V2025

පුවත්

පවුල් ලක්ෂ 31කට සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කෙරේ !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සැලසුම් කර තිබෙන ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 31කට සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

‘කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා’ යන තේමාව යටතේ රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යාවරයා සඳහන් කළේය.

මේ යටතේ සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත පුද්ගල සහ වකුගඩු රෝගී ජීවනාධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන පවුල් හෝ පුද්ගලයන් , සහනාධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පුද්ගලයන් මෙන්ම වත්මන් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව රජයේ සුභසාධන ප්‍රතිලාභ අපේක්ෂා කරන පුද්ගලයන්ට මෙම ප්‍රතිලාභ හිමි වන බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
මේ වන විටත් ප්‍රතිලාභ අපේක්ෂකයින් වෙතින් අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති අතර, එහි අවසන් දිනය ඔක්තෝබර් මස 15 දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ බව ද සේමසිංහ අමාත්‍යවරයා පැවසීය.

සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් (www.wbb.gov.lk) මීට අදාළ අයදුම්පත ඕනෑම අයෙකුට බාගත කරගැනීමට අවස්ථාව තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය .

නව අයදුම්පත් කැඳවීමෙන් අපි බලාපොරොත්තු වන්නේ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් තිබෙන සියලුම පුද්ගලයන් මීට ඇතුළත් කර ගැනීමටයි. සමාජ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් ප්‍රතිලාභ ලැබිය යුතු සියලු දෙනාටම දීමනා ලබා දීමට රජය කටයුතු කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ඇති කරගෙන, රජය දීමනා කප්පාදු කරනවා කියා ඇතැමුන් අසත්‍ය ප්‍රචාර කරනවා. රජයට අවශ්‍ය දැනට සුබසාධන දීමනා ලැබෙන කණ්ඩායම මෙන්ම සුබසාධන දීමනා නොලබන නමුත් එය අපේක්ෂා කරන කණ්ඩායම නිවැරැදි ක්‍රමවේදයට ඇතුළත් කර ගැනීමයි.

මෙය හැකි ඉක්මනින් සිදු කරනවා. මේ වසර අවසානය වෙද්දි සියලු තොරතුරු එක්රැස් කරලා අවශ්‍ය, සුදුසු, නිවැරැදි කොනාට දීමනාව ලබාදීම අපේ අපේක්ෂාවයි.

කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා, කියන ජාතික වගකීමට අපි එකතු වෙලා ඉන්නේ. දැනට මහජන ආධාර, සුබසාධන දීමනා ලැබෙන, ආබාධිත දීමනා ලැබෙන කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංච් වීම අනිවාර්ය වෙනවා. දැනට සුළු ප්‍රතිලාභීන් පිරිස ලියාපදිංච් වී තිබෙන්නේ. ඒ නිසයි අපි ලියාපදිංචිය දීර්ඝ කරලා තිබෙන්නේ. මේ දිනය තවත් දීර්ඝ කරනවා කියන්නේ ප්‍රතිලාභ ලැබෙන දිනයත් කල් යනවා. මෙය කඩිනමින් සිදු කළ යුතුයි.

ඒ සඳහා අපට දත්ත පද්ධතියක් අවශ්‍ය වෙනවා. මෙම අයදුම්පත් ලබාගැනීම මගින් සිදු කරන්නේ එම දත්ත පද්ධතිය සකස් කිරීමයි. දැනට ප්‍රතිලාභ ලැබෙන ජනතාවත් මේ සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය යි. මෙම කාරණාව විනිවිදභාවයකින් සිදු කිරීමට අපි දත්ත පද්ධතික් සකස් කරලා තිබෙන්නේ. මේ සඳහා ගමේ තරුණ තරුණියන්ට විශාල වගකීමක් තිබෙනවා.

ගමේ අසරණ ජනතාව පිළිබඳ සොයා බලා ඔවුන් පිළිබඳව දැනුවත් කිරීමටත් හැකියාව තිබෙනවා. වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයින්, වකුගඩු රෝගීන්, අසරණභාවයට පත්වූ පවුල් සමහර ගම් පළාත්වල සිටිනවා . ඒ සියලු දෙනාම මෙම දත්ත පද්ධතියට ඇතුළත් කර ඔවුන්ව රැක බලා ගැනීම සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් සිදු කරනවා.

මේ අයදුම්පත්‍රය ලබා දුන් පසුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ගොස් එම පවුල් පිළිබඳ සොයා බලා ඉදිරි කටයුතු සිදු කරනවා. මෙහි ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ අනුව ඔවුන් දත්ත පද්ධතියට ඇතුළත් වෙනවා. මේ ක්‍රියාවලියේදී තමන් තෝරා නොගත හොත් අභියාචනාවක් ඉදිරිපත් කිරීමටත්, නුසුදුස්සෙක් පද්ධතියට ඇතුළත් වී තිබෙනවා නම් විරෝධතාවක් ගොනු කිරීමටත් හැකියාව තිබෙනවා. මේ සියලු කාරණා සිදු කරන්නේ කිසිදු කෙනකුගේ දීමනා කප්පාදු කිරීමට නොවෙයි. විනිවිදභාවයකින් ප්‍රතිලාභ දීමනා ලබාදීම සඳහායි.

මෙම අවස්ථාවට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න, ආබාධිතයන් පිළිබඳ මහලේකම් කාර්යාලය අධ්‍යක්ෂ අනුරාධා හේරත්, වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කේ.ජී ලැනරෝල් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

IMG 20221006 WA0033

IMG 20221006 WA0034

IMF ගැන සුමන්තිරන්ගේ ප්‍රශ්නයට : ජනාධිපති දුන්න උත්තරේ මෙන්න !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා පිළිබඳව ඉදිරි සති දෙකක් ඇතුළත විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අයි.එම්.එෆ් මණ්ඩලය සහතික කරන තුරු මූල්‍ය අරමුදලේ එකඟතාවයන් ඉදිරිපත් කිරීමට නොහැකි බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය කිරීමෙන් පසු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයා විමසා සිටියේ ශ්‍රී ලංකාවේ පවතින දූෂණ වංචා රට ඉදිරියට යාමට අභියෝගයක් බව අයි.එම්.එෆ් සංවිධානය ප්‍රකාශ කර තිබෙන බවත් එම දූෂණ නතර කිරීමට රජයේ සැලසුම කුමක්ද යන්න සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික මට්ටමේ සාකච්ඡා පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරන්නේ නැතිදැයි කියාය.

එහිදී ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසූයේ අයි.එම්.එෆ් සංවිධානය දූෂණ සම්බන්ධයෙන් ගෙනා යෝජනාව පිළිබඳ අධිකරණ අමාත්‍යවරයා විසින් අලුත් දූෂණ නීතියක් ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තුවේදී එය සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබෙන බවත්ය.

ජනාධිපති රනිල්ගෙන් තවත් ගැසට් පත්‍රයක් !

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඊට අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ඇත.

එම විෂය පථයන් ඊයේ (05) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

මීට පෙර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පැවති අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවතුණේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේය.

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවතිණ.

ඊට අමතරව තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පැවති කාර්මික තාක්ෂණ ආයතනය අද (06) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි කර්මාන්ත අමාත්‍යාංශය යටතට පවරා ඇත.

සජිත් ඩලස් හාදකම අස්සට GL රිංගයි !

පාර්ලිමේන්තුවේ විපක්ෂය ඇතුලේ දැන් ඉන්න කන්ඩායම් කිහිපයක්ම මේ වෙනකොට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් එක්ක සහයෝගෙන් වැඩ...

එලියේ මිනිස්සු මොනවා කිව්වත්, සජිත්ට පාර්ලිමේන්තුව ඇතුලේ, තමුන්ගේ කන්ඩායම එකට තියාගන්න පුලුවන් වෙලා තියෙන්නේ, සජිත්ගේ හැමෝටම ඇහුම්කම් දීලා එකට තීරණ ගන්න නිසා කියලා, ඩලසුත් මේ ළඟදී 'නිදහසේ ' කට්ටියත් එක්ක කියල තිබුන ලු..

" මයික් එකක් ඉස්සරහ හිටගත්තහම ලොකු කයිවාරු කාරයෙක්, ආඩම්බර කාරයෙක් කියල සමාජයට පෙනුනට, බලාගෙන ගියාම මේ මනුස්සයා බොහොම නිහතමානි මිනිහෙක්නේ " කියලා මහාචාර්ය GL පීරිසුත්, මේ ලඟදී සජිත්ට පොඩි රෙකමන්ඩේශන් එකක් දීල තියෙනවා. ප්‍රසිද්ද නීතීඥ මහත්තුරු කිහිපදෙනෙක් එක්කලු GL එහෙම කිව්වේ.

ඒ කතාවල ඇත්තකුත් තියනවා. මොකද රනිල් ජනාධිපති උනාට පස්සෙ සජබ කඩලා කිහිපදෙනෙක්ව ආන්ඩුවට ගන්න හැදුවට, අද වන තුරු එක්කෙනෙක්වත් ගන්න බැරි උනා....

ඉතින් ඕවයින් පේන්නේ රනිල්ට ජනාධිපති නිසා සජබ කඩලා , UNP එක හදන්න පුලුවන් වෙයි කියලා මිනිස්සු හිතුවට මොකද, ඒක හිතන තරම් ලේසි නෑ කියලයි.

ඒ කතා මොනවා වුණත් රනිලුත් තාම ට්‍රයි එක අතෑරලා නෑ .

සජබේ මරික්කාර් පෙරේදා පාර්ලිමේන්තු කොරිඩෝරුවේදී තව මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කියල තියෙන විදියට , මරික්කර්ට ආන්ඩුවට එන්න කියල රනිල් වඳින්නේ නැති එක විතරලු නොකරන්නේ.

ඒ කතාව මරික්කර් කියල හැරෙන පමාවෙන් රනිල් පාර්ලිමේන්තු කතාවකදීම මරික්කර්ට කිව්වා ඔබතුමා හිරුනිකා යන පාරේ යන්නේ නැත්නම් මම යන පාරේ යන්න එන්න කියල.

වැඳුම් නොවැඳුම් කොහොම වුණත් , පෙරේදා වුණ දේ මරික්කාර්ට සෑහෙන්ඩ දැනිලා වගේ කියලයි කට්ටිය කියන්නේ .

ඔය කතා අස්සේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙලා ඉන්න, අනුර යාපාගේ කන්ඩායම දෙලොවක් අතරලු !
කොහෙටද හේත්තුවෙන්නේ කියලා.

මෙයාලට GL ලගේ නිදහස මන්ත්‍රී කන්ඩායමෙන් වගේම , චන්ද්‍රිකා ලොක්කි එක්ක එකතුවෙලා, කුමාර වෙල්ගම හදපු අලුත් පක්ෂෙනුත් ආරාධනා ලැබිලලු.

වෙල්ගමගේ පක්ෂෙට වඩා, නිදහස කන්ඩායමට දැනටමත් රටේ පිලිගැනීමක් තියෙන නිසා, යාපගෙ කන්ඩායමේ ඉන්න සුදර්ශිණී ප්‍රනාන්දු පුල්ලේ , චන්දිම
වීරක්කොඩි වගේ අය වඩා කැමති නිදහස කන්ඩායමට එකතු වෙන්නලු.

