V2025

පුවත්

විප්ලවයකින් තොරවම රටේ ජනතාවගේ සින්නකර ඉඩම් අයිතිය තහවුරු කළා !

ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වූවද විප්ලවයකින් තොරවම මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට හැකිවීම වත්මන් ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

වත්මන් ආණ්ඩුව ලැබූ පළමු ජයග්‍රහණය රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලක්ෂ 20ෙක ජනතාවට ප්‍රතිලාභ සැලසෙන “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කට වැටුප් වැඩි කිරීම අනෙකුත් ජයග්‍රහණ බවද පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ කොටසකගේ පමණක් සහාය ඇතිව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙවන් පුළුල් වැඩකොටසක් ඉටු කිරීමට ආණ්ඩුව සමත් වූවා නම් පාර්ලිමේන්තුවේ සියලුදෙනාගේ සහාය ඇතිව රට ඔසවා තැබිය හැක්කේ කුමන ස්ථානයකට කියා සියලුදෙනා සිතා බැලිය යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ උරුමය වැඩසටහනේ පළමු අදියරට අදාළව නිදහස් ඔප්පු 10,000ක් ගොවි ජනතාව වෙත ප්‍රදානය කිරීමට අද (05) පස්වරුවේ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.

IMG 20240205 WA0006රජයේ ඉඩම් ආඥා පනත යටතේ එදා විදේශිකයන්ට ඉඩම් ලබා දුන්නා නම් ජනතාවට එමඅයිතිය ලබාදීමට කිසිදු බාධාවක් තිබිය නොහැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද 2024 අය වැය යෝජනා අතර 08 වන යෝජනාව වූයේ “උරුමය වැඩසටහන මඟින් 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගොවින් වෙත බලපත්‍ර හා කොන්දේසි සහිත දීමනාපත්‍ර මත බැහැර කර ඇති රජයේ ඉඩම්වල පූර්ණ අයිතිය ගොවි ජනතාව වෙත ලබාදීමට අපේක්ෂා කර ඇත” යන්නයි.

ඒ අනුව මෙරට ජනතාවගේ දීර්ඝකාලීන අපේක්ෂාවක් ඉටු කරමින් තමා භුක්තිවිදින ඉඩමේ සින්නක්කර අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙවැනි ගොවි පවුල් ලක්ෂ 20ක ප්‍රමාණයක් අපේක්ෂිත ප්‍රතිලාභීන් ලෙස හදුනාගෙන ඇත. උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් 2024 අය වැය යෝජනා යටතේ උරුමය රුපියල් බිලියන 02ක් වෙන් කර ඇත.

උරුමය වැඩසටහන යටතේ ඉඩම්වල පූර්ණ අයිතිය ඉල්ලුම් කරන අයදුම්කරුවන් සඳහා ප්‍රධාන අදියර 03ක් යටතේ නිදහස් දීමනාපත්‍ර ලබාදීමට නියමිතය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රජාව වෙතින් ඉදිරිපත් වන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට අදාළ ආයතන සම්බන්ධීකරණය කරමින් මෙහෙයවීමේ යාන්ත්‍රණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ උරුමය මෙහෙයුම් ලේකම් කාර්යාලයක් ද ස්ථාපිත කර තිබේ.

සංකේතාත්මකව ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු බෙදාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් මෙහිදී සිදු විය.

IMG 20240205 WA0007සහජ දක්ෂතාවන්ගෙන් හෙබි මෙරට ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික කණ්ඩායම නියෝජනය සඳහා සමාන අවස්ථා ලබා දීමේ අරමුණින් දියත් කළ"ජාතික ක්‍රිකට් සංවර්ධන ගමන් මඟ" ජාතික වැඩසටහනට සමගාමීව දඹුල්ල ක්‍රීඩාංගණයේ ස්ථාපිත කළ 'විශිෂ්ටත්වයේ කේන්ද්‍රය” විවෘත කිරිමද මේ හා සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදු විය.

එමෙන්ම දඹුල්ල ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ඉදිකළ නව පිහිණුම් තටාකය විවෘත කළ ජනාධිපතිවරයා පිහිණුම් තටාකයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ද එක් විය.

නව්‍යකරණය කරන ලද ක්‍රීඩාංගණ විදුලි ආලෝක පද්ධතිය විවෘත කෙරුණේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිනි.

මේ අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ 'විශිෂ්ටත්වයේ කේන්ද්‍රය” මාධ්‍ය මධ්‍යස්ථානයට, නව ප්‍රේක්ෂකාගාරයට සහ ගෘහස්ත ක්‍රීඩාගාරය ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙම උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේ මගේ රටයි, මා ඉපදුණ රටයි, මගේ උරුමය තහවුරු කළ රටයි.අද අප මෙතනට රැස් වී සිටින්නේ මේ රටේ ජනතාව ඉඩම් අයිතිය ලබා ගැනීමට කළ අරගලය අවසන් කිරීමටයි. ඒ වගේම අද අප මේ සහභාගී වන්නේ විප්ලවීය අවස්ථාවකට. ලක්ෂ 20කට ඉඩම් අයිතිය ලබාදීම අද සිදු වෙනවා. මම මෙය විප්ලවයක් කියා හඳුන්වන්නේ ඒ නිසයි. මෙම විප්ලවය භුක්ති විදින්නේ රටේ ජනතාව. මේ ඉඩම් අයිතිය ලැබුණු විට ඔබ කිසිවෙකුට යටත් විය යුතු නැහැ.මන්ත්‍රීවරු, නිලධාරීන් පසුපස ගිහින් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය නැහැ. ඉඩම තමන්ට අවශ්‍ය පරිදි සංවර්ධනය කළ හැකි අතර කිසිවෙකුට ඊට බලපෑම් එල්ල කරන්න බැහැ.

තමන්ට ලැබෙන මෙම අයිතිය ආරක්ෂා කර ගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. මෙම අයිතිය තමන්ට පමණක් නොව තමන්ගේ දරුවන්ටත් හිමි විය යුතුයි. මෙයින් නිසි ප්‍රයෝජන ලබා ගන්න ඔබ කටයුතු කළ යුතුයි. ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව ගණනාවක් ඇති වී තිබෙනවා. අද මේ රටේ කිසිදු විප්ලවයක් නොමැතිව ජනතාවට ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා.

බොහෝ දෙනෙක් සිතුවේ මෙය කළ නොහැකි දෙයක් ලෙසයි. නමුත් අපේ ආණ්ඩුව ඒ තීරණය ගෙන කටයුතු කළා. විශේෂයෙන්ම ගොවිතැන් කළ අයට මෙන්ම නිවාස ඉදි කරගත් සියලුදෙනාට ඒ ඉඩම් අයිතිය හිමි වෙනවා. ගොවිතැන් කටයුතුවල නිරතවන ඔබ සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමනවා. මේ රටේ ආර්ථිකය ගොඩගැනීමට පසුගිය මහ කන්නයේත්, යල කන්නයේත් ඔබෙන් ලැබුණු සහයෝගය අමතක කරන්න බැහැ. අස්වැන්න සාර්ථක වුණා. ඒ තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් වුණා. ඒ වගේම මේ ඉඩම්වල නිවාස ඉදිකරගත් පිරිස ඉන්නවා. මම ඔවුන්ටද ස්තූතිවන්ත වෙනවා. මේ සියලුදෙනාට අපේ ස්තූතිය පිරිනමන්නේ මේ සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම මගින්.

මෙය ඓතිහාසික අවස්ථාවක්. සිංහල රජ සමයේත් ඔප්පු ක්‍රමයක් තිබුණේ නැහැ. ප්‍රභූවරුන්ට, නිලමේවරුන්ට සන්නස් මගින් ඉඩම් ලබා දුන්නා. අනෙක් අයට වගා කටයුතු සඳහා ඉඩම් ලබා දුන්නා. ජනතාවට ස්ථීර ඔප්පු තිබුණේ නැහැ. මුඩු බිම් පනත යටතේ මේ සියල්ලම රජයට අයත් වුණා. වතු වෙනුවෙන් ඇතැම් ඉඩම් සුදු ජාතිකයන්ට පවරා දුන්නා . ජනතාවට කිසිවක් හිමි වුණේ නැහැ.

නමුත් ඩී.එස් සේනානායක මැතිතුමා 1935 ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් ගොවිතැන් කටයුතු සඳහා ජනතාවට ඉඩම් ලබාදීමට පියවර ගත්තා. ඉඩම් අත්පත් කරගැනීමේ පනත සමඟ ගම්මාන ව්‍යාප්ත කිරීමට ඉඩම් අත්පත් කර ගත්තා. නමුත් ඉඩමේ අයිතිය කිසිවෙකුට හිමි වූයේ නැහැ.

ඉන් පසුව වියළි කලාපවල ජනතාව පදිංචි කළා. ඒ සමග වී වගාව ආරම්භ කළා. වැඩියෙන්ම කුඹුරු තිබුණේ තෙත් කලාපයේ එම කුඹුරු දියුණු කිරීමට පිලිප් ගුණවර්ධන මැතිතුමා කුඹුරු පනත ගෙනාවා. එම අවස්ථාවේත් විශාල විරුද්ධත්වයක් ඇති වුණා. නමුත් එය ඉදිරියට ගෙන ගියා.

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මහවැලි ව්‍යාපාරයෙන් තවත් අක්කර ලක්ෂ ගණනක් ජනතාවට ලබා දුන්නා. දැන් අප මෙම වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා.

පසුගිය කාලයේ ගයන්ත කරුණාතිලක මහතා මේ වැඩපිළිවෙළ ආරම්භ කළ අවස්ථාවේ අලුත් නීතියක් ගේනවා කියලා එතුමාට විරුද්ධව නඩු දැම්මා. නමුත් මෙවර අලුත් නීති බලන්න ගියේ නැහැ. රජයේ ඉඩම් ආඥා පනතින් සුදු ජාතිකයන්ට ඉඩම් ලබා දුන්නා නම්, ආයෝජකයන්ට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දුන්නා නම් ජනතාවට එම අයිතිය ලබා දීමට නොහැකි ඇයි.

එදා ආයෝජකයන්ට ඉඩම් ලබා දීමට භාවිතා කළ ආඥා පනතින් අපි අද ඔබ සියලුදෙනාට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා. නැවත අධිකරණයට යන්න අවශ්‍ය නැහැ. මෙම වැඩපිළිවෙළ ඓතිහාසිකයි. විප්ලවවාදීයි. ආසියාවේ ඉඩම් අයිතිය ලබා දී තිබෙන්නේ ජපානය සහ දකුණු කොරියාව පමණයි. අද අපේ රටේ ජනතාවට එම අයිතිය ලබා දී තිබෙනවා.

මේ වැඩ කටයුත්ත සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මම උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා පක්ෂ බේදයකින් තොරව එකතුවන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ ආණ්ඩුව ලංකාවේ මෙතෙක් බිහි නොවු ආණ්ඩුවක් බව කිවයුතුයි. අසීරු කාලයේ වගකීම් ගත හැකි සියලුදෙනා ඒ සමග එකතු වුණා. විවිධ පක්ෂ ඒ අතර සිටියා. අපි කොටසක් එක්ව ආණ්ඩුව හැදුවා. හැම පක්ෂයකම කොටසක් කැඩී වෙනත් පක්ෂවලට ගියා. එලෙස ගොඩනඟාගත් ආණ්ඩුවක් මඟින් රට ගොඩනැගීමේ අභියෝගයට අප මුහුණ දුන්නා.

