රජය, පදිංචිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනත නමින් නව පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමේ අරමුණින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමග නීතිඥ ප්‍රජාව සහ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් අතර යම් අවිනිශ්චිතතාවක් ඇතිවෙලා තිබෙනවා. යෝජිත පනතෙන් 2023 අංක 01 දරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනතින් බදු හිමියා වෙත ලබා දී ඇති නීත්‍යනුකූල අයිතිවාසිකම් අතර ගැටීමක් සිදුවිය හැකි බව සහ බදු හිමියා ගේ අයිතිවාසිකම් නිෂේධනය කිරීමක් විය හැකියි කියල.
බදු හිමියාගේ අයිතිවාසිකම්වලට බලපෑමක් නැත
ඇත්තෙන්ම යෝජිත පනතෙන්, 2023 අංක 01 දරන පනතෙන් බදු හිමියා වෙත ප්‍රකාශිතව ලබාදී ඇති නීත්‍යානුකූල අයිතිවාසිකම් කිසිවකට බලපෑමක් සිදුවන්නෙ නෑ.
බදු ගිවිසුමක පාර්ශ්ව දෙකක් සිටිනවා. එක් පාර්ශ්වයක් බදු හිමියා හෙවත් බදු දීමනාකරු. අනෙක් පාර්ශ්වය බදු ගැනුම්කරු. බදු ගිවිසුමේ මේ දෙපාර්ශ්වයේම අයිතිවාසිකම් ප්‍රකාශිතව දැක්වෙනවා. ඒ දැක්වෙන අයිතිවාසිකම්වලින් බදු හිමියා ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් උල්ලංඝනය වීමක දී සහන සලසන්න තමයි 2023 අංක 01 දරන පනත ගෙන ආවේ.

යෝජිත පනතෙන් පිරවෙන හිදැස
ගිවිසුමක පාර්ශ්ව දෙකක් සතු නීත්‍යනුකූල අයිතිවාසිකම් උල්ලංඝනය වීමක දී දෙපාර්ශ්වයට ම නෛතික සහන ලබා ගැනීමට ඉඩක් තිබිය යුතුයි. 2023 අංක 01 පනතින් බදු හිමියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර තිබුණ ද බදු ගැණුම්කරුවා ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන නීතියක් තිබුණෙ නෑ. අන්න ඒ හිඩැස පුරවන්න තමයි යෝජිත පනත සම්මත කරන්නෙ.
ගෙවල් කුලී පනත වර්තමානයේ ප්‍රායෝගිකව භාවිත වෙන්නෙ නෑ. භාවිතා වෙනවනම් එය විරලයි. ගෙවල් කුලී පනතින් කුලීකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර තිබෙනවා. නමුත් ගෙවල් කුලී පනතින් ආවරණය නොවන පරිශ්‍රවල පදිංචිකරුවන් ගේ සාධාරණ, යුක්ති සහගත අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වර්තමානයට ගැළපෙන නීතියක අවශ්‍යතාව යෝජිත පනතෙන් සම්පූර්ණ කරනවා.
බදු ගැනුම්කරුට ඇති වාසි
බදු පරිශ්‍රයක අනීතිකව රැඳී සිටින බදු ගැනුම්කරුවකුව එකී පරිශ්‍රයෙන් නෙරපන්න, හිඟ බදු අයකර ගන්න, 2023 අංක 01 පනත අනුව බදු හිමියෙකුට පුළුවන්. එය බදු හිමියන් සම්බන්ධයෙන් බලවත් සහ ඉක්මන් නීතියක්.සමහර බදු හිමියන් ඉන්නවා බදු ගැනුම්කරු නීත්‍යානුකූලව බදු පරිශ්‍රයේ සිටින විට, බදු ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමක් නොකරන අවස්ථාවලත් බදු ගිවිසුම් කාලයට පෙර බදු ගැනුම්කරු ඉවත් කිරීමට උත්සහ කරන. වෙනත් අයෙක් ඇවිත් වැඩි මුදලකට බදු දේපළ ඉල්ලුවොත් ඒ වැඩි මුදලට ඉල්ලුව කෙනාට දෙන්න එකඟ වෙනවා. එහෙම එකඟ වුනාට නීත්‍යානුකූල බදු ගිවිසුමක් තිබේ නම්, නිසි පරිදි මාසික බද්ද ගෙවනව නම්, බදු ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කරන්නෙ නැත්නම් එවැනි අවස්ථාවක 2023 අංක 01 පනත අනුව බදු ගැනුම්කරු ඉවත් කරන්න නීතියේ සහය පතන්න බෑ. ඒ වෙලාවට බදු හිමියා කරන්නෙ බලහත්කාරයෙන් ඉවත් කිරීමක්. බලහත්කාරයෙන් ඉවත් කරන්න බැරිවුණාම හරි, එහෙම කිරීම ප්‍රශ්න උද්ගත වෙන නිසා බදු හිමියන් විසින් විදුලිය, ජලය, සන්නිවේදනය යනාදි අත්‍යාවශ්‍ය සේවා හා සැපයුම් කපා හරින්න පුළුවන්; ප්‍රවේශ මාර්ග අවහිර කරන්න පුළුවන්. දෛනික ජීවිතය පවත්වාගෙන යන්න අත්‍යාවශ්‍ය සේවා හා සැපයුම් නැති වුනාම පදිංචිකරුවන් අකමැත්තෙන් වුනත් යන්න වෙනවා. ඔන්න ඔය වගෙ බලහත්කාරකම් නැවැත්වීමේ අරමුණින් තමයි මේ පනත ගෙන එන්නෙ.
ආරවුල්කාර පදිංචිකරුවන්ට සහන නෑ
පනත් කෙටුම්පතේ 02වන වගන්තියට අනුව මෙම පනතේ සහන සහ රැකවරණ ලබාගත හැකි වන්නේ පදිංචිකරුවන් කාණ්ඩ දෙකකට පමණයි.
1) පරිශ්‍රයක නීත්‍යනුකූලව පදිංචි වී සිටින
2) 3 , 4 , 5 වගන්ති යටතේ නිශ්චිතව දක්වා ඇති සිද්ධි සිදුවීමට පෙරාතුව මාස තුනකට වැඩි කාල සීමාවක් ඒ පරිශ්‍රයේ නිරවුල් හා අඛණ්ඩව පදිංචි වී සිටින අයට.
ඒ අනුව ඉතාමත්ම පැහැදිලියි යෝජිත පනත අනුව නෛතික සහන ලබාගත හැකිවන්නේ යම් පරිශ්‍රයක නීත්‍යනුකූල පදිංචි වී සිටින සහ මාස තුනකට වැඩි කාලයක් නිරවුල් හා අඛණ්ඩ පදිංචියක් ඇති අයට පමණයි. මෙම පනත කිසි ලෙසකින්වත් අනවසර, අනීතික, නීත්‍යානුකූල නොවන, ආරවුල්කාර පදිංචිකරුවන්ට සහන ලබාදෙන්නෙ නෑ.

