ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වෙනි නාවික හමුදාපතිවරයා (Navy Commander) ලෙස ඔබගේ පත්වීම ශ්‍රී ලංකා ප්‍රාජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපතිවරයා විසින් 2026 ජූලි 1 වෙනිදාසිට බලාත්මක කිරීම ගැන අප ඉතාමත් සතුටු වෙමු.
ඔබතුමාගේ එම පත්වීම හරහා නාවික හමුදාව තුල සිදුකෙරෙමින් තිබූ බොහෝ අකටයුතු ප්‍රමාණයක් හඳුනාගෙන ඒවා බැහැරකොට රටට ඉතා හොඳ යහපත් සේවයක් නාවික හමුදාව මගින් ඉෂ්ඨ සිද්ධ කරනු ඇතැයි අප විශ්වාස කරමු.
නමුත් ශ්‍රී ලංකා නාවික හමුදාවට මීට ඉහත තරමක් අපකීර්තිමත් ඉතිහාසයක් සහ කළු පැල්ලම් ගණනාවක් එක්ව තිබූ බව අප කවුරුත් දන්නා කරුණකි. තරුණ වියේ පසුවූ ළමයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් කප්පන් ඉල්ලා ඔවුන් මරාදැමීම නාවික හමුදාව තුල එහි කීර්තිය පළුදු කිරීමට හේතුවූ කාරණා වලින් එක් ප්‍රධාන කාරණයකි. එම පැහැරගෙන ගොස් මරාදැමූ තරුණයින් 11 දෙනාට අද දක්වාහෝ හරිහැටි යුක්තිය ඉටුවුනායැයි මම විශ්වාස නොකරමි. එහෙත් ඔබගේ වගකීම තුල වත්මන් නාවික හමුදාව තුල යම් ගුණාත්මක බවක් සඳහා වූ උත්සාහයන් තිබෙන බවක් පෙනේ. ඒ ගැන මම ඉතාම ස්තූති වෙමින්ම මෙම ලිපිය ඔබතුමා වෙනුවෙන් පළකරමි.

හිටපු නාවික හමුදාපති වරයින් කිහිප දෙනෙක් සහ ඔවුන්ගේ භාර්යාවන් මෙන්ම සමහරක් සහ නාවික හමුදාවේ ඉහල නිලධාරීන් සමහරක් “නාවික හමුදාව” යනු තමන්ගේම භුක්තියට සවිවූ තම මවගේ හෝ පියාගේ පෞද්ගලික දේපලක් ලෙස සලකා කටයුතු කල සහ කරන බව ඔබට අකමැත්තෙන් වුවද මතක් කරදීමට කැමැත්තෙමු. ඔවුන්ගේ හිතුවක්කාර ක්‍රියාවන් හේතුවෙන් නාවික හමුදාවේ පහල සොල්දාදුවන් මහත් අපහසුතා ගොන්නකට මැදිවී කරකියාගත නොහැකි අසරණ තත්වයකට වැටී ඇත.
මෑතක සිටි නාවික හමුදාපති වරයාගේ බිරිඳ නාවික හමුදා සේවා වනිතා ඒකකය භාරව එහි සභාපතිනිය වී සිටියාය. කලින් සේවා වනිතා ඒකකය භාරව ඇය සිටියදී එම ඒකකයේ ව්‍යාපෘති භාරව සිටියේද ඒවා නිරීක්ෂණය කලේද ඇයයි. ඒ අනුව එම සේවා වනිතා ඒකකයේ බේකරිය, බතික් කලා ව්‍යාපෘතිය, මල් ව්‍යාපෘතිය භාරව සිටියේද ඇයයි.