අපේ රට දැන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. මේ රටේ ජනතාව දුක් විඳි බවමම පිළිගන්නවා. තවමත් සමහරු දුක් විදිනවා. මේ සියලු ජනතාවට අපට හැකි අයුරින් සහන ලබා දුන්නා. ඒ සඳහා අපි අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කළා. අප තවම බංකොළොත්භාවයෙන් නිදහස් වුණා විතරයි. තෙවන පියවර ලෙස ජනතාවට මෙම සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කර තිබෙනවා. මේ ආර්ථික අසීරුතාවයන් හමුවේ අප මෙම කටයුතු සිදු කරනවා නම් ඉදිරියේ දී රටේ ආර්ථිකය ශක්තිමත් වීමෙන් පසු කළ නොහැක්කේ මොනවද කියලා මම අහන්න කැමතියි.

අපි ආරම්භ කළ මේ ගමන ඉදිරියට ගියහොත් 2025 වසරේ දී 5%ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. අපි සියලුදෙනා එකතු වුණේ රට බේර ගන්න. එහිදි අප පක්ෂ දේශපාලනයක නිරත වුණේ නැහැ. එහෙම වුණා නම් මෙම සාර්ථකත්වය ලබා ගන්න බැහැ. මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ වැඩකටයුතු කරගෙන යාමට අප සමග එකතු වෙන්න කියලයි.

අපි හිතන්න ඕන අපි ගැන නෙවෙයි. රටේ ජනතාවගේ අනාගතය පිළිබඳවයි. අපි එකතුවෙලා රටේ ජනතාවගෙන් ලක්ෂ 20කට ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා. තවත් ලක්ෂ 20කට අස්වැසුම ප්‍රතිලාභ ලබා දී තිබෙනවා. ලක්ෂ 15කට වැටුප් වැඩිකර තිබෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කර ආදායම් මාර්ග ඇති කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ එක් කණ්ඩායමක් ලෙස මෙතරම් විශාල වැඩකොටසක් කළ හැකි නම් පාර්ලිමේන්තුවේ සියලුදෙනා එකතු වුණොත් මොනවද කරන්න බැරි කියලා සියලුදෙනා සිතිය යුතුයි. අප එම මාර්ගයේ යා යුතුයි.

ඉදිරියේදී මේ රට දියුණු කිරීමට අවශ්‍ය තවත් නීති ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. අපි සියලුදෙනා එකතුව ඉදිරියට යමු. කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම හරහා දැවැන්ත කෘෂි විප්ලවයක් රටේ සිදු වෙනවා.
අපිට නැවත ණය වෙන්න බැහැ. අපට නැවත හිඟන ජාතියක් වෙන්න බැහැ. අපේ අභිමානය ආරක්ෂාකරගත යුතුයි. අපි සියලුදෙනා එක්ව මේ ගමන යා යුතුයි.

අද ඔබ මේ රටේ අයිතිකරුවන්. ඒ බව මතක තබා ගනිමින් අභිමානයෙන් කටයුතු කරන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටිමින් මම ඔබ සියලුදෙනාට සුබ පතනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන :

මාතලේ කැරැල්ලෙන් පසුව මෙරටට පැමිණි විදේශීය පාලකයන් අපේ ඉඩම් උදුර ගත්තා. අපේ ස්වයංපෝෂිත ආර්ථිකය එයින් කඩා වැටුණා. එයින් නැඟිටින ගමනකට අපේ රටේ නිදහස් සටන් භූමිය පෙරමුණ ගත්තා. මේ උදාවී තිබෙන්නේ එවැනි අභියෝගාත්මක උරුමයක් දිනා ගැනීමේ සටනෙන් පටන් ගත් උරුමය යළිත් ලක්ෂ විස්සක ජනතාවට ලබාදීමේ අවස්ථාවයි. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමාගේ අරමුණු සාක්ෂාත් කිරීමට එක් වුණු ඉඩම් අමාත්‍යවරයා ඇතුළු සියලු නිලධාරීන් මහඟු කර්තව්‍යක් ඉටුකළා.

දඹුලු පුරවරයේ ඓතිහාසික බව ඉතිහාසයට පමණක් නොව ලොවට අසමසම ලෙස කියාපාන්නට පුළුවන්. දඹුල්ල, සීගිරිය වැනි කේන්ද්‍රවලින් පෝෂණය වූ මෙම භූමිය අද මෙම වැඩසටහන ආරම්භ කිරීමට තෝරාගැනීමෙන් යළිත් සිහිපත් කරන්නේ අපේ ඒ උරුමයයි. දේශයේ අභිමානයයි.

රට පුරා ජනතාව ආහාර හිඟයෙන් පෙළුණු මොහොතක ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් හා මැදිහත්වීමෙන් ‌ගොවි ජනතාව යළි මේ රට ස්වයංපෝෂිත කිරීමට දායක වුණා.

රජයේ ඉඩම් ලබාදී ඔබගෙන් බලාපොරොත්තු වන්නේ ඒ උත්තුංග කර්තව්‍ය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමටයි. ඒ වෙනුවෙන් කැපවීම ඔබ සියලුදෙනාගේ වගකීමයි. අද මේ ලබාගන්නා ඔප්පුව සුළු දෙයක් කොට තකන්න එපා.

සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු :

IMG 20240205 WA0008හිටපු ඉඩම් අමාත්‍යවරුන් සියලුදෙනා මම මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරනවා. එහිදී ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම පිළිබඳ 2015 ආණ්ඩුවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ අද එය මල්ඵල ගැන්වී තිබෙනවා. එබැවින් අද දිනය මෙරට ඉතිහාසයේ ලියවිය යුතු දිනයක් බව මම ප්‍රකාශ කරන්න කැමතියි.

එදා ඩී.එස්. සේනානායක මැතිතුමා මේ රටේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කළේත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ජනතාවට ඉඩම් ලබා දුන්නෙත් රටේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමේ වැදගත්කම හඳුනාගත් නිසයි.

ඒ වගේ නිදහසින් පසු ජනතාව විශාල පිරිසකට එකවර සින්නක්කර ඉඩම් අයිතිය හිමිවූ එකම අවස්ථාව ලෙස මෙම අවස්ථාව සඳහන් කළ හැකියි. මේ සඳහා කැපවී කටයුතු කළ සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා , ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස්, ඩග්ලස් දේවානන්ද මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රංජිත් සියඹලාපිටිය, රෝහණ දිසානායක, චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්. එම්. චන්ද්‍රසේන, වඩිවේල් සුරේෂ්, වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, නාලක කෝට්ටේගොඩ, මාතලේ එජාප ප්‍රධාන සංවිධායක ප්‍රියාන් විජේරත්න යන මහත්වරුන් ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ඇතුළු ආණ්ඩුකාරවරුන් ද, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ඉඩම් කොමසාරිස් ජනරාල් බන්ධුල ජයසිංහ, ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සහ ඉඩම් ඔප්පුලාභීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගෝඨාගෙන් ඉවත්වූ පුවත බොරු - සුගීශ්වර කියයි !

තමන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වූ බවට පලවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නැතැයි සුගීශ්වර බණ්ඩාර පවසයි.

මේ වන විට සුගීශ්වර බණ්ඩාර ප්‍රංශයේ සංචාරයක නිරතව සිටින අතරේ එහි සිට මාධ්‍ය වෙත මෙම කරුණු අනාවරණය කර ඇත.

එසේම අදාළ පුවත තමන් පිළිබඳව මඩ ගැසීමේ උත්සාහයක නිරතවන පිරිසක් විසින් ගොතන ලද ව්‍යාජ පුවතක් බවද ඔහු අවධාරණය කර ඇත.

මේ වන විට සුගීශ්වර බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායමක් විසින් ගොඩනගා ඇති නව සන්ධානය හරහා ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින අතර එම සන්ධානයේ මුලස්ථානය රාජගිරියේ පිහිටුවා තිබේ. පසුගියදා ජා ඇල හිදී මෙම නව සන්ධානයේ පළමු මහජන හමුව පැවැත්වුණු අතර එහි දෙවැන්න කොළඹ සිදුකිරීමට සැලසුම් කර ඇති බවද දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඉන්දියාවට ගිය අනුර : සාකච්ඡා කළ දේ මෙන්න !

ඉන්දියාවේ සංචාරයක නිරතවන ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (05) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමබන්ධව සිය X ගිණුමෙහි සටහනක් තබමින් පවසන්නේ, දෙරට අතර දීපාර්ශ්වික සබඳතා හා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝග, ඉදිරි ගමන ගැන මෙහිදී සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා තම සමාජ ජාල ගිණුමේ සටහන් කර තිබේ.

එසේම ශ‍්‍රී ලංකාව සැමවිටම ඉන්දියාවේ විශ්වාසන්තක මිතුරකු සහ විශ්වාසවන්ත හවුල්කරුවකු වනු ඇති බවත් ඔහු පවසා අත.

තවද අනුර දිසානායක මන්ත්‍රීවරයා අද (5) පස්වරුවේ ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිට් ඩොවාල් ද හමුවී තිබේ.

මෙම හමුව සර්දාර් පටෙල් භවාන්හිදී පැවැත්විණි.

එහිදී කලාපීය ආරක්ෂාව පිළිබඳව සහ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ බව වාර්තා වෙයි.

එසේම මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද සහභාගි විය.

කෙසේ වුවත් පසුගිය සමයේ ඉන්දියා - ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම ඇතුළු ඉන්දීය ආයෝජන වෙනුවෙන් මෙරට ඉඩප්‍රස්ථා විවර කිරීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ දැඩි විරෝධී ස්ථාවරයක සිටියේය. ඒ සම්බන්ධව මෙම සාකච්ඡා වලදී කුමන අදහස් හුවමාරු කරගත්තේද යන්න මෙතෙක් අනාවරණයවී නොමැත.

ජනවාරියේ සංචාරකයන්ගේ වාර්තාගත පැමිණීමක් !

2024 ජනවාරි මාසයේ දී දෙලක්ෂය ඉක්ම වූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව ජනවාරි මාසය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 208,253 ක් බව වාර්තා වෙයි.

මෙම මාසය තුළ දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් මෙරටට පැමිණි රට ලෙස ඉන්දියාව සඳහන් වන අතර එම සංඛ්‍යාව 34,399 කි.

එසේම රුසියාවෙන් සංචාරකයින් 31,159 ක්, එක්සත් රාජධානියෙන් 16,665 ක්, ජර්මනියෙන් 13,593 ක්, ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.

කෙහෙළිය ඇතුලේ : බෙහෙත් කියා ඇල්වතුර දුන්න හැටි හෙළිවෙයි

සති තුනක් තුළ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටෙන බවට බොරු භීතියක් කැබිනට් මණ්ඩලයට මවා සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා 2022 මැයි 30 වැනිදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් බාල බෙහෙත් රජයේ රෝහල්වලට දීමට අවස්ථාව දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නාය.

2022 අගෝස්තු 18 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට සහභාගි වී ඇති සැකකාර රඹුක්වැල්ල නමැත්තා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉතිරිව ඇති මුදල් හැකි ඉක්මනින් පාවිච්චි කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී ඇතැයිද කී ලක්මිණී ගිරිහාගම මෙනවිය ඖෂධ සැපයීමේ සම්මත ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ‘අභිලාෂයන් කැඳවමින් ඖෂධ කැඳවීමේ ක්‍රමවේදයක් නොතිබූ බැවින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇමතිවරයාගේ උපදෙස් ප්‍රතික්‍ෂෙප කිරීමෙන් අනතුරුව ඔහු කැබිනට් මණ්ඩලයට මෙම බොරු භීතිය මවා පා ඇතැයිද කීවාය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගෙන ඇති සියලු ඖෂධ සම්බන්ධයෙන් මෙන්ම බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගම 2022 වර්ෂයේ සිට සපයා ඇති සියලු ඖෂධ සම්බන්ධයෙන්ද වහාම විමර්ශනයක් කිරීමටද නියම කළ මහෙස්ත්‍රාත්වරිය ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ශරීරගත කිරීමෙන් පසු රෝගීන්ට සිදුවූ හානිය සම්බන්ධයෙන් මෙන්ම ඉන් මහජනතාවට වූ අගතිය සම්බන්ධයෙන්ද වහාම විමර්ශනයක් කර සුදුසු පියවර ගන්නා ලෙසද වැඩිදුරටත් නියම කළාය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රජයට රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය 03 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම සිද්ධියට අදාළව පෙනී සිටි නීතිඥවරුන් පැය 4 විනාඩි 15ක කාලයක් පුරා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප නියම කිරීම ප්‍රතික්‍ෂෙප කළ මහෙස්ත්‍රාත්වරිය ඔහු ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමටද නියම කළාය.