මොකද එහෙම උනොත්, චන්දිමට ගාල්ලේ දිස්ත්‍රික් නායක වෙන්න පුලුවන්.

ගම්පහ දැනටමත් නාලක ගොඩහේවා හිටියට, එතෙන්ට එකතු වෙන්න සුදර්ශිනී නෝනගේ අකමැත්තක් නැතිලු.

මොකද දෙන්නම උගත් දේශපාලනඥයෝ නිසා, වැඩ කරන්න පහසුයි කියල සුදර්ශිනී තමුන්ගේ කන්ඩායමත් එක්ක කියලා තියෙනවා.

කට්ටියට තාමත් තීන්දුවක් ගන්න බැරුව ඉන්නේ, අනුර යාපා වැනෙන නිසාලු.

අනුර එක දවසක සජබට යන්න කතා කරනවලු, තව දවසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට යන්න කතා කරනවලු, ඊට පස්සේ නිදහස කන්ඩායම එක්ක සාකච්චා කරනවලු. චම්පිකත් එක්ක වගේම වෙල්ගම එක්කත් ප්ලෑන් ගහනවලු. එක විකාරයයිලු.

" ඔහොම ගිහිල්ලා ගිහිල්ලා මේ මනුස්සයා අන්තිමට රනිල් ගාව නතර වෙයිද දන්නේ නෑ" කියල එයාලගේ ගෘප් එක ඇතුලේ පොඩි කතාවකුත් ගියා කියන්නේ ඒ නිසා ..

- දේශපාලන වාර්තාකරු

22 ට බාලගිරි ලබයි !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදය මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයකදී පැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කර ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (06) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරනු ලැබීය.

කෙසේ වුවත් පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව පසුගියදා රැස් වූ අවස්ථාවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට මීට පෙර එකඟතාව පළ කර තිබුණි.

එසේම පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන 18 වැනි දා ය.

ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදය ජයගන්න සූදානම් - ජනාධිපති

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට රට මුහුණ දී සිටින බවත්, ලෝක ආර්ථික හා ආහාර අර්බුද හමුවේ වුවද එම අභියෝගය ජය ගැනිමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
 
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
 
පැරණි කෝන්තර අමතක කර, රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ සමග එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සියලු පාර්ශ්වයන්ට යළි ආරාධනා කළේය.
 
අර්බුදයෙන් ගොඩ ඒම සඳහා  සිව් වැදෑරුම් උපාය මාර්ගික සැලැස්මක් හඳුන්වාදීමට කටයුතු කළ ජනාධිපතිවරයා එහි  පළමු පියවර මේ වන විට සාර්ථක කරගෙන ඇති බවත් දෙවන පියවර සාර්ථක කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කරගෙන යන බවත් සඳහන් කළේය
 
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  කළ සම්පූර්ණ කතාව
 
පසුගිය සති කිහිපය තුළ එංගලන්තයේත්, ජපානයේත් කළ සංචාරයන්වලදී ලෝක රාජ්‍ය නායක නායිකාවන් ගණනාවක් සමග අදහස් හුවමාරු කර ගැනීමට මම අවස්ථාව සලසා ගත්තා.


පිලිපීනයේ දී ආසියානු සංවර්ධන බැංකුවට අයත් රටවල මුදල් අමාත්‍යවරු හමුවෙන්නටත් අවකාශය ලැබුණා. අප මුහුණ දෙන උග්‍ර ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ හමුවීම් සහ අදහස් හුවමාරු කරගැනීම් ඉතා වැදගත්.

අද අපේ රටේ ආර්ථිකය හා මූල්‍ය තත්ත්වය පවතින්නේ සාමාන්‍ය මට්ටමක නෙවෙයි. නමුත් සමහර දේශපාලන පක්ෂ හා කණ්ඩායම් තවමත් කටයුතු කරන්නේ සාමාන්‍ය තත්ත්වයක රට ඇති බව සිතාගෙනයි. ඔවුන් අදහස් දක්වන්නේ, විවේචන කරන්නේ, සාමාන්‍ය තත්ත්වයේ රට පවතින බව සිතාගෙනයි. මේ අය විසඳුම් යෝජනා කරන්නේත් එහෙම හිතාගෙනයි. ඉන්ධන පෝලිම් ඉවරවුණු පලියට අපට එහෙම හිතන්නට බැහැ.

මෑත ඉතිහාසයේ අපේ රට මුහුණ දුන් බරපතලම ආර්ථික අර්බුදයටයි අපි මේ මුහුණ දෙන්නේ.මේ අර්බුදයෙන් ගොඩ ඒමේ සැලැස්ම ගැන මම අවස්ථා ගණනාවකදී කරුණු පැහැදිලි කළා.

• ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පැමිණීම
• ජපානය, ඉන්දියාව සහ චීනය ආදී අපට ණය ලබා දුන් රටවල් සමගත්, පුද්ගලික ණය හිමියන් සමගත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පොදු එකඟතාවයකට එළැඹීම.
• ඉන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලබා ගෙන, මූල්‍ය අරමුදලෙන් සහ වෙනත් රටවලින් ණය ආධාර ලබා ගෙන, ආර්ථිකය ස්ථාවර කරලීම.
• ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමෙන් පසු, සංවර්ධිත ආර්ථිකයක් දක්වා පොදු සැලැස්මක් ඔස්සේ රට ඔසවා තැබීමට කටයුතු කිරීම.

අප මෙන්න මේ කරුණු හතර ඉෂ්ඨ කරගැනීම සඳහා වෙහෙසිය යුතු බව මම මුල සිටිම පෙන්වා දුන්නා. මොකද පළමු වෙනි පියවරේ සාර්ථකත්වය අනුව තමයි, දෙවැනි පියවරට යන්න පුළුවන් වෙන්නේ. දෙවැනි පියවර සාර්ථක කර ගත්තාම තමයි තුන්වෙනි පියවරට යන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනි පියවර සාර්ථක කරගෙන හතරවෙනි පියවරට යන්න පුළුවන්.

මම අගමැති ධූරයට පත්වීමට කලින් ඒ කරුණු පෙන්වා දුන්නා. අගමැති ධූරයට පත්වීමෙන් පසුවත් යළි ඒ බව අවධාරණය කළා. ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව පාර්ලිමේන්තුව හමුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ අවස්ථාවේදීත් මම මේ බව පෙන්වා දුන්නා.
 
දැන් අපි පළවෙනි පියවර සාර්ථක කරගෙන තියෙනවා. දෙවැනි පියවර සාර්ථක කර ගැනීම සඳහා පදනම සකස් කරගෙන යනවා. මෙවැනි පසුබිමකදී තමයි ලෝක රාජ්‍ය නායක නායිකාවන් සමග අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව අප උදා කරගත්තේ. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ සාමාජික රටවල් 68කට සම්බන්ධ මුදල් ඇමතිවරුන් මැනිලා නුවරදී හමුවිමට අවකාශ අපට හිමිවුණා.
 

මේ අවස්ථාවන්හිදී සිංගප්පුරු අගමැති ලී ෂෙන් ලෝන් මහතා සමග සාකච්ඡා කරන්නත් අවස්ථාව මට ලැබුණා. සංගප්පූරුව සමග අප අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම පසුගිය කාලයේ නිසියාකාරව ක්‍රියාත්මක වුණේ නැ. මේ ගිවිසුම් යළි පන ගන්වා ගන්නට අපට හැකි වුණොත්, මේ අවස්ථාවේ රටට ලැබෙන වාසිය අතිවිශාලයි. ඒ වගේම අග්නි දිග ආසියාව සමග අපේ ආර්ථික සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරන්නටත් මේ ගිවිසුම් හේතුවෙනවා. මේ ගිවිසුම ක්‍රියාත්මක කරලීම ඔස්සේ ශ්‍රි ලංකාව සමග ස්ථාවර ආර්ථික ප්‍රවේශයක් ලබා ගැනීමට හැකියාව උදාවන බවට සිංගප්පූරු අගමැතිතුමා විශ්වාසය පළ කළා.

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා බැංකුවේ නියෝජිතයන් සමගත් මම සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කරලීම උදෙසා මේ ආයතන දෙකේම සහයෝගය ලබා දෙන බව ඒ නියෝජිතයන් ප්‍රකාශ කළා.
 
ජපාන අගමැති ෆුමියෝ කිෂිදා මහතා සමග මම සාකච්ඡා කළා. අපේ රටවල් දෙකට බලපාන වැදගත් කරුණු ගණනාවක් පිළිබඳ අප එම සාකච්ඡාවේ දී අවධානය යොමු කළා. ඊට අමතරව ජපාන විදේශ ඇමතිතුමා සමගත්, මුදල් ඇමතිතුමා සමගත් සාකච්ඡා පැවැත්වූවා.
 
ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩකටයුත්තේදී මැදිහත්කරුවෙකු ලෙස ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරලීම සඳහා ජපානය එකඟවිම සුබ ලකුණක්. ණය ලබා දුන් රටවල් සමග පවත්වන සමුළුවේ සම සභාපති ධූරය බාර ගැනීමට ජපානයෙන් ඉල්ලීමක් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලය පුරා සිදුවූ යම් යම් සිදුවීමේ නිසා ජපානයේ හොඳ හිත පළුදු වෙලා තිබුණේ. ජපානය සමග යළි ශක්තිමත් සබඳතා ගොඩ නංවාලීමට අපි පසුගිය මාස කිහිපය පුරා වෙහෙසුණා. දැන් අපට ජපානයෙන් කොළ එළියක් දැල්වී තිබෙනවා. ජපානය සමග පෙර පැවති ශක්තිමත් මිත්‍රත්වය යළි සම්පුර්ණයෙන්ම ඇති කර ගැනීමට අපි දිගින් දිගටම වෙහෙසවී ක්‍රියා කරනවා.
 
මේ වන විට අප චිනය සමගත් මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. චීන කොමියුනිට්ස් පක්ෂ සම්මේලනයෙන් පසු අප නැවතත් චීනය සමග සාකච්ඡා ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා කරන්නට ද ජපානය මැදිහත්වන බව ප්‍රකාශ කර තිබීම යහපත් දෙයක්. අතීතයේ සිටම චීනය අපේ රටට සහය ලබා දුන්නා. මේ අසීරු අවස්ථාවේදීත්, ඔවුන් අපට සහාය ලබා දිමට කටයුතු කරන බව අපට විශ්වාසයි.
 
ඉන්දියාව සමගත් අප සාකච්ඡා පවත්වමින් ඉන්නේ. ජපානයේදී මෝදි අගමැතිතුමා කෙටි වෙලාවකට හමුවූ අවස්ථාවේ මම අපේ වර්තමාන තත්ත්වය පිළිබඳ එතුමන්ව දැනුවත් කළා. මෝදි අගමැතිතුමාගේ සහයෝගය අපට හැමදාමත් ලැබුණා. පසුගිය අර්බුදකාරී කාල වකවානුවේදී ඉන්දියාව අපට විශාල සහයෝගයක් ලබා දුන්නා. මම අවස්ථා ගණනකදි ඔවුන්ට ඒ පිළිබඳ කෘතවේදීත්වය පළ කර තියෙනවා. ශ්‍රී ලංකාව යළි නැගී සිටීමේ ක්‍රියාවලියට ඉන්දියාවේ සහයෝගය ඉදිරියටත් ලැබෙනවා. දැනටමත් ඉන්දියාව ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
 
එංගලන්තයේදීත්, ජපානයේදීත්, පිලිපීනයේදීත් අපේ රටට වැදගත් වන රාජ්‍ය නායකයින්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් මෙන්ම මුදල් ඇමතිවරුන් මුණ ගැසීම හරහා අපේ රටට උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට මම වෙහෙසුණා. ඒ නිසා විශාල පිරිසක් සමග වෙන් වෙන්ව අදහස් හුවමාරු කර ගැනීමට කාලය, මුදල් සහ ශ්‍රමය නොසෑහෙන සේ වැය කරන්න සිදුවෙනවා. නමුත් මේ අවස්ථාවේ ඒ සියලුදෙනා එකම තැනකදී, සීමිත කාල පරාසයන් තුළ හමුවිමට ලැබීම අපට ලැබුණු දුර්ලභ අවස්ථාවක්.
 
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම උදෙසා අප අනුගමනය කරන පිළිවෙත් හා සැලසුම් ගැන මම ඒ අයට පැහැදිලි කළා. අවබෝධයක් ලබා දුන්නා. අපේ රටට යළි නැගී සිටීමට සහාය ලබා දීමට ඒ බොහෝ දෙනෙක් කැමති වුණා.

ආර්ථික සහන ලබාදීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්තේදී මුදල් ඇමතිවරුන්ට විශාල බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසා මුදල් ඇමතිවරුන් ගණනාවක් එක වහලක් යටදී හමුවී සාකච්ඡා කිරීමට ලැබීම අපට ඉතාමත් වාසිදායක තත්ත්වයක් වුණා.
 
දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ජපානය, ඉන්දියාව සහ චීනය ප්‍රධාන අපට ණය ආධාර ලබා දෙන රටවල් සමග හැකි ඉක්මණින් පොදු එකඟතාවකට එළැඹීම යි. ණය ලබා දී ඇති අනෙකුත් රටවල් නියෝජනය කරන තානාපතිවරු සමග අප මේ වන විටත් සාකච්ඡා පවත්වා තිබෙනවා. මේ සියලුදෙනා සමග බහුපාර්ශ්වීය පොදු එකඟතාවකට පැමිණීම අපේ අපේක්ෂාවයි.
 
අපට ණය ලබා දුන් රටවල් සමග එකඟත්වයකට පැමිණීමෙන් පසු ලන්ඩන් ක්ලබ් වැනි පුද්ගලික ණය හිමියන් සමග ද අප සාකච්ඡා පවත්වනවා. ණය ප්‍රතිව්‍යහුගත කිරීම සම්බන්ධව ඔවුන් සමගත් එකඟත්වයකට පැමිණීමට අපි බලාපොරොත්තු වෙනවා. ණය ලබාදුන් රටවල් හා පුද්ගලික ණය හිමියන් සමග එකඟත්වයකට පැමිණීමෙන් අනතුරුව අපට අයි.එම්.එෆ් සහතිකය ලබා ගන්න පුළුවන්.
 
දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව අපට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් ලබා දීමට කැමැත්ත පළ කර තිබෙනවා. අයි.එම්.එෆ් සහතිකය ලබා ගැනීමෙන් පසු, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතනවලින් අතරමැදි මූල්‍ය පහසුකම් හෙවත් බ්‍රිජින් ෆිනෑන්ස් පහසුකම් ලබා ගැනීමට අපට පුළුවන් වෙනවා. ණය පහසුකම් ලබා දෙන වෙනත් රටවල් සමග සාකච්ඡා කොට ද්විපාර්ශ්වික ණය ලබා ගැනීමේ අවස්ථාව ඒ හා සමගම උදාවෙනවා.
 

අද අප පත්වී සිටින ආර්ථික අසරණභාවය නිසා, ලෝක බැංකුව හෝ වෙනත් ණය දෙන ආයතන වෙතින් වෙළෙඳ පොළ අගය මත ණය ගැනීමට තරම් ශක්තියක් අපට නැහැ. ඒ නිසා ජාත්‍යන්තර සංවර්ධන සමුළුව සමග එක්වී සහනදායී මූල්‍ය සහාය ලබා ගැනීමේ අවකාශය උදා කරදෙන ලෙස අප ඉල්ලීමක් කලා. ඊජිප්තුව, ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල් 12ක් මෙවැනි ආර්ථික අර්බුද ඇතිවූ අවස්ථාවන්හිදී අතරමැදි සහන සම්බන්ධයෙන් ඉල්ලීම් කර තිබෙනවා. එවැනි ආකාරයකට සහනදායී ණය ලබා ගැනීමේ අවස්ථාව අප උදාකර ගැනීම වර්තමානයට විශාල සහනයක්.
 
සංචාරක ක්ෂේත්‍රය ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැකි එක් මාර්ගයක්. විවිධ උපාය මාර්ග ඔස්සේ සංචාරක ව්‍යාපාරය යළි පිබිදවීමට අප වෙහෙසෙනවා. මේ ඔස්සේ රටට ලැබෙන විදේශ විනිමය ඉහළ නංවා ගැනීම අපේ අරමුණයි.
 
පුද්ගලික අංශයේ මුදල් සංචිත ඉහළ නැංවීමත්, විදේශ ආදායම් වැඩි කිරීමත් අපේ අරමුණක්. මේ වැඩ සැලසුම් ඔස්සේ ලබන වසරේ අග වෙද්දි කිසියම් ස්ථාවරත්වයක් ඇති කර ගැනීමටත්, රුපියල ශක්තිමත් කර ගැනීමටත් අපට හැකි වෙනවා.

කඩා වැටුණු ආර්ථිකය යළි ඔසවා තැබීමේ වර්තමානයේ අප මුහුණ දෙන අභියෝග කිහිපයක් පිළිබඳවත් මම ඔබේ අවධානය යොමු කරන්න කැමැතියි. මේ ගැනත් මම විටින් විට ඔබට කරුණු පෙන්වා දී තිබෙනවා. නමුත් නැවත නැවත එය සිහිපත් කළ යුතු වෙන්නේ අද අප වැටි ඇති තත්ත්වය පිළිබඳව සැබෑ පින්තූරය වටහා ගැනීමට එමගින් හැකිවන නිසයි.
 
පසුගිය වකවාණුවේ අනුගමනය කෙරුණු ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන්, සහ ඊටම ඇඳී උදාවුණු ගෝලීය අර්බුද හේතුවෙන් අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. පසුගිය අවුරුදු දෙක තුළ විචාරයකින් තොරව මුදල් අච්චු ගැසුවා. 2015 ආණ්ඩු සමයේ අච්චු ගැසූ මුදල් ප්‍රමාණය මෙන් දහතුන්ගුණයක් පමණ පසුගිය අවුරුදු දෙක තුළ අච්චු ගසා තිබෙනවා. ඊට සරිලන ලෙස නිෂ්පාදන වැඩි වුණේ නෑ. මෙය උද්ධමනය සියයට සියය දක්වා ඉහළ නැංවෙන තත්ත්වයක්.

නමුත් පසුගිය මාස දෙක තුන තුළ අප ගත් යම් ක්‍රියාමාර්ග නිසා මේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය සියයට 69.8ක රඳවා ගන්නට අපට පුළුවන් වුණා.
 
අතුරු අයවැය යෝජනා මගින් පෙන්වා දුන් පරිදි, අපි රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළ යුතුයි. ඒ යටතේ රටට බරක් වී ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයට අප දැන් මුල පුරා තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ මේ ආයතනවල පාඩුව සෘජුව සහ වක්‍රව දැරුවේ මහජනතාව. රාජ්‍ය සම්පත් කියන ලේබලයට මුවා වී මේ ආයතනවල පාඩුව ජනතාව පිට පැටෙව්වා.
 
2022 අවුරුද්දේ දෙවැනි කාර්තුව අවසන් වෙද්දී රාජ්‍ය ආයතන කිහිපයක් ලබා ඇති පාඩුවේ එකතුව මම සදහන් කරන්නම්. ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩුව රුපියල් බිලියන 1057යි. ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 261යි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩුව රුපියල් බිලියන 791යි.
 
මේ බර තවදුරටත් ජනතාව පිට පටවන්නට බැහැ. ඒ නිසා මේ ආයතන ප්‍රතිව්‍යුහගත කර, රටට බරක් නොවන තත්ත්වයකට අප ගෙන එනවා. පොහොර සම්බන්ධයෙන් අනුගමනය කෙරුණු අදුරදර්ශී ක්‍රියාපිළිවෙත නිසා කෘෂිකර්මය සහ ආහාර නිෂ්පාදනය කඩා වැටුණා. දැන් ආහාර උද්ධමනය සියයට 95කට කිට්ටුයි. මේක තමයි ඇත්ත. මෙවැනි උද්ධමනයක් ලෝක යුද්ධ කාලයකදීවත් අපේ රටේ තිබුණේ නැ. මේක ඉතාම භයානක තත්ත්වයක්.
 
ආහාර නිෂ්පාදනය කඩා වැටීමේ ප්‍රතිඵලයක් හැටියට දේශීය වෙළෙඳ පොළේ බඩු මිල ඉහළ යනවා. උද්ධමනය ඉහල යෑම පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර අප පසුගිය මාස කිහිපය තුළ ක්‍රියාත්මක කළා. මේවා දවසෙන් දෙකෙන්, එක් රැයෙන් විසඳන්න පුළුවන් ගැටලු නෙවෙයි.
 
අප අනුගමනය කළ කඩිනම් පියවර නිසා පසුගිය යල කන්නයේ අස්වැන්න අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහල නංවාගන්න අපට පුලුවන් වුණා. ඉදිරි මහ කන්නයේ කරදරයකින් තොරව වගා කටයුතු කරන්න අවශ්‍ය පොහෙර සහ බිජ ලබා දෙන්න සියල්ල සුදානම්. ස්වභාවික විපතකින් තොරව මහ කන්නයේ වී අස්වනු ලබා ගන්න අපට පුළුවන් වුණොත්, අපට ආහාර මිල ඉහළ යෑමට යම්කිසි විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ආර්ථික ස්ථාවරත්වය ඇති කරගැනිමේ පදනමක් එමගින් ඇති කරගන්නත් පුළුවන්.
 