ඇය මෙම සේවා වනිතා ඒකකය භාරව සිටින විට සාමාන්‍යයෙන් මේකප් (Makeup) දමාගනීමට සතියකට දෙවරක් එහි රූපලාවන්‍ය ඒකකයට පැමිනෙන අතර ඇය සඳහා වෙනම නාවික සෙබලියක් වෙන්කරනු ලබයි. ඇය ඒ සඳහා පැමිණෙන්නේද නේවි කමාන්ඩර්ට වෙන්කර ඇති කමාන්ඩර් ස්ටාෆ් වාහන 8 න් එකකිනි. ඇය මේකප් සඳහා පැමිණෙන විට ඇයට අවශ්‍යවූ වෙනම මෙනු එකක් කැෆටේරියා එකේ ඇය වෙනුවෙන් පිලියෙල විය යුතු අතර ඇය තුම්මුල්ලේ සිට පැමිණෙන විට වාහන තුනක් ඒ සඳහා වෙන්වේ. තවත් කාරණයක් නම් මෙම හිටපු නාවික හමුදාපතිවරයාගේ බිරිඳගේ පණිවිඩයන් වලට අනුව වෙනත් කාන්තාවන්ද මෙම මේකප් දමාගැනීමට පැමිණීමයි. එම සිවිල් කාන්තාවන් සඳහාද නාවික හමුදාවේ වියදමින් ඔවුනට අවශ්‍ය මේක් අප් පහසුකම් ලබාදීමට සිදුවූ අතර මෙම ඉහතකී හිටපු නාවික හමුදාපතිවරයෙකුගේ බිරිඳ මෙම මේක් අප් වලට පැමිනෙන විට මැන්ගෝ ජූස් ඉල්ලුවත් නාවික හමුදාවේ වාහනයක් අඹ ගෙනැඑමට එලියට යැවෙන අතර අය ඉදිරියට එන භටයින් “ගුඩ් මෝනින් මැඩම්” කීම අනිවාර්ය වන අතර බැරිවීමකින් කවරහෝ භටයෙකුට මෙසේ ගුඩ් මෝනින් කීම අතපසු උනහොත් එය එකී සෙබලාට “විශාල කරදරයක්” වීම නොවැලක්විය හැකිය.
එසේම ඇය කඳවුරුවල සෑම තැන්වලම ඇවිදිමින් සෙබලුන්ට බැනවදිමින්ද පැමිනිලි කරමින්ද, සෙබලුන්ට විනය පරීක්ෂණ නියම කරමින්ද යම් විශාල ප්‍රීතියක් භුක්ති වින්ඳාය. ඒ ආකාරයට ඇය හැසිරුනේද ඇයගේ සැමියා නේවි කමාන්ඩර් වීමෙන් පසුව වීමද තවත් විශේෂත්වයකි. ඒ අනුව ඇය හැසිරී ඇත්තේ සිය සැමියාගේ බලය උපයෝගී කරගෙන බව ඉතා පැහැදිලිය.
නමුත් වත්මන් විධායක ජනාධිපති අනුර දිසානායක මහතාගේ ආර්යාව හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආර්යාව හෝ මෛත්‍රීපාල සිරිසේන, ජේ.ආර්. ජයවර්ධන යන ජනාධිපතති වරුන්ගේ ආර්යාවන්වත් සිය සැමියන්ගේ අසීමිත විධායක බලය පවා කිසිසේත් මෙසේ අවභාවිතා කලේ නැතිබව එම ආර්යාවන් වරුනට පළකරන ගෞරවයක් ලෙස සඳහන් කිරීමට කැමතිය. සේවා වනිතා එකකයෙන් ඒවායේ ව්‍යාපෘති වලින් සහ බේකරියෙන්, මෂ්රූම් වලින්, වෙළඳසැල් වලින් සහ බතික් වලින් යනාදියෙන් දිනකට හොඳ ආදායමක් ලැබෙන බැවින්ද මේ භාන්ඩ සෙබලුන්ගේ පඩියෙන් කපාගැනීමට මිළදී ගතහැකි බැවින්ද එය ඉතා හොඳින් ඔබගේ නායකත්වය යටතේ වැඩි දියුණූ කලහැකිය.