මෙම නඩුව මීට දින 20කට පමණ පෙර කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම සිද්ධිය පිළිබඳව මුලින්ම පැමිණිලි කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බව කියමින් මෙම නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවකු වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී සිටීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියත් මෙම සිද්ධියේ සැකකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ සිට පහළ දක්වා වූ නිලධාරීන් සිටින අවස්ථාවක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී සිටීමට අවසර දුන්නොත් අධිකරණය කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදු වීමට හැකියාව ඇතැයි පෙන්වා දෙමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම ප්‍රතික්‍ෂෙප කළාය.

එසේ තිබියදී සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට පසුගිය 31 වැනිදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දැනුම්දී තිබුණත් ඔහු රහස් පොලිසියට නොපැමිණි බවත් ඔහු අසත්‍ය කරුණු දක්වමින් රහස් පොලිසියේ පෙනී සිටීම මඟහරින බව පෙනෙන්ට ඇතැයි කියමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රටින් පිටව යෑම තහනම් කළ අතර පසුගිය 02 වැනිදා උදෑසන 9.00ට රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දීමටද ඔහුට නියම කළාය.

ඒ අනුව ප්‍රකාශයක් දීම සඳහා රහස් පොලිසිය හමුවේ පසුගිය 02 වැනිදා පෙනී සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගත් රහස් පොලිස් නිලධාරීහු රාත්‍රී 7.40ට පමණ ඔහු අත්අඩංගුවට ගත්හ.

එලෙස අත්අඩංගුවට ගැනුණ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එදින රාත්‍රියේ රහස් පොලිස් බාරයේ රඳවා තබාගත් නිලධාරීහු පසුගිය 03 වැනිදා සෙනසුරාදා දිනයක් වුවත් එදින පෙරවරු 9.15ට පමණ කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවාගෙන පැමිණියහ.

ඒ වන විටත් ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥවරුන් මෙන්ම කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය ඇතුළු ඥාති හිතවත්හු පිරිසක්ද අධිකරණ භූමියට පැමිණ සිටියහ. එසේම මෙම අපරාධය පිළිබඳ මුලින්ම පැමිණිලි කළ ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ සංවිධානයේ කාමන්ත තුෂාර මහතා ඇතුළු නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතාද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපති කෞෂල්‍ය නවරත්න මහතාද ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, නීතිඥ අකලංක උක්වත්ත මහතා ඇතුළු පිරිසක්ද අධිකරණයට පැමිණ සිටියහ.

පෙරවරු 10.50ට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය විනිශ්චයාසනාරූඪවීමෙන් අනතුරුව අධිකරණ කටයුතු ආරම්භ වූ අතර ඒ අවස්ථාවේදී යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විත්ති කූඩුවට නංවනු ලැබීය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කාමන්ත තුෂාර මහතා ඇතුළු පිරිසක් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන පිටු 07කින් යුත් වාර්තාවක් සමඟ ඇමුණුම් 13ක් රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ටී.ඒ.එන්.බී. තිබ්බටුමුණුව මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

රහස් පොලිසිය සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කරමින් අධිකරණයට ඉදිරිපත් කොට සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා ‘ඉමියුනුග්ලෝබින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා වෛද්‍ය සැපයුම් අංශයට දීමට කුමන්ත්‍රණය කිරීම මෙන්ම ඒ සඳහා ආධාර අනුබල දී ඇති බව රහස් පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී ඇතැයි කීවාය.

ස්නායු රෝගීන් සඳහා ලබාදෙන අති සංවේදී ඖෂධයක් වන ‘ඉමියුනුග්ලෝබින්’ නමැති ඖෂධය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් හෝ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මිලදී ගත යුතු බවට කොන්දේසියක් පනවා තිබූ බවත් ඒ අනුව අනාදිමත් කාලයක් පුරාම වෛද්‍ය සැපයුම් ඒකකයට එම ඖෂධය ඇතුළු සංවේදී ඖෂධ සපයා ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් වුවත් මෙම සැකකරු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී එම කොන්දේසි ලිහිල් කිරීම නිසා මෙම නඩුවට පාදක වූ සිද්ධිය වී ඇතැයි ලක්මිණී ගිරිහාගම මෙනවිය කීවාය.

ජනාධිපතිවරයා විසින් කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදෙන විට ‘නිරෝගිමත් ජනතාවක් බිහිකිරීම’ නමැති වගකීම ඔහුට ලිඛිතවම පවරා ඇති බවත් ව්‍යවස්ථාවෙන් පනවා ඇති නීතිරීතිවලට අනුව අදාළ වගකීම කළ යුතු බව ඔහුට දැනුම් දී ඇති බවත් කී ලක්මිණී ගිරිහාගම මෙනවිය සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් යොදවා සැකකරු ‘නිරෝගිමත් ජනතාවක් බිහිකිරීම’ නමැති වගකීම ඉටු කළාදැයි රහස් පොලිසිය විමර්ශන කළත් සැකකරු කටයුතු කර ඇත්තේ අසද්භාවයෙන් බවට තොරතුරු හෙළි වීම නිසා මෙම සිද්ධියේ 08 වැනි සැකකරු වශයෙන් ඔහු අත්අඩංගුවට ගත්තේ යැයි කීවාය.

කොවිඩ් වසංගතයෙන් රට වෙළී ගිය පසු ඉන් ජනතාව බේරා ගැනීම හා සාමාන්‍ය ජීවන තත්වයක් පවත්වාගෙන යෑම සඳහා ලංකාවට ඖෂධ ගෙන්වීමේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ලිහිල් කළේ යැයි ද ඒ අනුව ආරම්භ කළ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයිද කී ලක්මිණී ගිරිහාගම මෙනවිය මෙම හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රයෝජනයට ගෙන ස්නායු රෝගීන් සඳහා ලබාදෙන අති සංවේදී ඖෂධයක් වන ‘ඉමියුනුග්ලෝබින්’ නමැති ඖෂධය වෙනුවට පළමු සැකකරු වෛද්‍ය සැපයුම් අංශයට ලබාදී ඇත්තේ ඖෂධයක් යැයි කිව නොහැකි ද්‍රාවණයක් යැයිද කීවාය.

2022 අගොස්තු 18 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට සහභාගි වී ඇති සැකකාර රඹුක්වැල්ල නමැත්තා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉතිරිව ඇති මුදල් හැකි ඉක්මනින් පාවිච්චි කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී ඇතැයිද ඒ බව සාමාන්‍යාධිකාරිවරයා විසින් සැප්තැම්බර් 02 වැනිදා රහස් පොලිසියට ප්‍රකාශයක් දෙමින් හෙළි කර ඇතැයිද ලක්මිණී ගිරිහාගම මෙනවිය කීවාය. ඖෂධ සැපයීමේ සම්මත ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ‘අභිලාෂයන් කැඳවමින් ඖෂධ කැඳවීමේ ක්‍රමවේදයක් නොතිබූ බැවින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇමතිවරයාගේ උපදෙස් ප්‍රතික්‍ෂෙප කිරීමෙන් අනතුරුව සති තුනක් තුළ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටෙන බවට බොරු භීතියක් කැබිනට් මණ්ඩලයට මවා පාමින් සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා 2022 මැයි 30 වැනිදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ද ගිරිහාගම මෙනවිය සඳහන් කළාය.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අමාත්‍යංශයේ වගකිවයුතු නිලධාරීන්ගේ උපදෙස් අනුව බවට සැකකරු වෙනුවෙන් කරුණු දැක්වුවොත් ඔබට කියන්න තියෙන්නේ මොකක්ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය - “ජනාධිපතිවරයා කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදෙන විට ‘නිරෝගිමත් ජනතාවක් බිහිකිරීම’ නමැති වගකීම ඔහුට ලිඛිතවම පවරා ඇති නිසා ‘මට මතක නැහැ’ ‘මං දන්නේ නැහැ’ ‘මට කිව්ව දේ මං කළා’ වගේ විත්ති වාචක ඔහුට ඉදිරිපත් කරන්න බැහැ. සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඔහුට මාර්ගෝපදේශ ඔහුට ලබා දී තිබුණා.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මෙසේද කීවාය.

රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරන විට ඔහු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සියළු කැබිනට් පත්‍රිකා ඔහුට පෙන්වා දුන්නා. එසේ පෙන්වා දෙමින් ප්‍රශ්න කරන විට ඖෂධ හා පාරිභෝජන ද්‍රව්‍ය මිලදී ගන්නා අවස්ථාවේ සිට ඒවා රෝගීන්ට ලබාදෙන අවස්ථාව දක්වා සියළු කටයුතු අධික්‍ෂණය කරන බව ඔහු පිළිගත්තා. 2022 සැප්තැම්බර් 26 වැනිදා වන විට ඖෂධ වර්ග 182 කට අදාළ තොග රට තුළ අඩු මට්ටමක තිබූ බවටත් තවත් ඖෂධ වර්ග 17ක් රට ‘බින්දුව’ මට්ටමේ තිබූ බවටත් ඔහු කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර තිබුණා. ඔහු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කරුණු නිසා කැබිනට් මණ්ඩලයට ඊට අවසර දී තිබුණා.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය- ඖෂධ වර්ග 182 කට අදාළව ඔහු කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමට ඇති හේතුව කුමක්ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය- ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ ඔහු කීවේ ‘වෛද්‍ය සැපයුම් අංශය මට කියපු නිසා මං කළා’ කියලයි.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය- රහස් පොලිසිය ඔහුගෙන් එසේ ප්‍රශ්න කළේ ඔහු අත්අඩංගුවට ගත් පසුද? අත්අඩංගුවට ගැනීමට පෙරද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය- අත්අඩංගුවට ගැනීමට පෙර.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මෙසේද කීවාය.

රටකට අවශ්‍ය ඖෂධ ‘අතවශ්‍ය’ ‘ඉතා අත්‍යවශ්‍ය’ වශයෙන් වර්ග තියෙනවා. ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළත් ඒ පිළිබඳ කිසිවක් දන්නේ නැති බව ඔහු පිළිගෙන තියෙනවා. ඒ රට තුළ ‘බින්දුව’ සීමාවට පැමිණ ඇතැයි ඔහු කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් ඖෂධ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළ විට ඔහු පවසා ඇත්තේ ‘ඒ ගැන මට කියන්න බැහැ’ යනුවෙන්. ඖෂධ නොමැතිකම නිසා ජනතා ජීවිතවලට හානි පැමිණෙන බවට ඔහු කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඇති නිසා තමයි අදාළ ඖෂධ මිලදී ගැනීමට අවසර දීමට ඔහුට හැකියාව ලැබී ඇත්තේ. මේ පිළිබඳව රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළ විට ‘මං කරන්නේ කැබිනට් මණ්ඩලයට සංදේශ ඉදිරිපත් කරන එක. මං ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබුණා. ඒ ගැන දන්නේ (මේ නඩුවේ 06 වැනි සැකකරු) සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා. ඒ නිසා මං ඒ ගැන දන්නේ නැහැ’ යනුවෙන් සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා පවසා ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නැති අර්බුදයක් මවා පාමින් සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා කැබිනට් මණ්ඩලයට පත්‍රිකා ඉදිරිපත් කර ලියාපදිංචියක් හෝ නොමැති කෙනකුගෙන් ඖෂධ මිලදී ගැනීමට අවසර ගෙන ඇත්තේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය ආරක්‍ෂා කරන්න නෙමේ. පළමු සැකකරුට ඖෂධ ගෙන්වීමට අවසර දීමේ අපේක්‍ෂාවෙන්.

