V2025

පුවත්

ගෝඨා මහින්ද බැසිල් පිරිසට : අධිකරණය දුන්න තවත් තීන්දුවක් !

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සහ තවත් තිදෙනෙකු එක්ව, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සඳහා අවසරය ලබා දීම සම්බන්ධයෙන් ජූනි 28 වන දින ගැනීමට තිබූ තීරණය අද දින (ජූලි 01) අධිකරණයේදී සැලකිල්ලට ගන්නා ලදී.

වගඋත්තරකරුවන් තිදෙනෙකු පමණක් අද අධිකරණය හමුවේ පෙනී සිට තිබිණි.

පළමු වගඋත්තරකරු (ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ), අට වන වගඋත්තරකරු වන නන්දලාල් වීරසිංහ සහ නව වන වගඋත්තරකරු වන ශ්‍රී ලංකා මුදල් මණ්ඩලය නියෝජනය කළ නීතිඥවරුන් පමණක් අද දින නඩුව කැඳ වූ අවස්ථාවේ අධිකරණයේ පෙනී සිට ඇත.

අට වන සහ නව වන වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මීට සමාන නඩුවක් (SCFR 195/2022) දැනටමත් ගොනු කර ඇති බව ත්, ජූලි 4 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරිපිට සහාය දැක්වීම සඳහා එය නියමිතව ඇති බවත් ය.

ඒ අනුව, මෙම කරුණු දෙක ම එකවර විභාගයට ගැනීම සලකා බලන ලෙස නීතිඥවරයා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. ඒ අනුව, එම ඉල්ලීම සලකා බැලීම පිණිස අධිකරණය විසින් අගවිනිසුරුවරයා වෙත යොමු කරන ලදී.

මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල් (මහ බැංකුවේ හිටපු අධිපතිවරුන්), හිටපු භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල යන අයට ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව අනුමැතියකින් තොරව විදේශ ගමන්වල යෙදීම තහනම් කරන ලෙසට පෙත්සම්කරුවන් අතුරු සහනයක් ඉල්ලා ඇත.

මෙම තත්ත්වයට හේතු සහ වගඋත්තරකරුවන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග විමර්ශනය කිරීම සඳහා මෙන් ම, මුදල් අක්‍රමිකතා සහ ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය නොකිරීම සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය යටතේ කමිටුවක් පත් කිරීමේ ඉල්ලීමක් ද පෙත්සම්කරුවන් කර ඇත.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් චන්ද්‍රා ජයරත්න, ජූලියන් බෝලිං සහ ජෙහාන් කනගරත්න යන සෙසු පෙත්සම්කරුවන් සමග මෙම පෙත්සම ගොනු කරන ලදී.

එම මූලික අයිතිවාසිකම් නඩුව පවරා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ අර්බුදයක් නිර්මාණය වන ආකාරයට විනිවිදභාවයකින් තොරව සහ වගවීමකින් තොරව ඉහළ පෙළේ තීරණ ගැනීමට එරෙහිව ය.

එහි සඳහන් කර ඇති පරිදි ආර්ථික අර්බුදයට බලපෑ හේතු කිහිපයක් පහත දැක්වේ.

2019 වසරේදී නීතිවිරෝධී ලෙස බදු සහන දීම හරහා රජයේ ආදායම් අඩු කර ගැනීම.
එම බදු සහන ආපසු හැරවීමට අසමත් වීම.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම ප්‍රමාද කිරීම.
රුපියලේ අගය සම්බන්ධයෙන් නිසි වේලාවට තීරණ නොගැනීම.
පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ, ඉහත කී කරුණු සඳහා අදාළ වග උත්තරකරුවන් ඍජුව වගකිව යුතු බවට ය.

-මව්බිම

මර්වින් ශ්‍රීලනිපයට !

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා අද(01) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේය.

ඔහු මෙසේ ශ්‍රීලනිප සාමාජිකත්වය ලබා ගත්තේ , ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේනගේ නිල නිවසට පැමිණය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉදිරියේදී පක්ෂ ආසන සංවිධායකධූරයක් ද ලබාදීමට නියමිත බවත් වාර්තා වේ.

පසුගිය මහ මැතිවරණය අවස්ථාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා එක්සත් ජාතික පක්ෂය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් විය.

ඇඟලුම් කම්හල් 200කට මාරාන්තිකයි !

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200 ක් පමණ ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව ඇතුළු ප්‍රශ්න හේතුවෙන් කඩා වැටීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.

මහා පරිමාණ ඇඟලුම් කම්හල් බොහොමයක් ඩොලර් ගෙවා සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඉන්ධන පිරවුම් හල්වලින් ඩීසල් ලබා ගත්තද සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල්වලට සාමාන්‍ය ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී අද දවසේ බරපතළ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව ඇති බව ඒකාබද්ධ ඇඟලුම් ආයතන සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.

බොහෝ අවස්ථාවලදී ඔවුනට ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබෙන තත්වයක් පවතින බවද ඔහු සඳහන් කළේය.