ගෙහිමියාට එරෙහිව මුල් අවස්ථාවේ අතුරු තහනම් ආඥා
මාස තුනකට වැඩි කාල සීමාවක් ඒ පරිශ්‍රයේ නිරවුල් හා අඛණ්ඩව පදිංචි වී සිටින අය යනුවෙන් හැඳින්වීම තුළ නීත්‍යනුකූල බදු ගිවිසුමක් ලියා අත්සන් කර නොමැති, එහෙත් දේපළ හිමියාගේ කැමැත්ත සහ එකඟත්වය ඇතිව යම් දේපළක පදිංචියට පැමිණ මාස 3ක කාලයක නිරවුල්ව, අඛණ්ඩව සිටි පදිංචිකරුවන් අදහස් වෙනවා. ඒ නිසා දේපළ බදු දෙන්නන් ඉදිරියේ දී බදු ගිවිසුමක් හරහා ම එය කිරීමට මෙයින් බලපෑමක් කරනවා.
කෙටුම්පතේ 3 , 4 හා 5 වගන්තිවල සඳහන් වෙනවා ගෙහිමියා හෝ ඔහු බලය දෙන යම් තැනැත්තකු විසින් යම් පරිශ්‍රයක් සම්බන්ධයෙන් නොකර හැරීම් හා නොකළ යුතු ක්‍රියාවන් මොනවද කියල.
කෙටුම්පතේ 06 වන වගන්තියට අනුව 3 , 4 ,5 වගන්තිවල සඳහන් ක්‍රියා සහ නොකර හැරීම් කරන අවස්ථාවල පදිංචිකරුට පුළුවන් ගෙහිමියාට විරුද්ධව අධිකරණයට යන්න. නඩු පවරන්න ඕනි දිසා අධිකරණයේ. ඉදිරිපත් කරන පෙත්සම, දිවුරුම් ප්‍රකාශය, ලේඛන හා සාක්ෂි මත පදනම්ව ගරු අධිකරණයට බලය තිබෙනවා ගෙහිමියාට එරෙහිව මුල් අවස්ථාවේ අතුරු තහනම් ආඥාවන් නිකුත් කරන්න. මෙම නඩු පැවරීම් සඳහා කාලවරෝධය බලපානවා. කෙටුම්පතේ 3 ,4 ,5 වගන්තිවල සඳහන් කර ඇති ක්‍රියාවක් හෝ නොකර හැරීමක් කර මාසයක් ඇතුළත නඩු පැවරිය යුතුයි.
කෙටුම්පතේ යෝජනා කර තිබෙනවා පෙත්සමේ දිනයේ සිට මාස තුනක් ඇතුළත නඩු විභාගය අවසන් කළ යුතු බව. නමුත් විරෝධතා ප්‍රකාශයක් මඟින් කරුණු ඉදිරිපත් කිරීමට වගඋත්තරකරු ඉල්ලීමක් කරන අවස්ථාවක , ඒ විරෝධතා ප්‍රකාශය ලැබුණු දිනයේ සිට මාස නවයක් ඉකුත්වීමට පෙර නඩු විභාගය අවසන් කළ යුතු බව සඳහන් කර තිබෙනවා.

සවිස්තර සාකච්ඡා පසුවට
පෙත්සම් විභාග කරන්නෙ කෙසේ ද? පෙත්සම් විභාගයෙන් පසු ලබාදෙන සහන, නියෝග මොනව ද? අභියාචනා ගැන මෙම පනත් කෙටුම්පත නීතියක් ලෙස සම්මත වුනාම කතා කරමු. මොකද මේ කෙටුම්පත නීතියක් බවට පත් වෙනකොට වගන්ති අංක වෙනස් වෙනවා , සමහරවිට කාරක සභා අවස්ථාවල දී සංශෝධන ගෙන එන්න පුළුවන්. ඒ නිසා මෙය සවිස්තරව සාකච්ඡා කළ යුත්තේ පනතක් බවට පත්වීමෙන් පසුවයි.