වෛද්‍ය සැපයුම් අංශයක් ඇත්තේ ලංකාවට අවශ්‍ය ඖෂධ තොග මිලදී ගැනීමට හා ඒවා බෙදා හැරීමටයි. 2022 සැප්තැම්බර් මාසයේ සිට 2023 ජුලි මාසය දක්වා ලෝක බැංකු ණය ආධාර යටතේ ලංකාවට අවශ්‍ය ඖෂධ ප්‍රමාණයටත් වඩා වැඩි ඖෂධ තොග ලංකාවට ලබාදෙන බව දැනුම් දී තිබියදී ඒ බව නොසළකා හරිමින් මෙම ඖෂධ මිලදී ගැනීම් කර තියෙනවා. රහස් පොලිසිය ඒ ගැන සැකකාර රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රශ්න කළ විට ඔහු කියා ඇත්තේ අදාළ ඖෂධ තොග ලැබීමේ අවිනිශ්චිතභාව නිසා ඖෂධ මිලදී ගැනීමට කටයුතු කළ බවයි.

ඒ අනුව මෙම නඩුවේ පළමු සැකකරුට රුපියල් බිලියනයක මුදලක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ගෙවීමට කටයුතු කර තියෙනවා. ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවේදී ඉන්දියාව දී ඇති මෙම ණය මුදල් වසර තුනක කාලයකට පසු අපි යළි ඉන්දියාවට ගෙවිය යුතුයි. කැබිනට් ඇමතිවරයකු වශයෙන් ජනතා බදු මුදල් නියමිත පරිදි යෙදවීමේ වගකීමෙන් මිදීමට සැකකාර අමාත්‍ය රඹුක්වැල්ල නමැත්තාට හැකියාවක් නැහැ. රෝගී ජීවීත ආරක්‍ෂා කිරීම සඳහායි සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් සැකකාර රඹුක්වැල්ල නමැත්තා කටයුතු කළ යුත්තේ. ඒත් ඔහු එසේ කටයුතු කර තියෙනවාද?

මෙම ඖෂධ 182ට අදාළව ප්‍රසම්පාදන කටයුතු සිදුවුණාද කියා රහස් පොලිස් නිලධාරීන් විමර්ශන කළත් එවැනි ප්‍රසම්පාදන සිදුවීමක් පිළිබඳ තොරතුරු හෙළි වී නැහැ.

කැබිනට් පත්‍රිකා සකස් කිරීමට අදාළ ගොනු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සැකකරුට දැනුම් දුන්නත් එවැනි කිසිදු ගොනුවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ පවත්වාගෙන ගොස් නැහැ.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කළාද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය - ඔව් නමුත් ඔහුට පිළිතුරු දීමට නොහැකි වුණා. මේ සම්බන්ධයෙන් සාධාරණ හේතුවක් විමර්ශන නිලධාරීන්ට ඉදිරිපත් කිරීමට සැකකරුට හැකි වුණේ නැහැ.

මාස 02 සිට මාස 03 දක්වා ප්‍රමාණවත් ඖෂධ තොග රට තුළ ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සැප්තැම්බර් 05 වැනිදා සැකකාර අමාත්‍යවරයාට දැනුම් දී තිබියදී සැකකාර අමාත්‍යවරයා විසින් සැප්තැම්බර් 26 වැනිදා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඖෂධ නොමැති බව දැනුම් දී තියෙනවා.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - ඒ ඖෂධ 182 ලැයිස්තුව කෝ?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය - ඒකට වෙච්ච දෙයක් අද වනතුරු හොයා ගන්න නැහැ.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - ඒ ලැයිස්තුවේ ඇතුළත් වෙලා තියෙන්නේ මොනවාද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය - ඒ බව දන්නේ ඒ ලැයිස්තුව හදපු කෙනත් ඒකට අත්සන් කළ මේ නඩුවේ 08 වැනි සැකකරු වශයෙන් නම් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාත් පමණයි.

ලෝක බැංකු ණය ආධාර යටතේ ලංකාවට මසකට එන්නත් 9500 බැගින් මාස තුනක කාලයකට නොකඩවා එන්නත් සැපයීමට එකඟ වී සිටි බවත් ඒ වන විටත් ලංකාව තුළ අවශ්‍ය එන්නත් තොග තිබූ බවත් වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් 16 දෙනකුම පැවසුවා. එසේ තිබියදී තමයි සැකකාර රඹුක්වැල්ල නමැත්තා සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටෙන බවට බොරු අර්බුදයක් මවා පාමින් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර තියෙන්නේ. මේ ආකාරයෙන් තමයි සැකකාර රඹුක්වැල්ල නමැත්තා බෙහෙත් බවට පවසා ව්‍යාජ ද්‍රාවණ සැපයීමට පළමු සැකකරුට අවස්ථාව නිර්මාණය කර දී තියෙන්නේ.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටෙන බවට සැකකාර රඹුක්වැල්ල නමැත්තා කී කරුණු සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශනය කළාද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය - ඔව්. ඒත් සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටෙන ආකාරය ගැන හෙළි කර ගැනීමට රහස් පොලිසියට හැකියාව ලැබුණේ නැහැ. ඒ විතරක් නොවේ මැතිණිය, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල නමැති මෙම සැකකරුගේ වගවීමක් නොමැති බවත් රහස් පොලිස් නිලධාරීන් හෙළි කර ගත්තා.

තාක්‍ෂණික ඇගැයීම් කමිටුවක් තිබුණා නම් පළමු සැකකරු සැපයූ ඖෂධ තොග බාර නොගෙන අනිවාර්යෙන්ම ප්‍රතික්‍ෂෙප කරනවා. ඒත් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල නමැති මෙම සැකකරු මගහැර යා යුතු සියළු තැන් මගහැර යාමට අවස්ථාව සලසා දී ඇති බව විමර්ශන නිලධාරීන් කරුණු අනාවරණය කරගෙන තියෙනවා. ලියාපදිංචියක් හෝ නොමැති ආයතනයකින් තමයි ඖෂධ වශයෙන් හඳුන්වා දුන් ද්‍රාවණ මිලදී ගෙන තියෙන්නේ.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - ලංකාවට වාහනයක් ගෙන්වනවා නම් එල්.සී. එකක් විවෘත කළ යුතුයි. බැංකුවක් සමග ගනුදෙනු කළ යුතුයි. මෙම සිද්ධියට අදාළ ඖෂධ ගෙන්වීමේදී එවැනි දෙයක් වෙලා නැද්ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය - ඇල්වතුර දෙන්න එල්.සී. විවෘත කරන්න ඕනෑ නැහැ නේද? මැතිනිය.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා - ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ එල්.සී. විවෘත කරන්න අවශ්‍ය වන්නේ නැහැ.

නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා - වරායට ගෙන්වන ඕනෑම දෙයක් ඉන් මුදා ගැනීමට අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට අවශ්‍යයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය - ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ වුණේ ලංකාවේ තිබූ ඩොලර් සංචිත ලංකාවෙන් පිටතට යෑම වැළැක්වීම පමණයි.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - කැබිනට් සංදේශවලට අමාත්‍යවරයා අත්සන් කළ යුතුයි නේද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය – ඔව්, නිලධාරීන් සකස් කරන කැබිනට් සංදේශ ඇමැතිවරයා පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ඔහු ඊට අත්සන් කළ යුතුයි.

ඒ වකවානුවේ උග්‍ර හිඟයක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළ ඖෂධ වර්ග 51 සම්බන්ධයෙන් විමර්ශන කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල නමැති මෙම සැකකරු පොදු දේපළ පනත යටතේ වැරැදි කර ඇති බවට කරුණු අනාවරණය වුණා.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - මෙම සැකකරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවට අනුමැතිය දී ඇත්තේ ඖෂධ සැපැයුම්කරුවන්ට මුදල් ගෙවිය යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ ලබාදෙමින් ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය - ඔව්.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - එතකොට ඔබ කියන්නේ මෙම සැකකරු කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩා බිඳ දමා ඇති බව ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය - ඔව්. සැකකරු අවස්ථා හතරකදී එක් එක් ඖෂධවල තොග ඉදිරිපත් කරමින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය කඩා වැටෙන බවට බොරු භීතියක් මවා පාමින් සැපැයුම්කරුවන්ට මුදල් ගෙවීමට අනුමැතිය ඉල්ලා තිබුණා. සති තුනෙන් කඩා වැටෙන බව කියමින් ඖෂධ ගෙන්වීමට සැකකරු 2022 මැයි මාසේ අවසර ඉල්ලා තිබුණත් 2023 පෙබරවාරි මාසය දක්වා මාස 9ක කාලයකදී ලංකාවට ගෙන්වා තිබුණේ ඖෂධ 9ක් පමණයි.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - ඒ බවට තොරතුරු තියෙනවා ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය - ඔව්. මෙම සැකකරු ඖෂධ ගෙන්වීමට කැබිනට් මණ්ඩලයට පත්‍රිකා ඉදිරිපත් කර ඇත්තේ වැටෙන රට නගාසිටුවීමට නෙමේ.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - මේ අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් ඉන්නවා ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය - ඔව්. පැමිණිල්ල නොදත් අයත් ඉන්නවා.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - මෙම සැකකරු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්වුණේ කවදා ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය - 2022 මැයි මාසේ සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්වී 2023 ඔක්තෝබර් 31 වැනිදා තෙක් එම ධුරයේ කටයුතු කළා.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින්, මෙම අපරාධයට අදාළ තොරතුරු හෙළි කරගැනීමට වෙහෙසීම සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන්ට සහ නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවියට ප්‍රණාමය පුද කළේය.

ලිපිගොනුවක් හෝ නොමැතිව කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම ඉතා භයානක තත්වයක් බවත්, සියලු වරප්‍රසාද දෙමින් ජනතාව විසින් නඩත්තු කරන ඇමැතිවරුන්ට පැවැරී ඇත්තේ ඉතාම බාරදුර වගකීමක් බවත්, ඔවුන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන කරුණු පැහැදිලි කිරීමට හැකියාව තිබිය යුතු බවත්, පෙන්වා දුන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා, අදාළ වගකීමෙන් මිදීමට මෙම සැකකරුට හැකියාවක් ලැබෙන්නේ නැතැයි ද කීය.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - ඇමැතිවරයා වශයෙන් ව්‍යවස්ථාපිතව මෙම සැකකරුට පැවැරී ඇති රාජකාරි ඔහු පැහැර හැරියා ද යන්න සම්බන්ධයෙන් මෙන්ම ඔහු අපරාධමය වරදක් කර ඇද්ද යන්න සම්බන්ධයෙන් මෙම උසාවිය තීරණය කළ යුතුයි.

ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා - මේ තත්වය අනුව අපරාධවලට කොටු වන හැම ඇමැතිවරයෙක්ම ඇවිත් ‘මේ පත්‍රිකාව හැදුවේ මං නෙමේ. මගේ ලේකම්’ කියලා කියයි. එතකොට රාජ්‍ය මුදල් මෙයටත් වඩා අවභාවිත කිරීමට පටන්ගනී.