කෘෂිකාර්මික කටයුතු සඳහා පූර්ණ අවධානය යොමු කරන අතරම, කඩිනම් ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළවලක් අප දියත් කර තිබෙනවා. රටේ සමහර කොටස් ආහාර හිඟයකින් පීඩා විඳින බව අප දන්නවා. ගම් මට්ටමින් ඒ පුද්ගල කොටස් හඳුනා ගැනීමට වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මකයි. මේ හඳුනාගැනීම් ඔස්සේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
 
මුදල් සැපයුම සිමා කිරීමේ තාවකාලික ප්‍රයත්නයක් ලෙස පොළි අනුපාතික ඉහළ දැමීමට මහ බැංකුව තීරණය කළා. මේක බැලූ බැල්මට තනි තනි පුද්ගලයන්ට වාසියක් විදියට පෙනුනත්, සමස්තයක් ලෙස එයින් සිදුවන්නේ අවාසියක්. මේ නිසා ආර්ථික වර්ධන වේගය අඩුවී දේශීය ණය ගැනීම සීමා වෙනවා.
 
එහි ප්‍රතිඵලය වෙන්නේ ආර්ථිකය හැකිලී, පුද්ගලික අංශය පසුබෑමකට ලක්වීමයි. දැනට සිදු කර ඇති පුරෝකථන අනුව සියයට 7ත් 8ත් ප්‍රමාණයකින් ආර්ථිකය හැකිලීමට ලක්විය හැකියි.

එක පැත්තකින් ආර්ථිකය හැකිලෙනවා, අනෙක් පැත්තෙන් උද්ධමනය වැඩි වෙනවා. ඒ නිසා මේ තත්ත්වය වළක්වාගැනීමට අප පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.

1- මූලික පාරිභෝගික භාණ්ඩ සඳහා උපරිම මිල සීමාවන් නියම කිරීම
2- දේශීය නිෂ්පාදන සදහා ඇති බාධක ඉවත් කිරීම ඔස්සේ නිෂ්පාදනය හා ඵලදායීතාව වැඩි කිරීම
3- විදේශ විනිමය ගලා ඒම ඉහළ නැංවීම උදෙස් විදේශ විනිමය රෙගුලාසි යම් ප්‍රමාණයකින් ලිහිල් කිරීම
4- අත්‍යාවශ්‍ය නොවන ආනයන වළක්වාලන සිමා පැනවීම
5- වඩාත් යහපත් විවෘත වෙළෙදපොළ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම
6- තැන්පතු සඳහා පොලී සීමාවන් පැනවීම ඔස්සේ පොලී අනුපාත සීමිත මට්ටමක රඳවා ගැනීම
ආර්ථිකය යළි නගා සිටුවීමේ ගමන අප ඉදිරියට යා යුත්තේ පියවරෙන් පියවර. මේ ගැට්‍ළු කිසිවකට කඩිනම් විසඳුම් නෑ.
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන මුදල් යොදවා මහ බැංකුවේ විදේශ සංචිතය යළි ශක්තිමත් කිරීමට යෙදවීමට අප ක්‍රියා කරනවා. 
රාජ්‍ය ව්‍යවසායන් මගින් රටට ඇතිකරන බර අඩු කිරීම මගින් මේ සංචිත තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකකින් හෝ තුනකින් තර කිරීමට අපට හැකිවෙනවා.

ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අපට ලැබෙන මුදල ද එම සංචිතයේම රැඳවීමට අප තීරණය කර තිබෙනවා.
මීට සමාන්තරව අපේ ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා අතරමැදි ණය පහසුකම්වලින්, සංචාරක ව්‍යාපාරයෙන්, පුද්ගලික ව්‍යාපාරවලින් උපයන මුදල් යොදා ගන්නවා. අපනයන ආදායම් ඉහළ නංවනවා.
 
මෙවැනි යහපත් ආර්ථික පිළිවෙතක් ඔස්සේ විදේශ ශ්‍රමිකයන්ගේ විශ්වාසය යළි දිනා ගැනීමට අපට හැකිවෙනවා. ඔවුන් නැවතත් පෙර පරිදිම විදේශ විනිමය ලංකාවට එවන්නේ එවැනි විශ්වාසයක් මතයි.
 
මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය වන්නේ අපට ජාත්‍යන්තර විශ්වාසය යළි දිනාගැනීමට අපට හැකිවීමයි.

අපේ රටේ බදු ව්‍යුහය සම්පූර්ණයෙන්ම සමාලෝචනය කර වෙනසකට ලක් කළ යුතුයි. වර්තාමනායේ සමස්ත බදු ප්‍රමාණයෙන් සියයට 80ක් පමණ වක්‍ර බදු. මේ රටේ හැම පුරවැසියෙක්ම නොදැන බදු ගෙවනවා. තමන් කිසිසේත්ම සම්බන්ධ නැති කර්යයන් සඳහා ඔවුන් බදු ගෙවනවා. රටේ අන්තිම දුප්පත් පුරවැසියාත් මේ බදු දැලට හසුවී තියෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීම යුගයේ අවශ්‍යතාවක්.
 
2019 දී අප අනුගමනය කළ බදු ප්‍රතිපත්තිය අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 14ක් උපයා ගත්තේ බදු මුදලින්. නමුත් ඒ බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා බදු ආදායම සියයට 8.5 දක්වා පහළට ඇද වැටුණා. දැන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඒ මුදල යළිත් සියයට 14ක් දක්වා ඉහළ නංවාලීමට එකඟ වුණා.

 
නමුත් එතැනින් සෑහීමකට පත් වෙන්නට අපට බැහැ. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව යහපත් පරිදි පවත්වාගෙන යන්නට නම් රජයේ බදු ආදායම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 18ක් දක්වා නංවාගත යුතුයි. ඒ සඳහා මුදල් උපයා ගත යුත්තේ බදු ආදායමින්. එසේ නොමැතිව නැවත මුදල් අච්චු ගැසීමකට ගියොත් අපට අනාගතයක් නැහැ.

ඇත්ත වශයෙන්ම ගරු කථානායකතුමනි, දිගු කාලීන මූල්‍ය සබඳතාවක් අපට නොතිබුණ නිසා ආදායම් අඩු වුණා. විදේශ වියදම් සහ ආදායම් අතර පරතරය වැඩි වුණ නිසා ,විදේශ විනිමය සංචිත කඩා වැටුණා. උද්ධමනය සීයට සීයකින් වැඩි වුණා. රුපියලේ අගය කඩා වැටුණා. පොලී අනුපාතය වැඩි වුණා නිසා  සම්පූර්ණ පහර ගැසීමට අපට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා
 
ඒ නිසා අපේ ආර්ථිකය හැකිලිලා  තිබෙන්නේ. අපි හිතුවේ රාජ්‍ය සංස්ථා හා බැංකු පද්ධති තුළින් ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යන්නයි. දැන් ඒක අසාර්ථක වෙලා තිබෙනවා. ඒ නිසා මා දැනුවත් කළේ අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගෙන, ලෝක බැංකුවේ , ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් ලබාගෙන,  බ්‍රිජින් ෆිනෑන්ස් රටවලින් ආධාර ලබාගෙන ආර්ථිකය ගොඩ නැගීමට ඊළඟ මාස දෙක තුනේදී පියවර ගන්නයි.

ඒ සඳහා අපිට තියෙනවා  අපේ නිෂ්පාදන වැඩි කරන්න ඕන.  අපේ විදේශ විනිමය වැඩි කරන්න ඕනේ. විදේශ විනිමය වැඩි වුණාට පස්සේ අපේ කර්මාන්ත හා සේවා  දියුණු වෙනවා. ඒ වගේම අපේ පාඩු ලබන ආයතනවල පාඩු අඩු කරලා , ආදායම වැඩි කළාම රජයේ අය වැය ශක්තිමත් වෙනවා. ඒ කාර්යය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මහ කන්නය සාර්ථක වුණාම වැඩි නිෂ්පාදන ශක්තියක් අපිට ලැබෙනවා. එයින් රාජ්‍ය ආර්ථිකයට ශක්තියක් ලැබෙනවා.
 
අනෙක් අතට විදේශ විනිමය සොයන්න සංචාරක කර්මාන්තය හරහා අපට පුළුවන්.  ඒ වගේම විදේශ රටවල සිටින අපේ ශ්‍රමිකයන් තමන්ගේ ආදායම් මුදල් ලංකාවට එවීම මගින් ආර්ථිකයට ශක්තිමත් දායකත්වයක් ලබා ගන්න පුළුවන්. මෙම වැඩපිළිවෙල ලබන වසරේ මැද සිට ක්‍රියාත්මක කරන්න අප බලාපොරොත්තු වෙනවා.
 
මේ අර්බුදය ජය ගැනීමේ අසීරු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේදී අපට පාලනය කළ නොහැකි ගෝලිය ප්‍රවණතාවන්ගෙන් පිඩා විදීමට අපට සිද්ධ වෙනවා. ඉන්ධන මිල එවැනි එක් දෙයක්. යුක්‍රේන යුද්ධයේ බලපෑම් නිසා ඉදිරි දෙසැම්බර් සහ ජනවාරි මාස වෙද්දි ලෝකයේ ඉන්ධන නිෂ්පාදනය පහළ වැටීමක් ගැන පුරෝකථනය කර තිබෙනවා. මේ නිසා ඉන්ධන මිල ඉහළ යනවා. එවැනි තත්ත්වකට මුහුණ දීමට දැන් සිටම අප සූදානම් විය යුතුයි. ඉන්ධන මිල ඉහළ යෑම පාරිභෝගිකයන්ට දරාගත හැකි මට්ටමක රඳවා ගැනීමට අප දැන් සිටම සැලසුම් කළ යුතුයි.
 
මා මෙහිදී තවත් වැදගත් කරුණක් අවධාරණය කරන්නට කැමතියි. 
ඔබ සියලුදෙනා විවිධ දේශපාලන අදහස් දරන අය. නමුත් ඔබේ දේශපාලන අරමුණු ඉෂ්ඨ සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ, මේ ආර්ථික අර්බුදයෙන්  රට ගොඩ ආවොත් පමණයි.

මම මේ ගමන් මගට අවතීරණ වුණේ අවදානමක් අරගෙනයි. විපක්ෂයේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් මේ අවදානම බාර ගන්නේ නැති අවස්ථාවක රට වෙනුවෙන් මම අවදානම බාර අරන්, අනතුරුදායක ගමනක් යන්න පටන් ගත්තා. අප හෙමින්, හෙමින් වගේම ස්ථාවරව මෙතෙක් ඉදිරියට ආවා. අපේ රටේ බහුතරයක් ජනතාව මේ ගමනට සහාය දක්වන බව අප දන්නවා. ඔවුන්ට අවශ්‍ය යහපත් ජීවිතයක්. යහපත් රටක්. යහපත් අනාගතයක්.

හැබැයි එහෙම අවශ්‍ය නැති අයත් ඉන්නවා. රට දවසින් දවස විනාශයට පත් කරලා, අර්බුදයට පත් කරලා දේශපාලන වාසි ලබාගන්න බලාපොරොත්තු වෙන අයත් ඉන්නවා. ඒ අය හැමදේම වැරදි විදියට දකිනවා.
 