තවද වත්මන් නාවික හමුදාපතිවන ඔබගේ බිරිඳ වත්මන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ලෙස ඉතා නිහතමානී ආකාරයකට කටයුතු කරන බවද මෙහිදී විශේෂයෙන් ඇයට කරන ගෞරවයක් ලෙස සඳහන් කල යුතුය. මෑතදී ඇය විසින් එම කාර්යයන් සඳහා මැදිහත්වූ විට පහල සෙබලුනට ඉතා කාරුණික අන්දමින් සැලකූ බව අපවෙත වාර්ථා විය. ඇය විශේෂයෙන් “මැඩම්” යනුවෙන් හෝ “ගුඩ් මෝනින්” යනුවෙන් සෙබලුන්ගෙන් බලාපොරොත්තු වූයේවත් අහුමුලු ගානේ යමින් සෙබලුනට බැනවදිමින් ඇවිද්දේද නැතිබව අපවෙත ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. එය ඉතාම සතුටුදායක තත්වයකි.
තවද නාවික හමුදා කාර්යාලයේ දිනපතා තැබියයුතු නැවුම් මල් බඳුන සඳහා දිනපතා එම මල් ගෙනැඑමට ඇස්වාට්ටුවට වාහන යායුතුවේ. එකී මල් බොකේ එකක් රුපියල් 15,000 ත් 20,000 ත් අතරවේ. කලින් මෙම ඩ්රෙස්මල් ගෙනැඑම දිනපතා කරගෙන ගියද අනතුරුව එය සිදුවූයේ සතියකට වරක් පමණි. නමුත් ඒ මල් සඳහාද රුපියල් 80,000 ක් පමණ මසකට වැයකල අතර මේ මල් ගෙනැඑමේ ඩියුටියටද සෙබලුන් දෙදෙනෙක් යොදවයි. නාවික භටයෙකු සහ ප්‍රවාහණ සහායක යනුවෙන් මේ දෙදෙනා වෙන්කරනු ලබයි.

එසේම නේවිහවුස් වල පවත්වන ඩිනර් පාටි සඳහාද ඉතා අධික මුදලක් වැයවන බව රහසක් නොවේ. මේවායේ පවත්වන ඩිනර් පාටි වලට වෙන්කරන වෙල්කම් වෙල්කම් ඩ්‍රින්ක් එකට පමණක් රුපියල් ලක්ෂය ඉක්මවන අතර මෙම ඩිනර් පාටි සාමන්‍යයෙන් නාවික හමුදා සම්ප්රදායක් බව කිව යුතුය. නමුත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පාටි වෙනුවෙන් වැය කරන මුදල් ඉතා අධිකය. කෙසේ වෙතත් මේ පාටි සහ ෆන්ෂන් වලට යන වියදම් අධිකවූ විට ඒ වියදම් පහල සෙබලුන්ගේ කෑම රෙෂන් වලින් කපාගන්නා බවටද ආරංචි පවතී. තවද මෙම ෆන්ෂන් වලදී මෙන්ම අනෙකුත් අවස්ථාවලදී පොඩි අතපසුවීමකදී පවා මෙම නිලධාරීන්ගේ බිරින්දෑවරු Complain කරන අතර ඒ සෑම පැමිණිල්ලක් සඳහාම සීනියර් ඉන්චාජ් කෙනෙකු විසින් ඊට අදාල පියවරයන් වහාම ගනු ලබයි. නමුත් සෙබලුන්ගේ අඩුපාඩු ගැන කුමන මැසිවිලි තිබූනද ඒවා ගැන කිසිම උනන්දුවක් නොමැත.