පළමු සැකකරු සැපැයූ එන්නත්වල බැක්ටීරියා තිබුණා ද? ඉන් මනුෂ්‍ය ජීවිතවලට තර්ජන වුණා ද? මෙම ඖෂධ හේතුවෙන් සංකූලතා ඇති වූ රට පුරා සිටින රෝගීන් සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන මෙහෙයවිය යුතුයි. එමෙන්ම පළමු සැකකරුගේ ගිණුම්වලට ගිය මුදල් ගියේ කාට කාට ද කියා වෙනම විමර්ශනයක් පැවැත්විය යුතුයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා කරුණු දක්වමින්, ව්‍යවස්ථාවෙන් පැවැරී ඇති විධායක බලය පැවැරී ඇති කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරමින් ඔහු එම අපරාධය කර ඇති බවක් පෙනෙන්නට ඇතැයි ද, විධායකය සතු බලය යෙදවිය යුත්තේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා යැයි ද කීය.

‘වෝටර්ස් එජ්’ නඩු තීන්දුව ඉදිරිපත් කරමින් මහජන නියෝජිතයින්ට මහජන විශ්වාසය කඩ කළ නොහැකි බව එහි සඳහන් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා, මෙම සැකකරුවන් පොදු දේපළ පනතට එහා ගිය අපරාධමය වරදක් කර ඇතැයි ද, ඒ බව යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී අනතුරක් කළ පෞද්ගලික බස් රථ රියැදුරාට එරෙහිව මිනී මැරුම් චෝදනා යටතේ නඩු පැවැරීම මගින් පැහැදිලි වන්නේ යැයි කියමින් එම නඩු තීන්දුව ද අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙතෙක් වේලා විත්තිකූඩුව තුළ සිටගෙන සිටි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පස්වරු 12.50ට පමණ වාඩි වීමට අසුනක් සැපැයීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා කරුණු දක්වමින්, පාර්ලිමේන්තුවේ සිටින 225න් කී දෙනකුට හෘදයක් හෝ සාක්කියක් තියෙනවා ද කියා දන්නේ නැතැයි කීය.

මේ ‘පුන්නක්කු’ ගෙන ඒමට අදාළ නඩුවක් නොවන බවත්, නීරෝගී ජනතාවක් බිහි කිරීමේ වගකීම පැවැරී ඇති සෞඛ්‍ය ඇමැතිවරයා විසින් රෝගීන්ට බෙහෙත් කියා ‘ඇල්වතුර’ සැපැයීමේ සිද්ධියකට අදාළ නඩුවක් යැයි ද, මෙය සුළුවෙන් තැකිය හැකි තත්වයක් නොවන හෙයින්, මෙම අපරාධයට සම්බන්ධ සියලු දෙනා උසාවිය හමුවට ගෙනා යුතු යැයි කී කෞශල්‍ය නවරත්න මහතා, කාට කොයි වේලාවේ කොපමණ මුදලක් ගියා ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු යැයි ද, සපයා ඇති ඖෂධ කුප්පිවල අලවා ඇති ලේබල් මුද්‍රණය කළ තැන සිට සියලු කරුණු සෙවිය යුතු යැයි ද කීය.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - සුදු කර පටි හොරුන් හොරකම් කළ මුදල් බෙදාගත් ආකාරය සෙවීම ඉතාම අපහසුයි. මෙවැනි ආකාරයෙන් සොයන මුදල් ඔවුන්ගේ ගිණුම්වල තැන්පත් කරගන්නේ නැහැ. ඒත් මේ මුදල් රජයේ වැය ශීර්ෂය හරහා පළමු සැකකරුගේ ගිණුමට ගිය බව නම් පැහැදිලියි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින්, 2022 සැප්තැම්බර් සිට රටේ පැවැතුණේ අවිනිශ්චිත කාලයක් යැයි ද, තෙල්, ගෑස්, ඖෂධ නොමැතිව රටේ ජනතාව දින ගණන් පෝළිම්වල සිටියේ යැයි ද කීය.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මෙසේ ද කීය.

“ඖෂධ 182 ලැයිස්තුව අත්සන් කළේ වෛද්‍ය සැපැයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයායි. කැබිනට් මණ්ඩලය එයට අනුමැතිය දී තිබුණා. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ වන මුදල්වලින් ඖෂධ ගෙන්වීමට තීරණය කළේ එවකට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතායි. මෙම ඖෂධ සැපැයූ සැපැයුම්කරු නිවැරැදි ඖෂධ සැපැයූවා නම් මෙම සැකකරු කළ වරද කුමක් ද? ඖෂධ සැපැයුම්කරු වැරැදි ඖෂධ සැපැයුවාට මෙම සැකකරු මොනවා කරන්න ද? ඖෂධ 182න් ඉතිරි ඖෂධ සම්බන්ධයෙන් මට නඩුවක් නැහැ නේද?

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - මේ විමර්ශනය කරන්නේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් සම්බන්ධයෙන් පමණයි. ඉතිරි ඖෂධ සම්බන්ධයෙන් වෙනම විමර්ශන කරනවා.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා - එක්කෙනෙක් කළ වරදකට මගේ සේවාදායකයා ඇතුළු අනිත් අය අල්ලාගෙන තියෙනවා.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - මෙම සැකකරුගේ නියෝජිතයකු බව පවසමින් අයෙක් මෙම සිද්ධියට අදාළ මුල් පැමිණිල්ල කිරීමට ඉදිරිපත් වුණා. ඒත් උසාවියේ නියෝගය අනුව කළ විමර්ශනවලදී තමයි ඇත්ත අපරාධකරුවන් හෙළි වුණේ.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා - ලිපි ගොනුවක් නැති වූ බව කීවා. ඒක හැංගුවේ කවුද කියා පොලිසිය සෙවිය යුතුයි. ඒකටත් මෙම සැකකරු වගකියන්න ඕනෑ ද? මගේ සේවාදායකයාට එරෙහිව බැලූ බැල්මට නඩුවක් නැහැ. මේ අපරාධය කරන්න මං ආධාර අනුබල දීලා තියෙනවා ද? ග්‍රාමීය රෝහල් හැරෙන්න ලංකාව පුරා රෝහල් 1008ක් තියෙනවා. සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් මගේ සේවාදායකයාට ඒ ගැන සොයා බැලීමේ වගකීම තියෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න 225ට මාත් අයිති වුණා කියලා මං වැරැදිකාරයෙක් නෙමේ. මං ඒ 225න් කෙනකු වුණේ මේ රටේ මිනිස්සු මට ඡන්දේ දුන්න නිසයි. මං 225න් කෙනකු වුණා කියලා මං දිහා වැරැදි විදිහට බලන්න එපා.

මෙම නඩුවේ පළමු සැකකරුට මුදල් ගෙවන්න එපා කියලා මං දැනුම් දුන් පසු 2023 ඔක්තෝබර් 10 වැනිදා ඔහු මට තර්ජනය කරලා ලිපියක් එව්වා. මගේ සේවාදායකයා රෝගියෙක්. ඔහු දිනපතා ඖෂධ පෙති 8ක් බොනවා. ඔහුලේ කකුලේ ශල්‍යකර්මයක් කර තියෙනවා. ඔහුට හෘදයාබාධ තත්වයක් තියෙනවා. ඒ නිසා ඔහුට ඇප නියම කරන්න.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - සැකකරු ඉදිරිපත් කළ කැබිනට් සංදේශයේ ඉන්දියාණු ණය යෝජනා ක්‍රමයේ මුදල්වලින් හෝ වෙනත් අරමුදල්වලින් අදාළ ගෙවීම් කරන්න කියලා සටහනක් දැම්මේ ඇයි?

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා - ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මුදල්වලින් සැපැයුම්කරුවන්ට මුදල් ගෙවීම ප්‍රමාද වෙනවා. ඒ නිසා සැපැයුම්කරුවන් ඉදිරිපත් වීමට අකැමැති වෙනවා. ඒ නිසයි වෙනත් අරමුදල්වලින් අදාළ ගෙවීම් කරන්න කියලා සටහනක් දැම්මේ.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - ඒ බව කැබිනට් පත්‍රිකාවේ දැම්මේ නැත්තේ ඇයි?

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා - සියලු කරුණු කැබිනට් පත්‍රිකාවේ දාන්න බැහැ.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - මෙය ඉතාම අත්‍යවශ්‍ය කරුණක්.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා - ඒ බව මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය - ඖෂධ වර්ග 182ක් ලැබුණේ නැත්නම් ඉදිරි සති 3 තුළ ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය කඩා වැටෙන බවට කැබිනට් මණ්ඩලයට ගිහින් මෙම සැකකරු බොරු බිල්ලෙක් මවා පෑවා.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා - පිස්සු බල්ලන්ට ගහන බෙහෙතක් හෝ ලංකාවේ තිබුණා ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය - පිස්සු බල්ලන්ට ගහන බෙහෙත් නැති වුණත් බාල බෙහෙත් නම් ලංකාවේ තිබුණා. බෙහෙත් කියලා මිනිසුන්ට දීලා තිබුණේ ඇල්වතුර.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා - ඒකට ඇල්වතුර දීපු කෙනා අල්ලගන්න. ඇල්වතුර ගේන්න මං කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළේ නැහැ.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය, පාර්ලිමේන්තුව හරහා ජනතාවට වගකියන කැබිනට් ඇමැතිවරයකු වශයෙන් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළාය.

මෙම නඩුවට පාදක වූ ප්‍රධානම සිද්ධිදාමය වී ඇත්තේ, මෙම සැකකරු සැප්තැම්බර් 26 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව බවත්, අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කිරීමට අදාළ තොරතුරු ඇතුළත් මුල් ගොනුව සොයා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇතැයි ද, එක්කෝ අදාළ මුල් ගොනුවේ අංකය ව්‍යාජ එකක් බවත්, නැත්නම් මුල් ගොනුව අස්ථානගත කර ඇති බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රහස් පොලිසියට නියම කළාය.

ඉන් අනතුරුව සවස 3.10ට පමණ සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය, සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළාය.

මෙම සිද්ධියට අදාළව මේ වන විටත් බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු මහතා, වෛද්‍ය සැපැයුම් අංශයේ හිටපු අධ්‍යක්‍ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා, වෛද්‍ය සැපැයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන් මහත්මිය, ගණකාධිකාරී (සැපැයුම්) නෙරාන් ධනංජය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපැයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් නමැත්තන් රිමාන්ඩ් බාරයේ පසුවන අතර, වෛද්‍ය සැපැයුම් ඒකකයේ තොග පාලක සුජිත් කුමාර නමැත්තා ඇප මත මුදාහරිනු ලැබීය.

අධිකරණය විසින් රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යෑමෙන් අනතුරුව ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ලක්සිරි, සැරයන්වරුන් වන (35124) ප්‍රනාන්දු, (61823) මනෝජ් සමග ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල මහතා පෙනී සිටියේය.

  • Lankadeepa

පාසල් 3,000ක් ඩිජිටල්කරණයට‍

අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ රටේ සියලු‍ දරුවන්ට අධ්‍යාපනයේ සමාන අවස්ථා අත්පත්කරදීම බවත්, එහි එක් පියවරක් වශයෙන් එළඹෙන ජුනි මාසය වනවිට මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක්කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

ඒ අනුව නව තාක්ෂණය සමග සෘජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බව ඇමතිවරයා කියා සිටියේ යාපනය හින්දු විද්‍යාලයේ අද (05) පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

මෙම වැඩපිළිවෙල මත මෙරට උසස් පෙළ සහිත පාසල් 3,000 ඩිජිටල්කරණයට ලක් කෙරෙන අතර, මීට අදාළව ගුරුවරුන් පුහුණු කිරීම එළඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ කරන බවත්, අදාළ පාසල් සියල්ලට ම සුහුරු පුවරු ලබාදෙන බවත් (Smart Interactive Board) අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මීට සමගාමී ව සෑම අධ්‍යාපන කලාපයක ම පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන යාවත්කාලීන කර ඇත.

