V2025

පුවත්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15% ක පොලියක් දෙනවා කියන අය සල්ලි හොයාගන්න හැටිත් කි බව කියන පාර්ශව ඒ සඳහා මුදල් සපයා ගන්නා ආකාරය ද ප්‍රසිද්ධියේ පැවසිය යුතුයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ජනාධිපති ධූරයට පත්වූ දිනයේ සිට 2024 පෙබරවාරි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 1909.7 ක් විදේශ ණය හා පොලිය වශයෙන් ගෙවා ඇති බව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය.

ශ්‍රී ලංකා රජය 2022 ජූලි 21 දින සිට 2024 පෙබරවාරි දක්වා බහු පාර්ශවීය ණය සහ පොලිය වශයෙන් ඩොලර් මිලියන 1338.8 ක් ගෙවා ඇති අතර 2024 පෙබරවාරි දක්වා ගෙවීමට නියමිත ණය වාරික සහ පොලියේ කිසිදු හිඟ මුදලක් නැති බව ද ඔහු සඳහන් කළේය.

ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන්මේ බව සඳහන් කර සිටියේ අද (05) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජිත කීර්ති තෙන්නකෝන් මෙසේද පැවසීය.

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට අනුව ආසියානු සංවර්ධන බැංකුවට ඇ.ඩො.මිලියන 760.1ක් සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවට ඇ.ඩො.මිලියන 7.0 ක්ද ගෙවා තිබෙනවා.

තවද යුරෝපීයානු ආයෝජන බැංකුවට ඇ.ඩො.මිලියන 22.3ක් සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදලට ඇ.ඩො.මිලියන 17.9ක්ද, අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ EFF 23-26 වැඩසටහනට ඇ.ඩො.මිලියන 9.8ක් ද වශයෙන් ගෙවා තිබෙනවා.

එසේම නෝර්ඩියානු සංවර්ධන අරමුදලට ඇ.ඩො.මිලියන 1.7ක් ගෙවා ඇති අතර අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදලට ඇ.ඩො.මිලියන 29.9ක් සහ ලෝක බැංකුවට ඇ.ඩො.මිලියන 489.9ක් ගෙවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඇ.ඩො.මිලියන 1,338.8ක් ණය සහ පොලිය වශයෙන් රජය විසින් ගෙවා අවසන් කර ඇති බව කිවයුතුයි.

රජයේ මෙම ණය ගෙවීමේ ප්‍රශස්ත වාර්තාව හේතුවෙන් ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව ප්‍රමුඛ ආයතන රජයට අඛණ්ඩව ණය සහ වෙනත් සහන ලබා දී ඇති බව ද සඳහන් කළයුතුයි.

මෙම කාලය තුළ ද්වි පාර්ශවීය ණය හා පොලිය වශයෙන් ඩොලර් මිලියන 571.0 ක් ද ගෙවා ඇති අතර මේ වන විට අදාල රාජ්‍යයන් සහ ආයතන සමඟ ණය සහ පොලිය ගෙවීම සම්බන්ධයෙන් එකඟතාවයන් ඇති කර ගැනීමට සාකච්ඡා කරමින් තිබෙනවා.

ඊට අමතරව පැරිස් සමාජයට අයත් රාජ්‍යයන් ද ඇතුළුව ණය සහ පොලිය ගෙවීමට අදාල මුලික එකඟතාවයන් ගොඩ නඟා ගෙන ඇති අතර 2024 පෙබරවාරි මස අවසානය වන විට ගෙවිය යුතු හිඟ පොලිය ඩොලර් මිලියන 450.7 ක් වනවා.

පසුගිය සමයේ අතරමඟ නැවතී තිබූ ව්‍යාපෘති රැසක් නැවත ඇරඹීමට, ජපානය ඇතුළු රාජ්‍යයන් ගණනාවක් මුලික එකඟතාව ලබාදී ඇති බවද සඳහන් කළයුතුයි. එසේම කැනඩාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව, කුවේටය, පාකිස්ථානය, රැසියාව, ස්පාඤ්ඤය, ඇමරිකාව යන රාජ්‍යයයන් මෙන්ම චීන සංවර්ධන බැංකුව, චීන-හංගේරියානු, ඉන්දීය හා ඇමරිකානු එක්සිම් බැංකු ඇතුළු තවත් මුල්‍ය ආයතන 25 කට ආසන්න ප්‍රමාණයක් සමඟ ලංකා රජය ද්වි පාර්ශවීය ණය ගනුදෙනු සිදු කර තිබෙනවා.

මෙම ණය සහ පොලී ගෙවීම සිදු කර ඇත්තේ ඇමරිකානු ඩොලර්, යූරෝ, ජපන් යෙන්, කැනේඩියන් ඩොලර් යන මුල්‍ය ඒකකයන්ගෙන් වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව සිය ඩොලර් සංචිතය වැඩි කර ගෙන ඇත්තේ විදේශීය මුදල් ඒකක වලින් දේශීය වශයෙන් මහජන බැංකුව, ලංකා බැංකුව, හැටන් නැෂනල් බැංකුවට ගෙවිය යුතු දේශීය ණය හා පොළිය ද ගෙවීමෙන් පසුවයි.

තවද, මෙම බහු පාර්ශවීය, ද්විපාර්ශවීය සහ දේශීය ඩෝලර් ණය ද ගෙවීමෙන් අනතුරුව ද මේ වන විට මෙරට මුදල් සංචිතය ඩොලර් බිලියන 4.9 ( ඩොලර් මිලියන 4950) ඉක්මවා වර්ධනය වී තිබෙනවා. ඉහළ පොලී අනුපාත යටතේ රජය ලබා ගෙන ඇති ව්‍යාපාරික ණය සහ පොලිය ඩොලර් මිලියන 4,439.2 ක් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රජය කටයුතු කරමින් සිටින අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන්වන තුරු එම මුදල් ගෙවීමක් සාමාන්‍යයෙන් සිදු නොවන බවද කිවයුතුයි.

මෙහිදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ලබා දුන් විශේෂ පොලී අනුපාතිකය පිළිබඳව මේ වන විට සිදුවන කථා බහ පිළිබඳ අදහසක් දැක්විය යුතුයි.

2015 අයවැය යෝජනාවක් ලෙස ආරම්භ වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක් ලබා දීම යටතේ, එනම් වාර්ෂිකව 15%ක පොලී අනුපාතිකයක් ලබා දුන්නා. ඒ වන විට බැංකුවල පැවති අඩු පොලී අනුපාතිකයේ සිට 15% වූ ඉහළ පොලී අනුපාතිකය දක්වා වන පරතරය පියවීමට මුදල් ලබා දුන්නේ භාණ්ඩාගාරයයි. 2015 දී වාණිජ බැංකු හරහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන විට රුපියල් ලක්ෂ 10ක් දක්වා මුදල් ප්‍රමාණයකට මෙම පොලී අනුපාතිකය ලබා දුන් අතර 2018 අයවැය මඟින් මෙය ලක්ෂ 15ක් දක්වා ඉහළ නංවනු ලැබුවා. ඒ අනුව පැවති ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ලක්ෂ 12 ටම මෙම පොලි අනුපාතිකය හිමි වුණා.

2022 වන විට මෙම අතිරේක පොළිය ගෙවීම සඳහා භාණ්ඩාගාරය විසින් එක් කාර්තුවකට රුපියල් බිලියන 20ක් ලබා දී තිබෙනවා. ඒ අනුව මේ කාර්යය සඳහා වසරකට රුපියල් මිලියන 80,000ක මුදලක් භාණ්ඩාගාරය දැරිය යුතු වුණා. එහෙත් රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ 2022 ඔක්තෝබර් 01 වන සිට මෙම ක්‍රියාවලිය නවතා දැමීම සිදු වුණා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 50%කට වැඩි පිරිසක් මාසිකව ‍ඔවුන්ගේ පොලි මුදල ලබා ගන්නවා. අද පවතින මූල්‍ය තත්ත්වය අනුව මේ වෙනුවෙන් වසරකට මිලියන 80,000ක අතිරේක මුදලක් දැරීමට රජයට නොහැකි බව ඉතා පැහැදිළියි. 2022 ඔක්තෝබර් මාසය දක්වා ක්‍රියාත්මක වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිය ලබා දීම සඳහා වන අතිරේක මුදල් වෙනුවෙන් මේ වන විට බැංකු 17කට ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් බිලියන 108ක් වෙනවා.