ප්‍රධාන පෙළේ මහා පරිමාණ ඇඟළුම් කම්හල් සිය ඇඟලුම් නිෂ්පාදන ඇණවුම් වලින් යම් කොටසක් නිෂ්පාදනය සඳහා උපකොන්ත්‍රාත්කරුවන් වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් වලට බාර දෙන හෙයින් එම ඇඟලුම් කම්හල් අකර්මණ්‍යවීම මහා පරිමාණ කර්මාන්තවලටද ලොකු බලපෑමක්වී ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් ආයතන සංසදය පවසයි.

මේ අතර ඇඟලුම් කම්හල්වල නිලධාරීන්ට සහ සේවකයන්ට සිය පෞද්ගලික වාහනවලින් පැමිණීමේ අවස්ථාව පෙට්‍රල් හිඟය නිසා බොහෝ දුරට අහිමිවීමෙන් ඇඟලුම් කම්හල්වල කාර්ය සාධනයට එය විශාල බලපෑමක්වී ඇතැයි එම කම්හල් හිමිකරුවෝ පවසති.

මේ තත්වය සැලකිල්ලට ගෙන සිය සේවකයන් ප්‍රවාහනය සඳහා පෙට්‍රල් කෝටාවක් ලබාදෙන්නැයි සිපෙට්කෝ ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් දැනටමත් කර ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

එසේම විදුලිය කප්පාදුව නිසා විදුලි උත්පාදක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් මහා පරිමාණ මධ්‍ය පරිමාණ සුළු පරිමාණ ඇඟලුම් කම්හල්වලට ඒ සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇති හෙයින් ඒ තත්වය එම ආයතනවල ආදායමට අහිතකර ලෙස බලපා ඇති බව දැනගන්නට ඇත.

මේ අතර ඇඟලුම් නිෂ්පාදන ආයතන වලට විදේශයන්ගෙන් ලැබෙන ඇණවුම් රටේ පවතින අර්බුදය හේතුවෙන් වෙනත් රටවලට හැරී යෑමේ අවදානමක්ද මතුව ඇතැයි පෙන්වා දෙන ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ඒ තත්වය මඟ හරවා ගැනීම සඳහා ඇණවුම් කරුවන් සමග සාකච්ඡා පවත්වමින් විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇතැයිද ප්‍රකාශ කළේය.

-Lankadeepa

අරක්කු බෝතල් 05කට : පෙට්‍රල් බෝතල් 05ක් !

අරක්කු බෝතල් පහක් ඉන්ධන ලීටර් පහක් සමග හුවමාරු කරගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් රක්වානින් වාර්තා විය.

කුඩා මැණික් ව්‍යාපාරියෙකු වන මොහු සිය මොටර් රථයෙන් රක්වාන නගරයට පැමිණ තිබිණි. පසුව ඔහුගේ රථයට ඉන්ධන ලීටර් පහක් සොයා ගැනීමට උත්සහ කරමින් සිටියදී තරුණයන් කිහිප දෙනෙකු මුණ ගැසී ඇත. අදාළ ව්‍යාපාරිකයා එම පිරිස වෙත පවසා ඇත්තේ වැඩි මිලකට හෝ ඉන්ධන ලබා දෙන ලෙසයි.

කෙසේ හෝ අවසානයේ රෑ බෝ වී තිබූ නිසා ව්‍යාපාරිකයා මත්පැන් අලෙවි සලකට ගොස් මත් පැන් බෝතල් 5ක් මිලදී ගෙන තරුණයන් වෙත ලබා දෙමින් කියා ඇත්තේ පෙට්‍රල් ලීටර පහක් මේ වෙනුවට ලබා දෙන ලෙසයි.

එහිදී තරුණයන් ඉදිරිපත්ව ව්‍යාපාරිකයා දුන් අභියෝගය භාරගෙන හොර පාරෙන් ඉන්ධන අලෙවි කරන අයකු මුණගැසී පෙට්‍රල් ලීටර් පහක් ලබා දී ඇති බව ගම්වාසීහු පවසති.

– Aruna

කන්දකාඩුවට මානව හිමිකම් කොමිසම යයි

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථා‍නයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එහි සභාපතිනි විශ්‍රාමික ශ්‍රේඨාධිකරණ විනිසුරු රොහිණි මාරසිංහ සඳහන් කළේ, සිද්ධිය පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා පුනරුත්තාපන මධ්‍යස්ථානය වෙත මානව හිමිකම් කොමිසමේ නියොජිතයින් පිරිසක් ගිය බවයි.

අදාල කණ්ඩායම ලබා දෙන වාර්තාව අනුව සිදුවිම සම්බණයෙන් පූර්ණ ස්වාධීන විමර්ශනයක් පවත්වන බව මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය සඳහන් කළාය.

=කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නේවාසිකයකු පහර දීම හේතුවෙන් මියයාමේ සිද්ධියක් මුල්කරගෙන ඉකුත් (27) දින එහි නොසන්සුන්තාවක් හටගත්තේය.

ඊළඟ ජන්දය උඩින් දිනනවා : බැසිල් කැට තියයි !