මේ සමහර කණ්ඩායම් ලෝකයේ දශක ගණනාවකට කලින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ න්‍යායන් අදට ගලපන්න වෙහෙසෙනවා. ඒ කාලයේ යම් යම් දේශපාලන කන්ඩායම් කිව්වේ, පණ අදින මිනිහෙකුට වතුර පොදක් දීලා ජීවිතය බේරා ගන්න එපා කියලා. හාමතේ මැරුණාට පස්සේ මිනිය කර තියාගෙන රට වටේ යන්න කියලා. මේ න්‍යාය අදටත් ආදේශ කරන්න සමහර කණ්ඩායම් වෙහෙසෙනවා. පණ අදින ආර්ථිකයට හුස්ම පිඹින්න සහයෝගය නොදි, ආර්ථිකය අවසන් හුස්ම හෙළෙන තෙක් බලා ඉන්නවා. ඔවුන් හිතන්නේ ආර්ථිකය කඩා වැටි, ජනතාව හාමතේ මියයන තත්ත්වයට පත් වුණොත්, මළ කඳන් මතින් බලය ලබා ගැනීමට හැකි වන බවයි.
 
ඉතිහාසය පුරා ලෝකයේ කොහේවත් එහෙම බලාපොරොත්තු ඉටු වෙලා නැති බව විතරක් මෙම අවස්ථාවේ පෙන්වා දෙන්න කැමතියි. ඒ විදියට බලය ලබා ගත්තත්, ඒ බලය කෙළවර වෙන්නේ ඊටත් වඩා අවාසනාවන්ත විදියටයි.

එහෙම අදහස් දරන අයටත් මම කියන්නෙ තමන්ගෙ හෘද සාක්ෂියෙන් විමසා බලන්න කියලයි. දැන් දවස් ගණන් තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල ඉන්න ඕනෙ නෑ. පැය දහය දොළහ ලයිට් කැපෙන්නේ නෑ. පාසැල්, විශ්වවිද්‍යාල විවෘතයි. රට යළි යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව හැම ක්ෂේත්‍රයකම අපට දැනෙමින් තියෙන්නේ. යළිත් තම තමන්ගේ ජිවිත සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට මේ රටේ ජනතාවට දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ අවශ්‍යතාව කදිමට පිළිඹිඹු වු අවස්ථාවක් ලෙස, ඉතාම සාර්ථක ලෙස අවසන් වු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්.
 
හැබැයි තව අඩුපාඩු ගණනාවක් තිබෙනවා. දුර්වලතා තිබෙනවා. ඒවා අප සකස් කර ගත යුතුයි. නිවැරැදි කරගත යුතුයි. එසේ කර මේ ගමන් මග වඩාත් ශක්තිමත් සහ වේගවත් කර ගන්න පුළුවන් වෙන්නේ ඔබ හැම දෙනගේම සහාය මේ සඳහා ලැබුණොත් විතරයි, ඒ නිසා මම නැවතත් ඔබෙන් ඉල්ලා සිටින්නේ, පැරණි කෝන්තර අමතක කර මේ ගමනට එක්වෙන ලෙසයි. විවේචනය කිරීම පහසුයි. වැරදි දැකීමත් පහසුයි. විරෝධය පෑමත් පහසුයි. හැබැයි විසඳුම් සෙවීම අසීරුයි.

මේ ආර්ථික අර්බුදයෙන් රට යළි ඔසවා තැබීම උදෙසා මම අනුගමනය කරන්නේ බුදුන් වහන්සේ පෙන්වා දුන් ක්‍රමවේදයයි. වැටි තිබුණු රටක් යළි ගොඩ නැංවීමේදී මහා විජිත රජු අනුගමනය කළ කරුණු “කුඨදත්ත සූත්‍රය” මගින් බුදුන් වහන්සේ පෙන්වා දී තියෙනවා. යථා උපදෙස් පිළිගැනීම, ගැටලුවේ යථා ස්වරූපය අවබෝධ කරගැනීම, ගැටලුව සමස්තයක් ලෙස ගෙන සැලැස්මක් අනුව විසඳුම් සෙවීම සහ එම සැලැස්ම විශ්වාසයෙන් යුතුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරලීම ඒ කරුණුයි.

අප අනුගමය කරන්නේ මෙන්න මේ ක්‍රියාවලියයි. ඉතින් මේ ක්‍රියාවලියට ඔබේ උපරිම දායක්තවය ලබා දෙන ලෙස මම ඔබ සැමට ආරාධනා කරනවා. රට වෙනුවෙන් එකට එක්වී අපි මේ අභියෝගයට මුහුණ දෙමු.

ඒ නිසා පාර්ලිමේන්තුවේ ජාතික සභාව, ළගඳීම ස්ථාපිත කරන “ජනසභාව” පාර්ලිමේන්තු ආංශික කමිටු ආදිය ඔස්සේ රට ගොඩනගන පොදු වැඩපිළිවෙළකට එක්වන මෙන් මම නැවතත් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

පාපන්දු අවුල : පාර්ලිමේන්තුවේදිත් ඇදෙයි !

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණය නිසි වේලාවට නොපවත්වා ගැටළුකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩදීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර ඇත .

ඒ (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

එහිදී මන්ත්‍රීවරයා දැක්වූ අදහස් පහත දැක්වෙයි .

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව එහි නිලධාරී මණ්ඩලය වාර්ෂිකව නිල වරණයක් පවත්වා තෝරාගත යුතුව තිබෙනවා. එසේ වුව ද මේ වනවිට නිල වරණයක් නොපවත්වා එහි කටයුතු පවත්වාගෙන යාම තුල සම්මේලනය තුල අරාජිකත්වයක් ගොඩනැඟී තිබෙනවා."

මේ තත්වය තුල සම්මේලනය යථාවත් කිරීම වෙනුවෙන් කඩිනම් නිල වරණයක් පවත්වා සුදුසු නිලධාරී මණ්ඩලයක් පත්කරගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. එසේ වුව ද ක්‍රීඩා අමාත්‍යතුමා විසින් පසුගිය සැප්තැම්බර් මාසය තුල දී එකිනෙකට පරස්පර අතිවිශේෂ ගැසට් නිවේදන තුනක් නිකුත් කර තිබෙනවා. 2022 සැප්තැම්බර් 8 වැනි දින ගැසට් නිවේදනය මගින් නිලවරණය පැවැත්විය යුතු දින මැයි 31ට පෙර නොව සැප්තැම්බර් 15 බව දක්වමින් කල්දමා තිබෙනවා.

අනතුරුව 2022.9.17 නිකුත් කළ ගැසට් නිවේදනය මගින් නිල වරණය පැවැත්විය යුතු දින ඔක්තෝබර් 31ට බවට ප්‍රකාශයට පත් කළා. ඉන් අනතුරුව 2022.9.22 නිකුත් කළ ගැසට් නිවේදනය මගින් 2022 වර්ෂයට පමණක් අදාලව නිකුත් කර ඇති 2022.9.17 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කළා.

දැන් වලංගු වන දිනය කතානායකතුමනි පසුගිය සැප්තැම්බර් මාසේ 15 වැනිදා. එසේ නම් සැප්තැම්බර් 15 වැනිදාට පෙර නිලවරණය පැවැත්විය යුතුව තිබුණා. දැන් නිලවරණය පවත්වා නැහැ. එහෙයින් මේ වනවිට පාපන්දු සම්මේලනය මුළුමනින්ම අකර්මණ්‍ය වී තිබෙනවා,"

කට දුන්නාම ඩලස් නෑ : ඩලස් ඉන්නකොට කට නෑ !

ඩලස්ලගෙ සෙට් එකට පාර්ලිමේන්තුවේ කතා කරන්න වෙලාව දෙන්නෙ නෑ කියල, මේ දවස්වල ලොකු වාදයක් යනවා.

ආණ්ඩුව කියන්නෙ විපක්ෂෙට ගියා නම්, විපක්ෂයෙන් වෙලාව ඉල්ල ගන්න කියල. ඒත් ඩලස්ල ජී එල් ල කියන්නෙ ආණ්ඩුවෙන් වෙලාව ඕන කියල .

ඊයෙත් (04) පාර්ලිමේන්තුවේ දි මේ කතාව ඇදුන.

දයාසිරියි විමලුයි දෙන්නම ඩලස්ලගෙ ටයිම් ඇලොකේෂන් සටනට සපෝර්ට් කරමින් කතා කලා.

ඒ ගාලගෝට්ටියෙන් පස්සෙ දිනට නියමිත පනත් කෙටුම්පත් ගැන විවාදය පටන් ගත්ත.

උණුසුම් වාද විවාද සමග විවාදය පැවැත් උණා. වෙලාව හතරහමාරට විතර ඇති. මූලසනයේ හිටියේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ.

""මීළඟට ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා .ඔබතුමාට විනාඩි 7 ක කාලයක් තියෙනවා." එසේ කියමින් නියෝජ්‍ය කතානායකතුමා ඊළග කතිකයට ආරාධනා කලා.

මලකෙළියයි ඩලස් ලොක්ක පාර්ලිමේන්තුවේ නෑ . ඉතින් නියෝජ්‍ය කතානායක ඊළග කතිකයට කතාවට ආරාධනා කලා.

උදේ කතා කරන්න වෙලාව දෙන්න නෑ කියල රණ්ඩු කරපු ඩලස් ගැන පාර්ලිමේන්තුවේ කට්ටිය මොනව හිතුව ද මන්දා.. කට අරින්න ඉල්ලනවා.. දෙනකොට වාෂ්ප වෙනවා..!

- දේශපාලන වාර්තාකරු

සැකසහිත හමර් රථ වෙන්දේසියක් : වහා පරීක්ෂණයකට නියෝග !

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කෙරුණු හමර් (Hummer) වර්ගයේ රථයක් රාජ සන්තක කිරීමෙන් අනතුරු පැවැති වෙන්දේසියක දී එය ආනයනය කළ පුද්ගලයාට ම ලබා දීමත් ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීමත් සම්බන්ධයෙන් සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රේගු දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව වාර්තා වෙයි.

මෙකී රථය තවත් රථ තුනක් සමග මෙම වසරේ පෙබරවාරි මස 22 වැනි දා ශ්‍රී ලංකාවට ආයනයක කර ඇති අතර පසුව ඒවා රාජසන්තක කර ප්‍රසිද්ධ වෙන්දේසියේ දී විකුණා ඇත.

අමාත්‍යවරයා පවසන්නේ එහෙත් එම වාහන අතර තිබූ හමර් වර්ගයේ රථය වෙන්දේසි කිරීමේදී අනුගමනය කර ඇති ක්‍රමවේදය සම්බන්ධයෙන් රේගු නිලධාරීන් නිශ්චිත පිළිතුරක් ලබා දීමට අපොහොසත් වූ බවය.

අදාළ වාහනයේ තක්සේරු මිල රුපියල් මිලියන 40ක් ලෙස සඳහන්ව තිබුණ ද එය දෙවැනි අවස්ථාවේ වෙන්දේසි වී ඇත්තේ රුපියල් මිලියන 27.5කට ය. එනම් තක්සේරු වටිනාකමින් 33.75%ක අඩු මිලක් යටතේ ය. නමුත් අමාත්‍යවරයා පවසා ඇත්තේ රේගු අඥා පනත යටතේ ටෙන්ඩර් මණ්ඩලයකට බලය ඇත්තේ තක්සේරු වටිනාකිමින් 10%ක් නොඉක්ම වූ අඩු මිලක් යටතේ වෙන්දේසි කිරීමට පමණක් බවයි.

රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇති මෙවැනි අවස්ථාවක රජයට අය විය යුතු මුදල් අය නොවීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව පූර්ණ කඩාවැටීමක් අභියසද ?

ජනතාව කුසගින්න, පුළුල්ව පැතිරුණු මන්දපෝෂණය සහ ගැඹුරු දරිද්‍රතාවයට මුහුණ පා සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර ප්‍රජාව රටේ ආර්ථික අර්බුදයට දක්වන ප්‍රතිචාරවලට මානව හිමිකම් සම්පූර්ණයෙන්ම ඇතුළත් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නව වාර්තාවක් නිකුත් කරමින් අවධාරණය කළේය.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිකුත් කළ එම වාර්තාවේ දැක්වෙන්නේ මෙරට ජනතාව සෞඛ්‍ය සේවයට ප්‍රවේශ වීම සම්බන්ධයෙන් ද බරපතල කනස්සල්ලට පත්ව සිටින බවයි.

"අපි සම්පූර්ණ බිඳවැටීමට ආසන්නයි": යන්න තේමා කර ගත් මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තුළ සෞඛ්‍ය, ආහාර සහ සමාජ ආරක්‍ෂාව සඳහා වන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආර්ථික සහ සමාජ අයිතීන් කෙරෙහි අර්බුදයේ ව්‍යසනකාරී බලපෑම ගවේෂණය කරයි.

"දැන් මාස ගණනාවක් තිස්සේ, ශ්‍රී ලංකාවේ ජනතාව දැඩි ආහාර හිඟයකින් පෙළෙන අතර සෞඛ්‍ය සේවයට ප්‍රවේශ වීමට අරගල කරමින් ඇතැයි වාර්තාව අනාවරණය කරයි.

අහස උසට ගොස් ඇති උද්ධමනය දැනටමත් පවතින අසමානතාවයේ රටාවන් උග්‍ර කර ඇත යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් කරයි.

මිනිසුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහා ඇති ප්‍රවේශය කුරිරු ලෙස උදුරා ඇති පසුබිමක අර්බුදයේ පුලුල්ව පැතිරුනු මානව හිමිකම් පිරිවැය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර ප්‍රජාව කඩිනමින් ක්‍රියා කළ යුතු බවට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ පර්යේෂක සංහිතා අම්බස්ට් සඳහන් කළේය.

ජාත්‍යන්තර ආධාර ප්‍රමාණය වැඩි කිරීම, පුළුල් සමාජ ආරක්ෂණය සහතික කිරීම සහ ණය අවලංගු කිරීම ඇතුළුව ණය සහන සඳහා ඇති සියලු විකල්පයන් සලකා බැලීම වැනි තත්ත්වයට ප්‍රතිචාර දැක්වීමේදී මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නායකයින් සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිසාධන ක්‍රියාමාර්ග මෙම වාර්තාව මගින් විස්තර කර තිබේ.

2022 ජූනි සහ සැප්තැම්බර් අතර, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් සමාජයේ පුළුල් පරාසයක පුද්ගලයන් 55 දෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡා ඇසුරින් මෙම වාර්තාව සකස් කර ඇත.

අවිනිශ්චිත රැකියාවල නිරත පුද්ගලයින්; දෛනික වැටුප් කම්කරුවන්; ධීවර අංශයේ සහ වතුකරයේ සේවය කරන අය; විශේෂයෙන් බලපෑමට ලක්විය හැකි මලයහ දෙමළ ප්‍රජාවේ ජනතාව; මහජන සෞඛ්ය සේවකයින්; සිවිල් සමාජ කණ්ඩායම්, මානුෂීය සංවිධාන සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ පුද්ගලික විශේෂඥයින් ඊට අයත්වූහ.

වසරක් තුළ සිල්ලර මිල වැඩිවීම !

[2022 ජූලි සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ආර්ථික දර්ශකවලට අනුව]

බිත්තර - 124.1%
පරිප්පු - 183.9%
අර්තාපල් - 125.3%
සීනි - 151.1%

උණ තිබ්බත්, වෛද්‍යවරයකු හමුවීමට හැකියාවක් නැහැ !

ආර්ථික අර්බුදය උග්‍ර වීම හමුවේ ශ්‍රී ලංකාව තුළ ජීවිතාරක්ෂක ඖෂධ සහ අත්‍යවශ්‍ය උපකරණ හිඟය ප්‍රධාන අවධානයට ලක් වේ. ගෝස්, අභ්‍යන්තර ප්‍රතිජීවක සහ ඉන්සියුලින් හිඟයේ සිට කැතීටර් හෝ එන්ඩොට්‍රාචල් ටියුබ් නැවත භාවිතා කිරීමට ඉල්ලීම් දක්වා, පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට කම්පන සහගත අභියෝග ගෙන ආ බවට එම වාර්තාව සඳහන් කරයි.

සෞඛ්‍ය සේවකයෙකු ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙත පවසා ඇත්තේ , "හෙදියන් අත්වැසුම් නොමැතිව ලේ ගන්නවා. මෙය හෙදියට සහ රෝගියාට අනතුරුදායකයි." යනුවෙනි.

ඇතැම් අවස්ථාවලදී රජයේ රෝහල්වල සැපයුම් අවසන් වී ඇති බැවින් සෞඛ්‍ය සේවා අවශ්‍ය පුද්ගලයන්ට පෞද්ගලික ඔසුසල්වලින් ඖෂධ හෝ උපකරණ මිලදී ගැනීමට උපදෙස් ලැබෙමින් ඇතැයිද වාර්තාව අනාවරණය කළේය.

එක් වෛද්‍යවරයෙක් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙත මෙසේ පවසා තිබුණි: "නමුත් සෑම කෙනෙකුටම එය දැරිය නොහැකියි. බැරි අය ගෙදර යනවා. ගිහින් එන්නේ තත්ත්වය නරක අතට හැරුණාම."

ඉන්ධන හිඟය නිසා ප්‍රවාහනය නොමැති වීම හෝ අතිශයින් මිල අධික වීම නිසා වතුකරයේ ජනතාවට සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශ වීම දුෂ්කර හෝ ළඟා වීමට නොහැකි තත්ත්වයකට පත් කර ඇත.

වතු ආශ්‍රිත දෙමළ ප්‍රජාවේ සාමාජිකයෙකු වන පදම් ජාත්‍යන්තර ක්ෂමා ආයතනයට පැවසුවේ තම මව කිලෝමීටර් 15 ක් දුරින් පිහිටි ළඟම ඇති රෝහල වෙත රැගෙන යාමේදී තමා දුෂ්කරතාවන්ට මුහුණ දුන් බවයි.

"අර්බුදයට පෙර මම මගේ පෞද්ගලික වාහනය භාවිතා කළා. ඉන්ධන හිඟය නිසා මෙය වඩාත් අභියෝගාත්මක වුණා. අපි පොදු ප්‍රවාහනය භාවිතා කරන්නේ නම්, අද වන විට එය සම්පූර්ණයෙන්ම මගීන්ගෙන් පිරිලා. මගේ මව වැනි අයට පොදු ප්‍රවාහන සේවයේ ගමන් කළ නොහැකියි, මන්ද ඇය ඉතා වයසයි. ටිකට් [මිල] ද විශාල ලෙස වැඩියි."

"අපට උණ ඇත්නම්, අපට වෛද්‍යවරයකු හමුවීමට හැකියාවක් නැහැ. අපි අපේ අසනීප සඳහා පැනඩෝල් [ඇසිටමිනොෆෙන්] භාවිතා කරනවා."

2022 අප්‍රේල් මාසය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඖෂධ මිල 40%කින් වැඩි කිරීමට අවසර ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ අඩුපාඩු මොනවාද?

2022 ජූලි මාසයේදී - නිත්‍ය රසායනාගාර අයිතම - 250
2022 ජූලි මාසයේදී අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය - 2724
2022 අගෝස්තු මාසයේදී වැදගත් ඖෂධ - 7
2022 අගෝස්තු මාසයේදී අත්‍යාවශ්‍ය ඖෂධ - 188
2022 ජූලි මාසයේදී අනුපූරක අයිතම - 600

'සමහර දවස්වල අපි කොහොමත් කන්නේ නැහැ'

උද්ධමනය සහ කුටුම්භ ආදායම අඩුවීම හේතුවෙන් මිල ඉහළ යාමෙන් අදහස් වන්නේ මිනිසුන්ට තම මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට වැඩි වැඩියෙන් නොහැකි වීම බව ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වා දෙයි.

සම්මුඛ පරීක්ෂණයට සහභාගි වූ කිහිප දෙනෙක් තම දරුවන්ට ප්‍රමාණවත් ආහාර නොමැතිකම ගැන කනස්සල්ල පළ කළහ.

දරුවන් තිදෙනෙකු සිටින අරුණි මෙසේ පැවසුවාය: "අපි දවල්ට උයනවා නම්, අපට රාත්‍රී ආහාරය නැහැ, රාත්‍රී ආහාරය නැත්නම්, උදේටත් කිසිදෙයක් නැහැ. සමහර දවස් වලට අපි කන්නෙත් නෑ..."

සිවිල් සමාජ සංවිධානවල කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙත පැවසුවේ පාසල් ආහාර සඳහා රජයෙන් ලැබෙන අරමුදල් සෑම දරුවෙකුටම ආහාර සැපයීමට ප්‍රමාණවත් නොවන බවයි.

තේ වත්තක සේවය කරන 39 හැවිරිදි මලයහ දෙමළ කාන්තාවක් වන සවිතා ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙත පැවසුවේ, "අපිට උයන්න දෙයක් නැති නිසා අපි දවස් දෙකක් කෑමක් නැතිව හිටියා... මගේ දරුවන්ට ප්‍රශ්න තේරෙන්නේ නැහැ... බඩගිනි දැනෙනවා, කෑම ඉල්ලනවා, සමහර වෙලාවට කෑම ඉල්ලලා අඬනවා."

මානව හිමිකම්වලට ප්‍රමුඛත්වය දීමේ අවශ්‍යතාවය

ශ්‍රී ලංකා රජය, පරිත්‍යාගශීලී රාජ්‍යයන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන ආර්ථික අර්බුදය විසඳීම සඳහා වැඩසටහන් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකා බලධාරීන් සහ පරිත්‍යාගශීලී රාජ්‍යයන් සියලු ආධාර ගිවිසුම් වල සෞඛ්‍ය සහ ප්‍රමාණවත් ආහාර සඳහා ඇති අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ තම වගකීම් ඉටු කරන බවට සහතික විය යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් අවධාරණ කළේය.

ඔවුන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පෙර මානව හිමිකම් බලපෑම් තක්සේරු කිරීම් ද සිදු කළ යුතු බවයි.

ශ්‍රී ලංකා බලධාරීන් මේ වන විට රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන් සමඟ සාකච්ඡා කරමින් සිටී.