රුපියල් මිලියන 80000 ක් වන වසරකට අවශ්‍ය අතිරේක මුදල සොයා ගැනීමට නම් අද තිබෙන වැට් අගය 1%කින් වැඩි කළ යුතුයි.

මේ පසුබිම තුළ ඇතැම් පාර්ශ්ව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලිය අඛණ්ඩව ලබා දීමේ හැකියාවක් පවතින බව සඳහන් කරනවා නම් ඒ සඳහා මුදල් සපයා ගන්නා ආකාරය ද ප්‍රසිද්ධයේ පැවසිය යුතුයි.

මහ බැංකුවේ ප්‍රතිපත්තිය වී ඇත්තේ පොලී අනුපාත පහත හෙලා තරගකාරී ක්‍රමයකට ලාභ ඉපැයීම සඳහා ආයෝජන අවස්ථා ලබා දීමයි. ආකර්ෂණීය මැතිවරණ පොරොන්දු ලබා දීමෙන් බැංකු පොලී අනුපාතික 30% ආසන්නයට යාමෙන් ජනතාවට ණය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගැනීමට පවා නොහැකි වූ අයුරුත්, රට බංකොලොත්භාවයට පත් වූ අයුරුත්, අප අත් විඳ තිබෙනවා. මේ අවස්ථාවේ වැදගත් වන්නේ එම තත්ත්වය නැවත ඇති නොවන ලෙස කටයුතු කිරීම බව අවධාරණය කළ යුතුයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය
2024-04-05

ශ්‍රීලනිප මූලස්ථානයේ ලිපිගොනු අතුරුදහන්වීමක්

ලිපිගොනු කිහිපයක් අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන හේතුවෙන් කිසිදු පාර්ශවයකට කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙයි.

මුලික විමර්ශන අවසන් වන තෙක් නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තහනම් වන බව පොලිසිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ තිබූ වැඳගත් ලිපිගොනු කීහිපයක් අතුරුදහන්ව ඇති බවට එම පක්‍ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල  ඊයේ (05) මරදාන පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මරදාන පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් අද (06) පස්වරුව තෙක් නිදහස් පක්‍ෂ මූලස්ථානයට ඇතුළුවීම වළක්වා ඇති බව වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල  පවසයි.

අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි අංග සහ ක්‍රීඩා තිබුණොත් නීතිමය ක්‍රියාමාර්ග

එළැඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කර තිබේ නම් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක  සඳහන් කරයි.

අවුරුදු උත්සව පැවැත්වීමට අදාල උපදේශන මාලාවක් මේ වන විට සියලුම දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අවුරුදු උත්සවවල පවත්වන සදාචාර විරෝධී උත්සව අංග ඉවත් කිරීම හා නිර්මාණාත්මක අංග එකතු කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමේ අද (05) මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඒ අනුව අවුරුදු උත්සවවලට ඇතුළත් කර ඇති උත්සව අංග සහ ක්‍රීඩා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දී ලියාපදිංචි කළ යුතු බවත්, ඉන්පසු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා පොලිසිය අනුමැතිය ලබා ගත යුතු බවත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් කේ. ඩී.ආර්. නිශාන්ති ජයසිංහ  එහිදී සඳහන් කළාය.

අවුරුදු උත්සවවලදී අසභ්‍ය ලෙස පවත්වනු ලබන ක්‍රීඩා හා උත්සව අංග පිළිබඳව මෙන්ම ආගමික වශයෙන් හානි වන ක්‍රියාකාරකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන අතර ඒ පිළිබඳව පවතින නීති යටතේ ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව  එහිදී ප්‍රකාශ කර සිටියේය.

අධ්‍යාපන අමාත්‍යංශ පිරිවෙන් අධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන යන ඔහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තරුණ ගෝලීය නායකයකු වශයෙන් ලංකාවෙන් තෝරා ගත් ඇමැති

ලෝක ආර්ථික සංසදය (World Economic Forum) විසින් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් තරුණ ගෝලීය නායකයකු (Young Global Leader: YGL) වශයෙන් තෝරාගෙන තිබේ.

මෙසේ අමාත්‍යවරයකු තරුණ ගෝලීය නායකයකු (YGL) වශයෙන් පිළිගැනීමට ලක්වන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයකි.

ඉතිහාසයේ පටන් ආන්තීකරණයට ලක් වූ ජන ප්‍රජාවන්ගේ ජීවන තත්ත්ව වැඩිදියුණු කිරීම, සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම සහ සියලු ශ්‍රී ලාංකික ජනතාවට ආරක්ෂිත සහ දැරිය හැකි පානීය ජල පරිභෝජනය සඳහා වූ ප්‍රවේශය සහතික කිරීම සඳහා ජල සම්පාදන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවලට නායකත්වය ලබා දීම අරමුණු කරගත් මුලපිරීම් කිහිපයකටම ඇමැතිවරයා නායකත්වය ලබා දුන්නේය.

රාජ්‍ය සේවාව සඳහා ඔහු දරන කැපවීම සහ නායකත්වය සඳහා ඔහුගේ නව්‍ය ප්‍රවේශය ජාතික මට්ටමින් ම සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබෙන අතර, ඉහත තෝරා ගැනීම හරහා එය දැන් ගොලීය මට්ටමින් ම පිළිගැනීමට ලක්ව තිබේ.

තරුණ ගෝලීය නායක (YGL) ප්‍රජාව යනු ගෝලීය වශයෙන් අනාගතය හැඩගැස්වීම සඳහා කැපවීමක් දරන සුවිශේෂී නායකයන් 1,000 කට අධික සංඛ්‍යාවකින් යුත් අසමසම, බහු-පාර්ශවික ප්‍රජාවකි.

තරුණ ගෝලීය නායකයකු (YGL) වශයෙන් තේරී පත්වීම, අමාත්‍ය තොණ්ඩමන් ගේ දැක්ම, නායකත්ව ගුණාංග, සහ සමානාත්මතාවය සහ තිරසාරභාවය වෙනුවෙන් ඔහු දරන අප්‍රතිහත ධෛර්‍යය සඳහා වූ කදිම සාක්ෂියක් බව YGL කියා සිටියි.

(චතුරංග මේදිස්)

දමිතා සහ සැමියා 17 දක්වා රිමාන්ඩ්

කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් රවටා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පීනී දමිතා අබේරත්න හා ඇගේ සැමියා මෙම 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (අප්‍රේල් 5) නියෝග කළේ ය.

එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී දින කීපයක් අධිකරණය මගහැර සිටි සැකකාර යුවළ නීතිඥවරයෙකු මගින් අධිකරණය වෙත භාර වීම සඳහා ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාර එම යුවළ අත්අඩංගුවට ගන්නා ලදී.

එසේ අත්අඩංගුවට ගත් සැකකාර යුවළගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, අද පස්වරුවේ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරිණි.

පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව එම දෙපාර්තමේන්තුව මගින් සැකකාර යුවළට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනුකර තිබිණි.

පක්ෂය හැර ගිය සියයට 90ක් යළි පක්ෂයට : එජාප බලය මැයි දිනයේ බලාගන්න !

විවිධ හේතූන් මත එක්සත් ජාතික පක්ෂය හැර ගිය පාක්ෂිකයින්ගෙන් 90%ක් පමණ යළි පක්ෂය සමග එක් වීමට සූදානමින් සිටින බවත් එම පාක්ෂිකයින් ඇතුළු වැඩකරන ජනතාව සමඟ සිය පක්ෂයේ බලය එළැඹෙන මැයි දින රැරැලියේ දී රටටම දැනගන්නට සලස්වන බවත් හිටපු මුදල් අමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක පවසයි .

රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනපති කරවා රට ගොඩනගා ජනතාව සවි බල ගන්වන ඉතිහාසයේ බලවත්ම සහ පුළුල්ම දේශපාලන සන්ධානය සුදුසුම වෙලාවේ දී එළි දක්වන බව ද ඒ මහතා සඳහන් කරයි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ ඊයේ (04) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

පටු දේශපාලන සහ බල අරමුණු වෙනුවෙන් මේ වන විට හතු පිපෙනවා වගේ බිහි වන ජන පදනමක් නොමැති දේශපාලන සන්ධානවලින් රටට-ජනතාවට කිසිදු ඵලක් නැති බවත් , එවැනි දේශපාලන සන්ධාන බිහි වන වේගයට වඩා වැඩි වේගයකින් බිඳ වැටෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය .

එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව සහ බල සම්පන්නව බලයේ සිටි අවස්ථාවේ සෑම අවස්ථාවකදී ම රට සංවර්ධනය වූ අතර පක්ෂය දුර්වල වූ සියලු අවස්ථාවල දී රට බංකොලොත් වූයේ යැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.

ඇපකැප වී වැඩ කරමින් ,රට ගොඩනගා, ජනතාව සවි බල ගන්වන දක්ෂයින්ගෙන් යුතු දේශපාලන සන්ධානය මේ වන විට නිර්මාණය කරමින් සිටින බවත් , රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීමට නොහැකි, දැක්මක් සහ වැඩ පිළිවෙළක් නොමැති පාර්ශව සමඟ සන්ධාන ගොඩනගා තේරුමක් නැති බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

තලතා නිහඬ බව බිඳියි : සජබ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවයි !

සමගි ජනබලවේගය පක්ෂය තුළ සාමූහික සාකච්ඡාවක් තුළින් තීන්දු නොගැනීම නිසා යම් යම් ගැටලු ඇති වී තිබෙන බවත් එම ක්‍රමවේදයේ ගැටළු හේතුවෙන් තමන් මේ දිනවල යම් නිහඬතාවයක සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ පවසයි .

එක්සත් ජාතික පක්ෂයෙන් සමගි ජන බලවේගය දෙකඩ නොවුනානම් හොඳ යයි තමන් අදටත් කල්පනා කරන බව ද ඇය සඳහන් කරයි.

සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ මේ අදහස් දක්වා ඇත්තේ අන්තර් ජාල නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

සජබ - එජාප වෙන්වන මොහොතේ එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වූයේද දැඩි කලකිරීමකින් බවද ඇය එහිදී සඳහන් කර සිටියාය

සමගි ජන බලවේගයේ කළමනාකාර මණ්ඩලය මාස ගණනාවකින් රැස්ව නැති බවද පවසන මන්ත්‍රීවරිය පක්ෂයට විවිධ පිරිස් සම්බන්ධ කර ගනිද්දී එම මණ්ඩල සමඟ සාකච්ඡා කිරීම වඩා සුදුසු බවද සඳහන් කර සිටියි..

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේග එක් විය යුතු යන මතයේ තමන් 2020 වසරේ සිට සිටිය බවත් සජබ මන්ත්‍රීවරුන් 12-14ක පිරිසක් මේ වන විටත් එම මතයේ සිටින බවත් ඇය පවසයි .

ශ්‍රීලනිප සභාපති ධූරය රැකගන්න : සිරිසේනත් අධිකරණයට !

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඇමතිවරු දෙදෙනා සහ මන්ත්‍රීවරයා ඉවත්කිරීමට නිවැරදි හේතු අධිකරණණය හමුවට ගොස් පැහැදිළි කිරීමට සහ පාක්‍ෂිකයන්ට සහ සංවිධායකවරුන්ට සත්‍ය කරුණු අවබෝධ කිරීමට කටයුතු කරන බව හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන අද (4) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවසීය .

හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ නිවසේදී මෙම මාධ්‍ය හමුව පැවැත්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මෙවැනි අභියෝග අලුත් ඒවා නොවන බව සිහිපත් කළ හිටපු ජනාධිපතිවරයා , චන්ද්‍රිකා මැතිණිය, විජය කුමාරතුංග, අනුර බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් කැඩිලා යෑමේ ප්‍රතිඵලයෙන් වසර 17 ක් විපක්‍ෂයේ සිටීමට සිදුවූ බවද සඳහන් කළේය .

පක්‍ෂයේ තීරණයට පටහැනිව ගොස් නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 න් 11 ක් මේ වන විට ආණ්ඩුවට එකතු වී ඇති බව පැවසූ ඔහු සන්ධාන ලාංඡන වන පුටුව සහ බුලත් කොළය ආණ්ඩුවට එකතු වූ මන්ත්‍රීවරු සතුව තිබීම නිසා සන්ධාන පිහිටුවීමට ද නොහැකි වූ බව ද සඳහන් කළේය.

සන්ධාන ලාංඡන ආණ්ඩුවට ගිය අය නොදීමෙන් විනය නීතිවලට පටහැනිව කටයුතු කර ඇති යැයි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවත් කුමන ප්‍රශ්න සහ අභියෝග ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසිදු, දූෂණ සහ වංචාවෙන් තොර පිරිසක් හැටියට පිරිස හැටියට ආණ්ඩුවට සම්බන්ධ නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම මාධ්‍ය හමුවේ දී පැවසීය .

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අධිකරණයට කරුණු දැක්වීමකට අනුව පක්‍ෂ සභාපතිත්වය ලබන 18 වැනිදා දක්වා තහනම් නියෝගයක් පනවා ඇති බව මාධ්‍යවලින් දැනගත් බවත් කෙසේ වෙතත් ඒ පිළිබඳ කිසිඳු ලිඛිත දැනුම්දීමක් මේ දක්වා ලැබී නොමැති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

රජයේ උසස් නිලතල 08 ක පත්වීම් සඳහා අනුමැතිය හිමිවේ !

රජයේ උසස් නිලතල සඳහා පත්කළ 08 දෙනෙකු වෙනුවෙන් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව මෙම අනුමැතිය ලබාදුන් අතර ඒ නව තානාපතිවරුන් සිව්දෙනෙක්, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් සහ ආයතන සභාපතිවරුන් දෙදෙනෙක් පත් කිරීම සඳහා ය.

ඒ අනුව වියට්නාමයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඩබ්.ඒ.යූ.පී. පෙරේරා , පෝලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ටී.පී. ධර්මසේන , තායිලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ඊ.ඒ.එස්.ඩබ්. එදිරිසිංහ සහ මියන්මාරයේ නව ශ්‍රී ලංකා ලෙස පී.ඒ.පී. පොන්නම්පෙරුම පත්කිරීමට අනුමතිය හිමිවී ඇත.

එමෙන්ම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස (ඉංජිනේරු) ආර්.ජී. රූබසිංහ පත් කිරීමට සහ ධීවර අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස කේ.එන්.කේ. සෝමරත්න පත් කිරීමටද අනුමැතිය ලබාදී තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එස්.එම්.ඩී.එල්.කේ ද අල්විස් පත් කිරීමට සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පත් කිරීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී ඇත.

ආර්ථිකය ශක්තිමත් කළ නිසා කාටත් දේශපාලනය කරන්න ඉඩ ලැබිලා !

පසුගිය වසර දෙක තුළ රජය ගත් නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් වී තිබෙන බවත්, අද ඕනෑම අයෙකුට මහමග බැස දේශපාලනය කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ රජය රට තුළ නිර්මාණය කළ එම සහනදායි පසුබිම නිසා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එහෙත් තවමත් රටේ ආර්ථිකය පවතින්නේ ඒදණ්ඩක් මත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ වැඩපිළිවෙළ සමඟ ජයග්‍රහණය තෙක් ඉදිරියට යනවාද, නැත්නම් එම වැඩපිළිවෙළෙන් ඉවත්ව රට නැවත ප්‍රපාතයට ඇද දමනවාද යන්න ජනතාව තීරණය කළ යුතු බවද සඳහන් කළේය.

2022 වසර හා සැසඳීමේදී 2023 වසරේ රජයේ ආදායම 50%කට වඩා ඉහළ නංවා ගැනීමට හැකිවී තිබෙන බවත්, ඒ සමගම ජනතාවට ද ප්‍රතිලාභ රැසක් ලබා දී තිබෙන බවත් සිහිපත් කළ ජනාධිපතිවරයා ශක්තිමත් ආර්ථිකයක් සමඟ විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය (රත්නපුර මැණික් කුළුන) විවෘත කිරීමේ අවස්ථාවට අද (04) පෙරවරුවේ එක් වෙමිනි.

රත්නපුර දෙමුවාවත ප්‍රදේශයේ ඉදිකළ මෙම මැණික් කුලුන අදියර දෙකක් යටතේ ගොඩනැගීමට සැලසුම් සකස් කර තිබේ. එහි පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 3650ක් වැයකර පස් මහල් ගොඩනැගිල්ලක් ඉදි කර ඇත. මෙම කුලුනෙහි දෙවැනි අදියර ලෙස මහල් 14ක් ඉදිකෙරෙන අතර ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 4500කි.