මීළඟ පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත හැකි බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇති බව වාර්තා වෙයි .

ජනතා විරෝධය හමුවේ මුදල් අමාත්‍ය ධූරයෙන් මෙන්ම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ බැසිල් රාජපක්ෂ මේ වන විට පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වල නිරත අතර එහිදී මේ බව පවසා ඇත .

දිස්ත්‍රික් මට්ටමින් එම පක්ෂයේ සංවිධායකයන් පක්ෂ මූලස්ථානයට කැඳවා සංවිධාන කරමින් සිටින බවත් වාර්තා වෙයි .

මීළඟ පළාත් පාලන මැතිවරණය එළඹෙන පෙබරවාරි මාසයට කලින් පැවැත්විය යුතුව ඇති බවත් ඒ සඳහා සූදානමින් කටයුතු කරන ලෙසත් බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් උපදෙස් නිකුත්කර ඇති බවත් වාර්තා වෙයි .

භීතිය ඉවතට : දිගටම මහ බැංකු අධිපති නන්දලාල් !

ආචාර්ය නන්දලාල් වීරසිංහ 2022 ජූලි 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 06ක් සඳහා මහ බැංකු අධිපති ධුරයට පත් කර ඇති බව වාර්තා වෙයි .

අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (30) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී නන්දලාල් වීරසිංහ වෙත භාර දෙනු ලැබිණ.

කෙසේ වුවත් පසුගිය සමයේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ තමන්ව ධූරයෙන් ඉවත් කරනු ඇති බවට භීතිකාවකින් පෙළුණු බවක් නිරීක්ෂණය විය.

රාජපක්ෂවරුන් ඩොලර් මිලියන 3750 කට NSB උකස් කරලා !

අවස්ථා කීපයකදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) මගින් ඩොලර් මිලියන 3,750ක විදේශ ණය ලබා ගෙන ඇති බව කෝප් කමිටු වාර්තාවකින් අනාවරණය වේ.

මහාචාර්ය චරිත හේරත්ගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව මගින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී මෙම කරුණු හෙළිවී ඇති අතර 2022 ජූනි 10 වෙනිදා එම වාර්තාව නිකුත් කර තිබේ. එයින් හෙළිවී තිබෙන්නේ 2013 අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 03ක ණය ලබා ගෙන ඇති අතර ඒ සඳහා භාණ්ඩාගාර ඇපකරයක් ලැබී ඇති බවය.

ඊට අමතරව 2018 සැප්තැම්බර් 17 වෙනි දින කල් පිරුණු ඇමරිකන් ඩොලර් මිලියන 750ක බැඳුම්කර බැංකුව මගින් නිකුත් කර තිබූ බවද හෙළිවී ඇත. එයින් ඩොලර් මිලියන 100ක ණය ආපසු ගෙවීම සඳහා ජර්මනියේ කොමර්ස් (Commerz Bank) වසර 03කින් ආපසු ගෙවීමට විදේශ ණය ලබා ගෙන ඇති බව කමිටු විමර්ශනවලදී හෙළි වී තිබේ.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ලබා ගෙන තිබෙන ඩොලර් මිලියන 750 ණය මුදලින් ඩොලර් මිිලියන 201ක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ලබාදී ඇත. එම ණය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් බැංකුවට ලබා ගැනීමට නොහැකි වී ඇති අතර අදාළ ණය ප්‍රතිව්‍යූහ ගතකර තිබේ. එය ආපසු අය කර ගැනීම 2023දී ආරම්භ වීමට නියමිතවී ඇති අතර 2031 දක්වා කාලය තුළ ඩොලර් මිලියන 201ට අදාළව බැංකුව විසින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් අපාසු අය කර ගැනීමේ කාලය දීර්ඝ කර තිබේ.

image 3

22 ව්‍යවස්ථා සංශෝධනය ගැසට් වෙලා : එන්න මෙන්න කියවන්න !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගියදා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ මෙම කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ අතර,.අදාළ කෙටුම්පත පාර්ලිමේන්තු අනමැතිය සඳහා ඉදිරියේදි යොමු කිරීමටයි නියමිතව ඇත.

ඒ අනුව ගැසට් කර දින 7 කට පසුව එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය වෙත ඇතුළත් කිරීමට අවස්ථාව හිමිවෙයි.

මීට පෙර 21 වන ව්‍යවස්ථා සංශෝධනය සමගි ජනබලවේගය පක්ෂය විසින් පාර්ලිමේන්තුව වෙත යොමුකර තිබුණත් එහි බොහෝ කරුණු ජනමතවිචාරණයක් සඳහා යොමුකළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබිණ .

22 වැනි සංශෝධන පනත් කෙටුම්පත කියවීම සඳහා පහත දැක්වෙයි .

ලිට්‍රෝ වෙනුවෙන් ගෑස් මෙට්‍රික් ටොන් 100,000 ක ගිවිසුමක් !

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබාගැනීමට අද (30) ගිවිසුම් අත්සන් කරනු ලැබු බව වාර්තා වෙයි .

