V2025

පුවත්

කුරුණෑගල රෝහලෙන් කොවිඩ් මරණයක්

කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොවිඩ් ආසාදිත මරණයක් සිදුව ඇති බව වාර්තා වේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් රෝගියෙකු සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත කරන ලද පීසීආර් පරික්ෂාවකදී එම මරණයට හේතුව කොවිඩ් වෛරසය ආසාදනය වීම බව අනාවරණය වී ඇත.

මේ හේතුවෙන් එම රෝගියා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ රෝගීන් සහ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීම සිදු යුතු බවද ⁣කොවිඩ් වසංගත තත්ත්වය නොසලකා හැර තිබෙන අවස්ථාවක මෙය නැවත අවධානයට ලක් විය යුතු බරපතළ කරුණක් වන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මේවනවිට කොවිඩ් වසංගත තත්ත්වය සාමාන්‍ය මට්ටමෙන් සලකා මරණයට පත් වන රෝගීන්ගේ මෘත දේහ ආදාහනයකට ලක් නොකර පවුලේ ඥාතීන් වෙත බාර දීම සිදුවන බවද මෙය නැවත කොවිඩි වෛරසය රට තුළ පැතිර යාමට ඇති අවදානම් තත්ත්වයක් බවද පැවසේ.

ලංකාදීප

රනිල් යළි ජනපති කරවීමට කොළඹ පෙරමුණ ගන්නවා : රවී

එළැඹෙන ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නිර්පාක්ෂික අපේක්ෂක ලෙස ඉදිරිපත් කර ජයග්‍රහණය කරවීමට කොළඹ දිස්ත්‍රික් ජනතාව මූලිකත්වය ගන්නා බව හිටපු මුදල් අමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක පවසයි.

මීට වසර දෙකකට පෙර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ ගෙන්වා ගැනීමට නොහැකිව තිබූ රට මාස 23ක් වැනි කාලයක් තුළ ගොඩනැගීමට ජනාධිපතිවරයා සමත්වු බව පෙන්වාදුන් ඒ මහතා තවදුරටත් වචනවලින් තොරන් ගහන දේශපාලනය වලංගු නොවන බවද පැවසීය.

හිටපු මුදල් අමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ 2010 වසරේ දී කජීමාවත්තේ ගිනිබත් වූ නිවාස වෙනුවෙන් මෙම රන්දිය උයන නිවාස සංකීර්ණයේ නිවාස 294ක් ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාව අමතමිනි.

පෞද්ගලික අපේක්ෂා ඇතුළු විවිධ හේතු මත එක්සත් ජාතික පක්ෂය හැරගිය පාර්ශ්ව සත්‍යය අවබෝධ කරගෙන නැවත එක්වීමේ අපේක්ෂාවෙන් සිටින බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍ය ,එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මෙසේද පැවසීය.

2015 දී තමයි මේ කජීමා වත්ත ජනතාව වෙත නිවාස බෙදාදීම සිදුකිරීමට සැලසුම් කර තිබුණේ. නමුත් එවකට සිටි ජනාධිපති ඊට හරස් වුණා. නමුත් 2024දී එම කටයුත්ත සාර්ථක කරගන්නට හැකිවුණා. එදා මේ ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීමට අගමැති ලෙස මැදිහත් වූ රනිල් වික්‍රමසිංහ මහතා අද ජනාධිපති ලෙස මේ අවස්ථාවට පැමිණීම ගැන ස්තූති කළ යුතුයි.

මීට වසර දෙකකට පෙර රට තිබූ තැන අපි හැමෝම දන්නවා. එයින් වැඩියෙන් පීඩාවට පත්වූ කොළඹ ජනතාව ඒ ගැන හොඳටම දන්නවා. අර්බුදය පැමිණීමට පෙර ගොඩක් කයිවාරුකාරයන් හිටියා . නමුත් අභියෝගය පැමිණි අවස්ථාවේ ඊට මුහුණදීමට කවුරුත් හිටියේ නෑ . ඒ අභියෝගය බාරගන්න ඉදිරිපත් වුණේ එදා පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයකු ලෙස හිටපු රනිල් වික්‍රමසිංහ යි. තනි අලියා අභියෝගය බාරගත්තා වගේම මාස 23ක් ගතවෙන විට ප්‍රතිඵල පෙන්වා තිබෙනවා .

එදා අපි රටක් ලෙස ජාත්‍යන්තරය තුළ හුදෙකලා කර කොන් වී හිටියේ. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩවත් ගෙන්වාදීමට නොහැකිව තිබුණේ. එදා ස්විච් එක දැමීමට විදුලිය තිබුණේ නෑ . දරුවන් කිරි ඉල්ලා අඬමින් හිටියේ. ඉන්ධන නැති නිසා බස් වැඩ කරේ නෑ . අද වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා.

අද ඉන්ධන තියෙනවා . ගෑස් තියෙනවා . ආහාර තියෙනවා . බස් ධාවනය වෙනවා. පෝලිම් යුගය අවසන් කර තියෙනවා . සංචාරකයන් ගේ පැමිණීම වැඩි වෙලා. ඒ වගේම මේ වගේ නිවාස ලබාදීමටත් හැකිවී තියෙනවා. වසර දෙකකට පෙර මෙවැනි නිවාස ව්‍යාපෘතියක් ජනතාවට දෙන්න හිතන්නවත් බැරි තත්ත්වයක් තිබුණේ . ඒක තමයි යථාර්ථය.

ජනාධිපතිතුමනි, ඔබ දැක්කා කජීමා වත්ත ජනතාව ජීව්ත් වන ආකාරය. උතුරු කොළඹ ආසනයේ ජනතාව දුප්පත් වෙන්න පුළුවන් . නමුත් හදවතින් පොහොසත් ආසනයක්. ඒ නිසා තමයි කජීමා වත්ත ජනතාවට නිවාස 294ක් දීමේ මේ අවස්ථාවට මෙතරම් පිරිසක් පැමිණ සිටින්නේ. ඔවුන් තම සහෝදරත්වය පෙන්වා තිබෙනවා .

අවුරුදු 14ක් කජීමා වත්ත ජනතාව දුක් වින්දා. හත් වතාවක් මේ ප්‍රදේශය ගිනි ගත්තා . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් මිලියන 12855ක මුදලක් වෙන් කරලා, ඒ ජනතාවට නිවාස අයිතිය ලබාදී තිබෙනවා. එහිදී දේශපාලන භේදයක් නෑ .

මෙහිදී වැදගත් කරුණක් කියන්න ඕන . ඒ තමයි මේ ලබාදෙන නිවාස නඩත්තු කර හොඳින් පවත්වා ගෙන යාම. මම දකිනවා නිවාස නඩත්තු කර පවත්වාගෙන යාමේ අඩුවක්. ඒ නිසා මෙහි තිබෙන ෆ්ලැට් 28 නඩත්තු කර හොඳින් තබාගැනීමේ වැඩපිළිවෙළක් මගේ සභාපතිත්වයෙන් යුතුව දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගින් අපි අනෙක් සියලු දිස්ත්‍රික්ක වෙත ආදර්ශයක් දෙනවා.

ඔබට දැන් ඔබේම කියා නිවසක් තිබෙනවා . එය ඔබට ආඩම්බරයෙන් ජීවත්වෙන්න පුළුවන් තැනක් බවට පත්කර ගන්න. අද දෙන මේ නිවාස අවුරුද්දක් දෙකක් යනකොට කඩාවැටෙන තත්ත්වයට පත්වුණොත්, එය අපි හැමෝගෙම වරදක් වෙනවා. තවදුරටත් ඔබ ජීවත් වන්නේ කුලි නිවාසයක නෙවෙයි. ඔබ සියලු දෙනා ට, නිවසක සින්නක්කර අයිතිය ලැබී තිබෙනවා . දැන් නිවාස කුලිය ලෙස ගෙවීමට තිබූ 4500 ඉතුරු නිසා ඒ මුදල් දරුවන් ගේ සෞඛ්‍ය , අධ්‍යාපන කටයුතු සඳහා වෙන්කළ හැකියි.