තීරණාත්මක සෞඛ්‍ය සේවා සහ සමාජ ආරක්ෂණ පද්ධති සඳහා රාජ්‍ය ආයෝජන වැඩි කිරීමට රජයට ඉඩ සලසමින්, ණය අවලංගු කිරීම ඇතුළුව ණය සහන සඳහා වන සියලු විකල්ප සලකා බැලිය යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් අවධාරණය කළේය.

ඔවුන් අවධාරණය කළේ, ඕනෑම ණය සහන ගිවිසුමක් මානව හිමිකම් බැඳීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව අඩපණ නොකළ යුතු බවයි.

"ජාත්‍යන්තර ප්‍රජාව විසින් ශ්‍රී ලංකාවට හැකි සෑම මූල්‍යමය සහ තාක්ෂණික සහයක් ලබා දිය යුතු අතර, අසමානුපාතික හානිවලින් ආන්තික කණ්ඩායම් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇත." සංහිතා ඇම්බස්ට් පැවසුවාය.

නිර්දේශ

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් සිදුවෙමින් පවතින සන්දර්භය තුළ පුළුල් නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර ඇත.

අදාළ සියලුම ක්‍රියාකාරීන්ට අර්බුදයක්. සම්පූර්ණ ලැයිස්තුව මෙම වාර්තාවේ අවසානයේ දිස්වේ. ප්රධාන නිර්දේශ කිහිපයක් ඇතුළත්:

🔘 ශ්‍රී ලංකා රජය දැනට පවතින සමාජ ආධාර වැඩසටහන් යම් ආකාරයකට ප්‍රතිසංස්කරණය කළ යුතුය. එය විස්තීර්ණ සමාජ ආරක්ෂණ ආවරණයක් ලබා දිය යුතුය.
🔘 ශ්‍රී ලංකා රජය සමාජ සහන වැඩසටහන් සඳහා වන වියදම් වැඩි කළ යුතුය. සෑම කෙනෙකුටම ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් සඳහා ඇති අයිතිය තහවුරු කළ යුතුය.
🔘 ශ්‍රී ලංකාවේ බහුපාර්ශ්වික, ද්විපාර්ශ්වික සහ පෞද්ගලික ණයහිමියන් ඔවුන්ගේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ණය සහන සහතික කිරීම, සහ ණය අවලංගු කිරීම ඇතුළුව සාකච්ඡාවලදී මානව හිමිකම් වගකීම්වලට අනුකූලව ක්‍රියා කළ යුතුය.
🔘 ද්වීපාර්ශ්වික සහ බහුපාර්ශ්වික පරිත්‍යාගශීලීන් ශ්‍රී ලංකාවට හැකි සෑම මුල්‍යමය සහ සහාය ලබා දිය යුතුය. මානව හිමිකම් ශක්තිමත් කිරීමට රජයට ඉඩ සලසන ආකාරයෙන් තාක්ෂණික සහාය ලබාදිය යුතුය.
🔘 ශ්‍රී ලංකා රජය මිනිසුන්ට නොගැලපෙන හානිකර කප්පාදු පියවරයන් වැළැක්විය යුතුය.

ජනගහනයෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයක

ලෝක ආහාර වැඩසටහන (WFP) ඇස්තමේන්තු කර ඇත්තේ ජනගහනයෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක්, එනම් සියයට 37ක් මේ වන විට උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දෙන බවයි.

එක්සත් ජාතීන් පෙන්වා දෙන්නේ, ආසියාවේ ඉහළම උද්ධමන අනුපාත සහ පවතින ඉන්ධන හිඟය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට දිගින් දිගටම තර්ජන එල්ල කර ඇති බවයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය 2022 අගෝස්තු දක්වා වසර තුළ 64.3% දක්වා ළඟා වූ අතර ආහාර උද්ධමනය 93.7%ක් විය.

2020 යල කන්නයට සාපේක්‍ෂව කෘෂිකාර්මික නිෂ්පාදනය සියයට 40 කින් අඩු වී ඇත.

ඉන්ධන මිල ඉහළ යාම, පොහොර හිඟය සහ සත්ව ආහාර හිඟය හේතුවෙන් ආහාර ද්‍රව්‍යවල මිල ගණන් තවදුරටත් ඉහළ යන බව දර්ශක මගින් පෙන්නුම් කරන බව එක්සත් ජාතීන් අනාවරණය කළේය.

එළැඹෙන මහ කන්නය සඳහා, පොහොර සහ පළිබෝධනාශකවල පවතින සීමිත ප්‍රමාණය සහ අධික මිල සහ අඛණ්ඩ ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රතිඵලය කෙසේ වේදැයි අනාවැකි කීම අපහසුද ලෝක ආහාර වැඩ සටහන අනාවරණය කරයි.

ලෝක ආහාර වැඩසටහනට (WFP) අනුව, ජනගහනයෙන් තුනෙන් එකකට වඩා (සියයට 37ක්) මේ වන විට මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්‍ෂිතතාවයට මුහුණ දී සිටින අතර, කුටුම්භ දහයෙන් අටක් පමණ නිතිපතා ආහාර මත පදනම් වූ ක්‍රමෝපායන් වෙත යොමු වෙති. නාගරික දුප්පතුන් සහ වතු අංශයේ වැඩ කරන ජනතාව මෙන්ම කාන්තා මූලික නිවාස විශේෂයෙන් දුෂ්කරතාවයට පත්ව සිටිති.

ජාත්‍යන්තර සහය

• ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ශ්‍රී ලංකාවට අතිරේක මානුෂීය ආධාර වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් ප්‍රකාශයට පත් කර ඇත.

• IMF කළමනාකාරිත්වය සහ විධායක මණ්ඩලය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 2,9 ක විස්තීරණ අරමුදල් පහසුකම අනුමත කිරීමට නියමිතව ඇත.

• යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය පිළිවෙලින් යුරෝ මිලියන 1,5 සහ පවුම් මිලියන 3 ක් ලෙස මානුෂීය ආධාර සඳහා අරමුදල් නිකුත් කර ඇත.

• අමෙරිකානු රාජ්‍ය නොවන සංවිධානයක් වන හෝප් වර්ල්ඩ්වයිඩ් විසින් ඩොලර් මිලියන 2.7 ක් වටිනා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට පහසුකම් සලසා ඇත.

• ශ්‍රී ලංකාවට පොහොර සැපයීම සම්බන්ධයෙන් ඉරානය සහ ශ්‍රී ලංකාව සාකච්ඡා පවත්වා ඇති අතර එහි ප්‍රතිඵලය පිළිබඳව තවමත් පැහැදිලි බවක් නොමැත.

ආණ්ඩුව මොකද කරන්නේ...?

සමස්ත ලාංකීය සිසු දරුවන්ගේ පෝෂණ සුරක්ෂිතතාවය වෙනුවෙන් දිවා අහාර ලබා දීමේ වැඩසටහනට අතිරේකව තවත් බිලියන 4 ක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

මේ වන විට පාසල් 7 926 ක මිලියන 1.8 ක් පමණ වන සිසුන් ඉලක්ක කර ගනිමින් රජය විසින් දිවා ආහාර ලබා දීමේවැඩසටහන ක්‍රියාත්මක වෙයි.

නමුත් තවත් මිලියන 1.8 ක සිසුන් වෙනුවෙන් දිවා අහාරය ලබා දීම වෙනුවෙන් මෙම අතිරේකව ලබා දීමට නියමිත රුපියල් බිලියන 4 වෙන් කෙරී ඇති බව හෙතෙම පැවසිය.

මෙමඟින් සමස්ත සිසුන්ගෙන් 51% කට ආහාර සුරක්ෂිතතාවය ඇතිවන බවත්, ග්‍රාමීයව අඩු දියුණු පාසල් වල සිසුදරුවන්ටත් අවශ්‍ය පෝෂණ මට්ටම් රැක ගැනීමට මෙමඟින් හැකිවනු බවත් හෙතෙම කියා සිටින ලදුව මේ සඳහා යුනිසෙෆ් ආයතනය, ලෝක බැංකුව, චීන ආණ්ඩුව සහ වෙනත් පුද්ගලික ආයතන වලින් මේ සඳහා ආධාර උපකාර ලැබී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව, මෙරට කිසිඳු පුරවැසියෙකු ආහාර නොමැතිකම හේතුවෙන් කුසගින්නේ නොතිබිය යුතුය යන රජයේ මූලික අරමුණ සාක්ෂාත් කර ගනු වස් ඉලක්ක කර ගත් වැඩසටහන් රජය විසින් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, මේ සඳහා මෙරට දිළිඳු කම හා පෝෂණය පිළිබඳව දිස්ත්‍රික්ක මට්ටමින් ලබා ගෙන ඇති දත්ත පදනම් කර ගෙන අවශ්‍ය අරමුදල් හා විදේශ ප්‍රදාන සපයාගනිමින් දැනට ක්‍රියාත්මක වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණ වන බවත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

බීබීසී - සිංහල

ඛනිජ තෙල් සංශෝධන පනත් කෙටිම්පතට අනුමැතිය !

ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීරණ අනුව සංශෝධන සහිතව විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇත.

විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙකී අනුමැතිය හිමිව ඇත.

මෙම ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත මගින් ඉන්ධන ආනයනය, සැපයුම සහ බෙදාහැරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාට සහ ලංකා ඉන්දියානු තෙල් සමාගමට අමතරව අනෙකුත් පාර්ශ්ව සඳහා ප්‍රතිපාදන සලසා දීම සිදු වේ.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු ඩී. වී. චානක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සහ එම්. එස්. තවුෆික් සහභාගීව ඇත.

ජාතික සභාවේ පුටු මාරුවෙයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ජාතික සභාවේ සාමාජිකයෙකු ලෙස නම්කර ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (05) පාර්ලිමේන්තුවේදී මේ බව නිවේදනය කර තිබේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් ජාතික සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් ද අලුතින් නම්කර තිබේ.

ජාතික සභාවේ මීළඟ රැස්වීම හෙට (06) පැවැත්වීමට නියමිතය.

පාපන්දුවට අතුරු කමිටුවක් : අභියාචනාධිකරණයේ එකඟතාවක් !

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහා නිලවරණය පැවැත්වීමට හැකි වන පරිදි කරුණු ඇතුළත් කර සංශෝධිත ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සහ නිලවරණය පවත්වන දිනය අධිකරණයට දැනුම් දීමට ක්‍රීඩා අමාත්‍යාංශය අභියාචනාධිකරණය හමුවේ ඊයේ (04) එකඟතාවය පළ කර ඇත.

එසේම පාපන්දු සම්මේලනය කළමනාකරණය කිරීම සඳහා "කළමණාකරන කමිටුවක්" පිහිටු වීමට අමාත්‍යංශය එහිදී එකඟව තිබේ.

මෙම එකඟතා පළවුයේ පාපන්දු සම්මේලනයේ නිල කාලය දීර්ඝ කිරීමේ තීරණය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් බලරහිත කරන ලෙස ඉල්ලා සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් සහ ලේකම් උපාලි හේවගේ විසින් ගොනුකළ රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එහිදී පෙත්සම්කාර පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා හා ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ එරාජ් ද සිල්වා හා වග උත්තරකාර ක්‍රීඩා අමාත්‍යවරයා සහ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන පෙනී සිටි අතර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවට පැමිණ ඇත.