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනය අනුව , මුළු තොගයේ මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 90 කි. ලෝක බැංකුව ඩොලර් මිලියන 70 ක අරමුදල් සපයා ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 20 Litro සමාගම විසින් ලබා දී ඇත.

මෙම තොගය මාස හතරකට රටට සැපයීමට ප්‍රමාණවත් වනු ඇත.

ගැස් තොගයෙන් 70%ක් ගෘහස්ථ පාරිභෝගිකයන් වෙත ලබා දෙනු ඇත. මෙයින් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර මිලියන 5 ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර මිලියන 1 ක් සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩර මිලියන 1 ක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර ඇත. ඉතිරි 30% වාණිජ භාවිතය සඳහා ලබා දෙනු ඇත.

ඩොලර් මිලියන 20 ක වියදමින් ලිට්‍රෝ සමාගම විසින් ලබා ගන්නා ලද LPG ටොන් 33,000 ක මූලික තොගයක් ජූලි මස මුල් සතිය වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන අතර බෙදා හැරීම වහාම ආරම්භ කෙරෙනු ඇත .

ධම්මිකගේ අමාත්‍යංශ ලේකම් ධූරයටත් මිලිටිරි ලොක්කෙක් !

නව අමාත්‍යවරයකු ලෙස "ආයෝජන ප්‍රවර්ධන" හී දිවුරුම් දෙනුලැබූ ධම්මික පෙරේරා ගේ අමාත්‍යංශ ලේකම් ලෙස විශ්‍රාමික ජනරාල් දයා රත්නායක පත්කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊට අදාළ පත්වීම් ලිපිය අද (ජූනි 30) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ලබා දී ඇති බව ය.

දයා රත්නායක හිටපු හමුදාපතිවරයෙකු මෙන්ම 2021 වර්ෂයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ අයෙකි.

මේ අතර තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ධූරයට ජයන්ත ද සිල්වා  පත් කර තිබේ.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් මෙකී තනතුරු සඳහා අදාළ පත්වීම් ලිපිය භාරදී ඇති බවත් වාර්තා වෙයි .

මන්ත්‍රීවරුන්ට හර්ට් වෙලා : ලිපින දුරකථන අංක ගලවලා !

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලිපින සහ දුරකතන අංක පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් හදිසියේම ඉවත් කර තිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු දේශපාලන කරළියේ විශේෂ අවධානයක් යොමුව ඇත.

වාර්තා වන ආකාරයට මන්ත්‍රීවරුන් සිදුකළ ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශය මේ කටයුත්ත සිදුකර ඇත .

පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශය උපුටා දක්වමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන එම පියවර ගෙන ඇති බවය.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සටහන්වී තිබූ මන්ත්‍රීවරුන්ගේ දුරකතන අංකවලට පසුගිය කාලයේදී විවිධ පුද්ගලයන් විසින් දුරකතන ඇමතුම් ලබාදී ඔවුන් අපහසුතාවයට ලක්වන ආකාරයෙන් කටයුතු කරන ලදැයි කියන සිද්ධීන් ගණනාවක් පිළිබඳවද තොරතුරු ලැබී ඇත .

එසේම මහජන ප්‍රසිද්ධියට පත් කෙරෙන වෙනත් ලියකියවිලිවලද මන්ත්‍රීවරුන්ගේ ලිපින සහ දුරකතන අංක ඇතුළත් කිරීම තාවකාලිකව නතර කර ඇතැයිද මාධ්‍ය වාර්තා වල සඳහන් වෙයි.

 

ලංකා IOC ඉන්ධන බෙදීමට සූදානම් : සියලු බව්සර් කැඳවයි !

ලංකා IOC සමාගමේ ඉන්ධන බෙදාහැරීම වෙනුවෙන් ලියාපදිංචි සියලු බව්සර් රථ සේවයට වාර්තා කරන ලෙස එම සමාගම දැනුම්දී ඇති බව වාර්තා වෙයි .

දැනගන්නට ඇති ආකාරයට හෙට ජූලි (01) සිට දිවයින පුරා පිහිටි සියලු IOC ඉන්ධන හල් හරහා ඉන්ධන බෙදා හැරීමට සූදානම් කර ඇති බැවින් මේ දැනුම්දීම සිදුකර ඇත .

කෙසේ වුවත් සිපෙට්කෝ ඉන්ධන බෙදීම මේ වන විට අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇති අතර ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය තත්ත්වයට පත්වීමක් සම්බන්ධයෙන් ජූලි 22 වන තුරු නිශ්චිත තහවුරුවක් ලබාදීමට නොහැකි බව බලධාරීන් පවසයි .

මේ ලංකා ඉතිහාසයේ අමාරුම සති තුනයි : අග්‍රාමාත්‍ය රනිල් කියයි !

අද ශ්‍රී ලංකාව ගෙවා දමමින් සිටින්නේ තමන් පෙර සඳහන් කළ අසීරුම සති තුනක කාලය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .

එළැඹෙන කාලය ක්‍රමයෙන් හොඳ අතට හැරෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පුවත්පත් කර්තෘවරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ අද ශ්‍රී ලංකාවේ සිදුව ඇති ආර්ථික අර්බුදය 1969 දී පැවති කෝපි ආර්ථිකය කඩා වැටීමට වඩා දරුණු තත්ත්වයක් බවය.

ඉන්ධන අර්බුදය හදිසි තත්ත්වයක් නොවන බව පැවසූ ඔහු මාස ගණනක සිට තෙල් නැව් ගෙන ඒම කළමනාකරණයේ දුර්වලතා නිසා සිදු වූ දෙයක් බවද ඔහු තව දුරටත් පවසා ඇත .

අද (30) මධ්‍යම රාත්‍රී සිට බස් ගාස්තු ඉහළට : අවමය රු.40 යි

අද (30) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 22 %කින් ඉහළ දමා තිබේ.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවේ, නව ගාස්තු සංශෝධනය අනුව අවම බස් ගාස්තුව රු.40 ක් වන බවයි.

මෙම බස් ගාස්තුව වැඩිවීම පෞද්ගලික සහ ලංගම යන දෙඅංශයටම අදාළ වන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

 

ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණයි - සාගල රත්නායක

ලබන මස 11ත් 15 වැනිදාත් අතර නෞකාවක් පැමිණෙන තුරු සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් බව සාගල රත්නායක පවසයි.

නැවත පෙට්‍රල් නැවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ ජුලි මාසයේ 22 වැනි දා බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටී.

අදාළ පෙට්‍රල් නැව ඉන්දියාවේ සිට පැමිණීමට නියමත ය.

එසේ වුවද ලබන මස 22 වැනිදාට පෙර පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීමට උත්සහ කරන බව ද ඔහු පවසා සිටී.

රට තුළ මේ වන විට ඉතිරිව ඇත්තේ පෙට්‍රල් මෙට්රික් ටොන් පන් දහසක් පමණක් බවත්, ලබන මස 6,10,16,19,21,හා 31වැනිදා වන විට මෙට්‍රික් ටොන් 33000 ක ගෑස් තොග මෙරට ලැබීමට නියමිත බව ද සාගල රත්නායක පැවසී ය.

600% කින් විදුලිබිල වැඩි කරනවා වෙනුවට : වෙන්න ඕන දේ PCR කියයි !

වර්තමාන ඉන්ධන අර්බුදය හේතුවෙන් රටේ සියලු ක්ෂේස්ත්‍ර බිඳ වැටීමකට ලක්ව ඇති බවත් මේ වනවිට රට තුළ විදුලිය නිපදවීම සඳහා ප්‍රධාන වශයෙන් ඉන්ධන යොදා ගැනීමට සිදුවීම මත ජනතාවගේ එදිනෙදා කාර්යයන් සිදුකර ගැනීමට අවශ්‍ය ඉන්ධන සැපයීම සීමාවකට ලක් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චාමික රණවක පවසයි.

පවතින ඉන්ධන අර්බුදය නිර්මාණය වීමට හේතු හා ඊට සමගාමීව රටතුළ ඇතිව තිබෙන ගැටළු පිළිබඳව 43 සේනාංක පරිශ්‍රයේ අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පවසා සිටියේය.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාවට තම ජීවනෝපායන් සිදුකර ගැනීමට නොහැකි වීම මත ඔවුන් ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්ව ඇති නිසාවෙන් වැඩි වශයෙන් ඉන්ධන ජනතාවට ලබාදීම ආණ්ඩුව සිදුකලයුතු බවත් ජල විදුලියේ ප්‍රතිලාභ දුගී දුප්පත් ජනතාවට වැඩිවශයෙන් ලබාදී ඉන්ධන ජනතාවගේ එදිනෙදා කාර්යන් සඳහා යොමු කලයුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මන්ත්‍රීවරයා මෙසේද පැවසීය .

පොලිසිය හමදාව දාලා බේරගන්න බැරි ප්‍රශ්නයක් !

"ගොවියට ගොයම් ටික කපාගන්න බෑ. කපාගත්ත වී ටික ගෙදරට ගෙනියන්න විදිහක් නෑ. ඒ ගෙනාපු වී ටික අදාළ වී මෝල්වල කොටා ගන්න විදිහක් නැහැ. ඒ කොටා ගත්ත හාල් ටික කඩේට ගෙනියන්න විදිහක් නැහැ. එළවලු, පලතුරු ටික ප්‍රවාහනය කරගන්න විදිහක් නැහැ. මිනිස්සුන්ට කන්න නැහැ. බඩු අහස උසට නැගලා තියෙනවා. සෑම භාණ්ඩයක්ම සියයට තුන්සීයකින් වැඩිවෙලා තියෙනවා. ඇතැම් භාණ්ඩ. සියයට පන්සීයකින්, දාහකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. මුළු රටම බිඳ වැටිලා මේ වෙනකොට ගුවන් සේවා ඇතුළු සෑම ක්ෂේස්ත්‍රයකටම මේ ඉන්ධන හිඟය ඉතාම භයානක විදිහට බලපාලා තියෙනවා. මිනිස්සුන්ගේ ආදායම් නැති වෙලා තියෙනවා. මිනිස්සුන්ව පාරට ඇද දාලා තියෙන්නේ මේ ආණ්ඩුව. ඒක නිසා උද්ඝෝෂණ කරන්න එපා. මිනිස්සු ගෙවල්වල තියන්න ඕනේ කියලා පොලිසියයි, හමුදාවයි දැම්ම පමණින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

අර්බුදයට වහකිවයුතු පාර්ශ්ව ගෙදර යන්නම ඕන !