බිලියන ගාණක වත්කමක් ජනතාව ට ලැබෙනවා. දුප්පත්කම අඩු වෙනවා. ජන ජීවිතය දුෂ්කර බව අපි දන්නවා . නමුත් රට බංකොලොත් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නෙවෙයි . නමුත් රට යළි ගොඩනගන්න සිදුව තිබෙන්නේ එතුමාටයි. මීට පෙර හරින් සහ සාගල කිව්වා වගේ හරියට හිතන්න. හරියට හිතලා ක්‍රියාත්මක වෙන්න. තව මාස 7කින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ජන්ද කාලෙට එක එක පාර්ශ්ව අරක අඩු කරනවා. මේක අඩුකරනවා කියයි.නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපත්තිය හරි දේ කිරීමයි. හරි දේ කරලා, රට හරි මාර්ගයේ ගෙනයාමයි. අපි එහෙමයි රට ගොඩනගන්නේ.
මේ රටේ ඉන්න මිලියන 22 ක ජනතාව ගේ සිහිනයක් තමයි කොළඹ නිවසක් හිමිකර ගැනීම. ඉදිරියේදී නිවාස 53800ක් ජනතාව ට ලබාදීමට නියමිතව තිබෙනවා . ඒ සියල්ල දෙන්නේ සත පහක් නොගෙන . ඒ වගේම ජනතාව ගේ ඉඩම් අයිතිය ලබාදෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපත්තිය ඉඩම් රජය යටතේ තබාගැනීම නෙවෙයි . ඒවා ජනතාව වෙත ලබාදීමයි. ඒ අනුව ලක්ෂ 20 කට සින්නක්කර ඉඩම් අයිතිය හිමිවෙනවා.

පාඩු ලබන ශ්‍රී ලන්කන් එක වානිජකරණය කරන විට, හිල්ටන් හෝටලය පෞද්ගලීකකරණය කරන විට සමහරු චෝදනා කරනවා අපි ඒවා විකුණනවා කියලා . නමුත් ඒ විකුණලා කරන්නේ මේ නිවාස නැති ජනතාව ගේ නිවාස ප්‍රශ්නය විසඳීම වැනි ව්‍යාපෘති යි. එයින් බිලියන ගාණක වත්කමක් ජනතාව ට ලැබෙනවා. දුප්පත්කම අඩු වෙනවා. එහෙම නම් පෞද්ගලීකකරණයට විරුද්ධ වෙන්න පුළුවන් කුහකයන්ට විතරයි .

ඇතමුන් පරාජය හමුවේ ප්‍රතිපත්ති පාවා දුන්නා. ඇතමුන් පක්ෂය පාවා දුන්නා . පෞද්ගලික සහ විවිධ හේතු මත පක්ෂය හැරදමා ගිය අය ඉන්නවා . ඔවුන්ට අද යථාර්ථය තේරුම් ගිහින්. වැරදි පාරේ ගිය අය නැවත පක්ෂයට එකතු වෙන්න සූදානමින් ඉන්නවා.

දේශපාලන පොර පිටියේ පක්ෂ දෙකක් තියෙනවා . එකක් නිවන්සුව පතන පක්ෂය . අනික Unp ඩුප්ලිකේට් පක්ෂය. ඒ පක්ෂය නම් පසුගිය දින වල ජනාධිපතිවරයා ම හොඳට ඇමතුවා දැන් බලන්න ඔය හොර බොරු නෑ කියලා , නිවන් සුව පතන පක්ෂයේ ප්‍රතිපත්තිය දෙස. ඔවුන්ගේ නායකයන් ගේ වම් සපත්තුව ගන්නේ සුනිල් ගෙන්. දකුණු සපත්තුව ලාල් ගෙන්. කමිසය ගන්නේ උඩ මහලේ ඉන්න ලාල් ගෙන්. කලිසම යට තට්ටුවේ කුමාර ගෙන්. දැන් එයාලා තමයි ඇවිත් කියන්නේ ණය නොගෙන රට හදනවා කියලා . ජීවිතයම ණයට ගන්න උදවිය ණය නොගෙන රට හදන විහිලු කතා කියනවා. ඔවුන් එහෙම මේ විදිහේ නිවාස ව්‍යාපෘතියක් දෙන්න ගියොත් කියාවි ඇස්බැස්ටෝස් කියුබාවෙන් ගේනකල් ඉන්න කියයි. සිමෙන්ති තවත් රටකින් ගේනකල් ඉන්න කියයි.

නායකයන් කියන්නේ කටින් බතල හිටවන අය නෙවෙයි . වචන වලින් තොරන් බඳින දේශපාලනය ඉවරයි . ජේ ආර් ජයවර්ධන ගාමිණී දිසානායක යොදවා මහවැලි ව්‍යාපාරය හැදුවා. අදටත් විදුලි නිෂ්පාදනයෙන් 33%ක් ජල විදුලිය ලෙස ලැබෙන්නේ එදා දියත් කළ එම වැඩකටයුතු නිසයි. ලලිත් ඇතුලත්මුදලි මහපොළ ගෙනාවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරිගණක භාවිතය රටට හඳුන්වා දුන්නා. ක්‍රිකට් , ආයෝජන කළාප බියගම සහ කටුනායක ඇතිකළා. ප්‍රතිඅපනයන ය හඳුන්වා දුන්නා . මේ සියල්ල සිදුකළේ එජාපය යි.

කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ , කවුරුත් සමගියෙන් ඉන්න දිස්ත්‍රික්කයක් අපි අන්තවාදය ප්‍රතිකේෂ්ප කරනවා. කාටවත් මේ සමගිය නැති කරන්න දෙන්න බෑ. කොළඹ කවදත් කොළ පාටයි. ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය කරන්න ඕන . ඒ ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ අනුමත කරනවා වගේම එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව නිර්පාක්ෂික අපේක්ෂක ලෙස ගෙන විත් ජයග්‍රහණය කරවීමට මේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව පෙරමුණ ගන්නවා .

ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුව තියෙනවා - නාමල්

තමාගේ නම කෙසේ වෙතත් පොහොට්ටු ලකුණ අනිවාර්යයෙන්ම මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පවසා තිබේ.

පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයින් අතර රනිල් වික්‍රමසිංහ ද සිටිය හැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ.

මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එබව කියා සිටියේය.

''කාලානුරූපීව මේ රටේ පක්ෂවල ප්‍රතිපත්ති නවීකරණය වෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් නවීකරණය වෙන්න උත්සහ කරනවා. අනුර කුමාර දිසානායක ඉන්දියාවට කැනඩානට ඇමරිකාවට ගියා. ඒ අය ඉන්දීය ව්‍යාප්ත වාදයට විරුද්ධ සටන් එදා මොනතරම් සටන් කළාද ?. ඔවුන් අද යම් වෙනසකට මුල පුරා තියෙනවා. ජනතාවට තෝරා ගන්න විලක්ප රැසක් තිබෙනවා. ඒ අතරින් ගැලපෙන හොඳම විකල්පය ජනතාව තෝරා ගනීවි.'' නාමල් පැවසිය.

පොහොට්ටු පක්ෂය තුළ ජනපති අපේක්ෂකයෙකු තෝරා ගැනීමට හොඳ තරගයක් පවතින බවද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

“ජනාධිපතිවරණයක් ආසන්න වනවිට තරඟකාරීත්වයක් ඇති වෙනවා. ඒ තරඟාකාරීත්වය තුළින් තමයි හොඳම අපේක්ෂකයා තෝරා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපේ පක්ෂය ඇතුළේ ජනපති අපේක්ෂකයෙකු තෝරා ගන්න ඉතාමත් හොඳ තරඟයක් තිබෙනවා. අපිට ව්‍යවසායකයින් වගේම මාධ්‍ය ආයතන හිමිකරුවන් ද සිටිනවා. මේ සමහර අය අතර පක්ෂය හැදුවා කියන අයත් ඉන්නවා. මේ අය ජනතාවගේ ප්‍රසාදය දිනා ගන්න ඕන. එවිට අපිට පුළුවන් තීරණයක් ගන්න.”

පක්ෂය තීන්දු ගැනීමට පෙර පෞද්ගලික තීන්දු ගැනීම හේතුවෙන් පොහොට්ටු පක්ෂය අර්බුදයට ගිය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“වගකිවය යුතු දේශපාලනඥයින් ලෙසත් පක්ෂයක් ගොඩනගපු අය හැටියටත් අපි වගකිව යුතු කරුණු සම්බන්ධයෙන් පෞද්ගලික තීන්දු ගත යුත්තේ පක්ෂ තීන්දු වලට පසුවයි. පෞද්ගලිකව අපි කවුරුවත් නිර්පාක්ෂික නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජය කරන්නේ. මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ. නමුත් මැතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේ අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා කර යම් එකඟතාවකට පැමිණිය හැකියි.” යනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රබල අකුණු සමග තද වැසි - කාලගුණයෙන් නිවේදනයක්

 අද (11) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බවත්, එය දිස්ත්‍රික්ක 13ක් සඳහා බලපැවැත්වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ යන පළාත්වලට හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම සිදුකරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බැවින් අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට තාවකාලික තද සුළං ද හටගනු ඇති බව පෙන්වා දෙයි.