අද විවෘත කළ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය ව්‍යාපාරික ස්ථාන 27කින් සමන්විත වන අතර එයින් දේශීය ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික ස්ථාන 17ක්ද, විදේශීය ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාරික ස්ථාන 10ක්ද ලබාදීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් අරමුදල් භාවිත කරන අතර මෙය අලෙවිකරුවන්ට සහ ගැනුම්කරුවන්ට එකම වහලක් යටට සම්බන්ධ වීමට හැකිවන පරිදි ඉදිකරන ලද ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානයකි. එමෙන්ම මෙම මධ්‍යස්ථානය ආසියාවේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සඳහා ප්‍රමුඛතම විකුණුම් මධ්‍යස්ථාන වන බැංකොක් සහ හොංකොංහි මෙන් ස්වාධීන තත්ත්ව පරීක්ෂණ සේවා, රසායනාගාර සේවා සහ බැංකු සහ අපනයන සේවා ද සපයනු ඇත.

සමරු ඵලකය නිරාවරණය කර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවකද නිරත විය.

මෙහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සිහිවටන තිළිණයක් ද පිළිගැන්විණි.

ජනාධිපතිවරයා විශේෂ ආරාධිත අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කරමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ගැටලු විසඳමින් ක්ෂේත්‍රයේ නිරතවූවන්ට ලබාදිය හැකි සහන පිළිබඳ වාර්තාවක් මෙම අප්‍රේල් මාසය අවසන් වන විට ලබාදෙන ලෙස තමා නිලධාරින්ට උපදෙස් දී ඇති බවත් පැවසීය. එම වැඩපිළිවෙළෙහි වාසිය මැණික් පතල්කරුවන්ටද හිමිවිය යුතු බව තමා දැනුම් දී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද විවෘත වන ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය මගින් මෙරට මැණික් ජාත්‍යන්තරයේ නිසි වටිනාකමක් ලබාගත හැකි තත්ත්වයට පරිවර්තනය කළ හැකි බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය..

මෙම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයේ වැඩකටයතු ආරම්භ කෙරුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීයි. ඒ වගේම මේ මධ්‍යස්ථානය ඉදිකිරීමට කැපවීමෙන් කටයුතු කළ ලොහාන් රත්වත්තේ සහ චාමර සම්පත් යන අමාත්‍යවරුන් ද සිහිපත් කළයුතුයි.

මෙම මධ්‍යස්ථානය රත්නපුරයට පමණක් නොවෙයි, රටේම ප්‍රධාන මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තවදුරටත් දියුණු කිරීම සඳහා රජය අවධානයෙන් කටයුතු කරන අතර ජාතික ආර්ථිකය වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබා ගැනීම එහි අරමුණ වෙනවා. කොවිඩ් වසංගතය සහ ආර්ථික කඩාවැටීම හමුවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාතයත් පසුගිය 2021-2022 කාලසීමාව තුළ ඉතා අසීරුතාවකට මුහුණ දුන්නා. කෙසේ හෝ 2023 වසරේ මෙම කර්මාන්තයේ යම් දියුණුවක් ඇති වුණා. එම දායකත්වය රටේ ආර්ථිකය ගොඩනැගීමට ද ශක්තියක් වූ බව කිවයුතුයි.

ඒ වගේම බදු වැඩි කිරීම සමඟ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු පිළිබඳ පසුගියදා එම ක්ෂේත්‍රයේ නියුතු පිරිසක් පැමිණ මා සමඟ සාකච්ඡා කළා. ඒ අනුව ඒ සඳහා ලබාදිය හැකි සහන පිළිබඳ සාකච්ඡා කර මෙම අප්‍රේල් මාසය අවසන් වන විට වාර්තාවක් ලබා දෙන ලෙස මම නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

එසේම ඉදිරියේදී මෙම ක්ෂේත්‍රයෙන් අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 02ක ආදායමක් උපයා ගැනීම ඉලක්ක කර ගනිමින් අප වැඩ කළයුතුයි. මෙම ක්ෂේත්‍රය දියුණු කරන විට මැණික් පතල්කරුවන්ටත් මෙහි වාසිය හිමිවිය යුතුයි.

අපි වසර දෙකක් ඉතා අසීරුවෙන් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවා. එහිදී බදු වැඩි කිරීම ඇතුළු ඉතා අසීරු තීරණ ගැනීමට සිදු වුණා. නමුත් අද ප්‍රතිඵල දෙස බැලීමේදී විශ්වාසයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් නිර්මාණය වී තිබෙනවා.

2022 ජූලි මාසයේ මෙරට දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය සෘන 7.4යි. 2024 එය ධන 4.5යි. වසර දෙකකින් සිදුව ඇති වෙනස එමඟින් පැහැදිළි වෙනවා. එම වෙනස සිදු කළේ මෙම අසීරුතා දරාගත් ජනතාවයි.

 2022 ජූලි මාසයේ උද්ධමනය 54.6%යි. අද උද්ධමනය .9%යි. උද්ධමනය පාලනය වූ විට රුපියල ශක්තිමත් වෙනවා. එදා බැංකු පොළිය 23.8%යි. දැන් 10.3%යි. ඊළඟ මාස කිහිපයේදී මීටත් වඩා මෙය අඩු කිරීමට හැකිවනු ඇති බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එදා විදේශ විනිමය අනුපාතය ඩොලරයකට රුපියල් 361.8යි. අද රුපියල් 300.4 යි. අප උත්සාහ කරන්නේ එය රුපියල් 280 දක්වා පහතට ගෙන ඒමටයි. එවිට රුපියල තවත් ශක්තිමත් වෙනවා.

2022 හා සංසන්දනය කරන විට 2023 වසරේදී රජයේ ආදායම 50%කට වඩා වැඩි වී තිබෙනවා. ඒ වගේම සමාජ සේවා වෙනුවෙන් කරනු ලබන වියදම තුන් ගුණයකින් ඉහළ දමා තිබෙනවා.

ඒ වගේම අපි දැන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩකටයුතු අවසන් කරගෙන යනවා. දේශීය ණය ගැන අපි සාකච්ඡා කර අවසන්. දැන් අප අපට ණය ලබා දුන් රටවල් සමඟ එකඟත්වයකට පැමිණීමට නියමිතව තිබෙනවා. අපි මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යාමට නම් අදාළ ඉලක්ක අනුව කටයුතු කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව ඇතිකරගෙන තිබෙන එම එකඟතාවන් අනුව අප ඉදිරියට යා යුතුයි.

රජයේ ණය දැනට දළ දේශීය නිෂ්පාදනයෙන් 128%ක් තිබෙනවා. 2032 වන විට අපි එය 95%කට අඩු කරගත යුතුයි. දැනට අපිට අවශ්‍ය මුදල් අදායම්වලට අමතරව දළ දේශීය නිෂ්පාදිතයෙන් 35%ක් ලබා ගැනීමට තිබෙනවා. 2032 වන එය 13%කට අඩු කිරීමට තිබෙනවා. ඒ වගේම විදේශ ණය ලබා ගැනීම අද දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.4%ක් වෙනවා. එය 2025 වසරේ සිට 2.3%ක අතිරික්තයක් බවට පත් කරගත යුතුයි. මෙම ඉලක්ක සමග අප ඉදිරි වැඩකටයුතු කළයුතුයි.

මෙම කටයුතුවලින් ඉවත්වුවහොත් අපිට ණය ලබා දුන් රටවල් අපට දන්වනවා “ඔබ කොන්දේසි කැඩුවා ඒ නිසා ණය නැවත දෙන්න” කියලා. නමුත් අපි මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට ගියහොත් සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.

ඒ වගේම මෙවර අපට මහ කන්නයේ දී හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වුණා. ඒ වගේම මේ සිංහල අලුත් අවුරුද්දේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට අපි කටයුතු කළා. ඒ වගේම අස්වැසුම ප්‍රතිලාභය ඉහළ දැමීම නිසා ජනතාවට සහන ලැබී තිබෙනවා. මේ මාසයේ සහ ලබන මාසයේ තවත් සහල් කිලෝ 20ක් අඩු අදායම්ලාභී ජනතාවට ලබා දීමට කටයුතු කරනවා. එසේම විමධ්‍යගත අයවැය ලබාදීම ආරම්භ කර තිබෙන නිසා ගමේ ආර්ථිකයට නැවත මුදල් ලැබී තිබෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් අද ඉහළ ආදායමක් ලැබෙනවා. ඒ වගේම විදේශ විනිමය අපේ රටට නැවත ලැබීමට පටන් ගෙන තිබෙනවා. මේ අයුරින් අද රටේ ජනතාවගේ ආදායම් තත්ත්වය නැවත ගොඩනැගෙමින් තිබෙනවා.