මේ අර්බුදයට, වගකිවයුතු පාර්ශවයන් දැන් ගෙදර යා යුතුයි. විශේෂයෙන්ම මේ අර්බුදයේ නිර්මාතෘවරු වන, ජනාධිපති රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරු ගෙදර යා යුතුයි. මේවට විසඳුම් නැතුව නෙවෙයි. හැබැයි මේ රාජපක්ෂලා මහ පුටුවල ඉන්නකන් රාජපක්ෂලා විසින් පාලන තන්ත්‍රයේ ප්‍රධාන තීරණ ගන්නකන් රාජපක්ෂලාගේ හෙන්චයියන් විසින් මේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය ඇතුළු මේ ආයතන මෙහෙයවනකන් සහ රාජපක්ෂලා ගිහිල්ලා, පුටුවල වාඩිවෙලා තෙල් නැව් ගෙන්නන එක පිළිබඳ තීරණ ගන්නකන් මේ රට ගැන විශ්වාසයක්, මේ රටට තෙල් සපයන අයගේවත්, විදේශීය රටවල්වලවත්, අපේ රටේ ඉඳලා විදේශ රටවල්වලට ගිහිල්ලා ඉන්න තිස් ලක්ෂයක් අපේ විදේශ ශ්‍රමිකයන්ගේවත් හිත් වල කිසිම විශ්වාසයක් ඇතිවෙන්නේ නෑ."

IMF සහය ලැබෙයිද විශ්වාස නෑ !

එමෙන්ම එළෙඹෙන මස 25 වනදා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන දාහක, ස්වෛරී බැඳුම්කරයක් ගෙවීමට ඇති බවත් මේ වනවිටත් ඩොලර් මිලියන දෙසිය පනහක් අයිති සමාගමක් ලංකාවට එරහිව නඩු දමා ඇති බවත් ඇති බවත් පවසන චම්පික රණවක මන්ත්‍රීවරයා කියා සිටින්නේ එම නඩුවේ බලපෑම මත ලංකාවට IMF සහය ලැබීම පිළිබඳවද විශ්වාසයක් නොමැති බවයි.

එමෙන්ම මෙම ඉන්ධන අර්බුදයක් පවතින මොහොතක පොදු ප්‍රවාහනයේ වටිනාකම හා ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු නවතා දැමු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.

මේ ජනාධිපති ගැන විශ්වාසයක් ලෝකයටම නෑ !

"ඉතාම සක්‍රීය වැඩපිළිවෙලක් ආණ්ඩුවට අවශ්‍යයි. විශ්වාසයනිය වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒක ලබාදීමේ හැකියාවක් නැහැ. මොකද බරපතල දේශපාලන අර්බුදයක් තිබෙන නිසා. ඒ දේශපාලන අර්බුදය තමයි මේ ජනාධිපති ගැන කිසිඳු විශ්වාසයක් ලෝකයේ නොමැතිවීම. මොහු ඉතාමත්ම මුග්ධ විදියට මේ රටට අවුරුදු හැත්තෑවකට ආසන්න කාලයක් උදව් කරපු ජපානය තරහ කරගත්තා. ජපානෙන් දශම එකේ පොලියට ගත්ත ණය වෙනුවට විදේශීය සමාගම් වලින් සීයට විසිහතරේ පොළියට අරගන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලවල් දියත් කළා. අර කඩුවෙල සිට කොළඹට එන සැහැල්ලු දුම්රිය මාර්ගය වෙනුවට හිතවත් සමාගමකට ඔවුන් ලබා දෙන්න ගියා අතුරුගිරියේ සිට දෙමටගොඩට අධිවේගී මාර්ගයක් හදන්න. සීයට විසි හතරේ පොලියට. මේවා සාහසික අපරාධ. මේ සාහසික අපරාධයට දායක වෙච්ච නිලධාරීන්, ඒ වගේම දේශපාලකයින් විශේෂයෙන්ම ජනාධිපති මෙහි වගකීම භාරගත යුතුයි. අද ඒ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති හතර තිබුණා නම්, ඒ වගේම මරදානේ සිට හෝමාගමට තිබිච්ච ඒ කැළණිවැලි දුම්රිය ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල තිබුණා නම්, අපි හදපු ඒ සීග්‍රගාමී බස් ප්‍රවාහන සේවය, බස් රැපිඩ් ට්‍රාන්සිට් ප්‍රොජෙක්ට් එක තිබුණා නම් අද මේ රට මේ අර්බුදයට ලක් වෙන්නේ නැහැ. මේවා ඔක්කොම එක පෑන් පාරෙන් මේ ජනාධිපති නැවැත්තුවා."