කජීමාවත්තේ  ගිනිබත් වූ නිවාස වෙනුවට රන්දිය උයනෙන් නිවාස : රවීගේ උත්සාහය ඵලදරයි !

අධ්‍යාපනය, ඉඩම්, නිවාස හා ව්‍යාපාර අයිතිය ලබා දෙමින් ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් බවට ජනතාව පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් කිරීම මගින් නොබිඳෙන පුළුල් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ මෝදර, රන්දිය උයන මහල් නිවාස ලබාදීමේ ජාතික උත්සවයට ඊයේ (09) පස්වරුවේ එක්වීමෙනි.

2010 වසරේ කජීමාවත්තේ ගිනිබත් වූ නිවාස වෙනුවෙන් මෙම රන්දිය උයන නිවාස සංකීර්ණයේ නිවාස 294ක් ජනතා අයිතියට පවරාදීම මෙහිදි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි .

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

වසර දහයකට වඩා කාලයක් කජිමාවත්තේ ජනතාව ජීවත් වී තිබෙන්නේ අපායක් වැනි ස්ථානයකයි. එහි ජීවත් වුනේ කොහොමද යන්නත් හිතාගත නොහැකියි. එවැනි පසුබිමක මෙම මහල් නිවාස කඩිනමින් ජනතාවට ලබාදීමට හැකි වීම පිළිබඳ සතුටුවනවා. මේ සම්බන්ධයෙන් රවි කරුණානායක මහතා විශාල උනන්දුවක් දැක්වූවා. ඔබට අද ලැබෙන මෙම නිවස ඔබේ වටිනාම දේපළ බවට පත්වෙනවා. එය ආරක්ෂාකාරීව භාවිත කිරීම ඔබ සතු වගකීමක් වෙනවා. පසුගිය වසර දහයක කාලය තුළ දුක් වින්ඳ ඔබ මෙම නිවාස උගස් තියන්න හෝ විකුණන්න එපා. තමන්ගේ ජීවිතය වගේ මෙම නිවාස රැකගන්න කියා මා ඉල්ලා සිටිනවා.

2022 වසරට වඩා සැහැල්ලුවෙන් හුස්ම ගන්න සමාජ වටපිටාවක් වසර දෙකක කාලයක් ඇතුළත ගොඩනැඟීමට අපට හැකි වුණා. ආහාර,ගෑස්, ඉන්ධන පෝලිම්වල දුක් වින්ඳ ජනතාව අද සාමාන්‍ය ලෙස ජීවත් වෙනවා . පෝලිම් යුගයේදී වැඩියෙන්ම දුක්විඳීමට සිදු වුණේ කොළඹ ජනතාවටයි. එයිනුත් මහල් නිවාසවල හා වතුවල ජීවත් වූ ජනතාව විශාල දුකක් වින්ඳා. ආර්ථිකය යහපත් කිරිම වෙනුවෙන් අප අනුගමනය කළ බදු ප්‍රතිපත්තිය නිසා ජීවන බර තවත් වැඩිවුණු බව අප පිළිගන්නවා. නමුත් එය ඔබ දරා ගත් නිසා අද වන විට ණය ගැනීමකින් හෝ මුදල් මුද්‍රණය කිරීමකින් තොරව රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමට හැකි වී තිබෙනවා. ඒ නිසාම මේ වසරේ සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් ඉහළ දැමීමට අපට හැකි වුණා. රුපියල ද ශක්තිමත් වුණා.

එම දුක්විඳි ජනතාව වෙනුවෙන් සින්නක්කර ඉඩම් ඔප්පුවක්, සින්නක්කර නිවසක් ලබාදීම ඔවුන්ට කරන ස්තුති කිරීමක් ලෙස මා දකිනවා. ඉදිරියේදී නිවාස 50,000කට අධික සංඛ්‍යාවක් ජනතාවට ලබා දෙනවා. මා අගමැතිවරයා ලෙස සිටියදී චීන රජයෙන් ලබාදුන් නිවාස 1996ද ඉදිරි වසර දෙක තුළදී ජනතාවට ලබාදීමට පියවර ගන්නවා. ඉඩම් අයිතිය හෝ නිවාස අයිතිය සින්නක්කරව ලබාදීම මීට පෙර සිදු වුණේ නැහැ. ඉදිරියේදී අධ්‍යාපන අයිතිය ,ඉඩම් අයිතිය ,නිවාස අයිතිය හා ව්‍යාපාර අයිතිය ජනතාවට ලබාදෙමින් ආර්ථිකය ජනතාව දෙසට පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා. එයින් රටේ ආර්ථිකයට ජනතාවගේ සෘජු දායකත්වයක් ලබා ගත හැකියි.

සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරු මේ අවස්ථාව ඇමතූහ. එසේම කජීමාවත්ත නිවාස හිමිකරුවන් වෙනුවෙන් කතා කළ හිල්මා මුකේශ් මහත්මිය ද සභාව ඇමතුවාය.

වරාය, නාවික හ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සබරගම පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම්.ෆවුසි, බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සත්‍යානන්ද සුභසිංහ, ජනාධිපති වෘත්තිය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240410 WA0014

අප්‍රේල් 15 නිවාඩු දිනයක් කරයි

අප්‍රේල් 15 වනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කර ඇති බව දැනුම්දෙයි.

ඒ් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා දැනුම්දී තිබේ.

අලුත් අවුරුදු චාරිත්‍රයක් වන ජාතික හිසතෙල් ගෑමේ චාරිත්‍රය 2024 අප්‍රේල් මස 15 වන දිනය යෙදී ඇත.

WhatsApp Image 2024 04 10 at 6.34.54 PM

අවුරුදු සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගන්න : රජය ඉල්ලයි !

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත්වන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

උත්සව සමය තුළ සිදුවන හදිසි අනතුරුවලින් 36%ක් ගිනිකෙළි භාවිතය නිසා සිදුවන අතර 17%ක් අක්ෂි ආබාධ වාර්තා වන්නේද අපරික්ෂාකාරී රතිඤ්ඤා සහ ගිනිකෙළි භාවිතය නිසා බව සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇතැයි රජය අවධාරණය කරයි.

එබැවින් එළඹෙන උත්සව සමයේදී මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් ප්‍රවාහන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සිදු කිරිමටද මේ වන විට පියවර ගෙන ඇත.

මේ අතර උත්සව සමයේ සිදුවන මාර්ග අනතුරු අවම කර ගැනීම සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ප්‍රවාහන අමාත්‍යාංශය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණ.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සජිත් රණතුංග පෙන්වා දුන්නේ මුහුණට මුහුණ සිදුවන අනතුරු, ත්‍රී රෝද රථ අනතුරු හා යතුරුපැදි අනතුරුවලින් සිදුවන මරණ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් බරපතළ අනතුරුවලට ලක් වී ඇති පුද්ගලයින් 100%ක් මෙතෙක් සුව ලබා නොමැති බවත්ය.

ශ්‍රී ලංකාව තුළ සිදුවන මාරක අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ අධිවේගී මාර්ගවලින් පිටත බව පෙන්වා දුන් ඒ මහතා එම අනතුරුවලින් දිනකට දහ දෙනෙකු පමණ මිය යන බවද සඳහන් කළ අතර එබැවින් මාර්ග අනතුරු අවම කිරීමට අවධානයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කර සිටියේ, උත්සව සමයේදී බස් රථ නිසා සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා බස් රථ හිමියන් සහ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවයි.

එසේම මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 1955 ක්ෂණික ඇමතුම් අංකයක් මේ වන විට පැය විසිහතර පුරාම ක්‍රියාත්මක කර තිබෙන බවත් ඊට ලැබෙන පැමිණිලි සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නිලධාරීන් සූදානම් කර තිබෙන බවත් ඇය සඳහන් කළාය.