එදා ත්‍රිවිල් රථයකට කුලී ගමනක් යාමට ඉන්ධන තිබුණේ නැහැ. විදුලිබලය තිබුනේ නැහැ. අද ඕනතරම් ඉන්ධන තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයන් නිසා ත්‍රිවිල් රථ රියදුරන්ගේ ආදයම වැඩි වී තිබෙනවා. අද ත්‍රිවිල් රථවල පෝස්ටර් ගහගෙන දේශපාලනය කරනවා. නමුත් අප පසුගිය වසර දෙක තුළ මෙම පියවර ගත්තේ නැත්නම් ඔවුන්ට මේ සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.අපි මේ ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුයි. මින් ඉවත් වුවහොත් අපි නැවත වැටෙනවා. තවමත් අප සිටින්නේ ඒදණ්ඩ මතයි. ඒ නිසා එයින් වැටෙනවද, නැද්ද කියා අප තීරණය කළ යුතුයි.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ 

2021 වසරේදී ඉදිකිරීම් ආරම්භ කළ ජාත්‍යන්තර මැණික් වෙළඳ මධ්‍යස්ථානය අද ජනතාවට භාරදීම සිදු කරනවා. මැණික් ව්‍යාපාරිකයන්ට අත්‍යවශ්‍යව පැවති පැවති මෙම මධ්‍යස්ථානය ලබාදීම තුළින් රටේ විදේශ විනිමය සීඝ්‍ර ලෙස වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. මැණික් ව්‍යාපාරිකයන්ට තිබෙන විවිධ දුෂ්කරතා පිළිබඳව මෙම දිස්ත්‍රික්කයේ නායකයින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා. ඊට කඩිනමින් විසඳුම් ලබාදීමටත් ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. මෙම මධ්‍යස්ථානය මඟින් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන දෙකක් හෝ ඊට වැඩි ගණනක් ලබාගැනීමට අපේක්ෂා කරනවා.

මැණික් ගලක්වත් නොමැති හොංකොං රාජ්‍යය මැණික් ප්‍රති අපනයනයෙන් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක ආදායමක් ලබනවා. තායිලන්තය වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 06ක ආදායමක් ලබනවා. මැණික් වලින් පිරි රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව එමඟින් ලබන ආදායම ඉතා අඩු මට්ටමක තිබෙන්නේ. තායිලන්තය සහ හොංකොං රාජ්‍යවල තිබෙන නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය කිරීම ඉතාම කාලෝචිතයි. ජනාධිපතිතුමාත් එම ආර්ථික වැඩපිළිවෙළ අනුමත කරන බව මට විශ්වාසයි.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්‍නිආරච්චි 

රත්නපුරයට විශාල අවශ්‍යතාවයක්ව පැවැති ජාත්‍යන්තර මැණික් වෙළඳ මධ්‍යස්ථානය අද විවෘත කිරීම රටේ ආර්ථිකයට සුබවාදී ලකුණක් බවට පත්වෙනවා. පසුගිය කාලයේ මැණික් ව්‍යාපාරිකයින් බාධා රැසකට මුහුණ දී සිටියා. ආර්ථික අර්බුදය නිසා බැංකු පොලි අනුපාතය 30%ක් දක්වා වැඩිවීමත් නිසා විශාල දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමත් සමග ගෙන ගිය ආර්ථික වැඩපිළිවෙළ නිසා අනෙකුත් ජනතාවට මෙන්ම මැණික් ව්‍යාපාරිකයන්ට ද සහන කාලයක් උදා වුණා. අද වන විට ජාත්‍යන්තර මැණික් වෙළඳ මධ්‍යස්ථානයක් රත්නපුරයට ලැබී තිබෙනවා.ඒ වගේම රටේ ආර්ථිකය යහපත් මට්ටමට ගෙන ඒමට ජනාධිපතිවරයාට හැකිව තිබෙනවා. අස්වැසුම වැඩසටහන මඟින් දිළිදු පවුල් ලක්ෂ විස්සක් ආරක්ෂා කිරීම සිදු වෙනවා. උරුමය වැඩසටහන හරහා ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීමටත් ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා. වැටුණු රට ගොඩ ගනිමින් ජනතාව ජීවත් කිරීමේ වගකීම එතුමා නිසි අයුරින් ක්‍රියාත්මක කළා. රටට අවශ්‍ය පළපුරුදු නායකයෙක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසර දෙක තුළ පෙන්වා දුන්නා.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක 

අද විවෘත කරන ජාත්‍යන්තර මැණික් වෙළඳ මධ්‍යස්ථානය රත්නපුරයට පමණක් නොව මුළු රටේම ආර්ථිකය ගොඩනැගීමට මහත් පිටිවහලක් වන බව කියන්න කැමතියි. රත්නපුරේ මැණික් ව්‍යාපාරික ප්‍රජාව විධිමත්ව එක තැනකට ගෙනැවිත් ආදායම් උත්පාදන වේගය ඉහළ නංවා ගැනිමට මෙමගින් හැකියාව තිබෙනවා. මෙම ආයතනය තුළ මැණික් ව්‍යාපාරයට අදාළ සියලු පහසුකම් තිබෙනවා.

අද මාධ්‍යවල පළවන වාර්තා දෙස බැලූ විට ආර්ථිකය ගොඩනැගීම පිළිබඳ විවිධ කතිකාවන් මතු වී තිබෙනවා. 2022 වසරේදී ආර්ථික අර්බුදය හමුවේ රට භාර ගැනීමට පෙරට නොපැමිණි දේශපාලන නායකයින් අද රටේ ආර්ථිකය ගොඩනැගීම ගැන විවාද ඉල්ලීම විහිලුසහගතයි. නිසියාකාරයව නිවාස සංවර්ධන අධිකාරිය දියුණු කරන්න බැරි වුණ උදවිය රටේ ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද කියන ප්‍රශ්න ජනතාව හමුවේ තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් .ඩී.ජේ සෙනෙවිරත්න 

අපේ රට ඉතිහාසයේ සිටම මැණික්වලට ප්‍රසිද්ධියක් උසුලනවා. එම මැණික් වලට නිසි වටිනාකමක් ලබාදීමට නිසි වැඩපිළිවෙලක් තිබුනේ නෑ. අපේ මැණික් ලෝකයට ගෙන යාමට ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ඉදි වී තිබෙන්නේ පළමු වතාවටයි. මෙමගින් අපේ මැණික් ජාත්‍යන්තරයේ නිසි මිලට විකුණා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට හැකියාව ලැබෙනවා.මෙම ජාත්‍යන්තර මධ්‍යස්ථානය ඉදිකිරීමට සැලසුම් කළේ 2012 වසරේ සිටයි. විවිධ බාධක මැද අද වන විට ජාත්‍යන්තර මැණික් වෙළඳ මධ්‍යස්ථානයේ පළමු අදියර ජනතාවට ලබාදීමට හැකි වීම ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම රටම ලැබූ ජයග්‍රහණයක් බව කිවයුතුයි.

ඌව විශ්වවිද්‍යාලයේ කුලපති ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල එල්ලාවල, ගාමිණී වලේබොඩ, සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, ජාතික් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් සිල්වා යන මහත්ම මහත්මීන්, මැණික් ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-04-04

අවුරුදු නිවාඩු කාලයේ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන්න : ජනපතිගෙන් උපදෙස් !

එළැඹෙන සිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක, සෞඛ්‍ය, ප්‍රවාහන, විදුලිබල යන අමාත්‍යාංශ ඇතුළු අදාළ ආයතන ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ සකස් කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.

එසේම එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය තුළ රටේ මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත්, නීතිය හා සාමය ආරක්ෂා කිරීමටත් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ද ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

“දුන්හිඳ ඔඩිසි” හෙට සිට......