තවද මෙම නේවි හවුස්වල නාවික හමුදාවේ නිලධාරීන්ගේ පවුල්වල ඥාතීන් යනැන සහ නවාතන් ගන්නා අවස්ථාවල සීමාවක් නොමැත. රටපුරා නාවික හමුදා නිලධාරීන්ගේ පවුල්වල ඥාතීන් යන ඕනෑම සංචාරයකදී ඔවුනට නොමිලේ නවාතැන් සහ අනෙකුත් පහසුකම් ලබාදීමට නාවික හමුදාව සැදී පැහැදී සිටී. මෙවන් පහසුකම් හමුදාවල පවුල්වලට විශේෂ අවස්ථාවල්දී පහසුකම් සැපයීම ලෝකයේ බොහෝ රටවල සම්ප්රදායක් බව සත්‍යයක් නමුත් මෙසේ සෑම අවස්ථාවලදීම නාවික හමුදාව සතු පහසුකම් සැපයීම රටේ ආර්ථිකයටද බලපාන කාරණයකි. අද දියුණූ රටක නාවික හමුදාවලවත් අදනම් දක්නට නැත. මෙම ඉහල නිලධාරීන්ගේ පවුල්වල අය නේවි හවුස්වලට පැමිණි විටදී දුවට එක මෙනුඑකක්ද, පුතාට එක මෙනුඑකක්ද වශයෙන් විවිධ මෙනු භාවිතා කරන අතර සමහර නිලධාරීන්ගේ බිරින්ඳෑවරුනට දරපෝරණූ වල පිච්චූ පාන්ම ආහාරයට අවශ්‍ය වන අතර ඒවා ගෙනැඑමට සෙබලු දෙදෙනෙකු යායුතුවේ. තව අය ඇන්කර් බටර් පමණක්ම අවශ්‍ය වන අතර තවත් අයට වෙනත් විශේෂ කෑම වර්ග අවශ්‍ය වේ. ඒ ඒ අයට වෙන වෙනම දේවල් මේ ආකාරයට සැපයිය යුතු අතර මේවාට වැයවන මුදල් මහජනයාගේ බදුමුදලින් නාවික හමුදාවට වෙන්කරන මුදල් බව ඔවුන් තකන්නේද නැත.
නාවික හමුදා රෝහලේ බෙහෙත් ගැනීමට සාමාන්‍ය භටයින් වේලි වේලි පෝලිමේ සිටියදී නිලධාරීන්ගේ පවුල් වල සාමාජිකයින් වෙත ප්රමුඛ තාවය දෙනු ලබයි. සමහර භටයින් කලින්දා රාත්‍රිය පුරාවට නිදිනැතිව රාජකාරි කොට පසුවදා නේවි රෝහලට ගියද ඔහුට පෙර හමුදා නිලධාරීන්ගේ පවුල් වලින් යොමුකරන ඥාතීන් සියල්ල වෙත බෙහෙත් ලබාදීමට ප්‍රමුඛතාවය දෙනබවට මම අවධාරණය කරමි. එය එසේ වන්නේ කෙසේද? එසේම මෙසේ බෙහෙත් ගැනීමට අසනීප පිටින් පොරොත්තුවේ සිටින සෙබලුන් විසින් එතැන ට්‍රොලි ඇදීම සහ විවිධ වර්ගයේ සේවාද කලයුතුවේ.

එසේම නිලධාරීන්ගේ නිවාසවල බල්ලන් නෑවීමටද එක සෝල්ජර් කෙනෙක් යොදවා ඇතිබව ඔබ නොදන්නවා නොවිය හැක. මේ සෝල්ජර් අයත් වන්නේ Personal Staff ලෙසය. මේ පර්සනල් ස්ටාෆ් හැටියට නිලධාරීන්ගේ නිවෙස්වල වැඩකාරකමට වෙන්වන භටයා යනු ඉතාම අවාසනාවන්ත සෙබලෙකි. ඔහුට ගෙදර සියලු වහල් වැඩ කරදීමට සිදුවන අතර පොඩින් අත් වරැද්දකටත් කම්ලේන් වලින් අඩුවක් නැත. මෙම බල්ලා නෑවීමේ සිට නිලධාරියාගේ දරුවන් පංතිවලට ගෙනයාමද මෙම පර්සනල් ස්ටාෆ් සෙබලාගේ කාර්යයක් වී ඇත. එසේම නිලධාරීන්ගේ සියලුම පාහේ ළමයින් විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ පාසැල් යනු ලබන්නේ නාවික හමුදාවේ වාහන විශාල ප්රමාණයකිනි. සමහර නිලධාරීන්ගේ දරුවන් රැකියාවලට ගෙනගොස් අරලින්නේද මෙම වාහන වලිනි. මෙම වාහන වල “නාහ” ලෙස අංක තහඩුවේ සඳහන් වී නොමැති බැවින් එම වාහන නාවික හමුදාවට අයත් බව කිසිවෙකු දන්නේදන් නැත. මෙම “නාහ” යනුවෙන් අංක තහඩුවේ නොගැසූ වාහන නාවික හමුදාවට තිබිය යුත්තේ ඉතාම සුවිශේෂවූ බුද්ධි අංශ සඳහාවූ කාර්යයන් වලට පමණක් බව මගේ විශ්වාසයයි. එසේ නොමැතිව නාවික හමුදාවට අයත් වාහන “නාහ” යනුවෙන් යොදා නොගෙන මාර්ගවල ධාවනය කරන්නේ නම් ඒ වාහන වල අරමුණ වෙනත් යමක් විය යුතුය. සමහර ඉහල නිලධාරීන් තමන්ගේම පෞද්ගලික වාහනය නේවි එකට අනුයුක්ත කොටගෙන එහි සේවයේ යොදවා අමතර ආදායමක්ද ලබාගනී. එවිට මේ වාහන සඳහා නාවික හමුදාවෙන් රියදුරන් සපයනු ලැබේ. මෙවන් වාහනවල සැබෑ කාර්යයන් කුමක්ද සහ ඒවායේ නඩත්තුව ගෙවනු ලබන්නේ කවුරුන්ද මෙන්ම මෙවන් වාහන මෙසේ නාවික හමුදා සේවයට සැබවින්ම අවශ්‍යද යන්න වෙනමම සලකා බැලිය යුතුය. තවද එසේ නිලධාරීන්ගේ පෞද්ගලික වාහන වලින් සැබෑ සේවයක් නාවික හමුදාවේ සේවාවන් වලට සැබෑ ලෙසම සිදුවනවාද යන්න සොයා බැලිය යුතුය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ගේ පවුලේ අයද එල්.ටී.ටී.ඊ සංවිධානයේ මුහුදු කොටිනායක සුසෙයිගේ පවුලේ උදවියටද රැකවරණය අදපවා ලබාදෙන්නේ ඔබගේ නායක්ත්වයෙන් යුත් නාවික හමුදාවෙනි. මේ වනවිට විජේවීර පවුලේ විජේවීරගේ බිරිඳ සහ දියනියක් පමණක් නාවික හමුදා වැලිසර නිලධාරී නිවස්නයේ රැඳී සිටින අතර එල්.ටී.ටී.ඊ සංවිධානයේ මුහුදු කොටි නායක සුසෙයිගේ බිරිඳ සහ ලමයින් දෙදෙනෙකු නාවික හමුදාවේ රැකවරණ ලබමින් ඇත. ඇත්ත වශයෙන්ම අද දක්වා මේ අයට නාවික හමුදාවේ රැකවරණය ලබාදෙන්නේ මක්නිසාද යන්න ගැටලුවකි. රටක නාවික හමුදාවක කාර්යය එරටේ දේශපාලන පක්ෂ වල හෝ යම් යම් සටන්කාමී කන්ඩායම් වල පවුල්වල අයට ආරක්ෂාව ලබාදීම නොව රටේ විශේෂයෙන් සාගර කළාපයේ ආරක්ෂාව තහවුරු කිරීමය. නමුත් මේ පවුල් රැකබලාගැනීම වෙනුවෙන් රජය වෙනම ජනතා මුදල් වැයකරයි. තවද පාතාල නායකයින්ට ආරක්ෂාව සපයන්නේද නාවික හමුදාවයි. මෙම පාතාල නායකයින් නඩුහබවලට උසාවි ගෙනයනවිට හන්දිගානේ ආරක්ෂාවට යොදවන්නේද නාවික භටයින්වේ. මෙය වෙනස්විය යුතු තත්වයකි.
තවද නාවික හමුදාව මගින් පරණ නැව් සහ භාවිතයෙන් ඉවත්කල යාන වාහන මුහුදේ ගිල්වීම කාලයක සිට කරගෙන යන කර්තව්‍යයකි. මෙවන් අයුරින් භාවිතයෙන් ඉවත් කරන නැව්, බෝට්ටු සහ රජයේ වාහන මුහුදේ ගිල්වන්නේ ඒවායේ පැටලී ඉන්දීය මාළු අල්ලන මාදැල් (Fishing Net) ඒවායේ පැටලීම සඳහා බවට මතයක් නාවික භටයින් තුල පවතී. මෙසේ අනවසරයෙන් ලංකා මුහුදු සීමාවට එන ඉන්දීය ධීවරයින්ගේ මාලු ඇල්ලීමට ගන්නා මඩි පැටලෙන මඩිදැල් මෙසේ ගිල්වන වාහන සහ නැව්වලට පැටලීමට ඉඩහැරීමේ පියවරක් ලෙස මෙසේ පරණ නැව් සහ වාහන මුහුදේ ගිල්වා දැමීම විද්‍යාත්මක ක්‍රමවේදයක් දැයි අප නොදන්නා නමුත් ඒ පිලිබඳව ඔබගේ අවධානය යොමුකිරීමට අප කැමැත්තෙමු. නමුත් නාවික භටයින්ගේ පතිරී ඇති මතයක් වන්නේ එසේ ගිල්වීමෙන් මාළු බෝවීම වැඩිවන බවයි.