තෙල් හා ගෑස් ගෙන්වීමේ කටයුතු වලට අත දැඩිම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මැදිහත් වීම නතර කළ යුතුයි !

"විශේෂයෙන්ම තෙල් හා ගෑස් ගෙන්වීමේ කටයුතු වලට අත දැඩිම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මැදිහත් වීම නතර කළ යුතුයි. ඒ වගේම විවිධ තැන්වලින් විවිධ ආකාරයට අතනින් මෙතනින් තෙල් සම්පාදනය කර ගැනීමේ කටයුතු නවත්තලා ලංකාව තුළ විධිමත්ව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි වෙලා ඉන්න සමාගම් හරහා ඒ කටයුත්ත කළ යුතුයි. මිත්‍ර රාජ්‍යන් එක්ක විවෘත ක්‍රියාවලියක ඒ කටයුත්ත කළ යුතුයි. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඒකට ඇඟිලි ගැසිය යුතු නැහැ.

මේ පහුගිය දවස්වල ලංකාවට බොරතෙල් ගේන්න මැදිහත් වෙච්ච සමාගමක් මීට පෙර රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක්ට ගුවනට චන්ද්‍රිකා යවන්න උදව් කරපු සමාගමක්මයි. මේ දෙකම එකයි. ඒක නිසා අපි මේ දෙස බලාගෙන ඉන්නවා.

ජනාධිපති වහාම ඉල්ලා අස්වෙන්න ඕන !

ජනතාව පුපුරන තැනට ගෙනිහිල්ලා රට ලේ ගංගාවක් නොකොට ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි ඉල්ලා අස් වුණාට පස්සේ එතනට පත් වෙන්නේ කවුද කියන එක පිළිබඳව ව්‍යවස්ථාවේ කියලා තියෙනවා. විසිහතර පැයක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවලා, රහසිගත ඡන්දයෙන් රටේ ජනාධිපතිවරයෙක් පත්කරගත යුතුයි. ඒ වගේම අනිවාර්යයෙන්ම සර්ව පාක්ෂික පාලනයක් හදලා, නිශ්චිත වැඩපිළිවෙලක් හදලා, ස්වාධීන මැතිවරණ කොමිසමක් හා මැතිවරණ ක්‍රියාවලියක් ස්ථාපිත කරලා, දින වකවානු නියම කරලා මැතිවරණයකට ගමන් කිරීමේ අපිට නම් වරදක් පේන්නේ නැහැ.

කොල්ල කන ලද ධනය අත් හැරලා මේ බලය අත්හැරලා රාජපක්ෂවරු යා යුතුයි !

ඒ නිසා කොල්ල කන ලද ධනය අත් හැරලා මේ බලය අත්හැරලා රාජපක්ෂවරු යා යුතුයි. යන්නැති බව පැහැදිලියි. ඔවුන් යැවිය යුතුයි. ඒ සඳහා වෙන ජනතා ව්‍යාපාරයක් දැන් අවිහිංසාවාදීව, ප්‍රජාතන්ත්‍රවාදිව ආරම්භ විය යුතුයි. පාර්ලිමේන්තුව තුල වහාම සර්ව පාක්ෂික ආණ්ඩුවක් විධිමත්ව සකස් කරලා ඉදිරියට යාමේ වගකීම මේ අවස්ථාවේ සියලු දෙනාටම තියෙනවා. ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා මුල්වෙලා කටයුතු කළ යුතුයි. ඔහු ඒ සඳහා මුල්වෙලා කටයුතු කරන්නේ නැත්නම් ඒ සඳහා කටයුතු කළ හැකි අග්‍රාමාත්‍යවරයෙක් පත්කරගෙන ඒ කටයුත්ත කරන්නට ඉදිරි කාලයේදී අපි ක්‍රියා කරන බව ප්‍රකාශ කරනවා."

විදුලි බිල වැඩි කිරීම ගැන PCR මතය !

සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින්, විදුලි බිල වැඩි වෙන්න දැන් සංශෝධන ඇවිල්ලා තියෙනවා. මහජන උපයෝගීතා කොමිසම අවසර දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කොහොමද ඔබතුමාගේ මතය? යනුවෙන් යොමුකරන ලද පැනයට චම්පික රණවක මන්ත්‍රීවරයා පිළිතුරු ලබාදෙනු ලැබිණි.

"නිත්‍යානුකුලව ගත්තොත් විදුලි බිල වැඩි කරන්න පෙර මහජන උපයෝගීතා කොමිසම සති තුනක් මහජන අදහස් ඒ සම්බන්ධයෙන් විමසිය යුතුයි. දැනට ප්‍රකාශයට පත්වෙලා තිබෙන යෝජනාවට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ආසන්නයෙන් සීයට අසූ පහක පමණ විදුලි ගාස්තු වැඩිවීමක් සාමාන්‍යයක් හැටියට යෝජනා කරලා තියෙනවා. ඒ කියන්නේ දැනට තියෙන රුපියල් බිලියන දෙසිය හැටක පමණ ආදායම රුපියල් බිලියන පන්සිය දොළහක් දක්වා වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා.