මෙහිදී අදහස් දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ප්‍රියන්ත සූරිය බණ්ඩාර :

උත්සව සමයේදි අධිවේගී මාර්ගය භාවිතා කරන වාහන ප්‍රමාණය ලක්ෂ 2 පමණ වේ යැයි ගණන් බලා තිබෙනවා. එහිදී සියලුම අධිවේගී මාර්ගවල මුදල් අයකැමි දොරටු විවෘත කර තැබීමට කටයුතු කරනවා. අධිවේගී මාර්ගවල සිටින මුදල් අයකැමිවරුන්ට පහසුවීම සඳහා මාරු මුදල් රැගෙන එන ලෙස ඉල්ලා සිටිනවා. එමඟින් වාහන තදබදය අවම කර ගත හැකියි.
අධිවේගී මාර්ගයේ අනතුරු වළක්වාලීම සඳහා විඩාබර රියදුරන්ට විවේක ගැනීමට ස්ථානයක් සිංහල අලුත් අවුරුද්දට පෙර විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. උත්සව සමයේ අධිවේගී මාර්ගය තුළ සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා සියලු රියදුරන් විනය ගරුකව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

අධිවේගී මාර්ග ආරක්ෂණ ක්‍රියා උපදේශක කමිටුවේ සාමාජික ආචාර්ය චමෝද් හෙට්ටිආරච්චි :

අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරුවලින් 56% ක් සිදුවන්නේ රියදුරන්ගේ නොසැලකිලිමත්භාවය නිසයි.

එම අනතුරුවලින් 35%ක් මරණය හෝ පූර්ණ කාලීන ශරීරාබාධ බව කිව යුතුයි. ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකර වසර දහතුන තුළ මාර්ග අනතුරු 9,375ක් සිදුව තිබෙනවා. ඒ අතරින් රියදුරන්ගේ නොසැලකිලිමත්භාවයෙන් සිදුවූ අනතුරු සංඛ්‍යාව 5292ක් වන අතර එහිදී 66 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති අතර පූර්ණ කාලීන ශරීරාබාධ වූවන් ගණන 637ක් ලෙස වාර්තා වී තිබෙනවා.

තවද සමීක්ෂණ වාර්තා නිරීක්ෂණ අනුව අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු සිදුවීමට බලපාන ප්‍රධාන හේතු තුනක් හඳුනාගෙන තිබෙනවා. ඒ, රියදුරන්ගේ නොසැලකිලිමත්භාවය, රථ වාහන නිසි පරිදි නඩත්තු නොකිරීම හා තුන්වන පාර්ශවයක් නිසා සිදුවන අනතුරු ලෙසයි.

දක්ෂිණ අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා :

2024 වර්ෂයේ මේ වන විට අධිවේගී මාර්ගවල මාරක අනතුරු 07ක් සිදුව තිබෙනවා. එය පසුගිය වසර දෙකට සාපේක්ෂව ඉහළ යාමක් පෙන්නුම් කරන බව කිව යුතුයි. 2022 වසරෙදි අධිවේගී මාර්ගවල මාරක රිය අනතුරු 17ක් සහ 2023 වසරේදි මාරක රිය අනතුරු 04ක් සිදුව තිබෙනවා. එම නිසා උත්සව සමයේදී විනය ගරුක රියදුරෙක් ලෙස අනතුරු අවම කර ගැනීමට දායක වෙන ලෙස ඉල්ලා සිටිනවා.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තුෂාර සුරවීර :

නව තාක්ෂණික සන්නිවේදන මෙවලම් භාවිතය නිසා රියදුරන්ගේ අවධානය බිඳී යාමෙන් සිදුවන අනතුරු වැලැක්වීම සඳහා අවශ්‍ය නීති රීති මේ වන විට මෝටර් රථ ආඥා පනතේ නැහැ. එම නිසා නව තත්ත්වයන්ට ගැලපෙන නීති රීති යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රියදුරු පුහුණු කිරීමේ සිට රියදුරු බලපත්‍රය ප්‍රමිතියකට ලක් කිරීමටද බලාපොරොත්තු වෙනවා. එමගින් ආකල්පමය වෙනසක් ඇති විනයගරුක රියදුරන් බිහිකිරීමට හැකි වන බව විශ්වාස කරනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ) ජේ. අයි. ඩී ජයසුන්දර , මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති එම්.කේ.ආර්.ගුණරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආබාධිත රණවිරු රැකවරණය ජනපති සහතික කරයි : විද්‍යුත් යතුරුපැදි ප්‍රදානයක්ද සිදුකරයි !

ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් විද්‍යුත් යතුරුපැදි ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (09) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථාන සංකිර්ණයේ දී එක්වෙමිනි.

ආබාධිත රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජිවන තත්ත්වය නංවාලීම සඳහා රණවිරු සේවා අධිකාරිය මඟින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිය යටතේ පළමු අදියර ලෙස යතුරු පැදි 50ක් ප්‍රදානය කිරීම සිදු කෙරුණු අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 17කි.

අද උදෑසන ආරක්ෂක හමුදා මූලස්ථානය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න විසින් පිළිගනු ලැබීය.

යතුරු පැදි ප්‍රදානය සංකේතවත් කරමින් ජනාධිපතිවරයා ආබාධිත රණවිරුවන් කිහිප දෙනෙකු වෙත යතුරු පැදි ප්‍රදානය කිරීමට එක් විය.

මෙම විදුලි යතුරුපැදි ව්‍යාපෘතිය ඔස්සේ රණවිරුවන් දිරිගැන්වීම මඟින් රණවිරු ප්‍රජාව අතර ව්‍යවසායකත්වය ඉහළ නැංවීමටද හැකි වනු ඇති බව රණවිරු සේවා අධිකාරිය අපේක්‍ෂා කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ රටේ ඒකීයභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවූ වීරෝධාර රණවිරුවන්ට කෘතවේදීත්වය පළ කරන බවයි.

ආබාධිත රණවිරුවන් සඳහා තවත් විදුලි යතුරුපැදි 76ක් මිළදී ගැනීම සඳහා මුදල් වෙන් කරන බවද පැවසූ ජනාධිපතිවරයා, වෙනත් රටවල් හා සංසන්දනය කිරීමේදී ශ්‍රි ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය, රණවිරු සුබසාධනය වෙනුවෙන් ඉහළින්ම කැපවී සිටින බව සඳහන් කළේය.

යතුරු පැදි ප්‍රදානය කිරීමේ අවස්ථාවෙන් අනතුරුව ආබාධිත රණවිරුවන් අතරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහක ද නිරත විය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ද, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, රණවිරු සේවා අධිකාරියේ සභාපති ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=72#sigProIda88f24cddd

තවත් පවුල් 182,140කට අස්වැසුම !

අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

ප්‍රතිලාභීන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් අප්‍රේල් මස 18 වැනි දා වන විට ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව දැනට 1,854,000ක් අස්වැසුම ප්‍රතිලාභ ලබාගන්නා අතර රුපියල් බිලියන 58.5ක මුදලක් ඒ වෙනුවෙන් රජය වැය කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සියලු සුදුසුකම් සම්පූර්ණ කළ පවුල් 200,000ක් පමණ මෙතෙක් සිය බැංකු ගිණුම් ආරම්භ කර ඊට අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමට අපොහොසත් වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සහ ජනමාධ්‍ය මඟින් දැනුවත් කිරීම සිදුකළ ද මෙතෙක් එම පවුල්වල සාමාජිකයන්ගෙන් ප්‍රතිචාර නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් 400,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති අතර ඉන් 286,000ක් පමණ මේ වන විට පද්ධතියට ඇතුළත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊට අදාළ සංගණන කටයුතු මැයි මස ආරම්භ කිරීමට නියමිත ය.

අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනට පවුල් ලක්ෂ 24ක් ඇතුළත් කර ගැනීමට රජය අපේක්ෂා කරන අතර මෙවර අයවැය මඟින් ඊට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 205කි.

සිරිසේනගේ විදෙස් ගතවීම සැකයි : කාවින්ද බාල්දියක් පෙරළයි !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් ගතවීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි.

හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති තත්ත්වයක් තුළ ඔහු මෙලෙස විදෙස් ගත වීම ගැටලුවක් බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන විසින් විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා අද (10) ඒ වෙත පැමිණි අවස්ථාවේ ය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය .

"මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා, එක පැත්තකින් පාස්කු මහ මොළකරු දැනගෙන එය වසන් කිරීමේ වරදට හසුවෙනවා. අනෙක් පැත්තෙන් ඔහු බොරුවක් නම් කියන්නේ, මේ අහිංසක මිනිසුන්ගේ මරණයට වගකිව යුතු පුද්ගලයාව වසන් කරන්න එහෙම නැත්නම්, පරීක්ෂණ නොමඟ යවන්න කටයුතු කරනවා ද කියන සැකය අපිට ඇති වෙනවා. කිසිසේත්ම එතුමා ඒ කළ ප්‍රකාශයෙන් පැනලා යන්න බෑ. හැබැයි අපි දකිනවා එතුමා සැරින් සැරේ ඒ ප්‍රකාශ වෙනස් කරනවා.

මෛත්‍රීපාල සිරිසේනට, රටත් කාලා. මිනිස්සුන්වත් කාලා දැන් එයාට වමාරන්න වෙලා තියෙන්නේ. අපිට බය මෛත්‍රී මෙච්චර රටේ ප්‍රශ්න ඇති කරලා, තායිලන්තය බලා ගිහින් තියෙනවා. මේක පැනයාමක් ද කියලා මට පෞද්ගලිකව හිතෙනවා. එයාව වහාම කැඳවලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් ඉල්ලා සිටිනවා."

ජපානයෙන් අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තොගයක්

කටුනායක ගුවන් තොටුපොළ සහ කොළඹ වරාය තුළ ඉදිරියේ දී ඇති විය හැකි වසංගත සහ බෝවන රෝග වැනි හදිසි තත්වයන් සදහා මුහුණ දීමට හැකි වන පරිදි ඒවායේ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සදහා ජපානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (10) දින කටුනායක ගුවන් තොටුපොළ සිල්ක් රූට් මගී පර්යන්තයේ දී පැවැත්වුනි .

මෙම උපකරණ පරිත්‍යාග කිරීම සදහා ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සදහා වූ සංවිධානය ජපාන රජය වෙත යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කර තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළ සහ කොළඹ වරාය වෙත ගමන් මලු සහ සම්පූර්ණ සිරුරු පරීක්ෂා කළ හැකි අධි තාක්ෂණික පරිලෝකන යන්ත්‍ර , මුහුණු හදුනා ගැනීමේ පද්ධති වලින් සමන්විත ස්වයංක්‍රීය ප්‍රත්‍යන්ත පාලන ගේට්ටු , ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමේ යන්ත්‍ර , ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලයන්හි පහසුව සදහා ස්පර්ශයෙන් තොර සන්වේදක මත ක්‍රියාත්මක සනීපාරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත සුහුරු වැසිකිළි 150 ක් , අපද්‍රව්‍ය බැහැර කිරීමට සහ සෞඛ්‍ය වෛද්‍ය සේවාවන් සදහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මෙම පරිත්‍යාගයන් අතර විය .

මෙම අවස්ථාවට වරාය , සිවිල් ගුවන් සේවා සහ නාවුක කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , එම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩි.එස්.රුවන්චචන්ද්‍ර , ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොශි හිඩෙයාකි , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය , සංක්‍රමණිකයන් සදහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාළදිවයින සදහා වන ප්‍රධානී සරත් දාස් ඇතුළු තවත් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වන ගුරුවරුන් 2500ක්

ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන් 2,500ක් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

“සැමට ඉංග්‍රීසි” වැඩසටහන යටතේ මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයන් ඉගැන්වීම සඳහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4,441කි.

නමුත් ඒ සඳහා ගුරුවරුන් 6,500ක පමණ අවශ්‍යතාවයක් පවතින බවත්, බොහෝ පාසල්වල දැනට සේවයේ නියුතු සංඛ්‍යාවට අතිරේකව අවශ්‍ය කටයුතු සැලසුම් කරගනිමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් පුළුල් කර ඇති බවත් පාසල් 765ක් සම්බන්ධයෙන් සිදු කරන ලද ඇගයීමකදී හඳුනාගෙන තිබේ.

ඒ අනුව, දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්වීම් සිදු කරනු ලබන පාසල් 765ක ප්‍රමාණය 2024 වර්ෂය තුළදී පාසල් 1,000ක් දක්වා වැඩි කරමින් ගුරු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වනු ලබන අනුමත ගුරු සංඛ්‍යාව 6,500 ක් දක්වා වැඩි කිරීමේ අරමුණින් අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

වියපත් කලාකරුවන්ට සහනයක්

වියපත් කලාකරුවන් මුහුණ දෙන අපහසුතාවලට පිළියම් ලබාදෙන බව අග්‍රාමාත්‍යවරයා ඊයේ (08) අරලිය ගහ මන්දිරයේ පැවැති උත්සවයට එක් වෙමින් පැවසීය.

ටවර් හෝල් රඟහල පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන වියපත් කලාකරුවන් සඳහා විශ්‍රාමික ජීවනාධාර ලබාදීමේ වැඩසටහන සඳහා අලුතින් ඉල්ලුම් කර ඇති කලාකරුවන් ඇතුළත් කර ගැනීමත්, ඔවුන්ට අලුත් අවුරුදු ත්‍යාග පිරිනැමීමත් මෙහිදී සිදු කෙරිණි.

මාසිකව රු.7,500/- ක විශ්‍රාමික ජීවනාධාරයක් තෝරාගත් වියපත් කලාකරුවන් 102ට ලබාදීම සිදුකෙරුණි. එම දීමනාව රු.10,000/- දක්වා වැඩිකිරීමට ටවර් හෝල් රඟහල පදනමේ සභාපති, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව මෙම මස සිට ටවර් හෝල් රඟහල පදනම මඟින් වියපත් කලාකරුවන් 122ට රු රු.10,000/- ක් බැගින් වූ විශ්‍රාමික ජිවනාධාරයක් ලබා දේ.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

මෙරට සංස්කෘතියට, විවිධ කලා ක්ෂේත්‍රවලට පණ දුන් ඔබ යළි හමුවීම සතුටක්. ඔබ සමග ඔබගේ තරුණ විය පහු වී තිබෙනවා. ටවර් හෝල් පදනම ඔබට ගෞරවය දක්වනවා වගේම ඔබගේ ජීවිතයට පහසුවක් එක් කිරීමේ බලාපොරොත්තු ඇතුව ආරම්භ කරන ලද මෙම ක්‍රියාදාමය ඉදිරියේ තවත් වැඩි දියුණු කිරීමට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා.

කලාකරුවන් මුහුණදෙන ආර්ථික අපහසුතාවන් පිළිබඳව සාකච්ඡා කළ භාරකාර මණ්ඩලය, එම අපහසුතාවයන් යම්තාක් දුරකට හෝ මඟ හරවා ගැනීමට විශ්‍රාමික ජීවනාධාරය වැඩි කිරීමට තීරණය කළා. ඒ පවතින ආර්ථික අර්බුද හමුවේයි. අපහසුතා ඇති තවත් කලාකරුවන් ඉදිරියේදී මෙම විශ්‍රාමික ජීවනාධාර වැඩසටහන සඳහා එක් කර ගැනීමට හැකි වෙයි.

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කලාව පණ පෙවූ අපේ රටේ කලාකරුවන් ඈත එපිට ගම්මානවල සිට අද ඇවිත් සිටිනවා. ඔවුන් වෙනුවෙන් අලුත් අවුරුදු උත්සවය සැමරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් ත්‍යාග පිරිනැමීමට ටවර් හෝල් රඟහල පදනම වාර්ෂිකව කටයුතු කිරීම අගය කොට යුතුයි. ඔබ සැමට රජයේ ගෞරවය යළිත් පුද කරනවා.

මෙම අවස්ථාවට අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩල සාමාජිකයින්, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී. එම්. එස්. දිසානායක හා කලාකරුවන් රැසක් සහභාගි වූහ.

කෙහෙළියගේ රීට් පෙත්සම ගැන තීරණය අප්‍රේල් 30 වැනිදා

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් හත් දෙනකුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරු වශයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය අප්‍රේල් 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කරනු ලැබීය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් ඉදිරියේ අද (අප්‍රේල් 09 වැනිදා) සලකා බැළුණි.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මූලික විරෝධතා මතු කරමින් මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය.

තමා අත් අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බවත් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවදුරටත් පවතින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසීය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් දෙන තුරු මෙම පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳව පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන මෙම රිට් පෙත්සමේ සඳහන් කර නොමැති අතර එය අධිකරණය හමුවේ කළ කරුණු වසන් කිරීමක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කර සිටියේය.