කෙසේ වෙතත් ත්‍රිකුණාමලය මුහුදේ ගිල්වා දැමූ නැව් ඒ ප්‍රදේශයේ ඇතිකල කෞතුගාගාරයක් සඳහා අරමුණු කොට ඒවා ගිල්වූ බවක්ද වාර්ථාවේ. එසේම ඉදිරි කාලයේද මෙසේ භාවිතයෙන් ඉවත් කල නැව් සහ බෝට්ටු කීපයක් මුහුදේ ගිල්වා දැමීමට නියමිත බවද අපවෙත වාර්ථාවී ඇත. මෙසේ ඉදිරි කාලයේදී ගිල්වාදමීමට නියමිත පැරණි නැව් අතර ශක්ති සහ රණ විජය නැව්ද වනබවට අපවෙත වාර්ථවේ. මේ දක්වා මුහුදේ ගිල්වූ පරණ නැව් අතර සූරයා, වීරයා සහ ජගතා යන පැරණි නැව්ද වේ. මෙසේ යකඩ වලට හෝ විකුණා දැමිය හැකි මෙවන් විශාල ප්‍රමාණයේ නැව් සහ බෝට්ටු මෙසේ මුහුදේ ගිල්වා දැමීමට අමතරව පැරණි බස්රථ 150-200 ත් අතර ප්‍රමාණයක් නාවික හමුදාව මගින් මුහුදේ ගිල්වා දමා ඇතිබවට අපවෙත තහවුරු නොකල වාර්ථා පෙන්වාදෙයි.
තවද අළුතින් බඳවාගන්නා රෙක්වුට්ස්ලාට (Recruits) ට්රෙනිං වලදී පහර දෙනබව සත්‍යයකි. ගුටි බැට නොදී ට්‍රේනිං කර පාස් අවුට් කිරීමෙන් පලක් නොමැති බවට යම් ආදිකල්පිත මතයක් එම නාවික හමුදා පුහුණූ කරුවන් තුලද තවමත් පවතී. එය අද ලෝකයේ බැහැර කල දෙයකි. මේ හේතුවෙන් රෙක්වුට්ස්ලා පාඨමාලාව හැරයන අවස්ථාද බොහෝය. එසේම නාවික හමුදාවේ පහල භටයින්ට අත්වී ඇති පීඩාකාරී තත්වය ගැනද ඔවුන්ට අත්විය යුතු පහසුකම් ගැනද ඔබගේ අවාධානය යොමුවේයැයි ඔවුන් බලාපොරොත්තුවෙන් සිටී. විශේෂයෙන් නිලධාරීන්ගෙන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයිගෙන් නාවික හමුදාවේ පහල සාමාජිකයින්ට අත්වන පීඩනය සුලුපටු නොවේ. ඒ අයුරින් බලන කල ලංකාවේ නාවික හමුදාවේද ඇත්තේ ඉතා නොදියුණූ වැඩවසම් ආකාරයේ පාලනයන් බැවින් ඒවා නව ලෝකයට සරිලන ලෙස සකස් කිරීම ඔබගේ නායකත්වය තුල සිදුකෙරෙනු ඇතැයි අප හුදෙක් බලාපොරොත්තු වෙමු.

(සටහන | රන්ජන සේනානායක)
සමාජ හා දේශපාලන විශ්ලේශක
(අද්‍යයන කවය) "89-සහෝදරත්වය"
උපුටා ගැනීම | LPN
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