මෙහි දී සම්මානිත මහාචාර්ය විද්‍යාඥ සිවා සිවනාදන්ගේ ධන පරිත්‍යාගයෙන් එම විද්‍යාලයට සුහුරු පුවරු ලබා දීම ද සිදුවිය.

මේ අවස්ථාවට සම්මානිත මහාචාර්ය සිවා සිවනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්  ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ද, හින්දු විද්‍යාලයේ විදුහල්පති ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

වසරකට පිළිකා දරුවන් 900ක්

වර්ෂයකදී වාර්තාවන ළමා පිළිකා රෝගීන් සංඛ්‍යාව 900ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ නැග ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා  පැවසීය.

වසරකදී පිළිකා රෝගී දරුවන් මීට පෙර වාර්තා වූයේ 450ක පමණ සංඛ්‍යාවක් බවද ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම ජංගම දුරකතනවලට ඇබ්බැහිවීම හේතුවෙන් ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම පිළිකා ඇතුළු බෝ නොවන රෝග ඇතිවීම වැඩිවීමට එක් හේතුවක් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ලියුකේමියාව සහ මොළේ පිළිකා දරුවන් අතර අද බෙහෙවින් වැඩිවී ඇති බවද ප්‍රකාශ කළේය.

ලෙඩ රෝගවලින් මුදා ගැනීමට නම් පැණි බීම කෙටි කෑම වැනි දේවලින් දරුවන් ඈත් කර තැබීම වැදගත් බවත් විශේෂයෙන්ම දරුවන්ට අවුරුදු දෙකක් යනතුරු මව්කිරි ලබාදීම පිළිකා වලින් මිදීමට ඇති හොඳ මාර්ගයක් බවත් ඔහු සඳහන් කළේය.

ලංකාදීප

කළු දිනයට අභියෝග කරමින් උතුරු නැගෙනහිර ජනයා නිදහස් දිනය සමරයි

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දමිළයන්ගේ කළු දිනය ලෙස ප්‍රකාශ කරමින් උතුරේ නිදහස් දිනය වර්ජනය කිරීමටත් ඊට එරෙහිව හර්තාල් මෙන්ම විරෝධතා සූදානම් කිරීමටත් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මෙන්ම ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් ඊළාම් හිතවාදී විරෝධතා සංවිධානය කර තිබුනි.

එසේම, මේ සඳහා උතුරු නැගෙනහිර ප්‍රධානතම දමිළ දේශපාලන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය සහ එහි නව නායකයා ලෙස මෑතකදී තේරී පත් වූ ශිවඥානම් ශ්‍රීධරන්ද මේ සඳහා දායකත්වය දැක්වූ අතර ඒ අනුව කිළිනොච්චි නගරයේද කළු දිනයක් ලෙස දක්වමින් විරෝධතා පාගමනක් හා පෙළපාලියක් සංවිධානය කිරීම හා යාපනය, කිළිනොච්චි, මුලතිව්, අම්පාර හා ත්‍රිකුණාමළය වැනි දිස්ත්‍රික්ක ආවරණය කරමින් විරෝධතා සංවිධානය කිරීමට කටයුතු කර ඇත.

නමුත් උතුරු නැගෙනහිර දේශප්‍රේමී ද්‍රවිඩ ජනතාව ශ්‍රී ලංකා නිදහස් දිනය සැමරීමට කටයුතු කර ඇත.

මෙහිදී විශේෂත්වය වූයේ උතුරු නැගෙනහිර ප්‍රධානතම දමිළ දේශපාලන පක්ෂය උතුරු නැගෙනහිර කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම මායිම් නොකරමින් දමිළ ජනතාව මෙම සැමරුම් සඳහා එක්වීමය.

ඒ අනුව උතුරු පළාත තුළ සංවිධානය වී තිබූ ප්‍රධානතම ජාතික නිදහස් දින සැමරුම වූ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය හා එම සංවිධානයට අනුබද්ධ සමාජ සාධාරණත්වය සඳහා වූ කාන්තා ව්‍යාපාරයේ සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් යාපනයේ පැවති රැළිය වේ. එම රැළිය සඳහා සර්වාගමික නායකයින් හා සියළු ජාතීන් නියෝජනය වන පරිදි 2500 ක පමණ ජනතාවක් සහභාගි වී තිබූ අතර නිදහස් දින රැලියෙන් අනතුරුව යාපනය වීරසිංහම් ශාලාවේදී සංස්කෘතික අංග ඇතුලත් වැඩසටහනක්ද පැවැත්වීය.

මීට අමතරව යාපනය පන්නෙයි වෙරළ තීරයේදී නිදහස් දින සැමරුමට සමගාමීව ජාතික ධජය නිරූපණය වන අයුරින් සරුංගල් සංදර්ශනයක්ද පවත්වා ඇත. තවද, යාපනයේ පැවති නිදහස් දින රැළියට අමතරව වන්නි ජනපවුර නැමති සංවිධානය විසින් දැවැන්ත රථ පෙළපාලියක් පවත්වා ඇත. ඒ සඳහා වාහන 250 ක් පමණ එක්ව ඇති අතර පුද්ගලයින් 1000 ක පමණ ප්‍රමාණයක් මෙම පෙළපාලිය වර්ණවත් කිරීමට එක්ව ඇත.

නැගෙනහිර පලාතේ ත්‍රිකුණාමළය, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලද නිදහස් දින සැමරුම් ඉතා අභිමානවත්ව පවත්වා ඇති අතර මෙහිදී ත්‍රිකුණාමළය නගරයේදී සියළු ජාතීන් සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කරන ලද නිදහස් දින පාගමන ප්‍රමුඛත්වයක් ගත් අතර තවත් සැමරුම් උත්සව කිහිපයක් කන්තලේ නගරයේදී දේශය නමැති සංවිධානය විසින් තවත් සැමරුම් කිහිපයක් සේරුනුවර සහ අවට පවත්වා ඇත.

මෙයට අමතරව මඩකලපුව ප්‍රදේශයේදී 5000 ක පමණ ජන සහභාගිත්වයෙන් තවත් නිදහස් සැමරුමක් පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ අතර කාත්තන්කුඩි, එරාවූර් හා ගාන්ධි උද්‍යානය ආශ්‍රිතවද විවිධ නිදහස් සැමරුම් සංවිධානය කර තිබුනි. මෙහිදී මඩකලපුව නගරය ආශ්‍රිතව රථ පෙලපාලියකින්ද මෙවර නිදහස් දින සැමරුම වර්ණවත් කිරීමට ජනතාව කටයුතු කර ඇත. අම්පාර දිස්ත්‍රික්කය තුළද විවිධ නිදහස් දින සැමරුම් උත්සව සංවිධානය කර තිබූ අතර අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුව හා පොතුවිල් ප්‍රදේශවල නිදහස් උත්සවය සැමරීමට 1000 කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමෙන් කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද පාර්ශව අභියෝගයට ලක්කරමින් මෙම සියළු නිදහස් දින සැමරුම් සිදුකිරීම විශේෂත්වයකි.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=144#sigProId71d04e0444

 

මම රනිල්ගේ ගොට්ටෙක් නෙවෙයි : රනිල් හැර විකල්පයක් නෑ - ප්‍රසන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහට නැවත අවස්ථාවක් ලබා දිය යුතු බවට තමන් කළ ප්‍රකාශය හේතුවෙන් තමන් රනිල් වික්‍රමසිංහගේ ගොට්ටෙකු බවටත්, පක්ෂය කැඩීමට සූදානම් වන බවටත්, රාජපක්ෂලාට විරුද්ධ බවටත් ඇතැමුන් කරන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ඔහු අවධාරණය කරන්නේ මේ මොහොතේ රනිල් හැර රටට වෙන විකල්පයක් නොමැති නිසා තමන් රනිල් වික්‍රමසිංහ  වෙනුවෙන් පෙනී සිටින බවයි.

තම හෘද සාක්ෂියට අනුව සිදු කරන්නක් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

එය කිසිසේතම පක්ෂයට හෝ රාජපක්ෂලාට එරෙහි වීමක් නොවන බව අවධාරණය කරන ඇමතිවරයා තමන් මේ ප්‍රකාශය කරන්නේ රට ගැන සිතා බවද කියයි.

ඇමති ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේ කටාන සහ දිවුලපිටිය හිටපු පළාත් පාලන නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක්වෙමිණි.

ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙය කැඳවා තිබූ අතර ඇමතිවරයාගේ උඩුගම්පල කාර්යාලයේදී එය පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා කටාන සහ දිවුලපිටිය හිටපු පළාත් පාලන නියෝජිතයින් සියළු දෙනා සහභාගී වී සිටි අතර රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ සහ කටාන පොහොට්ටු සංවිධායක ආනන්ද හරිස්චන්ද්‍ර ද සහභාගී වූහ.

සාකච්ඡාව අතර තුරදී ඇමතිවරයා ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ හැර වෙනත් විකල්පයක් ඇත්නම් යෝජනා කරන්නැයි පළාත් පාලන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය. ඔවුන් සියළු දෙනා කීවේ එවැනි විකල්පයක් නොමැති බවයි.

එහිදී ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය,

“මම දන්න තරමින් අපේ පක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂකයක් ඉදිරිපත් කරන්න තවම තීරණය කරලා නෑ. ධම්මික පෙරේරා ජනාධිපතිවරණ අපේ අපේක්ෂකයෙක් විදියට තවම නම් කරලා නෑ. ඒ බව බැසිල් රාජපක්ෂ හා පක්ෂ මහලේකම්වරයා මට පැවසුවා.

මම විශ්වාස කරන විදියට ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණයක්. ඒ ව⁣ගේම මම පුද්ගලිකව විශ්වාස කරනවා මේ වෙලාවේ ජාතික අපේක්ෂකයා විදියට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යුතුයි කියලා. අවුරුදු දෙකකට කලින් රට තිබුණ තැනයි අද රට තියෙන තැනයි සංසන්ඳනය කරලා බලන්න. අපි අද රටක් විදියට ඉතාම හොඳ තැනක ඉන්නවා. මේ අර්බුද ටික සම්පූර්ණයෙන්ම විසඳන්න වත්මන් ජනාධිපතිවරයාට යම් කාලයක් දිය යුතු බව රටේ ව්‍යාපාරිකයන් අතර මතයක් තිබෙනවා.

2015දි මෛත්‍රීපාල සිරිසේනට මිනිස්සු ඡන්දය දුන්නේ යහපාලනය ගේන්න. 2019 මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ දිනෙව්වේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න. මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ  පත්කර ගන්න ඕන ආර්ථික අර්බුදය ජයගන්නයි.

මම ජනාධිපතිතුමා ගැන කතා කරන කොට සමහරු කියනවා මම පොහොට්ටුව කඩාගෙන යන්න හදනවා කියලා. රාජපක්ෂලට විරැද්ධ වෙනවා කියලා. තව සමහරු කියනවා ප්‍රසන්න රනිල්ගේ ගොට්ටෙක් වෙලා කියලා.