තමන්ට මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ප්‍රතික්ෂේප වූ අවස්ථාවක ඊට එරෙහිව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබියදී එම නීතිමය පියවර අනුගමනය කිරීම මග හැර පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවට පැමිණීම සම්මත නීතිමය පටිපාටිය උල්ලංඝණය කිරීමක් බවත් එය අධිකරණ බලය අවභාවිතයට ලක් කිරීමක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේය.

පෙත්සම්කරු නීතිය මගහැර තමාට රිසි අධිකරණ තෝරා මෙවැනි නඩුකර ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

එම අවස්ථාවේදි ප්‍රශ්නයක් මතු කළ විනිසුරු සමරකෝන් "ඔබ මේ අධිකරණයට චෝදනා එල්ල කරනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ගෙන් විමසීය.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා " ස්වාමීනි...මා කිසිම අවස්ථාවක ඔබ තුමාගේ අධිකරණයට චෝදනා එල්ල කරන්නේ නෑ. මා චෝදනා කළේ පෙත්සම්කරුට. පෙත්සම්කරු නීතිය අවභාවිතයට ලක් කිරීම මැඩ පැවැත්විය යුතුයි ." යනුවෙන් කියා සිටියේය.

මෙම පෙත්සමට අදාළ දිවුරුම් පෙත්සම පෙත්සම්කරු විසින් අත්සන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේදී බව එහි සඳහන් වන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පෙත්සම්කරුට පාර්ලිමේන්තු කටයුතු වලට සහභාගී වීම සඳහා පමණක් අනුමැතිය හිමි වී තිබෙන බවත් කියා සිටියේය.

බන්ධනාගාර රෙගුලාසිවලට අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවකු දිවුරුම් ප්‍රකාශයකට අත්සන් කළ යුත්තේ බන්ධනාගාර නිලධාරිකු ඉදිරිපිට බවත් මෙම නඩුවට අදාල දිවුරුම් පෙත්සම අත්සන් කිරීමේදී පෙත්සම්කරු එම නීතිමය ප්‍රතිපාදනය අනුගමනය කර නොමැති බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කරු බන්ධනාගාර පනත යටතේ වරදක්කර ඇති අතර පාර්ලිමේන්තු වරප්‍රසාද ද අවභාවිතයට ලක් කර තිබෙන බවත් චෝදනා කළේය.

ඒ අනුව අධිකරණය ඉදිරියේ පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් නෛතික පදනමක් එම පෙත්සම තුළ අන්තර්ගත වී නොමැති හෙයින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම මූලික විරෝධතා සම්බන්ධයෙන් සිය පිළිතුරු දේශන ඉදිරිපත් කළ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා පෙත්සම්කරු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වැරදි සහගත බවත් ඔහුට එරෙහිව පොලිසිය විසින් පොදු දේපළ පනත යටතේ විධිමත් සහතිකයක් ඉදිරිපත් කර නොතිබූ බවත් සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් අධිකරණ නඩුකරයේ සෙසු සැකකරුවන් සදහා ඉදිරිපත් කළ සහතිකය පෙත්සම්කරු සඳහා ද අදාළ කරගන්නා ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටිය ද එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඔහු චෝදනා කර සිටියේය.

ඒ අනුව පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පොදු දේපළ පනත යටතේ වු සහතිකයක් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ බව පෙනී යන්නේ යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ මත පදනම්ව නඩුව අවසන් වන තුරු පෙත්සම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීතියට පටහැනි බවත් කියා සිටියේය.

පොදු දේපළ පනත යටතේ විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කරනු ලබන්නේ මහාධිකරණය හමුවේ බවත් මහාධිකරණය හමුවේ එවැනි නඩු විභාගයක් ආරම්භ වී නොමැති අවස්ථාවක මෙම පෙත්සම්කරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය.

 ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් අතරමැදි පෙත්සමක්

මෙහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර කියා සිටියේ මෙම නඩුකරයට සම්බන්ධ අපරාධමය ක්‍රියාවලිය හේතුවෙන් මහජනතාව අගතියට පත්ව ඇති බවයි.

ඒ අනුව මහජන සුභසාධනය සැලකිල්ලට ගෙන මෙම නඩුකරයට මැදිහත්වීමට ලංකා නීතිඥ සංගමය තීරණය කළ බවත් මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ සියලු මූලික විරෝධතා තමන් පිළිගන්නා බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ මිලදී ගැනීම සිදු කර ඇත්තේ ඉන්දියානු ණය ක්‍රමය යටතේ බවට පෙත්සම්කරු ප්‍රකාශ කළත් එය මිලදී ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රජයේ අරමුදල් වලින් බවට කරුණු අනාවරණය වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මෙම ප්‍රමිතියෙන් තොර ඖෂධ හේතුවෙන් මාතර, මාතලේ, මහනුවර වැනි රෝහල් වල ප්‍රතිකාර ගත් රෝගීන්ට සංකූලතා මතුවී තිබෙන බවත් කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිකාර ගත් රෝගියෙකු මියගොස් ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

සියලු කරුණු සලකා බලා මෙම පෙත්සම විභාගයට ගැනීමට නොතීසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

(උපුටා ගැනීම -BBC සිංහල සේවය )

ආර්ථිකය උඩුයටිකුරු කරන පනත මැයි මාසයේ පාර්ලිමේන්තුවට !

රට තුළ නව ආර්ථිකයක් නිර්මාණය කරන්නේ තරුණ පරපුර ඉල්ලා සිටින වෙනස ලබා දෙමින් රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එම නව ආර්ථිකය ඇති කිරීමට අදාළ මුලික නීති ලබන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජුනි මාසයේදී සම්මත කර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති“ මගෙන් පටන්ගමු මහනුවර දිස්ත්‍රික් තරුණ සමුළුව“ අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

රට ශීඝ්‍ර දියුණුවකට ගෙන ගියේ නැත්නම් රටට අනාගතයක් නැහැ. රටේ ආර්ථිකය එක තැන පල්වීමට ඉඩ තබනවාද, එය ඉදිරියට ගෙන යනවාද නැත්නම් කඩා වැටීමට ඉඩ තබනවාද කියා තීරණය කළ යුත්තේ තරුණ පරපුරයි.

අද රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කළොත් රටේ ආර්ථිකය නැවත කඩාවැටීමකට ලක් වෙනවා. සෑම අයෙකුටම රට හැර යාමට ආර්ථික හැකියාවක් නැහැ. එසේනම් අප සියලු දෙනා එක්ව රටේ ආර්ථිකය ශක්තිමත් කරගත යුතුයි.

දැනට රට තුළ ක්‍රියාත්මක වන ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ තරුණ තරුණියන් සෑහීමකට පත් වන්නේ නැහැ. ඔවුන් වෙනසක් ඉල්ලා සිටිනවා. රට තුළ නව ආර්ථිකයක් ගොඩනැඟීමට අප කටයුතු කරන්නේ එම වෙනස ලබාදීම සඳහායි. ඒ සඳහා අවශ්‍ය මූලික නීති මෙම මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජුනි මාසයේ දී සම්මත කර ගැනීමට අපේක්ෂා කරනවා. ආර්ථිකය වෙනස් කිරීමට නම් රටේ නීති පද්ධතිය ද වෙනස් කළ යුතුයි.

රට ශීඝ්‍ර ආර්ථික දියුණුවක් කරා ගෙන යාමේදී රජයේ සෑම දෙපාර්තමේන්තුවකම හා සංස්ථාවකම සහාය අවශ්‍ය වෙනවා. එසේ සිදු කිරීමට නොහැකි නම් එම ආයතන ව්‍යුහය සංශෝධනයකට ලක් කළ යුතුයි.

ඒ වගේම ගමේ ආර්ථිකය දියුණු නොකර රටේ ආර්ථිකය දියුණු කරන්න බැහැ. දියුණු සෑම රටක්ම ග්‍රාමීය කෘෂි ආර්ථිකය දියුණු කර තිබෙනවා. ගමට නවීන කෘෂිකර්මාන්තය ගෙන ඒමට අප කෘෂි නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේ ඒ නිසයි. එසේ නම් වෙනසක් සමඟ ඉදිරියට යනවාද, එක තැන පල්වෙනවාද කියා තරුණ ඔබ තීරණය කළ යුතුයි.

1977 එක්සත් ජාතික පක්ෂය බලය ලබාගත් අවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රට ඉදිරියට ගෙන යාම සිදු කළ යුත්තේ තරුණ පිරිස කියලයි. “ඔබ එය සිදුකිරීමට සූදානම් නම් මම අවශ්‍ය මඟපෙන්වීම ලබාදෙන්නම් කියලා” එතුමා ප්‍රකාශ කළා.