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා “දුන්හිඳ ඔඩිසි” නමින් අතිසුඛෝපභෝගී ශීඝ්‍රගාමී දුම්රියක් හෙට (අප්‍රේල් 05) සිට ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනා ගමන එන්.ජේ. ඉඳිපොළ පවසයි.

මෙම දුම්රිය අද සිට දවසක් හැර දවසක් සිකුරාදා, ඉරිදා, අඟහරුවාදා දිනවල පෙරවරු 6:30ට කොළඹ කොටුවෙනුත්, සෙනසුරාදා, සඳුදා හා බදදා දිනවල බදුල්ලෙනුත් පිටත්වේ.

1924 අප්‍රේල් 05 වන දින බ්‍රිතාන්‍යයන් බදුල්ල දක්වා දුම්රියක් ධාවනය කර හෙට දිනට වසර සියයක් පිරීම නිමිත්තෙන් මෙම අතිවිශේෂ දුම්රිය ධාවනය කෙරන අතර, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් පරිදි මෙම දුම්රිය සේවය ක්‍රියාත්මක කෙරේ.

මෙය සිහිපත් කරමින් නව මුද්දරයක් සහිත මුල් දින කවරයක් ද තැපැල් දෙපාර්තමේන්තුව විසින් හෙට දින නිකුත් කෙරෙනු ඇත.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කෙරෙන මෙම දුම්රියේ ගමන් ගන්නා දේශීය හා විදේශීය සංචාරකයින්ට, නැරඹීම හා ඡායාරූප ගැනීම සඳහා දර්ශනීය ස්ථාන 10ක සුළු වේලාවක් නතර කෙරෙනු ඇත.

මෙම දුම්රියේ 1 වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් සඳහා රුපියල් 8000ක් ද, දෙවන පන්තිය සඳහා රුපියල් 6,000ක් ද තුන්වන පන්තිය සඳහා රුපියල් 5,000ක් අය කෙරෙන අතර පිටත්වීම හා පැමිණීම සඳහා අවස්ථා දෙකට ම අදාළ ප්‍රවේශ පත්‍රයක් සඳහා රුපියල් 12,000ක මුදලක් අය කෙරේ.

ඉන්ටර්නෙට් ඔස්සේ මෙහි ආසන වෙන්කර ගැනීමේ පහසුකම් පවතී.

මෙයට අමතරව බණ්ඩාරවෙල, දෙමෝදර අතර නැරඹුම් මැදිරි සහිත”ගැලැක්සෝ” නමින් නව දුම්රියක් ධාවනය කෙරෙන අතර එහි ගමන්වාර දෙකට රුපියල් 6,000ක මුදලක් අය කෙරේ.

මෙම දුම්රිය නැරඹුම් මැදිරි දෙකකින්, ලීවලින් තනන ලද නැරඹුම් මැදිරියකින් හා බෝජනාගාරයකින් සමන්විත වේ.

දමිතා සහ සැමියා CID අත්අඩංගුවට : සජිත් දිනනවා කියමින් ජීප් රථයට !

ජනප්‍රිය සිනමා රංගන ශිල්පිණි දමිතා අබේරත්න හා ඇගේ සැමියා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04 ) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරියේ පෙනී සිටීමෙන් අනතුරුවය.

පුද්ගලයකු විදේශගත කරන බව පවසමින් රුපියල් ලක්ෂ තිහක මුදලක් ලබාගෙන සිදුකළ බව කියන මුදල් වංචාවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට සිදු කර ඇත.

අත්අඩංගුවට ගැනීමට පෙර ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ,

‘මම හැංගුනේ නැහැ. මේ රටේ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙමෙයි මේ දමිතා. දමිතා කියන්නේ 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු ඒ කාලකන්නි ක්‍රමයට එරෙහිව අරගල කරපු ගැහැණියක්. මම අද අධිකරණයට භාර වෙනවා. මමත් අවුරුදු සමරනවා හිරගෙදර’ යනුවෙනි .

කෙසේ වුවත් මීට පෙර අදාළ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ව අත්අඩංගුවට ගැනීම සඳහා උත්සාහ කළ ද දින කිහිපයක් තිස්සේම එම දෙදෙනා නිවසින් බැහැරව වෙනත් ස්ථානයක සැගවී සිට තිබින.

එසේම ඇය හා සැමියාට රටින් පිටවීම තහනම් කරමින් වාරණ නියෝගයක්ද නිකුත් කර තිබිණ.

අද ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගනුලැබූ අවස්ථාවේ ලක් මෑණිට සිදුවූයේ කුමක්ද කියා මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට ඊට ප්‍රතිචාර දක්වමින් දමිතා පවසා සිටියේ , ලක්මෑණි දිනුම් බවත් , රට සජිත් ප්‍රේමදාස ජයගන්නා බවත් ය.

සිරිසේනට සොරි වෙයි : ශ්‍රීලනිප සභාපති ධූරයට අතුරු තහනම් නියෝගයක් !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අද (04) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

කොළඹ දිසා අධිකරණය විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් යොමු කරන ලද පෙත්සමක් සලකා බලමිනි.

මේ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක හිතවාදීන් ලෙස සැලකෙන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න හා දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් අද ශ්‍රීලනිප මූලස්ථානය වෙත ගොස් එහි සිට මාධ්‍ය හමුවක් ද පැවැත්වූහ .

එහිදී ඔවුන් චෝදනා කර සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නායකත්වය දැරූ කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අති විශාල පසුබෑමකට ලක් වූ බවත් ඔහු ඊට වගකිව යුතු බවත් පවසමින්ය .

උපාධිධාරීන් 2320කට ජනාධිපති ප්‍රධානත්වයෙන් ගුරු පත්වීම් !

වසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අරලියගහ මන්දිරයේ දී අද (03) පැවති බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

උපාධිධාරී ගුරුවරුන් 2320කට පත්වීම් ලබා දීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට එක් විය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ චරිතවත් ගුණගරුක අනාගත පරපුරක් බිහි කිරීමේ වගකීම ගුරුවරයාට පැවරෙන බවයි.

ගෞරවණීය වෘත්තියක් වූ ගුරු වෘත්තියේ ගෞරවය කෙළසා ගැනීමට කිසිවිටෙකත් කටයුතු නොකළ යුතු බව පැවසු ජනාධිපතිවරයා ගුරුවරුන් නිරතුරුව විෂය දැනුමෙන් යාවත්කාලීන වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

ගුරුවරුන් ලෙස ඔබ බාරගන්නේ පංතිකාමරයක් නොවෙයි. ඔබ භාරගන්නේ එම පන්ති කාමරයේ සිටින සිසු සිසුවියන්ගේ අනාගතයයි. අවුරුදු 05 සිට අවුරුදු 19 වන තෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කාලය ගත කරන්නේ ඔබ සමගයි. ඒ නිසා ඔවුන්ට ගෙදරින් ලැබෙන මගපෙන්වීම වගේම පාසලින් ලැබෙන මගපෙන්වීමත් ඉතා වැදගත් වෙනවා. ඒ වගකීම ඉෂ්ට කළයුත්තේ ඔබයි. ඔබට තිබෙන්නේ සිසුන්ට විෂය දැනුම ලබාදීම පමණක් නොවෙයි. මේ සිසු සිසුවියන්ගේ ජීවිතය හැඩ ගැස්වීමද සිදු කළයුත්තේ ඔබයි.

අද අන්තර්ජාලයෙන් ද විෂය දැනුම ලබාගත හැකියි. නමුත් දරුවන්ගේ චරිත ගොඩනැගීම ඒ හරහා සිදු කළ නොහැකියි. අප සියලුදෙනාගේ ජීවිත ගොඩනගා ගැනීමේදී දෙමාපියන්ගෙන් ලැබුණු මගපෙන්වීම වගේම ගුරුවරුන්ගේ ලැබුණු මගපෙන්වීමත් ඉතා වැදගත් වුණා. ගුරු වෘත්තිය ඉහළ වෘත්තියක් ලෙස සළකනු ලබන්නේ ඒ නිසයි. එම ගෞරවය ආරක්ෂා කර ගන්නා ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලනවා.

