැදගත් බවයි.

ඉදිරි දින 14 තුළ මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් සංඛ්‍යාව සීග්‍ර ලෙස ඉහළ යාහැකි බවත්, මේ නිසා සියලුම සමාජ ඒකරාශීවීම් අත්හිටුවීම, පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් අත්හිටුවීම සිදුකළ යුතු බවද ඔහු සඳහන් කරයි..

බිම් මට්ටමේ පවතින, වසංගතයේ සැබෑ තත්වය නිසි පරිදි ජාතික සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් නොවන බව උපුල් රෝහණ පෙන්වා දෙන අතර,  සංඛ්‍යා ලේඛනවලින් සැබෑ තත්වය අනාවරණය නොවීම බරපතල ගැටලුවක් බවත් ඒ හරහා ජනතාවට වසංගතයේ සැබෑ තත්වය පිළිබඳව අවබෝධයක් නොලැබෙන බවත්  එය වසංගත තත්වය ඉහළ යාමට හේතුවක් වියහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

තත්වය භයානකයි : සති හතරකට රට වහන්න :විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කරයි

ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් මාසයක්වත් රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැයි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට පැමිණෙමින් තිබෙන බැවින්, මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය බවද ඔවුන් රජයට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ නොකර සිටීම සුළුකොට නොතැකිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කරයි.

එසේ කිරීම මගින් බලාපොරොත්තු වන්නේ , දැනට උච්චතම අවස්ථාවට පැමිණ ඇති ප්‍රතිකාර කිරීමේ හැකියාව යම් කිසි තරමකට හොද මට්ටමක පත්වනු ඇති බවයි.

සංචරණ සීමා ප්‍රතිඵලදායීවීමට නම් ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කරන ඇඳිරි නීති තත්ත්වයක් වුවද ප්‍රකාශ කිරීමට සිදුවිය හැකි බවද තම විශ්වාසය බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

කොවිඩ් ආසාදිතයින් තුන් දහසකට ආසන්න පිරිසක් දෛනිකව වාර්තා වෙමින් තිබෙන අතර,දෛනික මරණ සංඛ්‍යාවද සීයකට ආසන්න වෙමින් තිබේ .

ඉකුත් දින 13 ක කාලය තුළ පමණක් කොරෝනා මරණ දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

මේ අතර, බොහෝ රෝහල්වල මෘත ශරීරාගාර ද කොවිඩ් මෘතදේහ වලින් පිරී ගොස් ඇති අතර, රෝහල්වල වාට්ටු ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතී .

මේ තත්වය තුළ රෝහල් ධාරිතාවට දරාගත නොහැකි මට්ටමට රෝගීන් වාර්තා වෙමින් තිබෙන බැවින්, රෝගීන් වාර්තා වීම අවම කර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග වලට යාම අත්‍යවශ්‍ය බව ද තවදුරටත් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සංචරණ සීමා දැඩි ලෙස පැනවීම අපට ඇති ප්‍රධානම අවිය ලෙස සැලකිය යුතු බව සිය හැඟීම බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

කිරිපිටි බද්දත් රිවස්?

ආනයනික කිරිපිටි සඳහා අයකරන බදු සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

ආණ්ඩුව විසින් ආනයනික කිරිපිටි සඳහා අයකරන බදු මුදල් වැඩි කිරීමත් සමඟ කිරිපිටි සමාගම් විසින් ආනයනය සිමා කිරීම නිසා වෙළඳපොලේ කිරිපිටි හිඟයක් ඇතිවී තිබේ.

ශ්‍රී ලංකාවේ දෛනික කිරි අවශ්‍යතාවය, දේශිය කිරි නිෂ්පාදන ධාරිතාවය, දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමේ සැලසුම් වැනි මූලික කරුණු ගැන වත් සැලකීමක් නොදක්වා ආණ්ඩුව විසින් විටින් විට ගන්නා මෙවැනි තීරණ ‘රිවර්ස්’ කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි මුදල් අමාත්‍යංශ නිළධාරියෙක් ලංකාටෲත් වෙත පවසා ඇත.

කොරෝනා මරණ ගැන තැතිගන්වන අනාවරණයක් !

ශ්‍රි ලංකාවේ මේ වන විට දිනකට වන මරණ අනුපාතය ඉන්දියාවේ මෙන් 10 ගුණයක් යැයි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසයි.

ඒ, සිය ට්ව්ටර් ගිණුම හරහා සංඛාලේඛන සහිතව ප්‍රකාශයක් නිකුත් කරමිනි.