ඒ අනුව තරුණ අප මැතිවරණයට ඉදිරිපත්ව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා ගෙන ගියා. ඉන් පසුව එතුමා මහවැලි ව්‍යාපාරය ආරම්භ කළා. වසර 30ක් ගතවන බව පැවසූ මහවැලි ව්‍යාපාරය වසර 10කින් අවසන් කිරීමට හැකි වුණා. ඒ වගේම රටට අවශ්‍ය විදුලි බලය ලබා දුන්නා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ සමයේදී වෙළෙඳ කලාප දෙකක් ආරම්භ කළා. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා රටපුරා ඇඟලුම් කර්මාන්ත ශාලා 200ක් ආරම්භ කර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළා.
අප එදා තරුණයන් ලෙස මෙම වැඩසටහන් ඉල්ලා සිටියා. තරුණ පරපුර ලෙස අද ඔබ ඊට සූදානම් නම් අප එක්ව මෙම ගමන යමු. නව ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය නීති ගෙන ඒමට අප කටයුතු කරනවා.

ආර්ථිකය ප්‍රතිව්‍යුහගතකරණ පනත ගෙනවිත් අප එම වැඩපිළිවෙළ ආරම්භ කරමු. තවද රජයේ මුදල් පාලනය කිරීමට නව මුදල් පනතක් ගෙන ඒමටද කටයුතු කරනවා.

අද රටේ ජනතාවගෙන් බහුතරයක් කාන්තාවන් වුවත් රැකියා නියුක්ත කාන්තා නියෝජනය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කරන නව පනත් දෙකක් අප ගෙන එනවා. මේ සියල්ලම මෙම මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ සමඟ රටේ විශාල වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනස සඳහා එක්වන ලෙස මම ඔබට ආරාධනා කරනවා.

ඔබව බොරුවෙන් මුලාකරන කිසිඳු පාර්ශ්වයකට මම ඉඩදෙන්නේ නැහැ. ඔබේ ප්‍රශ්න පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා. මෙම නව නීති ගෙන එන්නේ එම ප්‍රශ්න විසඳීමට බව කිව යුතුයි.

මෙහිදී තරුණ තරුණියන් මතු කළ ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුරු මෙසේය,

ප්‍රශ්නය
ජනාධිපතිතුමනි, අප රටේ විවිධ අණපනත් ගෙනවිත් තිබෙනවා. ඒ වගේම ළඟදී පිහිටවූ ජනසභාව හොඳ පනතක්. දැන් ජනසභා පිහිටුවීම මන්දගාමී වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.

පිළිතුර
ජන සභා හොඳ වැඩසටහනක්. මේ වන විට අත්හදා බැලීමේ පදනම මත කිහිපයක් ආරම්භ කර තිබෙනවා. ජනසභා නීතිගත කිරීමේදී ප්‍රශ්න ඇති නොවන ආකාරයට කටයුතු කළ යුතුයි. එහි සාමාජිකයන් තේරීම වැනි ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. පළාත් පාලන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර, ප්‍රශ්න විසඳගෙන මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ යුතුයි. මේ වසරේ නොහැකි වුවහොත් ලබන වසරේදී යළිත් ජනසභා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ‍

ප්‍රශ්නය
අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමේදී අඩුපාඩු සිදුව තිබෙනවා. දිළිඳු පවුල් සියල්ලටම අස්වැසුම ප්‍රතිලාභ ලැබෙයි කියා අප බලාපොරොත්තු වෙනවා.

පිළිතුර
එම අඩුපාඩු මඟහරවා ගනිමින් කටයුතු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන් මෙම ප්‍රතිලාභය ලබාදීමේ දී සුදුසුකම් පිළිබඳව සොයා බලනවා. 2025 වසරේදී මෙම වැඩසටහන පරිගණකගත කිරීමට බලාපොරොත්තු වෙනවා. ලක්ෂ 24කට මෙම ප්‍රතිලාභය ලබාදීමට අපේක්ෂා කරනවා. අස්වැසුම වැඩසටහන ආරම්භ කළේ රටේ සියලු දළිඳු ජනතාවට සහනයක් ලබාදීමටයි.

ප්‍රශ්නය
බිඳ වැටී තිබූ මෙරට සංචාරක කර්මාන්තය මේ වන විට යහපත් තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා. කුඩා ව්‍යාපාර කර්මාන්තකරුවන්ට සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ බෙදී යන ආකාරයට වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවාද කියා දැන ගැනීමට කැමතියි.

පිළිතුර
කොරෝනා වසංගතය සහ රට තුළ ඇති වු අයහපත් ආර්ථික තත්ත්වය නිසා මෙරට සංචාරක ව්‍යාපාරය කඩාවැටීමකට ලක් වුණා. නමුත් මේ වන විට අපේ රටට සංචාරකයන් පැමිණීම නැවතත් ඉහළ ගොස් තිබෙනවා.

සංචාරක ව්‍යාපාරයේ මෙම නව පිබිදිමත් සමඟ කුඩා පරිමාණයේ ව්‍යවසායකයන්ට සහන ලබාදීමට ද අප කටයුතු කරනවා. ඒ වගේම මෙරට සංචාරක ව්‍යාපාරය ශීඝ්‍ර වර්ධනයකට ගෙන යාමට අප සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සෑම පළාතකම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට කමිටුවක් පත් කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය
වෘත්තීය පුහුණුව අවසන් කරන තරුණ තරුණියන් සඳහා ප්‍රමාණවත් රැකියා අවස්ථා නැහැ. වෘත්තීය පුහුණුව අවසන් කරන අභ්‍යාසලාභීන් සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර කුමක්ද කියා දැන ගැනීමට කැමතියි.

පිළිතුර
ආර්ථික අර්බුදය නිසා ඇතැම් පිරිසකගේ රැකියා අහිමි වුණා. මේ වන විට රට බංකොලොත්භාවයෙන් ඉවත් වෙමින් තිබෙනවා . විශේෂයෙන් රට තුළ ආයෝජන අවස්ථා පුළුල්වීමත් සමඟ නව රැකියා අවස්ථා රැසක් බිහි වෙනවා.

අමාත්‍ය මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස, එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට කැබිනට් අනුමැතියක්

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, 1988 අංක 27 දරන ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය (සංශෝධන) පනත මගින් විශ්වවිද්‍යාලයක් බවට පත් කර ඇත.

සන්නද්ධ සේවාවන්හි සේවා අවශ්‍යතාව අනුව, වෛද්‍ය වෘත්තිකයින් වශයෙන් ශිෂ්‍යභට නිලධාරීන් පුහුණු කර වෛද්‍යවේදය සහ ශල්‍ය වෛද්‍යවේදය (MBBS) උපාධි පිරිනැමීම සඳහා 2011 වර්ෂයේදී මෙම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කෙරිණි.

ඒ අනුව, දැනට දේශීය සිසුන් සඳහා ත්‍රිවිධ හමුදාවට හෝ පොලිසියට කැඩෙට් නිලධාරියෙකු ලෙස බැඳීමෙන් පමණක් සහ විදේශීය සුදුසුකම් ලත් සිසුන් සඳහා මුදල් ගෙවීමේ පදනම මත පමණක් එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීමේ අවස්ථාව ලබා ගත හැකි බව රජය පවසයි.

එම අවස්ථාව තවදුරට ත් පුළුල් කරමින් 2024 අධ්‍යන වර්ෂයේ සිට සුදුසුකම් සපුරා ඇති දේශීය අයැදුම්කරුවන් ද මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා බඳවාගැනීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතික විශ්වවිද්‍යාලවල සිසුන් බඳවා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුගමනය කරනු ලබන z අගයට අමතරව තවත් අතිරේක සුදුසුකම් කිහිපයක් ද සහිතව සකස් කරනු ලැබ ඇති නිර්ණායක අනුගමනය කරමින්, ගෙවීමේ පදනම මත වෛද්‍යවේදය හා ශල්‍ය වෛද්‍යවේදය උපාධි හැදෑරීම සඳහා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත උපාධි අපේක්ෂකයන් ඇතුළත් කර ගැනීම සඳහා මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

download 1

එක දවසේ ජන්ද 2ක් බෑ : මැකොස පවසයි !

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම එකට පැවැත්වීමට හැකි නීතිමය පසුබිමක් රටේ නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක අවධාරණය කරයි.