ඒ වගේම ගුරුවරුන් ලෙස ඔබේ දැනුම ඉතා වැදගත් වෙනවා. අද තිබෙන්නේ දිනෙන් දින දැනුම නවීකරණය වන සමාජක්. එසේ නම් ගුරුවරුන්ට තම විෂය දැනුම වැඩි කර නොගෙන කටයුතු කිරීමට අතීතයේ දී හැකි වුවත් අද එලෙස කිරීමට හැකියාවක් නැහැ. තව වසර 10කින්, 20කින් පමණ ඔබේ දැනුම ප්‍රමාණවත් ද කියා සිතා බලන්න. ඒ නිසා තමන්ගේ විෂය දැනුම ඉහළ නංවා ගැනීමට ගුරුවරුන් සෑම අවස්ථාවකම කටයුතු කළයුතුයි.

අද ගුරුවරුන් 2300ක් බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා. තව 700කට පත්වීම් ලබාදීමට තිබෙනවා. පුරප්පාඩු අනුව තවත් ගුරුවරුන් 1000ක් පමණ බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මෙම වසරේ ගුරු වෘත්තීයට 4000ක් පමණ බඳවාගෙන තිබෙනවා. වසර තුන හතරකින් පසුව තමයි මෙම බඳවා ගැනීම් සිදු කිරීමට හැකියාව ලැබුණේ. කොවිඩ් වසංගතය වගේම ආර්ථික කඩා වැටීම හමුවේ මේ සියලු බඳවා ගැනීම් නැවතී තිබුණා.

රටේ ආර්ථික වර්ධන වේගය සෘන අගයකට පත්ව තිබුණා. නමුත් රජය ගෙන ගිය නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් අද රුපියලේ වටිනාකම ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ආර්ථිකය ශක්තිමත් වී තිබෙනවා. ඒ නිසා අද මෙම බඳවා ගැනීම් සිදු කිරීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා.

පසුගිය වසරේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 370ක් බවට පත්ව තිබුණා. අද වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල 300ක අගයක පවතින අතර එය ඉදිරියේදී 280ක් දක්වා පහළ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එවිට ජනතාවගේ අතට ලැබෙන මුදල ශක්තිමත් වෙනවා.

අද ආණ්ඩුවේ වැඩකටයුතු සඳහා මුදල් සොයාගත යුතුව තිබෙනවා. අද අපි ගමන් කරන්නේ දුෂ්කර මාර්ගයක වුවද ඉදිරියේ දී ආර්ථික දියුණුවක් ඇති කර ගැනීමට හැකියාව ලැබෙනවා. අපට මේ කාලයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට මෙන්ම දීමනා වැඩි කිරීමට හැකියාව ලැබුණා. ඒ වගේම අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කිරීමට මෙන්ම සිංහල අවුරුදු සමයේ වී වලට හොඳ මිලක් ලබාදීමට හැකියාව ලැබුණා. ඒ වගේම ආර්ථිකයේ ඇති වන දියුණුව සමඟ ලබන වසර වන විට ගුරුවරුන් බඳවා ගැනීම සඳහා මීට වඩා වැඩි මුදලක් අමාත්‍යාංශයට ලබාදීමට අප කටයුතු කරනවා.

අනුර සමග විවාදය සජිත් බාරගෙන !

තමන් ඕනෑම ආකාරයක විවාදයක් සඳහා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ජන හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

මේ මොහොත වන විට රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් යන බවත් එවැනි විවාදයක් සිදු විය යුතු බවට තමා පිළිගන්නා බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් බැවින් තමා ඕනෑම විවාදයකට සූදානම් බවද විපක්ෂ නායකවරයා පවසා තිබේ.

විපක්ෂ නායක මේ ප්‍රකාශය සිදුකර ඇත්තේ , සජබ මන්ත්‍රීවරුන් විසින් අවස්ථා කිහිපයක්ම ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයක් කිරීමට ජාතික ජනබලවේගය පක්ෂය ට අභියෝග කිරීමත් ඊට ජාතික ජනබලවේගය පක්ෂයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති දැක්වූ ප්‍රතිචාරයට, ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි .

සජබ පාර්ශ්වය ආර්ථිකය සම්බන්ධයෙන් වන වැඩ පිළිවෙල පිළිබඳව තම පක්ෂයේ ආර්ථික කමිටුව සහ ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුව අතර විවාදයක් වෙනුවෙන් අභියෝග කළ අතර ඊට ජාජබ විධායක සභාව නියෝජනය කරන සුනිල් හඳුන්නෙත්ති ප්‍රතිචාර දැක්වීය.

එහිදී ඔහු සඳහන් කර සිටියේ ජාජබ ආර්ථික කමිටුව සජබ අභියෝගය බාරගන්න සූදානම් බවත් කෙසේ වුවත් පක්ෂ නායකයන් දෙදෙනා අතර විවාදයක් පැවැත්වීම වඩා වැදගත් වන බවත් ය.

සජබ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම ප්‍රතිචාරය පිළිගනිමින් සජබ නායක මෙම ප්‍රකාශය සිදුකළ බවය.

ආයෝජන මණ්ඩල පළමු සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් !

රටට හිතකර තරගකාරී ආයෝජන අවස්ථා ඇති කරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීම සඳහා ආයෝජන මණ්ඩලය යටතේ ඇති සමාගම් සිදු කළ සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් සිය කෘතඥතාව පිරිනමන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) පැවැති ආයෝජන මණ්ඩල සම්මාන උළෙල අමතමිනි.

ආයෝජන මණ්ඩලයේ 45 වැනි සංවත්සරය නිමිත්තෙන් පළමු වරට මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබු අතර ඍජු විදේශ ආයෝජන සහ අපනයන කාර්ය සාධනය සඳහා සිදු කර ඇති දායකත්වය වෙනුවෙන් ආයෝජන මණ්ඩලය යටතේ පවතින සමාගම් වෙත සම්මාන 30 ක් පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර දිගුකාලයක් පුරා ක්‍රියාකාරිව පැවැති සමාගම් සඳහා ද විශේෂ ඇගයීමක් සිදු කෙරිණ.

මීට අමතරව, පුද්ගල මට්ටමින් ශ්‍රී ලංකා ආර්ථිකයට ලබාදුන් සුවිශේෂී දායකත්වය මත පදනම් වූ නව සම්මාන කාණ්ඩයක් යටතේ බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රෝෆ් ඕමාර්, මාස් හෝල්ඩිංග්ස්හි සම නිර්මාතෘ හා සභාපති දේශමාන්‍ය මහේෂ් අමලීන් සහ සෙයිල් ලංකා යාත්‍රා සමූහ ව්‍යාපාරයේ සභාපති පියරේ ප්‍රින්ජර්ස් යන මහත්වරුන් වෙත සම්මාන ත්‍රිත්වයක් ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදුවිය.

ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා විසින් 1981 වසරේ බියගම ආයෝජන කලාපය විවෘත කිරීමේ අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයක්, සමරු තිළිණයක් ලෙස මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්මානලාභීන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=108#sigProId6e1ee324bb


විශේෂ ආර්ථික කලාප (SEZs) පිහිටුවීම සඳහා දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව පුරෝගාමී වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, කටුනායක සහ බියගම වැනි ආයෝජන කලාප ප්‍රධාන ආයෝජකයින් ආකර්ශනය කර ගැනීම, කාර්මික වර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ රැකියා අවස්ථා ඇති කිරීම යන අංශයන්හි සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති බව ද පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.

ආයෝජන මණ්ඩලය රටට හඳුන්වාදී වසර 45ක් වෙනවා. 1977 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මෙරට ආර්ථිකයේ කොටසක් විවෘත කිරීමට තීරණය කළා. එක් කොටසක් පාලනය කර, සමාජගත කර තිබෙන නිසා ආර්ථිකය මුළුමනින්ම විවෘත කිරීම එකවර සිදු කළ නොහැකි බව එතුමා ප්‍රකාශ කළා. ඒ අනුව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මහ කොළඹ ආර්ථික කලාපය නිර්මාණය කළා.
මේ සඳහා බියගමත් ඇතුලත් කරන ලෙස මම එතුමාගෙන් ඉල්ලා සිටියා.

1978 ජනවාරි මාසයේදී මීට අදාළ නීතිය සම්මත වුණා. කටුනායක ආයෝජන කලාපය බිහිවුණේ ඉන් අනතුරුවයි. දෙවෙනි ආයෝජන කලාපය වන්නේ බියගම ආයෝජන කලාපයයි.

එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංගමය (UNIDO) බියගම ආයෝජන කලාපයක් සෑදීමට නොහැකි බව සඳහන් කර පිටව ගියා. නමුත් ඒ කාලයේ ආයෝජන මණ්ඩලයේ සිටි ඉංජිනේරුවන‍් බියගම ආයෝජන කලාපයක් සෑදීමට හැකි බව සඳහන් කළා. ඒ වගේම ඔවුන් බියගම ආයෝජන කලාපය ඉදි කළා.

මෙරට ආයෝජන කලාපවල ආයෝජන කලාපවල ආරම්භය සිදු වුයේ ඒ ආකාරයටයි. මෙරට ආයෝජන කලාප ගොඩනැගීම වෙනුවෙන් දායකවූ මෙහි සිටින බොහෝදෙනෙකුට මගේ ස්තුතිය ප්‍රකාශ කළ යුතුයි.

මෙම ආයෝජන කලාප දෙක තුළදී, ඔබට එල්ටීටීඊ තර්ජනයට මුහුණදීමට සිදු වුණා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ භිෂණයට ද මුහුණ දීමට සිදු වුණා. මෙම ආයෝජන කලාප දෙක ආරක්ෂා කිරීමට ඊට ඇතුල්වන සහ පිටවෙන සියළුදෙනා පරීක්ෂා කළ යුතු බව ආරක්ෂක හමුදා ඉල්ලා සිටියා.කෙසේ හෝ අප ඒ තර්ජනයන්ගෙන් ආරක්ෂා වුණා. ඒ වගේම පසුගිය වසර දෙකක පමණ කාලයක් පැවැති දුෂ්කර ආර්ථික තත්ත්වයෙන්ද මෙම ආයෝජන කලාප ආරක්ෂා වුණා.

පසු කලකදී ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කර්මාන්තශාලා 200ක් ඉදිකිරීමට අවශ්‍ය බව තීරණය කළා. ඔහු එය කර්මාන්ත ශාලා 100කින් ආරම්භ කළ නමුත් ඒවා මේ කලාපවලට පමණක් සීමා කළ නොහැකි වුණා. ඒ නිසා එම කටයුත්ත ආයෝජන මණ්ඩලයට පැවරුවා. මේ හරහා රට පුරා ඇඟලුම් කර්මාන්ත ශාලා ඉදි වුණා. ඇඟලුම් කර්මාන්තශාලා 200ක් ඉදිකිරීම අප ලැබූ විශාල ජයග්‍රහණයක් බව කිව යුතුයි.

එදා සතියෙන් සතිය අප කර්මාන්තශාලා විවෘත කළා. ඒ දවස්වල රට සංවර්ධනය කළේ එහෙමයි. අප අලුත් අගනුවරක් ද නිර්මාණය කළා. ඒ වගේම මහවැලි ව්‍යාපාරය නිර්මාණය කළා. නිවාස යෝජනා ක්‍රම ආරම්භ කළා. මේ ආකාරයට රට පුරා සංවර්ධන කටයුතු රැසක් අප සිදු කළේ අවුරුදු 15ක් ඇතුළතයි.

පසුගිය කාලයේ ඉතා නරක කාල පරිච්ඡේදයක් පසු කළා. ඔබ සියළුදෙනාම ඊට මුණු දුන්නා. අප දැන් ආර්ථිකමය වශයෙන් ඒ සියළුදෙනාගේ විශ්වාසය යළි ගොඩනැගීම සඳහා මේ කාලය වෙන් කළ යුතුයි.

කෙසේ වුවත් අප අවුරුදු දෙකකටත් අඩු කාලයකදී ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට සමත් වුණා. මේ වන විට අප එම තත්ත්වය පවත්වාගෙන යනවා. ඒ වගේම අප ආර්ථික ස්ථාරත්වය පවත්වා ගෙන යාමට තවදුරටත් මහ බැංකුව මත රඳා සිටින්නේ නැහැ. ඒ සඳහා අප වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වෙනවා.
ඒ නිසා ඊළඟට අපට තිබෙන්නේ අපනයනය ඉලක්ක කරගත් ඉහළ තරගකාරී ආර්ථිකයක් දක්වා අපගේ ආර්ථිකය පරිවර්තනය කිරීමයි. ඔබට එය සිදු කිරීමට වසර 10ක් 15ක් වැනි කාලයක් ගතවනු ඇතියි. ඒ අතරතුර ආර්ථික කොමිසම ලෙස ආයෝජන මණ්ඩලයේ ස්වභාවය වෙනස් කරන බවද කිව යුතුයි.

ඒ සමඟ අප ශ්‍රී ලංකාම ආවරණය වන ආකාරයට එක් ආයෝජන කළාපයක් නිර්මාණය කරනවා. එවිට ආයෝජකයෙකු වන ඔබ එහි බලපත්‍ර හිමියෙකු වනවා. ඒ තුළ ඔබට ඔබේම කලාප පවත්වාගෙන යා හැකියි.

මේ වන විට අපට බියගම ප්‍රදේශයේ අක්කර දහසක් පමණ තිබෙනවා. ත්‍රිකුණාමලයේ අක්කර තුන්දාහක් හාරදාහක් පමණ සොයමින් සිටිනවා. උතුරේ තවත් අක්කර දහසක් පමණ තිබනෙවා. හම්බන්තොටද අක්කර තුන් හාරදාහක් පමණ තිබෙනවා. මේ නිසා අප සැලකිලිමත් වන්නේ යටිතල පහසුකම් සම්බන්ධවයි.

අප දැන් අවධානය යොමු කරන්නේ වඩාත් තරගකාරී ආයෝජන ලබා ගැනීමටයි. ආර්ථිකය වඩාත් තරගකාරී කිරීමට සහ‍ රට ආයෝජන හිතකාමී තත්ත්වයට පත් කිරීමටයි.

ඒ වගේම අප සමස්ත වෘත්තීය පුහුණු පද්ධතියම ප්‍රතිසංස්කරණය කරනවා. ඒ සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ක්‍රමයෙන් අහෝසි කර ඒ වෙනුවට වෘත්තීය විද්‍යාල ආරම්භ කරනවා.

ඒ නිසා සිසුන්ට තම පාසලෙන් වෘත්තීය විද්‍යාලයකට මාරුවීමේදී මෙන්ම අලුත් විෂය ධාරාවක් ඔස්සේ ඉහළට යාමේදී ඔවුන්ට ලැබිය යුතු ගෞරවය අහිමි වන්නේ නැහැ. නව කනිෂ්ඨ තාක්ෂණික නගර පිහිටුවීම පිළිබඳව ද දැන් සාකච්ඡා කරමින් තිබෙනවා. අවම වශයෙන් එවැනි නගර තුනක් හෝ හතරක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.

අප ඩිජිටල් ආර්ථිකයට සහාය දෙනවා. නව ඩිජිටල් හුවමාරු නියෝජිතායතනයක් පිහිටුවනවා මෙන්ම කෘත්‍රීම බුද්ධිය (AI) සඳහා අරමුදල් ද සපයනවා.කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන මඟින් වසර දහයක් පමණ වන විට අලුතින් අක්කර 500,000ක් පමණ වගා කිරීමට හැකි වනු ඇති අතර, එම ප්‍රමාණය නිර්මාණය වන්නේ දැනට පවතින වගාබිම් ප්‍රමාණයට අමතරව බවද සඳහන් කළ යුතුයි. ඒ තුළ ඉහළ ඵලදායී කෘෂිකර්මාන්තයක් බිහිවෙනවා.

ශ්‍රී ලංකාව සැපයුම් දාම මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳවත් සැලසුම් කර තිබෙනවා. නමුත් මේ සියල්ල පළමුව රඳා පවතින්නේ ඔබ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය තබාගෙන ශ්‍රී ලංකාව තුළ නැවත නැවතත් ආයෝජනය කිරීම මෙන්ම පිටත සිට පැමිණෙන නව ආයෝජකයින් මතයි.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි වන මහත්වරුන් ද ආයෝජන මණ්ඩලය යටතේ පවතින ජාත්‍යන්තර සහ දේශීය සමාගම්වල ප්‍රධානීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටයහ.

සිරිසේනගෙන් අධිකරණයට දැනුම්දීමක් !

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව නැවත හෙට (04) දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණයට දැනුම්දී ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ගොනු කරමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මේ බව දැනුම්දී ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව මේවනවිටත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දීර්ඝ ප්‍රකාශයක් ලබාදී ඇති බව පෙන්වාදෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම කරුණු දැක්වීම සිදුකර තිබෙන බවත් වාර්තා වෙයි .

Page 7 of 386