මොකද මම හැමදාම දේශපාලනය කළේ මගේ හෘද සාක්ෂියට අනුවයි. අනිත් අය කයිවාරු ගැහුව්වා. නමුත් අභියෝගය භාර අරගෙන වැඩක් කරලා පෙන්නුවේ වත්මන් ජනාධිපතිවරයා විතරයි. ඒ නිසා ජනාධිපතිවරයා නැවත ඉදිරිපත් වෙනවා නම් අපි පක්ෂයක් ලෙස එතුමාට උදවු කරන්න ඕන. මොකද මේ වෙලාවේ වෙන විකල්පයක් නෑ.

මම පක්ෂයට මේ යෝජනාව කරන්නේ රට ගැන හිතලයි. රට ගැන හිතනවා නම් අපි මේ වෙලාවේ ගන්න ඕනේ හොඳම තීන්දුව රනිල් වික්‍රමසිංහ  ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමයි. ඒක පක්ෂය දෙකඩ කිරීමක්වත් රනිල්ට ගොට්ට ඇල්ලීමක්වත් නොවෙයි. රාජපක්ෂලාට විරුද්ධ වීමකුත් නෙමෙයි. ඒ වගේම රනිල් වික්‍රමසිංහට සහාය දෙනකොට අපි පක්ෂයක් ලෙස ශක්තිමත් වෙන්න ඕනේ. එතකොටයි අපිට පක්ෂයේ තැන රැක ගන්න පුළුවන්. ඒ සඳහා පක්ෂය ගම් මට්ටමින් ශක්තිමත් කරන්න ඕනේ.

මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණේ රාජපක්ෂලා නිසා නෙවෙයි. නමුත් එහෙම මතයක් රටේ හදනවා. මේ කඩා වැටීමට රට පාලනය කළ සියදෙනා අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. ජනතා විමුක්ති පෙරමුණත් වගකිව යුතුයි. ඔවුනුත් අඩුවැඩි වශයෙන් මේ රටේ පාලනයට විවිධ අවස්ථාවලදී සම්බන්ධ වෙලා තියෙනවා. අරගලකරුවන්ට බයේ රටක් පාලනය කරන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණට ගමේ බලයක් නැහැ. ඇත්ත ඒකයි. ජනතා විමුක්ති පෙරමුණ පහුගිය ජනාධිපතිවරණයේදී ගත්තේ ඡන්ද ලක්ෂ පහයි. ඒක සියයට සියයෙන් වැඩි කළත් දිනන්න බැහැ.

– ප්‍රදීප් අනුර කුමාර

නිදහස් උළෙලේ ජාතික ගීය සිංහල සහ දමිළ බසින් ගැයෙයි !

හැත්තෑ හයවන ජාතික දින ජාතික නිදහස් දින උළෙල ගාලු මුවදොර පිටියදී අද (04) පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමැතිවරුන් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විය.

හමුදා උත්තමාචාර පමණක් මෙවර උත්සවයේ පැවැත්වුණු අතර සංස්කෘත අංග මෙවර පැවැත්වුණේ නැත.

එමෙන් මහජනතාවටද මෙවර නිදහස් උළෙල විවෘත වූයේ නැත.

මෙහිදී වූ විශේෂ සිදුවීමක් නම් නිදහස් උත්සවය ආරම්භයේදී සිංහල භාෂාවෙන් ජාතික ගිය ගායනා කළ අතර උත්සවය අවසන් කිරීමේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනය කිරීමය.

''අතීත වැරදි යළි නොකළ යුතුයි'' - ජනපති

අතීත වැරදි යළි සිදු නොකළ යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසයි.

නිදහස් දින සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, නිදහසින් 75 වැනි වසර සමරද්දී අප බංකොලොත් රටක් ලෙස නාමකරණය වී තිබූ බවයි.

එහෙත්, 76 වැනි නිදහස් දිනය වන විට එම තත්ත්වයෙන් මිදී ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකිවූ බව, ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා පවසන්නේ, වත්මන් ගමන් මග නිවැරදි බව මුළු ලෝකය ම ඉදිරියේ සනාථ වී ඇති බැවින් එම ගමන් මගෙහි ම ඉදිරියට ගොස්, යළි සෞභාග්‍යය උදා කරගැනීමට මෙවර නිදහස් දිනයේ අදිටන් කරගත යුතු බවයි.

රට යළි ගොඩනැංවීමේ අභිමානවත් මෙහෙවරට හැකි ශක්ති ප්‍රමාණයෙන් දායක වන්නැයි ශ්‍රී ලංකා භූමියේත්, ඉන් පිටතත් වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ද, ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මේ අතර නිදහස සුරක්ෂිත කිරීමට කොන්දේසි විරහිතව ඇප කැපවීම පාලකයින්ගේ වගකීමක් බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පවසයි.

නිදහස් දින සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, නිදහස සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් කැපවීම සියලු පුරවැසියන්ගේ ද වගකීමක් බවයි.

ඒ අනුව නිදහස හා නිවහල් බව යනු, දිනාගත් පසු නිකම්ම පවතින දෙයක් නොව, නිරන්තරයෙන් ම ආරක්ෂා කළයුතු දෙයක් බව, විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

නිදහස වෙනුවෙන් ගූගල් සිය මුල් පිටුව වෙනස් කරයි

අන්තර්ජාලයේ සුප්‍රසිද්ධ සෙවුම් යන්ත්‍ර පද්ධතියක් වන ගූගල් සමාගම සිය මුල් පිටුව ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් අද (04) සරසා තිබේ.

ඒ් අනුව ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් Google වචනයට ඉහළින් අහස ශ්‍රී ලංකා ජාතික ධජය ලෙලදෙන අයුරු දක්වා ඇත.

විවිධ රටවල ඓතිහාසික අවස්ථාවන් සනිටුහන් කිරීම සඳහා ගූගල් වරින් වර එහි ඩූඩලය වෙනස් කරයි.
ඒ අනුව, පරිශීලකයාට ශ්‍රී ලංකාවේ google.lk සහ google.com මුල් පිටු නැරඹිය හැකිය.

1996 දී ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ ලැරී පේජ් හා සර්ජි බින් යන ආචාර්ය උපාධි අපේක්ෂකයන් දෙදෙනා ‘ස්ටැන්ෆර්ඩ් ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය‘ වෙනුවෙන් සැකසූ වාර්තාවකින් ගූගල් බිහි විය. ඒ අනුව 1998 සැප්තැම්බර් 4 වැනිදා ගූගල් සමාගම නිල වශයෙන් ආරම්භ විය.

ගූගල් යන නම ලැබී ඇත්තේ ද ‘ගෝගල්‘ (10100) (අංක එකට පසු බින්දු සියයක්) යන නමේ අකුරු වැරදියට ලිවීමෙනි.

එසේම ලොව අංක එකේ සෙවුම් යන්ත්‍රය වන ගුගල් සෙවුම් යන්ත්‍ර සේවාව විසින් පවත්වාගෙන යන doodle සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ 76 වන නිදහස සංකේතවත් කොට තිබේ.

ගුගල් doodle යනු ගුගල් සෙවුම් යන්ත්‍රයේ සලකුණ වෙනුවට වැදගත් දිනයන් හා උත්සව අවස්තාවන් වලදී ගුගල් සලකුණ එයට ගැලපෙන ආකාරයෙන් සකස් කරන්නාවූ සේවාවකි.

එහිදී අපට ගුගල් වෙත වැදගත් අවස්තාවන් දිනයන් පිලිබඳ යෝජනා කල හැකි අතර ඔවුන් ඒවා සලකා බලා එයට ගැලපෙන නිර්මාණයක් සිදුකොට doodle ලෙසින් අන්තර්ජාලයට මුදාහරිනු ලබයි.

දිනමිණ

ශ්‍රේෂ්ඨාධිකරණය, යුද හමුදාපතිගේ අභියාචනය විසිකරයි

යුද හමුදා පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් චන්දන රණවීර සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් ලබාදී ඇති මැන්ඩාමුස් ආඥාව ක්‍රියාත්මක

කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යුද හමුදාපති විකුම් ලියනගේට නියෝග කර තිබේ.

ඒ බ්‍රිගේඩියර් චන්දන රණවීර විසින් ඔහුට සිදු කළ අසාධාරණයට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව අභියෝග යට ලක්කරමින් යුධ හමුදාපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ 4/24 විශේෂ පෙත්සම සම්බන්ධයෙන් පෙබරවාරි 01 දින තීන්දුව ලබා දෙමින්ය.

අභියාචනාධිකරණය සිය තීන්දුව මගින් නියෝග කර තිබුණේ බ්‍රිගේඩියර් චන්දන රණවිර 2021 ජනවාරි 01 වැනිදා සිට මේජර් ජෙනරාල් නිලයට උසස් කිරීම සඳහා ජනාධිපතිවරයාට නිර්දේශ කිරීම, ඒ අනුව ඔහුට හිමි ජ්‍යෙෂ්ඨත්වය පිහිටුවීම. ජ්‍යෙෂ්ඨත්වය අනුව පාබල රෙජිමේන්තු අධිපතිකම ලබාදීම, ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව යුද හමුදාවේ සුදුසු ධුරයකට පත් කිරීම, ඔහුට හිමි වැටුප්, දීමනා හා වරප්‍රසාද ලබා දෙන ලෙසය.

එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු විසින් ලබා දී තිබෙන අතර අභියාචනාධිකරණ නියෝගය එම දින සිටම ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී ඇත.

අභියාචනාධිකරණය බ්‍රිගේඩියර් චන්දන රණවීරගේ පෙත්සම සම්බන්ධයෙන් වන තීන්දුව 2023 නොවැම්බර් 23 වනිදා ලබාදී තිබූ අතර එය අභියාචනා නොකරන ලෙස නීතිපතිවරයාගෙන් මෙන්ම යුද හමුදා නීති ප්‍රධානියාගෙන් උපදෙස් ලැබී තිබුණත් යුද හමුදාපතිවරයා සිය තනි මතය අනුව එම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.

 (anidda.lk -ලසන්ත රුහුණගේ)

කෙහෙළිය බන්ධනාගාර රෝහලට

රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ලව අද (03) මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර එහිදී මේ මස 15 වනදා තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර කෙරුණි.

ජනපති සහ තායි අගමැති අතර හමුවක් : ශ්‍රී ලංකා – තායි නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් කරයි

76 වන ජාතික නිදහස් සමරු උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවීමට මෙරටට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අතර නිල හමුව අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් ඉතා මිත්‍රශීලී ලෙස පිළිගනු ලැබීය.

අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණු අතර ථෙරවාදී බෞද්ධ සබඳතා සහ ශක්තිමත් සංස්කෘතික සබඳතා මත පදනම් වූ දෙරට අතර සමීප සහ ඓතිහාසික මිත්‍රත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ  එහිදී සිහිපත් කළේය.

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් කරයි

Free Trade Agreement 06ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කෙරෙන නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින්  ඉදිරියේ අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට වාණිජ අමාත්‍ය ෆුම්තාම් වෙචයචායි සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන අය විසින් මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තබන ලදී.

මිලියන 22ක ජනගහනයක් සහිත ශ්‍රී ලංකාවේ 37 වන අපනයන ගමනාන්තය වන තායිලන්තය මිලියන 71.6ක ජනගහනයකින් සමන්විත වේ. තායිලන්තය විසින් භාණ්ඩ සඳහා තීරුබදු අනුපාත කෝටාව වැනි වෙළෙඳ සිමාවන් පනවා ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනයන් වන තේ, ගම්මිරිස් සහ පොල්තෙල් ද ඊට ඇතුළත් වේ. ශ්‍රී ලංකාව විසින් 2022 වර්ෂයේ දී ඇ.ඩො.මි. 58.82ක් වටිනා භාණ්ඩ පමණක් තායිලන්තයට අපනයනය කර ඇත. 2022 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො.බි. 495ක් වූ තායිලන්තය අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) දෙවන විශාලතම ආර්ථිකය හිමි රට වේ.