002

එසේම මහාචාර්යවරයා පවසන්නේ, ශ්‍රී ලංකාවේ මේ වන විට සිදුවන කොරෝනා මරණ සමාන්‍යය ඉන්දියාවේ උපරිම කොරොනා මරණ සිදුවූ අවස්ථාවටත් වඩා ඉහළ අගයක් ගන්නා බවය.

මීට පෙරද මහාචාර්ය අගම්පොඩි ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් ඩෙල්ටා ප්‍රභේදයට අභියෝග කිරිමට ගත් ප්‍රවේශය හේතුවෙන් දිනකට පුද්ගලයන් 150-200 ක් පමණ ආදාහනය කල හැකි සමූහ ආදාහනාගාර ඉදිකිරිමට කාලය පැමිණ ඇති බවයි.

අදාළ දත්ත වගු පහත පරිදි මහාචාර්යවරයා විසින් ට්වීටර් ගිණුමට එක්කර තිබිණ.

030

කොරෝනා මරණ 111යි : සිරුරු තදබදයට අලුත් තීන්දුවකුත් එයි !

තවත් කොරෝනා මරණ 111 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර , අද (09) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිවේදනය කර ඇත.

එය මෙතෙක් මෙරටින් වාර්තා වූ දෛනික ඉහලම මරණ ප‍්‍රමාණයයි.

අදාළ නිවේදනය පහත දැක්වෙයි.

11111

නිරෝධායනය නොකළ පවුලක මරණයක් නම් PCR නෑ !

මේ අතර කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල උපුටා දක්වමින් ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, නිරෝධානය නොකල පවුලක යම් සාමාජිකයකු මියගියහොත් ඔහුගේ මළ සිරුර පි.සි.ආර් පරීක්ෂණයකින් තොරව හා පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව ඥාතීන්ට මුදා හැරීමේ බලය අධිකරණ අමාත්‍යාංශය මගින් මරණ පරීක්ෂකවරුන්ට පැවරූ බවය.

අදාළ පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳ අධිකරණ අමාත්‍යාංශය දැනුම්වත් කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් මරණ පරීක්ෂකවරුන්ට ලිඛිතව මේ වනවිටත් දන්වා ඇතැයි වෛද්‍යවරයා අධ්‍යක්ෂවරයා කීය .

යම් පුද්ගලයකු නිවසේදී හෝ රෝහලක දී මියගියහොත් ඔහුගේ හෝ ඇයගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පෙර පි.සි.ආර්.පරීක්ෂණ සිදු කිරීම සඳහා රෝහල්වල මෘත ශරීරාගාරවල තැන්පත් කර තිබීමෙන් මෘත ශරීරාගාරවල ඇතිවන තදබදය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

යම් පුද්ගලයෙක් සැකකටයුතු අයුරින් මියගොස් තිබුනොත් හෝ සියදිවි නසාගෙන මියගොස් තිබුනොත් සුපුරුදු නීතිමය කර්තව්‍යයන් සිදු කරන බව අධ්‍යක්ෂකවරයා කිය

මෙම තීරණය හේතුවෙන් රෝහල්වල මෘත ශරීරාගාරවල මළ සිරුරු තැන්පත් කිරීමේදී පවතින ගැටලු සහගත තත්ත්වයන්වලට පිළියමක් වනු ඇතැයි වෛද්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

ගුරු සංගම් වෙතින් පොලිපතිට ලිපියක් !

උද්ඝෝෂණයේ සහ විරෝධය දැක්වීමේ අයිතිය උල්ලංඝනය කරමින් දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරවල යෙදුණු ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ව අනීතික ලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිලි කර ඇත.

මෙරට ප්‍රබලම ගුරු සංවිධාන 24ක් නියෝජනය කරමින් අදාළ පැමිණිල්ල අද (09) සිදුකර තිබේ.

එහිදී 2021 අගෝස්තු 04 වනදා කොළඹ පැවති විරෝධතා උද්ඝෝෂණයට සහභාගීවී පෙරළා යමින් සිටි ගුරුවරුන් - විදුහල්පතිවරුන් ඇතුළු 44 දෙනෙකු පොලිසිය විසින් ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගැනීම ඇතුළු දීප ව්‍යාප්තව පැවති තවත් ගුරු - විදුහල්පති විරෝධතා වලදී සිදුව ඇති අත්අඩංගුවට ගැනීම් සම්බන්ධව එහිදී පොලිස්පතිවරයාට පෙන්වාදී ඇත.

එහිදී ඔවුන් ඉල්ලා ඇත්තේ, පොලිසියේ මේ අත්තනෝමතික ක්‍රියාව වළක්වන ලෙසය.

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් පොලිස්පතිට යොමුකළ අදාළ ලිපිය පහත දැක්වෙයි.

police l 950px

Page 371 of 392