කිලිනොච්චියට මෙගාවොට් 204ක සුළං විදුලි බලාගාරයක්

කිලිනොච්චියට මෙගාවොට් 204ක සුළං විදුලි බලාගාරයක්

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අද (25), ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 204ක විදුලිබල ධාරිතාවයක් එක් කිරීමට නියමිත කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිරාන්චි-වේරවිල් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත සුළං විදුලිබල ව්‍යාපෘතියට අදාළ භූමිය නිරීක්ෂණය කිරීමේ සහ කරුණු සොයා බැලීමේ ක්ෂේත්‍ර චාරිකාවක දින නියැළුණේ ය.

මෙගාවොට් 06ක සුළං විදුලි කුලුනු 34ක්

රටේ බලශක්ති අරමුණු ජයගැනීමෙහිලා පුනර්ජනනීය බලශක්තිය උපරිම අයුරින් දායක කරගැනීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව ඉහත ප්‍රදේශයේ ඇති සුළං විදුලි විභවතාවය ප්‍රයෝජනයට ගැනීමත් ඒ හරහා රටේ උතුරු ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වේගවත් කිරීමත් මෙම යෝජිත ව්‍යාපෘතියේ අරමුණු අතර වේ.

මෙම ව්‍යාපෘතියෙන් එකක් මෙගාවොට් 06ක් වන සුළං විදුලි කුලුනු 34ක් ස්ථාපිත කිරීමට නියමිත අතර ඒ සඳහා තෝරාගත් ඉඩම් කොටස් වැඩි ප්‍රමාණයකට ඇමතිවරයා පෞද්ගලිකවම ගොස් විස්තර සොයා බැලී ය. මෙලෙස වෙන් කර ඇති ඉඩම් කොටස් වැඩි ප්‍රමාණයක, කිසිදු ගැටලුවක් නොමැතිව ව්‍යපෘතියේ ඉදිකිරීම් කටයුතු ඇරඹීමේ හැකියාව ඇති බව නිරීක්ෂණය වූ අතර විවිධ ගැටලු ඇති බිම් කොටස්වල එම ගැටලු විසඳීමට ගත හැකි පියවර සොයා බැලීම ද සිදු සිදු කෙරිණ.

නිරීක්ෂණ චාරිකාවෙන් පසු කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ව්‍යෘපෘතිය හා අදාළ රජ්‍ය ආයතනවල නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පැවැති අතර එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා...

උතුරු ප්‍රදේශයට මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත්

“මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නෙ රටේ ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකලා. මේ හරහා ප්‍රදේශයේ ජනතාවට අවශ්‍යය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සැලසුම්කර තිබෙනවා. තව ද පරිසරයට සිදුවන බලපෑම් හා ජනතාවට සිදුවන අපහසුතා අවම වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. කාලයක් තිස්සේ සංවර්ධනය මග හැරුණු උතුරු ප්‍රදේශයට මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වනවා.''

මෙම අවස්ථාව සදහා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානාදන් ඉලංකුමාරන්, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන්, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර, සුනිත්‍ය බලක්ති අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් හර්ෂ වික්‍රමසිංහ ඇතුළු රජයේ නිළධාරීහු රැසක් සහභාගී වූහ.

(ශාන් මොහොමඩ්)

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න