මැතිවරණ දෙකම එකට පැවැත්වීම ජනප්‍රිය මාතෘකාවක් වුවත් එමගින් වියදම අඩුවේදැයි යන්න ගැටළුවක් බවත් සමහර විට මෙය වියදම වැඩිවීමට බලපාන කාරණයක් විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

නිශ්චිත කාලවලදී ඒ ඒ මැතිවරණ පවත්වන්නේ නම් කිසිදු ගැටලුවක් මතු නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වර්ෂයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට කොමිෂන් සභාව සූදානම් බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

ආර්ථික පරිවර්තනයේ දී නීති පද්ධතියද නවීකරණය විය යුතුයි- ජනපති

රට තුළ සීග්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතියද නවීකරණය විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහනුවර නීතිඥවරුන් සමඟ ඊයේ (07) මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවති සුහද හමුවේදීය.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට ඇති කඩිනම් විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ප්‍රතිලාභය ජනතාවට හිමිකර දීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම නීතිගත කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

එසේම සෑම ක්ෂේත්‍රයකම නවීකරණයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් ගෙන එන බව පැවසූ ජනාධිපතිවරයා එම කටයුතු සඳහා නීති ක්ෂේත්‍රයේ සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරනවාද, නැත්නම් එය ආපසු හරවනවාද යන්න පිළිබඳ අප තීරණය කළ යුතුයි. මේ සඳහා එකඟත්වය පළ කරුණු සෑම අවස්ථාවකම පසුව එම තීරණය ආපසු හරවන බවට නරක නාමයක් ශ්‍රී ලංකාවට තිබෙනවා. රට වෙනුවෙන් අපට ලැබී ඇති අවසන් අවස්ථාව මෙයයි. ඒ නිසා මෙම ප්‍රතිලාභය ජනතාවට ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම නීතිගත කිරීමට අප බලාපෙරොත්තු වෙනවා.

රට හමුවේ ඇති වගකීමෙන් අප කිසිවෙකුට පැන යන්න බැහැ. ඒ නිසා එහිදී වැදගත් තීන්දු තීරණවලට එළැඹිය යුතුයි.

එසේම රටේ දැනට පවතින ආර්ථික ක්‍රමය සමඟ එක තැන සිරවී සිටිනවාද, නැතිනම් තරගකාරී අපනයන ආර්ථිකයකට යොමුව රටේ ආර්ථිකය ශක්තිමත් කර, නැවත රට තුළ ආර්ථික අර්බුදයක් ඇති නොවන්නට වග බලා ගන්නවාද කියා අප තීරණය කළ යුතුයි.

මේ රටේ ආර්ථිකය නැවත ශක්තිමත් කළ හැකි බවට විශ්වාසයක් මා තුළ තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය භෞතික සම්පත මෙන්ම මානව සම්පත්ද අප සතුව තිබෙනවා. අපේ රටේ ව්‍යාපාරිකයන් බොහෝ පිරිසක් පිටරටවල සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනු ලබනවා. අද ලෝකයේ විශාලතම වැවිලි සමාගම අයත් වන්නේ ලංකාවේ සමාගමකටයි. ඒ වගේම ලෝකයේ විශාලතම තේ වතු සමාගම අයත් රට ශ්‍රී ලංකාවයි. අපගේ ඇඟලුම් කර්මාන්තයට ලෝකයේ ඉහළ තැනක් හිමිව තිබෙනවා. එම නිසා උත්සාහ කළහොත් අපට ලෝකය දිනාගත හැකියි. එබැවින් අප කඩිනමින් අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි. එහිදී නව ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

එසේම අපගේ වෙළෙඳ භාවිතාවන්වල විශාල වෙනස්කම් සිදුවිය යුතුයි. එහිදී බොහෝ නීති නවීකරණය කළයුතුයි. එසේම ලෝකය පිළිගත් නවීන නීති බොහොමයක් තවමත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ නැහැ. අප ලෝකයට අවතීරණවීමට නම් එම නීති පද්ධතියටද ඇතුළත් විය යුතුයි.

ආර්ථික පරිවර්තන වැඩපිළිවෙළේදී ඩිජිටල් ආර්ථිකයක් පිළිබඳ අප ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙනවා. ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමේදී ඩිජිටල්කරණය හා සම්බන්ධ සියලුම නීති ඊට ඇතුළත් විය යුතුයි.

ඒ වගේම දේශගුණික විපර්යාස පිළිබඳ නීති සහ නව පාරිසරික නීති ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. එසේම නව මූල්‍ය නීති හා බැඳුණු වාණිජ නීති අප විසින් සම්පාදනය කරනවා. නව බැංකු නීති කෙටුම්පත් කරනවා. මෙම පියවර සමඟ ඉදිරි වසර 10 තුළ නව නීති පද්ධතියක් රට තුළ නිර්මාණය වෙනවා. එය ශ්‍රී ලංකාව දිගුකාලීන සංවර්ධනයක් කරා ගෙන යන වැඩපිළිවෙළක් වනු ඇති බව මාගේ විශ්වාසයයි.

නව නීති ගෙන එන අතරම පවතින නීතිවල සංශෝධනද සිදු විය යුතුයි. ශ්‍රී ලංකාව අයෝජන සඳහා සුදුසු රටක් ලෙස සාර්ථකවීමට නම් ඊට අදාළව ක්‍රියාත්මකවන නීති පද්ධතියේද සංශෝධනයක් අවශ්‍යයි. අප රට තුළ ආයෝජකයන් රඳවා තබා ගැනීමට නොහැකි එක් හේතුවක් වන්නේ නීතිමය කටයුතුවල තිබෙන ප්‍රමාදයයි.
එසේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත කරන විට වරාය නගරය කොළඹ මූල්‍ය කලාපය බවට පරිවර්තනය කිරීමට අපගේ අවධානය යොමු කර තිබෙනවා. එවිට එය අක්වෙරළ ආර්ථිකයක් බවට පත් වනු ඇතියි. එය වෙනම අංශයක් ලෙස ක්‍රියාත්මක වන අතර අලුත් නීති මාලාවක්ද ක්‍රියාත්මක වෙනවා.

ඊට අමතරව, කාන්තාවන් සවිබල ගැන්වීමේ නීතිය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ නීතිය ගෙන ඒමට පියවර ගෙන තිබෙනවා.

රටේ සිදුකරන ආර්ථික පරිවර්තනයේ දී නීති පද්ධතිය ද නවීකරණය කළ යුතුයි. අප තීරණ ගත යුත්තේ තවත් වසර 20ක ඉදිරිය දෙස අවධානය යොමු කරමිනුයි. තවත් වසර 20ක් යන විට මා සහ මෙතන සිටින බොහෝ පිරිසක් ජීවතුන් අතර නොසිටීවි. නමුත් මෙහි සිටින තරුණ නීතිඥයන් මෙම නවීකරණ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතුයි.

අද අපට ලැබී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමේ අවසාන අවස්ථාවයි. එබැවින් නවීකරණය වී ලෝකය සමඟ ඉදිරියට යනවාද, පසුපසට ඇද වැටෙනවාද කියා තීරණය කළ යුතුයි. 1948 නිදහස ලැබූ දා සිට අපට ලැබුණු කිසිඳු අවස්ථාවකින් අප නිසි ප්‍රයෝජන ගත්තේ නැහැ. නමුත් අප මෙම වසරේදී රට පිළිබඳ සිතා තීරණයකට එළැඹිය යුතුයි.

විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුද, නැතිනම් ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුද යන්න අද රට හමුවේ තිබෙන වැදගත් ප්‍රශ්නය බවට පත් කිරීමට ඇතැමුන් උත්සාහ දරනවා. එය වැදගත් දෙයක් කියා මා සිතන්නේ නැහැ. එය තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුවයි.

අද දවසේ වැදගත් ප්‍රශ්නය වන්නේ රටේ සිටින්නේ විධායක ජනාධිපතිවරයෙකුද, අගමැතිවරයෙකු ද යන ප්‍රශ්නය නොවෙයි. ශ්‍රී ලංකාව දියුණු කළ හැක්කේ කෙසේද යන ප්‍රශ්නයයි. ඒ නිසා සැබෑ අරමුණ කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දෙමින් එම ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අප සියලුදෙනා එක් වෙමු කියා මම ආරාධනා කරනවා.

අමාත්‍ය මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න , දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාව එක්ව සිටියහ.

Page 5 of 386