ඒ අනුව පාපන්දු සම්මේලනය සම්බන්ධයෙන් දැනට නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය නිලවරණය පැවැත්වීමට හැකි වන පරිදි සංශෝධනය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය. නිලවරණය පවත්වන දිනය ඊළඟ නඩු දිනයට පෙර අධිකරණයට දැනුම් දීමට ද එකඟතාවයක් ඇතිව තිබේ.

පාපන්දු සම්මේලනය කළමනාකරණය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයකුගේ සභාපතිත්වයෙන් යුතු කළමණාකරන කමිටුවක් පිහිටුවීමට එකඟතාවය ඇති වූ අතර එම කළමනාකාර කමිටුවේ සෙසු සාමාජිකයන් අතරින් දෙදෙනකු ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා විසින් පත් කෙරෙන අතර, තවත් දෙදෙනෙකු පෙත්සම්කාර පාර්ශ්වයෙන් පත් කිරීමට නියමිතය.

කළමනාකරණ කටයුතු හා මූල්‍ය කටයුතු යෝජිත කළමනාකරණ කමිටුව විසින් මෙහෙයවන අතර, වියදම් සම්බන්ධයෙන් අනුමත කර ගැනීම් සිදුකරන්නේ නම් කළමනාකරණ කමිටුවේ අනුමැතියට යටත්ව එය සිදු කළ යුතු බවටත් දෙපාර්ශ්වය එකඟ විය.

පෙත්සම යළි ඔක්තෝම්බර් මස 11 වනදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය එදින මේ කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් දෙපාර්ශ්වයට නියෝග කළේය.

''ක්‍රීඩා අමාත්‍යතුමාට ස්තූතිවන්ත වෙනවා'' - පාපන්දු සභාපති ජස්වර් උමාර්

අධිකරණ තීන්දුවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සභාපති ජස්වර් උමාර් මෙසේ පැවසිය.

''අභියාචනාධිකරණයේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස මමත්, ලේකම් උපාලි හේවගේ විසින් ඉදිරිපත් කරපු පැමිණිල්ල විභාගයට ගත්තා. ඒ පෙත්සම සලකා බලපු අධිකරණය ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිතයකු සහ නීතිපති සමග සාකච්ඡා කොට මේ ගැටලුව කඩිනමින් විසඳාගැනීම සඳහා එකඟතාවකට පැමිණෙන ලෙස දැනුම් දුන්නා.

මේ වන විට අපගේ නිල කාලය අවලංගු කිරීම සඳහා නිකුත් කරපු නිවේදනය සංශෝධනය කිරීම, දෙවනුව මෙම නඩුව තව සතියක් තුල නැවත කැඳවා නිලවරණය සඳහා දිනයක් නියම කිරීම, තුන්වනුව කළමණාකරන කමිටුවක් කිරීම , ඒ කමිටුවට ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණයේ විශ්‍රාමික විනිසුරු වරයෙක් යටතේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ 2021 නිලවරණයෙන් පත්ව වූ සභාපතිවරයා වන මම , ඒ වගේම එම නිලවරණයෙන් පත්වූ භාණ්ඩාගාරික ඒ.එෆ් සෙලර් මහතාත් මෙම කමිටුවට ඇතුලත්වනවා.

ඒ වගේම ගරු ක්‍රීඩා අමාත්‍යතුමාගේ නිර්දේශය මත ගණ්කාධිකාරිවරයකු පරිපාලන නිලධාරියකු මෙම කළමණාකරණ කමිටුවට ඇතුළත් වෙනවා .

ඒ නිසා මේ පංච පුද්ගල කමිටුව නිලවරණය තෙක් එදිනෙදා කටයුතු කිරීම සහ මූල්‍ය පරිපාලනය කටයුතු කිරීම සඳහා තමන්ගේ රාජකාරි කටයුතු කරනු ඇති.

ඒ වගේම නව ව්‍යවස්ථාව සතියක් තුළ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමටත් අපි කටයුතු කරන්න එකඟතාවය පළ කරලා තියෙනවා.

'මම හිතනවා මේ වෙලාවේ ගරු ක්‍රීඩා අමාත්‍යතුමාට ස්තූතිවන්ත වෙන්න ඕනේ මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා යම්කිසි කාලයක් සහ අවස්ථාවක් ලබාදීම පිළිබඳව. ඒ වගේම ගරු අධිකරණයටත් අපි ස්තූතිවන්ත වෙන්න ඕනේ රට වෙනුවෙන් එහෙම නැත්නම් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ෆීෆා වෙනුවෙන් තහනමකට ලක්වීමට ඇති අවධානම පහකර ගන්න කාලෝචිත විදියට මේ කරපු ක්‍රියාමාර්ගය ගැන''

අපි ඉතාමත්ම සුබවාදීව සියලු දෙනා එක්ව මේ ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් නිරාකරණය කර කඩිමින් නිලවරණයක් පැවැත්වීමට අපි සියලු කටයුතු කරනවා කියලා කියන්න ම කැමතියි''

ෆොන්සේකා විප්ලවයක් ඉල්ලයි !

අරගලයක් නැතුව මේ රටට ගමනක් නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

අනිවාර්යෙන්ම මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට නම් ජනතා විප්ලවයක් ඇති විය යුතු බව ද ඔහු සඳහන් කර සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ බව සඳහන් කර සිටියේ විශ්ව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (04) කැලණියේ දී සංවිධානය කර තිබූ උද්ඝෝෂණ රැලියක් අමතමිනි.

අරගලකරුවන් පුනරුත්ථාපනය කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කර ඇතත් ඇත්ත වශයෙන්ම පුනරුත්ථාපනය කළ යුත්තේ ඔවුන්ගේ හත්මුතු පරම්පරාව යැයිද මන්ත්‍රීවරයා සඳහන්කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හට මේ ආකාරයට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇමතීමට අවස්ථාව සැළසීම බොහෝ දුරට සරත් ෆොන්සේකා සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් අතර ඇති සමීප හිතවත්කම මත සිදුවූවක් විය හැකි බවත් , නොඑසේනම් සාමාන්‍යයෙන් ජාතික ධාරාවේ දේශපාලනඥයන්ට අන්තරය ඇමතීමට අවස්ථාව හිමි නොවන බව දේශපාලන විචාරයකයන්ගේ මතය වී තිබේ.

ලිට්‍රෝ ගෑස් : බැස්සුවේ මෙහෙමයි !

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 271 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් අද (5) පැවසීය.

නව මිල සංශෝධනය සමග රුපියල් 4,551 ක් පැවති කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4280 ක් දක්වා පහත දමා තිබේ.

මෙම මිල පහත දැමීමත් සමග කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 107 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 48 කින් ද, අඩු කළ බවත් නව මිල අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් සභාපතිවරයා පවසයි.

ඒ අනුව රුපියල් 1,827 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1720 ක් දක්වා ද, රුපියල් 848 ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 800 ක් දක්වා ද, මිල පහත දමා තිබේ.

කෝපා කමිටුවේ සභාපති ධූරය : කබීර් හෂීම්ට !

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ( කෝපා කමිටුවේ) සභාපතිධූරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් නම්කර ඇත.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් අද(05) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.

ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ එකඟත්වය පළ වූ බව ද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද (05) පළමු වරට රැස්වීමට නියමිත අතර එහි මීට පෙර සභාපති ධුරය දැරුවේ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාය.

තවත් සිසුන් ලක්ෂ 10 කට දිවා ආහාරය : ජනපති යෝජනාවට කැබිනට් අනුමැතිය !

පාසල් දිවා ආහාර වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කරමින් තවත් සිසුන් ලක්ෂ 10කට පමණ සම්පූර්ණ පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් දීම වෙනුවෙන් අතිරේකව රුපියල් කෝටි 400ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇත.

"කිසිදු පුරවැසියකු ආහාර නැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය" යන මූලික අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් වැඩසටහනක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ කැබිනට් යෝජනාව සඳහා මෙසේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

පාසල් දිවා ආහාර වැඩසටහන මේ වන විට රට පුරා පාසල් 7,926ක ක්‍රියාත්මක කෙරෙන අතර සිසුහු දසලක්ෂ අසූදහසක් (මිලියන 1.08ක්) ඉන් ප්‍රතිලාභ හිමි කර ගනිති.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කල අතර මෙයින් ප්‍රතිලාභ ලබන සමස්ත සිසුන් සංඛ්‍යාව විසි ලක්ෂ අසූදහසක් (මිලියන 2.08) බවත් පැවසීය.

දැනට ක්‍රියාත්මක වැඩසටහන සඳහා රුපියල් කෝටි 400ක් වැය කරන අතර මේ සිසුන් ලක්ෂ 10 සඳහාත් වැඩසටහන ව්‍යාපත් කිරීමට අතිරේකව තවත් රුපියල් කෝටි 400ක් මේ අනුව වෙන් කෙරෙනු ඇත. ඒ අනුව සමස්ත වැඩසටහන සඳහා රුපියල් කෝටි 800ක මුදලක් වැය වෙයි.

මෙමඟින් සමස්ත සිසුන්ගෙන් සියයට 51ක පමණ පිරිසකගේ ආහාර සුරක්ෂිතතාව ඇති වන බව පෙන්වා දුන් ඇමැතිවරයා විශේෂයෙන්ම ග්‍රාමීය පාසල් දරුවන්ගේ පෝෂණ මට්ටම රැක ගැනීමට මේ තුළින් හැකියාව ලැබෙන බව ද මේ වෙනුවෙන් යුනිසෙෆ්, ලෝක බැංකුව, චීන රජය සහ තවත් පෞද්ගලික සංවිධානවල ආධාර ලැබී තිබෙන බව ද සඳහන් කළේය.

මේ අතර ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම වෙනුවෙන් "ආහාර ප්‍රතිපත්ති කමිටුව" පිහිටුවීමට රජය තීරණය කර තිබෙන අතර ඒ වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව ද ඇමැතිවරයා පැවසීය.

සිපෙට්කෝ පිරවුම් හල් වර්ජනය අවසන් !

සිපෙට්කෝ’ පිරවුම්හල්වලින් පරිහණය ගාස්තු ලෙස අය කළ බද්ද නැවත බැර කිරීම නිසා ඉන්ධන තොග ඇනවුම් කිරීම නැවත ආරම්භ කළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න අද (4) පැවසීය.

ඉන්ධන පිරවුම්හල් තොග ඇනවුම් සඳහා ඊයේ (3) බැර කළ මුදල්වලින් බද්දක් සඳහා මුදල් කපාගැනීම නිසා ඊයේ දිනය සඳහා කර තිබූ ඇනවුම් අවලංගු කළ බවත් කපාගත් මුදල් අද පස්වරුව වන විට පිරවුම්හල්වල ගිණුම්වලට නැවත බැර කර තිබූ බවත් ඔහු පැවසීය .

ඉන්ධන තොග හෙට දිනයේ ලැබෙන පරිදි බෙදාහැරීමට සූදානමින් සිටින බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

Page 1 of 194