තායිලන්ත සමාගම් විසින් ඇ.ඩො.බි. 17.3ක් විදේශයන්හි ආයෝජනය කරමින් 2021 වර්ෂයේදී ආසියානු සංගමයේ විශාලම ආයෝජක රාජ්‍යයක් බවට පත්විය. 2005 සිට 2022 දක්වා කලය තුළ ශ්‍රී ලංකාව තුළ තායිලන්තය විසින් ඇ.ඩො.මි. 92කට අධික සෘජු විදේශ ආයෝජන සිදු කර ඇත. 2018 වසරේදී එවකට පැවති ද්විපාර්ශ්වික වෙළෙඳ වටිනාකම (ඇ.ඩො.මි. 550) වසර හතරක් ඇතුළත ඇ.ඩො.බි. 1.5 දක්වා තුන් ගුණයකින් වැඩි කිරීම අපේක්ෂා කෙරිණි. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීමේ ශක්‍යතාව තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ ප්‍රමුඛ අරමුණක් විය.

මෙම ගිවිසුම භාණ්ඩ වෙළෙඳාම, ප්‍රභවස්ථාන රීති, සනීපාරක්ෂක සහ ශාක සනීපාරක්ෂක පියවර, වෙළෙඳාමට ඇති තාක්ෂණික බාධක, වෙළෙඳ ප්‍රතිකර්ම, සේවා වෙළෙඳාම, ආයෝජනය, රේගු ක්‍රියාපටිපාටිය සහ වෙළෙඳ පහසුකරණය, ආර්ථික සහයෝගීතාව, බුද්ධිමය දේපළ අයිතිවාසිකම්, මූලික ප්‍රතිපාදන, ආයතනික හා අවසාන ප්‍රතිපාදන, විනිවිදභාවය සහ ආරවුල් විසඳිම යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පරිච්ඡේද 14කින් සමන්විත වන අතර පුළුල් සාකච්ඡා වට නවයකින් පසු වෙළෙඳ සාකච්ඡා නිම කර ඇත.

මේ අතර, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබිණි. 1950 වසරේ එළැඹි ගිවිසුම ශක්තිමත් කරමින් මෙම නව ගිවිසුමට අත්සන් තැබුණු අතර දෙරට අතර ගුවන් සේවා සබඳතා සහ නියාමන රාමු වැඩිදියුණු කිරීම මෙමඟින් සිදු වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ තායිලන්තය වෙනුවෙන් එරට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජකපොන්ග් සංග්මනී (Jakkapong Sangmanee) යන අය ඊට අත්සන් තැබූහ.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය (GJRTI) සහ තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය (GIT) අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අවබෝධතා ගිවිසුමකට ඉන් අනතුරුව අත්සන් තැබිණි.

ශ්‍රී ලංකාව සතු ඉතා උසස් තත්ත්වයේ මැණික් ජාත්‍යන්තරය තුළ මහත් ප්‍රසිද්ධියක් උසුළන අතර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ දැනට සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටින තායිලන්තය එම සහයෝගීතාවයේ වැදගත්කම හඳුනා ගෙන තිබේ. ඒ අනුව දෙරටෙහි මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය දියුණු කිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අත්සන් තැබුණු මෙම අවබෝධතා ගිවිසුම මඟින් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ විද්‍යාත්මක හා තාක්ෂණික පර්යේෂණ සහ පුහුණු ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කෙරේ.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් බී.ජී.ආර්.ඩබ්ලිව්. ගම්ලත් සහ තායිලන්තයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනයේ අධ්‍යක්ෂ සුමෙද් ප්‍රසොන්ග්පොන්ග්චායි (Sumed Prasongpongchai) යන අය ඊට අත්සන් තැබූහ.

කෙහෙළිය රක්ෂිත බන්ධනාගාරයට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව මේ මස 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ලව අද (03) මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර එහිදී මෙම නියෝගය නිකුත් කෙරුණි.

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිළිබඳ හිටපු අමාත්‍යවරයාගෙන් ඊයේ පැය 10කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

නිදහස වෙනුවෙන් සිරකරුවන් 700කට ජනාධිපති සමාව

76 වැනි නිද­හස් දිනය නිමි­ත්තෙන් ජනා­ධි­පති විශේෂ රාජ්‍ය සමාව යටතේ සිර­ක­රු­වන් 700ක පමණ පිරි­සක් නිද­හස ලැබී­මට නිය­මි­තව ඇත.

මේ ජනා­ධි­පති සමාව ප්‍රදා­නය කිරීම සඳහා හෙට (4) සමා­වට සුදු­සු­කම් ලබන සිර­ක­රු­වන් මෙරට සෑම බන්ධ­නා­ගා­ර­ය­කින්ම නිද­හස් කිරී­මට නිය­මි­තව ඇති බව බන්ධ­නා­ගාර කොම­සා­රිස් මාධ්‍ය ප්‍රකා­ශක ගාමිණි දිසා­නා­යක  පැව­සීය.

ජනා­ධි­ප­ති­ව­රයා වෙත ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 34 වැනි වග­න්ති­යෙන් පැවරී ඇති බල­තල අනුව බන්ධ­නා­ගා­ර­ගත සිර­ක­රු­වන් හට මේ විශේෂ රාජ්‍ය සමාව හිමි වේ.

ඒ අනුව බන්ධ­නා­ගා­ර­ග­තව 2024.02.04 වන දිනට සිර දඬු­වම් විඳි­මින් සිටින සිර­ක­රු­වන් හට ගත කරන ලද වස­ර­කට හෝ ඉන් කොට­ස­කට මාස­යක සමා­වක් දීම, දඩ මුදල් නොගෙ­වීම මත 2024.02.04 දින වන විට සිර දඬු­වම් විඳි­මින් සිටින සිර­ක­රු­වන්ගේ ගෙව­මින් පව­තින දඬු­වමේ ශේෂය අහෝසි කිරීම, 2024.02.04 දින වන විට මත්ද්‍රව්‍ය චෝදනා සම්බ­න්ධ­යෙන් වර­ද­ක­රු­වන් වී, ඒ සඳහා (දඩ මුදල් නොගෙ­වීම මත නිය­ම­කර ඇති සිර දඬු­වම්ද ඇතු­ළත්ව) පුන­රු­ත්ථා­ප­න­යට යොමු කර ඇති සිර­ක­රු­වන්ගේ නියම කර ඇති පුන­රු­ත්ථා­පන කාල­යෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාල­යක් ගෙවා අව­සන් කර ඇති රැඳ­වූ­වන්ගේ පුන­රු­ත්ථා­පන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරන පනත පරිදි ප්‍රජා විශෝ­ධන නිල­ධා­රි­ය­කුගේ අධී­ක්ෂ­ණය යටතේ ගත කිරී­මට යටත්ව අහෝසි කිරීම සිදු කර ඇත.

ජනපති ප්‍රධානත්වයෙන් මාතර කලා උළෙල ඇරඹේ

ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙල (MFA) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (02) ආරම්භ කෙරිණි.

ආර්ථික හා සමාජීය පුනර්ජීවනයක් වෙනුවෙන් සංස්කෘතික ප්‍රජාවගේ සහයෝගීතාව ඇතිව කලා සංවිධාන පදනම් කර ගත් මෙම කලා උළෙල අද සිට පෙබරවාරි 04 දක්වා මාතර කොටුවේදී පැවැත්වේ.

ගාලු සාහිත්‍ය උළෙලෙන් පසුව වසර ආරම්භයේදී මාතර කලා උළෙල දකුණු වෙරළ තීරයේ පැවැත්වීම ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදෙස් සංචාරකයන්ට ද සුවිශේෂ අත්දැකීමකි. චිත්‍ර සහ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන, සංගීත ප්‍රසංග, වැඩමුළු සහ සාකච්ඡා, ප්‍රජා වෙළෙඳපොළ ඇතුළු සංස්කෘතිකාංග රැසකින් මෙය සමන්විතය.

මෙහි චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ද එක් වූ ජනාධිපතිවරයා සිතුවම් නිර්මාණය කරන ස්ථානයේ දී පින්තාරු සටහන් දෙකක් තබා සමරු සටහනක් ද තැබීය.

UNESCO සංවිධානය විසින් සංරක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කර ඇති මාතර කොටුව, නගරය සහ මාතර දිස්ත්‍රික්කයේ සම්ප්‍රදායික කලා අංග, මෙරට ආර්ථික හා සමාජීය පුනර්ජීවනයට සුවිශේෂී දායකත්වයක් සපයන අතර, ඒ හරහා අනෙකුත් ප්‍රදේශවල ජනතාවට සහ ගෝලීය හවුල්කරුවන් සමඟ දැනුම හුවමාරු කර ගැනීමට මෙම කලා උළෙල ඉවහල් වනු ඇත.

දිවංගත මංගල සමරවීර මහතාගේ පවුලේ සාමාජිකයන් වන ජයන්ති සමරවීර ගුණවර්ධන සහ චංචලා ගුණවර්ධන යන මහත්මීන්ගේ හා මහාචාර්ය ජගත් වීරසිංහ මහතා ඇතුළු මාතර Freedom Hub සංසදය විසින් මෙම කලා උළෙල ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

මෙහි මූලික වැඩසටහන මෙහෙයවනු ලබන්නේ කලාකරුවකු සහ පුරාවිද්‍යාඥයකු වන මහාචාර්ය ජගත් වීරසිංහ සහ සංගීතඥයකු හා අධ්‍යාපනඥයකු වන ආචාර්ය සුමුදි සුරවීර යන මහත්වරුන් විසිනි.

ප්‍රදීප් චන්ද්‍රසිරි, ප්‍රියන්ති අනූෂා, ෆීරි රහ්මාන්, හේමා ශිරෝනි, මාතර පාල පොතුපිටිය සහ අනුර ක්‍රිෂාන්ත ඇතුළු කලාකරුවන් 12 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන ඉදිරිපත් කිරීමකින් සහ මහාචාර්ය ජගත් වීරසිංහගේ මඟපෙන්වීම යටතේ මාතර කලාකරුවන් 8 දෙනකු විසින් නිර්මාණය කරන ලද අතිරේක ප්‍රජා කලා වැඩසටහනක් මෙය සමන්විතය.

පෙබරවාරි 04 නිදහස් දිනය දා, මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේදී අංග 7කින් යුත් එළිමහන් ප්‍රසංගයක් ද මෙම කලා උළෙලට සමගාමීව පැවැත්වේ. අමිල සඳුරුවන් විසින් ජන සංගීතය, බ්‍රසීලියානු ගායක පෝලා විසින් ජෑස් බොසා නෝවා (Jazz to bossa nova) සහ රෙගේ (reggae) සංගීතය, පහතරට බෙර වාදනය සහ ජෑස් බෙර වාදන කණ්ඩායමක් වන Baliphoincs කණ්ඩායමේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් සහ ඇමරිකාවේ රැප් (Rap) සහාකර්නාටික් (Carnatic) ගායක රෝලෙක්ස් රසති විසින් කරනු ලබන ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් ඇතුළු තවත් කලාකරුවන් රැසක් මෙම ප්‍රාසාංගික කලා දැක්ම සඳහා සහභාගී වේ.

ප්‍රවේශපත්‍ර ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රසංගය හැර, මාතර කලා උළෙලේ අනෙකුත් අංග සියල්ල නොමිලේ නැරඹීමට හැකිය.

මාතර කලා උළෙලට සහභාගීවීමෙන් අනතුරුව නිල්වලා ගඟබඩ උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාතර සංවර්ධන සැලැස්ම පිළිබඳව ද සොයා බැලීය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරුණා කොඩිතුවක්කු, නිපුණ රණවක, හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම, එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චැංග් යන අය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Page 9 of 367