ඇත්තටම ඒක ආසන්නයෙන් සීයට සීයකම වැඩිවීමක්. මේකේ තියෙන අසාධාරණය මේකයි. ඉතාම අඩුවෙන් විදුලි පරිභෝජනය කරන අය ඉන්නවා එකොළොස් ලක්ෂයක්. ඒගොල්ලන්ට සියයට හයසීයකින් වැඩි කිරීම වැරදියි. මොකද ජල විදුලිය කියන එක හැමෝටම හම්බවෙන දෙයක්. ඒ හයිය මේ ජල විදුලියේ හයිය අපේ දුගී දුප්පත් ජනතාවට දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ජනතාව ගැන හිතලා ඒ කටයුත්ත මහජන උපයෝගීතා කොමිසම කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා."

ඩොලර් නැතුව සමාගම් මොකටද ?

එමෙන්ම IOC මෙන් නව සමාගමක් ඉන්ධන ලබාදීමට පැමිණීම හා එම ගින් කුමක් සිදුවේවිද? යන්න මාධ්‍යවේදීන් විසින් චම්පික රණවක මන්ත්‍රීවරයා ගෙන් විමසා සිටියේය.

"ඔය වගේ විසඳුම් ක්‍රියාත්මක කරන්න පුලුවන්ද? ඒක තමයි අද තියෙන ප්‍රශ්නේ. දැන් දෙදාස් දෙකේදී අයි ඕ සී එක ගෙනාවා. අයිඕසී එක ගෙනාවම ඒ වෙලාවේ ලංකාවට ඩොලර් ඕන තරම් තිබුණා. දැන් අද මේ එන විදේශ සමාගම් එන්නේ ඩොලර් වලින් තෙල් අරගෙන. එතකොට මෙහෙ හම්බුකරන්නේ රුපියල්. එතකොට ඒගොල්ලන්ට ඒ රුපියල් ඩොලර් බවට පරිවර්තනය කරගන්න වෙනවා. එතකොට ඩොලර් ලංකාව තුළ නෑ. ඒ තත්වය තුළ මම හිතන්නෑ කිසිම සමාගමක් දේශපාලන හේතුවක් මත මිසක් මේ ආර්ථික කාරණයක් මත, මුල්‍යමය කාරණයක් මත ලංකාවට එයි කියලා."

ඉන්ධන අර්බුදයෙන් : දුම්රියට බරපතළයි !

දුම්රිය ගමන්වාර රැසක් ඊයේ (28) පස්වරුවේ සිට අදත් (29) අවලංගු කිරීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වෙයි.

අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමෙන් පෞද්ගලික අංශයේ සේවයට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවට පත්වූ අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මඩකළපුව සහ කන්කසන්තුරේ ආදි ප්‍රදේශ රැසකට ධාවනය කරන දුරගමන් සේවා දුම්රිය රැසක් ද අවලංගු කිරීමෙන් කලින් ප්‍රවේශපත් වෙන්කරගත් මගීන් ඇතුළු මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටි බවයි .

මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් බස් රථ ධාවනය අඩුවීමත්, පෞද්ගලික වාහනවලට ඉන්ධන නිකුත් නොකිරීමත් හේතුවෙන් දුම්රියේ ගමන් කරන මගීන් සංඛ්‍යාව ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.

එවැනි පසුබිමක ධාවනය වීමට නියමිත දුම්රියද අවලංගුවීම නිසා ධාවනය වූ දුම්රියවල මගීන්ට ගමන් කිරීමට සිදුවූයේ දුෂ්කරතා මධ්‍යයේ බවත් වාර්තාකරුවන් පවසයි .

ඇතැම් මගීන් දුම්රිය පාපුවරුවේ මෙන්ම වහලය මත ද නැගී ඉතා අවදානම් අයුරින් ගමන් කළ බවත් ඔවුන් පවසයි .

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ඊයේ රාත්‍රී 9.45 ට පොල්ගහවෙළ දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය හදිසියේ අවලංගු කිරීමෙන් අපහසුතාවට පත් ජනතාව කොටුව දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයට විරෝධය දැක්වූ බවත් වාර්තා වෙයි .

මේ අතර දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න පවසන්නේ දුම්රිය සේවකයන්ට සේවා ස්ථානයට පැමිණීමට ඉන්ධන නොමැතිවීමෙන් ඇතිවී තිබෙන සේවක හිඟය නිසා ඉදිරි දිනවලදී තවත් දුම්රිය අවලංගු වියහැකි බවයි .

දුම්රිය රැසක් අද සහ ඊයේ (28 සහ 29) අවලංගු කිරීමට සිදුවූ බව පැවසූ ඔහු ඉන්ධන හිඟය රටම මුහුණදී සිටින ගැටලුවක් වීම නිසා ඉරිදි දිනවලදී තත්වය බරපතල වියහැකි බවත් සඳහන් කර ඇත .

Page 236 of 388